අකුරු මැකී නෑ

Sunday, February 25, 2024

ප්‍රෝඩාරාමය - පස්වෙනි කොටස

“මං ඉංජිනේරුවෙක් නෙවෙයිනෙ නෙවිල්, ගේ හදද්දි ඇවිත් බලන්න.”

“එහෙනං දැනුත් සද්ද නොදා ඉන්නවා හලෝ. ඔයා මෙව්වට කර ගහන්න එන්නෑනෙ... අම්මට ඕනි විදිහටනෙ වැඩේ කෙරෙන්න ඇත්තේ.”

“වෙන්න ඇති! ඒත් නෙවිල්, අම්මම කිව්වනේ මේ ඉලව්ව හදන්න ලක්ෂ අසූවක් ගියයි කියලා...”
“ලක්ෂ අසූවේ කතාව නං අම්මා මටත් කිව්වා ලොකා.”
“මානෙල් මේ, ඔයාලගේ ලොකාව තවත් අවුස්ස ගන්නද ඔයාටත් ඕනේ? ඔයාල අම්මගෙ සල්ලි- ඒ මනුස්සයා කැමති විදිහට වියදං කරනවා.
ඒකනේ මෙතැන වෙලා තියෙන්නේ. තව මොනවද...”

තමුසෙලා අම්ම විතරද පන්සිල් අරගෙන බොරු කියන්නේ? (1996-98 විතර අපේ අම්මයි මමයි)

“ඒ වුණාට නෙවිල්, අපේ අම්මා පන්සිල් ගන්නකොට මුසාවාදා වේරමණී කියලත් කියනවනෙ...”

“හලෝ මේ, තමුසෙලා අම්ම විතරද පන්සිල් අරගෙන බොරු කියන්නේ?
හැමදාම; හැම මඟුලේදිම පන්සිල් ගන්න මැති-ඇමැතිවරුත් මුසාවාදා සිල් පදේ කිව්වට පස්සෙ ඔය ඕනි තරං පච කෙළින්නේ... පන්සිල් දුන්නු හාමුදුරුවරු ඉස්සරහම. එහෙම පච කෙළලා -එහෙම නේද අපෙ හාමුදුරුවනේ- කියල අහනකොට, හාමුදුරුවරුත් සද්ද නැතුව ඉන්නේ.”
“ඒ ගොල්ලන්ට ප්‍රතිපත්තියක් තියෙනවද මනුස්සයෝ... ලෝකෙට පේන්න විතරනෙ සේරම සෝබන.”
“දැන් මෙයා එහෙම කිව්වට මානෙල් නංගි, මේ දිසානායකත් කාලයක් හිටු කියලා දේශපාලකයන්ට
කඩේ ගියපු එක්කෙනෙක්නෙ...”

“අනේ මේ නෙවිල් අයියේ, දැන් ඇති. ඔය දෙන්නගෙ වාදේ නවත්තමු. නැත්තං දකින මිනිස්සු හිතයි ඔයාලා දෙන්නා තරහකාරයෝ දෙන්නෙක් කියලා.” මානෙල් හිනා වෙවී මැද්දට පැන්නායිනුයි අපි කට පියාගත්තේ.
“ලොකා, අපි මෙහාට ආව වෙලාවේ ඉඳලා අපේ සුරංගගෙන් බේරිල්ලක් නෑ ස්විමින් පූල් එක ළඟට යං නාන්න කියලා. අරහේ මල්ලිකා අක්ක විතරයි කුස්සියේ. ඔයාලා සුරංව පූල් එක පැත්තට එක්කං යනවද, මමත් මල්ලිකා අක්කට ටිකක් උදව් වෙනකල්...”

මගෙත් නොසැලකිල්ලක තරම!
අම්මාගේ අලුත් බංගලාවේ අඩුපාඩු ගැනම කියෙව්වා මිස, මෙච්චර වෙලාවකට හොඳක් කියන්නට බැරි වෙච්චි හැටි.

අපේ සුනිල්ලා කර තිබුණු ලොකුම හපන්කම, ඒ කඳු මුඳුනේ ගෙවත්තේ පිහිනුම් තටාකයක් සෑදීමයි. එයාලා ඒක හදා තිබ්බේ පිහිටි කළු ගල් පොත්තක් උඩයි. ඒ නිසා පිහිනුම් තටාකයේ පතුල නං සමතලා නැත. එහි එක අන්තයක් විතරකි, අඩි හත-අටක් ගැඹුරට තිබ්බේ. වැඩි හරියක් නොගැඹුරුය.
“පිහිනුම් තරග තියන්න නෙවෙයිනෙ අයියෙ... මේ මදැයි! අම්මත් කිව්වා- ඔයාල මේක නිසාවත් වැඩි-වැඩියෙන් මෙහාට එවෙයි කියලා.” අපේ ළඟට ආව සුනිල්, තවත් පුංචි රහසක් හෙළි කළේ එහෙමයි.

“එහෙනං ඒක තමයි අම්ම පහුගිය ටිකේ හාර-හාරා මගෙන් අපි රෝයල් එකේ swimming pool එකට යන ගමන් ගැන අහන්න ඇත්තේ...”
”සුනිල් අයියේ, පීනන්න නං- මෙහාට එනවට වැඩිය අපිට ළඟයි Royal Collage එකේ පූල් එකටම යන එක. මෙහෙට ඇවිත් පීනල යන්න නං එංගලන්තෙන් වෙනම ඉන්ධන දීමනාවක් මට එවන්න වෙයි! මොකද, නිමල් දිසානායක රුපියලකවත් තෙල් ගහන එකක්යැ?”
“ඒත් නෙවිල් ඒ පූල් එකට යන්න පුළුවන් ඔයාල දෙන්නටයි, කුමුදුටයි, මර්වින්ටයි විතරනේ... මෙහෙ එ..හෙ..ම සීමාවල් නෑ- අය කෙරිලි නෑ. ඔයාලගේ යාළුවොත් ඕ..නි තරං එක්ක එතෑකිනේ.”

“එහෙම එක්ක ආවත් ඉතිං මටම තමයි කරදරේ! නැත්තං මර්වින්ට... නේද මචං. මොකෝ මෙයාලට වාහන තියෙන එකක්යැ?”
“අනේද කියන්නේ මචං.” මර්විනුත් අලගු තිබ්බේ ආඩම්බරෙන් වගෙයි.

ඉස්සෙල්ලම හම්බ වෙන පාරේ ‘නිසලගිරි උයන’ කියලා පුවරුවකුත් තියෙනවා. ඊට තරමක් එහායින් තමයි ‘ශ්‍රී ධීරානන්ද මාවත’ තියෙන්නේ.

ඒ දවස්වල අපේ තජක මිතුරු-මිතුරියන්ගෙන් හුඟ දෙනෙකුට රෝද හතරෙ වාහන තිබ්බෙ නෑ. ඉතිං ගමනක් යද්දී නෙවිලුයි, මර්විනුයි තමා අපට පිහිටට හිටියේ. (අවශ්‍යතාවකදී අපේ මර්වින් අරගෙන ආවේ එයාල තාත්තාගෙ වාහනේ.)

දැන් නං මර්වින්ටත් කාරයක් තියෙනවා. හැබැයි එදා තිබ්බ පුරුදුම තමයි, ඒ යෝදයාට තවමත් තියෙන්නේ.

මිනිහා වාහනේ සුක්කානම අතට ගත්තට පස්සේ- පාරේ දුවන වෙන කිසිම වාහනේකට ඒක පහු කරගෙන යන්න බෑ!
(එහෙම යන්න ලේසිත් නෑ. මොකද, මර්වින් හැටට හැටේ වාහනය එලවන්නේ පාර පුරා හින්දා. මං වහන්සේ නං ඒකට කියන්නේ zig-zag ගහනවා කියලයි.) කාගේ හරි වාහනයක්, මර්වින්ව over-take කරගෙන ගියොත්- ඒ තත්පරේදීම මිනිහට නිකංම ‘චඃ’ කියල කියවෙනවා. එතන ඉඳන් ‘චඃ චුඃ චැඃ’ වකාරයයි!

දවසක් හරි වැඩක් වුණා!
දවසක්ය කිව්වේ, ගෙවැදිල්ලෙන් මාස ගණනාවකට පස්සේ දවසක- හොඳේ.

ඒ නිවාඩු දවසෙ, ඔය කලින් කියපු මිත්තරයන්ගේ වාහන දෙකේ අපි හොරණ ගෙදරට ගියා, කෑමත් උයා පිහාගෙන. නෙවිල්ගේ වාහනේ මායි, මානෙල්ලගේ ගෙදර කට්ටියයි. මර්වින්ගේ කාර් එකේ ඉන්දිරා- ගීතා ඇතුළු පස්-හය දෙනෙක්.

අපි එහාට ගිහිං, නාලා- කාලා- සිංදු කියමින් ඉඳලා හවස තේත් බීලා ආපහු එන්න පිටත් වුණා.

ඔය නිසලගිරි උයනට යන්න පුළුවන් පාරවල් දෙකක් තියෙනවා. කොළඹ පැත්තේ ඉඳලා දිවෙන හොරණ- රත්නපුර ප්‍රධාන පාරටමයි ඒ පාරවල් දෙකම සම්බන්ධ වෙන්නේ. ඉස්සෙල්ලම හම්බ වෙන පාරේ ‘නිසලගිරි උයන’ කියලා පුවරුවකුත් තියෙනවා. ඊට තරමක් එහායින් තමයි ‘ශ්‍රී ධීරානන්ද මාවත’ තියෙන්නේ. ඒ පාරවල් දෙකෙන්ම අපි ආව-ගියා.
(මේ පාරවල් දෙකට මැදි වෙන්න තමයි ‘TPS International Horana Werehouse’ එක තියෙන්නේ.) 
ඉතිං එදා පිටත් වුණු කාර් දෙකෙන් නෙවිල්ගේ වාහනේ ගේට්ටුවෙන් දකුණු පැත්තට හැරෙව්වා.

“අන්න නෙවිල් අයියේ, මර්වින් අයියා මේ පැත්තට නැතුව අනිත් පැත්තට හැරෙව්වා!” පිටිපස්ස බලපු මානෙල් කිව්වා.
“ඒකා ඉස්සර කරන්න වගෙයි හදන්නේ.” නෙවිලුත් ටිකක් වේගය වැඩි  කළා.
“යං යං අපිත් පාගල යං, නෙවිල් මාමේ...” සුරංග; මානෙල්ගේ ලොකු පුතා කිව්වේ සීට් එකේ අද්දරටම ඇවිත්...

“හුරේ! එයාලා පරාදයි නෙවිල් මාමේ. ඔයා දිනුම්!!”
සුරංග හුරේ දැම්මේ, ප්‍රධාන පාරේදී... මර්වින්ගේ කාර් එක අපට පිටුපස්සෙන් එන හැටි දැකලයි.
“හඃ! එයා කොහෙද සුරං මේ නෙවිල් අනුරසිරිව පරද්දන්නේ. මම කටුකුරුන්දේ කාර් රේස් පදින්නත් යනවා තව ඩිංගෙන්. කොහෙද- අපේ  අම්ම බය වෙලා එපාම කිව්වනෙ.”

අර යක්ෂ පැටියට දැන් පිස්සු තදවෙලයි ඉන්නේ. මෙහෙම ගියොත් මර්වින් වාහනේ මොකක හරි ඇන ගන්නවා ෂුවර්!

“ඇත්තද ලොකු මාමේ මේ නෙවිල් මාමා කියන්නේ...”
“ඇත්ත වෙන්නැති සුරං. එයා කියනවා, අපි අහගෙන ඉන්නවා...”

ඔය වගෙ කතන්දර අස්සේවත් නෙවිල් මර්වින්ට ඉස්සර වෙන්න නොදීමයි, වාහනේ එලෙව්වේ. හොරණින් අපි කොට්ටාව පාරටත් හැරෙව්වයි කියමුකෝ.

පීප්... පීප්... පීප්!
තවමත් මර්වින් අපේ පස්සෙන් පිඹගෙන එනවා. හෝන් එකත් ගගහා!

“නෙවිල්, අර යක්ෂ පැටියට දැන් පිස්සු තදවෙලයි ඉන්නේ. මෙහෙම ගියොත් මර්වින් වාහනේ මොකක හරි ඇන ගන්නවා ෂුවර්. ඒ මනුස්සයට ඉස්සර වෙන්න දෙනවකො.”
“ඔව් නෙවිල් අයියේ... ලොකා කියනවා වගේ...” මානෙල් කියන දේ අහගන්නට නෙවිල් යාන්තමින් හැරුණා විතරයි...

මර්වින් ඊතලයක් වගේ වේගයෙන්; වැරදි පැත්තෙන් කාර් එක ඉස්සරහට ගත්තා. එතකොට නෙවිල් වාහනය පාලනේ කර නොගත්ත නං...

දැන් ඉස්සරහින් යන මර්වින්ගේ zig-zag ගැහිල්ල තවත් වැඩියි! වේගයත් වැඩියි!!

“අර මොකද නෙවිල් අර?” එච්චර වෙලාම සද්ද නැතිව හිටි අපේ ගාමිණී ඉස්සරහට අත දික් කරලා ඇහුවා. “මර්වින් අයියගෙ වාහනේ යටින්...”
අපි හැමෝම ඒ දිහාව බැලුවේ එතකොට...
හැබෑ නේන්නං. මර්වින්ගේ කාර් එක යටින් සැරෙන්-සැරේ ගිනි පුළිඟු විහිදෙනවා! හරිම ලස්සන දර්ශනයක්...

“බොලේ... මර්වින් අයියගෙ කාර් එක ගිනි ගන්නව නේද?”
“පිස්සුද මානෙල්. මොකක් හරි කෑල්ලක් බුරුල් වෙලා පාරේ ඇතිල්ලෙනවා වගෙයි.”
“මට පේන්නෙ ගාමිණී- සයිලන්සරේ තමයි ගැලවිලා තියෙන්නේ... කොහෙද, ඒ යකාට හෝන් එක ගැහුවම මිනිහා ලෙල්ලටම පාගනවනේ...”

පාර පුරා පුංචි පහේ ජංගම ගිනි කෙළි සංදර්ශනයක් පවත්වමින් දිගටම පිම්මේ ගිය අපේ මර්වින් බොතේජු ගොයියා ඉස්පාසුවක් ලැබුවේ, කොට්ටාවේදී වාහනය නවත්තලාය! උන්නැහේ බිමට බැහැලා; දකුණත උස්සලා ඇඟිලිවලින් V අකුර පෙන්නුවේ හිනා වේගෙන.

නෙවිලුත් ඒ එක්කම car එකෙන් බැහැලා කඩිනමින් එතෙන්ට ගියේ පුපුරමින්. “දිගටම හෝන් කරද්දීවත් නවත්තන්න බැරිද xත්තො?”
“ඒ මොකටද xකෝ? තොට මාව over-take කරන්න ලේසි වෙන්නද?”
“මඟුලක් නෙවෙයි යකෝ. උඹේ වාහනේ සයිලන්සරේ ගැලවිලා...”
“හෑ?”

ඒ වැඩේ මතක් කරමින් අපි තවමත් හිනා වෙන්නෙමු.
මං ඒ විස්තර කියන්නට පීලි පැන්නේ පිහිනුම් තටාකය ගැන කියද්දීය. හොරණ ගෙදර swimming pool එකට සම්බන්ධ තවත් රසබරම කතාවක් ඉදිරියෙදී කියන්නට ඉතිරි කරගෙනයි ඔන්න ‘ගෙට ගෙවැදුණු තැනට’ ඔයාලාව ආපහු කැන්දන් යන්නේ.

හෙණ විසාල පිංකමක් කරන්න. භික්ෂු- භික්ෂුණී- උපාසක- උපාසිකා සිව්වනක් පිරිස...

“කොහොමද අයියේ ගෙට ගෙ..වැ..දි..ල්ල?” උඩම තට්ටුවේ බැල්කනියට වෙලා හතර දිග් භාගයේ සිරි නරඹමින් හිටිය මට බාධා කළේ අපේ සුනිල්. ‘ගෙට ගෙවැදිල්ල’ය කියද්දී සුන්නාගේ මුහුණේ තිබ්බ ඔලොක්කු ගතිය මට එච්චර ඇල්ලුවේ නෑ! ඒකයි මට මෙහෙම කියැවුණේ.

“මොකෝ තමුසෙ ගෙට ගෙවැදිල්ල කියන එක නිකං ඇදල-පැදලා කිව්වේ?”
“අයිය දන්නවද? මීට ටික දවසකට කලිනුයි නි..ය..ම ගෙවැදීම තිබ්බේ.” සුනිල් කිව්වේ වටපිට බලල කවුරුන්වත් කිට්ටුව-පාත නැති බව තහවුරු කරං... හෙමිහිට.

“මොකක්ද යකෝ ඒ කතාවේ තේරුම?”
“අයියා දන්නවනෙ අපේ මල්ලිකාගේ හැටි. ඉතිං, මල්ලිකා අම්මට යෝජනාවක් කළා. ගෙට ගෙවැදිල්ලත් එක්කම අල්ලලා හෙණ විසාල පිංකමක් කරන්න. භික්ෂු- භික්ෂුණී- උපාසක- උපාසිකා සිව්වනක් පිරිසම කැන්දලා කෙරෙන දානමය පිංකමක්. පිරිතකුත් කියවලා...”

“අම්මට සිරි! එක පින්කමෙන්ම ගොඩ!! අර වත්තේගෙදර xx හාමිනේ වගේ තනියෙන්ම දිවිය ලෝකෙ පැත්තක් සින්න කර ගත්තැකිනෙ... සුනිල්.” ඊළඟ ප්‍රශ්නය විචාරන්නට කලින්, මට සිද්ද වුණේ ඇති පදම් හිනා වෙන්නටයි. “ඉතිං අම්මත් කැමති වුණාද?”

“කැමති වුණාදත් අහනවා. උඩින්ම කැමති වුණා. අපේ එළදෙනත් කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතිව- සුසිලාරාමේ මෑණිවරුන්ටයි, ධම්මක්ඛන්ද හාමුදුරුවොන්ටයි තව හාමුදුරුවරු ටික දෙනෙකුටයි වැඩේ ගැන කිව්වා.”

අපේ පවුලේ පිංකම් ගැන කියද්දී නං මගේ ලොකු නෑනණ්ඩි මල්ලිකා ගල්හේන උපාසිකාව ගැන නොකියාම බැහැ. සැරෙන් සැරේ ඒ ඇත්තී ගැන මං තමුන්නැහේලට කිවත් එක්ක. එව්වයින් ‘දහ බලු කථා වස්තුව’ post එකේදී ලියපු දෙයින් ටිකක් විතරක් උපුටල පෙන්නුවම ඇති වෙයි, උන්දෑගෙ පින්තූරයක් මවා ගන්න!

‘... මල්ලිකා මැරෙන්න පණ බයේ හිටියේ, කොච්චර දාන-මානාදී පින්කම් කළත්. එව්වා කළේ වයසට යද්දී. කෙල්ල කාලේ එයාගෙ අයියත් එක්කම බයිසිකල් පැද්දා. අපේ සුනිලුත් ඒ කල්ලියට එකතු වෙලා අන්තිම වුණේ දෙන්නා එක්ක එකට ජීවන යාත්‍රාව පදින්න පටන් අරන්.

අපරාදේ කියන්න බැහැ, මල්ලිකා අපට අපේම සහෝදරියක් වුණා. එයා ප්‍රාර්ථනා කරගෙන හිටියේ දසසිල් මෑණි කෙනෙක් වෙන්න. අපේ සුනිලුත් ඒකට කැමැත්ත දීලයි තිබ්බේ. වැඩේ ගැස්සුනේ මල්ලිකා උපාසිකාවගේ එකම එක කොන්දේසියක් නිසා. සිල් මෑණි කතාව මතුවෙන හැම තිස්සෙම සුනිලා කිව්වේ එකයි.

"මට ළමයි දෙන්නත් එක්ක තනියෙන් ඉන්න බැහැ. තමුසේ සිල් මෑණි කෙනෙක් වෙලා මාස දෙක-තුනක් යන්න කලින් මං වෙන ගෑනියෙක් ගන්නවා."

බැහැයි කියලා කොහේ පිරිමහන්නද?

"අපෝ බෑ. එහෙනම් මට සිල් මෑණි කෙනෙක් වෙන්න ඕනෑ නැහැ!"...’

ඉතිං, මෙදා පොටෙත් ලීලා ශ්‍රෝඩර් නැන්දම්මාට දිවිය ලෝකයෙන් ලොකුම ඉඩම් කට්ටියක් අයිති කර දෙන්නට ගිය සැදැහැවත් මල්ලිකා උපාසිකාවුන්ට නොහිතූ මරාලයක් කඩා පාත් වෙලාය.

“ඔව් අය්යේ, හත් දවසක් තිස්සේ කෙරෙන පිංකමට බර වියදමක් යයි කියලා කියවුණා විතරයි- අම්මා පස්ස ගහපි. -එක්කෝ ඕනි නෑ. මම දැනටමත් ගොඩක් පිං කරගෙන තියෙනවනේ. ඉන්දියාවේත් වන්දනාවේ ගියා, වතිකානුවටත් ගිහින් පාප් වහන්සේටත් වැන්දා...- කියලා ලැයිස්තුවක්මත් කිව්වා. ඊට පස්සේ මල්ලිකාගෙන් මටයි බේරිල්ලක් නැති වුණේ.” සුනිල් දැනුත් කියයි!

“අර මොකෝ සුනිල්?”

“ඇයි අයියේ, ඒ අම්මණ්ඩි පන්සල්වල හාමුදුරුවරුත් එක්කයි- සිල් මෑණිවරුත් එක්කයි කයිවාරු ගහලනේ. ඒ ගෑනි මට කිව්වා -දැන් ඉතිං අපේ වියදමෙන්වත් පිංකම කරමු-යි කියලා... බැහැයි කියලා කොහේ පිරිමහන්නද? හොඳ වෙලාවට මල්ලිකා ගිය සීට්ටුවකින් රුපියල් 75,000/-ක්ද කොහෙද ඒ මාසෙම හම්බ වෙන්න තිබ්බා. ඒකෙන් අපි දෙන්නා පිංකම කළා!”

“නෝනගේ කොටහලුව වෙලාවේ මට වෙච්චි වැඩේම තමයි, එහෙනං තමුසෙලටත් වෙලා තියෙන්නේ. තමුසෙලටත් හොඳ වැඩේ. ලස්සනම දේ කියන්නේ සුනිල්, ඕවා එකක්වත් මට ආරංචි නොවුණු එකනෙ...”

ඒකට මොකුත්ම කියන්නට නොහැදූ සුනිල්, තව විස්තරයකුත් කිව්වේය.

“එදා පින්කමට ආව හාමුදුරුවරුයි, සිල් මෑණිවරුයි අපේ අම්මව වරුණා කරපු තරම තමයි වැඩේ... අම්ම විශාඛා මහෝපාසිකාව වගේලු. මේ වගේ සිරියාවන්ත- ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් දකින්න ලැබීමත් සම්පතක්ලු... අනේ ඇත්තටම අයියේ, සීලවන්තයි කියලා අපි ඉස්මුඳුනේ තියාගෙන ඉන්න උන්නාන්සෙලත් තණ්හාව ඇති වුණාම කොච්චර පහතට වැටෙනවද කියලයි එදා මට හිතුණේ.”

“ඇයි, අම්මා එංගලන්ත පට්ටන්දරත් දිග ඇරියද?”

"නැතුව, නැතුව. ඒත් ඒකම නෙවෙයි කාරණේ. හාමුදුරුවරුයි සිල් මෑණිවරුයි බැලුවේ අපේ motherව මුරුංගා අත්තේ උඩින්ම තියලා මේ ගෙදර ඩැහැ ගන්න.”

“ඈ?”
“අම්මා ශ්‍රද්ධාව පිරිලා ඉතිරිලා යන විදිහට කියවද්දී උන්නාන්සෙලත් ලණුව කෑවා. අම්මගෙ හැටි දන්නෙ අපිනෙ. අපේ සල්ලි නැත්තං පිංකමත් හබක්! අපි ඒවා නොකියා ඉඳිද්දී ඒ ගොල්ලෝ හැදුවේ මේ ගෙදර සාසනේට පූජා කරවන්න.”

හිටි ගමන් අපේ අම්මාට ‘ඉතාම අග්‍රගණ්‍ය මට්ටමේ නුවණක්’ පහළ වෙයි. විශේෂයෙන්ම කවුරුන් හරි දිගින්-දිගටම යමක් කරන්නැයි එයාව පොළොඹවන්නට යද්දී... එහෙම වෙලාවට, නිස්සද්දව හිටින අම්මා ‘හ්ම්’ කියන්නෙත් නැතුවම ගල් බීතව හිඳියි!

වෙනස්ම මහන්තත්ත; අහංකාර; අධිපති චරිතයකට ආරූඪ වෙනවා!

“එයාලට වැරදුණේත් අන්න එතැනදී. එදා ඇවිත් හිටිය සීලවන්තයො අපේ අම්මගෙ හැටි දන්න එකක්යැ. උන් ටික ලැහැස්ති වුණේ එදාම දායක සභාවකුත් පිහිටුවාගෙන එවෙලෙම වැඩේ දියත් කරන්න.

මාවත් මොකක්ද තනතුරකට පත් කරමුයි කිව්වා... රෑ වැටිච්ච වළේ දවලුත් වැටෙන්න ඕනිද අයියේ. මං එවෙලේම කිව්වා -මම නං කිසිම දේකට එන්නෑ- කියලා. එතකොට අම්මටත් වැඩේ වෙන්න යන විදිහ තේරිලා තිබ්බ වෙන්නැති... එයා ගල් බීත වෙලා අහගෙන හිටිය විතරයි. කට ඉස්සර කළේ නෑ.”

හොරණ ගෙදරදී  කෙරුණු පළමුවෙනි පිංකමේදීම ඒක ශාසනයට පූජා වීම වැළකුණේ එහෙමලු!

ඒ කතාබහෙන්ම ලේ රත් වුණාට පස්සේ, මට ඕනි වුණේ ඉක්මනින්ම එහෙන් චුත වෙන්නයි.

“ආ පයින්ම ආපහු යන්න? පිස්සුද රංජි. බදුල්ලෙනුත් කට්ටිය එනවමයි කිව්වා. සෝම නංගි, කඩේ නංගි එහෙමත් එයි- මං හිතන්නේ. එයාල එනකන් ඉඳල බත් ටිකක් හෙම උයාගෙන කාලම ගියා නං ඉවරයිනේ, රංජි.” අම්මා එහෙම කිව්වේ, අපිව වැඩි වෙලාවක් එහෙ නවත්තගන්න බලාගෙන. ඒත් මට ඕනි වුණේ පුළුවාාාාාාන් තරං ඉක්මනට එතැනින් පැන ගන්න...

දිගටම එතැන ලැගගෙන ඉඳලා, බදුල්ලේ නෑදෑයන් ඉස්සරහ ලජ්ජා වෙන්න මං කැමති වුණේ නෑ!

මට එහෙම හිතුණේ නිකංම නෙවෙයි.
සුනිල් මල්ලී කලින් දවසක අතුරු වගන්තියකින්
ඉල්ලපු ඉල්ලීම ඒ වෙද්දීම ‘බල්ලට දමලා’ විත්තිය පෙනුණු නිසා. 
‘... හැබැයි, ගේ හැදුවට පස්සේ ඉච්චිකං කරන්න නං ලැහැස්ති වෙන්න එපා- ගෙදරට එන අයගෙන් අබ ඇටයක තරමේ දෙයක්වත් බලාපොරොත්තු වෙන්නත් එපා. එන උදවියට උයාගෙන කන්න හරි ඇතිවෙන තරමට හාල්, පොල්, තුනපහ ගෙදරට ගේන්නත් හිතා ගන්න...’ කියලනේ සුනිලා ඉල්ලීමක් කරල තිබ්බේ.

නමුත් කුස්සියේ හාල්- පොල්- තුනපහ තිබුණේ දෙතුන් දෙනෙකුට පිරිමැහෙන තරමට විතරයි.
අම්මා කරන්න හදන්නේ පරණ සෙල්ලමක්ම තමයි! මට හිතුණා!!

මතකයිනෙ 92 අවුරුද්දේ අපේ ගෙදරට ගෙවැදුණු දවසට පහුවදා, සුසිලලා කිරිබත් ගෙනාවම සිද්ද වෙච්චි දේ කියද්දී ලියවුණා...

ඒ දවස්වල අම්මා හිටියේ අපේ ගෙදරමයි, කියලා. එහෙම හිටිය පළමුවෙනි දවස් තුන-හතරෙන්ම මට තේරුණා අම්මා එනපොට එච්චර හොඳ නැති විත්තිය. ගෙදරට කවුරු හරි ආව ගමන්ම අම්මා ‘වෙනස්ම මහන්තත්ත; අහංකාර; අධිපති චරිතයකට ආරූඪ වෙනවා’ කියල මට හිතුණා.
‘මම ලක්ෂ ගාණක් වියදං කරලා ඔයාට ගෙයක් හදල දුන්නා. දැන් ඔයා ඒකට කළගුණ සලකන්න ඕනි.’ කියන පණිවිඩේ අම්මා ගොඩක් විදිවලින් මට නොකියා කිව්ව කියලයි මට හැඟුණේ.

අපි දෙන්නා විතරක් ඉන්න වෙලාවක වුණත්, අම්මා කුස්සියට ගිහිං ඇතිළි- වළංවලින් කෑම බෙදා ගත්තෙ නෑ. ‘මට බඩගිනියි, රංජි. කෑම ටික මේසෙට ඇරිය නං.’ අම්මා මට එහෙම orders දෙනකොට...
අපේ ගෙදරදී අම්මාට තේ එකක් දුන් විටෙක ‘ඇයි
, පීරිසියක් නැත්ද? ට්‍රේ එකක තියලා නෙවෙයිද දෙන්නේ?’ වැනි ‘නෝනා හාමු පන්නයේ’ විවේචනාත්මක දේවල් කියනකොට...

එහෙම දේවල් සිද්ද වෙද්දී මගේ හිතේ නොරුස්නා ගතියක් ඇති වුණේ ඉබේමයි. එහෙම වුණේ අපේ අම්මා වුණත් මාව දෙකේ කොළේට දානව වගේ මට දැනුණු නිසාද?
එහෙමත් නැත්තං මාත් පුරුෂාධිපත්‍යය පිළිගත් කෙනෙක් නිසාවත්ද?

හොඳට හිතන්න ඕනි!
එහෙම හිතල ඊට පස්සෙ තමයි
‘ප්‍රෝඩාරාමය හයවෙනි කොටස’ ලියන්නේ...

Tuesday, February 20, 2024

ප්‍රෝඩාරාමය - සිව්වෙනි කොටස

ඒකට ‘තමන්ගේ තරම නොදන්නා අපේ මිනිහා’ රෙට්ටෙට ගැළපෙන්න ඇති!!මං හිතන්නේ, මිනිහා ස්ව කැමැත්තෙන්ම ඒ දංගෙඩියට බෙල්ල දෙන්නත් ඇති කියලයි!!!

ඒ ගෙදරට මුල්ගල් තියන දවසේ මානෙල්ලයි මායි හොරණට ගියේ නෙවිල්ගේ කාර් එකෙන්.
එහෙම යද්දී පර්චස් අසූවේ මුළු ඉඩමම තට්ටෙ ගෑවා වගේ සුද්ද කරලා- සමතලා කරලා තිබ්බේ හිතක්- පපුවක් නැතුව වගෙයි. ඒ වින්නැහියට අහු නොවී හිටියේ ඉඩමේ තිබ්බ තඩි කළුගල් පරුවත දෙක-තුනක් විතරයි.
මට බැලුණේ එතකොටත් හෙළි-පෙහෙළි නොවී තිබුණු යාබද ඉඩමේ කැලය දිහා...

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද - ඉද්ද පනා මල් කැන් පිපිලා!

දෙයියනේ! එතකොට මං දැක්ක ඒ ආදරේ වෑහෙන කිරිම කිරි පාට සුදු හිනාව...

ඔයාලත් දැකල තියෙනවද, සීතල පිනි වැස්සෙන් නෑවිච්ච ‘ඉද්දමලී’ලා මඳ සුළඟෙ නැලවි-නැලවී, පොකුරු පිටින් රංචු ගැහිලා ඔමරි හිනා පාන ලස්සන...

අනේ, එහෙම සිරියාව වෑහෙන දසුනක්!
ඉද්ද මලේ සුවඳක් නං නැතිම තරං... ඒත් ඒ කිරි සුදු පාට පෙතිවලයි, මකුටයෙයි තියෙන ආකර්ෂණය වෙන හුඟක් මල්වලට නැහැ කියලයි මට හිතෙන්නේ. හොරණ පැත්තේ හරිම සාරෙට ඉද්ද වැවෙනවා වෙන්නැති. ඒ හින්දම තමයි, අර හද්ද කැලේ පුරා මදිය නොකියන්නම ඉද්ද යායක් ඉබේම පැතිරිලා තිබ්බේ!

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද - ඉද්ද පනා මල් කැන් පිපිලා!

මං අහල තියෙන විදිහට නං, පියසිරි විජේරත්න මහත්තයාත් හොරණ පැත්තෙම සරල මනුස්සයෙක්- මිල්ලෑවෙ. කිසිම සැකයක් නෑ, උන්නැහෙත් හොරණ ඉද්ද යායවල අසිරිය දකින්න ඇති. ඒ හින්දම වෙන්න ඇති උන්නැහෙත් හරිම අපූරුවට; කාට-කාටත් feel වෙන විදිහට- ළෙන්ගතු ස්වරයෙන් ‘ඉද්ද පනා මල් කැන්’ ගැන ගායනාවෙ යෙදෙන්නේ.

“හරි හරි මනුස්සයෝ, ඔයාල ආපහු යනකොට ගෙනියන්න ඉද්ද පැල ලොරියක් හොයල දෙන්නං අයියේ... ඔයා ඔය කැලේ අස්සෙ රිංගන්න ඕන්නෑ... දැන් මේ වැඩේ ඉවරයක් කරල හිටිමුකො.” කියල පොරොන්දුවකුත් දීලයි අපේ සුනිල් එදා මාව ඉද්ද කැලෙන් එළියට ඇද ගත්තේ.
සුන්නා ඒ පොරොන්දුව ඉෂ්ට කරපු නිසා, නිමල් දිසානායක එදා ආපහු ආවේ ඉද්ද පැල ගොන්නක් බදාගෙන. ඒවා ගෙදර ගෙනාවා විතරක් නෙවෙයි; හිටෙව්වත් එක්ක. ගෙදර ඉස්සරහ තාප්පයේ අයින දිගට.

අනේ, කිසිම විශේෂ සැලකිල්ලක් නොකෙරුණාය කියලා කිසිම අහිතක් නැතිව එයාලා තවමත් හැදෙනවා. කොයි දවසේ- කොයි වෙලාවේ බැලුවත් ‘ඉද්දමලීලා රොත්තක්’ අපේ ගෙදරට එන හැමෝටම කොමල හිනා පාමින් සංග්‍රහ කරනවා!
ඒ මදිවට හිටි ගමන් ඉද්ද කරල්වලිනුත් වරිගයා බෝ කරන්න හදනවත් එක්ක.

ඉද්ද ගැන වරුණේ කිව්වා මදැයි. නේද? මට ඔව්වා මහ දේවල් වුණාට ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන හිතාදර පාඨක ඔයාලට ඒවා ‘මෝය කටෙන් ගිය පොල් ලෙල්ලක්’ තරම්වත් නොවටින්නත්; ගනිච්චියකට ගන්න තරං දෙයක් නොවෙන්නත් ඉඩ තියෙනවා.

ඒ වුණත් දෙයියනේ, මතක තියෙන දේවල් එපැයි ලියන්න.

වෙච්චි දේවල් ඔක්කොම ඔයාට ආරංචි වෙන්නත් නැතුව ඇති මගෙ හිතේ. මෙච්චර කාලෙකට පස්සේ; දැන් වුණත්...

Plan එක බල-බලා, එහාට-මෙහාට මැන-මැන කූඤ්ඤ ගගහා, ලණු ඇද-ඇද එදා කෙරිච්ච යුද්දේ ගැන නම් කිසිම දෙයක් මට පැහැදිලිව මතක නෑ. සරු මේසයකින් කැවුම්- කිරිබත් කාපු විත්තියත් යන්තමට මතකයි.

එච්චරයි, අපි ආපහු ආවා.

අපේ අම්මගෙ තට්ටු තුනේ මාළිගාව හදලා ඉවර වෙනකල්වත් මං ආයේ ඒ පැත්තට ගියේ නෑ. අරෝවක්- කහටක් නිසා හෙම නෙවෙයි. මගේ තියෙන එක විදිහක උකටලීකම නිසා. ඒ හින්දා ‘ආයේ ඒ පැත්තට යැවුණේ නෑ’ කියල කිව්වත් කමක් නෑ.

තවමත් මගේ ඒ උකටලී ගතිය; (ඒ වචනේ විතරයි මේ වෙලාවේ මගේ ඔළුවට එන්නේ- ගැලපෙන එකක් විදිහට.) එහෙමමයි. ඒ හින්දද මංදා මම අනුන් ගැන තොරතුරු හොයන්නේ අඩුවෙන්. ප්‍රශ්න අහන්නේ අඩුවෙන්.
හැබැයි, මම එහෙම නෑහුවය කියලා කිසි අඩු-පාඩුවක් වෙන්නෙත් නෑ. හුඟක් උදවිය නිකම්ම වගේ මට ඇති පදම් විස්තර කියනවා... මාත් හූමිටි තියමින්; උනන්දුවෙන් අහගෙන නං ඉන්නවා.

ඉතාම කලාතුරකින් තමයි මං වහන්සේ යමක් ගැන වැඩි විස්තර හාරා-පාරා හොයන්න යන්නෙ. ළඟදී දවසකත් මම එහෙම කළා; දයාබර පාඨක ඔබ වෙනුවෙන්. මතකයිද- ප්‍රෝඩාරමය දෙවෙනි කොටසෙදී මම මෙහෙම කිව්ව. ‘... පළමුවෙනි කොටස publish කළාට පස්සේ 2024 පෙබරවාරි 4 උදේ මම සුනිල්ට කතා කළා. කතා කරලා විස්තර ඇහුවා.’

එතකොට තමයි දැන් ලියන්න යන හොඳ අපූරු විස්තර ටික සුනිලා මට කිව්වේ.

“මුල්ගල් තිබ්බට පස්සේම අයියා හොරණ ගේ හදන පැත්ත පළාතේ ආවේ නැහැනෙ. ඒ හින්දා වෙච්චි දේවල් ඔක්කොම ඔයාට ආරංචි වෙන්නත් නැතුව ඇති මගෙ හිතේ. මෙච්චර කාලෙකට පස්සේ; දැන් වුණත් මම මෙව්වා කියන්නේ ඔයා අහපු නිසා. මේවා කාටවත් කියන්නත් ලජ්ජයි අයියේ. උඩ බලාගෙන කෙළ ගැහුවම වැටෙන්නෙ අපේම මූණටනේ.” සුනිල් පටන් ගත්තේ දිග පූර්විකාවකින්.

“ලජ්ජා වෙන දේවල්?”
“අයිය වුණත් විශ්වාස කරන එකක් නෑ. අපේම අම්මනේ... අපි හොරණ ගේ හදන්න පටන් අරගෙන වැඩේ කරගෙන ගියානෙ... ඒ අස්සේ අපේ යාළුවා ... ගැහුවා නියම කට්ටක්!” සුනිල් අපේ යාළුවාය කිව්වේ කොහාටය.
2020 ඔක්තෝබරයේදී
‘එකෙන්ම ඇති වුණා’ post එක ලියද්දී එයාගේ නම නොලියා; ඔහුට කොහා යැයි අන්වර්ථ නාමයක් දැම්මේ පෝස්ටුව ලිවීම පහසු වෙන්නටය. ඉඩකඩ තිබේ නං- ඒ පෝස්ටුව නැවත කියවා; ඔබේ මතකය අලුත් කරගෙන සිටින්නැයි ඔබට ආරාධනය කරමි!

කටෙන් බතල හිටවන්න කාටත් පුළුවනිනේ!

කොහා සාර්ථක කෝටිපති ව්‍යාපාරිකයෙකි! බල්ලො මරලා හරි හම්බ කරන සල්ලි කොයි විදිහෙන්වත් බව් බව් ගාලා බුරා පනින්නේ නැති බව හොඳටම දන්නා; තන්වැසි නුවණින් යුතු බුද්ධිමතෙකි- උන්නැහේ. එයා මුලින්ම අපේ සුනිල්ගේ මිතුරෙකු වෙලා අපේ ගෙදරට ආවේය. ටිකෙන් ටික අපේ පවුලේ හිතවතෙක් බවට පත් වුණේය.

“කොහා? එයා කොහෙන්ද එහාට පාත් වුණේ?”
“ඒක නේන්නං අයියේ. මිනිහා අම්මගෙන් පවුම් ඉල්ලගෙන- රුපියල්වලින් අම්මට දෙන්න ගත්තට පස්සේ, අම්මා එයාලගේ පවුලේ  යාළුවෙක් වුණානෙ. අම්මත් හිතුවේ මිනිහා නියමම යාළුවෙක් කියලයි; අම්මව මුරුංගා ගහේ උඩ අත්තටම නග්ගනකොට. අන්තිමට හොරණ ගේ හදන වැඩේටත් මිනිහා අපේ අම්මට උපදෙස් දෙන්න පටන් ගත්තා. ඔයාට කියන්න ඕනි නැහැනෙ අම්මගෙ හැටි... අම්මත් කොහා දීපු ලණුව කෑවා!”

“ඒ වුණාට සුනිල්, ඒ මනුස්සයා ගෙවල් හදන්න දන්නවය? එයාගේ බිල්ඩින්ස් හැදුවෙත් ඔයාම නේද?”
“අනේද කියන්නේ. කටෙන් බතල හිටවන්න කාටත් පුළුවනිනේ. අයියා දන්නවද- හොරණ ගෙදර ෆිනිෂින් වැඩ කෙරෙන දවස්වල අම්මා මට කිව්ව දේ? ඒ වැඩවලින් අයින් වෙලා මට ටික දවසක් විවේක ගන්න කිව්වා!”

සුනිල්ට කතාව නවත්තන්නට වුණේ; මගේ හිනා මනාවට ඉඩ දෙන්න වෙච්චි නිසා. “හඃ හඃ හඃ... ඔයා විවේක ගන්නවා කියන්නෙ සුනිල්, වැඩේ තාවකාලිකව හරි නැවතෙන එකනේ. අම්මට ඒක මීටර් වුණේ නැද්ද?”
“එහෙම නෙවෙයි අයියේ... අම්ම කිව්වා -ඉතිරි වැඩ ටික මට ඕනි විදිහට කරව ගන්න මට පුළුවන්. සුනිල් ටිකක් පැත්තකට වෙලා ඉන්නකො- කියලා. අම්මට ඕනි වුණේ මාව එතනින් අහක් කරන්න.”
“එතකොට අනිලුයි, ඔයාගේ යාළු ගෝල බාලයොයි?”

“බලුකම කියන්නේ ඒකනෙ අයියේ, අම්මා මාව පැත්තකට කරලා එයාලගෙන්ම තමයි ඉතිරි වැඩ ටික කරවා ගත්තේ. මට ගෙවනවාට වැඩිය අඩු ගණනක්නේ ගෝලයන්ට ගෙවන්න ඕනි.” සුනිල් කියාගෙන යද්දීත් අමනාපය වෑස්සෙයි.
ඒත් ටික කාලයකට පස්සේ ගෙය හදන වැඩේ කුරුවල් වෙනකොට- මිනිහා ආයෙමත් අම්මාට උදව් වෙන්නට ගිහිංය.

“ඒ කියන්නේ සුනිල්, එතකොට අම්මා කොහාත් එක්ක තරහ වෙලාද?”
“අරූ මොනවා හරි කඩප්පුලි වැඩක් කරන්න ඇති, අයියේ. ඌත් එහෙව් සතානේ! නැතත් අපේ අම්මත් එක්ක දිගටම ගනුදෙනු කිරිල්ලත් ලේසි නැහැනෙ... Plan එකකට ගෙයක් හදනවයි කියන්නෙත් සෙල්ලමක් නෙවෙයිනෙ!” සුනිල් මයෙත්තෙක්ක එහෙම කිව්වේ 2024 පෙබරවාරි 4 වෙනිදාය.

උන්නැහේ ඇදේට යනවා නං...

එයාටත් මොළේ පෑදිලා තියෙන්නේ දැන්ය. 1990 ගණන්වලදී එච්චර මෝරා නොහිටි සුනිල්ට මේ තරමට මොළේ තිබ්බේ නැතැයි මට හිතෙයි!
ලෝක සොබාවයත් ඒකම නෙව. තෙල් තියෙන්නේ හොඳට පැහුණු පොල්වල මිස කුරුම්බාවල නෙවෙයිනෙ.

පහුගිය කොටසෙදි මං වහන්සේ මෙහෙම ලියල තියපු විත්තිය ඔයාලටත් මතක ඇතිනෙ.
‘...
ඉතිං ‘සියල්ල දත්’ නොවුණත්, ‘ගොඩක් දත්’ කෙනෙකු වුණු අපේ සුනිල් උන්නැහේ තමයි හොරණ ඉඩමේ තෙමහල් මැඳුර ගොඩනැඟීමේ head බාස් වුණේ. පරිවාර සේනාව අපේ අනිල් ඇතුළු සුනිල්ගේ සගයන්...
අපේ අම්මටත් උවමනා වෙන්න ඇත්තේ ‘යාන්තමට වගේ හරි, වැටට උඩින් පන්නවන්න පුළුවන්කම තියෙන තුට්ටු දෙකේ අස්සයෙක්’ විතරයි වෙන්නැති...’

ඒ දවස්වල අපේ සුනිල් හිතාගෙන හිටියේ, ගෙවල් හැදිල්ල ගැන; ගොඩනැඟිලි ඉදිකිරීම ගැන තමන් හොඳටම දන්නව කියලයි. ඒක ලොකු විද්‍යාවක් විත්තිය මිනිහා ගනිච්චියකට නොගත් තරං.
මම එහෙම කිව්වේ මගේ ගෙදර හදද්දී අපේ ලොකු මල්ලියාත්- අනිල් මල්ලියාත්- එයාලගෙම පරිවාර සේනාවත් සමහර වෙලාවලදී දක්වපු අහංකාර ආකල්ප නිසයි.
එයාලා මගේ හිතවත් WAL ප්‍රියන්ත ඉංජිනේරු මහත්තයා දුන්නු සමහර උපදෙස් පවා තැකුවෙ නෑ!

එහෙම තැන්වලට උදාහරණත් තවම අපේ ගෙදර අවලස්සන කරමින් විරාජමානව වැජඹෙනවා.

සුනිල්ලා ඉතිං පළපුරුදු බාස් උන්නැහෙලත් එක්ක වැඩ කරලනෙ, දැනුම ලබා ගත්තේ. හෙඩ් බාස් උන්නැහේ ඇදේට යනවා නං ගෝල- බාලයොත් ඇදේටම යන්න තමයි ගමන පුරුදු වෙන්නේ.
ප්‍රියන්තල එහෙම නෙවෙයිනෙ- වැඩි දුරටත් ඉගෙන ගෙන- හැම දේම විද්‍යානුකූලව හදාරලා තමයි ඉංජිනේරුවන් වුණේ.

මටම පුදුමයි- ඒවා මතක් කර ගන්නට හොයා බලද්දී මතු වුණු facts කීපයක් ගැන.
දැනටම මං blog posts 633ක් ලියලා. මේ ලියන්නේ 634 වෙනි පෝස්ටුව.
144 වෙනි post එකේදි තමයි මම අපේ ගෙදර හැදිල්ල ගැන යන්තමින් සඳහනක් කරල තියෙන්නේ.

‘... ඉඩමක් අරන් ගෙදර හදන්නට සැලසුම් කරද්දී ‘plan’ එක ඇඳලා, උපදෙස් දීලා නොමිලේම ඉංජිනේරු සේවාව සැපයුවේ ලලිත් ප්‍රියන්තය. වැරැදි බෝනස් එක 2 ඇතුළු පොස්ටු ගොඩක කියවෙන ‘WAL කන්ස්ට්‍රක්ෂන්ස්ආයතනයේ හිමිකරුවා ඔහුය. ගෙදරට ප්ලෑන අඳින්නට ඉස්සෙල්ලා ප්‍රියන්ත ඇහුවේ මගේ රික්වයර්මන්ට්ස්මොනවද කියලාය.

බොන දේවල් ගැන මං දන්න හරියක් නෑ වගෙමයි- ගෙවල් හැදිල්ලක් ගැනත්...

ගෙට ඇතුළුවෙන්න ඕනේ පඩියක් නැඟලා. සාලේ ලොකුවට ඕනේ. සාලයත් පඩියක් නැඟලා දෙකට බෙදෙන්න තියෙනවටයි මං කැමැති. හොඳට එළිය එන්නයි, හුළං වදින්නයි තිබුණාම හරි! තට්ටු දෙකේ ගෙයක්.මං කිව්වේ එච්චරය.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය කරමින් හිටි ප්‍රියන්ත ඉස්සෙල්ලාම ගෙයක් හැදිල්ලට අත ගැහුවේ මගේ ඉල්ලීම හින්දාය.
එහෙම වුණත්, ප්‍රියන්තගේ නිර්මාණාත්මක වැඩේකොච්චර අපූරුද කිව්වොත් අපේ ගෙදර හොඳටම හෝම්ලි.

පැති හතක් ඇති, පර්චස් දහයක්වත් නැති හොල්මන් ඉඩමකට හරි යන්නත්, මගේ ආසාවන්ට ගැළපෙන්නත් ඇඳලා දී, හැදූ ගෙදරට එන කවුරුත් නිදහස් ගතියක්  දැනෙන බව කියති. ගෘහීයබවක් දැනෙතියි කියති. මාර්තු 1 වෙනිදා තිබුණු බ්ලොග් සැඳෑවආ අය සේරම ඒකට සාක්ෂිය!

Plan එක අඳින්නට කලින්ම ප්‍රියන්ත මෙහෙම දේකුත් මට කිව්වේය.
“නිමල්ට මගේ ගැන විශ්වාසයි නං, මෙහෙම දෙයකුත් කරන්න පුළුවන්. තට්ටු ගෙවල් හදන හැමෝම වගේ එහෙම කරන්නේ කොලම්ස් නග්ගලා... නිමල්ගෙ ඉඩමේ පස හයියයි... කබොක්. ඒ නිසා ඔයා කැමතියි නං කොලම්ස් නොදා ගෙය හදමු.”

“බොන දේවල් ගැන මං දන්න හරියක් නෑ වගෙමයි- ගෙවල් හැදිල්ලක් ගැනත් මං මෙලෝ හසරක් දන්නැහැනෙ ප්‍රියන්ත. මම දන්නෙ ඉතිං printingවල තියෙන කොලම්ස් ගැන විතරයි. මොනවද ප්‍රියන්ත ඔයා ඔය කියන කොලම්ස්?”
එතකොටය එයා ඒවා ගැන මට තේරුම් කෙරුවේ. ‘කොලම්ස් කියන්නේ foundation එකේ ඉඳලම ඉහළට අරගෙන යන කොන්ක්‍රීට් කණුවලටයි.’ වගේ දෙයකි එදා ඔහුගෙන් කියැවුණේ. එහෙම කරද්දී තරමක වියදමක් දරන්නට වෙන විත්තියත් ප්‍රියන්ත හිතවතාගෙන් කියැවිණි.

“බිත්තිවලට පුළුවන් slab එකේ බර දරා ගන්න. සමහර රටවල්වල තට්ටු දහය තියෙන බිල්ඩින්ස් පවා හදනවා කොලම්ස් නැතිව... මොකද කරන්නේ? නිමල් කැමතියි නං අපි ඒ risk එක ගනිමු.”
ඒ risk එක අරගෙන බලන්නට මමත් කැමති වුණා. ඒ ගැන අහලා අපේ සුනිල් නං ටිකක් විතර පුදුම වුණත් එක්ක.

නමුත් ගෙට අත්තිවාරම් කපද්දී, වසා දැමූ ළිං දෙකක් අහු වුණාම ප්‍රියන්ත තීරණය කළා, ඒ තැන්වලට විතරක් කොලම්ස් කීපයක් යොදන්න. 
ඒ ඇරුණාම ගෙදර හැදුවේ ප්‍රියන්ත කියාපු පිළිවෙලටයි; කොලම්ස් නැතිව. එහෙම හැදුව අපේ ගෙදරට දැන් අවුරුදු 32ක්. තවම නං කිසිම අවුලක් නෑ!

එයිනුත් අපේ සුනිල් ගොඩක් දේවල් ඉගෙන ගත්තු බවයි මට පෙනෙන්නේ. හැබැයි හෙමි-හෙමිහිට... ඒකත් පස්සෙ පස්සේ!
ඒ නිසා මිනිහා හොරණ ගෙදර හදල තිබ්බේ නං කොලම්ස් දාලා.

මේක ගෙදරකුත් නෙවෙයි, බංගලාවකුත් නෙවෙයි. වන්දනාකාරයන් නවතින විශ්‍රාම ශාලාවකට නං හොඳයි!

‘එයාටත් මොළේ පෑදිලා තියෙන්නේ දැන්ය. 1990 ගණන්වලදී එයාට මේ මොළේ තිබ්බේ නැතැයි මට හිතෙයි!’ කියලා මේ post එකේම උඩ හරියේදී කියපු සාහසික කාරණාව ඔප්පු කරන්නත් එක්කමයි, මං ඔය අතීත කතන්දර කිව්වේ; ඊළඟට කියන්න යන කාරණයටත් ඒවා සම්බන්ධයි.

“මගේ ගෙදර හදල ඉවරයි. ගෙට ගෙවදෙන්න නැකතුත් බලලා තිබ්බා සුනිල්ලා. රංජිත් එනවනෙ, වරද්දන්නෙ නැතුව.” ගෙට ගෙවැදීම වෙනුවෙන්ම එංගලන්තේ ඉඳලා ලංකාවට ආව ගමන්මයි, අම්මා මගෙන් ඇහුවේ. “නෙවිල් පුතාටයි, මර්වින් පුතාටයි, ඉන්දිරාලට එහෙමයිත් කියන්න එදාට එන්නයි කියලා.”
“එහෙම කියල හරි යනවද අම්මේ. අම්මම ආරාධනා කරන්න.” එතකොට මං කිව්වා.

ගෙට ගෙවැදිල්ල ගැන ඊට වැඩිමනත් දෙයක් නං මගේ ඔළුවෙ නැත.
ඒත්... ඒත්... ඒත්... නිසලගිරි උයනේ ඉහළින්ම සුදට සුදේ බැබළි- බැබළී තිබුණු තෙමහල් මන්දිරය දැක්ක ගමන්ම...
ඔව්! ඒ තට්ටු තුනේ මාළිගය දැක්ක ගමන්ම මට හිතුණු දේ ගෙඩිය පිටින්ම වාගේ තවමත් මට මතකය.

‘මේකත් ගෙයක්ද යකඩෝ? Plan එකක්වත් අඳින්නේ නැතිවද මේ අටමඟලේ අටවල තියෙන්නේ.
කැතේ උපත! හරියට ගිනි පෙට්ටි තුනක් එක පිට එක තියල වගේ...’
ඒත් මං ඒ ගැන සුනිල්ගෙන් ඇහුවේ නැතිය. පෙරහැර ගිහිං ඉවරකොට අහලා පලක් ඇතෙයි.

කැවුම්, කිරිබත් කෑවාට පස්සෙයි, තව තවත් හොඳ හරිය දැකගන්න ඇහැක් වුණේ. ඒ මාළිගාව ඇතුළේ රවුමක් යනකොට.
කාමර අට නං තිබ්බා වගෙය. ඒවායේ නැවතෙන කෙනෙකුට රෑ රාත්තිරියේ හදිසි ඕනෑකමක් ඇති වුණෝතින් පාවිච්චියට ගන්නට හදා තිබ්බේ wash rooms තුනකි. ඒ එක තට්ටුවකට එක ගණනේය.

“මේ මොන මඟුලක්ද නෙවිල්. මේක ගෙදරකුත් නෙවෙයි, බංගලාවකුත් නෙවෙයි. වන්දනාකාරයන් නවතින විශ්‍රාම ශාලාවකට නං හොඳයි.”
“දිසානායක මේ, තමුසෙ කටවහගෙන ඉන්නවා. ඔහෙට  ඕනි විදිහට නෙවෙයිනෙ අම්මා ගේ හැදෙව්වේ. ඔච්චර උවමනාවක් තිබ්බා නං මේක හදන කාලෙනෙ, තමුසෙ ඇවිත් බලන්න තිබ්බේ.” නෙවිල් වගපල කිව්වේ හුටු-හුටුවෙන්ය.
“මං ඉංජිනේරුවෙක් නෙවෙයිනෙ නෙවිල්, ගේ හදද්දි ඇවිත් බලන්න.”
“එහෙනං දැනුත් සද්ද නොදා ඉන්නවා හලෝ. ඔයා මෙව්වට කර ගහන්න එන්නෑනෙ... අම්මට ඕනි විදිහටනෙ වැඩේ කෙරෙන්න ඇත්තේ.”

“වෙන්න ඇති! ඒත් නෙවිල්, අම්මම කිව්වනේ මේ ඉලව්ව හදන්න ලක්ෂ අසූවක් ගියයි කියලා...”
“ලක්ෂ අසූවේ කතාව නං අම්මා මටත් කිව්වා ලොකා.”
“මානෙල් මේ, ඔයාලගේ ලොකාව තවත් අවුස්ස ගන්නද ඔයාටත් ඕනේ? ඔයාල අම්මගෙ සල්ලි- ඒ මනුස්සයා කැමති විදිහට වියදං කරනවා. ඒකනේ මෙතැන වෙලා තියෙන්නේ. තව මොනවද...”

තව විස්තර ඉදිරියෙදී ඔයාලට කියවන්න පුළුවනි, ප්‍රෝඩාරාමය පස්වෙනි කොටසින්... හොඳේ.