අකුරු මැකී නෑ

Saturday, July 29, 2023

මවුනි, මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස

... ඒත් එහෙම වුණේ නැත. පසුවදා පාන්දරින්ම සෑම් ටෙලිෆෝනයෙන් කිව්වේ ඒ විත්තියයි.

It’s amazing ලොකූ. අම්මා asked about පාද යාත්‍රා. She hasn’t forgotten. එයාත් එන්නයි හදන්නේ... ඔයාට තමයි බේරෙන්න බැරි වෙන්නේ...”

ගම කන වැඩකි වෙන්නට යන්නේ...  

හැම දෙයකම funny side එකත් දකින්නට; දැකලා හිනා වෙන්නට හැකියාව තියෙන...

නිරෝගී මනුස්සයෙකුට වුණත් යන්නට අමාරු පාද යාත්‍රාව වගේ ගමනක් අපේ අම්මා කොහොම යන්නද? ඒ කාරණය අම්මාට තේරුම් කර දෙන එකත් ලේසිපාසු  කාරියක් නොවේ. ‘අම්ම දැන් ලෙඩෙක්! ඉස්සර හපන්කං කරන්න දැන් බෑ!’ කියලා කියන්නද... එහෙමත් නැත්තං ‘ඔයාට දැන් ඩිමෙන්ෂියාව. පේනවනේ... අම්මට සමහර වෙලාවට පුටුවෙන් නැඟිට ගන්න වෙන්නෙත් වෝකර් එකට වාරු වෙලානෙ.’ කියලා අම්මාගේ හිත කඩන්නද?

මෙතනදී වුණත්  එකම එක ‘අහිංසක බොරුවක් වුණත් කියන්නට’ මගේ දිව නොනැමෙයි. (ඔව් Lotus... ඒක එහෙමමය. තව ඉස්සරහට කියවගෙන යන්නකෝ.) අම්මාට කිව හැකි ඇත්තක් මට සිහිපත් වුණේ, ටික වෙලාවක් කල්පනා කළාමය.

“අම්මේ, ගමන යන van එකේ තව එක්කෙනෙකුට යන්න ඉඩ නෑනෙ. දැනටත් හිර වෙලා වගේ තමයි අපිට යන්න වෙලා තියෙන්නෙ... ලෑස්ති කර ගෙන තියෙන මේ ගමන ගිහින් ආවට පස්සේ අපි වෙන trip එකක් යමු! එහෙම හොඳයිනේ...”
එතකොට දෙයියෝ අපේ දිහාව බැලුවෝහ. අම්මා මගේ යෝජනාවට අකැමැත්තෙන් කැමති වුණාය.

‘පාද යාත්‍රා ගමනේදී’ත් අපේ ඉෂ්ට දේවතාවුන්නාන්සේලා ඇතුළු බලධාරී දේව මණ්ඩලයම නොවරදවා අප දිහා බලන්නට ඇත! මං
එහෙම කියන්නේ නිකංම ආවට-ගියාට නොවේ; හේතු ඇතිවය.

අපේ මර්වින් බොතේජු උන්නැහේ අන්තිම මොහොතේදී පාද යාත්‍රා ගමනට නාවේය. ඒ ඔහුගේ ප්‍රියාදර බිරිය ලලිතා අසනීප වුණු බැවිනි.

පාද යාත්‍රා ගමන නිමාවී, සති දෙකකට විතර පස්සේ මර්විනුත් අසනීප වුණේය. හේතු හොයාගෙන යද්දී එළිදරව් වුණේ ඉක්මනින්ම ඔහුට
Angiogram පරීක්ෂණයක් කළ යුතු බවයි.
අයස්මන්ත පීරිස් දොස්තර හිතවතා කල් තියාම මර්වින්ගේ එකම පුතණු මාධවටත් දන්වා තිබුණේ- අවශ්‍ය වුවහොත් නොපමාවම ‘stent කිරීම’කට හෝ ‘බයිපාස් සැත්කම’කට හෝ මුහුණ දෙන්නට තාත්තාට සිදු වෙන බවයි.
ඒ අනතුරු ඇඟවීම හරි ගියේය. එන්ජියෝග්‍රෑම් පරීක්ෂණය හා සමඟම stent කිරීමත් කෙරුණි.

“Doctor සම්පත් කිව්වේ, බැරි වෙලාවත් මං පාද යාත්‍රාවේ ගියා නං එහෙම මොන-මොනවා වෙන්න තිබ්බද කියලා හිතා ගන්නවත් බැහැ කියලා. ඒ තරමටම මගේ පපුවේ ලේ නහර හීනි වෙලා තිබ්බලු!” පසුව මර්වින් කිව්වේ එහෙමය. “දෙයියොම තමයි මගේ දිහා බැලුවේ!”

හැම දෙයකම funny side එකත් දකින්නට; දැකලා හිනා වෙන්නට හැකියාව තියෙන අයස්මන්ත මහතා නං, ඒ ගැන කිව්වේ වෙනත් කතාවකි.

ඔය විවාදයට තුඩු දෙන දේවල් පැත්තක තිබිච්චාවෙකො- මට හිතෙන්නේ, මගේ දිහාවට නං...

“දෙයියෝ බැලුවා නං මිනිහට ඔච්චර සීරියස් වෙන්න කලින්නෙ, ලෙඩේ පෙන්නන්න තිබ්බේ. දෙයියෝ බැලුවේ මිනිහ දිහා නෙවෙයි. අපි දිහා. දෙවියො අපි දිහා බලලා ලලිතව ලෙඩ කරලා මුගේ ගමන නැවැත්තුවා...
නිමල් අයියේ, මට මැවිලා පේනවා- මර්වියා පාද යාත්‍රාවේ යද්දී මොකුත් වුණා නං හෙම, ලලිතා අපිට බිම දාගෙන ගහන හැටි...”

මං වහන්සේට කල්පනා වුණේ තවත් පැත්තකි.
මර්වින් ගොයියාත් නිතිපතා G
ym යන්නෙකි. එහෙම කෙනෙකුටත් මෙහෙම නං... මීට පස්සේ පාද යාත්‍රාවට කට්ටිය තෝරා ගනිද්දී වෛද්‍ය පරීක්ෂණයකුත් කරන්නට වෙයිද? ඒ කල්පනාව එහෙමම තියෙද්දී වුණත්, මර්වින් බොතේජු හිතවතාට ඉක්මනින්ම සුපුරුදු නිදුක්- නිරෝගී සුව ලැබේවායි පතන්නටත් මම අමතක නොකරමි.

ඔය විවාදයට තුඩු දෙන දේවල් පොඩ්ඩකට පැත්තක තිබිච්චාවෙකො- මට හිතෙන්නේ, මගේ දිහාවට නං ‘දේව බැල්ම’ වැටුණාමය කියලයි!

පාද යාත්‍රා ගමනෙන් අපේ අම්මාව නවත්තන්නට කාරණාවක් විදිහට ඒ වෙලාවේ ‘වෙනින් trip එකක්’ ගැන කිව්වත්, මා කියූ වචනය රැකිය යුතුය. අපේ තාත්තා අපට නම් උගන්නලා තියෙන්නේ; පුරුදු- පුහුණු කරවලා තියෙන්නේ එහෙම කරන්නටය. ‘අම්මව දෙනවයි කිව්ව නං පුතේ, තාත්තව ගස් බැඳලා හරි දියං!’   

“ලොකා, ඔයා කිව්වට trip එකක් එක්කං යන්න තරං තත්ත්වෙකද අම්මා ඉන්නේ? සමහර දවසකට නං හොඳයි. ඔයා දන්නවද, සමහර දවසකට අම්මව තුන්-හතර සැරයක්ම නාවල හෝදවන්න වෙනවයි කියලා... අම්මට දැන් එහෙම දේවල් කන්ට්‍රෝල් කර ගන්න බෑ... පැම්පර්ස් අන්දවල තිබ්බටම හරි යන්නෙ නෑනෙ.” මානෙල් කියන්නේ ඇත්තය. එහෙම වුණත්...
ඉතිං, පාද යාත්‍රාවේ යද්දීත් ඔය කාරණය මගේ හිතේ දිගටම වැඩ කළේය.
විසඳුමක් මගේ ඔළුවට ආවේ කුඩා කැබිලිත්ත දේවාලය අසලදී කුඹුක්කන් ඔයේ ගිලී ස්නානය කරන වේලාවේය!

ඒ නිසාය මං කිව්වේ, මටත් දේව බැල්ම වැටුණාය කියලා.
නිදිගෙ පංච තන්තරේ දිගටම කියවපු අය නං දැනටමත් දනිති, මගේ ඔළුවට ‘විලිසියානු රත්තරං’ වගේ හොඳ-හොඳ ideas වැඩි-වැඩියෙන් පහළ වෙන්නේ නාන වෙලාවටයි කියලත්...

‘නීච කුමන්ත්‍රණේ’කින් බේරෙන්නට දිසානායක හේවගේ චාර්ල්ස්ට උපකාරී වුණු, නිදිට ‘නොදෙන්න හිටි රන් පදක්කම’ ලබා දෙන්නට දිසානායක හේවගේ ගුණපාලට උපකාරී වුණු ‘අයිඩියානන්ද පරම්පරාවේ ජාන’ මා තුළ වැඩියෙන් ක්‍රියාකාරී වෙන්නේ නාන වෙලාවටවත්ද?

අපේ ‘පික්නික්’ එකේදී අපට කැමති විදිහට ඕනෑ ඩෙඟා නැටුමක් නටා ගන්නටත් නිදහසක් එහෙදී ලැබෙයි. (2013 ගිරිතලේදී...)

අපේ අම්මාව trip එකක් එක්කගෙන යන්නට ideal තැනක් තියෙන විත්තිය එදා ඔයේ ගිලෙද්දී මගේ ඔළුවට ආවේය!

එතැනට මානෙල් නංගිලාගේ ගෙදර හිට වැඩි දුරකුත් නැත. තියෙන්නෙත් මනස්කාන්ත වෙල් එළියක- නිල්ල නිලන කුඹුරු යායක් අද්දර- ඕවිටි කෑල්ලකට ටිකක් උඩින්ය.
ඕනි නං අපේ අම්මාට ඇලවී- හාන්සිවී ඉන්නට වුණත් පුළුවන් විදිහට, ඇඳක් සහිත කාමරයකුත් තිබේ; යාබද අංග සම්පූර්ණ wash room එකකුත් සමඟ.
එච්චරයැ, අතින් වතුර අරගෙන නාන්නට පුළුවන් අපූරු ‘වෙල අද්දර ළිඳකුත්’ ඒ වත්තේම කොණකය!

ඒ සේරෝටමත් වඩා plus point එක මේකය: අපේ ‘පික්නික්’ එකේදී අපට කැමති විදිහට ඕනෑ ඩෙඟා නැටුමක් නටා ගන්නටත් නිදහසක් එහෙදී ලැබෙයි.

ඒ ගෙදරකි; බල්ලෙකුවත් නැති- ‘කෝකි නල්ලෙකු’ පමණක් ඉන්නා ගෙදරකි.
යටි පෙළෙන් කියවෙන දේ පවා මැනවින් අල්ලා ගනිමින් ‘නිදිගෙ පංච තන්තරේ’ ඉතා සුපරීක්ෂාකාරීව කියවන Lotus රසිකාවිය වෙතින්
‘Unsung Hero’ කෙනෙකු ලෙසත් හැඳින්වුණු ඒ සහෘදයා නිවසන්නේ එහිය.

Trip එකක් යන යන විදිහට අපේ අම්මාව එහාට කැන්දාගෙන යත හැකිය. මට හොඳටම ෂුවර්ය. වතාවකට- දෙකකට වඩා එහාට ගිහින් නැති නිසා අම්මා එතැන හඳුනා ගන්නා එහෙකුත් නැත.
ඉතිං තවත් මොනවද?

‘තමුසෙට හිතෙන-හිතෙන විදිහට එහාට යන්න තීරණේ කරන්නෙ ඒක විවෘත අම්බලමක්ද?’ කඩප්පුලිකමටම තමාය, කාට හරි එහෙම අහන්නට හිතුණොත් හිතෙන්නේ.
අපේ හිතවතා- සද් ගුණවත් නෙවිල් අනුරසිරි පෙරේරාගේ නිවස අම්බලමක් නොවේ... තිස්සෙම හායි කියලා දොර ජනෙල් සේරම ඇරලා තියෙන තැනකුත් නොවේ. නෙවිල්ලගේ අම්මා හිටිද්දීත් එහෙමය. දැනුත් එහෙමය. දැන් නං එහෙම කෙරෙන්නේ දවසේ පැය විසි හතරෙන් 15ක්-16ක් විතරම ඒ හාදයා ගෙදර නැති බැවිනි.

නෙවිල් කැමැත්ත දුන්නේය!
“තමුසෙලගෙ මඟුල්වලට ඉඩ දීලා පස්සේ මට මළ වදයක් වෙයිද මන්දා! ඔන්න දිසානායක ආයෙම නං ඔය කෙහෙල්මල් මෙහෙ දාගන්න බෑ. හරිද?” කියලාත් කිව්වේය.
නෝක්කාඩු ස්වරයකින් එහෙම කිව්වත්, ඒ හාදයා අන්තිමට ‘මගෙන් මොනවද හලෝ කෙරෙන්න ඕනෙ?’ කියලාත් තෙතමනය සහිත ස්වරයකින් ඇහුවේය.

පාද යාත්‍රාව අවසන්වී ජුනි 16 වෙනිදා ආපසු ගෙදරට පය තියනකොටත් මගේ සිතේ ‘සිදු විය යුතු දේවල්වල’ කටු සටහනක් ඇඳී තිබිණි. පියවරෙන් පියවර නිදි ක්‍රියාත්මක කළේ ඒ සැලසුම්ය.

අනේ, මං එහෙම කිව්වා විතරකි- අම්මාගේ මුහුණේ පිපුණු සිනහ නෙළුම් මලේ ලොකු!

“අම්මේ, සමන්තියි පවනුයි ආපහු එංගලන්තෙට යන්න කලින් අපි අම්මව අර කීව පික්නික් එකට එක්ක ගෙන යන්නයි හදන්නෙ.”

අනේ, මං එහෙම කිව්වා විතරකි- අම්මාගේ මුහුණේ පිපුණු සිනහ නෙළුම් මලේ ලොකු!
ඊට පස්සේ අපි මානෙල්ලගේ ගෙදර හිටි පැය දෙකකට වැඩි කාලය තිස්සෙම අම්මා trip එක ගැන ප්‍රශ්න ඇසුවාය; හාර-හාරා විස්තර ඇසුවාය; එකම ප්‍රශ්න වැල යළි-යළිත් ඇසුවාය.
ඩිමෙන්ෂියා රෝගීන්ගේ සිහි-කල්පනාව අවදි වුණු විට එයාලාට කෙතරම් තර්කානුකූලව සිතන්නට හැකිදැයි මේ ලියන්නාට තේරුම් ගියේ අන්න ඒ දවසේදීය.

එතනට නොගැළපුණු එකම දෙය වුණේ ‘එකම ප්‍රශ්න නැවත නැවතත් ඇසීම’ය. (මට ඒ ප්‍රශ්නෝත්තර සියල්ල කටපාඩම් වෙනකල්ම, අපේ අම්මා දහ-දොළොස් වතාවක්ම ඒවා පුන-පුනා ඇසීමය.)

“දැන් කවදද ලොකු පුතේ අපි ඔය ගමන යන්නෙ?”
“ජුනි 22. එදාට හොඳයි නේද?”

 දවස හොඳදැයි කියලා අම්මගෙන් ඇහුවාට මොකද, ඒ වැඩේට සුදුසු වෙනත් එකම දවසක්වත් අපට ඉතිරිව තිබ්බේත් නැත.

“Yes Loku, ලංකාවේදී පට-පට ගාල දවස් ගෙවිල යනවනේ... හරිම ක්වික්ලි. Englandවලදී මීට් වෙච්ච දීපාල්ගේ යාළුවො ගොඩක් අපෙන් dates ඉල්ලුව- පවනුත් යන්න කලින් අපිව lunch එකකට හරි dinner එකකට හරි එක්ක යන්න. Not enough time. මං එයාලට suggest කළා ඒ සේරමල්ල එකතු වෙලා එකට outing එකකට යමු කියලා.” සමන්තිලාගේ අවිවේකී බව අපට කියැවුණේ එහෙමය.
“ඉරිදා අපි ආපහු යන්නත් ඕනිනෙ ලොකූ.”

“ඔයාට හපන් Sam අපි දෙන්නට. නෙවිල් අයියටයි මටයි ඒ weekend එකේ වස්ගමුවේ යන trip එකකට ජොයින්ට් වෙන්න වෙලා තියෙන්නෙ. මාස දෙක තුනකට කලින් ඉඳලමයි එයාලා අපට කිව්වේ. ඉතිං බෑ කියන්නද? අනේ sorry සෑම්. ඔයාලට Good bye කියන්න වෙන්නෙත් කලින්.”
“It’s ok loku!”

හයියෙන් ඔහොම දේවල් කතා කරන්නට ගිහිං පාඩමක් ඉගෙනගත් බැවින්, අප එදා කතා කළේ හෙමින්ය. අම්මා එතකොටත් හිතුවේ නුහුරටය.

“ කියන දෙයක් මටත් ඇහෙන්න කියන්නකො, රහසෙන් කතා කරන්නෙ... දැන් කවුරු කවුරුද ගමන යන්නෙ?”
“අම්මයි, සමන්තියි- පවනුයි, මානෙල්ලගේ ගෙදර කට්ටියයි...”
“මර්වින් පුතා... නෙවිල්, ඔයත් යනව නේද. නෙවිල් පුතා නොගියොත් කවුද සිංදු කියද්දී බෙර ගහන්නේ? ගමනේ කිසි ජොලියක් නැහැනෙ, සිංදු එහෙම නොකිව්වොත්...”

කොච්චර ෂෝක්ද එයාලත් එනව නං... (වැඩේට සහභාගී වූවෝ: නමී, නෙවිල්, මර්වින්, ප්‍රීතිකා, පීරිස්, තමීර, චානක)

“ඔව් ඔව් මාත් එනවා අම්මේ!” ඒ ටික හයියෙන් කියන නෙවිල් ඉතිරිය කියන්නේ හෙමින්ය. “මෙච්චර කල් පුතාගෙන් විතරයි මළ කරදරේ තිබ්බේ. අනේ දෙයියනේ! දෙය්යන්ටවත් පේන්නෑනෙ... දැන් අම්මගෙනුයි, මේ පොඩි කෙල්ලයි දෙන්නගෙනුත් මට බේරුමක් නැති හැටි.” එතකොටත් හිමන්‍යා නෙවිල්ගේ කරේ එල්ලීගෙනය.

“නෙවිල්ලා විතරක් නෙවෙයි අම්මේ, ඩොක්ටර් පීරිස්- ප්‍රීතිකා ජෝඩුවත්...”
“කොච්චර ෂෝක්ද එයාලත් එනව නං... වෙනදට අපි trip යද්දී තව කට්ටිය ගොඩක් යනවනේ ලොකු පුතේ...”
“දඩිබිඩියේ ලැහැස්ති කර ගත්ත ගමනක්නෙ අම්මේ... පාද යාත්‍රා ගමන ගිය යාළුවොත් එයි.”

“කොහාටද අපි යන්නෙ?”
ඇත්ත කියන්නද? බොරුවක් කියන්නත් බැරිය.  එහෙම වෙලාවට මට තියෙන විසඳුම් දෙකකි, බාග ඇත්තක් කීම හෝ වෙනින් යමක් කීම. “ඒක නං අම්මේ සප්‍රයිස් එකක්. ගියාට පස්සේ බලන්නකෝ හොඳද කියලා... එතකොටනේ ගති!”

“ඔන්න අම්මේ, එදාට මගේ ගණනේ ඉඳියාප්පයි, චිකන් කරියි, අල හොද්දකුයි, හදනවා. තව... මඤ්ඤොක්කා ටිකකුත් තම්බලා, කොච්චි ලුණුමිරිසකුත් හදන්නං. ලොකා කුරක්කන් පිට්ටුයි, ඌරු මසුයි, පොල් සම්බෝලයි හදනවය කිව්වා. ඇතිද?” මානෙල් අහන්නේ අතින්-පයින්-ඇස් දෙකින් පවා රඟමිනි.
“මානෙල් අක්කේ, මම බිමල් හදන විදිහට ජීරා චිකන් හදන්නද?” සමන්ති අහන්නේ වැඩි හොඳටය.

“දිසානායක කුරහන් පිට්ටුත් හදන නිසා, මී කිරියි කිතුල් පැණියි දෙකත් ගෙනෙමු...”

“හරී ෂෝක්! මම කොච්චර lucky අම්ම කෙනෙක්ද ඔයාල වගේ දරුවෝ, යාළුවො ගොඩක් ලබන්න.... මට ගොඩාක් ආදරෙන් සලකන.” අම්මා කියයි. අද අම්මාගේ mood එක හොඳය. එහෙම වෙලාවට අම්මා ඉතාම ප්‍රසන්නය; කරුණාබරය; ආචාර සම්පන්නය!
සමහර දෙවිවරුනුත් එහෙමලු, වෙලාවකට ඔවුන් බෙහෙවින්ම යහපත්ලු... ඒත් තවත් වෙලාවකට...

“අද නං මට හොඳටම එපා වුණා ලොකා!” පහුගියදාක උදෙන්ම මානෙල් ටෙලිෆෝනයෙන් නඩුවක් කීවාය. “ඇයි, මොකද වුණේ?”

“බලන්නකෝ ලොකා. අම්මා හරියටම විනාඩි හතළිස්පහක් පුටුව උඩ ඉඳගත්තු ගමන්ම හිටියනේ.”
“ඉතිං මනුස්සයෝ, සමහර වෙලාවට අම්මා පැය හත-අට ඔහොම දිගටම වාඩි වෙලා ඉන්නේ; ඒ පුටුවෙන් මේ පුටුවට මාරු වෙවී. ඔහෙ ඉන්න අරිනවා.” මං කිව්වේ හැකිතාක් සැහැල්ලු වෙමිනි. හැබැයි, අම්මා එහෙම ඉන්නකොට මානෙල් බාධා කරන්නේ නැත. එයා මෙහෙම නහයෙන් අඬන්නේ වඩා බරපතළ යමක් සිද්දවී ඇති නිසා විය යුතුය.

“ඉතිං කියනවකො බලන්න- දිගටම හූල්ල හූල්ල ඉන්නේ.”

මගේ හිතට වැටුණු මේ ‘මහ බරෙන්’ ටිකක් හෝ අඩු කර ගන්නටය, මං මේ විස්තර...

“අම්මට එහෙම ඉන්න අරින්න පුළුවන්ද ලොකා ජරාව පිටින්. කවුරු හරි ආවොත් හිතයි අපි අම්මව බලා ගන්න හැටි තමයි මේ කියල. ඔයාටවත් මම කිව්වෙ නෑ, මෙච්චර දවස්. අම්මව හෝදවල ඉවර කරනකොට මටත් නාන්න වෙලයි තියෙන්නෙ ලොකා, හුඟක් දවසට. ඊට පස්සේ මේ දෙන්නට කන්න දීලයි, දවල්ට උයන්න ගන්නේ... අම්මලට වුණත් පේන්න එපැයි මං මේවා කරන විදිහ.”

“හරි යකෝ. ඒ මනුස්සයාට ඔව්වා කල්පනා වෙන්නේ නැහැනෙ හැම තිස්සෙම. තව චුට්ටක් ඉඳල බලනවකො. මම අම්මට කතා කරන්නද?”
“එපා ලොකා. මේ පාන්දර ඔයාටත් තරහ යයි. නිකං මොකටද පව් පුරව ගන්නේ... අද අම්මා හිතාගෙන ඉන්නේ, එයා එංගලන්තේ ගෙදර ඉන්නවයි කියලා...”
“අම්මට සිරි! අද අම්මට එහෙම හිතිලද මානි.”
“ඒක නේන්නං ලොකා -මගේ ගෙදර මට ඕනි විදිහට ඉන්න බැරිද? ඔයාල මගේ ගෙදරට ඇවිත් ඉන්නවා නං මම කියන විදිහටයි ඉන්න ඕනි. බැරි නං දෙන්නම ගෙදරින් එළියට බැහැල යන එකයි තියෙන්නෙ, මගේ පාඩුවේ මට ඉන්න දීලා- කියලා අපිට බැනගෙන  බැනගෙන ගියා...”

“දෙන්නම කිව්වේ... තව කවුද හිටියේ?”
“ඇයි ලොකා අපේ ගාමිණී. අද එයාටත් වැඩට යාගන්න නෑ අම්මගෙ ජෝගි නිසා... පව්, ඒ මනුස්සයා.”

මගේ හිතට වැටුණු මේ ‘මහ බරෙන්’ ටිකක් හෝ අඩු කර ගන්නටය, මං මේ විස්තර නෙවිල්ට කිව්වේ. “මතකයිනෙ අපේ අම්මා... කාමරේට වැදිලා දොරත් වහගෙන හිටියා- මැරෙනකල් දොර අරින්නේ නෑ කිය-කියා. ඔයාලගෙ අම්මත් ටික ටික එහෙම වේගෙන එනවද දන්නෑ.”
“ඒකනෙ කියන්නෙ...
දවස තිස්සෙම ඔව්වා පෙනි-පෙනී මානෙල් ඉවසගෙන ඉන්න ඉඳිල්ල...”

නිදිගෙ පංච තන්තරේ දයාබර පාඨක ‘විජේබාහු මහත්තයා’ පසුගිය පෝස්ටුවට comment එකක් එවමිනුත් ‘මේ තත්ත්වය දරා ගැනීමේ අසීරුකම පිළිබඳව’ පවසා තිබිණි. එතුමා කියා තිබුණේ,

‘සංසාරේ හැටි තමයි, හිටපු ගමන් යන්න වෙන්නේ නෑ හැමෝටම.
නිදි ගේ නංගීට ගොඩක් පින් ලැබේවි
, ඔය ජොබ් එක ලේසි නෑ, නංගීට විෂාදය එන්න පුළුවන්. එයා ගැන බලන්න. (හිත හයිය නම් බය වෙන්න දෙයක් නෑ.) යනුවෙනි.

ඔව් විජේබාහු මහත්තයෝ, අප ඉන්නේ හැකිතාක් හිත හයිය කර ගෙනය; එකමුතුවය.

සමන්තියි බිමලුයි පුතාලා දෙන්නයි... (රෝසිගේ විවාහය දවසේ; 2017 දී අපේ අම්මා- ගාමිණීලගෙ අම්මා සමඟ) 

“එතකොට මගේ දෙවෙනි පුතා සුනිල්... එයත් එනවද ඔය trip එක යන්න.”

“පොඩාට එන්න අමාරුයි කිව්වා අම්මේ... සීතගල ඉඳලා එන්න දුරයිනෙ අම්මේ. හැබැයි අපි කට්ටියම වීඩියෝ callsවලින් එදාට එකතු වෙන්නයි කතා වෙලා ඉන්නේ. ෂැම්පේන් එකකුත් කඩලා...” සමන්ති එහෙම කිව්වා විතරය. නෙවිල්ගේ කට ඇරුණේය.

“දිසානායක ළඟත් ෂැම්පේන් බෝතල් දෙකක්ද කොහෙද තියෙනව නේද පුස් කකා. අපි ඉල්ලුවට දෙන්නෙත් නෑ Sam. අපරාදෙ...”
“ඇත්තද ලොකූ?”
“ඇයි සෑම්, ඔයාට මතක නැද්ද... ඔයයි බිමලුයි දෙන්නමනේ ඒවා මට පරෙස්සමින් අරං තියන්න දුන්නේ. දීපාල්ගේ wedding එකෙන් පස්සේ. 25th වෙඩින් ඇනුවසරි එක දවසට ගනිමුය කියලා... ඉතිං මම එව්වා එහෙමම තියාගෙන ඉන්නවා.” මං කිව්වේ ආඩම්බරෙන්!

“අනේ ලොකූ, ෂැම්පේන් තියන්න ඕනෙ ඒවාට breathe කරන්න පුළුවන් වෙන විදිහට...”
“එහෙම තමයි සමෝ ඒවා තියල තියෙන්නෙ.”
“කොහොමද?”
“ටිකක් ඇලේට. කිරල පොරොප්පෙට ෂැම්පේන් ගෑවි-ගෑවී තියෙන විදිහට.”
“කොහෙද හලෝ ඕවා තියලා තියෙන්නෙ... හැබැයි නංගී, දිසානායකගේ භූත බංගලාවේ අලියෙක්ව වුණත් හංගලා තියා ගන්නත් පුළුවන් කාටවත් නොපෙනී...”

“ඇත්තද ලොකූ... Are you sure? ඔයා ෂැම්පේන් bottles චෙක් කරලා බැලුවද ළඟදී?”
“මොකටද චෙක් කරන්නෙ... දීපාල්ල කසාද බැඳලා තවම අවුරුදු විසිපහ වුණේ නැහැනෙ...”

“මෙහෙමත් මොට්ට රාළ කෙනෙක්... ඔන්න ඕක ගේනවා හලෝ මේ විසි දෙවෙනිදට.”
“මං ඒවා ගේන්නෙ මට එව්වා දුන්නු අයිතිකාරයො කිව්වොත් විතරයි.”
“කවුද අයිතිකාරයො?”
“සෑමුයි බිමලුයි.”

“හරි, ඔයා එදාට ඒ බෝතල් දෙකම ගේන්න, ලොකූ... නෙවිල් අයියේ, අපි එදාට එක ෂැම්පේන් එකක් කඩමු!”
“එළකිරි!”

ඉතිං ඊට පස්සේ...à

Tuesday, July 25, 2023

මවුනි, මා ඔබ රැවටුවා නොවේ! -පළමුවෙනි කොටස

ගොඩාරියක් ස්තුතියි ‘සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක විජයතුංග’ හෙවත් ‘බණ්ඩාර කේ. විජයතුංග’ හෙවත් ‘බණ්ඩාර විජයතුංග’යාණෙනි!

‘යුක්තිය රජයන ලොවකට මා රැගෙන යන්න උතුමාණෙනි.’
‘හද බැඳි විකසිත ආදරයේ තේමා ගීතය.’
‘ළඳුනි මට සමාවන්න. මා ඔබට ද්‍රෝහී වූවා නොවේ, පියෙකු නැති දරුවකුට පියෙකු වූවා පමණි.’

ළඳුනි මට සමාවන්න. මා ඔබට ද්‍රෝහී වූවා නොවේ, පියෙකු නැති දරුවකුට පියෙකු වූවා පමණි!

ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් එදා ඇසුණු, එවන් චිත්‍රපට තේමා පාඨයන් රාශියක් රචනා කළේ ඔබය; ගම්භීර- පුරුෂමය කටහඬින් ඒවා උච්චාරණය කළෙත් ඔබය. ඔබේ ඒ අභිමානවත් රන් ස්වරය මට නම් තවමත් ඇසෙනවා ඇසෙනවා සේය... (ඒ නිසාවෙන්මය ‘නිදිගෙ පංච තන්තරේ’ට 2018 මැයි මාසයේදී මා ලියූ ‘මගේ දෛවය මගේ රිස්සට...’ post එකේදීත් ඔබතුමන් ගැන සඳහනක් කළේ.)

අවුරුදු 51ක් වැනි කෙටි ජීවිත කාලයක් ගෙවා, 1990 ජනවාරි 3 වෙනිදා වියෝ වුණු ඔබ- අපේ සිත්වල නම් තවමත් අමරණීයය.

එබැවින්මය, අපේ අම්මා ගැන ලියවෙන මේ පෝස්ටුවට ගැළපෙන මාතෘකාවක් ගැන හිතද්දී, ඔබේ නිර්මාණයක් මගේ මතකයට ආවේ; මා ඔබෙන් ආභාෂයක් ලැබුවේ!

ඉතිං... අපේ අම්මා හොඳටම ගිලන් වෙලා දැන් අවුරුද්දකට කිට්ටුය. මාරයාගේ කටටම ගිහිංය ආපහු ආවේ. අම්මගේ බඩවැලේ පිළිකාවක්!

අපේ පවුලේ අයගෙන් ඉස්සෙල්ලම පිළිකාවක් හැදුණේ සමන්ති නංගිට.
Sam ඒකට සාර්ථකව මුහුණ දුන්නා. අපේ තාත්තගේ අම්මා;
දසනායක රත්නවතී හෙවත් මහරගම ආච්චී වගෙමයි- සමන්තිත් යකඩ අම්මණ්ඩියෙක්. අවුරුදු විසිපහකටත් වැඩි කාලයක් සෑම් London මැරතන් එකත් දුවනවා.
ඔව්! එයා මේ වතාවේ අපි එක්ක
පාද යාත්‍රාවෙ යන්නත්  ලංකාවට ආවා.

Samට පස්සේ අපෙන් පිළිකාවට ගොදුරු වුණේ මං. ඊට පස්සේ අනිල් මල්ලී. එතකොටයි සමන්ති නංගී ගැන විශේෂ පරීක්ෂණ වගයක් එංගලන්තෙදී කෙරුණේ.
එතෙන්දි හෙළි වුණා, අපේ අම්මගේ පැත්තෙන් පිළිකාමය ජාන අපට උරුම වෙනවයි කියලා; විශේෂයෙන් කාන්තාවන්ට.

ඒ කතාවේ ඇත්ත නැත්ත කොහොම වෙතත්, ලෝකෙම පිළිකාව පැතිරෙනවා වැඩියි වෙන්නැති. අපේ ලොකු මල්ලිගේ බිරිය; මල්ලිකාත්, සමන්ති නංගිගේ සැමියා බිමලුත්, අනිල් මල්ලීත් කියන තුන්දෙනාම අකාලයේ මරු වසඟ වුණේ පිළිකා හේතුවෙන්.

මං ලියන අපේ පවුලේ කතන්දර දිගටෝම කියවන; කියවලා ඒවාට ප්‍රතිචාර දක්වන එක්කෙනෙක් තමයි බස්සා. එයාත් blog රචකයෙක්. බස්සාගේ අඩවිය ලියන්නේ එතුමා.

මේ ළඟදීත් බස්සා මහත්තයා කීප විඩයක්ම සඳහන් කරල තිබ්බා ‘නිදිගෙ වංගු ගැනිල්ල හෙවත් හතර වටේ පඳුරු තැලීම’ පිළිබඳව.
අලුත්ම තොරතුරුයි, පරණ විස්තරයි දෙකම ලියාගෙන යද්දී ‘ඒ වංගු ගැනිලි’ ගැනත් මගේ සිහියට ආවා තමයි- නිකම්ම. ඒත් පුරුද්ද අතාරින්නයැ- පුරුදු විදිහටම ‘නිදිගෙ පංච තන්තරේ’ දිගටම ලියාගෙන යනවා... කමක් නැහැනේ?

“අම්මව ලංකාවට එක්කගෙන එන්න පුළුවනි නං, මම අම්මව බලා ගන්නං.” අපේ මානෙල් නංගී කිව්වා. එතකොටත් එයා නැන්දම්මව රැක බලා ගැනීමේ වගකීමත් කරට අරගෙනයි හිටියේ.

මව්වත් අම්මලා තමන්ගේ දරුවන්ට වගේම අනෙක් දරුවන්ටත් සෙනෙහෙබරයි.

ඒ නැන්දම්මා; ගාමිණීලගේ අම්මා වියපත් වෙලා- පරඬලක් වගේ වෙලා ඉන්නවා මිස ලෙඩක් නෑ. එයා සිව්දරු මවක්; පුත්තුම හතර දෙනයි. (අනිත් ලේලිලා තුන් දෙනාම කැමති වුණේ නෑ, නැන්දම්මාගේ බරට කර ගහන්න.)

‘මානෙල් එළදෙන’ කැමැත්තෙන්ම ඒ උරචක්‍රමාලෙට කර ගැහුවා කියලත් සමහරුන් කිව්වලු!

මට නම් ඒක පෙනෙන්නේ මානෙල්ගේ ගොන්කමක් විදිහට නෙවෙයි; මව්වත්කම විදිහටයි.
(මගේ අවංක හැඟීම ‘අපේ අම්මා නං ඒ තරං
මව්වත් කෙනෙක් නෙවෙයි’ කියන එක. අම්මගේ ඒ දුර්ගුණය අම්මගෙන් එයාලගෙ දූලා එක්කෙනෙකුටවත් ඇවිත් නෑ, වාසනාවට වගේ.)
මානි නැන්දම්මටත් කරුණාවයි, අපේ අම්මට වගේම! මව්වත් අම්මලා තමන්ගේ දරුවන්ට වගේම අනෙක් දරුවන්ටත් සෙනෙහෙබරයි නෙව.

අනේ හැබෑටම, මේ ලියන මට බැරි හැටි අච්චර ගුණ-යහපත්කම් ඇති කර ගන්න...

අනෙක... අපේ අම්මා ගාමිණීලගෙ අම්මා වගේ නෙවෙයිනෙ; දූලා- පුතාලා දහ දෙනෙකු බිහි කළ කෙනෙක්. අම්මටත් දැන් වයසයි තමා. 85 ඉවරයි. තියෙන්නෙත් එක ලෙඩක් නෙවෙයි- ලෙඩ ගොඩක්.

‘අම්මට තනියම ලංකාවට එන්න තරම් ශක්තියක් නං කොහෙත්ම නෑ. / දොස්තරලා අනුමත කළොතින් නම්, දීපාල් හරි සමන්ති හරි ලෑස්තියි අම්මව ලංකාවට එක්කං එන්න. / අම්මත් ආසාවෙන් ඉන්නෙ තව සැරයක් හරි ලංකාවට ඇවිත් යන්න. / අම්මටත් දැන් ඩිමෙන්ෂියාව වුණත් ලංකාව ගැන මතකයි.’ විඩෙන්-විඩේ එංගලන්තේ අයගෙන් කියැවුණේ එහෙම අදහස්.

මේ වතාවෙත් පුරුදු විදිහටම ‘සූරිය දිව්‍ය රාජයා’ මීන රාශියේ ඉඳලා මේෂ රාශියට වැඩම කළා, අප්‍රේල් මාසේ. ඒ එක්කම වාගේ ‘හිරු නොබසින අධිරාජ්‍යය’යෙන් අපට අලුත්ම පණිවිඩයක් ලැබුණා.

“ලොකූ, අම්මව ලංකාවට එක්ක එන්න ඩොක්ටර්ස්ලා approval එක දුන්නා.” ඒත් එක්කම කියැවුණේ, අපේ අම්මාට තවත් ජීවත් වීමට ඉතිරිව තිබෙන්නේ මාස කිහිපයක කාලයක් පමණක් බවයි. “ඒ ටික කාලෙට වුණත් අම්මව තනියෙන් තියන්න බැහැනේ ලොකූ. මම අම්මත් එක්ක අප්‍රේල් 29 ලංකාවට එනවා. Tickets බුක් කරලත් ඉවරයි.”

ඉතිං ඒ දෙන්නා; අම්මා හා දීපාල් ලංකාවට සපැමිණියාහ!

“මම මේ කොහෙද ඉන්නෙ?” අප්‍රේල් තිස් වෙනිදා පාන්දර පිබිදුණු විගස අපේ අම්මා බඩා මල්ලාගෙන් විමසා තිබුණේ එහෙමය.
“ඇයි අම්මේ, අම්මට මතක නැද්ද- අපි ඊයේ ලංකාවට ආවනේ... මේ මානෙල් අක්කලාගේ ගෙදර.” දීපාල් අම්මාට කියා තිබිණි.

ගමේ අය කිව්වේ මං සාවිත්‍රී වගේ ලස්සනයි කියලනෙ... සෝමා නංගිත් හරි ලස්සනයි ඒ කාලේ... (අම්මා වඩාගෙන සිටින්නේ මේ ලියන්නාවය.)

“මම අම්මට එහෙම කියලා හැරෙනකොටම ලොකා, මෙන්න අම්මා අජිත් අයියට කතා කරනවා.” (අම්මා තදබල ලෙස රෝගීව සිටිද්දී, අම්මාගේ තනියට එංගලන්තයේ ගෙදර හිටියේ අජිත් මල්ලීය.)

“ඩිමෙන්ෂියාවේ හැටිලු මල්ලා ඒ. ළඟ ළඟ සිද්ද වෙන දේවල් මතක නැති වෙලා යනවා. පරණ දේවල්වල මාතකය නම් ලේසියෙන් සිහියට එනවා.” මම කීවෙමි.
ඒ තත්ත්වය නිසාමදෝ, මා එහි යනවාට අම්මා වඩාත් කැමැත්තක් දක්වනවා යැයි මට සිතේ. එහෙම වෙනවා ඇත්තේ අපේ පවුලේ පැරණිම විස්තර හොඳින් මතක් කරන්නට හැකියාව ඇත්තා’ මං වහන්සේ වන බැවින් විය යුතුය.

හොඳ සිහියෙන් හිඳින අයත් වඩා සතුටු වන්නේ අතීතය සමරන විටලු! ඒක එහෙම නම් ඩිමෙන්ෂියා රෝගීනුත් වඩා සතුටින් සිටින්නේ අතීත මතකයන් ඇසුරේදී විය හැකිය.

“අම්මට මතකයිද මයිලගස්තැන්නේ හිටිය කාලේ... සුජාතාවට ඉස්කෝලේ යන දවස්... ” මම අසමි. අම්මාගේ මුවගට හීනි හිනාවක් නැඟෙයි. “... අර කොළඹින් රේල්ලුවේ රස්සාවට ගිය දික් කලිසම්කාරයා යාළු වෙච්ච කෙල්ල කාලේ...
මානි- ඔයා දන්නවද, අම්මයි සෝමා පුංචියි තමා ඒ ගමෙන් දිග කලිසම් අඳින දෙන්නෙක්ව ඉස්සෙල්ලම කසාද බැඳල තියෙන්නේ.” දැන් අම්මගේ හිනාව වඩාත් පුළුල් එකකි.

“එතකොට ගමේ අය කිව්වේ මං සාවිත්‍රී වගේ ලස්සනයි කියලනෙ... සෝමා නංගිත් හරි ලස්සනයි ඒ කාලේ.” අම්මාත් මගේ කතාවට අලගු තියයි.

අනිච්චේ... දුක්ඛේ... සංසාරේ!
අද එහෙව් මනුස්සයාගේ රූපය දිරා ගොසිනි- ප්‍රාණවත් භාවය ගිලිහී ගොසිනි. ‘වය ධම්මා සංඛාරා’ කියන්නේ මේකද?

“අම්මා ලොකයියත් එක්ක ඕනි තරං වෙලාවක් පරණ කතන්දර නං කතා කර-කර ඉඳියි. අපි ඉතිං ඔව්වා කියන්න දන්න එකක්ය?”
“ඒකට කමක් නෑ ලොකු මාමේ... අපිටත් දැනගන්න පුළුවන්නෙ... ඔයා තව මොනවා හරි අහන්නකො  නැනාගෙන්...” මානෙල්ගේ දියණිය; රෝසි මට උඩගෙඩි දෙන්නේ- පවුලේ පුරාණයන්ට කන් දෙන්නට ඇති කැමැත්ත නිසාමය.

“කොහොමද අම්මේ අම්මලාගේ ගෙවල් පේළිය පිටිපස්සේ තිබ්බ වතුර පීල්ල... විසි හතර පැයේම වතුර වැක්කෙරී-කෙරී තිබ්බේ.”
“අර පුවක් පටි පීල්ල දිගේ... නේද රංජි...”
“ඔය මතක් වෙන්නේ. ඊට එහායින් හීතලම හීතල වතුර ගල-ගලා තිබ්බ කඳුර...”
“ඒක දිගේ තවම වතුර ගලනවද?”

නැති ඒවා කියන්නට ගිහින් නිස්කාරණයේ අම්මාගේ හිත ඔද්දල් කරවන්නේ මොහොකටද?
බදුල්ලේ කණුපැලැල්ල- මයිලගස්තැන්නෙත් තෙතමනය වියැළී ගිහින් බොහෝ කල්ය. ඒ හරියේ වතුර පීලි, දිය කඳුරු විතැන් වී- අතුරුදන්ව ගිහිං තිබ්බේ දශක ගණනාවකටත් පෙරාතුවය.
(මං මේවා ලියද්දී, හිතවත් නමියාත්
ඒ ගැන post එකක් ලියලාය!)

ගිය අවුරුද්දේ අම්මා හිටිය විදිහට, දැන් ඉන්න තත්ත්වේ සීයට දෙසීයක්ම හොඳයිනෙ...

“ලොකා... ඔයා කතා කර-කර ඉන්න අතරේම මම අම්මට බත් ටිකක් කවන්නං... අම්මේ, ලොකු අයියත් එක්ක කතා කරන අතරේ අපි බත් ටිකකුත් කමු නේද.”

දැන් අම්මාගේ කෑම රුචිය ගොඩක්ම අඩුය. වතාවකට කන්නෙත් හොඳටම චුට්ටකි. සමහර වෙලාවට ඒ ටික කවන්නටත් ‘දහංගැට දාහක් ගහන්න’ට සිද්ද වෙයි.

අම්මා ඔළුව උස්සා ගාමිණීල අම්මා ඉන්න පැත්තට ඉඟි කරයි.
“ගාමිණීල අම්මට බත් කවලා ඉවරයි. දැන් අම්මගේ turn එක තියෙන්නේ.”
“ලොකු අයියට?”
“අම්මට කවල ඉවර වුණාම ලොකාත් එක්කම අපිත් කනවා. නේද ලොකා... ඔන්න මම අම්මගේ බත් එක බෙදාගෙනත් ආවා...”

“... මේ පතෝලත් තියෙනවා... අම්මලගේ හේනෙත් පතෝල හිටවල තිබුණද?” හේන් වගාව ගැන මෙලෝ   හසරක් නොදන්නා මානෙල් අහයි. “වෙන මොනවද අම්මේ හේනේ හිටෝලා තිබ්බේ?” එහෙම ඇහුවත් දැන් නම් හේනක් ගැන අම්මාට නිනව්වක් නැති පාටය.
“ඔය මොනවද? මට පෝක් එපා...”
“ඌරු මස් නෙවෙයි අම්මේ. මේ චිකන්.”
“කාලා කාලා ඒවත් අප්පිරියයි... මට එපා!”

වදෙන්- පොරෙන් හරි අම්මාට කවා-පොවා අවසන්වී ඇඳෙන් හාන්සි කෙරෙව්වාමය, අපට නිදහසේ කතා කරන්නට ලැබෙන්නේ.

“පේනවනෙ ලොකා. මේ දෙන්නට කවන්න ගියාම තමයි ලොකුම අමාරුව. නොකා හිටියොත් නැඟිට ගන්නවත් පණක් නැති වෙයිනෙ. ගාමිණීල අම්මට ඕනි තේ... අපේ අම්ම නං කූල් ජාති දෙනවට කැමතියි. ඒත් ඒවා අම්මට හොඳ නැහැනේ, දියවැඩියාව නිසා.”

“මට නං මෙහෙමයි හිතෙන්නේ මානෙල්... හරියට නොකා- නොබී- සතුටු නොවී පරෙස්සම් වුණයි කියලත්, මොකක්ද තියෙන සහතිකේ දිග කාලයක් ජීවත් වෙනවයි කියල. කවුද දන්නේ, තව කොච්චර කාලයක් අපට ජීවත් වෙන්න ලැබෙයිද කියලා... ගිය අවුරුද්දේ අම්මා හිටිය විදිහට, දැන් ඉන්න තත්ත්වේ සීයට දෙසීයක්ම හොඳයිනෙ.”
“අම්මගේ වාසනාව තමයි!”
“ඊට වැඩිය ඔයාගේ මහන්සිය මානි. අපි සේරමලා වෙනුවෙන් තමුසෙ කන පරිප්පුවට වෙනම ස්තුති කරන්නයි වෙන්නෙ.”

අනුන්ට හිමි විය යුතු ප්‍රශංසාවක් වුණත් තමන්ටම හිමි කර ගන්නට මාන බලන්නන් වැඩියෙන් ඉන්නා ලෝකයක, ‘ඔබ වැනි සහෝදරියක් සිටීමත් මට නං ලොකු ආඩම්බරයකි- මානෙල්!’ මතකයිද, මං අරහෙම කිව්වාම ඔයා මට දුන්නු උත්තරේ?

“මම විතරක් නෙවෙයි ලොකා. අම්මල දෙන්නගේ වැඩ ටික කර ගන්න හේමමාලියි, නිල්මිණියි දෙන්නත් එයාලගෙ කැමැත්තෙන්ම උදව්වට ඇවිත් ගොඩක් මහන්සි වෙනවනෙ... පොඩි වැඩක් නෙවෙයිනෙ... අපරාදෙ කියන්න බෑ. උදේටයි හවසටයි ගාමිණීල අම්මව හෝදවන්නේ ඒ දෙන්නා. අපේ අම්ම නං වැඩිය කැමති නෑ, මමවත් එයාව හෝදවනවට... ඒත් දැන් දැන් නං ඒ ගතිය ඇරෙන්න පටන් අරං.”

හේමමාලි- නිල්මිණි විතරක් නොවේ, මානෙල්ගේ අසල්වැසියන්ගෙන් වැඩි දෙනෙකු ගැනත් මෙතනදී නොලියා බැරිය. ඔවුහු අම්මලා දෙන්නාගේ රාජකාරිවලට නොආවත් හැකි හැම විටෙකම මොන-මොනවා හරි සාදා ගෙනැවිත් දෙති; දුක සැප විමසති. (පතිරූප දේශයක වාසය කිරීමේ වාසිය ඒකය.) ඔබ හැමටමත් පින්!

මුලින් මුලින් මං හිතුවේ හැකි හැම දවසකම කොට්ටාවේ යන්නටය. ඒ එයින් අම්මා සතුටු වෙන බව තේරුම් ගියාමය.

එහෙම යද්දී බත් මාළු පිනි වෙනුවට වෙන මොනවා හරි කෑමකුත් හදාගෙන ගියෙමි. ඒ මානෙල්ලාටත් සෑහෙන තරමටය. අම්මලා දෙන්නාගේ සුමේ කරද්දී, වෙනිං සුකුරුත්තං ජාති හදන්නට නිදහසක් මානෙල්ට නැත.
“ලොකු මාමේ, ඔයා හදාගෙන එන ජාති නිසා මගේ ඩයටින් වැඩේ තමයි වැරදෙන්නේ...” මානෙල්ගේ දියණිය රෝසි කියයි.
නටන දවස්වල ‘බට ගහක් වගේ’ හිටි ඒ යස්සනී, දැන් තාප්ප මෝලක් වගේය. “මම දැන් රෑට කන එක අත ඇරලයි ඉන්නෙ, ලොකු මාමේ.”

“ඉතින් මොකටද එහෙනං දැන් කන්නේ? නොකා ඉන්නවකො...”
“ඔයා එකේක ජාති හදාගෙන එද්දී, ඒවා දැක දැක නොකා ඉන්න?” එතකොට නං නෙවිලුත්, රෝසිගේ පැත්ත ගනියි.

“මේ බකමූණා නිසා මටත් ඔය වැඩේමයි රෝසි වෙලා තියෙන්නේ. Gym ගිහින් නැහිල- නැහිලා ඇඟ හදා ගන්න හිතනවා. දවසක් ඇර දවසක් මේ යකාව මෙහාට එක්කං ආවම... කාපංකෝ බඩ පැළෙන්න... Doctor පීරිසුත් මට බණිනවා...
පුළුවන් නං මේ ලොකු මාමාව නවත්ත ගන්නවකො මෙහේම...”

“ඔව් ලොකු පුතේ, ඔයත් මෙහෙ ඉන්නකෝ.” එහෙම වෙලාවට අපේ අම්මාත් කතාවට මැදිහත් වෙයි. දැන් අම්මා මට කියන්නේ ලොකු පුතා කියලාය. ‘රංජි’ නම අමතක වෙලාම ගිහිංද?

කොහොම වෙතත් දැන් නම් මං කොට්ටාවේ යන්නේ ‘මානෙල්ගේ පැත්ත’ ගැන හිතමිනි.
“ඔව් හලෝ! ඒ ගෑනි තව කොච්චර කාලයක් ඔහොම මහන්සි වෙන්නද?” නෙවිලුත් මගේ මතයට එකඟය. උදේ සිට අම්මල දෙන්නාත් එක්ක හැප්පෙන මානෙල්, ඒ විස්තර කියා හිත නිදහස් කර ගන්නේ අප එහාට ගියාමය.
ඒ මදිවාට රෝසිගේ සිඟිති දියණිය හිමන්‍යාත් අප එනතුරු මඟ බලා හිඳියි. ඒ අප හා හුරතල් වෙන්නටය; සෙල්ලම් කරන්නටය. (ඉහත කෙටි වීඩියෝවේ ඉන්නේ හිමාය. ඒක කපලා දුන්නට ස්තුතියි නමී.)

එයාලට සැනසීමක් වෙමින්- ඔය උවන්දිරම් සේරටම කන් දීගෙන ඉන්නා මං වහන්සේ ආපහු එන්නේ බර වුණු හිතකින් යුතුවය. ඒ බරෙන් නිදහස් වෙන්නටය; භාව විරේචනයක් කරගන්නටය, මේ විස්තර- පට්ටන්දර හිතාදර පාඨක ඔබ සැමට ලියන්නේ.

අම්මා අවුරුද්දකට දෙතුන් වතාවක් ලංකාවට ආවත්, ඒ හැම සැරේකම සංචාරයකත් යැවුණේ... (2019 වස්ගමුවේ ගිය විටෙක...)

ඔය විදිහේ තත්ත්වයක් තියෙද්දීය, සමන්ති දෙසතියක නිවාඩුවක් ලබාගෙන ලංකාවට ආවේ. ඒ අප එක්ක පාද යාත්‍රාවේ යන්නටය.

“දැන් කොහොමද ලොකූ ගමන යන්න තියෙන්නේ?” Sam ඉවසිලි නැතිව විස්තර ඇසුවාය. නෙවිලුත් මාත් දෙන්නාම රස කරමින් ඒ විස්තර කියන්නට ගත්තේ එතකොටය. අපට තරු පෙනුණේ ඒ කිට්ටුවෙන්ම  වාඩිවී සිටි අපේ අම්මා අපේ කතාවට බාධා කළාමය.
“දැන් කවදද ලොකු
පුතේ ඔය ගමන යන්නෙ?”
“මේ දොළොස් වෙනිදටනේ අම්මේ...”

අම්මා එහෙම ඇහුවේ ඇයිදැයි අපට තේරුම් ගියේ, ඊළඟට අම්මා කතා කළාමය. “මාත් ලැහැස්ති වෙන්න ඕනිනෙ එහෙනං.”

ඒ වෙලාවේ අපේ ගැලවිල්ලට ඉදිරියට ආවේ කුස්සියේ හිටි මානෙල්ය. “අම්මට නෙවෙයි අම්මේ, අපිටවත් ඒ ගමන යන්න අමාරුයිලු. පයින්... බඩුමුට්ටුත් උස්සගෙන... දවස් පහක්...”
“Don’t worry! I can...”

මගේ පපුව කඩාගෙන වැටුණේ එතකොටය.
අපේ අම්මාත් ගමන් යන්නට කැමතිය.

අවුරුදු කීපයකට කලින් නම් ‘ලංකාවට එන්නට දින යොදාගත් ගමන්ම’ අම්මා ඒවා මට දැනුම් දෙයි. “මේ සැරේ කොහෙද රංජි අපි යන්නෙ? කවුරු කවුරුද trip එක යන්න එන්නේ?” කියලාත් අහයි. මට තියෙන්නේ වැඩේ plan කරන එකය.
එහෙම සැලසුම් කෙරෙන්නේ අම්මාට ලංකාවේ ඉන්නට හැක්කේ මාසයක් විතරක් නිසාය. (විදේශිකයෙකුට වීසා ලැබෙන්නේ මසකට පමණි. ඊට වඩා කලක් මෙරට සිටිනවා නම් අමතරව මුදල් ගෙවා වීසා දිගු කරවා ගන්නට වෙයි. අම්මා එහෙම කරන්නටත් ලෝබය!)

එහෙම මසුරුකමක් තිබ්බත් “ඔන්න රංජි, trip එක යන වාහනේට සල්ලි මගෙන්. අපේ පවුලේ අයගේ කෑම-බීම වියදමත් මගෙන්...” යැයි කියන්නට තරම් ‘ලෝස්’ නැතිකමකුත් අම්මාට තිබිණි.

ඉතිං අම්මා අවුරුද්දකට දෙතුන් වතාවක් ලංකාවට ආවත්, ඒ හැම සැරේකම ‘සංචාරය’කත් යැවුණේ එහෙමය!

“මොකද කරන්නේ ලොකූ...” සමන්ති අහන්නේ රහස් කෙඳිරිලි හඬකිනි.
මං උත්තර දෙන්නෙත් එහෙමමය. “හෙට උදේ වෙද්දී අම්මට මේ කතාව අමතක වෙලා යයි.” මං හිතුවෙත් එහෙම වෙතැයි කියලාය. ඒත් එහෙම වුණේ නැත.

පසුවදා පාන්දරින්ම සෑම් ටෙලිෆෝනයෙන් කිව්වේ ඒ විත්තියයි.
“It’s amazing ලොකූ. අම්මා asked about පාද යාත්‍රා. She hasn’t forgotten. එයාත් එන්නයි හදන්නේ... ඔයාට තමයි බේරෙන්න බැරි වෙන්නේ...”

ගම කන වැඩකි වෙන්නට යන්නේ...

ඉතිං ඊට පස්සේ...à