අකුරු මැකී නෑ

Tuesday, February 28, 2023

පුදමි තුති කුසුම්!

කොයි කාලන්තරේක හිටංද ය..ක..ඩො, මේ post එක ලියන්න හිතං උන්නේ.

මට මතක හැටියට නං කිරි අ.ප්.ප.ච්..චි..යේ, අවුරුදු දෙකාමාර පැනලා. මෙහෙම පෝස්ටුවක් ලියන බවට Lotus ඇතුළු කීප දෙනෙකුටම වරින්-වරේ පොරොන්දු වුණ විත්තියත් මං වහන්සේට අමතක නෑ, ඔන්න. පොරොන්දුවක් දුන්නා නං; එහෙම දෙයක් කරනවයි කිව්වා නං එහෙම කරන්න වෙනවනේ. මේ හදන්නේ, ඒ පොරොන්දුව ඉෂ්ට-සිද්ධ කරන්නයි.

ස්තුතියි! ස්තුතියි!! ස්තුතියි!!! අද ලියන්නේ නිමල් දිසානායකගේ ස්තුති කෙරිල්ල ගැනයි. එතකොට ඉතිං, තව තව ඇත්තන්ගේ ස්තුතිය ගැනත් කියන්න වෙනවා. ඒකට කාරි නැහැ නෙව...

දවසකදී අපට කොච්චර නම් වාරයක් ඇහෙනවද ස්තුතියි කියනවා. වැඩියත්ම ඇහෙන්නේ ඉංගිරිස්වලින්. Thanks! Thank you very much! Thanks a lot! එච්චරයැ, ඉංගිරීසි Thank you සිංග්‍රීසියෙන් කියන ‘තැන්කියු’...
ඇට නැති දිවනේ. පොඩ්ඩක් එහාට මෙහාට කරලා; හෙලෙව්වාම ලේසියෙන්ම කියලා දාන්න ඇහැකියි. මොකෝ, සල්ලි වියදං වෙනවය කියලයැ. ඔහෙ කියනවා. ගොඩ දෙනෙක්ම කරන්නේ එහෙම තමා. අපේ ජාතික පුරුද්දක් නෙව ඔහෙ කරන්නං වාලේ කරන එක...

නිදි ගොඩාරියක් දේවල් ඉගෙන ගත්තේ සමාජයෙනි!

එහෙම දෙඩුවට හැබැයි, මං වහන්සේත් ස්තුති කරනවා තමා. එහෙම කරනවා නං කරන්නේ සමාජයේ වැඩි දෙනෙකු කරන්නා වගේ ලොකූෳෳෳෳෳ සාටෝපයක් පෙන්නමින් නං නෙවෙයි; බොක්කෙන්මයි. උඩින් එකයි යටින් එකයි ඇතිවත් නෙවෙයි; බොරුවට මූණිච්ඡාවටත් නෙවෙයි; හැබෑවටම ස්තුතිවන්ත වෙමින්.

අරහෙම බොරුවට රඟන උදවිය දන්නෙ නැති ලොකුම ලොකු; පොදු ඇත්තක් හොඳින්ම දන්නා හින්දයි, මං වහන්සේ එහෙම කරන්නේ.

‘වංචනික රැවටිලිකරුවෙකුට ටික දෙනෙකු දිගු කලකටද, වැඩි දෙනෙකු කෙටි කලකටද බොරුවෙන් රැවටිය හැකිය. එහෙත් වැඩි දෙනෙකු දිගු කලක් තිස්සේ බොරුවෙන් රැවටිය නොහැකිය! ඉක්මනින්ම සත්‍යය හෙළිදරව් වෙන බැවිනි.’ යට කී පොදු සත්‍යය ඒකය.

ඉස්කෝලෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා විතරක් ඉගෙන ගත්- ඒ විභාගය විතරක් සමත් වුණු නිදි ගොඩාරියක් දේවල් ඉගෙන ගත්තේ සමාජයෙනි; ඇසුරු කරන්නන් වෙතිනි. එයාලා පාඩම් කියා දෙන්නවුන් නොවේ; ඒත් අවිඥානිකවම මට ගුරුවරුන් වී තිබෙන්නවුන්ය..
කිංස්ලි හේවාගමගේ (සාන්ත) හිතවතා එවැන්නෙකි. සාන්ත ගැන මීට කලිනුත් මා කියා තිබේ.  ශ්‍රී ලාංකේය පිල1996 ලෝක ක්‍රිකට් ශූරතාව දිනන දවසේය
සාන්තගේ විවාහ මංගල්‍යය පැවැත්වුණේ.

අපිත් එක්ක ගොඩාරියක් සංචාරවලට යන සාන්ත සර්ව භක්ෂකයෙකි. ඒත් සමහර දවසක සාන්ත වෙජිටේරියන් වෙයි. ඒ මදිවාට හැමදාම කෑම පිඟාන අතට ගත් විට එය මේසය මතින් තබා, දොහොත් නඟා එයට ආචාර කරලා- ඊට පස්සෙය සාන්ත කෑම අරඹන්නේ.

“සාන්ත ක්‍රිස්තියානි ආගමේ නෙවෙයිනෙ?” ගොඩ කාලයකට කලින් දවසක මං ඇහුවේ, ඒ කෑම පිඟානට ගරු කරන පුරුද්ද දැක්කාමය.
අපේ බඩා මල්ලා; දීපාල්ගේ ගෙදරදීත් එහෙම පුරුද්දක් දැක්කා මට මතකය.
දීපාල් විවාහ වී සිටින පිලිපීන ජාතික පීයා පුරුදු කරවලා වෙන්නැති; ඒ. එයාලාත්, වැඩිමල් පුතු මාකෝත්, දෙවැන්නා නිමල් බෙනුත් කෑමට පෙර ඒ වෙනුවෙන් තුති පුදකොට යාඥා කියති.

“ඇයි නිමල් අයියා ඇහුවේ මම ආගමේද කියල.”
මම සාන්තට අපේ දීපාල්ලා ගැන කීවෙමි. “ඒ වගේම සාන්ත, මේ සමහර දවසට විතරක් ඔයා වෙජිටේරියන් වෙන්නේ ඇයි කියලත් අහන්නමයි මං බලාගෙන හිටියේ.”

සකල ලෝක තලයම දිවැසින් දකින්නට පුළුවන් සිද්ධාර්ථ බුදුන් වහන්සේට... 

“ඇයි අයියේ, අපි කන බත් පිඟානේ තියෙන දේවල්වලට කී දෙනෙකුට ස්තුති කරන්න ඕනිද? ලෝකේ කොහෙ කොහෙ ඉන්න- කොයි තරම් දෙනෙක් මහන්සි වෙන්න ඇද්ද ඒවා හදනකොට- වවන කොට... ඉතිං, මම කන්න කලින් හැමෝටම ස්තුති කරනවා. අනෙක් කාරණේ... මම පෝය දවසටයි මස්- මාළු- කරවල පිළිහුඩු ජාති කන්නෙ නැත්තෙ, නිමල් අයියේ.”

මීට කලින් දවසක මං ඔබට කීවා මතකය. සාන්ත වගේ උපරිමයෙන්ම නොකළත් මගෙනුත් ඊට කිට්ටු වැඩක් කෙරෙයි. පුන් පොහෝ දවසෙත්, අනෙක් දිනවල සවස හයෙන් පසුවත් මා කිසිම ගහක- වැලක ගෙඩියක් තියා කොළයක්වත් කඩන්නේ නැත.

සාන්ත හිතවතා වගේම තවත් සෑහෙන දෙනෙකු යම් යම් දේ කළ යුතු හැටි මෙන්ම, නොකළ යුතු හැටිත් මට උගන්වා තිබේ. ඒ ඔවුන් පවා නොදැනුවත්වමය.       

ඊට අමතරව මේ නසරානි නිදි හැබැහින් දැකල නැති අයගෙනුත් පාඩම් ඉගෙන ගනියි. ඒ පොත් පත්වල ඉන්නා අයගෙනි.

‘ඔය මදැයි අටුවාව කීවා. කියන්න ආවදේ... කියන්න හදන දේ කියනවා.’
‘තමුසෙ එහෙම කිව්වට යටි හිත උන්නැහේ, මේවත් මම කියන්න යන දේට සම්බන්ධයි නං...’ මගෙ උත්තරේ සම්පූර්ණ කරන්නත් කලින් යටිහිත කොහාටද වෙලා හැංගිලාය. පෙනෙන්නට නැතිවා වුණත් එයාටත් ගරු කරන්න ඕනිය. හුඟ වෙලාවට මාව ආම්බන් කරන්නේ; වැරදි කිරීමෙන් වළක්වා ගන්නේ ඔය යටිහිත නොවැ.

බඩා මල්ලාගේ ගෙදරදීත්, සාන්තගෙනුත් දැක්කා වුණත් ‘ස්තුති කිරීම’ ඒ තරමටම වැදගත් යැයි, මට වැදුණේ නැත. ඒකටත් නිසි කාලය එන්ට ඕනෑය. සකල ලෝක තලයම දිවැසින් දකින්නට පුළුවන් සිද්ධාර්ථ බුදුන් වහන්සේට අංගුලිමාලව ඇස ගැටුණේ කොච්චර කාලයකට පස්සෙද? මිනිසුන් නවසිය අනූ නවයක්ම මැරුවාට පස්සෙනේ.
අන්දොස් මට, මං වහන්සේ කොයි තරම් හින්නි ඇටිකිච්චෙක්දැයි තේරුම් ගන්න
සිංහරාජයේ සිංහගල කඳු මුඳුනට යන තුරාම ඉන්නට වුණේ.

ඒ වාගේ, මේ කාරණාව හිතට වැදුණේත් හම්බන්තොටදී උදා වුණු එක්තරා හිමිදිරියකය!

 ‘මේකා නං මාර යකෙක් මචං!(2023 පෙබරවාරි 26 මාලිමාවේ විරෝධතා රැලියට කඳුළු ගෑස් වදිද්දී...) 

එදා අප හිටියේ හම්බන්තොට; හරියටම කියනවා නම් අයස්මන්ත මහත්තයාගේ වෛද්‍ය නිල නිවාසයේය. මට ප්‍රතිකාර ගන්නට ගියාම සමහර දවසක එහි නවතින්නට වෙයි. මේත් එහෙම දවසක්ය.

“මචං නෙවිල්. මම පාන්දර පහට වාට්ටුවට යනවා. උඹ හත වෙද්දී නිමල් අයියත් එක්ක අපේ වාට්ටුවට එන්න ඕනි. එතකොට මම යුෂ්මතුන්ව අවශ්‍ය තැන්වලට යවන්නං...” අයස්මන්ත මහත්තයා කෙරෙන්නට වුවමනා විදිහ කියා දුන්නේය. ඒ රාත්‍රී එකොළහත් පහු වුණාමය.
“වෙන මොකුත් නැහැනේ එහෙනං...” මං හිටි තැනින් නැඟිටිමින් ඇහුවා විතරය.

“ඉතිං බලපං පීරා, මේකගේ තියෙන කුපාඩි ගතිය. මිනිහට බෙහෙත් ගන්න හින්ද නේද,  මර්විනුයි මමයි දෙන්නමත් මේ දවස් දෙකක් නිවාඩු දාගෙන එයාගෙ තනියට ඇවිත් ඉන්නේ. දැන් මිනිහා අපිටත් කලින් නිඳා ගන්න යන්නයි ඔය හදන්නේ... ඔහොම ඉන්නවා. අපිට බර කතාවක් තියෙනවා. මෙහෙන් වාඩි වෙලා තමුසෙත් ඒක අහගන්නවා. ඊට පස්සේ අපිට කෝපි ටිකක් හදලා දීලා, ඕනි නං ගිහිං නිඳා ගන්නවා.” නෙවිල් කියාගෙන යයි.

“ඒ මහත්තය කියන්නෙ ඇත්ත නේද නිමල් අයියේ...” පීරිසුත් හිනාව තද කරගෙන රඟයි. “ඔන්නොහෙ වාඩි වෙලා ඉඳල, කෝපි...”

“මේ, ඔය මහත්තුරුන්ට ඕනි නං කෝපි එකක් හදල දෙන්නං දැන්මම. මම නිඳිමතේ ඉන්නේ. තමුසෙලගෙ කයිවාරු අහගෙන ඉන්න ගියොත් එක-දෙකවත් වෙයි නිඳා ගන්න. මොකද කියන්නේ... දැන්ම කෝපි...”
“කාලා ඉවර වෙලා බොන්න ගත්තු මගෙ කෝපි එක තවම ඉවර වෙලත් නෑ. මේ...” දොස්තර මහත්තයා එයාගේ වීදුරුව පෙන්නුවේය.

“එහෙනං good night!” කියාගෙනම මම අනිත් කාමරයට ගියෙමි. ‘ඔහොම ඉන්නවා / නිමලෝ, ටිකක් හිටපං බං / මේකා නං මාර යකෙක් මචං’ වගේ ප්‍රකාශ වරුසාවක්ම ගණනකට නොගෙනය, මං එහෙම ගියේ.

දල්වා තිබුණු පොල්තෙල් පහන් වැටිවලින් පුදසුන මත වූ...

එහෙම අල්ලාප-සල්ලාපයෙන් ගොඩ වෙලාවක් නිඳි මරන්නට මට බැරිය. ඒ නිසාමය මං වෙනත් කාමරයක තනිව නින්දට යන්නේ.

ඒ තුන් දෙනාම නිඳි මරන්නට රුසියෝ වෙති. ඒක වඩා පහසු වෙන්නටය, දොස්තර මහතාගේ ඇඳ තිබෙන කාමරයේම එයාලටත් මෙට්ට දෙකක් දමා ගන්නේ.

ඉතිං, උදේ පාන්දර පුංචි සද්දයක් ඇසී මට ඇහැරුණේය. සාලයේ විදුලි පහනුත් පත්තු වෙයි. කවුද යකෝ... මේ ජාමේ නැඟිටගෙන හොල්මන් කරන්නේ... හොරෙක්වද්ද...
කොයිකටත් කියා මම හීන් සීරුවේ ඇඳෙන් බැස ඇඟිලි තුඩුවලින් ගිහිං සාලයට එබිකම් කළෙමි.

අවදිවී ඉන්නේ දොස්තර මහත්තයාය. එයා හඳුන්කූරු මිටියක් පත්තු කරමින්ය හිටියේ. එතකොටත් දල්වා තිබුණු පොල්තෙල් පහන් වැටිවලින් පුදසුන මත වූ බුදු පිළිමයත්, දේව රූපත් දිදුලමිනි. මම කිසිදු බාධාවක් නොකොට, නිසොල්මන්ව බලා සිටියෙමි.
පීරිස් මහතා කුඩා පුදසුන ඉදිරියේ පලඟක් බැඳගෙන වාඩි වුණේය. වන්දනාව පටන් ගත්තේය. විනාඩි පහක් විතර බලා සිටි මම ආපසු ගොස් ඇඳට වැටුණෙමි. ඒත් නින්දට නොවැටී, මගේ රබර් කන් දෙක සාලය දිහාවට යවලාය, මං හිටියේ.  

විනාඩි හතළිස් පහකට විතර පස්සේ, අයස්මන්ත පීරිස් මහත්තයා පැදුරෙන් නැඟිටින සද්දය ඇසුණු විටය මං එතනට එබුණේ.
“කෝපි එකක් හදන්නද?”
“ආ... අයියත් ඇහැරිලද? එහෙනං අර දෙන්නටත් එක්කම හදන්න. මං අරූව ඇහැරවන්නං.”

වතුර රත්වෙන අතරේ ‘බුදු අම්මෝ!’ සද්දය ඇසිණි. දොස්තර මහත්තයා එහෙමය. වෛද්‍ය විද්‍යාලයයේදී මිතුරන් අතර කෙරුණු කාගෙ හෝ ‘ඝන්ටාරය මිරිකීමේ වතාවත’ මේ යක්ෂ පැටියා තවමත් අතහැර නැත. දැන් හැමවිටම ඊට ගොදුරු වන්නේ නෙවිල්ය. හැබැයි, මහ සද්දෙන් කෑ ගහන්නේ ඝන්ටාර හිමියා නොවේ; මිරිකන්නාය.

එදා දහවල්ය, මං දොස්තර මහත්තයාගේ වන්දනාව ගැන වැඩි විස්ත‍ර විමසුවේ.

මිනිස් අස්ථි පඤ්ජරයේ; ඇටසැකිල්ලේ ශ්‍රෝණි මේඛලා වගේ කොටස් ගැන මට එවෙලේ මතක් වෙයි.

“මං හැමදාම උදේට පැයක් විතර ඒ වැඩේට වෙන් කරලයි තියෙන්නෙ, නිමල් අයියේ.”

“වඳින්න?”
“වඳින්න විතරක් නෙවෙයි. භාවනා කරන්නත් එක්ක... ස්තුති භාවනාවටත් එක්ක.”
“ස්තුති භාවනාව?”

එවෙලේය, දොස්තර මහත්තයා ඒ අමුතුම භාවනාව ගැන විස්තර මට කීවේ. ඒ කතාව මගේ බොක්කටම වැදුණේය.

කවුරුන් කොහොම කිව්වත්, මේ නිදි අරගන්නේ එයාට උවමනා ටික විතරය; කරන්නෙත් ඌට උවමනා ටික විතරය. ඒකත් ඌගෙ විදිහට හරි ගස්සාගෙනය. එතැනදී අයස්මන්ත මහතා විඩෙන්-විඩේ කියා තිබූ කරුණුත් මට උදව් වුණේය.     

“නිමල් අයියේ, මොකක් හරි දිගටම කරන්න ලෙහෙසියි එකම වෙලාවක, එක දිගට ඒක කරගෙන යනවා නං. සුමාන දෙකක් විතර ඒක කළාම ඉබේම වගේ ඒක පුරුද්දක් වෙනවා. එතකොට නිකම්ම වගේ ඒ වැඩේ කෙරෙනවත් එක්ක.” එයාගේ කතාව ඇත්තක් විත්තිය මගේ අත්දැකීමයි!      

ඉතිං කාලයක හිට මං වහන්සේ පුරුදු කරගත් ස්තුති භාවනාව පියවරෙන් පියවරට මෙහෙමය.
1. උදාවී තිබෙන දවසට ස්තුති වේවා! උදාවී තිබෙන මොහොතට ස්තුති වේවා!!
2. මිහිතලයට, සක්වලට, චක්‍රාවාටයට, විශ්වයට හා විශ්ව ජීවන ශක්තියටම ස්තුති වේවා!

මගේ සිතැඟිවලට අනුව නම් විශ්ව ජීවන ශක්තිය පුදුමාකාරය.
ඒකට මට දිය හැකි හොඳම උදාහරණයකි, කතුරුමුරුංගා මල. දවස් දෙක තුනකට වතාවක්වත් අපේ මිදුලේ ඇති කතුරුමුරුංගා ගහේ මල් කඩාගෙන, උයන්නට සූදානම් කරද්දී හැමදාමත් මට හිතෙන දෙයකි ඒ. (මට තරං පිස්සුවක් තියෙන තවත් උදවිය ඉන්නවාද මංදා.)

මීට කලින් ඔය වගේ දේවල් ගැන මීටර් වෙලා නැද්ද? එහෙනම්, පරවෙන්නට ආසන්න- හොඳින් පිපුණු හා නොපිපුණු කතුරුමුරුංගා මල් කිහිපයක් හොයාගෙන ඉන්නකො... හරිද?
එහෙනං පරෙස්සමින් ඒවායේ පෙති ගලවන්නට පටන් ගන්න. එහෙම කරද්දී, ඒවා එකිනෙකට සවිවී තියෙන හැටි ගැනත් සෝදිසියෙන් බලන්න. මිනිස් අස්ථි පඤ්ජරයේ; ඇටසැකිල්ලේ ශ්‍රෝණි මේඛලා වගේ කොටස් ගැන මට එවෙලේ මතක් වෙයි.
ඒ පිහිටීම් දෙකෙහි සමානකම් දකින විට මට නම් ‘විශ්වයේ සැකැස්ම’ ගැන; පැවැත්ම ගැන තවත් දාහක් දේවල් හිතෙයි.

මගේ ජීව යාන්ත්‍රණය රැඳී තියෙන්නේ ජලය- ඔක්සිජන්- රුධිරය- පිෂ්ටය- ප්‍රෝටීන වැනි දහසක් සංකීර්ණ සංඝටක...

ඒ සැකැස්ම; ඒ පැවැත්ම නිසාය මා උත්පාදවී ඇත්තේ. මගේ ජීව යාන්ත්‍රණය රැඳී තියෙන්නේ ජලය- ඔක්සිජන්- රුධිරය- පිෂ්ටය- ප්‍රෝටීන වැනි දහසක් සංකීර්ණ සංඝටක මතය. ඉතිං, ඒ විශ්ව මහිමයට කෘතවේදී නොවී කොහොමද?

3. එයින් පසු, ආපෝ- තේජෝ- වායෝ- පඨවි සේරටම  ස්තුතිවන්ත වන්නෙමි. එතකොට ඇල-දොළ, ගංගා, කඳු-හෙල්, මුහුදු, අහස, පොළොව, ගහ-කොළ-වැල් සියල්ලමත් මට සිහිපත් වෙයි.

4. ඊළඟට මා ස්තුතිවන්ත වන්නේ අම්මාට, තාත්තාට, ආච්චිලා සීයලාට පරම්පරාවේ මුතුන් මිත්තන්ටය. සමස්ත ඥාති සමුහයාටමය.  ප්‍රාණසම හිත මිතුරන්ටය. සකල ලෝකවාසී සියලු සත්ත්වයන්ටමය. එයාලාට මගේ ස්තුතියෙන් පලක් වෙයිද? ඒ වැඩි දෙනෙකු මිය පරලොව ගිහින්ය. එයාලා වෙනුවෙන් කළ යුත්තේ නිවන් සුව ප්‍රාර්ථනා කිරීමය.

මුල් දවස්වලදීම මට ලොකු ගැටළුවක් මතු වුණේ එතැනදීය.
උපතින්ම බෞද්ධයෙකු වුණත් මට දිවිය ලෝක- අපායවල්- නිවන වගේ දේවල් ගැන ප්‍රශ්න තිබෙයි. කර්මය ගැනත් එහෙමය. සමහර දේවල් පිළිගන්නට මගේ මීහරක් චිත්තය නැමෙන්නෙම නැත. මේ එයින් එකකි:
මියගිය ක්‍රිස්තියානි බැතිමතෙකුට නිවන් සුව පතන එකද හරි- ස්වර්ග සම්පත්තිය පතන එකද හරි? නිවන කියන්නෙත්, ස්වර්ගය කියන්නෙත් දෙවිදිහක දේවල් ලෙසිනි මා තේරුම් ගෙන සිටින්නේ.
ඒ මදිවාට අනෙක් ආගම් ගැනත් හිතන විට, අර ප්‍රශ්නය තවත් උග්‍ර වෙයි.

ඉතිං එතැනදී, මං වහන්සේ සොයා ගත්තේ, මටම අනන්‍ය වුණු උත්තරයකි. එයින් පස්සේ, සමහර තැනෙකදී ‘ස්තුතියි’ වෙනුවට මා පාවිච්චි කරන්නේ ‘ප්‍රමෝදයට පත් වේවා’ කියන පැතුමය.

ඔහොම ප්‍රාර්ථනා කරන විට මට දැනෙන්නට පටන් ගන්නේ පුදුමාකාර සැහැල්ලුවකි; ප්‍රමෝදයකි; අස්වැසුමකි.
මට වැටහෙන විදිහට නම් මේ ස්තුති භාවනාවෙන් ලැබෙන ලොකුම ප්‍රතිලාභය ඒ සැනසිලිදායක තෘප්තිමත් බවයි!

ස්තුති කරන්නට දේවල් අප වටා එමට තිබෙන විත්තියත්...

අයස්මන්ත පීරිස් මහත්තයාගෙන් ‘පරමාත්ම සංකල්පය’ ගැන තවත් ටිකක් ඉගෙන ගත යුතු යැයි මට දැනුණේ එතකොටය. හින්දු ආගමේ කියවෙන සමහර ප්‍රතිපත්ති ගැන මගෙ උනන්දුව දල්වා ලූවෙත් අයස්මන්ත හිතවතාමය. (ස්තුතියි අයස්මන්ත මහතාණෙනි. ඒ සංකල්ප ගැන, අපේ දයාබර පාඨකයන් දැනුවත් කිරීමට blog පෝස්ටුවක් ලියන එක හොඳ වැඩක් නේද?)

මෛත්‍රී භාවනාව වඩද්දී නම් ඉස්සෙල්ලාම මෛත්‍රී කරන්නේ තමන්ටමය. ඒ භාවනාවේදී ‘මා ඇතුළු සියලු සත්ත්වයෝ ...’යි කීමෙන් පෙනෙනුයේ ඒ බවයි.

මැටිමෝල් මං වහන්සේ හදාගෙන තියෙන භාවනාවේදී, ඊළඟ කරුණ විදිහටය ‘මං’ යොදා ගැනෙන්නේ. ඇයි? මං වහන්සේ ගැන- මං වහන්සේගේ ගොඩක් දේවල්වලට මමවත් ස්තුති කරගන්නට එපැයි!
මගේ වාසනාවට / තීක්ෂණ මතකයට / ඔරොත්තු දීමේ හැකියාවට / උයන-පිහන, ලියන-කියන, නටන-ගයන හැකියාවන්ට / ආකර්ශනීය භාවයට වගේ අටෝරාශියක් දේ ඒ තුති පුද ලබන්නා වූ දේවල් අතර තිබෙයි.
ඒ හැම දෙයක් වෙනුවෙන්ම පළමුවෙන් මටත්, දෙවනුව
විශ්ව ජීවන ශක්තියටත් ස්තුතිවන්ත වෙන්නෙමි.

භාවනාවට වෙලාව හා නිදහස වැඩියෙන් තිබෙයි නම්, ස්තුති කරන්නට දේවල් අප වටා එමට තිබෙන විත්තියත් මට මතක් වෙයි.

මගේ නිවහන, ගේදොර බඩුමුට්ටු, ඇඳුම්-කැඩුම්, වත්තේ ගහකොළ විතරක් නොවේ ‘මේ අකුරු කරන කොම්පියුටරේ’ පවා මවිසින් අගය කළ යුතුයි නේද?
මට අනුව නම් අජීවී බඩු-භාණ්ඩවලට පවා අපේ හැඟීම් දැනෙයි.

2021 අවුරුද්දේ මැයි 8 වෙනිදා, හිතවත් Sam පෙරේරා සහෘදයා blog post එකකට එවාපු විරල ගණයේ comment එකක් මං සුරැකිව අරං තියාන හිටියා. ස්තුතිය ගැන පෝස්ටුව ලියනකොට ඔබන්න. මේ ඒකය:

ලංකාවේ "සියලුම" පොලිස් නිලධාරීන් හෝ රථවාහන පොලිස් නිලධාරීන් දූෂිතයන් නොවෙයි. නමුත්, බහුතරයක් දූෂිතයන් නිසා ඉතාම හොඳ, නීතිගරුක ගුණයහපත් නිලධාරීන්ගේ යහගුණයන් යටපත් වෙනවා. මගේ මතකයෙන් කතාවක් ලියන්නම්.

80 දශකයේ දිනක අපේ අසල්වැසි ගෙදරක වයසක ගැහැණු කෙනෙකුට අංසබාගේ (සිංහලෙන් කියනවානම් ස්ට්‍රෝක් එකක්) හැදුනා. ඒ තැනැත්තියගේ දුව, ටෙලි නාට්‍යවල රඟපෑ ලස්සන තරුණියක්. (ඒ කාලේ අපේ වයසේ හැටියට එයා ළඟින් හිටියත් සැපයි.) එයා ඇවිත්, අනේ මල්ලී, අම්මාට අසනීපයි, ඉස්පිරිතාලේ අරං යමු කීවාම, එයාව මහ ඉස්පිරිතාලෙට අරං ගියා.

වේගයෙන් එලවන්න ආසාව තිබුනාට, ඒකට හේතුවක් නැතුව ඉන්න මට, මේ වාගේ අවස්ථාවන් ලැබෙන්නේ කලාතුරකින් නිසා එයින් උපරිම ප්‍රයෝජන ගන්න මම මැලි උනේ නැහැ. සති අන්ත දවසක් වෙච්ච එදා, නුගේගොඩ හංදියේ පාර පනින කහ ඉරේ මම නැවැත්තුවේ එතන පාර මැද හිටපු පොලිස් රාලහාමිගේ අවධානය යොමුවෙන විදියටයි. හෙඩ් ලයිට් දාගෙන ඉන්න මගේ වාහනය දිහා බලාපු ඒ රාලහාමිට, "අමාරු ලෙඩක්, මම ඉස්පිරිතාලේ යනවා " කියලා කෑ ගහලා කියපුවාම, ඒ "පොලිස් මහත්තයා" පාර පනින මිනිස්සුන්ටත්, ඉස්සරහින් තිබුන වාහනවලටත් 'මේ වාහනේට යන්න ඉඩ දෙන්න' කියලා කෑ ගහලා, මට ඉඩ අරං දුන්නා.

මිනිස්සුන්ට උදව් කරන කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ!

ලෙඩාව දාලා ආපහු එනකොට, ඒ රාලහාමි පැට්‍රෝල් ෂෙඩ් එක ගාව, පෙට්ටි කඩේ ළඟ ඉඳගෙන ඉන්නවා. මම එයා ළඟට වාහනේ අයින් කරලා නවත්තලා කතා කළා. ලෙඩාගේ විස්තර අහලා, එයා තේ එකක් බොන්න කියපුවාම මම කිව්වේ, මගේ ළඟ මුදල් පසුම්බියවත්, සල්ලි සතයක්වත් නැති බවත් කොට්ටාවට යන්න තරමට ඩීසල් තියනවාද කියන එකවත් විස්වාස නැති බවයි. ඒ පොලිස් "මහත්තයා" මට කියාපු වචන ටික මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

"මිනිස්සුන්ට උදව් කරන කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ. ඔයා මගේ ගානේ තේ එකක් බොන්න. ඩීසල් මදි වෙයි කියලා හිතනවානම් මම ෂෙඩ් එකෙන් ලීටර් දෙකතුනක් ඉල්ලලා දෙන්නම්. පස්සේ ඇවිත් සල්ලි දෙන්න, අපි කවුරුත් මැරෙන මිනිස්සු. කෙනෙකුට උදව්වක් කරන්න බැරි නම් මනුස්ස ජීවිතයෙන් වැඩක් නැහැ."

මේ කියමන මගේ මුළු ජීවිතය පුරාම මම ආදර්ශ පාඨයක් ලෙසට සලකනවා.(නමුත්, ලංකාවේ පොලිසියේ බහුතරයක් මෙහෙම නොවන බවත් අවධාරණය කරනවා.)’ 

සෑම් පෙරේරා මහතා ‘නිදිගෙ පංච තන්තරේ’ට වගේම තවත් blog අඩවි ගොඩකටමත් comments එවූ රසිකයෙක්. නමුත්  කාලයක සිට කිසිම තැනක එතුමාගේ නම දකින්න ලැබුණේ නෑ. හේතුවක් නම් හිතා ගන්න බැරි වුණත්, එතුමන්ටත් ගොඩාරියක් ස්තුතිවන්ත වෙමිනුයි, මේ උපුටනය මෙතැනට යෙදුවේ. ස්තුතියි!!!

Post එකේ අන්තිමටම, මෙතෙක් සඟවාගෙන සිටි රහසක් කියන්නට හිතෙයි.
මේ ‘බ්ලොගය කියවන හිතාදර පාඨක ඔබ සැමටත් ප්‍රමෝදය අත් වේවා’යි කියන වැකියකුත් මා නිතිපතා කරන භාවනාවේ ප්‍රාර්ථනයට ඇතුළත් වෙන බවයි ඒ෴0෴

Thursday, February 23, 2023

ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!

“අම්මව දෙනවයි කිව්වා නං තාත්තව ගස් බැඳලා හරි දියං පුතේ!” අපේ තාත්තා අපට ඉගැන්නුවේ එහෙමය.

ඒ කීමේ උඩින් කියවෙනවාට වැඩි දෙයක් යටින් කියවෙන බවයි, ඒ කාලේ හිටම මට දැනුණේ. ‘කරන්නට බැරි දෙයක් කරනවයි කියල නොකියා හිටපං! යමක් කියන්න කලින් දෙතුන් වතාවක්වත් හිතා බලපං!! යමක් කරනවයි කිව්වා නං බෙල්ල ගහලා ගියත් ඒක කරපං!!!’ අපේ තාත්තාගේ කීමෙන් මං වහන්සේ අරගත්තු පාඩම් දෙක-තුන එහෙමය.

අවුරුදු 823කට වාරයක් එළඹෙනවා යැයි කියන මේ පෙබරවාරියේ මුලම දවසකත්...

ඒ වුණත් හිටි ගමන් ඔය පාඩම මට අමතක වෙන වෙලාවලුත් එයි!

අවුරුදු 823කට වාරයක් එළඹෙනවා යැයි කියන මේ පෙබරවාරියේ මුලම දවසකත් මට එහෙම වුණේය.
(දැන් ඉතිං ඉස්සෙල්ලම මේ පෙබරවාරියේ විශේෂත්වය කියලා හිටින්නට වෙයි).

මේ පෙබරවාරි මාසයට සඳුදාවන් හතරකි; අඟහරුවාදාවනුත් හතරකි. බදාදා- බ්‍රහස්පතින්දා- සිකුරාදා- සෙනසුරාදා- ඉරිදා දවසුත් හතර බැගින් මේ පෙබරවාරි මාසයට තිබෙයි! ආයෙමත් මෙහෙම පෙබරවාරි මාසයක් එන්නේ 2846දීය.
එතකොට මේ ලියන මං වහන්සේ කොහේ- කොහොම ඉඳීවිදැයි අනුමාන කර ගන්නටවත් මට නං බැරිය. හැබැයි අනාගතයේ අවුරුදු ගණනාවක් ගැනත් කියන්නට හැකියාව ඇති; තව චිරාත් කාලයක් ජීවත් වෙන්නට බලා ඉන්නා ජනපෙතිතුමෙක් දැන් පහළවී සිටියි. උන්නැහෙව මුලිච්චි වෙන වාසනාව මේ ලියන මොට්ට ගොබිලාට ලැබුණොත්...
එතුමාගෙන් අහන්නේ ‘එතකොට සිරි ලංකාව කොහොම තියෙයිද’ කියලාය! (උන්නැහෙ හිතන්නේ එතුමාට අමර වරමක් ලැබිලා කියලාය!)

අවුරුදු පහක් තිස්සේ ‘නිදිගෙ පංච තන්තරේ’ට blog posts 565ක් ලියලා තියෙන නිසා, මං හිතුවේ මේ post එක ලියන එකත් අමාරු නොවෙනු ඇතියි කියලාය.
“දහනායක මහත්තයෝ. මෙහෙම අහන්න සුදුසු වෙලාවක් නං නෙවෙයි මේ. ඒත්... අහනවා. කමක් නැද්ද මම නදීකා ගැනත් blog එකට ලිව්වට.” මම උපුල දහනායක හිතවතාගෙන් ඇසුවෙමි. (
විදුරංග ගැන මට කීවේත් මේ දහනායක හිතවතාය.)

“අනේ නිමල් අයියේ, ඔයාට ඕනි දෙයක් ලියන්න....” එතකොට දහනායක කිව්වේය.
ඒ නදීකාගේ මෘත දේහයේ උණුසුම නිවෙන්නටත් කලින්මය.

මට මෙහෙම පෝස්ටුවක් ලියන්නට හිතුණේ දහනායකගේවත්, නදීකාගේවත්, පුතාලා දෙන්නාගේවත් හිත හොඳ කරන්නට නොවේ. ඒ පවුලේ තිබුණු- තවමත් තියෙන අතිශය සොඳුරු බව නිසාය. ආදරණීය බව නිසාය. මට හිතෙන විදිහට නම්, ඒ සොඳුරු බවට; ඒ වාසනාවන්තකමට ප්‍රධානම හේතුව නදීකා නංගිය.

ඒ කැදැල්ලේ සිරියාවන්තකම ගැන පාඩම ලොවටම කියන්නට.. (2023 ජනවාරි 22 බෙල්ලන්විලදී)

මා ඇය ගැන ලියන්නේ ඒ කැදැල්ලේ සිරියාවන්තකම ගැන පාඩම ලොවටම කියන්නටය. (මේ සොඳුරු බව අපේ පවුලේ නම් කොයි- කවරදාකවත් නොතිබුණු බව නිදිගෙ පංච තන්තරෙන්-  නසරානි මගේ ජීවිත කතාව කියවා ඇති දයාබර පාඨක ඔබට දැනටමත් රහසක් නොවේ.) අද්‍යතන පරම්පරාවට පෙන්වා දිය යුත්තේ මෙවන් ආදරණීය; ආදර්ශවත් ප්‍රේමයන්; පවුල් සංස්ථාවන් ගැනයි! බිතු සිතුවම් රූ විලස පිටු නොපා පවතින මිතුරුදම් ගැනයි, වෙසෙසින් උලුප්පා දැක්විය යුත්තේ!!    

ඉතිං, නදීකා නංගිගේ අකල් වියෝව කම්පනයක් වුණාට මේ තරමටම හද පාරවන කම්පනයකියි, මට හිතුණේ නැත; දැනුණේත් නැත. සති දෙකක්ම ගත වී ඇතත්, මා ඇය ගැන මේ පෝස්ටුව ලියන්නේ පුදුමාකාර අසීරුවකිනි.
සහතිකය! දවස් කීපයක් තිස්සේ එක අකුරක්වත් කොටා ගන්නට බැරිවය මං හිටියේ. දැනුත්... විටින්-විට නවත්තමින්ය, මේ පෝස්ටුව ලියන්නේ.

‘එක්වීමක රැඳෙයි වෙන්වීමක සේයා
හැටි එහෙමයි සුහද, මේ ලෝකයෙ මායා’ ඉස්සර ඉස්කෝල කාලේ සිසු-සිසුවියන් අතර හුවමාරු වුණු ‘සමරු පොත්’වල නොවරදවා දකින්නට හැකි වුණු කවි දෙපදයක් මට ආයෙමත් මතක් වෙන්නේ ඇයි? ඒ සනාතන දහම පරම සත්‍යයකියි දැනගෙන හිටියත් එය පිළිගන්නට මගේ සිත මැළි වෙන්නේ ඇයි?

අවුරුදු 49 කියන්නේ මැරෙන්නට වයසක්ද? නදීකා මියගියේ එවන් අඩු වයසකදීය.

“අනේ නිමල් අයියේ, නදීකා අක්කගේ මරණේ ගැන ආරංචි වෙච්ච ගමන්ම මට හිතුණේ හෙට අපිට මොනවා වෙන්න බැරිද කියලයි.” ප්‍රියන්තගේ බාලම නැඟණිය මැණිකේ මළ ගෙදරදී මට කිව්වාය.
“ඇත්තමයි, ජීවිතේ ගැන හරියටම තේරුම් යන්නෙ මේ වගේ වෙලාවටයි නිමල් අයියේ.” තවත් අරුත්බර ප්‍රකාශයක්. කෙරුණේ කාගෙන්දැයි නිශ්චිතවම මතක නැත. රසිකා, මාලිකා, දිනේෂා, බබිතා, උදේනි වගේ ගොඩ දෙනෙකු එහෙමත් හූල්ලමින් එතැන හිටි විත්තිය නං මට මතකය.

නදීකාගේ මෘත දේහය තැන්පත් කර තිබුණේ බොරලැස්ගමුව මල් ශාලාවේය. ආදාහනය කෙරුණේ උඩහමුල්ල පොදු සුසාන භූමියේ ආදාහනාගරයේය.

මඟදි මොනවා වෙයිද කියලා කවුද බං දන්නේ?

“අපේ අම්ම මරණය ගැන හිතුවේ හරිම සැහැල්ලුවෙන්. අපි ගෙදරින් එළියට යනකොට කියනවනෙ ‘යන්නං’ කියලා. දවසක් ඒක ඇහුණාම කරුණා නැන්දා කිව්වා ‘එහෙම කියන්න හොඳ නෑ රෙහාන් පුතේ. ගිහිං එන්නම් කියල කියන්න’යි කියලා. අංකල්ලා දන්නවද එතකොට අපේ අම්මා හිනාවෙලා කිව්ව දේ.

‘ඔහෙ කියපුදෙන් කරූ, මඟදි මොනවා වෙයිද කියලා කවුද බං දන්නේ?’”

මරණය ඕනෑම මොහොතක අප සොයා පැමිණිය හැකි බව නදීකා දැනගෙන හිටියාද? “අපේ ආච්චියි සීයයි, අම්මයි තාත්තයි ඔක්කොමලා ඉන්නේ උඩහමුල්ලේ කනත්තෙනෙ. මම මළාමත් එහෙට ගෙනියන්න.” නදීකා නිකමට වාගේ පුතාලාට කියා තිබිණි.

“පෙබරවාරි හය වෙනිදත් අම්මගෙන් මරණෙ ගැන කතාවක් කියැවුණා, නෙවිල් අංකල්. අම්මා අයියගෙනුයි, මගෙනුයි ඇහුවා හදිසියේ මං මළොත් ඔයාල මොකද කරන්නෙ කියලා. අයියා කිව්වා කාගෙ කවුද දන්නෙ නැහැයි කියල body එක ඉස්පිරිතාලෙකට ගිහිං බාර දෙනව- එතකොට කරදර අඩුයිනෙ කියලා. තාත්ත ගෙදර ආව ගමන්ම අම්ම එයාටත් කිව්වා ‘බලන්න සුදූ, මුන් දෙන්නා මට සලකන්න යන විදිහ’ කියල. එතකොට තාත්තත් අපේ පැත්තටම කතා කරලා අම්මව ඇවිස්සුවා.”

මරණය ගැන නිතර කතා කළ නදීකා නංගිට, බොරලැස්ගමුව මල් ශාලාවේදී අවසන් ආචාරය පුදන්නට ගිය මට සිදු වුණේ කිසිසේත් බලාපොරොත්තු නොවුණු දෙයකි. මරණ මංචකයේ වැතිර සිටි නදීකා නංගීගෙන් පළ වුණේ පුදුමාකාර සජීවී බවකි. ඒ සජීවී මුහුණ දෙස එක නිමේෂයකට වඩා බලා හිඳින්නට ශක්තියක් මට තිබුණේ නැත. මම වහාම ආපසු හැරුණෙමි.

ඔයා අපට නම් ටික ලියල දීපු කොළෙත් නදීකා ළඟ තවම තියෙනවා.

“ඒ තරමටම එයා පණ පිටින් වගෙයි  හිටියේ.”

“ගොඩ දෙනෙක් ඔය කතාව මට කිව්වා. කොච්චර දුකෙන් අඬ-අඬා හිටිය වුණත් අම්මව ලස්සන කරන්න එයා කැමතිම සාරිය, ලිප්ස්ටික් එකේ ඉඳල හැම දේම තෝරලා දුන්නේ අපේ රෙහාන්.” එතකොට දහනායක කීවේය. රෙහාන් ඔවුන්ගේ බාල පුතාය. දහනායක ජෝඩුවට ඉන්නේ පුතාලා දෙන්නෙකි. ලොක්කා මයංකය. පොඩ්ඩා රෙහාන්ය.

“නිමල් අයියට මතකයිද? අපේ ලොකු පුතා මයංක ඉඳුවරට නම තියද්දී ඉඳුවර කෑල්ල දැම්මෙත් ඔයා! ඔයා අපට නම් ටික ලියල දීපු කොළෙත් නදීකා ළඟ තවම තියෙනවා.” (ඒ කොළයේ foto එකකුත් මට එවීම ගැන ගොඩක් ස්තුතියි දහනායක මහත්තයෝ!)
“අනේ මට නං මතකයක් නෑ, දහනායක. හැබැයි ඒකෙන් අපේ යාළුකම්වල පරණකම නං පේනවා...” එවෙලේ මම කීවෙමි.
“ඒ හින්දනෙ මේ දවස් ටිකේම ඔයාලා හැමෝම අපිව තනි නොකර ඉන්නෙත්...” දහනායක කියද්දීය, මට එහි විශේෂත්වය දැනුණේ.

අවුරුදු 25ක් ගතවෙලාත් ඒ ෆොටෝ ෆ්‍රෙන්ඩ්ස් මිතුරුදම් තවමත් එහෙමමය. (වමේ සිට- අජන්ත, නෙවිල්, සමන්, මංජුල, ජනක, රංග, චූටි මල්ලී, දහනායක, ඉන්දික හා දිල්රුක්ෂි)

දහනායකව මට හමු වුණේ 1998 වසරේ WAL ප්‍රියන්ත හිතවතා Photofriends ආයතනය පටන් ගත් දවසේය.

අවුරුදු 25ක් ගතවෙලාත් ඒ ෆොටෝ ෆ්‍රෙන්ඩ්ස් මිතුරුදම් තවමත් එහෙමමය. හත්දොහේ බණ දවස වෙන තුරු හැම රෑකම අපේ මිත්‍ර සංසදයේ අයත් ඒ ගෙදරය. අපි එයාලා තුන් දෙනාත් එක්ක මදිය නොකියන්නට අල්ලාප-සල්ලාපයේ යෙදුණෙමු; මතකයන් පීරුවෙමු. 

“රෙහාන් මොකද කියන්නෙ දහනායක... මේ සැරේ A/L විභාගෙ ලියලත් ඉවර නැහැ නේද?”
“රෙහාන්ගේ ටීචර්ලයි, යාළුවොයි හැමෝම ඇවිත් ඇවිත් මිනිහගෙ හිත හදනවා. හත් දවසේ දානෙත් අපි දවසක් ඉස්සරහට ගත්ත. ඊට පහුවදා තමයි එයාට ආයෙම subject එකක් තියෙන්නේ.”
“එයානෙ අම්මට වැඩියෙන්ම attached...”

“වැඩියත්ම ඒක වුණේ කොරෝනා නිසා. ඉස්කෝල වහල නිසා රෙහාන් ගෙදර ඉන්න කාලේ වැඩි වුණා. මමයි, මයංකයි උදේ වැඩට ගියාට පස්සේ ඒ අම්මයි පුතයි දෙන්නා තමයි දවසෙන් වැඩි හරියක් එකට හිටියේ. ඔයා දන්නවද නිමල් අයියේ- කොහෙ හරි යනකොට නදීකාට අඳින්න ඇඳුම් පවා තෝරලා දුන්නේ අපේ රෙහාන්. ඇඳුමට ගැලපෙන hand bag එක, lipstic එක, කියුටෙක්ස් එක... ඔක්කොටම අම්මට advice කළේ රෙහාන්. ඒ සේරම නදීකා ඇහුවෙත් රෙහාන්ගෙන්.”

“දහනායක, දවසක් ඔයාලා අපේ ගෙදර ආව වෙලාවේ නදීකා මට කිව්වා මතකද, අනුරාධපුරේ ටීචර් කෙනෙක් ගැන. මට හිතෙන හැටියට නං එයාලත් මෙහෙ ඇවිත් ඉන්න ඕනි... එදත් මම නදීකාට කිව්වා- මට එයාලව දකින්න ආසයි කියල....” ආදාහනය දවසේ රාත්‍රියේ ඉස්පාසුවක් ලද සැණෙන් මට කියැවිණි.

“එන්න... එන්න... එයාලා කට්ටියම ඇවිත් ඉන්නවා. නදීකා නැති වෙන්නත් කලින් කරුණා මිස් මෙහාට ඇවිත් හිටියේ... නදීකාට සනීප මදි විදිහක් තියෙද්දී. එන්නකො. මම ඔයාට එයාලව අඳුන්නලා දෙන්න.”

කරුණා පියසීලී මිස් විතරක් නොවේ, ඇයගේ ලොකු පුතණු හර්ෂ ප්‍රියංකත්- දෙවැන්නා අසේල සම්පතුත්- දියණිය නිසංසලා මධුමාලිත්, ඔවුනගේ පවුල්වල සාමාජිකයනුත් එදා රාත්‍රියේ මට හමු විණි. තොරතුරු රැසක්මත් කියැවුණේ මගේ මතකයන් අලුත් කරවමිනි.

අපේ යාළුකම පටන් ගනිද්දී මෙයාලා පුංචියි. (කරුණා මිස් පුතාලා දෙදෙනාත් දියණියත් සමඟ)

“අපේ යාළුකම පටන් ගනිද්දී මෙයාලා පුංචියි. නදීකා මෙයාලගේ දෙවෙනි අම්මා. එයා මේ තුන් දෙනාටම සැලකුවෙත් එයාගේ පුතාලා දෙන්නට සලකපු විදිහටයි.” කරුණා මිස් කිව්වේ කඳුළු පිසිමිනි.

“අපේ පොඩ්ඩා; අසේල පුතා හදිසියෙන් මෙහාට ඇවිත් තිබුණු වෙලාවේ තමයි දැනගෙන තිබුණේ නදීකා මිස්ට සනීප මදි බව. පුතාලා කොළඹ ආවොත් මෙහාට ගොඩ වැදිලමයි යන්නෙ... ඉතිං අපේ පොඩ්ඩා ඒ වෙලාවේම මට කෝල් කළා. මිස්ට අසනීපයි වගේ කියලා.

-එයා තමයි, ගෙදර ආව ගමන්ම මට බල කරලම කිව්වේ ‘නදී මිස්ගේ කකුලක් හොඳ මදි අම්මේ. මිස්ට බැරි වෙලාවේ අම්ම එහාට යන එක මිස්ටත් උදව්වක් වෙයිනෙ කියලා... රෙහාන් මල්ලිත් විභාගෙ කරන නිසා අම්මා ගියොත් උයන-පිහන වැඩක් වුණත් කරලා උදව් වෙන්න පුළුවනිනෙ. එහෙමනෙ යාළුවන්ට සලකන්න ඕනි කියලත් පොඩ්ඩා කිව්වා.
නිමල් අයියේ, අපේ තාත්තත් ඉන්නේ අපේ ගෙදර. තාත්තට දැන් 86ක්. ‘මං කොළඹ ගියොත් කිරි අත්තව බලන්නෙ කවුද පුතේ’ කිව්වමත් මේ දරුවෝ තමයි කිව්වේ, අපේ තාත්තව මගෙ සහෝදරයෙක්ගේ ගෙදරට ඇරලවලා මෙහෙ එන්න. ඉතිං මම පස්වෙනිදා පාන්දරම මෙහෙ ආවා...

-ඒ ආව ගමන්මයි තාම මේ...”

1996 විතර කරුණා පියසීලී ගුරුතුමිය අනුරාධපුරයේ, පරසංගස්වැව ඉස්කෝලයේ සේවය කරමින් හිටිද්දීය නදීකා මල්කාන්ති සමරසිංහ මෙනෙවියටත් එහාටම ගුරු පත්වීමක් ලැබුණේ. ඒ වෙද්දීත් නදීකා උපුල හා පෙමින් වෙළී හිටියාය. මා දන්නා තරමින් ‘සුදු අයියාගේත්- ලොකු නංගිගේත් පළමු හා එකම ප්‍රේමය’යි ඒ.

“ඔව්! අපි එතකොට හිටියේ නදීකලගේ ගෙදරක් කුලියට අරං. ලොකු නංගිත් එක්ක love එක පටන් ගනිද්දී මට අවුරුදු 14යි. එයාට 13යි. ඒ 1986. ගෙවල් දෙකෙන්ම මුලින් විරුද්ධකමක් තිබ්බෙ නෑ. පස්සේ නදීකලගේ තාත්ත අකමැති වුණා. එයා කෙලින්ම මට කිව්වා ලොකූ එක්ක කතා කරන්නවත් එපයි කියලා. ඒත් ලොකූල අම්මා නං තාත්තට කියල තිබුණ, කොල්ලගෙ වරදක් නැහැනේ කියලත්.
ඒත් අපි දෙන්න කතා වුණා ‘තාත්ත එපා කියනවා නං අපි කතා නොකර ඉඳිමු’ කියලා. ඊට පස්සේ අපි දෙන්නා වචනයක්වත් කතා නොකර අවුරුදු දෙකහමාරක් විතර හිටියා.”

ගෙවල් දෙකේම සේරමල කැමති වුණාමයි 1998 අපි කසාද බැන්දේ...

“අවුරුදු දෙකහමාරක්? කතා නොකර... එක ළඟ ගෙවල් දෙකක... හිතෙන් විතරක් love කර කර?”

“එහෙම තමයි අපි කළේ.” දහනායක නිවීහැනහිල්ලේ හිනාවකින් මුව සරසාගෙන නෙවිල්ටත් මටත් කීවේ මයංක- රෙහාන් දෙන්නාමත් ඉදිරියේය.

“හැබැයි හැමදාම උදේ හයට මම ඉස්කෝලේ යන්න එළියට බහිනකොට නදීකා මට පෙනෙන්න වත්තේ කොතැනක හරි ඉන්නවා. ඉස්කෝලේ ඇරිලා දෙකහමාරට ගෙදර එනකොටත් එයා මට පෙනෙන තැනක ඉන්නවාමයි! පස්සේ ගෙවල් දෙකේම සේරමල කැමති වුණාමයි 1998 අපි කසාද බැන්දේ.”

මේ දෙදෙනාගේ ආදරයේ වපසරිය හෙළිදරව් කෙරෙන තවත් කතන්දරයක් ඒ වෙලාවේම අපට කිව්වේ, පුතාලා දෙදෙනා එකතු වෙමිනි. ‘තාත්තා වැඩට යන්න එළියට බහින්න හදනකොට අම්මා දොරකඩට එනවා. / එතකොට තාත්ත අම්මට kiss එකක් දීලයි එළියට බහින්නේ. / තාත්තට පරක්කු වෙච්ච දවසකවත් ඒ රූටින් එක කඩන්න බෑ...’

“ඔව් අයියේ, හැබැයි ලොකූ මොකුත් කියන්නෙත් නෑ... කාර් එක ළඟට එන්නෙත් නෑ. ඒ වෙලාවට මමම එයා ළඟට ගිහිං kiss එක දෙන්න ඕනි!
ඒ විතරක් නෙවෙයි, හැමදාම නින්දට යන්න කලිනුත් මම එයාගේ කම්මුලට kiss එකක් දෙනකල් නදීකා නිඳා ගන්නෙ නෑ.”

කාලය ඉකුත් වෙද්දීත් නොනැසී; නොබිඳී එක ලෙස එක දිගටම පවතින මෙවන් අසිරිමත් ගේහසිත ප්‍රේමයක් පවුල් කීයක් අතර නම් දැකගත හැකිද?

ඉතිං, ආයෙමත් අපි පරසංගස්වැව පාසල් කාලයට; 1996ට යමු...
“නදීකා නැවතිලා හිටියේ අනුරාධපුරේමයි. ඒත් ටික දවසකින්ම එයා කරුණා මිස් එක්ක හොඳටම යාළු වුණා. එයාලගේ ගෙදරට නවතින්න ගියෙත් මං එක්කම.” දහනායකගෙන් කියැවුණේය.

“ඇත්තමයි සුදු මහත්තයෝ, මට අදටත් හිතා ගන්න බෑ නදීකා මගෙත් එක්ක එච්චර හිතවත් වෙච්චි හැටි.” කරුණා මිස් සුදු මහත්තයායි කියන්නේ දහනායකටය. “සංසාරේ පුරුද්දක් වෙන්නැති, අපේ යාළුකම.”

“සුදු මහත්තයත් දැක්කනෙ, එතකොට අපේ මැටි ගෙදර හැටි. අනේ, නදීකා අපේ ගෙදර හැටි ගැන- තිබ්බ අඩුපාඩුකම් ගැන කිසි තැකිල්ලක් කළේ නෑ. මේ දරුවෝ තුන් දෙනාත් එක්ක එක ඇඳක නිදා ගත්තා. මේ දරුවොත් එතකොට පොඩියිනේ... හිටි ගමන් ඇඳේම තෙමනවා. ඒවත් නදීකා ඉවසුවා... මට හොඳටම පුදුම හිතුණේ මෙහෙ ඇවිත් නදීකලගේ ගෙවල්- දොරවල් දැක්කම. එච්චර සැප-පහසුවට හිටි කෙනෙක් කොහොමද අපේ වගෙ දුප්පත් ගෙදරක අඩුපාඩු දරාගෙන හිටියේ...”

ඒ පොතෙන් කියවෙන පරිදි සසර පුරාම අප සැරිසරන්නේ සමීපතමයන්...

‘එක ජාතියේ කුරුල්ලෝ එක අත්තක වහනවා’යි කියන කතන්දරේ වලංගු වෙන්නේ මේ වගේ තැන්වලටය. Blog එක කියවා හිතවත් වුණු සිරිබිරිස් උන්නැහේ ‘එක ෆ්‍රීකුවන්සියේ අය එකට එකතු වෙනවා’යි විටෙක කිව්වෙත් ඒ අදහසින්මය.

ඩී.බී. කුරුප්පු මහත්තයා සිංහලයට නැඟූ ‘පෙම පමණයි සැබෑ වන්නේ’ කෘතියෙන් ඒ අදහස තවත් විස්තාරණය කෙරෙයි. (පිටපත් විසි ලක්ෂයකට වඩා අලෙවි වී ඇති Dr Brian Weissගේ ‘Only Love is Real’ පොතේ අනුවාදයයි ඒ.) ඒ පොතෙන් කියවෙන පරිදි සසර පුරාම අප සැරිසරන්නේ සමීපතමයන් සමඟිනි. ඔවුහු; ඒ ආත්ම සගයෝ විටින්-විට අපට සම්මුඛ වෙති; අප හා ගනුදෙනු කරති...

ඒ කතාව ඇත්තක් යැයි එදා රාත්‍රියේදීත් මට සිතුණි.
“මේ ඉන්නේ අපේ නිසංසලා දුවගේ මහත්තයා. එමිල්. එයත් අනුරාධපුරේමයි.” කරුණා මිස් කීවාය.
‘පණ බේරූ කිරිල්ලී’ ලිපියෙන් ඔබට කියැවුණු අරුණ දිසානායක සහෘදයා ගැන මට යළිත් මතක් වුණේ ඒ වේලාවේය.

“ඔයාලා කල්ලන්චියේ අරුණ දිසානායක සර් ගැන දන්නවද?” මම ඇසුවෙමි. බලාගෙන යද්දී අරුණ එමිල්ගේත් මිතුරෙකි. අපේ ආගිය කතාබහ තවත් සරුසාර වුණේ එතකොටය!

අප යළි යළිත් එක්වන ආත්ම සගයන්ද? අපේ ආත්මයන් එකම ෆ්රීකුවන්සියකට සුසර වී තිබෙන ඒවාද?     

එතනදී මඟ නොහැරම කියන්නට වෙන්නේ නදීකා නංගිත් මා වැනිම පොත් කාවෙකු බවයි. මා දන්නා හොඳම පොත් කියවන්නිය වුණේ ඇයයි. නදීකා කළේ පොත් බැලීම හෝ පොත් පෙරළීම හෝ නොවේ; කියවීමයි. එසේම ඇයගේ කියවීමේ වේගයත් පුදුම සහගතය.
ලේසියෙන් කෙනෙකුට පොතක් නොදෙන මං වහන්සේ ලෝබ නැතිවම, නදීකා නංගිට කියවන්නට පොත් දුන්නේ දුසිම් ගණනෙනි. ඒවා කියවීම මෙන්ම පරෙස්සම් කිරීමත්, ආපසු ලබා දීමත් නදීකාගේ සිරිත වුණු බැවින්ය ඒ.
අම්මාගේ පොත් කියවීමේ පුරුද්ද එහෙම පිටින්ම මයංකටත් දායාද වෙලාය!

නදීකා පොතපතට; දැනුමට දැක්වූ ලොල් බව භෞතික සැප-සම්පත් කෙරෙහි නොදැක්වීමය පුදුම!  

“අපි යාළු වෙලා හිටි කාලේ වගෙමයි, කසාද බැඳපු දවසේ ඉඳලමත් ලොකූ කිසිම දේකට මට වද දුන්නෙ නෑ, නිමල් අයියේ. අරවා ඕනි- මෙව්වා ඕනි කියල කන්කෙඳිරි ගෑවෙ නෑ. අපි තියෙන විදිහට සතුටින් ඉඳිමු කියලයි නදීකා හැම තිස්සෙම කිව්වේ. කිසිම දවසක එයා මට යෝජනා කරලා නෑ, මේ පරණ ගේ කඩා දාලා අලුත් එකක් හදා ගනිමු කියලවත්. ඒකයි මට දුක.

-දැන් මයංකත් රස්සාවක් කරන නිසා අපි ඔළුව උස්සන්න පටන් ගත්තා විතරයිනෙ.

ආදරයට ජීවිතයම ප්‍රීතිමත් කළ හැකි බව මේ කුටුම්බයේ හතර දෙනාම මැනවින් දැනගෙන උන්හ
-ඔයාට කියන්න, ලොකූ රත්තරන් බඩුවලටවත් ආසා කෙනෙක් නෙවෙයි. අපි බැඳපු අලුත මං එයාට රත්තරන් බඩු ටිකක් හදවල දුන්න. ඒවගෙනුත් එයා පරෙස්සං කළේ මඟුල් මුද්ද විතරයි. කරාබු ජෝඩුවවත් නොදා හිටියේ. දවසක් නදීකලගේ අම්මා එයාට හොඳටම දොස් කියනවා මටත් ඇහුණා. ‘මිනිහා මැරිච්ච ගෑනි වගේ උඹ කරාබු ජෝඩුවවත් නොදා ඉන්න හැටි!’ එහෙමයි එයාලගෙ අම්මා කිව්වේ.

එදා හිටම නදීකා කරාබු ජෝඩුව නං දැම්මා. හැබැයි එයාට හොඳටම දුක හිතිලයි හිටියේ ‘මිනිහ මැරුණු’ කතන්දරේ ගැන.” දහනායක කියාගෙන ගියේය.

“මගෙ යාළුවෙක් එයාගේ wifeගෙ රත්තරන් බඩු උගස් කළා ණයක් ගන්න. මිනිහට ඒක බේරලා දෙන්න බැරි වුණාම, වයිෆ් කොච්චර කියවන්න ගත්තද කියනවා නං ඒ හස්බන්ඩ් පිටරට රස්සාවකට ගියා වැඩියෙන් හම්බ කරන්න. මම හදිසියකට රත්තරන් බඩු උගස් කළත්, ලොකූ නං නෙවෙයි කවදාවත් ඒව ගැන මතක් කළේ.”

‘මුතු මැණික් රන් කුමන පලේ - හදවතට සහනය නැත්නම්//
මාළිගාවෙ රාජ සම්පත් ඕනි නෑ// - ජීවිතේම
ප්‍රීතිමත් කරන්නෙ ආදරේ//’ සුජාතා අත්තනායක ස්වකීය මධුර ස්වරයෙන් ගැයූ ‘සංධ්වනියක් බඳු ගීතය’ නදීකා නංගීගේත් හද දිනූ එකක් වෙන්නට ඇතැයි මට සිතේ. ආදරයට ජීවිතයම ප්‍රීතිමත් කළ හැකි බව මේ කුටුම්බයේ හතර දෙනාම මැනවින් දැනගෙන උන්හ. ඒ සඳහා අවශ්‍ය වන්නේ හැබෑ හැඟීමක්; පුංචි ක්‍රියාත්මක වීම් ටිකාක් පමණක් බව ඔවුහු හොඳින්ම තේරුම් ගෙන සිටියහ.

මේ එයට හොඳම නිදසුන්ය:

“තාත්ත එනකල් අපේ අම්මා හැමදාම බලාගෙන ඉඳලා කරන දෙයක් දන්නවද, නිමල් අංකල්. අම්මා දොර පිටුපස්සේ හැංගිලයි ඉන්නේ. තාත්ත ගෙට එනකොටම අම්මා ‘හඃ’ කියලා තාත්තගේ ඇඟට පනිනවා බය කරන්න.” ඒ සොඳුරු නිමේෂයන් ගැන රෙහාන් පුතා සිහි කරන්නේ ප්‍රහර්ෂයෙනි.

sweet මෙමරීස් උහුලගෙන ඉන්න...

“හැමදාම හරියට දවල් දොළහමාර විතර වෙද්දී, ඔන්න නොවැරදීම දහනායක අයියට call එකක් එනවා නදීකා අක්කගෙන්. දවල්ට කෑවද කියල අහලා.” දහනායක හා එකම වැඩ බිමේ සේවයේ නිරත වුණු පරාක්‍රම, රසික සම්පත්, අජන්ත, දිනේෂ්, නෙවිල් වැනි හැම කෙනෙකුම එකාවන්ව කියති.

“ඔව් නිමල් අයියේ, නදීකාට එහෙම කරන්න බැරි වෙන්නේ ඒ වෙලාවට අපේ ගෙදරට visitorsලා කවුරු හරි ඇවිත් හිටියොත් විතරයි... එහෙම වෙලාවට මමම එයාට කෝල් එකක් දෙනවා...” දහනායක අර කතාවලට එකඟ වෙයි.  

“නිමල් අංකල්, අම්මා හැම තිස්සෙම හිතුවේ අපි ගැන. හැමදාම මමත් වැඩ ඇරිලා එනකල් අපේ අම්මා මඟ බල-බලා ඉන්නේ. මමත් ඉතිං ගෙදරට ආව ගමන්ම කමිසෙ ගලවලා බැනියම පිටින්ම ඇවිත් අම්මව බදා ගන්නවා. එතකොට අම්ම බොරුවට මට බනිනවා- ‘යනව යනවා, කුණු දූවිලි පිටින්ම නේද මේ? Wash එකක් දාගෙන එනවා’ කියලා.
එදා හවසත් මම එහෙම කළාම වෙනද වගේ අම්මා මට සැර දැම්මෙ නෑ. මම ඒත් අම්මව බදාගෙන ඉන්න අතරෙම ඇහුවා ‘මොකද අද ඔයා මට බනින්නෙ නැද්ද?’ කියලත්. අම්මා හිනාවෙවී කිව්වා ‘අදට විතරයි!’ කියලත්...” ආදරණීය අම්මාගේ අවසන් සැඳෑව සිහිපත් කරමින් මයංක පුතා අදටත් සුසුම් හෙළයි.

“මං තාත්තට කියන්න ඉන්නේ අංකල්. ගෙදර මේ පැත්තෙ අපේ අම්මා තවමත් ඉන්නවා කියලමයි මට හිතෙන්නේ. ඒ sweet මෙමරීස් උහුලගෙන ඉන්න මට හරි අමාරුයි. මං හිතන්නේ ගෙදර අනිත් කොටසට අපි move වෙමුයි කියලා තාත්තට කියන්න.” WAL ප්‍රියන්තත්, මාත් සමඟ කතා කරමින් සිටියදී රෙහාන් කීවේය. (ඔවුන්ගේ ගෙදර යාබද කොටස් දෙකකින් යුක්තය.)

“අම්මයි මමයිනෙ වැඩියත්ම එකට හිටියේ- මේ කොටසේ...”
“ඉව්වේ- කෑම හැදුවේ..” මම ඌන පූරණය කළෙමි.

කාලයක් අපි තිදෙනා ටෙලිෆෝනයෙන් සංවාද කරමින්, නොයෙකුත් කෑම වට්ටෝරු අත්හදා බලන්නට හුරුව සිටියෙමු. ඒ දහනායකත් නෙවිලුත් මහරගම Lady J සාප්පු සංකීර්ණයේ ඉදිකිරීම් භාරව සිටි කාලයේයි. ඒ දෙන්නාම දවල්ට කෑම කන්නට අපේ ගෙදරට ආවෝහ. ඒ දිනවල දහනායකට පැවරී තිබුණු විශේෂ රාජකාරි දෙකකි. නදීකාත් රෙහානුත් එක්ව පිළියෙල කරන විසිතුරු විශේෂ කෑමවලින් කොටසක් අපට ගෙනෙන එක පළමුවැන්නයි; මං වහන්සේ හදන විශේෂ වෑංජනවලින් කොටසක් නදීකලාට ගෙනියන එක දෙවැන්නයි.   

මගේ ඒ මතකය නැවතත් අවදි වුණේ හත්දවසේ බණ දිනයේය. “රෙහාන්ට ඕනියි කිව්වා බණට එන අයට අම්මා කැමතිම බිස්කට් පුඩිමක් හදලා සංග්‍රහ කරන්න. එයාගේ කැමත්තනේ, නිමල් අයියේ. මං හා කිව්වා. එහෙම කරන ඒකෙන්වත් මිනිහගෙ දුක අඩු වෙනව නං...”

අනුරාධපුරේ ඉඳලා...

“පුදුමයි චූටි පුතාට කිරිබතුත් හදන්න ඕනෑ නොවුණා... නදීකා කිරිබත්වලටත් හරි ආසයිනේ.” දිගම දිග සුසුම් වැලක්...  

“පෙබරවාරි 5 වෙනිදා උදෙන්ම මම අනුරාධපුරේ ඉඳලා මෙහෙ ආවනෙ. මාව දැකලා නදීකා පුදුම විදිහට සන්තෝස වුණා. හැම සැරේම ඉස්කෝල නිවාඩුවට මම මෙහෙ එනවාමයි. ඒ ආවම රෙහාන් පුතා තමයි වැඩියත්ම මගෙ වටේ දැවටෙන්නේ. එයා මේ සැරේ විභාගෙ කරන නිසා exam ඉවර වෙනකල් මම නෑවිත් හිටියේ.
ඒ දවස් දෙකේ නදීකාට එච්චර කෑම රුචියක් තිබ්බේ නෑ. මමමයි උයලා එයාට කෑම කැව්වේ. ‘අනේ කරුණේ, අපිට කොච්චර ලේසියක්ද බං, උඹ ආව එක.’ එහෙම වෙලාවට නදීකා කීප සැරේ කිව්වා.

-හත් වෙනිදා හවස නදීකාට කියවුණා, කිරිබත් කන්න ආසයි කියලා. ඒත්... කිරිබත් ඉව්වට පස්සේ කිව්වා කන්න බැහැයි කියලා. කටක් හරි කමුයි කියලා මමමයි කිරිබත් කෑල්ලක් එයාට කැව්වේ.” කරුණා මිස් හූල්ලයි.

එදා රාත්‍රියේ ඊට ටිකකට පසුවය, නදීකාට හුස්ම ගැනීමේ අපහසුවක් දැනී තිබෙන්නේ. “ඉස්පිරිතාලෙකට ගියොත් මාව එහෙ නවත්ත ගනියි. ඔයාලත් මාව තනියෙන් එහෙ දාල ගෙදර එයි. මට බෑ!’ කියල ලොකූ කියද්දීමයි අපි තුන් දෙනයි, කරුණා මිසුයි එයාව hospital එකට ගෙනිච්චේ.” දහනායකත් තවම හූල්ලයි.

නොපමාව අවශ්‍ය වෛද්‍යාධාර ලැබුණත්, ඉරණමේ ලියැවී තිබුණු විදිහට විපත්තිය සිදු වුණා විය යුතුය. ලේ කැටියක් හිර වී පෙනහළුවලට රුධිරය ගෙනයාම අවහිර වීමෙන් නදීකාගේ මරණය සිදු විණියි මරණ පරීක්ෂණ වාර්තාව කියයි!

නදීකා දහනායක සොයුරිය ගැන මා ලියන වාර්තාව දැන්වත් නිමා කළ යුතුය. ඒත් මේ ලියමන ගැන මා තෘප්තිමත් නැත. නමුදු මෙය සකසා නැවත ලියන්නට හිත හදා ගැනීමත් කළ නොහැකි බැවින් මෙසේ කුණ්ඩලි ලකුණු තබන්නෙමි෴0෴