අකුරු මැකී නෑ

Monday, August 31, 2020

කපුටු ගෙත්තම නං ...- දෙවෙනි කොටස

කාවද වැඩියෙන්ම හිතට වැදුණේ කියලා නම් අහන්න එපා!
දැනටමත් පෙනෙනවානේ... ‘තිවත’ පොතේ ‘පත්තාමේස්ත්‍රී සිංහල කීර්ති රාජපක්ෂ භාති රජ්ජ වන්නියා’ වගේ අර ලියාගත්තු සටහන්වලින් වැඩ ගන්න හැටි.

ඉතින්....

ඔන්න බලන්නකො ඒකෙත් හැටි. තිවතෙදී හම්බ වෙන අපේ මුතුන්-මිත්තන් අතරෙන් මගේ හිත හොරාගත්තේ රජ්ජ වන්නියා. ඒත් තුෂාරි නංගී ‘ඉවුරු’ පොතේ කාවද හිතට වැදුණේ කියලා නං අහන්න එපා. ඒ ප්‍රශ්නයට කොහොමද උත්තර දෙන්නේ. පිටු 328ක් අතරේ සැරිසරන කට්ටිය එච්චරට ගොඩයි!

ඈන් මරී, භානු, වංගීස, අම්මා, සුදත්චන්ද්‍ර, ෂර්ලි පියතුමා, වෙරෝනිකා, දේවමිත්තා- නන්දිතා මෙහෙණිවරු, නර්මදා, චාලක, සුභාෂ්, ජයරාජ් වනසුන්දර.... ඒ හැමෝම විතරක් නෙවෙයි, අර සාක්ෂරතාවෙන් හෙබි කපුටු උන්නැහේ... ඔය කිව්ව කට්ටියගෙන් සමහරුන් මේ දවස්වල  හීනෙනුත් ඇවිත් එයාලගෙ වගතුග මේ නිදිට කියනවා.

පහුගිය දවස්වල ‘තණමල්විල කොල්ලෙක්’ බලද්දිත් සැරෙන් සැරේ මට ඔය හීන අලකලංචිය තිබ්බා. ටෙලියක, පොතක වුණත් ඉන්න උදවිය හැබෑම පණ ගැහෙන උදවිය වුණාම එක විඩේම අමතක වෙලා යනවයැ? හිතේ දිගටෝම හක්කලං කර-කර ඉන්නවා මිස.

එහෙම සහකම්පනයක් දැනුණාම සහෘද කෙනෙකු එක්ක ඒ හැඟීම් බෙදාගන්නමයි හිතෙන්නේ. අද කාලේ එහෙම කතාබහකට විවේකය තියෙන, ඉඩකඩක් තියෙන, කැමැත්තක් තියෙන සහෘදයන් හරි අඩුකම ලොකුම අවාසනාවක්. 

මට පේන්නේ නං පාට-පාට හීන. හදිස්සියේ ඇහැරුණත්, මතක් කරලා නිඳා ගත්තම ආයේ cotinue....
ඔයා නං දන්නේ නැතිව ඇති. මම කලින් ලියලයි තියෙන්නේ, මගේ අපූරු සිහින දැකීමේ හැකියාව ගැන. මට පෙනෙන්නේ නිකම් හීන නෙවෙයි, පාට පාට හීන.... හදිසියේ නින්දෙන් ඇහැරුණොත් ආයේ නිදාගත්තම continue වෙලා පෙනෙන හීන.

කොච්චර හෘදයාංගම වුණත් හීන කියන්නේ සුව නින්දකට බාධාවක්ලුනේ. ඉතින් මං මේ ලිපිය ලියන්නේ ‘ඉවුරු’ පාත්‍ර වර්ගයා ගැන කාට-කාට හරි කියලා, මගේ හිතේ තියෙන මහා බරෙන් නිදහස් වෙන්නත් එක්කයි. භාව විරේචනයක්, එක විදිහක. ඒ වුණත්, මෙහෙම හිතට- මොළේට බරක් පටවන; මෙහෙම කම්පනයක් ඇති කරවන පොතක් ගෙනත් දුන්නට ඔයාට කොච්චර ස්තුති කළත් මදි, තුෂාරි නංගී.

ඇයි ජනක? මෙහෙම පුස්තක රත්නයක් ප්‍රකාශ කළාට එයාටත් ස්තුති කරන්නම ඕනේ.

එතකොට නං මටත් ටිකාක් හරි ආඩම්බර වෙන්න පුළුවන්. මං දන්නා විදිහට නං ගොඩාරියක් සුවිශේෂී පොත් පරිවර්තනය කරවලා- අච්චු ගස්සලා- රැල්ලක් (trend එකක්) හැදීමේ ගෞරවය ජනකට හා සරත් විජේසූරිය දෙන්නාට අයිතියි.

ඉතින් මටත් චූට්ටක් විතර ආඩම්බරයි, එව්වා අච්චු ගහන ප්‍රෙස් එකේ ප්‍රින්ටින් මැනේජර් රස්සාව කළේ මං නිසා.... (අර ප්‍රකාශන වැඩේදි ඔයාගෙ මහත්තයාට එන නම්බුවෙන් කොටහක් නෝනටත් අයිති වෙන්නේ නිකම්මනේ. නේද? 

කාලෙකට කලින් ජනක මට කිව්වා.........
නංගී දන්නවද වැඩක්? අවුරුදු දහය-දොළහකට විතර කලින් ජනක මට කිව්ව දෙයක් මේ කියන්නේ. ‘නිමල් අයියේ, තුෂාරි වගේ කෙනෙක් මට හම්බ වුණේ පෙර කළ පිනකට.’ ජනකගෙන් අවසර නොගෙනම වුණත් මේ රහස හෙළි කරන්නේ, ඒක බිරියකට ලබන්න පුළුවන් උපරිම සම්මානයක් නිසයි.)

ඇත්තමයි, ඉස්සර තරම්ම නැතත් මං තවමත් පොත් කියවනවා; ගන්න යනවත් එක්ක ඉඳ හිටලා. ඉදිරි දවසකදී, එහෙම ගන්න ලියාගත්තු ලැයිස්තුත් තියෙනවා. ඒත් එකේවත් ‘ඉවුරු’ තිබ්බේ නැහැ කියන්නේ ඇත්තටමයි.

මොකද මන්දා මං කියවන පත්තරවල එහෙම ‘ඉවුරු’ ගැන හිතට වදින සඳහනක් නොතිබුණේ. විචාරක උගතුන්ගෙ මිනුම් කෝදුවල ඉවුරු කඩාගෙන යන තරම් ‘ඉවුරු’ පුළුල් නිසාද මන්දා.

සමහර විට උන්නැහෙලගෙ සිංහල බෞද්ධකම හින්දා වෙන්නැති, ඉවුරු ඔහේ තියෙද්දෙන් කියලා එහෙම තූෂ්ණීම්භූතව ඉන්නේ. කැත්ලින් ජයවර්ධන බොහොම අපූරුවට ‘හැමෝගෙම ජරාව කන; කළුම කළු කපුටෙක්’ ලව්වා කරවන ‘ගෙත්තම’ උන්නැහෙලට අජූවයි වෙන්නත් ඇති සමහර විට!

‘... මේ ඇබැද්දියෙ, නස්පැත්තියේ හේතුකාරකය තමයි කොහෙන්දෝ මට ලැබිල තියෙන මේ සදාකාලික ජීවිතේ. ඒ අසාමාන්‍ය කාලකන්නි වරප්‍රසාදෙ. ඇත්තට ම කොහොම ද මෙහෙම වුණේ? ඇයි මෙහෙම වුණේ? සොබාදහමේ නැත්තං දෙවියන් වහන්සේගෙ සෙල්ලමක් ද මේ? ජීවීන්ව වැරදි කොනින් අල්ලලා උඩුයටිකුරු කෙරෙන අවස්ථාත් තියෙනවා ද මේ ලෝකෙ?

උසස් මනසක්; මනුස්ස හිතක් එක්ක ඉපදුණු එකම කපුටද මං?

මේක විද්‍යාත්මකව පෙන්නලා දෙන්න ගිය දාට තමයි කට්ටිය ම  ඇනගන්නෙ. දණගාන විද්‍යාව ‘සර්වඥ’ කියල හිතා ඉන්න මන්දබුද්ධික විද්‍යාචක්‍රවර්තිල ම නේ පඳුරකට පයින් ගැහුවත් විසිවෙන්නෙ?

අඩු ම තරමින් විෂයයක් හැටියටවත් විද්‍යාව හදාරලා නැති උදවිය මේ තේරවිල්ල තෝරන්නත් ‘ඩෝං’ ගාල අතඅරීවී නිව්ටන්ගේ නියාමෙ නැත්තං ඩාවින්ගේ පරිණාමවාදෙ. ඇයි ඉතිං? ‘මනුෂ්‍ය’ කියන්නේ ස්වභාවධර්මයෙන් වෙනස් වුණ ‘අතිවිශේෂ’ කොටසකට කියල නේ හිතං ඉන්නෙ? අත්දැකීමෙන් ම විසඳුම් හොයන්න පුළුවං ගැටලුවලටත් තේරුමක් නැතුව ඔළුගෙඩි වෙහෙසන්නෙ ඒක නේ.

උසස් මනසක්, මනුෂ්‍ය හිතක් එක්ක ඉපදුණ අවාසනාවන්ත එක ම කපුටා, එක ම තිරිසනා නෙවෙයි මං.

මං වගේ සත්තු තව ඇති. ඒත් කවුද දන්නෙ? කාට ද කියන්න පුළුවං? මීයන්ගේ රුධිරමාංස, ඇටමිදුළුවලින් මනුෂ්‍ය ශරීරෙ උපකල්පනය කරන විද්‍යාවට ඔය වගේ දේවල් අහුවෙන්න තව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්වත් ගත වේවි.

ඒත් ඉන් පස්සෙත්, කොහොමටවත් විද්‍යාවට අහුනොවෙන දේවල් ඉතුරු නොවී තියේවි ද?

පූර්වාපාර සන්ධි ගළපල මේ හැම දේ ගැන ම හේතු දක්වන්න පුළුවං බුදුකෙනෙකුට විතරලු. ඉතිං එහෙම කෙනෙක් මේ පිටකොටුවේ බෝගහ යටවත් බුදුවෙනවනං.... මේ වගේ ගාලගෝට්ටි මැද්දෙදිත් බුදුවෙන්න පුළුවංනං ඒක ම නෙවෙයි ද හපන්කම? ඒකට ම නෙවෙයි ද නියම බුද්ධත්වෙ කියන්නෙ?’ (179-180 පිටු)

පිටකොටුවේ බෝධියේ උඩම අත්තක එල්ලිලා ඉඳන්....
පිටකොටුවේ බෝගහේ උඩම අත්තේ එල්ලිලා පැද්දෙමින් ඉන්න ‘Corvus Splendens Protegatus madaras’ වරිගයේ පක්ෂියාගේ චින්තනය විග්‍රහ කරන්න යන්නේ මොන අප්පච්චිද? (ඔහොම අඩවු අල්ලන්න හොඳ භූමියක් නෙවෙයි මේ ධර්මද්වීපේ.... අන්තිමට ඉතිං අප්පච්චි මළෝ කියන්න තමයි වෙන්නේ!)

ඇත්තටම තුෂාරි නංගී, ඔයාට හිතෙන්නෙ නැද්ද මොකුත් ලියන්න?

හැමදාම එන-එන පොත් කතුවරුන්ට, කතුවරියන්ට ඔයාගෙ නිමක් නැති හිනාවෙනුයි; අන්න-පානවලිනුයි සංග්‍රහ කරමින් ඉන්න අතරේවත්... එයාලා එක්ක කෙරෙන සංවාදවලට කන්දීගෙන ඉන්නකොටවත්... එහෙම නිර්මාණාත්මක දෙයක් කරන්න පෙළඹවීමක් වෙලාම නැත්ද?

එක අතකට කොහොමද එහෙම වෙන්නේ.... ඔයා එක-එක සූපවේද අත්හදා බලමින් ‘රජ බොජුන්’ හදන්නනේ කැමති.

මං ඉස්ඉස්සෙල්ලම ඔයාලගේ ගෙදරට ආවෙ ‘චින්තා ලක්ෂ්මී සිංහාරච්චි’ කතුවරියගෙ ‘ගෝරා’ පොත දොරට වඩින දවසේ.

අර සදාහරිත ඇට්ටේරිය ගහ යට තමයි චින්තා ලක්ෂ්මී වාඩිවෙලා හිටියේ. ඒ පොත නං ඔයාලගේ ප්‍රකාශනයක් නෙවෙයිනෙ. සරත් විජේසූරිය මහත්තයලගේ ‘විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන්’ එළිදක්වපු එකක්නේ.....

චින්තා මැතිනියගේ ‘ගෝරා’ පොතේ දොරට වැඩුම දවසේ, අර ඇට්ටේරියා ගහ යට.....
එදා තමයි මං හුඟාක් පොත් කතුවරුන් හඳුනා ගත්තේ.

ඊට පස්සේ චින්තා මැතිනියගේ අවසන් ගමනට සහභාගී වෙන්න යද්දිත් ජනක මට ආරාධනා කළා නුවර- මහයියාවට යන්න. එදා සරත් විජේසූරිය, අජිත් තිලකසේන, චූලානන්ද සමරනායක, ජයතිලක කම්මැල්ලවීර, ටෙනිසන් පෙරේරා, කමල් පෙරේරා (දැන් මතක් වෙන්නේ ඒ නම් ටික විතරයි..) වගේ විදග්ධයොත් එක්ක ගෙවුණු දවස.....

පොත් සීයකට තරම් දේවල් එයාලා කතා වුණේ! ඒවා කෙනෙකුට ලේසියෙන් හිමි නොවෙන chances.

‘..... නන්නාඳුනන මෙහෙණියකගේ මරණයක්, නන්නාඳුනන කාක්කෙකුට ශෝකයක්, වියෝගයක් ගෙනාවෙ කොහොම ද? ඔන්න ඔය ප්‍රශ්නෙයි දැන් හිතේ දෝලනය වෙන්නෙ. ඒත් වැදගත් වෙන්නේ පුද්ගලභාවය නෙවෙයි; පාරිභෝගික භාණ්ඩ වෙලා ඉන්න මිනිස් රෑන අතරේ පණගැහෙන හදවතක් තිබීම....’(267 පිටුව)

චින්තා මැතිනියත් සිල් මාතාවක් වගේ. හිතා ගන්නවත් බැරි තරම් නිවිලා....

මට මතක විදිහට නං දවසක අපි ඇය ගැනත්, ඇයගේ ‘අරණකට පෙම් බැඳ’ පරිවර්තනය ගැනත් ගොඩක් කතා කළා. ‘ඉවුරු’ පොතේ මෙහෙණියගේ මරණය හරිය කියවද්දී මට මතක් වුණෙම මහයියාව සුසාන භූමියේ ඒ අඳුරු හැන්දෑව! ඒත් එක්කම සුමාන දෙක-තුනකට කලින් වෛද්‍ය රොහාන් පුල්ලෙපෙරුම මහත්තයා දුරකතනයෙන් කියපු දේවල්.....

වෙස් මුහුණු දමාගෙන ‘හැඟුම් දඩමීමා වහං’ කරගෙන.....
රොහාන් මහත්තයා ඒ දවස්වල වැඩ කළේ හම්බන්තොට මහ රෝහලේ. එතුමා ‘හීමටලොජි’ විශේෂඥයෙක්.... රුධිර පිළිකා ගැන දැනීම නිතරෝම update කරගන්නෙක්. 

එදා අපේ ගෙදරදී මම තුෂාරි නංගීට කිව්වනෙ, මං දැන් ඉන්නේ ‘සීරෝ’ ලෙවල් එකේ.... ‘රෙමිෂන්’ අවදියේ; දැනට අවුරුදු එකහමාරක ඉඳලා. ඒකේ ගෞරවය හම්බන්තොට රෝහලේදී හමුවූ රොහාන්, තනුජා, සෙව්වන්දි වෛද්‍ය මහත්ම-මහත්මීන්ට හා එයාලගේ කාර්ය මණ්ඩලවලට, මගේ හිතවත් වෛද්‍ය මිතුරන් ඇතුළු තව ගොඩ දෙනෙකුට තමයි අයිති.

(මගෙ අම්මෝ! එහෙම බලාගෙන යනකොට නං ‘නිමල් දිසානායක’ තවමත් නොමැරී පණ පිටින් ඉන්න එක ගැන කී දෙනෙකුට පිං දෙන්න ඕනිද, සත්තකට?)

කොරෝනා නිසා මාස හතරක් විතර ගෙදරටම හිරවෙලා හිටිද්දී, සතිපතා හමුවුණු හිතවතුන් හතර-පස් දෙනා අතරේ කෙරුණු සාකච්ඡාවක් ගැන බ්ලොගයේ ලියවුණා, ‘හැඟුම් දඩමීමාට වහංවී’ කියලා. ඒවා කියවලා තමයි රොහාන් මහත්තයා මට කෝල් කළේ.

“අපරාදෙනේ මිස්ටර් නිමල්.... මම හම්බන්තොට ඉන්න දවස්වල දන්නෙ නැහැනෙ ඔයාත් ලියන බව... ඔයයි ඩොක්ටර් අයස්මන්තයි ඔයාලගේ යාළුවො කීප දෙනා ගැනයි ඉරිසියයි. ඔයාලට වගේ කතාබහ කරන්න යාළුවො කොච්චර අඩුද දැන්? ඩොක්ටර් අයස්මන්තයි, යාළුවොයි එක්ක එන්නකො දවසක ගාල්ලේ, chat එකක් දාලා යන්න.....”

රොහාන් මහත්තයා එදා කියූ දේවල් මතක් වුණේ ‘පණ ගැහෙන හදවතක් තියෙන...’ ටිකේදී.

බ්ලොගර්ස් ඊව් හැන්දෑවේදි අපේ ගෙදර ආව අයට....
පොත් කියවන නිසා වෙන්නැති, මට නම් කවදාවත් ‘පණ ගැහෙන; පණ ඇති-නැති හිතවතුන් දෙගොල්ලගෙන්ම’ කිසිදාක අඩුවක් වෙලා නෑ.

ඒ මදිවාට, තවම දැකලාවත් නැති ගොඩ දෙනෙකුත්- මාව හොයාගෙන ගෙදරටම ඇවිත් හිතවතුන් වුණු අලුත් පිරිසකුත් ‘නිදිගෙ පංච තන්තරේ’ නිසා ඔයාලා වගේම හිතවතුන් වෙලා.

ඒ හිතවතුන් අපේ ගෙදරට එකතු වුණ ‘බ්ලොගර්ස් ඊව්’ දවසෙ මං හැදුවෙ ඉන්දියන් කෑමක්.... පූරි! යාල කඳවුරු බිමකදී මං හදාපු පූරි කාලා ‘රිලවු සේරම පැත්ත පළාතේ ඉන්නේ නැතිව පැනල ගිය හැටි’ එහෙමත් අර එකතුව ගැන ලියපු පෝස්ටුවෙන් ‘පංච තන්තරේ’ කියවන ඇත්තන් නම් දැනගත්තා. 

නන්දිතා සිල් මෑණියන්ටත් හිටියනේ, එහෙම කුළුපග හිතවතියක්; පූරි නෙවෙයි සුප් හදන්න.......

‘... ඊයේ ඇය එසේ එද්දී රැගෙන ඈ අලංකාර බඳුන තුළ වූයේ දුම්දමන එළවළු සූපයකි.

“මේක මට වේලාසනින් හරිගස්සගන්න බැරි වුණා. කොහේ ද සිල්මෑණියො, කස්ටර්මස්ල පිරිල... හැන්දෑවෙ හයට සැලෝන් එක වහ ගත්තෙත් හරි අමාරුවෙන්.” ඈ කීවාය.

“අර මොකෝ? අද නැකැත් දවසකැයි ඉෂ්කා නෝනා?”

සිල් ගන්න යන්න කලින් වුණත් පේෂල් කරලා, කොණ්ඩේ ඩයි කරලා....
“නෑ නෑ. මේ පෝය කටේ මොන නැකැත් ද සිල්මෑණියෝ. ෆේෂල්වලට, ඩ්‍රෙසින්ස්වලට එහෙමත් නෙවෙයි නේ ඉතිං...”

“එහෙනං?”

“එන තරමක් කට්ටිය එන්නේ කොණ්ඩෙ ඩයි කරන්න. අද විතරක් නෙවෙයි, හැමදාමත් මෙහෙම තමයි. ඒ කිව්වේ පෝයට කලින්දාට.”

“පෝයට කලින් දවසෙදි කිව්වෙ අද වගේ දවස්වල. හෙට භාවනා වැඩසටහන්, ශීල ව්‍යාපාර කාරිය තියෙනවනේ මහා පන්සලේ? ඒවට එකතු වෙන හැමෝම කොණ්ඩ ඩයි කරන්න එන්නේ අද.” (165 පිටුව)

තුෂාරි නංගී, වාසනාවට වගේ කවදාත් මට හමුවෙන හිතවතුන් ඉෂ්කා නෝනගේ සැලෝන් එකට එන කස්ටර්මස්ලා වගේ ‘තමන්ට තමන්වම හොයා ගන්න බැරි වුණු උදවිය’ නෙවෙයි. ජීවිතේ අතරමං වුණු  උදවිය නෙවෙයි. අලුතෙන් යමක් හොයාගන්න වෙහෙසෙන; හිතන; මස්තිෂ්කයෙන් වැඩ ගන්නා උදවිය; කොටින්ම කියනවා නං මම වහන්සේ නම් ‘පණ්ඩිතානංච සේවනා!’ තමා.

ඉඳහිටලා චාලක වගේ උදවියත් මට හම්බ වෙනවා තමයි; සුභාෂ් වගේ අයවත්.

ජීවිතේ එහෙමනේ.... විවිධාකාර අය ජීවිතේට එනවා-යනවා. අපට තියෙන්නේ ගැළපෙන; සමාන සුඛ-දුඃඛ මිත්‍රයන්ව තෝරාගන්න.....

මේ මහ පොළොවේ එහෙම දෙයක්..........
‘... උණු-උණු උළුඳු වඩේ කකා, ප්ලේන්ටීවලින් සප්පායම් වෙද්දී කැන්ටිමේ ශිෂ්‍යයො දිගින් දිගට ම කතා කළේ දේශපාලනේ. ඒ පවතින දේශපාලනේ ම නෙවෙයි. උතෝපියාවක්, සර්ව සාධාරණ සමාජයක්, අලුත් පෙරළියක් ගැන නොතේරෙන කතාබහක් තමයි ඒ දවස්වල හුඟක් තැන්වලින් ඇහුණෙ. හැබැයි සුභාෂ් කියන වෛද්‍ය ශිෂ්‍යයාට ඒ ගැන තිබුණෙ ඍන ආකල්පයක්.

‘ඕක ඔයගොල්ලගෙ හිතේ විතරක් තියෙන දෙයක්. කවුරු කවුරුත් ප්‍රාර්ථනා කරනව තමයි එහෙම ලෝකයක්. ඒත් ඒක යථාර්ථයක් නෙවෙයි. මේ මහපොළොවේ එහෙම දෙයක් ඇතිවෙන්නේ නෑ.”

සුභාෂ්ගේ අර්ථ දැක්වීමට එරෙහි වුණේ චාලක.

“උඹලා කොහොමද එහෙම කියන්නෙ?” (213 පිටුව)

චාලකගේ ප්‍රශ්නය මටත් අදාළයි වගේ. ඇත්තමයි, මෙහෙම පෝස්ටුවකින්- දෙකකින් පුළුවන්ද ‘ඉවුරු’ වගේ පොතක කියවෙන අපූරු ‘කපුටු ගෙත්තමක්’ ගැන වරුණා කරන්න. කෙටියෙන්ම කියන්න තියෙන්නේ මෙච්චරයි! ඒ ‘කපුටු ගෙත්තම නං’ පංකාදු පහයි!!

හිතාගෙන හිටියාට වඩා ලියවුණා තුෂාරි නංගී. ජනක අලුතින් දියත් කරන ‘සිතිජ ග්රූප්’ එක නිසා ඔයාලා දෙන්නගෙම විවේක වෙලාව තවත් අඩුවෙයි. ඒත් කමක් නැහැ.  

අනාගත පරම්පරාවට ඉන්න ප්‍රත්‍යන්ත දේශයක්......
මට ආරංචි විදිහට නම් ඔයාලගේ online සේවාව තමා දැනට ලංකාවේ පොත් පිළිබඳ වේගවත්ම සේවාවත්. අනේ වාසනාවන්.... අපේ රටට පොත් කියවන; හිතන මිනිසුන් කෝටි ගණන් පහළ විය යුතු යුගයකනෙ අපි ඉන්නේ. එහෙම නැණවත් සමාජයක් බිහිවුණේ නැත්තං විදූෂිලා- සුහාෂිලා- අපූර්වලාට ප්‍රත්‍යන්ත දේශයක් හොයාගෙන ඉගිලෙන්නයි වෙන්නේ.

ඉතිං, මාත් නවතින්නයි හදන්නේ. හැබැයි එදා, අගෝස්තු 11 අඟහරුවාදා පිටත් වෙලා යන්න හදද්දී වෙච්චි පොරොන්දුව මතකයි නේද? “ආයෙමත් ඉක්මනින්ම දවසක අපි ටික එනවා, ඔයාව බලන්න.”

එහෙම එන්න!

මොකද, එදා ඔයා කියපු මේ වචන ටික මට මෑත කාලෙක හම්බ වුණු ලොකුම credit එකක්. මතකද, ඔයා කිව්ව දේ? “අනේ අයියේ, අදට අපේ තාත්තා අන්තරා වෙලා අවුරුදු පහක්. මගේ හිතට ගොඩක් දැනෙනවා තවමත්... ඉතින් ඊයෙම හිතා ගත්තා හිතට සතුටකටත් එක්ක අද ඔයාව බලලා, ටිකක් කතා කර-කර ඉඳලා යන්න ඕනියි කියලා”෴

Wednesday, August 26, 2020

මාරක හී පහර - පස්වෙනි කොටස

ඔයා හදන්න යන නාට්‍යයේ කැලේට හරියන බඩුවක්....

“ගුණේ අයියේ... මාත් එක්ක රංජි මල්ලිව එවන්න නුගේගොඩට..... එතකොට මාත් ගේන්නං මරු භාණ්ඩයක්......” වඳුරාගේ ආගමනය දුටුමනතින් හොඳටම චූන් වුණු සිරි අයියා කිව්වේය. 

“භාණ්ඩයක්...?” අපේ තාත්තා ඇහුවේ ඔලොක්කුවටත් එක්කය. සිරි අයියා ‘කිසිම දෙයක්  බැරියැ’යි කියනා කෙනෙක් නොවේ; එමෙන්ම නැති-බැරිකමක් කාටවත්ම අඟවන කෙනෙකුත් නොවේ; හැබැයි පුරාජේරු කතන්දර කියන්නට පැකිළෙන්නෙකුත් නොවේ; නොම්මර එකේ කයිවාරු පප්පෙකි; බොරු කප්පිත්තෙකි

“ගුණපාල අයියා මම කියනවට රංජි මල්ලිව එවන්නකො.... ඔයා හදන්න යන නාට්ටියේ කැලේටම හරි යන බඩුවක් මම ඉල්ලගෙන එන්නං!”

“කාගෙන්ද සිරී?”

“නම කිව්වම ගුණපාල අයියා දන්නවද? ඒත් ලංකාවම දන්නවා! කිංස්ලි රාජපක්ෂ!! දන්නවද? නෑනේ... චිත්‍රපටි අධ්‍යක්ෂ මහත්තයෙක්!!! මගෙ හිතවතා....” සිරි අයියා කිව්වේ උජාරුවෙනි.

“එහෙනං මොකටද සිරී අපේ එකාව එක්කගෙන යන්නේ? ඔය තමුසෙගෙ හිතවතා හම්බ වෙන්න තනියම යනවකො. තමුසෙ ළමිස්සියෙක් නෙවෙයිනෙ තනියම යන්න බැරි.”

මෙදා පොටේ මම ගේන්නේ කොටියෙක්.... ග්‍රෝර්ර්ර්ර්....සිරි අයියා ගොරවලාත්...
“අයියෝ.... ගුණේ අයියට ඕකවත් තේරෙන්නෙ නැහැනේ. මනුස්සයා දිගටම චිත්‍රපටි හදන කෙනානේ. හොඳයි, රංජි මල්ලිව දැකලා පාට් එකක් දෙන්නං කියයිද බලන්නයි මෙයාවත් එක්ක යන්න හදන්නේ..... රංජි මල්ලිට හරි ගියොත් ඉතින්..... නැද්ද මල්ලී....”

“එහෙමද? එහෙනං ඒකත් හරියි කියමුකො.... ඒත් තමුසෙ තාම කිව්වෙ නැහැනෙ ඔය කිංස්ලි මහත්තයගෙන් මොනවද අපේ නාට්ටියට ඉල්ලගෙන එන්න හදන්නෙ කියලා...” අපේ තාත්තා සිරි අයියාට කිව්වේ උපහාසාත්මක හිනාවකින් මුහුණත් සරසාගෙනය.

“රංජි මල්ලී.... ඔයාලා තාම දන්නෑ මේ සිරි අයියට කරන්න පුළුවන් දේවල්! ඔයාලගෙ තාත්ත හිතන්නේ මම නිකම්ම නිකං කයිවාරුකාරයෙක් කියල..... ඔන්න බලන්න, රංජි මල්ලී මෙදා පොටේ!!” තාත්තාට උත්තර බඳිනවා වෙනුවට ඒ යස්ස පැටියා මට උජාරුව පෙන්නයි. ඒකට නම් තාත්තාටත් තරහ ගියාද කොහෙදය.

“මේ සිරී..... තමුසෙ හිතන්නේ මට වැඩ නැහැ කියලද ඔය කතන්දර අහහා ......”

“අන්න අන්න ගුණපාලයියාට තද වෙනවා.... මම මාරක හී පහරට ගේනවා කොටියෙක්! කොටියෙක්!! ග්‍රෝඕඕඕඕර්....” සිරි අයියා රවුමට කැරකිලා; හතර මුල්ල පාගලා; ගොරවලාත් පෙන්නුවේය.

පසු කාලයක සුහද පැතුමහැදූ කිංස්ලි රාජපක්ෂයන්....
“කොටියෙක්?” තාත්තාත් මමත් දෙන්නාම ඇසුවෙමු. “ඇත්ත කොටියෙක්...?” මගේ ප්‍රශ්නයට කෑල්ලකුත් එකතු වුණේ ඊළඟටය.

“ඔව් රංජි මල්ලී.... ඇත්තම ඇත්ත කොටියෙක්. හැබැයි පණ නෑ!”

“ඕයි සිරී! පුළුන් පුරෝපු කොටියෙක්ව වුණත් කොච්චර වටිනවද? එහෙම එකෙක්ව, ලේසි පුතයෙක් මේ නන්නාඳුනන අපේ නාට්‍යයකට දෙයිද මිනිහෝ?”

“ඒක කරවගන්නේ මමනෙ ගුණපාල අයියා. රංජි මල්ලිගේ මුහුණ බලාගෙන ඒ මනුස්සයා බැහැයි කියන්නෑ... බලන්නකො මම කියන්නෙ බොරුද කියලා.”

කිංස්ලි රාජපක්ෂ මහත්තයා ඊට කාලෙකට පස්සේ පැල් බැඳගෙන දුවන චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කළේය. ඒවායින් හොඳටම ජනප්‍රිය වුණේ ‘සුහද පැතුම’යි.

“කිංස්ලි මහත්තයට එයාගෙ නෝනව හම්බවෙලා තියෙන්නෙත් අපේ ඉස්කෝලේදී.... කොන්සර්ට් එකක් බලන්න ආවාම. මම කියන්න යන්නේ රංජි මල්ලිත් විද්‍යාකරේට යනවා වුණාට, බුවෙනකබා එකේදී ලොකුලියනගේ සර්ගෙන් නැටුමුත් ඉගෙන ගන්නවය කියලා.....” 

තමුසෙව ජාතක කරලා තියෙන්නේ චේතිය රජ්ජුරුවෝ!
“අනේ මන්දා සිරී... තමුසෙ ඉතින් රට පටලවන්න දෙයියනෙ..... ෂුවර් එකටම තමුසෙව ජාතක කරලා තියෙන්නෙ චේතිය රජ්ජුරුවෝ!”

කාට ජාතක වුණත්, සිරි අයියා කිංස්ලි රාජපක්ෂ මහතා ඉදිරියේදී හැසිරුණේ ඉතා යටහත්-පහත් විලාසයකිනි. මම වැඩි දෙයක් කියන්නට නොගියෙමි; අහන දෙයකට විතරක් පිළිතුරු දුන්නෙමි. “මේ ලොක්කා කිව්වද ඔය පුතාලගෙ නාට්‍යයට මගෙන් අපේ කොටියව ඉල්ලලා දෙනවමයි කියලා?” ආලින්දයේ තබා තිබුණු අජීවී කොටියාවත් පෙන්වමින්ය; රාජපක්ෂ මහත්තයා මගෙන් ඇසුවේ. මම යන්තමින් හිස සොලවා ‘එහෙම’ බව සනාථ කළෙමි.

නාට්‍යය පෙන්වන්නේ කොහෙද- කවදාද- කවුරු කවුරුද වගේ ප්‍රශ්න සේරමත් යොමු වුණේ මටය. ‘සිරි අයියා ගැන ඒ මහත්තයත් දන්නව වගෙයි... ඇත්තමද කියලා දැනගන්න වගෙයි අහන්නෙ...’ මට හිතුණේ එහෙමය.

නුගේගොඩ කන්දවත්තේ සිට ආපහු එන අතරේ සිරි අයියාගේ නිමක් නැති පම්පෝරි කතන්දර හින්දා මගේ ඔළුවත් කකියන්නට ගත්තා වෙන්නැතිය. ඒ බව තේරිලාද කොහෙද, සිරි අයියා මට කැරට් අලයකුත් දික් කළේය. “මම කිව්වෙ රංජි මල්ලී... කිංස්ලි මහත්තයා මගෙ හිතවතා කියලා..... චෙඃ! අපරාදෙ... අදම මල්ලිට කියන්නයි තිබුණේ චිත්‍රපටියක කෑල්ලකට ගන්න.... කමක් නෑ. අපි කොටියව ගෙනියන්න එන දවසට කියමු!”

එච්චර තඩි ස්ටේජ් එකක් ගහන්න පොල් කොට, ලෑලි, පොල් අතු?
‘මාරක හී පහර’ නාට්‍යයේ කැලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘සජීවී’ කරන්නට, ‘අජීවී’ කොටියෙකුත් එකතු වුණේ එහෙමය!

අමරේලාට ඔය එක සුකුරුත්තමක්වත් නැතිය.  හැබැයි, නාට්‍යය පෙන්වන්නට ලොකු වේදිකාවක් නං ගැහුණේය. එච්චර පොල් කොට, පුවක් ගස්, ලෑලි, පොල් අතු කන්දරාවක් කොහෙන් හම්බ වෙලාද? හොඳ වෙලාවට අපට නං මහරගම පැවිලියන් එක තිබුණේ! ඒත් එකම වැරැද්ද එය ප්‍රමාණයෙන් ඉතා කුඩා වීමයි. (ඒක හදවද්දී බලධාරීන්ට උවමනා වෙන්නට ඇත්තේ දේශපාලන රැස්වීම් තියන්නට පුළුවන් තරමේ මණ්ඩපයකි. එහෙමත් නැත්තං මොකක් හෝ අටවමින් ‘ලොකු කොමිස් කුට්ටියක් කඩා ගන්නට’ වෙන්නැති.) 

බොරු? මං කියන්නේ බොරුය කියල කියනවා නං මෙහෙ බලධාරීන් අටවපු; කමකට පලකට නැති ගොඩනැඟිලි දෙක-තුනක් දැකගන්න ඔන්නම්, එන්නකො මහරගමට!

සිරි අයියා කොටියෙකු ගෙනෙන්නට යන බව දැනගත්තාම නං අපේ කට්ටියේ කවුරු-කවුරුත් එයා දිහා බලන්නට ගත්තේ ටිකක් ගරු-සරු ඇතිවය. ඒ වගේ නම්බුවක් තමන්ටත් ගන්නට මෙන්, රංජිත් ගුණසේකර අයියාත් තුරුම්පුවක් ඇද්දේය. තුරුම්පුව නුවන් ගුණවර්ධන අයියාය!

ඒ කාලයේ හරිම ජනප්‍රිය හින්දි සිංදුවක තාලයට, අපේ ගීත රචිකාවිය ‘නීලා අක්කා’ යුග ගීතයක් ලියලා තිබ්බාය. ඒ දූකුල-පාරිකා දෙන්නා ගිහි ගෙයි ඉන්නා කාලයේ කියන්නටය. 

තමුසෙලට තවම බැරි වුණානෙ හරිහමං කෙල්ලෙක්ව.....
ඔරිජිනල් සාම ජාතකයේ දූකුල වැදි තරුණයා සසර කලකිරුණු, වීතරාගී උත්තමයෙකු බව එතකොට අපි දන්නෙ නැහැනේ. නාට්‍යය ලියලා තිබුණේ තපසට යන්නට කලින් ඒ ජෝඩුව ‘සොමියේ සිංදුවක් කියමින් පෙම් සුව විඳින’ විදිහටය. සිංදුවේ මුල් පදයක් විතරය මට මතක. ‘ආදරයේ රස ගංගා මෙ යාවි ගලාලා...’.

(ඒ සිංදුවේ මොහිදීන් බෙග් ගායකයාගේ ‘වර්ෂන් එකකුත්’ තිබේ. ‘ජීවනයේ මල් පිපුණා - මෙ සතර දිගන්තෙ - රණ මොනරිය රඟ දේවි - මධුර වසන්තෙ’.)

එතැනදිත් පොඩි පරහක් නම් මතු වුණේය. දූකුලට හිටි නිහාල් ලියනගේ අයියා ඇත්තටමත් නිවුණු- දැඟලිලි නැති ගැටවරයෙකු බව මං කලිනුත් කිව්වා නේද?

“මොකක්ද අයිසේ? ටිකක් ආදරෙන් කියන විදිහට ඇට් කරනවකෝ!” අපේ තාත්තා කොච්චර ආඩපාලි කිව්වත් නිහාල් අයියා ‘love mood’ එකකට ආවේම නැතිය. බන්දුල ජයකොඩිට අජාසත්ත- පූර්ණක චරිත අල්ලලා ගියා වගේ, නිහාල් අයියාට හරි යන්නේ ‘තාපස පාට්ය’. “අයිසෙ රංජිත්, මේ මනුස්සයට ටිකක් කරලා පෙන්නනවකො, ලව් කරන්නෙ කොහොමද කියලා...”

“දෙන්නංකො ගුණේ අයියා නියමෙට.... පාරිකාට ගවුමක් ඇඳගත්ත එක්කෙනෙක් හිටියා නං මට තවත් ලේසියි ....” රංජිත් අයියා කියයි.

“කෝ? තමුසෙලට තවම බැරි වුණානෙ අපේ රංජියට වැඩිය හරි යන කෙල්ලෙක්ව එක්කං එන්න....” අපේ තාත්තා එතකොට උත්තර දෙයි.

නුවන් ගුණවර්ධන අයියා අපේ නාට්‍ය තුනකටම නොමිලයේ සිංදු කීවේය. දැන් එයාගේ පුතා ගයාන් ගුණවර්ධනත් ජනප්‍රිය......
“එහෙම එයිද ගුණපාලයියේ? මෙයාලා හැම තැනම කෙල්ලො එක්ක love කරන විදිහට...” නිහාල් අයියත් ඇනුම් පදයක් කියයි.

මේ නාට්‍යයේදී දුෂ්ට පිළියක් රජ්ජුරුවන්ට හිටියත්, රංජිත් අයියාට පෙම්බර චරිතත් නියමෙටම ගැළපෙයි. කොච්චර ගැළපෙනවාද කිව්වොත්, ගීතය රඟමින් පෙන්වද්දී ‘අරෙ බාබා ශෝරු නහී - සෝරු සෝරු....’ කියලාත් කිව්වේය. නීලා අක්කා ඒ වචනවලට ගැළපෙන වචන ටිකක් ලියලා තිබුණේ නැති නිසාය ඒ. 

“මොන සෝරුවක්ද ඕයි ඒ? තමුසෙ නාට්‍යය දවසෙත් ඔය සෝරු-සාම්බාරු කියනවා හෙම නෙවෙයි ඕං!” අපේ තාත්තා එහෙම කිව්වේ ඒ වෙද්දී නාට්‍යයේ පසුබිම් ගීත ගායනයට හිටි එකම සුදුස්සාත් රංජිත් අයියාම වුණු නිසාය. ඒ chance එක නැති කර ගත්තත්, නුවන් ගුණවර්ධන අයියාව ගායනයට එක්කරගෙන ඒමෙන් රංජිත් අයියාත් අප අතරේ පොරක් වුණේය!

මං හිතන්නේ නුවන් අයියාත් ඉගෙන ගන්නට ඇත්තේ මහරගම බුවෙනකබා විද්‍යාලයයේ බවයි. මට එහෙම හිතෙන්නේ එයාත්, රංජිත් අයියලාත් අතර තිබුණු මිත්‍රකම නිසාය. නුවන් අයියා ‘මාරක හී පහර’ට වගේම ඉන් පසු අප කළ නාට්‍ය දෙකකටමත් ගී ගයන්නට ආවේය. එතකොට ශ්‍රී ලංකාවේම පරසිදු ගායකයෙකු නොවුණත්, ඔහු මහරගම පැත්තේ ‘ජනප්‍රිය ගායන තරුවක් වී’ උන්නේය.

නුවන් අයියේ! ඔයාටත් ගොඩක් ස්තුතියි!! ඔයා අපේ නාට්‍ය තුනකටම සිංදු කිව්වේ ‘තඹ සතයක්වත්’ නොගෙනය!!!

රංජිත් අයියා, ස්වර්ණා හා මල්ලිකා අක්කාය හොඳටම ගී ගයන්නට.....
නිළියන් විදිහට ලොකු කුසලතා පෙන්වූයේ නැතත්, ගායිකාවන් විදිහට නම් දක්ෂියෝ දෙතුන් දෙනෙකුම අපට හිටියෝය. මල්ලිකා ජයකොඩි අක්කා එක්කෙනෙකි.

ස්වර්ණා තවත් එක්කෙනෙකි. නීලා අක්කා ඊටත් අමතරවය. නුවන් අයියා එක්ක ‘මාර්ක හී පහරේ’ ගී ගැයුවේ මල්ලිකා අක්කා හෝ ස්වර්ණාය. 

සංගීතය සැපයුවේ සරත් ජයරත්න අයියා හෝ සුසිල් පියදාස අයියාය. සරත් අයියලා මහරගම හන්දියේම ගෙදරක හිටියෝය. (කලින් ඔබට හමුවී තියෙන විල්මන් අයියාගේ පුත්‍රයෙකි, මේ සරත් ජයරත්න.) සුසිල් අයියා ගුවන් විදුලියේ සංගීත ශිල්පියෙකි; හිටියේ වත්තේගෙදරය. (මේ දෙන්නාම වඩාත් නිපුණතාව දැක්වූයේ වයලීන වාදනයටය.)    

ඉතින්, ඔහොම බලාගෙන ගියාම අපටත් සම්මාන දෙන්නට වටියි! අපේ නාට්‍යවලදී ගීත ගැයුණේ වේදිකාවේ පැති තිර; ජාලරවලට මුවාවී හිඳගෙනය. අප වේදිකාවේ රඟමින් කළේ නිවැරදිව කට හෙළවීම විතරය!!

ඔය විදිහට, අපේ නාට්‍යය ටිකෙන්-ටික පරිපූර්ණත්වයට යද්දී- අමරෙලාගේ සාම ජාතක නාට්‍යය නටන දිනයත් උදා වුණේය. එයාලගේ නාට්‍යය පෙන්නුවේ අපේ එකට කලින්ය. මතකයිනෙ? ඒකෙ සාම කුමාරයා මං වහන්සේය!

වැඩේ අපූරුවට කෙරීගෙන ගියේය. සාම කුමාරයාට සැරසුණු මං ගල් ගුහාව ඇතුළේය. පාරිකා බිසව බිලිඳු සාම කුමාරයාව ගීයක් ගයා නළවමින් වේදිකාවේය. දූකුල තාපසතුමා වේදිකාවේ සක්මන් කරමින් බිරින්දෑගේ දරු සුරතල් කිරීම දිහාවේ බලා ඉඳියි.

ඒ තනුවටම හැදූ රැව් නැඟුණා අපෙ ප්‍රේම පුරාණේ...
මං ඒ හරිය, ඒ විදිහටම අපේ නාට්ටියටත් අරගෙන තිබුණේය; කිසිම ලජ්ජාවක් නැතිව එහෙම කළෙත් නිකම්ම නොවේ; අර ගීතයට මං වශීවී හිටි නිසාය; අදටත් මං ඒ ගීතයට කැමතිය. ඒත් ඒ සිංදුවේ පද හතරක් විතරය මතක තියෙන්නේ; ඒකත් තැනින්-තැනය.

‘දොයි දොයි මගෙ පුතු නිඳියා ගන්නේ

බයි බයි මගෙ පුතු නිඳියා ගන්නේ...

   ...නාඬා ඉන්න - නිඳියා ගන්න

  මගෙ සුදු පුතුට දෙවි රැකවරණයි//’

ඒ ගීතය හදාගෙන තිබුණේ ‘දිල් අප්නා ඖර්’ ගීතයේ තනුවට අනුවය. 

ඊට ගොඩ කාලයකට පස්සේ අපේ ප්‍රවීන ගායිකා සුජාතා අත්තනායක මහත්මිය හා  ගායක ටෝනි හසන් දෙදෙනා එක්ව (සුමියුරු හින්දි ගී තනුවලට අනුව හැදූ ගී රැසක් ඇතුළත්) කැසට් පටයක් නිකුත් කළහ. මගේ මතකය නිවැරදි නම් ඒ ‘ශ්‍රීමාලි’ ලේබලයෙනි. කැසටය ‘කදිර දේව සුරින්දු’ය. මේ ‘දිල් අප්නා ඖර්’ තනුවටම ඒ කැසට් පටයේ තිබුණු ගීතය ‘රැව් නැඟුණා අපෙ ප්‍රේම පුරාණේ’ ගීතයයි. 80 දශකයේ ඒ ගීත කැසට් නිකුත් වෙන කාලයේවත් අපේ ගෙදරට විදුලිය, කැසට් වාදන යන්ත්‍ර තිබ්බේ නැත.

මල්වතු ඔයේ ගිලෙන්නට නොදී කිරිල්ලී මා බේරාගත් දවසෙත් .... (යූ.ඩී. නිශාන්ත, උපාලි ජයරත්න හා නිදි..)
මට තවමත් මතකය! හැකි හැම හැන්දෑවකම, මහරගම දෙහිවල පාරේ රෙකෝඩ් බාර් එකක් අයිනේ හිටගෙන ඒ ගීතවලට කන්දීගෙන හිටි හැටි! මගේ ඔය දොළදුක හින්දා සුමිතුරු උපාලි ජයරත්නටත් පරිප්පු කන්නට වුණේය.

රාවණා රජු මා රුව දැකලා, මේ රෑ මැදියම් යාමේ, නාමල දෝතින් නෙළුෑ, සැන්දෑ ගං ඉවුරේ, සීගිරියේ රන් රූප නාරි - වගේ, ඒ කැසටයේ සිංදු අහගෙන ඉන්නට මං ගියේ හිතවත් මිතුරු උපාලි ජයරත්නවත් ඇදගෙනය.

තජකයේත් අප හා එකට සිටි උපාලිට ‘මේ ගීත ශ්‍රවණ’ පුණ්‍ය කර්මයට දායක වීම වෙනුවෙන් මා කවදාවත් ස්තුති කර නැත. දැන්වත් එහෙම කළ යුතුය; උපාලි සිංදු ගායනා කරනවා තියා නිකමටවත් මුමුණනවාවත් මං කවදාවත් අහලා නැති ගීත රසිකයෙකි. එහෙම ‘ගීත ලෝලියෙකු’ වරු ගණන් මට පාලු කපන්නට ඇත්තේ හිතෙන් බැන-බැන වෙන්නැති! ස්තුතියි උපාලි! (දැන් උපාලි ග්‍රාම සේවක රස්සාවෙනුත් විශ්‍රාම අරගෙනය. උපාලි ගැන මෙතැන ලිව්වේ තව ඉස්සරහටත් ඒ හාදයාව ‘නිදිගෙ පංච තන්තරේ’ට කැන්දන්නට වෙන හින්දාය.)

පාරිකා ‘දොයි දොයි මගෙ පුතු’ සින්දුව කියාගෙන ගල් ගුහාවට එන්නේ බිලිඳු සාම කුමාරයාවත් ‘කුරුලු තොරන්’ය!

නාට්‍යයකදී කුරුලු තොරන්.......
ඊළඟ තත්පරයේ සාම කුමාරයා ගල් ගුහාවෙන් එළියට දුවගෙන එයි. ‘හා, හා පුතණුවනි සාම. පරෙස්සමින්... නොදුවා ඉන්න... නොදුවා ඉන්න...” කියාගෙන සාම කුමාරයාගේ පස්සෙන්ම පාරිකාත් ගල්ලෙනෙන් එළියට එයි!

සාම කුමාරයා එහෙම දුවගෙන එද්දී....