අකුරු මැකී නෑ

Sunday, April 23, 2023

තිස් එකේදී - 12ට comment එකක්...

හිතවත් Pra Jay මහතාණෙනි,

‘තිස් එකේදී - 12 වෙනි පෝස්ටුව’ කියවූ ඔබ, එයට දිගු comment එකක් ලියා තිබිණි. සාමාන්‍යයෙන් දිගු කමෙන්ටු නොලියන ඔබේ ඒ ප්‍රතිචාරය, මට කෙරුණු ගෞරවයක් ලෙසත් මට හැඟෙයි; එසේම ඒ comment එක මා දිරි ගන්වන්නක් ලෙසත් මට සිතෙයි.
එනිසාම මෙලෙස විස්තරාත්මකව ඊට පිළිතුරු දිය යුතු යැයි මට සිතේ. ඊට තවත් හේතුවකි.

මෙලෙස comments ලියවෙන්නේ වෙන-වෙනස් රුචි-අරුචිකම් සහිත, වෙන-වෙනස් පරමාර්ථයන් හා අරමුණු සහිත රසික-රසිකාවියන් අතිනි...

Blog ලිපි කියවන සමහර දෙනෙකු ඒවායේ කමෙන්ට්ස් නොකියවන බව මගේ අවබෝධයයි. (විශේෂයෙන්ම, පසුව එවන කමෙන්ටු.) ඒ නිසාම මා ඒවාට ලියවෙන පිළිතුරුත් ඔවුනට මඟ හැරෙනවා විය යුතුමය.

එයට මමත් එක් අතකින් වැරදිකරුවෙක්මි.
මගේ කාර්ය බහුලත්වය නිසා මගේ blog ලිපිවලට ආදරණීය රසික පාඨක-පාඨිකාවියන් එවන කමෙන්ටුවලට මා පිළිතුරු ලියන්නෙත් පසුවදා උදෑසන බැවින්, එසේ වෙතැයි සිතමි.

ඒ වැරැද්දෙන් සිදු වෙන අඩුවක් වෙතොත් එය යන්තමින්වත් පිරිමසා ගන්නටය, මා හැකි හැම විටෙකදීම වඩා සාරවත් හා වඩා අදාළ comments මගේ postsවලටත් ඇතුළු කර ගන්නේ.
එසේම එය ‘අනෙකුත් blog අඩවිවල පවා comments කියවන්නැයි රසිකයනට කෙරෙන පෙළඹවීමක්’ද වෙයි.

එලෙස ඔවුන් පොළඹවන්නට මා හිතන්නේ නිකම්මත් නොවේ.

මෙලෙස comments ලියවෙන්නේ වෙන-වෙනස් රුචි-අරුචිකම් සහිත, වෙන-වෙනස් පරමාර්ථයන් හා අරමුණු සහිත රසික-රසිකාවියන් අතිනි; වෙන-වෙනස් සමාජ මට්ටම්වල වෙසෙන, වෙන-වෙනස් දැන-උගත් මට්ටම්වල සිටින උදවිය අතිනි; ලෝකයේ නන් දේශ-දේශාන්තරවල සිටින්නන් අතිනි.
මට දැනෙන විදිහට නම් ඒ සියලුම දෙනාට ඇත්තේ ‘එකම පොදු සාධකයක්’ පමණකි. ඒ ‘සිංහල කියවීමේ හැකියාව’යි. ඒ හැකියාව සහිත පිරිසට සහෝදර පාඨකයන් ගැන අන්‍යොන්‍ය අවබෝධයක් ලබා ගන්නටත්, කදිම ක්‍රමයක් ලෙසයි- එකිනෙකාගේ කමෙන්ටු කියවීම මා නම් දකින්නේ!

ඊට අමතරව (මා වැනි) blog රචකයන් නොපවසන දේ; නොකියන දේ; අඩක් කියා අඩක් නොකියා ඇති දේ විමසා බැලෙන්නෙත් commentsවලිනි.
එතනදී blog රචකයා පිළිබඳ වඩාත් හොඳ; පිරිපුන් චිත්‍රයක් මවා ගන්නටත්, ඒවා කියවන- විමසන පාඨකයන්ට ඉඩ-හසර ලැබෙයි.

ඇයි එක පැත්තක් විතරක්?
Blog රචකයෙකුට තමන්ගේ රසික රසිකාවියන් ගැන තොරතුරුත් ඔවුන් එවන කමෙන්ටු මඟින් ඉබේම හෙළි වෙයි. (මෙහෙම අතිපණ්ඩිත කතන්දර කියන්නේ ටිකක් විචීකිච්ඡාවකුත් තියාගෙනය. නිර්දය විදිහටම අන්‍යයන් හෙළිදරව් වෙනවාට කැමති අපි ‘අන්‍යයන් අපේ ගැන දැන ගන්නවාට නම්’ අකැමැති වෙමු. -මෙතනදී මං වහන්සේ වැරදි වෙන්නටත් හොඳටම ඉඩ තිබේ.)
මෙසේ හෙළිදරව් වීමට ඇති අකැමැත්ත නිසාම, කෙනෙකු comments ලියන්නට පස්ස ගහන්නත් පුළුවනිය!   

ඉතිං Pra Jay මහතාණෙනි, ඔබේ දීර්ඝ කමෙන්ටුව පාඨක ලොවේ කිසිවෙකුටත් මඟ නොහැරෙනවාට මා අතිශයින්ම කැමතිය.
එනිසාම එයට මෙසේ පිළිතුරු දෙන්නෙමි; තවත් පෝස්ටුවකින්ම!

එතකොට එකෑවරම මට හිතුණේ, ජන්මෙට වඩා පුරුද්ද ලොකු නිසා වෙන්නැති කියලයි.

බ්ලොග්ස් කියවන ආදරණීය හැම දෙනාටමත් එය ප්‍රයෝජනවත් වෙතැයි සිතමිනි, මා එසේ කරන්නේ.

ඒ දයාබර පාඨකයන් සැමටම මේ පෝස්ටුවෙදී, ඒ (Pra Jay මහතාගේ) කමෙන්ටුව පහසුවෙන්ම හඳුනා ගැනීමට හැකි වනසේ රතු පැහැයෙන් එය දක්වමි. (පිළිතුරු දීම වඩා ලෙහෙසි වෙන නිසා ඒ comment එක කොටස් වශයෙනි, මා යොදා ගන්නෙත්.
ඔන්න එහෙනං පටන් ගන්නවා.

//බැලූ බැල්මටම කෙනෙකුට පෙනෙන අහිංසක; උපාසක නිමල් දිසානායකට යටින් වසන්වී සිටින නසරානි අපතයාව කෙනෙකුට ලේසියෙන් පෙනෙන්නේ නැත!//

මේක තර්කානුකූල නෑ නේද?

1.
ප්‍රසංශාව ලැබුනේ තමන්ගෙ පවුල බලාගෙන ඔවුන් හොඳ තැනකට ගේන්න කරපු උත්සාහය ගැන. ඉතිං අනිල් කියපු දේ ඇත්තනෙ. ප්‍රසිද්ධියේ ප්‍රසංශා ඇහෙනකොට ටිකක් ලැජ්ජා වගේ හිතෙන එක මටත් තියනව. ඒත් මෙතන නිමල්ට හිතෙන්නෙ තමන්ගේ පුද්ගලික ජීවිතය ගැනනෙ. ඒකයි පවුලට කරපු සේවයයි අතර සම්බන්ධයක් නෑනෙ.

ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ Pra Jay මහත්තයෝ, ‘මේක තර්කානුකූල නෑ නේද?’ කියලා ඔයා අහන එක ටක්කෙටම හරි කියලයි. ඒකෙ කිසිම වැරද්දක් මට පෙනෙන්නේ නෑ. නමුත්... නමුත්...
මට මෙන්න මෙහෙම දේකුත් හිතෙනව, මගෙ ගැනම හිතද්දී.
තර්කානුකූලව 100%ක් නිවැරදිය කියලා හොඳටම ඒත්තු යන කරුණුවලදී පවා, සමහර වෙලාවලදි මගේ හිතේ කොණකින් පුංචි ඤරුඤුරුවක් නැඟෙන තැන් තියෙනවා; දෙගිඩියාවකුත් එක්ක.
එහෙම වෙන්නේ හැම දෙයක්ම තර්කයට අහුවෙන්නෙ නැති නිසාවත්ද?

මේත් එහෙම තැනක්වත්ද!
ඇයි එහෙම වෙන්නේ කියල මං හිතුවා. එතකොට එකෑවරම මට හිතුණේ, ජන්මෙට වඩා පුරුද්ද ලොකු නිසා වෙන්නැති කියලයි.

මාව සංස්කෘතික ජීවියෙකු විදිහට හැඩ ගැස්සීමේ කාර්ය භාරයෙන් වැඩිම කොටසක් කෙරුණේ අපේ මහරගම  ආච්චිගෙන්නෙ. ‘මීන සංහාරය’, ‘ගස්සලා යවමුද?’ වගේ posts තොගයකින්ම වරින් වර ඒ ගැන කියවුණා මතකයි. අවුරුදු දොළහක් වෙන්නත් කලින්ම පතිවත- පතිනි වත, කුමර බඹසර- කුමරි බඹසර හා කන්‍යා පටලය වැනි බරසාර දේවල් ගැන මං දැන ගත්තේ උන්දෑගෙන්.
ආච්චීට පින් සිද්ධ වෙන්න තමයි මං ඉස්කෝලේ
හෝඩියට යන්නත් කලින්, එයාලට ඇහෙන්න ලංකාදීප පත්තරෙන් කුමන්ත්‍රණ නඩු විභාගය හඬ නඟා කියෙව්වේත්.

සමරිසි වීම බරපතල අපරාධයක් විදිහට සැලකුණු නිසානේ පරිගණකය සොයා ගත් ප්‍රධානයෙකු ලෙස සැලකෙන ඇලන් ටියුරින්ට 1954දී සිය දිවි නසාගෙන...

ඒ වයසට වඩා පැහිච්ච එකේ වැරැද්දකුත් තිබුණා වගෙයි.

‘සුචරිතවාදී නොවීම පවක් / කාමයෙහි වරදවා හැසිරීම බරපතළම (අපායේ කටු ඉඹුලේ නග්ගවන තරමේ) අකුසලයක් / පිරිමි ජාතිය තමයි උතුම් /  සිංහලයට වැඩියෙන් උතුම් ජාතියක් නෑ’ වගේ මති-මතාන්තර තොගයකුත් නිමල් දිසානායකගේ හිතේ ඇටුවන් බැහැගත්තා, අරහෙම වයසට කලින් මෝරද්දී.

ඔහොම තියෙද්දී, (අපේ ආච්චිලා හීනෙකින්වත් හිතන්නට නැතැයි මට හිතෙන) මගේ ලෛංගික ජීවිතය නොතේරෙන ළපටි වියේදීම පටන් ගැනුණාම...
අවුරුදු හයේදී මුල් වරට එහෙම වෙනකොට මං ගොඩක් දේවල් හිතන්න නැතිව ඇති. ඒත්... අවුරුදු දොළහ වෙද්දී නං එහෙම නෙවෙයිනෙ, හොඳ-නරක, සමාජ සම්මතයන් තේරෙනවා. පියසිරි... සමරසිරි... අභී අයියා... ඒ හැම වෙලාවකම මං වින්දනයක් ලැබුවා වගේම, පසුතැවිල්ලකුත් අත්වින්දා.

(අශාන් හමු වෙන තෙක්ම,) මා හා බැඳුණු හැම කෙනෙකුම එහෙම කළේ හරි රහසෙන්; ලොවට හොරෙන්. කරන්නේ වැරැද්දක්; නොකළ යුතු දෙයක් බවට හැඟීමක් සහිතවයි, එයාලා එහෙම කළේ.
එයාලගේ විතරක් නෙවෙයි, මගේ හැඟීම වුණෙත් ඒකමයි. ඒ නිසාමයි ඒවා හැංගිමුත්තන් කෙළියක් වුණෙත්.
හැබැයි, ඒ හංගාගෙන සිටීම (අනෙකුන්ට කොහොම වෙතත්) මට නං මහ මානසික වධයක් වුණා...

(ඒ දවස්වල සමාජ සම්මතයන් ගොඩක් වෙනස්නෙ. මෙහෙ විතරක් නෙවෙයි- එංගලන්තය වැනි රටවල පවා.

එහෙත්, සමරිසි වීම බරපතළ අපරාධයක් විදිහටයි ඒ වකවනුවේ සැලකුණේ. ඒ නිසානේ ‘පරිගණකය සොයා ගත් ප්‍රධානයෙකු’ ලෙස සැලකෙන ‘ඇලන් ටියුරින්’ට 1954දී සිය දිවි නසාගෙන, අකාලයේම ජීවිතයෙන් සමු ගන්නට සිදු වුණේ.

කලින් පෝස්ටුවකදී, මං ඒ ගැන මෙහෙමත් ලිව්වා: ‘... ලෝ සුප්‍රකට ඇපල් සමාගමේ ලාංඡනය ඇලන් ටියුරින්ට කළ ප්‍රණාමයක් ලෙස එක් ඉතිහාසඥයෙක් හුවා දැක්වූයේ, නූතන පරිගණක විද්‍යාවේ පියා ලෙස සැලකෙන ටියුරින් සයනයිඩ් පෙඟු ඇපල් ගෙඩියක් අනුභව කර සිය දිවි නසාගත් බැවින්, ඇපල් සමාගමේ ලාංඡනය ලෙස අඩක් කෑ ඇපල් ගෙඩියක් තෝරා ගත් බවයි...)

අර විදිහට වසංගාගෙන සිටීම වැඩි- වැඩියෙන් ‘මානසික වධයක්’ වෙලා මට දැනෙන්න ගත්තේ ‘මගේ රහසිගත විශ්වයේ ජීවීන් සංඛ්‍යාව ගණනින් ඉහළ යෑම’ත් සමඟයි!
ඒ හැඟීමෙන් නිදහස් වෙන්න විය යුතුයි, මමම මට හිනා වෙන්නට පටන් ගන්න ඇත්තේ; මමම මාව හෙළා දාගන්න පටන් ගන්න ඇත්තේ.

ඔය අහිංසක පාට තමයි මට ගොඩාරියක්ම උදව් වුණේ... මගේ රහස් / නොරහස් විශ්වයන් දෙකේදීම!

හැබැයි, මගෙන් ඒක කෙරුණෙත් බොහොම සිරා-බිරා සටකපට විදිහට. (Local ෂර්ලොක් හෝම්ස් කෙනෙකු වෙච්ච අපේ තාත්තාගෙන් ගැලවෙන්නට; බේරෙන්නට එහෙම සූක්ෂ්ම නොවී ඇහැකිද?

සමහර විට අර අහිගුණ්ඨික සාස්තරකාරිය- නිදිව කුසේ දරාගෙන හිටි අපේ අම්මාට කියූ සාස්තරය හරියටම හරි ගියා වෙන්නැති- “නෝනා, ඌපදෙන්න ඉන්න දරුවා තමා පිරිමි දරුවා.... පෝම වාසනාව තමා තීනවා. ඇබ්බැයි නෝනා බඩේ ඉන්නවා දවල් ඔරා තමා.....”

වචනාර්ථයෙන්ම දවල් හොරෙක් වෙමිනුයි, මවිසින්ම මට හිනාවෙන කලාව; මවිසින්ම මට අවමන් කර ගැනීමේ කලාව මං ප්‍රගුණ කළේ. මං වහන්සේ ඒක පාවිච්චි කරන විදිහෙ art එක නිසා, හුඟ දෙනෙකුටම ටැපලුණා තමයි.
('හත්වලාමෙ, වෙච්චි දේට මක් කොරන්නද?')
ඒකට ප්‍රධානම හේතුව අපේ අම්මාගෙන් මට දායාද වුණු රූප සම්පත්තිය. අහිංසක පාට! ‘මෙච්චර සීදේවී පාට කොල්ලෙක් නරක එකෙක් වෙන්න බෑ!’

Pra Jay මහත්තයෝ, මම හිතාමතා පාවිච්චි නොකළත් ඔය ‘අහිංසක පාට’ තමයි මට ගොඩාරියක්ම උදව් වුණේ... මගේ රහස් / නොරහස් විශ්වයන් දෙකේදීම!

ඒක තෝරා- බේරා- වටහා ගැනීම ලේසියි. ඒත්, මගෙ පුද්ගලික ජීවිතයයි පවුලට කරපු සේවයයි දෙකක් කියලා වෙන් කර ගැනීම නං මට හරිම අසීරුයි... හැබැයි, ඔබතුමා වගේ ගොඩ දෙනෙකු නිසා; ගොඩ දෙනෙකුගේ comments නිසාම මං ගොඩක් දේවල් ඉගෙන ගනිමින් ඉන්නේ...
ගොඩක් දේවල් දිහා වෙනස් කෝණවලින් බලන්නට හුරු වෙමින් ඉන්නේ...

ඒ බව කියමින්, ඒ වෙනුවෙන් මේ ස්තුතිය මං පුද කරන්නේ ‘නිදිගෙ පංච තන්තරේ’ ඇරඹුණු දවසේ සිට මෙතෙක් මට කමෙන්ටු එවූ හැම දෙනාටමයි!

2. මොකක් නිසාද අපතයෙක් වෙන්නෙ?
(i)
සමලිංගිකත්වය නිසාද? එහෙම මතයක් නෑනෙ. ඒකට අකමැති හුඟක් පරණ තාලේ අය වුනත් ඒ අය "අපතයන්" කියනවයි කියල මම හිතන්නෙ නෑ.

මහත්තයෝ, ඔබතුමාට ඉහළ පන්තිය හා ඉහළ මධ්‍යම පන්තියේ අය ඇසුරු කිරීමේ ප්‍රස්තාවන් වැඩිපුර ලැබෙනවා වෙන්නැති; පහළ මධ්‍යම පන්තියේ උදවිය / ලුම්පන් පන්තියේ උදවිය / පීඩිත පන්තියේ උදවිය ඔබට හමු වී තිබෙන්නේ අඩුවෙන් වෙන්නැති කියලයි මට හිතෙන්නේ.
ඒ සමාජවල මිනිසුන්ට අවමන් කිරීමේදී සුලබව යොදා ගන්නා ‘නපුංසකයා, xන්නයා, xක දෙන්නා’ වගේ වදන් ‘අපතයා’ කියන වචනයට වඩා දරුණුය කියලයි, මං හිතන්නේ. (මේ පන්ති බෙදීම්- වචනවල අරුත් වගේ දේවල් ගැන මට තියෙන්නෙත් අඩු දැනුමක්. ඒ නිසා මං වැරදි වෙන්නත් ඉඩ තියෙනවා.)

ඔවුන්ට වෙනස්කොට සැලකීම ඉන් තහනම් කෙරෙයි!
‘සමලිංගිකත්වයට අකැමැති හුඟක් පරණ තාලේ අය’ය කීමෙන් Pra Jay මහත්තයා අදහස් කරන්නේ පැරැණි වැඩිහිටි පරමරාවේ උදවිය වෙන්න ඇති. (‘අකැමැති’ වචනයත් යොදා ගැනෙන්නට ඇත්තේ ‘අනුමත නොකරන’ වචන දෙක වෙනුවට වගෙයි, මට ඒත්තු ගියේ. එහෙම හිතාගෙනයි මේ ලියන්නේ.)

මට නම් තවමත් හමු වෙනවා, උගත් යැයි කියවෙන තරුණ-තරුණියන් පවා සමකාමී වීමේ ගතිය ‘කැත පුරුද්දක්’ විතරය කියා විශ්වාස කරන. මෙහෙම වෙන්නේ ජීව විද්‍යාත්මක හුටපට ගොඩාරියක් නිසා කියලා එයාල දන්නේ නැති එකයි කාරණේ...

(ඒ වගේ සච්චරිතවත් පුරෝගාමී පුරවැසියන් කිහිප දෙනෙකු මේ ළඟදීත් අධිකරණයට පවා ගිය විත්තියකුත් දැන ගන්නට ලැබුණා; නීති වෙනස් කෙරෙන එක ගැන බොහොම කම්පාවෙන් යුතුව.)

ඉතා මෑත දවසක මට කියවන්නට ලැබුණු පුවතක තිබ්බ සංඛ්‍යාවක් දැකලා නම්, මං පුදුමයෙනුත් පුදුමයට පත් වුණා. මේ බලන්නකෝ:
‘හීනා බාලුක් යනු පාකිස්ථානයේ සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරිනියකි. මෑත වසරවල දී එරට සංක්‍රාන්ති ප්‍රජාවට එරෙහි රැල්ලක් වර්ධනය වී ඇති බැවින් තම ජීවිතය ගැන බියෙන් පසුවන බව ඇය පවසයි.

-වත්මන, ඇයත්, අනෙකුත් සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරීනුත්, සංක්‍රාන්ති ලිංගික පුද්ගල පනත සඳහා යෝජිත සංශෝධනයකට විරෝධය පළ කරති. පාකිස්ථානයේ වෙසෙතැ යි ඇස්තමේන්තුගත 5,00,000ක් සංක්‍රාන්ති ලිංගික පුරවැසියන් සඳහා මෙම නීතිය මඟින් මූලික අයිතිවාසිකම් සහතික කෙරෙන අතර, ඔවුන්ට වෙනස්කොට සැලකීම ඉන් තහනම් කරයි.

මේ වගේ සංකීර්ණ කාරණා ගැන කතාබහ කරන්න තරම් හොඳ දවස් නෙවෙයි මේ ගත වෙන්නෙත්. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි. උහුලා ගන්න බැරි තරමට දැනෙන උණුසුම නිසා.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහත්මයත් කියා තිබුණා මේ heat එක නිසා අපේ මානසික ආතතිය වැඩි වෙන්නට පවා ඉඩ තියෙන බව.
සහතික ඇත්ත! දාඩියෙන් නෑවෙවී, සිය සැරයක් නවත්ත නවත්තා තමයි මේ දවස්වල මේ blog ලිපි ලියන්නේ. ලංකාවේ readersලා මේවා කියවන්නෙත් ඒ වගේම අසීරුකම් මැද්දෙම වෙන්න ඕනි.

මේවා දැක්කාම රත් වෙලා තියෙන ලේ තවත් කැකෑරෙයිද මංදා...
එහෙව් වෙලාවක Pra Jay මහත්තයෝ, ඊළඟට තියෙන කාරණය ගැන කතා කරන්නත් බයයි. මේවා දැක්කාම රත් වෙලා තියෙන ලේ තවත් කැකෑරෙයිද මංදා. ඒත් මක්කරන්නෙයි. කියන්න ගත්තු දේවල් කියලම ඉවර කරන්න ඕනිනෙ.

(ii) පාර්ට්නර්ස්ල හුඟක් නිසාද? ඒක ඉතින් හැම ලිංගිකත්වෙම අය කරනවනෙ. එහෙම නැත්නම් ඒකට ආසාවෙන්නෙ ඉන්නෙ. වෙන කෙනෙකුට හානියක් නැත්නම් මොකද?

ඒ ප්‍රශ්නයට එක වචනයකින්ම උත්තර දීලා ඉවර වෙලා, විස්තර කියන්නං.
ඔව්!
කෙනෙකු සමකාමී වීමට වගේම, අධි ක්‍රියාකාරී ලිංගික චර්යාවකට හුරු වීමටත් හේතු වෙන්නේ ජානමය; රසායනිකමය සාධක කියලයි කියවෙන්නේ. කේන්දරෙනුත් ඒවා කියවෙනවා වෙන්නැති. මතකයිනෙ අර අතිධාවන කාම යෝගේ. මොක නිසා වුණත් නිමල් දිසානායකත් කෙලෙස් වැඩි; හොඳටම කෙලෙස් වැඩි හාදයෙක්.

ඒ නිසාම එක කාල වකවනුවක් තුළ, සගයන් කිහිප දෙනෙකු සමඟ සමීප ලෛංගික සබඳතා පවත්වන්නෙක්. ඔන්න ඔතැනදී තමයි, එයාට ලොකුම මානසික ඝට්ටනය ඇති වුණේ. දැන් මිනිහා බරපතළ වැරදි දෙකක්ම එක විඩේ කරනවා නෙව!

නිදිගෙ මිත්තනිය; දසනායක රත්නවතී උපාසිකාව නිතරම අවධාරණය කළ විදිහට ‘පාර්ට්නර්ස්ල හුඟක්...’ කියන්නේ-
හිතන්නවත් බැරි පව් කන්දරාවක්! ඒ අස්සේ ඒ කාලේ සමාජ සම්මුතීන්ට අනුව ගර්හාවට ලක් වුණු සමරිසි වීම...

PS. තව එකක් තියනව. මට නිමල්ගෙ හැම පෝස්ට් එකකටම දිගට කමෙන්ට් කරන්න බැරි නිසා ඒකත් දැන් කියන්නම්:
නිමල් මොකද මේ පෝස්ට් පාපෝච්චාරණයක් කියන්නෙ? මොකටද ඔයතරම් ගිල්ටි වෙන්නෙ? තමන් ජීවිත කාලෙම හංගගෙන හිටපු දේවල් කියන්න ආසාවක් එන එක ස්වාභාවිකයි.
ඒත් ඔය නිමල් කියන දේවලින් බහුතරය ගිල්ටි වෙන්න ඕනෙ දේවල් නෙමෙයි.

ඔයා කියන කතාව ඇත්ත මහත්තයෝ. ඒත් මගෙ හිත හැඩගැහිලා තියෙන හැටි... ගිල්ටි නොවෙන්න ඕනි තැන්වලදිත් අකම්පාල වෙනවා. ඒ මං...

හුඟක් උදවියගේ ජාගර හිත්වල අභ්‍යන්තරය හෙළිදරව් කෙරෙන තැන් මං දැකලා තියෙනවා. ඒ ගොඩක්... ගොඩක් මිනිස් හිත්වල කුහකකම හරි වැඩියිනේ.

(එක අත්දැකීමක් හැමටම පොදු එකක් නොවෙන බව මාත් පිළිගන්නවා. එහෙම දැන-දැනමත් මේ ‘හිතක හැටි කියවෙන’ අපූරු අත්දැකීම මෙතනට ලියන්න හිතුණා.)

කාලයක් තිස්සේ තද මිතුරුදමකින් වෙළී හිටි යහළුවන් දෙන්නෙකු...

අවුරුදු පහළොවකටත් වැඩි කාලයක් තිස්සේ තද මිතුරුදමකින් වෙළී හිටි යහළුවන් දෙන්නෙකු ඉතා මෑතක හිට ඈත් වෙලා. විරසකය තියෙන්නේ A ළඟ.

අමනාපයට හේතුව, B මිතුරා දරුවන් ඇති; පොහොසත් දික්කසාද කාන්තාවක හා විවාහ වීම.

(ඔහු කාලයක් තිස්සේ ඒ සබඳකම පවත්වාගෙන ගියා; සොයුරන්ගේ විරුද්ධතා මැද්දේ. එතකොට යාළුකම රැකිලා තිබ්බා.) තරහ වුණු A මිතුරා කියන්නේ Bගේ ‘නොගැලපෙන විවාහය’ නිසා තමන් අමනාප වුණු වගයි.

මට හිනා යන්නේ, මේ නිසයි. මේ A මිතුරා විවාහකයි; පියෙක්. එයා කාලයක්ම විවාහක මවක් සමඟ අනියම් සබඳකමක් තදටම පවත්වාගෙන ගිය කෙනෙක්!

මේ post එක ලියන්නට මං පෙළඹුණේ Pra Jay මහතාගේ comment එක නිසා බව මං මුලින්ම කිව්වනෙ. ඒ වගේමයි, මෙය ලියාගෙන යද්දී වරින්-වර මතක් වුණු දේවල්... පසු දිනෙක වඩාත් පැහැදිලි කිරීම් කරන්නට කියා හිතාගෙන හිටි දේවල්... එහෙම සමහර දේවලුත් මේ පෝස්ටුවට ඇතුළු කළා, සුදුසු පරිදි.

ඒත්, ඒ post එකටම- මේ හා අදාළව එවූ තව comments ගැන වචනයක්වත් මෙතැන ලියන්න යන්නෙ නෑ. පෝස්ටුව දිග වැඩි වෙන නිසා. තව කොටසකට යන්නත් බෑනෙ, අශාන් එක්ක කතන්දරේ පහු වෙන නිසා. 

දන්නවනෙ ඉතිං, මේ නිදිගෙ පංච තන්තරේ නෙව. ස්තුතියි එහෙනං, හොඳේ෴0෴

32 comments:

  1. ඔය දීල තියෙන්නෙ ප්‍රා මහත්තැංට අපූරුවට උත්තර.
    මට තියෙන ප්‍රශ්නෙ අපේ පෙරකදෝරුතුමා හරස් ප්‍රශ්න අහයිද නැත්තං වැටක් ගහල යයිද කියල මේකට.

    ReplyDelete
    Replies
    1. එපමණයි ස්වාමිනී

      Delete
    2. විත්තිය, සම්පූර්ණ පෝස්ටුවකින් 1-8 අනුපාතයට නිදහසට කරුණු දක්වා ඇති බැවින් සහ අප උගත් පෙරකදෝරු මහතාගේ ලිස්සන සුළු ස්වභාවය සැලකිල්ලට ගෙන, බරපතල වැටක් ගසා ලිස්සා යාමට යෝජනා කරමි.🤔

      Delete
    3. ලිස්සන්න වැටවල් විතරක් නෙමෙයි තියෙන්නෙ. දිග ස්ලයිඩ්සුත් තියනව.
      ඉස්සෙල්ලම ස්ලයිඩ් එකේ මුල මම ඉස්සර ඉඳංම බ්ලොගර්ස්ලට කියන දෙයක්:
      විකුණන්න පොත් ලියන අය පාඨකයින් ගේ කැමැත්ත ගැන හිතන්න ඕනෙ. ඒත් බ්ලොගර්ස්ල වැඩියෙන් හිතන්න ඕනෙ තමන්ගෙ කැමැත්ත හා තෘප්තිය. පාඨකයින් වැඩිවීමෙනුත් ඒක ලැබනව ඇති ඒත් ඒකෙන් වෙන වාසියක් නැති නිසා ලියන්නාට ලිවීමෙන් ලැබෙන තෘප්තියට ප්‍රමුඛතාව ලැබෙනවා. නිමල්ට විශේෂයෙන්ම තමන් විවෘත වීමෙන් ලැබෙනවා. මං වගේ කමෙන්ට්කාරයොන්ටත් එහෙමයි. කමෙන්‍ට්කරන්නෙ තමන්ට ඕනෙ දේ මිසක් බ්ලොග්කාරයට ආස දේ නෙමෙයි. බ්ලොගර් ලියන ඒවා කියවන්න කැමති නැත්නම් කමෙන්ට්කරුට ඒවා නොකියවා ඉන්න පුලුවන්. කමෙන්ට්කරන දේට බ්ලොගර් කැමති නැත්නම් ඒවා ඩිලීට් කරන්න පුලුවන්. ප්‍රමුඛතාව තම කැමැත්ත.
      ස්ලයිඩ් එකේ අවසානය.

      ලිස්සන්නෙ නැතුව එකක් කියන්නම්. මම ලංකාවේ කිසිම පංතියක් ගැන හිතල නෙමෙයි ලිව්වෙ. මම කිව්වෙ ශිෂ්ඨ රටවල හා සමාජයේ සරල බහුතරය වර්තමානයේ දරණ මතය. ලංකාව එහෙමෙයි කියල මට පුද්ගලිකව හිතෙන්නෙ නෑ. මගෙ මතය බටහිරට නැඹුරු එකක් වෙන්න ඇති. ඒත් ඒ මගේ මතය.
      මම දරන්නෙ මම කැමති මත. මගේ ජාතිය, ඉස්කෝලෙ, උපතින් ලැබුනු ආගම, පංතිය, නෑදෑයො වගේ දේවලින් මගෙ මතයින්ට අවම බලපෑමක් තමයි වෙලා තියෙන්නෙ.
      බැස්ටියංතුමා නං ටිකක් දන්නව මගේ weird alien (පොලයිට්ලි කියනවනම් individualistic ) ස්වාභාවය. ඒකෙං හොඳක් වෙලා නම් නෑ මට මේ රටේ. ඒත් පිස්සු වුනත් ඒ හැටිනේ

      Delete
    4. අහා! ඔය දීලා ඇදලා තියෙන්නෙ නියම "ඩිප්ලොමැටික්" උත්තරයක්. 🙏👌🤣
      මෙන්න මගේ සතපහ:
      1. නිදිගේ බ්ලොගේ, නිදිට ඕන විදිහට ලිවිය හැකිය.
      2. අපි ඔලුවෙන් හිටගෙන කීවත්, නිදියා ලියන්නෙ උන්දෑට ඕනා විදිහටය.
      3. අහිම්සක ලෙස හිටියාට, නිදියා පොර කුකුලාය( සාක්කියට මැලියං තුමා)
      4. Pra Jay තුමා පෙන්නා දුන් පරිදි "අනවශ්‍ය මහප්ප්‍රාණ" නිසා, අප කැමැත්තෙන් කියවන මේ ලිපිපෙලට, අමතර අගයක් එක් නොවේ.
      5. බස්සන් "ඩිප්ලොමැටික්" ලෙස උත්තර දෙන්නේ නැත.

      Delete
    5. ප්‍රසන්න, උදාර, බස්සා, Pra Jay මහත්වරුනි.
      ඉතාම ස්තුතියි commentsවලට.
      වෙනදා විදිහට නැතිව. අද ඉස්සෙල්ලම කමෙන්ට්ස් ටික කියවලා හිටියා. අපූරු ප්‍රතිචාර. මට හරිම සතුටුයි!
      ඒවාට උත්තර ලියන්නට නොහිතෙන තරමට විවිධ අදහස් ඒවායින් කියවෙලාය. මගෙ මොළය ඒවාගෙන් පුරවා ගනිමිනි ඉන්නේ.
      ප්‍රතිචාර දැක්වූ- දක්වන සියලුම දෙනාට දහස් වාරයක් ස්තුතියි, ස්තුතියි, ස්තුතියි!

      Delete
    6. පාඨකයන් වැඩිවීමෙන් ලැබෙන තෘප්තියට ලියන අය පාඨකයන්ගෙ අඩු වීමක් දැක්ක හැටිය බොහෝ විට ලියන එක නවත්තල දානව. ඒ ගැන හිතන්නැතුව තමංගෙ තෘප්තියට ලියන නිමල් අයිය වගේ අය මෙතන කී දෙනෙක් කොමෙන්ට් කළත් නොලිය ඉඳී කියල මම හිතන්නෙ නෑ.

      Delete
    7. @ බස්සා, දැනට අපි මේ කේස් එක බහා තබනව.

      Delete
    8. @Praසන්ன, බස්සා බැස්සට කමක් නෑ, ගාස්තු ගෙව්වද?.

      Delete
    9. ප්‍රසන්න මහත්තයෝ,
      //තමංගෙ තෘප්තියට ලියන නිමල් අයිය වගේ අය// මේ ගැන මම කාලෙකට කලින් ඉඳලම කියන්නේ.
      'තමන් කැමති වැඩක් කරනකොට ලැබෙන ආත්ම තෘප්තිය තමයි ඒ කාර්යයට ලැබෙන වැටුප. කවුරුන් හරි ඒ කාර්යය අගය කරනවා නං, ඒක බෝනස් එකක්. බෝනස් එක බලාගෙන වැඩ කරන්න එපා.'

      මට ඔය පාඩම කියල දුන්නේ දෙපා අවසඟ පාපන්දු පිස්සා පෝස්ටුවෙන් ඔයාලට කියපු රාජමනී අංකල්.
      http://nidigepanchathanthare.blogspot.com/2019/10/blog-post_6.html

      බෝනස් එක බලාගෙන වැඩ නොකලට මාත් බෝනස් හම්බ වෙනවට කැමති, පෘථග්ජන පුඟුලෙක්.

      Delete
    10. @ Pra, මම හිතන්නෙ තාම චෙක් එක ප්‍රින්ට් වෙනව. හැක්..

      Delete
  2. නිමල් අංකල් ඔබගේ පෝස්ට් තුල රූප අඩංගු කළ ඉතා ලස්සන කතාවක් ඉදිරිපත් කරන නිසා නිතරම මමත් මෙය නරඹනවා, ඒ වගේම මීට අමතරව ඔබෙන් තවත් පෝස්ට් සීරීස් එකක් ඉල්ලා සිටිමට කැමතියි විශේෂයෙන්ම ඔබ යුරෝපයේ කාලයක් ගත කළ නිසා හොඳින්ම දන්නවා නැගෙනහිර යුරෝපයේ උක්රයීන් වල (යුක්රේනයේ) ‘මයිදාන්’ නම් අරගලයක් පැවතිය බව, නමුත් ඒ ගැන ලියන්නේ නැහැනේ. එම අරගල භූමියේත් ලංකාවේ ගිය අවුරුද්දෙ අද වගේ කාලෙක පටන් ගත්ත ගෝටගෝ අරගල භූමියේ වගේම යුක්‍රේනයේ සම හරක් නලාකාර කලාකරුවන් ගිහින් සින්දු කීවා. නැටුම් ගැයුම් වැයුම් චිත්‍ර නාඩගම් ආදී විගඩම් විකට කෝලම් ගොඩක් පෙන්නුවා ඒ මයිදාන් අරගලය පටන් ගත්තෙත් එක්සත් ජනපදයේ සිට මෙහෙයවන ෆේස්බුක් යූ ටියුබ් බ්ලොග් ආදි මාධ්‍ය හරහා ආදායම් උපයන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, බ්ලොග්කරුවන්. ඒ මයිදාන් අරගලයට මුදල් පොම්ප කළේ කොහොමද, කියා පසුව අනාවරණය වුණා. ඒ මයිදාන් අරගලය හේතුවෙන් යුක්රේනයේ හිටපු ජනාධිපතිවරයා පලා ගියාම යුක්‍රේනයේ නව ජනාධිපතිවරයා විය යුත්තේ කවුද, කියා තීරණය කළේ වත්මන් ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් නමැති එවකට බරක් ඔබාමා යටතේ සේවය කළ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරියයි. ඊට අදාළ දුරකථන සංවාද හඬ පට දැනටමත් එළියට ඇවිත් තිබෙනවා. එමගින් එම කරුණ මැනවින් තහවුරු වී තිබෙනවා.

    ඒ වගේම අද යුක්රේනය, තම ඓතිහාසික මිතුරා සහ සහෝදර රාජ්‍යය වන රුසියාවට රැහැනිව යුරෝපා සංගමයේ, නේටෝවේ සාමාජිකයකු බවට පත්කර ගැනීමට දරන උත්සාහය තුළ භයානක යුද වාතාවරණයකට ගොදුරු වී සිටිනවා. ඩිමොක්‍රටික් පක්ෂයේ මෝඩ බෛඩන් ගොන් බයියා කියන රට ගොන් පිස්සු හනුමන්තා ඒ රටටත් ගිනි තිබ්බ.

    ඒ වගේම සෝ කෝල්ඩ් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දුන් ඩොලර් වෙනුවෙන් මේ තත්ත්වයට යුක්රේනය රැගෙන ගිය වික්ටෝරියා නූලන්ඩ් පසුව ප්‍රසිද්ධියේ පිළිගත්තා, ‘එක්සත් ජනපදයේ විදේශ අංශ මගින් ඇමරිකානු බදු ආදායමෙන් ලැබුණ මුදල් එක්සත් ජනපදයේ සිට මයිදාන් අරගලය දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 5,000ක් යුක්රේනයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් යෙදෙව්වා’ කියා. එම යෙදවූ මුදල්වල ප්‍රතිඵලයක් ලෙස අද යුක්රේනය නිමක් නොදකින බිහිසුණු යුද්ධයක ගොදුරක් බවට පත්ව තිබෙනවා. රටේ අනාගත භාරකරුවන් පාලනයට මැදිහත් වන සක්‍රිය පුරවැසියන් ලෙස තරුණ පරපුරේ අපිත් එම ලෝක අත්දැකීම්වලින් ඉගෙන ගන්නවා වගේම අපි අපට ලැබුණු ඉහත කී ලංකාවේ අරගලයේ අත්දැකීම්වලිනුත් ඉගෙන ගත යුතුයි කියා අපි විශ්වාස කරනවා. ඔබගේ ඒ ඉගෙනීමට අවශ්‍ය දායකත්වය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන ලියන්න පුළුවන් වෙයි ද? අජිත් ධර්මකීර්ති අංකල් ලියපු කොළඹ ගමයා එකේ ඉස්සර ලෝක දේශපාලනය ගැන කතා තිබුණා නමුත් දැන් එයා ලියන්නේ නැහැ ඒකත් ප්‍රශ්නයක් තමයි.

    ReplyDelete
    Replies
    1. US-Backed, Far Right–Led Revolution in Ukraine Helped Bring Us to the Brink of War

      https://jacobin.com/2022/02/maidan-protests-neo-nazis-russia-nato-crimea

      https://jacobin.com/2022/02/ukraine-russia-us-nato-cold-war-troop-buildup

      Delete
    2. පළමු Anonymous මහත්තයෝ, තමුන්නාන්සෙ මගෙත් එක්ක අමනාපයක් හෙම තියෙන කෙනෙක්ද? ඔබතුමා මාව ඉමක් කොනක් නැති; මං යන්තම්වත් නොදන්නා මහා සාගරයකට තල්ලු කරන හදන්නේ- පීනපං කියලා.

      මං වහන්සේ 'තමන් නොදන්නා බව දන්නා පණ්ඩිතයෙක්'. ඒ නිසා බැරි වැඩවලට නං හොට දාන්නෙ නෑ!

      දෙවෙනි Anonymous මහත්තයෝ, ගොඩක් ස්තුතියි මගෙ වෙනුවට ලින්ක්ස් කීපයක්ම සැපයුවාට!

      Delete
  3. නිදී මෙහෙමයි වැඩේ ආදරය කියන්නෙම අතාර්කික දෙයක්. ඒත් ඒක අස්සෙ තර්ක කර කර ප්‍රශ්න අහා අහා බුද්ධිමත් බවක් පෙන්නීමට යාම මෝඩ කමක්.

    කොටින්ම ඕනෙම දේක හැබෑ ලස්සන පේන්නෙ ඒක ඒ තියෙන ස්වභාවයෙන්ම විඳිද්දි මිසක් කෙස් පැලෙන මෝඩ තර්කවලින් නෙවෙයි.

    ආදරය ලස්සනම තාර්කික නොවුණු තරමට. ප්‍රශ්න කිරීම් අඩුවුණු තරමට, මෝඩ තර්ක කිරීම් හා මෝඩ ප්‍රශ්න කිරීම්වල ඇත්තේම ආදරණීයව අනාගතයට මුහුණ දීමට ඇති බියගුළු බවයි.

    ජීවිතයේ දී ඉතා ම තාර්කික පුද්ගලයන් බොහෝ වෙලාවට ආදරයේ දී අන්තිම අසාර්ථක වන බව මම ඇස් පනාපිට ම දැක තිබෙනවා.

    ඒක එහෙම වෙන්න හේතුව මොකක්ද කියන එක තරමක් ගැඹුරින් විමසා බැලිය යුතුයි.

    සාමාන්‍යයෙන් තාර්කික පුද්ගලයන් ජීවිතයේ හැම දෙයක් ම තේරුම් ගැනීම සඳහා මෙවලමක් ලෙස තර්කනය තෝරාගන්න බවයි මගේ හැඟීම නම්.

    ඒක හරියට ඔබේ අතේ මිටියක් තියෙනවා නම් ඔබට මේ ලෝකයේ හැම දෙයක්ම ඇණයක් ලෙස පෙනෙනවා වගේ දෙයක්. ඔබ අතේ තියෙන මිටියෙන් ඔබට ඇණයක් ලෙස පෙනෙන හැම දෙයට ම තඩි බාමින් යනවා.

    තර්කනය කියන මෙවලමෙන් බොහෝ විට මිනිසුන් කරන්නේ යම් කිසි දෙයක් ව්‍යවච්ජේදනය (dissect) කොට තේරුම් ගැනීමයි. එවිට එක් දෙයක් නිසා තව දෙයක් සිදු වන විදිය වඩාත් පැහැදිලිව පෙනෙන්න ගන්නවා. මේක දේශපාලනය, ආර්ථිකය, විද්‍යාව, තාක්ෂණය, පර්යේෂණ ඇතුළු බොහෝ කලාපයන්ට ගළපා ගන්න පුළුවන් දෙයක්.

    ජීවිතයේ මේ වගේ නොයෙකුත් කලාපයන්ට ‘තර්කනය' භාවිතා කරන මිනිසුන් ඒ පුරුද්දට ම ආදරයේ දී ත් තර්කානුකූල වන්නට යනවා.

    ඒ කියන්නේ ඔවුන් ආදරයත් තර්කයෙන් තේරුම් ගන්නට යන්නවා.

    ඒක මනුස්සයෙකුට ජීවිතයේ කරන්න පුළුවන් ලොකු ම මෝඩකම්වලින් එකක් ලෙස අද මං හිතනවා.

    ඒක හරියට මලක් ලස්සන ඇයි කියන එක තේරුම් ගන්නට උත්සාහ කරන කෙනෙක් මල ඉතා ම සියුම් පිහියක් අරගෙන දෙකට මැදින් පළා. මලේ සියලු ම කොටස් ගලවා, මේසයක් මත අතුරා විශ්ලේෂණය කරන්න උත්සාහ කරනවා වගේ මෝඩ වැඩක්.

    ඒකෙන් මලක් ජෛව විද්‍යාත්මක ලෙස ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තේරුම් ගන්න පුළුවන් වෙයි නමුත් එහි සැබෑ ස්වරූපය එමගින් ඇතිවන සුන්දරත්වය ලස්සන විඳින්න පුළුවන් කමක් නෑ ඉතින්.

    මලක හෝ ස්වභාව ධර්මයට අයත් ඕනෑම දෙයක ලස්සන විඳගත හැකි එක ම ක්‍රමය නම් ඒවා ඒ තියෙන ස්වභාවයෙන් ම භාරගැනීමයි.

    ඒ නිසා තර්කනය ඇතුළු තමන් ගේ අතේ තියෙන අවි ආයුධ ඒ කලාපයේ දී සඟවා තැබීමයි.

    ආදරය යනු මූලික වශයෙන් ම අතාර්කික දෙයක් බවත්, මේ ලෝකයේ හැම දෙයක් ම තාර්කික විය යුතු නැති බවත් 'තර්කනය' තමන් ගේ ප්‍රධාන ම අවිය කරගත් කෙනෙකුට සාමාන්‍යයෙන් තේරුම් ගන්නට අමාරුයි. ඒත් එය අමාරුවෙන් හෝ දිරවා ගත යුතු සත්‍යයක්.

    අතාර්කික හැඟීම් ධාරාවකට කලාතුරකින් හෝ තමන් යටපත් කර දමන්න ඉඩදීමේ වැරැද්දක් මට පේන්නේ නැහැ.

    ඒක හරියට ම මම තේරුම් ගන්නේ මිනිසෙකු ඇඳුම් උනා දමා නිර්වස්ත්‍රයෙන් මහ මුහුදට නාන්නට පනිනවා වගේ දෙයක් විදියටයි.

    මුහුදට නාන්නට යන මිනිසා අනිවාර්යයෙන් ම ඒක කරන්නේ මුහුදු රැල්ලට ගසාගෙන යන අවදානම භාර අරගෙනයි. කොයිතරම් පරිස්සමින් නාන්නට ගියත්, මුහුදු රළට ගසාගෙන ගිය මිනිසුන් ගැන අප කවුරුත් අසා තිබෙනවා. මුහුදේ නාන්නට යන හැමෝම ඒක දන්නවා.

    මුහුදු රළ කියන්නේ විශ්වාස කරන්න බැරි, අවිනිශ්චිත සහ අතාර්කික දෙයක් බව අප තේරුම් අරන් ඉන්නවා.

    මුහුදු වතුර නාන්නට අවශ්‍ය නම් මුහුදට බහිනවාට වඩා හුඟක් තාර්කික ක්‍රමත් ලෝකයේ තියෙනවා. අවශ්‍ය නම් කෙනෙකුට මුහුදු වතුර ලොකු බේසමකට එකතු කර වෙරළක් අයිනේ ආරක්ෂිත තැනකට වී නා ගත හැකියි. ඕනෑ නම් මුහුදු වතුර ටැංකියකට එකතු කොට ඒ ටැංකියට බැස ආරක්ෂිතව සහ තර්කානුකූලව මුහුදු වතුර නාන්නත් පුළුවන්.

    එහෙම බැලුවොත් මුහුදේ නාන්නට යන එක ඉතා ම අතාර්කික වැඩක්. කවදාවත් තර්කනයෙන් හොඳයි කියලා ඔප්පු කරන්න බැරි වැඩක්.

    ඒ වුණත් අප ඒ අතාර්කික වැඩේට ආසා කරනවා. ඒ අතාර්කික වැඩේ කරනවා. තර්කනය අතහැරලා දාලා රළ පහරකට මොහොතකට අප යටත් කරගන්න ඉඩ දෙනවා.

    ඒ අර්ථයෙන් බැලුවම මුහුදේ නානකොට අප වින්දනය කරන්නේ මේ අතාර්කික බවයි. මේ යටපත් වීමයි. මේ අවිනිශ්චිත බවත් එක්ක සෙල්ලම් කිරීමයි.

    මේ අතාර්කික බව වින්දනය කරන්න ඉගෙන ගත් කෙනෙකු ආදරයේ දී තර්කානුකූල වෙන්න මහන්සි වෙන්නේ නැහැ.

    ඔවුන් වුවමනාවට වඩා ප්‍රශ්න අහන්නේ නැතිව, ඕනෑවට වඩා බුද්ධිමත් වෙන්න උත්සාහ කරන්නේ නැතිව මුහුදු රළට මොහොතකට තමන් යටපත් කරගන්න ඉඩ හරින්න Love is driven by feelings and not by the logics or algorithms

    ReplyDelete
    Replies
    1. Anonymous මහත්තයෝ,
      ඔයාගේ දිගම දිග- හරවත් comment එකට; ඒක ලියන්න ගත්තු වෙහෙසට; කියා තිබෙන කරුණුවලට ගොඩාරියක් ස්තුතියි. රහසකුත් කියන්නං,
      ඔයාගේ comment එක මාව තිරිහන් කළා!

      Delete
    2. Anonතුමාගේ කොමෙන්ටුව මල් මසුරන් 🙏

      Delete
  4. Replies
    1. +++++++++ ස්තුතියි ඉයන් මහත්තයෝ +++++++++
      වැටාධිපතිතුමා වැට පොදුජන අයිතියට පවරලා වගේ. ඒ නිසාමදෝ දැන් එතුමා දිග උත්තරත් ලියනවා. හුරේ!

      Delete
  5. හ්ම් කතාව ඇත්තක් තියෙනවා තමයි. නමුත් මගේ මතය මෙහෙම සටහන් කරන්නම්;

    "හොඳම මිනිසුන්ට සුන්දරත්වය පිළිබඳ හැඟීමක්, අවදානමක් ගැනීමට ධෛර්යය, සත්‍යය පැවසීමේ විනය, පරිත්‍යාග කිරීමේ හැකියාව ඇත.

    උත්ප්‍රාසාත්මක ලෙස, ඔවුන්ගේ ගුණධර්ම ඔවුන්ව අවදානමට ලක් කරයි. ඔවුන් බොහෝ විට තුවාල වේ, සමහර විට විනාශ වේ."

    - අර්නස්ට් හෙමිංවේ

    ReplyDelete
    Replies
    1. උඩිනුත් ලිව්වා. මේ පෝස්ටුවට ලැබුණු ප්‍රතිචාර ගැන.
      //ඒවාට උත්තර ලියන්නට නොහිතෙන තරමට විවිධ අදහස් ඒවායින් කියවෙලාය. මගෙ මොළය ඒවාගෙන් පුරවා ගනිමිනි ඉන්නේ.//
      තවත් මසුරං අදහසක්!
      ස්තුතියි!

      Delete
  6. //ඒකට ප්‍රධානම හේතුව අපේ අම්මාගෙන් මට දායාද වුණු රූප සම්පත්තිය. අහිංසක පාට! ‘මෙච්චර සීදේවී පාට කොල්ලෙක් නරක එකෙක් වෙන්න බෑ!’// own goal 😀

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, ස්තුතියි.
      හිතේ තිබ්බ අදහසක් හංගන්නේ නැතිව කියනවා, ඔන්න. අමනාප වෙන්න එපා.
      Comments ටික කියවගෙන එද්දී මං හිතුවේ තමුන්නාන්සේත් දිග; කරුණු සපිරි කමෙන්ටුවක් ලියලා ඇතිය කියලයි. වැඩ වැඩිද?

      Delete
    2. අජිත් මෙම බ්ලොග් හමුව සදහා නෙළුම්යාය සිංහල බ්ලොග් පදනමේ නිර්මාතෘ, ජනාධිපති මාධ්‍ය අංශයේ අන්තර්ජාතික දේශපාලනය පිලිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, න්‍යෂ්ඨික විදුලි ඉංජිනේරු උපදේශක (සෝවියට් සංගමය), ව්‍යාපාරික බුද්ධි අංශ වල ජ්‍යෙෂ්ඨ උපදේශක (එංගලන්තය සහ ජර්මනිය) ආචාර්ය කොළඹගමයා බ්ලොග් අඩවියේ නිර්මාතෘ සහ අධිපති, ප්‍රවීන ගත්කතු විද්‍යා (ප්‍රබන්ධ) ජෝති මහාචාර්ය අජිත් ධර්මකීර්ති මහා ප්‍රබන්ධාචාර්ය උතුමාණන් වහන්සේව සම්බන්ධ කරගන්න තිබ්බේ.

      එහෙම තිබුනා නං මේ සදහා ඩොලර් මිලියන දෙතුන් සීයක ජනාධිපති කාර්යාලයේ සාදර අනුග්‍රහය, ජනාධිපති මාධ්‍ය අංශයේ වියදමින් රජයේ සහ පෞද්ගලික අංශයේ මාධ්‍ය ආයතන සියල්ලේම පාහේ වටිනා prime time එක තුල වූ වටිනා මාධ්‍ය ගුවන් කාලය වෙන්කර දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක්, ලංකා නිවුස් වෙබ් චන්දිම, සංදේශය සරෝජ් ඇතුළු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හරහා ජාත්‍යන්තර මට්ටමේ විශාල ප්‍රචාරයක් ලබා ගන්නත් තිබුනා. එයාර්මයිල් තියෙනවත් එක්ක. ඒ නිසා බිස්නස් කාරයන් රවටා නොමිලේ ගුවන් ටිකට් පත් බිස්නස් ක්ලාස් එකේ ෆස්ට් ක්ලාස් යන්න පුළුවන් වෙයි

      නමුත් මෙම බ්ලොග් සම්මාන සහ වරප්‍රසාද භුක්ති විදින්නට නොලැබෙන සමාජ පන්තිය.....

      නිර්ධන පන්තිය කියන කොටම අපේ හිත්වල බලහත්කාරයෙන් මවා පෙන්වා ඇති නිසාම අපිට මැවෙන චිත්‍රයක් තියෙනවා...

      පිලිවෙලකට ඇදුමක් අදින්න නැති, යන්න එන්න වාහනයක් නැති තමන්‍ට කියලා ස්තීර වාසස්තානයක් නැති කෙටියෙන් කියනවා නම් මිනිස්කුට ජීවත් වෙන්න අවශ්‍ය මූලික අවශ්‍යතා සම්පූ සම්පූර්ණ නොවුන ගතියක්.......
      මේක යාචකයන් කියන වචනයට බොහොම සමීප වෙන තරමටම පහලට ගෙනල්ල තියෙනවා...
      ඇත්ත නිර්ධනයො නියන්නෙ ධනයක් නැත්තෝ කියන එක වැරදි නෑ..

      ඒත් හැබැයි පුද්ගල ධනය කියන එකට නිශ්චල චංචල දේපල වගේම අධ්‍යාපන සුදුසුකම් ,වෘත්තීය සුදුසු කම්,සමාජ සම්බන්දතා ,හිතවත් කමෙ මේ සියල්ල අන්තර්ගතයි.....

      ඒ ආකාරයෙන් බලනකොට ධනයක් නැති නිර්ධන කියන කොටසට මේ සමාජයක ඉන්නෙ නොගිනිය හැකි තරම් ස්වල්ප කොටසක්.......

      නමුත් ලංකාවෙ "නිර්ධන පන්තිය" කියලා ගෙඩි පිටින් හදුවන්නෙ මේ සමාජයෙ බහුතරයක් අයත් වෙන වැඩ කරන ජනතාව ඉන්න කුලකයට....

      Delete
    3. ලංකාවෙ අතලොස්සක් පමණක් කියවලා හරියට තේරුම් ගෙන ඇති මීට අවුරුදු 175 කලින් ලියවුන කොමියුනිස්ට් ප්‍රකාශනයෙ ලෝකයෙ එවකට ගොඩනැගෙමින් පැවති සමාජය කොටස් දෙකකට වෙන් කරලා දක්වනවා......

      ඒ "බොන්ශුවාසින්" සහ "ප්ලොටේරියානුවන්" කියන මූලික කණ්ඩායම් දෙකට.
      මේ ජර්මන භාශාවෙන් ලියවුන කොමියුනිස්ට් ප්‍රකාශනය සිංහලට පරිවර්තනය වෙන්කොට ලංකාවෙ ඒ වකවානුවෙ හිටපු භාශා ඔස්තාද් ලා ලස්සන දෙයක් කරනවා...
      "බොන්ශුවාසින් " කියන වචනයට ඔවුන් අලුතින් වචනයක් හදනවා "බුරුසුවා පන්තිය" කියලා...

      ඒත් ප්ලොටේරියානුවන් කියන වචනයට ඔවුන් වචනයක් හදන්නෙ නෑ.....
      ඒකට අමු අමුවෙ ව්කෘති වචනයක් ඔබනවා "නිර්ධන පන්තිය "කියලා..මේ නිසා ලාංකික සමජය පුරාවට මුල් බැසපු ඉතාම වැරදි අදහසක් තියෙනවා ප්ලොටේරියානුවන් කියන්නෙ අදින්න ඇදුමක් නැති කුසට හරි හමන් ආහාරයක් නැති සත්තව කොටසක් කියලා....
      ලංකාවෙ සම-හරක් හිතන විදිහට ළමයකුගෙ උපන්දිනයක් සමරන්න ,විවාහ උත්සවයක් ගන්න,උසස් අද්‍යාපනයට යොමු කරන්න මේඅයට බෑ..ඒහෙම් කරන්නෙ බුරුසුවා පන්තිය විතරයි කියලා මේ සමාජය අමු අමුවෙ නොමග යවනව..

      මේක කාල් මාක්ස් සහ ෆෙඩ්‍රිරික් එංගල්ස් විසින් ලියපු communist manifesto එක සිංහලෙන් පරිවර්තනය කරලා අමු අමුවෙම කරපු විශාල විකෘති යක්.
      කොමියුනිස්ට් ප්‍රකාශනෙය් තුන් වැනි පරිච්චේදය වෙන් වෙන්නෙ කොමියුනිස්ට් දේශපාලන කතිකාවත පිලිබදව ඒ වකවානුවෙ ලියන ලද කරුණු සහ සමාජයෙ කතිකාව පිලිබදවයි.....

      එවකට ජර්මානු සමාජයෙ කොමියුනිස්ට් දේශපාලන කතිකාවත් ඒ වකවානුවේදි පවතින යහපත් මෙන්ම ධනාත්මක සාකච්චා ලෙස දක්වනවා....
      අදත් ලෝකයෙ රටවල් වලින් ජර්මානු ප්ලොටේරියානුවන් ඉතාම ඉදිරියෙන් ඉන්නව......
      ඉහළ අවම වේතනයක්,නිවාඩු සහිත වැඩ පටිපාටියක් ,ඉතාම ඉහල ජිවන දර්ශකයකින් මූලික මිනිස් අවශ්‍යතා ගොඩනැගුන සමාජ ආර්තික වටපිටාවක් ජර්මානු ප්ලොටේරියානුවන් සතුයි.....වැටුප් සහිත නිවාඩු වලට මාලදිවයිනෙ තරු පන්තියෙ සංචාරක හෝටල් පුරවන්නෙ මෙ ප්ලොටේරියානුවන් .
      ඔවුන් නිර්ධනයො එහෙමත් නැතිනම් හිගන්නො කියලා ඒ සමාජයෙ හැදින්වීමක් නෑ...

      කොමියුනිස්ට් ප්‍රකාශනයම එක කොටසක් වෙන් වෙනවා" capitalist socialism "කියන කරුණ සාකච්චා කරන්න...
      මේක ධනවාදී සමාජවාදය කියලා සරළව හිතා ගන්න පුළුවන් .....
      මේක තමයි සමාජයක තියෙන ඉතාම දුෂ්ටම ක්‍රම වේදය..
      ලංකාවෙ අවාසනාවකට සමාජවාදය කියලා මුලින්ම ගොඩනැගුවෙ මෙන්න මේ ක්‍රමය.
      ලංකාවෙ දේශපාලන පක්ශ වලින් පැරනිම පක්ශයත් තමා ඔය ඩාලි පාරෙ පක්ශ මූලස්තානය තියෙන ඔය පක්ශය....
      ලංකාවෙ ගොඩනැගුන ධනවාදි සමාජවාදය කොයිතරම් හානියක් මේ සමාජයට කලාද කියන එකට හොදම නිදසුන තමා ඔය ප්ලොටේරියානුවන් සහ නිර්ධනයන් කියන වචන පටලවලා ලංකාවෙ සමාජය නොමග යැවීම........

      ලංකාවෙ වැඩිම කොටසක් ඉන්නෙ වැඩ කරන රැකියා කරන කොටස...අපි නිල් පාට ,සුදු පාට ,කොළ පාට වගේ එක එක කොලර් තියෙන ඇදුම් ඇදගෙන රැකියා කලාට,නිවාස ණය,වාහන ණය ,credit card අරගෙන තරු පන්තියෙ හෝටලයක නැවතුනාට අපි බහුතරයක් බොන්ශුවාසින් නෙමෙ.....

      මේ ලෝකෙ බහුතරයක් ප්ලොටේරියානුවන් ............

      ප්ලොටේරියානුවන් කියන්නෙ සිංහලෙන් විකෘති කරලා නිර්ධනයො කියලා සමාජයක් නොමග යවපු වචනයට එහා දෙයක්......

      මේ අය භාණ්ඩ සහ සේවා නිශ්පාදනයෙ ඉන්න සමාජයෙ වටිනා වගකීමක් දරණ කොටසක්.......

      ඒ අතර විශාල පුද්ගලික රොහල් ජාලාවක් සේවය කරන වයිදයවරු ඉන්නවා..විශාල ව්‍යාපාරිකයෙක්ගෙ tax file වල කටයුතු කරන නීතිඥයන් ,,ගණකාධිකාරි වරු ඉන්නවා...
      විශාල සමාජ ජාලවල රැකියා කරන IT ඉන්ජිනේරුවන් ඉන්නවා...

      ඔවුන්ට ඉහල සමාගමකට සේවය කල පමණින් බොන්ශුවාසින් වෙන්නෙ නෑ..

      මේ හැමෝම විවිද ස්තර වල ප්ලොටේරියානුවන් ......

      ප්ලොටේරියානුවන්ට දරුවෙකුගෙ උපන්දිනයක් සමරන්න ...වාහනයක් ගන්න ,නිවසක් හදා ගන්න ,ළමයෙකුට අද්‍යාපනයක් දෙන්න මේ කිසිවක් මැජික් එකක් නෙමේ.
      ඒක මැජික් එකක් වෙන්නෙ තමන් අයිති කොතනටද කියන දේ අවබොද නොවුන ධනයෙන් මෙන්ම දැණුමෙන්ද හීන වචනයේ පරිසමාප්තියෙන්ම නිර්ධනයන්ට විතරයි .......

      Delete
  7. Replies
    1. කියෙව්වා.
      Pra Jayතුමත් ලේසි පහසු පුත්තරයෙක් නෙවේ. (වැටෙන් අහක් වී... දක්වපු අදහස් පංකාදු පහයි 🙏)

      Delete
    2. නමී, දැනට ඉංගිරිසියෙන් පොත් විතරක් ලියන Pra Jay මහත්තයා මෙහෙම ගිහිං සිංහලෙන් blog ලියන්න ගත්තොත් කොහොමට හිටියිද?

      Delete
    3. අම්මප. Pra Jayලොක්ක බ්ලොගක් ලියනවනම්!

      Delete