අකුරු මැකී නෑ

Saturday, February 18, 2023

මල්සර ආගමනය

මොකක්ද යකඩෝ මේ සුවඳ?

මේ ඉමිහිරි සුගන්ධය මීට කලින් කවම කවරදාකවත් මගෙ ආඝ්‍රාණ ඉන්ද්‍රියයන්ට නොදැනුණු එකකි; ආගන්තුක එකකි. ඒ සුවඳ එන්න එන්නම වැඩි වෙයි; දැඩි වෙයි...

ඇවිදින් ඉන්නේ කවුරුන් වුණත් හරිම සීදේවී පාටය; සිරියාවන්ත පාටය.
“ස්...ස්...ස්...!”

කවුද බොලේ ඒ?  ආයෙමත් ඇහෙයි. ස්.. ස්.. ස්...
දැන් නං මට පිස්සුය. පපු කැනති කඩාගෙන යන දිවිය ලෝක සුවඳ මදිවාට, සංගීතමය ස්වරයකින් කෙරෙන ස්..ස්..ස්.. එකක්. ඒ හඬ එච්චරටම මධුර ස්වරයකින් යුතු එකක් වුණු නිසාවෙන්මය, මං වහන්සේ මෙතෙක් වෙලා දමනය වෙලා හිටියේ. එහෙම නැති වෙලාවක නං ‘ස් ස් ස් ගාන්නේ තමුසෙලගෙ තාත්තා නයෙක්ද?’ කියලාවත් අහන්නට තිබුණි.

ස්...ස්...ස්... ආයෙත්...
මම සක බමරයක් මෙන් කරකැවි-කැවී හතර පැත්තම බැලුවෙමි. ම්හු!
“ඔහෙ නෙවෙයි. මෙහෙ... මෙහේ... මානවක නිදි, මෙහෙ!” දෙයියෝ සාක්කි! ඇවිත් ඉන්නේ කවුරුන් වුණත් එයා මගේ නමත් දන්නවාය. එහෙම වුණත් මට එච්චර දිරෙව්වේ නැත්තේ ‘මානවක’ කෑල්ලය. ඒ කල්පනාව අස්සේ මටත් හොරා මගෙ ඇස් දෙක උඩ ගිහින්ය.

ඈ!
කවුද යකඩෝ අර?

රෝසම රෝස පාට වලාකුළු ගොන්නකට මුවා වෙලා එබිකම් කරන්නේ... ඇවිදින් ඉන්නේ කවුරුන් වුණත් හරිම සීදේවී පාටය; සිරියාවන්ත පාටය.
“තවමත් තොපට මා හඳුනා ගත නොහැකිද නිමල් දිසානායකයාණෙනි...”
නාටකීය භාෂාවකින් එයා එහෙම ඇහුවේ ඔලොක්කුවටද නැත්තං ඒ හාදයාගේ විදිහ නිසාද... එය මට නොතේරුණු නිසාය, මං එක විඩේම උත්තරයක් නොදුන්නේ.

“මොකද නිදි, තක්කු මුක්කු වෙලා- තක්බීර් වෙලා. තකහනියෙම තමුසෙව හම්බ වෙන්න ආවම ඔහොමද හලෝ මාව පිළිගන්නේ?” ඒ සැරේ මේ යෝදයා අපේ කතාබතා ලීලාවට බැහැලාය.
“ඔහෙටත් පුරාණ ගැදි වහර අමුතුයි වගේ නිසයි මං අද කාලේ බාසාවට බැස්සේ. ‘වහරනු සෙරෙන් සපයා’ කියල නේද ඒ විදිහට කියන්නේ...”

මේ ඇවිත් ඉන්නේ අනංගයාමය; කාම දේවයාමය; Cupidමය...

එහෙම කියන ගමන්ම මේ අමුත්තා වලාකුළෙන් බිමට බැස්සේය. මගේ ඇඳ උඩින්ම වාඩි වුණේය. මුලින් දැනුණු සුවඳ සිය ගුණයකින් වැඩි වෙලා මට දැනෙන්නට වුණේය. “අඃආආ...ආ” මගෙන් අනිච්ඡානුග ක්‍රියාවක් සිද්ද වුණේ එතකොටය. නිකම්ම කෙරුණු මගේ ගැඹුරු හුස්ම ඇදිල්ල අමුත්තාටත් දැනුණා වගෙය.

“සුවඳයි නේද? පුදුමයැ... මේවා ඔරිජිනල් මල්... duplicate නෙවෙයිනෙ.” කියන ගමන්ම ඒ හාදයා අතක් ඉස්සුවේය.

එතකොටය පෙනුණේ; ඒ අතේ දුන්නකි. මල් ගොඩකි.

“පේනවනෙ නිදි, උක් දඬු දුන්නයි, මල් හී සර පහයි!” ආඩම්බරෙන් පෙන්වමින් ඒ හාදයා අර ඉමිහිරි හඬින් සිංදු කෑලි ටිකකුත් මුමුණයි. ‘මල් හී ගෙන එයි මල්සරා / සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා - ඔය අනංගයා තමයි මහා පෙම් හොරා / මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී...’

මේ හාදයා ලංකාවේ නැතුව දිවිය ලෝකයේ ඉන්නා එකම හොඳය; මෙහෙ හිටියා නං හෙම ඕනෑම රියලිටි තරගයකින් වෙන කෙනෙකුට දිනන්නට බැරි වෙන එක ෂුවර්ය. ඒ තරමටම ඒ ගායනා හැඟීම්බරය; ශ්‍රුතියේ පිහිටලාය; උච්ඡාවචනයන් සහිතය!

“ආ! ඇති පදම් සුවඳ විඳගෙන ඉන්නවකො ඉස්සෙල්ලම...” මගේ පෙරේත හුස්ම ගැනිල්ල තේරුම් ගත් අනංගයා (දැන් මට කිසිම සැකයක් නැත. මේ ඇවිත් ඉන්නේ අනංගයාමය; කාම දේවයාමය; Cupidමය; ඊරෝස්මය.) මට එයාගේ මල් හී සර පොකුරම දික් කරයි.

“ඇයි... අතට ගන්න බයයිද? කාරණා දන්න කෙනෙක් මල් හී සර අතට ගන්න පස්ස ගහන එකත් සාධාරණයි නේන්නං. මෙව්වා නෙලුම්, හෝපලු, අඹ , නිල් උපුල්, දෑ සමන් මල්වලින් හදල තිබ්බට මොකද වැදුණොත් ලේසි නැහැනේ...”

“ඒක නේන්නං... ඔය ලියල කියල තියෙන විදිහට නං එක එක ඊතලවලින් ඇති කෙරෙන හැඟීම් එක එක විදිහයි කියලත් කියනවනෙ.” මමත් යමක්-කමක් දන්නා විත්තිය මල්සරාට ප්‍රදර්සනේ නොකර බැරිය. “...උන්මාදන, තපන, ශෝභන, ස්තම්භන, සම්මෝහ කියල නේද එව්වා ගැන පොත්පත්වල තියෙන්නේ.”

හරි වැරැද්ද නොබලා ඕනිම දෙයකට එහෙමයි කියන එක ඉතිං ඔහෙලගෙ ජාතික පුරුද්දක්නේ!

“නිදි, ගහ දන්නා මිනිහට කොළ කඩා පානවා වගේ වැඩක් නෙව ඔය කරන්නේ. ඇයි හලෝ මගෙ ඊතල ගැන, එව්වයින් කෙරෙන බලපෑම් ගැන මම දන්නෙ නෑ කියලද හිතන්නේ? වෙපන් එකක් පාවිච්චි කරන්න කලින් ඒක ගැන දැනුවත් වෙන්න එපැයි, අපි වුණත්...”

“සමා වෙන්ඩෝනි... සමා වෙන්ඩෝනි. මම ටිකාක් විතර ටැපලිලා ඉන්නේ. තමුන්නාන්සෙගේ සැපත් වීම හින්දා.... ඒ වගේම තමුන්නැහේ මෙච්චර හොඳට අද කාලේ සිංහල කතා කරන හින්දා...” මං කිව්වේ හැකිතාක් ආචාරශීලී වෙමින්ය.

“ඉස්සෙල්ලාම නිදි, මං කොහාට ගියත්- කාව හම්බ වෙන්න ගියත් දේසේ හැටියට බාසේ හදා ගන්නවා... ඒක හොඳ රාජ්‍ය තාන්ත්‍රික උපායක්... මතකද ඔය ගැන ‘අවලස්සන ඇමෙරිකානුවා’ පොතෙන් ඔහෙත් කියෙව්වා. ඒවා පැත්තකින් තියලා කියනවා නං....
මං මෙහෙම හදිස්සියේ පෙනී හිටියේ නං... මේ අවුරුද්දේ ඔහෙලගෙ රටෙන් මට වෙච්චි අසාධාරණේ ගැන නිදිගෙ පංච තන්තරේ blog එකට post එකක් ලියන්නයි කියලා තමුන්ට කියන්න.”

“ඈ? කොච්චර සතුටක්ද... ආඩම්බරයක්ද දිවිය ලෝකේ ඉන්න ඇත්තොත් අපේ blogs කියවනවය කියලා දැනගත්තම...”
“ඉස්සර වගේ මනුස්ස ලෝකේ වැඩවලට පෙනෙන්න මැදිහත් නොවුණට හිතන්න එපා අපි මොකුත්ම නොදන්නවයි කියලා. දිවිය ලෝකෙ- අපායේ ඉන්න අපි කවුරුත් මෙහෙ වෙන දේවල් ගැන update වෙනවා. එකම දේ දැන් දැන් ලෝකේ informations වැඩියි. කොච්චරද කියනවා නං අපේ ලොක්කා දැන් අපි එක එක්කෙනාට එක එක subjects බෙදල දීලයි තියෙන්නේ.”

“ලොක්කා කිව්වේ ශක්‍ර දේවේන්ද්‍රයා වෙන්නැති. අපේ ලොක්කත් එහෙම තමයි. බෙදන්න subjects නැතත් ගෙම්බොන්ට ඇමතිකම් දෙනවා. එහෙමයි කියන එවුන්ට...”
“හරි වැරැද්ද නොබලා ඕනිම දේකට එහෙමයි කියන එක ඉතිං ඔහෙලගෙ ජාතික පුරුද්දක්නේ.” අනංගයා ඉඟි මරමින් එහෙම කියද්දී නං මටත් චුට්ටක් විතර ලජ්ජාවක් දැනුණේය. ඒත් හිතට එකඟව එහෙම නැතැයි කියන්නත් බැරිකොට...

වෙලාවකට නිස්සද්දකම වැඩියෙන් දොඩමලුය කියලත් කියනවනෙ. මාත් හිටියේ...

“කොච්චර අංජබජල් දේවල් මේ රටේ වෙනවද... බලනවා- තමුසෙලා එහෙමයි කිය-කියා ඉන්නවා මිසක්, වැඩක් කරවගන්න ඕනි කලාව දන්නෑ- වැඩක් කරවගන්න ඕනි art එක දන්නෑ. තවමත් ඔහෙලා ඒක ඉගෙනගෙන නෑ.”

දැන් නං අනංගයාටත් මළ පැනලා වගෙය.
“අනේ දෙය්යනේ, මම ටිකක් ටියුබ් ලයිට් එකක්නේ. මට සමහර දේවල් මීටර් වෙන්නේ හෙමිහිට...”
“තමුසෙට තියෙන ඔන්න ඔය හොඳ ගුණාංගෙ හින්ද තමයි හලෝ මේ වැඩේට මං තමුසෙවම හොයා ගෙන ආවේ...” කාම දේවයා හිනැහී කිව්වේය. දැන් උන්නැහේ calm down වෙලාය.
“තමුන් නොදන්නා බව දන්නා එකා පණ්ඩිතයෙකි කියල කියමනකුත් තියෙනවනේ. ඒ වගේමයි තමුන්ගේ දුර්වලකම් තමුන්ම තේරුම් ගෙන ඉන්න එකත්... පණ්ඩිතයෙක් වුණත්, නැතත් එහෙම අයත් එක්ක වැඩ කිරිල්ල ලේසියි.”

යාන්තමින් ඔළුව හොලවා ඒකට හූම් කිව්වා මිස මම බාධා කරන්නට නොගියෙමි.

“දැන් බලනවා නිදි, මේ සැරේ තමුසෙලා සේරම මට සැලකුවේ දෙකේ කොළේට දාලා... වෙනදට නං එහෙමද. තමුසෙටත් මීටර් වුණේ නෑ මගෙ හිතේ. කොරෝනා අස්සෙත් තමුසෙලා මට මීට වඩා සැලකුවා...” මල්සරා හූල්ලයි! සමහර වෙලාවට නිස්සද්දෙන් ඉන්න එක ගුණදායකය. වෙලාවකට නිස්සද්දකම වැඩියෙන් දොඩමලුය කියලත් කියනවනෙ. මාත් හිටියේ සද්ද නැතිවය. අනෙක් අතට මේ කියන්නේ මොකක් ගැනදැයි තවමත් මට වැටහෙන්නෙත් නැත.

“බලනවා... අද දාහත් වෙනිදා. පෙබරවාරි දාහතරක් ආවා- ඇවිත් ගියා... තමුසෙල කී දෙනෙකුටද මාව මතක් වුණේ?”

දැන් නං ‘කොඤ්ඤං කොඤ්ඤං තෙරියුමා’ය. මලවියාට දැනිලා තියෙන්නේ මේ වතාවේ අපි ඉස්තරම් විදිහට ‘වැලන්ටයින් Day’ එක සැමරුවේ නැති එකය.

“දැන් නං මටත් තේරෙනවා... අපි තමුන්නැහේ ගැන තැකුවා මදි වගේය කියලා....”
“මදි වගේ නෙවෙයි නිදි, තැකුවා හොඳටම මදි. ඔය වෙළෙන්දෝ ටික දෙනෙක් නං රෝස මලක් 600/- ගානේ වික්කා. Flower බන්ච් එකක් 12,000/-ට ප්‍රයිස් කරලා තිබ්බා. ඒ වුණාට පාටි කීයද තිබුණේ... රටටම දැනෙන විදිහට වැඩේ කෙරුණේ නැහැනෙ මේ වතාවේ...”

රටට කොච්චර ලජ්ජාවක්ද Valentine’s Day එක සෙලිබ්‍රේට් නොකිරීම.

“ඒක නං ඇත්ත. එහෙම වෙන්න ඇත්තේ මිනිස්සුන්ට තියෙන ආර්ථික ප්‍රශ්න නිසා... දැන් රටේ වැඩි දෙනෙක් ඉන්නේ පාන් කියා ගන්නවත් බැරි ගාණට වැටිලනේ.”

“පාන් කියා ගන්නවත් බැරි ගාණට... එහෙනං තමුසෙලා නිදහස් උත්සවේ ජයටම සැමරුවේ... ඇයි හලෝ, තමුසෙගෙ Nice View පෝස්ටුවට Praසන් එවාපු comment එකකට උත්තර දෙද්දී තමුසෙම කියලා තිබුණේ- එදා ගෝල්ෆේස් එකට හෙණ වදින එක නවත්තන්න අකුණු සන්නායකවලට රු.3,45,000/-ක් වියදම් කරලා තිබුණයි කියලා. ඔහෙලගෙ රටේ ඉන්නේ තමුන්ට හෙණ ගහයි කියල බයෙන් ඉන්න ලොක්කොද?”

“එච්චරයැ, ඩී.එස්. සේනානායක පිළිමෙට 97,000/-ක් වියදම් කරලා මල් මාල දාන්න පුළුවන් රටේ- රුපියල් ලක්ෂ දහඅටක් වියදම් කරල ජාතික ගීය ගයවන්න පුළුවන් රටේ- මොන ආර්ථික ප්‍රශ්නද තියෙන්නෙ හලෝ... බලනවා- ජාත්‍යන්තර වශයෙන් තමුසෙලගෙ රටට කොච්චර ලජ්ජාවක්ද Valentine’s Day එක සෙලිබ්‍රේට් නොකිරීම.”

එයා නං කියයි. ලොකුවට සමරණ වාරයක් ගාණේ කෙළවෙන්නේ අපටය. මේ වතාවේ ගෑස් මිල ආයෙමත් ඉහළ ගියේ හැත්තෑපස්වන නිදහස් සමරුවෙන් දොදොහක් ගෙවෙන්නත් කලින්ය... හැත්තම පස් වෙන්නැයි ජනතාවට කියැවුණේ එතකොටය.

“මොනවද නිදි හිතුවේ... වියදම් ගැනද? නැත්තං...”

“නෑ නෑ. හැත්ත පස් වෙන කතාවක් මතක් වුණා...” මට කියැවුණේ සිනහව අතරෙනි.

ළමයින්ගේ A/L විභාගෙ තියෙන දවස්වල ලයිට් කපන්න එපයි කියලා රටේම මිනිස්සු ඉල්ලුවා.

“හිනා නෙවෙයි නිදි. ඒ ඒ බනිසට ඒ ඒ කෙහෙල් ගෙඩි කියලා සමහරු කියනවා නේද? ඒ වගේ මසුරං පාඩම් ඔහෙලා ලේසියෙන්ම අමතක කරල දානවා කියලයි මට පේන්නෙ.”

“ඒ කිව්වේ..”

“ඒ දවස්වල රටේම බහුතරයක් කිව්වේ මොකක්ද- මේ වෙලාවේ සල්ලි නාස්ති කරන නිදහස් සැමරුම් උත්සවයක් එපා කියලා. මොකක්ද වුණේ? ලොක්කො- බක්කො කණකට ගත්තද?” අනංගයා අහයි.
“ඉස්කෝල ළමයින්ගේ A/L විභාගෙ තියෙන දවස්වල ලයිට් කපන්න එපයි කියලා රටේම මිනිස්සු ඉල්ලුවා. ලොක්කො ඇහුවද?”

මගේ දකුණත ඔළුවට ගියේ නිකංමය. ඔළුව කැසුණේත් නිකංමය.

“අන්තරේ වසන්තව නිස්කාරණේ හිර කරලා තියා ගන්න එපා කියල පෙළපාලි ගීයා; උද්ඝෝෂණ කළා. පිටරටවල උදවිය පවා කිව්වා.... උන්නැහේ ඇහුවද?”
“නැහැ නේන්නං දෙයි හාමුදුරුවනේ!”
“ඤැහැ ඤේඤ්ඤං! නිකංම ඒක කිව්ව කැත... මනුස්සයො, ටිකක් හිතනවකො. ඒවා කෙරිච්ච රටාව.
රටම එපා කියද්දී නිදහස සැමරුවා. වසන්තව නිදහස් කෙරෙව්වෙත් හය මාසයක් යනකල් ඉඳලා. මූණට දමල ගැහුවා වගේ ලයිට් කැපිල්ල නැවැත්තුවේ හරියටම A/L විභාගෙ අන්තිම වේගෙන එද්දී. මොකක්ද ඔය සේරටම පොදු සාධකේ?”

මං වහන්සේගේ අහස- පොළොව ගැට ගහන කල්පනාවේ දිග දැකලා අනංග දෙයියන්ගෙත් ඉවසිල්ල නැති වෙලා වගෙය.

“ඇයි මිනිහො, පෙනෙන්නැද්ද. ඒ මනුස්සයා කරන්නේ හැමෝම කරන්න එපැයි කියල කියන දේ!”
“හැබෑම නේන්නං...”

“අන්න ඒ point එක හිතට අරගෙන plan කරලා වැඩ කළොත් තමයි තමුසෙල කරන වැඩ හරි යන්නෙ.”
කෙනෙකුට පෙන්නිය හැකි උපරිමයෙන්ම මං යාප්පු වෙන විත්තිය පෙන්නුවෙමි; මරි මෝඩ තකතිරු බවක් පෙන්නුවෙමි. “ඇයි දන්නෑ උන්නැහේ එහෙම කරන්නේ?”

උන්නැහේ දැන් කරන්නෙම ජනමතයට පිටුපාන එකය කියලා...

“එහෙම කරන්නෙද? මොකෝ, උන්නැහේ බලයට ආවේ ජනමතය දිනලද... ජනතාවගේ ඡන්දය ලැබිලද? නැහැනෙ. මෙච්චර කාලයක් පෙරුම් පුරාගෙන ඉඳල ඉඳලා උන්නැහෙට හරි ගියේ මොනවා කළාමද... ජනමතයට පිටු පෑවට පස්සේ නේද, එච්චර කල් නීච වෙලා හිටි එයාගේ පක්ෂියා රජ වුණේ... ලොක්කා දැන් ඒ පාඩම නියමෙටම ෆලෝ කරනවා.”

“දැන් නං ඉර පෑව්වා වගේ පැහැදිලියි දෙයියනේ. එහෙම හිතනකොට නං....”

“දැන්වත් තේරෙනවද... උන්නැහේ දැන් කරන්නෙම ජනමතයට පිටුපාන එකය කියලා. අනිත් කාට වැරදුණත් උන්නැහෙට හරි යන්නෙ එහෙම කළාමනේ.”

ජහමන අපට ඒ තියරියෙන් වැඩක් ගන්න බැරිද?
එහෙම හිතෙනවාත් එක්කම ප්‍රශ්නයකුත් මතු වෙයි. අනංගයා තකහනියේ ඇවිත් අපට මේවා කියා දෙන්නේ ඇයි? ප්‍රශ්න හිතේම තියාගෙන හිටියාට සෙතක් නොවෙයි. ප්‍රශ්නයට උත්තරේ අහගන්න වෙන්නෙත් උන්නැහේගෙන් විතරකි. ඉතිං මම ඇහුවෙමි.

“ඇයි නිදි, මේ හැට හැත්තෑවේ ලොන්ත පෝල්ලා කරපු හරිය හින්දා දැන් ඉන්න කොල්ලො කෙල්ලෝ හරියට love කරන්නවත් දන්නෑ.
ඉස්සර මගේ මල් හී සැරවලින් පහර කාපු කොල්ලො-කෙල්ලොනේ නියම ආදරවන්තයෝ. නල-දමයන්ති, රාම-සීතා, ලයිලා-මජ්නු, රෝමියෝ-ජුලියට්... උන්ගෙ ආදර කතන්දර මතක් වෙද්දී තවම මාවත් කිළිපොලා යනවා. තවමත් මම පුරුද්දට මල් හී විදිනවා තමයි. ඒත් නිදි, මමවත් මං ගැන සැටිස් නෑ.
පොඩ්ඩ බැරි වෙච්ච ගමන් කපන- කොටන- මරණ ආදරවන්තයොනෙ අද ඉන්නේ. එයාල බිහි වෙලා තියෙන්නෙත් මේ සමාජ ක්‍රමයෙම තියෙන වැරදි හින්දා නේද? ඒ වැරදි හදා ගන්න; නිවැරදි කරවා ගන්න උදව් දෙන එක අපෙත් යුතුකමක්... එතකොටවත් මිනිස්සු හැදෙයිනෙ...
මං හිතන්නෙ දැන් ඔහෙලගෙ රටේ පාලන බලයත් තරුණයන්ට බාර දෙන්න කාලේ හරි!”  

දෙයි හාමුදුරුවනේ!
බලාගෙන ගියාම අනංග දෙයියනුත් සපොර්ට් කරන්නේ...
එයා කියන විදිහට කරනවා නං...

රටම එකට එකතුවී එක විරෝධතාවක...

මගේ ඔළුවේ ඇඳීගෙන ගිය පින්තූරය මහ පුදුමාකාර එකකි... රටම එකාවන්ව එකට එකතුවී එකම විරෝධතා පෙළපාලියක යයි. හැමෝම මොර දෙන්නේ එකම සටන් පාඨයක් කියමිනි. හැමෝම ඔසවාගෙන ඉන්නා එකේක විදිහේ පුවරුවල ඇත්තෙත් එකම සටන් පාඨයකි.

‘2023 පළාත් පාලන මැතිවරණය වහාම කල් දමනු!’

ඒ කල්පනාවෙන් මොහොතක ඉසිඹුවක් ලබාගෙන ඒ පැත්ත බලද්දී අනංගයා අන්තරස්දාන වී ගිහින්ය. එයින් කැළඹී මේ පැත්ත බලද්දීය වැටහුණේ- මං සොඳුරු දවල් හීනයක් දැකලාය.
හීනයකින් ඇවිත් වුණත් ඉල්ලීමක් කළේ දෙවියෙකි; ආදරයට අධිපති දෙවිඳුන්ගේ ඒ ඉල්ලීමට පිටුපෑමට තරම් දැඩි හිතක් මට නැත. එබැවිනි මේ post එක ලිව්වේ෴0෴

28 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. "IMF ණය ලැබුනම එඤ්ඤං" කියලා අනංග රාළ මාරු උනයි කියල තමා ආරංචි වුනේ.

    ReplyDelete
    Replies
    1. කියුපිඩ්ට පියාපත් තියනව. ඉතින් පියාඹනව. බස්සන්ට පියාපත් තියනව. ඒත් උන් ලිස්සනව

      Delete
    2. බස්සා මහත්තයට කවුද බොලේ රහස කිව්වේ? අනංග රාළ IMF ණය ගැන කිව්වා නේන්නං. ඒත් ඒ විත්තිය කිව්වේ නැත්තේ අපේ ජනපෙතිතුමන්ට ලජ්ජා හිතෙයි කියලයි.

      Delete
    3. Pra Jay මහත්තයෝ.... පියාපත් ඇති නැති භේදයක් නෑ, දැන් හැමෝම ලිස්සනවා... ඊට වැඩිය පිරිසක් හොම්බෙන් යනවා.

      Delete
  3. https://blogs.scientificamerican.com/bering-in-mind/the-original-cupid-was-a-sociopath/

    ReplyDelete
    Replies
    1. //“ඇයි... අතට ගන්න බයයිද? කාරණා දන්න කෙනෙක් මල් හී සර අතට ගන්න පස්ස ගහන එකත් සාධාරණයි නේන්නං. මෙව්වා නෙලුම්, හෝපලු, අඹ , නිල් උපුල්, දෑ සමන් මල්වලින් හදල තිබ්බට මොකද වැදුණොත් ලේසි නැහැනේ...”// කියලා අනංගයා කිව්වේ Pra Jay, ඔබතුමා එව්ව link එකේ කතාව නිසා වෙන්නැති.
      සයිකී ළඟදී මල් හී තලවලින් එයාටම තුවාල වෙලා ප්රෙමාතුරයෙක් වුණානෙ.

      Delete
  4. THIS TIME NO ONE WILL VOTE FOR HU AMPI OR POHOTTUVA, IF THEY HAVE A BRAIN..

    ReplyDelete
    Replies
    1. ලලිත්, අපේ මොළවලට මක් වෙලාද?
      මට මතක් වෙන්නේ 'චිත්ත පරපෝෂිතයෝ' නවකතාව.

      Delete
  5. හෙහ්..හෙහ්.. මේ මුල ටික කියවගෙන යද්දි මට ඇත්තටම හිතුන දෙයක් කියන්නද?
    68යි කියල නෑ.. ඔහෙට කොයිවෙලේක හරි ඇත්තටම මල්සරා විදින්න ඉඩ තියෙනවා අද හෙටම.. ඔහේ ඒ තරම් ජනප්‍රියයිනේ දැන් මේ ළලනාවෝ අතර.. අපි දැක්කනේ අර උපවාසේ දවස්වල කී දෙනෙක් නම් ළලනාවෝ ඔහේ වටේ රැස් වෙලා විස්සෝප උනැයි. හෙහ් හෙහ්..
    හුටා.. එතෝට මේ පාර මල්සරාත් අරගොල්ලන්ටමද? ජයවේවා..
    2023 පළාත් පාලන මැතිවරණය වහාම කල් දමනු!

    ReplyDelete
    Replies
    1. මේ නම් තනිකරම ඉරිසියාව

      Delete
    2. මදැයි! අරගල බිමේ මං හිටි තැනට වෙලා දෙතුන් දවසක්ම ප්‍රසන්නලා, රවීලා ප්‍රාලා එක්ක පැය ගණන් තනි රකිද්දී කමී ලලනාවන් ගැනත් සෝදිසියෙන් ඉඳලනෙ. ඒ විස්සෝප වුණේ සහකම්පනේ නිසයි කමී.
      එතකොට මල්සරාත්..... ඔයා හරි...
      තව රහසක් කියන්නං කමී. මල්සරා කිව්වේ- අපේ ලොක්කො ගණන් හදන්නේ අනුබිස් කියලා කෙනෙක් නැති විදිහටයි කියලා අනුබිස් දෙයියන්ට තද වෙලාලු!

      Delete
    3. අජිත් ඉරිසියාව නෙවෙයි මහත්තයෝ- ඉතිරි+සිරියාව!

      Delete
  6. පටාන් ගන්නකොටම සුවඳ ගැන විස්තරයක් තිව්න හන්ද මතකෙට ආවේ... ලඟදි බලපු Perfume ෆිලුම.

    දෙයියන්ට අපේ නයාවත් පෙනිලා 😂

    ReplyDelete
    Replies
    1. පර්ෆියුම් බැලුවද නමී?

      දෙවිවරුන්ට නයි අමුතු සත්තු නෙවෙයිනෙ. එක්කෙනෙක් නයෙක්ව බෙල්ලේ එල්ලගෙන ඉන්නේ...තව එක්කෙනෙක් පාගාගෙන ඉන්නේ.

      කොයි මේ නයා... නමීට උත්තර දෙන්නේ නැතෙයි?

      Delete
    2. වෙරළු මල් සුවඳ එන වෙලාවට னයි පේන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. හැක්..

      Delete
    3. වෙරළු මල්, වෙරළු මල්, වෙරළු මල්
      වෙරළු මල්, වෙරළු මල් සැලුවම ලල්...... 😂

      Delete
  7. මම බැලුවා වෙනමල් ජාතියක්වත් ආඝ්‍රාණය කරලද කියලා.

    ReplyDelete
  8. සිංදු කෑලි ටික දැක්කම මතක් උනේ. කරුනාරත්න අබේසේකර මහත්තයයි එතුමාගෙ සහෝදරයෙක් වෙච්ච (නම මතක නෑ) ගීත රචකයෙකුයි අතරේ අනංගයා ගැන සිංදු ලියන තරඟයක් ඇතිවෙලා තිබ්බලු නේද . ඒකට පත්තර වල ඈයෝ කියලා තියෙන්නේ අනංග යුද්ධය කියල .

    ReplyDelete
    Replies
    1. චමී, ඔයා හරි මහත්තයෝ.
      ඒත් ඒකේ නම අනංග වාදය කියලයි මට මතක තිබ්බේ. ඉතිං නිකමට හෙව්වා.
      මෙන්න මෙතනට ගියොත් ඕනි කෙනෙකුට එහෙම පිටින්ම විස්තර දැනගන්න ඇහැකි. රසබර විස්තරයක් තියෙනවා.
      http://nil-ahasa.blogspot.com/2012/04/blog-post.html
      බ්ලොග්ස් ප්‍රවර්ධනයකටත් ඔන්න චමියි, මමයි හවුල් වුණා!

      Delete
    2. කොහේ හෝ කියවා තිබුනා. මතකය අලුත් උනා. තුති.

      Delete
  9. මගේ යෙහෙලියක් කිව්වා "මොන වැලන්ටයින් ද අජිත් "වලං ටයින්" ඇර " කියල.

    ReplyDelete
    Replies
    1. කඩේට පලයං චූං චෑන්
      අරක ගෙනෙන් චූං චෑන්
      කියලා චූන් චෑන්ලව කඩේ යවන්න හදලත් අපිටම කෙලවුනා වගේ නේද- කියලයි මට මතක් වුණේ, අජිත් මහත්තයෝ.

      Delete
  10. ඔය මුලිංම ඇවිල්ල තියෙන්නෙ වෙරළු මල් සුවඳක් වෙන්න ඇති මට හිතෙන්නෙ.
    ඇත්තටම මේ අවුරුද්දෙ ඔය වැලංටයිම් එක ජයට සැමරුවෙ නැති එක ගැන අපි ජාතියක් විදියට එකාවන්ව එක්සිත්ව ලැජ්ජ වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. නැතව නැතුව ප්‍රසෝ, මාත් ඒ ජාතියෙන්ම තමා- එකාවන්ව එක්සිත්ව ලජ්ජා වෙනවා!

      Delete
  11. "ඒ මනුස්සයා කරන්නේ හැමෝම කරන්න එපැයි කියල කියන දේ" මේක ඉතින් හැම මනුස්සයෙකුටම සුලුවෙන් හෝ තියෙන ලක්ෂණයක්නෙ. මේ කියන පුද්ගලයාට ඒක අන්තයටම ගිහින් වෙන්න ඇති. හැමෝම එපා කියද්දි රට කාබනික කලෙත් ඔහොම කෙනෙක් නේද.

    ReplyDelete
    Replies
    1. ඔහොම අයට ගැලපෙන කවියක් මතක් වුණා Lotus.

      කාහටත් වරදී
      ඉන් දොස් කීම වැරදී
      මාහට නොවරදී
      කියන අයහට නිතර වරදී

      Delete