අකුරු මැකී නෑ

Thursday, December 28, 2023

තිස් එකේදී... තිස්පස්වෙනි කොටස

ඒ දවස්වල ජෝලගේ ගෙදරින් දිගටම කෑව ගිතෙල් වැඩි කෑම නිසා මගේ සිරුරේ ‘ශුක්‍ර ධාතු නිෂ්පාදනය’ වීමත් වැඩියෙන් කෙරුණද මන්දා... අනෙක් කාරණේ ‘පද්මේ’ වගේ දෙතුන් දෙනෙකුගෙන් මට ලැබුණු ශෘංගාරය වෑහෙන ලියුම්. ගොඩක්ම erotic ලියුම් එව්වේ රැකියාවක් කරන්න ඇමෙරිකාවට ගිහිං හිටි මගේ පරණ යහළුවෙක්. මගේ ‘රහසිගත විශ්වයේ ඉහළ පෙළේ පුරවැසියෙක් වුණු එයා’ කාම සාස්තරේ කෙළ පැමිණි අනංග දෙයියෙක්... ජිම්නාස්ටික් නිපුණයෙක් වගෙයි...

‘රංජි මල්ලී, ඔයත් මෙහෙ කිට්ටුවක හිටිය නං...
එපාවෙන සීතලේ දෙන්නට දෙන්නා බදාගෙන තුරුල් වෙලා... එහෙනං මට රෑට නිඳා ගන්න වෙලාවක් තියෙනෙකක් නෑ...’

හිතේ තෙරපෙන හැඟීම් සේරම තවත් කෙනෙකුට ‘වචනවලින්’ ඒ විදිහටම කියන්න ඇහැකිද? Foto එකක්, චිත්‍රයක් වැඩියෙන් ප්‍රබලය කියලත්...

එයාගෙ ලියුමක මට ලියා එවල තිබුණා! එයා කිව්වේ සේකර අයියට!!

කෙනෙකුගේ හිතේ තෙරපෙන හැඟීම් සේරම තවත් කෙනෙකුට ‘වචනවලින්’ ඒ විදිහටම කියන්න ඇහැකිද? Foto එකක්, චිත්‍රයක් වචන ගොඩකට වැඩියෙන් ප්‍රබලය කියලත් සමහර තැනක කියවෙනවා තමයි. ඒත්... ඒ foto එක දිහා බලන බලන සැරේට ඒක එක එක විදිහට පෙනෙනවයැ...

ලියපු දෙයක් එහෙමද? එකම වැකියක් වුණත් එක වෙලාවකදී කියවනකොට දැනෙන හැඟීම නෙවෙයිනෙ, තවත් අවස්ථාවකදී අපට දැනෙන්නෙ. ගිය සතියේ මටත් එහෙම දෙයක් හොඳටම දැනුණා.
පසුගිය කොටස අවසානයෙදී ‘මට ලැබුණු ශෘංගාරය වෑහෙන ලියුම්- ගොඩක්ම erotic ලියුම් එව්වේ...’ කියලා කීම සේකර අයියට කරපු අසාධාරණයක්ය කියල ඒ post එක publish කළාටත් පස්සේ මට හිතුණා. එහෙම ‘ලඝු කිරීම’ වැරැද්දක් වෙන්නේ මෙහෙමයි.
ඒ ලියුම්වල තිබුණෙ ශෘංගාරය විතරක් නෙවෙයිනෙ!

බැලූ බැල්මට නං ලියුමක තියෙන්නේ වචන... වාක්‍ය... විතරයි කියල තමා අපට පෙනෙන්නෙ. ඒත් එහෙම ලියන ලියුම්වල අකුරු අතරේ- වචන අතරේ ලියන කෙනාගෙ මනෝ භාවයන් සේරමත් හැංගිලා තියෙනවනෙ; දුක, සතුට, තනිය, අසහනය වගේ... මිනිස්සු කොච්චරක් නං ‘තමන්ව පෙළන ඒ වගේ හැඟීම්’ තමන්ගේ අභ්‍යන්තරේම හිර කරගෙන ඉන්නවද- එළියට දමා ගන්න විදිහක් නැතිව?

තවත් කාරණයක්! කටෙන් කියන දෙයකට වැඩිය ශක්තියක් ලියන දෙයකට තියෙනව වගෙයි කියලත් මට වෙලාවකදි හිතෙනවා. මොකෝ දන්නවද එහෙම හිතෙන්නේ. ලියන දේවල් අස්සේ ‘හැංගිලා තියෙන චිත්ත රූප’ වඩාත් තියුණුයි; ලස්සනයි කියල මට දැනෙන නිසා.
ඔයාලටත් එහෙම දැනෙනවද?

“රංජි මල්ලී. ඒ දවස්වල අපි කරපු දේවල්... එදාට වැඩිය දැනුයි දැනෙන්නේ. දැනුත් තනියෙන් ඉන්න වෙලාවට. වැඩ ඇරිලා ආවම, වොෂ් එකක් දාගෙන ඇඳට වැටුණම film එකක වගේ අපේ හපන්කම් පේන්න ගන්නවා. තමුසෙ නං දැනටමත් එංගලන්තෙ කෑම කනව ඇති, මට නොකිව්වට... ලේසි බඩගින්නක් නෙවෙයිනෙ තමුසෙට තියෙන්නේ.”

ඇත්තම කිව්වොත්, ඒ දවස්වල මං පණ බයේ හිටියෙ, සේකර අයියාගේ ලියුම් වෙනින් කවුරුවත් දැක්කොත් කියල.
‘රංජි මල්ලී... තමුසෙ මේ ලියුම් කියවල ඉවර වෙච්ච ගමන්ම ඒවා ඉරල දාන්න ඕනි. හොඳද. කවුරුවත් දැක්කොත් එහෙම. මමත් ඔයා එවන ලියුම් තියා ගන්නෙ නෑ. ඒත් ඒවා විනාස කරන්න ලෝබයි... තමුසෙ පණ පිහිටුවලනේ ඒවා ලියන්නේ. ඉතින් මාවත් ඇවිස්සෙනවා-
මාවත් නරක් වෙනවා! ඒවා කියවනකොට නිකම්ම පොඩි එකා නැඟිටිනවා... ඌ පව්, මල්ලී. ඔයාවත් ළඟ නැහැනෙ. ඌට ඉතින් මගෙම අත තමයි පිහිටට  ඉන්නේ...”

‘ඒ වගෙම තමයි පුතෝ, මීට පස්සේ තමුසෙට එයාගෙත් එක්ක ඉස්සර සෙල්ලං එහෙම කරන්න යන්නත් බැරි වෙයි.’

එංගලන්තයට ගිය මුල්ම කාලයේ නම් එයා එවන ලියුම්වලට මගෙනුත් පට ගාලා උත්තර ලියවුණා තමයි.

ඒත් AIDS ගැන  කාරණා දැනගන්න දැනගන්න, සේකර අයියට උත්තර ලියවෙන එක පරක්කු වෙන්න පටන් ගත්තා. හැම විජ්ජාවටම වැඩිය ගැලවිජ්ජාව ලොකුයි නෙව!
‘කවුද දන්නෙ ඒ යක්ෂයා ඇමෙරිකාවේ ඉන්න අතරේ මොන-මොන සෙල්ලං කරනවද කියලා.’ එහෙමයි මට හිතුණේ. ‘ඒ වගෙම තමයි පුතෝ, මීට පස්සේ තමුසෙට එයාගෙත් එක්ක ඉස්සර සෙල්ලං එහෙම කරන්න යන්නත් බැරි වෙයි.’

‘කමක් නෑ, කමක් නෑ නිදි! මීට කලින් ඔයිට වැඩිය අයත් ඈත් වෙලා ගියේ...’ මගේ අන්දොස් හිත කිව්වා.

‘ඒත් යක්ෂයො ඉඳහිට හරි ඒ මනුස්සයට ලියුමක් ලියපං. ඒක නේද යුතුකම. තමුසෙගෙ පවුලෙ කට්ටියත් එක්ක මෙහෙ ඉන්න අස්සෙත් උඹට තනියක් පාළුවක් දැනෙනවා නං, එයාට කොහොම දැනෙනව ඇතිද... පව් නේද?’
යටිහිත එහෙම සාධාරණ වුණත්, නිමල් දිසානායක නම් එතැනදී සාධාරණ වුණේ නෑ. සමහර වෙලාවට මං වහන්සේ අමු පාදඩයෙක්; තෙතමනයක් කියලා දෙයක් නැති අමනුස්සයෙක් වගෙයි act කරලා තියෙන්නෙ. එහෙම නේද හැඟෙන්නේ?
හැබැයි, වැඩියත්ම මං ඔහොම නසරානි අපතයෙක් වෙලා තියෙන්නේ ‘මගේ හැංගුණු විශ්වයේ සාමාජිකයන්ට’ය කියන එකත් මෙතැනදී නොකියාම බැහැ.

ඒ ගැනත් ඒ දවස්වලම මට කල්පනා නොවුණා නෙවෙයි.

‘සේකර අයිය වගේ අයයි මගෙයි අතර තියෙන්නේ කාමුක බැඳීමක් විතරද? මමත් වැඩියෙන් ආකර්ෂණය වෙලා තියෙන්නේ වැඩි තෘප්තියක් ලබා දුන්නු අයට... (ඈ, ඒකත් එහෙමද?) ඇයි තමුසෙ හංගන්න හදන්නේ, වෙන මොකක්ද එහෙනං...
එහෙම නෙවෙන්නං. අච්චර කිට්ටුවෙන් හිටි සංජේ... ඈත් වුණ අඩුව තමුසෙට දැනුණේ කී දවසකටද? තව හපනෙක් මාට්ටු වුණු ගමන්ම තමුසෙට ඌට වැඩිය කෙනෙක් නෑ. ඔව් පුතෝ...  උඹේ කූටාලියෝ කාට වුණත් උඹ ළඟ තිබ්බේ ආදරයක් හෙම නෙවෙයි. කෑදරයක්... ඒකත් මහ අසික්කිත කෑදරයක් යකෝ.

තමුසෙ මහ ලොකුවට ආදරෙයි- ආදරෙයි කියලා
නැහෙන්න ගිය දීඝායු... හොඳම උදාහරණෙ.
එයා උන්නද මළාද කියලවත් හොයල බලන්න ළඟකදි හෙම තමුසෙට මතක් වුණාද?’

ඉලක්කම් භාෂාවෙන් ලියු නිසාදෝ, ඒ සටහන තවත් දිගට මගේ දිනපොතේ ලියවී තිබේ. එදා මට දිගු විවේකයකුත් හිමිව තිබුණු බවය, එයින් කියා පාන්නේ.

එසේය, ඒ සීතල උඳුවප් මාසයේ දවසක හිමිදිරියේ මම අවසාන තීරණය...

‘ඔය හින්දම තමයි තමුසෙගෙ ඉලව් ඔපරේෂන් එකේ අදහස අතෑරලා දාන්න ඕනිත්. චපලකම වැඩි කෙනෙකුට... එක්කෙනෙකුගෙන් සෑහෙන්න බැරි කෙනෙකුට හොඳම දේ තමයි තනියෙන් ඉන්න එක. තමුසෙ කැමති නැහැනෙ ගෑනියෙක් වෙලා පිරිමියෙක්ට second වෙවී ඉන්නත්.’

එදා රාත්‍රියේ දිනපොතේ සටහන්ව තිබිණි.
‘තවත් හිතන්න දෙයක් නෑ බං මොට්ටයෝ! ඒක තමයි කරන්න තියෙන හොඳම දේ.’

ඉදින්, ඒ සීතල උඳුවප් මාසයේ දවසක හිමිදිරියේ මම අවසාන තීරණය ගත්තෙමි.

ලිංගික සැත්කමක් කරවා ගැනීම පිළිබඳ අදහස සම්පූර්ණයෙන්ම අත්හැර දැමුවෙමි! අවුරුදු දහයකටත් වැඩි කාලයක් තිස්සේ, හිත පතුළේ සඟවාගෙන සුරැකි ඒ අදහසෙන් නිදහස්වීම මට ගෙනාවේ සතුටකි. ඒ සතුටෙන් ඔකඳ වෙමිනි, මා ජෝලගේ නිවසට ගියේ.
“Nimal, please excuse us. I forgot to tell you. This afternoon we have to go out. මගේ වයිෆ්ගේ අම්මල ගෙදරට. එයා සනීප නැතිව ඉන්නේ. ඉතිං... උඹ අද වරුවක් විතරක් වැඩ කරලා යනවද... නැත්තං...”

“කිසි ප්‍රශ්නයක් නෑ මිස්ටර් ජෝ. මටත් නිවාඩුවක් ඕනි වෙලා තිබුණේ. එතකොට උඹලා හෙට උදේ ගෙදර ඉන්නවද?”
“That is why, මම උඹට අද නිවාඩුවක් ගන්න කිව්වේ. අපි එන්නේ අනිද්දා; Sunday හවස. ඔයා සඳුදා උදේ එන්න. By the way, I am going to Hounslow. I can drop you there.”

“Thank you Joe! මම හිතුවේ අද මේ ගමන්ම සවුත් හෝල්වල ටිකක් ෂොපින් කරන්නයි. ලංකාවෙ යාළුවන්ට ගෙනියන්න පොඩි පොඩි  තෑගි ටිකක් ගන්න තියෙනවා.”
“OK! එහෙනං මම උඹට advance එකක් දෙන්නං. පවුම් පනහක් ඇති වෙයි නේද?”
මම ඒ මුදලත් සාක්කුවේ දමාගෙන පාරට බැස්සෙමි.

1985 දෙසැම්බරයේ ලන්ඩනයට හිම වැටුණේ නැත.
එහෙත් මදි නොකියන්නටම සීතල තිබිණි. දවසෙන් වැඩි හරියක් තියෙන ඇඳිරියත්... මට මතක හැටියට ඒ දවස්වල එහාට එළිය වැටුණේ උදේ දහයට විතරය. හවස තුනටත් කලින් ඇඳිරි වැටී හමාරය.

ඒ දවස්වල- සීතලට ඔරොත්තු දෙන ඇඳුම්වලින් සැරසී, මේස්- සපත්තු- අත්වැසුම් සේරම දමාගෙන ගෙදරින් එළියට බැස්සත් මදිය. නළල් තලයෙන්- නාසයෙන්- දෙතොල්වලින් තද සීතල සිරුරට කාන්දු වෙයි. ඇයි දෙඅතට?
මට හොඳටම මතකය. ‘ලොකූ. මේවාත් දාගන්න... ඇඟිලි ගල් ගැහෙන එක නවතියි.’ කියමින් අපේ දීපාල් මට ‘මිට්න්ස්’ (mittens) ජෝඩුවක් දුන්නේය. (ඒ මිට්න්ස් කිව්වේ ලෝම නූල්වලින් ගොතන ලද අත්වැසුම් වර්ගයකටය.) මොන... මට නං හිතුණේ කවුරුන්දෝ මගේ ඇඟිලි තුඩුවලට අල්පෙනෙත්ති කටුවලින් අනිමින් හිටිනවා කියලයි.

වයසක උදවිය සෑහෙන දෙනෙක්, මේ දවස්වල පරෙස්සමක් නැතිව පාරේ යන්න ගිහිං බ්ලැක් අයිස් උඩ ලිස්සල වැටෙනවා.

“රංජි. මේ දවස්වල සීතල වැඩි හින්දා පරෙස්සමින්. ඔයා පාරේ යනකොට හොඳට බලාගෙන යන්න ඕනි. Black Ice උඩින් යද්දී ලිස්සල වැටෙන්න ඉඩ තියෙනවා.” අපේ අම්මා මට මුලින්ම අනතුරු අඟවා තිබිණි. “වයසක උදවිය සෑහෙන දෙනෙක්, මේ දවස්වල පරෙස්සමක් නැතිව පාරේ යන්න ගිහිං බ්ලැක් අයිස් උඩ ලිස්සල වැටෙනවා.”

“මොනවද අම්මෙ බ්ලැක් අයිස් කියන්නෙ?”
“මේ කාලේ ටික ටික වහිනවනේ. එතකොට පාරේ තැනින් තැන එකතුවෙන වැහි වතුර මිදිලා අයිස් වෙනවා. ඒවට තමයි ඔහොම කියන්නේ.”
“ඉතිං තවම හිම වැටෙන්න පටන් ගත්තෙත් නැහැනෙ අම්මෙ...”
‘”හිම වැටුණේ නැතුවට වහිනවනේ... වැහි වතුර මිදෙනවා- සීතලත් වැඩියිනෙ... ඒකයි කිව්වේ.”

මේ ගමන්ම කියල දැම්මාම ඉවරය.
ඒ අවුරුද්දෙ එහාට හිම වැටෙන්නට පටන් අරං තිබ්බේ අපි ලංකාවට ආවාට පසුවය. 1986 ජනවාරි අග හරියේය!

“ඔයාට තරම් යාළුවො නැතත්, මාත් තෑගි ටිකක් ගන්නෝනි.” එදා හැන්දෑවේ මගේ තෑගි ටික දැක්ක අන්නා කිව්වේය. “එතකොටයි ලොකූ මතක් වුණේ. ඔයාගේ සපත්තු ජෝඩු දෙකම මල්ලියාට දීලද යන්න හදන්නේ. මොනවද ඔයා යනකොට දාගෙන යන්නෙ?”

මා එංගලන්තයට යද්දී දමාගෙන ගියේ Bata සමාගමේ ‘මොකැසිනෝ’ සපත්තුය. එවක මගේ ප්‍රියතම පාවහන් වුණේ ඒවාය. එනිසාම එයින් කළු හා දුඹුරු සපත්තු ජෝඩු දෙකක් මා සතුව තිබිණි. ඒවා බඩා මල්ලාගේත් ඇස් ඇදගත් විත්තිය පළමු දවසෙම මට පෙනුණි. ඒ විතරක් නොව අපේ ඩැඩාගේත්...
විදේශීය දෙයක් ලෙහෙසියෙන් අගය නොකරන ඩැඩාත් ඒ බාටා නිෂ්පාදනවල ‘කොලිටිය හොඳය’ යනුවෙන් සහතිකයක් දුන්නේ- විනාඩි ගණනාවක් තිස්සේ තත්ත්ව පරීක්ෂණයකුත් කළ පසුවය.

“දීපාල්, මේක දානවා බලන්න...” ඒ වෙලාවේම මං දීපාල්ට කිව්වා මතකය.
“ඒ මොකටද ලොකා?”
“හරස් ප්‍රශ්න නාහා තමුසෙට කියන දේ කරනවකෝ, මල්ලා... ෂා- ඔය අගේට තියෙන්නේ. ඔන්න අදම කිව්වා, මම ආයෙම ලංකාවට යන දවසට මේ සපත්තු කුට්ටම් දෙකම මල්ලියාට දීලයි යන්නෙ.”

අන්නා මගේ ඒ කියමන මතකයේ රඳවාගෙන ඉඳලාය. ඒ නිසාය අර ප්‍රශ්නය ඇහුවේ.
“මම ඔය මොනව හරි පරණ සපත්තු කුට්ටමක් දාගෙන යනවා. ලංකාවට ගියාම මොකැසිනෝ දෙකක්ම ගන්න බැරිය.”

තීරණ ගත යුතු වන්නේ හොඳින් සිතා බැලීමෙන් පසුවය. ‘පනින්ට පෙර සිතා බලනු’ කියන පැරැණි කියමන අපට හුරුය. ඒත් එවැනි කියමන්වල අරුත අපට නුහුරුය; නුපුරුදුය! රුස්සන්නෙත් නැතිය!!

“අපෝ. මම නං ආයේ ලංකාවේ සපත්තු දාන්න අදහසක් නෑ. මෙහෙ සපත්තු නියමයි ලොකා. දැනටමත් මම සපත්තු කුට්ටම් කීපයක් බලලයි තියෙන්නේ. ගන්න පරක්කු වුණේ ගෙනියන ක්‍රමයක් තිබ්බේ නැති නිසා. එක්කෙනෙකුට සපත්තු කුට්ටම් හතර-පහක් ගෙනියන්න බැහැනෙ ලොකා. මුන් හිතයි විකුණන්න ගෙනියනවා කියලා. ඔයාට පුළුවන්ද මගේ සපත්තු කුට්ටමක් දාගෙන යන්න- යද්දී.”

මම එකඟ වීමි!
මතක් වෙද්දීත් හිනා නැඟෙයි.
ඒ වෙද්දී අපේ ගෙදරින් ඉහළටම ඉගෙනගෙන හිටියේ අනිලුත්, අජිතුත්ය. එයිනුත් වඩා බුද්ධිමතා අනිල්ය. ‘එංගලන්තයට ගිය ඉක්මනින්ම එහෙව් මනුස්සයාත් වෙනස් වී තියෙන තරම.’
ඒත් ඒ වෙලාවේ මා කිසිම දෙයක් කියන්නට ගියේ නැත. නමුත් අනිල් මල්ලිගේ ‘ඒ අදහස’ කොහෙත්ම ප්‍රායෝගික නොවන විත්තිය නම් මගේ හිත එවෙලේම මට අනාවැකියක් කිව්වේය.

ඒ අනාවැකිය ‘ටක්කෙටම හරි ගිය’ එක ගැන මටම දුකය!

අප ආපහු ලංකාවට ඇවිත් මාස කීපයක් යන්නටත් කලින් අනිල් ආයෙමත් බීමට වැටුණේය. ඒ ඉතා හදිසි ප්‍රේම විවාහයකුත් කර ගත්තාට පස්සෙය. බීමත්කම නිසාම අන්නා එයාගේ ජීවිතයත් අවුල් කර ගත්තේය.
(නැවත සිරි ලංකාවේ නිෂ්පාදිත සපත්තු නොදමන්නට ගත් තීරණය එයාටම අමතක වී ගොස් තිබිණි. අනිල් මල්ලී 
අයසට වැටී; පිළිකාවට ගොදුරු වී අකාලයේ මිය යන්නට අවුරුදු කිහිපයකට පෙර සිටම පළඳින්නට පුරුදුව සිටියේ ‘රබර් සෙරෙප්පු කුට්ටම’කි.

තීරණ ගත යුතු වන්නේ හොඳින් සිතා බැලීමෙන් පසුවය. ‘පනින්ට පෙර සිතා බලනු’ කියන පැරැණි කියමන අපට හුරුය. ඒත් එවැනි කියමන්වල අරුත අපට නුහුරුය; නුපුරුදුය! රුස්සන්නෙත් නැතිය!!

එංගලන්තයේ සිට ආපසු එනවිට විශේෂ යමක් ගෙනෙන්නට අදහසක් මට තිබ්බේ නැත. ඒ සමහර විට මගේ මෝඩකම හෝ අල්පේච්ඡතා සොබාවය හෝ නිසා විය හැක. එහෙමත් නැත්තං ‘සරල; පුංචි දේවල්වලින් තෘප්තිමත් වීමට’ මා පුරුදුව සිටීම නිසාත් විය හැකිය.

ඒත්... ඒත්... එහෙම වුණේ හැම දෙයකදීම නොවේ. හැම විටෙකමත් නොවේ...
à ඊළඟ කොටසට...

Saturday, December 23, 2023

තිස් එකේදී... තිස්හතරවෙනි කොටස

මයිඩාස් රජතුමාත්, මෙඩුසාත් ගැන ප්‍රසිද්ධ කතන්දර දෙක නොදන්නා කෙනෙකුට ඒ රූපය අප්‍රබංශයක් විතරකි... කියලයි පසුගිය කොටස නැවැත්තුවේ. ඒ කතන්දර දෙක නොදන්න කෙනෙකු නැති තරං වුණත්... ඒ ග්‍රීක කතන්දර දෙක ඉතා කෙටියෙන්වත් නොකියා හිටියෝතින් හිතට ‘මදි මදි’ වගෙයි නෙව.

ග්‍රීක වීරවර පර්සියස් මෙඩුසාගේ හිස කපන්නේ ඔහුගේ පළිහෙන් පෙනුණු මෙඩුසාගෙ ප්‍රතිබිම්බය දිහාව බලාගෙන.

මයිඩාස් රජ්ජුරුවෝ හෙණ කුණා; වස්තු පෙරේතයා. (අපේ රජවරු වගේ හිටිය ගොඩක් දෙනාත් එහෙම තණ්හාපති පෙරේතයෝනේ.) දවසක් දෙයියෙක් ඒ රජතුමාට වරයක් දෙන්නං කියල කිව්වා. රජතුමා චුට්ටක්වත් පරක්කු නොවී මෙහෙම කිව්වා. ‘අනේ දෙයියනේ, මම අත තියන ඕනෑම දෙයක් රත්තරන් වෙන විදියේ බලයක් මගේ අත්වලට දෙන්න.’ එවෙලේම වරය ලැබුණා... ඉතිරි හරිය කියන්න ඕනේ නැහැ නේද? හිතා ගත්තැකිනෙ.

මෙඩුසා පුදුම බලයක් තිබුණු අමනුෂ්‍යයෙක්. එයාගේ හිසේ කොණ්ඩය වෙනුවට හිටියේ දඟර ගැසුණු සර්පයෝ. කවුරුන් හරි මෙඩූසා දිහා බලනවද, ඒ සැණෙන් බලන කෙනා ගලක් බවට පත් වෙනවා. (ග්‍රීක වීරවර පර්සියස් මෙඩුසාගේ හිස කපන්නේ (කෙලින්ම නොබලා) ඔහුගේ පළිහෙන් පෙනුණු මෙඩුසාගෙ ප්‍රතිබිම්බය දිහාව බලාගෙන).

ඉතින්, කොහොමට හිටීද ඔය කියපු මයිඩාස් - මෙඩූසා දෙන්නාගේ හමුවීමක් සිද්ද වුණොත්?

ඒ පුරාණෝක්ති දෙකම දන්නා කෙනෙකුට පසුගිය කොටසේ අන්තිමට යොදා තිබුණු පින්තූරය දැකපු ගමන්ම ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවනි.
ඒ වගේම නිදිගෙ පංච තන්තරේ ලියන ‘නිදි’ ගැනත්, ගොඩක් විස්තර දැන් ඔයාලා දන්නවා- නිමල් දිසානායකගේ ජීවන අත්දැකීම් කියවීම මඟින්. ඒ ජීවන අත්දැකීම්වලින් සමහර දේවල් මං කිව්වේ සෘජුවම; කෙලින්ම. සමහර ඒවා වක්‍රව... සමහරක් ව්‍යන්ග්‍යයෙන්... එහෙම දේවල් අල්ලගන්න ඇහැක් වුණේ යටි පෙළත් තේරුම් ගන්න හැකියාව ඇති අයටයි!

කොහොමෙන් හරි මොකෝ, එහෙම කියාගෙන ආව කතන්දරයේ විදිහට අපි දැන් ඉන්නේ 1985 දෙසැම්බරයේ මුල; එංගලන්තයේ.

පහුගිය කොටසේදී කිව්වනේ, අපේ සමන්ති නංගිගේ 18 වෙනි උපන් දිනේ දෙසැම්බර් 5 කියලා. “අම්මේ, සමන්තිගේ උපන් දිනේට මොකක් හරි මතක හිටින තෑග්ගක් දෙන්න ඕන.” ඊට සතියකට විතර ඉස්සරින් දවසක මම අම්මට කිව්වා.
“මතක හිටින?” අම්මා මගෙන් ඇහුවා. “ඔසරියක් දෙමුද? Sam තවම සාරියක් ඇඳලත් නැහැනෙ.”

“කීයක් විතර යයිද? අනෙක අම්මේ, මෙහෙ කොහෙන්ද ඔසරි? ඔසරිය අඳින්නෙත් සාරියෙන්මනේ...”
“ඇයි රංජි, ඔයා ආච්චිට
බතික් ඔසරියක් කරලා දුන්නේ... කෑලි තුනේ ඔසරිය මතක නැද්ද?”

“හරි නේන්නං!”
“රංජි, ඔයා ඩැඩාට අඬ ගහන්න South Hall ගිහිං එමුයි කියල. එහෙන් ලාබෙට රෙදි ගන්න පුළුවන්. මම අඬ ගැහුවොත් නං ඔය මනුස්සය බැඃ කියනවාමයි.” අම්ම යෝජනා කළා.
සවුත් හෝල්වලට සමහරුන් කිව්වේ ‘පුංචි ඉන්දියාව’ කියලයි. ඒ තරමටම ඒ පැත්තේ ඉන්දියානුවන් හිටියා. ඒ වගේමයි, ඉන්දියන් බඩුමුට්ටු විකුණන කඩසාප්පු. ඒවා විතරමද මන්දා ඒ පැත්තේ  තිබ්බේ.

‘මසාලා චායි’ නං රසයි. වෙන දවසක අහගන්න ඕනි හදන විදිහ. කුළුබඩු ඔක්කොම දාල වගෙයි; දෙහි- මිරිස්- ගොරකා විතරයි වෙන්නැති දාලා නැත්තේ.
“Let’s go!” අම්මගෙ යෝජනාව ඩැඩාට ඉදිරිපත් කළ ගමන්ම ඩැඩා කැමැත්ත පළ කළා. “නිමොල්, Next few days, you have to go to South Hall.” කියලත් කිව්වා. අම්මත් අහගෙන උන්නේ ‘මොකුත් නොදන්න තොත්ත බබා’ වගෙයි.

“ඒ මොකටද ඩැඩී?”
“My friend Joe is living there. He wants you to decorate his house!”
“සැසිල්, ඔයා කියන්නේ අර chemist එකේ ජෝද? ඒ මිනිහා ඉන්දියන්කාරයානේ.”

“ඉතින්? What’s wrong? ඉන්දියාව කියන්නේ උඹලගේ අල්ලපු රට. අසල්වැසියෝ...
ලීලා, උඹට ඉන්දියන් බනාසේලා හොඳයි... ඉන්දියාවෙම ජෝ නරකයි. I can’t understand your principle.”

“Enough daddy, අම්මත් කට පියා ගන්නකො ටිකකට. Daddy ප්ලීස්- මට කියපන්කො ජෝ ගැන. මටත් තව මාස දෙකයි තියෙන්නේ. ඒ මාස දෙකේදී තව කීයක් හරි හොයා ගන්නම වෙනවා.”
“ජෝ ඉන්නෙ සවුත් හෝල්වල වුණාට මිනිහගේ කෙමිස්ට් ෂොප් එක තියෙන්නේ Hounslowවල. මට හැමදාම එයාව මීට් වෙනවා, කොෆී shop එකට යන ගමන්... උඹලගේ අම්මට එයාව රුස්සන්නෙ නැත්තේ, මෙයා ඉල්ලන සමහර බෙහෙත් ඒ මනුස්සයා නොදෙන හින්දයි. Without doctor’s බෙහෙත් තුණ්ඩුවක්, මෙහෙ කෙමිස්ට්ස්ලා බේත් දෙන්නෑ ලංකාවේ වගේ. කොහෙද... උඹලගේ අම්මමනෙ වෙලාවකට ඩොක්ටර් වෙන්න යන්නෙ...”

“ඒකට කමක් නෑ. මමත් එනවා ඔය මිනිහගේ ගෙදර යන දවසට. මටත් සවුත් හෝල් යන්න උවමනාවක් තියෙනවා.”
“Doesn't matter, you can come with us. නමුත් ලීලා, උඹ අපේ job කතාබහ මැද්දට පනින්නේ නැතිව ඉන්න ඕනි. Agree?”

මෙන්න වදේ වැඩක්! මගේ දිනපොත අහනවා ‘ඊළඟ විස්තර චුට්ට’ එයාම කියන්නද කියලා. පව්නෙ... එයාගෙත් ආසාවනෙ. ඔන්න ඔන්න එයාටත් ඉඩ දෙනවා!

‘අම්මයි, සමන්තියි, ඩැඩායි එක්ක සවුත් හෝල් ගියා. ඉස්සෙල්ලම Joeලගේ ගෙදරට. ගේ ලොකුයි. අහමඩ්ලගේ පුතාගෙ පලේම චූටි පුතෙක් ජෝටත් ඉන්නවා. ජෝගේ පවුලටත් ඉංග්‍රීසි  බෑ.... එහෙන් මෙහෙන් ගැට ගහ ගන්න විතරයි පුළුවනි. එයාලගේ ගෙදරින් දීපු ‘මසාලා චායි’ නං රසයි. වෙන දවසක අහගන්න ඕනි හදන විදිහ. කුළුබඩු ඔක්කොම දාල වගෙයි; දෙහි- මිරිස්- ගොරකා විතරයි වෙන්නැති දාලා නැත්තේ.

-මෙහෙත් Wallpapers අලවන්නයි තියෙන්නේ.

-වැඩේට කීයක් ඕනිද කියලත් ඇහුවා. ඩැඩා බෝලෙ එයාටම පාස් කළා. ‘මම දන්නවනේ Joe, උඹ යාළුවෙකුගේ step sonට අසාධාරණයක් කරන්නේ නැහැයි කියලා’. අම්මට නං ඒ කතාවට තරහයි වගේ.
ඉක්මනටම වැඩ පටන් ගන්න වෙයි.

“It’s great. Lets go to a studio and get a family foto.” ඩැඩා කිව්වා. (ඩැඩා, අම්මා, අනිල්, සමන්ති, දීපාල්, දීපානි හා මං)

-අම්මෝ!  සවුත් හෝල් කඩවල තිබ්බ බඩු කන්දරාව. ලංකාවට යනකොට ගෙනියන්න පොඩි පොඩි තෑගි ටිකකුත් මෙහෙන්ම හොයා ගන්න පුළුවන් වෙයි වගේ. සමන්තිට ඔසරිය මහන්න පොලියෙස්ටර් රෙද්දකින් යාර හයක් ගත්තා. රෝසපාට- මල් රෙද්දක්. යාරයක් පවුමයි! අම්මා කියනවා රෙද්ද පළල එකක් නිසා දීපානිට ගවුමකටත් ඇති වෙයි කියලා.’

ඊළඟ දවස් ටිකේ අපේ හවස් ජාමය ගෙවුණේ සමන්තිගේ ඔසරිය මහන්න. අම්මයි හැට්ටය මැහුවේ.
අම්මා මිම්මට රෙද්ද කපලා දෙන අතරේ, දීපානිගේ ගවුම මැහුවෙ නං ‘නිමල් දිසානායක ටේලර් උන්නැහේ’.

“It’s great. Let’s go to a studio and get a family foto.” ඩැඩා කිව්වා. “ඒක හොඳ සමරුවක් වෙයි!” ඉතිං, සමන්ති නංගිගේ 18 වෙනි උපන් දිනය දවසේ තමයි ඉහළින් තියෙන foto එක අරගත්තේ. ඩැඩා කිව්වා වගේම දැන් ඒක හොඳ සමරුවක්! (විශේෂයෙන් අපේ අනිල් මල්ලී හරිම කඩවසම් විදිහට ඉන්න නිසා.)

ඔන්න, ජෝලගේ ගෙදර වෝල්පේපර්ස් අලවපු රාජකාරිය ගැන වැඩි විස්තර නං කියන්න යන්නෙ නෑ. කියන්න තරං සුවිශේෂ දේවලුත් නැති හින්දයි ඒ. හැබැයි, ඒ දවස්වල උදේ South Hall බස් එකෙන් බැහැල ජෝල ගෙදරට ඇවිදගෙන යන අතරේ දකින්න ලැබුණු දෙයක් ගැන නං නොකියම බැහැ. ‘මිනිස් අශූචි’. පාර අයිනේ තැන් දෙක තුනකවත් මළපහ ගොඩවල් තිබ්බා, හුඟ දවසක.
‘මොක්කුද යකඩෝ මේ නොසන්ඩාලයෝ? මුන්ට ටොයිලට් තියෙන ගෙවල් නැද්ද ඇත්තටම?’ මට හිතුණා.
“Bloody බාස්ටඩ්ස්! ඔන්න ඔය නිසා තමයි මං කියන්නේ Englandවලට පිටින් මිනිස්සු එන එක නවත්තන්න ඕනියි කියලා. උන්ගෙ රටේ පුරුදු අතාරින්න බැරිව කරන දේවල්නෙ ඔය. They ruin my country!” මං ඒ විස්තර කිව්වම අපේ ඩැඩා පුපුරා හැලුණේ, ගේ පුරාම ඇවිදිමින්.

ඩැඩාගෙ ඒ කතාව කොච්චර ඇත්තද කියලා මට හිතුණේ මේ මෑතකදී. Hindi චිත්‍රපට කිහිපයක් බැලුවට පස්සේ. විශේෂයෙන් Toilet : Ek Prem katha කියන ෆිලුම!

ජෝලගේ ගෙදරින් මට පුරුදු වුණු දෙයක් තමා ‘කොත්තමල්ලි කොළ’. (බනාසේ ගෙදරිනුයි ඉස්සෙල්ලම එව්වා දමපු කෑම ජාති ලැබුණේ!)
එහෙන් හැමදාම වගේ දවල්ට කෑමට ලැබුණේ චපාති. ඒ එක්ක තිබ්බ චිකන් කරියට වුණත්, Lamb කරියට වුණත්, පරිප්පු කරියට වුණත් Coriander leaves යහමින් එකතු කරලා තිබ්බා. එයින් ලැබුණු සුවඳටත්; රසයටත් මම නං කැමතියි. ඒත් ලංකාවේ සමහර දෙනෙකු ඒ aroma එකට කැමති නෑ. මගේ එක මිත්තරයෙකුට කොත්තමල්ලි කොළ දාපු පරිප්පුවලින් සංග්‍රහ කළ දවසක එයා කිව්ව දේ මට තවම මතකයි. “හොදි එකට පැඟිරෙක්* වැටිලය කියලයි මං හිතුවේ”.
(*පැඟිරා - ගොඩාරියක් පුංචි කෘමි සතෙක්; පොඩි වුණාම තද ගඳක් වහනය වෙනවා.)

ඒ මනුස්සයා කුස්සියට ගියා. උළුහාල් අහුරක් ගෙනත් පෙන්නුවා. ‘මේති’  කියන්නේ උළුහාල් පැලවලටලු!

ජෝ මහත්මිය උයද්දී පොල් කිරි පාවිච්චියක් නැතිම තරං. හැබැයි තක්කාලි යහමින් දැම්මා. ඒ වගේමයි ගිතෙලුත්! ඉඟුරු, සුදුළූණු එහෙමත් වැඩියෙන් පාවිච්චි කරන නිසා වෙන්නැති තෙල්වල අගුණ මැකෙන්නේ!

තෙල් කියන්නේ... එයා උයද්දී මස් කිලෝවකට නම් බී ළූණු ගෙඩි හය-හතක්වත් කපා ගන්නවා. ඒවා ළා දුඹුරු පාට වෙනකල් තෙම්පරාදු කරගෙන (බැදගෙන නෙවෙයි) බ්ලෙන්ඩර් කරලයි හොද්දට දමන්නේ.

(මේ දවස්වල නං බී ළූණු රත්තරං වගේ වෙලා. ඊයේ කිලෝව 650/- වෙලා තිබ්බා! ජෝ මහත්මිය ලංකාවේ හිටියා නං කෑම උයන්න ගිහිං සකල අමාරුවක වැටෙනවා!)

එහෙදිම තව ලස්සන වැඩක් වුණානෙ. දවසක් පරිප්පු හොද්දකට පළා වර්ගයක් දාල තිබ්බ. විදිහ නිවිති වගෙයි; ඒත් කොළ පුංචියි මුරුංගා කොළවලටත් වඩා. “මොනවද මේ?” මං ඇහුවා.
“මේති!” එයා කිව්වා. “You like Methi?” ඒ එයාගේ ඊළඟ ප්‍රශ්නය.
“I want to know about it.” මං උත්තර දුන්නා.

අනේ, එතකොට ඒ අංගනාව හොඳටෝම පැටලිච්ච විදිහයි පෙනුණේ.
“You want... or... you no want?” එයා තතන තතනා වචන ගැට ගගහ එකතු කළා!

මොට්ට මට සිද්ද වුණා, ඉංග්‍රීසි නොදන්න අංගනාවකට ‘එකම විදිහට කියවෙන No හා Know වචන දෙකක් ඉන්ගිරිස්වල තියෙන විත්තිය’ තේරුම් කරලා දෙන්න. ඊට පස්සෙයි මම එයාගෙන් ඇහුවේ ‘Methi (මේති’ ගැන. ඒක අහපු ගමන්ම ඒ මනුස්සයා කුස්සියට ගියා. උළුහාල් අහුරක් ගෙනත් පෙන්නුවා.) ‘මේති’ කියන්නේ උළුහාල් පැලවලටලු!

අපේ රටේ නම් එච්චර දෙනෙකු තවමත් මේති ගැන නොදන්න විදිහයි.

(හැබැයි හැට්ටර් මල්ලී නං ඒක දන්නා විත්තිය කියන්ඩම වෙනවා.
මේ අවුරුද්දෙ මුල් කාර්තුවේ ලංකාවට ආව හැට්ටර් මල්ලී නිදිට call කළා. “ඔයාව දකින්න ආසයි. මේ ඉරිදා හවස මට පැයක් දෙකක් විතර විවේකයක් තියෙනවා. Pra Jay එදාට එනවා මාව හම්බ වෙන්න... එයාට කියන්නද නිදිවත් එක්කගෙන එන්න කියලා.”
මමත් හා කිව්වා. අපි දෙන්නයි, තට්ටයා මහත්තයයි- තුන්දෙනා එහාට ගිහිං, හැට්ටර් මල්ලී එක්ක ‘රසබර කතන්දර පැය කීපයක්’ ගත කළා.
ආපහු එන්න හදනකොට අපිට තෑගිබෝගත් හම්බ වුණා! “නිදි කෑම ජාති ගැන උනන්දු නිසා මේක ඔයාට දෙන්නේ!” කියමින් හැට්ටර් මල්ලී දුන්නේ ‘වියළි මේති කොළ’ පැකට්ටුවක්!
ඒ ගමන ගැන අපි හතර දෙනාට අපිම ස්තුති කරගත්තා එදාම. ඒත් මොකෝ. මං ආයෙමත් ස්තුති කරනවා!
කොච්චර ස්තුති කළත් වැඩි වෙන එකක්යැ. ළඟකදී ඒ ගැන ඉයන්ගේ අඩවියේ  ‘කළ දෙයින් සතුටුවීම’ කියලා
පංකාදු post එකකුත් තිබ්බේ.

'Bohemian Rhapsody (2018) සහ Live Aid‘ පෝස්ටුව  කරුණු දෙකක් නිසා මට වැදගත් වුණේ

පංකාදු post එකක් කියද්දී මතක් වුණේ. මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා; 2023 ජනවාරියේ නමී ලියලා තිබ්බ නියම post එකක්. මං ඒ ගැන කෙටි සඳහනකුත් කරගෙනයි, තියාගෙන හිටියෙ. යටින් තියෙන මේ ඡේදය කියෙව්වම ආදරණීය ඔයාලට පෙනෙයි, මොකද නමීගේ ‘Bohemian Rhapsody (2018) සහ Live Aid‘ පෝස්ටුව  කරුණු දෙකක් නිසා මට වැදගත් වුණේ කියලා.

‘... Freddie ලොක්කට AIDS හැදෙනවා (හැමෝම දන්න විදිහට)... විශ්වාසදායී ලිංගික සහකරුවන් එකකට හෝ දෙතුන්දෙනෙකුට පමණක් සීමා නොවුන නිසා. මේ කාලෙම වාගේ දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වෙනව ලන්ඩනේ අර සහනයාත්‍රා අදහසින්. දිනවකවානු ගත්තොත්... 1985 ජූලි 13. බිලියන ගණනක් වූ රූපවාහිනී ප්‍රේක්ෂක පිරිසක් වගේම සජීවී ප්‍රේක්ෂක පිරිසේ ප්‍රමාණයත්... අති විශාලයි. ඒ හේතුවෙන් මෙතක් පවත්වපු ප්‍රසංග අතුරින් දැවැන්තම එකක් ලෙස 1985හේ Live Aid සංගීත ප්‍රසංගය ගැනෙනව....’

1. ලන්ඩන්වල වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ ‘ලයිව් ඒඩ්’ ප්‍රසංගය තිබ්බ දවසට පහුවදා උදේ මාත් එතනින් ගියා! අපි වගෙම තමයි- කොන්සර්ට් එක බලන්න ආව රසිකයො අවට පාරවල් සේරමගෙත් කුණු විසිරුවලා තිබ්බේ!

අපෙයි සුද්දන්ගෙයි දෙගොල්ලන්ගෙම වැඩි වෙනසක් නෑ නේද? පොඩි ඉඩක් ලැබිච්ච ගමන් එයාලගෙත් ‘Real කළු ගති සොබාව’ එළියට පනිනවා.

2. AIDS රෝගය හා Freddie Mercury.
මාරාන්තික ඒඩ්ස් රෝගයට මගේ තිබුණු ‘බය’ කොච්චරක්ද කියනවා නම්, ඒ දවස්වල ‘නිමල් දිසානායක’ උන්නැහේත් ‘බ්‍රහ්ම චරියාව’ 100%ක්ම සුරකිමින් උන්නේ. (ඒ නොකඩවා ලිංගික වශයෙන් ගොඩාරියක් ක්‍රියාශීලීව හිටිය අවුරුදු 19කට පස්සේ... මං වහන්සේ එහෙම කළා කියනවට වැඩිය හොඳයි ‘මට එහෙම නොකර බැරි වුණා’ කියලා කියන එක... එහෙම කියන්නේ අහමඩ්ගෙ යහළුවා වගේ තවත් දෙතුන් දෙනෙකුගෙන්ම ‘ලෛංගික ප්‍රේමාරාධනා’ ලැබෙද්දීත් මං නිහඬවම හිටි නිසයි.

ඒත් එහෙම ඉන්න අතරතුරෙත් මං වහන්සේ සිල් බිඳ ගත්තා.
ඒ ඉඳහිට ‘කර කර්මය’ කරමින්. ඉංග්‍රීසියෙන් ‘ඕනෑනිසම්’ කියන; බයිබලයේ උත්පත්ති පොතේ කියවෙන ‘පාපක දුෂ්ට දුර්දාන්ත ක්‍රියාවේ’ යෙදෙමින්... (මතකයිද ඒ ගැන ‘
දොළහ වෙද්දී - තෙවෙනි කොටසෙ’ මෙහෙම සඳහන් වුණා.

දෙතුන් දෙනෙකුගෙන් මට ලැබුණු ශෘංගාරය වෑහෙන

කාමුක ඇතැම් තරුණයන් විසින් රහසේ කාම චේතනාවෙන් යුක්තව තමන්ට ප්‍රිය වූ කිසියම් ස්ත්‍රියෙකු හා සංසර්ගය සිහි කරමින් ස්වකීය ලිඟුව අතින් පිරිමැද ශුක්‍ර මෝචනය කරගනු ලබයි. ඊට අයථා ශුක්‍ර මෝචනය හෙවත් හස්තෝපක්‍රමයයි කියත්.

(හස්තෝපක්‍රමයෙන් සුකුරු වගුරුවන බැවින් මීට කර කර්මයයිද නමක් වේ.)

මෙය ප්‍රථම කොට ඕනන්නම් අයෙකු විසින් කරන ලද බැවින්  ඕනෑනිසම්යයි ඉංග්‍රීසියෙන් නමක් ඇති වේ.

මෝසෙස් විසින් ලියන ලද ක්‍රිස්තියානි බයිබලයේ උත්පත්ති නම් පොතේ 38 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි සහ 10 වෙනි පදයන්හි මෙසේ දක්වා ඇත්තේය.

ඕනන් ඒ වංශය තමාගේ නොවන්නේ යයි දැනගත් බැවින්

තමාගේ සහෝදරයාගේ භාර්යාව කරා එළඹෙන කල්හි තමාගේ සහෝදරයාට වංශය නොදෙන පිණිසශුක්ල භූමියෙහි වත්කළේය.යනුයි. 

මෙම භයානක පාපක දුෂ්ට දුර්දාන්ත ක්‍රියාව ලොවට ප්‍රථමයෙන් පහළ කළ............

ඒ දවස්වල ජෝලගේ ගෙදරින් දිගටම කෑව ගිතෙල් වැඩි කෑම නිසා මගේ  සිරුරේ ‘ශුක්‍ර ධාතු නිෂ්පාදනය’ වීමත් වැඩියෙන් කෙරුණද මන්දා... අනෙක් කාරණේ ‘පද්මේ’ වගේ දෙතුන් දෙනෙකුගෙන් මට ලැබුණු ශෘංගාරය වෑහෙන ලියුම්. ගොඩක්ම erotic ලියුම් එව්වේ රැකියාවක් කරන්න ඇමෙරිකාවට ගිහිං හිටි මගේ පරණ යහළුවෙක්. මගේ ‘රහසිගත විශ්වයේ ඉහළ පෙළේ පුරවැසියෙක් වුණු එයා’ කාම සාස්තරේ කෙළ පැමිණි අනංග දෙයියෙක්... ජිම්නාස්ටික් නිපුණයෙක් වගෙයි...

‘රංජි මල්ලී, ඔයත් මෙහෙ කිට්ටුවක හිටිය නං...
එපාවෙන සීතලේ දෙන්නට දෙන්නා බදාගෙන තුරුල් වෙලා... එහෙනං ඔයා මට රෑට නිඳා ගන්න වෙලාවක් තියෙනෙකක් නෑ...’

à ඊළඟ කොටසට...