දවසකට පැය පහ-හය විදුලිය
නැතිය. එහෙම කට්ට කළුවරේ පැය එකහමාරක් කල් මරද්දීය, අයිඩියාවක්
සිරසට සැපත් වුණේ! |
ටික දවසක් තිස්සේ මගේ හිතට වද දෙමින් තිබ්බේ ඒ ප්‍රශ්නයයි. ඒ අස්සේ අපේ රට පුරාමත් ප්‍රශ්නය. ගෑස්- තෙල්- සිමෙන්ති- පෝර ආදී හැම ලබ්බකම හිඟකම්-නැතිකම් එහෙන්ය. බඩු මිල අහසට ගිහින්ය; දවසකට පැය පහ-හය විදුලිය නැතිය.
එහෙම කට්ට කළුවරේ පැය එකහමාරක් කල් මරද්දීය, අයිඩියාවක් සිරසට සැපත් වුණේ!
(කොළ පාට පසුබිම)
සුප්පා දේවී:
අහා, මේ වනය කොතරම් සුන්දරද? රුක් පුරා පිපි මල්. (මලක් කඩාගෙන එය සිප, හිසේ රඳවා
ගනී.) මල්වල රොන් ගැනීමට එන බමරුන්ගේ ගුමු-ගුමු නදින් මා සිත පිනා යයි. අහෝ...
(කල්පනාකාරීව) මා තවමත් දෙගුරුන් යටතේ නම්... අර එක්ටැම් ගෙයි තනිවම... අඃ... එපා,
එපා.ඒ රුදුරු අතීතය සිහිවන විට මහද පැලෙන්නට යයි.
(සෝදුකින් වේදිකාවේ සක්මන් කරයි.)
රටතොට අලංකාරය නොදැක, එසේ සිර ගෙයක් බඳු තැනකට වී... හ්ම්... නිදොස්වම; ඔව්, අසත්‍ය
පුහු අනාවැකියක් නිසා මට විඳින්නට වූ ගැහැට.
අහෝ! සතුරෙකුටවත් මෙබඳු විපතක් නම් නොවේවා. (හදිසියේ දුටු දෙයකින් කලබලව, එතැනට
දිව ගොස් පක්ෂියෙකු අල්ලා ගෙන ඌ සුරතල් කරමින් එයි.)
අහා! මේ මනහර පක්ෂියාගේ දර්ශනයත්, ඉමිහිරි ගී නාදයත් මගේ නුවන් සවන් පිනවා ලයි!
(පක්ෂියා වීසි කිරීමට වේදිකාවෙන් ඉවතට යයි.)
එහෙම කරන්නේ ආඩම්බරෙන් නං
නෙවෙයි; හොඳේ.
ලජ්ජාවෙන්. මමය කියන ගොන් වහන්සේ කොච්චරට ‘ඇඳගෙන
ඉන්නට ඇතිද?’ කියලා
හිතමින්! |
එහෙම කරන්නේ ආඩම්බරෙන් නං නෙවෙයි; හොඳේ.
ලජ්ජාවෙන්. මමය කියන ගොන් වහන්සේ කොච්චරට ‘ඇඳගෙන ඉන්නට ඇතිද?’ කියලා හිතමින්!
ඒ පිටපත ටයිප් කළ එකකි. මුල්ම පිටුවක් හෝ
දෙකක් missingය. අග පිටු කීපයකුත් හැළිලාය. අවුරුදු පනහක් විතර කාලයක් තිස්සේ, මේ
ටිකවත් පරෙස්සම් වෙලා තියෙන එකත් පුදුමයක් නෙව.
‘බ්‍රොයිලර් මනමේ- 2’
post එකේදී කිව්වා වගේ, සේ ටීචර්ගේ අයිඩියා එක නිසාය
‘සිංහබාහු’ ලියන්නට කරුණු යෙදුණේ.
‘ගස් නැති රටේ’
post එකේදී කිව්වා වගේ බන්දුල ජයකොඩි ගෙනා යෝජනාව නිසාය,
අපේ නාට්‍යයක් රඟහලකදී; ලුම්බිණි රඟහලේදී වේදිකාගත කරන්නට අප ඉටා ගත්තේ. එසේම මගේ
කොණ්ඩය දිගට වැවෙන්නට හැරියේ.
ඒ අතරවාරයේ, බොරැල්ලේ YMBA රඟහලේදී ‘ආලකමන්දා’ නාට්‍යයේ හින්නිකිතර චරිතයකට පෙනී
සිටි අපූරුවය; ‘හොන මුත්තක්ද බලන්නේ’
post එකෙන් කිව්වේ.
‘ආලකමන්දා’ නාට්‍යය බලන්නට අපේ තාත්තාත්,
බන්දුලත්, රංජිත් අයියාත් ඇතුළු කීප දෙනෙක්ම ආවෝය. මගේ දැනීමේ තරමට නම් ඒ හැමෝම
වාගේ, කොළඹ රඟහලකට ගිහිල්ලා නාට්‍ය බලා නොතිබුණු අයයි. නාට්‍යය ඉවර වෙලා, මාත්
ඇඳුම් මාරු කරගෙන එනතුරු අපේ තාත්තලා බොරැල්ලේ YMBA ශාලාවේම රැඳී සිටියහ.
“ඔන්න දැන් නං ගුණපාල අයියෙ තවත් පරක්කු
කරන්න බෑ. රංජි මල්ලිට විතරද, ලොකු හෝල්වල ඇට් කරන්න හොඳ?” බස් එකේදී පළමුවෙනි ප්‍රශ්නය
මතු වුණේ, බන්දුලගෙන්.
‘ඔව්, ඔව්ව්ව්. අපිත් කළු නෑෑෑෑනේ ගුණපාල
අයියේඒඒඒඒඒ...” බන්දුලගේ කතාවට මුක්කුවකුත් ගැසිණි. ‘මෙයාලට ඉරිසියාවේ!’ මට හිතුණේ
එහෙමය.
ගස් නැති රටේ තුත්තිරි ගහත්
ගහක්නේ! |
“කෝ, තමුසෙලා සිංහබාහුට කොල්ලෙක්ව හොයාගෙන
එනවයි කිව්ව නේද.... ඒක එහෙම්ම අමතක කරලද මහ ලොකුවට සිංහබාහු නටන්න කතා කරන්නේ?”
අපේ තාත්තාත් ‘නිල අල්ලා’ උත්තර බැන්දේය.
බන්දුල ජයකොඩිටය ඒ පහර වැඩියත්ම වැදුණේ.
සමරසිරිලා- රංජිත් අයියලා දන්න-කියන තරුණයන් සේරම ඒ වෙද්දීත් අපේ කණ්ඩායමට
හඳුන්වලා දීලා අහවරය. දැන් ඉතිරි වී තියෙන්නේ වැල්ලවත්ත රෙදි මෝලේ වැඩ කරන;
රඟපාන්නට කැමති තරුණයෙකු හෙවිල්ලය. එතැන වැඩ කරන්නේ බන්දුලය!
(බන්දුලව එහාට යැවුණු හැටි ‘ඒ
නං ඔයාට අපිව විශ්වාස නෑ’ post එකේ
සවිස්තරවම ලියා තිබේ.)
තරමක මාන්නක්කාරයෙකු වූ; අඩු කතාකාර බන්දුල
එවෙලේ වෙනින් මොකුත්ම කිව්වේ නැත. එයාගේ මුහුණ බලද්දී මට පෙනුණේ, මිනිහා යටි තොල
විකාගෙන හිටින විදිහයි.
මං වහන්සේ දැකලා තියෙන හැටියට නං හුඟ දෙනෙක්ම එහෙමය; මොනවා හරි හිතට ගන්නවා නම්;
අධිෂ්ඨාන කර ගන්නවා නම් එක්කෝ යටි තොල විකා ගනිති; නැත්තං ඇස්දෙක පියා ගෙන මොහොතක්
සිටිති.
ඒ වතාවෙත් මගේ නිරීක්ෂණේ හරි ගියේය!
දෙදවසක් යන්නට කලින්ම බන්දුල ජයකොඩි ජයග්‍රාහී ලීලාවෙන් ‘handy’ තරුණයෙකු අපේ
ගෙදරට කැන්දාගෙන ආවේය.
ඒ හාදයාගේ කෙස්ස බොකුටුය; අඟ-පසඟ පිරිපුන්ය;
පෙනුම පැහැපත්ය. ‘සිංහබාහුට නං හොඳයි... තව චුට්ටක් උසත් වුණා නං..’ කියලාය මට
හිතුණේ.
‘අනේ නිකං හිටපං. එහෙනං ඉතිං ගාමිණී
ෆොන්සේකාත් ගොඩක් උසයිද?’ මගේම යටි හිත මට විරුද්ධව අවි අමෝරා ගත්තේය! ගස් නැති
රටේ තුත්තිරි ගහත් ගහක්නේ, මටම දෙසා ගනිමින් මම බලා සිටියෙමි. අපේ තාත්තා ‘සරත්
රංචාගොඩ’ එක්ක කතාවට බැස්සේය.
සරත් රංචාගොඩ දෙහිඕවිට, අටුලුගම ඉඳලා කොළඹට ඇවිත්
තියෙන්නේ ‘වැල්ලවත්ත
රෙදි මෝලේ’ රස්සාව
ලැබුණාමය. |
අනෙක සිංහබාහුත් මේන් රෝල් එකක්නේ.” (තාත්තාගේ කතා පරෙස්සම බන්දු ළඟම ඉන්නා
හින්දාය. නාට්‍යයේ ප්‍රධාන චරිතය තමන් විසින් පණ ගැන්වෙන සිංහයා බවයි බන්දුල නිතර
පුරසාරම් කියමින් හිටියේ.)
“මට වෙලාව තියෙනවා....” නිහඬ විරාමයකින් සරත්ගේ
කතාවට බාධා වුණු බව හොඳටම පෙනෙයි. තාත්තාට සරත්ගේ ඒ ස්වයං ඇණ හිටිල්ලේ හේතුව තේරුම්
ගිහිල්ලාය.
“මං ගුණපාල අයියා! සමහරවිට බන්දුල කියන්ඩත් ඇතිනේ. මට එහෙම කිව්වම ඇති... සරත්
කියලා නේද අයිසෙගේ නම කිව්වේ...”
“මට වෙලාව තියෙනවා ගුණපාල අය්යේ. ෂිෆ්ට් එකටනෙ අපි වැඩ කරන්නේ. Night Shift එකක්
දාගන්න පුළුවන් ඕනි කරන දවස්වලට. නේද බන්දු..” සරත් එහෙම ඇහුවත් බන්දුල ඔළුව
හෙලෙව්වා විතරකි.
සරත් රංචාගොඩ දෙහිඕවිට, අටුලුගම ඉඳලා කොළඹට
ඇවිත් තියෙන්නේ ‘වැල්ලවත්ත රෙදි මෝලේ’ රස්සාව ලැබුණාමය. “ගෙදර ඉඳලා වැඩට එන්න-
යන්න බෑ ගුණපාල අයියේ, පැය දෙක තුනක් නැතිව. මං රෙදි මෝල ඉස්සරහම lane එකේ බෝඩිමක
නැවතිලයි ඉන්නේ. ඉතිං වෙලාව තියෙනවා.”
අවුරුදු පනහක වෙනස; සංවර්ධනය ඒ ගමනට නං
බලපාලා නැති තරම්ය. අදටත් දවල් වෙලාවක නම් ඒ ගමනට පැය දෙක-තුනක් නැතිව බැරිය. පාරවල්
හැදිලා ඇතත්, වාහන සංඛ්‍යාව ඕසෙට වැඩි වෙලාය.
“අපේ අක්ක
කෙනෙක් වැඩ කරනවා පොලිසියේ.... එයා නම් තිඹිරිගස්යායේ පොලිස් flatsවල ඉන්නෙ...”
සරත් සංවාදශීලීව කියාගෙන ගියේය. අපේ තාත්තාටත් එයාව හිතට අල්ලලා ගිහින්ය. (ඩග්ලස්ව වගේ!)
“සරත් බෝඩිං වෙලානේ ඉන්නවයි කිව්වේ.... අද
දවල්ට තියෙන විදිහට අපේ ගෙදරින් බත් ටිකක් කාලා යං. රංජි, නෝනගෙන් අහල බලපංකො
මොනාද හදන්නෙ කියලා.... බන්දු, තමුසෙත් සරත්ව මෙහෙ දාලා යන්න හදන්න එපා... ආඩම්බරේ
පැත්තකින් තියලා ඉන්නව මේ යාළුවත් එක්කම.”
ගොටුකොළ වුණාට ඒ වර්ගයේ කොළ
තනිකරම සලාද කොළ වගෙය; ඒ
පාටය. එයින් පැළ දෙක තුනක් ඉල්ලාගෙන ඇවිදින්.... |
‘මොනවා? නිදි ඔච්චර හොඳට ඔව්වා මතක තියාගෙන ඉන්නවද?’ මේ post එක කියවන ඔබට සිතෙනු
ඇත. මං කියමින් ඉන්නෙ පනස් වසරකට එහා කතන්දරයකි. ඒ නිසා එහෙම හිතෙන එක සාධාරණය.
ඒත් සමහර පුංචි දේවල් අපට මතක හිටින්නේ පුදුමාකාර විදිහටය. විශේෂයෙන් රිදුම් දෙන
මතකයන්...
“සරත්ටත් බත් කටක් දෙන එකේ, ගොටුකොළ සම්බෝල
ටිහකුත් හදමුද බං...” තාත්තා ‘තොත්ත බබා’ ලීලාවෙන් අහද්දී නං මට තරහය. ඒත්
අමුත්තෙකු ඉදිරිපිටදී මගේ තරහව පෙන්වන්නද? ගොටුකොළ සම්බෝලයකට කොළ කඩා ගන්නට වෙන්නේ
මගේ ‘සලාද ගොටුකොළ’ පාත්තියෙනි!
අනේ! ඒ දවස්වල මම ඒ පාත්තිය රැක ගත්තු
විදිහ. නාට්‍යයකට ආධාර එකතු කරන්නට ගිය වෙලාවකය මට ඒ ගොටුකොළ වර්ගය ඇහැ ගැහුණේ.
ගොටුකොළ වුණාට ඒ වර්ගයේ කොළ තනිකරම සලාද කොළ වගෙය; ඒ පාටය. එයින් පැළ දෙක තුනක්
ඉල්ලාගෙන ඇවිදින්ය, මං අර පාත්තියක්ම හදා ගත්තේ. (තවමත් එයින් පැළ දෙක තුනක්
හොයමින් හිටින්නේ ඒවාට තිබුණු ආදරය නොමැරී තියෙන නිසාය. අවුරුදු තිහ- හතළිහකින්වත්
මට ඒවා දකින්නට ලැබී නැත.)
ඉතාම
කලාතුරකින් විතරය, ඒ පාත්තියෙන් ගොටුකොළ නෙළා ගැනුණේ. ඒකත් කෙරුණේ මගේ අතින්
විතරය.
තවමත් මගේ දෙනුවනේ ඉතා සජීවීව නිධන්වී තියෙන දර්ශනයකි.
‘මාරක
හී පහර’ නාට්‍යය දිනවල අපේ
ගෙදරට කඩා පාත්වී- යකා නටා; මහරගම මරු සිරාගේ කැති පහරක් කාලා, එයාගේ මස් ඇතිලියකට
වැටුණු වඳුරා මතකයි නේද? (ඌව අපට ලැබුණාම- ඌට ලගින්නට ලෑල්ලක් ගහලා උස බංකුවක්
හැදුවේ, මේ ගොටුකොළ පාත්තිය කෙළවරේය.) යට
කී දර්ශනයේ, එතැන අපේ සීයා; චාලි නානා
කොන්ද නවාගෙන
වඳුරාට හිස දික් කරගෙන හිඳී- වඳුරා සීයාගේ හිසේ උකුණන් සොයයි!
අද ඒ හැම දේම gone ය! ගිහින්ය!!
ඉතිං, ඇත්තම කියනවා නං, එදා මං ගොටුකොළ
කැඩුවේ- සරත් රංචාගොඩට හිත යටින් බැණ වදිමිනි. ඒ අස්සේ බන්දුල ජයකොඩිත් එතනට ආවේය.
“බෑ කියන්න බැරි වුණා නේද, රංජි?”
හොඳටම තරහක් ආවාම මට ඇඬෙයි- කතා කර ගන්නටත් බැරිව යන තරම්ය. මං කළේ පුළුවන් තරම්
තදෙන් බන්දුට රැවීමය. ඒ රැවුමේ හැංගී තිබුණු චණ්ඩ තාපය තේරුම් ගියා වාගේ, බන්දු
පසු බැස්සේය.
සිංහබාහුත් ඉන්න සීන් එකක්...
(ඩී.බී. සුරනිමල විසින් සරච්චන්ද්‍ර මහතාගේ සිංහබාහු නාට්‍යයේ මුල් දර්ශනයේදී ගත්
ඡායාරූපයකි.) |
සරත්ටත් මිය යන තුරාවටම ‘එදා මහරගම අපේ
ගෙදරට ආ ගමන’ ඔහුගේ මතකයේ තිබුණා විය යුතුය. ඒ තරමටම, ඒ ගමනෙන් එයාගේ ජීවිතයේ
වෙනස්කම් ගොඩාරියකට මුල පිරුණ නිසාය.
“හරි! බන්දු තමුසේ සිංහයාගේ කෑල්ල චුට්ටක්
කරනවා... රංජි, උඹත් වරෙං..., පොතත් අරගෙන. සිංහබාහුත් ඉන්න සීන් එකක් පුරුදු වෙලා
බලමු...” කඩාගත් ගොටුකොළ ටික නෝනාට බාර දීලා ආවාට පස්සේ, අපේ තාත්තා යෝජනා කළේය.
“කියවලා පෙන්නපං රංජි, සරත්ට දෙබසක්....”
සිංහබාහුට හිමි දෙබස් ඛණ්ඩයක් තෝරා ගන්නටත්,
කියවන්නටත් මට වරුවක් ගත වුණේය. “මොකද යකෝ... දවස් ගාණක් හාමතේ හිටියා වගේ... පණ
ඇතිව කියපංකෝ ඕක....”
මට අමාරුවෙන් තරහව යටපත් කර ගන්නට වුණේය. නැත්තං වෙන්නේ මේ අමුත්තා ඉස්සරහම බැණුම්
අහගන්නටය.
සරත්, එදා අපේ තාත්තාගේ පරීක්ෂණ කඩුල්ලෙන්
පැන ගත්තේය. මගේ හිතේ නං සරත් ගැන ඇති වෙලා තිබුණේ කෝන්තරයකි. සලාද ගොටුකොළ හින්දා
ඇති වුණු ඒ කෝන්තරය ගැන හොඳටම පසු තැවෙන්නටය, කල් යද්දී මට සිදු වුණේ. සරත් ඒ
තරමටම ප්‍රියමනාප හාදයෙකි.
“දැන් ඉතිං සිංහබාහු කෙනෙක් හෙව්වා වගේම
සුප්පා දේවියෙකුත් හොයා ගත්තා නං හරි.” අපේ තාත්තා ඊට ටික දවසකට පස්සේ කිව්වේ ‘පුංචි
සාදයකදී’ය.
එදා භානු
යාළු 1
තලගොයි දඩයමක්
කරගෙන ඇවිත් තිබුණු දවසකි. මාසයකදී එහෙම දවස් දෙක-තුනක්ම අපේ අහට උදා වෙයි. දැන්
වගේ ගෙවල්වලින් විතරක් පිරුණු මණ්ඩියක් නොවුණු එදා පමුණුවේ, කුඹුරු- ඕවිටි- වගුරු-
දෙනි- ලඳු කැලෑ- බඩවැටි අඩුවක් නැතිවම තිබිණි. එව්වායේ වාසය කළ ඉබ්බන්, තලගොයන්
ආයුක්ෂය වුණු වහාම මුලිච්චි වුණේ ‘පව් පඳුරක් වුණු’ භානු යාළු 1 හාදයාවය. (ලිවීමේ
පහසුව තකා අපි මේ යාළුවාව ‘පත්මේ’ යයි නම් කරමු.)
වතාවක විතරය ඒකා, පණ
පිටින් ඉබ්බෙකු ගෝනි පඩංගුවක ඔතාගෙන ආවේ.
පාන් ගෙඩි තුනකට සල්ලි ඇති.
හැබැයි.... |
අකල් මරණයකට පාත්‍ර වුණු ඒ සත්තුන්ට හම
ගැහිලා, මස් වෙන්නට සිද්ධ වුණේත් අපේ ආච්චීට හොරෙනි. ඒක එච්චර අමාරු නොවුණේ අපේ
ඉඩමේ එහා පැත්තෙන් තිබුණු, වනාත වත්තේ කැලය නිසාය. (සුදුම සුදු සමරසිරිත්, කළුම
කළු විමලසිරිත් අමු හෙළුවෙන් පුර හඳ දවසක හොර පොල්
කැඩුවේ ඒ වත්තෙනි.)
ඉතිං ඔන්න ඔයාකාරයෙන් අපේ ගෙදරට දඩ මසක් ආවාම,
එව්වා හදන්නේ අපේ තාත්තාය.
ඒ අතරේ අපේ ගෙදර අතන-මෙතන හැංගිලා තියෙන
සිල්ලර කාසි එක තැනකට එකතු වෙයි. ඒ වෙලාවේ අපේ ගෙදරට ඇවිත් ඉන්නා කට්ටියගේ
සාක්කුත් හිස් වෙයි. (එතකොටත් ඉස්කෝලේ යන හෝ රස්සාවක් නොකරන හෝ ඒ ගොඩ දෙනාත් අයිති
වුණේ empty pocket කාණ්ඩයටය.)
“පාන් ගෙඩි තුනකට සල්ලි ඇති. හැබැයි බෝතලේකට
නං...” සල්ලි එකතුවෙ තරම බලන කෙනෙක් ගණන් හදයි.
(එතකොට පාන් රාත්තලක් සත විසිපහක් හෝ තිස්පහක් හෝ බවය මට මතක. කසියා බෝතලයක මිල නං
කවදාවත් මගේ කණට වැටිලා නැත.)
“පාන් ගෙඩි තුනක් අරගෙන, තියෙන ටික දීලා, මම ණයට බෝතලයක් ඉල්ලා ගන්නං...” කියන්නේ පත්මේමය.
එහෙම දවසකය, අපේ තාත්තා අරහෙම කිව්වේ.
“පිස්සුද ගුණපාල අයියා.... තව අවුරුදු ගාණක් යනකල් රංජි මල්ලිට කෙල්ලට අඳින්න
පුළුවන්. කෙල්ලෙක් ළඟවත් මෙහෙම සිරියාවක් තියෙනවද බලන්නකො!” ඒකා කාටත් හොරෙන් මට
ඇහැක් ගසමින් කියයි. (එතකොටත් ඒ හාදයා මාව බිල්ලට අරගෙනය.)
“දැන් රංජි මල්ලිගේ කොණ්ඩේත් ටිකක් දිගට වැවිලනේ...”
හෙටම හරි එක්ක වරෙන්කො! මේ
අපිත් වේළි-වේළී ඉන්න එකේ... |
බන්දුල, රංජිත් ගුණසේකර දෙන්නා හිටියෙත්
‘නිළියක් හොයන’ අදහසේමය. ඒ ගැන ඍජුව මොකුත් නොකී සරත් අපේ තාත්තාට යොමු කළේ ප්‍රශ්නයකි.
“රෙදි මෝලෙම වැඩ කරන යාළුවෙක් දවසක කිව්වා, දෙහිවල ඉන්න කෙල්ලෙක් ගැන. වොලීස් එකේ
වෙසක් නාට්‍යවල ඇක්ට් කරන.... හොයල බලන්නද ගුණපාල අයියේ?”
“ඕකත් අහ-අහ ඉන්න දෙයක්ද මචං.... හෙටම හරි
එක්ක වරෙන්කො! මේ අපිත් වේළි-වේළී ඉන්න එකේ...”
“ඔන්නං මාත් එන්නං එයාව හොයන්න යන ගමනට!”
ඇත්තම කියතොත් එදාත් මට සරත් රංචාගොඩ ගැන
තරහක් උපන්නේය. මේ යක්ෂයා නැති කරන්නට යන්නේ, මට හිමිව තිබුණු අවස්ථාවකි.
කිසිම කෙනෙකුට සදාකාලිකවම එකසේ වැජඹිය
නොහැකිය. කොතැනක වුව හිණි පෙත්තේ සිටිය හැක්කේ ටික කාලයක් පමණකි. අලුතෙන් කෙනෙක්
එතැනට එද්දී, තමන් එතැනින් ඉවත් විය යුතුය; ඒ එතෙක් හිමිව තිබුණු ගෞරවය නොබිඳී-
නොනැසී තිබියදීමය. ඒ සත්‍යය මට තේරුම් ගියේ පසුවය.... නොමේරූ වයසේදී කෙනෙකුට ඒවා
තේරුම් ගැනීමට බැරි වීම පුදුමයක් නොවේ... පුදුමය; අද හැට-හැත්තෑව පිරුණු බොහෝ
දෙනාට පවා ඒ කරුණ දුරවබෝධවී තිබීමය.
මගේ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ තාත්තාට වැඩක් නැත. දෙහිවල නිළිය සෙවීමේ project එක දියත් වුණේය! ඉතිං ඊට පස්සේ....