අකුරු මැකී නෑ

Tuesday, March 28, 2023

තිස් එකේදී... -හත්වෙනි කොටස

ඒ ජෝඩුව දැක්කාම රෝයි අංකල්ගේ මුහුණ හොඳ නැති වුණු විත්තිය පැහැදිලිවම පෙනුණේය. ඒත්, ඒ නොපහන් බව හංගන්නේ නැතිවම- රෝයි අංකල් එයාලාව පිළිගත්තේය. එතකොටම සුමිත්‍රා ආන්ටිත් එතැනට ආවාය. ඉතාම උණුසුමින් අර තරුණයන් දෙන්නාව වැලඳ ගත්තාය. ඔවුන්ව අපට හඳුන්වා දුන්නාය.

මේ රෝයිගේ brother අශාන්... මේ අශාන්ගේ ෆියෝන්සේ කයිසර්....
ඒ දෙන්නාම කඩවසම් පිරිමි පරාණකාරයන්ය.

ඔයාලගේ අයියට අද මැනර්ස් අමතක වෙලා, දේශපාලනේ හින්දා...

“හායි අංකල්!” අශාන් එතකොට හරිම විනීතව අත දික් කළේය.

හිටි හැටියේම ඩැඩාගේ සරුවාංගයේම ලේ වතුර වී ගිහිංද? මට හොඳටම පෙනුණේය. ඩැඩා අශාන්ටත්, කයිසර්ටත් අතට අත දෙද්දී, ඩැඩාගේ මුහුණේ ලේ පොදක්වත් තිබ්බේ නැත; හැඟීම් දැනීම් නොපෙනෙන හිස් කඩදාසියක් වන් මුහුණකි; ඒ වෙලාවේ අපේ ඩැඩාට තිබුණේ. අනෙක එවෙලේ ඩැඩා ආරූඪ කර ගත් උද්ධච්ච; මහන්තත්ත ලීලාව!
හරිම හිරිකිතය.
ඒ විපිරියාසය අශාන්ලාටත් දැනුණු පාටය; වැටහුණු පාටය. ඒ දෙන්නා ටිකාක් ඈතින් වූ පුටුවලට බර දුන්නේ, ‘තොපට එපා නං එක වාරයක් අපා- අපට එපා තොප; සිය වාරයක් එපා!’ කියන තාලයටය.

අශාන්ලාගේ මුහුණටම දමා ගැහිල්ල ඩැඩාටත් වැදුණු පාටය.
එයාව ගලවා ගත්තේ රෝයි අංකල්ය. “ඉතිං ඉතිං සැසිල්. තැචර්...” කියමින් රෝයි අංකල් මවා පෑවේ, ඒ දෙන්නා හදිසියේම සංවාදයක් අතරමඟින් නැවැත්වූ බවයි. ඩැඩාත් ඒකට රුකුල් දුන්නේ; දේශපාලන කතන්දරයක් අලුතින්ම ප්‍රාරම්භ කරමිනි.

එංගලන්තයේදී මට හමු වුණු ඉතා ප්‍රියමනාප එකියක මෙන්ම, තන්වැසි නුවණින් සපිරි එකියකද වුණු සුමිත්‍රා මෙතැනදී කළේ, එතැන වාතාවරණය කණපිට ගැසීමකි.

“අශාන් මල්ලී... ඔයාලගේ අයියට අද මැනර්ස් අමතක වෙලා, දේශපාලනේ හින්දා... Please මල්ලී මේ bite ඩිෂ් එකයි, ෂැන්ඩියි සැසිල්ලට දෙන්න... මේවා ඔයාටයි, කයිසර්ටයි, අනිල්ටයි.” සුමිත්‍රා ආන්ටි කිව්වේ සද්දෙන්ය. “... මේ වයින් එක ලීලටයි, මටයි.”

“සුමිත්‍රක්කා, එතකොට නිමල්ට?”
“Oh! Don’t වොරි, අශාන්. නිමල් හොඳ කොල්ලෙක්. ඔයාලා වගේ නෙවෙයි. එයා ටී ටොට්ලර් කෙනෙක්. ලීලාගේ ඔබීඩියන්ට් son!”
“අඃ! අපේ අක්කා කියන්නේ ඇත්තද නිමල්? ඔයා එච්චර හොඳ කෙනක් නං, දැනගෙන ඉන්න වටිනවනෙ.” මට එහෙම කියලා හිනා වුණු අශාන්, කයිසර්ටත් මගේ ගැන ඉංග්‍රීසියෙන්ම කීවේය. ‘එහෙනං කයිසර්ට සිංහල පොඩ්ඩක්වත් බෑ!’

ඒ රටේ මිනිසුන්ගේ සිතුම්- පැතුම් හා චර්යා රටාවන් ගැන මා දැනුවත් වුණේ ටිකෙන් ටිකය; යන්තම්ය!

ලොකු සංවාදයක ඉන්නා බව පෙන්නුවත්, අපේ ඩැඩා එයාගේ රබර් කන් දෙක අපේ දිහාවට දික් කරගෙන හිටි විත්තිය පෙනුණේ, එතකොටය.

“Do you know Sumithra, දැන් මගේ කොෆී එක හදල දෙන්නේ නිමොල්. මම ඉල්ලනකොටම මට චීස් ටෝස්ට් හදල දෙන්නෙත් එයා...” ඩැඩා නොසෑහෙන තරමට මං වහන්සේව වර්ණනා කරන්නට පටන් ගත්තේ, එයින් මා අසීරුවට පත්වෙන බවවත් නොතකමිනි.
“Do you...?” එතකොට කයිසරුත් ඇහුවා මට මතකය.

ඩැඩාගේ ඒ වරුණාව කොච්චරද කියතොත්, රෝයි අංකල්ගේ සුරතල් පොඩි පුතු සුරතල් කරමින් හිටි සමන්ති නංගී හිනාව තද කරගෙන, හෙමීට අපේ ළඟට ආවාය. ඒ රහසක් කියන්නටය. “ලොකූ! බලාගෙන ගියාම දැනටමත් ඔයා අපිට ඉරිසියා හිතෙන තරමට ස්කෝර් කරලනේ! අම්මට කියන්න ඕනි, ඔයාට job එකක් හොයන්න කරදර වෙන්න එපැයි කියලා. හෙව්වට, ඩැඩා ඔයාට යන්න දෙන එකක් නැහැනේ.”

සමන්ති කිව්වේ එච්චරමත් හෙමින් නොවේ. ඒ කතාව අශාන්ටත් සංවාදයට මැදිහත් වෙන්නට පොටක් පාදා දුන්නේය.
“ඇත්තටම උඹට job එකක් හොයනවද, නිමල්! Work පර්මිට් නැතිව නේද ඔයාලා ඉන්නේ... හොරාටනෙ රස්සාවක් කරන්න වෙන්නේ...”

“... අනිල්ට නං කැරියර් සර්විස් job එක හරි ගිහිල්ලයි කිව්වනෙ. ඔයාට ඒ වගේ බර වැඩ match වෙන්නෙ නෑ...”
“අනේ ඔව් අශාන්! මාස හයටනේ මෙයාලා ඇවිත් ඉන්නේ. අඩුම ගණනේ පවුම් දාහක් විතරවත් එකතු කර ගන්න  පුළුවන් විදිහට මොනවා හරි දේවල් ටිකක්...” අපේ අම්මාත් අශාන්ට පින්සෙන්ඩු වුණාය.
“ඔව් අශාන් මල්ලී. ඔයාටත් ගොඩක් contacts තියෙනවනේ, අපේ රෝයිට වගේම.” සුමිත්‍රා ආන්ටිත්...

“මම බලන්නං අක්කා. මට එහෙ ෆෝන් number එක දෙන්නකො, කොයිකටත්.” අශාන් අපේ නොම්මරය සටහන් කර ගත්තේය. “නිමල්, මං උඹට කතා කරන්නං, දවසක් දෙකක් යන්න කලින්.”

1985 අවුරුද්දී එංගලන්තයේ සිටින අතරේ මගේ දිනපොත ලියද්දී, මගෙන් පසුබිම් විස්තර ලියැවී තිබෙන්නේ ඉතාම අඩුවෙනි. (යම්කිසි සිදු වීම් මාලාවක් නිසියාකාරවම තේරුම් ගන්නට නම් ඒ සිදු වීම වෙන කාලය- තැන- එවක පැවැති සමාජ පිළිගැනීම් වැනි දේවලුත් දැනගෙන සිටිය යුතුය.) එහෙත් එංගලන්තයේදී මට ලැබුණු අත්දැකීම් පවා එතරම්ම පුළුල් වපසරියක පැතිරුණු ඒවා නොවේ. ඒ අඩුපාඩුව හොඳටම දැනෙන්නේ දැන්ය; blog එකට ඒ විස්තර ලියාගෙන යද්දීය.
‘හිරු නොබසින අධිරාජ්‍යය’කැයි කාලයක් මුළුල්ලේ විශ්වාස කෙරුණු ඒ රටේ මිනිසුන්ගේ සිතුම්- පැතුම් හා චර්යා රටාවන් ගැන මා දැනුවත් වුණේ ටිකෙන් ටිකය; යන්තම්ය. එසේ දැනුවත් වීම එදාට වඩා අද ගොඩක්ම ලෙහෙසිය!

Bend it like Beckham film එක කළේ Hounslow කිට්ටුව නේද. නිමල්ගෙ අම්මලා දිගටම ඒ හරියෙද හිටියෙ?

යමෙක් යමක් ගැන ඉතා දැඩි උනන්දුවකින් කටයුතු කරන්නේ නම්, ඉබේම වාගේත් එයට උදව් ලැබෙයි. ඒ න්‍යාය මා සම්බන්ධයෙන් නම් තිතටම නිවැරදිය. ඒකට හොඳම නිදසුනක් ඊයේ පෙරේදාවකත් මට ලැබිණි.

‘තිස් එකේදී 4 පෝස්ටුව’ට comment එකක් එවමින් Lotus රසිකාවිය මෙහෙම ප්‍රශ්නයක් නඟා තිබිණි.
‘...
Bend it like Beckham film එක කළේ Hounslow කිට්ටුව නේද. නිමල්ගෙ අම්මලා දිගටම ඒ හරියෙද හිටියෙ.’ ඒ චිත්‍රපටය ගැන විස්තරයක් දැනගෙන නොහිටියත්, තවමත් අපේ අම්මා ඉන්නේ ඒ නිවසේම බව ඇයට පිළිතුරු දෙමින් මම ලිව්වෙමි. ඒ අතරවාරයේම ලෝටස් කියා තිබුණු ‘Bend it like Beckham’ ෆිලුම download කර ගත්තේ, මගේ පුරුද්ද විදිහටය.
(කැමැත්තෙන් අපේ posts කියවන රසික- රසිකාවියන් අපට එවන අදාළ තොරතුරු මූලාශ්‍ර හා links සොයා බැලීම- විමසීම, මම පුරුද්දක් ලෙසින්ම කරන්නෙමි.)

අම්මට සිරි! (ගොඩාරියක් ස්තුතියි Lotus!) Film එක බලනකොටය මට තේරුණේ- හිතුවට වඩා ගොඩක් දේවල් එයින් හොයාගත හැකි බව. මට නම් ෆිලුමත් හොඳය.

තවත් විස්තර ලියන්නට කලින් හිතාදර ඔයාලට කියන්නේ... ඉඩක්, නිදහසක් තිබෙයි නම් Bend it like Beckham ෆිලුම බලන්න. නමුත් මෙය සම්භාව්‍ය ගණයේ සිනමා පටයක් නං නොවේ; අවර ගණයේ එකක්මත් නොවේ; ආසාවෙන් බලා සිටිය හැකි ප්‍රහසනයකි. (අවශ්‍ය නම්, බයිස්කෝප් සිංහලෙන් අඩවියේ රොෂන් සමීර ජයසිංහ සැපයූ සිංහල උපසිරසිත් තිබේ.)

සුදු ජාතිකයන් (කොටසක්) ඒ කාලයේ* සමකාමීන් දෙස පිළිකුලෙන් බලන ආකාරයත් මේ ෆිලුමෙන් නිරූපණය වෙයි.
(*ඒ කාලයේ: මේ චිත්‍රපටයේ කතාව දිවෙන කාලය 80-90 අතර වගේ බවයි පෙනෙන්නේ.)
Hounslow Harriers පාපන්දු පිලට සෙල්ලම් කරන Juliette Paxton; ජූල්ස් ක්‍රීඩිකාවගේ අම්මාගෙන් තමයි ඒ පිළිකුල කියවෙන්නේ. ඒ අම්මත් හරියට හරියට අපේ ඩැඩායි, රෝයි අංකලුයි වගේ පරණ අරටුවකි!

“ඒ අශාන්ගේ කැමැත්තනේ. අපිට මොකද අනේ!
දැන්, මමයි රෝයියි දෙන්නා යාළු වුණාම අපේ සනුහරේ එක්කෙනෙක්වත් මගෙ පැත්තට හිටියද? නෑ. මාව පවුලෙන් අයින් කරලම දැම්මා, මං මළාය කිව්වා. බම්බු සිරිත් විරිත් නීති රීතිවලට කීකරු වෙවී හිටියා නං මමත් තවම යාපනේ. එහෙම අපේ පරම්පරාවටම පයින් ගහපු මමවත්, අද අශාන් මල්ලිට උදව් කරන්න ඕනිනේ ලීලා. නැතිනං ඒ කොල්ලා තනි වෙනවනේ බං.” සුමිත්‍රා ආන්ටි කියන දෙයක් ඔහෙ අහගෙන හිටියා මිස අපේ අම්මා මොනවාවත් කිව්වේ නැත. අම්මා එහෙම කළේ වයින් මත නිසාවත්ද? ඒ වෙලාවේ මට හිතුණේ එහෙමය.

ඒ ඔවුන් දෙදෙනාම පරිපූර්ණ පෞරුෂයක් ඇත්තවුන් ලෙස පෙනුණු නිසාය. එවන් දෙදෙනෙකුත් උනුන්ට ලිංගිකව ආකර්ෂණය වෙනවාද?

මට වැරදිලාය. ඒ විත්තිය පැහැදිලි වුණේ අපේ නඩය ආපහු එන්නට කාර් එකට නැංගාමය.

“සැසිල්, උඹ දන්නෑ සුමිත්‍රා, රෝයිගේ මල්ලී අශාන් ගැන කියපු දේවල්...” චුට්ට දුරක් එද්දීම, අම්මා හැදුවේ දිග කතාවක් කියන්නටය.

කාර් එක එළවද්දී, අනවශ්‍ය ලෙස හතරවටේම බැලිල්ල අපේ ඩැඩා කරන්නේ නැත. එහෙම පුරුද්දක් තියෙද්දීත්, ඒ වෙලාවේ ඩැඩා ගිනි පිටවෙන දෑසින් අපේ අම්මා දිහාම තත්පර ගණනාවක් බලා හිටියේය.
හොඳ වෙලාවටය, අපේ ඩැඩාට ශිව දෙවියන්ට වාගේ තෙවෙනි ඇසක් නොතිබ්බේ. තිබ්බා නං හෙම කාම දේවයා අළු වෙලා ගියා වගෙ විපත්තියක්ය, අපේ අම්මට වෙන්නෙත්.
“ඉඩියට්! මම කී සැරයක් උඹට කියල තියෙනවද මොනව හරි කියන්න ඉස්සර එතැන ඉන්න අනිත් අය ගැනත් හිතපන් කියලා. උඹේ දරුවොත් මේ කාර් එකේ ඉන්නවා නේද, ලීලා? බ්ලඩි අශාන්!”

අශාන් හා කයිසර් ජෝඩුව ගැන තවත් විස්තර ටිකක් දැන ගන්නට තිබුණු හොඳම chance එකක් මට මිස් වුණේ එහෙමය.

එහෙම කිව්වාම, මගේ පැටිකිරිය හා පෙර වැරදි කන්දරාව දන්නා බොහෝ දෙනෙකු නන්නත්තාරවී පොට පටලවා ගැනීමට ඉඩ තිබේ. දැනටමත් ඒ විදිහට; ටික දුරකට හරි හිතාගෙන සිටින අයත් ඉන්නා පාටය. ඒ නිසාය මේ පැහැදිලි කිරීම කළ යුත්තේ.

සැබෑය! ඒ වනවිටත් මා බොහෝ සමරිසි පුද්ගලයන් හා සබඳකම් පවත්වා හා පවත්වමින් සිටි බව සැබෑය. එහෙත්, මා ඒවා කළේ තිරිත්තමක් ඇතිවය; අසාධාරණ ලෙස නොවේ; මවිසින්ම පනවා ගෙන තිබුණු යම් යම් ප්‍රතිපත්තිවලට අනුගත වෙමිනි. ආදරණීය දෙපලකට බාධාවක් වෙන තුන්වැන්නා වීමට මම කොහෙත්ම අකැමැති වීමි.

ආදරණීය දෙපලකට!!!
ඒ බව මෙතැනදීම විශේෂයෙන් අවධාරණය කර කිව යුතුය. (සමහර දෙනෙකු නම් තුන්වැන්නෙකුටත් මනාපය!)

මට හැඟුණු ලෙස නම් අශානුත්- කයිසරුත් එවන් ආදරණීය දෙපලකි.
ඔවුන් දෙදෙනා අතර තෙවැන්නෙකු වීමට අදහසක් නොවුණත්, එයාලා ගැන වැඩි විස්තර දැන ගැනීමට නම්, මට තිබුණේ නොමඳ ආශාවකි. ඒ ඔවුන් දෙදෙනාම පරිපූර්ණ පෞරුෂයක් ඇත්තවුන් ලෙස පෙනුණු නිසාය. එවන් දෙදෙනෙකුත් ලිංගිකව උනුන්ට ආකර්ෂණය වෙනවාද?
එතකොට රමණයකදී
පැසිව්- active කොටස් ඉටු වෙන්නේ කවුරු කවුරුන් අතින්ද?
ඇක්ටිව් භූමිකාව ජව සම්පන්නයාගෙනුත්, passive භූමිකාව වඩා සියුමැලි; වඩා සෞම්‍ය හාවභාව ලීලාවන්තයා වෙතිනුත් ඉටු කෙරෙන සම්ප්‍රදාය වෙනසකට බඳුන් වෙමින් තිබෙනවාවත්ද?

... කජ්ජත් එළියෙන් එල්ලී-එල්ලී තියෙද්දීය, කජ්ජ බිසමින් මට ආපහු ලංකාවට යන්නට සිද්ද වෙන්නේ.

මට තිබුණු ළිං ගෙඹි අත්දැකීම් අනුවය, මා ඒ දිනවල සිතුවේ.

එතෙක් මගේ සුකුමාර ලීලාවට ආකර්ෂණය වූ සමකාමීන් වැඩිම දෙනෙක් පූර්ණ පෞරුෂයක් ඇත්තෝ වූහ. තවත් විදිහකින් කියන්නේ නම් ‘ටෙස්ටස්ටරෝන් හෝමෝන’ය යහමින් නිපදවෙන සිරුරු ඇත්තෝ වූහ. ඒ මගේ නිරීක්ෂණයයි.

අනෙක් පැත්තෙන් බලද්දී, මගෙන් නිරන්තරයෙන්ම කෙරුණේ passive භූමිකාවය. එයින් සිදු වුණු ලොකුම යහපතකුත් තිබිණි. මා මෙය කියන්නේ මහත් අභිමානයෙනි.
මගෙන් කවම කවරදාකවත් බාල අපයෝජන කිසිවක්ම සිද්ද වෙලා නැත.
(සමහර අවාසනාවන්ත කාමුකයන් උපදින්නේම ළමා අපයෝජකයන් ලෙස හැඩ ගැසෙන්නටය.)

රෝයි අංකල්ලාගේ ගෙදර සිට අපේ ගෙදරට එනකල්ම කාර් එක ඇතුළේ සද්ද-බද්ද නොකෙරුණේය. ඒ ඩැඩාට කේන්ති ගිහිං තිබුණු හින්දාය. එහෙම වෙලාවටය, කෙනෙකුගේ ඔළුව යකාගේ කම්මල වෙන්නේ. මගේ ඔළුවටත් එදා පොටේ වුණේ ඒ ටිකමය.
මේ යන විදිහට නං මේ සම්මජාතියෙදී අපේ ඩැඩා මට උදව් කරන එකක් නැත. උදව්වක් ගන්නට තරං වෙන කිසිවෙකු මා දන්නෙත් නැත. ආපු විදිහටම කජ්ජත් එළියෙන් එල්ලී-එල්ලී තියෙද්දීය, කජ්ජ බිසමින් මට ආපහු ලංකාවට යන්නට සිද්ද වෙන්නේ.

ඒකෙත් හැටි!
අපේ මහරගම ආච්චී ප්‍රාර්ථනා කළේ ලබන ආත්මයකදී හෝ පිරිමියෙකු වෙන්නටය.
කළු අක්කාත් එහෙමය. “නිමල් මල්ලී, මටත් ඕනි ලබන ආත්මෙදිම ඔයාලා වගේ පිරිමියෙක් වෙලා උපදින්න. ඒකට ඕනි කරන පළමුවෙනි කාරණාව දැනටමත් මං සම්පූර්ණ කරගෙනයි තියෙන්නේ.” කළු අක්කා කිව්වේ එක සැරයක් හෝ දෙකක් හෝ විතරක් නොවේ.
“ඒ මොකද කළු අක්කේ ඒ කාරණය?”
“නිමල් මල්ලී දන්නැද්ද. ගෑනියෙක්ට පිරිමියෙක් වෙලා උපදින්න නං ඒ ගෑනු කෙනාගෙ මනුස්සයා අවසර දෙන්න ඕනියි කියනවනෙ. දූරු දෙන්නෙකුයි, පුත්තු දෙන්නෙකුයි උපද්දල දුන්නට පස්සේ
සෝමේ අයියා මට ඒකට වරම් දුන්නා!”   

සෝමේ අයියා කිව්වේ කළු අක්කාගේ සැමියාටය.
“ඔහොම අවසර ගැනිල්ලක් ගැන, මං කියෝපු කිසිම තැනක මට අහුවෙලා නැහැනෙ කළු අක්කේ. බණකටවත් ඔහොම දෙයක් කියැවෙන්නෙ නැහැනෙ.” එක සැරයක් මට කියැවුණාත් මට මතකය.
“හාමුදුරුවරු නං නිමල් මල්ලී, කොච්චරවත් කියන්නේ පන්සලට දියල්ල- දියල්ල- දානේ දියල්ල කියල විතරමයිනේ.”

මල්ලියා බයිසිකලෙන් ගිහිං Hounslow News පත්තරෙත් බෙදනවා...

ඔහොම මතක සාගරයක කිමිදෙමින් ගෙදර එනවාත් එක්කම වගේය, අම්මාට call එකක් ලැබුණේ.

“ආනේ... නීලියා... කොච්චර එකක්ද ඩාාාාාාාර්ලින්? ... ඔව් අනේ, අපි ගෙදර හිටියේ නෑ. රෝයිලගේ ගෙදර ගියා, කෑමකට. ඉතිං... ඉතිං...”
අම්මාගේ කතාවත්, හිනාවත් කුස්සියටම ඇහෙයි.

එදා රෝයි අංකල්ලා ගෙදර යන්නට කලින්, මුං ඇට වගයක් පෙඟෙන්නට දමලාය- මං ගියේ.

“මේ කරිය නං හරී ෂෝක් ලොකා. අම්ම නං ඉක්මනටම තැම්බෙන නිසා හැමදාම පරිප්පුමයි උයන්නේ. මට පරිප්පු එපා වෙලා ඉන්නෙ. ආයෙම ටිකක් වැඩියෙන් හදමු ලොකූ. පොඩි කන්ටේනර්වලට දාල ෆ්‍රිජ් එකේ තියා ගන්නත් එක්ක.” සමන්ති නංගී උදක්ම ඉල්ලා හිටියේ, මා මුං ඇට කරියක් සාදා දුන්නාමය.

“අනේඒඒඒඒඒ ඔව් නී..ලි..යා. මටත් ලේසියි නේන්නං. දැනුත් ඔන්න රංජි මුං ඇට වගයක් උයන්න ලැහැස්ති වෙනවා... ඈෑෑෑ. ඔයාගෙත් ෆේවරිට් එකක්ද... එහෙනං ඉක්මනටම දවසක එන්න. බත් ටිකක් කාලම යන්න බලාගෙන...”
Call එක ඉවර කළ අම්මා කෙලින්ම ආවේ කුස්සියටය.

අම්මා ඊට කලින් දවසකත් නීලියා ගැන මට කියා තිබිණි.

“ඔන්න, අද හෙටම වෙලාවක නීලියා මෙහෙ එයි. අපරාදෙ කියන්න බෑ. හරී ෂෝක් කෙල්ල. නීලියාගේ නංගිත් මෙහෙමයි ඉන්නේ. නංගිට දුවෙකුත් ඉන්නවා. සිංගල් පේරන්ට්! එයාලගේ ගෙදර garden එකේ වැඩ කරලා දෙන්නේ අපේ දීපාල්. Pocket මනි විදිහට ඒකා කීයක් හරි හම්බ කර ගන්න එකත් හොඳයිනෙ. සතියකට සැරයක් මල්ලියා බයිසිකලෙන් ගිහිං Hounslow News පත්තරෙත් බෙදනවා...”
“මොකක්ද අම්මෙ, අම්ම කොහෙන්ද කතාව පටන් ගත්තේ. කොහෙන්ද ඉවර කරන්නේ. නීලියාගෙන් පටන් ගත්තේ...”

“ඉන්නකෝ රංජි කියනකල්. සමන්තිලා දීපාල්ලා සේරම නීලියාට කතා කරන්නේ ‘ආන්ටි’ කියලා. නීලියාගේ නංගිටත් එහෙමයි. ඔන්න නීලියා ආව ගමන්මත් මුං ටික එහෙම කියන්න ගනියි. ඒ වුණාට, ඔයාල එහෙම ඒ විදිහට කියන්න හදන්න එපා. නීලියා කියල කතා කරන්න. තේරුණද...”
“අර මොකෝ විශේෂයක්?”

“හේතුවක් තියෙන හින්දනෙ මම කියන්නේ. එහෙම කළාම ඉවරනේ. මොකෝ පැත්තක් යනවයි කියලද?”
“එතකොට අනිල්?”
“මම මේ එයාටත් කියලා තියන්නයි යන්නෙ.”

අම්මා කතාවට තිත තිබ්බේ Sam කුස්සියට ආ නිසා වගෙය පෙනුණේ. ඉවෙන් වගේ මට හිතුණේ අම්මාත් මොකක්දෝ උප්පරවැට්ටියකට අර අඳින විත්තියයි. හිටි ගමන්ම අම්මා එහෙම වැඩත් කරන්නීය.

 ‘දේසේ හැටියට වාසේ වෙනස් කරගත්තුඑක විදිහකි...

“මොනාද ලොකූ, මම ඔයාට කරල දෙන්න ඕනි? බොම්බේ Onion ගෙඩි දෙක chop කරලා දෙන්නංද. Green චිලීස් කපන්නත් දැන් මට පුළුවන්. හැබැයි ලොකූ, එතකොට නං අත පිච්චෙනවා...”

“අනේ මෝඩි! මිරිස්වලට අත පිච්චෙන්නේ නෑ. දැවිල්ල ගන්නවා... එතැනට හරි යන්නෙ ඒ වචනේ.” මම සමන්ති නංගිට තේරුම් කර දුන්නෙමි.

“ඔයා දන්නෑ ලොකූ. ඩික්ෂනරියෙන් සමහර වචනවල තේරුම් හොයන්න ගියාම හරියට හිනා යන වෙලාවලුත් තියෙනවා.”
“ඒ වුණාට සමා, ඔයාට නං තවම සිංහල වචන ගොඩාරියක් මතකයිනෙ. මල්ලියි දීපානියි තමා තටමන්නේ.” ඒ වෙනකොටත් දීපාල්, දීපානි දෙන්නාටම සිංහල අමතක වී යමින් තිබිණි. සමන්ති නම් එවිටත් සිංහල බසින් ලිවීමේ හැකියාවත් ඇතිවය සිටියේ.

“අපෝ මට සිංහල නම් අමතක වෙන්නෙ නෑ... අමතක වෙන්න දෙන්නෙත් නෑ, ලොකා. එහෙම අමතක කළොත් එහෙම ආයෙ ලංකාවට ගියාම- මට අපේ ආච්චිත් එක්ක කතා කරන්න බැරිව යනවනේ.”

“ඔව්, ඔව්! ආච්චී තවම මතක් කර කර හිනාවෙනවා, ඔයා ආච්චිගේ පර්ස් එක අයිති කර ගන්න හිටිය හැටි කිය-කියා.”

“... ආ... ආ... ඔය මොනාද ලොකූ, ඔයා වැරදිලා කරියට දාන්න හදන්නේ. Curd නේද?”
“හ්ම්!” ව්‍යංජනයට මුදවපු කිරි එකතු කරමින් මම සමන්තිට කිව්වෙමි. ඒ එංගලන්තයේදී මං වහන්සේ ‘දේසේ හැටියට වාසේ වෙනස් කරගත්තු’ එක විදිහකි. (ලංකාවේදීත්
Women’s Day සඟරාවේ උදව්වෙන් එහෙව් අතිසාර්ථක ආදේශකයක් හොයාගත් හැටි කලින් දවසක හිතාදර පාඨක ඔබට කීවෙමි.)

එහෙ තිබුණු Coconut Cream මට නං හරි ගියෙම නැත. ඒවා දැම්මාම හොද්දෙන් ආවේ කිරි රසයක් නොවේ, තෙල් රසයකි.
Hounslow ඉන්දියන් කඩයක පොලුත් තිබිණි. ඒ දවස්වල පොල් ගෙඩියක් පවුමකි. වැරැද්ද ඒ පොල් හොඳටම කරුකුට්ටන් වෙලා තිබුණු එකය. ඒ පොල් බෑයකින් බාගයක් ගාන්නටත් කලින්ම කටුවෙන් ගැලවෙයි...

ඒ නිසා, පොල් කිරි වෙනුවට යොදන්නට- මා තෝරා ගත්තේ මුදවපු කිරි ආදේශකයයි!

ට්‍රීන් ට්‍රීන්... ට්‍රීන් ට්‍රීන්...
à ඊළඟ කොටසට...

Saturday, March 25, 2023

තිස් එකේදී... -හයවෙනි කොටස

 ඔව්! ඒ යටි අරමුණ තව දුරටත් පාඨක ඔබට සැඟවීම අසාධාරණය. එබැවින් කියන්නෙමි; තරමක විළියකින් යුතුව වුවද එය ඔබට හෙළි කරන්නෙමි! යි කියමිනි, මා ‘තිස් එකේදී 5 වෙනි කොටස’ අවසන් කළේ.

යටි අරමුණ! කාටවත්ම නොකියා හංගා ගෙන හිටි අරමුණ!! ඒ අරමුණ මගේ හිතේ ජනිත කරවන්නට පදනම දැමූ හිතවතා සංජේවත් ඒ බැව් දැනගෙන සිටියේ නැත. ‘ලිංගික සැත්කම’ක් ගැන සිතිවිල්ලක් මුලින්ම මගේ හිතේ පිළිසිඳ ගත්තේ සංජේ ගෙනවුත් දුන් පොත නිසාය. පොත ‘මට වෙච්ච දේ’ය.
පිරිමියෙකු ලෙස උපන් තිලකපාල කිතුල්ගලට ඔපරේෂන් එකක් මඟින් සාර්ථකව ‘තිලකා කිතුල්ගල’ වෙන්නට පුළුවන් වුණා නම්... නිමල් දිසානායකට නිමාලි දිසානායක විය නොහැක්කේ ඇයි?

ඇත්තමයි යකෝ, උඹට තියෙන්නේ හොඳ දොස්තර කෙනෙක්ව අල්ලලා xයය කපල අයින් කරවලා xත්තක්...

ඊටත්, තිලකපාල සැත්කම කර ගෙන තිලකා වෙන්නේ චීනයේදීය. එහෙම වුණැයි කියා තිබුණෙත් 1962ට කලින්ය. එදා හිට අවුරුදු 23ක්ම ගතවෙලත් ඉවර වී තිබේ. මේ 1985ය...

මේ වෙද්දී චීනයට වැඩියෙන් ඇමෙරිකාව- එංගලන්තය වගේ රටවල වෛද්‍ය විද්‍යාවත් කොච්චර දියුණු වෙලා ඇද්ද? ඉතිං, මට තියෙන්නේ ඩැඩාගේ උදව්වත් ඉල්ලගෙන ඒ පුංචි ඔපරේෂන් එක කරවා ගැනීමය. අම්මලා අපට එංගලන්තයට ඇවිත් යන්නැයි කිව්වාම, මගේ ඔළුවේ වැඩ කළේ ඔහොම තකතිරු කල්පනාවල්ය.

ඇත්තය! 1985 සිට අවුරුදු 38ක් ගත වුණාට පස්සෙය; අදය, මං වහන්සේ බක පණ්ඩිතයා වගේ ‘තකතිරු’ විශේෂණය ‘කල්පනාවල්’ වචනයට ඉස්සරහින් යොදන්නේ. එය සාධාරණ නැත. එදා සිද්ද වුණු දේවල් ගැන ලියද්දී- එදා මගේ මනෝ භාවයන් කෙසේ වෙන්නට ඇතිදැයි මතකයට නඟාගත යුතුය.

එතකොට නම් මගේ මතකයට ඉස්සෙල්ලාම එන්නේ, පියසිරි එයාගේ නොසරුප් බසින් මේ සැත්කම ගැන කියූ දේවල්ය. මේ ඒ ගැන ‘තිහේදී 10 කොටසින්’ මා ලියූ අයුරුයි:
ඇත්තමයි යකෝ, උඹට තියෙන්නේ හොඳ දොස්තර කෙනෙක්ව අල්ලලා xයය කපල අයින් කරවලා xත්තක් හයි කරවගන්න. දැන් පිටරටවල එහෙම ඔපරේෂන් කෙරෙනවලු බට්ටො. පියසිරි රති විරාමයකින් පස්සේ කීවේය.

ඔපරේෂන් එකක්...මමත් හූමිටි තිබ්බෙමි.

ඔව් xත්තෝ! අපේ office එකේ කට්ටියක් කතා වෙනකොට ඇහුණේ...පියසිරි උනන්දුවෙනි. කොහොම හරි එහෙම වැඩක් කරවගන්න පුළුවන් නං උඹට බේරිල්ලක් වෙන එකක් නං නෑ බට්ටො.පියසිරි කිව්වේ මහා ප්‍රශංසාවක් කරන විදිහටය.’

ජනනේන්ද්‍රිය වෙනස් කරවා ගැනීම එතරම්ම සිල්ලර දෙයක් හැටියටය, පියසිරිගේත් මගේත් මොට්ට ඔළුවල එදා තිබ්බේ.

ඒ ඉලක්කයට යාමේදී මතු වෙන්නට හැකි ලොකුම බාධකය විදිහට මං ගණන් බලා තිබුණේ ‘භාෂාව’යි. ‘මෙහෙම දෙයකට උදව් වෙන්නැයි’ ඩැඩාට කියන්නට තරම් හසල ඉංග්‍රීසි දැනුමක් මට නැත. විශේෂයෙන්ම කතා කරද්දී... අමාරුවෙන් හරි ගැට ගහගෙන ලියා ගන්නට නං බැරි වෙන එකක් නැත. ඒත් එහෙම ලියලා දුන්නත්, ඩැඩා අහන්නට ඉඩ තිබෙන හරස් ප්‍රශ්නවලට උත්තරත් ලියන්නද...
ඉස්පිරිතාලයකදී දොස්තර මහත්තුරුන් එක්කත් ඉංග්‍රීසියෙන් නේද කතා කරන්න වෙන්නේ. එතකොට?

එයාලව වෙනස් කරන්ඩ තටමන්නේ නැතිව උඹ වෙනස් වෙයං!

ඒ ප්‍රශ්නය ගැන ලංකාවේදීත් මට කල්පනා වී තිබිණි. ඒ නිසාම වෙනදාටත් වැඩි උනන්දුවක් ඉංගිරිසිය කෙරෙහි දක්වන්නටත් පටන් ගෙනය, මං හිටියේ. ඒත්, කාලා ඉන්නට බැරිව ගියේ, එංගලන්තයේ උදවිය ඉංග්‍රීසි කතා කරන විදිහය. කොයි තරං කල්පනාවෙන් කන් දුන්නත් මට ඇහෙන්නේ එයාලගේ ඔලොග්- බොලොග්- ලොල බොල සද්ද විතරකි.

කී දවසක්- කී පාරක් නං ඩැඩාට කිව්වද ‘මං නිමොල් නෙවෙයි- නිමල්’ය කියලා. ඒත් මෙච්චර දවසක් ගිහිනුත් එයා මට කතා කරන්නෙම නිමොල් කියමිනි!

‘කන්ද මහම්මත්තුමාගේ ළඟට එන්නෙ නැත්නං මහම්මත්තුමා කන්ද ළඟට යනවයි කියනවනේ. එයාලව වෙනස් කරන්ඩ තටම-තටමා ඉන්නෙ නැතිව උඹ වෙනස් වෙයං, නිදි; උඹ ඉස්සෙල්ලම ඉංගිරිස් ඉගෙනගෙන, ඊළඟට මෙහෙ ඉංග්‍රීසි ඉගෙන ගනිංකො.’
ඉතිං, මම මටම කීකරු වෙන්නට අදිටන් කර ගත්තෙමි. ‘පැය විසි හතරේම මහන්සි වෙලා හරි කමක් නෑ, ඉක්මනටම...’ හිතන එක නං ලේසිය; කෙරුවාවය අමාරු.

අමාරුවෙන් හරි එහෙම කරන්නට හිතාගෙන හිටියේ පළමුවෙනි දවස් දෙක-තුන පහු වුණහමය.
“ලොකූ, couple of days යයි ඔයාලගේ body clocks ඇජෙස්ට් වෙන්න. එතකල් ටිකක් වැඩියෙන් rest කළාම හරි.” අවේලාවේ නිඳිමතක් දැනීමත්, රෑට නින්ද නොයාමත් ගැන මං කෙඳිරි ගෑවාමය; සමන්ති නංගී මට එහෙම තේරුම් කර දුන්නේ.
“ඔයා දන්නවද ලොකූ. දැන් අපි ඉන්නේ ලංකාවේ වේලාවෙන් නං 5 hours විතර පස්සෙන්. අපේ ඇඟ ඇතුළෙත් එක විදිහක ඔරලෝසුවක් තියෙනවලු, ලොකා. අපි දන්නේ නැතුවම අපි ඒකට හැඩ ගැහිලලු තියෙන්නේ. ප්ලේන් එකෙන් ඉක්මනටම මෙහෙට ආවට, ඒ සිස්ටම් එක වෙනස් වෙන්න පොඩ්ඩක් time ගන්නවලු. ඔටෝමැටිකලි ඒක හරි යයි...”

ඒ පිට දමලාය, මං වහන්සේ කම්මැලිකමට ඒ අමාරු රාජකාරිය කල් දමමින් හිටියේ. කම්මැලියාට දිවැස් තියෙනවාය කියන්නෙත් නිකං නෙවෙයිනෙ!

‘SSC පන්තියේදී බුද්ධාගම පාඩමට ‘සිඟාලෝවාද සූත්තරේ’ ඉගෙන ගනිද්දීත්, උඹ පිරිහීමේ ලක්ෂණ ඉගෙන ගත්තා නේද නිදි?’
-ඉගෙන ගත්ත නේන්නං. කට පාඩම් කළා. ඒකනෙ O/L විභාගෙදී බුද්ධාගමටත් D එකක් හම්බ වුණේ.
විශ්වාස නැත්තං මෙන්න පොතේ තිබිච්ච හැටි:
‘දැන් උදෑසන වැඩි යැයි සිතා වැඩ කල් දැමීම
, දැන් සවස් වැඩි යැයි සිතා වැඩ කල් දැමීම, දැන් සීතල වැඩි යැයි සිතා වැඩ කල් දැමීම, දැන් උෂ්ණ වැඩි යැයි සිතා වැඩ කල් දැමීම, දැන් කුසගිනි වැඩි යැයි සිතා වැඩ කල් දැමීම, දැන් කුස පිරුණා වැඩි යැයි සිතා වැඩ කල් දැමීම.’

ඔහොම කෙස් පලන තර්ක- විතර්කවලට මැදි වෙලා හිටිද්දීය...

‘ඇති, ඇති. පොතේ ගුරෙක් වෙලා, පොතේ තියෙන දේවල් ඒ හැටියටම ඔළු ගෙඩියේ පුරවගෙන හිටියට වැඩක් තියෙනවද මැට්ටෝ, එව්වයෙන් වැඩ ගන්නෙ නැතුව...’

-එහෙම වෙන්න නේද අපිට උගන්නල තියෙන්නේ. ලංකාවේ වැඩි දෙනෙක් එහෙම නේද කරන්නෙත්... ඉතිං...

නිමල් දිසානායක ඔහොම කෙස් පලන තර්ක- විතර්කවලට මැදි වෙලා හිටිද්දීය, රෝයි අංකල් අන්නාත් එක්ක ආපහු ආවේ. අනිල්ට කැරියර් සර්විස් එකේ රස්සාව හරි ගිහින්ය!

“අනිල්, දවසක්වත් ගෙදර ඉන්න හදන්න නං එපා! ලංකාවේදී තමයි යන්තං වැස්සකටත් අපි වැඩට නොයා ගෙදර ඉන්නේ. මෙහෙ මිනිස්සු වැස්සත්, සීතලේ ගල් ගැහුණත්, හිම වැටුණත් වැඩ කරන දවසක නං වැඩට යනවා... වැඩ කරන වෙලාවෙත් හරියට ජොබ් එක කරනවා. අයිස් ගැහිලි නෑ!” රෝයි අංකල් අන්නාව ගෙනැත් බැස්සුවා මදිවාට, අවවාද ගොඩකුත් වැපිරුවේය.

“අනෙක අනිල්, ඔන්න වැඩට යන්න පරක්කු වෙන්නත් එපා. Train එක පරක්කු වුණා, bus එක late වුණා වගේ සිලි එක්ස්කියුසස් මෙහෙට හරි යන්නෙ නෑ. මෙහෙ බස්, කෝච්චි සේරම වෙලාවට දුවනවා. මගෙ නමත් නොකා...
උඹ කම්මැලි නැතුව, හොර බොරු නැතුව උඹේ duty එක කළොත් මේ මාස හයම උඹට ඔය පකියා* ළඟම රස්සාව තියෙයි!”
(*පකියා කිව්වේ පකිස්තාන ජාතිකයෙකුට බව මං දැන ගත්තේ පස්සෙය.)

හොර බොරු නැතිව...
එහෙම කියද්දී මට මතක් වුණේ ‘නාටු නාටු’ය. නාටු නාටු චිත්‍රපට ගීතයකි. RRR ෆිලුමේ එන ඒ ගීතය ජාත්‍යන්තර පැසසුම් හා සම්මාන කීපයක්ම දිනා ගත්තාය කියන එක දැන් පරණ ප්‍රවෘත්තියකි. 2023 ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම ස්වතන්ත්‍ර ගීතය විදිහටත් එය සම්මානයට පාත්‍ර විණි. ඒ ගැන මතක් කරන්න හිතුණේ නිකංම- නිකං නොවේ. ඒ වෙනුවෙන් දරලා තිබුණු වෙහෙසේ තරම නිසාය!

මගේ මුහුණු පොතේ මිතුරියක වෙන නිලක්ෂි බණ්ඩාරගේ වෝලයේ තිබුණු සටහනකිනුයි, මං මේ විස්තරය දැක්කේ.

Rise (පිබිදීම), Roar (ඝර්ජනාව), Revolt (කැරැල්ල) යන වචනවල කෙටි යෙදුම වන RRR යනු...

‘... මෙම සජීව නර්තන නිර්මාණය ඉන්ටර්ග්‍රෑම් රීල්ස් සහ සමාජ මාධ්‍ය ට්‍රෙන්ඩ්ස් සඳහා හේතු වී තිබේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂක එස්.එස්. රාජමෞලි 'වැනිටි ෆෙයාර්' වෙත පවසා ඇත්තේ ඔහු 'නාටු නාටු' නිර්මාණය කළේ, නර්තනය මගින් බ්‍රිතාන්‍ය නිලධාරියෙක් දණගස්වන නිදහස් සටන්කාමීන් දෙදෙනෙකුගේ "සටන් දර්ශනයක්" ලෙස බවයි.

Rise (පිබිදීම), Roar (ඝර්ජනාව), Revolt (කැරැල්ල) යන වචනවල කෙටි යෙදුම වන RRR යනු ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ව සටන් කරන විප්ලවවාදීන් දෙදෙනෙකුගේ කතාව පැවසෙන ඓතිහාසික ෆැන්ටසියකි. විශ්මයජනක වීර ක්‍රියාදාම චිත්‍රපට ඉන්දියාවේ වැඩිම මිලක් ඇති චිත්‍රපටවලින් එකකි.

(මෙම) ගීතය, දිනකට පැය 12ක් වැඩ කරමින් නර්තන ශිල්පීන් 150ක් හා කාර්‍යමණ්ඩලයේ 200ක් සමඟින් දින 15ක් පුරා රූගත කරන ලදි.’

ඒ කියන්නේ මිනිස් පැය 12 x 150 x 200 x 15 =  .... ඔයාලම නිකමට ගණන හදලා බලන්නකො, උත්තරේ කීයද කියලා. එතකොට තමයි හිතෙන්නේ හොඳ දෙයක් කරන්නට දැරිය යුතු වෙහෙස- මහන්සිය ගැන. කරන වැඩකට අවංක වීමේ අගේ! එහෙම කෙරුණු වැඩක්, මෙහෙම සම්මානිත වීම අරුමයකුත් නොවෙයිනෙ.

ඉතිං, මාත් ෆුල් ඩම් දාලා; දත කාගෙන; වැඩේට බහින්නට හිතා ගත්තෙමි. ‘හෙට ඉඳලා උදේ වරුවට ගෙදර ඉතිරි වෙන්න යන්නෙත් ඩැඩායි මායි විතරයිනෙ! ඩික්ෂනරියත් අරං වාඩි වුණාම- අම්මෙ මුත්තෙ කිව්වත් පුටුවෙන් නැඟිටින්නෙ නෑ නෑ නෑමයි!!’
හිතා ගැනිල්ල නං ලේසිය; අමාරු කරන එකය.

වැඩට යන අපේ අම්මා උදේ පාන්දර හතරහමාරට විතර ගෙදරින් පිටවෙයි. “ මෙහෙමත් මෝඩ ගෑනියෙක්! පැය හයක් විතර වැඩ කරන්න, ලීලාට බස් එකේ යන්නම පැය දෙකක් විතර යනවා. බනාසේලාටත් මේ ගෑනිව නැතිව බෑලු... බ්ලඩි ඉන්දියන්ස්! බොරුකාරයෝ.”  ඩැඩා දැරුවේ එහෙම මතයකි.
“එයා කිව්වට මොකෝ, මිස්ටර් බනාසේලා වගේ ගෙවන කෙනෙක් කිට්ටුවෙන් හොයා ගන්නයැ? පස්සේ දවසක මම රංජිව එක්ක යන්නංකො එහාට.” ඒ අම්මාගේ මතයයි!

සමන්ති, දීපාල්, දීපානි තුන් දෙනාත් උදෙන්ම පාසල් යති. අන්නා ඊළඟට... ඩැඩා ඇහැරෙන්නේ නවයත් පහු වෙලා වගේය. ඉතිං, මට ඉංග්‍රීසියට කැප වෙන්නට පුළුවනිය.
උදේ වරුවේ මට බාධාවක් වෙතොත් වෙන්නේ ෆෝන් එකෙන් විතරකි.

චීස් උණු වෙලා යන්තං බුබුළු දානකොට තමයි, ඩැඩාගේ පදම.
ඩැඩාට කෝපි එක හදන රාජකාරිය විතරකි, උදේට මට තියෙන්නේ. එය දැන් මටම සින්න වෙලාය. ඒ මනුස්සයා ජීවත් වෙන්නේ කෝපි එකෙන්ය. “ඩැඩාට බඩගිනි හැදෙන්නෙ නැද්ද, අම්මෙ?”

“බඩගිනි හැදෙයිද රංජි. දවසෙන් වැඩි හරියක්ම හාන්සි වෙලා, ලෝකෙම තියෙන news අහන රාජකාරිය විතරයිනේ එයා කරන්නේ- කෝපි බිබී. කිරිවලින්ම හදන කෝපි පහ හයක් දවසකදි ඩැඩාට පෙවෙනවනෙ... ඒ මදැයි, වෙන කෑම ඕනියැ, ඉතිං. එව්වත් යන්නෙ බඩටමනේ.” ඒ අපේ අම්මාගේ මතයයි.

“... ඒ වුණාට දවස් දෙක-තුනකට වතාවක්වත් එයාට පාන් රෝස්ට් කරලත් ඕනි, ඉස්සර නං. මතකයි නේද, ඕනි වුණොත් හදන විදිහ?”
“මතකයි, මතකයි. සැරයක් මට හදා ගෙනත් test කළා.”

ඩැඩාගේ ප්‍රියතම ආහාරවලින් එකකි, ඒ.
“මුලින්ම පාන් පෙති තුනක උඩ පැත්ත grill වෙන්න දාලා ඉන්න. ඒ අතරේ ඔයාට පුළුවන් චීස් පෙති කපාගන්න. පාන් පෙති තුනේ උඩ පැත්ත රෝස්ට් වුණාම එළියට අරං, අනිත් පැත්තෙ උඩට චීස් පෙති තියලා ආයෙමත් ග්‍රිල් එකට දාන්න. චීස් උණු වෙලා යන්තං බුබුළු දානකොට තමයි, ඩැඩාගේ පදම. හැබැයි නිවෙන්න කලින් ඒවා ඩැඩාට දෙන්න වෙයි.” කිරිවලින් කෝපි හදන්නට කියා දුන් දවසේමය, අම්මා මේ කුකරි පාඩමත් මට ඉගැන්නුවේ.
“ෆ්‍රිජ් එකේ තක්කාලි තිබුණොත්, ඒ ගමන්ම ගෙඩියකුත් පෙති කපලා දෙන්න!”

විදුලියවත් නැති ගෙදරකි, ඒ වෙද්දීත් ලංකාවේදී අපට තිබ්බේ. එහෙම තැනක සිට එංගලන්තයේ අම්මලාගේ ගෙදරට ආවාම මට නං දැනුණේ කියා ගන්නට බැරි තරමේ සතුටකි.

අම්මලාගේ කුස්සියේ තිබුණේ, ළිප් හතරක් තියෙන අවන් එකකි. ළිප්වලට උඩින්ය, Grill එක තියෙන්නේ. එයින්ය අම්මා පාන් ටෝස්ට් කරන හැටි මට පෙන්නුවේ.
පස්සේ ඒක අත්හදා බලන්නටත් එක්කය මං තනිවම, පාන් ටෝස්ට් හදා ගත්තේ.

“පුතේ, මිනිස්සු කටෙන් කන්න ඉස්සෙල්ලයි ඇහෙන් කන්නේ. නහයෙන් කන්නේ... ඉතිං කෑමක් උයද්දී; බෙදද්දී ඒ ගැන කල්පනා කරන්නම ඕනි.” මට දහසක් දේවල් ඉගැන්නූ අපේ මහරගම ආච්චී; දසනායක රත්නවතී මට කියා තිබිණි. “ඒ හින්දා බත් පිඟානක් බෙදනකොටත් ලකයක් ඇතිවයි බෙදන්න ඕනේ.” ආච්චිගේ ඒ පාඩම මට මතක් වුණේ, පළමුවෙනි වතාවට ඩැඩා වෙනුවෙන් චීස් ටෝස්ට් හදනකොටය.

Do things for people not because who they are or...

පාන් පෙති උඩ ඇතිරූ චීස් උණුවී දියවෙන අතරේ මං කළේ, පුංචි තක්කාලි ගෙඩි කීපයක් තෝරා ගැනීමයි. ඊළඟට ඒවායෙ යටින් ටිකක් (වෙන් නොවී) ඉතිරි වෙන විදිහට දිග අතට සීරුවෙන් කැපීමයි. එතකොට ඒවා විසිරී, පෙති විහිදුණු නෙළුම් මල් වගේ හිටියි!

චීස් ටෝස්ට් පෙති කීපයත්, තක්කාලි නෙළුම් මල් කීපයත්, කොළපාට පාස්ලි කිනිති කීපයත් උදව් කරගෙන මං හැදූ සැරසිල්ල ඩැඩාව අමන්දානන්දාට පත් කළාය කියන එකය, වඩාත් හරි!
මං වහන්සේ ඒ කාර්යය කළේ ප්‍රශංසාවක් බලාගෙන නොවේ.
ඩැඩාගෙන් ලකුණු ගන්නටත් නොවේ. ලස්සන දෙයක් කිරීමෙන් අහිංසක සතුටක් භුක්ති විඳින්නටය.

2013 පෙබරවාරි 27 වෙනිදා ‘නමියගෙ වීදිය’ blog අඩවියේ ‘මොකටද මුත්තේ මෙහෙම වෙන්නෙ...’ කියලා post එකක් පළවී තිබිණි. එය කියවූ Lotus රසිකාවිය, මෙහෙම comment එකකිනි, නමීට ප්‍රතිචාර දක්වා තිබ්බේ.

‘ඒ සිංදුවෙ අදහස පොඩි කාලෙ අපේ ඔළුවට දැම්මෙ 'තමන්ට නොලැබුණත් අනිත් අය වෙනුවෙන් ගහක් හිටවන්න' කියලා වුණත්, අඹ ඇටය සංකේතයක් විදිහට යොදාගෙන සිංදුවෙන් කියන්නෙ give selflessly කියන දේ නේද. දැන් කාලෙ buzz word එකක් වෙන sustainability වචනයේ පරණ හා සරල අර්ථ දැක්වීමක්.

ඒ අතර ලස්සන කියමනක් හම්බ වුණා. "Do things for people not because who they are or what they do in return, but because of who you are" (Harold S. Kushner).

‘ඔබ මිනිසුන් වෙනුවෙන් යමක් කරන්නේ නම්, ඔවුන් කවුරුන්දැයි නොසිතන්න; ඔවුන්ගෙන් ආපසු ලැබෙන දෙයක් ගැනත් නොතකන්න. ඔබ එය කළ යුතු වන්නේ, ඔබ එසේ කරන්නෙකු වන බැවිනි!’ හැරල්ඩ් එස්. කුෂ්නර්ගේ ඒ කියමන Lotus ඉංග්‍රීසියෙන්මයි පෙන්නලා තිබුණේ.
සුර දූතයන් පය තියන්න බය වෙන තැන්වල මෝඩයෝ පිනුම් ගහනවලු. ඒ කතාව දැන-දැනම තමයි හිතුවක්කාර මට හිතුණේ, අර කියමන සිංහලට නඟන්න. (කවුරු හරි සජ්ජන සහෘදයෙක් වඩා හොඳ විදිහට පරිවර්තනයක් කරලා එවනවා නං- පිං දීලා ස්තුති පූර්වකව පිළිගෙන, මගෙ පරිවර්තනය වෙනස් කරන්නට වුණත් සූදානම් වෙලයි මේ ඉන්නේ, හොඳද?)

Lotusට නමී දීල තිබුණු උත්තරයත් මෙතනට අදාළයි:
‘ඒ කියමන එක්ක මට මතක් උනේ... ළඟදි ආපු
RRR (2022)කේ ඕකම කියවෙන තැනක් තිව්න.
"ඔබට ඕනෑම දෙයක් කිරීමට අයිතිය ඇත. ප්‍රතිඵල බලාපොරොත්තු වීමට අයිතිය නැත. ප්‍රතිඵලය ඔබේ අරමුණ කර නොගන්න. නුඹේ ක්‍රියාව ගැන අවධානය තබාගෙන සිටින්න". (මේක සංස්කෘත ශ්ලෝකයක්).’

මට වැරදිලාය. ඒ බව දැනුණේ ටික වෙලාවක් යද්දී තරුණ ජෝඩුවක්...

ඔය කාරණයම ‘දෙපා අවසඟ පාපන්දු පිස්සා’ අපේ රාජමනි අංකලුත්, bonus කතන්දරයක් විදිහට මට කියලයි තිබුණේ.

ඉතිං, මගේම සතුට වෙනුවෙන්- මම කරපු ඒ ‘චීස් ටෝස්ට් සැරසිල්ල’ ගැන ඩැඩා සියක් වාරයක් මතක් කළේය; ප්‍රශංසා කළේය. අපේ ගෙදරදී විතරක් නොවේ, රෝයි අංකල්ලාගේ ගෙදරදීත් පුන-පුනා කිව්වේය. ඒ ප්‍රශංසාව අශාන්ගේ හිතට වැදිලා බවයි පෙනුණේ!

ඔය විදිහටය, අපේ ආච්චී කියා දුන් ගුරු-හරුකම් තුනක්ම, තෙවතාවකදී ඉතාම තීරණාත්මක විදිහට මට බලපෑවේ.

එයින් පළමුවැන්න; බණ කතා ඉගැන්වීමට සම්බන්ධය. මාතාංග ජාතකය කුඩා තොරණකින් නිරූපණය කිරීමෙන් පටන් ගත් එය කෙලවර වුණේ පදික වේදිකාවේ රජ වීමෙනි.

දෙවැන්න: 1971 කැරැල්ල සමයේ ගෙදරටම වී ඉඳිද්දී, පත්තෑයාට පෙත්තෙන් පටන් ගෙන බතික් ශිල්පියෙකු වීමෙනි; පරිපාකයට පත් වුණේ.

‘තක්කාලි නෙළුම් මල් කතන්දරෙන්’ ඇරඹුණු තෙවැන්න, අරවා තරම් දිගට ඇදෙන එකක් නොවේ. ඒත් කතන්දරයක් නිසා මුල- මැද- අග තියෙන්නම එපැයි. ඔන්න එහෙනං, පටන් ගැන්මේ හිට පිළිවෙලින්...
රෝයි අංකල්ලාගේ ගෙදර භෝජන සංග්‍රහයට යද්දී, මං හිතාගෙන හිටියේ ඒක සැසිල් ෆෙඩ්‍රික් ශ්‍රෝඩාර් පවුලේ අපට විතරක් සීමාවුණු එකක් කියලාය. මට වැරදිලාය.

ඒ බව දැනුණේ ටික වෙලාවක් යද්දී තරුණ ජෝඩුවකුත් රෝයි අංකල්ලාගේ ගෙදරට ආවාමය.

ඒ ජෝඩුව දැක්කාම රෝයි අංකල්ගේ මුහුණ හොඳ නැති වුණු විත්තිය පැහැදිලිවම පෙනුණේය. ඒත්, ඒ නොපහන් බව හංගන්නේ නැතිවම- රෝයි අංකල් එයාලාව පිළිගත්තේය. එතකොටම සුමිත්‍රා ආන්ටිත් එතැනට ආවාය. ඉතාම උණුසුමින් අර තරුණයන් දෙන්නාව වැලඳ ගත්තාය. ඔවුන්ව අපට හඳුන්වා දුන්නාය.

“මේ රෝයිගේ brother අශාන්... මේ අශාන්ගේ ෆියෝන්සේ කයිසර්....”

à ඊළඟ කොටසට...