“ආයෙ මොකටද හංගන්නේ? මට දැනගන්න ඕනි ඔයාලගේ සාම ජාතකේ වගේ ලස්සන නාට්ටියක් මහරගම ටවුමේදී පෙන්නන්න කීයක් විතර යයිද කියලා...”
![]() |
නාට්ටියක් නටවන්න තමයි හදන්නේ. හැබැයි නාට්ටිය නටවන්නේ මම නෙවෙයි,
මෙයා! |
“මම දන්නවා නිමල් මල්ලී, අනුන්ගෙ අතින් යනවා නං
සමහරු එහෙමයිනෙ. කොහා මහත්තයත් ඊයේ පෙරේදා ඔයාට එහෙම කැත වැඩක් කෙරුවේ...
ඒ ගැන නං කතා කරල වැඩක් නෑ මල්ලි. අපි මෙන්න මේ
කෙරෙන වැඩක් ගැන කතා කරමු...”
“ඔව් රංජි මල්ලී, එහෙම දේවල් ගැන හිතන්න හිතන්න
අපේ ඇඟේ ලේනෙ පිච්චෙන්නේ!” සරතුත් කිව්වා. “ඉතිං- කළු අක්කා නාට්‍යයකට යන වියදම
හොයාගෙන නාට්‍යයක් නටවන්නද හදන්නේ?”
“ඔව්, ඔව්... සරත් මල්ලී. නාට්ටියක් නටවන්න තමයි
හදන්නේ. හැබැයි නාට්ටිය නටවන්නේ මම නෙවෙයි, මෙයා!” කළු අක්කා හිනා වෙවී සරත්ට
පෙන්නුවේ මාවය.
“මේ මං? කවුද කිව්වේ මම ආයෙමත් නාට්‍යයක් කරන්න
ලෑස්තියි කියලා?”
“තවම කවුරුවත් එහෙම කියල නෑ තමයි. ඒත් මේ හදන්නේ ඔයාව එහෙම වැඩකට කැමති කරව
ගන්නයි.
මේ අහන්නකො නිමල් මල්ලී. ඔයා අතින් සල්ලි වියදම් කරලා ‘ප්‍රතිභා’ පෙන්නුවා. ඒ
වුණත් මෙච්චර සිංදු කියන්න පුළුවන් ඔයා ඒ ෂෝ එකේ එක සිංදුවක්වත් කිව්වද- නැහැනේ...”
ඒ කළු අක්කාගේ තක්සේරුවය. ඇයට අනුව නම් මාත් ගායකයෙකි.
ගැටවර කාලේ නං නිමල් දිසානායකයා හිතාගෙන උන්නෙත් තමන්ට ගීත ගායනා කරන්නට පුළුවන්ය කියලයි.
ගීත අහන්නට අහන්නට; සංගීතය පිළිබඳව උනන්දු වෙන්නට වෙන්නට මේ නිමලයාගේ ඒ හැඟීම වෙනස්
වුණේය.
“කළු අක්කේ, ඔයාලට තමයි පේන්නේ මට සිංදු කියන්න පුළුවන්ය කියලා. ඒක නං හරියටම හරි.
මට පුළුවන් සිංදු කියන්න. හැබැයි, සිංදු තියෙන්නේ කියන්න නෙවෙයි- ගායනා කරන්නනේ...
මට සිංදු ගායනා කරන්න නං බෑ!”
මං එහෙම කිව්වම කළු අක්කා හැරුණේ සරත් රංචාගොඩගෙ
පැත්තටයි. “සරත් මල්ලිටවත් තේරෙනවද මෙයා කියන මේ අප්‍රබංසේ? සිංදු කියන්න පුළුවන්ලු
කියන ගමන්ම නිමල් මල්ලී කියනවා එයාට සිංදු ගායනා කරන්න බැරිලු කියලා...”
“කළු අක්කේ, ඔය ප්‍රශ්නේ මගෙන් අහනවට වැඩිය හොඳයි මෙයාගෙන්ම අහන එක... මට බැහැනෙ
මෙයා තරංවත් සිංදු කියන්න.”
![]() |
ජෝතිපාල කියන්නෙත් ඉපදෙනකොටම එහෙම වාසනාවක් ලැබුණු පිංකාරයෙක්...
සංසාර පුරුද්දකින් වෙන්නැති එයාට මෙච්චර හොඳට ගායන හැකියාවත් පිහිටලා තියෙන්නේ... |
සිංදු කියනවා නං ඒකත් ඒ ගීයේ තාලයට අනුව; තනුවට අනුව කිව යුතුය. සමහරුන්ට ඒ ටික කර
ගන්නට හැකිය. ඒත් සිංදුවක් ගයන විට ‘ශ්රුතියෙහි පිහිටා’; භාවයන් දනවන ලෙසින් ගයන්නට වෙයි. එතකොටය ගීයේ
මිහිර මැවෙන්නේ... (වර්තමාන කාලයේ නම්, ඒ ගැන මදි නොකියන්නට තරං කරුණු දැන ගන්නට ඇහැකි
විදිහක් තිබෙයි... රූපවාහිනී නාලිකාවල විකාශ කෙරෙන රියැලිටි ගායන තරග නැරඹීම...
විශේෂයෙන්ම, ඒවායේ විනිශ්චය මණ්ඩල සාමාජිකයන් දක්වන අදහස්වලට සවන් දීම...)
“අපිත් සිංදු කියනවා තමයි. හැබැයි කළු අක්කේ,
සමහර වෙලාවට ශ්රුතියෙන් පිට පනිනවා. කට්ටිය බීලා ඉන්න වෙලාවක; බස් එකක ට්‍රිප්
එකක් යන වෙලාවක කව්ද ඔව්වා හොයන්නෙ? අන්න එහෙම වෙලාවට තමයි අපි වගේ අය ගායකයෝ
වෙන්නේ.”
“බුදු අම්මෝ, අපි ඔව්වා දන්නේ කොහොමද නිමල් මල්ලී... අපට නං ඔයා මරු ගායකයෙක්...”
“ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්ලුනේ කළු අක්කේ.”
“එතකොට රංජි මල්ලී, ඔය ඔක්කොම දන්න- පට්ටං ගහපු
ඔස්තාද්ල, සංගීත විශාරදලා කොච්චර ඉන්නවද සිංදු කියන... එයාලගේ සිංදු අපිට අල්ලන්නෙ
නැහැනෙ... තව එකක්... ලංකාවටම අල්ලලා යන්න සිංදු කියන ජෝතිපාල මහත්තයත් සංගීතේ
ඉගෙන ගත්තු කෙනෙක් නෙවෙයි කියලත් කියන්නේ...”
“මේකයිනේ සරත්... සංගීතේ ඉගෙන ගැනිල්ල වෙනයි. ගායනා කෙරිල්ල වෙනයි.
කෙනෙකුට උත්පත්තියෙන්ම පිහිටන කටහඬ වෙනයි. බොහොම ටික දෙනෙකුට විතරයි එහෙම හිතට
වදින මිහිරි කටහඬක් පිහිටන්නේ. ජෝතිපාල කියන්නෙත් ඉපදෙනකොටම එහෙම වාසනාවක් ලැබුණු පිංකාරයෙක්...
සංසාර පුරුද්දකින් වෙන්නැති එයාට මෙච්චර හොඳට ගායන හැකියාවත් පිහිටලා තියෙන්නේ..”
“මේ මේ... ඔයාල දෙන්නගෙ ඔය සංගීත ජාතකේ ඉතිරි
හරිය වෙන වෙලාවක කතා කර ගන්නවලා...” කළු අක්කා අපේ සංවාදය මැද්දට පැන්නේ කඩාකප්පල්කාරී
විදිහට. “... මට තව දවස් තුන-හතරකට කැන්ටිමට එන්න හම්බවෙන එකක් නෑ. මේ කාරණාව අදම
කතා කරලා ඉවරයක් කර ගන්න ඕනි, ඒ හින්දයි.”
එහෙම කියලා කළු අක්කා හරි-බරි ගැහුණාය. මෙහෙමත් කිව්වාය.
“නිමල් මල්ලී... මට නං මේ නාට්ටියේදී ඔයා සිංදු
කිව්වත් එකයි- නොකිව්වත් එකයි. හැබැයි මේ නාට්ටියේ ඔයාත් ඉන්න ඕනේ. ඉන්නව විතරක්
නෙවෙයි- කෙල්ලට රඟපාන්නත් ඕනේ; ඉස්සර ඔයාලා කරපු නාට්ටිවල වගේම ලස්සනම ලස්සන
ඩාන්ස් එකකුත් දාන්න ඕනේ...
සැමී අයියගේ බෑණා; අසෝකවත් නාට්ටියේ කොටසකට ගන්නත් ඕනි. එච්චරයි...”
![]() |
කළු අක්කාගේ වැඩුමල් දියණිය සෝමලතා විවාහ වුණු දවසේ... |
“හෝව්... හෝව් කළු අක්කේ. එතකොට අපි වගේ පරණ කට්ටියට මොකද වෙන්නේ? අපිව මේ නාට්‍යයට ගන්න එපා කියලද ඔයා කියන්නේ? අනේ, එහෙම කරන්න එපා... හැත්තෑතුනේ සිංහබාහුට රඟපෑවාට පස්සේ මට chance එකක් හම්බ වුණෙම නෑ. මටත් හරිම ආසයි, මැරෙන්න කලින් තව එක පාරක් හරි stage එකකට නඟින්න.”
“යකඩෝ... මේ ඔක්කොම කතා කරන්න කලින් හොයන්න
එපැයි අපට නාට්‍යයක් කරන්න සල්ලි කොහෙන්ද කියලා. ආධාර එකතු කරන වැඩේ නං කීයටවත්
කරන්න බෑ... මට හිතෙන විදිහට දැන් නාට්‍යයක් කරන්න අඩුම ගණනේ රුපියල් දහදාහක්වත්
යයි...”
“අයියෝ... දහදාහද? මං හිතාගෙන උන්නේ ඊට වැඩිය ලොකු ගාණක් යයි කියලා... ආධාර එකතු
කරන්න ඕනි නෑ නිමල් මල්ලී. එක්කෙනා රුපියල් දාහ ගණනේ දාන්න කැමති දහ දෙනෙක්ව හොයා
ගනිමු. එතකොට ඉවරයිනෙ. මගෙන් දාහක් දානවා. අසෝකත් රුපියල් දාහක් දායි... තව
අටදාහයි...”
“හරි! මාත් දාහක් දාන්නං.” මං කියලා ඉවර කරන්නටත්
කලින්ම සරතුත් ඉස්සර වුණා... “මගෙනුත් දාහක්!”
“පේනවනේ... දැනටම හාරදාහක් හරි. මම තව කීප දෙනෙකුටම කියන්නං... නිමල් මල්ලියි-
සරත් මල්ලියි දෙන්නමත් තව කීප දෙනෙක්ට කියල බලන්න. හරිනේ?”
“ඒ වුණාට අපි තව තුන් දෙනෙකුවත් කැමති වුණාට පස්සෙම
වැඩේට බහිමු නේද සරත්... මේක හරියට හම්බ වෙන්න ඉන්න ළමයෙකුට හඳහන ලියවනවා වගේනෙ...”
මං කිව්වේ මගේ මතයයි.
“මේකනේ රංජි මල්ලී... මං නම් සල්ලි දාන්නේ මටත්
තව සැරයක් නාට්‍යයක රඟපාන්න ආසා හින්දයි කියමුකො...” එතකොට සරත් කිව්වා. “...
අසෝකත් එහෙමයි. ඒ වුණාට මේ කළු අක්කත් රුපියල් දාහක්ම දාන්නං කිව්වේ එයාට හරි-
එයාගේ කාට හරිවත් රඟපාන්න ඕනි හින්දා නෙවෙයිනේ. ඔයා ආයෙමත් රඟපානවා බලන්න
ආසාවෙන්නේ.
ඒ වගේ නාට්‍යවලට කැමති; සල්ලි තියෙන තව හය දෙනයිනෙ අපිට හොයා ගන්න තියෙන්නේ...”
“අනෙක තමයි නිමල් මල්ලී, දැන් පමුණුවේ හැදීගෙන
එන අලුත් සල්ලිකාරයෝ... එහෙම අය පැනල ඇවිත් මේ වැඩේට උදව් කරයි. ඔයාට තියෙන්නේ නාට්ටිය
පටන් ගන්න ඉස්සෙල්ලා තඩි පොල්තෙල් පහනක් පත්තු කරන්න එයාලට ආරාධනා කරන්න විතරයි...”
“අම්මට සිරි! කවුද අක්කේ ඔය පමුණුවේ අලුත් සල්ලිකාරයෝ?”
![]() |
| අපේ බතික් වැඩපොළේ වැඩ කළ සියලුම දෙනා (මගේ ඉල්ලීම පරිදි) මට කතා කළේ ‘නිමල් අය්යා’ යන ආමන්ත්‍රණයෙනි. (ඉදිරි පේළියේ මැදින්ම සිටින්නේ මාත් ලොකු නංගි පුෂ්පාත්ය.) |
“අපේ ‘ඇට අට දෙන JR’ මහත්තයාගේ විවෘත ආර්ථිකේ හන්දා වෙන්නැති...”
පිරිසකට ‘නඟින කලාව’ වුණු ඒ විවෘත ආර්ථිකය අපේ
දීපානි බතික් එකට නං ‘බහින කලාව’ වුණු බව මෙතැනදී කියන්නට වෙයි.
“දාස මහත්තයලගෙ ඩියුරෝ රෙදියි; භූමිතෙල් ගඳ ගහන
චීත්ත රෙදියි විතරනෙ සරත් 77ට කලින් තිබ්බේ. දැන් එහෙමද... වයිවාරන්න රෙදි ජාති
පිරිලා... එව්වා බතික්වලට වැඩිය ලාබත් එක්ක. සුද්දොන්ට විතරක් විකුණන්න බලාගෙන
බතික් හදලා අපේ වගේ පුංචි වැඩපොළක් කරගෙන යන්න බෑනෙ...”
“එතෙන්දි නං නිමල් මල්ලී වැරැද්ද ඔයා අතේ. ඔයා කම්මැලියි... ඒ දවස්වල පමුණුවේ බතික්
ගෙදර කිව්වම කවුද නොදන්නේ? අපේ ලතාත් ඔයාලගෙ බතික් වැඩපොළට ආව හින්දනේ අපි වුණත්
අඳුරගත්තෙ... දැන් ඔයාට කරන්න තියෙන්නේ බතික් එක තියෙද්දීම හරි- නැත්තං වහලා දාල
හරි රෙදි බිස්නස් එකට අත ගහන්න... කම්මැලිකම පැත්තකට දාලා...”
(කළු අක්කා කිව්වේ ඇත්තය! ලතා යනුවෙන් කියැවුණේ
කළු අක්කාගේ වැඩිමල් දියණිය සෝමලතාටය. සෝමලතාගෙ නැඟණිය ඉන්ද්‍රානි වැඩිවිය පත්වුණු
විට කළු අක්කලා ජයටම ‘කොටහළු මඟුලක්’ කෑවෝහ. මාත් ආරාධිතයෙකු වුණු ඒ උත්සවයෙන්
පසුවය- මා ඒ පවුලේ හිතවතෙක් වුණේ. එච්චරකුත් නොවේ; කළු අක්කාගේ සහෝදර-සහෝදරියන්
සියලු දෙනා සහ ඒ පවුල්වල දරු-දැරියන් හැමෝගෙමත් හිතවතෙකු වුණේ.
එහෙම වීම නිසා තවත් දෙයකුත් සිද්ද වුණේය. අපේ බතික්
වැඩපොළේ වැඩ කළ සියලුම දෙනා (මගේ ඉල්ලීම පරිදි) මට කතා කළේ ‘නිමල් අය්යා’ යන
ආමන්ත්‍රණයෙනි. සෝමලතාත් එහෙමය. ලතාව අනුගමනය කළ ඇයගේ නංගි ඉන්ද්‍රානිත්, වික්ටර්
හා ජයා මල්ලිලාත් ‘නිමල් අයියා’ කියන ඇමතුමම මා වෙනුවෙන් තෝරා ගත්හ. ඒත් සෝමලතාගේ
දෙමාපියන්ට; එනම් සෝමේ අයියාට හා කළු අක්කාට මම නිමල් මල්ලී වීමි.
මරු නෑකම් කීමකි ඒ! තවත් මගේ සමීපතම පිරිස් කිහිපයක් සමඟිනුත් මේ පටලැවිල්ලම සිදු
වුණු හැටි තවමත් මට සිනා ගෙනෙයි.)
![]() |
සරස්වතී දේවින්නාන්සේ වැඩ ඉන්න තැනක ලක්ෂ්මී දේවින්නාන්සේට ඉන්න බෑ-
කියන කතාව... |
“එහෙනං ඔයා කොහොමද බතික් කළේ- අවුරුදු හත-අටක්ම... ඒකත් රෙදි බිස්නස් එකක්නෙ...”
“එක බතික් රෙද්දක් කියන්නේ එක නිර්මාණයක් කළු අක්කේ. එකම මෝස්තරයක් රෙදි තුනක් උඩ
ඇඳලා බතික් රෙදි තුනක් හැදුවත් ලබෙන්නේ එකකට එකක් වෙනස් නිර්මාණ තුනක්... ඒකයි
බතික් කලාවේ රහස...”
“කළු අක්කේ. මෙයා බිස්නස් මයින්ඩඩ් කෙනෙක් නෙවෙයි.
ඒකයි නිමල්ට බිස්නස් යා දෙන්නැත්තේ.” සරත් කතාවට මැදිහත් වුණේ සෑහෙන වෙලාවකට
පස්සෙයි.
“වෙන්ඩැති, වෙන්ඩැති... අපේ තාත්ත ඉස්සර කියපු කතාවක් තමයි -සරස්වතී දේවින්නාන්සේ
වැඩ ඉන්න තැනක ලක්ෂ්මී දේවින්නාන්සේට ඉන්න බෑ- කියන කතාව... දැන් තමයි මටත්
හිතෙන්නේ... නිමල් මල්ලිලා වගේ අයට තියෙන්නේ සරස්වතී දේවියගේ බැල්ම තමයි කියලා.”
“එහෙම නොවුණා නං අද මේ වගේ කතාවක්වත් කෙරෙන
එකක් නැහැනෙ අක්කේ. නේද...” එහෙම කියු සරත් ඊළඟට මගේ දිහාවටය හැරුණේ. “... දැන්මම
මටත් නාට්‍ය උණ ආපහු බෝවෙලා වගෙයි රංජි මල්ලී... මොන කතාවද ඔය නාට්‍යයට තෝරා
ගන්නේ?”
“කතාවක් ගැන නං තාම මට කල්පනා වුණේ නෑ සරත්.
හැබැයි, කළු අක්ක කියපු විදිහට- මං ප්‍රධාන නිළිය වෙන්නයි, නැටුමක් නටන්නයි
පුළුවන් වෙන කතාවක් එපැයි හොයා ගන්න. අනෙක stage එකක් උඩට ගේන්න ලේසි එකක් වෙන්නත්
එපැයි...”
“ඔව්, ඔව්... පටාචාරා ජාතකේ වගේ එකක් නාට්ටියකට
ගත්තැකිය? නේද නිමල් මල්ලී... උකුස්සෙක් අත දරුවෙක්ව උස්සගෙන අහසෙන් යනවා- තව
දරුවෙක් ගඟේ ගහගෙන යනවා... ඒ මදිවට පටාචාරාට පිස්සු හැදිලා අමු හෙළුවෙන් පාරවල් දිගේ
දුවනවා...”
“ඔය එකක්වත් නාට්‍යයකදී කරන්න බැරි වැඩ නෙවෙයි. හැබැයි, හරි අමාරුයි... වියදමුත් යනවනෙ...
පටාචාරා ජාතකේ කියලා තොරණවල එහෙම නම ගහල තියෙන හැටි මමත් දැකල තියෙනවා. එහෙම කියන එක නං වැරදියි. මොකද පටාචාරාව ජීවත් වුණෙත් බුදු හාමුදුරුවෝ ජීවත්වෙන කාලේනෙ...
ජාතක කතාවක් කියන්නේ බුදු හාමුදුරුවන් වහන්සේ පූර්ව ජාතීන්වල ඉපදිලා හිටිය හැටි ගැන
කියැවෙන කතාවලට. එව්වයෙ කියැවෙන්නේ බෝධිසත්වයන් වහන්සේ එක එක ආත්මවල ඉපදෙමින් බුදු
වෙන්න පාරමිතා පුරපු හැටි ගැනයි.”
“ඉතිං නිමල් මල්ලී... පන්සිය පනස් ජාතකේ
කියන්නේ නිකංයැ... කතන්දර පන්සිය පනහක්ම තියෙන හින්දනේ... නැද්ද ඔයා හිතන විදිහට...”
“මට හිතන්න ටික දවසක් දෙන්නකෝ. ලබන සුමානේ මං කියන්නං... එතකොට අපිට දැනිලා තියෙයිනෙ,
මේ වැඩේට තව කට්ටිය උදව් දෙයිද කියලත්...”
එහෙනං... ඉතිරි විස්තරත් අපි තව සුමානෙකින් විතර කියවමු. හොඳේ...





No comments:
Post a Comment