අකුරු මැකී නෑ

Saturday, January 27, 2024

තිස් එකේදී... තිස්අටවෙනි කොටස

“If it is so, listen carefully. අනිල් මෙහාට ආව දවසේ ඉඳලා දිගටම වැඩට ගියා නේද? But, නිමොල් එච්චර ලකී වුණේ නැහැනෙ... මම කියන්නේ ලීලා... කෝ උඹ අහගෙන නෙවෙයි වගේනෙ ඉන්නේ...”

“මම අහගෙන තමයි ඉන්නේ සැසිල්... කියපංකො ඉතිං...’

“Anil was not the bread-winner of your family. නිමොල් තමයි උඹලගේ පවුලට කන්න දුන්නේ. අපි ඒ ගැනත් අමතක කරන්න හොඳ නෑ!”

උඹේ නංගිලා මල්ලිලා හැමෝම දැන් adultsලා. උඹ ඒ කාගෙවත් බර ඔළුවට ගන්න ඕනි නෑ! 

“හරි සැසිල්. ඉතිං උඹ මට මොකක්ද කරන්න කියන්නේ ඒක පත්තරේකට දාන්නද?”

“කියන්නෙද... කියන්නේ මෙන්න මේකයි... අනිල් ලංකාවට ගෙනියන්න දැනට ඉතිරි කරගෙන තියෙන ගණන අහලා...”  ඩැඩා දිගටම කියාගෙන ගියා.
“අනිල් ලංකාවට ගෙනියන ගණන වගෙම ගණනක් නිමොලුත් ගෙනියන්න ඕනි. නිමොල්ට අඩු ගණන අපේ අතින් දාමු, ලීලා!”

“No daddy. Both of you have done enough. මට තව මොකුත් නැතුවට කමක් නෑ. අනිල් වැඩි ගණනක් ගෙනිච්චාවේ. ලංකාවට ගියාට පස්සේ මට මොනවා හරි කරන්න පුළුවන්.” එහෙම කියන අතරෙත් මට කල්පනා වුණේ අපේ අම්මා නිස්සද්දව ඉන්නා ඉඳිල්ල ගැනය. ඒක ටිකක් විතර නුහුරුය. අම්මා අසනීපයෙන්වත්ද?
යෝජනාව ඩැඩාගේ බව හැබෑය. ඒත් එයා යෝජනා කරන්නේ අම්මගෙ අතේ තියෙන සල්ලිවලින් කොටහක් වියදම් වෙන වැඩකි.
“ඔව් රංජි. ඔයා අවුරුදු දොළහේ ඉඳලම අපේ පවුලටම කළා මිසක් ඔයා ගැන හිතුවෙ නැහැනෙ. මීට පස්සේ ඒ මෝඩකම කරන්න ඕනි නෑ....” අම්මා කට පාඩමෙන් වගේ කියාගෙන යනකොටය මට මීටර් වුණේ.

ඒ යෝජනාව ඉදිරිපත් කරන්නට කලින් ඩැඩා ඒ පිළිබඳව අම්මාත් එක්ක කතාබහ කරලා වගෙය!

“Leela is correct Nimal. දැන් උඹේ ඩියුටිය ඉවරයි.
ලංකාවේ ඉන්න උඹේ නංගිලා මල්ලිලා හැමෝම දැන් adultsලා. දැන් උඹ ඒ කාගෙවත් බර ඔළුවට ගන්න ඕනි නෑ. ඒ ඔක්කොටම පුළුවන් එයාලගේ ජීවිත ගෙනියන්න.
උඹ විතරයි කිසිම වත්කමක් නැතිව- කිසිම bank deposit එකක් නැතුව empty handed වෙලා ඉන්නේ. My advice is- එහාට ගිය ගමන් උඹත් මහ ගෙදරින් යන්න ඕනි. උඹටම කියලා ගෙයක් හරි කාමරයක් හරි කුලියට අරගන්න ඕනි. You should open a bank account. උඹ එහෙම ස්ටේබල් නොවුණොත් එහෙම, උඹ නාකි වෙනකොට ඒ කවුරුවත් උඹ ගැන බලන එකක් නෑ.
මතක තියාගනින්... Do keep this in your mind! උඹ හොඳ ස්ටේබල් කන්ඩිෂන් එකක හිටියොත්, අනිත් මිනිස්සුත් බය නැතුව උඹ වටේ ඉඳියි!”

එංගලන්තයට එද්දී තුන් හිතකවත් නොතිබුණු අදහසකි, ඩැඩා එදා මගේ හිතේ රෝපණය කළේ. අපේ ගෙදර සල්ලි ලාච්චුව රුපියල් විස්සට බැස්ස දවසත්- ඒ මොහොතේ මට දැනුණු අසරණකමත් ආපහු දැනුණා මෙන් වුණේය.
එනිසාම ඩැඩාගෙ ඒ අදහස හොඳින්ම; ඉතා හොඳින්ම මගේ හිතේ මුල් බැස ගත්තේය- අතු-ඉති ලමින් වැඩුණේය.

දරුවන් අතර අන්තර් සබඳතා යහපත් කිරීමටද හේතුවේ...

‘අනේ, මම අරහෙම හම්බ කළා. මෙහෙම හම්බ කළා. අද මං අසරණ වෙලා. මට සලකන්න කෙනෙක් නෑ. ජීවත් වෙන්නවත් විදිහක් නෑ....’යි කෙඳිරි ගාන කලාකරුවන්ම කී දෙනෙක් ලංකාවේ උන්නාද?

‘... මරණය පිළිබඳව යථාර්ථවාදී දැක්මක් නැති පුද්ගලයකුට ජීවිතය සඳහා අවශ්‍ය හරි දැක්මක් ඇති කරගත නොහැකිය. විශ‍්‍රාම යන වයසට එළැඹෙන විට ලංකාවේ බොහෝ මිනිසුන් විශේෂයෙන්ම කාන්තාවන් ජීවිත කාලයෙන් හතරෙන් එකක් තරම් වන ඉතිරි ජීවිත කාලය ගත කරන්නේ මරණය කෙරෙහි ඇති කරගත් භීතියකින් යුතුවය. එය නැති කරගන්න උත්සාහ කරන්නේ පින් කිරීමෙනි. ඒ සියල්ල ඔවුන් කරන්නේ මරණයෙන් පසු ජීවිතය සැපවත් කරගැනීම සඳහාය.

මරණය ජීවිතයේ නොවැළැක්විය හැකි අනිවාර්යතාවකි. සියලූම ආගමික ශාස්තෲවරුන්ද මරණයට පත්වූහ. සමහර මරණ ලස්සන හා අසිරිමත් මරණ ලෙස සැලකිය හැකි අතර, සමහර මරණ සැලකිය හැක්කේ ඛේදජනක මරණ ලෙසය. සොක‍්‍රටීස්ගේ මරණය අසිරිමත් මරණයක් ලෙස සැලකිය හැකිය. සොක‍්‍රටීස්ට අවශ්‍ය නම් උසාවියට පිළිගත හැකි දඩයක් ගෙවීමෙන් හෝ බන්ධනාගාරයෙන් පලායෑමෙන්ද මරණ දඬුවමට ලක්වීමෙන් වැළකීමේ හැකියාව තිබුණි. එහෙත් ඔහු එසේ නොකළේය. ඔහු මරණ දඬුවම වශයෙන් ඔහුට ලැබුණු වස කෝප්පය බොන්නට පෙර තමන්ගේ උගත් මිතුරන් සමග දාර්ශනික සංවාදයක යෙදුණි. වස පානය කිරීමෙන් පසුද එක්තරා කාලවේලාවක් ඒ සංවාදය කරගෙන ගියේය. ඔහු තමන් වෙත ළඟා වන මරණයට මුහුණ දුන්නේ ඉතාමත් සන්සුන්වය.

මරණය ඉතාමත් සාමාන්‍ය හා නොවැළැක්විය හැකි සදාකාලික සුව නින්දක් ලෙස සැලකිය හැකි නම් විශ‍්‍රාම වයස එළැඹීමෙන් පසු මරණය තෙක් අර්ථවත්, තෘප්තිමත් ක‍්‍රියාකාරී හා ප‍්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකිය. එවැනි සරල දැක්මක් ඇතිවිට වයසට ගිය දෙමාපියන් හා දරුවන් අතරද අන්තර් සබඳතා යහපත් කිරීමට හේතුවේ.....

... ලෝකය මෙතෙක් බිහිකළ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා ලෙස සැලකිය හැකි ඇල්බට් අයින්ස්ටයින්ට 76 වන වියේදී අභ්‍යන්තරයේ ලේ කාන්දු වන තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවිය. ඇමරිකාවේ ප‍්‍රින්ස්ටන් රෝහලට රැගෙන යෑමෙන් පසු ඔහු රෝහල් බලධාරීන්ගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටියේ තමන් ශල්‍ය කර්මයකට භාජනය නොකරන ලෙසය. සමාජයට යුතුකම් හොඳින් ඉටු කළ පුද්ගලයකු වශයෙන් කෘත‍්‍රිම ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නැති බවත් තමන්ට සතුටුදායක මරණයකට ඉඩ දෙන ලෙසත් ඉල්ලා සිටියේය. රෝහල් බලධාරීන් ඔහුට සතුටුදායක මරණයක් ලබාදීම සඳහා ඔහුට මොෆින් ලබාදෙන ලද අතර ඔහු පසුදින උදේ මිය ගියේය.

මරණය පිළිබඳ එවැනි දැක්මක් ඇතිකර ගැනීමට හැකිවූ විට ජීවිතය පමණක් නොව මරණය ද සුන්දර දෙයක් බවට...

සිග්මන් ප්‍රොයිඩ්ද නිසි අවස්ථාවේදී මරණය තමන් විසින් ළඟා කරගත් කෙනකු ලෙස සැලකිය හැකිය. ඔහු මරණයට පත්වූයේ වයස අවුරුදු 83දීය. ඔහුට මුඛ පිළිකාවක් තිබුණ අතර එය විටින් විට කපා ඉවත් කළද නැවත නැවත වර්ධනය වීම නිසා සිය ජීවිතයේ අවසාන කාලය ගත කළේ මහත් වේදනාවකිනි. ඔහු තමාගේ මිත‍්‍ර වෛද්‍යවරයකු සමග මරණය අරබයා එකඟත්වයක් ඇති කරගෙන තිබුණු අතර, ෆ්‍රොයිඩ් කිසියම් දිනක එම වෛද්‍ය මිතුරා තමන් වෙත ගෙන්වාගෙන මරණය පිළිබඳව ඇති කරගත් එකඟතාව මතක් කරදෙමින් තමන්ට තවදුරටත් මුඛ පිළිකාව දරාගත නොහැකි දරුණු වධයක් බවට පත්වී තිබෙන නිසා දිවි තොර කරගැනීමට කාලය පැමිණ ඇති බැවින් ඒ කාර්යය සඳහා තම දියණිය සමග සාකච්ඡා කොට ඇය කැමති කරවා ගන්නා ලෙස සිය මිතුරාගෙන් ඉල්ලා සිටියේය. වෛද්‍යවරයා විසින් දියණියට කරුණු පැහැදිලි කරදී ඇයගේද එකඟත්වය ලබාගැනීමෙන් පසු වෛද්‍යවරයා විසින් ෆ්‍රොයිඩ්ට මෝෆීන් එන්නත් කරන ලදුව එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහු මරණයට පත්විය.

මරණය පිළිබඳ එවැනි දැක්මක් ඇතිකර ගැනීමට හැකිවූ විට ජීවිතය පමණක් නොව මරණය ද සුන්දර දෙයක් බවට පත් කරගත හැකිය...’ ඉහතින් ඇල අකුරින් දක්වල තියෙන ඡේද කිහිපය මං උපුටා ගත්තේ පොතකින්.
‘වික්ටර් අයිවන්’ ලියූ ‘
ජීවිතයේ ප්‍රබෝධය - මරණයේ අසිරිය’ (2013) පොතෙන්.

පුළුවන් හැම කෙනෙක්ම ඒ පොත හොයාගෙන කියවිය යුතුය කියලයි මං වහන්සේ රෙකමදාරු කරන්නේ!

අපේ ඩැඩා ඒ පොත කියවපු කෙනෙකු නෙවෙයි. ඒත් ‘වයසට ගියාම සැනසිල්ලේ ඉන්න නං ආර්ථිකව ස්ථාවර වෙයන් - ස්වාධීන වෙයන්’ය කියලා එයා මට අවවාද දුන්නේ 1985 තරං ඈත කාලෙකදී. හොඳ වෙලාවට ඒ අදහස් මාත් හිස් මුඳුනෙන්ම පිළිගත්තේ. එහෙම නොවුණා නං...

ඒත් එදා ඒ කතාවේදී නං මගෙන් අම්මලාට බාධා කෙරුණේය. “අම්මලා හොඳ හිතින් මෙහෙම කරන්න යනවා තමයි. ඒ වුණත් අනිත් අය  කියන්න පුළුවනි මම අම්මලාගේ හොඳ හිතින් අයුතු ප්‍රයෝජන ගත්තය කියලත්. අම්මලාමනේ අපි දෙන්නට ටිකට්ස්වලටත් වියදං කෙරුවේ.”
“ඒක ගණන් ගන්න එපා, රංජි. අපි ඉස්සෙල්ලම එංගලන්තෙට ගෙන්න
ගන්න හැදුවේ නෝනවනේ... ඔයාලවයැ? වහ බීලා නොමළා නං එයා අද මෙහෙ සිටිසන් කෙනෙක්... එක හීනෙන්ම එළි වෙන්නෙ නැහැනෙ, රංජි. මගෙ හිතේ නං තියෙනවා සුනිල්වත් ඉක්මනින්ම මෙහාට ගෙන්න ගන්න, හය මාසෙකට හරි...”

ඇත්තම කියන්න වෙනවා. එතැනින්ම...

ඩැඩාගෙ යෝජනාවට පින් සිදු වේවා!
ඒ නිසාය, මා එංගලන්තයෙන් ලංකාවට එද්දී රුපියල් 90,000/-ක වටිනාකමැති මුදලක් රැගෙන ආවේ!!

ගණන් බලද්දී අන්නා රුපියල් 87,500/-කට කිට්ටු මුදලක් රස්සාව කිරීමෙන් උපයාගෙන තිබුණේය. “ලීලා, අපි ඒ ගණන round figer එකක් කරමු 90,000/-ක් වෙන්න. නිමොල් ළඟ තියෙන ගණනටත් අඩු හරිය අපෙන් දාමු... දෙන්නගෙම ගණන් ඊක්වල් වෙන්න.” ඩැඩා කිව්වේය.

“හැබැයි අනිල්, ඔයිට වැඩිය ගණනක් ඔයාට එකතු කර ගන්න තිබ්බා- සිගරැට්වලටයි, විස්කිවලටයි වියදං නොකර හිටිය නං...” ඒ අස්සේ අපේ අම්මා මැසිවිල්ලකුත් කිව්වාය.

“ඒක නං ඇත්ත. කොහෙද? මෙහෙ කොහෙවත් ගමේ බඩු නැහැනෙ අම්මේ. දංකොටුවේ ස්පෙෂලුත් නැහැනෙ. නැත්තං මෙච්චර වියදමක් නොකර ශේප් කර ගන්න තිබ්බ තමයි. හඃ හඃ හඃ! ඒත්... නොකා නොබී, විනෝද නොවී පොදි ගහගත්තයි කියලා යනකොට ගෙනියන්න කියලයැ අම්මේ?” අනිලුත් ඒ සැණෙන්ම උත්තර බැන්දේය.

“ඔය කිව්වේ! එහෙම නෙවෙයි අනිල්. ලොකු අයියට බොරලැස්ගමුවේ කඩෙත් විකුණලා දාන්න වුණේ ඔයාගේ බීම නිසා... එහෙම නොවී දැන්වත් හැදෙන්න බලන්න. ඔයාත් පොඩි එකෙක් නෙවෙයිනෙ. දැන් විසි හතරක්...”
“Don’t worry mum! දැන් මං ඉස්සර තරං මෝඩ නෑ. අම්ම බලන්නකො, ලංකාවට ගියාම මං වැඩ කරන විදිහ.” අනිල් කිව්වේ තිරසර ස්වරයකිනි.

කියන්නට ලෙහෙසිය. අමාරු කරන එකය!
ලංකාවට පැමිණි විගසින්ම අනිල් යුවතියකට වශී වුණේය. හමුවී දවස් පහකින් ඇයව විවාහ කර ගන්නට ඉටා ගත්තේය. මත්වෙන බීමක් නැවතත් කටේ තියන්නේ නැතැයි ඔහු ඇයට පොරොන්දුවකුත් දුන්නේල...
අන්නා මටත් ඇරයුම් කළේය!
“ගංගලගෙ ගෙදරට යන ගමනට ඔයාත් එන්න ඕනි ලොකූ.”

“මං ආවොත් අනිල්, මට තමුසෙ ගැන ඇත්තම කියන්න වෙනවා. එතැනින්ම ඔයාගේ මඟුල ඉවර වෙයි. ඒ නිසා, වැඩිය හොඳයි මං ඔය ගමනට නෑවිත් ඉන්න එක.”
“එහෙම වුණොත් වෙච්චාවේ. මෙච්චරකල් අපිට තාත්තෙක් වෙච්චි ඔයා මේ ගමනට එන්නම ඕනි. ලොකා කියන්න කැමති දෙයක් එයාලාට කියන්න.” ඉතිං. මමත් ඒ ගමනට ගියෙමි. මට හැඟෙන අයුරු අනාගත ඥාතීන්ට පහදා කිව්වෙමි; මඳ කලක් හෝ ඉවසා සිටින්නට කිව්වෙමි. මොන?
මගේ අවවාද ගඟට ඉනි කැපීමක් වුණේය.

ඉක්මනින්ම විවාහය කෙරිණි.
ඒ සමඟම අනිල් ව්‍යාපාරයකුත් පටන් ගත්තේය. නවත්තනවා යැයි පොරොන්දු වුණු බීමත් යළි පටන් ගත්තේය.
බිස්නස් එක මාස කිහිපයක් යන තුරුත් අසීරුවෙන් ගැට ගැහෙමින් තිබ්බේය; නමුදු අන්තිමේදී ඒ වියාපාරය බංකොළොත් වුණේය. ඔහුගේ විවාහය දරුවන් තිදෙනෙකු ලැබෙන තුරු රැකුණේය
; ඊට පස්සේ දෙදෙනා දෙපැත්තට වුණෝහ.

‘115  1818  1615්1ෙ8්11  21ි19ු186්  15ැ18්18ා’ කියලා තව ශෘංගාරාත්මක දේවල් වගයක් එක්ක...
එහෙත් 2019 මැයි 29 වෙනිදා හොඳටම දිරාපත්ව මියයන තුරුමත් අනිල් මල්ලී ‘බෝතලය’ අත් නොහැරියේය!

(ඒ විස්තරත් අදම ලිව්වේ, ඔබේ කුතුහලය නිවා ලන්නටය.)

බකුසුතුමා පසුගිය කොටසට comment එකක් එවමින් අනුමානකොට තිබුණා හරිය. එතුමා කියා තිබුණේ මෙහෙමය:
‘මේ කථා මාලාවේ මම කැමතිම කොටස වන "ලන්ඩන් ගිය ජෝන්" කොටස ඉවර වෙන්න එන බව දැනෙන කොට කණගාටුවකුත් හිතෙනවා.

ලන්ඩන් ගැන ඕනෑ තරම්, විස්තරාත්මක ට්‍රැවල් වීඩියෝ තිබුණත් නිදිගෙ මතක සටහන් මට විශේෂයි. ලංකාවේ මුල් කාලය ගතකල පවුලක්, විදෙස් ලන්ඩන් ජීවිතයට මුහුණ දෙන ආකාරය, ඔවුන්ගේ එදිනෙදා ජීවිතය, හැල හැප්පීම්, පවුල් සබඳතා වල අමුතුම රසයක් තියනවා.’

බස්සා මහතාගේ අනුමානය හරියටම හරිය! මේ පෝස්ටු මාලාව අද නිමා කරන්නටය නිදි හදන්නේ. සති කීපෙකට කලින් මං ඔයාලට කියාපු විදිහට ‘ප්‍රෝඩාරාමය’ පෝස්ටුව ලියන්නත් එපැයි...
ඒත්, මේ කතන්දරේදී කියාගෙන ආ හැටියට අප තවම ඉන්නේ 1986 ජනවාරියේ එංගලන්තයේය. අපි එහෙන් පිටත් වෙන්න තියෙන්නේ ජනවාරි 22 වෙනිදා!

‘අම්මා ආඩම්බර වෙන්න බලන් හිටියනෙ, මානිට නිවුන්නු හම්බ වෙනකල්. අන්න, අම්මලට කපුකම කරපු ආන්ටි එරීන්ගේ දුවට නං නිවුන්නු හම්බ වෙලාලු. අම්මා අද එයාලව බලන්නත් ගියා. මොනව කිව්වද දන්නෑ ගියාට පස්සේ.’ මං NOTES පිටුවල එහෙම ලියා තියෙන්නේ ජනවාරි 9 වෙනිදාය.
අපට සුබ ගමන් යැයි කියන්නට අම්මලාගේ හිතවත්තු හැමෝම වගේ ආව බවත් ඒ දවස්වල සටහන්වී තියෙයි. පුදුමේ කියන්නේ ඒ ගොඩ දෙනෙකු ගැන ඡායා මාත්‍රයක්වත් අද මගේ මතකයේ නැති වීමයි! හැබැයි, මට මතක නැත්තේ හැම දේම නම් නොවේ...

‘115  1818  1615්1ෙ8්11  21ි19ු186්  15ැ18්18ා’ කියලා තව ශෘංගාරාත්මක දේවල් වගයකුත් එක්ක, මං ජනවාරි 10 වෙනිදා සටහනක් කරලා; අර ඉලක්කම් භාෂාවෙන්. ඒකේ විදිහට මං වහන්සේ ලියුමක් ලියලා. ඒ පද්මෙට.
මගේ ඒ මතකය නම් තවමත් අලුත්ය!
‘අද මම පද්මේට ලියුමක් දැම්මා..’ කියලයි ඒ සටහන පටන්ගෙන තියෙන්නේ. අපි ලංකාවට එන දවසත්, එදාම රාත්‍රියේ අපි හමු විය යුතු විත්තියත් මම පද්මෙට ලියන්න ඇති. නැත්තන් එදා එයා මගේ පුංචි කාමරයේ රාත්‍රිය ගත කරාවිද? (ජනවාරි 23 වෙනිදා ඒ දීර්ඝ රාත්තිරිය ගැන Notes පිටුවල ලියැවීලා තියෙන දේවල් ‘වැඩිහිටියන්ට පනමය!’ ඒවා මෙතැන ලියන්නට නො..හො..බි..න කොලිටියේය.)

අම්මාගේත්, අනිල්ගේත්, මගෙත් බෑග්ස් ඇසුරුවේ 21 වෙනිදාය. ඒවා කිරා බැලුවාම ප්‍රශ්නයකි. “කොහොමද මෙච්චර බරක් ගෙනියන්නේ. එක්කෙනෙකුට ගෙනියන්න දෙන්නේ කිලෝ...”
“Don’t worry, I am coming with you. බර වැඩි ප්‍රශ්නය මට තියපල්ලකො.” ඩැඩා අප අස්වසමින් කිව්වේය. ඒත් මගේ හිතට හරි නැත. එහෙම අවදානම් ගැනිල්ලට මා අකැමතිය.
“ලොකාට මතකද අපි
ස්විමින් පූල් එකට ගිය දවසේ ඩැඩී දැම්ම පානිය. එකක් නං ෂුවර්... එයා මො..කා..ක් හරි මරිසියක් දායි!”

ඒ පුතු; සුරංග දැන් 37 වියැති, දෙදරු පියෙකි. අඹුදරුවන් එක්කම ඉන්නේ එංගලන්තයේය.

“අනිල් කියනවා වගේ තමයි සැසිල් වෙනදාටත් කරන්නේ. ඒකට නම් මි..නි...හ සූරයා. මම ලංකාවට යනකොට... හැමදාම මං ගෙනියන බඩුවල බර වැඩියෙන් තිබ්බා...” අන්නාගෙ කතාවට මුක්කු ගහමින් අම්මාත් කිව්වාය.

අම්මාගේත් අනිල්ගේත් සිතුවිලි නිවැරදි විය.
හීත්රෝ ගුවන් තොටුපළේදී අපේ ගමන් මලුවල බර කිරා බලන තැනට ගියා විතරය. ඩැඩා ඒ නිලධාරීන් එක්ක විහිලු කතාවකට බැස්සේය. කොච්චර කිව්වත් අප වැනි ආසියාතිකයන් නොහැදෙන විත්තියකුත් කිව්වේය; උවමනා දේයි- එපා දේයි ඔක්කොම ලංකාවට ගෙනියන්නට හදනවා කියලාත් කිව්වේය.
“It’s a small country, but poor... උඹලා එහාට ගිහිං තියෙනවද? Bags ටිකක් බර වැඩියි නේද... I told these fellows it... What can we do now...” වගේ වල්පල් දොඩවමින් ඒ නිලධාරීන්ව අවනත කර ගත්තේය. එක අමතර කිලෝවකටවත් මුදල් ගෙවීමකින් තොරවම අපේ ගමන් මලු බාර ගැනෙන තැනට පාර කැපුවේය.

“Never forget these offisers kindness...” ඒ නිලදරුවන් ඉදිරියේදීම අපට කියන්නටත් ඩැඩා අමතක නොකළේය.

ගුවන් ගමන පුරාමත් මං උන්නේ ඉවසිල්ලක් නැතිවය. එතකොටත් මානෙල්ව රෝහල්ගත කරලා ඉවරය.
කටුනායකින් මහරගමට පැමිණි විගසින්ම මට පෙනෙන්නට ගත්තේ, අපේ රටේ ඇත්තන්ගේ තිබෙන අපිරිසිදුකමයි. අපේ ගෙදර ඇත්තන්ගේ තිබෙන අපිරිසිදුකමයි.
පහුවදා ඉස්පිරිතාලෙට ගිය ගමනේදීත් එහෙමය.

“ඔහොම බලාගෙන හිටියොත් නං නිමල් අයියට හෙට තමයි පාර පනින්න වෙන්නේ...” උපාලි ජයරත්න මගේ අතින් ඇදගෙන පාර පැන්නෙව්වේය. මම විමසිල්ලෙන් බැලීමි. උපාලිගේ අතෙත් කුණුය.
බස් රියේදී මට වමනය නොගියා විතරකි. ඒ තරම් අප්‍රසන්න දාඩිය ගන්ධයන්ය- මා අවට හතර වටේම දැවටෙමින් තිබ්බේ!

ඇයි මේ?
අවුරුද්දකටත් අඩු කාලයකදී සිරි ලංකාවේ මිනිස්සු සේරම පුදුම විදිහට ‘කිලිටි කුමාර්ලා’ වෙලා තියෙන්නේ කොහොමද?

මා මේවා හෙළි කරන්නේ අදය.
එදා මට පෙනුණේ රෝහලේ ඇඳ මත වැතිරී උන් මානෙල්ගේ බෙල්ලේ කුණු පැල්ලම්ය; දෑත්වල වැලමිටි නැමුම්වලත් කුණු පැල්ලම්ය. ‘ඇයි යක්ෂණියේ, ඉස්පිරිතාලේ වතුර නැද්ද නාගන්නවත්...’ යැයි එක එල්ලයේම අහන්නට හිතුණත්...

දවස් තුන-හතරක් යද්දී, මගේ ඒ ‘නුහුගුණ ගතිය’ දියවෙන්නට පටන් ගත්තේය.

මානෙල් නංගිවත්, 1986 පෙබරවාරි 5 වෙනිදා උපත ලැබූ ඇයගේ කුළුඳුල් පුතුවත් බලන්නට යනකොට මම නැවතත් අපිරිසිදු; ගඳ ගහන ශ්‍රී ලංකේය පුරවැසියෙකු බවට පත් වී උන්නෙමි!
ඒ පුතු; සුරංග දැන් 37 වියැති, දෙදරු පියෙකි. බිරිඳත් දෙදරුවනුත් සමඟ ඉන්නේ එංගලන්තයේය.

එදා සුරංග උපන් දවසෙමය, නිමල් දිසානායක මහ ගෙදරින් අභිනිෂ්ක්‍රමණය කර කුලියට ගත් කාමරයකට ගෙවැදුණේ. ඒ විස්තර නම් මට සිහිපත් කරවන්නේ දිනපොතයි.

තවත් විදිහකින් කියනවා නම් අසීමිත නිදහසක් භුක්ති විඳීමේ වාසනාව...

‘ගෙනාව සල්ලිවලින් පවුම් 185ක් මාරු කළා රුපියල් 36.90 ගණනේ. කාමරයට ගෑස් ළිපක්- සාස්පාන්- පිඟන් කොප්ප ටිකක් ගත්තා. ගාමිණීලගේ කඩේ පිටිපස්සේ කාමරයයි ගත්තේ. ලයිට්වලටත් එක්කම 150/-යි...

අම්මව එංගලන්තෙට ගෙන්නා ගත්තු මරුමුසු තිරීස් මිසීලගේ ගෙදරින් ගෙනාව මේසයයි, පුටු හතරයි, ලී අල්මාරියයිත් මට ගන්නයි කියලා සුනිල්ලා කට්ටියම බල කෙරුවා. මීට පස්සේ අපේ ගෙදර මහ ගෙදරක් නෙවෙයි... නිකංම නිකං ගෙදරක්.’

ඒ දවස්වලම අපේ සුනිලුත් කුලී ගෙදරකට ගියේ, ලියුමකින් එංගලන්තයට දන්වා එවා තිබුණු හැටියටය.

මීට පස්සේ ලංකාවට ආවම හරි වැඩේ තමයි මට වෙන්නේ. සුනිල්ලත් කුලී ගෙදරක... ඔයාත් කුලී කාමරේක... අනිලුයි, මානිලයි විතරයි ගෙදර! මාසෙකට හරි මම කොහෙද ඉන්නේ, රංජි?” අපේ අම්මා ඇහුවේ තැවෙමිනි.
“ආ ඒක නෙවෙයි... ඔයා කවද ඉඳලද
අමද්‍යපේ වැඩට යන්නෙ?”

“මේ මාසේ 17 වෙනිදා ඉඳන්...”
ඒක නෙවෙයි රංජි. මං හිතන් ඉන්නේ සුනිල්ලට පොඩි ඉඩම් කෑල්ලක් අරං දෙන්න. එතකොට එයාටම ගෙයක් හදා ගන්න බැරිය. ඒ එක්කම ඔයාටත් ගෙයක් හදමු.”
“මට ගෙවල් ඕනි නෑ අම්මේ. ගාමිණීලගේ කාමරේ හොඳටම ඇති.”
“මම කියන්නේ ලංකාවට ආව වෙලාවක මටත් ඉන්න තැනක් ඕනි නිසයි රංජි. ඔයා ළඟ තියෙන සල්ලිවලින් පොඩි ඉඩම් කෑල්ලක් ගන්න බලන්න, මම ආපහු යන්න කලින්. මම වියදං කරන්නං ගේ හදන්න...”

ඉතිං මා ඉඩම් හෙවූ හැටිත්- හම්බ වුණු හැටිත් ‘රේස්වලින් රේස් එකට පිම්මක් -3’ කොටසෙදී මෙලෙස කීවෙමි.

‘... ඒ තිදෙනාම දවසක් හිමිදිරියේ මා හොයාගෙන ආවේ සුබ පණිවිඩයක් අරන්ය.

නිමල්, ඔයා ඉඩමක් හොයනවා කියලා ආරංචි වුණා. අනේ, කොහොම හරි අපේ ඉඩමට අල්ලපු කෑල්ල ගන්නකෝ. වනිගෙලගේ පුංචි අම්මගේ. (අනේ පාලි තව චුට්ටක් - පෝස්ටුවේදී පිහි ඇනුම් කා මියගිය තරුණයන් දෙදෙනාගේ පුංචි අම්මාය, මේ.) ඉඩම වටිනවා. අපි කතා වුණේ  ඔයා වගේ එක්කෙනෙක් අපේ අසල්වැසියෙක් වෙනවා නං, ඒක කොච්චර එකක්ද කියලා!"

මා වෙනුවෙන් වැඩියෙන්ම වෙහෙසුණේ ඔවුන්ය. මම ඉඩම ගත්තෙමි. හැබැයි ඒ ඉඩමේ මගේ නිවස හදන්නට කලින්ම RPR වස බීලා- බෙල්ලේ වැල ලාගෙන දිවි නසාගත් විත්තියත් ඒ post එකේම ලිව්වෙමි.

නමුදු RPRගෙ උදව්ව නිසා, අවුරුදු 32 ලබන්නට ඉස්සරම මං වහන්සේ පර්චස් නවයහමාරක් වන ඉඩම් කැබැල්ලක හිමිකරුවෙක් වුණේය!
එකම එක දොරක් විතරක් ඇති, එක ජනේලයක්වත් නැති
කාමරයක තනිව සිටින්නෙකු බවට පත් වුණේය!!
තවත් විදිහකින් කියනවා නම් අසීමිත නිදහසක් භුක්ති විඳීමේ වාසනාව ලද්දෙක් වුණේය!!!෴0෴

Sunday, January 21, 2024

තිස් එකේදී... තිස්හත්වෙනි කොටස

“ඇයි වදේ, මට ආඩම්බර නැද්ද, මගේ දුවෙකුට නිවුන්නු හම්බ වුණොත්? මමත් දරුවො දහ දෙනෙක්ගෙ අම්ම කෙනෙක්නෙ. මමත් ඔයාලව බලා ගත්තෙ... දරුවො බලා ගන්න එක මහ වැඩක්ද සමන්ති.”

“මහ වැඩක්ද? අම්මා අපිව බලා ගත්ත හැටි නං අපිට මතක නැති වෙලා නෑ අම්මේ. අම්ම එංගලන්තෙට ආවෙ අවුරුදු තුනේ චූටි නංගිවත් ලංකාවේ දාලනෙ... මානෙල් අක්කටයි මටයිනෙ දීපාල්වයි දීපානිවයි බලා ගන්න වුණේ...” සමන්ති නංගි වගපල කියන්නේ කලාතුරකිනි. ඒත් එහෙම වෙලාවට...

දේශපාලුවන්ගෙන් ඉගෙනගෙනද කොහෙදය. කොයි විදිහෙන් හරි

“දැන් ඇති සෑම්! දැන් ඔව්වා කතා කරල වැඩක් නැහැනෙ. කොයි කාලෙ වෙච්ච දේවල්ද ඔය... යං යං, අපි උඩට යං.” අනිල් සෑම්ව සනසවන්නට හැදුවේ එහෙමය. එතකොටත් අම්මා කඳුළු පෙරන්නට පටන් අරංය.

අපරාදේ කියන්නට බැරිය. ඕනෑම සටනකදී සැණෙන් රූරා වැටෙන්නට සූදානම් කඳුළු ගංගාවක් අපේ අම්මාගේ ගබඩාවේ තිබෙයි.

“උඹල ඔක්කොම එකයි. අනේ මාත් වැදුවනේ මෙහෙම කෙළෙහිගුණයක් නැති දරුවො... එහෙම හරි මම එංගලන්තෙට ආවෙ නැත්තං උඹල අද කොහෙද ඉන්නේ?”

Sam ඒකට උත්තර දෙන්නට හැදුවත් අනිල් ඉස්සර වුණා. අන්නා වමතින් සමන්ති නංගිව අල්ලාගෙන, දකුණතින් සමන්තිගේ කට මිරිකලා වහගෙන එයාව උඩ තට්ටුවට ඇදගෙන ගියා. “කිව්වම අහල කට පියාගෙන මෙන්න මෙහෙ එනව හලෝ!”

අපේ අම්මාගේ හැටි එහෙමය!
ලංකාවේ දේශපාලුවන්ගෙන් ඉගෙනගෙනද කොහෙදය. කොයි විදිහෙන් හරි තමන් ගැන කියවෙනවාට කැමතිය; කියවෙන්නේ නරකක් වුණත්; නොහොඳක් වුණත් එයාලට කාරි නැත. Center of the attraction වෙන්නට chance එකක් තිබෙනවා නං ඒ ඇතිය!!
සමන්ති නංගි නොපෙනී යන පමාවෙන්, අපේ අම්මගේ instant කඳුළුත් වියැකුණේ කඩිනමිනි.
“සැසිල්, ඔන්න දැන්මම කිව්වා, රංජියි අනිලුයි ලංකාවට යනකොට මාත් යනවා.”
අපේ රණ්ඩුවලට මැදිහත් නොවී ස්වාධීන නිරීක්ෂකයෙකු ලෙසින් හිටි ඩැඩාගෙ කට ඇරුණේ, අම්මාගේ එකී හදිසි නිවේදනයෙනි.  

“උඹත් ලංකාවට යන්න? ලීලා ලීලා ලීලා... last Sunday උඹ මට කිව්වා නේද, උඹ ළඟ සල්ලි නැහැයි කියල. මගේ කාර් එකට road permit එක ගන්න සල්ලි ඉල්ලුවම. දැන් උඹට මේ හදිසියේ සල්ලි කොහෙන්ද ලංකාවට යන්න...” (ඒ බලපත්‍රයට Road permit කියලා කීවේ මගේ මතකයෙ හැටියටය.)

“මම නෑ කිව්වා නේන්නං!”
“එතකොට උඹ මට එදා කිව්වේ බොරු...”
“නැතිව? බොරු තමා කිව්වේ. ඔය කෙහෙල්මල් කාර් එක park කරලා තියෙනවට සල්ලි ගෙවන්නේ අපරාදෙනේ සැසිල්. මං උඹට එදාත් කිව්වා. අවුරුද්දකට සැරයක් හරි දෙසැරයක් හරි විතරයිනෙ අපි ඕකෙන් යන්නෙ. ඉතිං මොකටද ඔය ඉලව්වට ලයිසමක් ගන්න තව සල්ලි නාස්ති කරන්නේ...”

එහෙම කියාගෙනම අම්මාත් නැඟිට්ටාය. ඒ හදන්නේ ඩැඩාව මඟ ඇරලා උඩ තට්ටුවට යන්නටය. ඒ විත්තිය ඩැඩාටත් තේරිලාය. “Wait a second. I have to tell...” ඩැඩී ඉතිරි හරිය කියන්නටත් කලින් අම්මා උඩට ගිහිං ඉවරය!

මටත් ඔයාල එක්කම ලංකාවට යන්න chance එකක් හම්බ වුණානෙ!

‘දෙන්න දෙමාල්ලන්ගෙ රණ්ඩු බත් හැළිය ඉදෙන තුරු විතරයි’ කියනවා වාගේ පහුවදා උදේ වෙනකොට අම්මලා සමාදාන වෙලාත් ඉවරය! එදාම දහවල් ඩැඩා අම්මාගේ ගුවන් ටිකට්ටුව වෙන් කරවා ගන්නටත් තැත් කරලාය.

“මම තැප්‍රෝබේන් ට්‍රැවල්ස් එකටම කතා කළා. හෙට වෙනකොට වැඩේ කෙරෙයි. උඹල දෙන්නගේ ටිකට්ස් ගත්තේ එහෙන්නෙ. නැත්තං ලීලට තනියෙන්ම යන්න වුණොත්... ඒක නෙවෙයි නිමොල්... උඹල කැමතියි නං February මාසෙත් උඹලට මෙහෙ ඉන්න පුළුවන්. ඒකටත් එක්ක වීසා දීලනේ තියෙන්නේ.”

“නෑ ඩැඩී. Manel wants me to be there as soon as possible! ඩොක්ටර්ස්ලා මුලින් එයාලට කියල තිබ්බේ ජනවාරි 17 වෙනකොට දවස් හරි කියලයි. දැන් කියනවලු ඩිලිවරි එක වෙන්නේ පෙබරවාරි මුල කියලා. Twinsලා කිව්වමයි මානි බයවෙලා තියෙන්නේ!”

මානෙල්ගෙන් අලුත්ම ආරංචිය ආවේ ඊට පස්සේ; ඊළඟ සුමානේ. ‘දොස්තර මහත්තුරුන්ට වැරදිලා. නිවුන්නු නෙවෙයිලු...’

“Are they barefoot doctors?” ඒ විත්තිය දැනගත්තාම ඩැඩා ඇහුවේය. / ‘ඒකට මොකද? මටත් ඔයාල එක්කම ලංකාවට යන්න chance එකක් හම්බ වුණානෙ, මාසයකට වුණත්.’ අම්මා කිව්වාය. / “මාසෙකට හරි අම්මා ලංකාවට ගියාම, මට තමයි ලොකූ- හොඳටම වැඩ වැඩි වෙන්නේ. උයන්නයි... ඒ සේරටම හපන් ඩැඩීගෙයි දීපාල්ගෙයි රණ්ඩු බේරන්න ගියාම...” Sam කිව්වාය. / “ඔයාට කරන්න තියෙන්නේ එකයි සෑම්. ඩැඩීට කියන්න මම කරන හැම එකටම හොම්බ දාන්නැතිව ඉන්න කියලා. එතකොට safe!” දීපාල් කිව්වේය.

සමන්ති නංගි කියූ කතාව ඇත්තය!
එහි සිටියදී දිගටම මට දැනුණේ, ඩැඩාගෙත් දීපාල්ගෙත් අතරේ තිබුණු නොපෑහීමයි.

දීපාල්ගේ ඇට්ටර ගතියත්, ‘මැචෝ’ ගතියත් ඩැඩාට එච්චර දිරෙව්වේ නැත. එයා හිතුවේ ගෙදර ලොකුම පිරිමියාගේ තනතුර අපේ මල්ලියා ඉක්මනින්ම අත්පත් කරගනු ඇතැයි කියලාය. ඒ හින්දාමදෝ නිතරෝම අපේ ඩැඩීගෙන් බඩා මල්ලියාට සිද්ද වුණේ චූටි-චූටි කෙණෙහිලිය.
වැඩේ කියන්නේ, අපේ මල්ලා ඒ කෙණෙහිලි පයිසෙකටවත් මායිම් නොකිරීමයි. ඩැඩාට කාලා ඉන්නට බැරි වුණේත් ‘ඒක’ය!

එහෙම නොරිස්සීම්- කාලා ඉන්නට බැරි වීම් සිද්ද වෙන්නේ කරුණු සහිතවම නොවේ. සමහරවිට නිස්කාරණේත් සිද්ද වෙයි. මං වහන්සේගේත් එහෙම ගොංකමක් තිබිලාය! ඒ විත්තිය කියන්නේ මගේ දිනපොතයි; 1985 මහපොළ දිනපොතයි. දෙසැම්බර් 10 වෙනිදා ඒකෙ ලියවී තියෙන්නේ මේ ටිකය.

පතනෙමි ඔබට මට හෙළයන්හට සැමට
සවිබල ලැබෙන්නට සතුරන්     එලවන්ට
‘මර්වින්ගෙන්, මානිගෙන් ලියුම්.

අම්මට පුංචි ගවුම් පොඩි දෙකක් මහල දුන්නා, ප්‍රේම්ගේ බබාට තෑගි කරන්න. ඒ කරලා උපාලිට යවන්න පොදු ලියුමකුත් ලිව්වා.

  දැඩි වෙන සීත කිළිපොලවන විටදි     ගත
  උණුහුම් කරයි මව්බිම ගැන හිතන    සිත
  සිනහව සතුට සැප සුව එහි ගැබ්ව    ඇත
  හමු වෙමි සිහිනයක ඔබ හෙට සුහද මිත

හමුදාවේ පිහිට ලැබ දළදා           සමිඳූ
හිඳින අයුරු දැක හෙළුවෙමි කඳුළු බිඳූ
මද්දුම, මොණරවිල හෙළයන් දිවිය පිදූ
වැළපෙනු නිසකමයි අද හිඳ අතර කඳූ

  නොපතමි ඔබට දළදා සමිඳුගෙ      පිහිට
  නොපතමි  ඔබට ජය සිරි මහ බෝ පිහිට
  පතනෙමි ඔබට මට හෙළයන්හට  සැමට
  සවිබල ලැබෙන්නට සතුරන්      එලවන්ට’

සතුරන්?
ඇත්ත කියනවා! පොදු ලියුමට ලියා තිබුණු තුන්වෙනි කවියේ ‘සතුරන්’ පදය එදා තමුසෙ ලියලා තිබ්බෙත් ඔය විදිහටද?
ඇත්තය. දිනපොතේ ඒ පදය මා ලියා තියෙන්නේ වෙනස් විදිහටය. ‘දෙමළුන්’ කියලාය. ඒ එවක මගේ හැඟීම් අනුවය. අද වෙද්දී නං ඒ මෝඩ හැඟීම ගැන නිමල් දිසානායකයා ආඩම්බර වෙන්නේ නැත. එනිසාමය වචනයත් වෙනස්කොට ලිව්වේ. ඒත් එය තරමක හෝ වංචාවක් ලෙසින් හිතුණු බැවිනි; මේ විස්තරයත් ඔබට හෙළි කළේ.

අප ළමා වියේදී දකින විදිහෙන් නොවේ තරුණ වයසේදී බොහෝ දේවල් දකින්නේ. ඒ අවදියේදී අප දරන ආකල්ප- මතවාද ආදියත් අපේ කෙස්ස පැහෙන කාලයෙදී වෙනස් වෙන්නට පටන් ගන්නා බවයි, මට දැනෙන්නේ. එහෙත්, කෙස්ස පැහුණත්- හොට බිම ඇනුනා වුණත්- හොම්බෙන් ගියත් සමහරුන්ගේ ආකල්ප නම් කල්පයකටවත් වෙනස් වෙන්නේ නැත! ඔවුන්ගේ මොළය පෑදෙන්නේ නැත!!

සතුරන්...! සතුරන් යැයි කියනවිටම, දැන් ඉබේම මගේ හිතට එන දේශපාලකයනුත් ඒ වරිගයේ ඇට මෝඩයන්ය.
‘... ශ්‍රී ලංකාව වැනි දේශපාලන පක්ෂ 75ක් පමණ ඇති රටක් ලෝකයේ තවත් නැති බව...’
දේශපාලකයෙකුම කියද්දීත් සිරි ලංකාවේ දේශපාලුවන්ට ඒ විත්තිය ඇහෙන්නේ නැත. දැන් තවත් අලුත් පක්ෂ බිහි කරන්නට තැතනෙයි. ඒ ඔවුනගේ සිතේ අප කෙරෙහි තිබෙන ‘පතළ මහා කරුණාව’ නිසාලු!

පසුගිය දවස් තුනේ යෙදුණු සංචාරය එයින් එකකි.

මගේ මිතුරු සංසද සාමාජික සාමාජිකාවන්ගේ ‘පතළ මහා කරුණාව’ නිසාම මට ලැබෙන අවස්ථාවන් ගොඩකි. පසුගිය දවස් තුනේ යෙදුණු සංචාරය එයින් එකකි. අද රාත්‍රී පැවැත්වෙන විශේෂ භෝජන සංග්‍රහය තව එකකි.

ඒ අතරේ ‘පොඩි අයියාගේ බාල ළදරු ටිකිරි මල්ලී අරවින්ද ඉන්ද්‍රසිංහ’ හිතවතාගේ මෑණියන් අහාවප්‍රාප්ත වෙලාය. Trip එක නිසා ඒකට සහභාගි වෙන්නටත් ඉඩක් ලැබුණේ නැත. හිතාගෙන හිටියේ හත්දොහේ බණ පිංකමට සහභාගි වෙන්නටය. ඒකත් චාං-චඃ වෙලා ගියේය. එහෙම වුණේ ඒ පිංකමත් අදටම යෙදී තියෙන බැවින්ය.

නිදිගෙ පංච තන්තරේ බ්ලොගය හරහාම හිතවත්වූ සිරිබිරිස් උන්නැහෙත් අද; 2024 ජනවාරි 21 උදෙන්ම මට call එකක් දුන්නේය. “ඊයේ රෑ නේද ගෙදර ආවේ? නිමල් අයියේ, Pra Jayගේ අම්මා අන්තරා වෙලා. ආරංචි විදිහට හෙට හවසලු පිළියන්දලදී funeral එක. ඔයාට එහෙ යන්න ඕනි නං, මම එන්නං එක්කගෙන යන්න.”

ඒ අතර කැලැන්ඩරයත් මට ‘සිහි කැඳවීමක්’ කරයි. ‘ලබන සුමානෙත් trip එකකට අඬගහල නේද තියෙන්නේ? යන්නම වෙනව නේද?
ඒ විතරක් නොවේ. පෙබරවාරියේත් මා සංචාර දෙක තුනක් යැවෙන පාටය!
(ඒ මේ විස්තර කියන්නට කලින්; අමතක වෙන්නට කලින් හිතවත් අරවින්දගෙත්, Pra Jayගෙත් ආදරණීය මෑණිවරුන්ට සගමොක් සුව ප්‍රාර්ථනා කර සිටින්නෙමි!)

ඔය ගමන්; ඇරයුම්; හා වැඩ විස්තර මා බ්ලොගයට ලියන්නේ පම්පෝරියක් වශයෙන් හෙම නොවේ. ‘සමාධිය භජනය කරන්නැයි කෙරෙන ආයාචනයක් වශයෙනි.
පසුගිය මාස කිහිපයේම නිදිගෙන් මේ posts ලියැවුණේ ක්‍රමවත්ව නොවේ; දුරාවාරයේය. ඒ මදිවාට නුදුරු සති කිහිපයේත් එලෙසින්ම වෙනවා වගෙය. එබැවින්, මේ අඩවියට ගොඩවැඩෙන ආදරණීය පාඨක පිරිසට මගෙන් ‘විය යුතු මෙහෙවර’ මේ ටිකේ නිසි පරිද්දෙන් ඉටු නොවෙන බවකි; මට සිතෙන්නේ.
‘නිමා කරනු මිස වැඩ ඇති තමා අත -
සමාවට කරුණු මට උවමනා නැත’ යන දහම ඉගෙන ගත්තු දවසේ පටන් ඉහළින්ම එය අගයන නිදිටත් මේ වංගියේ ඒ බණේට අනුව වැඩ කරන්නට බැරි වෙලා වගෙයිද?

‘ඒක නේන්නං මිනිහෝ. මේ පෝස්ටුව වෙනදාට වැඩිය කෙටියෙන් හරි ලියල ඉවර කරලා, ඉක්මනට publish කරපං නිදි.’
මගේ යටි හිතෙන් කෙරෙන තන්වැසි නිවේදනයට අනුව වැඩ කරන්නටය; මේ සැරසෙන්නේ.

What is that idea...

“නිමොල්. දැන් උඹ කීයක් විතර එකතු කරගෙන තියෙනවද ලංකාවට ගෙනියන්න?” ආපසු ලංකාවට එන්නට දවස් කිට්ටු වෙද්දී  ඩැඩා මගෙන් ඇහුවේය.

එතකොටත් මං වහන්සේ ඒවා ගණන් බලා තිබ්බේ නැත. නමුත් අම්මාගේ සල්ලි වෙනමත්- මගේ සල්ලි වෙනමමත් මගේ කාමරයේ හංගලාය තිබුණේ. ඩැඩා අර ප්‍රශ්නය ඇහුවේ අම්මාත් අප දෙන්නා ඉස්සරහින් හිටි වෙලාවකය.
“I have to count...”

ඊළඟට ඩැඩී හැරුණේ අපේ අම්මා දිහාටය. “Yes මිසිස් ශ්‍රෝඩර්. How much money is in your hidden bank?”
“ඒකෙන් උඹට වැඩක් නැහැනෙ සැසිල්.”
“Why not? I do want to know that... I am having a very important idea!”

“අනෙඃ... එයාගේ වැදගත් කෙහෙල්මල්...’ අම්මා මුණු-මුණුවෙන් මට කියලාය; ඩැඩීගෙ පැත්තට හැරුණේ. ‘What is that idea... tell me first. ඊට පස්සේ බලමුකො මොනවද කරන්න පුළුවන් කියලා.”
“If it is so, listen carefully. අනිල් මෙහාට ආව දවසේ ඉඳලා දිගටම වැඩට ගියා නේද? But, නිමොල් එච්චර ලකී වුණේ නැහැනෙ... මම කියන්නේ ලීලා... කෝ උඹ අහගෙන නෙවෙයි වගේනෙ ඉන්නේ...”
“මම අහගෙන තමයි ඉන්නේ සැසිල්... කියපංකො ඉතිං...’

“Anil was not the breadwinner of your family. නිමොල් තමයි උඹලගේ පවුලට කන්න දුන්නේ. අපි ඒ ගැනත් අමතක කරන්න හොඳ නෑ ලීලා!”
“හරි සැසිල්. ඉතිං උඹ මට මොකක්ද කරන්න කියන්නේ. ඒක පත්තරේකට දාන්නද?”
“කියන්නෙද... කියන්නේ මෙන්න මේකයි... අනිල් ලංකාවට ගෙනියන්න දැනට ඉතිරි කරගෙන තියෙන ගණන අහලා...”

à ඊළඟ කොටසට...