කොයි කාලන්තරේක හිටංද ය..ක..ඩො, මේ post එක ලියන්න හිතං උන්නේ.
මට මතක හැටියට නං කිරි අ.ප්.ප.ච්..චි..යේ, අවුරුදු
දෙකාමාර පැනලා. මෙහෙම පෝස්ටුවක් ලියන බවට Lotus ඇතුළු කීප දෙනෙකුටම වරින්-වරේ
පොරොන්දු වුණ විත්තියත් මං වහන්සේට අමතක නෑ, ඔන්න. පොරොන්දුවක් දුන්නා නං; එහෙම
දෙයක් කරනවයි කිව්වා නං එහෙම කරන්න වෙනවනේ. මේ හදන්නේ, ඒ පොරොන්දුව ඉෂ්ට-සිද්ධ
කරන්නයි.
ස්තුතියි! ස්තුතියි!! ස්තුතියි!!! අද ලියන්නේ නිමල්
දිසානායකගේ ස්තුති කෙරිල්ල ගැනයි. එතකොට ඉතිං, තව තව ඇත්තන්ගේ ස්තුතිය ගැනත්
කියන්න වෙනවා. ඒකට කාරි නැහැ නෙව...
දවසකදී අපට කොච්චර නම් වාරයක් ඇහෙනවද ස්තුතියි කියනවා.
වැඩියත්ම ඇහෙන්නේ ඉංගිරිස්වලින්. Thanks! Thank you very much! Thanks a lot! එච්චරයැ,
ඉංගිරීසි Thank you සිංග්‍රීසියෙන් කියන ‘තැන්කියු’...
ඇට නැති දිවනේ. පොඩ්ඩක් එහාට මෙහාට කරලා; හෙලෙව්වාම ලේසියෙන්ම කියලා දාන්න
ඇහැකියි. මොකෝ, සල්ලි වියදං වෙනවය කියලයැ. ඔහෙ කියනවා. ගොඩ දෙනෙක්ම කරන්නේ එහෙම
තමා. අපේ ජාතික පුරුද්දක් නෙව ඔහෙ කරන්නං වාලේ කරන එක...
නිදි ගොඩාරියක් දේවල් ඉගෙන
ගත්තේ සමාජයෙනි! |
අරහෙම බොරුවට රඟන උදවිය දන්නෙ නැති ලොකුම ලොකු; පොදු ඇත්තක් හොඳින්ම දන්නා
හින්දයි, මං වහන්සේ එහෙම කරන්නේ.
‘වංචනික රැවටිලිකරුවෙකුට ටික දෙනෙකු දිගු කලකටද, වැඩි
දෙනෙකු කෙටි කලකටද බොරුවෙන් රැවටිය හැකිය. එහෙත් වැඩි දෙනෙකු දිගු කලක් තිස්සේ
බොරුවෙන් රැවටිය නොහැකිය! ඉක්මනින්ම සත්‍යය හෙළිදරව් වෙන බැවිනි.’ යට කී පොදු සත්‍යය
ඒකය.
ඉස්කෝලෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා විතරක් ඉගෙන ගත්- ඒ
විභාගය විතරක් සමත් වුණු නිදි ගොඩාරියක් දේවල් ඉගෙන ගත්තේ සමාජයෙනි; ඇසුරු කරන්නන්
වෙතිනි. එයාලා පාඩම් කියා දෙන්නවුන් නොවේ; ඒත් අවිඥානිකවම මට ගුරුවරුන් වී
තිබෙන්නවුන්ය..
කිංස්ලි හේවාගමගේ (සාන්ත) හිතවතා එවැන්නෙකි. සාන්ත ගැන මීට කලිනුත් මා කියා තිබේ. ශ්‍රී ලාංකේය පිල1996 ලෝක ක්‍රිකට් ශූරතාව දිනන
දවසේය සාන්තගේ විවාහ මංගල්‍යය පැවැත්වුණේ.
අපිත් එක්ක ගොඩාරියක් සංචාරවලට යන සාන්ත සර්ව භක්ෂකයෙකි. ඒත් සමහර දවසක සාන්ත වෙජිටේරියන් වෙයි. ඒ මදිවාට හැමදාම කෑම පිඟාන අතට ගත් විට එය මේසය මතින් තබා, දොහොත් නඟා එයට ආචාර කරලා- ඊට පස්සෙය සාන්ත කෑම අරඹන්නේ.
“සාන්ත ක්‍රිස්තියානි ආගමේ නෙවෙයිනෙ?” ගොඩ කාලයකට කලින්
දවසක මං ඇහුවේ, ඒ කෑම පිඟානට ගරු කරන පුරුද්ද දැක්කාමය.
අපේ බඩා මල්ලා; දීපාල්ගේ ගෙදරදීත් එහෙම පුරුද්දක්
දැක්කා මට මතකය.
දීපාල් විවාහ වී සිටින පිලිපීන ජාතික පීයා පුරුදු කරවලා වෙන්නැති; ඒ. එයාලාත්,
වැඩිමල් පුතු මාකෝත්, දෙවැන්නා නිමල් බෙනුත් කෑමට පෙර ඒ වෙනුවෙන් තුති පුදකොට යාඥා
කියති.
“ඇයි නිමල් අයියා ඇහුවේ මම ආගමේද කියල.”
මම සාන්තට අපේ දීපාල්ලා ගැන කීවෙමි. “ඒ වගේම සාන්ත, මේ සමහර දවසට විතරක් ඔයා
වෙජිටේරියන් වෙන්නේ ඇයි කියලත් අහන්නමයි මං බලාගෙන හිටියේ.”
සකල ලෝක තලයම දිවැසින්
දකින්නට පුළුවන් සිද්ධාර්ථ බුදුන් වහන්සේට... |
මීට කලින් දවසක මං ඔබට කීවා මතකය. සාන්ත වගේ උපරිමයෙන්ම
නොකළත් මගෙනුත් ඊට කිට්ටු වැඩක් කෙරෙයි. පුන් පොහෝ දවසෙත්, අනෙක් දිනවල සවස හයෙන්
පසුවත් මා කිසිම ගහක- වැලක ගෙඩියක් තියා කොළයක්වත් කඩන්නේ නැත.
සාන්ත හිතවතා වගේම තවත් සෑහෙන දෙනෙකු යම් යම් දේ කළ යුතු
හැටි මෙන්ම, නොකළ යුතු හැටිත් මට උගන්වා තිබේ. ඒ ඔවුන් පවා නොදැනුවත්වමය.
ඊට අමතරව මේ නසරානි නිදි හැබැහින් දැකල නැති අයගෙනුත්
පාඩම් ඉගෙන ගනියි. ඒ පොත් පත්වල ඉන්නා අයගෙනි.
‘ඔය මදැයි අටුවාව කීවා. කියන්න ආවදේ... කියන්න හදන දේ
කියනවා.’
‘තමුසෙ එහෙම කිව්වට යටි හිත උන්නැහේ, මේවත් මම කියන්න යන දේට සම්බන්ධයි නං...’ මගෙ උත්තරේ
සම්පූර්ණ කරන්නත් කලින් යටිහිත කොහාටද වෙලා හැංගිලාය. පෙනෙන්නට නැතිවා වුණත්
එයාටත් ගරු කරන්න ඕනිය. හුඟ වෙලාවට මාව ආම්බන් කරන්නේ; වැරදි කිරීමෙන් වළක්වා
ගන්නේ ඔය යටිහිත නොවැ.
බඩා මල්ලාගේ ගෙදරදීත්, සාන්තගෙනුත් දැක්කා වුණත් ‘ස්තුති
කිරීම’ ඒ තරමටම වැදගත් යැයි, මට වැදුණේ නැත. ඒකටත් නිසි කාලය එන්ට ඕනෑය. සකල ලෝක
තලයම දිවැසින් දකින්නට පුළුවන් සිද්ධාර්ථ බුදුන් වහන්සේට අංගුලිමාලව ඇස ගැටුණේ
කොච්චර කාලයකට පස්සෙද? මිනිසුන් නවසිය අනූ නවයක්ම මැරුවාට පස්සෙනේ.
අන්දොස් මට, මං වහන්සේ කොයි තරම් හින්නි ඇටිකිච්චෙක්දැයි තේරුම් ගන්න සිංහරාජයේ සිංහගල කඳු මුඳුනට යන තුරාම
ඉන්නට වුණේ.
ඒ වාගේ, මේ කාරණාව හිතට වැදුණේත් හම්බන්තොටදී උදා වුණු
එක්තරා හිමිදිරියකය!
‘මේකා නං මාර යකෙක් මචං!’ (2023 පෙබරවාරි 26 මාලිමාවේ
විරෝධතා රැලියට කඳුළු ගෑස් වදිද්දී...) |
“මචං නෙවිල්. මම
පාන්දර පහට වාට්ටුවට යනවා. උඹ හත වෙද්දී නිමල් අයියත් එක්ක අපේ වාට්ටුවට එන්න ඕනි.
එතකොට මම යුෂ්මතුන්ව අවශ්‍ය තැන්වලට යවන්නං...” අයස්මන්ත මහත්තයා කෙරෙන්නට වුවමනා
විදිහ කියා දුන්නේය. ඒ රාත්‍රී එකොළහත් පහු වුණාමය.
“වෙන මොකුත් නැහැනේ එහෙනං...” මං හිටි තැනින් නැඟිටිමින් ඇහුවා විතරය.
“ඉතිං බලපං පීරා, මේකගේ
තියෙන කුපාඩි ගතිය. මිනිහට බෙහෙත් ගන්න හින්ද නේද, මර්විනුයි මමයි දෙන්නමත් මේ දවස් දෙකක් නිවාඩු
දාගෙන එයාගෙ තනියට ඇවිත් ඉන්නේ. දැන් මිනිහා අපිටත් කලින් නිඳා ගන්න යන්නයි ඔය
හදන්නේ... ඔහොම ඉන්නවා. අපිට බර කතාවක් තියෙනවා. මෙහෙන් වාඩි වෙලා තමුසෙත් ඒක
අහගන්නවා. ඊට පස්සේ අපිට කෝපි ටිකක් හදලා දීලා, ඕනි නං ගිහිං නිඳා ගන්නවා.” නෙවිල්
කියාගෙන යයි.
“ඒ මහත්තය කියන්නෙ
ඇත්ත නේද නිමල් අයියේ...” පීරිසුත් හිනාව තද කරගෙන රඟයි. “ඔන්නොහෙ වාඩි වෙලා ඉඳල,
කෝපි...”
“මේ, ඔය මහත්තුරුන්ට
ඕනි නං කෝපි එකක් හදල දෙන්නං දැන්මම. මම නිඳිමතේ ඉන්නේ. තමුසෙලගෙ කයිවාරු අහගෙන
ඉන්න ගියොත් එක-දෙකවත් වෙයි නිඳා ගන්න. මොකද කියන්නේ... දැන්ම කෝපි...”
“කාලා ඉවර වෙලා බොන්න ගත්තු මගෙ කෝපි එක තවම ඉවර වෙලත් නෑ. මේ...” දොස්තර මහත්තයා
එයාගේ වීදුරුව පෙන්නුවේය.
“එහෙනං good night!”
කියාගෙනම මම අනිත් කාමරයට ගියෙමි. ‘ඔහොම ඉන්නවා / නිමලෝ, ටිකක් හිටපං බං / මේකා නං
මාර යකෙක් මචං’ වගේ ප්‍රකාශ වරුසාවක්ම ගණනකට නොගෙනය, මං එහෙම ගියේ.
දල්වා තිබුණු පොල්තෙල් පහන්
වැටිවලින් පුදසුන මත වූ... |
ඒ තුන් දෙනාම නිඳි මරන්නට රුසියෝ වෙති. ඒක වඩා පහසු වෙන්නටය, දොස්තර මහතාගේ ඇඳ
තිබෙන කාමරයේම එයාලටත් මෙට්ට දෙකක් දමා ගන්නේ.
ඉතිං, උදේ පාන්දර
පුංචි සද්දයක් ඇසී මට ඇහැරුණේය. සාලයේ විදුලි පහනුත් පත්තු වෙයි. කවුද යකෝ... මේ
ජාමේ නැඟිටගෙන හොල්මන් කරන්නේ... හොරෙක්වද්ද...
කොයිකටත් කියා මම හීන් සීරුවේ ඇඳෙන් බැස ඇඟිලි තුඩුවලින් ගිහිං සාලයට එබිකම්
කළෙමි.
අවදිවී ඉන්නේ දොස්තර
මහත්තයාය. එයා හඳුන්කූරු මිටියක් පත්තු කරමින්ය හිටියේ. එතකොටත් දල්වා තිබුණු
පොල්තෙල් පහන් වැටිවලින් පුදසුන මත වූ බුදු පිළිමයත්, දේව රූපත් දිදුලමිනි. මම
කිසිදු බාධාවක් නොකොට, නිසොල්මන්ව බලා සිටියෙමි.
පීරිස් මහතා කුඩා පුදසුන ඉදිරියේ පලඟක් බැඳගෙන වාඩි වුණේය. වන්දනාව පටන් ගත්තේය.
විනාඩි පහක් විතර බලා සිටි මම ආපසු ගොස් ඇඳට වැටුණෙමි. ඒත් නින්දට නොවැටී, මගේ
රබර් කන් දෙක සාලය දිහාවට යවලාය, මං හිටියේ.
විනාඩි හතළිස් පහකට විතර
පස්සේ, අයස්මන්ත පීරිස් මහත්තයා පැදුරෙන් නැඟිටින සද්දය ඇසුණු විටය මං එතනට එබුණේ.
“කෝපි එකක් හදන්නද?”
“ආ... අයියත් ඇහැරිලද? එහෙනං අර දෙන්නටත් එක්කම හදන්න. මං අරූව ඇහැරවන්නං.”
වතුර රත්වෙන අතරේ
‘බුදු අම්මෝ!’ සද්දය ඇසිණි. දොස්තර මහත්තයා එහෙමය. වෛද්‍ය විද්‍යාලයයේදී මිතුරන්
අතර කෙරුණු කාගෙ හෝ ‘ඝන්ටාරය
මිරිකීමේ වතාවත’ මේ යක්ෂ පැටියා තවමත් අතහැර නැත. දැන් හැමවිටම ඊට ගොදුරු වන්නේ නෙවිල්ය.
හැබැයි, මහ සද්දෙන් කෑ ගහන්නේ ඝන්ටාර හිමියා නොවේ; මිරිකන්නාය.
එදා දහවල්ය, මං දොස්තර
මහත්තයාගේ වන්දනාව ගැන වැඩි විස්තර විමසුවේ.
මිනිස් අස්ථි පඤ්ජරයේ; ඇටසැකිල්ලේ ශ්‍රෝණි මේඛලා වගේ
කොටස් ගැන මට එවෙලේ මතක් වෙයි. |
“වඳින්න?”
“වඳින්න විතරක් නෙවෙයි. භාවනා කරන්නත් එක්ක... ස්තුති භාවනාවටත් එක්ක.”
“ස්තුති භාවනාව?”
එවෙලේය, දොස්තර මහත්තයා
ඒ අමුතුම භාවනාව ගැන විස්තර මට කීවේ. ඒ කතාව මගේ බොක්කටම වැදුණේය.
කවුරුන් කොහොම
කිව්වත්, මේ නිදි අරගන්නේ එයාට උවමනා ටික විතරය; කරන්නෙත් ඌට උවමනා ටික විතරය. ඒකත් ඌගෙ විදිහට හරි ගස්සාගෙනය. එතැනදී අයස්මන්ත මහතා විඩෙන්-විඩේ
කියා තිබූ කරුණුත් මට උදව් වුණේය.
“නිමල් අයියේ, මොකක්
හරි දිගටම කරන්න ලෙහෙසියි එකම වෙලාවක, එක දිගට ඒක කරගෙන යනවා නං. සුමාන දෙකක් විතර
ඒක කළාම ඉබේම වගේ ඒක පුරුද්දක් වෙනවා. එතකොට නිකම්ම වගේ ඒ වැඩේ කෙරෙනවත් එක්ක.”
එයාගේ කතාව ඇත්තක් විත්තිය මගේ අත්දැකීමයි!
ඉතිං කාලයක හිට මං වහන්සේ පුරුදු කරගත් ස්තුති භාවනාව
පියවරෙන් පියවරට මෙහෙමය.
1. උදාවී තිබෙන දවසට ස්තුති වේවා! උදාවී තිබෙන මොහොතට ස්තුති වේවා!!
2. මිහිතලයට, සක්වලට, චක්‍රාවාටයට, විශ්වයට හා විශ්ව ජීවන ශක්තියටම ස්තුති වේවා!
මගේ සිතැඟිවලට අනුව නම් විශ්ව ජීවන ශක්තිය පුදුමාකාරය.
ඒකට මට දිය හැකි හොඳම උදාහරණයකි, කතුරුමුරුංගා මල. දවස් දෙක තුනකට වතාවක්වත් අපේ
මිදුලේ ඇති කතුරුමුරුංගා ගහේ මල් කඩාගෙන, උයන්නට සූදානම් කරද්දී හැමදාමත් මට හිතෙන
දෙයකි ඒ. (මට තරං පිස්සුවක් තියෙන තවත් උදවිය ඉන්නවාද මංදා.)
මීට කලින් ඔය වගේ දේවල් ගැන මීටර් වෙලා නැද්ද? එහෙනම්,
පරවෙන්නට ආසන්න- හොඳින් පිපුණු හා නොපිපුණු කතුරුමුරුංගා මල් කිහිපයක් හොයාගෙන ඉන්නකො... හරිද?
එහෙනං පරෙස්සමින් ඒවායේ පෙති ගලවන්නට පටන් ගන්න. එහෙම කරද්දී, ඒවා එකිනෙකට සවිවී
තියෙන හැටි ගැනත් සෝදිසියෙන් බලන්න. මිනිස් අස්ථි පඤ්ජරයේ; ඇටසැකිල්ලේ ශ්‍රෝණි
මේඛලා වගේ කොටස් ගැන මට එවෙලේ මතක් වෙයි.
ඒ පිහිටීම් දෙකෙහි සමානකම් දකින විට මට නම් ‘විශ්වයේ සැකැස්ම’ ගැන; පැවැත්ම ගැන
තවත් දාහක් දේවල් හිතෙයි.
මගේ ජීව යාන්ත්‍රණය රැඳී
තියෙන්නේ ජලය- ඔක්සිජන්- රුධිරය- පිෂ්ටය- ප්‍රෝටීන වැනි දහසක් සංකීර්ණ සංඝටක... |
3. එයින් පසු, ආපෝ- තේජෝ- වායෝ- පඨවි සේරටම ස්තුතිවන්ත වන්නෙමි. එතකොට ඇල-දොළ, ගංගා,
කඳු-හෙල්, මුහුදු, අහස, පොළොව, ගහ-කොළ-වැල් සියල්ලමත් මට සිහිපත් වෙයි.
4. ඊළඟට මා ස්තුතිවන්ත වන්නේ අම්මාට, තාත්තාට, ආච්චිලා
සීයලාට පරම්පරාවේ මුතුන් මිත්තන්ටය. සමස්ත ඥාති සමුහයාටමය. ප්‍රාණසම හිත මිතුරන්ටය. සකල ලෝකවාසී සියලු
සත්ත්වයන්ටමය. එයාලාට මගේ ස්තුතියෙන් පලක් වෙයිද? ඒ වැඩි දෙනෙකු මිය පරලොව
ගිහින්ය. එයාලා වෙනුවෙන් කළ යුත්තේ නිවන් සුව ප්‍රාර්ථනා කිරීමය.
මුල් දවස්වලදීම මට ලොකු ගැටළුවක් මතු වුණේ එතැනදීය.
උපතින්ම බෞද්ධයෙකු වුණත් මට දිවිය ලෝක- අපායවල්- නිවන වගේ දේවල් ගැන ප්‍රශ්න
තිබෙයි. කර්මය ගැනත් එහෙමය. සමහර දේවල් පිළිගන්නට මගේ මීහරක් චිත්තය නැමෙන්නෙම
නැත. මේ එයින් එකකි:
මියගිය ක්‍රිස්තියානි බැතිමතෙකුට නිවන් සුව පතන එකද හරි- ස්වර්ග සම්පත්තිය පතන එකද
හරි? නිවන කියන්නෙත්, ස්වර්ගය කියන්නෙත් දෙවිදිහක දේවල් ලෙසිනි මා තේරුම් ගෙන
සිටින්නේ.
ඒ මදිවාට අනෙක් ආගම් ගැනත් හිතන විට, අර ප්‍රශ්නය තවත් උග්‍ර වෙයි.
ඉතිං එතැනදී, මං වහන්සේ සොයා ගත්තේ, මටම අනන්‍ය වුණු
උත්තරයකි. එයින් පස්සේ, සමහර තැනෙකදී ‘ස්තුතියි’ වෙනුවට මා පාවිච්චි කරන්නේ ‘ප්‍රමෝදයට
පත් වේවා’ කියන පැතුමය.
ඔහොම ප්‍රාර්ථනා කරන විට මට දැනෙන්නට පටන් ගන්නේ
පුදුමාකාර සැහැල්ලුවකි; ප්‍රමෝදයකි; අස්වැසුමකි.
මට වැටහෙන විදිහට නම් මේ ස්තුති භාවනාවෙන් ලැබෙන ලොකුම ප්‍රතිලාභය ඒ සැනසිලිදායක
තෘප්තිමත් බවයි!
ස්තුති කරන්නට දේවල් අප වටා
එමට තිබෙන විත්තියත්... |
මෛත්‍රී භාවනාව වඩද්දී නම් ඉස්සෙල්ලාම මෛත්‍රී කරන්නේ
තමන්ටමය. ඒ භාවනාවේදී ‘මා ඇතුළු සියලු සත්ත්වයෝ ...’යි කීමෙන් පෙනෙනුයේ ඒ බවයි.
මැටිමෝල් මං වහන්සේ හදාගෙන තියෙන භාවනාවේදී, ඊළඟ කරුණ
විදිහටය ‘මං’ යොදා ගැනෙන්නේ. ඇයි? මං වහන්සේ ගැන- මං වහන්සේගේ ගොඩක් දේවල්වලට
මමවත් ස්තුති කරගන්නට එපැයි!
මගේ වාසනාවට / තීක්ෂණ මතකයට / ඔරොත්තු දීමේ හැකියාවට / උයන-පිහන, ලියන-කියන,
නටන-ගයන හැකියාවන්ට / ආකර්ශනීය භාවයට වගේ අටෝරාශියක් දේ ඒ තුති පුද ලබන්නා වූ
දේවල් අතර තිබෙයි.
ඒ හැම දෙයක් වෙනුවෙන්ම පළමුවෙන් මටත්, දෙවනුව විශ්ව ජීවන ශක්තියටත් ස්තුතිවන්ත වෙන්නෙමි.
භාවනාවට වෙලාව හා නිදහස වැඩියෙන් තිබෙයි නම්, ස්තුති
කරන්නට දේවල් අප වටා එමට තිබෙන විත්තියත් මට මතක් වෙයි.
මගේ නිවහන, ගේදොර බඩුමුට්ටු, ඇඳුම්-කැඩුම්, වත්තේ ගහකොළ
විතරක් නොවේ ‘මේ අකුරු කරන කොම්පියුටරේ’ පවා මවිසින් අගය කළ යුතුයි නේද?
මට අනුව නම් අජීවී බඩු-භාණ්ඩවලට පවා අපේ හැඟීම් දැනෙයි.
2021 අවුරුද්දේ මැයි 8 වෙනිදා, හිතවත් Sam පෙරේරා සහෘදයා
blog post එකකට එවාපු විරල ගණයේ comment එකක් මං සුරැකිව අරං තියාන හිටියා.
ස්තුතිය ගැන පෝස්ටුව ලියනකොට ඔබන්න. මේ ඒකය:
‘ලංකාවේ "සියලුම"
පොලිස් නිලධාරීන් හෝ රථවාහන පොලිස් නිලධාරීන් දූෂිතයන් නොවෙයි. නමුත්, බහුතරයක්
දූෂිතයන් නිසා ඉතාම හොඳ, නීතිගරුක
ගුණයහපත් නිලධාරීන්ගේ යහගුණයන් යටපත් වෙනවා. මගේ මතකයෙන් කතාවක් ලියන්නම්.
80 දශකයේ දිනක අපේ අසල්වැසි ගෙදරක වයසක
ගැහැණු කෙනෙකුට අංසබාගේ (සිංහලෙන් කියනවානම් ස්ට්‍රෝක් එකක්) හැදුනා. ඒ
තැනැත්තියගේ දුව, ටෙලි නාට්‍යවල රඟපෑ
ලස්සන තරුණියක්. (ඒ කාලේ අපේ වයසේ හැටියට එයා ළඟින් හිටියත් සැපයි.) එයා ඇවිත්, අනේ මල්ලී, අම්මාට
අසනීපයි, ඉස්පිරිතාලේ අරං යමු කීවාම, එයාව මහ
ඉස්පිරිතාලෙට අරං ගියා.
වේගයෙන් එලවන්න ආසාව තිබුනාට, ඒකට හේතුවක්
නැතුව ඉන්න මට, මේ වාගේ අවස්ථාවන්
ලැබෙන්නේ කලාතුරකින් නිසා එයින් උපරිම ප්‍රයෝජන ගන්න මම මැලි උනේ නැහැ. සති අන්ත
දවසක් වෙච්ච එදා, නුගේගොඩ හංදියේ පාර
පනින කහ ඉරේ මම නැවැත්තුවේ එතන පාර මැද හිටපු පොලිස් රාලහාමිගේ අවධානය යොමුවෙන
විදියටයි. හෙඩ් ලයිට් දාගෙන ඉන්න මගේ වාහනය දිහා බලාපු ඒ රාලහාමිට, "අමාරු ලෙඩක්, මම
ඉස්පිරිතාලේ යනවා " කියලා කෑ ගහලා කියපුවාම, ඒ
"පොලිස් මහත්තයා" පාර පනින
මිනිස්සුන්ටත්, ඉස්සරහින් තිබුන
වාහනවලටත් 'මේ වාහනේට යන්න ඉඩ
දෙන්න' කියලා කෑ ගහලා, මට ඉඩ අරං
දුන්නා.
මිනිස්සුන්ට උදව් කරන කෙනෙකුට
කවදාවත් වරදින්නේ නැහැ! |
"මිනිස්සුන්ට උදව් කරන කෙනෙකුට කවදාවත්
වරදින්නේ නැහැ. ඔයා මගේ ගානේ තේ එකක් බොන්න. ඩීසල් මදි වෙයි කියලා හිතනවානම් මම
ෂෙඩ් එකෙන් ලීටර් දෙකතුනක් ඉල්ලලා දෙන්නම්. පස්සේ ඇවිත් සල්ලි දෙන්න, අපි කවුරුත්
මැරෙන මිනිස්සු. කෙනෙකුට උදව්වක් කරන්න බැරි නම් මනුස්ස ජීවිතයෙන් වැඩක්
නැහැ."
මේ කියමන මගේ මුළු ජීවිතය පුරාම මම ආදර්ශ පාඨයක් ලෙසට සලකනවා.(නමුත්, ලංකාවේ පොලිසියේ බහුතරයක් මෙහෙම නොවන බවත් අවධාරණය කරනවා.)’
සෑම් පෙරේරා මහතා ‘නිදිගෙ පංච තන්තරේ’ට වගේම
තවත් blog අඩවි ගොඩකටමත් comments එවූ රසිකයෙක්. නමුත් කාලයක සිට කිසිම තැනක එතුමාගේ නම දකින්න ලැබුණේ
නෑ. හේතුවක් නම් හිතා ගන්න බැරි වුණත්,
එතුමන්ටත් ගොඩාරියක් ස්තුතිවන්ත වෙමිනුයි, මේ උපුටනය මෙතැනට යෙදුවේ. ස්තුතියි!!!
Post එකේ අන්තිමටම, මෙතෙක් සඟවාගෙන සිටි රහසක්
කියන්නට හිතෙයි.
මේ ‘බ්ලොගය කියවන හිතාදර පාඨක ඔබ සැමටත් ප්‍රමෝදය අත් වේවා’යි කියන වැකියකුත් මා
නිතිපතා කරන භාවනාවේ ප්‍රාර්ථනයට ඇතුළත් වෙන බවයි ඒ෴0෴