li Item

Wednesday, February 14, 2024

ප්‍රෝඩාරාමය -තෙවෙනි කොටස

අපේ සුනිල් හෙළිදරව් කරන්නේ මා මෙතෙක් නොදැන හුන් දේවල්ය!

“කාමර අටක් විතරක් තිබිලා ඇද්ද මනුස්සයෝ. එහෙම වුණොත් කෝ අම්මට තැනක්...
අම්මට ඕනියි කිව්වා උඩම තට්ටුව රැජිනි වගේ ඉන්න. යට තට්ටු දෙකේ තමයි අපේ කාමර අට... ඊළඟට අම්මට මතක් වුණා බදුල්ලේ නෑදෑ පරම්පරාව. එයාලත් එයිනෙ, මම ගෙයක් හැදුවයි කිව්වම බලන්න. එතකොට සින්දුවක් කියලා- dance කරලා enjoy වෙන්න ලොකු සාලෙකුත් තියෙන විදිහට...” කියැවුණු විදිහට සුනිලා වැටී තියෙන්නේ
සකල අමාරුවකටය!

සතෙකුට සරුපයෙකුට වුණත් මොකක් හරි එක පිළිවෙලක් කියල දෙයක් තියෙනවනෙ!

මගේ කෝණයෙන් බලද්දී අපේ සුනිලුත් ගොං ගහකි...
මට එහෙම පෙනුණා වුණත්, ඒ ගොං ගතියේ පොඩි කට්ට-වෙට්ට-පිත්තල ගතියකුත්; අවස්ථාවාදී ගතියකුත් හැංගිලා තියෙනවා... තියෙනවාත් වගෙය.

සතෙකුට සරුපයෙකුට වුණත් මොකක් හරි එක පිළිවෙලක් කියල දෙයක් තියෙනවනෙ. මේ මනුස්සයා අපේ අම්මගෙ වැරදි දකින ගමන්ම- එව්වා තේරුම් ගන්න හදන ගමන්ම නිස්සද්දව ඒවා උහුලනව. ඒ අපේ අම්මත් එක්ක රණ්ඩු වෙන්න අකැමැත්තෙන් කියල හිතමුකෝ. ඒත්- මට තේරුම් ගන්න බැරි, ගොඩ වෙලාවට මෙයාත් අපේ අම්මට පූච්ඡානං කතා කියන එකයි.
ඒ හින්දයි මට අරහෙම හිතුණේ.

පූච්ඡානං කතාය කිව්වේ, වැඩියත්ම අර රැජිනි කතන්දරේට!

අපේ රටේ මොට්ට සල්ලිකාර පාලක බලවන්තයන්වත් හිටු කියලා ගොනාට ඇන්දෙව්වනෙ සමහරු. ‘සෙරෙප්පු සුප් බොන්නං’ කියල සමහරු කිව්වා. ‘තමුන්නාන්සේ දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ පුනරාවතාරේය; තමුන්නාන්සේ සිදුහත් කුමාරය උපන් ශාක්‍ය වංශයෙ කෙනෙක්ය’ වගේ අසද්ද කතන්දර ගෙතුවනේ තවත් අය.
එහෙව් රටක, ඈත පිටිහර ගමක ඉපදිලා- එතැනින් මහරගමටත්, ඊළඟට එංගලන්තෙටත් ගිය අපේ අම්මාත් හරිම ආසාවෙන් ඉවසා වදාරපු කතාවක් තමයි ඔය රැජිනි කතාව.

තමුන්ම ගොතල ප්‍රචාරය කරපු බොරුවක් වුණත් නිතර නිතර කණට වැටෙනකොට- අර බොරුවේ නිර්මාතෘ වුණත් හිතන්ඩ ගන්නවලු ඒක ඇත්තක්ය කියලා. හිට්ලර් උන්නැහේ ඒක සාර්ථක උපායක් විදිහටත් පාවිච්චි කළයි කියනවා නෙව.
ඒ විත්තිය නොදන්නවා වුණත් අපේ අම්ම බෝම ආ..සා..වෙන්- බෝ..ම කැමැත්තෙන් උඩගෙඩි දුන්නා, ඔය රැජින කතන්දරේ කියන උදවියට.

එංගලන්තයට ගියාට පස්සේ අපේ අම්මා එහෙ උපන් කෙනෙකුටත් වඩා එංගලන්තකාරියෙක් වෙන්නයිනෙ හැදුවේ. අවුරුදු හතරකට කලින්, මෙහෙමයි මං වහන්සේ ඒ කතන්දරේ  post එකකට වාර්තා කළේ:
‘... ඇත්තම කිව්වොත් අපේ අම්මා නම් ඩැඩාටත් වැඩියෙන්
British වෙලා හිටියා වගෙය.

ඒ විත්තිය හොඳටම ප්‍රදර්ශනය වුණේ 1980 දීය. (ඒ දවස්වල අම්මා ලංකාවට ඇවිත් හිටියාය.)
එංගලන්ත කිරුළේ උරුමක්කාරයා ‘
Prince of Charles’ ඒ කාලයේ 32 හැවිරිදි අවිවාහකයෙකි.

මනුස්සයා ඉන්දියාවේ සංචාරයක නිරත වෙද්දී ‘පද්මිනී කොහල්පූර්’ නම් සිනමා නිළියක් චාල්ස් කුමාරයාව සිප ගත්තාය.

හඃ ඒ ගෑනි කොහොමද අපේ චාල්ස් කුමාරයාව kiss කරන්නේ?” අම්මා කිව්වේ සෑහෙන කේන්තියෙනි. ඒ කතාවට මටත් යකා නැංගේය.

අම්මේ, දැන් අම්මා සුද්දියෙක් වෙන්න හැදුවට උපන්නේ බින්තැන්නේ කියලා අමතක කරන්න එපා. ඒ ගෑනි චාල්ස් කුමාරයව කසාද බැඳගත්තත් අම්මා සන්තෝස වෙන්නයි ඕනේ..... එයත් අම්මා වගේම ආසියාවේ ගෑනියෙක්නෙ.”

එක ජාතියක් හෝ වංශයක් හෝ රටක් හෝ අනෙකට වඩා උසස්ද? එහෙම වෙන්නේ කොහොමද? මොකෙන්ද?

එදා මගෙත්, අම්මාගේත් ‘ශ්‍රී ලංකා Vs ඉංග්ලන්ඩ්’ දබරයකට මුල පිරුණේ එහෙමය!
එදා නම් මාත් කතා කරන්නට ඇත්තේ පල් මෝඩයෙකු වගෙය. (අවුරුදු 40කට පස්සෙය කියලාත් ඒ මොට්ටකම අඩුවෙලා තියෙන්නේ යාන්තමිනි.)

ඒත් කෙනෙකුට තමන් උපන් රට, ජාතිය, ආගම ගැන හිතමින් තවත් කෙනෙකු හෙළා දකින්නට පුළුවන්ද? එක ජාතියක් හෝ වංශයක් හෝ රටක් හෝ අනෙකට වඩා උසස්ද? එහෙම වෙන්නේ කොහොමද? මොකෙන්ද? ඒ කාලයේ නම් මමත් හරිම උජාරුවෙන් අපේ රටේ සංස්කෘතිය- සභ්‍යත්වය- අතීත ශ්‍රී විභූතිය ගැන ආඩම්බරයෙන් හිටියෙමි...’

ඉතිං ඇඟෙන් නැතත් හිතෙන් British වෙලා හිටිය අපේ අම්මගෙ ලොකුම වීරවරිය වෙන්න ඇත්තෙත් ‘මහ රැජින’ වෙන්ඩ ඇති. එහෙම ඉන්න අස්සේ ‘ඔයා හරියට රැජින වගේමයි’ කියල අම්මගෙ මූණටම කියනකොට...

පිළිකාවෙන් හා ඩිමෙන්ෂියාවෙන් ආතුර වෙලා හිටි අපේ අම්මව ගිය අවුරුද්දේ අප්‍රේල් 28 වෙනිදා ලංකාවට එක්කං ආවට පස්සෙත් අපෙ ලොකු මල්ලියා කිහිප විටක්ම අම්මට ඔය රැජින කතාව කිව්වා. “අම්මා මේ යස අ..ගේ..ට ඉන්නේ, එංගලන්තෙ මහ රැ..ජි..න වගේ!” (එතකොටත් අපේ අම්මා පරඬැලක් වෙලා හිටියේ. ඒ විත්තිය පෙනි-පෙනී...)
‘තමුසෙගෙ කන්නාඩි කුට්ටම අලුත් කරව ගන්නව සුනිල් ඉක්මනටම.’ මං එවෙලේ හිතෙන් මුමුණව්වේ, තව අය එතැන උන්නු හින්දා.
අනෙක් අතට එහෙම ප්‍රකාශයන් කෙරුණාම එව්වාට ‘දිට්ටධම්ම වේදනීය’ විදිහටම ප්‍රතිඵල ලැබෙන හැටි බලා ගන්න තිබ්බා, අම්මා හොඳින් හිටිය නං!

ඒ ගොං ගතිය නිසාද මන්දා, සුනිල් අපේ අම්මගෙ ‘තට්ටු තුනේ මාලිගා’ project එකට විරුද්ධ වෙලා නෑ. ඒත් අතුරු වගන්ති එකතු  කරන්නයි කියල ආයාචනයක් කරලා.

“එතකොට මම අම්මට කිව්ව අයියේ- අම්ම ඇත්තටම ගෙයක් හදන්න නං යන්නෙ හදමු. හැබැයි, ගේ හැදුවට පස්සේ ඉච්චිකං කරන්න නං ලැහැස්ති වෙන්න එපා- ගෙදරට එන අයගෙන් අබ ඇටයක තරමේ දෙයක්වත් බලාපොරොත්තු වෙන්නත් එපා. එන  උදවියට උයාගෙන කන්න හරි ඇතිවෙන තරමට හාල්, පොල්, තුනපහ ගෙදරට ගේන්නත් හිතා ගන්න...”

සුනිල් එහෙම කියන්නට ඇති!
ඒ විත්තිය කියැවුණු ඉහත ඡේදයේ වචන 46ක් තිබේ. ඒත් එව්වාගෙන් කියැවෙන දේවල්වලට ‘අටුවා- ටීකා- ටිප්පණි’ නොලිව්වොත් මගේ හිතට මදිය. අඩුම තරමින් තුන් පොළක් ගැනවත්... (එව්වා තද පැහැති අකුරෙන් දක්වලා තියෙනවා, මේ posts කියවන හිතාදර පාඨක ඔයාලගේ වැඩි පහසුවට.)

අපේ අම්මා උයන-පිහන වැඩවලට අකමැතිය! නංගිලා ළාබාල වයසේදීම (එතකොට අපේ මානිට අවුරුදු 11කි.) ගෙදර කෑම පිසීමේ බරපතළ රාජකාරියට කර ගහන්නට වුණේ...

(මේ බ්ලොගය ලියන්නට පංච තන්ත්‍ර ආකෘතිය තෝරා ගන්නැයි මට උපදෙස් දුන් ‘නිමල් දිසානායකයන්ගේ නැණ බලය’ට ස්තුතිවන්ත වේවා! ඒ හින්දාය, මට මෙහෙම මෙහෙම වංකගිරිවල කරක් ගහන්නට ඉඩ ලැබෙන්නේ)

ඉච්චිකං කරන්න නං-
එහෙම කීමෙන් සුනිල් හරියටම අදහස් කළේ කොතැන ගැනදැයි මට හිතාගන්නට බැරිය. ඒත් මං මෙයිට කලින් ලියූ දෙයකින්ම; පත්තෑයාට පෙත්තෙන් - 3 කොටසට  ලියූ දෙයකින්ම ඒ විත්තිය සනාථ කරන්නට හිතෙයි. (දක්වන්නට යන උපුටනයෙන් කියවෙන දේ සිදු වෙද්දී අපි අට දෙනෙක්; තාත්තාත්- දරුවන් හත් දෙනෙකුත් ගෙදර සිටියෙමු.)

‘... අපේ තාත්තා ගෙදර වියදමෙන් ටිකකට කර ගහන්නැයි අම්මාට කිව්වාම වුණෙත් ඒකය. “ඔන්න” කියමින් අම්මා දික් කළේ පාන් රාත්තලක් ගන්නට සල්ලිය.

(නැහැ,නැහැ. වැරැදීමක් නොවේ. අම්මා දුන්නේ එච්චරය. ඉඳියාප්ප ගන්නවාද - 1 පෝස්ටුවෙදී මම කීවෙමි, ඒ කාලයේ අප බඩ පිරෙන්නට කෑවේ, උදේ-රෑ වේල් දෙක පමණකි.)

බදුලු නිම්නයේ අයට තියෙන්නේ වෙනම ගතියක්ද?

“කොහෙද ළමයෝ. උඹලගේ තාත්තට කොන්ද පණ නැහැ. මුලින්ම ගෑනිව හදාගත්තේ නැතිවම ඔහොම තමයි. බලහං, වැඩට යන තැන්වලින් උදේටයි දවල්ටයි අඩුවක් නැතිව දුන්නත් අම්මෙකුට පුළුවන්ද මිනිහයි, ළමයිනුයි බාගෙට හාමතේ හිටිද්දී තනියම බඩ පැලෙන්න කන්න? බදුල්ලේ ගතිය! උන් දරුවෝ වදන්නේ බඩට එනවට........ බදුල්ලේ ගෑනුන්ට දරු හැවිකාරයක් නෑ”

අපේ ආච්චී කිව්වේ ඇගේ මතයයි. මා නම් ඒකට එකඟ වෙන්නේ නැත. එක-එක්කෙනා වෙනස්ය! එච්චරය!!

අපේ අම්මාට සාධාරණය පිණිස මේ ටිකත් කිව යුතුය. ඇය සල්ලි ඉතිරි කළේත්, කරන්නේත් අඳින්නට- පළඳින්නට- කෑමට- බීමට- ඇවිදින්නට වැය කිරීම පිණිස නොවේ.
එයා ලෝබ නැත්තේ ඉඩමක් ගන්නට
, ගෙයක් හදන්නටය.
අපේ අම්මා ගිය ආත්මයේ ‘රන් කුඹලියක්’ වෙන්නට ඇති!’

උයාගෙන කන්න හරි
අපේ අම්මා ගෙදරදී නම් උයන-පිහන වැඩවලට අකමැතිය! ලොකු නංගී පුෂ්පාටත්, මානෙල්ටත් ළාබාල වයසේදීම (එතකොට අපේ මානිට අවුරුදු 11කි.) ගෙදර කෑම පිසීමේ බරපතළ රාජකාරියට කර ගහන්නට වුණේ එබැවිනි. ඒ
සංගදි සේරමත් විස්තර ඇතිවම මා blog අඩවියට ලිව්වෙ 2019දීය.

ගෙදරට ගේන්නත්
කියන්නත් දුකයි තමා. ඒත් අපේ අම්මා සැහෙන දුරකට Show off කරන්නියක්. ඒ හින්දම සමහර තැන්වලදී එයා කළේ නොකළ යුතුම දේ. ඒකයි ඛේදවාචකය...

එයා ලෝස්-බෝස් නැතිව අලියෙක්- ඇතෙක් වුණත් අපිට අරං දෙයි... ඒත් හෙණ්ඩුව වගේ සොච්චං දෙයක් නං මේ කපේදී අරගෙන දෙන්නෑ.

සුනිල්, අනිල්, මානෙල් හා මං... අපි හතර දෙනාටම ඉඩම් අරං දීලා ගෙවල් හදලා දෙන්නත් ලක්ෂ ගණනින් වියදම් කළේ අපෙ අම්මමනේ. ලෝස් නැතිව ඒවා කළා වගෙම, තිස්ස දෙවේලේ ඒවා ගැන කියා පාන්නත් එයා පසුබට වුණේ නෑ. නොගැළපෙන තැන්වලදී වුණත් අපේ කටින් ඒවා කියවෙනවටයි අම්ම කැමති වුණේ.

හැබැයි, අම්ම අතින් සල්ලි වියදම් කරලා කන-බොන දේවල් නං ගෙදරකට ගෙනිච්චේ නැතිම තරං...

තවත් විදිහකට කියනවා නං, එයා ලෝස්-බෝස් නැතිව අලියෙක්- ඇතෙක් වුණත් අපිට අරං දෙයි... ඒත් හෙණ්ඩුව වගේ සොච්චං දෙයක් නං මේ කපේදී අරගෙන දෙන්නෑ!

අම්මා වියදම් කරන්න කැමති වුණේ කල් පවතින; පස්සේ වෙලාවක වුණත් ආඩම්බරෙන් තව කෙනෙකුට පෙන්නන්නට ඇහැකි මහා පරිමාණ දේවල්වලටයි.
මට කවදාවත් අමතක නොවෙන- අපේ බඩා; දීපාල්ටත් තවම මතක තියෙන දුක්බර දෙයක් මේ.
ඒ 1985. අනිලුයි මායි පළමුවෙනි වතාවට England ගිහිං හිටිද්දී...

“අම්මේ, මගේ ඇස් දෙකේ මොකක්ද වැරද්දක් තියෙනවලු. ඒ fault එක හරි යනවලු දැන්මම කන්නාඩි දෙකක් use කරන්න පටන් ගත්තොත්. ඒකට පවුම් පනහක් විතර වෙයිලු.” දවසක්දා රෑ දීපාල් කිව්වා, අපි හැමෝම ඉස්සරහ, Hounslow ගෙදර සාලෙදී.
“එහෙනං කන්නාඩි දෙකක් ගන්න එකනේ ඇත්තේ. මට කිව්වට හරි යනවයැ.” අම්මා කිව්වේ don’t care ටෝන් එකකින්; ‘ඉතිං මට මොකෝ’ කියන තාලෙන්. මට හිතෙන්නේ එතකොටයි දීපාල්ටත් තරහ ගියේ.

“මම තවම collage යන ළමයෙක්නෙ අම්මේ. Adult කෙනෙකුත් නෙවෙයිනෙ. ඉතිං ඒක අම්මට නොකිය වෙන කාට කියන්නද?” මල්ලියාගේ කටහඬත් වෙවුලුවා.
“ඔයාට දෙන්න මගෙ ළඟ ඇති සල්ලියක් නෑ!” අම්මා කලින්ටත් වැඩිය තදින් කිව්වා, පොල්ලකින් ගහනවා වගේ.

පහුවදා උදේ මල්ලා ඉස්කෝලෙ යන්න කලින්, මං ඒකගෙ අතට පවුම් හැටක් දුන්නා. “කන්නාඩි දෙක ගන්නවා.”

“අනේ එපා ලොකූ. මං ටික දවසක් ගියාම සල්ලි හොයාගෙන specks දෙකක් ගන්නං.” මල්ලියා කිව්වේ හිර කර ගත්තු ඉකියක් අතරින්.
(සත්තයි- මේ අකුරු කෙටිල්ලත් ටිකකට නැවතුණා. ඒ මොහොත මතක් වෙද්දී අකුරු පුවරුව බොඳ වෙන්න ගත්ත හන්දා.)
ඒත් බල කළාට පස්සේ මල්ලියා එදාම කන්නාඩි දෙකකට අත්තිකාරම් බැන්දා.

මේ ළඟදි දවසකත් බඩා ඒ ගැන මට ස්තුති කළා!
ඔන්න ඔහොම දේවල් හින්දා තමයි අපේ අම්මා ලබා ගන්න ආසාවෙන් හිටපු තරම් ගෞරවයක්, අපි කාගෙන්වත් එයාට නොලැබුණේ. එහෙම ගවුරවයක් එන්න ඕනි ඉබේම නේද? එතකොටනෙ අගේ...

ඔයාලටත් දැන් හිතා ගන්න පුළුවනි නේද, සුනිල් අම්මට අරහෙම ‘අතුරු වගන්ති’ එකතු කරන්ඩ ඇත්තේ ඇයි කියල.

කොතෙක් කිවත් මෝඩයාට උගේ ගතිය ඌ අරීද?

මහ ගොඩාරියක් දේවල් කියාගෙන ගියාටම හරි යනවයැ, ප්‍රධාන කතන්දරේ නොකියා.
ඉතිං අපේ අම්මා මටත් කිව්වා ‘නිවාස ව්‍යාපෘතිය’ ගැන. කියලා ඉවර වෙලා මෙහෙමත් ඇහුවා. “රංජි, ඔයා මොකද හිතන්නේ?”

එහෙම ඇහුවටත් පස්සේ නොකියා හිටින්නද? මට හිතුණු දේවල් එළියට දැම්මා.

“ඉස්සෙල්ලම කියන්න ඕනි අම්මේ, සක්විති රජකම දෙනවයි කිව්වත් මම නං ඔච්චර ඈතකට පදිංචියට එන්නෑ. ඔය දවසකට- දෙකකට, විශේෂ වෙලාවක ඇවිත් යන්න ආවොත් මිසක්.
දෙක. කරන රස්සාවල් අතෑරල දාලා- ළමයින්ගේ ඉස්කොලේ ගමනුත් කඩාකප්පල් කරගෙන අනිත් අයත් දවස් ගණන් ඔය ගෙදර පදිංචියට එයි කියලා මං හිතන්නෙ නෑ.
තුන්වෙනි කාරණේ- ඇත්තටම අම්මට ඕනිද ලක්ෂ ගණනක් යට කරලා ඔච්චර ඈත දිහාවක
Holiday බංගලාවක් හදා ගන්න. ඒ සල්ලි ටික බැංකුවක දාලා හම්බ වෙන පොළියෙන් අම්මට ඕනි දිහාවක යන්නත් පුළුවනිනේ.
පිට අයට කුලියටත් දෙන්න? මගේ අදහස නං අම්මේ එහෙම දේකට වුණත් ඔතැන ළඟ වැඩියි; කොළඹට ළඟ වැඩියි. අනිත් අතින් change එකකට යන්න තරමට දුර මදි.”

   ‘මැණික් ගලේ පය හැපුනට කණා අහුලලා          ගනීද
   සුශික්ෂිතව ඇති කළාට උරුලෑවගෙ ගඳ           ඇරේද
   කොහොඹ රුකේ මල් පිපුණට මී මැස්සා රොන් ගනීද
   කොතෙක් කිවත් මෝඩයාට උගේ ගතිය ඌ        අරීද’
කියලනෙ උපදේශ කාව්‍යයේ තියෙන්නේ.

මං හිතන්නේ වැරද්ද තියෙන්නේ කවියේ. ඒකෙ තියෙන්නේ ‘මෝඩයාට’ කියල විතරයිනෙ. එතකොට ඒ උපදේසේ ‘මෝඩ කාන්තාවකට’ ගැළපෙන්නෙ නැහැ නෙව! විසේසෙන්ම තමන්ගේ තරම නොදැන ඉන්න ඇත්තියකට.

අපි කවුරුත් ගොඩක් දේවල් වරද්දා ගන්නෙ ‘අපේ තරම අපි හරියටම දැනගෙන නොයින්න’ නිසා කියලයි, මං හිතන්නේ. බුදු බණවලත් ඔය කාරණේ සඳහන් වෙලා තියෙනවා. මානය ගැන කියැවෙද්දී. අපේ අම්මා නිතරෝම වගේ උන්නේ අධිමානයෙන්!
‘එතකොට තමුසේ? හොඳට මතක තියා ගන්නවා. ඔහේ එක ඇඟිල්ලක් අනුන්ට දික් කරනකොට ඇඟිලි හතරක් තමුන්ගේ දිහාවට හැරිල තියෙන බව!’
‘ඕකට ඉතිං ඔච්චර ඇවිස්සෙන්න ඕනිය. සමහර වෙලාවට නං මාත් එහෙම තමයි. ඒත් තමුන්නාන්සේම එහෙම වෙලාවට ඒ බව අඟවපු ගමන්ම මං ටක් ගාලා හරි පීල්ලට වැටෙන්නේ!’ මං මගේම උපවිඥානයට උත්තර බැන්දා.

තමන්ගේ තරම නොදැන ඉන්න ඇත්තියක් නෙවෙයි නං...

ඉතිං, තමුන්ගේ තරමත්- තමුන් වටේ ඉන්න උදවියගේ තරමත් නොදැන හිටි අපේ අම්මා අපේ කීම් නාහා ඉස්සරහටම ගියා;

මගේ දැනීමේ හැටියට නං අම්මගෙ වටේට හිටි අය...
වටේට හිටි අය... වටේට හිටි අය...
කවුරු හරි මට කිව්වොත් එහෙම වටේට හිටි ‘තමන්ගේ තරම නොදන්නා අය’ගේ නම් දෙක තුනක් දෙන්නයි කියල, මගෙන් පළමුවෙන්ම කියවෙන්නේ අපේ සුනිල්ගේ නම.

අවාසනාව කියන්නේ, අපේ සුනිලාට ආස්සරේ කරන්න ලැබුණෙම එයාට වඩා බාලයෝ!
වයසින්ම නෙවෙයි, නැණ නුවණින්- දැන උගත්කම්වලින්- කොලිටියෙන්... හැම පැත්තකින්ම සුනිල්ට වඩා පහතින් හිටි අය. වැඩි දෙනෙක්ම සුනිල් අයියා කියන දේට එපිටින් තියෙන ලෝකයක් තියෙනවය කියල නොදත් උදවිය. එහෙයියෝ!
අපේ අජිත්ටත් එහෙමයි.

Sam, දීපාල් දෙන්නම ඒ හූනියමෙන් ගැලවුණා. මං වහන්සේ මේ කියන්නේ මගේ නිගමන- හොඳේ. මං වැරදි වෙන්නත් ඉඩ තියෙනවා...
(මං නොදන්නවා නෙවෙයි, අමතක කෙරුවත් නෙවෙයි. ඔය හැම ජාතියේම මිත්තරයෝ මටත් හිටියනෙ. තමන්ටත් මොළේ තියෙන්න ඕනි, දැනගෙන එයාලව ආස්සරේ කරන්න. අමාරුවේ; වළේ නොවැටී බේරෙන්න.)

දැන් තව ඩිංගක් කියල ඉන්නංකො අපේ සුනිල් ගොයිය ගැන. ඒකාත් නොකළ මඟුලක් නැති තරම්.
අවුරුදු 12දී මං හම්බ කරන්න පේව්මන්ට් එකට යනකොට- සුනිල්ට දහයයි.

ඇට්ටර පාට සුනිල්ට තමයි මහරගම හන්දියට ගිහිං අපේ ගෙදරට සමූපකාරයෙන් ලැබෙන කූපන් හාල් ටික ගෙනෙන්න වුණේ; ඒ හාල් තොගේ කොට්ට උරේක දාලා ඔළුව උඩ තියාගෙන එනකොට- සුනිල්ගේ බෙල්ල ඇමැට්ටි වෙලා- බරට!
උයන්න ඕනි කරන මස්- මාළු- එළවලු ගේන්න වුණේ; තාත්තා ලියනගේ මාමා ළඟට නොයන දවසට තාත්තගේ රේස් chit එක ගෙනියන්න වුණේ එහෙමත් සුනිලටමයි.

මහරගම සීයාට ලෙඩ වුණාම, එයාට ඕනෑ
අබිං ටික ගෙනත් දෙන්න ගියෙත් සුන්නා. මොකද දන්නවද එහෙම වුණේ- සුනිල් හොරෙන්ම ලබා ගත්තු අමතර හැකියාවක් නිසා.

අපේ තාත්තට හොරෙන්- එයා එහා-මෙහා වෙනකල් හොරගල් අහුලමින් ඉඳලා, හොරෙන්ම තාත්තගේ කබල් පුෂ් සයිකලේ පදින්නත් සුනිල් පුරුදු වුණා. එතකොට එයා සයිකලේ පැද්දේ පොල්ලට යටින් කකුල දාලා; වැටි-වැටී තුවාල වෙවී වුණත් කොල්ලා නෙවෙයි වැඩේ අතෑරලා දැම්මේ; මං වගේ. මං ඔය මැරෑටි වැඩවලට අකැමැති බයගුල්ලෙක්නෙ.

දැන් සුනිල් බලංගොඩ තමුන්නෙම පුංචි තේ වතු කෑල්ලක ‘පස්සේ ගෙනා මනමාලි’ත් එක්කල පාඩුවේ ඉන්නවා.

තාත්තා අණාඥාවක් නිකුත් කළොත්, රෑ රාත්තිරියෙයි කියා නොබලා හොර පොල් කඩන මිෂන්ස්වලටත් අපේ සුන්නා හවුල් වුණා. ඒ අතරේ ගෙදර පැට්‍රොමැක්ස් ලාම්පුව පත්තු කිරිල්ලත්, සැරෙන් සැරේ ඒකට හුළං ගැහිල්ලත් කළේ සුනිල්. (ඊට පස්සේ ඒවා අනිල්ට පැවරුණා.)

අම්මලා මුලින්ම අපේ වරිච්චි ගෙදර හදද්දී- ඒක හොඳටම ගරා වැටුණම මෝඩ ගඩොලින් ඇමෙරිකන් ස්ටයිල් එකට දෙවෙනි ගෙදර හදද්දී සුනිලුත් හරි-හරියට මහන්සි වුණා.

බතික් කරන්න- කලිසම් කමිස මහන්න ඇහැකි ටේලර් කෙනෙක් වෙන්න- සයිකල් රේස් පදින්නෙක් වෙන්න- පලතුරු කඩ මුදලාලි කෙනෙක් වෙන්න- කුලී van රථ හිමියෙක් වෙන්න ගිය සුනිල් ‘ඒ දිවිසැරිය’ ඉවර කළේ මේසන් බාස් කෙනෙක් වෙලා. ඊට පස්සේ තරමක් ලොකු ඉදිකිරීම් වැඩත් කොන්ත්‍රාත් පදනමෙන් කරගෙන ගියා. මල්ලිකා පිළිකාවට ගොදුරු වුණාම ඒ සේරම පැත්තකට දාල අවුරුදු හතක්ම බිරිඳ වෙනුවෙන් වැය කළා! ඒ දවස්වල එයාලගේ නඩත්තුව කෙරුණේ (එංගලන්තයේම ඉන්න එයාලගේ ලොකු පුතා) රජිත් මාස්පතා එවපු සල්ලිවලින්.

දැන් සුනිල් බලංගොඩ තමුන්නෙම පුංචි තේ වතු කෑල්ලක ‘පස්සේ ගෙනා මනමාලි’ත් එක්කල පාඩුවේ ඉන්නවා.
(වැඩේ කියන්නේ, ඔය ඔක්කොම මැද්දේ වයලීනය හා බටනලාව
වාදනේ කරන්නත් ගැටවර සුනිල් ඉගෙන ගත්තා. හැබැයි, මිනිහට සිංදු කීමයි රඟපෑමයි දෙකම එච්චර බෑ.)

ඉතිං ‘සියල්ල දත්’ නොවුණත්, ‘ගොඩක් දත්’ කෙනෙකු වුණු අපේ සුනිල් උන්නැහේ තමයි හොරණ ඉඩමේ තෙමහල් මැඳුර ගොඩනැඟීමේ head බාස් වුණේ. පරිවාර සේනාව අපේ අනිල් ඇතුළු සුනිල්ගේ සගයන්...
අපේ අම්මටත් උවමනා වෙන්න ඇත්තේ ‘යාන්තමට වගේ හරි, වැටට උඩින් පන්නවන්න පුළුවන්කම තියෙන තුට්ටු දෙකේ අස්සයෙක්’ විතරයි වෙන්නැති.

ඒකට ‘තමන්ගේ තරම නොදන්නා අපේ මිනිහා’ රෙට්ටෙට ගැළපෙන්න ඇති!!
මං හිතන්නේ, මිනිහා ස්ව කැමැත්තෙන්ම ඒ දංගෙඩියට බෙල්ල දෙන්නත් ඇති කියලයි!!!

ඒ ගෙදරට මුල්ගල් තියන දවසේ මානෙල්ලයි මායි හොරණට ගියේ නෙවිල්ගේ කාර් එකෙන්.
එහෙම යද්දී පර්චස් අසූවේ මුළු ඉඩමම තට්ටෙ ගෑවා වගේ සුද්ද කරලා- සමතලා කරලා තිබ්බේ හිතක්- පපුවක් නැතුව වගෙයි. ඒ වින්නැහියට අහු නොවී හිටියේ ඉඩමේ තිබ්බ තඩි කළුගල් පරුවත දෙක-තුනක් විතරයි.
මට බැලුණේ එතකොටත් හෙළි-පෙහෙළි නොවී තිබුණු යාබද ඉඩමේ කැලය දිහා...

දෙයියනේ! එතකොට මං දැක්ක ඒ ආදරේ වෑහෙන කිරිම කිරි පාට සුදු හිනාව...
චුට්ටක් ඉන්න! ඒ විස්තර ඔයාලට කියවන්න වෙන්නේ නං ප්‍රෝඩාරාමය සිව්වෙනි කොටසින්... හොඳේ.

24 comments:

  1. සුනිල් ඇවිල්ලා ජැක් ඔෆ් ඕල් ට්‍රේඩ් වගේ කෙනෙක් නේද?

    කාමර අටක ගෙයක් කියන්නේ නම් මහා විශාල ගෙයක් ...නේ...?

    නිමල් අර හිට්ලර් වෙනුවෙනු ඕනෑම බොරුවක් එක දිගට මතුරන කොට මිනිස්සුන්ට ඇත්තක් වගේ හිතෙන්න ගන්නවයි කියන එක ප්‍රයෝගිකව කලේ ගොබෙල්නේ....අනිත් එක එයාගේ තියරිය තමයි ඒ කියන කොට කියන්නේ පොඩි බොරුවක් නෙමේ...මහ විශාල බොරුවක්...එතකොට මිනිස්සු මේච්චර් ලොකු බොරුවක් කියන්න බෑ කියලා හිතලා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා..

    සුනිල් ට බට නලා ගහන්න පුලුවන් කීවා..බටනලාව හරි ලස්සනට ගහන්න පුල්වන් වාද්‍ය භාණ්ඩයක්නේ...

    ReplyDelete
    Replies
    1. මයියෝ, අපේ සුනිලුයි- අම්මයි තමා මේ සීරීස් එකේ වැඩකාරයෝ දෙන්නා. තව ලියන්න තියෙන නිසා දැනට එයාලා ගැන තව මොකුත් නොකියා ඉන්නන්.

      ගොබෙල්ස්ලත් දැන් හැම තැනම!

      සුනිල් සංගීතය ඉගෙනගන්න ගියේ චම්පා කල්හාරි ගායිකාවගේ තාත්තා ළඟටයි...

      Delete
  2. " ඉච්චිකං "කියන්නෙ ලෝබකම් ද?
    මං ඒ වචනෙ අහල තිබුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අදහස හිතාගන්න ඇහැකි නමුත් "රෙට්ටෙට" කියන එකත් අලුත් වචනයක්. බාගද ප්‍රාදේශීය ජන වහරෙ වචනයක් වෙන්ටෑ?

      Delete
    2. Pra Jay මහත්තයෝ, ඉච්චි කියන්නේ පොඩි ලෝබකම්වලට වගෙයි.

      Delete
    3. බකුසුතුමෝ, නිරුක්තිය ගැන නං මම දන්නෙ නෑ- නමුත් රෙට්ටෙට වචනේ අපේ මහරගම ආච්චි නිතර කිව්වා. හරියට- නියමෙට- ටක්කෙට- නූලට- තිතට වගේ තේරුම් දෙන්නේ, මට නං.

      Delete
  3. ෂෝ ඔෆ් එක නරකද? ලංකාවේ ටොයියෝ කියන්නේ එයාලට, බැලුවම නිදි ගේ අම්මා කිරි කිරි ටොයියෙක් නේ.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. අම්මා කිරි කිරි ටොයියෙක් වීම නිසා මට ලියන්න දේවල් ගොඩක් එකතු වුණා විජේබාහු මහත්තයෝ.

      Delete
  4. සුනිල් අයියා තට්ටු තුනේ ගේ හැදුවද?
    මමත් අරපිරිමැස්ම ඉගෙන ගත්තේ අම්මගෙන්...

    ReplyDelete
    Replies
    1. හැදුවා... හැදුවා, ලලිත්. ගේ හැදුවා... එතන හිට තමයි ඊළඟ කොටසෙන් ලියවෙන්නේ.

      අපේ අම්මා නියමම අරපිරිමැසුම්කාරියක්, ලලිත්. ගොඩක් අම්මලා එහෙම තමයි. නැති අයත් ටිකක් ඉන්නවා. එහෙම පවුල්වල කිසි දියුණුවක් නැහැ නේද?

      Delete
  5. අම්බෝ පුහු ප්‍රසස්ති ගයන වයන අයනං සම්මජ්ජාතියට මටත් හම්බුවෙන්ට එපො

    ReplyDelete
    Replies
    1. සමාර දේස පාලුවො, මුදලාලිල වැටෙන්න ප්‍රධාන හේතුවක් තමා ඔය ඇම්බැට්ටකං කරන උන්දල.

      Delete
    2. නිදි ලොක්කටනං ඉතිං ඔය ආගිය කතා ගොඩක් හෙමත් දන්නව ඇති

      Delete
    3. 1. පුහු ප්‍රශස්ති ගයන අය සමාජේ ඕනි තරං ඉන්නවා නමී. අපි හොඳින් දැනගන්න ඕනි ඒ වන්දිභට්ටයන් ගැන. එතකොට වළකට නොවැටී හිටිතෑකි.
      2. ඒ ආදර්ශවලින්වත් අපි පාඩම් ඉගෙනගන්නවද කියන ඒකයි ගැටළුව.
      3. නැතුව නැතුව...

      Delete
  6. //සුනිල් උන්නැහේ තමයි හොරණ ඉඩමේ තෙමහල් මැඳුර ගොඩනැඟීමේ head බාස් වුණේ. පරිවාර සේනාව අපේ අනිල් ඇතුළු සුනිල්ගේ සගයන්//

    හ්ම්.....හ්ම්....🤔

    -බස්සා-

    ReplyDelete
    Replies
    1. කාලෙකින් බස්සෙක් බකුසු හ්ම් සද්දයක්ම දාලා!
      ස්තුතියි බස්සෝ.

      Delete
  7. සුනිල් ගේ චරිතයට මම කැමතියි

    ReplyDelete
    Replies
    1. මට හරිම සතුටුයි, ඉයන් මහත්තයෝ! අපේ පවුලේ සොයුරු සොයුරියෝ කවුරුත් මට වඩා හොඳ අයනේ...

      Delete
  8. වෙලාවක මාපුටුගම ගිහින් එන්න ඕනේ. මම හොරණ ගියහම නවතින තැනක් තිබ්බ නිතර. නිසලරැය කියන හෝටලේ. ඒක ඒ කාලේ පරණ වලව්වක්. නිසලගිරිය ද කොහෙද ඊටත් ඉස්සර කීවේ . හඳපාන්ගොඩ පාරේ රත්මල්ගොඩ තියෙන්නේ. දැන් නාවිංක රිසෝට්. අයිතිකාරයාගේ පුතා හරියට ඉගෙන ගත්තේ නැහැ. මුදල් නාස්ති කළා. එයාව ඉතාලි යැව්වා. ඒවා ෆන්ඩ් කරනන් ඉඩම් වික්ක. අන්තිමට ඕකත් වික්ක. නිදි අඳුරනවද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, අපි එහෙ යද්දී හඳපාන්ගොඩට් යන්න තියෙන පාර පහු කරගෙනයි දිගටම ගියේ. හැබැයි ටිකයි.
      මම ඒ පැත්ත ගැන, ඉන්න උදවිය ගැන මොකුත්ම නොදන්නා තරං...

      Delete
  9. තවමත් ඔය මහ විසාලෙට ගෙවල් හදන අය ඉන්නව. අපිත් එක්ක වැඩ කරන තරු පටි මහත්තැනලත් ඒ වගේමයි. ගොඩක් ඈත ඉදං ඇවිත්.නගරාශ්‍රිතව පදිංචි වෙලා ලොකු ලොකු විදිහට ගෙවල් හදන එයාල පස්සෙ කාලෙක චුරු චුරු ගාණව සමහර කාමර අතුගාන්න විතරයි අරින්නෙ මොකට හැදුවද කියල

    🤷🤷🤷

    ReplyDelete
    Replies
    1. ණයට ගන්න වචන දෙකක් තමයි මහේෂ් එක විඩේම මතක් වුනේ.
      ආන්න ජංසන්!

      Delete
    2. තව දාහක් වටිනවා.😁
      නිදි, මහේෂ් දෙන්නටම👌

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්