li Item

Tuesday, March 28, 2023

තිස් එකේදී... -හත්වෙනි කොටස

ඒ ජෝඩුව දැක්කාම රෝයි අංකල්ගේ මුහුණ හොඳ නැති වුණු විත්තිය පැහැදිලිවම පෙනුණේය. ඒත්, ඒ නොපහන් බව හංගන්නේ නැතිවම- රෝයි අංකල් එයාලාව පිළිගත්තේය. එතකොටම සුමිත්‍රා ආන්ටිත් එතැනට ආවාය. ඉතාම උණුසුමින් අර තරුණයන් දෙන්නාව වැලඳ ගත්තාය. ඔවුන්ව අපට හඳුන්වා දුන්නාය.

මේ රෝයිගේ brother අශාන්... මේ අශාන්ගේ ෆියෝන්සේ කයිසර්....
ඒ දෙන්නාම කඩවසම් පිරිමි පරාණකාරයන්ය.

ඔයාලගේ අයියට අද මැනර්ස් අමතක වෙලා, දේශපාලනේ හින්දා...

“හායි අංකල්!” අශාන් එතකොට හරිම විනීතව අත දික් කළේය.

හිටි හැටියේම ඩැඩාගේ සරුවාංගයේම ලේ වතුර වී ගිහිංද? මට හොඳටම පෙනුණේය. ඩැඩා අශාන්ටත්, කයිසර්ටත් අතට අත දෙද්දී, ඩැඩාගේ මුහුණේ ලේ පොදක්වත් තිබ්බේ නැත; හැඟීම් දැනීම් නොපෙනෙන හිස් කඩදාසියක් වන් මුහුණකි; ඒ වෙලාවේ අපේ ඩැඩාට තිබුණේ. අනෙක එවෙලේ ඩැඩා ආරූඪ කර ගත් උද්ධච්ච; මහන්තත්ත ලීලාව!
හරිම හිරිකිතය.
ඒ විපිරියාසය අශාන්ලාටත් දැනුණු පාටය; වැටහුණු පාටය. ඒ දෙන්නා ටිකාක් ඈතින් වූ පුටුවලට බර දුන්නේ, ‘තොපට එපා නං එක වාරයක් අපා- අපට එපා තොප; සිය වාරයක් එපා!’ කියන තාලයටය.

අශාන්ලාගේ මුහුණටම දමා ගැහිල්ල ඩැඩාටත් වැදුණු පාටය.
එයාව ගලවා ගත්තේ රෝයි අංකල්ය. “ඉතිං ඉතිං සැසිල්. තැචර්...” කියමින් රෝයි අංකල් මවා පෑවේ, ඒ දෙන්නා හදිසියේම සංවාදයක් අතරමඟින් නැවැත්වූ බවයි. ඩැඩාත් ඒකට රුකුල් දුන්නේ; දේශපාලන කතන්දරයක් අලුතින්ම ප්‍රාරම්භ කරමිනි.

එංගලන්තයේදී මට හමු වුණු ඉතා ප්‍රියමනාප එකියක මෙන්ම, තන්වැසි නුවණින් සපිරි එකියකද වුණු සුමිත්‍රා මෙතැනදී කළේ, එතැන වාතාවරණය කණපිට ගැසීමකි.

“අශාන් මල්ලී... ඔයාලගේ අයියට අද මැනර්ස් අමතක වෙලා, දේශපාලනේ හින්දා... Please මල්ලී මේ bite ඩිෂ් එකයි, ෂැන්ඩියි සැසිල්ලට දෙන්න... මේවා ඔයාටයි, කයිසර්ටයි, අනිල්ටයි.” සුමිත්‍රා ආන්ටි කිව්වේ සද්දෙන්ය. “... මේ වයින් එක ලීලටයි, මටයි.”

“සුමිත්‍රක්කා, එතකොට නිමල්ට?”
“Oh! Don’t වොරි, අශාන්. නිමල් හොඳ කොල්ලෙක්. ඔයාලා වගේ නෙවෙයි. එයා ටී ටොට්ලර් කෙනෙක්. ලීලාගේ ඔබීඩියන්ට් son!”
“අඃ! අපේ අක්කා කියන්නේ ඇත්තද නිමල්? ඔයා එච්චර හොඳ කෙනක් නං, දැනගෙන ඉන්න වටිනවනෙ.” මට එහෙම කියලා හිනා වුණු අශාන්, කයිසර්ටත් මගේ ගැන ඉංග්‍රීසියෙන්ම කීවේය. ‘එහෙනං කයිසර්ට සිංහල පොඩ්ඩක්වත් බෑ!’

ඒ රටේ මිනිසුන්ගේ සිතුම්- පැතුම් හා චර්යා රටාවන් ගැන මා දැනුවත් වුණේ ටිකෙන් ටිකය; යන්තම්ය!

ලොකු සංවාදයක ඉන්නා බව පෙන්නුවත්, අපේ ඩැඩා එයාගේ රබර් කන් දෙක අපේ දිහාවට දික් කරගෙන හිටි විත්තිය පෙනුණේ, එතකොටය.

“Do you know Sumithra, දැන් මගේ කොෆී එක හදල දෙන්නේ නිමොල්. මම ඉල්ලනකොටම මට චීස් ටෝස්ට් හදල දෙන්නෙත් එයා...” ඩැඩා නොසෑහෙන තරමට මං වහන්සේව වර්ණනා කරන්නට පටන් ගත්තේ, එයින් මා අසීරුවට පත්වෙන බවවත් නොතකමිනි.
“Do you...?” එතකොට කයිසරුත් ඇහුවා මට මතකය.

ඩැඩාගේ ඒ වරුණාව කොච්චරද කියතොත්, රෝයි අංකල්ගේ සුරතල් පොඩි පුතු සුරතල් කරමින් හිටි සමන්ති නංගී හිනාව තද කරගෙන, හෙමීට අපේ ළඟට ආවාය. ඒ රහසක් කියන්නටය. “ලොකූ! බලාගෙන ගියාම දැනටමත් ඔයා අපිට ඉරිසියා හිතෙන තරමට ස්කෝර් කරලනේ! අම්මට කියන්න ඕනි, ඔයාට job එකක් හොයන්න කරදර වෙන්න එපැයි කියලා. හෙව්වට, ඩැඩා ඔයාට යන්න දෙන එකක් නැහැනේ.”

සමන්ති කිව්වේ එච්චරමත් හෙමින් නොවේ. ඒ කතාව අශාන්ටත් සංවාදයට මැදිහත් වෙන්නට පොටක් පාදා දුන්නේය.
“ඇත්තටම උඹට job එකක් හොයනවද, නිමල්! Work පර්මිට් නැතිව නේද ඔයාලා ඉන්නේ... හොරාටනෙ රස්සාවක් කරන්න වෙන්නේ...”

“... අනිල්ට නං කැරියර් සර්විස් job එක හරි ගිහිල්ලයි කිව්වනෙ. ඔයාට ඒ වගේ බර වැඩ match වෙන්නෙ නෑ...”
“අනේ ඔව් අශාන්! මාස හයටනේ මෙයාලා ඇවිත් ඉන්නේ. අඩුම ගණනේ පවුම් දාහක් විතරවත් එකතු කර ගන්න  පුළුවන් විදිහට මොනවා හරි දේවල් ටිකක්...” අපේ අම්මාත් අශාන්ට පින්සෙන්ඩු වුණාය.
“ඔව් අශාන් මල්ලී. ඔයාටත් ගොඩක් contacts තියෙනවනේ, අපේ රෝයිට වගේම.” සුමිත්‍රා ආන්ටිත්...

“මම බලන්නං අක්කා. මට එහෙ ෆෝන් number එක දෙන්නකො, කොයිකටත්.” අශාන් අපේ නොම්මරය සටහන් කර ගත්තේය. “නිමල්, මං උඹට කතා කරන්නං, දවසක් දෙකක් යන්න කලින්.”

1985 අවුරුද්දී එංගලන්තයේ සිටින අතරේ මගේ දිනපොත ලියද්දී, මගෙන් පසුබිම් විස්තර ලියැවී තිබෙන්නේ ඉතාම අඩුවෙනි. (යම්කිසි සිදු වීම් මාලාවක් නිසියාකාරවම තේරුම් ගන්නට නම් ඒ සිදු වීම වෙන කාලය- තැන- එවක පැවැති සමාජ පිළිගැනීම් වැනි දේවලුත් දැනගෙන සිටිය යුතුය.) එහෙත් එංගලන්තයේදී මට ලැබුණු අත්දැකීම් පවා එතරම්ම පුළුල් වපසරියක පැතිරුණු ඒවා නොවේ. ඒ අඩුපාඩුව හොඳටම දැනෙන්නේ දැන්ය; blog එකට ඒ විස්තර ලියාගෙන යද්දීය.
‘හිරු නොබසින අධිරාජ්‍යය’කැයි කාලයක් මුළුල්ලේ විශ්වාස කෙරුණු ඒ රටේ මිනිසුන්ගේ සිතුම්- පැතුම් හා චර්යා රටාවන් ගැන මා දැනුවත් වුණේ ටිකෙන් ටිකය; යන්තම්ය. එසේ දැනුවත් වීම එදාට වඩා අද ගොඩක්ම ලෙහෙසිය!

Bend it like Beckham film එක කළේ Hounslow කිට්ටුව නේද. නිමල්ගෙ අම්මලා දිගටම ඒ හරියෙද හිටියෙ?

යමෙක් යමක් ගැන ඉතා දැඩි උනන්දුවකින් කටයුතු කරන්නේ නම්, ඉබේම වාගේත් එයට උදව් ලැබෙයි. ඒ න්‍යාය මා සම්බන්ධයෙන් නම් තිතටම නිවැරදිය. ඒකට හොඳම නිදසුනක් ඊයේ පෙරේදාවකත් මට ලැබිණි.

‘තිස් එකේදී 4 පෝස්ටුව’ට comment එකක් එවමින් Lotus රසිකාවිය මෙහෙම ප්‍රශ්නයක් නඟා තිබිණි.
‘...
Bend it like Beckham film එක කළේ Hounslow කිට්ටුව නේද. නිමල්ගෙ අම්මලා දිගටම ඒ හරියෙද හිටියෙ.’ ඒ චිත්‍රපටය ගැන විස්තරයක් දැනගෙන නොහිටියත්, තවමත් අපේ අම්මා ඉන්නේ ඒ නිවසේම බව ඇයට පිළිතුරු දෙමින් මම ලිව්වෙමි. ඒ අතරවාරයේම ලෝටස් කියා තිබුණු ‘Bend it like Beckham’ ෆිලුම download කර ගත්තේ, මගේ පුරුද්ද විදිහටය.
(කැමැත්තෙන් අපේ posts කියවන රසික- රසිකාවියන් අපට එවන අදාළ තොරතුරු මූලාශ්‍ර හා links සොයා බැලීම- විමසීම, මම පුරුද්දක් ලෙසින්ම කරන්නෙමි.)

අම්මට සිරි! (ගොඩාරියක් ස්තුතියි Lotus!) Film එක බලනකොටය මට තේරුණේ- හිතුවට වඩා ගොඩක් දේවල් එයින් හොයාගත හැකි බව. මට නම් ෆිලුමත් හොඳය.

තවත් විස්තර ලියන්නට කලින් හිතාදර ඔයාලට කියන්නේ... ඉඩක්, නිදහසක් තිබෙයි නම් Bend it like Beckham ෆිලුම බලන්න. නමුත් මෙය සම්භාව්‍ය ගණයේ සිනමා පටයක් නං නොවේ; අවර ගණයේ එකක්මත් නොවේ; ආසාවෙන් බලා සිටිය හැකි ප්‍රහසනයකි. (අවශ්‍ය නම්, බයිස්කෝප් සිංහලෙන් අඩවියේ රොෂන් සමීර ජයසිංහ සැපයූ සිංහල උපසිරසිත් තිබේ.)

සුදු ජාතිකයන් (කොටසක්) ඒ කාලයේ* සමකාමීන් දෙස පිළිකුලෙන් බලන ආකාරයත් මේ ෆිලුමෙන් නිරූපණය වෙයි.
(*ඒ කාලයේ: මේ චිත්‍රපටයේ කතාව දිවෙන කාලය 80-90 අතර වගේ බවයි පෙනෙන්නේ.)
Hounslow Harriers පාපන්දු පිලට සෙල්ලම් කරන Juliette Paxton; ජූල්ස් ක්‍රීඩිකාවගේ අම්මාගෙන් තමයි ඒ පිළිකුල කියවෙන්නේ. ඒ අම්මත් හරියට හරියට අපේ ඩැඩායි, රෝයි අංකලුයි වගේ පරණ අරටුවකි!

“ඒ අශාන්ගේ කැමැත්තනේ. අපිට මොකද අනේ!
දැන්, මමයි රෝයියි දෙන්නා යාළු වුණාම අපේ සනුහරේ එක්කෙනෙක්වත් මගෙ පැත්තට හිටියද? නෑ. මාව පවුලෙන් අයින් කරලම දැම්මා, මං මළාය කිව්වා. බම්බු සිරිත් විරිත් නීති රීතිවලට කීකරු වෙවී හිටියා නං මමත් තවම යාපනේ. එහෙම අපේ පරම්පරාවටම පයින් ගහපු මමවත්, අද අශාන් මල්ලිට උදව් කරන්න ඕනිනේ ලීලා. නැතිනං ඒ කොල්ලා තනි වෙනවනේ බං.” සුමිත්‍රා ආන්ටි කියන දෙයක් ඔහෙ අහගෙන හිටියා මිස අපේ අම්මා මොනවාවත් කිව්වේ නැත. අම්මා එහෙම කළේ වයින් මත නිසාවත්ද? ඒ වෙලාවේ මට හිතුණේ එහෙමය.

ඒ ඔවුන් දෙදෙනාම පරිපූර්ණ පෞරුෂයක් ඇත්තවුන් ලෙස පෙනුණු නිසාය. එවන් දෙදෙනෙකුත් උනුන්ට ලිංගිකව ආකර්ෂණය වෙනවාද?

මට වැරදිලාය. ඒ විත්තිය පැහැදිලි වුණේ අපේ නඩය ආපහු එන්නට කාර් එකට නැංගාමය.

“සැසිල්, උඹ දන්නෑ සුමිත්‍රා, රෝයිගේ මල්ලී අශාන් ගැන කියපු දේවල්...” චුට්ට දුරක් එද්දීම, අම්මා හැදුවේ දිග කතාවක් කියන්නටය.

කාර් එක එළවද්දී, අනවශ්‍ය ලෙස හතරවටේම බැලිල්ල අපේ ඩැඩා කරන්නේ නැත. එහෙම පුරුද්දක් තියෙද්දීත්, ඒ වෙලාවේ ඩැඩා ගිනි පිටවෙන දෑසින් අපේ අම්මා දිහාම තත්පර ගණනාවක් බලා හිටියේය.
හොඳ වෙලාවටය, අපේ ඩැඩාට ශිව දෙවියන්ට වාගේ තෙවෙනි ඇසක් නොතිබ්බේ. තිබ්බා නං හෙම කාම දේවයා අළු වෙලා ගියා වගෙ විපත්තියක්ය, අපේ අම්මට වෙන්නෙත්.
“ඉඩියට්! මම කී සැරයක් උඹට කියල තියෙනවද මොනව හරි කියන්න ඉස්සර එතැන ඉන්න අනිත් අය ගැනත් හිතපන් කියලා. උඹේ දරුවොත් මේ කාර් එකේ ඉන්නවා නේද, ලීලා? බ්ලඩි අශාන්!”

අශාන් හා කයිසර් ජෝඩුව ගැන තවත් විස්තර ටිකක් දැන ගන්නට තිබුණු හොඳම chance එකක් මට මිස් වුණේ එහෙමය.

එහෙම කිව්වාම, මගේ පැටිකිරිය හා පෙර වැරදි කන්දරාව දන්නා බොහෝ දෙනෙකු නන්නත්තාරවී පොට පටලවා ගැනීමට ඉඩ තිබේ. දැනටමත් ඒ විදිහට; ටික දුරකට හරි හිතාගෙන සිටින අයත් ඉන්නා පාටය. ඒ නිසාය මේ පැහැදිලි කිරීම කළ යුත්තේ.

සැබෑය! ඒ වනවිටත් මා බොහෝ සමරිසි පුද්ගලයන් හා සබඳකම් පවත්වා හා පවත්වමින් සිටි බව සැබෑය. එහෙත්, මා ඒවා කළේ තිරිත්තමක් ඇතිවය; අසාධාරණ ලෙස නොවේ; මවිසින්ම පනවා ගෙන තිබුණු යම් යම් ප්‍රතිපත්තිවලට අනුගත වෙමිනි. ආදරණීය දෙපලකට බාධාවක් වෙන තුන්වැන්නා වීමට මම කොහෙත්ම අකැමැති වීමි.

ආදරණීය දෙපලකට!!!
ඒ බව මෙතැනදීම විශේෂයෙන් අවධාරණය කර කිව යුතුය. (සමහර දෙනෙකු නම් තුන්වැන්නෙකුටත් මනාපය!)

මට හැඟුණු ලෙස නම් අශානුත්- කයිසරුත් එවන් ආදරණීය දෙපලකි.
ඔවුන් දෙදෙනා අතර තෙවැන්නෙකු වීමට අදහසක් නොවුණත්, එයාලා ගැන වැඩි විස්තර දැන ගැනීමට නම්, මට තිබුණේ නොමඳ ආශාවකි. ඒ ඔවුන් දෙදෙනාම පරිපූර්ණ පෞරුෂයක් ඇත්තවුන් ලෙස පෙනුණු නිසාය. එවන් දෙදෙනෙකුත් ලිංගිකව උනුන්ට ආකර්ෂණය වෙනවාද?
එතකොට රමණයකදී
පැසිව්- active කොටස් ඉටු වෙන්නේ කවුරු කවුරුන් අතින්ද?
ඇක්ටිව් භූමිකාව ජව සම්පන්නයාගෙනුත්, passive භූමිකාව වඩා සියුමැලි; වඩා සෞම්‍ය හාවභාව ලීලාවන්තයා වෙතිනුත් ඉටු කෙරෙන සම්ප්‍රදාය වෙනසකට බඳුන් වෙමින් තිබෙනවාවත්ද?

... කජ්ජත් එළියෙන් එල්ලී-එල්ලී තියෙද්දීය, කජ්ජ බිසමින් මට ආපහු ලංකාවට යන්නට සිද්ද වෙන්නේ.

මට තිබුණු ළිං ගෙඹි අත්දැකීම් අනුවය, මා ඒ දිනවල සිතුවේ.

එතෙක් මගේ සුකුමාර ලීලාවට ආකර්ෂණය වූ සමකාමීන් වැඩිම දෙනෙක් පූර්ණ පෞරුෂයක් ඇත්තෝ වූහ. තවත් විදිහකින් කියන්නේ නම් ‘ටෙස්ටස්ටරෝන් හෝමෝන’ය යහමින් නිපදවෙන සිරුරු ඇත්තෝ වූහ. ඒ මගේ නිරීක්ෂණයයි.

අනෙක් පැත්තෙන් බලද්දී, මගෙන් නිරන්තරයෙන්ම කෙරුණේ passive භූමිකාවය. එයින් සිදු වුණු ලොකුම යහපතකුත් තිබිණි. මා මෙය කියන්නේ මහත් අභිමානයෙනි.
මගෙන් කවම කවරදාකවත් බාල අපයෝජන කිසිවක්ම සිද්ද වෙලා නැත.
(සමහර අවාසනාවන්ත කාමුකයන් උපදින්නේම ළමා අපයෝජකයන් ලෙස හැඩ ගැසෙන්නටය.)

රෝයි අංකල්ලාගේ ගෙදර සිට අපේ ගෙදරට එනකල්ම කාර් එක ඇතුළේ සද්ද-බද්ද නොකෙරුණේය. ඒ ඩැඩාට කේන්ති ගිහිං තිබුණු හින්දාය. එහෙම වෙලාවටය, කෙනෙකුගේ ඔළුව යකාගේ කම්මල වෙන්නේ. මගේ ඔළුවටත් එදා පොටේ වුණේ ඒ ටිකමය.
මේ යන විදිහට නං මේ සම්මජාතියෙදී අපේ ඩැඩා මට උදව් කරන එකක් නැත. උදව්වක් ගන්නට තරං වෙන කිසිවෙකු මා දන්නෙත් නැත. ආපු විදිහටම කජ්ජත් එළියෙන් එල්ලී-එල්ලී තියෙද්දීය, කජ්ජ බිසමින් මට ආපහු ලංකාවට යන්නට සිද්ද වෙන්නේ.

ඒකෙත් හැටි!
අපේ මහරගම ආච්චී ප්‍රාර්ථනා කළේ ලබන ආත්මයකදී හෝ පිරිමියෙකු වෙන්නටය.
කළු අක්කාත් එහෙමය. “නිමල් මල්ලී, මටත් ඕනි ලබන ආත්මෙදිම ඔයාලා වගේ පිරිමියෙක් වෙලා උපදින්න. ඒකට ඕනි කරන පළමුවෙනි කාරණාව දැනටමත් මං සම්පූර්ණ කරගෙනයි තියෙන්නේ.” කළු අක්කා කිව්වේ එක සැරයක් හෝ දෙකක් හෝ විතරක් නොවේ.
“ඒ මොකද කළු අක්කේ ඒ කාරණය?”
“නිමල් මල්ලී දන්නැද්ද. ගෑනියෙක්ට පිරිමියෙක් වෙලා උපදින්න නං ඒ ගෑනු කෙනාගෙ මනුස්සයා අවසර දෙන්න ඕනියි කියනවනෙ. දූරු දෙන්නෙකුයි, පුත්තු දෙන්නෙකුයි උපද්දල දුන්නට පස්සේ
සෝමේ අයියා මට ඒකට වරම් දුන්නා!”   

සෝමේ අයියා කිව්වේ කළු අක්කාගේ සැමියාටය.
“ඔහොම අවසර ගැනිල්ලක් ගැන, මං කියෝපු කිසිම තැනක මට අහුවෙලා නැහැනෙ කළු අක්කේ. බණකටවත් ඔහොම දෙයක් කියැවෙන්නෙ නැහැනෙ.” එක සැරයක් මට කියැවුණාත් මට මතකය.
“හාමුදුරුවරු නං නිමල් මල්ලී, කොච්චරවත් කියන්නේ පන්සලට දියල්ල- දියල්ල- දානේ දියල්ල කියල විතරමයිනේ.”

මල්ලියා බයිසිකලෙන් ගිහිං Hounslow News පත්තරෙත් බෙදනවා...

ඔහොම මතක සාගරයක කිමිදෙමින් ගෙදර එනවාත් එක්කම වගේය, අම්මාට call එකක් ලැබුණේ.

“ආනේ... නීලියා... කොච්චර එකක්ද ඩාාාාාාාර්ලින්? ... ඔව් අනේ, අපි ගෙදර හිටියේ නෑ. රෝයිලගේ ගෙදර ගියා, කෑමකට. ඉතිං... ඉතිං...”
අම්මාගේ කතාවත්, හිනාවත් කුස්සියටම ඇහෙයි.

එදා රෝයි අංකල්ලා ගෙදර යන්නට කලින්, මුං ඇට වගයක් පෙඟෙන්නට දමලාය- මං ගියේ.

“මේ කරිය නං හරී ෂෝක් ලොකා. අම්ම නං ඉක්මනටම තැම්බෙන නිසා හැමදාම පරිප්පුමයි උයන්නේ. මට පරිප්පු එපා වෙලා ඉන්නෙ. ආයෙම ටිකක් වැඩියෙන් හදමු ලොකූ. පොඩි කන්ටේනර්වලට දාල ෆ්‍රිජ් එකේ තියා ගන්නත් එක්ක.” සමන්ති නංගී උදක්ම ඉල්ලා හිටියේ, මා මුං ඇට කරියක් සාදා දුන්නාමය.

“අනේඒඒඒඒඒ ඔව් නී..ලි..යා. මටත් ලේසියි නේන්නං. දැනුත් ඔන්න රංජි මුං ඇට වගයක් උයන්න ලැහැස්ති වෙනවා... ඈෑෑෑ. ඔයාගෙත් ෆේවරිට් එකක්ද... එහෙනං ඉක්මනටම දවසක එන්න. බත් ටිකක් කාලම යන්න බලාගෙන...”
Call එක ඉවර කළ අම්මා කෙලින්ම ආවේ කුස්සියටය.

අම්මා ඊට කලින් දවසකත් නීලියා ගැන මට කියා තිබිණි.

“ඔන්න, අද හෙටම වෙලාවක නීලියා මෙහෙ එයි. අපරාදෙ කියන්න බෑ. හරී ෂෝක් කෙල්ල. නීලියාගේ නංගිත් මෙහෙමයි ඉන්නේ. නංගිට දුවෙකුත් ඉන්නවා. සිංගල් පේරන්ට්! එයාලගේ ගෙදර garden එකේ වැඩ කරලා දෙන්නේ අපේ දීපාල්. Pocket මනි විදිහට ඒකා කීයක් හරි හම්බ කර ගන්න එකත් හොඳයිනෙ. සතියකට සැරයක් මල්ලියා බයිසිකලෙන් ගිහිං Hounslow News පත්තරෙත් බෙදනවා...”
“මොකක්ද අම්මෙ, අම්ම කොහෙන්ද කතාව පටන් ගත්තේ. කොහෙන්ද ඉවර කරන්නේ. නීලියාගෙන් පටන් ගත්තේ...”

“ඉන්නකෝ රංජි කියනකල්. සමන්තිලා දීපාල්ලා සේරම නීලියාට කතා කරන්නේ ‘ආන්ටි’ කියලා. නීලියාගේ නංගිටත් එහෙමයි. ඔන්න නීලියා ආව ගමන්මත් මුං ටික එහෙම කියන්න ගනියි. ඒ වුණාට, ඔයාල එහෙම ඒ විදිහට කියන්න හදන්න එපා. නීලියා කියල කතා කරන්න. තේරුණද...”
“අර මොකෝ විශේෂයක්?”

“හේතුවක් තියෙන හින්දනෙ මම කියන්නේ. එහෙම කළාම ඉවරනේ. මොකෝ පැත්තක් යනවයි කියලද?”
“එතකොට අනිල්?”
“මම මේ එයාටත් කියලා තියන්නයි යන්නෙ.”

අම්මා කතාවට තිත තිබ්බේ Sam කුස්සියට ආ නිසා වගෙය පෙනුණේ. ඉවෙන් වගේ මට හිතුණේ අම්මාත් මොකක්දෝ උප්පරවැට්ටියකට අර අඳින විත්තියයි. හිටි ගමන්ම අම්මා එහෙම වැඩත් කරන්නීය.

 ‘දේසේ හැටියට වාසේ වෙනස් කරගත්තුඑක විදිහකි...

“මොනාද ලොකූ, මම ඔයාට කරල දෙන්න ඕනි? බොම්බේ Onion ගෙඩි දෙක chop කරලා දෙන්නංද. Green චිලීස් කපන්නත් දැන් මට පුළුවන්. හැබැයි ලොකූ, එතකොට නං අත පිච්චෙනවා...”

“අනේ මෝඩි! මිරිස්වලට අත පිච්චෙන්නේ නෑ. දැවිල්ල ගන්නවා... එතැනට හරි යන්නෙ ඒ වචනේ.” මම සමන්ති නංගිට තේරුම් කර දුන්නෙමි.

“ඔයා දන්නෑ ලොකූ. ඩික්ෂනරියෙන් සමහර වචනවල තේරුම් හොයන්න ගියාම හරියට හිනා යන වෙලාවලුත් තියෙනවා.”
“ඒ වුණාට සමා, ඔයාට නං තවම සිංහල වචන ගොඩාරියක් මතකයිනෙ. මල්ලියි දීපානියි තමා තටමන්නේ.” ඒ වෙනකොටත් දීපාල්, දීපානි දෙන්නාටම සිංහල අමතක වී යමින් තිබිණි. සමන්ති නම් එවිටත් සිංහල බසින් ලිවීමේ හැකියාවත් ඇතිවය සිටියේ.

“අපෝ මට සිංහල නම් අමතක වෙන්නෙ නෑ... අමතක වෙන්න දෙන්නෙත් නෑ, ලොකා. එහෙම අමතක කළොත් එහෙම ආයෙ ලංකාවට ගියාම- මට අපේ ආච්චිත් එක්ක කතා කරන්න බැරිව යනවනේ.”

“ඔව්, ඔව්! ආච්චී තවම මතක් කර කර හිනාවෙනවා, ඔයා ආච්චිගේ පර්ස් එක අයිති කර ගන්න හිටිය හැටි කිය-කියා.”

“... ආ... ආ... ඔය මොනාද ලොකූ, ඔයා වැරදිලා කරියට දාන්න හදන්නේ. Curd නේද?”
“හ්ම්!” ව්‍යංජනයට මුදවපු කිරි එකතු කරමින් මම සමන්තිට කිව්වෙමි. ඒ එංගලන්තයේදී මං වහන්සේ ‘දේසේ හැටියට වාසේ වෙනස් කරගත්තු’ එක විදිහකි. (ලංකාවේදීත්
Women’s Day සඟරාවේ උදව්වෙන් එහෙව් අතිසාර්ථක ආදේශකයක් හොයාගත් හැටි කලින් දවසක හිතාදර පාඨක ඔබට කීවෙමි.)

එහෙ තිබුණු Coconut Cream මට නං හරි ගියෙම නැත. ඒවා දැම්මාම හොද්දෙන් ආවේ කිරි රසයක් නොවේ, තෙල් රසයකි.
Hounslow ඉන්දියන් කඩයක පොලුත් තිබිණි. ඒ දවස්වල පොල් ගෙඩියක් පවුමකි. වැරැද්ද ඒ පොල් හොඳටම කරුකුට්ටන් වෙලා තිබුණු එකය. ඒ පොල් බෑයකින් බාගයක් ගාන්නටත් කලින්ම කටුවෙන් ගැලවෙයි...

ඒ නිසා, පොල් කිරි වෙනුවට යොදන්නට- මා තෝරා ගත්තේ මුදවපු කිරි ආදේශකයයි!

ට්‍රීන් ට්‍රීන්... ට්‍රීන් ට්‍රීන්...
à ඊළඟ කොටසට...

28 comments:

  1. අද කතාවත් හොඳයි. වංගු නෑ, ඒ නිසා එක හුස්මට කියෙව්වා.🤣

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක් එක හුස්මට කියෝල මළා.

      Delete
    2. බුදාම්මෝ! මම බේරිලා තියෙන මාරකේ. කවදා හරි එක හුස්මට ලියන්නයි හිටියේ.... ආයෙ නං මේ සම්මජාතියේ එහෙම හිතන්නෙවත් නෑ.

      Delete
  2. නිදි කොතනද කෑම එතන. මේ මනුස්සය එහේ ගිහිල්ලත් උයන එකනෙ කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සබ්බේ සත්තා ආහාරට්ඨිටීකා -වගේ බණ පදයක් අපේ අනුර ජිනදාස හිතවතා නං ඔහොම වෙලාවට කියනවා. චුට්ටක් ඉන්නකෝ, ඒක ජාලයේ තියෙනවද බලන්න. තිබ්බා.
      https://panhinda.sirisaddharmaya.net/%E0%B7%83%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B7%9A-%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F/

      Delete
  3. Coconut Cream මට නං හරි ගියෙම නැත //
    මම කලින් වැඩ කරපු තැන පොල් ක්‍රීම් හැදුවා , අඩු ගානට ගන්නත් පුළුවන්, එත් පොල් කිරි වල රස එන්නේ නෑ , මං හිතන්නේ ප්‍රොසෙස් එකේදී අදික උෂ්ණත්වයට රත් කරන නිසා රස වෙනස් වෙනවා, පොල් වතුර වලටත් එකමයි වෙන්නේ,(Vita coco)

    ReplyDelete
    Replies
    1. එහෙනං ඒක තමයි රහස, ලලිත් මහත්තයෝ.

      Delete
  4. https://eachother.org.uk/short-history-homophobia/

    ඔය අවු 30කට විතර ඉස්සරනෙ. ඩැඩාගේ හෝමෝෆෝබියා ලෙඩේ පසු කාලයකවත් සුව වුනාද?

    ReplyDelete
    Replies
    1. Pra Jay

      මේ බ්ලොග් එකෙත් ප්‍රොෆයිල් නේම් එන්නෙ නැති කරදරේ තියනවනෙ. වැටක් ගහල හිටියං ඉවරයි. පාස්වර්ඩ් අරව මේවා හොයන්නෙ නැතුව.

      Delete
    2. හා.
      +++++++++++++
      ඇණ, මිටිය ගෙනාවද?

      Delete
    3. //යමෙක් යමක් ගැන ඉතා දැඩි උනන්දුවකින් කටයුතු කරන්නේ නම්, ඉබේම වාගේත් එයට උදව් ලැබෙයි. ඒ න්‍යාය මා සම්බන්ධයෙන් නම් තිතටම නිවැරදිය. ඒකට හොඳම නිදසුනක් ඊයේ පෙරේදාවකත් මට ලැබිණි.// එහෙම ලියලා ඉවර වෙනවත් එක්කම මෙන්න තවත් ලොකු උදව්වක්!
      ස්තුතියි Pra Jay.
      නිතරෝම උත්ප්‍රේරණයක් වෙන බස්සා මහත්තය ඇතුළු හැමටත් ස්තුතියි!

      Delete
  5. තිරිත්තමක් ඇතිවය- අලුත් වචනයක් ඉගෙන ගත්ත. අපි දාන්නේ කොකනට් පව්ඩර් එක. ඒකට පොල් රහ එනවනේ හොඳට. ඒ කාලේ ලාබෙට නම් තිබ්බේ නැහැ හැබැයි. චීන කඩවල තිබ්බ සෑහෙන ගණන්.

    ReplyDelete
    Replies
    1. මමත් දැන් නං කොකනට් පව්ඩර් පාවිච්චි කරනවා, අජිත් මහත්තයෝ. ඒවා සුලබව ආවේ පසු කාලෙක නේද?

      Delete
  6. නීලියව නිදිට බන්දල දෙන්න නේද අම්ම හදන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ පන්දුවට නං දැන්ම ප්‍රහාරයක් එල්ල නොකර ඉන්න එකයි හොඳ.

      Delete
  7. "එහෙම අපේ පරම්පරාවටම පයින් ගහපු මමවත්, අද අශාන් මල්ලිට උදව් කරන්න ඕනිනේ ලීලා". ඒක තමයි නේද හරි attitude එක.

    "ඒ ඔවුන් දෙදෙනාම පරිපූර්ණ පෞරුෂයක් ඇත්තවුන් ලෙස පෙනුණු නිසාය" ඔව්නේ. හැබැයි ඒ අපිට පිටින් පේන විදිහනෙ. හැසිරීම් රටාව sub conscious එකෙන් කලමනාකරණය වෙන විදිහ අපිට පේන්නෙ නෑනෙ. කවුරු හරි දන්නෙ කෙනෙක් හොඳ explanation එකක් දුන්නොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. සුමිත්‍රා ආන්ටි වගෙ පුළුල් දැක්මක් තියෙන අය හරි අඩුයි, Lotus. හැබැයි, එහෙම ප්‍රගතිශීලීව බලන අයගෙන් (මට වැඩියෙන්ම හමුවී තියෙන්නේ) කාන්තාවන්!

      // හොඳ explanation // ලැබේවා කියලයි මමත් පතන්නේ.
      ඉදිරියෙදී ලියවෙන්නට තියෙන posts කීපෙකට ඒවා ප්‍රයෝජනවත් වෙන නිසා.
      ස්තුතියි, මේ කාරණය උලුප්පා දැක්වූවාට.

      Delete
  8. නිමල් ෆිල්ම් එකට කැමති වුනා නම් හොඳයි. ඒකෙ මම තව දැක්ක දෙයක් තමයි බටහිර, (දකුනු) ආසියානු කියලා වෙනසක් නෑ අම්මලා දෙන්නම එක වගේ- කිසිම දෙයක් ගැන හොයන්නෙ බලන්නෙ නැතුව කෑ ගහන අය. තාත්තලා දෙන්නම ඉවසීමෙන් කටයුතු කරන අය. මතකද ජූල්ස්ගෙ අමම්ට ෆුට්බෝල් නීති රීති තේරෙන්නෙ නැතුව කෑම මේසයෙදි ලුනු ගම්මිරිස් බෝතල් පාවිච්චි කරලා ජූල්ස්ගෙ තාත්තා ඒ රූල්ස් කියාදෙනවා.

    ReplyDelete
    Replies
    1. ජූල්ස්ගේ තාත්ත ඒ බෝතල්වලින් පාඩම කියා දෙන තැන බලද්දී නං මට බඩ අල්ලගෙන හිනා වෙන්න වුණේ. හරිම අපූරු විහිළු නොවෙන විහිළු!

      Delete
  9. සොරි ආයිත් එන්න වුනා කලින් කමෙන්ට් එකක නිමල්ට cramps ආවා කියලා තිබුනා නේද පොල් ලෙලි ගහන්න ගිහින්. Hope you got better.

    ReplyDelete
    Replies
    1. Cramps වගේ නෙවෙයි Lotus. මස්ල් තුවාල වීමක් වගෙයිලු. හරියටම සනීප වෙන්න කලින් ආයෙ ආයෙ පෑරෙනවා. ඒක තියෙද්දීම බැරි වැඩ කරන්න යන නිසා.

      ලොකුම වැරදිකාරයො මදුරුවො. මේ comment එක ලියද්දීත් දෙතුන්- පාරක්ම උන්නැහෙලා මගෙ වටේ කැරකිලා කූං කූං ගාල ඇවිත් දෂ්ට කළා..එතකොට නිකම්ම දකුණු අත 'බහ්' ගාලා ඉස්සෙනවා උන්ව තලන්න. බැහ් වෙනවා විතරයි, අතත් පෑරිලා.
      මතක තියාගෙන ඉඳල, ඇහුවට ස්තුතියි Lotus!

      තවම ගෙවෙන්නේ මගෙ ටිකිරි වයස නිසා ලෙඩ සනීප වෙන්නේ හෙමින්,

      Delete
  10. කවුදෑ මේ... බෙල් එක කඩන්න හදන්නෙ

    (මං කොමෙන්ට් කරන්ට පහුවෙලා නෙමේ ඔහේ පොස්ට් එක දාන්න ඉක්කන් වෙලා නිදිතුමෝ 😄)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නමී. දවසක් ඉක්මන් වුණා නේන්නං!
      Comment එකට තුති!

      Delete

  11. //ඒ පොල් හොඳටම කරුකුට්ටන් වෙලා තිබුණු එකය
    නිදි ඒ පොල් ලංකාවේ විදියට මුඩ්ඩ එක්කමද තිබුනේ
    නැත්තන් මුඩ්ඩ අයින් කරලද

    ReplyDelete
    Replies
    1. ලංකාවේ විකුණන්න තියෙන පොල්වල වගේ ලොකුවට මුඩ්ඩක් තිබ්බේ නෑ. හැබැයි සහමුලින්ම අයින් කරලා තිබ්බෙත් නෑ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්