li Item

Sunday, January 14, 2024

තිස් එකේදී... තිස්හයවෙනි කොටස

එංගලන්තයේ සිට ආපසු එනවිට විශේෂ යමක් ගෙනෙන්නට අදහසක් මට තිබ්බේ නැත. ඒ සමහර විට මගේ මෝඩකම හෝ අල්පේච්ඡතා සොබාවය නිසා විය හැක. එහෙමත් නැත්තං ‘සරල; පුංචි දේවල්වලින් තෘප්තිමත් වීමට’ මා පුරුදුව සිටීම නිසාත් විය හැකිය.

ඒත්... ඒත්... එහෙම වුණේ හැම දෙයකදීම නොවේ. හැම විටෙකමත් නොවේ...
මං වහන්සේ විවිධ සුගන්ධයන්ට බෙහෙවින් ලොල්ය!
එසේම  විවිධ ආහාරවලට හා ඒවායේ විවිධ රසවලටත් ආසාය!!
ඇයි, විවිධ සංවේදී උණුසුම් ස්පර්ශයන්ට...

‘කාම යෝගය’ කියනකොට, ඒකට කෑම- සුවඳ වගේ දේවලුත් අහුවෙනවා වෙන්නැතිය!

අනුර ජිනදාස සහෘදයා මගේ කේන්දරය බලා කීවේ ‘ඔයා උපන් වෙලාවේ හැටියට අතිධාවන කාම යෝගයක් තියෙනවා’ කියලාය. (‘කාම යෝගය’ කියනකොට, ඒකට කෑම- සුවඳ වගේ දේවලුත් අහුවෙනවා වෙන්නැතිය.)

කොහොමෙන් වුණත්, අන්න එවැනි තැන්වලදී නිමල් දිසානායක ඇබ්බැහිවී සිටින්නේ
‘සරල; පුංචි දේවල්වලින් තෘප්තිමත් වීමට’ නොවේ! විවිධත්වය සහිත අතිශය සංකීර්ණ දෙයින් සංතෘප්ත වෙන්නටය.

එහිදී මේ පෝස්ටුව ලියන්නා, ‘දෙපා අවසඟ පාපන්දු පිස්සා’ රාජමනි අංකල් එක්කලා 100ට දෙසීයක්ම එකඟය! ඔහු කිව්වේ ‘Variety is the Spice of Life!’ කියලය.

2024 අවුරුද්දේ හා-හාපුරා කියලා blog අඩවියේ වැඩ අල්ලද්දී මං ‘රෙද්ද පල්ලෙනුත් කටේ නරිවදන් - කවි කොළය’ ලිව්වෙත් ඒ හින්දාමය. ඒක publish කරලා මේ පෝස්ටුව ලියන්නට සැරසෙමින් හිටිද්දී ‘තට්ටයා මහතා (ඔහුත් නොදැනම) කැඩේ වෑවේය!
තිස් එකේදී 36වෙනි කොටස පළ වීම තවත් චුට්ටක් විතර පහු වුණේ එබැවිනි.
‘නිදි! දැන්වත් හිතට ගනිං- මේ සීරීස් එක එක දිගටම ලියාගෙන යන්න. තමුසෙගෙ blog එකේ කොටස් ගණන වැඩිම සීරීස් එකනෙ.’ අවවාදාත්මක සිහි කැඳවීමකුත්, ඒ අතරේ...
‘යහපති ස්වාමීනි’ කියලා ඔන්න මං key board එකට එබෙනවා.

“ඇයි නිමොල්, උඹ Englandවලින් උඹට ඕනි දේවල් ලංකාවට අරං යන්නැත්තේ?” අනිල් මල්ලීත් එක්කලා සපත්තු කතාන්දරය කෙරෙන හැටි ඉතා උනන්දුවෙන් බලාගෙන උන් ඩැඩා මගෙන් ඇහුවේ පුදුමයෙනි. “British products are the best. ඔය ජපන්, චයිනා බඩු වගේ නෙවෙයි.”

“No doubts ඩැඩී. ඒත් මම මුළු ජීවිත කාලෙකටම ඇති වෙන්න එංගලන්ත බඩු මේ ගමන් ගෙනියන්නයැ?”
“ඒක නං ඇත්තයි. But...” තවත් මොන-මොනවදෝ මුමුණමින් උඩ තට්ටුවට ගිය ඩැඩා තරමක මල්ලකුත් උස්සාගෙනය, පහතට බැස්සේ. “Nimal, on your way back you have to carry these things. නමුත් මට මතක් වෙන හැටියටයි මම මේවා collect කළේ- උඹටම!” එහෙම කියන ගමන්ම ඩැඩා ඒ bag එකේ තිබුණු දේවල් සේරම බිමට හැලුවේය.

“අම්මට සිරි ඩැඩී! ලොකාට විතරයි? මට නෑ...” අන්නා ආඩපාලි කියන අතරේ, මම අර බඩු ගොඩ පිරික්සන්නට වීමි.

“සැසිල්ටත් ඉතිං ලොකාට වැඩිය කෙනෙක් නැහැනෙ අනිල්!” අම්මාත් හින්ට් එකක් ගහද්දී, Samලාත් මට එකතු වූහ.
“ලොකූ, මේ plastic පනාවලුත් ඔයා යනකොට ගෙනියනවද ඉතිං...” බඩු ගොඩේ තිබුණු ‘එක එක size එකේ පනා කිහිපයක්’ අතට ගනිමින් සමන්ති නංගී ඇහුවේ ඩැඩාට නෑසෙන ලෙස කෙඳිරිලි හඬකිනි. “මට තවම මතකයිනෙ මහරගම ආච්චි ගාව තිබ්බ හීනි පනාවක්... නානකොට ඔළුවෙ සබන් ගාලා ඒ පනාවෙන් පීරනකොට මකුණෝත් වැටෙනවා...”

 ‘ඇත්ත කියන්නයි, බිම ඉඳ ගන්නයි බය වෙන්න එපා’ යැයි තදින්ම අපට ඉගැන්නුවෙත් අපේ තාත්තාමය.

“මකුණො කොහෙන්ද හලෝ ඔළුවෙ, ඒ උකුණෝ... උකුණෝ. තඩි... ඒ දවස්වල සෑම්ගෙ ඔළුව උකුණො විමානයක්...” අනිල් කියනකොට සමන්ති හැකිළුණේ ලජ්ජාවෙනි.

“ලොකාට නං මතක ඇති ඔව්වා. නේද ලොකූ.”
“මට මතකයි. සමා ඔය කියන්නේ ආච්චිගෙ පුංචි ඇත්දත් පනාව ගැන වෙන්ඩ බෑ. ආච්චි ඒක හංගගෙන හිටියේ. අන්තිම කලාතුරකින් තමයි එළියට ගත්තේ... කැස්බෑ ලෙලි පනාවකුත් තිබ්බනෙ. Sam කියන්නේ ඒක වෙන්නැති.”

එදා අප කතා වුණා මට තවම මතකය.

එංගලන්තයේ නිපදවන ලද කාබන් පෑන්, පැන්සල්, බ්ලේඩ්ස්, කුඩා කැඩපත්, Card packs, හුරුබුහුටි කුඩා Note Books වැනි අයිතමයන් ගොඩාරියක් වටේට ඉඳගෙනය අප කතාබහේ යෙදුණේ.
ඒ බඩු කන්දරාව ඩැඩා මා වෙනුවෙන් එකතු කරගෙන තිබිණි. ඇත්තම කියතොත් ඒවා ලංකාවෙනුත් සොයා ගන්නට බැරි ඒවා නොවේ. කොලිටිය නම් වෙනස් වෙන්නටත් ඇත. ඒ දිනවල මා එවන් දේවල් ගැන එතරම් තැකුවේ නැත.
එහෙත් ඩැඩාගෙ චේතනාව... එයින් කියූ නිහඬ පුත්‍ර ප්‍රේමය... (ඩැඩා මගේ සුළු පියාණන්ය; එද නීත්‍යානුකූලව මිස ලේ සබැඳි ඥාතිත්වයක් මත නොවේ!) එහෙත් ඒ ‘පිය සෙනෙහස’ තවමත් මගේ දෙනෙත තෙත් කරවයි.

එලෙස වෙන්නේ, අපේ තාත්තාගෙන්වත් ඔහුගේ සුජාත පුත්‍ර මට එවැනි සෙනෙහසක් ලැබී නැති බැවිනි. කනගාටුවෙන් වුවත් ඒ  විත්තිය පවසන්නේ අවංක විය යුතු නිසාවෙනි; ‘ඇත්ත කියන්නයි, බිම ඉඳ ගන්නයි බය වෙන්න එපා’ යැයි නිතර-නිතරම තරයේ කියමින් අපට ඉගැන්නුවෙත් අපේ තාත්තාමය.
(දැන් අප අතර නැති ඩැඩාටත්, අපේ තාත්තාටත් පැතූ සැපතක් අත් වේවා!)

නමුදු අපේ තාත්තාත්, ඩැඩාත් දෙන්නාම ‘සුපිරි- උත්තරීතර මානවයන්’ නොවේ! ඒ දෙන්නා ළඟම හොඳ සහ නරක දෙකම තිබිණි; නුවණැති බව සෙයින්ම මෝඩකමුත්; මදියි නොකියන තරමටම...
“උඹලගෙ අම්ම මෝඩ වුණත් හොඳ instinct එකකුත් තියෙනවනෙ නිමොල්. She is wright. I was wrong!” අපේ අම්මාට හොඳ ‘ඉවක්’; සහජ ඥානයක් ඇතැයිද, තමන්ට වැරදීමක් විණැයිද ඩැඩා මට කීවේ 1985 දෙසැම්බර් මාසයේ අවසනදීය.

ඔහු කේන්තියෙන් ජෝ හමුවන්නට ගියේ එදාය.

මගෙන් එවැනි දේවල් ලියැවී තිබෙන්නේ ඉතා අඩුවෙනි... එහෙත්...

සෑහෙන දින ගණනාවක් වැය කරමින් මා Joeගේ ගෙදර decorate කළත්, ඔහු මට ගෙවා තිබුණේ අඩු මුදලකි. ‘කීයක් ගෙව්වා’දැයි දැනගත්තාමය, ඩැඩාට යකා වැහුණේ. ‘ඔය ගණන ඇති, රටකජු කන්න නං.’ කියලාය, එවෙලේ ඩැඩාට කියැවුණු දේ ‘මා සිංහලයට පරිවර්තනය කර ගත්තේ’.

“Joe doesn't know me...” කියමින් තරහෙන් පිපිරෙමින්; කඩිමුඩියේ  ජෝගේ කෙමිස්ට් shop එකට ගිය ඩැඩා ආපසු ආවේ සෑහෙන වෙලාවකට පස්සෙය.
“ලීලා එදා කිව්වා හරි! Bloody ඉන්දියන්ස්... උන් ජෙනුයින් නෑ. මට කරන්න තිබ්බේ job එකට කීයක් දෙනවද කියලා මුලින්ම අහගෙන ඉන්න. ඌ දැන් කියනවා නිමොල්, උඹට work permit එකක් නැති නිසාලු ඔච්චර අඩුවෙන් pay කළේ. හොරෙන්ම එංගලන්තෙට රිංග ගත්තු ඉන්දියන්කාරයෝ ඕනි තරං ඉන්නවලු, ඔයිටත් වැඩිය අඩු ගණනකට වැඩ කරල දෙන්න. බොරුනේ... How can he fool me?”

එහෙම කීවාට, සිද්ද වුණේ මොකක්දැයි හරියටම නොකියා, සිගරැට්ටුවකුත් පත්තු කරගෙන- ගෙදර පුරාම ‘රුවන් සක්මනේ’ යෙදුණු ඩැඩාටම හති වැටෙනතුරු අපි ඉවසිල්ලේ බලා උන්නෙමු. “Please නිමොල්. උඹට පුළුවන්ද මට කොෆී එකක් හදල දෙන්න?”

‘හරි! දැන් ඩැඩා වාඩි වෙයි... කෝපි එක බොන ගමන් විස්තර කියයි.’
මගේ අනුමාන කිරීම ටක්කෙටම හරී ගියේය. හිතුවාටත් වඩා...
මං කෝපි mug එක අරගෙන යනකොට, ඩැඩා ටීපෝව උඩ දිග හැර තියෙන පවුම් පනහේ නෝට්ටුවකට ‘අනිමිස ලෝචන’ පූජාවකය. “Joe මේකත් දීලයි මගෙන් බේරුණේ.”

ඒකෙත් හැටි!
ඔය විස්තරවලින් බාගයක් ලිව්වේ මගේ මතකයෙනි; අනෙක් බාගය ලියන්නට දිනපොත උදව් විණි. එහෙත් ජෝ මට ගෙවූ මුදල ඒ දෙතැනින් එකකවත් සටහන්ව නැත! මුදල් ගනුදෙනු මට නොවැදගත් ඒවා වගෙය. මගෙන් එවැනි දේවල් ලියැවී තිබෙන්නේ ඉතා අඩුවෙනි... එහෙත්...

‘My kitchen is clean enough to be Healthy
And dirty enough to be Happy!

My home is small
No mansion for a Millionaire
But there is room for Love
And there is room for Friends
That’s all I care!’ යැයි සටහනක් 1985 දෙසැම්බර් 16 වෙනිදා මගේ දිනපොතේ ඉමහත් සැලකිල්ලකින් ලියැවී තියෙයි.

“ලොකූ කැමතියි නං මම ඔයාගේ කොණ්ඩේ trim කරන්නං!” චූටි නංගි දීපානි මගේ තරමක් වැවුණු කෙස්ස අවුස්සමින්...

ඒ සඳහන තිබ්බේ කාගෙදෝ කුස්සියක බිත්තිය හැඩ කළ බිත්ති සැරසිල්ලකය; ඒ කාගේ මුළුතැන්ගෙය දැයි දැන් මට අමතකය. එහෙත් ඒ පිඟන් මැටි බිත්ති සැරසිල්ල නම් මට හොඳටම මතකය. එදා එය නිහඬවම, ඒ කුස්සිය හිමියාගේ අපූරු චිත්ත ස්වභාවය මට විදාරණය කරමින් හිටියා වගේය.

(අනේ, ඒ ඉංග්‍රීසි සඳහන රිද්මයත් රැකගෙන සිංහලයට පරිවර්තනය කරන්නට හැකියාව මං වහන්සේට තියෙනවා නං!)

මේ ඉංගිරිසි ලියවිල්ල හෝ සැරසිල්ල හෝ අන්තර්ජාලයේ තිබේදැයි අද නිකමට වගේ හොයා බැලුවෙමි. ම්හු!
එහි තියෙන්නේ පරිණාමය වුණු; විස්තර අඩු; කෙටි කියමන්ය. ඒ හැම එකකම පාහේ kitchen වෙනුවට home ආදේශ වෙලාය. එහෙම වෙලා තියෙන්නේ දැන් ගොඩාරියක් ගෙවල්වල කුස්සියට තැනක් නැති නිසාද / එහෙමත් නැත්තං අපේ රටේ කුස්සිවල වාගේ දවසට එක සැරයක්- දෙකක් විතරක් කුස්සියට යැවෙන නිසාද? 

1985 දිනපොත මට මතක් කරන තවත් වැදගත් කතන්දරයකි. එය සනාථ කරන foto කෑල්ලකි; ඉහතින් ඔබා තියෙන්නේ. එය පෙන්වන්නේ තරමක රැවුලක් සහිත නිමොල්වය. අනිල්, දීපානි, දීපාල්, සමන්ති නංගිලා මල්ලිලාත් මමත් ඒ ඡායාරූපයේ වෙමු. නිමල් දිසානායක උවමනාවෙන්ම; සිතා-මතා වැවූ රැවුලකි එයින් පෙනෙන්නේ.
රැවුල විතරක් නොවේ- කොණ්ඩයත්... කොණ්ඩේ නං ඉබේ වැවෙන එකනේ... ඒත්...

“මෙහෙදි කොණ්ඩෙ කපන්න අස්ප ගණනක් ගන්නවලු ලොකා. ඊයේ අපි වැඩ කරන තැන කොල්ලෙක් ලස්සන හෙයා කට් එකක් කප්පගෙන ඇවිත් තිබ්බා. ඌයි මට කිව්වේ. කසනවටයැ එච්චර ගාණක් දීල කොණ්ඩෙ කප්පගන්නේ. ලංකාවට ගියාට පස්සෙම කැපුවම මදැයි!” අප කෑම ගන්නා වෙලාවක, ඒ ප්‍රවෘත්ති වාර්තාව දිග හැරියේ අනිල්ය.
“ලොකූ කැමතියි නං මම ඔයාගේ කොණ්ඩේ trim කරන්නං!” චූටි නංගි දීපානි මගේ තරමක් වැවුණු කෙස්ස අවුස්සමින් කියන මොහොතේය, මේ foto එක ගත්තේ.

අවුරුදු ගණනාවක් තිස්සේ- උරහිසටම දිගු වෙනකල් සරු කෙස් වැටියක් වවාගෙන හිඳ පුරුදු මා, මගේ උවමනාවෙන් සති දෙකකටත් වැඩි කාලයක් රැවුල වැව්වේ එකම එක වතාවකි. ඒ එංගලන්තයේ සිටින කාලයේය. රැවුල වවා නොපුරුදු නිසාදෝ මුහුණේ යට කොටස කසන්නට පටන් ගත්තත්, මං වහන්සේ වැඩේ අල්ලලා දැම්මේ නැත.
මට උවමනා වුණේ, තරමක් වැවුණු රැවුල මොකක් හෝ මෝස්තරයකට කපා ගන්නටය. එහෙම කර ගත්තට පස්සේ මගේ පෙනුම කොහොමදැයි බලා ගන්නටය. එතකොට මගේ හිතේ තිබ්බේ සිංහල සිනමා නළු රෝයි ද සිල්වාගේ සිහින් උඩු රැවුලයි. (එය දමිළ සිනමා නළු ජෙයෂන්කර්ගෙන් හෝ ජෙමිනි ගණේෂන්ගෙන් හෝ අපේ නළුවා අරගත්තා විය යුතුය.)

සකල සරුවාංගයේ කේශ- ලෝම- රෝමාදී සේරම හැළී ගිහිං ‘හම ගැසූ කුකුළෙකු’ පරිද්දෙන්... (ගාමිණීලගේ අම්මා, සුරංග, අපේ අම්මා, සුරංගගෙ දූ සකුණිව වඩාගත් නෙවිල් හා ලොම් හැලුණු නිදි 2014 ඔක්තෝබරයේදී)

ඒත් කොහෙද? මගේ වැවෙන රැවුලට දවස් තුන-හතරක් වයස වෙද්දීම ඩැඩා ප්‍රශ්න වැලක්ම අහන්නට ගත්තේය. “Are you ok? උඹ හොඳ සනීපෙන් නේද නිමොල්?”

ඒ මදිවාට අම්මාත්- සමන්තිත්...
“දැන්නං රංජි ඔයා හරියට ලෙඩෙක් වගේ...” / “අනේ ලොකූ, රැවුල වැව්වම ඔයාට කැතයි! අදම full shave කරමු ලොකූ. Please...”

‘ඔක්කොමලම කියන එකනේ... ඔන්නොහෙ රැවුල කපල දානවා. ඒත් ඊට කලින් මොකක් හරි cut එකක් තියල බලන්නෝනි.’ Samලා කාටවත් ඒ තීරණය නොකියාම, නිමල් දිසානායකයා උන්නැහේගේ ‘වික්‍රමාන්විතය’ පටන් ගත්තේය.
රේසරයකුත් අරං නාන කාමරයට වැදුණු ඒකා උගේ මනාපය දිනාගෙන තිබුණු ‘ගිනිකූරු කට්’ එකට රැවුල කැපීමට හිතා ගත්තේය... එහෙම කෙරුවේය. කරලාාාාාාාාා...

‘ඌ’තුමා කන්නාඩියට එබුණා විතරය. ‘ගොනෝ... දෙපැත්ත balance නෑෑෑෑ නේද?’ කන්නාඩිය ඇතුළේ හිටි නිමොල් ඇහුවේය.
ඒ වගේ! උත්තර දුන් එළියේ
හිටි නිමොල් සීරුවට ආයෙමත් රේසරයෙන් වැඩ ගන්නට පටන් ගත්තේය.
‘ඒ සැරේ අනෙත් පැත්ත වැඩියි වගේ...’ ඇතුළේ එකා සැටිස් නැති හැඩය.
එක වතාවක් මේ පැත්ත වැඩියි වගේ- ඊළඟ වතාවේ බලද්දී අනෙක් පැත්ත වැඩියි වගේ... නිමලයාත් කියන- කියන පදයට නැටුවේය. එහෙම කරන්නට යන හැමෝටම සිද්ද වෙන දේමය; ඒකාටත් සිද්ද වුණේ.
අන්තිමේදී ඒ හාදයා wash room එකෙන් එළියට ආවේ රැවුල මුළුමනින්ම බූ ගාලා දමලාය!

ඒ වතාවේ රැවුල වැව්වේ උවමනාවෙන්ම යැයි මම කිව්වෙමි.

මැණික් ගරන්නට දියවින්නේ ගිහිං හිටි මාස කිහිපයෙදීත්, එකම එක වතාවක් මගේ රැවුලට නිදහසේ තියෙන්නට හැරියෙමි. දවස් තුනක්වත් ගියේ නැත.
“මොකක්ද අයියෙ තමුසෙ කරන්නේ... කැලේකට ඇවිත් හිටියට කමක් නෑ. මේ හද්ද වනන්තරේ අපිව බලන්න කෙනෙක් නැති වුණටත් කමක් නෑ. පිං සිද්ද වෙයි, ඔයාගෙ රැවුල කපා ගන්නවා. රැවුලත් වවාගෙන ඔයා කාළකන්නි පාටට ඉඳිද්දී හම්බ වෙන්න තියෙන ගෙවුඩයක්වත් අපිට හම්බවෙන එකක් නෑ.” වැඩ හවුලට එහාට ගිහිං හිටි අපේ සුනිල් මල්ලී, මට ගෝරනාඩු කළේය.

“ඔව් සුදු අයියේ. සුනිල් අයියා කියන්නැහෙ ඔයාට රැවුල හරි යන්නෑ තමයි.” අපේ ගැරුම් නඩයට දියවින්නෙන් එකතු වෙලා හිටි සෝමේ මල්ලීත් සුනිල්ට හූමිටි තියූ නිසා මම ඒ වතාවෙත් රැවුල කැපුවෙමි.

ඊට පස්සේ;  2014 විතර නං කාගේවත් ඤරු-ඤුරුවක් නැතුව මාස ගණනාවක්ම රැවුල නොකපා හිඳින්නට මට ඉඩ ලැබිණි. ඒ මල්ටිපල් මයෙලොමා පිළිකාවට ප්‍රතිකාර කරද්දී සකල සරුවාංගයේ කේශ- ලෝම- රෝමාදී සේරම හැළී ගිහිං ‘හම ගැසූ කුකුළෙකු’ පරිද්දෙන් හිටි සන්දියේදීය.

දැන් ඔව්වා කතා කරල වැඩක් නැහැනෙ. කොයි කාලෙ වෙච්ච දේවල්ද ඔය...

ඒ අතරේය මානෙල්ගෙන් ‘නොසිතූ පන්නයේ ආරංචියක්’ ලැබුණේ.
එයින් කියැවුණේ ඇයට ලැබෙන්නට යන්නේ නිවුන් දරුවන් බවට වෛද්‍යවරුන් සැක කරන විත්තියයි.

“නිවුන්නු? කොච්චර එකක්ද රංජි...” අපේ අම්මාගෙ සතුට ඉහ-වහ ගියේ ඒ ආරංචියත් එක්කය. “අපේ කඩේ නංගිටත් නිවුන්නු ජෝඩු දෙකක්ද කොහෙද ඉන්නේ. සෝමා නංගිටයි මටයි දෙන්නටම නිවුන්නු නැති එකේ...”
“Are you mad mum? මානෙල් අක්කට twinsල හම්බ වුණොත් එයා කොහොමද බබාලා දෙන්නෙක්ව බලා ගන්නෙ. නේද ලොකූ.” Sam ඇහුවේ මතු විය හැකි ප්‍රශ්න කල්පනාවට ගනිමිනි. “... අම්මට නං මොකෝ? අම්මට ඕනි හැම එකෙන්ම credit එකක් ගන්නනෙ.”

“ඇයි වදේ, මට ආඩම්බර නැද්ද, මගේ දුවෙකුට නිවුන්නු හම්බ වුණොත්? මමත් දරුවො දහ දෙනෙක්ගෙ අම්ම කෙනෙක්නෙ. මමත් ඔයාලව බලා ගත්තෙ... දරුවො බලා ගන්න එක මහ වැඩක්ද සමන්ති.”
“මහ වැඩක්ද? අම්මා අපිව බලා ගත්ත හැටි නං අපිට මතක නැති වෙලා නෑ අම්මේ. අම්ම එංගලන්තෙට ආවෙ අවුරුදු තුනේ චූටි නංගිවත් ලංකාවේ දාලනෙ... මානෙල් අක්කටයි මටයිනෙ දීපාල්වයි දීපානිවයි බලා ගන්න වුණේ...” සමන්ති නංගි වගපල කියන්නේ කලාතුරකිනි. ඒත් එහෙම වෙලාවට මදියි නොකියන්නටම...

“දැන් ඇති සෑම්! දැන් ඔව්වා කතා කරල වැඩක් නැහැනෙ. කොයි කාලෙ වෙච්ච දේවල්ද ඔය... යං යං, අපි උඩට යං.” අනිල් සෑම්ව සනසවන්නට හැදුවේ එහෙමය. එතකොටත් අම්මා කඳුළු වක්කරන්නට පටන් අරංය.
අපරාදේ කියන්නට බැරිය. ඕනෑම සටනකදී සැණෙන් රූරා වැටෙන්නට සූදානම් කඳුළු ගංගාවක් අපේ අම්මාගේ ගබඩාවේ තිබෙයි.

“උඹල ඔක්කොම එකයි. අනේ මාත් වැදුවනේ මෙහෙම කෙළෙහිගුණයක් නැති දරුවො... එහෙම හරි මම එංගලන්තෙට ආවෙ නැත්තං උඹල අද කොහෙද ඉන්නේ?”
à ඊළඟ කොටසට...

20 comments:

  1. //එහෙත් ඩැඩාගෙ චේතනාව... එයින් කියූ නිහඬ පුත්‍ර ප්‍රේමය... (ඩැඩා මගේ සුළු පියාණන්ය; එද නීත්‍යානුකූලව මිස ලේ සබැඳි ඥාතිත්වයක් මත නොවේ!) එහෙත් ඒ ‘පිය සෙනෙහස’ තවමත් මගේ දෙනෙත තෙත් කරවයි.//මම මේ හරිය කියවද්දි කමෙන්ට් එකට ලියන්න හිතපු දේ නිදීම පෝස්ට් එකේ ලියල.

    ReplyDelete
    Replies
    1. ඉයන්, සිරිබිරිස් උන්නැහේ කියනවා වගේ එක ෆ්‍රීකුව්න්සිය තියෙන අය වෙන්න ඇති, අපිත්!
      ස්තුතියි, හොඳේ!

      Delete
  2. "ඔබගේ පියා පලමුව රැවුල කපා ඇත්තේ; ඔහුගේ පියාට හොරෙනි!"

    ReplyDelete
    Replies
    1. හුඟක් අය ඉස්සෙල්ලම රැවුල කපන්නේ හොරෙන්ම නේද?

      Delete
  3. සුන්දර අතීත මතක....

    ReplyDelete
  4. //එහෙම හරි මම එංගලන්තෙට ආවෙ නැත්තං උඹල අද කොහෙද..//
    සහතික ඇත්ත. දීපාල්, දීපානි දෙන්නවම එහෙට ගත්තා නේද? දීපානිද පටෙල්ව බැන්දෙ?

    ReplyDelete
    Replies
    1. පටෙල්ව බැන්දේ සමන්ති නංගි.
      දීපානි විවාහ වුනේ සුදිත් එක්ක. ඒකත් ලස්සන වැඩක් බකුසුතුමෝ. යෝජිත විවාහයක්- එංගලන්තේදී සුදිත්ලගේ මල්ලී තමයි අපේ අම්මට අදහස දාල තියෙන්නේ.
      ඊටත් පස්සෙයි දන්නෙ, එයාලත් පමුනුවෙමයි; එයාලගේ ලොකු අයියත් මගේ හිතවතෙක්!

      Delete
  5. එංගලන්තේ දැන් ඕව මුකුත් නිශ්පාදනය කරන්නේ නැහැනේ. චීනලන්තේ තියෙනවනේ. දුක තමා රන්ජනී . මම ඔයාගේ මල්ලිට 31 රෑ එන්න කීව අපේ ගෙදර. එයා වයිෆ් ගේ යාලුවෝ එන්න කියල තියනවා කීව. කිත්මා ආව

    ReplyDelete
    Replies
    1. ඔයා අපේ දීපාල් මල්ලිව contact කරගෙනද ඉන්නේ. අහන්නත් සතුටුයි අජිත්!

      Delete
  6. //මෙහෙදි කොණ්ඩෙ කපන්න අස්ප ගණනක් ගන්නවලු // එහෙත් එමහෙද. දැං මෙහෙත් එහෙමයි... නිදි ලොක්ක 🤭

    ReplyDelete
    Replies
    1. කොච්චර ආඩම්බරයක්ද නමී. අපිත් දැන් දියුණු රටක්නේ. එහෙ වගේ නොවී බෑ!!

      Delete
  7. https://english.stackexchange.com/questions/226418/what-is-the-derivation-of-peanuts-meaning-of-little-value

    ReplyDelete
    Replies
    1. ඩැඩාගෙ පීනට් කතාව හරියටම තේරුම් ගත්තේ දැන් ඔයා එවා තියෙන මේ link එකට ගිහිං බැලුවාමයි.
      ස්තුතියි Pra Jay මහත්තයෝ!

      Delete
  8. පිටරට ගිහිල්ල කොන්ඩෙ කපනවට වඩේ ලාභයි..කොන්ඩෙ කපන මෙශින් එකක් ලග තියාගෙන තමන්ම කපා ගන්න එක...වැඩේ තියෙන්නෙ ඉතින් පොඩ්ඩක් හැඩ මදි වෙන එක තමයි....

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මයියා, අපේ චූටි නංගී තමයි එතකොටත් අපේ ඩැඩාගෙ කරණවෑමි(නී)!

      Delete
  9. අපුරු සටහනක්. කොවිඩ් කාලේ නම් මමත් අපේ මහතැන් ගේ කොන්ඩේ කැපුවා. අදටත් මම මගේ ජිවිතේ කල ලොකුම වීර ක්‍රියාව තමයි ඒක. අනේ අහිංසකයා වගේ බෙල්ලම හරි කපාපන් කියලා මගේ ළඟ ඔළුව පාත් කරගෙන හිටපු විදිහ මතක් කර කර අදටත් අපි හිනාවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ ලියෝනි.
      කොච්චර ලොක්කෙක් වුණත් බාබර් ළඟදී කීකරුව ඔළුව පහත් කරන්නම වෙනවනෙ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්