කාවද වැඩියෙන්ම හිතට වැදුණේ කියලා නම් අහන්න එපා! |
ඉතින්....
ඔන්න බලන්නකො ඒකෙත් හැටි. තිවතෙදී හම්බ වෙන
අපේ මුතුන්-මිත්තන් අතරෙන් මගේ හිත හොරාගත්තේ රජ්ජ වන්නියා. ඒත් තුෂාරි නංගී
‘ඉවුරු’ පොතේ කාවද හිතට වැදුණේ කියලා නං අහන්න එපා. ඒ ප්‍රශ්නයට කොහොමද උත්තර
දෙන්නේ. පිටු 328ක් අතරේ සැරිසරන කට්ටිය එච්චරට ගොඩයි!
ඈන් මරී, භානු, වංගීස, අම්මා, සුදත්චන්ද්‍ර,
ෂර්ලි පියතුමා, වෙරෝනිකා, දේවමිත්තා- නන්දිතා මෙහෙණිවරු, නර්මදා, චාලක, සුභාෂ්,
ජයරාජ් වනසුන්දර.... ඒ හැමෝම විතරක් නෙවෙයි, අර සාක්ෂරතාවෙන් හෙබි කපුටු
උන්නැහේ... ඔය කිව්ව කට්ටියගෙන් සමහරුන් මේ දවස්වල හීනෙනුත් ඇවිත් එයාලගෙ වගතුග මේ නිදිට කියනවා.
පහුගිය දවස්වල ‘තණමල්විල කොල්ලෙක්’ බලද්දිත් සැරෙන් සැරේ මට ඔය හීන අලකලංචිය තිබ්බා. ටෙලියක, පොතක වුණත් ඉන්න උදවිය හැබෑම පණ ගැහෙන උදවිය වුණාම එක විඩේම අමතක වෙලා යනවයැ? හිතේ දිගටෝම හක්කලං කර-කර ඉන්නවා මිස.
එහෙම සහකම්පනයක් දැනුණාම සහෘද කෙනෙකු එක්ක ඒ හැඟීම් බෙදාගන්නමයි හිතෙන්නේ. අද කාලේ එහෙම කතාබහකට විවේකය තියෙන, ඉඩකඩක් තියෙන, කැමැත්තක් තියෙන සහෘදයන් හරි අඩුකම ලොකුම අවාසනාවක්.
මට පේන්නේ නං පාට-පාට හීන. හදිස්සියේ ඇහැරුණත්, මතක් කරලා නිඳා ගත්තම ආයේ cotinue.... |
කොච්චර හෘදයාංගම වුණත් හීන කියන්නේ සුව නින්දකට බාධාවක්ලුනේ. ඉතින් මං මේ ලිපිය ලියන්නේ ‘ඉවුරු’ පාත්‍ර වර්ගයා ගැන කාට-කාට හරි කියලා, මගේ හිතේ තියෙන මහා බරෙන් නිදහස් වෙන්නත් එක්කයි. භාව විරේචනයක්, එක විදිහක. ඒ වුණත්, මෙහෙම හිතට- මොළේට බරක් පටවන; මෙහෙම කම්පනයක් ඇති කරවන පොතක් ගෙනත් දුන්නට ඔයාට කොච්චර ස්තුති කළත් මදි, තුෂාරි නංගී.
ඇයි ජනක? මෙහෙම පුස්තක රත්නයක් ප්‍රකාශ කළාට
එයාටත් ස්තුති කරන්නම ඕනේ.
එතකොට නං මටත් ටිකාක් හරි ආඩම්බර වෙන්න පුළුවන්. මං දන්නා විදිහට නං ගොඩාරියක් සුවිශේෂී පොත් පරිවර්තනය කරවලා- අච්චු ගස්සලා- රැල්ලක් (trend එකක්) හැදීමේ ගෞරවය ජනකට හා සරත් විජේසූරිය දෙන්නාට අයිතියි.
ඉතින් මටත් චූට්ටක් විතර ආඩම්බරයි, එව්වා අච්චු ගහන ප්‍රෙස් එකේ ප්‍රින්ටින් මැනේජර් රස්සාව කළේ මං නිසා.... (අර ප්‍රකාශන වැඩේදි ඔයාගෙ මහත්තයාට එන නම්බුවෙන් කොටහක් නෝනටත් අයිති වෙන්නේ නිකම්මනේ. නේද?
කාලෙකට කලින් ජනක මට කිව්වා......... |
ඇත්තමයි, ඉස්සර තරම්ම නැතත් මං තවමත් පොත් කියවනවා; ගන්න යනවත් එක්ක ඉඳ හිටලා. ඉදිරි දවසකදී, එහෙම ගන්න ලියාගත්තු ලැයිස්තුත් තියෙනවා. ඒත් එකේවත් ‘ඉවුරු’ තිබ්බේ නැහැ කියන්නේ ඇත්තටමයි.
මොකද මන්දා මං කියවන
පත්තරවල එහෙම ‘ඉවුරු’ ගැන හිතට වදින සඳහනක් නොතිබුණේ. විචාරක උගතුන්ගෙ මිනුම්
කෝදුවල ඉවුරු කඩාගෙන යන තරම් ‘ඉවුරු’ පුළුල් නිසාද මන්දා.
සමහර විට උන්නැහෙලගෙ සිංහල බෞද්ධකම හින්දා
වෙන්නැති, ඉවුරු ඔහේ තියෙද්දෙන් කියලා එහෙම තූෂ්ණීම්භූතව ඉන්නේ. කැත්ලින් ජයවර්ධන
බොහොම අපූරුවට ‘හැමෝගෙම ජරාව කන; කළුම කළු කපුටෙක්’ ලව්වා කරවන ‘ගෙත්තම’ උන්නැහෙලට
අජූවයි වෙන්නත් ඇති සමහර විට!
‘... මේ ඇබැද්දියෙ, නස්පැත්තියේ හේතුකාරකය
තමයි කොහෙන්දෝ මට ලැබිල තියෙන මේ සදාකාලික ජීවිතේ. ඒ අසාමාන්‍ය කාලකන්නි වරප්‍රසාදෙ.
ඇත්තට ම කොහොම ද මෙහෙම වුණේ? ඇයි මෙහෙම වුණේ? සොබාදහමේ නැත්තං දෙවියන් වහන්සේගෙ
සෙල්ලමක් ද මේ? ජීවීන්ව වැරදි කොනින් අල්ලලා උඩුයටිකුරු කෙරෙන අවස්ථාත් තියෙනවා ද
මේ ලෝකෙ?
උසස් මනසක්; මනුස්ස හිතක් එක්ක
ඉපදුණු එකම කපුටද මං? |
අඩු ම තරමින් විෂයයක් හැටියටවත් විද්‍යාව හදාරලා නැති උදවිය මේ තේරවිල්ල තෝරන්නත් ‘ඩෝං’ ගාල අතඅරීවී නිව්ටන්ගේ නියාමෙ නැත්තං ඩාවින්ගේ පරිණාමවාදෙ. ඇයි ඉතිං? ‘මනුෂ්‍ය’ කියන්නේ ස්වභාවධර්මයෙන් වෙනස් වුණ ‘අතිවිශේෂ’ කොටසකට කියල නේ හිතං ඉන්නෙ? අත්දැකීමෙන් ම විසඳුම් හොයන්න පුළුවං ගැටලුවලටත් තේරුමක් නැතුව ඔළුගෙඩි වෙහෙසන්නෙ ඒක නේ.
උසස් මනසක්, මනුෂ්‍ය හිතක් එක්ක ඉපදුණ අවාසනාවන්ත එක ම කපුටා, එක ම තිරිසනා නෙවෙයි මං.
මං වගේ සත්තු තව ඇති. ඒත් කවුද දන්නෙ? කාට ද කියන්න පුළුවං? මීයන්ගේ රුධිරමාංස, ඇටමිදුළුවලින් මනුෂ්‍ය ශරීරෙ උපකල්පනය කරන විද්‍යාවට ඔය වගේ දේවල් අහුවෙන්න තව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්වත් ගත වේවි.
ඒත් ඉන් පස්සෙත්, කොහොමටවත් විද්‍යාවට අහුනොවෙන දේවල් ඉතුරු නොවී තියේවි ද?
පූර්වාපාර සන්ධි ගළපල මේ හැම දේ ගැන ම හේතු
දක්වන්න පුළුවං බුදුකෙනෙකුට විතරලු. ඉතිං එහෙම කෙනෙක් මේ පිටකොටුවේ බෝගහ යටවත්
බුදුවෙනවනං.... මේ වගේ ගාලගෝට්ටි මැද්දෙදිත් බුදුවෙන්න පුළුවංනං ඒක ම නෙවෙයි ද
හපන්කම? ඒකට ම නෙවෙයි ද නියම බුද්ධත්වෙ කියන්නෙ?’ (179-180 පිටු)
පිටකොටුවේ බෝධියේ උඩම අත්තක එල්ලිලා ඉඳන්.... |
ඇත්තටම තුෂාරි නංගී, ඔයාට හිතෙන්නෙ නැද්ද
මොකුත් ලියන්න?
හැමදාම එන-එන පොත් කතුවරුන්ට, කතුවරියන්ට ඔයාගෙ නිමක් නැති හිනාවෙනුයි; අන්න-පානවලිනුයි සංග්‍රහ කරමින් ඉන්න අතරේවත්... එයාලා එක්ක කෙරෙන සංවාදවලට කන්දීගෙන ඉන්නකොටවත්... එහෙම නිර්මාණාත්මක දෙයක් කරන්න පෙළඹවීමක් වෙලාම නැත්ද?
එක අතකට කොහොමද එහෙම වෙන්නේ.... ඔයා එක-එක සූපවේද අත්හදා
බලමින් ‘රජ බොජුන්’ හදන්නනේ කැමති.
මං ඉස්ඉස්සෙල්ලම ඔයාලගේ ගෙදරට ආවෙ ‘චින්තා ලක්ෂ්මී සිංහාරච්චි’ කතුවරියගෙ ‘ගෝරා’ පොත දොරට වඩින දවසේ.
අර සදාහරිත ඇට්ටේරිය ගහ
යට තමයි චින්තා ලක්ෂ්මී වාඩිවෙලා හිටියේ. ඒ පොත නං ඔයාලගේ ප්‍රකාශනයක් නෙවෙයිනෙ.
සරත් විජේසූරිය මහත්තයලගේ ‘විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන්’ එළිදක්වපු එකක්නේ.....
චින්තා මැතිනියගේ ‘ගෝරා’ පොතේ දොරට වැඩුම දවසේ, අර ඇට්ටේරියා ගහ යට..... |
ඊට පස්සේ චින්තා මැතිනියගේ අවසන් ගමනට සහභාගී වෙන්න යද්දිත් ජනක මට ආරාධනා කළා නුවර- මහයියාවට යන්න. එදා සරත් විජේසූරිය, අජිත් තිලකසේන, චූලානන්ද සමරනායක, ජයතිලක කම්මැල්ලවීර, ටෙනිසන් පෙරේරා, කමල් පෙරේරා (දැන් මතක් වෙන්නේ ඒ නම් ටික විතරයි..) වගේ විදග්ධයොත් එක්ක ගෙවුණු දවස.....
පොත් සීයකට තරම් දේවල් එයාලා කතා වුණේ! ඒවා කෙනෙකුට ලේසියෙන් හිමි නොවෙන chances.
‘..... නන්නාඳුනන මෙහෙණියකගේ මරණයක්,
නන්නාඳුනන කාක්කෙකුට ශෝකයක්, වියෝගයක් ගෙනාවෙ කොහොම ද? ඔන්න ඔය ප්‍රශ්නෙයි දැන්
හිතේ දෝලනය වෙන්නෙ. ඒත් වැදගත් වෙන්නේ පුද්ගලභාවය නෙවෙයි; පාරිභෝගික භාණ්ඩ වෙලා
ඉන්න මිනිස් රෑන අතරේ පණගැහෙන හදවතක් තිබීම....’(267 පිටුව)
චින්තා මැතිනියත් සිල් මාතාවක් වගේ. හිතා ගන්නවත් බැරි තරම් නිවිලා....
මට මතක විදිහට නං දවසක අපි ඇය ගැනත්, ඇයගේ ‘අරණකට
පෙම් බැඳ’ පරිවර්තනය ගැනත් ගොඩක් කතා කළා. ‘ඉවුරු’ පොතේ මෙහෙණියගේ මරණය හරිය
කියවද්දී මට මතක් වුණෙම මහයියාව සුසාන භූමියේ ඒ අඳුරු හැන්දෑව! ඒත් එක්කම සුමාන
දෙක-තුනකට කලින් වෛද්‍ය රොහාන් පුල්ලෙපෙරුම මහත්තයා දුරකතනයෙන් කියපු දේවල්.....
වෙස් මුහුණු දමාගෙන ‘හැඟුම් දඩමීමා වහං’ කරගෙන..... |
එදා අපේ ගෙදරදී මම තුෂාරි නංගීට කිව්වනෙ, මං
දැන් ඉන්නේ ‘සීරෝ’ ලෙවල් එකේ.... ‘රෙමිෂන්’ අවදියේ; දැනට අවුරුදු එකහමාරක ඉඳලා.
ඒකේ ගෞරවය හම්බන්තොට රෝහලේදී හමුවූ රොහාන්, තනුජා, සෙව්වන්දි වෛද්‍ය
මහත්ම-මහත්මීන්ට හා එයාලගේ කාර්ය මණ්ඩලවලට, මගේ හිතවත් වෛද්‍ය මිතුරන් ඇතුළු තව
ගොඩ දෙනෙකුට තමයි අයිති.
(මගෙ අම්මෝ! එහෙම බලාගෙන යනකොට නං ‘නිමල්
දිසානායක’ තවමත් නොමැරී පණ පිටින් ඉන්න එක ගැන කී දෙනෙකුට පිං දෙන්න ඕනිද, සත්තකට?)
කොරෝනා නිසා මාස හතරක් විතර ගෙදරටම හිරවෙලා හිටිද්දී, සතිපතා හමුවුණු හිතවතුන් හතර-පස් දෙනා අතරේ කෙරුණු සාකච්ඡාවක් ගැන බ්ලොගයේ ලියවුණා, ‘හැඟුම් දඩමීමාට වහංවී’ කියලා. ඒවා කියවලා තමයි රොහාන් මහත්තයා මට කෝල් කළේ.
“අපරාදෙනේ මිස්ටර් නිමල්.... මම හම්බන්තොට ඉන්න දවස්වල දන්නෙ නැහැනෙ ඔයාත් ලියන බව... ඔයයි ඩොක්ටර් අයස්මන්තයි ඔයාලගේ යාළුවො කීප දෙනා ගැනයි ඉරිසියයි. ඔයාලට වගේ කතාබහ කරන්න යාළුවො කොච්චර අඩුද දැන්? ඩොක්ටර් අයස්මන්තයි, යාළුවොයි එක්ක එන්නකො දවසක ගාල්ලේ, chat එකක් දාලා යන්න.....”
රොහාන් මහත්තයා එදා කියූ දේවල් මතක් වුණේ ‘පණ ගැහෙන හදවතක් තියෙන...’ ටිකේදී.
බ්ලොගර්ස් ඊව් හැන්දෑවේදි අපේ ගෙදර ආව අයට.... |
ඒ මදිවාට, තවම දැකලාවත් නැති ගොඩ දෙනෙකුත්- මාව හොයාගෙන ගෙදරටම ඇවිත් හිතවතුන් වුණු අලුත් පිරිසකුත් ‘නිදිගෙ පංච තන්තරේ’ නිසා ඔයාලා වගේම හිතවතුන් වෙලා.
ඒ හිතවතුන් අපේ ගෙදරට එකතු වුණ ‘බ්ලොගර්ස් ඊව්’ දවසෙ මං හැදුවෙ ඉන්දියන් කෑමක්.... පූරි! යාල කඳවුරු බිමකදී මං හදාපු පූරි කාලා ‘රිලවු සේරම පැත්ත පළාතේ ඉන්නේ නැතිව පැනල ගිය හැටි’ එහෙමත් අර එකතුව ගැන ලියපු පෝස්ටුවෙන් ‘පංච තන්තරේ’ කියවන ඇත්තන් නම් දැනගත්තා.
නන්දිතා සිල් මෑණියන්ටත් හිටියනේ, එහෙම
කුළුපග හිතවතියක්; පූරි නෙවෙයි සුප් හදන්න.......
‘... ඊයේ ඇය එසේ එද්දී රැගෙන ඈ අලංකාර බඳුන
තුළ වූයේ දුම්දමන එළවළු සූපයකි.
“මේක මට වේලාසනින් හරිගස්සගන්න බැරි වුණා.
කොහේ ද සිල්මෑණියො, කස්ටර්මස්ල පිරිල... හැන්දෑවෙ හයට සැලෝන් එක වහ ගත්තෙත් හරි
අමාරුවෙන්.” ඈ කීවාය.
“අර මොකෝ? අද නැකැත් දවසකැයි ඉෂ්කා නෝනා?”
සිල් ගන්න යන්න කලින් වුණත් පේෂල් කරලා, කොණ්ඩේ ඩයි කරලා.... |
“එහෙනං?”
“එන තරමක් කට්ටිය එන්නේ කොණ්ඩෙ ඩයි කරන්න. අද
විතරක් නෙවෙයි, හැමදාමත් මෙහෙම තමයි. ඒ කිව්වේ පෝයට කලින්දාට.”
“පෝයට කලින් දවසෙදි කිව්වෙ අද වගේ දවස්වල.
හෙට භාවනා වැඩසටහන්, ශීල ව්‍යාපාර කාරිය තියෙනවනේ මහා පන්සලේ? ඒවට එකතු වෙන හැමෝම
කොණ්ඩ ඩයි කරන්න එන්නේ අද.” (165 පිටුව)
තුෂාරි නංගී, වාසනාවට වගේ කවදාත් මට හමුවෙන
හිතවතුන් ඉෂ්කා නෝනගේ සැලෝන් එකට එන කස්ටර්මස්ලා වගේ ‘තමන්ට තමන්වම හොයා ගන්න බැරි
වුණු උදවිය’ නෙවෙයි. ජීවිතේ අතරමං වුණු
උදවිය නෙවෙයි. අලුතෙන් යමක් හොයාගන්න වෙහෙසෙන; හිතන; මස්තිෂ්කයෙන් වැඩ
ගන්නා උදවිය; කොටින්ම කියනවා නං මම වහන්සේ නම් ‘පණ්ඩිතානංච සේවනා!’ තමා.
ඉඳහිටලා චාලක වගේ උදවියත් මට හම්බ වෙනවා තමයි; සුභාෂ් වගේ අයවත්.
ජීවිතේ එහෙමනේ.... විවිධාකාර අය ජීවිතේට එනවා-යනවා. අපට
තියෙන්නේ ගැළපෙන; සමාන සුඛ-දුඃඛ මිත්‍රයන්ව තෝරාගන්න.....
‘... උණු-උණු උළුඳු වඩේ කකා, ප්ලේන්ටීවලින්
සප්පායම් වෙද්දී කැන්ටිමේ ශිෂ්‍යයො දිගින් දිගට ම කතා කළේ දේශපාලනේ. ඒ පවතින
දේශපාලනේ ම නෙවෙයි. උතෝපියාවක්, සර්ව සාධාරණ සමාජයක්, අලුත් පෙරළියක් ගැන නොතේරෙන
කතාබහක් තමයි ඒ දවස්වල හුඟක් තැන්වලින් ඇහුණෙ. හැබැයි සුභාෂ් කියන වෛද්‍ය ශිෂ්‍යයාට
ඒ ගැන තිබුණෙ ඍන ආකල්පයක්.මේ මහ පොළොවේ එහෙම
දෙයක්..........
‘ඕක ඔයගොල්ලගෙ හිතේ විතරක් තියෙන දෙයක්.
කවුරු කවුරුත් ප්‍රාර්ථනා කරනව තමයි එහෙම ලෝකයක්. ඒත් ඒක යථාර්ථයක් නෙවෙයි. මේ
මහපොළොවේ එහෙම දෙයක් ඇතිවෙන්නේ නෑ.”
සුභාෂ්ගේ අර්ථ දැක්වීමට එරෙහි වුණේ චාලක.
“උඹලා කොහොමද එහෙම කියන්නෙ?” (213 පිටුව)
චාලකගේ ප්‍රශ්නය මටත් අදාළයි වගේ. ඇත්තමයි,
මෙහෙම පෝස්ටුවකින්- දෙකකින් පුළුවන්ද ‘ඉවුරු’ වගේ පොතක කියවෙන අපූරු ‘කපුටු
ගෙත්තමක්’ ගැන වරුණා කරන්න. කෙටියෙන්ම කියන්න තියෙන්නේ මෙච්චරයි! ඒ ‘කපුටු ගෙත්තම
නං’ පංකාදු පහයි!!
හිතාගෙන හිටියාට වඩා ලියවුණා තුෂාරි නංගී. ජනක අලුතින් දියත් කරන ‘සිතිජ ග්රූප්’ එක නිසා ඔයාලා දෙන්නගෙම විවේක වෙලාව තවත් අඩුවෙයි. ඒත් කමක් නැහැ.
අනාගත පරම්පරාවට ඉන්න ප්‍රත්‍යන්ත දේශයක්...... |
ඉතිං, මාත් නවතින්නයි හදන්නේ. හැබැයි එදා,
අගෝස්තු 11 අඟහරුවාදා පිටත් වෙලා යන්න හදද්දී වෙච්චි පොරොන්දුව මතකයි නේද? “ආයෙමත්
ඉක්මනින්ම දවසක අපි ටික එනවා, ඔයාව බලන්න.”
එහෙම එන්න!
මොකද, එදා ඔයා කියපු මේ වචන ටික මට මෑත කාලෙක
හම්බ වුණු ලොකුම credit එකක්. මතකද, ඔයා කිව්ව දේ? “අනේ අයියේ, අදට අපේ තාත්තා
අන්තරා වෙලා අවුරුදු පහක්. මගේ හිතට ගොඩක් දැනෙනවා තවමත්... ඉතින් ඊයෙම හිතා ගත්තා
හිතට සතුටකටත් එක්ක අද ඔයාව බලලා, ටිකක් කතා කර-කර ඉඳලා යන්න ඕනියි කියලා”෴