li Item

Sunday, November 27, 2022

තිහේදී... –දහවෙනි කොටස

කවුද හිතුවේ දවසක මේවා මෙහෙම ලියවෙයි කියල. එහෙම ලියැවෙන බවට යන්තං හරි හෝඩුවාවක්වත් තිබ්බ එකක්යැ? එහෙම නං හරියටම ගතවුණු වෙලාවත් බලා ගන්න තිබ්බා.

වෙලාව බලා නොගත්ත වුණත් පහුවදා දවසම මං හිටියේ හොඳටම හේබාලා ගිය කෙහෙල් පැළයක් වගේ. අපේ ගෙදර ඉඳල කෙලින්ම වැඩට යනවා කිව්වට, පියසිරිත් යන්ඩ නැතිව ඇති!
යන්ඩ වගේම
කෙළින් හිටගෙන ඉන්ඩත් ඒ හාදයාට පණ ඉතිරි වෙලා තියෙන්න එපැයි.

මතකය අලුත් කර ගන්ඩ උඩින් තියෙන link එක ක්ලික් කරලා එහාට ගියෝතින්, Lotus ඔය පණ නැති කතාව ගැන එවා තියෙන comment එකත් කියවලා බලන්න.

පියසිරි ගැන මෙහෙම ගොඩක් ලියැවුණේ නොදැනුවත්ව නෙවෙයි. (ඔව්, එයා ගැන තව ලියන්නත් තියෙනවා.) මගෙ ප්‍රථම ප්‍රේමය අවදි කළේ එයා. ඒ වගේමයි, මට හමු වුණු හොඳම ලිංගික සහකරුවන් කිහිප දෙනාගේ ගොඩටත් පියසිරිව දාන්නම වෙනවා.

සමකාමී / සමරිසි / සමනල / subjectකාරයො / gay / LGBT වගේ වචන- යෙදුම් කලාතුරකින්වත් ඇහුණේ නෑ. දැන් ප්‍රසිද්ධියේම පෙළපාලිත් යනවා!

ඒකම නෙවෙයි එයාගේ විශේෂය.
මංවත්, මගේ ගැන එතෙක් නොදැන හිටි කාරණාවක් මට ඉගෙන ගන්න; වටහා ගන්න ඒ යක්ෂයා හේතුපාදක වෙච්ච එක.

ඒ කාලේ වෙනකොට මං හිටියේ පුදුමාකාර අවුලක.
සමකාමී / සමරිසි / සමනල / subjectකාරයො / gay / LGBT වගේ වචන- යෙදුම් කලාතුරකින්වත් ඇහුණේ නෑ. ගල්කාරයෝ / xකේ අරින්නෝ / ආප්ප කාරියෝ වගේ ග්‍රාම්‍ය යෙදුම් හා වචන විතරයි, රහසෙන් වුණත් ඔව්වා කතා වෙන වෙලාවට පාවිච්චි වුණේ.
විදග්ධයන්, පණ්ඩිතයන්, සුචරිතවාදීන් වගේ උදවිය ඒ කාලේ මෙහෙම දේවල් කතා කරනවා තියා හිතන්ඩවත් බය වෙන්ඩ ඇති.

පියසිරි ඒ අතින් බලද්දී කිසිම හික්මීමක් නොතිබුණු කෙනෙක්. මිනිහගෙ වාග් කෝෂයේ අසභ්‍ය වචන තමයි වැඩි හරියක් තිබ්බේ. ඒ හාදයාට ඒවා කියැවුණේ නිකම්ම. එහෙම වුණත් එයාට ඒවා ගැන හැඟීමක්; තැකීමක් නොතිබුණු තරං!

මට හිතෙන විදිහට මේ විෂයයන් පිළිබඳව ඉස්සරින්ම වගේ භාවිතයට ගැනුණු වචනය Gay වෙන්නෝනි. දන්නවනෙ මගේ ඔල්මොරොන්දන්කාර හිතේ හැටි.
පෙරළලා බැලුවා, මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය.

1958 මුල්ම සංස්කරණයෙදී ඒ පොතේ gay වචනෙට දීලා තිබුණු තේරුම් තමයි මේ:
‘කෙළි සෙල්ලමින් යුත්, ප්‍රීතියෙන් කල් ගත කරන, ප්‍රභා සම්පන්න, විලාසවත්, උල්ලසිත’. ඔන්න කැමති කෙනෙකුට ගැඹුරින් හිතන්න; සොයා බලන්න දෙයක්.

අපේ ජාතික පුරුද්දක් නෙව, ආඳා මාළු ඉරට්ටෙන් කන එක- අතින් නොකා. ඒ නිසා තමයි, මේ වගේ ‘සම්මතයෙන් එහාට ගිය සබඳකම්’ ගැන එළිපිට තියා රහසෙන්වත් කතා කෙරුණේ නැත්තේ. මගෙත්තෙක්ක යන්තමින්වත් එහෙම හරි කතා කෙරුවෙත් සුදු මල්ලී, රණවක, භානු යාළු 2, පියසිරි වගේ අය විතරයි. ඒ ගොල්ලො වුණත් ‘හොරෙන් හොරෙන් ගෙරි මස් කෑවා මිසක, කරේ එල්ලගෙන කෑවේ නෑ!’.
ඒ හැමෝම අඩු / වැඩි තරමින් හිතුවේ මේ වැඩ වැරදි වැඩ විදිහටයි; පව්කාර වැඩ විදිහටයි. ඒ තියා මේ ලියන මාත්...

සමරිසි යුවලක වුණත් ඇක්ටිව් (පිරිමි), පැසිව් (ස්ත්‍රී) භූමිකා දෙක නං තියෙන්නේ...

එහෙම සාම්ප්‍රදායික විදිහටම හිතුවත් අමුතුම හිතිවිල්ලකුත් මගෙ හිත ඇතුළේ කැවෙමින් තිබ්බා. මුතු බෙල්ලෙකුගේ කුස ඇතුළේ කැවෙන රොඩ්ඩක් වගේ. කසාදයක් බඳින්න ගැහැනු පිරිමි ජෝඩුවක්ම වෙන්න ඕනිද?

සංස්කෘතික ජීවියෙක් විදිහට ඒ වෙද්දී හිටි නිමල් දිසානායකව හැඩ ගැස්වීමේ වගකීමෙන් 99%ක්ම පැවරෙන්නේ ‘දසනායක රත්නවතී’ උපාසිකා මාතාවට; අපේ මහරගම ආච්චිට. ජාතක කතන්දර, බණ කතන්දර විතරක් නෙවෙයි, උන්දැගේ විෂය පථයන්ට විෂය වුණේ. සමහර ලිංගික විද්‍යාත්මක කරුණුත්. හැබැයි එකම ඉගැන්වුම් ක්‍රමයයි, අපේ ආච්චී දැනගෙන හිටියේ. ‘කතන්දර මඟින් කියා දීම!’
ඒත් ඒ හැම කතාවකම අවසාන ඉලක්කය වුණේ අපිව හොඳ මිනිසුන් කරන එක; අපිව හතර වරම්
දෙවියන්ගෙන් පැසසුම් ලබන උසස් තත්ත්වයකට පත් කරවන එක; අපිව සුසිල්වත් ගුණගරුක අය බව‍ට පත් කරවන එක. පති වත- පතිනි වත සුරකින අය බවට පත් කරවන එක.

ඉතිං, මං වහන්සේ අපේ ආච්චීගේ හොඳම ශ්‍රාවකයා / හොඳම ගෝලයා වුණාට...
හොඳම පිළිපදින්නා; හොඳම අනුගාමිකයා වුණේ නම් නෑ!
අපේ ආච්චී කියා දුන් අදහස් එක්ක සසඳලා බලනකොට නං, ඒ වෙද්දීත් මගෙ
කුමර බඹසර කුඩේ කුඩු වෙලා ඉවරයි. පති වතක් හරි පතිනි වතක් හරි තිබුණා නං ඒකටත් ඒ ටිකම තමයි. (සමරිසි යුවලක වුණත් ඇක්ටිව් (පිරිමි), පැසිව් (ස්ත්‍රී) භූමිකා දෙක නං තියෙන්නේ එයාලටත් පති වතක් හා පතිනි වතක් තියෙන්න එපැයි. ඒකයි මට එහෙම කියැවුණේ.)

‘හැබෑටම රංජි, උඹට ඒ එක වතක්වත් තිබ්බද?’
‘නෑනෙ! වෛශ්‍යාවන්ට තියෙනවා නං මොකක් හරි වතක්, අන්න ඒක වගේ එකක් නං...’

ඔයාලා හිතන්නේ මම ඒ ගැන ආඩම්බර වුණාය කියලද... නෑ. චුට්ටක්වත් නෑ.

ඒ ගැන හිතන හැම වෙලාවකම ඒ දවස්වල මං පසුතැවුණා. ඒත් ඒ පසුතැවිල්ල දිගටම මගේ හිතේ රැඳී තිබුණේ නෑ කියලත් පිළිගන්නම වෙනවා... පෙරළෙන ගලේ පාසි බැඳෙන්නෙ නැහැල්ලුනේ.

ඒ දරුවාව සිප ගැනීමත්; තුරුලු කර ගැනීමත්...
ඒ නිසා වෙන්නැති, මගෙ ඔය පසුතැවිල්ල ගැන නං කාගෙන් හරි අහන්නවත්, කා එක්ක හරි කියන්නවත් කිසිම අවස්ථාවක් මට හම්බ වුණෙ නැත්තෙත්.

හැබැයි ඒත් එක්කම, කාටවත් නොකියපු හීනි ආඩම්බරේකුත් මට තිබුණා. ගොඩ දෙනෙක්ගේ අවධානයට ලක් වීම ගැන; මිනිත්තු එකොළහක කාල සීමාවකට හරි එහෙම අයගේ සෙනෙහසකට ලක් වීම ගැන. එහෙම ආඩම්බර වීම වරදක්ද?

fb යන කෙනෙකුට නං- ඒකෙ ඉන්න ගොඩක් දෙනාගේ චර්යාව තේරුම් ගන්න හදන කෙනෙකුට නං පෙනෙයි. අනුන්ගේ අවධානයට ලක් වීම, අනුන්ගේ likes ලබා ගැනීම මිනිස්සුන්ට කොච්චර වැදගත්ද කියලා.

දරුවෙකුට පුතේ, දුවේ කියලා කතා කරන පුරුද්දක් නැති ගෙදරක...
දරුවෙකුට අවුරුදු දෙකක් පිරෙන්නත් කලින්- ඒ දරුවාව සිප ගැනීමත්; තුරුලු කර ගැනීමත් අතාරින්න වුණු දෙමව්පියන් ඉන්න ගෙදරක ‘ලොකු පුතා’ විදිහටයි මං  උපන්නේ.
මේ අවදියේ විස්තර ‘නිදිගෙ පංච තන්තරේ’ මුල් කාලීන postsවලදි මගෙන් සෑහෙන්න කියවුණා, අපේ අම්මගෙයි, තාත්තගෙයි දරු හැවිකාරේ වපසරිය ගැන විස්තරත් එක්කම! (මෙතනට links දාන්නෙ නැත්තේ දහයක්- පහළොවක්වත් දාන්න වෙන නිසයි.)

ඒ දෙන්නා ගැන මගෙ ඍජු අදහස මේකයි:
අපේ තාත්තාත් අම්මාත් දෙන්නාම වගකිව යුතු දෙමව්පියන් වශයෙන් කටයුතු කරන්නට සුදුසුකම් තිබුණු අය නෙවෙයි. හැබැයි ජනිතයන් ජාතක කරන්නත්, මෙලොවට බිහි කරන්නත් අවශ්‍ය සියලුම සුදුසුකම් එයාලට තිබුණා / ඒ කාරිය එයාල නොපිරිහෙළා ඉටු කළත් එක්ක, අපි දහ දෙනෙකුව උපද්දල.
ඒත්... ඒත්... ඒත්... ඒ දහ දෙනාට ජීවිතය දුන්නට මොකද, ආදරය දෙන්න එයාලා දෙන්නට බැරි වුණා.

මං හිතන්නේ ඒ අඩුව වැඩියෙන්ම දැනුණේ මටයි; වැඩියෙන්ම බලපෑවේත් මටයි!

මයෙ ළඟ වැඩියෙන් තිබුණේ ආදරයද / වත්සලතාවද / අධික ආශාවද?

ඒ නිසාදෝ මං වැඩියෙන්ම හෙව්වේ ආදරේ... උණුසුම් සෙනෙහස. මම එව්වට ඇදිලා ගියේ කාන්දමකට ඇදෙන ඉඳිකට්ටක් වගේ. කාන්දම මොකක්ද, ඒකට මාව ඇද ගන්න ශක්තිය මොකක්ද කියන එක හොයා බැලීමක් ඒ දවස්වල මගෙන් එච්චර කෙරුණේ නෑ.

මං වැරදියටයි තේරුම් අරගෙන තිබ්බේ. ඒ ආදරය නෙවෙයි. මගෙ ළඟ තිබිලා තියෙන්නෙත් ආදරය නෙවෙයි. ආසාවමත් නෙවෙයි.

දැන් මට හිතෙන විදිහට ඒ ‘වත්සලතාව’ වෙන්න ඇති. හුඟ වෙලාවට හුඟක් අය ‘වත්සලතාව’ ආදරය විදිහට වරදවා වටහා ගන්නවත් වගෙයි. එහෙම වෙන්න තියෙන ඉඩකඩත් ගොඩක් වැඩියි.
ඒ විත්තිය පහසුවෙන්ම වැටහෙනවා, සිරි ලියනගේ මහත්තයා සංස්කරණය කළ ‘නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂය’ පොතේ ‘වත්සල’ වචනෙට සපයල තියෙන අරුත් බැලුවාම: ‘ස්නේහය ඇති, ප්‍රිය උපදවන, ආදරය ඇති’.

මට ගොඩක් ලිංගිකව සමීප වුණු අයත් ‘ආදරේ’ කියලා හිතාගෙන හිටියත්; එහෙම කිව්වත්, එයාලටත් වැරදිලා තිබ්බ වගෙයි.
එයාලා ළඟ තිබුණේ Love නෙවෙයි. Lust!
ලස්ට් කියන්නේ ‘රාගය / කාම තෘෂ්ණාව / අධික ආශාව / ලොල් බව’ලු.

මයෙ ළඟ වැඩියෙන් තිබුණේ ආදරයද / වත්සලතාවද / අධික ආශාවද?

1984 අවුරුද්දේදී මගෙ ඔළුවේ නං ඔහොම දේවල් වැඩ කළෙම නැති තරම්. Youth කමිටුවේ සභාපති විදිහට උපරිමයෙන් වැඩ කිරීමටයි, මම මුල්තැන දීලා තිබුණේ. කෙනෙකුගේ ඔළුව යකාගේ කම්මලක් වෙන්නේ වැඩ නැති වෙලාවටලුය කියනවනෙ.

ඒ අතරේ අම්මලාගෙන් එන පණිවිඩ වැඩි වෙන්න ගත්තා.

‘රංජි, ඔයාට ඔය මොකක්ද එකේ සභාපතිකම කරන්න ඕනි මේ අවුරුද්දේ විතරයිනේ. ඉතිං දෙසැම්බර් අන්තිම සතියේ හරි ඔයාට මෙහෙ එන්න බැරිද? නත්තලට අපිත් එක්ක ඉන්න බලාගෙන... දැන් තියලම ඒකට ලෑස්ති වෙන්නය කියල ඩැඩාත් ඔයාට කියනවා.’ අම්මා ලියා එවා තිබිණි.
‘ලොකූ, අනේ ක්‍රිස්මස් එක සෙලිබ්‍රේට් කරනකොට අපිත් එක්ක ජොයින්ට් වෙන්න එන්නකෝ.’ අම්මාගේ ලියුමේ යටින් සමන්ති නංගිත් ලියා තිබිණි.

ඔය ගමන යන්න වෙන්නේ....

එංගලන්තයට ගිහිං සෑහෙන කාලයක් යනතුරුමත් සමන්තිට සිංහලෙන් ලිවීමේ හැකියාව ඉතිරිවී තිබිණි. ඉක්මනින්ම ඒ හැකියාව නැතිව ගියේ චූටි නංගී දීපානිටය. ඒ වෙද්දීත් එයා අපට ලිව්වේ ඉංගිරිසියෙනි. සෑහෙන කාලයක් යනතුරුම ඉංගිරිසිත්, සිංහලත් දෙකම බැරිව නන්නත්තාර වෙලා වගේ හිටියේ දීපාල්; බඩා මල්ලාය.

ඔය අස්සේ දවසකය , තජක නේවාසික වැඩ මුළුවක් අතර විවේකයේදී ‘මගේ එංගලන්ත ගමන’ ගැන කතාව ඇදිලා ආවේ. “අම්මලා කියනවා දෙසැම්බර් අන්තිමටවත් එහෙ එන්න කියලා.”
“ඉතිං උඹ යන්නද plan කරන්නේ?” මර්වින් ඇහුවේය.
“නිමල්... පොඩ්ඩකට මට ඔයාගේ අත පෙන්නනවද?” එතැනම හිටි අනුර ජිනදාස හිතවතා කීවේ ඒ වේලාවේය. මම අත්ල විදහා පෙන්වීමි.

එතකොට අනුර ජ්‍යෝතිෂ් ශාස්ත්‍රය හදාරමින් උන්නේය. නිකට අතගාමින්, රැවුල කරකවමින්- කල්පනාබරිතව මගේ අත්ලේ රේඛා කියෙව්වේය. උපන් වෙලාවත් ඇහුවේය. ඊට පස්සේ ‘හ්ම්’ කියලා කියා ගත්තේය; නිස්සද්ද වුණේය.

“මොකක්ද අනුර බැලුවේ?” ඉන්දිරා, අසෝක කපුරුගේ, සුනීතා වගේ කට්ටිය අනුරගෙන් ඇසුවෝය.

“ඒක කියන්නං පස්සේ දවසක!” එහෙම කියලා අපෙන් බේරෙන්නට අනුරට පුළුවන් වුණේ නැත. “හොඳ දෙයක් හරි නරක දෙයක් හරි වුණත් කමක් නෑ, අනුර... මට ඕවයේ ගාණක් නෑ. ඔයාට පෙනෙන දෙයක් කියන්න.” මාත් කිව්වා මතකය. අපි කට්ටියගෙම පෙරැත්තයෙන් පස්සේ අනුර ජිනදාස සහෘදයා කියූ අනාවැකිය මං ‘නිදිගෙ පංච තන්තරේ’ට ලිව්වේ 2018 දීය; මෙසේය:

‘"තරහ ගන්න එපා නිමල් මේක කියනවාට. ඔයාට ඔය ගමන යන්න වෙන්නේ තව මාස හයක් ගියාට පස්සේ." අනුර කීවා. එවෙලේම අපේ තවත් හිතවතෙක් වන අසෝක කපුරුගේටත්, එයාගේ අයියා ගැන අනාවැකියක් කිව්වා, හඳහන බලලා. මොන කාරණාවක් නිසාද මන්දා, අනුරගේ ඒ අනාවැකි දෙකම තිතට හරිගියා.’

මං දේමිත්තගේ විවාහ මංගල්ලයට ගියේ නැත.

ඔය- මේ කටයුතු කෙරෙන අස්සේය, දේමිත්ත පළමු වතාවට දවාලක අපේ ගෙදරට ආවේ.

“තරහ වෙන්න එහෙම එපා රත්තරං. බුලත් අරං ඇවිත් කියන්න ඕනි දෙයක් මෙහෙම කියන්න ආවට. යාළු, අපේ තාත්තලා මට කසාදයක් ලැහැස්ති කරලා. සේරම තීන්දු කෙරිලත් ඉවරයි. ඔයා දන්නවනේ අපේ තාත්තගේ හැටි... තාත්තාගෙන් මැරුම් කෑවත් මම ඒ කසාදෙට බැහැයි කියනවා ඔයා කෙල්ලෙක් වෙලා හිටිය නං...”.

කිඹුලා කනවා උහුලන එක ලේසිය, කොහිල කටු ඇනෙන එක ඉවසීම අමාරුය.

මං දේමිත්තගේ විවාහ මංගල්ලයට ගියේ නැත. එහෙම කළේ තරහකින් නොවේ. දේමිත්ත ඒ ආරාධනය කළේ නොකර බැරිකමට වගෙය කියලා හොඳටෝම පෙනුණු නිසාය.
දේමිත්තගේ විවාහයත් එක්කම සුපුන්, රජීව දෙන්නාව හමු වීමත් නැවතී ගියේය.

ඒ මට ඔවුන් මුණ ගැහුණේ ඉතා කලාතුරකින් වීම නිසාද / පියසිරි නිතරම අපේ ගෙදර එමින් සිටි නිසාද / තජකයේ වැඩ හා එංගලන්ත ගමනේ වැඩ බහුල වීම නිසාද... ඒවා ගැන නිශ්චිතව කියන්නට බැරිය; අමතකය. ඒ ගැන හිතන්නටවත් මතක් වෙන්නේ දැන්ය!

නමුත් එකක් නම් හොඳටම මතකය.
ඒ වෙද්දී පියසිරිගේ නිතර පැමිණීම මට වදයක් වෙලා තිබ්බේය.‘දෙවේලේ දකින කුකුළාගෙ කරමලා - එවෙලේ පෙනෙයි සක සේම සුදු වෙලා’ යන කියුම, ඒ හාදයා දන්නේ නැතිවා වෙන්නැති. ‘දිගටම කාගෙන යනකොට අතිරස වුණත් තිත්ත රසට දැනෙන බව’
ඒ හාදයා දන්නේ නැතිවා වෙන්නැති.
මට නම් සිද්ද වෙලා තිබ්බේ ඒ සන්තෑසියයි. වටින් ගොඩින් ඒ ගැන කිව්වත්; ඇඟෙව්වත් පියසිරිට ඒවා නොතේරුණා වගෙය.

“මම උඹට ආදරෙයි xත්තො!” කිසිම කෙනෙකුට උසුරුවන්නට බැරි තරම් රාගාන්විතව පියසිරි මගේ කණට කොඳුරා කීවත්... ඒ වචනවලින් ඉස්සර මට දැනුණු ප්‍රහර්ෂය නොදැනිණි.
පියසිරිගේ නිම්හිම් නැති සිපගැනීම්; තලා- පෙළා- මිරිකා හැරීම්- ගේ කුරුලු රංගනයන් වැනි දේවලුත් ඒ වෙද්දී මට එතරම් ආනන්දයක් දැනවූයේ නැත. එහෙම වුණේ ඇයි?

දෙවියන් පළමුවෙන්ම නිර්මාණය කළ මිනිසාට අත් හතරක්- පා සතරක්- හිස් දෙකක්- පුරුෂ ලිංගයක් හා ස්ත්‍රී ලිංගයක්...

“උඹට දැන් මගෙ එකත් මදි වෙලාද xකයො?” පියසිරි දෙතුන් වතාවක්ම මගෙන් ඇහුවත් එක්කය.
ඇත්තම කියතොත්...

ඒ කිසිවකට වගකිව යුත්තේ ඔහු නොවෙන බව මට හැඟී යමින් තිබිණි.
ඔහු අත වැරැද්දක් නැති බව මට පසක් වෙමින් තිබිණි.
වැරැද්දක් තිබෙයි නම් එය ඇත්තේ මා ළඟ බව මට පසක් වෙමින් තිබිණි.
ඔව්, මා පිළිබඳ බියකුරු සත්‍යයක් මටම තේරුම් යමින් තිබිණි.

දෙවියන් පළමුවෙන්ම නිර්මාණය කළ මිනිසාට අත් හතරක්- පා සතරක්- හිස් දෙකක්- පුරුෂ ලිංගයක් හා ස්ත්‍රී ලිංගයක් තිබිණිලු. ඉන්පසු දෙවියන් ඒ මිනිසාව දෙපලු කළේලු. එදා පටන් මිනිසා තමන්ගේ අනෙත් පළුව; අනෙක් භාගය සොයමින් වෙහෙසෙන්නේලු.
ඒ කතාව එහෙම නම්, නිමල් දිසානායකගේ පළු දෙකෙන් එකක් තවත් කෑලි දුසිම් දෙක තුනකටවත් කපලා වෙන්නැතිය.

සමහර විටෙක මට හමු වුණු සහකරුවෙකුට හොඳටම හිත බැඳුණු විටෙක මම නන්නත්තාර වීමි. ‘මෙයා තමයි මගෙ soul mate යැයි සිතුවෙමි. ඊට කාලයකට පසු තවත් එවැන්නෙක් හමු වෙයි. නැවතත් මම අවුල් වෙමි. අර විදිහටම හිතෙයි. දීඝායු, අභී අයියා, සංජේ, දේමිත්ත හා පියසිරි වැන්නවුන් කීප දෙනෙකු අබියසදී මට සිද්ද වුණේ ඒකය.

වැරැද්ද තියෙන්නේ එතැනය. මගේ චපලකමේය.
ඒ විත්තිය මට හිතෙන්නට පටන් ගත්තා විතරය...
අවුරුදු 5ක් සිරි ලංකාව පාලනය කළ, ආසියාවේත්; ලංකාවෙත් පළමු රාජ්‍ය පාලිකාව වුණු අනුලා රැජනවත් මං තරම් චපල නැත! නමුදු චපල වෙන තැනට කටයුතු යෙදුණු විට, මා මොනවා කරන්නද?

පියසිරිගේ උණුසුම පිළුණු වෙමින් යද්දී, මගේ ඉරණම වෙනස්ම ආකාරයේ ඇවතුම්, පැවතුම්, හැඟීම් ඇති කෙනෙකුට මා සමීප කරවමින් තිබිණි. දැන් ඔබ හොඳින් දනියි. නිදි විවිධත්වයම පතන්නෙකි! විවිධත්වයම අගය කරන්නෙකි!!

දැන් පිටරටවල එහෙම ඔපරේෂන් කෙරෙනවලු බට්ටො.

“ඇත්තමයි යකෝ, උඹට තියෙන්නේ හොඳ දොස්තර කෙනෙක්ව අල්ලලා xයය කපල අයින් කරවලා xත්තක් හයි කරවගන්න. දැන් පිටරටවල එහෙම ඔපරේෂන් කෙරෙනවලු බට්ටො.”

පියසිරි රති විරාමයකින් පස්සේ කීවේය.
“ඔපරේෂන් එකක්...” මමත් හූමිටි තිබ්බෙමි.
“ඔව් xත්තෝ! අපේ office එකේ කට්ටියක් කතා වෙනකොට ඇහුණේ...” පියසිරි උනන්දුවෙනි. “කොහොම හරි එහෙම වැඩක් කරවගන්න පුළුවන් නං උඹට බේරිල්ලක් වෙන එකක් නං නෑ බට්ටො.” පියසිරි කිව්වේ මහා ප්‍රශංසාවක් කරන විදිහටය.

ඒ කතාව මට දැනුණේ වැල්ලවත්ත රෙදි මෝලේ ‘අයියා කෙනෙකු’ කී කතාවේම දිගුවක් විදිහටය.

සංජේගෙන් පස්සේ ආයෙම වතාවක් ‘සැත්කම් යෝජනාව’ ඉදිරිපත් වුණේ එදාය. එහෙත් ඒ අදහස තවත් මාස කීපයකට එසේම යටපත් වෙලා ගියේය. එංගලන්තයට යනතුරු...

ඒ විස්තර වෙනමම ලිව්වාම වඩාත් හොඳය. ඒ හින්දාය- තිහේදී posts පෙළ මෙතැනින් අවසන් කර ‘තිස් එකේදී’ පෝස්ටු කිහිපය පටන් ගන්නට යන්නේ෴0෴

31 comments:

  1. ඕනවට වැඩිය එකම කරනකොට එපා වෙන්නැතුව තියේයැ.

    අර ඔපරේෂන් එක කරගත්තනං මරුවට තියෙයි. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔපරේෂන් එක ගැන වුණු දේ ළඟදිම කියනවා ප්‍රසෝ!

      Delete
  2. මම භාෂා සහ ඉතිහාසය ගැන ආස නිසා ඔය LGBT වචන විකාශනයවීම හුඟක් ඉන්ටරෙස්ටින්.

    ඉතිහාසයේ හුඟක් වචන තිබුන.

    සාහිත්‍යමය හෝ විද්‍යාත්මක:-
    Tribadism, Sodomy, Lesbianism, Sapphism, Pederasty, Catamite, Homosexual, Homophile, Similisexualism, simulsexuality..etc.

    අපහාසාත්මක වචන:-
    පිරිමින්ට
    Nancy, Poof, Fairy, Pansy, Queen, Poofter, Fag, etc.
    ගැහැණුන්ට
    Dyke, Bull Dyke etc.

    අපහාසාත්මක වෙන හෝ නොවෙන LGBT ප්‍රජාව විසිනුත් තමන්ටම භාවිතා කරන වචන හුඟක් තියනව. ඒවා කියන අය, වෙලාව, අරමුණ අනුව වෙනස්වෙනව සහ වරදින්නත් පුලුවන්
    උදා. Masculine ලෙස්බියන්ස්ලට කියන 'Butch". LGBT අය ඒක පාවිච්චි කරනව. ඒත් වෙනත් අය සමහර වෙලාවට අපහාසයක් ලෙස කියන්නත් පුලුවන්.

    භාෂාව භාවිතා කරන විදිහ කාලෙන් කාලෙට වෙනස් වෙනව. විශේෂයින් බටහිර ලෝකයේ ශීඝ්‍රයෙන් වෙනස් වෙන political correctness අනුව මොනවද හරියටම කියන්න බෑ.
    හොඳ උදාහරණයක් ඉස්සර සමරිසි මිනිස්සුන්ට සාමාන්‍යයෙන් අපහාසාත්මකව භාවිතාවුන "Queer" වචනය. මම 2019 පිටරට ගිය වෙලාවක තමයි දැනගත්තෙ ඒක LGBT අය තමන්ගෙ අනන්‍යතාවයට යොදාගන්නවයි කියල. මං හිතන්නෙ තමන්ගෙ ආත්ම විස්වාසය හා බලය වැඩිවෙනකොට මුලින් අනුන් තමන්ට අපහාසයට කියපු ඒවා තමන් විසින්ම තමන්ට අයිති කරගන්නව වගෙ.
    A Former Slur Is Reclaimed, And Listeners Have Mixed Feelings - https://www.npr.org/sections/publiceditor/2019/08/21/752330316/a-former-slur-is-reclaimed-and-listeners-have-mixed-feelings
    හැබැයි අපි වගේ පිටස්තරයින් ඒවා හරියටම දන්නෙ නැතුව පාවිච්චිකිරීම අනතුරුදායකයි. ඇෆ්‍රිකන්ඇමරිකන්ස්ල තමන්ටම නිගර් හෝ නිගා කියා ගත්තට වෙනත් ජාතියක අය කිව්වොත් මල කෙලියක් වෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. හරවත්, රසවත් දිගු comment එකට තුති Pra Jay මහත්තයෝ!

      Delete
    2. ඉඳල ඉඳල ප්‍රාජේතුමත් වැට පනිනවා.
      🙏🙏🙏........

      Delete
    3. LGBT දැන් ප්‍රවර්ග 18 ක් පමණ ඇත. මූලිකවම LGBTQQIP2SAA. අනිත්වා ඊටත් සංකීර්ණ විය යුතුයි

      Delete
    4. ස්තුතියි රසික දැන්වත් තොරතුරට!

      Delete
  3. වාත්සල්යය ගැන මට මුලින්ම කියවන්න ලැබුණේ හිඟන කොල්ලා පොතෙන්. නමුත් තේරුම දැනගත්තෙ අද.

    ReplyDelete
    Replies
    1. වාත්සල්‍යය පුරුදු නිසා, වත්සලතාව කීවහම එකපාර තේරුම් ගියේ නෑ

      Delete
    2. වාත්සල්‍යය වචනේ 'ජාති' විශේෂණ පදයත් එක්කම බද්ධ වෙලා වගේනෙ.

      Delete
  4. //1958 මුල්ම සංස්කරණයෙදී ඒ පොතේ gay වචනෙට දීලා තිබුණු තේරුම් තමයි මේ:
    ‘කෙළි සෙල්ලමින් යුත්, ප්‍රීතියෙන් කල් ගත කරන, ප්‍රභා සම්පන්න, විලාසවත්, උල්ලසිත’. ඔන්න කැමති කෙනෙකුට ගැඹුරින් හිතන්න; සොයා බලන්න දෙයක්.//

    ඉතිහාසයේ බොහෝ කාලයක් තිස්සේ තිබුනෙ ඔය තේරුම තමයි.

    සමරිසි තේරුම ජනප්‍රිය වුනේ ගිය ශතවර්ෂෙ මැද ඒ කියන්නෙ 50-60 ගණවල වෙන්න ඕනෙනෙ.

    ඔය ශබ්දකෝෂය ලියනකොට ඒක නොදැන හිටිය වෙන්නත් පුලුවන්, දැනගත්තත් ලියන්න අකමැතිවෙන්නත් පුලුවන්. මලලසේකර භාවිතා කල ඉංග්‍රීසි ශබ්දකෝෂවල ඒ තේරුම තිබුනද නැද්ද කියල බලන්න ඒවාගේ පරණ එඩිෂන් බලන්න ඕනෙ.
    ඔහු හැට ගණන්වල බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වෙලා ඉන්නකොට නම් එහෙ ඒ තේරුම භාවිතාවෙන්න ඇති.

    While scant usage referring to male homosexuality dates to the late 19th century, that meaning became increasingly common by the mid-20th century.

    The Oxford English dictionary traces the history of the word ‘gay’ to the French word Gai. Merriam Webster takes it further back to a Germanic origin “akin to the Old High German Gahi” that meant “quick or sudden”. According to both dictionaries, in English the use of ‘gay’ to mean happy, excited, merry, carefree or bright started in the Middle English period that stretches between the 12th and the 16th century.
    While some books and websites on the history of the global homosexual movement claim the word gay was used as a secret code by homosexuals to identify themselves even as far back as the early twentieth century, professor Ashley Tellis says “it was in the 1960s that the word came to be popularly associated with the community”.
    https://www.hindustantimes.com/india-news/how-gay-got-its-rainbow-once-upon-a-time-it-meant-happy-today-it-s-synonymous-with-homosexual/story-k5zdmvDSZIoCcW2Sk2TVJO.html

    ReplyDelete
    Replies
    1. අගෙයි! හරිම සතුටුයි මෙච්චර ගොඩක් කිව්වට!

      Delete
  5. මේනක ආපුහ ලියලා...

    https://godekatha.blogspot.com/2022/11/blog-post.html

    ReplyDelete
    Replies
    1. ගියා, කියෙව්වා නෙවෙයි බැලුවා!! මෙහෙම ඒ විත්තිය ලියලත් ආවා.

      විරල නොවන සිදු වීමක් සරල කොට
      විරල රසක් එක් කරමින් ලියනකොට
      කොච්චර රහක් මතු වේදැයි සිතුණි මට
      කැමරා නැතිව හැදු ෆිලුමකි, මනාකොට

      Delete
  6. පැතුමත් ලියලා. https://biththiya.blogspot.com/2022/11/ielts.html

    ReplyDelete
    Replies
    1. පැතුමත් ලියල නෙවෙයි ඩ්‍රැකී බොක්කෙම ලියවිලා වගෙයි නේද? මෙන්න පැතුමටත් කවියක් ලිව්වා සාදුකාරෙකුත් දීලම.

      තව කෙනෙකුට සෙතක් වෙන්නැයි පතාගෙන
      ලොකු දුරුවලකමක් දුරලන විදිහ ගැන
      ලිව්වම මෙහෙම පැතුමෝ ඔහෙ ලබන පින
      සාදුකාර දෙමි, අනුමෝදන් වෙන්න!

      Delete
  7. මේ ලිපියෙ අගට කුණ්ඩලිනිය දාන් නැත්තෙ තිස් එකෙන් කන්ටිනිව් වෙන නිසාද?

    ReplyDelete
    Replies
    1. සීරීස් එකක අවසන් post එකේ අන්තිමට කුණ්ඩලි දෙකක්ම දාන්න අරං දැන් ටික දවසක් හින්දද ඩ්‍රැකී එහෙම ඇහුවේ?

      Delete
    2. ඔයා ඇයි ප්‍රශ්නෙකට ප්‍රශ්නෙකින් ම උත්තර දෙන්නෙ?

      ඒ විදිහෙ කතාවක් තිබුණා නස්රුදින් ගෙ. එයාගෙ පෙම්වතිය ඔය ප්‍රශ්නෙ ඇහුවා නස්රුදින්ගෙන්. නස්රුදින් ඒකට දුන්න උත්තරේ, "මම එහෙමද?" කියල අහපු එකයි.

      Delete
    3. ඇත්තයි ඩ්‍රැකී. ප්‍රශ්නෙකට සමහර විටෙක ප්‍රශ්නෙකින්ම උත්තර දීම මගෙ පුරුද්දක්. එහෙම කරන්නෙත් සහේතුකව.
      ඔයාගේ ප්‍රශ්නයයි, මගෙ උත්තරයයි, පෝස්ටුවේ අන්තිමයි චුට්ටක් බලන්නකෝ. හේතුවක් පෙනෙයි.

      Delete
    4. අම්මපා, රුපියල් සීයක් ඔට්ටුයි, මම මුලින් ම කියවද්දි ඔය කුණ්ඩවාල දෙක ඔතන තිබුණෙ නෑ.

      Delete
    5. මගෙ කොම්පියුටරේ blog ලිපිවල තියෙන වචනවල ර් ර අකුරු තැන් මාරුවෙලයි පෙන්වන්නේ. සමහරෙකුට ඒ ප්‍රශ්නය නෑ. ඒ වගේ හුටපටයක් වෙන්නැති.

      Delete
  8. සමරිසි වීමට මවගේ ගර්භාශයේ දී ඇතිවුන උෂ්ණත්ව වෙනසක් බලපානවා කියල අහල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අම්මට සිරි! මම ඔහොම දෙයක් අහලා තිබ්බේ නැහැ ලලිත්!
      නමුත් ඔයාගේ කීමෙන් මට මතක් වුණු කාරණයක් ගැන තිස් එකේදී ලියනකොට කියන්නම්!

      Delete
  9. දේමිත්ත එක්ක සම්බන්ධතාවය පටන් ගත්ත හැටි කියන්න නිමල් කොටස් දෙකක් ගත්තා. සම්බන්ධය ඉවරවුනු හැටි කියන්න.. (ඉවරවුනා නේද?) වාක්‍ය දෙකයි. ඒකෙත් හැටි.

    "එකම ඉගැන්වුම් ක්‍රමයයි, අපේ ආච්චී දැනගෙන හිටියේ. ‘කතන්දර මඟින් කියා දීම!’" ඒක නේද හොඳම ක්‍රමය. නිමල් ආච්චි අම්මගෙන් story-telling උපරිමයට ඉගෙන ගෙන කියලා පේනවා. දැන් මේ කියන සඟවාගත් ජීවිතය ගැන කියන්න කාලයක් තිස්සෙම ටික ටික පසුබිම හදාගත්ත නේද. දීඝායු ගැන, අභී අය්යා ගැන ලියපු පෝස්ට්ස් වලින් විතරක් නෙවෙයි, අර සුනන්ද මහත්තයා ඇතුලු කීප දෙනෙක් ගැහැනු කටහඬින් කතා කරලා 'වශී' කරගැනීම වගේ පෝස්ට්ස් වලිනුත්, ඊට අමතරව ගැහැනු ලමයෙකුට නිමල් වෙන කෙනෙක් වෙනුවෙන් මංගල යෝජනාවක් කරපු කතාවක් එහෙම තිබුනා නේද. එතැනදි වුනත් ගැහැණු ලමයින් ගැන නිමල්ට (නො)තිබෙන උනන්දුව හා ආකර්ශනය ගැන අදහසක් යම් ප්‍රමානෙකට පෙන්නුවා. හැබැයි මම හිතුවෙ මීට කලින් කොටසෙ (නව වෙනි කොටස) තමයි මේ කතාවෙ peak එක කියල. දැන් බලනකොට "මගේ ඉරණම වෙනස්ම ආකාරයේ ඇවතුම්, පැවතුම්, හැඟීම් ඇති කෙනෙකුට මා සමීප කරවමින් තිබිණි". .. කුතුහලය උපරිමයට.

    BTW, අජිත් ජිනදාස මහත්තයා ඒකාලෙ අත බලපු වෙලාවක නිමල්ගෙ sexuality ගැන කියලා නැද්ද.

    ReplyDelete
    Replies
    1. දේමිත්ත ගැන තව ටිකක් කියන්න තියෙනවා Lotus, අවුරුදු කීපයකට පස්සේ සිදු වුණු.
      මං හිතලා නොලිව්වත්, දේමිත්ත ගැන ලියවුනු මුල අග වෙනසෙන් මට දැනෙන්නේ 'පහු පහු වෙද්දී කොහු කොහු වෙන හැටි' කියවෙනවා කියලයි.
      // සඟවාගත් ජීවිතය ගැන කියන්න කාලයක් තිස්සෙම ටික ටික පසුබිම හදාගත්ත නේද?// ඔයාගේ ප්‍රශ්නයට තනි වචනෙන්ම උත්තර දෙනවා නං 'ඔව්!'.
      පොඩි විස්තරයකුත් එකතු කරනවා නම්, මගෙ ජීවිත කතාව කියන්නේ ක්‍රමිකව නිමල් දිසානායක ගොඩ නැඟුණු හැටිනෙ. ඉතිං එදා සහ අද විස්තර කරමින් ඔයාලටම තීරණය කිරීමේ අයිතිය පවරන එකයි මම කරන්නේ.

      ඒක ඔයාලට කියද්දී මට තියෙන අවාසිය තමයි, වෙච්ච දේවල් වෙනස් කරන්න බැරි එක. මට කරන්න පුළුවන් එකම දේ ලියන පිළිවෙලයි, ලියන රටාවයි වෙනස් කිරීම විතරයිනෙ- කියවන්නන්ගේ රුචිය රැක ගැනීම උදෙසා. මං ඒක කරනවා!

      ආයෙමත් අහන්න හිතුනා. Lotus, ඔයා නීතිය හදාරලාවත් තියෙනවද? නැතිනං විශ්ලේෂණය...
      ඊළඟ කාරණයේදීත් ඔයා හරි. ආච්චීගෙන් උගත් මගේ කතන්දර මඟින් කියන ක්‍රමය තවත් ටිකක් ඔප මට්ටම් වුණා තජකයෙන් ඉගෙනගත් සන්නිවේදන පුහුණුව නිසා. ඉගෙන ගත්තු දෙයින් ප්‍රයෝජන ගන්න එක; හැකි හැම විටම අත්හදා බලන එක මගෙ පුරුද්දක්!

      අනුර ජිනදාස මහත්තයා එහෙම කිසි දෙයක් කිව්වේ නැහැනේ. එයා කියන්නේ එයාට ඕනි ටික විතරයි වෙන්නැති. Lotus, එතුමා අර අතිධාවන කාම යෝග ගැන එහෙම කිව්වෙත් - කාගේදැයි නොකියා උපන් වෙලාවල් පහක් යවලා විස්තර කියන්නයි කිව්වම. ඒක කළෙත් අපේ තාත්තාගේ කනප්පුව ඇවිද්දවීම, මගෙ උතුරන තෙලට අත දමා හොරු ඇල්ලීම පාඩමකට අරගෙනයි.

      Delete
    2. //ආයෙමත් අහන්න හිතුනා. Lotus, ඔයා නීතිය හදාරලාවත් තියෙනවද? නැතිනං විශ්ලේෂණය...// 🤓🤓

      Delete
  10. කුමර බඹසර නැති කරගත්තේ දහනමයේදී රුසියාවට ගිය නිසා. (සෝවියට් දේශය කියන්නේ ඒ කාලේ) 1985 අවුරුද්දේ. ඊට පස්සේ ඔය හැම ගහටම කොට කොට ගිහින් අන්තිමට කෙහෙල් ගහකට කෙටුව. ඒ කතාවේ තරමක විස්තර අන්තිමට ලිව්ව "ප්‍රථම ප්‍රේමය" පොතේ තියෙනවා. (කතාව ලිව්වේ තෙවන පුරුෂයෙන් හැබැයි) හැබැයි තමන්ට හරියන කෙනා හම්බ වුන ගමන් ඒක තේරෙනවා කියන එක මමත් විශ්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රථම ප්‍රේමය පොත කියවද්දී මට හිතුණා එහි සැහෙන තරම් දේවල් කතුවරයාගේ අත්දැකීම් බව!
      ඒ වගේමයි, ඔබෙ අනාවරණය ගැන වෙනම ස්තුතියක් කරන්න වටිනවා අජිත්!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්