ඊළඟ පාර එල්ලුම් ගස් ගිහින් තමයි............ |
“මේ කුමාරලා අම්මේ. ගිහින් වැඩක් බලාගත්ත නං. ලොකු අයියට
වැඩි වෙලාවක් ඉන්න විදිහක් නැතිව ඇති...” මගේ ඇනුම්-කෙටුම් හඳුනන අනිල් මැදිහත්
වුණේය.
නිදිගෙ පංච තන්තරේ කියවන රසිකයනට, වංගු වැඩි- එහෙත්
විචිත්‍ර මේ කතාවේ විත්ති අමතක වෙලා තියෙන්නටත් ඉඩ තිබේ. 12 වෙනි කොටස පළවුණේ
මාසයකටත් වඩා ඉස්සරය.
මුල් කොටස් කියවා බලනවානම් හෙම එය පහසු වෙන්නටය මේ සබැඳුම්
පහතින් යොදන්නේ:
වංගු ඇතත් පියකරු 'බැලරිනා උඩවැඩියා' මල වගේම විචිත්‍ර මේ කතාවේ......... |
අපේ අන්නාගේ කතාවෙන්
පෙනුණේ හැකිතාක් ඉක්මනින් මාව කඩයෙන් පිටමං කරගන්නට මිනිහාට තිබුණු හදිස්සියයි. එය
නෑහුණු ගණනට මම වටපිට බැලුවෙමි. පොඩි මාමාත් තක්කු-මුක්කුවී බලා හිඳී. මගේ ඇස්
දිව්වේ කඩ බක්කි, රාක්ක දිහාවටයි. ඒවා හරියටම කඩය පටන් ගත් දවසේ වගෙය.
ව්‍යාඝ්‍ර ධෙනුවකගේ විමසිලිමත් බැල්මක් වැන්නක් වටපිට සිසාරා යවමින්..... |
එදා අපට බඩු ගොඩාරියක්
ගන්නට සල්ලි තිබුණේ නැතිය. එනිසාම ගන්නට හැකි වුණු කිරිපිටි, සැමන්, සබන් වැනි
දේවල් ටික රාක්කවල ඇසිරුවේ ඇතුළෙන් හිස් කාඩ්බෝඩ් පෙට්ටි තියලාය. වැඩි අහුපෑවතක් හිටින විදිහටය.
නමුත් අවුරුදු
කිහිපයකදී (ලොකු නංගී සියදිවි හානි කරගන්නා කාලයේ) කඩය සශ්‍රීකව තිබිණි. අනිලුත්,
පොඩි මාමාත් කඩය බාරගන්නා විට තිබුණු කලඑළිය දැන් කොහාට ගිහින්ද?
“මොකද මේ?” මට උත්තර
ලැබුණේ නැත.
“පොඩි මාමේ, මොකද මේ වෙලා තියෙන්නේ?”
පොඩි මාමා කතා කළේ
හීන්සීරුවේය. “රංජි දන්නවනේ. මට අනිල් කියනවට උඩින් යන්න
අයිතියක් නැහැනේ.”
එයා දැන් බෝලය අනිල්ට පාස් කරලාය. පොඩි මාමාගේ කතාවත් බොරු
නොවේ. මම හැරී බැලුවෙමි. අනිල් ගල් ගිලලාය. දඩබ්බර බැල්මක් නම් මිනිහාගේ මුහුණට
අරක් ගෙනය.
තමුසෙට දවස් දෙකක් දෙනවා......... |
“තමුසෙට දවස් දෙකක්
දෙනවා. Stock අරගෙන, පොතුත් එක්ක මට බලන්න ඕනේ.”
“ලොකා, දවස් දෙකෙන්
කොහොමද කරන්නේ? කඩේ බිස්නස් කරන ගමන්.... න් න් නේද පොඩි මාමේ?”
“ඕයි..... මේකත් දැන්
කඩයක්ද... බිස්නස් කරන ගමන් බැරි නම්, මේ ලඩේ වහලා හරි කිව්ව විදිහට කරනවා...
වෙළෙඳාම නැතිවුණයි කියලා කෝටියක් පාඩු වෙන්නයැ.”
මගේ ටෝන් එක හොඳ මදි හින්දාද
කොහෙද දෙන්නාම කතා කළේ නැත. කැෂියර් කූඩුවෙන් පිටතට ආ මම ඇතුළු කාමරයට එබී
බැලුවෙමි. වැඩිපුර ඇති අල, ළූණු තුනී කොට තියන්නෙත්, කෑම මේසයට ගන්නා පකිස්
පෙට්ටිය තියෙන්නෙත්, කඩයේ පස්සා දොර තියෙන්නෙත් ඒකේය.
මගේ ඇස් උඩ ඉන්දුණේය!
කාමරය හරියටම සුළි සුළඟකට අහුවී කඩා වැටුණු මුඩුක්කු පැල්පතක් වගෙය. අපිළිවෙලය; අපිරිසිදුය! කාමරය මුල්ලේ හිස් අරක්කු
බෝතල තොගයකි. ඉඳුල් කෑම පෙට්ටි ගණනාවකි. බිම පුරා සිගරැට් කොට වරුසාවක
ඉතිරි-බිතිරිය.
සුළි සුළඟකට මැදිවුණු මුඩුක්කු පැල්පතක් කඩා වැටුණු විදියටය...... |
එය එකම නරකාදියකි.......
ඉඳහිට වුණත් කඩේට ගොඩ
වැදෙන ගනුදෙනුකරුවන් නිසා මගේ මුවත් අගුලු දමාගෙන ඉන්නටය, වෙලා තිබ්බේ. කෑකෝ
ගැහුවොතින් ලජ්ජාව අපටමය.
‘දවස් දෙකයි!’
දත් අස්සෙන් කොඳුරා කියලා මම ගෙදර ආවෙමි.
දවස් දෙකක් නොගෙන, පහුවදා
හවසම අපේ අනිල් ගෙදර ආවේය.
කිසිම පොතක්- සටහනක් ගෙනාවේ නැතිවය ඔහු ආවේ. “ලොකා...
මට වහ ටිකක් බොන්නයි වෙලා තියෙන්නේ!” මිනිහා කිව්වේ කිසිම පැකිළීමකින් එහෙම නොවේ.
Don’t care තාලෙටය. හරියට මං කළ දෙයක් ගැන චෝදනාවක් කරන විදිහටය. අපේ අන්නා එහෙම
වැඩවලට දෙයියෙකි.
“ඇයි?” මාත් ඇහුවේ කැත්තට
පොල්ල වගෙය.
අයුතු තීන්දුවක් දුන් පිලාත් ආණ්ඩුකාරයා අත් සෝදාගෙන පාපයෙන් නිදහස් වෙන්නට ගියත්........... |
“අපි ඔයාට කිව්වෙ නැහැ,
ලොකා. කඩේ දුවලා තියෙන්නේ පාඩු පිට. කඩේ ටිකක් නග්ගලා ගන්න කියලා ලොකු ණයකුත්
ගත්තා. දැන් පොලිය ඩබල් වෙලා.... ලොකා, අපට කඩේ විකුණන්නයි වෙන්නේ. ගන්න කෙනෙකුත්
මම හොයාගෙනයි තියෙන්නේ. ඒ මනුස්සයා හෙට උදේට සල්ලිත් අරන් එන්නං කිව්වා ඔයා
කැමතියි නම්....” අන්නා කිව්වේ මා සිහිනයකින්වත් අහන්නට නොහිතූ කතාවකි.
කේන්තිය වෙනුවට මට ඇති
වුණේ පසුතැවිල්ලකි.
වානිජ්‍යය හා ගිණුම්
ඉගෙනගෙන තිබුණාට අන්නා කඩේ බංකොලොත් කරගෙනය. පොත්වලින්, වාර්තාවලින් මට පෙන්වා
තිබුණු දියුණුව එහෙම පිටින්ම මායාවකි.
තමන්ගේ එකාට කඩේ වගකීම පවරන්නැයි කී හැම එකාම ඒ වෙද්දී හිටියේ මුනිවත රකිමිනි. තම-තමන්
එහෙම කතාවක් කිව්වාය කියලා සහමුලින්ම අමතක කරලාය.
අනෙක් අතට තාත්තා.... ලොකු
නංගී... අපේ පවුලේ දෙන්නෙක්ම සියදිවි නසාගෙන ඉවරය. ඒ ගොඩට තවත් එකෙකු යැවිය හැකිද?
තීරණය තියෙන්නේ මා අතේය; වගකීම තියෙන්නේ මා අතේය! පිලාත් ආණ්ඩුකාරයා වාගේ තීන්දුවදී, අත්
හෝදාගෙන ‘පව් අරවා ගන්න’ට බැරි වේලාවකි මේ.
උන් මහ අණක්-ගුණක් නැති මිනීමරුවෝ! |
“කීයකටද ඔය කියන මනුස්සයා
කඩේ ගන්නම් කිව්වේ? තමුසේ කීයක්ද ණය වෙලා තියෙන්නේ?”
අනිල් ගණන් හිලවු කිව්වේ
කට පාඩම් කරගෙන හිටියා වගේය.
ඇත්තම කියනවා නම් මට ඒ ගණන්වල කිසිම වැදගම්මක්
තිබුණේ නැත. ලක්ෂ ගණනක් බව යන්තම් මතකය. ඉඩම විකිණිය යුතු ගණනත්, ගෙවීමට ඇති ණය ප්‍රමාණයත්
අතර වෙනසත් අල්පයකි. ඒ චුට්ට ලැබෙන්නෙත් පස්සෙන් පහුය.
“ඒ කියන්නේ ඉඩම ලිව්වට
සල්ලි ඔක්කොම හම්බ වෙන්නෙත් නැහැ. ඉතිරි සල්ලි හම්බවෙන්නෙත් පස්සේ?”
“ලොකා... ඔව්වා හොය-හොයා
ඉන්න ගියොත් ණයකාරයා මාව මරයි. මාත් මුලින් එහෙම හිතුවේ නැහැ. උන් මහා අණක්-ගුණක්
නැති මිනීමරුවොලු. ඔයා බැහැයි කියනවා නම්....”
අපේ පවුලේ බාලයෝ- පිටිපස වමේ සිට: මානෙල්, අජිත්, (ඉදිරියෙන්) දීපාල්, දීපානි, සමන්ති. |
මගේ හිතේ තිබුණේත් ඉදිරි
දිනයෙක අනිල්ටම කඩය පවරන්නටය. අනෙක් කඩය සුනිල්ගේ නමට ගත් නිසා, දැනටමත් එයාට
පවුලෙන් යමක් ලැබිලාය.
මානෙල් නංගි විවාහ කරදීලා ඉවර නිසාත්, බාලම තුන්දෙනා
එංගලන්තයට එක්කගෙන ගිහින් නිසාත් ඉතිරිව ඉන්නේ අජිත් මල්ලීත්, මාත් විතරය.
“ආච්චිලගේ ඉඩමෙන්- මහගෙදර වත්තෙන් මට අයිතිවෙන හරියකුත් අජ්ජාටම දෙනවා! ආච්චිලා
කිය-කියා ඉන්නෙත් පර්චස් 34 ඉඩමෙන් බාගයක් අජිත්ට දෙනවයි කියලනේ.... අජිත්ව එයාල
හදාගත්තු නිසා.”
මගේ අදහස කිව්වාම
සුනිලුත් කිව්වේ එයාගේ අයිතියත් අජිත්ට දෙන බවය.
“එතකොට අජිත්ටත් සාධාරණේ
ඉෂ්ට වුණා වෙනවා... මම දන්නවා සමන්තිලා දීපාල්ලා තුන්දෙනා ආයෙම ලංකාවට එනේකක්
නැහැ. එයාලගේ කොටසුයි, මානෙල්ගේ කොටසයිත් අජියාටම දෙන්න යෝජනා කරන්නයි මං හිතාගෙන
ඉන්නේ. කඩේ අනිල්ට දුන්නම මිනිහටත් ඔය පර්චස් එකක්වත් නැති අයිතිය අජිත්ට පවරන්න
බැරිය.”
මං සැලසුම් කරගෙන හිටියේ එහෙමය.
නංගිලා මල්ලිලා හැමෝමත් ඒ තීරණයට එකඟ වූහ! |
මෙහෙම ලියන්නේ අපේ
උරුමයන් ගැන පම්පෝරි ගහන්නට නොවේ. මගේ තිබුණු ඒකාධිපතිවාදීකම ගැන කියන්නටය.
එදා මා හිතුවේ හැම දෙනාටම
සාධාරණයැයි මට පෙනෙන දේවල් ගැන විතරය. නංගිලා- මල්ලිලා හැමෝමත් ඒ අදහස්වලට
විරුද්ධව කතා නොකළෝය. දැන් මට දැනෙන්නේ ලොකු අයියා වුණත් ඔවුන්ගෙන් නොවිමසාම,
ඔවුන් වෙනුවෙන් තීරණ ගැනීම මා කළ වරදක් කියලාය.
“එතකොට පුතේ උඹට....?”
ඇහුවේ ආච්චිය. “උඹට මොනවද ඉතිරි වෙන්නේ.... මොකෝ උඹ මහණ වෙන්න යන්නද හිතං ඉන්නේ?”
“බය වෙන්න එපා ආච්චියෙ.
මට පුළුවනි මගේ ගැන බලාගන්න. වෙලාව ආවාම මම හම්බ කරගන්නම්... ඉස්සෙල්ලා මෙයාලගෙ
යුතුකම් ටික කරලා ඉඳිමුකෝ!”
දීපානි; චූටිම නංගී ඉපදුණු වෙලාවේ මම මටම පොරොන්දුවක්
දීගත්තෙමි. ‘කවදා හරි නංගිලා-මල්ලිලා හැමෝටම එක්කෙනාට ලක්ෂය ගණනේ අයින් කරනකල් මගේ
ගැන හිතන්නේ නෑ, නෑ, නෑමයි!”
චූටි නංගී දීපානිගේ දූ ෂැනන්, දෙමාපියන් මැද්දේ.......... |
ජීවිතය කෙතරම්
පුදුමාකාරද?
ඊයේ දහවල් අම්මා කෝල් එකක් දුන්නාය. “රංජි පුතේ. චූටිගේ දුව ෂැනන්
ලොකු ළමයෙක් වෙලා...”
ඊළඟට මානෙල් නංගි.... “ලොකා, ෂැනන්.... චූටිට ඕනිලු කෙල්ලව නාවන චාරිත්‍ර ටික
හරියට කරන්න... මගෙන් ඇහුවා මොනවද කරන්න ඕනි කියලා.”
ඒ කියලා ෆෝන් එක තියද්දී
දීපානි ලයින් එකේය..... “ලොකූ... today is a very big day.... ඔයා දන්නවද?....”
“අනේ බං... එංගලන්තේ
අනිත් අම්මලත් රෙදි නැන්දලා හොයනවද? ඊටත් මේ කොරෝනා හින්දා ගෙවල්වලටම කොටුවෙලා
ඉන්න අස්සේ?” මම ඇසුවෙමි. ඒ ඊයේය. 2020 අප්‍රේල් 24 වෙනිදාය.
මේ එදාය. 1973 වසරේය.‘එයාලා
හැමෝටම ලක්ෂය ගණනේ වෙන් කරනකල්....’ එතකොට මං හිතුවේ රුපියල් ලක්ෂයක් තියෙනවා නම්
කෙනෙකුට කිසිම ප්‍රශ්නයක් නැතිව ජීවත් විය හැකිය කියලාය.
ලොකු සල්ලිකාරයන් පවා මන්දිර තුළ ගාල්වී............ |
2020 දී කොරෝනා ඇවිත් අපට තේරුම් කරදී තිබෙන්නේ අපේ තකතිරුකමයි. අද කෝටි-ප්‍රකෝටි ගණන් තිබෙන උදවියත් මර බියෙන් තැවෙති. ගෘහස්ත කූඩුවලට ගාල්වී හිඳිති.
එදා මගේ නුවණේ වපසරිය
එච්චරට පටුය.
උද්ධමනය ගැන, කාලයත් සමඟ මුදලේ වටනාකම පහත වැටීම ගැන කිසිම හැඟීමක් ඒ
දවස්වල මට තිබුණේ නැත. දවල් හීනවලට සීමා-මායිම් පවුරු-පදනම් කොයිබින්ද?
අද චූටි නංගිත් එයාගේ දරු
පැටවුන් පස්දෙනා ගැන හිතනවා ඇත්තේ මා සිතුවා මෙන්ම විය යුතුය.
ජීවිතය කියන්නේ
මේකද? දූ දරුවන් මතුයෙහි බලාපොරොත්තු ඇති කරගැනීමද? ඉතින් මගේ මතකය හරි නම් අප
1983 අවුරුද්දට ආපසු යා යුතුය. අනිල් මල්ලී බොරලැස්ගමුවේ කඩය විකුණන යෝජනාව ගෙනා
කාලයට.....
“කවුද බැහැයි කිව්වේ?
අනෙක තමුසෙලා මට වෙන කරන්න දෙයක් ඉතිරි කරලත් නැහැනේ. කඩේ වගේ නෙවෙයිනේ. තමුසෙටත්
මැරෙන්න දෙන්නයැ. තමුසෙට දෙන්න හිටි දේ තමයි තමුසෙම නැති කරගෙන තියෙන්නේ...”
පහුවදා උදේ අපි රාජගිරියට ගියෙමු. ඉඩමේ ඔප්පු ලියන්නට යොදාගෙන තිබුණේ එහිදීය.
රුපියල් ලක්ෂයක් හෝ ඊට ටිකක්
වැඩි මුදලකි; එවෙලේ මගේ අතට ලැබුණේ. කලින්ම අනිල් ඒ මනුස්සයාගෙන් අත්තිකාරම්
මුදලකුත් අරගෙන තිබෙන බව කියැවුණේ එහිදීය. මගේ කේන්තිය එහෙමම ගිලගන්නටය එතැනදී
සිදු වුණේ.
රාජගිරියේ සිට මහරගමට එන තුරුමත් අප දෙන්නා අතර කතාබහක් සිදු වුණේ
නැත්තේ එතෙකුත් මගේ තරහ හිරවී තිබුණු නිසාවෙනි.
හරියටම මහරගම ‘සරසවි
පොත්හල’ ඉදිරිපිටදී මම අනිල්ට කතා කළෙමි.
අප පාසල් යන කාලයේ මහරගම සරසවී පොත්හල තිබුණේ....... |
අප පාසැල් යන කාලයේ මහරගම
සරසවි පොත්හල තිබුණේ දැන් තිබෙන ස්ථානයේ නොවේ. දැන් මහරගම සසිරි පොත්හල් තිබෙන තැනට යාබදවය.
(එච්.ඩී. ප්‍රේමසිරි මහත්තයාත්, කුමුදිනී අක්කාත් අප දැකගත්තේ සරසවි සාප්පුවේදීය.)
“ආ, මෙන්න... ගන්නවා.”
ඉඩම
පවරද්දී ලැබුණු මුදල් සහිත බෑගය මම අනිල් අතට දුන්නෙමි.
“වෙන විකුණන්න දේවල් නැහැ
කියලා තමුසෙත් දන්නවනේ..... ආයෙම ණය වුණොත් තමුසෙට වහ බොන්නම තමයි වෙන්නේ.”
එක රුපියලක්වත් නොගෙන
ලැබුණු සියලුම මුදල් අනිල් අතට දීලා ගෙදර එද්දී මට කිසිම දුකක් දැනුණේ නැත. දුක
හිතුණේ ඊට සතියකට විතර පස්සේ දවසකය; එතෙක් එක එල්ලේ මට මුහුණ දීමෙන් වැළකී හිටි
අනිලුත්, පොඩි මාමාත් දෙන්නා එකටම මා ඉදිරියේ පෙනී සිටි දවසේය.
එහෙම වෙලාවට මා කරන්නේ
ඉස්සර නොවී හිටීමේ ‘බලු වැඩේ’ය. එතකොට පළමුවෙන් කතා කරන්නට වෙන්නේ එයාලටමය. ඒකත්
එක විදිහක දඬුවමකි.
ලොකා, xxx අක්කගේ රත්තරන් බඩු ටික..............? |
“ලොකා.... xxxගේ රත්තරන්
බඩු....” අන්නාම පටන් ගත්තේය.
“මට මොකටද ඕයි කාගේවත්
රත්තරන් බඩු. ඔය පොඩි මාමා ඉන්නේ... එයාගෙ පවුලගෙ රත්තරන් බඩු මට මොකටද?”
එතකොටය පොඩි මාමාත්
පැකිළෙමින් කට ඇරියේ. “නෑ රංජි, අපි ඒවාත් උගස් කරලා කඩේට දැම්මා....”
මම වෙවුලන්නට වීමි.
“තොපි
දෙන්නා නේද ඔය ණය වුණේ? කවුරු කිව්වටද? යසට තිබිච්ච කඩේ බංකොලොත් කරලා, ණය වුණයි
කිව්වම... ඒකත් විශ්වාස කළා. ගොනා වගේ කට පියාගෙන, කඩේ විකුණලා සේරම සල්ලි උඹලට
නේද යකෝ දුන්නේ, ණය ගෙවන්න. කඩේ සල්ලිවලින් බොන්නයි, මුළු බොරලැස්ගමුවටම ඉන්න
සල්ලිකාරයෝ කියලා පෙන්නන්නයි, බූරුවා කෙළින්නයි ගිහින් ඒ පව්වලට තවත් කර ගහන්නද මට
කියන්නේ?
-ණය වුණා නම් උඹලාම ගෙවාගනිල්ලා. නැති නම් වහ බීපල්ලා දෙන්නත් එක්කම....”
නැත්තං තොපි දෙන්නම වහ බීපල්ලා! |
මා වැරදි වෙන්නට හැකිය.
එහෙත් තවමත් මා විශ්වාස කරන්නේ එදා ඔවුන් දෙන්නා තවත් ගණනක් කඩා ගන්නට තැත් කළ
බවයි.
එවෙලේ නම් මට ‘චී!’ කියා හිතුණි. එහෙම සහෝදරයෙකු, එහෙම ඥාතියෙකු මොකටද කියලා
හිතිණි.
අදටත් මා නොදන්නේ ඒ
‘අවලස්සන සිදු වීමේදී’ අපේ ගෙදර කිසිම කෙනෙකු මා වෙනුවෙන් කිසිවක් නොදෙඩූ හේතුවයි.
එදා සිට මම පොඩි මාමාත්, අපේ අනිලුත් එක්ක කතාව නැවත්තුවෙමි.
අපේ අම්මාගේ ප්‍රියතම
පුත්‍රයා වුණේ අනිල් මල්ලීය.
“ඉස්සර ඔයාලගෙ තාත්තා අනිල්ව කඩේ යැව්වම මිනිහා
හොරෙන් කීයක් හරි ඉතිරි කරගෙන ඇවිත් මට දෙනවා....” මෑත දිනයෙකත් අපේ අම්මා
කිව්වාය. එබඳු දේ වරදක් විදිහට අපේ අම්මා හිතන්නේ නැත.
එංගලන්තයේ සිටින අම්මාගේ
හොඳහිත වඩාත් වටිනා නිසා එදා අපේ ගෙදර අය අනිල්ට දෝෂාරෝපණය නොකොට නිහඬව සිටියාද?
මට පෙනෙන විදිහට වුණේ
‘එයාලා හැමෝම ශ්‍රී ලංකාවේ හිඳිමින් ශ්‍රී ලංකා not vs England වී අම්මාට පක්ෂපාත
වෙමින් ලකුණු දමාගැනීම’ය. වවුලන් වහන්නේ පල ඇති රුකකය.
කලකට පසු මුලින්ම පොඩි
මාමා අතුරුදහන් වුණේය. ඒ බිරියත් දරුවනුත් හැරදා යමිනි.
ඊළඟට සීයා, ආච්චී දෙදෙනා
පරලෝකප්‍රාප්ත වූහ.
අවුරුදු හතකට පෙර මල්ලිකාත්, ගිය අවුරුද්දේ අනිලුත් මිය ගියෙන් මේ විත්ති හොඳටම දන්නා
තිදෙනෙක් පමණක් දැන් ඉතිරිව සිටිති. අපේ අම්මාත්, සුනිලුත්, මාත්.
එහෙමය කියලා කතන්දරය
වෙනස් කරන්නට බැරිය; ඇත්තම කිව යුතු බැවිනි. නමුත් සමහර තැනෙක විස්තර අඩු කරන්නට
නම් සිද්ධ වුණේය. 100%ක් ඇත්තම කියලා පණ පිටින් ඉන්නා උදවියගේ හිත් රිදවන්නට මා
අකැමැති බැවිනි෴
ඔයාගේ කඩේ තිබිච්ච කාලේ (බොරලැස්ගමුව බස් නැවතුම්පොළ හදන්න පෙර) බස් නැවතුම පසුකාලීනව සෑදු ඉඩම අසලම යන්තර මන්තර කාරයෙක් එයාගේ බිස්නස් එක ගැන වෙළඳ නාම පුවරුවක් හයි කරලා තිබුනා. එයාගේ නම සඳහන් වෙලා තිබුනේ ''දොන් ඩේවිඩ් තෙවරප්පෙරුම අප්පුහාමි'' කියලයි. මෙච්චර පුංචි බෝඩ් එකේ මේ සම්පුර්ණ නම ම ලියා තියෙන්නේ මොකද කියන එක හිතුවාම තමයි වැඩේ තේරුනේ! මුලකුරු සමග නම ලිව්වොත් ලියැවෙන්නේ D. D. T . අප්පුහාමි කියලානේ! ඔයත් දැකලා ඇති!
ReplyDeleteඒ පැත්තට යැවුනේම නැහැනේ සෑම්.... කඩේට ගියත් ගියේ මරන්න ගෙනියනකොට වගේ.... ගිය පමාවෙන් ආයෙම එන්නයි බැලුවේ.
Deleteddt කියන්නේ ඩබල් ඩිස්ටිල්ඩ් නේද?
ඩී.ඩී.ටී. (Dichlorodiphenyltrichloroethane) කියන්නේ පරිසරයට ඉතා හානිදායක කෘමිනාශක වර්ගයක් මගෙ හිතේ.
Delete//බස් නැවතුම පසුකාලීනව සෑදු ඉඩම
Deleteසෑම් මේ දැන් පොලෝසිය තියන එකද
චමින්ද, ඒ කාලේ ඩී.ඩී.ටී. ගැහුව නේද මැලේරියා මර්දනයට.
Deleteමම හිතන්නෙ ඔවු.
Deleteස්තුතියි චමි.
Deleteඅසංග.... කෝ මේ අසංග....?
ReplyDeleteවැල් ඇඳේ සැපට නිදි වෙන්ටෑ!
Deleteකොරොනා නිවාඩුවේ සැප ගන්නවා..
Deleteකතාව කියෙව්වම හිතුණේ.... ජීවිතය මේ වගෙයි කියලයි. සල්ලි අද තිබුණා - හෙට නෑ. නෑයො යාළුවො උනත් එහෙම තමයි. සියල්ල වෙනස් වන සුලු යිි.
ReplyDeleteනෑදෑයෝ යාළුවො වුනත් උඹට උදව් කරයි උඹටත් යමක්-කමක් තියෙනවා නම්..... අඩුම තරමින් බලයක් හරි- 1985 එංගලන්තයේදී එහෙමයි ඩ්රැකී, අපේ dadaa මට කියලා දුන්නේ. එදා ඉඳලා තමයි මටත් ටිකක් මොළේ පෑදුණේ. (කඩේ වික්කේ 82 හෝ 83.)
Deleteරුදුරු ගිනි කඳක් ගත් සඳෙහි වන’තුරු
Deleteමිතුරු වේය දිගතින් හමන මඳ මරු
මිතුරු නැසීමට එම වෙයි පසමිතුරු
මිතුරු නෑ කෙනෙක් නිවතුන් හට කවුරු
චමී, ගොඩාරියක් ස්තුතියි.
Deleteහ්ම්.ඔය ඩබල කොරලා තීන්නේ,අනුන්ගේ සල්ලි නොවැ.
ReplyDeleteමගෙත් වැරද්දක් තියෙනවා. හරියට හොයා බැලුවේ නැහැනේ.
DeleteB'gamuwe idama ada thibuna nam hmmmmm (wijebahu)
ReplyDeleteඑහෙම තමයි විජේබාහු මහත්තයෝ, නපුරු කලට!
ReplyDeleteසල්ලි නම් මොනවද ? මේ වගේ සිද්ධි එක්ක බලුවාම මෙච්චර කල් ජීවත් වෙච්ච එකත් ලොකු දෙයක්!
ReplyDeleteඒක නේන්නම්...මහත්තයෝ. බළල් පණක් වෙන්ටැති මට තියෙන්නේ.
Deleteකාලෙකින් ආවෙ
ReplyDeleteමට නම් සහෝදරයන්ට වඩා සල්ලි වටිනව (ඒක හින්දමද කොහෙද මම විතරයි පවුලටම :P )
මධු, රෝද දෙකේ රස්තියාදුවේ කට්ටියට ඔයා සලකන විදිහ නම් ලොකු අයියෙක් වගේනේ.... එතකොට සල්ලි වටිනවා වගේ දැක්කේ නැහැ.
Deleteම්.... ඒකත් ඇත්ත එකාතකට අපේ උන් ලගදි නම් සල්ලි බල්ලට වැටෙනවා.
Deleteඒත් ගොඩක් තැන් වලදි මමත් සල්ලි ලොකු කරගන්නව අයියන්ඩි. දුර්වල කමක්ද ගොං කමක්ද මන්ද.
ඒත් සහෝදරයෙක් ගැන ඇත්තම හිතුවෙ දැන් හිටියනම් ඌත් මුන්ටික වගේ මගෙ විදියම උනොත් සල්ලි වලට වඩා ඌවත් ගොඩක් වටීවි.
ස්තූතියි අයියන්ඩි ඇස් පෑදුවට ආයම ඔය ගොං කතාව කියන එකක් නෑ මම කොහවෙත්
මධු, සමහර වෙලාවට අපි කියන දේම නෙවෙයි අදහස් කෙරෙන්නේත්. උම්මග්ග ජාතකේ අතුරු කතාවක (ප්‍රශ්නයක) එන දරුවන්ට සාප කරන අම්මලා වගේ.
Deleteනිදිගේ පංච තන්තරේ පහුගිය දවස් ටිකේ බැලුව. විශේෂයෙන් not Vs England දිගටම කියෙව්වා. මේක තමයි ජීවිතය. අපේ ලොකු අම්මලා එක්දහස් නවසිය හැත්තෑ ගණන් අග විතර දේවාල පාරේ හිටියා. මම එතකොට පොඩියි. අපේ ලොකුම ගමන තමයි අවුරුද්දට හිඹුටානේ ඉඳල 112 කඩුවෙල මහරගම බස් එකේ එහේ එන එක. ඔබගේ ලිපි අප වැනි අයට අතීතය මතක් කරනවා. ඔබේ අසල්වැසියෙකුගේ මෙම බ්ලොග් අඩවිය ගැනත් අවධානය යොමු වන්නට ඇතැයි සිතමි. https://matahithenahatiblogger.blogspot.com
ReplyDeleteඔබට නීරෝගි සුව
හරිම සතුටුයි ඔයා වගේ කෙනෙකු දැනගන්නට ලැබීම ගැන. දේවාල පාර දැන් හරි දියුණුයි. කොයි හරියේද හිටියේ? පිට්ටනියට එහාද?
ReplyDeleteඅසල්වැසියෙක් මටත් කලින් ඉඳලා බ්ලොග් ලියනකොට වඩාත් සතුටුයි. ගිහින් බැලුවා. බුක් මාර්ක් කරගත්තා. 2018න් පස්සේ ලියලා නැත්තේ ඇයි?