li Item

Tuesday, July 25, 2023

මවුනි, මා ඔබ රැවටුවා නොවේ! -පළමුවෙනි කොටස

ගොඩාරියක් ස්තුතියි ‘සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක විජයතුංග’ හෙවත් ‘බණ්ඩාර කේ. විජයතුංග’ හෙවත් ‘බණ්ඩාර විජයතුංග’යාණෙනි!

‘යුක්තිය රජයන ලොවකට මා රැගෙන යන්න උතුමාණෙනි.’
‘හද බැඳි විකසිත ආදරයේ තේමා ගීතය.’
‘ළඳුනි මට සමාවන්න. මා ඔබට ද්‍රෝහී වූවා නොවේ, පියෙකු නැති දරුවකුට පියෙකු වූවා පමණි.’

ළඳුනි මට සමාවන්න. මා ඔබට ද්‍රෝහී වූවා නොවේ, පියෙකු නැති දරුවකුට පියෙකු වූවා පමණි!

ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් එදා ඇසුණු, එවන් චිත්‍රපට තේමා පාඨයන් රාශියක් රචනා කළේ ඔබය; ගම්භීර- පුරුෂමය කටහඬින් ඒවා උච්චාරණය කළෙත් ඔබය. ඔබේ ඒ අභිමානවත් රන් ස්වරය මට නම් තවමත් ඇසෙනවා ඇසෙනවා සේය... (ඒ නිසාවෙන්මය ‘නිදිගෙ පංච තන්තරේ’ට 2018 මැයි මාසයේදී මා ලියූ ‘මගේ දෛවය මගේ රිස්සට...’ post එකේදීත් ඔබතුමන් ගැන සඳහනක් කළේ.)

අවුරුදු 51ක් වැනි කෙටි ජීවිත කාලයක් ගෙවා, 1990 ජනවාරි 3 වෙනිදා වියෝ වුණු ඔබ- අපේ සිත්වල නම් තවමත් අමරණීයය.

එබැවින්මය, අපේ අම්මා ගැන ලියවෙන මේ පෝස්ටුවට ගැළපෙන මාතෘකාවක් ගැන හිතද්දී, ඔබේ නිර්මාණයක් මගේ මතකයට ආවේ; මා ඔබෙන් ආභාෂයක් ලැබුවේ!

ඉතිං... අපේ අම්මා හොඳටම ගිලන් වෙලා දැන් අවුරුද්දකට කිට්ටුය. මාරයාගේ කටටම ගිහිංය ආපහු ආවේ. අම්මගේ බඩවැලේ පිළිකාවක්!

අපේ පවුලේ අයගෙන් ඉස්සෙල්ලම පිළිකාවක් හැදුණේ සමන්ති නංගිට.
Sam ඒකට සාර්ථකව මුහුණ දුන්නා. අපේ තාත්තගේ අම්මා;
දසනායක රත්නවතී හෙවත් මහරගම ආච්චී වගෙමයි- සමන්තිත් යකඩ අම්මණ්ඩියෙක්. අවුරුදු විසිපහකටත් වැඩි කාලයක් සෑම් London මැරතන් එකත් දුවනවා.
ඔව්! එයා මේ වතාවේ අපි එක්ක
පාද යාත්‍රාවෙ යන්නත්  ලංකාවට ආවා.

Samට පස්සේ අපෙන් පිළිකාවට ගොදුරු වුණේ මං. ඊට පස්සේ අනිල් මල්ලී. එතකොටයි සමන්ති නංගී ගැන විශේෂ පරීක්ෂණ වගයක් එංගලන්තෙදී කෙරුණේ.
එතෙන්දි හෙළි වුණා, අපේ අම්මගේ පැත්තෙන් පිළිකාමය ජාන අපට උරුම වෙනවයි කියලා; විශේෂයෙන් කාන්තාවන්ට.

ඒ කතාවේ ඇත්ත නැත්ත කොහොම වෙතත්, ලෝකෙම පිළිකාව පැතිරෙනවා වැඩියි වෙන්නැති. අපේ ලොකු මල්ලිගේ බිරිය; මල්ලිකාත්, සමන්ති නංගිගේ සැමියා බිමලුත්, අනිල් මල්ලීත් කියන තුන්දෙනාම අකාලයේ මරු වසඟ වුණේ පිළිකා හේතුවෙන්.

මං ලියන අපේ පවුලේ කතන්දර දිගටෝම කියවන; කියවලා ඒවාට ප්‍රතිචාර දක්වන එක්කෙනෙක් තමයි බස්සා. එයාත් blog රචකයෙක්. බස්සාගේ අඩවිය ලියන්නේ එතුමා.

මේ ළඟදීත් බස්සා මහත්තයා කීප විඩයක්ම සඳහන් කරල තිබ්බා ‘නිදිගෙ වංගු ගැනිල්ල හෙවත් හතර වටේ පඳුරු තැලීම’ පිළිබඳව.
අලුත්ම තොරතුරුයි, පරණ විස්තරයි දෙකම ලියාගෙන යද්දී ‘ඒ වංගු ගැනිලි’ ගැනත් මගේ සිහියට ආවා තමයි- නිකම්ම. ඒත් පුරුද්ද අතාරින්නයැ- පුරුදු විදිහටම ‘නිදිගෙ පංච තන්තරේ’ දිගටම ලියාගෙන යනවා... කමක් නැහැනේ?

“අම්මව ලංකාවට එක්කගෙන එන්න පුළුවනි නං, මම අම්මව බලා ගන්නං.” අපේ මානෙල් නංගී කිව්වා. එතකොටත් එයා නැන්දම්මව රැක බලා ගැනීමේ වගකීමත් කරට අරගෙනයි හිටියේ.

මව්වත් අම්මලා තමන්ගේ දරුවන්ට වගේම අනෙක් දරුවන්ටත් සෙනෙහෙබරයි.

ඒ නැන්දම්මා; ගාමිණීලගේ අම්මා වියපත් වෙලා- පරඬලක් වගේ වෙලා ඉන්නවා මිස ලෙඩක් නෑ. එයා සිව්දරු මවක්; පුත්තුම හතර දෙනයි. (අනිත් ලේලිලා තුන් දෙනාම කැමති වුණේ නෑ, නැන්දම්මාගේ බරට කර ගහන්න.)

‘මානෙල් එළදෙන’ කැමැත්තෙන්ම ඒ උරචක්‍රමාලෙට කර ගැහුවා කියලත් සමහරුන් කිව්වලු!

මට නම් ඒක පෙනෙන්නේ මානෙල්ගේ ගොන්කමක් විදිහට නෙවෙයි; මව්වත්කම විදිහටයි.
(මගේ අවංක හැඟීම ‘අපේ අම්මා නං ඒ තරං
මව්වත් කෙනෙක් නෙවෙයි’ කියන එක. අම්මගේ ඒ දුර්ගුණය අම්මගෙන් එයාලගෙ දූලා එක්කෙනෙකුටවත් ඇවිත් නෑ, වාසනාවට වගේ.)
මානි නැන්දම්මටත් කරුණාවයි, අපේ අම්මට වගේම! මව්වත් අම්මලා තමන්ගේ දරුවන්ට වගේම අනෙක් දරුවන්ටත් සෙනෙහෙබරයි නෙව.

අනේ හැබෑටම, මේ ලියන මට බැරි හැටි අච්චර ගුණ-යහපත්කම් ඇති කර ගන්න...

අනෙක... අපේ අම්මා ගාමිණීලගෙ අම්මා වගේ නෙවෙයිනෙ; දූලා- පුතාලා දහ දෙනෙකු බිහි කළ කෙනෙක්. අම්මටත් දැන් වයසයි තමා. 85 ඉවරයි. තියෙන්නෙත් එක ලෙඩක් නෙවෙයි- ලෙඩ ගොඩක්.

‘අම්මට තනියම ලංකාවට එන්න තරම් ශක්තියක් නං කොහෙත්ම නෑ. / දොස්තරලා අනුමත කළොතින් නම්, දීපාල් හරි සමන්ති හරි ලෑස්තියි අම්මව ලංකාවට එක්කං එන්න. / අම්මත් ආසාවෙන් ඉන්නෙ තව සැරයක් හරි ලංකාවට ඇවිත් යන්න. / අම්මටත් දැන් ඩිමෙන්ෂියාව වුණත් ලංකාව ගැන මතකයි.’ විඩෙන්-විඩේ එංගලන්තේ අයගෙන් කියැවුණේ එහෙම අදහස්.

මේ වතාවෙත් පුරුදු විදිහටම ‘සූරිය දිව්‍ය රාජයා’ මීන රාශියේ ඉඳලා මේෂ රාශියට වැඩම කළා, අප්‍රේල් මාසේ. ඒ එක්කම වාගේ ‘හිරු නොබසින අධිරාජ්‍යය’යෙන් අපට අලුත්ම පණිවිඩයක් ලැබුණා.

“ලොකූ, අම්මව ලංකාවට එක්ක එන්න ඩොක්ටර්ස්ලා approval එක දුන්නා.” ඒත් එක්කම කියැවුණේ, අපේ අම්මාට තවත් ජීවත් වීමට ඉතිරිව තිබෙන්නේ මාස කිහිපයක කාලයක් පමණක් බවයි. “ඒ ටික කාලෙට වුණත් අම්මව තනියෙන් තියන්න බැහැනේ ලොකූ. මම අම්මත් එක්ක අප්‍රේල් 29 ලංකාවට එනවා. Tickets බුක් කරලත් ඉවරයි.”

ඉතිං ඒ දෙන්නා; අම්මා හා දීපාල් ලංකාවට සපැමිණියාහ!

“මම මේ කොහෙද ඉන්නෙ?” අප්‍රේල් තිස් වෙනිදා පාන්දර පිබිදුණු විගස අපේ අම්මා බඩා මල්ලාගෙන් විමසා තිබුණේ එහෙමය.
“ඇයි අම්මේ, අම්මට මතක නැද්ද- අපි ඊයේ ලංකාවට ආවනේ... මේ මානෙල් අක්කලාගේ ගෙදර.” දීපාල් අම්මාට කියා තිබිණි.

ගමේ අය කිව්වේ මං සාවිත්‍රී වගේ ලස්සනයි කියලනෙ... සෝමා නංගිත් හරි ලස්සනයි ඒ කාලේ... (අම්මා වඩාගෙන සිටින්නේ මේ ලියන්නාවය.)

“මම අම්මට එහෙම කියලා හැරෙනකොටම ලොකා, මෙන්න අම්මා අජිත් අයියට කතා කරනවා.” (අම්මා තදබල ලෙස රෝගීව සිටිද්දී, අම්මාගේ තනියට එංගලන්තයේ ගෙදර හිටියේ අජිත් මල්ලීය.)

“ඩිමෙන්ෂියාවේ හැටිලු මල්ලා ඒ. ළඟ ළඟ සිද්ද වෙන දේවල් මතක නැති වෙලා යනවා. පරණ දේවල්වල මාතකය නම් ලේසියෙන් සිහියට එනවා.” මම කීවෙමි.
ඒ තත්ත්වය නිසාමදෝ, මා එහි යනවාට අම්මා වඩාත් කැමැත්තක් දක්වනවා යැයි මට සිතේ. එහෙම වෙනවා ඇත්තේ අපේ පවුලේ පැරණිම විස්තර හොඳින් මතක් කරන්නට හැකියාව ඇත්තා’ මං වහන්සේ වන බැවින් විය යුතුය.

හොඳ සිහියෙන් හිඳින අයත් වඩා සතුටු වන්නේ අතීතය සමරන විටලු! ඒක එහෙම නම් ඩිමෙන්ෂියා රෝගීනුත් වඩා සතුටින් සිටින්නේ අතීත මතකයන් ඇසුරේදී විය හැකිය.

“අම්මට මතකයිද මයිලගස්තැන්නේ හිටිය කාලේ... සුජාතාවට ඉස්කෝලේ යන දවස්... ” මම අසමි. අම්මාගේ මුවගට හීනි හිනාවක් නැඟෙයි. “... අර කොළඹින් රේල්ලුවේ රස්සාවට ගිය දික් කලිසම්කාරයා යාළු වෙච්ච කෙල්ල කාලේ...
මානි- ඔයා දන්නවද, අම්මයි සෝමා පුංචියි තමා ඒ ගමෙන් දිග කලිසම් අඳින දෙන්නෙක්ව ඉස්සෙල්ලම කසාද බැඳල තියෙන්නේ.” දැන් අම්මගේ හිනාව වඩාත් පුළුල් එකකි.

“එතකොට ගමේ අය කිව්වේ මං සාවිත්‍රී වගේ ලස්සනයි කියලනෙ... සෝමා නංගිත් හරි ලස්සනයි ඒ කාලේ.” අම්මාත් මගේ කතාවට අලගු තියයි.

අනිච්චේ... දුක්ඛේ... සංසාරේ!
අද එහෙව් මනුස්සයාගේ රූපය දිරා ගොසිනි- ප්‍රාණවත් භාවය ගිලිහී ගොසිනි. ‘වය ධම්මා සංඛාරා’ කියන්නේ මේකද?

“අම්මා ලොකයියත් එක්ක ඕනි තරං වෙලාවක් පරණ කතන්දර නං කතා කර-කර ඉඳියි. අපි ඉතිං ඔව්වා කියන්න දන්න එකක්ය?”
“ඒකට කමක් නෑ ලොකු මාමේ... අපිටත් දැනගන්න පුළුවන්නෙ... ඔයා තව මොනවා හරි අහන්නකො  නැනාගෙන්...” මානෙල්ගේ දියණිය; රෝසි මට උඩගෙඩි දෙන්නේ- පවුලේ පුරාණයන්ට කන් දෙන්නට ඇති කැමැත්ත නිසාමය.

“කොහොමද අම්මේ අම්මලාගේ ගෙවල් පේළිය පිටිපස්සේ තිබ්බ වතුර පීල්ල... විසි හතර පැයේම වතුර වැක්කෙරී-කෙරී තිබ්බේ.”
“අර පුවක් පටි පීල්ල දිගේ... නේද රංජි...”
“ඔය මතක් වෙන්නේ. ඊට එහායින් හීතලම හීතල වතුර ගල-ගලා තිබ්බ කඳුර...”
“ඒක දිගේ තවම වතුර ගලනවද?”

නැති ඒවා කියන්නට ගිහින් නිස්කාරණයේ අම්මාගේ හිත ඔද්දල් කරවන්නේ මොහොකටද?
බදුල්ලේ කණුපැලැල්ල- මයිලගස්තැන්නෙත් තෙතමනය වියැළී ගිහින් බොහෝ කල්ය. ඒ හරියේ වතුර පීලි, දිය කඳුරු විතැන් වී- අතුරුදන්ව ගිහිං තිබ්බේ දශක ගණනාවකටත් පෙරාතුවය.
(මං මේවා ලියද්දී, හිතවත් නමියාත්
ඒ ගැන post එකක් ලියලාය!)

ගිය අවුරුද්දේ අම්මා හිටිය විදිහට, දැන් ඉන්න තත්ත්වේ සීයට දෙසීයක්ම හොඳයිනෙ...

“ලොකා... ඔයා කතා කර-කර ඉන්න අතරේම මම අම්මට බත් ටිකක් කවන්නං... අම්මේ, ලොකු අයියත් එක්ක කතා කරන අතරේ අපි බත් ටිකකුත් කමු නේද.”

දැන් අම්මාගේ කෑම රුචිය ගොඩක්ම අඩුය. වතාවකට කන්නෙත් හොඳටම චුට්ටකි. සමහර වෙලාවට ඒ ටික කවන්නටත් ‘දහංගැට දාහක් ගහන්න’ට සිද්ද වෙයි.

අම්මා ඔළුව උස්සා ගාමිණීල අම්මා ඉන්න පැත්තට ඉඟි කරයි.
“ගාමිණීල අම්මට බත් කවලා ඉවරයි. දැන් අම්මගේ turn එක තියෙන්නේ.”
“ලොකු අයියට?”
“අම්මට කවල ඉවර වුණාම ලොකාත් එක්කම අපිත් කනවා. නේද ලොකා... ඔන්න මම අම්මගේ බත් එක බෙදාගෙනත් ආවා...”

“... මේ පතෝලත් තියෙනවා... අම්මලගේ හේනෙත් පතෝල හිටවල තිබුණද?” හේන් වගාව ගැන මෙලෝ   හසරක් නොදන්නා මානෙල් අහයි. “වෙන මොනවද අම්මේ හේනේ හිටෝලා තිබ්බේ?” එහෙම ඇහුවත් දැන් නම් හේනක් ගැන අම්මාට නිනව්වක් නැති පාටය.
“ඔය මොනවද? මට පෝක් එපා...”
“ඌරු මස් නෙවෙයි අම්මේ. මේ චිකන්.”
“කාලා කාලා ඒවත් අප්පිරියයි... මට එපා!”

වදෙන්- පොරෙන් හරි අම්මාට කවා-පොවා අවසන්වී ඇඳෙන් හාන්සි කෙරෙව්වාමය, අපට නිදහසේ කතා කරන්නට ලැබෙන්නේ.

“පේනවනෙ ලොකා. මේ දෙන්නට කවන්න ගියාම තමයි ලොකුම අමාරුව. නොකා හිටියොත් නැඟිට ගන්නවත් පණක් නැති වෙයිනෙ. ගාමිණීල අම්මට ඕනි තේ... අපේ අම්ම නං කූල් ජාති දෙනවට කැමතියි. ඒත් ඒවා අම්මට හොඳ නැහැනේ, දියවැඩියාව නිසා.”

“මට නං මෙහෙමයි හිතෙන්නේ මානෙල්... හරියට නොකා- නොබී- සතුටු නොවී පරෙස්සම් වුණයි කියලත්, මොකක්ද තියෙන සහතිකේ දිග කාලයක් ජීවත් වෙනවයි කියල. කවුද දන්නේ, තව කොච්චර කාලයක් අපට ජීවත් වෙන්න ලැබෙයිද කියලා... ගිය අවුරුද්දේ අම්මා හිටිය විදිහට, දැන් ඉන්න තත්ත්වේ සීයට දෙසීයක්ම හොඳයිනෙ.”
“අම්මගේ වාසනාව තමයි!”
“ඊට වැඩිය ඔයාගේ මහන්සිය මානි. අපි සේරමලා වෙනුවෙන් තමුසෙ කන පරිප්පුවට වෙනම ස්තුති කරන්නයි වෙන්නෙ.”

අනුන්ට හිමි විය යුතු ප්‍රශංසාවක් වුණත් තමන්ටම හිමි කර ගන්නට මාන බලන්නන් වැඩියෙන් ඉන්නා ලෝකයක, ‘ඔබ වැනි සහෝදරියක් සිටීමත් මට නං ලොකු ආඩම්බරයකි- මානෙල්!’ මතකයිද, මං අරහෙම කිව්වාම ඔයා මට දුන්නු උත්තරේ?

“මම විතරක් නෙවෙයි ලොකා. අම්මල දෙන්නගේ වැඩ ටික කර ගන්න හේමමාලියි, නිල්මිණියි දෙන්නත් එයාලගෙ කැමැත්තෙන්ම උදව්වට ඇවිත් ගොඩක් මහන්සි වෙනවනෙ... පොඩි වැඩක් නෙවෙයිනෙ... අපරාදෙ කියන්න බෑ. උදේටයි හවසටයි ගාමිණීල අම්මව හෝදවන්නේ ඒ දෙන්නා. අපේ අම්ම නං වැඩිය කැමති නෑ, මමවත් එයාව හෝදවනවට... ඒත් දැන් දැන් නං ඒ ගතිය ඇරෙන්න පටන් අරං.”

හේමමාලි- නිල්මිණි විතරක් නොවේ, මානෙල්ගේ අසල්වැසියන්ගෙන් වැඩි දෙනෙකු ගැනත් මෙතනදී නොලියා බැරිය. ඔවුහු අම්මලා දෙන්නාගේ රාජකාරිවලට නොආවත් හැකි හැම විටෙකම මොන-මොනවා හරි සාදා ගෙනැවිත් දෙති; දුක සැප විමසති. (පතිරූප දේශයක වාසය කිරීමේ වාසිය ඒකය.) ඔබ හැමටමත් පින්!

මුලින් මුලින් මං හිතුවේ හැකි හැම දවසකම කොට්ටාවේ යන්නටය. ඒ එයින් අම්මා සතුටු වෙන බව තේරුම් ගියාමය.

එහෙම යද්දී බත් මාළු පිනි වෙනුවට වෙන මොනවා හරි කෑමකුත් හදාගෙන ගියෙමි. ඒ මානෙල්ලාටත් සෑහෙන තරමටය. අම්මලා දෙන්නාගේ සුමේ කරද්දී, වෙනිං සුකුරුත්තං ජාති හදන්නට නිදහසක් මානෙල්ට නැත.
“ලොකු මාමේ, ඔයා හදාගෙන එන ජාති නිසා මගේ ඩයටින් වැඩේ තමයි වැරදෙන්නේ...” මානෙල්ගේ දියණිය රෝසි කියයි.
නටන දවස්වල ‘බට ගහක් වගේ’ හිටි ඒ යස්සනී, දැන් තාප්ප මෝලක් වගේය. “මම දැන් රෑට කන එක අත ඇරලයි ඉන්නෙ, ලොකු මාමේ.”

“ඉතින් මොකටද එහෙනං දැන් කන්නේ? නොකා ඉන්නවකො...”
“ඔයා එකේක ජාති හදාගෙන එද්දී, ඒවා දැක දැක නොකා ඉන්න?” එතකොට නං නෙවිලුත්, රෝසිගේ පැත්ත ගනියි.

“මේ බකමූණා නිසා මටත් ඔය වැඩේමයි රෝසි වෙලා තියෙන්නේ. Gym ගිහින් නැහිල- නැහිලා ඇඟ හදා ගන්න හිතනවා. දවසක් ඇර දවසක් මේ යකාව මෙහාට එක්කං ආවම... කාපංකෝ බඩ පැළෙන්න... Doctor පීරිසුත් මට බණිනවා...
පුළුවන් නං මේ ලොකු මාමාව නවත්ත ගන්නවකො මෙහේම...”

“ඔව් ලොකු පුතේ, ඔයත් මෙහෙ ඉන්නකෝ.” එහෙම වෙලාවට අපේ අම්මාත් කතාවට මැදිහත් වෙයි. දැන් අම්මා මට කියන්නේ ලොකු පුතා කියලාය. ‘රංජි’ නම අමතක වෙලාම ගිහිංද?

කොහොම වෙතත් දැන් නම් මං කොට්ටාවේ යන්නේ ‘මානෙල්ගේ පැත්ත’ ගැන හිතමිනි.
“ඔව් හලෝ! ඒ ගෑනි තව කොච්චර කාලයක් ඔහොම මහන්සි වෙන්නද?” නෙවිලුත් මගේ මතයට එකඟය. උදේ සිට අම්මල දෙන්නාත් එක්ක හැප්පෙන මානෙල්, ඒ විස්තර කියා හිත නිදහස් කර ගන්නේ අප එහාට ගියාමය.
ඒ මදිවාට රෝසිගේ සිඟිති දියණිය හිමන්‍යාත් අප එනතුරු මඟ බලා හිඳියි. ඒ අප හා හුරතල් වෙන්නටය; සෙල්ලම් කරන්නටය. (ඉහත කෙටි වීඩියෝවේ ඉන්නේ හිමාය. ඒක කපලා දුන්නට ස්තුතියි නමී.)

එයාලට සැනසීමක් වෙමින්- ඔය උවන්දිරම් සේරටම කන් දීගෙන ඉන්නා මං වහන්සේ ආපහු එන්නේ බර වුණු හිතකින් යුතුවය. ඒ බරෙන් නිදහස් වෙන්නටය; භාව විරේචනයක් කරගන්නටය, මේ විස්තර- පට්ටන්දර හිතාදර පාඨක ඔබ සැමට ලියන්නේ.

අම්මා අවුරුද්දකට දෙතුන් වතාවක් ලංකාවට ආවත්, ඒ හැම සැරේකම සංචාරයකත් යැවුණේ... (2019 වස්ගමුවේ ගිය විටෙක...)

ඔය විදිහේ තත්ත්වයක් තියෙද්දීය, සමන්ති දෙසතියක නිවාඩුවක් ලබාගෙන ලංකාවට ආවේ. ඒ අප එක්ක පාද යාත්‍රාවේ යන්නටය.

“දැන් කොහොමද ලොකූ ගමන යන්න තියෙන්නේ?” Sam ඉවසිලි නැතිව විස්තර ඇසුවාය. නෙවිලුත් මාත් දෙන්නාම රස කරමින් ඒ විස්තර කියන්නට ගත්තේ එතකොටය. අපට තරු පෙනුණේ ඒ කිට්ටුවෙන්ම  වාඩිවී සිටි අපේ අම්මා අපේ කතාවට බාධා කළාමය.
“දැන් කවදද ලොකු
පුතේ ඔය ගමන යන්නෙ?”
“මේ දොළොස් වෙනිදටනේ අම්මේ...”

අම්මා එහෙම ඇහුවේ ඇයිදැයි අපට තේරුම් ගියේ, ඊළඟට අම්මා කතා කළාමය. “මාත් ලැහැස්ති වෙන්න ඕනිනෙ එහෙනං.”

ඒ වෙලාවේ අපේ ගැලවිල්ලට ඉදිරියට ආවේ කුස්සියේ හිටි මානෙල්ය. “අම්මට නෙවෙයි අම්මේ, අපිටවත් ඒ ගමන යන්න අමාරුයිලු. පයින්... බඩුමුට්ටුත් උස්සගෙන... දවස් පහක්...”
“Don’t worry! I can...”

මගේ පපුව කඩාගෙන වැටුණේ එතකොටය.
අපේ අම්මාත් ගමන් යන්නට කැමතිය.

අවුරුදු කීපයකට කලින් නම් ‘ලංකාවට එන්නට දින යොදාගත් ගමන්ම’ අම්මා ඒවා මට දැනුම් දෙයි. “මේ සැරේ කොහෙද රංජි අපි යන්නෙ? කවුරු කවුරුද trip එක යන්න එන්නේ?” කියලාත් අහයි. මට තියෙන්නේ වැඩේ plan කරන එකය.
එහෙම සැලසුම් කෙරෙන්නේ අම්මාට ලංකාවේ ඉන්නට හැක්කේ මාසයක් විතරක් නිසාය. (විදේශිකයෙකුට වීසා ලැබෙන්නේ මසකට පමණි. ඊට වඩා කලක් මෙරට සිටිනවා නම් අමතරව මුදල් ගෙවා වීසා දිගු කරවා ගන්නට වෙයි. අම්මා එහෙම කරන්නටත් ලෝබය!)

එහෙම මසුරුකමක් තිබ්බත් “ඔන්න රංජි, trip එක යන වාහනේට සල්ලි මගෙන්. අපේ පවුලේ අයගේ කෑම-බීම වියදමත් මගෙන්...” යැයි කියන්නට තරම් ‘ලෝස්’ නැතිකමකුත් අම්මාට තිබිණි.

ඉතිං අම්මා අවුරුද්දකට දෙතුන් වතාවක් ලංකාවට ආවත්, ඒ හැම සැරේකම ‘සංචාරය’කත් යැවුණේ එහෙමය!

“මොකද කරන්නේ ලොකූ...” සමන්ති අහන්නේ රහස් කෙඳිරිලි හඬකිනි.
මං උත්තර දෙන්නෙත් එහෙමමය. “හෙට උදේ වෙද්දී අම්මට මේ කතාව අමතක වෙලා යයි.” මං හිතුවෙත් එහෙම වෙතැයි කියලාය. ඒත් එහෙම වුණේ නැත.

පසුවදා පාන්දරින්ම සෑම් ටෙලිෆෝනයෙන් කිව්වේ ඒ විත්තියයි.
“It’s amazing ලොකූ. අම්මා asked about පාද යාත්‍රා. She hasn’t forgotten. එයාත් එන්නයි හදන්නේ... ඔයාට තමයි බේරෙන්න බැරි වෙන්නේ...”

ගම කන වැඩකි වෙන්නට යන්නේ...

ඉතිං ඊට පස්සේ...à

33 comments:

  1. බණ්ඩාර කේ. විජේතුංග ගැන මතක් කරපු එක වටිනවා. පියවිය නොහැකි පාඩුවක් තමයි අකල් මරණයෙන් සිදු උනේ. කියවලා ඉවර වෙන කොට නං මගේ හිතත් බර උනා.

    ReplyDelete
    Replies
    1. Litseeker, බණ්ඩාර කේ විජේතුංග මහතා හිටියේ මහරගම පමුණුවේ, වනාත පාරේ. ඒ වගේ දක්ෂයෙක් සිටි ඉසවවක වැසියෙක් වීමත්

      Delete
  2. මංතුමාත් සහභාගි වුනු 2019 වස්ගමු ගමනේදි දැකපු අම්මා කොතරම් වෙනස්වෙලාද කියලා තේරුණේ මානෙල් අක්කා එක්ක ඉන්න පොටෝව දැක්කාමයි. ඈට දීර්ඝායුෂ පතනවා.
    ඩිමෙන්ෂියාව තරුණ යටත් බෝවෙනවාලු.. (වස්ගමු ගිය මාව රෝසිට මතකයේ නෑ කිව්වා )

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අසංග. අම්මා දැන් තවත් දුර්වලයි. පන්සල් ගීය ෆොටෝ එක ගත්තේ මාස දෙකකට විතර කලින්.
      රෝසිව ඕයාට හම්බ වුණේ නෙවිල්ල අම්මගෙ මරණ ගෙදරදී නේද?

      Delete
    2. කොම්පියුටරේ ලෙඩ දෙනවා!

      Delete
  3. සංසාරේ හැටි තමයි, හිටපු ගමන් යන්න වෙන්නේ නෑ හැමෝටම.
    නිදි ගේ නංගීට ගොඩක් පින් ලැබේවි, ඔය ජොබ් එක ලේසි නෑ, නංගීට විෂාදය එන්න පුළුවන් එයා ගැන බලන්න (හිත හයිය නම් බය වෙන්න දෙයක් නැ)
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔව් විජේබාහු මහත්තයෝ, සසරේ හැටි මේ දවස්වල හොඳට අත්දකිනවා.
      මම නම් මේ දිනවල වඩාත් සැලකිලිමත් වෙන්නේ මානෙල් ගැනයි. එහෙට ගිහින් හිටිද්දී දකින්නට ලැබෙන දේවලින් මට නං පිස්සූ හැදෙනවා. පෙළක් වෙලාවට ඒ තරමටම අවුල්. එක දෙකක් ලියන්නන්කෝ නිකමට. පස්සේ මතක් කරද්දී දුක වගේම සතුටත් දැනෙන නිසා.

      Delete
  4. ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියා ප්‍රර්ථනා කරමි...

    ReplyDelete
  5. මටත් ඩිමෙන්ෂියා තියනවද කියලා හිතමින් ඉන්නෙ. ටෙස්ට් එකකකුත් නෑනෙ හරියටම? හොයල බලන්න ඕනෙ (මතක් වුනොත්)

    ReplyDelete
    Replies
    1. ඒක ඩිමෙන්ෂියා නෙමෙයි, සිලෙක්ටිව් මෙමෙරි ලොස්

      Delete
    2. අපි පැටලෙයි එහෙනං, ඔය මහත්තුරුන්ගේ පරණ හුටපටවලට!

      Delete
  6. ලිපිය කියවන කොට එක, එක හැඟීම් හිතට ආවා.

    බණ්ඩාර කේ විජේතුංග. හ්ම් සම්පූර්ණ නම් දැනගත්තෙ අද. එහෙමත් ගැඹුරු කටහඞක්? නිදිගෙ අම්මා බොහෝ පැති වලින් වාසනාවන්තයි. ඒ වගේම ඈ යකඩ ගැහැණියක්. සමහරවිට ඒක වාසනාවට වඩා ඇගේ උත්සාහය වෙන්නත් ඇති. මම නං මේ පිංතූර වලින් දැක්කේ, සිරියාවන්ත මාතාවක්.

    ඩිමෙන්ෂියාවට බය, හිතුනෙ දරු මුණුපුරෝ පිරිවරාගෙන, වෙසක් කූඩුව වගේ ඉන්න නිදිලෑ අම්ම ගැන නග් නෙමෙයි............

    ReplyDelete
    Replies
    1. බස්සා මහත්තයෝ,
      බණ්ඩාර විජයතුංග මහතා ගැන පිටු 98ක පුංචි පොතක් ගොඩගේ එකෙන් ප්‍රකාශයට පත් කළා 2001දී. පොතේ නම 'සුළඟ වගේ ඇවිදින්'
      එය ගී පදමාලා එකතුවක්. බණ්ඩාරයන් විසින්ම සකස් කල පොතක්- ඔහුගේ වියෝවෙන් කලකට පසු මුද්‍රණය කෙරුණු.

      අපෙ අම්මා පැටව පිරිවරාගත් වෙසක් කූඩුවක්ම තමයි- අම්මාට මී මුනුබුරු- මිනිබිරියෝ

      Delete
    2. ...හය දෙනෙක් දැනටම ඉන්න.

      Delete
    3. හ්ම්...කම්පූටරේ අවුල් වගේ නේද? බැයිද නමියව පොඩ්ඩක් ගෙන්න ගන්න?

      Delete
    4. ඒ මහත්තයාට තවම මේ post එක කියවන්න එන්නවත් වෙලාව හම්බ වෙලා නැති එකේ...

      Delete
    5. නිදි, බස්සා...
      වැඩ පොඩ්ඩක් ඩාම් ඩුම් වගේ මේ දවස් ටිකේ. මේ දැන් කියෙව්වා පොස්ටුව

      Delete
  7. නිමල් අම්මට බොරු කියලා රවටලා දැන් මෙතෙන්ට ඇවිල්ලා මම ද්‍රොහී වූවා නොවේ කියනවා නේද.

    "හොඳ සිහියෙන් හිඳින අයත් වඩා සතුටු වන්නේ අතීතය සමරන විටලු"! ඒකත් මාර වැඩක් නේද. අම්මලාට ලොකු අනාගතයක් ඉස්සරහට ඉතුරු වෙලා නෑ වගේ දැනෙන නිසා, අතීතය මතක් කරමින් සතුටු වෙනවා ඇති. අපි අනාගතය ගැන හිතමින් අනාගත සිහින දකිමින්, (සමහර වෙලාවට අතීතය සම්පූර්ණයෙන්ම අමතක කරන්නත් පසුබට නොවෙමින්) සතුටු වෙනවා. නමුත් ඉතින් බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙ හැමෝටම present moment එකේ ඉන්න. නමුත් අපි ඒක කරන්නෙ කොයි තරම් අඩුවෙන්ද.

    ReplyDelete
    Replies
    1. මං බොරු කියනවයි කියල හිතන්න ඔයාටත් අයිතියක් තියෙනවනේ Lotus - අනිත් අයට වගේම. ආයෙ මම මොකටෙයි බාධා කරන්නේ?

      දෙවෙනි කාරණේ... අපි වැඩි දෙනෙක් ඉන්නේ එක්කො අතීතයේ, නැත්තං අනාගතයේ තමා. ඒක සැටිපිකෙට් ඇත්තක්...

      Delete
    2. \\නිමල් අම්මට බොරු කියලා රවටලා දැන් මෙතෙන්ට ඇවිල්ලා මම ද්‍රොහී වූවා නොවේ කියනවා නේද\\
      Missing emoji - 😉

      Delete
    3. Lotus, ඔයාට ඉමොජි එක මිස් වෙලා. මම comment එකකට ඉමොජි

      Delete
    4. තැන්ක් යූ ඇනෝ, ඒක තමයි හරි ඉමෝජි එක.

      Delete
  8. හුම්. හරි තැනින් නවත්තල 😄
    අම්මව මොනවා කියල ශේප් කරගත්තද මන්ද

    ReplyDelete
    Replies
    1. ආයෙ මොනවද, ඇදලා අරින්න ඇති අලි කෙබරයක්.😂

      වැඩේ කියන්නෙ, නිදි හරි සංවේදීයි ඔය වචන වලට. අම්මට ඔය ගමනෙ තියන අමාරුව, එයාගෙ දැන් හැකියාව, ඒ නිසා අනිත් අය පත්වන අපහසුතාවය ගැන කිසිම හැඟීමක්/තේරුමක් නැත්නම්, බොරුවක් කියල ඒක වලක්වන එකේ කිසිම වරදක් මම නං දකින්නෙ නෑ.

      Delete
    2. එතනදී කියපු 'කෙබරය' ඊළඟ කොටසේදී ලියනවා- හෙට.
      මගේ අදහස නම් මේකයි, මහත්තුරුනේ. පොඩ්ඩක් හිතනවා නං අපිට නයාවත් නොමරා, පොල්ල කඩා ගන්නෙත් නැතිව බේරෙන්න පුළුවන්.

      Delete
  9. අපේ අම්මටත් දැන් ඊයේ කියන එක අද මතක නැහැ. නිදිගේ විස්තර කියවන කොටමට මතක් වෙන්නෙම අම්මව

    ReplyDelete
    Replies
    1. අජිත්ගේ මෑණියන්ට නිදුක්- නිරෝගී බවත්, ප්‍රමෝදය හා සතුටත් ලැබේවා!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්