අකුරු මැකී නෑ

Tuesday, October 31, 2023

තිස් එකේදී... -විසිනවවෙනි කොටස

එතෙක් මගෙත්තෙක්ක රමණයේ යෙදිච්ච හැමෝම එහෙම කළේ බොහොම රහසෙන්. හැංගි හැංගී. එයින් ගොඩක් උදවිය ඒ වෙලාවල උපරිමෙන්ම තෘප්තිමත් වුණත් එක්ක. සමහර විට එයාලාට ‘හොරෙන් කනකොට වැඩි රහක් දැනෙන්නත්’ ඇති.

කොහොම වුණත්, මට තේරුම් ගිහිල්ලයි තිබ්බේ. මිනිස්සුන්ගේ මේ දවල් මිගෙල් - රෑ දනියෙල් කෙරුවාව ගැන. ආඳා මාළු අතින් නොකා ඉරටුවෙන් කන කෙරුවාව ගැන. ඔහොම හැංගි හැංගී නැටිල්ල මට  නං අරහං...

මේ වෙලාවේ මොකුත් නොකර නිකං ඉන්නවා. ඒක හොඳයි වගේ අනිත් සේරටම වඩා.

‘ඉතිං මොට්ටයො, ගෑනියෙක් වෙලා- ඔහොම මිනිහෙක්ගෙ අඹුව හරි හොර අඹුව හරි වෙන්නද යස්සයෝ උඹට ඕනි?’

‘ඇත්තම කියනවා නං, මට කීයටවත් එහෙම කෙනෙක් වෙන්න ඕනි නෑ!’ ඩැඩාට නොකිව්වත් මගේ හිතට ආවේ ඒ උත්තරයයි.

එහෙනං?
‘ආයේ මොකක්ද එහෙනං කියන්නේ... කාගෙ හරි හොර අඹුව වෙන්න විතරක් නෙවෙයි-  ඔය පොතක ලියලා නීතියෙන්ම පිරිමියෙක්ගෙ වහලියක් වෙන්නවත් මට නං කිසිම ඕනිකමක් නෑ.’
හම්බ වෙයි උඹට! බලාගෙන හිටහං. ඉර අනිත් පැත්තෙන් පායනකල්. කළු ගලේ ඔළුව ගහ ගත්තම මොකක්ද මිනිහො වෙන්නේ. රිදෙන්නෙ ඔළුවට මිසක් කළුගලට නෙවෙයිනෙ බං.. අපට පුළුවන්ද බං මුළු සමාජයක්ම කණපිට ගහන්න?

මගේ උඩු හිතත්, යටි හිතත් ගජ රාමෙට වාදෙකය.
(ඒ හුඟක් උදවිය කරන්නා වගේ දිනන්නම බලාගෙන නොවේ. දිනුම පතා කෙරෙන එහෙම වාදයකදී තර්කානුකූල නොවෙන දේ කියවෙයි; බොරුත් පැල කෙරෙයි; Flat න්‍යායයෙනුත් වැඩ ගැනෙයි...) මගේ උඩු හිතටත්, යටි හිතටත් උවමනා කරන්නේ වඩාත් නිවැරදි දේ සොයා ගන්නටය; කොහොමෙන් හරි දිනන්නට නොවේ.

‘හරි, තමුසෙ කියන්නේ මේ වෙලාවේ මොකක් කළොත් හොඳයි කියලද?’
මේ වෙලාවේ මොකුත් නොකර නිකං ඉන්නවා. ඒක හොඳයි වගේ අනිත් සේරටම වඩා.
‘පැහැදිලි මදි. පැහැදිලි මදි... මොකක්ද ඔය නිකං ඉඳිල්ලෙන් මට සිද්ද වෙන්න පුළුවන් සෙතේ?’

සෙතේ? ඇයි යකෝ පේන්නැද්ද - මොකුත්ම නොකර ඉන්න එකෙන් උඹේ පරම්පරා කුට්ටම බේරෙනවනේ. ඒකම වුණත් මදිද. ඉපදෙනකොටම තමුසෙට නොමිලේ හම්බ වෙලා තිබිච්චි ‘වජු බිල්ල’ ලක්ෂ ගාණක් වියදම් කරලා බිල්ලට දෙන්න නේද හිතුවේ...?

‘මතක් කර ගනිංකො මහරගම ආච්චී පිරිමින් ගැන කිය-කියා හිටපු කවිය.
 ගැහැනු ජාතිය - ජරා ජාතිය
 ගලේ ගහලා - මරා    දාපිය
 පිරිමි ජාතිය - උතුම්  ජාතිය
 කන්ට දීලා - මල්    පුදාපිය’

ආච්චී වගේම නේද කළු අක්කත් හිතුවේ... ගෑනියෙක් වෙලා ඉපදිලත්, ඒ මනුස්සයා සෝමේ අයියාගෙන් වරම් ගත්තේ ‘ලබන ආත්මේ හරි පිරිමියෙක් වෙන්න...’ උඹ ඉපදෙනකොට නිකංම හම්බ වෙච්චි පිරිමිකම අතාරින්න පෙරුම් පුරනවා.. ඇත්තටම උඹට පිස්සුද බං?

එච්චරක්ද? තමුසෙට මතක නැද්ද- ඩැඩා ඔය ඉලව් ඔපරේෂන් එක ගැන කිව්ව දේවල්?

මට මතකය!
“නිමොල්, ඔපරේෂන් එකකින් gender එක වෙනස් කළාට විතරක් සේරම complete වෙන්නෙ නැහැල්ලු. උඹට තියෙන්නේ male බොඩි එකක්නේ. ඉතිං උඹට දිගටම female හෝර්මොන්ස් ගන්න වෙනවලු ගෑනු පෙනුමක් තියා ගන්න. දිගටම එහෙම ගන්නකොට එක එක side effects එන්නත් ඉඩ තියෙනවලු. Operation එකකින් ගර්භාෂයක් එහෙම හදන්න බැහැනෙ...”
ඩැඩා කිව්වේය.

හැම එක්කෙනාම මාව දැක්ක ගමන්ම අහන්නේ - මොකද තවම බබෙක් නැත්තේ - කියලයි.

Womb එකක්? ඒක උවමනා වෙන්නේ දරුවෙකු බලාපොරොත්තු වෙනවා නම්ය. ගර්භාෂයක් නැති වුණාට නම් මට කමක් නැත. ඒ මගේ තුන් හිතකවත් දරු සම්පතක් ලැබීමේ බලාපොරොත්තුවක් නොතිබුණු නිසාය.

අපේ අම්මා විවාහවී මා ප්‍රසූත කළේ අවුරුදු දාහතේදීය. එතැනින් පස්සේ පුරා අවුරුදු විස්සක් තිස්සේ දරුවන් වදන යන්තරයක් වීමටයි, අපේ අම්මාට සිද්ද වුණේ.

මානෙල් නංගිත් යෝජනාවකින් විවාහ කර දුන්නේ දහඅට ලබනවාත් සමඟිනි.

“අනේ මංදා ලොකා. ගාමිණීලගේ නෑදෑයන් ඔක්කොටම පුදුම ප්‍රශ්නයක්නේ තියෙන්නේ. හැම එක්කෙනාම මාව දැක්ක ගමන්ම අහන්නේ - මොකද තවම බබෙක් නැත්තේ - කියලයි. උන් තීරණේ කරලා ඉවරයි වගේ, මම වඳ ගෑනියෙක් කියලා.” මානෙල් කිහිප විටක්ම ඇයගේ දුක මට කියා  තිබිණි. “ඒ තියා අපේ අම්මටත් ඉවසිල්ලක් නැහැනේ ලොකූ.”

සිරි ලංකාවේදී නං හතර වරිගයේම නෑසියන්ට උවමනා කරන්නේ තරුණියක් විවාහ වෙන පමාවෙන්ම ඇය මවක් වෙනු දකින්නටයි.

එතැනදී නම් 1954 වගේ ඈත කාලයකදීත්- අපේ බදුල්ලේ ආච්චී; අපේ අම්මාගේ අම්මා; ගමේ නිල නොලත් වින්නඹු අම්මා හා ගෙඩි වෙද හාමිනේ ‘කොච්චර නවීන අදහසක්’ දරන්නට ඇතිදැයි මට  නම් අමතක කරන්නට බැරිය. තමන්ගේ වැඩිමල් දියණිය අවුරුදු 17දී ගැබ්බර වුණු විට ‘ලීලා, දැන්ම බබෙක් ඕනිද බං. බේතක් දෙන්නද මයෙ අම්මා?’ කියා විමසා තිබ්බේ ඇයයි.
අපේ තාත්තා ඒ ‘
ගස්සලා යැවීමේ’ යෝජනාවට තරයේම විරුද්ධ වුණු හින්දාය- අද මේවා ලියන්නට 'නිදි' ජීවියෙකු ලෙසින් මෙලොවට බිහි වී සිටින්නේ.

ඉතින්, අප එංගලන්තයට ආවාට පස්සේ මානෙල්ට දරුවෙකු පිළිසිඳගෙන තිබිණි.
ඉන් පස්සේ මානි මට ලියා තිබුණු ලිපිවලින් පෙනුණේ ඇගේ සිතැඟියි. මානි සිතන බව පෙනෙන්නේ, දැන් ඉතින් වෙනිං මොනවාවත්ම ඕනෑ නැති විදිහටය. එතැනින්ම මානෙල් නංගිගේ ජීවිතය එක තැනක ඝනීභවනය වන්නටද යන්නේ- ගැහැනියක් වී ඉපදෙන්නේ දරුවන් ප්‍රසූත කරන්නටමද?
එදා සිදුහතුන් ‘බැම්මක් ඇති විය, රාහුලයෙක් උපන්නේය’ යනුවෙන් කියුවේ මේ දාරක සංතෑසිය ගැන නොවෙද?

සැත්කමකින් හෝ කාන්තාවක් වූවාට පස්සේ මටත් වෙන්නේ ඒ නොනවතින ප්‍රවාහයේම බිල්ලක් වෙන්නටද? මං හදන්නේ මගේ නිදහස සදහටම අහිමි කර ගන්නටද? මගේ අතින්ම සල්ලි දීලා හූනියමක් කර ගන්නට...

මේ සැරේ කරවල තෙල් දමලා දෙන්න කිව්වේ... මං ලංකාවෙන් එනකොට ගෙනාපු බොම්බෙලි කරවල වගයක් තියෙනවා. ඒවා...

මෙතැනදී ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන දයාබර පාඨකයන් ‘නිදි මහා නරුමයෙකි’යි සිතන්නට වුවත් ඉඩ තිබෙයි. ඒත් නොකියා බැරිය. අපේ නංගිලා මල්ලිලාවත්, එයාලාගේ දූ-දරුවන්වත් කිරිකැටි බොළඳ වයසේදී මා වඩාගෙන නැත! ඒ වයස පහු වී ඔවුන්ට අවුරුදු දෙක-තුනක් වුණාමය; මං ඔවුන් වඩා ගන්නේ- සුරතල් කරන්නේ. ඒක මටම හුරු වුණු නරුමකමක්ද?

එහෙත් මා දරුවන්ට ආදරේය. බෙහෙවින්ම ආදරේය. කරුණාවන්තය; බෙහෙවින්ම කරුණාවන්තය. අපේ පවුලේ දරුවන්ට මෙන්ම අනෙකුත් දරුවන්ටත්... ඒත් දරුවන්ට කොතරම් ආදරේ වුණත්- කරුණාවන්ත වුණත් දරුවන් වැඩිහිටියන් මෙන් හැසිරෙන්නේ නම් ඊටත් මා කැමති නැත!

‘ඉතිං බූරු පැට්ටෝ, තව තවත් තෙපර බබා ඉන්නෙ නැතිව තීරණයක් ගනිං. Operation  කතන්දරේ බල්ලට දාපං. තව මාස කීයද උඹලට එංගලන්තේ ඉන්න පුළුවන්කම තියෙන්නේ... දැන්වත් හිත යොදවපං, ඒ ඉන්න ටිකේ කීයක් හරි වැඩියෙන් හම්බ කර ගන්න.’

නුවණක්කාර මොළය එක එල්ලයේම මේ නිමල් දිසානායකයාට එහෙම කිව්වා තමා. ඒත් එක සැරේම ඒ අදහස අත් හැර දාන්නට ඇහැකිද?

අවුරුදු දහයක්- දොළහක් මගේ හිත පතුළෙම හංගාගෙන; දරාගෙන හිටි බලාපොරොත්තුවක්!
සිරුරේ නළියන වේදනාවක් දැනෙද්දී  මුතු බෙල්ලෙකු මුතු ඇටයක් දරාගෙන ඉන්නෙ... ඒ වගේ නේද මාත් මේ හිතිවිල්ල දරාගෙන- ඉවසාගෙන හිටියේ. ඔන්නොහෙ තව ටිකක් හිතල බලනවා!!

මං වහන්සේ ඔහොම දෙකට දෙවාරේ දෙගිඩියාවෙන් හිටිද්දීය, නීලියා අපේ ගෙදරට එන විත්තිය අපේ අම්මට කියලා තිබ්බේ.

“... අස්වර් එන්නේ නෑලු. නීලියාට කරවල ටිකක් තෙල් දාලා , පොල් සම්බෝලත් එක්ක බත් කන්න ඕනිලු- ඉස්සෙල්ලා දවසක් රංජි හදල දුන්න වගේ. බබෙක්වත්ද දන්නෑ. දැන් දෙන්නා එකටනේ ඉන්නවයි කියන්නේ.”
“එදා නීලියලට කරවල උයලනේ අම්මෙ දුන්නෙ.”
“ඒ හින්දම වෙන්නැති නීලියා, මේ සැරේ කරවල තෙල් දමලා දෙන්න කිව්වේ... මං ලංකාවෙන් එනකොට ගෙනාපු බොම්බෙලි කරවල වගයක් තියෙනවා. ඒවා තෙල් දාල හදමු නේද, රංජි?”

“ලොකූ, ඔයාගේ මුං ඇට කරියත් හදන්න please. වැඩියෙන් හදන්න. මම ඒකට ආසයි... වැඩිපුර ටික මම කන්ටේනර් එකක දාල ෆ්‍රිජ් එකේ තියා ගන්නයි හිතුවේ.” Sam කිව්වාය. “Do you need any help, Loku?”
“Thank you Sam... I can manage...”

ඒ මුහුණට අබ මිටක් දැම්මොත් පට-පට ගාලා පුපුරණවා නිසැකය. ඒ තරම් තරහකි, ඒ මුහුණේ තිබ්බේ.

එදා; නීලියා එනවා යැයි කියූ දවසේ උදෙන්ම මම ඉවිල්ල පටන් ගත්තෙමි. කලින් දවසේ රාත්තිරියේ හොඳින් සෝදා - ගරා පෙඟෙන්නට දමා තිබුණු මුං ඇට තැම්බෙන්නට තියලාය, මං බොම්බෙලි කරවල වැඩේට අත තිබ්බේ.

අනිල් මල්ලී ස්වේච්ඡාවෙන්ම ඇවිත් කරවල ටික කපා දුන්නේය. “ලොකාට කියන්න අද නං මම බඩ පැළෙන්න බත් කන්නයි යන්නෙ. මගේ ෆේවරිට් කෑමක් මේ!”

සමන්ති නංගීත් අපට උදවු කරමින් ළූණු සුද්ද කර කපන අතරේ- මම සේදූ කරවල උතුරණ තෙලට දැම්මෙමි.

“අම්මෝ සුවඳ!” අනිල් කිව්වේය.
“Very strong!” සමන්ති කිව්වාය; ඒ එක්කම කුස්සියේ ජනේලය විවෘත කර දමමිනි.
“අනේ සෑම්... තමුසේ ලංකාවේදී බොම්බෙලි කරවල කාලා නැද්ද? කරෝලවලින් තදම සුවඳක් තියෙන්නේ මෙව්වට වෙන්නැති.” අන්නා කිව්වේ ඔලොක්කු හිනාවකින් මුහුණ පුරවා ගෙනයි. “මතක නැද්ද සුවඳ?”

අන්නා එහෙම කියලා විනාඩි දෙක තුනකට වඩා ගත වුණේ නැති තරම්ය.
ඉස්සරහ දොරේ සීනුව එක දිගටම හැඬවෙන්නට විය.
“කවුද යකෝ bell එක කඩන්න යන්නෙ?” අනිල් නොමනාප ගතියෙන් දොර හරින්නට කලින් සමන්ති නංගී ඉස්සර වුණාය- ගිහිං දොර හැරියාය.

“Good morning!” සමන්තිගේ සුබ උදෑසන සුනු-විසුනු කරන ස්වරයකිනි, උත්තර ලැබුණේ. “Is Mr. Cecile in?” මමත් බිරාන්තවී එබී බැලුවෙමි. තරමක් වියපත්- සුදු ජාතික කාන්තාවක් නොවසිල්ලෙන් ඉදිරි දොරටුව හරස් කරගෙන සිටින්නීය. “I want to talk to him.”
ඒ මුහුණට අබ මිටක් දැම්මොත් පට-පට ගාලා පුපුරණවා නිසැකය. ඒ තරම් තරහකි, ඒ මුහුණේ තිබ්බේ.

අනිල් අඩියට දෙකට උඩ තට්ටුවට දිව්වේය. ඒ ගිය පමාවෙන්ම ඩැඩාවත් පෙරටු කරගෙන පල්ලං බැස්සේය. ඩැඩා එතකොටත් හිටියේ පිජාමාව පිටින්මය! දොර ළඟ ගෝරනාඩුව උඩටත් ඇහිලා වගේය...

“Good morning!” ඩැඩාගේ සුබ ප්‍රාර්ථනය කියවෙනවාත් එක්කම, අර අංගනාව පුපුරා හැලෙන්නට වුණේ කිසිම කටකමසිරියාවක් නැතිවය. නොකඩවා ගලා හැලුණු ඒ වේගවත් ඉංගිරිසි දිය ඇල්ලෙන් බිංදුවකි, මට තේරුම් ගියේ. ඇය පිටත්ව යනවාත් එක්කම අපේ ඩැඩා අරිටත් වඩා වේගයෙන් දෙස්ස කපන්නට පටන් ගත්තේය. ඒ Samටය.

නොඉවසිල්ලෙන් බලාගෙන හිටි අපේ ඩැඩා අයන්නේ සිට අං- අඃදක්වාම ඒ කතන්දරේපලිප්පු දමමින් නීලියාට කිව්වේය.

“I have told you! කියපං... මම උඹලට warn කරලා නැද්ද... අමතක කරන්නෙපා. උඹලා දැන් ඉන්නෙ රැජිනගේ රටේ- Englandවල. කෙහෙල්මල් ලංකාවේ නෙවෙයි. උඹලා එහෙදි කන ජරාව ඔක්කොම මෙහෙදිත් කන්න try කරන්න එපැයි කියලා මං කොච්චර කියල තියෙනවද? පේනව නේද දැන්-
අර ගෑනිගේ ජරා කතා ඔක්කොම අහගෙන ඉඳල තව සමාව ඉල්ලන්නත් වුණා. What a shame... ඒ අම්මණ්ඩි කියපු filthy කතාව... shit...”
සෑහෙන වෙලාවක් සාලය මැද්දේ ‘රුවන් සක්මනේ’ යෙදුණු ඩැඩා ආයෙමත් උඩ තට්ටුවට නැංගේය. ඊට පස්සෙයි, Sam අනිල්ටත් මටත් සේරම විස්තරකොට දුන්නේ.

“ලොකූ, ඔයාලට නොදැනුණා වුණාට අපේ ගෙදර කරවල හොද්දක් ඉව්වත් සුමාන ගාණක් යනකල් ඒ සුවඳ තියෙනවා. අපේ ඇඳුම්වලත්... ඒකමයි අපි උයනකොට කුස්සියේ exhaust fan එක on කරලම උයන්නේ. මාත් ගොනා වගේ opened ද වින්ඩෝ... සොරි ලොකූ...”

“මොකද්ද Sam අර ෆිල්දි කතාවක් කිව්වේ?”
“චීයා... මහ ජරා කතාවක් ඒ ගෑනි කිව්වේ. කියන්නත් හිරිකිතයි, අනිල් අයියේ.”
“හරි හරි... මට තේරුණේ නැති නිසානේ අහන්නේ. ඔන්න ටිකක් හෙමින් හරි කිව්ව නං...” අනිල් එහෙම පෙරැත්ත කළාමය, සමන්ති අර කාන්තාවගේ වාග් ප්‍රහාරය අපට පහදා දුන්නේ.

‘උඹලට කන්න දේවල් නැතිවද අශූචි පුච්චලා කන්න හදන්නේ?’ ඇය විමසා තිබිණි.

එයින් පසුව මමත් විමසිලිමත් වීමි. කතාව ඇත්තය. අපේ ඇඳුම්වලින් තුනපහ සුවඳත් යාන්තමට දැනෙයි. Comfort සුවඳත් පරයමින්...

දැන් නම් කොම්ෆෝට් ලංකාවටත් අලුත් දෙයක් නොවේ. බොහොමයක් දෙනා රෙදි සේදූ පසු තනුක කොම්ෆෝට් දියරයේත් ඒවා ඔබා ගන්නේ ඇඳුම්වලට ප්‍රසන්න සුවඳක් එකතු කර ගන්නටය. මෙරටේ උෂ්ණත්වය වැඩි නිසාදෝ ඒ සුවඳ ඉක්මනින්ම වියැකී යන බවයි මට හිතෙන්නේ. ඒ අතින් බලද්දී- අපේ මහරගම ආච්චිගේ පෙට්ටගමේ ඇඳුම්වලින් වහනය වුණු සැවන්දරා මුල් + කපුරු බෝල සුවඳ අර කොම්ෆෝට් සුවඳට වඩා බලවත්ය.

ඉතිං... ඉතිං... තව ඩිංගෙන් අමතකත් වෙන්නටයි ගියේ. නීලියා එනකොට අප එයාගේ ඉල්ලීම සපුරාලන විදිහට කෑම සාදා අවසානය. බොම්බෙලි බැදුමත් එක්කම!

නීලියා එනතුරු නොඉවසිල්ලෙන් බලාගෙන හිටි අපේ ඩැඩා ‘අයන්නේ සිට අං- අඃ’ දක්වාම ‘ඒ කතන්දරේ’ පලිප්පු දමමින් නීලියාට කිව්වේය. නීලියාගෙනුත් ප්‍රශ්න ඇසුවේය. “ඇයි නීලියා, උඹලා ඔය වගේ කෑමවලට ඔච්චර addicted?”

නීලියා මාව තනිකොට ගත්තේ කොයි තරම් සූක්ෂ්ම විදිහටද?

“එහෙනං සැසිල්, උඹ මට කියපංකො- උඹ ඇයි කෝපි එකටයි, සිගරැට් එකටයි ඔච්චර ඇඩික්ට් වෙලා ඉන්නෙ කියලත්. උඹට ඒ දෙක නැතුවම බැහැනෙ.” නීලියා කෝන්තර මතු කෙරුවේ හිනා වෙන ගමන්මය. “එහෙම තමයි සැසිල්... අපි සමහර පුරුදුවලට ඇබ්බැහි වෙන්නේ දන්නෙම නැතිව. ඊට පස්සේ we can’t give up them... එච්චර විතර නෙවෙයි. අපට සමහර පුරුදු එන්නේ ජානවලින්මයි...”

නීලියා මේ කියන්නේ මොනවා ගැනද? සැකයේ බීජයක් හිතට ඇතුළු වුණත් ඒ ගැන ඒ වෙලාවේ තව දුරටත් හිතන්නට ඉඩක් මට නොවිණි.

එහෙම වුණේ උදේ හිටන්ම වැඩි කතාබහින් තොරව, ඇඟ බේරාගෙන හිටි අම්මාත් ඉන් පස්සේ සුපුරුදු විදිහට දොඩමලු වෙන්නට පටන් ගත් බැවිනි; ඩැඩා නීලියාට සරෙන්ඩර් වීම අම්මාට නව පණක් ලබා දී තිබූ සෙයකි. සුපුරුදු ලෙසින්මය, විනෝදය සපිරි ප්‍රාණවත් පැය කිහිපයක් ගෙවී ගියේ. ඔව්! ප්‍රියයන් හා එක්වීම සතුටක් නේන්නං.

ඉතිං, කෑම බීමෙන් සප්පායම් වෙලා, හවස පිටත්ව යන්නට කලින් නීලියා මාව තනිකොට ගත්තේ කොයි තරම් සූක්ෂ්ම විදිහටද?

“නිමල්, මං හින්දා උඹලා සැසිල්ගෙන් බැණුමුත් ඇහුව නේද. එක්ස්ට්‍රීම්ලි සොරි නිමල්...” නීලියා කිව්වාය. ඒත් එක්කම, ඊට අඩු ස්වරයකින්; රහසෙන් මෙන් තවත් කොටසක් කතාවට එකතු කළාය. “දැන් මම දන්නවා උඹ ඔය වගේ පුංචි දෙයකින් upset නොවෙන කෙනෙක් බව. Be Strong!”

ඒ ස්වරයත්, ඒ ටික කියමින් නීලියා ඉතා මෘදුව මගේ අත අල්ලා මිරිකූ විදිහත් වෙනස්ම කතාවක් කියන විත්තියකි මට හැඟුණේ. එච්චරකුත් නොවේ.
එහෙම කියද්දී නීලියාගේ ඇස්දෙක දිලිසුණා වගෙත් මට පෙනුණි. එතකොටය මට මීටර් වුණේ...  (සමහර විටෙක මං වහන්සේ ටියුබ් ලයිට් එකක් බවත් මෙතැනදී අමතක නොකරනු මැනවි.)

සැකයක් නැත. ලිංගේන්ද්‍රිය සැත්කම පිළිබඳව අර තරම් හොඳින් වෛද්‍යමය කරුණු ගැන අපේ ඩැඩාව දැනුවත් කරන්නට ඇත්තේ නීලියාම වෙන්නැති!
එයා පළපුරුදු වෛද්‍ය නිලධාරිනියක් නෙව.

‘චිකේ... මීට පස්සේ මම කොහොමද ලජ්ජා නැතිව නීලියාගෙ මූණ බලන්නේ...’
අනේ නිකං හිටපං නිදි. නල්ල මලේ ලජ්ජාව. ඔම්ලට් එකක් හදන්න ඇහැකිද බිත්තරේ නොකඩා...

à ඊළඟ කොටසට...

Monday, October 23, 2023

තිස් එකේදී... -විසිඅටවෙනි කොටස

‘... ළඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා
නිදහස අගයන්නෙන්//
නුරා පිරුණු නෙත් වෙනතක දල්වා
සමුගත මැනවි ඉතින්...’

දිසාපාමොක් ඇදුරුතුමන්ගේ හොඳම සිසුවා වුණු පිංගුත්තරට ඇදුරු දියණිය පාවා දෙනු ලබයි. සතියක් තිස්සෙම බිරිය පිළිකෙව් කරන පිංගුත්තර...

කිත්සිරි නිමල් ශාන්තයන් ඒ ගීයට පාදක කර ගත්තේ උම්මග්ග ජාතකයේ කියවෙන- සිරි කාලකන්නි ප්‍රශ්නයේ ‘පිංගුත්තරයාව’ද?
දිසාපාමොක් ඇදුරුතුමන්ගේ හොඳම සිසුවා වුණු පිංගුත්තරට ඇදුරු දියණිය පාවා දෙනු ලබයි. සතියක් තිස්සෙම බිරිය පිළිකෙව් කරන පිංගුත්තර, ඇයව අත්තික්කා ගහකට නංවලා- බිමට බහින්න බැරි වෙන්න ගහ වටේට කටු අකුල් ගොඩ ගහලා පැනල යනවා...

පිංගුත්තර හුදු නිදහස සොයන්නෙක්ද... වීතරාගී කෙනෙක්ද... නෂ්ටකාමියෙක්ද... එහෙමත් නැත්තං...

එහෙමත් නැත්තං සමලිංගික චර්යාවට ඇබ්බැහි වූවෙක්වත්ද?

ඉතිං, එදා ඩැඩාත් එක්ක කෙරුණු දෙවෙනි සාකච්ඡාවෙන් පස්සේ මට සිද්ද වුණේ ‘සිංහාවලෝකනය’ක යෙදෙන්නටය. එසේය! මා ආපසු හැරී බැලිය යුතුය!! ඉතා සැලකිල්ලෙන්...
මා එලෙස හැරී බලන්නේ පරාජිතයෙකු ලෙසින් නොවේ. යතාර්ථයට මුහුණ පාමින්, සිදු වී තිබෙන දේවල් ගැඹුරින් විග්‍රහ කර ගනිමිනි.
කේසර සිංහයෙකු ‘තමන් එතෙක් ආ ගමන් මඟ’ පිළිබඳව යළි විමසා බලන අයුරෙන්මය. 

‘හරියට හරි. ලොකු-පොඩි එකම එක කාරණයක්වත් මඟ හැරෙන්න නොදී, ආපහු හැරිල බලපං නිමල්.’

‘උපන්නාට මේ ලොව වැනෙනවා       විනා
 ලොව සිරිතට අඹුදරු රකිනවා            විනා
 රූපේ අරං සාපේ ගෙවනවා                විනා
 ගෙනියන දෙයක් නැත පව් ගෙවනවා විනා’
මහරගම ආච්චී මඤ්ඤොක්කා තම්බන- කපන- බදින රස්සාවේ වැඩ අතරේ ගැයූ, ඒ කවියයි හැරිලා බලද්දී ඉස්සෙල්ලාම මගේ ඔළුවට ආවේ. මාත් මෙතෙක් කර තිබෙන්නේ උපන් නිසා ජීවත් වීමද? ගෙනියන්නට පව් කන්දරාවක් එකතු කර ගැනීමද...

ජීවත් වෙනවා කියන්නේ මොකකටද... ජීවත් වෙන්නේ මොකකටද...
‘සෙක්කුවේ බැඳපු ගොනා වගේ වැඩ කළා මිසක් උඹට හිතන්න වෙලාවක් තිබ්බයැ. දැන්වත් හිතපං නිමල්.’

ඉදින් මමත් එසේ කළෙමි.

එහෙත් එසේ කිරීම එතරම් සතුට දනවන්නක් නම් නොවිණි. ජීවිතයේ සොබාව එහෙමය. කලාතුරකින් හෝ සතුට දනවන්නේ නැති දේවලුත් කරන්නට අපට සිදු වෙයි; අමිහිරි වුණත් ‘තිත්ත ඇත්ත’ පිළිගන්නට අපට සිදු වෙයි...
බණ දෙසන එක ලෙහෙසිය; අමාරු පිළිපදින එකය. කප්පරක් කරුණු-කාරණ දැනගෙන සිටින කොච්චර පණ්ඩිත ඇත්තෙකුට වුණත් එහෙම කෙරිල්ල එච්චර ලේසි නැත.

ඉතිං, ඇටිකිති මං වහන්සේ ගැන කවර කතාද?

මොන තරං අමාරු වුණත්, පටන් ගත් දෙයක් ලෙහෙසියෙන් අත් නොහැරීමේ ‘දිසානායක ගතිය’ මෙතැනදීත් මගේ උදව්වට හිටි විත්තිය නොකියාම බැරිය. ‘අවුරුදු 12 සිටම ප්‍රශ්නවලට නොබා මුහුණ දෙන්නට සිදු වීම නිසා මා ලබා තිබුණු පරිචය’ ඒ වතාවේ මට උදව් වුණේය.

ඒ ඒ වෙලාවට සුදුසු යමක් කෙරුණා මිස ඒ එකක්වත් පස්මහ බැලුම් බලා; කල්-යල් බලා; පෙරුම් පුරා කෙරුණු දේවල්...

කන- බොන- අඳින පළඳින- නිඳන- වැඩෙහි යෙදෙන අතරේය; මා එලෙස අතීත සිදු වීම් විග්‍රහ කළේ.

ඒ සඳහා මට වැඩිම ඉඩක් ලැබුණේ, උදෙන්ම අහමඩ්ලගේ ගෙදරට යන අතරේය. ඒ වෙලාවට බසයේ එතරම් සෙනඟක් නැත. හිටියත් බස් එක ඇතුළේ කිසිම චරෝ-බරෝවක් නැත.
ඊළඟට, අහමඩ්ලගෙ ගෙදර තිබණු නිසංසල; නිස්කලංක ගතියත් මට නිදහසේ සිතන්නට ඉඩ ලබා දුන්නේය.

ඒ දවස්වල වැඩ කරන අතරේ, නිදි හිතේ හැටියට අතීත සයුරේ කිමිදුණේය.
එක අතකින් බලද්දී එය විහිළුවකුත් වගේය. මට එහෙම හිතෙන්නේ මේ නිසාය. ‘නිමල් දිසානායකයා ඒ දවස්වල නිදහසේ හිතනවාටත් අහමඩ් මහතා වැටුප් ගෙව්වේය!’

ඉතිං, වැඩියෙන්ම මට කල්පනා වුණේ ‘මගේ ඉලක්කය මොකක්ද?’ කියන කාරණයයි; මගේ අනාගත සැලසුම් මොනවාද කියන කාරණයයි.

ඒ වෙනතෙක්ම මා ජීවත් වී තිබුණේ ‘එන එන හැටියට ගහ උළුවස්සා’ තාලෙටය; වරින් වර මතු වෙන ප්‍රශ්නවලට විසඳුම් ඒ ඒ වෙලාවේදී හොයා ගනිමිනි.
අපේ තාත්තා ලෙඩින් වැටිලා- ගෙදර ආර්ථිකය බිංදුවට බැස්සාම ‘
පේව්මන්ට් රස්සාව’ට...
දේශපාලන
මඩ ගොහොරුවේ ගැලුණාට පස්සේ ‘ඉඳියාප්ප තැම්බිල්ලට...
ඊටත් පස්සේ
බතික්වලට... කැන්ටින් කෙරුවාවට... සිල්ලර කඩයට...
ඒ සේරම කළේ ‘පවුලේ වැඩිමලා විදිහට’ අපේ පවුලේ උදවිය බඩගින්නේ තියන්නට බැරිකම නිසාය. ඒ ඒ වෙලාවට සුදුසු යමක් කෙරුණා මිස ඒ එකක්වත් පස්මහ බැලුම් බලා; කල්-යල් බලා; පෙරුම් පුරලා කෙරුණු දේවල් නොවේ.

ඒ ඈත අතීතයයි. දැන්; 1985ය. ඒ තත්ත්වය වෙනස්ය.

අපේ පවුලේ බාලම සොයුරු-සොයුරියන් තුන් දෙනාම ඉන්නේ එංගලන්තයේය.
අනිත් නංගිලා- මල්ලිලා හැමෝම වැඩිහිටියන්ය. දැන් ඔවුන් තම-තමන්ගේ දෙපයින්; තම-තමන්ගේ වීරියෙන් හිටගත්තාවේ. එතකොට මම?

මාත් මගේම වූ ස්වාධීන ජීවිතයක්; මගේම කියා නිදහස් ජීවිතයක් ඇරඹිය යුතුය.
‘හඃ හඃ නිමලෝ, මරු! උඹ ඒ අලුත් ජීවිතේ ගෙවන්න හදන්නේ ගෑනියෙක් විදිහටද?’ / ‘ස්වාධීන ගෑනියෙක් විදිහට?’ / ‘අනේ මෝඩ තකතිරුවෝ, උඹ ලංකාවෙ නේද ඉන්නෙ, ඒරොප්පේ නෙවෙයිනෙ. පොඩ්ඩක් බලපන්කො, උඹ දන්න ගෑනු පරාණවලට වෙලා තියෙන්නේ මොනවද කියලා!’

එක දිගටම මගේ හිතට ගලාගෙන ආවේ ආන්න ඒ ජාතියේ ‘අන්දොස්’ හිතිවිලිය.

‘ලංකාවෙය එංගලන්තෙය කියල වෙනසක් නෑ... බනාසේලා ගෙදර- අපේ ගෙදර විතරක් නෙවෙයි, හැම තැනම පිරිමියා නේද රජ කරන්නේ. නීලියා! ඔව්, අනෙක් ගැහැනුන්ට සාපේක්ෂව බලද්දී- වඩා ස්වාධීන නීලියා වුණත් හරි අපූරුවට කර බාගෙන අස්වර්ට බය පක්ෂපාතීව ඉන්නෙ...’

උඹට පුළුවන්ද, උත්පත්තියෙන්ම හම්බ වෙලා තියෙන පිරිමිකමනැති කරගෙන, ගැහැනියෙක් වෙලා ජීවිත කාලයක් තිස්සෙ තවත් පිරිමියෙකුට දෙවෙනි වෙවී ඉන්න?

බලපං නිමොල් උඹලගේ අම්මගේ කතා. කොහෙද යන මිනිහෙකුට කෑමකටත් invite කරන්නෙ- නිකමටවත් උඹෙන් ඇහුවද එදාට උඹ වැඩද කියලා... මගෙන් ඇහුවද මට වැඩක් තියෙනවද කියලා... මට කියපං නිමොල්, එහෙමද අනිත් මිනිසුන්ට ගරු කරන්නේ. ස්පෙෂලි තමුන්ගේ husbandට! හස්බන්ඩ් කියන දේට කීකරු වෙන්න ඕනි නේද, ගෑනු වුණාම....

... උඹත් කොහොම හරි කර ගනිං අර මඟුල් ඔපරේෂන් එක. උඹටත් ඕනි ගෑ..නි..යෙ..ක් වෙන්නනේ. ඊට පස්සේ උඹටත් තේ..රෙ..යි පුතෝ ඒ..කෙ රඟේ.

එතෙක් මට ඇතිවී නොතිබුණු සිතුවිල්ලක බීජයකි, එදා මගේ හිතේ රෝපණය වුණේ!’

තිස් එකේදී... -දහසයවෙනි කොටස මම එසේ ලියුවෙමි.
එසේය! එදා මගේ සිතේ පැලපදියන් වූ ඒ බීජය මටත් හොරෙන් සරුවට රෝපණය වී; ලියලා වැඩී, අරටුව සහිත විසල් රුකක් බවට පත් වී තිබිණි. ඒ බව මට ඒත්තු ගියේ දිගින්-දිගට කල්පනා කරද්දීය.
සමහර සිද්දි සිද්ද වෙන වෙලාවේදී, ඒවා කොච්චර වැදගත්දැයි අපට වැටහෙන්නේ නැත. ඒත් ඒවා ගලේ කෙටූ සටහන් ලෙස සිතේ සනිටුහන්ව- අපටත් හොරා අපේ ජීවිතයට තදින්ම බලපෑම් කරන හැටි පුදුම සහගතය.

‘නිමලෝ, උඹට පුළුවන්ද, උත්පත්තියෙන්ම හම්බ වෙලා තියෙන ‘පිරිමිකම’ නැති කරගෙන, ගැහැනියෙක් වෙලා ජීවිත කාලයක් තිස්සෙ තවත් පිරිමියෙකුට දෙවෙනි වෙවී ඉන්න?’

‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය රසිකාවියනි, මෙතැනදී මා පවසන දේ ඔබේ අමනාපයට හේතුවක් නම් මට සමා වෙනු මැනවි. ඒත් මගේ අවංක අදහස මා ඔබට කිව යුතුය.

පුරුෂයන් ප්‍රමුඛ විත්තිය මගේ විශ්වාසයයි! කාන්තාවන් දෙවෙනියන්ය!!
ඒ මගේ දැක්මයි.

එහෙමය කියලා, ගැහැනියට අවමන් කිරීමටවත්- දෙකේ කොළයට දමන්නටවත් මා කිසිසේත් සූදානම් නැත. ‘ඇයට ගෞරව කළ යුතුය; ඇයට සවන් දිය යුතුය; ඇයගේ මතිමතාන්තරවලට ඉඩ දිය යුතුය; ගැහැනියට මුල් තැන නොදුන්නාට කමක් නැත. නිසි තැන ලබා දෙන්නට ඕනෑය.’
කාන්තාව ලතාවකි; පිරිමියා වෘක්ෂයකි. ගසක් වටා වැලක් එතෙනවා විනා, වැලක් වටා ගහක් එතෙන්නේ නැත.

මං වහන්සේ හිතන්නේ එහෙමය.
මගේ අදහස් චුට්ටක් අවුල් වගෙයිද?

අවුල් නොවී තියෙයිද? තමුසෙ අම්මගෙ කුසේ පිළිසිඳගෙන තියෙන්නෙම අවුලකින් වගෙයි නෙව...
ඔව්! දෙකක් නැත. ‘අංග සම්පූර්ණ පිරිමි සිරුරක හිර වුණු ගැහැනු ආත්මයක් ලෙසිනි මා පිළිසිඳ ගන්නට ඇත්තේ.’
... අවාසනාවට ඒකත් බාගෙටය; පුරුෂ දරදඬුකමක්- පුරුෂ එඩිතරකමක්- ලෙහෙසියෙන් නොනැමෙන කොඳු නාරටියක් එහෙමත් ඇතිවය, නිමල් දිසානායක ඉපදිලා තියෙන්නේ. ඒ මදිවාට සෑහෙන අභිමානයකුත්; ඉපදෙනකොටම ඒකාට උරුම වෙලාය. සෑහෙන අභිමානයක් කියන්නේ ‘තඩි ආඩම්බරයකට’ නොවෙන විත්තියත් මෙතැනදී නොකියා බැරිය!

ඒ අභිමානය නිසාම- නිදි රූකඩයක් නොවී, නොබියව තමන්ට වැටහෙන සත්‍යයපවසයි! තමන්ට නිවැරදි යැයි හැඟෙන ප්‍රතිපත්තිවලට අනුකූලව...

ඒ අභිමානය නිසාම- නිදි රූකඩයක් නොවී, නොබියව ‘තමන්ට වැටහෙන සත්‍යය’ පවසයි! තමන්ට නිවැරදි යැයි හැඟෙන ප්‍රතිපත්තිවලට අනුකූලව වැඩ කරයි; ජීවත් වෙයි.

අද්‍යතන සමාජයේ වැඩි දෙනෙකු නම් ‘අභිමානය’ හා ‘ප්‍රතිපත්ති’ කියන්නේ මොනවාද කියලාවත් නොදන්නා පාටය.

එහෙම අභිමානයක් තියෙන අයටත්- නොතිබෙන අයටත් පායන්නේ එකම ඉරය; එකම හඳය. ඒ හැමෝම අම්ලකර වායුව ආශ්වාස කරමින් ජීවත් වෙන අයයි. ආසා, බලාපොරොත්තු පොදි බැඳගෙන- සිහින දකිමින් ජීවත් වෙන උදවියයි. ඒ සමහර හීන හැබෑ වෙයි. සමහර හීන ‘හීනයක්’ විතරක්ම වෙයි!

හීන අත් හැරියොත් මිස කල් ඉකුත්වීමක්; expire වීමක් සිද්ද නොවේ!

‘උඹටත් තියෙන්නේ උඹේ ලොකුම හීනය අත් අරිනවද කියල හිතන්න... නිකමට හිතපං නිමල්. කොහොම හරි ඔය ඔපරේෂන් එක කරවගත්තයි කියලා. උඹ හිතන්නේ කවුරු හරි එක්ක පවුල් කන්නද? කවුද උඹ වගේ එකෙකුට කර ගහන්නේ? උඹෙන් හම්බ වෙන්නේ සැපක් නං එහෙම කර ගහන එකා ටික කාලයක් උඹ එක්ක ඉඳියි. අතිරහත් වැඩියෙන් කනකොට තිත්ත රහ වෙනවලුනෙ... ඊළඟට? උඹට වෙන්නෙ අතින්-අතට යන්න. දෝන කමලාවතී පොතේ කමලට වෙච්ච දේ මතකයි නේද?

-හැමදාම හඳ පායන්නේ නැහැනේ. උඹේත් රුව ලස්සන තියෙනකල් විතරක් පොංගල් තියෙයි... ඊට පස්සේ ඉතිං උඹත් අවලංගු කාසියක්! උඹටත් අන්තිමට නවතින්න වෙන්නෙ ‘වෙට්ට පාසියෙක්’ හරි ‘වෙල් පාසියෙක්’ හරි වෙලා තමයි, නිමලෝ.’

ඉහතින් තියෙන අන්තිම වාක්‍යය කෙටුවට පස්සේ මාව හිර වුණේය! දවස් දෙකක්ම ඒ හිරවිලි තහංචිය එහෙමම තිබ්බේය. එහෙම වුණේ ‘වෛශ්‍යාව’ හෝ ‘ගණිකාව’ හෝ කියන වචන දෙකෙන් එකක්වත් අර වාක්කියට උවමනා තරං බරක් නොගෙනෙන බැවිනි. මා යොදා තිබෙන ‘වේසි’ වචනය ‘බරැති එකක් වුණත්’ නිදිගෙ පංච තන්තරේට ගැලපෙයිද? දෙගිඩියාවේය මං උන්නේ...

එහෙම වෙලාවටය දෙයියෝ අත පාන්නේ. 2023 ඔක්තෝබර් 22 ඉරිදා උදේ, blog අඩවි වට වන්දනාවේ යද්දී, මෙන්න බොලේ... Ano කෙනෙක් ‘xxx සුරිxxxx’ නමින් විවාදාපන්න comment එකක් blog අඩවි ගොඩකටම එවලා.
මෙන්න ඒ කියවලා බලන්න වටින comment එක- නම් විතරක් වසංගලා:

‘ඩයනාට වේසි යනුවෙන් පාර්ලිමේන්තුවෙ බැන වදිද්දී ඩයනා අහනවා කවුද යකෝ වේසි?’ කියල.

උඹටත් තියෙන්නේ උඹේ ලොකුම හීනය අත් අරිනවද කියල හිතන්න...

වේසි කියන්නෙ අපහාසාත්මක වචනයක්. වෛශ්‍යාව කියන ගෞරවනීය අර්ථය ඒ වෘත්තියට නැති වෙලා ගිහින් වික්ටෝරියානු කුහක ලිංගික වත ආගමික විදිහට බාරගත්ත තැන ඉඳන් ඒ වෘත්තිය අපහාසාත්මක එකක් වුනා. වෛශ්‍යා වෘත්තිය විතරක් නෙමෙයි සම්පූර්ණ ලිංගිකත්වයම කුණුහරුපයක් වුනා. විශේෂයෙන් ස්ත්‍රී ලිංගික අවයව කුණුහරුප බවට පත් වුනා. ස්ත්‍රී ලිංගිකත්වය අපහාසාත්මක වුනා. හුත්තී, වේසි, බැල්ලි වගේ වචන ගැහැණියට පටබැඳුනා. පිරිමියාට යෙදුනෙ පකයා, කැරියා වගේ වචන. මීට අමතරව පොන්නයා කියලත් පිරිමින්ට අපහාසයට කියනවා. එනම් පිරිමිකමෙන් තොර වීම අපහාසයක් විදිහට හඳුන්වනවා.

මාxxx වගේ අය මට පොන්නයා කියලා බැන්නා. මගේ පුතාට පොන්නයා කිව්වා. xxx දුවට වේසි කිව්වා. xxxලා එහෙම ඒ පිටිපස්සේ හිටියා. මම නං මගේ පුතාගේ පොන්නකම භාර ගන්නේ වටිනාකමක් විදියට. පුතා කැමති ඒකට නං මම පියෙක් විදියට ඒකට ඉඩ දෙනවා.

එතකොට කවුරු හරි සංක්‍රාන්ති ලිංගිකයෙකුට පොන්නයා කිව්වොත්, එයා ආපහු හැරිලා, ‘කවුද යකෝ පොන්නයා, කියලා අහන එකක් නැද්ද? මොකද පොන්නයා කියන්නෙ සංක්‍රාන්ති ලිංගිකත්වයට යොදන අපහාසාත්මක වචනයක් නිසා.

රමණය කිරීම හිකීම ලෙස කුණුහරුපයක් වුනා. වෘත්තියක් විදිහට කුණුහරුපවලට එකතු වුනේ වෛශ්‍යා වෘත්තිය විතරයි. ඒ සංසර්ගය සමග සබැඳි එකම වෘත්තිය එය වීම නිසයි. මේ සදාචාරය විසින් අපහාසාත්මක ලෙස නම් කලේ ලිංගිකත්වයයි.

වෛශ්‍යා වෘත්තිය කියන්නෙ සුවිශේෂ වෘත්තියක්. ඒක ආගම කියන සංස්ථාවට විරුද්ධව පවතින එකම වෘත්තිය වෙන්න පුළුවන්. ඒ වෘත්තිය මූලික වශයෙන්ම ස්ත්‍රී වෘත්තියක්. වෛශ්‍යාව කියන්නෙ නිදහස් ගැහැණිය කියන එකට. ඇය පවුල් සංස්ථාවට එන්නෙ නෑ. ඊට පිටතින් පවතින්නෙ. ඇය පවුල් සංස්ථාවෙ අවුලක් ප්‍රදර්ශනය කරමිනුයි පවතින්නෙ. ඇයව ආගමකට දරාගන්න බෑ. හැම ආගමක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ලිංගිකත්වය තහනම් කිරීමෙන්. ඇය තමයි තහනම් ගහේ ගෙඩිය අතින් ගත්ත ඊවා.

වෛශ්‍යාව කියන්නෙම අරගලකාරියක්. ඇගේ අරගලය ඇය කරන්නෙ ශරීරයෙන්. ඒක පොතේ තියෙන අරගලයක් නෙමෙයි. ඇය එකවිට සමාජ දේශපාලන වගේම ආධ්‍යාත්මික අරගලයක් මෙහෙයවනවා.

වේසි කියන්නෙ වෛශ්‍යා වෘත්තියට කරන අපහාසයක්. ඒකට ඒ ලැබිය යුතු වෘත්තීමය වටිනාකම ලැබිය යුතුයි. ඊට අදාල සංස්කෘතික සහ දාර්ශනික වටිනාකම ඊට ලැබිය යුතුයි. ඒක සිදු නොවී තියෙන්නෙ සමාජය කුණුහරුපයක් ලෙස පැවතීම නිසා මිස වෛශ්‍යා වෘත්තිය කුණුහරුපයක් නිසා නෙමෙයි.

වෛශ්‍යාව කියන්නෙම අරගලකාරියක්. ඇගේ අරගලය ඇය කරන්නෙ ශරීරයෙන්. ඒක පොතේ තියෙන අරගලයක් නෙමෙයි. ඇය එකවිට සමාජ දේශපාලන වගේම ආධ්‍යාත්මික අරගලයක් මෙහෙයවනවා.  

වේසි කියලා කතා කලොත් වෛශ්‍යාවකට තරහා යන්න ඕන. තමන් කරන වෘත්තිය ගෞරවයෙන් බාරගන්නා කිසි කෙනෙක් ඊට අපහාස කරන කුහකයෙක්ව දරාගන්න උවමනා නෑ. වෛශ්‍යා වෘත්තිය කියන්නෙ වේසකම නෙමෙයි. වෛශ්‍යාව කියන්නෙ වේසි නෙමෙයි.

ලිංගික ශ්‍රමිකයන් යන වචනෙ වුනත් ඒ වෘත්තිය හෑල්ලුවට ලක් කරන වචනයක්. ඒක හුදු ශ්‍රම වෘත්තියක් නෙමෙයි. ඒ වෘත්තියේ කලාව, සෞන්දර්ය සියල්ල ඉවත් කරමින් ඒක හුදු කම්කරු වෘත්තියක් බවට පිරිහෙලා තියෙනවා. වෛශ්‍යා කියන්නෙ ආර්ථිකමය වශයෙන් ස්වාධීන, නිදහස් ගැහැණු.

වේසි කිව්වම කේන්ති යනවා නම් වෛශ්‍යා වෘත්තිය නීතිගත කරන්න කතා කරන්නෙ ඇයි වගේ ප්‍රශ්න අහලා තිබුන. ඒ ප්‍රශ්න අහන අයගෙ සීමාවම ඒ ප්‍රශ්නෙ තියෙනවා. ඒ අයට වේසි කියන කුණුහරුපෙන් පිට වෛශ්‍යාව කියන ඉතිහාසයක් පුරා පැතිරුණු විසල් නිදහස් ගැහැණිය ගැන අවබෝධයක් නෑ. ඒ අය තවමත් වික්ටෝරියානු සදාචාරයේ ගොදුරු.

කාට හරි වේසි කියනවා නම් ඒ දරාගන්න බැරි ආදරෙන් පමණක් විය යුතුයි.

-xxx සුරිxxxx’

අපි ගුණදාස අමරසේකර මහත්තයාගේ ‘ගල් පිළිමය හා බොල් පිළිමය’ පොත අච්චු ගහද්දී- එතුමා තෘප්තිමත් නොවුණු වැකියක් නිසා දවස් ගණනාවක් හිර වුණේ. අන්න ඒ වගේ තමයි මෙදා සැරේ මටත් වුණේ. එහෙම ඉඳිද්දී දැකපු මේ comment එක, වළක වැටිල හිටපු එකෙකුට ගොඩ එන්න දුන්නු මාරම උදව්වක් වගෙයි. ඉතිං මට හෙණ happy!
මොකෝ දන්නවද-
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, උත්තරීතර පාර්ලිමේන්තුවේ උත්තම මහජන නියෝජිතයන් වහරන භාෂාවටත් ‘වේසි’ වචනය ඇතුළු වෙලානෙ.

එහෙව් එකේ මං වගේ පුංචි සිංඤෝ කෙනෙක් මොන ඉලව්වකටද පස්ස ගගහ ඉන්නේ... ඒ වචනය සුදුසුම තැනක කොටන්න.

ඉතිං, අපි අතුරු කතාවලට පීලි පැන්නේ... ‘මගේ චිත්තයා කිව්වේ ‘... උඹටත් අන්තිමට නවතින්න වෙන්නෙ වෙට්ට පාසියෙක්හරි වෙල් පාසියෙක්හරි වෙලා තමයි, නිමලෝ. කියල කියාපු තැනින්නෙ. ඔන්න ඔන්න ආයෙමත් එතෙන්ට යනවා.

එතෙක් මගෙත්තෙක්ක රමණයේ යෙදිච්ච හැමෝම එහෙම කළේ බොහොම රහසෙන්. හැංගි හැංගී. එයින් ගොඩක් උදවිය ඒ වෙලාවල උපරිමෙන්ම තෘප්තිමත් වුණත් එක්ක. සමහර විට එයාලාට ‘හොරෙන් කනකොට වැඩි රහක් දැනෙන්නත්’ ඇති. ඒ නිසා නේද, එයාල ආයෙ-ආයෙත් මගේ පහස හොයාගෙන එන්න ඇත්තේ; හොර රහසෙන් වුණත්!

කොහොම වුණත්, මට තේරුම් ගිහිල්ලයි තිබ්බේ. මිනිස්සුන්ගේ මේ දවල් මිගෙල් - රෑ දනියෙල් කෙරුවාව ගැන; ආඳා මාළු අතින් නොකා ඉරටුවෙන් කන කෙරුවාව ගැන. ඔහොම හැංගි හැංගී නැටිල්ල මට  නං අරහං...

‘ඉතිං මොට්ටයො, ගෑනියෙක් වෙලා- ඔහොම මිනිහෙක්ගෙ අඹුව හරි, හොර අඹුව හරි වෙන්නද යස්සයො උඹට ඕනි?’   

à ඊළඟ කොටසට...