li Item

Saturday, December 19, 2020

පතාගෙන ඇවිත්... - හයවෙනි කොටස

‘මී හරක් අං පිටින් ගිලින්නෝ’ත්; ආත්මාර්ථය මිස පරාර්ථය ගැන කිසිම හැඟීමක්- දැනීමක් නැති වචීපරමලා, අපාය සහායකයලා එහෙමත් අපේ සමාගමට වරින්-වර.....

සමහරවිට ඒ වයසේ හැටි වෙන්නටත් ඉඩ තිබේ.

මේ ලිපිවලදීම මේ නඩයේ අයට මිතුරන් යැයි කියන්නට බැරි බව මම කීවෙමි. ඒ එකල තිබුණු තත්ත්වය මට පෙනුණු විදිහ අනුවය; එහෙත් දැන් දසක තුන-හතරකට ආසන්න කාලයක් තිස්සේ අපේ මිතුරුකම් තවමත් එහෙමම පවතී. ඒ නිසා අපේ කට්ටිය උදෙසා නම්, ‘මිතුරන්’ කියන වචනය වෙනුවට යෙදීමට වෙනත් වචනයක් නිපදවා ගන්නට සිදු වෙන සෙයකි!

මෙවන් මිත්‍ර සංසදයක් ලැබීමේ වාසනාව හැම දෙනාටම නොලැබෙන බව නම් මට විශ්වාසය!

“තමුසෙලගෙ රැලේ කළු බැටළුවෝ හිටියෙම නැද්ද?” මගේ වරුණාව කියවද්දී සැක-සංකා ඉපදෙන කෙනෙකු අහන්නට ඉඩ තියෙනවාය! උත්තරය ‘මොකද නැත්තේ?’ කියන එකය.

‘මී හරක් අං පිටින් ගිලින්නෝ’ත්; ආත්මාර්ථය මිස පරාර්ථය ගැන කිසිම හැඟීමක්- දැනීමක් නැති වචීපරමලා, අපාය සහායකයලා එහෙමත් අපේ සමාගමට වරින්-වර ආවෝහ. එහෙත් සනාථ වූයේ සනාතන දහමය. ‘ටික දෙනෙකු වැඩි කලකටද, වැඩි දෙනෙකු ටික කලකටද බොරුවෙන් රැවටීමට පුළුවන්ය. එහෙත් කිසිම කිසි කෙනෙකු හැමදාටම රැවටීමට නොහැකිය.’ කියමන ඉතාම ඉක්මනින් තහවුරු කෙරුණේය!

එවන් මිත්‍ර ප්‍රතිරූපකයන් උන්නාද මළාද කියන එකවත් අපට දැන් මතක් වන්නේ නැත.

ඒකෙ විස්තර නං හරියටම දින වකවානු එක්කලාම කියන්නට පුළුවන්ය. 1990 අප්‍රේල් 12-13-14 දවස් තුනේ... අවුරුදු 30කට පෙර.... අය කිරීමත් එදා නම් ලොකු මිලකි!

දැන් අපේ හැමෝම මේරූ අය වෙති; දැනුම්-තේරුම් ඇති අය වෙති; එනිසාම adjust වීමේ හැකියාවත් වැඩිය..... පොඩි-පොඩි අඩුපාඩු නැත්තේ කවුරුන් ළඟද? හොඳම උදාහරණය මේ ලියන්නාය. ‘මම එපාම කරපු, කුප්පිදු නසරානියෙක්මි’යි දැනටමත් කිහිප වතාවක්ම මගේ අතින් කියැවී තිබෙයි. මගේ අසමජ්ජාතිකම් ඉවසා වදාරන්නට දැන් මේ මිතුරන් adjust වෙලාය; පුරුදු වෙලාය. ඒ කාලය ගෙවීගෙන යනවාත් එක්කමය. 

මට පෙනෙන විදිහට යහළුකම් සතිර වෙන්නට නම් කාලයට ඉඩ දිය යුතුය. ‘කාලයට විසඳිය නොහැකි ගැටළුවක් නැත’ කියලත් කියනවා නේද?

ඉතිං.... වෙසක් බලන්නට ගියාට පස්සේ, අප දිග ගමනකට ගියේ සිංහරාජ වනාන්තරයේ සංචාරයකටය!

ඒකෙ විස්තර නං හරියටම දින වකවානු එක්කලාම කියන්නට පුළුවන්ය. 1990 අප්‍රේල් 12-13-14 දවස් තුනේ... අවුරුදු 30කට පෙර....

90වේදී අපේ සමන්ති නංගී කෙටි නිවාඩුවකට ලංකාවට ආවාය. “ලොකූ, මාවත් කොහේ හරි trip එකක් එක්කං යන්නකෝ.... අනුරාධපුරේ, නුවර, කතරගම වගේ තැනකට නං එපා!” සමන්ති නංගී කීවාය. 

මං උගෙන් අහල බලන්නද සිංහරාජෙ ගමනක් set කරගන්න... දකුණු කෙලවරේ සමන්ති...

නෙවිල්ලාගේ ගෙදරදීමය ඒ ගැන කතාබහක් කෙරුණේ. “නිමල් අයියේ නියම ගමනක් තියෙනවා, යන්න කැමති නං.... මගේ යාළුවෙක් ඉන්නවා Zoo Club එකේ! ඒකලා විස්තර කියන ඒවාම අහල-අහලා මාත් යන්න ආසාවෙන් ඉන්නේ. මං උගෙන් අහල බලන්නද සිංහරාජෙ ගමනක් set කරගන්න...” DKR; කඩ+වසම් හාදයා කීවේය; ඇසුවේය. 

“ඒ වුණාට නිමල් කෙල්ලෙකුට පුළුවන්ද තනියම අපේ නඩේත් එක්ක ඔහොම යන්න....” ප්‍රියන්ත මට මතක් කළේය. 

මා ඒ බව සමන්ති නංගිට කීවේ, ලැබෙන උත්තරය ගැන දැනගෙනමය. සෑම් මගේම නංගීය. පුංචිම දවස්වල නම් එයා අපේ ආච්චී මැරෙනතුරු බලාගෙන හිටි බව ඇත්තය. ඒ ආච්චී මැරුණාම ආච්චිගේ ‘පර්ස්’ එක අයිති කර ගන්නටය. සෑම්, දීපාල්, දීපානි තුන්දෙනා එංගලන්තයට ගියාට පස්සේ වුණත් අඩුවෙන්ම බ්‍රිටිෂ් වුණේ එයාමය. වැඩියෙන්ම ඉගෙන ගත්තෙත් එයාමය. ඒ වගෙම, වැඩියෙන් ඔළුව පාවිච්චි කරන්නෙත් සෑම් කියලාය මට හිතෙන්නේ. 

“ලොකූ. ඉස්සෙල්ලම ඔයාගේ අකැමැත්තක් නැති නං, ඔයාගේ යාළුවන්ටත් කමක් නැති නම් මට ගාණක් නෑ. කොල්ලෝ ටිකක් එක්ක තනි කෙල්ලෙක් දවස් කීපයක් trip එකක් යන එක ලංකාවේ නම් odd වගේ වෙන්නැති. But, I don’t mind! ඔයා දන්නවනේ මාව. මමත් දන්නවා ඔයා නොගැළපෙන කට්ටියක් එක්ක මාව එක්ක යන්නෑ කියලා.”

තුවාන් මිස්කින්ගේ තාත්තා, ලොකු තුවාන් මහත්තයා අප හින්දාම පිටකොටුව බස් නැවතුමෙන් ‘කලවාන’ට බස් එකක් දැම්මුවේය. එදා අපේ සංචාරය පටන් ගනිද්දීම....

ඉතිං අපි ගමනට ලැහැස්ති වුණෙමු!

එංගලන්තයේ ඉඳලා ආවත් සමන්ති නංගී අතේ ලොකු සල්ලියක් තිබුණේ නැතිය. අප සිංහරාජෙ යන්නට ගියේ බස්වලය. පිටකොටුවෙන් කලවානට, එතැනින් වැද්දාගලට යන්නේ බස් එකේය. සිංහල අලුත් අවුරුදු කටේ හින්දා බස් තුබුණේ හරිම අඩුවෙනි. නිලධාරියෙකු කීවේ ‘කලවානට යන බසයක් කීයට ඒවිද’ කියා නොදන්නා බවයි. බස් පෝලිමේත් බස් දෙක තුනකට සෙනඟය.

‘හිටපල්ලකො මචං බලන්න.’යි කියාගෙන තුවාන් මිස්කින්, ලොකු තුවාන්ව හොයාගෙන ගියේය. තුවාන්ලගේ තාත්තා වැඩ කළේ CTB එකේය. තනතුර නම් අදටවත් මා දන්නෙ නැත. එසේම එය කළේ කොහොමදැයි කියලාත් මා දන්නෙ නැත. 

ලොකු තුවාන් මහත්තයා අප හින්දාම පිටකොටුව බස් නැවතුමෙන් ‘කලවාන’ට බස් එකක් දැම්මුවේය. එදා අපේ සංචාරය පටන් ගනිද්දීම හබක් නොවුණේ ඒ නිසාය.

තුවාන්ලගේ තාත්තාගේ උදව්වට නම් දැන් ස්තුතියි කිව්වාට වැඩක් නැතිය. එතුමා පරලෝකප්‍රාප්තවී ගොඩ කලකි. ඒ ගමනට සහභාගිවූ වැඩි දෙනෙකු තවමත් අපේ ගෙදරට එති. අනෙක් අය ඉන්නේ පිටරටවලය. (කිසිම සම්බන්ධයක් නැත්තේ ප්‍රදීප් ගිනිගේ සොයුරා සමඟ පමණි.) ඒත් කමක් නැත! ඒ ගමන ගැන හැම දෙනාටම ස්තුතිය! ස්තුතිය!! ස්තුතිය!!!

කුරුල්ලො නෙවෙයි මචං.... අලි, කොටිවත් පැත්ත පලාතක ඉඳියිද මේ අයියගෙයි, නංගිගෙයි යටි ගිරියෙන් කෑ ගැහිල්ලට...

එහෙම කියන්නේ එතකොට අප කා ළඟත්, අත දිගහැර වියදම් කරන්නට සල්ලි නැතිව හිටි බැවිනි. නමුත් සහෝදරත්වය අඩු නැතිවම තිබුණේය! කුඩව කඳවුර කිව්වාට ඒ ගෙයකි. අපට ලැබුණු එක කාමරයක් සමන්ති නංගී සඳහා දුන් අපේ මිතුරෝ සහෝදරත්වයෙන් ඉඩකඩ පිරිමසා ගත්හ.

“සහෝදරත්වේ තමයි! ඒ හින්දාම එකම කුරුල්ලෙක්වත් දැක්කේ නැති එකම සිංහරාජ ගමන තමයි ඒ!” අපේ කට්ටිය පසුකාලීනවත් ඒ ගමන මතක් කරමින් කියති.

“කුරුල්ලො නෙවෙයි මචං.... අලි, කොටිවත් පැත්ත පලාතක ඉඳියිද මේ අයියගෙයි, නංගිගෙයි යටි ගිරියෙන් කෑ ගැහිල්ලට...” එයාලා කියන්නේ බොරුවක් නොවේ. කැලෑ ගමන්වලදී මං වැඩියෙන්ම බය කූඩැල්ලන්ටය. (ඒ බය පුංචිම කාලේ හිට එන්නකි.) සෑම් මට හපන්ය, හැබැයි මට වඩා හොඳය.

එයා යටි ගිරියෙන් කෑ ගැහුවේ එයාගේ කකුලක කූඩැල්ලෙකු එල්ලුණාම විතරය. මට එහෙම නොවේ. අනුන්ගේ ඇඟේ එල්ලෙන්නට දුර මනින්නෙකු පෙනුණත් ඉබේම කෑ ගැස්සෙයි.

අතිශයින්ම වැදගත් හැඟීමකින් මගේ ආත්මයම වෙළී ගියෙත් ඒ ගමනේදීය. සිංහගල උඩදීය. අනෙක්  අය නම් සිංහගල නැංගෝය. මම දිව්වෙමි, සිංහගල මුඳුනටම. සමන්ති නංගීත් ආත-බූත කඩාගෙන මගේ පස්සෙන් දුවගෙන ආවාය. ඒ නිමල් දිසානායක සොයාගත් ‘කූඩැල්ලන්ගෙන් බේරීමේ’ ක්‍රමවේදය අනුගමනය කරමිනි. “සමා... කූඩැල්ලෝ එල්ලෙන්නේ හෙමිං-හෙමිං යද්දී.... දුවගෙන යද්දී උන්ට එල්ලෙන්න අමාරුයි.... පුළුවන් තරම් දුරක් දුවගෙන ගිහින්, අව්ව වැටෙන තැනක හරි හොඳටම වේලිච්චි ගලක් උඩට හරි නැඟගන්න....”

සූරිය කිරණින් නැහැවෙමින්; නෙක-නෙක පාටින් දිදුලමින්, අහස සිඹින්නට වෙර දරන තුරු මුඳුන්....

අප ඒ උපක්‍රම අනුගමනය කළේ ‘සිද්ධාලේප’ තලි-තලි කකුල් දෙකේ ගාගෙන ඉඳිද්දීත්ය.

සමාවෙන්න, ඇත්තම කියන්නට ඕනි නිසාය කියන්නේ... සිංහරාජයේත්, නකල්ස් කඳු වැටිවලත් ඉන්නේ නිකම්ම නිකම් කූඩැල්ලන් නොවේ! පඳුරු උඩටත් නැඟගෙන එල්ලෙන්නට හොට දික් කරගෙන ඉන්නා, වයිරම් මෝස්‌තර වැටුණු ‘වේසා කූඩැල්ලන්ය’. සාමාන්‍යයෙන් පරුෂ වචන නොකියන මට ඒ තැන්වලදී ලෝබ නැතිවම අර විශේෂණ පදය කියවෙයි.

ඉතිං.... ඔයාලත් සිංහගල උඩට හරි මුලාවැල්ල උඩට හරි ගිහිං තියෙනවාද? අර සුවිශේෂී හැඟීම මගේ ආත්මයටම කා වැදී, අදටත් මා හැර නොගොස් පවතින්නේ පළමුවර සිංහගල මුඳුනට සම්ප්‍රාප්තවූ මොහොතේ පටන්ය.

එතනට හතර වටේටම හැතපුම් ගණනාවක් පෙනෙයි. සූරිය කිරණින් නැහැවෙමින්; නෙක-නෙක පාටින් දිදුලමින්, අහස සිඹින්නට වෙර දරන තුරු මුඳුන් පෙනෙයි. වනාන්තරයේ තුරු ලතා අතර ආලෝකය උදෙසා කෙරෙන නිරන්තර යුද්ධය පෙනෙයි. ඒවා පෙනෙද්දීය මට හිතුණේ.

‘කෙළවරක් නොපෙනෙන වනාන්තරයක් මැද්දෙදී නිමල් දිසානායක කියන්නේ කොච්චර ක්‍ෂුද්‍ර ප්‍රාණියෙක්ද?

මෙතැනත් එක්ක සසඳද්දී එහෙම හිතෙනවා නම් මිහිතලය එක්ක බලද්දී.....?’

ඊට කලින් ගුවන් යානාවක යද්දීවත් මට ඒ හැඟීම දැනිලා නැතිය. ඒ මොහොතට අනේක වාරයක් ස්තුති වේවා! එයට පිං සිදු වෙන්නට මගේ උද්ධච්චකම සෑහෙන්නට නැතිව ගියේය. ඔන්න වරදවා තේරුම් ගන්නට හෙම එපා.... නැතිව ගියේ උද්ධච්චකම මිස අභිමානය නොවේ! අභිමානය තවමත් අඩු නැතිවම මා සතුය.

ප්‍රදීප්ගේ අතින් ඒ ඇටය අරගත් පමාවෙන් මා ඉස්සරහට දුවන්නට වුණේ කූඩැල්ලෝ එල්ලෙතියි හිතලාය. ඒ ගමන්ම, මගේ කලිසමේ සාක්කුවකට අර ඇටය දමා ගන්නටත්....

ලෝකයම දන්නා ‘සිංහරාජයේ මාටින් අයියා’ගෙන් තේ කහටත් සප්පායම් වෙලාය, අප සිංහගලට පිටත් වුණේ. ටික දුරක් ගියා විතරය. ගිනිගේ නතර වුණේය. (තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ සාමාජික ප්‍රදීප් ගිනිගේ හිතවතාය, අපත් සමඟම ඒ ගමනට ගිහින් මඟ පෙන්නුවේ. ඒ සල්ලිවලට නොවේ. DKR සමඟ තිබුණු පුංචි හිතවත්කම නිසාය. ස්තුතියි ප්‍රදීප්! ඊට පස්සේ ගමනකදී, ප්‍රදීප් අපට ලෝකාන්තයේ ‘අල ගබඩාවේ’ නවතින්නටත් ඉඩ සලසා දුන්නේය.)

හදිස්සියේ නතර වුණු ගිනිගේ මොකක්දෝ අහුලා ගත්තේය. අත්ලේ තබාගෙනම අපට පෙන්නුවේය.

“ආනේ.... හරිම ලස්සනයි.... මොකක්ද ප්‍රදීප් ඔය?” මම ඇසීමි. ඒ හොඳින් මැදලා ඔප දැම්මාක්සේ දිලිසෙන, කළුම කළු පාට- පැතලි දෙයකි. කහ පාට වයිරම් තීරුවක් හින්දා එය වඩාත් ලස්සනවී තිබිණි.

“ගහක ඇටයක්....”

“අනේ මට දෙන්නකො ගෙදර ගෙනියන්න....” මං ඉල්ලුවේ පැනලාය. ප්‍රදීප්ගේ අතින් ඒ ඇටය අරගත් පමාවෙන් මා ඉස්සරහට දුවන්නට වුණේ කූඩැල්ලෝ එල්ලෙතියි හිතලාය. ඒ ගමන්ම, මගේ කලිසමේ සාක්කුවකට අර ඇටය දමා ගන්නටත් මා අමතක කළේ නැත.

සිංහගල මුඳුනේදී නැවතත් වරක් අර ඇටය සාක්කුවෙන් අරගෙන එහි විසිතුරු බලද්දීය, ප්‍රදීප් එය දැක්කේ. “මෙහෙත් එකෙක් හිටියද?” ඔහු විමසුවේ මගෙන්ය.

මොන ලෙඩකට පැටලුනත් හනුමාට වගේ ගොඩ එන්නට පොටකුත්...

“එකෙක්? එකෙක් නෙවෙයි ඇටේ... ඔයා දුන්නේ....” මම උත්තර දුන්නෙමි.

“ජංජාලයයි... වීසි කරන්න නිමල් අයියේ විසි කරන්න. ඔය සතෙක්... ඔයා කොහොමද ඌව මෙච්චර දුර ගෙනාවේ....”

“ඔයා කිව්වනේ ඇටයක් කියලා... මං සාක්කුවේ දාගත්තා!”

“පුදුම බේරිල්ලක් නිමල් අයියේ ඔයා බේරිලා තියෙන්නේ... ඒ සතා හැකරැලි පවුලේ එකෙක්. හැකරැල්ලා ගුළි වෙනවා වගෙමයි... සාක්කුවේ දාගෙන එද්දී ඌව පොඩි වෙලා ඉස්ම ගෑවුණා නං... ගෑවිච්ච-ගෑවිච්ච තැන වණ වෙනවා!”

එදා නොහිතුණත් වැටහෙන්නේ දැන්ය. නිමල් දිසානායක හැබෑ වාසනාවන්තයෙකි. මොන ලෙඩකට පැටලුනත් හනුමා වගේ ගොඩ එන්නට පොටකුත් පෑදෙන්නෙකි.

(නිදිගෙ පංච තන්තරේ කියවන හිතාදර ඔබ වෙනුවෙන් ඒ සතාගේ වගතුග හා fotos හොයාගන්නට මට උදව් කළේ, අපේ සුමිතුරු මර්වින්ගේ පුත්‍ර රත්නය මාධව බොතේජුය. මාධව දුර්ලභ සත්ත්ව වර්ග පවා සොයාගන්නට දායක වුණු සත්ත්ව විද්‍යාඥයෙකි. ස්තුතියි මාධව!)

සිහරාජය අවට ගම්වාසීන් මේ සතාට කියන්නේ ‘කන්කුණ්ඩා’ කියලාලු. ඉංගිරිසියෙන් නම් Sri Lankan Giant Millipedeය.

“මචං... අද සළු වෙන්නෙ නැද්ද?” එකෙකු ඇසුවේ පළමු රාත්‍රියේදීය.
ඇතා කොතෙක් වැහැරුණා වුණත් කොරහේ නාවන්නට බැරිය. මේ කෙරෙන්නේ එවැනි වැඩකට උත්සාහයකි. සිංහරාජ ගමන ගැන වෙනම ලියන්නටය තිබුණේ. ඒ තරමට විස්තර තියෙනවාය. ඒත් ප්‍රතිකාර ගන්නට හම්බන්තොට යන්න කලින් මේ පෝස්ටුව ලියා තැබිය යුතුය. දැන් ආයෙමත් වෙනම විස්තරයක් කොටන්නට ගියොත්..... ඒ ගැන හිතන්නටත් බැරිය!

තව එකම එක කාරණයක්.... ඒ කාලේ අපේ දිළිඳු බව ගැන දර්ශකයක්!

එදා සිංහරාජ ගමනට ගෙනිහින් තිබුණේ එකම-එක ගල් අරක්කු බෝතලයක් පමණකි. (බොන්නෝ පස් දෙනෙකි.) “මචං... අද සළු වෙන්නෙ නැද්ද?” එකෙකු ඇසුවේ පළමු රාත්‍රියේදීය.

“එතකොට හෙට?” තවත් එක්කෙනෙක් ඇසුවේය.

“ඔව් මචං.... එකනෙ තියෙන්නේ.... අපි කට්ටියට ගෑවෙන්නවත් මදි මචං.... හෙට රෑටම තියා ගනිමු!” ඒ වතාවේ කෙරුණේත් එහෙමමය. දැන් අපේ කට්ටිය set වෙන දවසට කඩන්නේ දහ-පහළොස්දාහේ බෝතලය. ඒ අතින් නම් ඉස්සර හිටි සරල; අල්පේච්ඡී මිත්තරයන් නොවේ දැන් ඉන්නේ.... මේ දියුණුවක්ද නැත්දැයි කියන එක නම් තකතීරු මට වටහා ගන්නට බැරිය.

“අඩෝ, කොරෝනා අස්සේ B’day පාටි දැම්මොත් අපිව කුදලාගෙන ගිහින් නිරෝධායනේ කරයි....” එක්කෙනෙක් කිව්වේය.

අපේ නඩයේ තිදෙනෙකුගේම උපන් දින නොවැම්බර් - දෙසැම්බර් මාසවල එක ළඟම යෙදෙන නිසා, ඒ තුන්දෙනාගෙම උපන් දින සැමරුම් එකම දවසක ගන්නට නාවුක හමුදාවෙන් විශ්‍රාම ලබා සිටින ‘අපේ මාධ්‍ය ප්‍රකාශක මහත්තයා’ගේ යෝජනාවෙන් තීරණය කෙරුණේය. W.A.L. ප්‍රියන්ත, අයස්මන්ත පීරිස් හා චමින්ද පෙරේරා (පෝල්) තිදෙනාගේ උපන් දින කිහිපයයි එහෙම යෙදුණේ. 

“අඩෝ, කොරෝනා අස්සේ B’day පාටි දැම්මොත් අපිව කුදලාගෙන ගිහින් නිරෝධායනේ කරයි....” එක්කෙනෙක් කිව්වේය.

“ඩොකාල වුණාම අනෙක් මිනිස්සුන්ට ආදර්ශවත් වෙන්න ඕනි....” තව එක්කෙනෙක් කිව්වේය.

“කිසිම ප්‍රශ්නයක් නැති කාලෙකවත් මම ඕවා සෙලිබ්‍රේට් කරන්නෑනෙ...”

අනෙක් එක්කෙනා කියන්නේ එහෙම බව අපි අත්දැකීමෙන්ම දැනගෙන සිටියෙමු. ඒත් ඉතාමත් චාමෙට වැඩේ කෙරුණේය. එක කේක් ගෙඩියක් B’day Boysලා තිදෙනාම එක්වී කැපූහ! බෝතලය නම් චාම් වුණේ නැත.

ලෝ වාසී අප හැම දෙනාටමත් සුබ පතාගත යුතුය.....

එයාලට උපන් දින සුබ පැතුම් ප්‍රාර්ථනා කරන ගමන්ම ‘ලෝ වාසී අප හැම දෙනාටමත් සුබ පතාගත යුතුය..... නිදුක්, නිරෝගී, දුකෙන් තොර කාලයක් උදා වේවා’යි සුබ පතාගත යුතුය.

කොරෝනාවට ලංකාවෙන්ම බෙහෙත් පැණි කිහිපයක්ම හොයාගෙනය. ඒවා මතු වෙන්නේ හතු පිපෙන්නා වගෙය; තරගෙටය. අනේ, එව්වා සාර්ථක වෙන්නේ නම්, අපේ විදෙස් ණය කන්දරාව ගෙවන්නට පොටක් උදාවෙනවා නොඅනුමානය. අනේ, එසේ වේවා!

“අනේ මල්ලී.... මේ දවස්වල මට සල්ලිවලට කරන්න දෙයක් නැතිවයි ඉන්නේ!” අවුරුදු ගණනාවකට ඉස්සර නෙවිල් අනුරසිරි පෙරේරා නිතරෝම කියන්නට පුරුදුවී හිටියේය. ඒ පට්ටන්දරේ කිව්වේ මයෙත්තෙක්ක නොවේ..... උපාලි ජයරත්න, දේව් අබේනායක, කුමුදුලාල් වගේ කීප දෙනෙකු එක්කලාය. ඒ දවස්වල හැම සෙනසුරාදාම රාත්‍රියට අපේ ගෙදරදී ඕමි, Black Queen හෝ ෆ්ලොටර් සෙල්ලම් කරන අතරේදීය.

මගේ ඔළුවට පිස්සු අදහසක් ආවේ එතකොටය.

සමාවෙන්න! මේ කතාව කියන්නට කලින්, ඉතාමත් ලුහුඬින් අපේ අම්මාගේත්, සුනිල් ගෝඨාභය දිසානායකගෙත් මොට්ටකමක් ගැන කියලා ඉන්නට වෙයි. එයාලා හොරණට ටිකක් එපිටින්, කඳු ගැටයක් මුඳුනේ ඉඩමක් අරගෙන තට්ටු තුනේ ගෙයක් හදන්නට ගත්තෝය. ‘ගේ හදන්නේ මං ලංකාවට ආව දවස්වලට නිදහසේ ඉන්න. මගේ දරුවෝ, නෑදෑයෝ සේරටම ඇවිල්ලා එහෙ නැවතිලා ඉන්න පුළුවන් වෙන විදිහට.....’

මගේ මොට්ටකම්වලින් 50%ක් රහුබැද්දේ විදානේලාගේ ‘බැදි’ ජානවලින් ඇවිත් කියලාය මට හිතෙන්නේ.

තුන්කල් පෙනෙන මගේ උපන් ගතිය නිසා වෙන්නැති, මම උදැල්ල දැම්මෙමි. “අම්මේ, ඕක ප්‍රැක්ටිකල් වැඩක් නෙවෙයි.... ඉස්කෝලේ යන- ටියුෂන් පන්ති යන ළමයි, රස්සාවල් කරන මිනිස්සු ඉන්න කාටද පුළුවන් ඔහේ ඇවිත් දවස් දෙකක්වත් ඉන්න... කවුරු ආවත් මට වුණත් ඔච්චර දුරක් ඇවිත් දවස් ගාණක් නං ඉඳෙන එකක් නෑ.... ඔන්නං එක දවසක් ඉඳෙයි!”

මගේ හිතුවක්කාරකම් එහෙම පිටින්ම වගේ අපේ අම්මාගෙන් දායාද වුණු ඒවාය. අම්මා එංගලන්තයට ගියෙත්, එහිදී නැවත විවාහයකට මැදි වුණෙත් හිතුමතේය. 

මගේ මොට්ටකම්වලිනුත් 50%ක් රහුබැද්දේ විදානේලාගේ ‘බැදි’ ජානවලින් ඇවිත් කියලාය මට හිතෙන්නේ. ඒ ගති මටත් තව දරුවන් නව දෙනෙකුටමත් බෙදා දීලාවත්, අඩුවක් නොවුණු විදිහය.

ලොකු පුතණ්ඩියාගේ අවවාද කණකට නොගත් අම්මා, දෙවෙනි පුතාගෙ පූර්ණ සහයෝගය මැද්දේ තට්ටු තුනක බංගලාවක් ඉදි කෙරෙව්වාය. ඒ ‘අපරාධය’ වෙනමම කියන්නෙමි. දැනට කියන්නට තියෙන්නේ මාසෙකට වතාවක් විතර සෙනසුරාදාවක අප එකතුවී එහි ගොස්, නිවාඩුවේ හිඳ එන්නට පුරුදුවී හිටි බවය!

මගේ පිස්සු අදහස surprise බර්ත්ඩේ පාටියකි. හොරණ ගෙදරදී.... 

එහෙම හිතුණේ නෙවිල්ගේ උපන් දිනයකුත් කිට්ටු වෙමින් තිබුණු බැවිනි. ‘සල්ලිවලට කරන්න දෙයක් නැතිවනේ ඉන්නෙ... හිටහං හොඳ වැඩක් කරන්න!’ මං හිතුවේ එහෙමය.

මගේ ඉස්තරම් ‘බලුකම’ක් නම් ඒ ගමන් ගියෙත්... (වමේ සිට: දිල්හා, දීප්ති, ඇඹුල්දෙනිය, රමණී හා නිමල්)

සතියක් විතර තිස්සේ නෙවිල්ගේ ගෙදර, අයියලා, හිතමිතුරන් සේරෝටම පණිවිඩය දෙන්නට සිද්ද වුණේය. ‘මේක නෙවිල්ට හොරෙන් කරන්නෙ.... කියන්න නං එපා. තියෙන්නෙ හොරණ අපේ ගෙදරක.... මෙහෙමයි එන පාර....”

එතකොටත් මට දුරකථන පහසුකම නොලැබී තිබුණු හින්දා සමහර ගෙදරකට ගිහිල්ලාම පණිවිඩය බෙදන්නට වුණේය. මගේ ඉස්තරම් ‘බලුකම’ක් නම් ඒ ගමන් ගියෙත් නෙවිල් එක්කම, නෙවිල්ගේ කාර් එකෙන්ම වීමය.

දැනටමත් මම කිහිප වතාවක්ම කියා ඇත්තෙමි. මේ මනුස්සයාට හැමෝම විශ්වාසය; සැක හිතන්නේ නැත; කවුරුන් කියන දෙයක් වුණත් පිළිගනියි; යමක් ඇහේ ඇනුණත් දකින්නෙත් නැත. මං නම් ඒකෙ අනෙක් පැත්තය. එක වචනයක් ඇහුණාම මුළු කතන්දරයක්ම තේරුම් ගන්නෙමි.

“මොකද හලෝ... මේ දවස් ටිකේ මෙච්චර ගමන් ගොඩක්?” එක සැරයක් විතරක් නෙවිල් ඇසුවේය.

දන්නවනේ? බොරු නොකියන මා එහෙම වෙලාවට යොදන උප්පරවැට්ටි හිඟ නැති බව. 

හරි-හරියට.... ‘නායක’ ජාන දෙබානක එකතුවක් මට ජන්මයෙන්ම හිමි වෙලා තියෙනකොට!

“මගේ ඕනිකමකටනේ..... ඔයාට එන්න බැරි නං කියන්න... මම වෙන විදිහක්....” එච්චරය. කොල්ලා වෙනින් මොකුත් විමසුවේ නැත.

ඊටත් වැඩි අරුමය, ඒ යන හැම ගෙදරකදීම නෙවිල්ට සැක නොහිතෙන විදිහට- ඒ හාදයාව මඟ හරවාගෙන ‘උපන් දින සාදයේ කතාව’ රහසෙන් එයාලට කියා ගන්නටත් මට හැකි වීමයි. ඒක හොඳටම ලෙහෙසි වුණේ නෙවිල්ගේ සුපරීක්ෂාකාරී වීම ‘නිල්’ හින්දාය. මගේ ගතිය ඒකෙ අනෙක් පැත්තය.

එහි පුදුමෙකුත් නැතිය. අපේ තාත්තාගේ පැත්තෙන් දිසානායක; සීයාගේ අමු කැළේ ජානත්, ආච්චිගේ දසනායක ජානත් හරි-හරියට.... ‘නායක’ ජාන දෙබානක එකතුවක් මට ජන්මයෙන්ම හිමි වෙලා තියෙනකොට! 

“ෂඃ මරු වැඩක්නේ නිමල් මල්ලී කරන්න යන්නේ..... ඉතිං මොකක්ද මගෙන් කෙරෙන්න ඕනි?” (මේ posts මාලාවට අවශ්‍ය පරණ fotos ගොඩාරියක් හොයා දුන් දිල්හා හිරෝෂිනී මතකයි නේද?)

අර ප්‍රශ්නය ඇහුවේ දිල්හාගේ තාත්තාය; හෙට්ටිආරච්චිගේ නිමල් විජේසිරි පෙරේරාය; නෙවිල්ගේ ලොකු අයියාය.

අම්මව එක්ක එන වැඩේ බාර දෙන්න අපේ මෙරිල්ට...(වමේ සිට: නිමල්, අම්මා, මෙරිල් හා නෙවිල්)

“විශේෂයෙන් කරන්න දෙයක් නැහැ නිමල්. ඔයා රමණිවයි, පොඩි කට්ටියවයි, අම්මවයි එක්ක එන වැඩේ බාර ගන්නකො.... නෙවිල්ට ආරංචි නොවී තමයි ඒ වැඩේ කෙරෙන්න ඕනේ...” මම නෙවිල්ලගේ ලොකු අයියාව දැනුවත් කළෙමි.

“මම කියන්නද මල්ලී වැඩක්.... අම්මව එක්ක එන වැඩේ බාර දෙන්න අපේ මෙරිල්ට. එයාලගේ වෑන් එකෙන්ම එක්ක එයි.... මායි අපේ රමණීයි එකතු වෙලා පාටියට ආප්පත් හදලා දෙන්නං.... ආප්පයි, බිත්තර ආප්පයි! ඒයි.... සීනි සම්බෝලෙකුත් හදමු නේද..... එක්කෝ ලුණුමිරිසක්.” ඔහු එතැනම සිටි රමණීගෙන් ඇසුවාත් එක්කය.

“පිස්සුද නිමල්? ඔයාලා දෙන්නෙක් එකතු වෙලා සීයකට විතර කොහේ ආප්ප හදලා පිරිමහගන්නද?” ලොකු අයියාගේ ඇස් උඩ ගියේ එතකොටය!

“සීයක්? එච්චර කවුද අප්පේ?”

“මම ලැයිස්තුව හදාගෙන තියෙන්නේ.... සේරමලා ආවොත් සීයට ඔන්න-මෙන්න. නෙවිල් එක්ක වැඩ කරන අය, ප්‍රියන්තලගේ වත්තේ නෑදෑයෝ.... මර්වින්ලා ඉන්දිරාලා වගේ ....”

“එහෙනං වැඩේ පොඩි නෑ! ඒත් කමක් නෑ. අපි දෙන්නගේ ගණනේ අපි දිගටම ආප්ප හද-හදා දෙන්නං. පිට කෙනෙක්ගෙය? අපේ චූටිගෙ තිස්පස්වෙනි උපන් දිනේනෙ.... බජව්වක් එහෙමත් තියෙනවා ඇතිනේ?”

“තියෙනවා... තියෙනවා. පැදුරු පාටියක්ම දානවා! ඒවා සේරමත් ලැහැස්ති කරලයි තියෙන්නේ...”

9 comments:

  1. නිමල් කන්නෙලිය ගිහින් නැද්ද?
    එක පාරක් මං සිංහරාජ ගිහින් ඔලුවෙත් කූඩැල්ලෙක් හිටියා. ඔක්කොම 12 ක් ඇගෙන් ගැලෙව්වා. අනිත් එවුන් ඉබේ වැටෙන්න ඇති. වැහි වනාන්තරයකට යන්න ආසනම් කූඩැල්ලො සාමාන්‍ය කරදරයක්. මට නම් ගෙදර මදුරුවො හැමදාම විදින එක ඊට වඩා අමාරුයි.

    ReplyDelete
    Replies
    1. කන්නෙලියේත් හිහින් තියෙනවා දෙපාරක්. පිටදෙනියේත් දෙවතාවක්. හැබැයි Pra Jay මහත්තයෝ, කූඩැල්ලන්ට පිං සිදු වෙන්න දිය අලි බලන්න යන ගමන්වලදී මේ පින්වතා ටික දුරක් ගිහින් හැරිලා දිව්වා.....

      නකල්ස් ගිය වතාවේ නං ඒ ටික කරන්න බැරි වුණා. ඒ කූඩැල්ලන් කෑ තැන් ගෙඩි ගැහිලා, කැසුවොත් තුවාල වෙලා පැසවනවාත් එක්ක. එහෙත් කූඩැල්ලෝ පඳුරු උඩටත් නැගගෙන මාන බලමින් ඉන්නේ එල්ලෙන්න. උන්ගේ විශේෂත්වය තමයි වයිරම් ඩිසයින්ස් තියෙන එක.

      Delete
  2. මේ වගේ මිතුරු සමාගමක් තියෙන එක කියන්න බැරි තරම් වාසනාවක්. සමහර යාලුවො අපිට ප්‍රශ්න තියෙන කාලවලදි අපි වෙනුවෙන් හිටියත්, ප්‍රශ්න විසඳගෙන ජීවිතේ හොඳ තත්වෙකට එනකොට එකපාරට යන්න යනවා. මම නම් තේරුම් අරන් තියෙන්නෙ එහෙම අය අපේ ප්‍රශ්න ඇත්තටම enjoy කරනවා හෝ ඒ මත feed වෙනව කියලා. (ඒවගේ අයට කෘතවේදි වුනත්), දැන් නම් මගේ attitude එක අපේ සතුටෙදි අවන්කවම සතුටු වෙන සීමිත යාලුවො ටිකක් විතරක් ඉඳීම (quality Vs quantity).

    සමන්ති ශෝක්නෙ. තමන් කැමති දෙයක් කරන්න ඔනේ වුනාම ඇඹරෙන්නෙ නැතුව, respectfully ඉටුකරගන්න එක ලොකු දක්ශකමක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම Lotus, මිතුරු ලාභය අතින් නං මම පුදුම වාසනාවන්තයි!

      සමන්ති නංගී ගැන ඔයා කියපු දේ හරි. මට හිතෙන්නේ අපේ ජානවලින් ලබුබු දේ එංගලන්තේදී වඩාත් පොලිෂ් වෙලා කියලයි.

      Delete
  3. මට පේන හැටියට ළඟදිම නෙවිල්ගෙන් මැරුම් කෑමට නියමිතයි වගේ...

    (කයියක් ගොතාගෙන ආයෙ එන්නං...)

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයාට එච්චරවත් තද හිතක් නෑ.... එයා නොකියවන නිසයි මේ ලියන්නේ.... (උන්දා මගේ අතින් නං මැරුම් කනවා- ඕනිවට වඩා නටාගෙන අවොත්.)

      නිතර කවි ලියනකොට නිකම්ම වචන හිතට එන්න ගන්නවා..... සතතාභ්‍යාසය කියන්නේ නිකම්ය ඩ්රැකී!

      Delete
  4. සිං හගලේ මත්තෙදි නිදි දැකපු දෙය
    මං දැක්කේ බතලේගල ගළ උඩ ය
    වං ගු ගමින් ගළනා කොත්මලේ ඔය
    මං දැක්කම දැනුණේ ඔබ කිව් දේ ම ය

    ReplyDelete
  5. ඉහළ දාපු කයියට අටුුුුුවාව ලෙස
    කාල යකට පෙර ලියු මේ ලිපිය දෙස
    බලල කියන්නකො අපි දෙන්නටම යස
    දැනිල ඇත්තෙ එක අදහස නොවේද ස'

    ReplyDelete
    Replies
    1. ඔයා හරියටම හරි ඩ්රැකී. අපි දෙන්නටම දැනිලා තිහෙන්නේ එකම අදහසක්...
      කවියෙන්ම උත්තර නොලියන්නේ හෙට පාන්දරම සංචාරයක යන්න සැරසෙමින් ඉන්න අතරේ කලබලේ මේ උත්තරය ලියන නිසයි. කෑම කමින්.
      බවුන් වඩන තවුසන්, යෝගීන්, ඉර්සින් වගේ අය හැම විටම තෝරාගෙන තියෙන්නේ උස කඳු මුඳුන්. උස තැනක බාධා අඩුයි වෙන්නැති, චිත්ත ඒකාග්‍රතාව වැඩි වෙනවා වෙන්නත් පුළුවන් නේද?

      බතලේගල ගියා ඔයාගේ link එකෙන්. කොහොමෙන් හරි එකට යනවාමයි පණ තියෙද්දින්ම, ඔයාගේ
      https://drackey.blogspot.com/2014/01/blog-post_14.html ලින්කුවම ආයෙ ඔබන්නේ තව රසිකයන්ව එහාට යවන්න කැමති නිසා.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්