පුදුමාකාර
විදිහට අහම්බයන් කීපයක් එකට කැරලිලා...... |
හිතාදර තුෂාරි නංගී,
ගිය සතියේ
අඟහරුවාදා; (අගෝස්තු 11 වෙනිදා) ඔයා අපේ ගෙදරට ඇවිත් ගිය දවසේ නම්, හීනෙකින්වත්
හිතුවේ නැහැ මට මෙහෙම ලියුමක් ලියන්න හිත දෙයි කියලා. ඒත් ඉතින් අපි හිතන දේවල්
නෙවෙයිනෙ වෙන්නෙ. පුදුමාකාර විදිහට අහම්බයන් කිහිපයක් එකට කැරලිලා, මේ ලියවිල්ල
නොලියා බැරි තැනට වැඩ සිද්ද වුණා.
මේ සේරම
පටන් ගත්තේ අඟහරුවාදා උදේ අපේ ගෙදර ටෙලිෆෝනය බෑඟිරි ගෑමෙන්.
“Nimal
අයියේ,ඔයා අද ගෙදර ඉන්නවද?”
ඔයා මට කතා කළේ ගොඩ කාලෙකින්. දැන් මම ගෙදරින් එළියට බහින්නේ කලාතුරකින්ය කියලා ඔයා දන්න එකක්යැ? ‘පුක කැඩුණු කඩි’ සෙයියාවෙන්, දුව-පැන ගිය ‘මිස්ටර් කලබල’ කෙනෙක්නෙ ‘පියසිරියෙත්’, ‘විදර්ශන ප්‍රකාශන’ එකේත් වැඩ කරන කාලෙ හිටියේ. (ඊටත් අවුරුදු ගණනාවකට පස්සෙනේ මං ලෙඩ වුණේ; කලබල ගතිය අතුරුදහන් වුණේ; ඒකත් වුණේ ඇඟෙන් විතරයි; හිතෙන් නෙවෙයි.) මං ඒ වැල්වටාරං ඒ වෙලාවේ ඔයාට කිව්වෙ නෑ.
“ඔව්
තුෂාරි නංගී. දැන් ඉතින් වැඩිම හරියක් ගෙදරම තමා ඉන්නේ.....”
අපි
එහෙමයැ? මළ ගෙදරකදිත් ශෝක mood නොගහා හිනා වෙවී... |
“අනේ අයියේ, ඔයාව බලන්න එනවයි-එනවයි කියල කිව්වට, අද වෙනකං එන්න ඉඩක් හම්බ වුණේ නැහැනේ. අද අපි එන්නයි හදන්නේ.... සුහාෂිටත් එන්නම ඕනිලු නිමල් මාමව බලන්න.”
“ෂෝක්...
එන්න, එන්න....” මං හිතන්නේ එවෙලේ මට දැනුණු සතුට මගේ කටහඬේ තියෙන්නැති. කොච්චර
එකක්ද ඔයා, සුහාෂි වගේ අයව දකින එක.... කතාබහ කරන එක.... අවුරුදු දහයකට විතර
පස්සේ......ඔයාවයි, ජනකවයි, විදූෂිවයි නම් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා Book Fair
එකේදීත් දැක්කේ. ඒ විතරය.... එදා ඔයාලා අලුත්ම විදර්ශන ප්‍රකාශන ගොඩාරියකුත් pack කරලා දුන්නේ සල්ලිත් ගෙවන්න ඉඩ නොදී.......
ඔයාට නම්
මතකයිද මන්දා. මුලින්ම නම් මම ඔයාලට එච්චර හිතවත් වුණේ නැහැ වගේ.
දන්නවනේ,
ජනක ඉනිමංකඩ මහත්තයා හිනාවෙන්නේ අතින් වියදම් වෙනවා වගේනෙ. එයාට කලාතුරකින් තමයි
නයිට්‍රස් ඔක්සයිඩ් (Nitrous oxide) වාතය වදින්නේ. අපි එහෙමයැ? අපි කිව්වේ ඔයා- මං
එහෙම. මළ ගෙදරකදිත් ශෝක mood නොගහා, හිනාවෙවී ඉන්න ජාතියෙනේ...
ජනකගේ ‘බකුසු
මූණ’ හින්දම වෙන්න ඇති, අපි හඳුනාගත්තු මුල් කාලේ මට එච්චරටම සමීප බවක් නොදැනුණේ.
තවමත් මට ලජ්ජා හිතෙන වැඩකුත් වුණේ ඒ නිසාම වගෙයි. ජනක ඉනිමංකඩ මහත්තයට නම් ඒ
විත්තිය අමතක වෙලා තිබ්බේ නැති පාටයි.
මෙයා අපේ
වෙඩින් එකට නෑවිත් නාට්‍යයක් බලන එකට ගියා! |
“ඒයි, ඔයාට මතකද, නිමල් අයියා අපේ වෙඩින් එකට ආවේ නැති එක. එදා මෙයාට මොකක්ද නාට්‍යයක් බලන්න යන්න තියෙනවයි කියලා කිව්වනේ. ඒ දවස්වල මෙයාට අපේ wedding එකට වැඩිය ලොකු වුණා නාට්‍යයක් බලන එක....”
පස්සේ දවසක
මගේ ඉස්සරහම, ජනක ඔයාට එහෙම කිව්වා මතකද? ඇත්ත තමයි. ඒත් ඒ දවස්වලම මම ඔයාව
හඳුනාගෙන හිටියා නම්, නාට්‍ය බලන එක පැත්තකින් තියලා ඔයාලගේ විවාහ මංගල්‍යයට
එවෙන්න ඉඩ තිබ්බා. (ඒ කාලේ රාජ්‍ය නාට්‍ය උළෙලට- ජාතික තරුණ සේවා සභාවේ යෞවන
සම්මාන නාට්‍ය උළෙලට තරග වදින නාට්‍ය එකක් නෑර බලන පුරුද්දක් මට තිබුණා. දැන් නම්
මට ඒ නාට්‍ය පිස්සුව නැහැත් එක්ක. ඇයි දැන් වේදිකා උඩ කෙරෙනවට වැඩිය හොඳ නාට්‍ය රට
පුරාම තිරෙන් පිටිපස්සේ නැටවෙනවනේ! )
තුෂාරි
නංගී, ඉස්සර මම දන්න විදිහට නම්, ඔයා වැඩිපුර අන්තර්ජාලයේ සැරිසරන කෙනෙක් නෙවෙයි.
දැනුත් එහෙමද මන්දා.
මම මේ
ලිපිය ගොතන්නේ, මං ලියන බ්ලොගයේ publish කරන්න හිතාගෙන. ලියලා ඔයාට එවන්න නෙවෙයි. ඒත්
මොකෝ? අලුත් තාක්ෂණය එක්ක ගැවසෙන, දැනුම යාවත්කාලීන කරගන්නා ජනක මහත්තයා ඔයාටත් මේ
ලිපිය පෙන්නාවිනේ..... ඔයා එහෙම කියෙව්වේ නැතත්, මගේ ජීවිත කතාව කියවන්නට ‘නිදිගෙ
පංච තන්තරේ’ පෙරළන උදවිය හරි මේක කියවයිනේ.
ඉතින්
ඔයාලා අපේ ගෙදර ආවා.... දෙයියනේ, එතකොට චූටි හුරතල් සමනලියෙකු වගේ හිටි සුහාෂි
දැන් ලොකුයි. අපූර්වත් ලොකුයි....
අපි දෙන්නා
කතාවට වැටුණා..... තොරතෝංචියක් නැතිව.....
ඔයා අරං ආව
පොත් දෙකක්ම ඒ අතරේ කියෙව්ව්වා........ |
“අම්මයි නිමල් මාමයි කතා කරනවා.... කරනවා.... අපි දෙන්නට අහගෙන ඉන්න විතරද තියෙන්නේ?” බැරිම තැනද කොහෙද සුහාෂි දෝණි නොක්කඩුත් කිව්වා.
ඔයාලා එන්න
දවසකට කලින් මගේ කම්පියුටරේ කැඩුණා. මං පත්තරවලටයි, පොත්වලටයි කොටුවෙලයි හිටියේ.
බලන්නකො නංගී, ඒකෙත් හැටි. පණ නැති; ඒත් පාළුව මකමින් ලෝකයම ඇස් ඉදිරිපිටට අරගෙන
එන කම්පියුටරේ කැඩිලා තිබුණු එකත්, මේ සතියේ මට ලොකු ආසිරිවාදයක් වුණානෙ!
ඔයාලා
උස්සගෙන ආව කදමලු අතරේ තිබ්බ පොත් දෙකක් කියවලා ඉවර කරන්න ඉඩ ලැබුණා සිකුරාදා
වෙද්දීම. මං කිව්ව විදිහට කම්පියුටරේ කැඩිලා තිබුණු හින්දා.
කවුද නංගී
මට තෑගි ගෙනෙන්න ඕනි පොත් තේරුවේ? ඔයයි ජනකයි දෙන්නමද?
කොහොමද
ආගම්වාද- දර්ශනවාද- දේශපාලනවාද සේරම එකට කලත්තපු මෙච්චර රසබර පොතක්, ඒ ගොන්නට
දාන්න හොයාගත්තේ? එච්චරකුත් නෙවෙයිනෙ නංගී, ඉතිහාසයෙ වැදගත් තැන්..... අනෙ අම්මෝ,
පිටු 328ක පොතකට ඔය සේරම කැටි කරපු පොතක්.... මට නං විශ්වකර්ම වැඩක්!
මට නං
කැත්ලින්ගෙ ‘ඉවුරු’ පොත සප්ත මහා සාගරේ වගෙයි! |
‘ඉවුරු - ගඟ සිඳී ගිය දා’!! නම එහෙම වුණාට, මට නම් ඒ පොත සප්ත මහා සාගරය වගෙයි. කල්ප විනාශයෙදීවත් නොසිඳෙන තරම් ලොකු භව සයුර වගෙයි...
..... “සියදිවි
නසාගැනීම කියන්නේ පාපයක් ද ෆාදර්?”
“ඇයි
නැත්තෙ?”
“ඉතිං
කන්න-බොන්න නැත්තං මනුස්සයෙක් ස්වාභාවිකව මැරෙන විත්තිය දෙවියන් වහන්සේ නොදන්නවා වෙන්න
බැහැ නේ?”
පියතුමා
එවර ද නිහඬ ව සිටියේ ය. යළි-යළිත් කතා කළේ වෙරෝනිකා ය.
“එතකොට
බඹසර ආරක්ෂා කරගෙන එහෙම මැරිලා යන එක ද, සදාචාරෙට හෙණගහල ගියාදෙං කියල ජීවිතේ
ජීවත් කරවන එක ද අඩුවෙම්ම පල දෙන පාපෙ වෙන්නෙ?”
“වෙරෝනිකා,
ඕකට උත්තරයක් දෙන්න ඕන දෙවියන් වහන්සේමයි.” පියතුමා කීවේ නොසතුට නොමනාපය හැඟවෙන
පරිදිය.
“මං
දෙවියන් වහන්සේ නෙවෙයි.” (42 පිටුව)
ඔයාත් මේ
පොත කියවන්න ඇති නේද තුෂාරි නංගී. කැත්ලින් ජයවර්ධන ඉතාම සූර විදිහට අඩුම වචන
ගණනාවකින් කියන කතන්දරේ කොයි තරම් ප්‍රබලයිද?
අර කොණ්ඩ
වහල්ල ගොත ගොතා උන්න අතිම්මනෙ ධාතූන් වහන්සෙට උඩින් දාපු..... |
‘..... බුදුමැඳුර තුළ ධාතුන්වහන්සේ නමක් සුරක්ෂිත ලෙස තැන්පත්ව ඇති කුඩා චෛත්‍ය අනුරුව ආවරණය කළ මුතු ඇල්ලූ රෙදිකඩ ඇය අතගා බලන්නට වූයේ ‘අනේ හරි ලස්සනයි’ කියමිනි.
“ළමයො ඕව
තියෙන්නේ අතගාන්න නෙවි.” නන්දිතා මෙහෙණියගේ විරෝධය පිටපැන්නේ එසේ ය. වෙරෝනිකා
නික්ම ගිය පසු ඒ චිත්තාවේගය පුපුරා ගියේ දේවමිත්තා මෙහෙණිය හමුවේය.
“අර කොණ්ඩ
වහල්ල ගොත ගොතා උන්න අතිම්මනේ ධාතූන් වහන්සේට උඩින් දාපු රෙදි කෑල්ල ඇල්ලුවෙත්.”
“කොණ්ඩ
ගහකට මොකට බයවෙනව ද මෙහෙණින් වහන්ස? දන්ත ධාතූන් වහන්සේ මේ රටට වැඩම කළෙත් ස්ත්‍රී
කෙස්රොදක දැවටිලා නේ?” (56 පිටුව)
ඇත්තටම
තුෂාරි නංගී, කැත්ලින් අපිව පල්ලියට- පන්සලට විතරක් එක්කගෙන යන ගමනක් නෙවෙයිනෙ
මේ...
... “දැංඋඹට
මාව රුස්සන්නෙත් නෑ.” යි අම්මා කීවේ සුසුමක් හෙළමිනි.
“මොනවා
කරන්න ද මගෙ පුතේ? මේකට තමයි කරුමෙ කියන්නේ.”
“කරුමෙ? ඒක
කොහෙද තියෙන්නේ?”
“උඹත් එක්ක
මං වාද කරන්නේ නෑ. වාද කළොත් දිනන්නේ උඹ. ඒත් මොකටද පුතේ? කටින් දිනන එකේ වැඩක්
තියෙනවැයි? දිනන්න ඕනේ ජීවිතේ නේ?” (69 පිටුව)
මේ
රණවිරුවා 71 කැරැල්ලට කැපවී, පණ දුන් යුවලකගේ පුතෙකි! |
කැත්ලින් ජයවර්ධන එහෙම අපව කැටුව යන්නේ රණවිරුවෙකුගේ නිවහනටයි. ඒ රණවිරුවාත් එසේ මෙසේ කෙනෙකු නොවේ! 1971 කැරැල්ලට පණ දී, ඒකටම ජීවිතයත් දුන් කෙනෙකුගේ පුතෙකි, කැරලිකරුවනට බත් තැම්බූ සටන්කාමී මවකගේ පුතෙකි. එහෙත්....
“ඇයි මාව ඉපැද්දුවේ? ඇයි මාව ලොකු මහත් කළේ?” යි
ඔහු කෑගසා ඇසුවේ ය.
“කිසිම
දෙයක් නොදන්නා නොතේරෙන නොදරුවකුට යම් යම් දේ කරලා දීලා, තේරෙන කාලෙදි ඒ දරුවට ඒව
ගැන වගපල කිය-කියා වන්දි ඉල්ලන එක නේ අම්මල ඔය කරන්නෙ?”
“මං කවද්ද
උඹෙන් වන්දි ඉල්ලුවෙ?” යි අම්මා ඇසුවේ ද වියරු ආවේගයකිනි.
“හනේ
දෙයියනේ..... මේව දෙයියන්ටම පෙනිච්චාවෙ. තාත්ත නැතිවෙනකොට බඩට මාස තුනයි. උපන්නට
පස්සෙ උඹ ව හදාගන්න, උඹට උගන්නගන්න මං කරපු යම යුද්දෙ ගැන උඹට හිතා ගන්නවත් බෑ.
මටත් තිබුණ වෙන ගෑනු වගේ අවලමේ ගිහිං රජ සැප විඳින්න. ඒත් ආත්ම ගෞරවෙයි පතිවතයි
ආරක්ෂා වෙන්න ඕන කියලයි මං හිතුවෙ....”
“අන්න ඒ
දෙක තමයි හෙණේට හිටියෙ!” යි ඔහු කීවේ උපහාසාත්මක ව ය.
“මොකට ද
ඒවා? කොච්චර වටිනව ද ඕව දැං මාකට් එකේ? කොච්චර මිලක් ගෙවනව ද ඒවට?”
“උඹ නං
දරුවෙක් නෙවෙයි, මරුවෙක්!” අම්මා කීවාය.
“දරුවෝ අම්මලත්
එක්ක කෙහෙවලු පටලවගන්නෙ අම්මල අයාලෙ යනකොට. නම්බුව ආරක්ෂා කළැයි කියල අම්මට
හිනාවෙන එක ම දරුවා තමයි උඹ!” (72 පිටුව)
ඒ කාලේ
විදර්ශන පොත් ගෙදර තිබුණු තැන දැන්..... |
ගමේ ගෙදරක; නගරයේ මහා මන්දිරයක; යුද පිටියක- හමුදා කඳවුරක විතරක් නොවේ, පල්ලියක; පන්සලක පවා දැන් සාමය නැත. සංහිඳියාව නැත; අස්වැසිල්ල- සැනසීම නැත. එහෙම වෙන්නේ කාගේ වරදින්ද? මේ පිටු 328 ඇතුළේදී කැත්ලින් ජයවර්ධන අප ලවා හොයවන්නේ එයයි.
තුෂාරි
නංගී, ඔයාත් ‘ඉවුරු’ පොත කියෙව්වද? ඒ ගැන නම් මට ටිකාක් සැකයි.... පොඩිපටු වැඩ
කන්දරාවක්ය ඔයාටත් තියෙන්නේ? මට එහෙම හිතුණේ අද උදේ FB එකෙන් ෆොටෝ එකක් දැක්කාම.
කළුබෝවිල,
පන්සල පාරේ අංක තිස්තුනේ ගෙදරත්, එහි තිබුණු ‘විදර්ශන පොත් ගෙදර’ත් අතුරුදන් වෙලා.
හය මහලකින් යුතු නිවාස සංකීර්ණයක් එතැන හැදිලා, කුලියටත් දෙන්න ලැහැස්තියි. ඒත්
එකම එක දෙයක් විතරක් වෙනස් නොවී එහෙමම ඉතිරි වෙලා තියෙනවා වගෙයි, ෆොටෝ එකට අනුව
නම්! සදාහරිත ඇට්ටේරියා ගහ!!
ඒ දවස්වල
අපි කොච්චර නම් දේවල් කතා කළාද? අපි නම් හුඟක් වෙලාවට කතා කළේ පොත් ගැන. ජනකලගේ
තාත්තා; Ik මුදලාලිත් කතාවට එකතු වුණාම නම් ඒවා රටතොටට- දේශපාලනේට දික් ගැහුණා.
මතකයිද, ඒ දවස්වල ඔයා නම් වැඩියත්ම කතා කළේ ‘අසිරි සිරිනි’ පොත් සීරීස් එක ගැන.
හිතවත් කෙනෙකුට තෑග්ගට දුන්නෙත් එව්වා.....
‘වරණ’
පොතත් මට හොඳට වැදුණු එකක් හින්දා මම ඉස්සෙල්ලාම ‘තිවත’ පොතයි..... |
ඒ පුරුද්ද හින්දම වෙන්නැති ගිය අඟහරුවාදා එනකොටත් අපූරු පොත් ටිකක් මට කද බැඳගෙන ආවේ.
ඇත්තම
කියන්නද? මං ඒ පොත්වලින් ඉස්සෙල්ලාම කියෙව්වේ පද්මිනී සෙනෙවිරත්නගේ ‘තිවත’. මොකද
ඔයාලම කලින් දවසක මට තිළිණ කළ, ඒ කතුවරියගෙම ‘වරණ’ පොතත් මට හොඳට වැදුණු එකක්
හින්දා. වරණ වගේම තිවතත් අපූරුයි. දෙකම ඉතිහාස කතානේ. ටිකාක් ඈත ඉතිහාසය කියනවා,
මෑත ඉතිහාසෙත් නිකම්ම මතක් වෙන විදිහට, රස බේරෙන්න. ඇත්තටම තුෂාරි නංගී, පද්මිනී
නෝනාට තියෙන ඉතිහාස දැනීම හිතාගන්නත් අමාරුයි නේද?
දැන් ඉන්න ගොඩ දෙනා පම්පෝරි ගහන්නේ දුටුගැමුණු රජතුමා ගැන විතරක් දැනගෙනනෙ..... එයාලා පොත් කියවන්නේ නැති නිසාම හොඳයි! ‘තිවත’ කියෙව්වොත් හෙම මායාදුන්නේ හරි, ටිකිරි රජ්ජුරු හරි වෙන්න හදයි කියන බයටයි මට එහෙම කියවුණේ!! දුටුගැමුණුලා විතරක් හිටියම මදැයි!!!
ඉතින්,
තිවතට පස්සේ ‘ඉවුරු’ අතට ගත්තා. හැබැයි, මුලින්ම නම් ඒක ඒ තරම් හොඳ පොතක්ය කියලා
මට හිතුණේ නෑ.
ඒ කාලේ චිත්‍රකතා පත්තරයි, අතට අහුවෙන හැම පොතක්මයි කියවපු පුරුද්ද හින්දා වෙන්නැති- මං කැමති නිස්කලංක පටන් ගැන්මකට නෙවෙයි. එකෙන්ම බොක්කට වදින තැනකින් පටන් ගන්න කතාවලට.
භානු ඝාතනය
සාධාරණීකරණය කළේය. වැඩි දෙනෙකුගේ යහපත වෙනුවෙන්.... |
තුෂාරි නංගී ඉතින් මගේ අති-පණ්ඩිත ගොන්කම් දන්නා හින්දයි මේ කියන්නේ, මං ලිව්වා නං ‘ඉවුරු’ පටන් ගන්නේ 4වෙනි පිටුවේ තියෙන ටිකක් ඉස්සරහට අරං. මතකයි නේද මේ ටික?
‘.... භානු
‘ඝාතනය’ සාධාරණීකරණය කළේ ය. ඔහුට අනුව වැඩි දෙනෙකුගේ යහපත වෙනුවෙන් ටික දෙනෙකු
ඝාතනය කිරීම කවර ආකාරයේ හෝ පාපයක් නොවේ. ඔහු කීවේ පින්-පව් කතන්දරය ඇතුළු බයිබලීය
අවධාරණ කෝකටත් තෛලය මෙන් භාවිතයට ගත නොහැකි බවය.
“මිනිස්සු
මරණ එක පව්” යි එවැනි විටක ඇය කීවිට “ඇත්තටම ඒක පින් ද? පව් ද?” යි ඔහු ඇසුවේය.
අනතුරුව
ඔහු හිත තිගස්සනසුලු කතාවකට මුලපිරුවේ පිටුපා යන ඇයගේ සෙවණැල්ල පාමින් ඇය පසුපස
ඇදී එමිනි.
“පින්-පව්
කියල දෙයක් ඇත්තටම තියෙනව නං හිට්ලර්, නැත්තං අඩුගානෙ ඉඩිඅමින් හරි ඝාතනය කළ කෙනෙකුට
පවක් ද පිනක් ද සිද්ධ වෙන්ට තිබුණෙ?” (4 පිටුව)
මං ඔය විදග්ධ විචාර කරන්න දන්නා කෙනෙක් නෙවෙන නිසයි, කිසිම පැකිළීමක් නැතිව මෙව්වා කියන්නෙ. රසිකයෙකුගේ අදහස් දැක්වීමක් විදිහට. මගේ අදහස් කියවලා; දැනගෙන තව එක සහෘදයෙකු හරි මේ නිර්මාණ රස වින්දොත් කියල හිතාගෙන. ඒක මටත් පිනක්නෙ, තුෂාරි නංගී.
‘තිවත’ එකේ
‘පත්තාමේස්ත්‍රී සිංහල කීර්ති රාජපක්ෂ භාති රාජ්ජ වන්නියා’ වගේ..... |
ඉතින්... 5-6 පිටුවලට යද්දීම පොත බිමින් තියන්න හිතුණේ නෑ. දිගටම කියවාගෙන ගියා. පිටු 25ක්-30ක් කියවනකොටම මට හිතුණා ඔයාට ලියුමකින්ම විස්තර කියන්න ඕනියි කියලා. ඒ විඩේ මං පෑනකුයි කොළයකුයිත් ළඟට ගත්තා.
නංගී හිතුවෙ ලියුම ලියන්න කියලද? පිස්සුද.... දැන් මට ලියවෙන අකුරු මටම කියවගන්න අමාරුයි, කැතේ බෑ. ලියුමක් ලියන්න නෙවෙයි; ලියුම ලියනකොට ඕනේ වුණොත් කියලා පොතේ වැදගත් තැන්වල පිටු අංක ලියාගන්නයි කොළේ ළඟට ගත්තේ.
දැනටමත් පෙනෙනවානේ... ‘තිවත’
පොතේ ‘පත්තාමේස්ත්‍රී සිංහල කීර්ති රාජපක්ෂ භාති රාජ්ජ වන්නියා’ වගේ අර ලියාගත්තු
සටහන්වලින් වැඩ ගන්න හැටි.
ඉතින්....
You are fortunate to have books and time to read them. I have collected lot of books thinking I will read them one day. That one day yet to come. (Wijebahu)
ReplyDeleteඔව් විජේබාහු මහත්තයෝ, අසනීපය කරපු හොඳම වැඩේ මට ලොකු විවේකයක් දීම. ඒත් මට නං දවසේ වෙලාව මදි තියෙන රාජකාරිවලට.
Deleteහැබැයි මම මටම තෑගි දීගන්නවා පොතක් කියවන්න- film එකක් බලන්න- පත්තර කියවන්න- ගහක් හිටවන්න- කෑමක් උයන්න වගේ දේවල් කරගනිමින්....
ගොඩක්ම බ්ලොගයත් ලියමින්.......
හිත ඇති නම්.....
මැදැයි.. දැන් ඉතින් 'ඉවුරු' හොයන්න එපැයි. නිමල් අපිව පිස්සු වට්ටනව.
ReplyDeleteපින් පව්, සදාචරය, කරුමෙ වගෙ දේවල් ගැන මටත් ඔය ප්‍රශ්නම තියෙනව. මට හිතෙන්නෙම අපිට ධර්මය කියල කියලා දීල තියෙන්නෙ බුදු හාමුදුරුවො කියපු දේ වලට හුඟක් modifications දාල කියලයි, negative side එකට.
මම නම් දැන් කිසිම දෙයක් 'කරුමෙ' කියල හිතන්නෙ නැහැ ඒ වෙනුවට හැම ප්‍රශ්නයක්ම ජීවිතේ යමක් ඉගෙන ගන්න ලැබුනු opportunity එකක් කියලයි ගන්නෙ. It is much more empowering than thinking of karma, pin paw etc.
අනේ Lotus මහත්තයෝ මටත් කරුමෙ මතක් වෙන්නෙම නැති ගානයි! ගොඩක් හිතන දේවල් ඒ එක්කම හිතට එනවාත් එක්ක......
Deleteමොකද මට කලකිරීමක් ඇත්තෙම නැති තරම් නිසා. යන්තමට- ලාවට දුකක් හිතුණත් මේ යක්ෂ මං ඒකටත් කැමතියිනේ. ෆිලම් එකක් බලද්දී එහෙම- දුක්බර කතාවක් කියවද්දී එහෙම හෝ ගාලා කඳුළු උනනවටත් මම කැමතියි; ඇස් පිරිසිදු වෙනවනේ....
අනෙක ශෝකයත් එක රසයක්නේ.
ඉවුරු කියෙව්වම නං ඔයාට හිතෙයි ත්‍රිපිටකයයි; බයිබලෙයි, කුරානෙයි, භගවද් ගීතාවයි සේරම කියවනවා වගේ.... කරදර වුණත් හොයාගෙන කියවන්න...
මට නං නොමිලේම ගෙදරටම ගෙනත් දුන්නනේ තුෂාරි නංගී.
//දැන් ඉන්න ගොඩ දෙනා පම්පෝරි ගහන්නේ දුටුගැමුණු රජතුමා ගැන විතරක් දැනගෙනනෙ.....//
ReplyDeleteරජවරු කිව්වාම දුටුගැමුණු ගැනයි, ගල්ගුහා කිව්වාම වලගම්බාහුයි විතරයි තමයි හුගක් අය දැනගෙන හිටියේ.
දැන් ඔය මොන ඉතිහාසයක්වත් නොදන්නා හා උවමනාත් නැති විද්වතුන් කොටසක් ඉන්නවා. වැඩිපුරම සෝෂල් මීඩියාවල. රාවණා සහ රාවණාගේ හත්මුතුපරම්පරාවම කට පාඩමින් දන්න. ඒක හරිම happening ඉතිහාසයක්. දිනෙන් දින කෑලි ඇමිණෙනවා.
වාල්මිකී දැනගෙන හිටියනම් මිනිහගෙ කතාවට මෙහෙමවෙයි කියලා !
Pra Jay මහත්තයෝ, මාත් හරිම ආසයි fictionsවලට. හැබැයි හොඳට-නියමෙට ගොතලා තියෙන්න ඕනි.
Deleteකරුමෙ කියන්නේ අපේ මිනිස්සු වැඩි දෙනෙක් හිතළු ගොතන්නවත් දන්නෑනෙ. මං හිතන්නේ දන්නෙ බොහොම ටික නිසා වෙන්නැති.
රාවණා කතන්දර ගොඩකුත් දුර්වල ගෙතුම්!
අපි මේ ලියන කතන්දරත් කවද හරි ඉතිහාසය වෙන්න පුළුවන්. ඔය දුටුගැමුණු රජ්ජුරුවො දිවිය ලෝකෙ ගිය කතාව, සාලිය කුමාරයා උපන් දවසෙ හාල් වැහැපු එක එහෙම... තව, මිහිඳු හාමුදුරුවො මෙහෙ ඇවිත් සතියක් ඇතුලත මහා විහාරයෙ සීමා ලකුණු කරල, අවුරුදු සිය ගාණක් අනාගතේට ගොඩනැගිලි පිහිටන තැන් ඔක්කොම ප්ලෑන් කරපු එක එහෙම... ඔව්ව ඔක්කොමත් කතන්දර ම තමා සැදැහැව වඩවන්ඩ කරපු.
Deleteසුනේත්‍රා නොහොත් අවිචාර සමය වගේ කතාත් ඉතිහාසයට එකතු කරගම්මු.
ඩ්රැකී උන්නැහේ. කතන්දර ඉතිහාසයට එකතු කරගනිමු.
Deleteහැබැයි හැබෑ ඉතිහාසය ඉස්සරහට ඇදගන්නේ නැතිව ඉඳිමු. එහෙම කරන්නේ ජාති බ්‍රෂ්ටයෝ!