අකුරු මැකී නෑ

Saturday, April 25, 2026

යකිනිට ඇන්දා- තෙවෙනි කොටස

“මගෙ දෙයිය! මගෙ අම්ම!! මගෙ දෙයියට උම්ම පන්සීයක් විතර දුන්නත් මගේ හිතට මදි, අම්මප- සත්තයි- බුදු හාමුදුරුවන්පල්ල- නිමල් අයියේ..ඒ..ඒ.ඒ.ඒ...” කියමිනි අසෝක පියසිරි ඉස්සරහට පැන, මාව ඉඹගෙන ඉඹගෙන ගියේ.

එතැන උන්නු හැමෝම කැකිරි පළමින් හිනා වුණේ එතකොටයි!

කොච්චර සුපිරි මතකයක් තියෙන කෙනෙකුට වුණත් එහෙම වෙන්න...

මං ගිය සතියේ ‘යකිනිට ඇන්දා- දෙවෙනි කොටස’ ඉවර කළේ කළු අක්කාත්, සරතුත්, මාත් දෙමටගොඩ රේල්වේ කැන්ටින් එකේ  කතා කරමින් හිටි හැටි ගැන කියමිනි; පන්සිය පනස් ජාතක පොත් වහන්සේගෙන් අපේ නාට්‍යයට තෝරා ගන්නේ කුමන කතාවක්දැයි විමසමිනි.

ඉතාම සීරුවෙන්; සැලකිල්ලෙන් මේ posts කියවන කෙනෙකුගේ හිතේ ලොකුම ප්‍රශ්නයක් දැනටමත් පැන නැඟී තිබෙනවා විය හැකිය! ඒ රාත්‍රියේ ඒ පැත්ත පළාතේ නොහිටි අසෝකයෙක් මේ වෙලාවේ මේ කතන්දරය මැද්දට උන්හිටි ගමන් කඩා පාත් වුණේ කොහොමද? එහෙම පුරස්නයක් ඔබේ හිතටත් එන එක සාධාරණය!!

අසෝක හිතවතා මේ නිමල් දිසානායකයාව කිටි-කිටියේ බදාගෙන ඉඹගෙන- ඉඹගෙන ගියේ එවෙලේම නොවේ. ඒ රාත්‍රියෙන් සති දෙකකට විතර පස්සෙ දවසකය; අපේ ගෙදරදීය; තව දහ-පහළොස් දෙනෙකු ඉදිරිපිටදීය!
අසෝක පියසිරි හිතවතාගේ ඒ ‘කොමඩි’ රංගනය මේ දැනුත් මගේ ඇස්දෙකේය; තෙත් වී ගිය ඇස්දෙකේය. (ඔයාට නිවන් සුව ලැබේවා- අසෝකයෙනි!) ඒ මොහොතේ මතකය ගැනය, පෝස්ටුවේ පටන් ගැන්මේදීම මා සඳහන් කළේ.

ජාතක පොතෙත් තියෙන A to Z කතන්දර කියන ශෛලියට අනුව නං එහෙම දේවල් ‘වච්චිල්’ය; ‘out’ය. තවත් විදිහකින් කියනවා නං ‘ඔට්ටු නැතිය’. ඒ නිසා ගත වෙච්ච සති දෙකේදී සිද්ද වුණු වැදගත්ම කාරණා ටික අනුපිළිවෙලින් කියලම ඉන්නංකො. එතකොට ඉවරයිනෙ...

අපේ නාට්‍යයට රුපියල් දාහ ගණනේ වියදම් කරන්න කැමති තවත් සහෘදයන් හය දෙනෙකුව හොයා ගන්න අපට ඇහැක් වුණා. ඉතාම ළාවට වගේ මට මතකයි- ඒ හය දෙනා අතරේ (මට කොහොඹ කිනිති 50ක් අමුවෙන්ම කවන්නට මුල් වුණු) සෝමවීර මල්ලිකාරච්චි හිතවතාත් උන්නු විත්තිය. සෝමවීරත් රඟපෑමේ පිපාසයෙන් හොඳටම ආතුර වෙලා හිටපු කෙනෙක්.

සල්ලි දාපු අනිත් පස්දෙනා පිළිබඳව කිසිම මතකයක් මට නැති එක ගැන මටම පුදුමයි.
කොච්චර සුපිරි මතකයක් තියෙන කෙනෙකුට වුණත් එහෙම වෙන්න ඇහැකියිලු නෙව- කාලාන්තරයක් තිස්සෙ යන්තමින්වත් මතක් නොකරන කාරණාවලදි. මෙතෙන්දිත් ඒක තමා වෙන්න ඇත්තෙ. පහුගිය අවුරුදු හතලිස් පහකටත් වැඩි කාලයක් ඇතුළත මේ නාට්‍යයට සල්ලි දැම්ම හිතවතුන් ගැන මතකයන් ඇවිස්සුවේ නැහැනෙ. ඉතිං ඒ මතකයන් මැකිලා ගිහින් වෙන්නැති.

අනෙක් කාරණේ තමයි නාට්‍යයට තෝරා ගන්න කතාව.

ඒ කාලේ එහෙම තමයි. දැන් වගේ නෙවෙයි! 
“කළු අක්ක කියන විදිහට මං නාට්‍යයේ ප්‍රධාන නිළි චරිතය රඟපාන්නත් ඕනි. ඒ මදිවට නැටුමක් ඉදිරිපත් කරන්නත් ඕනි. ඒ වුණත් මට දැන් 25ක්නෙ. දැන් මං ඉස්සර තරං ළපටි පාටයැ? එහෙව් එකේ...” මට කල්පනා වුණා.

“තමුසෙටම වුණත් හිනා ගියේ නැද්ද සමහර films බලද්දී... මෝරපු නිළියො ඉස්කෝලේ යන කෙල්ලන්ට ඇක්ට් කරනවා දකිනකොට?”
(ඒ කාලේ එහෙම තමයි. දැන් වගේ නෙවෙයි! ජනප්‍රිය වෙලා හිටි වැඩිහිටි නළු නිළියන්වම තමයි ළාබාල චරිතවලටත් ගත්තේ, නොගැලපුණත්. ගොඩක්ම සිංහල සිනමාවේත්- හින්දි, දමිල සිනමාවේත්.)

ඒ අතරේ මට දිගටම මතක් වුණේ සුප්පා දේවිට act කරන්න බඩේ- පපුවේ මයිල් ගෑවාම වෙච්චි දේ. ඊට පස්සෙ එව්වා තවත් හොඳට වැවුණා. ඒ හින්දා නාට්‍යයක් වෙනුවෙන්වත් ආයෙමත් සැරයක් එහෙම මයිල් ගාන්න බැහැයි කියල මට හිතුණා. ‘ඔව්! හොයන්න ඕනේ ටිකක් මෝරපු- වැඩිහිටි ගෑනු චරිතයක් තියෙන කතාවක්. එතකොට හරිනෙ! ඒත් ඒක බණ කතාවක් වෙන්නත් එපැයි!’

එහෙම හිතාගෙන හොයනකොටයි මට හම්බ වුණේ යකින්නක් ඉන්න ජාතක කතාවක්!
‘පද මානවක ජාතකය!!’

‘ඒ කතන්දරේ නාට්‍යයකටත් හොඳයි. ළද-බොළඳ ගෑනු චරිතයක් වෙනුවට ඒ ජාතක කතාවේ ඉන්න යකින්නිට ඇක්ට් කෙරිල්ල මට ගැළපෙයි!’ මං හිතා ගත්තා. ඒත් එක්කම නාට්‍යයේ සීන්ස් මෙහෙම මෙහෙමයි වෙන්නේ කියලත් හිතේ ඇඳගන්න පටන් ගත්තා.
‘හැබැයි ගොයියෝ, ආයෙමත් නාට්‍යයක් කරනකොට අලුතෙන් නළු-නිළියො හොයාගන්න වෙයි. මතකයි නේද විධුර නාට්‍යයට නළු-නිළියො
ඇහිඳපු හැටි! දැනටමත් හිටපු කට්ටිය සීසීකඩ විසිරිලා ගිහිංනෙ ඉන්නෙ...’ ඒ කාරණෙත් හොඳින් කල්පනාවට ගත්ත නිසා මං නාට්‍යය ලියන වැඩේට අත තිබ්බෙ නෑ. ටිකක් ඉවසුවා...

“කරන්න යන අලුත්ම නාට්‍යය ගැන පොඩි සාකච්ඡාවක් ලබන සෙනසුරාදා හවස හතර-හමාරට අපේ ගෙදරදී කෙරෙනවා. නොවරදවාම ඔයාත් එන්න- පරක්කු නොවී.” අදාළ උදවිය ගොඩකට මමම පණිවිඩේ කිව්වා.
කළු අක්කා, සරත් රංචාගොඩ ඇතුළු තව කිහිප දෙනෙකුත් මගේ පයිණ්ඩය බෙදා හරින්න උදව් වුණා. ඒ job එක එච්චර දෙයක් නොවුණේ අපි කවුරු- කවුරුත් උදේ හවස හම්බවෙන ගම්මුන් වීම හිංදයි.

ඒ කාලය වෙද්දීත් පමුණුව මේ තරමටම පිටස්තරයන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහිං තිබුන්නෑ. ඒකටත් එක්ක දැන්... පිටස්තරයෝ කියද්දි කල්පනාවට ආවේ එම්. බී. රත්නකාන්ති වික්‍රමආරච්චි අම්මාවයි, එස්. වත්සරණි රත්නායක ආදරණීය දියණියවයි.
ඒ දෙන්නත් පදිංචි වෙලා හිටියෙ අපේ මහගෙදර- බතික් වැඩපොළ එහෙම තිබුණු පමුණුවේ, එක්සත් සුබසාධක මාවතේ ගෙදරකයි.
ඒ අම්මගෙයි, දූගෙයි විත්තිය මං දැනගත්තේ අප්‍රේල් 19 වෙනිදා...

ඔය හැම trip එකක්ම plan කරන්න ගත්ත දවසේ ඉඳලම WAL ප්‍රියන්ත, අයස්මන්ත, නෙවිල් ඇතුළු හිතවතුන් මට බල කරනවා ‘යං යං’ කියල. (Foto- සෙරාන් එන්. ගමගේ)

මේ අවුරුද්දෙත් අපේ කට්ටිය සුපුරුදු විදිහට දවස් පහේ ‘අවුරුදු සවාරිය’ ගියා. දැන් අවුරුදු දෙකක හිට මං වහන්සේ ඔහොම ‘වනචර සවාරි’වලට එකතු වෙන්න පස්ස ගහනවා. කව්රුවත් එක්ක අමනාපෙකට නෙවෙයි. මට තියෙන බැරි-අමාරුකම් හිංදා. කාසි පනම්වල නෙවෙයි; ශාරීරික යෝග්‍යතාවේ.

Camping ගියාම නිඳා ගන්න වෙන්නේ ඇඳන් උඩ නෙවෙයිනේ... බිම නෙව. එහෙම නිඳා ගත්තම මට තනියෙන් නැඟිටගන්න බෑ- කාගෙ හරි උදව්ව ඕනිමයි. ඒක නං කොහොම හරි කර ගන්නවයි කියමුකො.

ඒත් සිරුරු කිස?
හුඟ වෙලාවට අපට ශරීර කෘත්‍යය කරන්න වෙන්නේ කැලේට ගිහිං... (අපේ නඩේ ඔහොම කැලේ වදින trip යනකොට පොඩි උදලු කෙටියකුත් ගෙනියනවාමයි.) සමහර කඳවුරු බිම්වල නං වැසිකිළි තියෙනවා තමයි. එව්වයෙත් තියෙන්නේ උක්කුටික පෝච්චිනෙ. එහෙම එකක උක්කුටිකයෙන් වාඩි වුණාට පස්සෙ නැඟිටගන්නත් උදව් ඉල්ලන්නයැ. ඔය දැවෙන ප්‍රශ්න තියෙද්දි මං මතකයට කැන්ද ගත්තෙ ‘උපදේශ කාව්‍යයෙ’ තියෙන කවියක්.

   බොරැල්ලේ  තරම දැන ගෙන උඩ පනිනු
   ගොඩැල්ලේ තරම දැන ගෙන ළිඳ  කපනු
   ක ඩු ල් ලේ  තරම දැන ගෙන කද   බඳිනු
   තමන්නේ    තරම දැන ගෙන    දවසරිනු

ආන්න ඒ නිසයි ‘මට මහලු වයසේ - බැරිය වෙණ ගායනා පෙරසේ’ කියලා මං දැන් වැඩිපුර එහෙ-මෙහෙ නොයා විහිංම නිවාස අඩස්සියට පත් වෙලා ගෙදර ඉන්නේ.

හැබැයි- තවමත් ඔය හැම trip එකක්ම plan කරන්න ගත්ත දවසේ ඉඳලම WAL ප්‍රියන්ත, අයස්මන්ත, නෙවිල් ඇතුළු හිතවතුන් මට බල කරනවා ‘යං යං’ කියල. ඒ ආදරණීය ඉල්ලීම්වලට ගොඩක් ස්තුතියි, හොඳේ.

ගෙදර උන්නු මට දහනව වෙනිදා රෑ අපේ මානෙල් නංගි කතා කළා.
“ලොකා, සුබ සාධක මාවතේ ගෙදරක උඩ තට්ටුව ගිනි අරං... ඔයාට ආරංචි නැද්ද? හතර දෙනෙක්ම පිච්චිලා. අම්මෙකුයි දුවෙකුයි පිච්චිච්ච එකෙන් මැරිලත් එක්ක..”
“කවුද හලෝ මෙහෙ වෙන දේවල් කොට්ටාවේ ඉන්න තමුසෙට ඔච්චර ඉක්මනට කිව්වේ?”
“චූටි නංගි!”
“අපේ චූටි? එංගලන්තෙ ඉඳලා...?”

“ඒකනේ ලොකා කියන්නේ... අපේ සුදිත් තමයි news බලද්දී දැකලා චූටියට කියලා තියෙන්නේ... ඒ ගමන තමයි චූටි නංගි මටත් කතා කරල කිව්වේ...”
“යකඩෝ, ඒකෙත් හැටි. පමුණුවෙම ඉන්න මං දන්නෑ... එංගලන්තෙ ඉන්න සුදිත්ල දන්නවා... හෙට තමයි මානෙල්, මට ටිකක් විපරම් කරල බලන්න පුළුවන්.”

ඒත්, පසුවදා උදේ විපරම් කර බලන්නට දෙයක් තිබ්බේ නැත. ඒ සිද්ධිය ගැන තොරතුරු ජනමාධ්‍යවල පළ වී තිබිණි.

රත්නකාන්ති අම්මාත්, වත්සරණි දුවත්, ඔලීත් තිදෙනාම ඒ වෙනවිටත් මිය ගිහිංය.

සිද්දිය වෙලා තියෙන්නේ ‘ඔලී’ලගෙ ගෙදරයි. ගිනි ගෙන / ගිනි තබා තියෙන්නේ ඒ ගෙදර උඩ තට්ටුවයි. රත්නකාන්ති අම්මාත්, වත්සරණි දුවත්, ඔලීත් තිදෙනාම ඒ වෙනවිටත් මිය ගිහිංය.

ගෙට ගිනි තබා තිබෙන්නේ ගෙවල් හිමියා ඔලීමලු. එයාගේම පුතණ්ඩියා එක්ක තරහටලු!

මේ සිදුවීම ගැන විමසමින් එදා උදේ වරුවේම තවත් ෆෝන් කෝල්ස් හතරක් මට ආවාමය මං තවත් පුදුම වුණේ. එයින් ඇමතුම් දෙකක්ම blog ලියන හිතවතුන් දෙදෙනෙකුගෙනි. ‘පමුණුවේ, එක්සත් සුබ සාධක මාවත කිව්වම නිදිලගෙ මහ ගෙවල් තියෙන්නෙත් එහෙ කියලා මීටර් වුණා... පංච තන්තරෙන්ම කියවලා.’ ඒ දෙදෙනාම කීවෝහ.

“ඔය ඔලී පමුණුවෙම ගම්කාරයෙක්... හැබැයි, එයාලා අසල්වාසීන් එක්ක වැඩිය පයුරු පාසනයක් පවත්තපු කට්ටියක් නෙවෙයි- මං දැකපු හැටියට නං.
ඔය ගින්නට සුමාන තුනකට විතර කලිනුත් මට ඔලීව පාරෙදි හම්බ වෙල කතා කෙරුවා. හැබැයි අද තමයි දැන ගත්තේ එයාගේ නම ඔලිවර්ය කියල.
පුංචි දන්නවද- ඔලීලගෙ ඉඩමේ මායිම දිගටම ඒ කාලෙ හිටවල තිබ්බේ පාවට්ටා ගස්. නික ගහකුත් තිබ්බා. පමුණුවෙන් බාගයක්ම වගේ කසාය බෙහෙත්වලට ඒ දෙජාතිය හොයන්න ආවෙ එහාට.” මං අපේ
සෝමා පුංචිට ඔලීලා ගැන ගොඩක් විස්තර කිව්වේ පසු තැවෙමින්.

බාගෙට එක්තැන් වෙලා වගෙ ඉන්න සෝමා පුංචි ලෝකේ හතර වටේම ඉන්න දූ දරු මුණුබුරු මිණිබිරියන් හා මී මුණුබුරු මිණිබිරියනුත් හමු වෙනවා What’s App හරහා.  

සුමානෙකට දෙකකට සැරයක් පුංචි බදුල්ලේ ඉඳල මේ රංජි පුතාටත් කතා කරනවා; සැප සනීප අහනවා. එයාගේ  දරුවන්ට වගෙම මටත් ආදරෙයි. හරිම මව්වත්... මං පැටියා කාලේ මාව තව ලස්සන කරන්න වදකහ සුදිය’ත් පොවන්න හදපු කෙනානේ.
ඒත් මං... මම නෙවෙයිනෙ එහෙව් මනුස්සයටවත් call එකක් දෙන්නෙ. ඒ නොතකා හැරීමක් හිංදා නෙවෙයි, මං පුරුදු වෙලා ඉන්න විදිහ නිසා. ජන්මෙටත් වැඩිය ලොකුයි කියනවනෙ පුරුද්ද.

ඉතිං... අපි තියන්න සූදානං කරපු අර රැස්වීමටත් ආරාධනා ලබපු කට්ටිය ආවේ එයාලා පුරුදු වෙලා ඉන්න විදිහට-පැය කාල බාගෙ පරක්කු වෙවී. හැබැයි, අසෝක පියසිරි නං සරත් රංචාගොඩවත් කැන්දාගෙන කල් තියාම ආවා... සෝමවීරත්. ඒ ආව වෙලාවේ ඉඳල අසෝකයි, සෝමවීරයි දෙන්නා ළිහන්න තියෙන මල්ල ඔබන්න පටන් ගත්ත.

කාගෙ ජාතකේද සෝමවීර අයිය අහන්නේ? (ෆොටෝ එකේ කෙළවරවල් දෙකේ මේ ලියන්නාත්- සෝමවීරත් සිටී.)

ප්‍රශ්න... ප්‍රශ්න. කෝටියක් ප්‍රශ්න!

“පිං සිද්ද වෙයි, තව චුට්ට වෙලාවක් ඉවසගෙන ඉඳපල්ල යකුනේ... කට්ටිය ආවත් නාවත් අපි පහමාරට වැඩේ පටන් ගත්තම කියන්නං. නැත්තං මට එකම දේවල් දෙපාරක් කියන්නයි වෙන්නේ... තේරෙනව ඇතිනෙ- දැන්ම ඔයාල අහන එව්වටත් උත්තර දෙන්න ගියෝතින්...” එහෙම කාරුණික වචන... ටිකාක් විතර තර්ජනාත්මක tone එකකින් උච්ඡාරණය කරලයි මං ඒ දෙන්නව සංසිඳව ගත්තේ.

අපේ අවිධිමත් මූලික සාකච්ඡාවට සහභාගි වූ ඇත්තන් පිළිගැනීම, අපේ අරමුණ පැහැදිලි කිරීම වගේ දේවල් කළේ මං වහන්සේමයි. නැඟුණු ප්‍රශ්නවලට උත්තර දෙන්න වුණෙත් මට.

“මොන කතාවෙන්ද නිමල් අයියේ, ඔය නාට්‍යය කරන්න යන්නේ? රජ කතාවක් නේද...” අසෝක ඇහුවා.
“ජාතකේ මොකද්ද මචං?” සෝමවීර ප්‍රශ්න අහන්නෙත් පොල්ලෙන් ගහන තාලෙට. ඒ ප්‍රශ්නෙට නං කළු අක්කගේ මල්ලී;
කළු අයියා උත්තර දුන්නා- තව ප්‍රශ්නයකින්ම. “කාගෙද? කාගෙ ජාතකේද සෝමවීර අයිය අහන්නේ?”
“මං ඇහුවෙ නිමල්ගෙන් මිසක් තමුසෙගෙන් නෙවෙයිනෙ, කළු අයියේ...”

“මාත් අහන්නමයි හිටියේ. නාට්ටියේ කතාව මොකක්ද නිමල් මල්ලී...”
“පද මානවක ජාතකේ කළු අක්කේ...”
“අනේ, මම නං ඒ නම ඇහුවෙත් අදමයි...” ඉක්මනින්ම ‘ඒක නේන්නං / මාත් එහෙමයි / වැඩිය ප්‍රසිද්ධ නැති කතාවක්නේ’ වගේ අදහසුත් කිහිප දෙනෙකුගෙන්ම කියවුණා.

“නිමල්ට පුළුවනිද ඒ කතාව අපිට කියල ඉන්න.” කාගෙන්ද ආරාධනයකුත් කෙරුණා. වැඩි දෙනෙක් ඒ ආරාධනයට කැමත්ත දුන්නු හින්දා නිමල් දිසානායකයාම ඒ ජාතක කතන්දරෙත් කියන්න පටන් ගත්තා.

“බරණැස් නුවර රජ කරපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ බිසව හරිම වනචර එකියක්. රජතුමාව රවට්ට රවට්ට තව තව සම්බන්ධකම් පවත්තද්දී දවසක් රජ්ජුරුවන්ටම මාට්ටු වෙන්න ගියා. ඒ ගමන බිසව බොරුවට දිවුරුවා. ‘මම එහෙම වැරද්දක් කළා නං ලබන ආත්මයේ අශ්ව මූණක් තියෙන යකින්නක් වෙලා ඉපදෙන්න ඕනි’ කියලා.

-ඉතිං එයා මැරුණම එහෙම යක්ෂණියක් වෙලා උපන්නා; ඉපදිලා, දොළොස් අවුරුද්දක්ම වෙසමුණි රජ්ජුරුවොන්ට කඹුරලා මිණී කන්න වරමක් ඉල්ල ගත්තා...”

“වෙසමුණි රජ්ජුරුවොත් දැන් ඉන්න දේශපාලකයෝ වගෙයිනෙ යකෝ... තමන්ට කඹුරන හෙන්චයියලට වරම් දෙන්නේ...”
“මේ සෝමේ, අපි මෙහාට ආවේ උඹේ කතා අහන්න නෙවෙයි...” අසෝක කිව්වේ තරහෙන්. එයාගෙ උනන්දුව එහෙම පිටින්ම  තිබ්බෙ නාට්‍යය ගැනයි. “Please සෝමේ, ෂට් අප් යුවර් පඩික්කන් මවුත්!”
“රංජි, මම මුං දෙන්නවම එළියට ඇදල දාන්නද? එතකොට ඔයාට පුළුවනි එක දිගට ඔය කතාව කියාගෙන යන්න.” අපේ
පොඩි මාමා මගෙන් ඇහුවේ ඇත්තටමයි. පොඩි මාමාත්, සෝමවීරත් දෙන්නා හිටියෙ ඕනෑම මොහොතක කොක්කක් ඇද ගන්නට සූදානමිනි.

හැබැයි රජෝ- කාට කාට කියල හරි උඩ දම්මවගෙන; කාගෙ කාගෙ උදව්වෙන් හරි රජ වෙන්න නං පුළුවන් කියමුකො...

“අනේ නිකං පලයං පොඩි මාමෙ යන්න...”

“හා හා ඇති... මෙතන තව මිනිස්සු ඉන්නවා... අනෙක පොඩි මාමේ- මේ දෙන්නව එළියට ඇදල දැම්මොත් හෙම අපේ නාට්‍යයට රජවරු දෙන්නෙක්ම නැති වෙනවනෙ.” මගේ හිතේ තිබුණු ඒ කාරණය කියැවුණාමය, අසෝක ඉස්සරහට පැන්නේ; පැනලා මාව ඉඹ ගන්නට පටන් ගත්තේ.  

“මගෙ දෙයිය! මගෙ අම්ම!! මගෙ දෙයියට උම්ම පන්සීයක් විතර දුන්නත් මගේ හිතට මදි, අම්මප- සත්තයි- බුදු හාමුදුරුවන්පල්ල නිමල් අයියේ... එහෙනං ඔයා මාව රජෙකුට අන්දවන්න නේද හිතාගෙන ඉන්නේ? මරු මරු නිමල් අයියේ... මේ උදව්වට නං ස්තුතියි කියල විතරක් මදි! නාට්‍යයකදි වුණත් රජ වෙන්න තියෙනව නං කොච්චර එකක්ද අප්පා?”

“හැබැයි රජෝ- කාට කාට කියල හරි උඩ දම්මවගෙන; කාගෙ කාගෙ උදව්වෙන් හරි රජ වෙන්න නං පුළුවන් කියමුකො... ඊට පස්සෙයි අමාරුම හරිය තියෙන්නේ. නියම රජෙක් විදිහට ඇක්ට් කරන්න වෙනව!!” මට කියැවිණි;
“... එහෙම නොකළොත් නං රජෝ, බබිත් සුං බබියගෙ අම්මත් සුං!”

ඉතිරි ටික කියන්නං ඊළඟ කොටසෙන්... හොඳේ!

Sunday, April 19, 2026

යකිනිට ඇන්දා- දෙවෙනි කොටස

“ආයෙ මොකටද හංගන්නේ? මට දැනගන්න ඕනි ඔයාලගේ සාම ජාතකේ වගේ ලස්සන නාට්ටියක් මහරගම ටවුමේදී පෙන්නන්න කීයක් විතර යයිද කියලා...”

නාට්ටියක් නටවන්න තමයි හදන්නේ. හැබැයි නාට්ටිය නටවන්නේ මම නෙවෙයි, මෙයා!

“නාට්‍යයක් පෙන්නන්න නෙවෙයි ගෙයක් හදනවා වගේ වැඩකට වුණත් යන වියදම ගැන අදහසක් ඇතිව තමයි වැඩේ පටන් ගන්න ඕනේ. මොකෝ දන්නවද කළු අක්කේ-එක වැඩේම වුණත් දෙන්නෙක් කරන්න පුළුවන් දෙවිදිහකට... පිරිමහලා වියදම අඩුවෙන්ම කරලා හරි... ලෝස්-බෝස් නැතිව අත දිග ඇරලා වියදම් කරලා හරි.”

“මම දන්නවා නිමල් මල්ලී, අනුන්ගෙ අතින් යනවා නං සමහරු එහෙමයිනෙ. කොහා මහත්තයත් ඊයේ පෙරේදා ඔයාට එහෙම කැත වැඩක් කෙරුවේ... ඒ ගැන නං කතා කරල වැඩක් නෑ මල්ලි. අපි මෙන්න මේ කෙරෙන වැඩක් ගැන කතා කරමු...”

“ඔව් රංජි මල්ලී, එහෙම දේවල් ගැන හිතන්න හිතන්න අපේ ඇඟේ ලේනෙ පිච්චෙන්නේ!” සරතුත් කිව්වා. “ඉතිං- කළු අක්කා නාට්‍යයකට යන වියදම හොයාගෙන නාට්‍යයක් නටවන්නද හදන්නේ?”

“ඔව්, ඔව්... සරත් මල්ලී. නාට්ටියක් නටවන්න තමයි හදන්නේ. හැබැයි නාට්ටිය නටවන්නේ මම නෙවෙයි, මෙයා!” කළු අක්කා හිනා වෙවී සරත්ට පෙන්නුවේ මාවය.

“මේ මං? කවුද කිව්වේ මම ආයෙමත් නාට්‍යයක් කරන්න ලෑස්තියි කියලා?”
“තවම කවුරුවත් එහෙම කියල නෑ තමයි. ඒත් මේ හදන්නේ ඔයාව එහෙම වැඩකට කැමති කරව ගන්නයි.
මේ අහන්නකො නිමල් මල්ලී. ඔයා අතින් සල්ලි වියදම් කරලා ‘ප්‍රතිභා’ පෙන්නුවා. ඒ වුණත් මෙච්චර සිංදු කියන්න පුළුවන් ඔයා ඒ ෂෝ එකේ එක සිංදුවක්වත් කිව්වද- නැහැනේ...”

ඒ කළු අක්කාගේ තක්සේරුවය. ඇයට අනුව නම් මාත් ගායකයෙකි.
ගැටවර කාලේ නං නිමල් දිසානායකයා හිතාගෙන උන්නෙත් තමන්ට ගීත ගායනා කරන්නට පුළුවන්ය කියලයි. ගීත අහන්නට අහන්නට; සංගීතය පිළිබඳව උනන්දු වෙන්නට වෙන්නට මේ නිමලයාගේ ඒ හැඟීම වෙනස් වුණේය.
“කළු අක්කේ, ඔයාලට තමයි පේන්නේ මට සිංදු කියන්න පුළුවන්ය කියලා. ඒක නං හරියටම හරි. මට පුළුවන් සිංදු කියන්න. හැබැයි, සිංදු තියෙන්නේ කියන්න නෙවෙයි- ගායනා කරන්නනේ... මට සිංදු ගායනා කරන්න නං බෑ!”

මං එහෙම කිව්වම කළු අක්කා හැරුණේ සරත් රංචාගොඩගෙ පැත්තටයි. “සරත් මල්ලිටවත් තේරෙනවද මෙයා කියන මේ අප්‍රබංසේ? සිංදු කියන්න පුළුවන්ලු කියන ගමන්ම නිමල් මල්ලී කියනවා එයාට සිංදු ගායනා කරන්න බැරිලු කියලා...”
“කළු අක්කේ, ඔය ප්‍රශ්නේ මගෙන් අහනවට වැඩිය හොඳයි මෙයාගෙන්ම අහන එක... මට බැහැනෙ මෙයා තරංවත් සිංදු කියන්න.”

ජෝතිපාල කියන්නෙත් ඉපදෙනකොටම එහෙම වාසනාවක් ලැබුණු පිංකාරයෙක්... සංසාර පුරුද්දකින් වෙන්නැති එයාට මෙච්චර හොඳට ගායන හැකියාවත් පිහිටලා තියෙන්නේ...

ඇත්තය! වැඩි දෙනෙකුට සිංදු කියන්නට බැරිය!!

සිංදු කියනවා නං ඒකත් ඒ ගීයේ තාලයට අනුව; තනුවට අනුව කිව යුතුය. සමහරුන්ට ඒ ටික කර ගන්නට හැකිය. ඒත් සිංදුවක් ගයන විට ‘ශ්රුතියෙහි පිහිටා’; භාවයන් දනවන ලෙසින් ගයන්නට වෙයි. එතකොටය ගීයේ මිහිර මැවෙන්නේ... (වර්තමාන කාලයේ නම්, ඒ ගැන මදි නොකියන්නට තරං කරුණු දැන ගන්නට ඇහැකි විදිහක් තිබෙයි... රූපවාහිනී නාලිකාවල විකාශ කෙරෙන රියැලිටි ගායන තරග නැරඹීම... විශේෂයෙන්ම, ඒවායේ විනිශ්චය මණ්ඩල සාමාජිකයන් දක්වන අදහස්වලට සවන් දීම...)

“අපිත් සිංදු කියනවා තමයි. හැබැයි කළු අක්කේ, සමහර වෙලාවට ශ්රුතියෙන් පිට පනිනවා. කට්ටිය බීලා ඉන්න වෙලාවක; බස් එකක ට්‍රිප් එකක් යන වෙලාවක කව්ද ඔව්වා හොයන්නෙ? අන්න එහෙම වෙලාවට තමයි අපි වගේ අය ගායකයෝ වෙන්නේ.”
“බුදු අම්මෝ, අපි ඔව්වා දන්නේ කොහොමද නිමල් මල්ලී... අපට නං ඔයා මරු ගායකයෙක්...”
“ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්ලුනේ කළු අක්කේ.”    

“එතකොට රංජි මල්ලී, ඔය ඔක්කොම දන්න- පට්ටං ගහපු ඔස්තාද්ල, සංගීත විශාරදලා කොච්චර ඉන්නවද සිංදු කියන... එයාලගේ සිංදු අපිට අල්ලන්නෙ නැහැනෙ... තව එකක්... ලංකාවටම අල්ලලා යන්න සිංදු කියන ජෝතිපාල මහත්තයත් සංගීතේ ඉගෙන ගත්තු කෙනෙක් නෙවෙයි කියලත් කියන්නේ...”
“මේකයිනේ සරත්... සංගීතේ ඉගෙන ගැනිල්ල වෙනයි. ගායනා කෙරිල්ල වෙනයි.
කෙනෙකුට උත්පත්තියෙන්ම පිහිටන කටහඬ වෙනයි. බොහොම ටික දෙනෙකුට විතරයි එහෙම හිතට වදින මිහිරි කටහඬක් පිහිටන්නේ. ජෝතිපාල කියන්නෙත් ඉපදෙනකොටම එහෙම වාසනාවක් ලැබුණු පිංකාරයෙක්... සංසාර පුරුද්දකින් වෙන්නැති එයාට මෙච්චර හොඳට ගායන හැකියාවත් පිහිටලා තියෙන්නේ..”

“මේ මේ... ඔයාල දෙන්නගෙ ඔය සංගීත ජාතකේ ඉතිරි හරිය වෙන වෙලාවක කතා කර ගන්නවලා...” කළු අක්කා අපේ සංවාදය මැද්දට පැන්නේ කඩාකප්පල්කාරී විදිහට. “... මට තව දවස් තුන-හතරකට කැන්ටිමට එන්න හම්බවෙන එකක් නෑ. මේ කාරණාව අදම කතා කරලා ඉවරයක් කර ගන්න ඕනි, ඒ හින්දයි.”
එහෙම කියලා කළු අක්කා හරි-බරි ගැහුණාය. මෙහෙමත් කිව්වාය.

“නිමල් මල්ලී... මට නං මේ නාට්ටියේදී ඔයා සිංදු කිව්වත් එකයි- නොකිව්වත් එකයි. හැබැයි මේ නාට්ටියේ ඔයාත් ඉන්න ඕනේ. ඉන්නව විතරක් නෙවෙයි- කෙල්ලට රඟපාන්නත් ඕනේ; ඉස්සර ඔයාලා කරපු නාට්ටිවල වගේම ලස්සනම ලස්සන ඩාන්ස් එකකුත් දාන්න ඕනේ...
සැමී අයියගේ බෑණා; අසෝකවත් නාට්ටියේ කොටසකට ගන්නත් ඕනි. එච්චරයි...”

කළු අක්කාගේ වැඩුමල් දියණිය සෝමලතා විවාහ වුණු දවසේ...

එතකොට සරතුත් මැද්දට පැනපි.
“හෝව්... හෝව් කළු අක්කේ. එතකොට අපි වගේ පරණ කට්ටියට මොකද වෙන්නේ? අපිව මේ නාට්‍යයට ගන්න එපා කියලද ඔයා කියන්නේ? අනේ, එහෙම ක‍රන්න එපා... හැත්තෑතුනේ සිංහබාහුට රඟපෑවාට පස්සේ මට chance එකක් හම්බ වුණෙම නෑ. මටත් හරිම ආසයි, මැරෙන්න කලින් තව එක පාරක් හරි stage එකකට නඟින්න.”

“යකඩෝ... මේ ඔක්කොම කතා කරන්න කලින් හොයන්න එපැයි අපට නාට්‍යයක් කරන්න සල්ලි කොහෙන්ද කියලා. ආධාර එකතු කරන වැඩේ නං කීයටවත් කරන්න බෑ... මට හිතෙන විදිහට දැන් නාට්‍යයක් කරන්න අඩුම ගණනේ රුපියල් දහදාහක්වත් යයි...”
“අයියෝ... දහදාහද? මං හිතාගෙන උන්නේ ඊට වැඩිය ලොකු ගාණක් යයි කියලා... ආධාර එකතු කරන්න ඕනි නෑ නිමල් මල්ලී. එක්කෙනා රුපියල් දාහ ගණනේ දාන්න කැමති දහ දෙනෙක්ව හොයා ගනිමු. එතකොට ඉවරයිනෙ. මගෙන් දාහක් දානවා. අසෝකත් රුපියල් දාහක් දායි... තව අටදාහයි...”

“හරි! මාත් දාහක් දාන්නං.” මං කියලා ඉවර කරන්නටත් කලින්ම සරතුත් ඉස්සර වුණා... “මගෙනුත් දාහක්!”
“පේනවනේ... දැනටම හාරදාහක් හරි. මම තව කීප දෙනෙකුටම කියන්නං... නිමල් මල්ලියි- සරත් මල්ලියි දෙන්නමත් තව කීප දෙනෙක්ට කියල බලන්න. හරිනේ?”

“ඒ වුණාට අපි තව තුන් දෙනෙකුවත් කැමති වුණාට පස්සෙම වැඩේට බහිමු නේද සරත්... මේක හරියට හම්බ වෙන්න ඉන්න ළමයෙකුට හඳහන ලියවනවා වගේනෙ...” මං කිව්වේ මගේ මතයයි.

“මේකනේ රංජි මල්ලී... මං නම් සල්ලි දාන්නේ මටත් තව සැරයක් නාට්‍යයක රඟපාන්න ආසා හින්දයි කියමුකො...” එතකොට සරත් කිව්වා. “... අසෝකත් එහෙමයි. ඒ වුණාට මේ කළු අක්කත් රුපියල් දාහක්ම දාන්නං කිව්වේ එයාට හරි- එයාගේ කාට හරිවත් රඟපාන්න ඕනි හින්දා නෙවෙයිනේ. ඔයා ආයෙමත් රඟපානවා බලන්න ආසාවෙන්නේ.
ඒ වගේ නාට්‍යවලට කැමති; සල්ලි තියෙන තව හය දෙනයිනෙ අපිට හොයා ගන්න තියෙන්නේ...”

“අනෙක තමයි නිමල් මල්ලී, දැන් පමුණුවේ හැදීගෙන එන අලුත් සල්ලිකාරයෝ... එහෙම අය පැනල ඇවිත් මේ වැඩේට උදව් කරයි. ඔයාට තියෙන්නේ නාට්ටිය පටන් ගන්න ඉස්සෙල්ලා තඩි පොල්තෙල් පහනක් පත්තු කරන්න එයාලට ආරාධනා කරන්න විතරයි...”
“අම්මට සිරි! කවුද අක්කේ ඔය පමුණුවේ අලුත් සල්ලිකාරයෝ?”

අපේ බතික් වැඩපොළේ වැඩ කළ සියලුම දෙනා (මගේ ඉල්ලීම පරිදි) මට කතා කළේ ‘නිමල් අය්යා’ යන ආමන්ත්‍රණයෙනි. (ඉදිරි පේළියේ මැදින්ම සිටින්නේ මාත් ලොකු නංගි පුෂ්පාත්ය.)
“රෙදි බිස්නස් කරන අය! ඉස්සර පමුණුවේ තිබ්බේ පාංකඩ මැහිල්ල විතරයිනේ. ඒක කළෙත් තුන් දෙනයිනෙ... දැන් එහෙම නෙවෙයි. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ මේ අලුතෙන් ඇරෙන ලොකු ලොකු ගාමන්ට්ස්වලින් කට් පීසස් ගෙනත් විකුණන පමුණුවේ අයත් හොඳට හම්බ කරනවා, සරත් මල්ලී... තව ටික දවසකින්ම කාටත් පෙනෙයි... එයාල තවම අළු ගසා දාලා නැඟිට්ටේ නෑ... හැංගි හැංගි වෙස් බඳිනවා විතරයි.”

“අපේ ‘ඇට අට දෙන JR’ මහත්තයාගේ විවෘත ආර්ථිකේ හන්දා වෙන්නැති...”

පිරිසකට ‘නඟින කලාව’ වුණු ඒ විවෘත ආර්ථිකය අපේ දීපානි බතික් එකට නං ‘බහින කලාව’ වුණු බව මෙතැනදී කියන්නට වෙයි.

“දාස මහත්තයලගෙ ඩියුරෝ රෙදියි; භූමිතෙල් ගඳ ගහන චීත්ත රෙදියි විතරනෙ සරත් 77ට කලින් තිබ්බේ. දැන් එහෙමද... වයිවාරන්න රෙදි ජාති පිරිලා... එව්වා බතික්වලට වැඩිය ලාබත් එක්ක. සුද්දොන්ට විතරක් විකුණන්න බලාගෙන බතික් හදලා අපේ වගේ පුංචි වැඩපොළක් කරගෙන යන්න බෑනෙ...”
“එතෙන්දි නං නිමල් මල්ලී වැරැද්ද ඔයා අතේ. ඔයා කම්මැලියි... ඒ දවස්වල පමුණුවේ බතික් ගෙදර කිව්වම කවුද නොදන්නේ? අපේ ලතාත් ඔයාලගෙ බතික් වැඩපොළට ආව හින්දනේ අපි වුණත් අඳුරගත්තෙ... දැන් ඔයාට කරන්න තියෙන්නේ බතික් එක තියෙද්දීම හරි- නැත්තං වහලා දාල හරි රෙදි බිස්නස් එකට අත ගහන්න... කම්මැලිකම පැත්තකට දාලා...”

(කළු අක්කා කිව්වේ ඇත්තය! ලතා යනුවෙන් කියැවුණේ කළු අක්කාගේ වැඩිමල් දියණිය සෝමලතාටය. සෝමලතාගෙ නැඟණිය ඉන්ද්‍රානි වැඩිවිය පත්වුණු විට කළු අක්කලා ජයටම ‘කොටහළු මඟුලක්’ කෑවෝහ. මාත් ආරාධිතයෙකු වුණු ඒ උත්සවයෙන් පසුවය- මා ඒ පවුලේ හිතවතෙක් වුණේ. එච්චරකුත් නොවේ; කළු අක්කාගේ සහෝදර-සහෝදරියන් සියලු දෙනා සහ ඒ පවුල්වල දරු-දැරියන් හැමෝගෙමත් හිතවතෙකු වුණේ.

එහෙම වීම නිසා තවත් දෙයකුත් සිද්ද වුණේය. අපේ බතික් වැඩපොළේ වැඩ කළ සියලුම දෙනා (මගේ ඉල්ලීම පරිදි) මට කතා කළේ ‘නිමල් අය්යා’ යන ආමන්ත්‍රණයෙනි. සෝමලතාත් එහෙමය. ලතාව අනුගමනය කළ ඇයගේ නංගි ඉන්ද්‍රානිත්, වික්ටර් හා ජයා මල්ලිලාත් ‘නිමල් අයියා’ කියන ඇමතුමම මා වෙනුවෙන් තෝරා ගත්හ. ඒත් සෝමලතාගේ දෙමාපියන්ට; එනම් සෝමේ අයියාට හා කළු අක්කාට මම නිමල් මල්ලී වීමි.
මරු නෑකම් කීමකි ඒ! තවත් මගේ සමීපතම පිරිස් කිහිපයක් සමඟිනුත් මේ පටලැවිල්ලම සිදු වුණු හැටි තවමත් මට සිනා ගෙනෙයි.)

සරස්වතී දේවින්නාන්සේ වැඩ ඉන්න තැනක ලක්ෂ්මී දේවින්නාන්සේට ඉන්න බෑ- කියන කතාව...

“රෙදි බිස්නස් එකට අත ගහන්න? කළු අක්කේ- ඒ බිස්නස් එකේ කිසිම ගතියක් නෑනෙ. සල්ලි නං හම්බ වෙයි... ඒත් කිසිම තෘප්තියක් හම්බ නොවෙනවා නං කොච්චර සල්ලි හම්බ වුණත් වැඩක් තියෙනවද?”

“එහෙනං ඔයා කොහොමද බතික් කළේ- අවුරුදු හත-අටක්ම... ඒකත් රෙදි බිස්නස් එකක්නෙ...”
“එක බතික් රෙද්දක් කියන්නේ එක නිර්මාණයක් කළු අක්කේ. එකම මෝස්තරයක් රෙදි තුනක් උඩ ඇඳලා බතික් රෙදි තුනක් හැදුවත් ලබෙන්නේ එකකට එකක් වෙනස් නිර්මාණ තුනක්... ඒකයි බතික් කලාවේ රහස...”

“කළු අක්කේ. මෙයා බිස්නස් මයින්ඩඩ් කෙනෙක් නෙවෙයි. ඒකයි නිමල්ට බිස්නස් යා දෙන්නැත්තේ.” සරත් කතාවට මැදිහත් වුණේ සෑහෙන වෙලාවකට පස්සෙයි.
“වෙන්ඩැති, වෙන්ඩැති... අපේ තාත්ත ඉස්සර කියපු කතාවක් තමයි -සරස්වතී දේවින්නාන්සේ වැඩ ඉන්න තැනක ලක්ෂ්මී දේවින්නාන්සේට ඉන්න බෑ- කියන කතාව... දැන් තමයි මටත් හිතෙන්නේ... නිමල් මල්ලිලා වගේ අයට තියෙන්නේ සරස්වතී දේවියගේ බැල්ම තමයි කියලා.”

“එහෙම නොවුණා නං අද මේ වගේ කතාවක්වත් කෙරෙන එකක් නැහැනෙ අක්කේ. නේද...” එහෙම කියු සරත් ඊළඟට මගේ දිහාවටය හැරුණේ. “... දැන්මම මටත් නාට්‍ය උණ ආපහු බෝවෙලා වගෙයි රංජි මල්ලී... මොන කතාවද ඔය නාට්‍යයට තෝරා ගන්නේ?”

“කතාවක් ගැන නං තාම මට කල්පනා වුණේ නෑ සරත්. හැබැයි, කළු අක්ක කියපු විදිහට- මං ප්‍රධාන නිළිය වෙන්නයි, නැටුමක් නටන්නයි පුළුවන් වෙන කතාවක් එපැයි හොයා ගන්න. අනෙක stage එකක් උඩට ගේන්න ලේසි එකක් වෙන්නත් එපැයි...”

“ඔව්, ඔව්... පටාචාරා ජාතකේ වගේ එකක් නාට්ටියකට ගත්තැකිය? නේද නිමල් මල්ලී... උකුස්සෙක් අත දරුවෙක්ව උස්සගෙන අහසෙන් යනවා- තව දරුවෙක් ගඟේ ගහගෙන යනවා... ඒ මදිවට පටාචාරාට පිස්සු හැදිලා අමු හෙළුවෙන් පාරවල් දිගේ දුවනවා...”
“ඔය එකක්වත් නාට්‍යයකදී කරන්න බැරි වැඩ නෙවෙයි. හැබැයි, හරි අමාරුයි... වියදමුත් යනවනෙ... පටාචාරා ජාතකේ කියලා තොරණවල එහෙම නම ගහල තියෙන හැටි මමත් දැකල තියෙනවා. එහෙම කියන එක නං වැරදියි. මොකද පටාචාරාව ජීවත් වුණෙත් බුදු හාමුදුරුවෝ ජීවත්වෙන කාලේනෙ...
ජාතක කතාවක් කියන්නේ බුදු හාමුදුරුවන් වහන්සේ පූර්ව ජාතීන්වල ඉපදිලා හිටිය හැටි ගැන කියැවෙන කතාවලට. එව්වයෙ කියැවෙන්නේ බෝධිසත්වයන් වහන්සේ එක එක ආත්මවල ඉපදෙමින් බුදු වෙන්න පාරමිතා පුරපු හැටි ගැනයි.”

“ඉතිං නිමල් මල්ලී... පන්සිය පනස් ජාතකේ කියන්නේ නිකංයැ... කතන්දර පන්සිය පනහක්ම තියෙන හින්දනේ... නැද්ද ඔයා හිතන විදිහට...”
“මට හිතන්න ටික දවසක් දෙන්නකෝ. ලබන සුමානේ මං කියන්නං... එතකොට අපිට දැනිලා තියෙයිනෙ, මේ වැඩේට තව කට්ටිය උදව් දෙයිද කියලත්...”

එහෙනං... ඉතිරි විස්තරත් අපි තව සුමානෙකින් විතර කියවමු. හොඳේ... 

Saturday, April 11, 2026

යුවාන්, ඩොලර් වගෙ මරාල, හුටපට

හරියට නාඩි වැටෙන මිනිස්සුන්ට නං ඊයේ රෑ සැනසිල්ලේ නින්ද යන්න නැතිව ඇති. ‘හරියට නාඩි වැටෙන මිනිස්සු’ කිව්වේ රටේ ලෝකේ සිද්ද වෙන දේවල් ගැන හොඳ අවදියෙන් ඉන්න උදවියටයි.

අපි මෙහෙ නිඳාගෙන ඉන්න අල්ල-පනල්ලේ ඇමෙරිකාවේ- ඊශ්‍රායලයේ- ඉරානයේ මොන-මොනවා සිද්ද වෙලා ඇද්ද?

සමහරු ඉන්නවනේ මෙලෝ රහක් නැති. කඳ බඩ ඔළුව විතරක් තියෙන... පපුවක්, මොළයක් නැති. එහෙම අයට නං 2026 අප්‍රේල් 7 වෙනිදා රෑයි කියලා වෙනසක් තියෙන්නැතිව ඇති.

මට නං ඊයේ රාත්තිරිය හරි දිගට දැනුණා... දහ-පහළොස් වතාවක්ම ඇහැරුණත් එක්ක. අපි මෙහෙ නිඳාගෙන ඉන්න අල්ල-පනල්ලේ ඇමෙරිකාවේ- ඊශ්‍රායලයේ- ඉරානයේ මොන-මොනවා සිද්ද වෙලා ඇද්ද?
එක-එක්කෙනා මොළේ නැතිව වගේ එකේක කයිවාරු ගැහුවට; පාරම් බෑවට මොකද අන්තිම විනාඩියේ හරි මොළේ පෑදිලා තිබ්බොත්...

ඉතිං පාන්දරින් නැඟිටලා, තේ එකත් හදාගෙන කොම්පියුටරේ ඉස්සරහින් වාඩි වුණා. News දඩයම පටන් ගත්තා... මේ දවස්වල මගේ දවසේ පැය විසි හතරෙන් වැඩි වෙලාවක් ගත වෙන්නේ ඒ රාජකාරියට.
අම්මෝ ඇති යන්තං - මට සැනසුම් හුස්මක් වැටුණා...
සති දෙකක සටන් විරාමයකට මඟ පෑදිලා...

ඔයාලා දන්නවද, ගතවුණු දෙදොහේ ‘යකිනිට ඇන්දා - දෙවෙනි කොටස’ ලියන්න අත තියන්නවත් හිත හදා ගන්න බැරිවයි මං උන්නේ. දැන් නං හිත ටිකක් හරි.
ඒත් පෝස්ටුව ලිවිල්ල පටන් ගන්න කලින් fb එක පැත්තෙ ගියා. විශ්ලේෂණ- විග්‍රහ- පුරෝකථන ගොඩාරියයි. පැය එකහමාරක් තිස්සේ ඒවා කියෙව්වා. අපරාදෙනෙ- මේ posts ගොඩක් නිකංම යට යන්නෙ... ඒ ඉතිං fb එකේ හැටි නෙව.

ඒත් අප්පා, අද මං කියවපු postsවලින් හතරක් හොඳටම හිතට ඇල්ලුවා. අවුරුදු නිවාඩු දවස් ටිකේ ඔයාලට එව්වා කියවන්න දුන්නා නං හොඳයි කියලත් හිතුණා. එහෙම කළාම මටත් පොඩි නිවාඩුවක් ගත්තැකි ‘අනෝදා මල්’ කැවිල්ල හදල බලන්න.
(අනෝදා මල් ටිකක් හදල බලන්න හිතට ආවේ ටික දවසකට කලින්.)

එහෙනං මෙන්න අර posts හතර.

උපුටන අංක 1: ලෝක නාඩිය - Loka Nadiya සමූහයෙන්.

🔴ඊශ්රායලයම අඳුරේ ගිල්වන රුසියාවේ මාරාන්තික රහසක් යුක්රේනයෙන් එළියට: ඉරානය අතට පත් වූ බිහිසුණු ලැයිස්තුව! 🇷🇺⚡🇮🇱

මැදපෙරදිග යුද ගිනිදැල් අහස උසට නැඟෙද්දී, මුළු ලෝකයම කම්පනයට පත් කරන අතිශය රහසිගත හෙළිදරව්වක් යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි විසින් ඊයේ (අප්රේල් පස්වනදා) ලෝකයටම අනාවරණය කර තිබෙනවා. ඒ, ඊශ්රායලය මුළුමනින්ම අඩපණ කිරීම සඳහා රුසියාව විසින් ඉරානය වෙත ලබා දී ඇති අතිශය භයානක ඔත්තු බැලීමේ දත්ත ලැයිස්තුවක් පිළිබඳවයි.

රුසියාව විසින් ඊශ්රායලයේ ප්රධානතම බලශක්ති මධ්යස්ථාන සහ යටිතල පහසුකම් පනහකට අධික ප්රමාණයක අතිශය නිවැරදි චන්ද්රිකා දත්ත...

ජීව නාඩිය සිඳලන චන්ද්රිකා දත්ත! 🛰️🎯

සෙලෙන්ස්කි පෙන්වා දෙන ආකාරයට, රුසියාව විසින් ඊශ්රායලයේ ප්රධානතම බලශක්ති මධ්යස්ථාන සහ යටිතල පහසුකම් පනහකට අධික ප්රමාණයක අතිශය නිවැරදි චන්ද්රිකා දත්ත ඉරානයට ලබා දී අවසන්. මෙහි ඇති බිහිසුණුම කාරණය වන්නේ, මෙම ඉලක්ක කිසිවක් හමුදා කඳවුරු නොවීමයි! ඒවා හුදෙක් සාමාන්ය ජනතාවගේ ජීව නාඩිය බඳු වූ රෝහල්, ජල සැපයුම් පද්ධති, දැවැන්ත විදුලි බලාගාර සහ ප්රධාන සන්නිවේදන මධ්යස්ථානයි. ඉරානයේ අරමුණ වී ඇත්තේ ඊශ්රායල හමුදාවට පහර දෙනවාට වඩා, එරට සිවිල් ජනජීවිතය සම්පූර්ණයෙන්ම අඩපණ කර මුළු රටම අඳුරේ ගිල්වා දැමීමයි.

යුක්රේන අත්දැකීම් ඉරානයට මාරු වෙයි! 🇺🇦💔

යුක්රේනය අඳුරේ ගිල්වීම සඳහා රුසියාව පසුගිය කාලය පුරාවටම සාර්ථකව භාවිතා කළේ මෙම අමානුෂික උපක්රමයයි. "අපේ විදුලි සහ ජල පද්ධති විනාශ කරමින් ජනතාව පීඩාවට පත් කළ රුසියානු ප්රහාරවල අඳුරු මතකය මේ හරහා යළිත් සිහිපත් වෙනවා," යනුවෙන් පවසන සෙලෙන්ස්කි, රුසියාව යුක්රේනය තුළදී ලබාගත් ජාතික යටිතල පහසුකම් විනාශ කිරීමේ ඒ කෲර අත්දැකීම් සහ යුද උපක්රම සියල්ල මේ වන විට ඉරානය වෙත මාරු කරමින් සිටින බවට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. මොස්කව් සහ ටෙහෙරානය අතර ගොඩනැඟෙමින් පවතින මේ දැවැන්ත මිලිටරි සන්ධානය කලාපයටම මහා තර්ජනයකි.

ඇමෙරිකාවට දැමූ රහසිගත තර්ජනය 🤫🇺🇸

මීටත් වඩා පුදුම සහගත කරුණ වන්නේ මීට පෙර රුසියාව ඇමෙරිකාවට ඉදිරිපත් කර ඇති රහසිගත ගනුදෙනුවයි. ජාත්යන්තර මාධ්ය වාර්තා කරන ආකාරයට රුසියාව ඇමෙරිකාවට දන්වා ඇත්තේ, "ඔබ යුක්රේනයට ඔත්තු දීම නැවැත්වුවහොත්, අපි ඉරානයට ඔත්තු දීම නතර කරනවා" කියායි. ඇමෙරිකානු ජනාධිපති ට්රම්ප් මීට සති කිහිපයකට පෙර මෙම ඔත්තු හුවමාරුව "එතරම් ගණන් ගත යුතු දෙයක් නොවන" බව පවසා එය හෑල්ලුවට ලක් කළද, මේ වන විට ඉරාන ප්රහාර සෘජුවම ඊශ්රායලයේ සිවිල් ඉලක්ක වෙත එල්ල වෙමින් පවතින පසුබිමක, ලෝක බලවතුන් අතර සිදුවන මේ භයානක බල අරගලය තවදුරටත් නොසලකා හැරිය නොහැකි බව ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

*    රුසියාවේ සහ ඉරානයේ මේ භයානක යුද සන්ධානය හමුවේ ඊශ්රායලය අඳුරේ ගිලී යාවිද? මහා බලවතුන්ගේ මේ අදිසි යුද්ධය ගැන ඔබ මොකද හිතන්නේ?

ලෝක සිතියම උඩ දිගහැරෙන අවසන් චෙස් ගේම!

මේ තියෙන්නේ ඒ post එකට මං වහන්සේ දක්වපු ප්‍රතිචාරේ:

තහවුරු කර ගන්න තම-තමනගෙ        බලය
නොපනත්කම් කෙරෙයි- අද වැඩියෙන්  වැඩිය
මොනවා කළත් ජීවත් වෙන්නේ             ටිකය
මරු ආවාම යන්නට වෙයි- එය              තිරය!

උපුටන අංක 2: Malimawa_Compass සමූහයෙන්.

🚨ඇමරිකාව එකවර කෑලි 3කට කඩන 'යක්ෂයාගේ ත්රිකෝණය'! 🇺🇸⚔️🇷🇺🇨🇳🇮🇷

ලෝක සිතියම උඩ දිගහැරෙන අවසන් චෙස් ගේම!

අපි පොඩ්ඩක් ලෝක සිතියම දිගෑරලා බලමු. මේක හරියට මහා චෙස් ගේමක් වගේ. සුදු පාට රජා තමයි ඇමරිකාව. හැබැයි හොඳට බලන්න, කළු පාට ඉත්තෝ ටික රජාව වට කරගෙන ඉවරයි!

ලෝකයේ කිසිම දවසක පරද්දන්න බැහැයි කියලා හිතන් හිටපු ඇමරිකානු හමුදාව, අද වෙද්දී ලෝකය පුරාම එකවර යුධ පෙරමුණු 3ක හිර කරලා, ලෝක බලවතාට හුස්ම ගන්නවත් ඉඩ නොදී විනාශ කරන තුන්වෙනි ලෝක යුද්ධයේ රහස් සිතියම මෙන්න:

💣01. යුක්රේනයේ 'මස් අඹරන යන්ත්රය' (The Russian Meat Grinder)

මුලින්ම ඇමරිකාව හිතුවේ යුක්රේනය ඉස්සරහට දාලා රුසියාව වට්ටන්න පුළුවන් කියලා. තමන්ගේ ආයුධ ගබඩා ඔක්කොම හිස් කරලා ඩොලර් බිලියන ගණන් යුක්රේනයට යැව්වා. හැබැයි ව්ලැදිමීර් පුටින් ගැහුවේ වෙනමම ගේමක්. ඔහු යුද්ධය ඇදලා ඇදලා ඇමරිකාවේ ආයුධ තොග ඔක්කොම දිය කරලා දැම්මා. අද යුක්රේනය විනාශයි, ඇමරිකාවට සල්ලිත් නැහැ, ආයුධත් නැහැ. ඔවුන් යුරෝපයේ නිකන්ම හිර වුණා.

🔥02. මැදපෙරදිග ඉරාන ගිනිදැල්

ඇමරිකාව යුක්රේනයේ හිරවෙලා ඉද්දීම, ඉරානය තමන්ගේ රහස් ප්ලෑන් එක ක්රියාත්මක කළා. හමාස්, හිස්බුල්ලා සහ හූති කැරලිකරුවන් හරහා ඊශ්රායලයට සහ රතු මුහුදට ගහන්න පටන් ගත්තා. මේ නිසා ඇමරිකාවට සිද්ධ වුණා යුක්රේනය පැත්තකට දාලා තමන්ගේ යුධ නැව් ටික මැදපෙරදිගට යවන්න. ඉරානය මේ කරන්නේ ඇමරිකාවට කෙලින්ම ගහන්නේ නැතුව, තැන් තැන්වල යුද්ධ හදලා ඇමරිකන් හමුදාව ලෝකෙ වටේම රස්තියාදු කරන එකයි!

🐉03. චීනය දෙන මාරාන්තික අවසන් පහර (The Taiwan Masterstroke)

මේ ඔක්කොම වෙනකම් චීනයේ ෂී ජින්පිං බලන් ඉන්නේ කට කොනකින් හිනාවෙවී. ඇමරිකාවේ යුධ නැව්, ආයුධ සහ සල්ලි සම්පූර්ණයෙන්ම යුරෝපයටයි මැදපෙරදිගටයි බෙදිලා ගියාට පස්සේ, ඇමරිකාවට හුස්ම ගන්නවත් වෙලාවක් නැති මොහොතක චීනය එකපාරටම තායිවානය ආක්රමණය කළොත් මොකද වෙන්නේ? එදාට ඇමරිකාවට තායිවානය බේරගන්න යවන්න එක උණ්ඩයක්වත්, එක නැවක්වත් ඉතුරු වෙලා නැහැ!

ලක්ෂ ගණනක් ඉරාන ජනතාව බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය සහ සියලු බලාගාර, පාලම් අසල දේශාභිමාන ගී ගයමින් රැය පහන් කරා...

🚫04. ආර්ථික සම්බාධක ආපසු කැරකීම

යුද්ධයෙන් පරද්දන්න බැරි තැන ඇමරිකාව රුසියාවටයි ඉරානයටයි ආර්ථික සම්බාධක දැම්මා. හැබැයි වුණේ හිතපු නැති දෙයක්. ඒ සම්බාධක නිසා රුසියාව, චීනය සහ ඉරානය තවත් එකමුතු වුණා. ඔවුන් ඩොලරය අතහැරලා තමන් අතරේ වෙළඳාම් කරන්න පටන් ගත්තා. අන්තිමට සම්බාධකවලින් වැටුණේ රුසියාව නෙමෙයි, යුරෝපයේ සහ ඇමරිකාවේ ආර්ථිකයයි.

🌍05. මුළු අප්රිකාවම සහ දකුණු ඇමරිකාවම පිටුපෑම

දශක ගණනාවක් ඇමරිකාවට යටත් වෙලා හිටපු අප්රිකානු රටවල් (නයිජර්, මාලි වගේ) දැන් ඇමරිකන් හමුදා තමන්ගේ රටවල්වලින් එළවලා දානවා. ඔවුන් දැන් එකතු වෙන්නේ රුසියාවත් එක්කයි. ලෝක සිතියමේ දකුණු අර්ධගෝලයම (Global South) අද ඇමරිකාවට විරුද්ධව නැගී හිටලා ඉවරයි.

යථාර්ථය මේකයි.

වෘකයෝ රංචුවක් එකතුවෙලා දැවැන්ත ඇතෙක්ව වට කරලා බිම දානවා වගේ, අද රුසියාව, චීනය සහ ඉරානය එකතුවෙලා ඇමරිකාව කියන දැවැන්තයාව බිම දාමින් ඉන්නවා.

ලෝක ඉතිහාසයේ දැවැන්තම අධිරාජ්යය වුණු රෝම අධිරාජ්යය කඩාවැටුණා වගේම, ඇමරිකන් අධිරාජ්යයත් අපේ ඇස් ඉස්සරහම කඩාවැටෙයිද?’

ඒ post එකටත් මං කවියකින් comment කළා.

පසේ බුදු කෙනෙකු එක්කල තද  තරහෙන්
එතුමන් මරන්නට උසි ගන්වා         බල්ලන්
දඩ වැද්දෙක් නැසුණු වග යළි කියා  දෙමින්
මහ බලවතා යන විදිහයි දැන් හොම්බෙන්

මෙහෙම posts කියෙව්වත්- එව්වගේ  තියෙන හැම අදහසක් එක්කම මං එකඟ වෙන්නෑ කියලත් කියන්නම ඕනේ. ඒත් ඒවා ගැන හිතල බලන්න වටිනවා වගෙයි.

උපුටන අංක 3: Green Project Api සමූහයෙන්. ලියලා තිබුණේ සංජය ප්‍රදීප්.

🔴ඔබ දන්නවාද ඊයේ ලක්ෂ ගණනක් ඉරාන ජනතාව බුෂෙහර් න්යෂ්ටික බලාගාරය සහ සියලු බලාගාර, පාලම් අසල දේශාභිමාන ගී ගයමින් රැය පහන් කරා කියලා. මේක ලෝකයේ සියලුම මාධ්ය ඉතා ඉහලින් වාර්තා කරා. පැය කිහිපයකින් සමස්ත ශිෂ්ටාචාරයම විනාශ කරන බවට ලොව බලවත්ම රටේ නායකයා ප්රකාශ කර තිබියදීත් ලොව භයානකම ප්රහාරක යානා ටොන් සියගණනක බෝම්බ රැගෙන තමන් දෙසට පැමිණෙන බව දැන දැනත් ඉරාන ජනතාව පෙන්නපු මේ නිර්භීතකම, නැගී සිටීම අදහාගත නොහැකි බව ඔවුන් වාර්තා කරා.

මේ වෙද්දි ඉරානයේ කොන්දේසි 10කින් යුත් යෝජනාවලිය අමරිකාව සලකලා බලනවා කියලා ප්රකාශ කරලා තියෙනවා. ඒකේ එක කොන්දේසියක් තමයි සමස්ත මැදපෙරදිග කලාපයෙන්ම අමරිකානු හමුදා ඉවත් කර ගැනීම. ඒ වගේම ඉරානයට උණ හානියට වන්දි ගෙවීම. ඒ යෝජනාවලට එකඟ උනොත් විතරයි මේ සටන් විරාම සති 2න් පස්සේ යුද්ධය අවසන් කරන්න එකඟ වෙන්නේ කියලා ඉරානය පවසන්නේ.

බයික් එකක එන්ජින් එකක් ස්ටාර්ට් කරන සද්දෙට කිලියන්ගේ මූණට පුදුම හිනාවක් ආවා.

ඒ වගේම මේ වන විට අමරිකානු සෙනට් සභාව අතිශය උණුසුම් වෙලා තියෙනවා. ඊයේ ජනපතිවරයා ඉරාන ශිෂ්ඨාචාරය අවසන් කරනවා කිව්ව ප්රකාශය තම රට අතිශය නින්දා සහගත තත්වයකට පත් කල බවත් වහාම 25 වන ආණ්ඩුක්රම ව්යවස්ථාව කැඳවා ඔහුව සියලු බලතලවලින් ඉවත් කල යුතු බවත් සෙනට් සභිකයන් රැසක් සමාජ මාධ්යවල සටහන් තියලා තියෙනවා. මේ වෙද්දිත් ඒ වෙනුවෙන් විශේෂ සාකච්ඡා රැසක් පැවැත්වෙනවා. ඒ වගේම නියත වශයෙන්ම ධූර කාලයෙන් පසු ලෝක යුද අපරාධ අධිකරණයට ඔහු කැඳවීමට ඒ ප්රකාශය ප්රමාණවත් කියලා නීතිවේදීන් ප්රකාශ කරලා තියෙනවා.

මේ තියෙන තත්වේ එක්ක අවසානයේ වෙනවා කියලා පේන්නේ මැදපෙරදිග සියලු බටහිර කඳවුරු ඉවත් වෙන එක, ඉරානයට වන්දි ලැබෙන එක, හෝමූස් සන්ධියේ යන නැව්වලින් ගාස්තුවක් ඉරානයට ලැබෙන එක. තව සමහර විට ලෝක බලවතෙක්ට තමන්ගේ පුටුව නැති වෙන්නත් ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම මේ යුද්ධය නිසා අරගලවලින් බෙදුන ඉරානයේ මිනිස්සු සියල්ල එකට එකතු වෙලා තියෙනවා.

ඉතින් මිත්රවරුනේ, ලෝකය පුරා මාධ්ය ආයතන හා විශ්ලේෂකයන් මේ මොහොතේ වාර්තා කරනවා වගේම මටත් කියන්න තියෙන්නේ මහා අධිරාජ්යන් 3ක් පරාජය කරා වගේම ඉරානයේ ජනතාව තවත් මහා අධිරාජ්යයෙක්ට කටඋත්තරත් නැති කරා කියලා තමයි.’

මෙන්න ඒ post එකට මගෙන් ලියැවුණු කවි කමෙන්ටුව:

ඕනිම අවියකට වැඩියෙන්     බලවත්ම
අවියකි මිනිසුනගෙ එක්වී  පෙළගැසුම
අනේ නිවේවා හිත්වල ගිනි       ගැනුම
ලොව සංසිඳී නිම වේවා යුද      ගැටුම!

උපුටන අංක 4: අමුතු සමූහයේ පළවී තිබ්බේ.

🏍️ලියුකේමියාව වැළඳුන පුතාගේ අවසන් කැමැත්ත ෆේස්බුක් දාපු තාත්තාට සිදුවන අදහාගන්න බැරි සිදුවීම

"තාත්තේ... මට බයික් එකක සද්දයක් අහන්න ආසයි.."

අමුතු මිතුරනි, මේක පුංචි කිලියන්ගේ (Kilian Sass) අවසන් ඉල්ලීම වෙන්න ඇති කියලා කවුරුත් හිතුවේ නැහැ. කිලියන් කියන්නේ වයස අවුරුදු හයක හරිම හුරතල්, ඒත් හරිම අවාසනාවන්ත දරුවෙක්. ඔහු හිටියේ ලියුකේමියා (Leukemia) රෝගය එක්ක මාරාන්තික සටනක. රසායනික චිකිත්සාවන්, ඉන්ජෙක්ෂන් කටු, රෝහල් කාමර මැද කිලියන්ගේ ළමා කාලය දියවෙලා යද්දී, ඔහු ජීවත් කරවපු එකම හීනය වුණේ යතුරුපැදි.

බයික් එකක එන්ජින් එකක් ස්ටාර්ට් කරන සද්දෙට කිලියන්ගේ මූණට පුදුම හිනාවක් ආවා. ඒ වේගය, ඒ සද්දය ඔහුට තමන්ගේ අසනීපය මොහොතකට අමතක කරවන්න සමත් වුණා.

පැය කිහිපයක් තිස්සේ නොකඩවා මේ බයික් පෙළපාලිය කිලියන්ගේ ගේ ඉදිරිපිටින් ගියා. හැම බයිකර් කෙනෙක්ම කිලියන්ගේ කාමරේ ජනේලය දෙස බලලා අත වැනුවා...

💔කිලියන්ගේ තත්ත්වය දවසින් දවස නරක අතට හැරුණා. ඔහුට ඇවිදින්න බැරි වුණා. එළියට ගිහින් පාරේ යන බයික් එකක් දිහා බලන්නවත් ශක්තියක් ඔහුට ඉතුරු වෙලා තිබුණේ නැහැ. තමන්ගේ එකම පුතා ඇස් පනාපිටම මියැදෙනවා බලන් ඉන්න වුණු තාත්තාගේ හිත කොච්චර නම් පිච්චෙන්න ඇතිද?

මගේ පුතා වෙනුවෙන් මට කරන්න පුළුවන් මොනවද? කිලියන්ගේ තාත්තා තමන්ගෙන්ම අහගත්තා.

ඔහු ෆේස්බුක් එකේ පොඩි පෝස්ට් එකක් දැම්මා. "මගේ පුතා කිලියන් බයික්වලට හරිම ආසයි. එයා ඉන්නේ අවසාන මොහොතේ. ඔයාලට පුළුවන්ද කිලියන්ගේ ගේ ඉදිරිපිටින් බයික් එකක් පදවගෙන යන්න..? එයාට ඒ සද්දේ අහන්න තිබුණොත් ඒක ලොකු සතුටක් වේවි..."

ඔහු බලාපොරොත්තු වුණේ ඔහුගේ යාළුවෝ 20ක් 30ක් විතර බයික්වලින් එයි කියලා. ඒත් අමුතු මිතුරනි සිද්ධ වුණේ හිතාගන්නවත් බැරි දෙයක්..

🌪️කිලියන් වෙනුවෙන් Noise for Kilian කියන පණිවිඩය ලැව්ගින්නක් වගේ ජර්මනිය පුරා විතරක් නෙවෙයි, යුරෝපය පුරාම පැතිරුණා. මේ පණිවිඩය දකින දකින හැම බයිකර් කෙනෙක්ගෙම හදවත ගැහෙන්න ගත්තා.

2021 ජූලි 24 වෙනිදා...

රෝඩර්ෆෙන් නගරය එදා වෙනදා වගේ නෙවෙයි. නගරයට ඇතුළු වෙන හැම පාරක්ම යතුරුපැදිවලින් පිරිලා. කිලියන්ගේ තාත්තා 30ක් බලාපොරොත්තු වුණු තැනට, දහස් ගණනක් නෙවෙයි, පහළොස් දහසකට (15,000+) අධික යතුරුපැදි ප්රමාණයක් ගලාගෙන ආවා...

කළු ජැකට් දාගත්ත, පච්ච කොටපු, දැවැන්ත බයික් පදින, රළු පෙනුමක් තියෙන බයිකර්ස්ලා දහස් ගණනක් තමන්ගේ වැඩ අතෑරලා කිලියන් වෙනුවෙන් ආවා. සමහරු කිලෝමීටර් සිය ගණනක් දුර පදවාගෙන ආවේ ඒ පුංචි දරුවාගේ හීනය සැබෑ කරන්න.

🔊කිලියන් හිටියේ එයාගේ කාමරේ ඇඳ උඩ. එයාට එළියට එන්න පණ තිබුණේ නැහැ. ඒත් එක පාරටම මුළු නගරයම හෙල්ලෙන තරම් සද්දයක් ඇහෙන්න ගත්තා. දහස් ගණනක් බයික්වල එන්ජින් එකම වෙලාවක ගර්ජනා කරද්දී, කිලියන්ගේ මූණේ ඇතිවුණු ඒ ආලෝකය වචනයෙන් විස්තර කරන්න බැහැ.

පැය කිහිපයක් තිස්සේ නොකඩවා මේ බයික් පෙළපාලිය කිලියන්ගේ ගේ ඉදිරිපිටින් ගියා. හැම බයිකර් කෙනෙක්ම කිලියන්ගේ කාමරේ ජනේලය දෙස බලලා අත වැනුවා. තමන්ගේ ජීවිතේ අවසන් සටන සටන් කරමින් හිටපු ඒ පුංචි වීරයා වෙනුවෙන් "අපි ඔයා එක්ක ඉන්නවා" කියලා ඔවුන් නිහඬවම කිව්වා.

*    ඒ මහා බයික් පෙළපාලියෙන් මාසයකට විතර පස්සේ, කිලියන් මේ ලෝකෙන් සමුගත්තා. ඔහු මියගියේ තනිකමෙන් නෙවෙයි. දහස් ගණනකගේ ආදරය, ගෞරවය මැද.

උදා වේවා ලෝක සාමය!

ඔහුගේ අවමංගල්ය උත්සවය දවසෙත් බයිකර්ස්ලා විශාල ගණනක් ආවා. ඔවුන් කිලියන්ගේ දේහය රැගත් රථය පිටුපසින් නිහඬවම ගමන් කළා. ඒක හරියට සැබෑ ලෝකයේ සුපිරි වීරයෙක්ට ලබා දෙන අවසන් ගෞරවය වගේ.

💡අමුතු මිතුරනි අද කාලේ සෝෂල් මීඩියා කියන්නේ නරක තැනක් කියලා හුඟක් අය කියනවා. ඒත් කිලියන්ගේ කතාවෙන් පේන්නේ හරි විදියට පාවිච්චි කළොත් සෝෂල් මීඩියා හරහා ලෝකයම එකතු කරන්න පුළුවන් කියන එකයි.

කිලියන්ගේ තාත්තා ඉල්ලුවේ පොඩි උදව්වක්. ඒත් ඒක මහා මානුෂීය මෙහෙයුමක් වුණා.

මිනිස්සුන්ගේ බාහිර පෙනුමෙන් ඔවුන්ව මනින්න එපා. කළු ජැකට් දාපු, රළු බයිකර්ස්ලා ඇතුළේ තිබුණේ මහා මෘදු, සංවේදී හදවත්.

අපි හැමෝම කවදා හරි මැරෙනවා. ඒත් මැරෙන්න කලින් කෙනෙක්ගේ හිතට පුංචි හරි සතුටක් දෙන්න පුළුවන් නම්, ඒක තමයි මේ ලෝකේ කරන්න පුළුවන් ලොකුම පින.

කිලියන් අද අප අතර නැහැ. ඒත් රෝඩර්ෆෙන් වීදිවල අදටත් බයික් එකක් යනකොට ඒ හඬ ඇතුළේ කිලියන්ගේ හිනාව තියෙනවා කියලා එහේ මිනිස්සු විශ්වාස කරනවා.

ආදරය කියන්නේ සීමා මායිම් නැති දෙයක්. ඒක ජාති, ආගම්, රටවල්වලට වඩා හුඟක් ඉහළින් තියෙන දෙයක්.

ඔබත් අද දවසේ පුළුවන් නම් කාගේ හරි මූණට හිනාවක් ගේන්න උත්සාහ කරන්න. 🕊️🏍️

ඔයාලා දන්නවද, මට ඒ post එක කියවලා ඉවර කරන්න සෑහෙන වෙලාවක් ගියා. එහෙම වුණේ ඇයි කියලා මං යැවූ කවි comment එකේ පළමුවෙනි පද දෙකෙන් ලියැවුණේ නොදැනුවත්වම වගෙයි.
සත්තයි, මේ දැන් මේ ලිපිය සකස් කරන වෙලාවෙත් ඒ වැඩේම වුණා. (සමහරවිට නිමල් දිසානායකගේ ඇස්වල තියෙන කඳුළු ග්‍රන්ථිවල වැරැද්දක් වෙන්නැති!) ඒ කවියත් මෙතනට දාලා ඉන්නංකො.

නෙත් තෙත් වුණා කියවද්දී         පෝස්ටුව
තවමත් ගලයි කඳුළැලි ගඟ අඩු       නැතුව
මෙහෙව් ළතෙත් ඇත්තන් හිඳින මෙලොව
උපදියි මිනිසුනුත් යුද්දෙට රිසි          ඇතිව

Comment කවියේ තුන්වෙනි හතරවෙනි පේළිවලින් මමම කියපු දේ ගැනයි මං තවමත් කල්පනා කරන්නේ... ඒ 'යුද රිස්ස' නිසා නේද මේ යුවාන් - ඩොලර් හුටපට කන්දරාවක් සිද්ද වෙවී, ලෝකවාසීන්ගෙ ඔලු උඩට මේ තරං මරාල ගොඩක් කඩා වැටිලා තියෙන්නේ...

ඒත් එක්කම කල්පනා වෙනව මේ post එක publish කෙරෙන්නේ අලුත් අවුරුදු දවසේ නේද කියලත්. එහෙම කල්පනා වුණත් ආදරණීය පාඨක ඔයාලට ‘සුබ අලුත් අවුරුද්දකට සුබ පැතුම්’ කියලා ප්‍රාර්ථනා කරන්න හිත දෙන්නෑ. ඒ වෙනුවට මං අහලා තියෙන; මං ඉතා කැමති කවියක අවසන් පද දෙක මෙතැනට යොදනවා ‘අවුරුදු පැතුම’ වශයෙන්.

............... දුරුව බලකාමය
උදා වේවා ලෝක සාමය෴0෴