අකුරු මැකී නෑ

Sunday, March 31, 2024

ප්‍රෝඩාරාමය - එකොළොස්වෙනි කොටස

මගේ කතාවට ඒ දෝණියන්දෑ හිනා වුණා. නමුත් දුවටත් වැඩියෙන් තොඳොල් වෙවී හිනා වුණේ අම්මයි.

“ඒ ඉඩමක් තමයි අනේ! මල්ලිකා නෝනල ඒ ගේ පොඩිත්ත හැදුවට පදිංචියට ආවේ නැහැනෙ. ඔහෙ නිකං වහල දාලයි තිබ්බේ. අපේ නන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ තමයි සුනිල් මහත්තයලට කතා කරලා අපිට ඒ ගෙදර අරන් දුන්නේ- කුලියට. උන්නාන්සේටත් ලොකු හයියක්නෙ දන්න අඳුරන මං වගෙ කෙනෙක් මේ ආරාමෙට ළඟ-පාතින්ම ඉන්න එක! අනික උන්නාන්සේට ඔළුවේ කැක්කුමක් හැදුණත් හිසේ තෙල් අල්ලක් ගල්ලන්නවත්...”
ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. වෙන තැන්වල නං කාන්තාවන්ට සවියක් වෙන්නේ පුරුෂයන්ය. මෙතැන ඒකේ අනිත් පැත්තය.

මට නම් ඔබතුමීව පෙනෙන්නේ මේ උපාසිකා මාතාව කියනවා වගේ එංගලන්තෙ මහ රැජිනිය වගේ නෙවෙයි. රැජිනක් වුණත් ඒ උත්තමාවිය...

ඉතිං, තව ඉස්සරහටත් මේ සුවිශේෂ උපාසිකා මාතාව ගැන ලියන්නට තියෙන නිසා... අපි එයාටත් නමක් දෙමු නේද? ඒක ලියන මටත්- කියවන ඔයාලටත් ‘මහ විශාල පහසුවක් වේවිනෙ!’ ඔන්න- මං එයාට දෙන නම විනීතා!

අබුද්දස්ස කාලෙදි ලබුත් තිත්ත වෙනවයි කියනවනෙ- මේ කොමළ ලියන් විසින් උපසපන් භික්ෂූන් රැකබලා ගැනීමේ සිද්දියත් එකක් එහෙම වෙන්නැති. එහෙමයි එදා මට හිතුණේ...

සමහර උදවියට හෙට අනිද්දා සිද්ද වෙන්න යන දේවල් වුණත් අදම කියතෑකි. (අපේ ආදරණීය පාඨකයන් ගොඩ දෙනෙක් ඒ ජාතියේ හපන්නු!) බස්සා මහත්තයත් ඒ වගෙ කෙනෙක් කියලයි මට හිතෙන්නේ.

මම එහෙම කිව්වෙ- බකුස්තුමා ‘ප්‍රෝඩාරාමය පළමුවෙනි කොටස’ට ලියා තිබ්බ ඡේද හතරකින් යුතු දිග comment එකක් සිහියට ආව හින්දයි. ඊට පස්සෙත් මේ සීරීස් එකේ postsවලට බොහොම රසබර comments එවපු හුඟක් රසික-රසිකාවියන් ‘වෙන්න යන දේවල් ගැන ටක්කෙටම අනුමාන කරලා’ තිබ්බ නිසා, මං වහන්සේ අමාරුවේ නොවැටී බේරුණේ හරිම අමාරුවෙන්.
ඇයි දන්නවද? කුතුහලය රැකගන්න මං ගොඩක් කැමැති නිසා, එව්වාට ව්‍යංග්‍යයෙන් උත්තර දෙන්න වුණු හින්දයි...

ඉතිං- බස්සා උන්නැහේ එදා මෙහෙමත් කියල තිබුණා.

‘ශ්‍රෝඩාරාමය - දැන් බලාන්ට නෝනා, මේ පිනෙන් සැසිල් මහත්තයට ස්වර්ගයේ ඉඳලා තව්තිසාවට ට්‍රාන්ස්ෆර් එකක් ලැබෙනවා. බෝනස් එකක් විදිහට අපි බග් පියට් එකකුත් ඒ පැකේජ් එකටම දානවා.’

බග් පියට් දාන කතන්දරේ නං, නන්ද හාමුදුරුවන් වහන්සේ කිව්වෙ නෑ. එත් ඊට වැඩිය ගරු-ගම්භිර කාරණාවල් නං කීපයක්ම දෙසුවා- අනුමෝදනා බණේදි.
ඒ විත්තියෙන් බොහොම චුට්ටක්; මේ යටින් තියෙන කොටස මං ලිව්වා ‘ප්‍රෝඩාරම නවවෙනි කොටස’ post එකට.

“ශ්‍රෝඩර් නෝනා. ඕක තමයි ලෝක ස්වභාවේ. ඔබතුමීත් මේ නිමක් නැති සංසාරේ සැරි සරමින් යන ගමනෙදි... මීට කලිනුත් අපට හම්බ වෙලා ඇති. ඔබතුමී අනන්ත අප්‍රමාණ වතාවක් ලෝභය මෝහය දුරු කරලා, මේ වගෙම දාන-මානාදී පිංකම් කරලා ඇති. මට නම් ඔබතුමීව පෙනෙන්නේ මේ උපාසිකා මාතාව කියනවා වගේ එංගලන්තෙ මහ රැජිනිය වගේ නෙවෙයි. රැජිනක් වුණත් ඒ උත්තමාවිය මිථ්‍යා දෘෂ්ටිකයිනෙ.
ඔබතුමී එහෙමද? ලෝකෙ තියෙන උතුම්ම ආගම; බෞද්ධාගම අදහන පින්බර උපාසිකාවක්නේ. ආන්න ඒ නිසා, ඔව්- අන්න ඒ නිසා- මට ශ්‍රෝඩර් මැතිනියව පේන්නෙ විශාඛා මහෝපාසිකාව වගේ; එහෙමත් නැත්තං බන්ධුල මල්ලිකා මහා උපාසිකාව වගේ...” කියලයි නන්ද හාමුදුරුවන් වහන්සේත් කිව්වේ.

හරියට ඒ මන්තරේ සිද්ධි වෙන්න 108 වාරයක් ඒක ජප කරන්නෙයි කියල...

එහෙම දේශනා කරගෙන යද්දී උන්නාන්සේ ‘මේ උපාසිකා මාතාව’ කියන වචන පිටකළේ අර සුකොමළ බවලතිය දිහාවට ඉතාම- ඉතාම සෙනෙහෙවන්ත; දයාර්ද්‍ර බැල්මක් හෙළමින්.

අනේ, ඒ ඇත්තිත් ඒ සඳහනෙන් හොඳටෝම ඔද වැඩිලා වගෙ මඳ සිනා පෑවා!

හැබැයි ඒ වෙද්දී ‘ඒ සිනාව- ඒ අඟර දඟර’ කොහොම වෙතත් මට ඒ අම්මණ්ඩිව අන්තිමටම එපා වෙලයි තිබ්බේ.

මොකද, උන්දෑ පුංචි ඉඩක් හරි හම්බ වෙච්චි ගමන්, අපේ අම්මට ඇහෙන්න අර ‘රැජින’ මන්තරේ මතුරපු නිසා. හරියට ඒ මන්තරේ සිද්ධි වෙන්න 108 වාරයක් ඒක ජප කරන්නෙයි කියල කවුරු හරි ඒ ඇත්තිට නියෝග කළා වගෙ.
ඒ මදිවට ඒ මන්තරේ කණට වැටෙන වාරයක්- වාරයක් පාසා අපේ අම්මා ආඩම්බරෙන් ඔළුව උස්සල හිනා වෙච්ච හැටි...
‘යකෝ- මේ චිංචි මානවිකාවි අපේ අම්මව වැස්සියෙක් කරන්න දත කන තරං...’ ආලවකයා මගේ සිරසට වැඩියත්, මං අමාරුවෙන් ඉවසං හිටියා- හොඳම වෙලාව එනකල්.

එහෙමත් ඉන්න අස්සෙයි- නන්ද හාමුදුරුවෝ අනුමෝදනා බණේදිත් මෙහෙම දෙයක් කීවේ- සමා වෙන්නෝනි, උන්නාන්සේලා කියන්නේ නැහැනෙ. එක්කෝ දොඩනවා, නැත්තං වදාරණවා. ඒත් නැත්තං දේශනා කරනවා...
මොක හරි කමක් නෑ, හරි වචනේ ඔයාලම දා ගන්නකො.

“ලීලා ශ්‍රෝඩර් මහෝපාසිකා මැතිනිය ලක්ෂ අසූවකටත් වඩා වටිනා මේ මන්දිරයත්- ඉඩමත් සඟසතු කොට පූජා කළේ තණ්හාව ක්ෂය කරන්නට එතුමිය මනාව පුරුදු- පුහුණු කරලා තියෙන හින්දයි. හැම දෙනාටම එහෙම කරන්න බෑ පිංවතුනි! අනන්තාපරිමාණ සංසාර සාගරේ සැරිසරන අතරේ ටිකෙන් ටිකයි එවැනි පාරමිතාවන් පුරන්න පුරුදු විය යුතු. අප මහා බෝසතාණාන් වහන්සේත් ඇස්- ඉස්- මස්- ලේ විතරක් නෙවෙයි, අඹු දරුවන් පවා දන් දෙමිනුයි දාන පාරමිතාව පිරුවේ!
අපි වුණත් එහෙම පාරමිතා පුරණකොටයි, නිර්ලෝභීව දානාදී පිංකම් කරන්නට හිත නැමෙන්නේ...

-මම ලීලා ශ්‍රෝඩර් මැතිනියගෙන් කා..රු..ණි..ක..ව ඉල්ලා සිටිනවා, මහත්ඵල මහානිශංස දෙන මේ පුණ්‍ය ක්‍රියාව මෙතනින් අවසන් කරන්නට එ..පා.. කියල!

-අපේ එකම බලාපොරොත්තුව, මේ මන්දිරයේ සුළු සුළු වෙනස්කම් කිහිපයක් කරලා- මෙතැන භික්ෂූන් වහන්සේලාට වැඩ සිටින්නට උචිත පතිරූප සංඝාරාමයක් කරන්නයි. ඒ කාර්යයත් ඔබතුමියගේම ධනව්‍යයෙන් කරවන විදිහට මං මේ අතිගරු භික්ෂූන් වහන්සේලා හා උපාසක-උපාසිකාවන් ඉදිරියේ ඉල්ලා සිටිනවා...”

නන්ද උන්නාන්සේ එහෙම වදාරණවත් එක්කම අර විනීතා අම්මණ්ඩි මහ හයියෙන් ‘සාදු සාදු’ කියල කියපි! එතකොට ඉතිං... අනිත් උදවියටත් ඒ අසනීපෙ බෝවෙච්චි!!

දැනට මේ ස්ථානයේ වැඩ ඉන්න සංඝයා වහන්සේලාට... (වර්තමානයේදී එහි සංඝයා වහන්සේලා වැඩ නොහිඳිති. 2024 පෙබරවාරි 8 වෙනිදා ඒ මැඳුරේ පිවිසුමයි මේ. foto- නමී)

දැනුයි, මට නං මීටර් වෙන්නෙ- නන්ද හාමුදුරුවො පිටපත ලියල; නියමෙට විනීතා උපාසිකාව ප්‍රැක්ටිස් කරවලා ඒ නාට්‍යය ඉදිරිපත් කරවන්න ඇතියි කියලා.

ඒ සාදුකාරය හොරණ ගෙදර පුරාම දෝංකාර දුන්නා. ඒ සද්දෙන් වැඩියෙන්ම කුල්මත් වුණේ අපේ අම්මයි- නන්ද හාමුදුරුවොයි වගෙ. යකඩය උවමනා විදිහට තලාගන්න නං, තලන්න ඕනේ පදමට රත් වුණහම නෙව! ඒ දර්මය නං නන්ද හාමුදුරුවො පිරිසිඳ දැනගෙන හිටියා වගෙයි.

“ඒත් එක්කම මම ලීලා ශ්‍රෝඩර් මැතිනියගෙන් අවසර ඉල්ලා සිටිනවා මෙතැන ස්ථාපනය කෙරෙන සංඝාරාමය එතුමියගේ නමෙන් ‘ශ්‍රෝඩාරාමය’ කියලා නම් කරන්නටත්...”
නන්ද උන්නාන්සේ හුස්මක් ගත්තේ යතිය පිහිටුවන්නට වගෙ. ඔන්න එතකොටම විනීතා නෝනගේ ප්‍රධානත්වයෙන් ආයෙමත් අර සාදුකාරේ...

මට ඇහිච්ච හැටිද මන්දා- වැඩියෙන්ම හයියෙන්; වැඩිම වෙලාවක්; දිගටම සාදුකාර දුන්නේ ‘ලීලා ශ්‍රෝඩර් මැතිනිය’මයි. මට හිතෙන්නෙම, ඒ වෙලාවේ අපේ අම්මට තිබුණු ඒ උද්දාමය හාමුදුරුවනුත් හොඳටම දැක්කා වෙන්නැති! ආයෙමත් දෙසුම...

“ශාසනෝන්නතිය තකා මට තියෙනවා, මේ මැතිනියගෙන් තවත් එකම එක ඉල්ලීමක් කරන්න...
ඔබ කවුරුනුත් දන්නවා නිර්මල බෞද්ධ ධර්මය සුරැකෙන්නේ බුදු සසුන ආරක්ෂා වෙනතුරු පමණයි. ඒ වගේම සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම රැකෙන්නේ භික්ෂු- භික්ෂුණී- උපාසක- උපාසිකා කියන සිව්වනක් පිරිස අතින්. අපේ මව් පංසලට තරමක් දුරින්... නිසලගිරි උයනේ මේ ආරාමය පිහිටුවන්නට කටයුතු යෙදුණත්, තවම මේ ප්‍රදේශය ජනාකීර්ණ වී තියෙන්නේ සුළුවෙන්. එහෙම නේද විනීතා උපාසක අම්මේ?”

“එහෙමයි ස්වාමීන් වහන්ස!”

“ඉතිං, ඒ නිසාම වෙන්න ඇති දැනට මේ ස්ථානයේ වැඩ ඉන්න සංඝයා වහන්සේලාට පසුගිය දවස්වල කලට වෙලාවට සිවුපසය නොලැබුණේත්. නමුත් ඒ හැම වෙලාවකම මේ විනීතා නෝනයි දෝණියන්දැයි දෙන්න ඉතාම ඕනෑකමින් ඒ අඩුපාඩු සොයල බැලුවා. අපටත් ඉතාම පහසුවක් වුණා, ඒ කටයුතු එහෙම වීමෙන්. (සභාවෙන්- සාදු! සාදු!! සාදු!!!)
එහෙම වුණේ පිංවතුනි, මේ ශ්‍රෝඩර් මැතිනියගේම නිවසක මේ විනීතා නෝනලා නැවතිලා හිටිය නිසයි. නමුත්... දැන් මේ නෝනලා ඒ ගෙදරින් යන්නටයි සූදානං වෙන්නෙ, ආර්ථික දුෂ්කරතා හින්දා.
ඉතිං ලීලා ශ්‍රෝඩර් මැතිනියනි- ඔබතුමියට හැකි නං මේ විනීත නෝනලාගෙන් කුලියක් නොගෙන...”

ඔයාලා දන්නවනේ, අපේ අම්මගේ අන්තිම කාලේ ගෙවුණේ ඩිමෙන්ෂියාවෙන් කියලා. ඒ රෝගය නිසා, වැඩියත්ම වුණේ එදිනෙදා සිද්ද වෙන දේවල් අම්මගේ මතකයෙන් ගිලිහිලා යන එකයි. අද උදේ වෙන දේ දවල්ට මතක නෑ. තව විදිහකින් කියතොත්- අලුත් දේවල් මතකයේ රැඳෙන්නේ නැතිව යනව වගෙයි.

අපට කොයින්ද එච්චර පිනක්?

ඒ ගතිය ඔය දවස්වලමත් අපේ අම්මට තිබ්බද මංදා!

ඇයි දන්නවද මං එහෙම කිව්වෙ...
එදා දවල් දානේ පිළිගන්වන්න කලින් ලැබිච්ච පොඩි ඉඩකදී, අපේ අම්මා මාව පැත්තකට ඇදගෙන ගියා. “මෙහෙට එන්නකෝ රංජි, බඩ්ඩක් කියන්න!”

“ඇයි? රහසක්ද...” කියාගෙනයි මාත් අම්මගේ පස්සෙන් ඇදුණේ.
“අර විනීතා අම්මණ්ඩිලාට ගෙදරින් යන්නයි කියල ඔයා කියන්න ඕනි!”

“ඇයි මං... මම කොහොමද එහෙම කියන්නේ? අම්මම නේද ඒ මිනිස්සුන්ට ඒ ගෙදර කුලියට දුන්නය කියන්නේ...”
“දුන්න නේන්නං! ඒත් මුල් මාසේ විතරයිනෙ කුලිය ගෙව්වේ. ඊට පස්සේ තාම සතයක්වත් ගෙව්වේ නෑ. මේ සද්දන්ත ගෙදර පිනට දුන්නම මදැයි. පිං වුණත් ඔච්චර ඕනියැ? ඒ ගෙදරත් මොකටද පිනට දෙන්නේ...”
“අනේ අම්මේ. මේ ඔව්ව ගැන කතා කරන්න වෙලාවක් නෙවෙයිනේ. අන්න- අනිත් හාමුදුරුවරු වඩිනවා. යං යං අපිත් එහාට යං.” එහෙම කියලයි ඒ වෙලාවේ මම අම්මව සංසිඳෙව්වේ.

ඒ සිද්දිය වෙලා පැය දෙකක්වත් ගියේ නෑ, නන්ද හාමුදුරුවෝ ‘කුලියක් නොගෙන ඉන්න’ය කියල ඉල්ලනකොට. ඒ වෙලාවෙම අපේ අම්මා කට පුරා හිනාවෙලා; ඔළුවත් වනල ‘කුලියක් නොගෙන ඉන්නං’ කියල කියපි!

ඒකයි, එතකොටත් අම්මට ඩිමෙන්ෂියා ලෙඩේ ටික-ටිකවත් තියෙන්න ඇති කියල මට හිතුණේ.

කොහොමෙන් හරි එදා පිංකම ඉවර වෙනකොට ගිහි අපි කවුරු කවුරුත් හිටියේ සුදහ ගින්දරෙන් පිච්චි- පිච්චී. එහෙම වෙලාවට මිනිස්සුන්ට තියෙන්නේ එච්චර හොඳ මූඩ් එකක් නෙවෙයිනෙ. මං එහෙම කිව්වෙ- මගේ විදිහ ගැන හිතලයි. නසාරනි මං වහන්සේ එහෙම නරක මනෝ භාවයක ඉන්න අස්සේ තමයි විනීතා නෝනා ‘රැජින මන්තරේ ජප කරන හැටි’ මගේ කණට වැටුණේ.
කෑම පිඟානත් අරගෙනම මං එතැනට ගියා.

“විනීත නෝනා, මං අහන්නමයි හිටියේ. ඔයා එංගලන්තෙට ගිහින් තියෙනවද?”
“ලීලා මැතිනියට වගෙ අපට කොයින්ද එච්චර පිනක්...”
“එහෙනං ඔයා කොච්චරවත් කියන්නේ අපේ අම්මා රැජින වගෙයි කියල. රැජිනව දැකලවත් නැතිව. ඔයා එයාව දකින්න ඇත්තේ fotoවලින් හරි tv එකෙන් හරි වෙන්න ඇතිනෙ...
මමත් එංගලන්තෙට ගියානේ දෙපාරක්. ඒ දෙසැරේ මාස දාහතක් එහෙ හිටියා. අපේ අම්මයි රැජිනයි දෙන්න එක වගෙයි කියන එක එංගලන්තකාරයෙක්වත් එහෙ නං නෑ...
මට හිතෙන්නේ විනීතා නෝනා හොඳ ඇස් දොස්තර මහත්තයෙකුට කියලා ඇස් දෙක බලවගත්තොත් හොඳයි!”

බොලිවුඩ් නිළියක් එයාගේ 30වෙනි උපන් දිනයේදී කැරට් 24 රත්තරන් කේක් ගෙඩියක් කපලා. ඒ කේක් ගෙඩිය ශ්‍රී ලංකාවේ රුපියල්වලින් නං කෝටි දහයක් විතර වෙනවලු! 

විනීතා නෝනගේ මූණ බෙරි වුණු හැටි දකිද්දී නං, මටත් ඇත්තටම දුක හිතුණා. ඊට හපන් අපේ අම්මගේ මූණ!

සර්පයෙක් වුණත් මිනිහෙකුට දෂ්ට කළාම ඌටත් විසයි වගෙ කියල කතාවක් මං අහල තියෙනවා. ඒ වගේමයි, ටික වෙලාවක් යනකල් මටත් දැනුණේ.

සමහර වෙලාවට විනීතා නෝනාත් මේ වගෙ තත්ත්වෙකට වැටෙන්න ඇත්තේ අසරණකම නිසා වෙන්නත් ඇති. හොර- බොරු- වංචා කරන පුංචි සිඤ්ඤෝලා වැඩි දෙනෙක් ඒ වගෙ දේවල් කරන්න ගන්නේ අන්ත අසරණ වුණාමයි; එල්ලෙන්න වැලක් නැති වුණාමයි.
කෝටි- ප්‍රකෝටි ගණන් තියෙන මගෝඩිස්ලා තුච්ඡ විදිහට, අහිංසක මිනිස්සුන්ව වළටම යවල හරි හම්බ කරන්නට කරන බලු වැඩ තමයි- මට නං තේරුම් ගන්න බැරි!

ඒකෙම අනිත් අන්තය ගැන වුණත් මට හිතාගන්න අමාරුයි.
අද උදෙයි මං වහන්සේ මේ ප්‍රවෘත්තිය දැක්කේ. එතකොට ඒ ටැපලිල්ල තවත් වැඩි වුණා.

බොලිවුඩ් නිළියක් එයාගේ 30වෙනි උපන් දිනයේදී කැරට් 24 රත්තරන් කේක් ගෙඩියක් කපලා. උර්වෂි රවුටෙලාට ඒ තෑග්ග දීලා තියෙන්නේ ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන Yo Yo Honey Singh. පුදුමේ කියන්නෙ ඒ කේක් ගෙඩියේ වටිනාකමයි.
ලංකාවේ මුදලින් නං
රුපියල් කෝටි දහයක් විතර!
තව එකක්...
ඒ කේක් එක හදල තියෙන්නෙත් ඩුබායි රටේ ඉන්න සිරි ලංකාවේ හාදයෙක්; ප්‍රසන්න කුමාර රාජගුරු.     

Yo Yo Honey Singh වගෙ සල්ලිකාරයෙක් නොවුණු නිසා වෙන්නැති, නන්ද හාමුදුරුවො විනීතා උපාසිකාවට අනුන්ගෙ වියදමෙන් සලකන්න හැදුවේ.
දැන් බලද්දී මට හිතෙන්නේ එහෙමයි.

එදා කට්ටියමත් කාලා ඉවර වුණාම- වළන් පිඟන් හට්ටි මුට්ටි පිරිසිදු කරන්න ගත්තා.
“දැන් නං මාර නිඳිමතකුත් එනවා... උදෙන්ම නැඟිට්ට ගමන්නෙ.”
“ඉස්සර වගෙ නං මේකෙම කොහේ හරි තැනක ඇලවෙන්ඩ තිබ්බා. දැන් ඒක කරන්ඩත් බැහැනෙ- මේක දැන් ගෙයක් නෙවෙයි, පන්සලක්නේ.”

“කට්ටියම සප්පායම් වෙලා ඉවරයි නේද? එහෙම නං ලීලා මැතිනියයි පවුලේ දූ-දරුවොයි එක්ක අපේ ලොකු ස්වාමීන් වහන්සේ හම්බ වෙන්න එනවද? ඔයාල ආපහු යන්න කලින් ලොකු සාදුට පොඩ්ඩක් කතා කරන්න ඕනියි කිව්වා.” පොඩි සාමණේර උන්නාන්සේ කෙනෙකු අපට පණිවිඩයක් ගෙනාවා.

අපිත් ඒ එක්කම නන්ද හාමුදුරුවන් වැඩ උන්නු තැනට ගියා.

හාමුදුරුවො අපට එන්න කියල තිබ්බේ ඉදිරි වැඩ කටයුතු සිද්ද වෙන හැටි දැනගන්නයි- කෙරෙන හැටි කියන්නයි දෙකටම...
“ලීලා මැතිනිය ඇතුළු මේ දූ-දරුවන් හැම දෙනාම එකම වතාවේ මට හම්බ වුණේ අදයිනෙ. ඉතිං මගේ යුතුකමක් ඔය හැමෝවම දැනුවත් කරන එක. විශේෂයෙන් ලොකු පුතා නිමල් මහත්තයවයි, දෙවෙනි පුතා සුනිල් මහත්තයවයි. ලීලා මැතිනිය ඉතිං වැඩි හරියක් ඉන්නේ එංගලන්තයෙනෙ. හදිසියකට හරි මට හම්බ වෙන්න පුළුවන්කම තියෙන්නෙ මේ මහත්තුරු දෙන්නවනෙ- එහෙම නේද මල්ලිකා නෝනා?”

එදාට ඔබතුමියව මෙහාට කැන්දගෙන එන්නේ... අලි-ඇතුන්, නැටුම්-ගැයුම්, කුඩ-කොඩි සේසත් සහිත බොහොම ගරු ගාම්භීර පෙරහරකින්...

මල්ලිකාත් කට පුරවලා හිනාවක් කාරිය දාලයි ‘එහෙයි හාමුදුරුවනේ’ කියල උත්තර දුන්නේ.

‘එහෙනං උන්නාන්සේ දැනටමත් අපේ මල්ලිකාටත් ඉනාව දීලා...’ මට හිතුණා. ‘...හාමුදුරුවොත් හෙණම අංකූරෙක් වගෙයි!’
“ලීලා මැතිනිය මට කියලයි තියෙන්නේ, නිමල් මහත්තය ගැන. සෑහෙන ලොකු පවුලක් ජීවත් කරවන්න නිමල් මහත්තය ඉස්කෝලේ යන ගමන්ම වීරිය කරපු හැටි... බොහොම ප්‍රගතිශීලී අදහස් දරන හැටි... තමන්ට බාල සහෝදර සහෝදරියන් නවදෙනෙක් හරි මාර්ගයේ යවන්න කැපවෙච්ච හැටි එහෙම...”

අපරාදෙ කියන්න බෑ. උන්නාන්සේ ‘තෙල බෙදිල්ල’ නියමෙට දන්නවා. බටර් ගාන්නත් දන්නවා... මමත් ගොනා වගෙ නිස්සද්දව අහගෙන හිටියා. ඒත් අපේ අනිල් එහෙම කට වහගෙන හිටියේ නෑ. මිනිහට වැරද්දක් අහු වෙලා.
“නව දෙනෙක් නෙවෙයි හාමුදුරුවනේ! අට දෙනයි. හික්. බාලම
නංගි  මාසයක්වත් ජීවත් වුණේ නැහැනෙ, නේද අම්මේ? හිහික්...”
අන්නා සඳහන් කෙරුවේ වැරදීමකින්වත් අපේ අම්මා මතක් නොකරන කාරණාවකි!

අනිල් කාට-කාටත් හොරෙන්ම ටිකක් සංතෘප්ත වෙලා වගෙයි!

“හරි හරි අනිල් මහත්තයා. අට දෙනයි කියමුකො.
මම කියමින් හිටිය කාරණය අනිල් මහත්තයාගේ කතාවෙනුත් ඔප්පු වෙනවා... නිමල් මහත්තයාගෙන්ම වෙන්න ඕනි ඔය -කිව යුතු දේ, කිව යුතු තැන නොබියව කියන පුරුද්ද- ඇති වෙන්න ඇත්තේ... ලොකු අයියගේ විදිහ පොඩි අයටත් ගොඩක් බලපානව නෙව.
ඉතිං... මම කියන්න ආවේ, මෙතැන ඉන්න මේ පවුලේ වැඩි දෙනා නිතර පන්සල් නොයන අය බව ලීලා මැතිනිය මට කිව්වා. ඒ වුණත් මේ හැමෝම වැරදි නොකරන තරමේ ගුණ යහපත් අය බවත් මේ නෝනා මට කිව්වා.
මේ මැතිනිය නොකිව්වත් ඕනෑම කෙනෙක්ට තේරෙනවා මේ පිරිස හොඳ වැඩවලට කොච්චර කැමැති වෙනවද කියල- මෙහෙ වැඩ සිද්ද වෙන විදිහෙන්. වෙන පවුලක නං දූ-දරුවන් කීයටවත් කැමැති වෙයිද, මෙච්චර වටිනා දේපලක් මහා සංඝයා වහන්සේට පූජා කරනවට?”

හොඳ වෙලාවට අපේ අම්මවත්- මල්ලිකාවත් උත්තර දෙන්න නොගියේ. මට හිතෙන්නේ එයාලත් ඉන්න ඇත්තේ මහන්සියෙන්; නිඳිමතෙන්...

“ඉතිං... මගේ යුතුකමක් තමයි මේ මහත්ඵල මහානිශංස පුණ්‍ය කටයුත්තට නිසි ගෞරවය ලබා දීම. මේ ශ්‍රෝඩාරාම සංඝාරාමය විවෘත කරන දවසටත් මේ පිරිස පවුල් පිටින්ම පැමිණෙන්න ඕනෑ! ලීලා මැතිනියත්. ඔබතුමියත් ලෝකෙ කොහේ හිටියත්- ඒ දවසට ඒ පින්කමට සහභාගී වෙන්නට එන්න ඕනි. අපි නිකංම නිකං නෙවෙයි එදාට ඔබතුමියව මෙහාට කැන්දගෙන එන්නේ... අලි-ඇතුන්, නැටුම්-ගැයුම්, කුඩ-කොඩි සේසත් සහිත බොහොම ගරු ගාම්භීර පෙරහරකින්...”

නිදිගෙ පංච තන්තරේ කියවල පළපුරුදු රසික- රසිකාවියන් නම් දැන් හොඳාකාරවම දන්නවා, මම මේ කොටස මෙතනින් නවත්තන විත්තිය. ඉතිරි හරිය ඊළඟ කොටසෙන් ලියන්නං. ඒත් අද තව චුට්ටක් ලියනවා.

අද ‘නිදිගෙ පංච තන්තරේ’ blog අඩවියේ හත්වෙනි උපන් දිනේ.

අවුරුදු හයක්ම ගෙවිච්චි ඉක්මන... මම හිතුවෙත් නෑ, මට මෙච්චර දේවල් ලියන්න තියේවි කියලා. සත්තයි- මාව එතැනට තල්ලු කළේ නම් මගේ ආදරණීය කියවන්නෝ සහ සහෝදර blog රචකයෝ!
ඔයාල හැමෝම මට දෙන්නේ නව පණක්. මේ ලිපි කියවීමෙන්; ප්‍රතිචාර දැක්වීමෙන්; වගේම දේශ දේශාන්තරවල ඉඳලා දුරකතනයෙන් කතාබහ කිරීමෙනුත්... හොයාගෙන ගෙදරටම පැමිණීමෙනුත්...
ඒ වෙනුවෙන් ඔබ සැම දෙනාටම ගොඩක්- ගොඩක්- ගොඩාක් ස්තුතියි!

Tuesday, March 26, 2024

ප්‍රෝඩාරාමය - දහවෙනි කොටස

වතු අධිකාරි මහත්තයලව ගෙදරින් යවා ගන්න අපේ අම්මයි, කොහායි විශේෂ plan එකක් ගැහුවා කියලයි මට තේරුණේ.

“ඔයාලටනේ රංජි හොරණ ගෙදර ඔළුවෙ කැක්කුමක් වුණේ. මම ඒක මහ භාරකාර දෙපාර්තමේන්තුවට පැවරුවා පන්සලක් කරන්න.” හිටි අඩියේ අපේ අම්මා කිව්වා.
“අම්මා එහෙම කළා?” මං ඇහුවේ පුදුමෙන්. අපේ අම්මා ඔහොම දේවල් දැනගන්න විදිහක් නෑ- කව්රු හරි ගොඩ පෙරකදෝරුවෙකු ඔපීනියන් දුන්නැත්තං...

හුඟක් මිනිස්සු තමන්ගෙ අතින් වැරැද්දක් වුණ විත්තිය තේරුණාට පස්සෙත්, ඒ බව එළි කරන්න; පිළිගන්න කැමති නෑ. ඒ ඔන්න ඔය අහංකාරකම හින්දයි.

“කවුරු ඔපීනියන් දුන්නත් මොකෝ? ඒක මගේ ගෙදරනෙ- මම මට ඕනි දෙයක් ඒකට කරනවා!” ඒ වෙලාවේ නං අම්මා මට උත්තර දුන්නේ අන්තිම උද්ධච්ච tone එකකින්!

අම්මගෙ අහංකාර ටෝන් එක ඇතුළේ පුංචි පහේ පසුතැවිලි ස්වරයකුත් ගැබ්වෙලා තිබ්බ වගෙයි, මට දැනුණේ. හොරණ ගෙදර ‘අතින් සල්ලි දීලා කරවගත්තු හූනියමක්.’ කියල අපේ අම්මටම ඒ වෙනකොට හිතිල තියෙන්නත් ඇති. ඒත් ඒ විත්තිය නිහතමානීව පිළිගත්තොත් එයාව හෑල්ලු වෙනවනෙ.

හුඟක් මිනිස්සු තමන්ගෙ අතින් වැරැද්දක් වුණ විත්තිය තේරුණාට පස්සෙත්, ඒ බව එළි කරන්න; පිළිගන්න කැමති නෑ. ඒ ඔන්න ඔය අහංකාරකම හින්දයි.
අහංකාර නං රෝගෙන් පිස්සු - තවමත් පෙළෙනව අපේ මිනිස්සු’ කියලා ෆ්‍රෙඩී සිල්වා ගායකයාණන් අපූරුවට ගීයකිනුත් කිව්වේ ආන්න ඒ නිසා වෙන්නැති.

එහෙම අහංකාර පරවශ හැඟීම්වලිනුයි පශ්චත්තාපී හිතුවිලිවලිනුයි පිරිලා හිටිය අපේ අම්මට ‘අල්ලගෙන තිබ්බ කොටි වලිගය අතාරින්න ක්‍රමේ’ කියල දෙන්න ඇත්තේ කවුද?
කවුරුන් ‘ක්‍රමය’ කිව්වත්, ඒ දවස් ටිකේ නම් අපේ Mother Superior ලැබෙන උපදෙස් අකුරටම පිළිපැද්දා වගෙයි. අම්මා දිගටම මහ භාරකාර දෙපාර්තමේන්තුව ගැන එකේක දේවල් එකේක්කෙනා එක්ක කිව්වා. කවුරුන්වත් ඒවා හගිස්සන්න ගියේ නැතත්- අපේ අම්මගෙ ඒ කියුම්වල එකකට එකක් පරස්පර තැන් තිබුණු විත්තිය නං හොඳටෝම පෙනුණා.

‘අර වතු ජෝඩුවට යන්න වුණා! ඒ ඔළුවෙ කැක්කුමෙන් නං යාන්තං නිදහස්!’ / ‘මහ භාරකාර දෙපාර්තමේන්තුවෙන්ම ඔන්න හාමුදුරු කෙනෙකුට ගෙදර පවරලා පන්සලක් කරන්න.’

ඒ කතන්දර වුණත් ඕනැවට වැඩිය ගණන් ගන්න මට හිතුණෙ නෑ. ‘ආයෙත් නං ඔය කෝච්චියට බෙල්ල තියන්නේ නෑ’ කියල මගේ තීරණේ පැහැදිලිවම කිව්වට පස්සේ- මං ආයෙමත් මොකටද ඒවා අස්සේ ගැන්නෙන්න යන්නෙ?
මම එහෙමයි. ‘දොන් නං දොන් - සිමං නං සිමං, දොන් සිමං දෙකම නෑ!’

“අයියේ, ඔය වැඩේ වුණේ මෙහෙම වගෙයි මම දන්නෙ.”
අපේ සුනිල් මට කියූ කතාවේ හැටියට නම් නන්ද හාමුදුරුවන් වහන්සේ හොරණ ප්‍රදේශයේම විහාරස්ථානයක අධිපති උන්නාන්සේ කෙනෙකි. “අම්මට කවුරු ඒ පන්සල ගැන කියලද කියන්න නං මම දන්නෙ නෑ. අම්ම දවසක් නන්ද හාමුදුරුවන්ගේ පන්සලට ගිහිං තියෙනවා. ෂුවර් එකටම ඒ වෙලාවේ අම්මා ඔක්කොම පම්පෝරි ටික උන්නාන්සේට කියන්න ඇති...”
වෙන්නට ඇත්තේ එහෙම තමාය. මටත් හිතෙයි.

පන්සලක ලොකු හාමුදුරුවන්ට ගෙදර පවරලා දෙන්නයි හදන්නේ කියල කිව්වේ

විහින්ම බිල්ලක් වෙන්නට කැමැති සතෙක් පළපුරුදු දඩයක්කාරයෙකුගේ ළඟටම ආවාම...

එක දවසෙන්ම හාමුදුරුවෝ අපේ අම්මට ඉනාව දෙන්නට ඇති. ඊළඟ දවසක හාමුදුරුවෝ ගෙදර බලාගන්නට වඩින්නටත් ඇති. වතු අධිකාරීවරයාව හමු වෙන්නටත් ඇති. සමහරවිට උන්නැහේට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්නටත් ඇති.

මං එහෙම කියපු ගමන්, පාඨක තමුන්නාන්සෙලා මොකද නිකං කිණ්ඩියට වගේ හිනා වෙන්නේ?
හාමුදුරුවරුන් වහන්සේලා යුද්ධ කරන්නේ නැතෙයි කියලද හිතන්නේ. ඕනි නං ටිකක් හොයල බලන්නකො- පන්සලක අධිපතිකමට (ලේ) උරුමක්කාරයන් හදන හැටි ගැන... සංඝ පරම්පරාවල් ගැන...
ඉතිං නන්ද හාමුදුරුවනුත් බණෙන් හරි අණෙන් හරි වතු අධිකාරි පවුලේ කට්ටියව බංගලාවෙන් යැව්වා වෙන්නැති.

“අයියට කියන්න ඕනි නැහැනෙ අපේ අම්මා හිටි ගමන් කියන උද්දච්ච කතන්දර ගැන. මෙහෙම පන්සලක ලොකු හාමුදුරුවන්ට ගෙදර පවරලා දෙන්නයි හදන්නේ කියල අපි එක්ක කිව්වේ මූණට ගහනවා වගෙයි. ඒකවත් තකන්නේ නැතිව, එතකොටයි මම කිව්වේ කොයිකටත් ගෙදර සාංඝික කරලා පූජා කරන්නයි කියල:
කෙලින්ම තනි හාමුදුරු කෙනෙකුට නැතුව- මහ භාරකාර දෙපාර්තමේන්තුවට පවරන්න. මං තමයි කිව්වේ ඔප්පුව ලියනකොට ‘සිව් දිගින් වඩින මහ සඟ රත්නයට මේ දේපල පූජා කරනවා’ කියල වාක්‍යයකුත් ඒකට දාන්නයි කියල...

-හැබැයි අයියේ, ඒ දවස්වල අම්මා අපේම ගෙදර නැවතිලා ඉන්න ගමන් අපිට පෙන්නපු ගෙම්බර්... අපි හරියට වයිරක්කාරයො වගේ...

-ඒ තරහටම, ඔය ඔප්පුව ලියන්න යනකොටවත් මම අම්මගෙ තනියට ගියේ නෑ. අපේ ලොකු පුතා රජිත්වයි යැව්වේ අම්මත් එක්ක. මොනව කළත් අපේ අම්මනෙ කියල.”

‘එතෙර කරන්නං සතර වරිගයම පෙරුම් පුරා මතු සංසාරේ...’ විශාරද සනත් නන්දසිරි සූරීන්ගේ ගී පදයකිනුත් කියවෙනවා වගේ- දරුවෙකු සසුන්ගත වුණාම ඒ දරුවාගේ හතර වරිගයක නෑදෑයන්ම නිවන් යතැයි විශ්වාසයක් අපේ රටේ තිබෙයි.
ඒ කතාවේ ඇත්ත- නැත්ත කොහොම වෙතත්, ගොඩක් ස්වාමීන් වහන්සේලා සිවුර දරමින්ම
- හතර වරිගයට නොවැටෙන අය එක්කත් පවුල් සම්බන්ධකම් පවත්වාගෙන යති! මට නම් එහෙම උන්නාන්සේලා දැක ගැනීමේ වාසනාව ලැබී තිබෙයි. එයින් එකක් උදා වුණේ - සුනාමි අනතුරු ඇඟවීමක් අස්සෙය...

සුනිල් කියූ විදිහට නං, නන්ද හාමුදුරුවන් වහන්සේත් ඒ අත්තේ කුරුල්ලෙකි.

“අයියට කියන්න, ඒ හාමුදුරුවෝ අපේ ගෙදරටත් ආවා සහෝදරයෝ දෙන්නෙකුත් එක්ක. එක්කෙනෙක් පිළියන්දල ලොකු ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක්. හැබැයි උගත්තු වුණාට මොකෝ, ඒ ඔක්කොමත් එක වල්ලේ තණ්හාපතියෝ. ඔප්පු ලියලා ගෙදර යතුරු කැරැල්ල බාර දුන්නු ගමන්, අර සහෝදරයෝ දෙන්නා සමහරක් කාමරවල යතුරු වෙනම අරං තියාගෙන.”

එච්චරවත් මොළයක් නැති එවුන් වෙන්න ඇති!

“ඒ කිව්වේ...? ගෙදර බාර දුන්නේ නන්ද හාමුදුරුවන්ටයි කියල ඔයාම කිව්ව නේද, සුනිල්?”

“ඒකනේ අයියේ කියන්නේ. එච්චරවත් මොළයක් නැති එවුන් වෙන්න ඇති. අපේ අම්මමයි කිව්වේ. හාමුදුරුවරුන්ට කොහොම වෙතත්- ඒ අයිය-මලෝලා තමයි ඒ වෙලාවේම පොර කකා ‘මේ කාමරේ මට, මේක මට- මේකත් මට’ කිය-කියා පොර කකා කාමර වෙන් කරගෙන තියෙන්නෙත්.”

‘චක්කංච වහතෝ පදං’ මගේ හිතට තදින්ම වැදුණු උපමාවක්. අපොස සා/පෙළ පන්තියේදීයි මං ඒක ඉගෙන ගත්තේ. බුද්ධ ධර්මය විෂය නිර්දේශයට ඇතුළත් වුණු, ධම්ම පදයේ ගාථාවක තිබිලා. යමක වර්ගයේ පළමු ගාථාවේ අවසන් පදය.

  ‘මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා
  මනසා වෙ පදුට්ඨෙන - භාසතී වා කරෝති වා
  තතො නං දුක්ඛමන්වෙති - චක්කංච වහතො පදං-
චෛතසික ධර්මයෝ හෙවත් සිතේ ඇති වන ගතීහු සිත පෙරටු කොට ඇත්තාහු ය. ඒ ගතීහු සිතම ශ්‍රේෂ්ඨ කොට පවතින්නෝ ය. සිතින් ම උපදින්නෝ ය. ඒ නිසා යමෙක් නරක- කිලිටි- සිතින් යමක් කියත් නම්, කරත් නම්, ගැල අදින ගොනාගේ පය අනුව රථ රෝදය යන්නාක් මෙන් ඔහු පසු පස්සේ දුක ලුහුබඳී.’

සමහර දේවල් ‘ගැල අදින ගොනාගේ පය අනුව රථ රෝදය යන්නාක් මෙන් ඔහු පසු පස්සේ’ ලුහු බඳින්නේ කරුමේ හින්දම නෙවෙයි. උරුමේ හින්දයි. හොරණ ගෙදර හුටපටවලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඉන්නවයි කියල මං වහන්සේ තදින්ම හිතාගෙන හිටියත් - මොන?

ලීලා ශ්‍රෝඩර් මැතිනියගේ ලොකු පුතණ්ඩියා වෙච්ච නිසා; සුනිල් ගෝඨාභය දිසානායකගේ ලොකු අයියා වෙච්ච නිසා; මල්ලිකා (ගල්හේන) දිසානායකගේ මස්සිනා වෙච්ච නිසා...
අකමැත්තෙන් වුණත් හොරණ ගෙදර සිද්ද වෙච්චි අන්දොස් කෙරුවාවල්වලට මං වහන්සේත් නිකම්ම ගෑවුණයි කියමුකො.

වැරදි වෙලාවක වැරදි තැන හිටියත් කරදරවලට ගෑවෙනවා; වැරදි මිනිස්සු එක්ක හිටියත් ඒ සෙතේම තමයි!

“අයියෙ මේ, ඔන්න දැන්මම කිව්වා... අපේ පවුල් දෙකේම මැරිච්ච උදවිය මතක් කරලා එයාලට පිං අනුමෝදන් කරන්න පින්කමක් කරනවා. ඤරු ඤුරු නොගා ඔයාලත් ඒකට දායක වෙන්ඩ ඕනි.” අපේ මල්ලිකා කිව්වා. “ඒක කියල යන්නමයි අපි මේ තකහනියක්ම ආවේ- ටෙලිෆෝන් කරන්නෙත් නැතිවම. නේද අනේ?”
සුනිලුත් කීකරු ගෙදර ප්‍රධානියෙකු වගෙ ඔළුව හෙලෙව්වා!

“හරි! මේ සැරෙත් දානේ බෙදන වෙලාවට ඇවිත් බලාගෙන ඉඳලා- සාදු කියලා- අපිටත් කාලා යන්නනෙ තියෙන්නේ. එන්නං!” මං කිව්වේ නිකංම නෙවෙයි. හේතු ඇතිව. පරණ සිද්දි මතක් කරමින්... පෙර වැරදි මතක් කරමින්...

අපේ චන්ද්‍රානි ලොකු අක්කවවත් කල් ඇතිව නං අපේ ගෙදරට ගෙන්න ගන්නෙ නෑ ඔන්න. (චන්ද්‍රානි අක්කත්, අපේ අම්මාත් දකුණු කෙලවරේ)

මගේ ලොකු නෑනණ්ඩි තමයි අපේ පවුලේ ලොකුම සැදැහැවන්ති. ඒ හින්දම සුනිල්ලගේ ගෙදර යහමින් පිංකම් එහෙමත් නිතර නිතර සිද්ද කෙරුණා.

හැබැයි, ඒ එක පින්කමකදීවත් පූර්ව සූදානං කටයුතුවලට අපිව වැද්ද ගත්තේ නෑ. අපට අවසර තිබ්බේ අන්තිම හරියට සහභාගී වෙන්න විතරයි.
ඔය විදිහේ පිංකම්වලදි පෙර සූදානං කටයුතුවලට තියෙන වැඩ කන්දරාව ගැන ආයෙ අමුතුවෙන් ඔයාලට කියන්න ඕනි නැහැනෙ. බණක්- පිරිතක්- දානයක් වගේ පින්කමකදී වැඩ පටන් ගන්නෙ දවස් ගණනක ඉඳලනෙ. විශේෂයෙන් පින්කමට කලින් දවසේ රෑ. එහෙම රෑක නිඳි මරන්න ලේසියිනෙ විහිළුවෙන්- තහළුවෙන්- හිනාවෙන් ඉන්නකොට.

ඒත් එහෙම වෙලාවක වුණත් අපේ මල්ලිකාට උවමනා වුණේ අපිත් කෝටියක් සංවර සීලේ රකින උදවිය වගේ බකං නිලාගෙන- බුකවගෙන ඉන්දවන්න. ඒක ඉතිං දැලකින් හුළං බඳිනව වගෙ වැඩක්නෙ!

“තරහ වෙන්න නං එපා අයියේ. මීට පස්සේ නෙවිලුයි, අයියයි විතරක් නෙවෙයි, අපේ චන්ද්‍රානි ලොකු අක්කවවත් පින්කමකදී කල් ඇතිව නං අපේ ගෙදරට ගෙන්න ගන්නෙ නෑ ඔන්න. ඔයාල එකතු වෙලා කියන පව් කතා හින්දා අපේ පුතාල දෙන්නත් මිථ්‍යාදෘෂ්ටිකයන් වෙනවා...” ඒ දානමය පින්කම අන්තිමේ අපේ මල්ලිකා එළිපිටම කිව්වා.
ඒ මල්ලිකාගෙ යහළු උපාසකම්මලා නඩේ රොත්තක්, රැයක් තිස්සේ නිදි වරාගෙන සූදානං කරපු ‘ප්‍රනීත දානය’ ගැන අපි කරපු විවේචන වගයක් හින්දා.

“මොකද නිමල් මල්ලී කෑම බෙදා ගන්නේ නැතුව හිනා වෙන්නේ?” චන්ද්‍රානි අක්කා කෑම මේසය ළඟදී, බට කැලේට ගිනි පුපුරක් වීසි කළා.
“නෑ... මට මේ කල්පනා වුණේ අපේ නෙවිල් මහත්තය ගැන.”
“ඇයි නෙවිල්... මොකක්ද අප්සෙට් එක...”
“මේ උලමට මම කිව්වා චන්ද්‍රානි- මං නෑවිත් ඉන්නං කියලා. කොහෙද, මාවත් ඇදගෙන ආවා. මම දන්නවනේ- මල්ලිකාලගේ ශ්‍රද්ධාව ගැන. දැන් ඉතිං එළුවෙක් වගෙ ගිලපල්ලකො කොළ!”

කෑම මේසය දිහා අපුලෙන් බලාගෙන කියන නෙවිල්ව තවත් අවුස්සන්නේ චන්ද්‍රානි අක්කයි.
“ඇත්තමයි නෙවිල් මල්ලී. අර උපාසක අම්මණ්ඩිලා මුඛවාඩම් එහෙම බැඳගෙන, අපිට කුස්සිය පැත්තටවත් එන්න නොදී උයද්දී- මමත් හිතුවේ නියම කරි ජාති ටිකක් උයනවා ඇති කියල. මෙව්වා උයද්දී කටට කෙළ උනනවයැ මුඛවාඩම් බඳින්නේ. උන්ට පිස්සු.”

“ඒක නේන්නං. හාමුදුරුවරුන්ට උපන් තේකට මෙහෙම වෙජිටේරියන් දාන හම්බ වෙලා නැතිව ඇති!” නෙවිල් කිව්වේ ඇත්තකි. එකේක විදිහට ජාති පහළොවක් විස්සක් විතර හදල තිබ්බත් එයින් වැඩි හරියක් කොළ වර්ගය; ලෙඩ්ඩුන්ට දෙන ජාතියේ දිය එළවලුය. පිළිහුඩු ජාති එකක්වත් නැත!

ඔය ගොඩක් බණ දේශනාවලදී දෙසන්නෙත් ඔය වගෙ දිවිය ලෝකෙට යන්න බඳින තඩි ඉනිමං ගැනමයිනේ.

“දෙකක් නෑ! හාමුදුරුවරු දානේ වළඳන්න ඇත්තේ මේ උපාසකම්මලගේ අම්මලව විතරක් නෙවෙයි අම්මලගෙ අම්මලවත් මතක් කර කර.”

ඒ අම්මලගෙ කතාව මල්ලිකාගෙ කණටත් ගිහිල්ලයි නතර වුණේ. ඊට පස්සෙයි, අර විදිහේ පින්කම්වල අවසාන භාගයට විතරක් අපිව සහභාගී කරවගන්න පටන් ගත්තෙ. ඒ විත්තිය මතක් වෙලයි මං ‘පින්කමේ අන්තිමට එන්නං’ කියල මල්ලිකාට කිව්වේ.

“මේ සැරේ එහෙම බෑ! දානේ වෙජිටේරියන් එකක් නෙවෙයි, අයියේ. ඔයාලට කැමති කැමති දේවල් හදාගෙන එන්න පුළුවන්. සැලඩ් වගේ ජාති ගෙදරදී කපාගෙන ඇවිත් එහෙදී mix කරගනිමු. හැබැයි එක එක්කෙනා හදාගෙන එන ජාති ටික කලින් කතා වෙන්න වෙයි. මතක හිටින විදිහේ දානයක් දෙන්න එපැයි.”
“මොකද යකඩෝ මේ සැරේ හැබෑ වෙනසක් වෙලා.”

“අයියා දන්නෑනෙ, මේ දා..නේ දෙන්න හදන්නෙ හොරණ ගෙදරදී... නන්ද හා..මු..දු..රු..වෝ තමයි අයිඩියා එක දුන්නේ.” සුනිල් කිව්වේ එතකොටය.

“ලොකා, ඔයා මොනව මොනවද දානෙට හදන්නේ?”
මානෙල් මගෙන් ඇහුවේ වැඩිමනත් විස්තර දැනගන්න ඕනිකමට. “... පින් සිද්ද වෙයි, ඔයා එන්නේ නැතිව නං ඉන්න හදන්න එපා. එහෙම හොඳ නැහැනෙ ලොකා...කවුරු කළත් හොඳ වැඩක්නෙ. පිනකුත් සිද්ද වෙනවනේ... තාත්තවයි, නෝනවයි, ආච්චිලා සීයලාවයි සේරම මතක් කරලා දෙන දානයක්නෙ...”
“ය..මු..කො එහෙනං!”

“අයියේ, දානෙට එකේක ජාතිත් හදාගෙන කට්ටි ගොඩක් එනවා. මම හිතන්නේ පනහක් විතර එවෙයි. ඒ හින්ද අපි හදන ජාති හැටකට විතර හදාගෙන යන්න වෙනවා.” දානයට දින කිට්ටු වෙද්දී, හැමදාම වාගේ අහන්නට හරි කියන්නට හරි දේවල් අපේ මල්ලිකාට තිබුණු හැටි!  
“ඉතිං මල්ලිකා- එහෙම කරන්න වෙන බව කල් ඇතිව ඒ කාට-කාටත් කියන්න වෙයිනෙ!”
“දැනටමත් මම කියල ඉවරයි. කවුරුත් කැමතියි එහෙම හරි සංඝික දානේක කොටස්කාරයෝ වෙන්න. ලොකු පිනක්නේ අයියේ... කෙනෙකුට දෙව්-මිනිස් සැප-සම්පත් ලබන්න- ආත්ම ගාණකටම ඒ පින ඇති!”

“අපොයි ඔව් නේන්නං... මල්ලිකා! ඔය ගොඩක් බණ දේශනාවලදී දෙසන්නෙත් ඔය වගෙ දිවිය ලෝකෙට යන්න බඳින තඩි ඉනිමං ගැනමයිනේ.”

“අනේ අයියේ, මම නං ඔච්චර පණ්ඩිත වෙන්නැතුව ඉන්නයි කැමති! ඒක නෙවෙයි. ඔයා මොනවද හදන්න යන්නේ?”
“මොනවද එකේක්කෙනා දැනටමත් බාරගෙන තියෙන්නේ?”

මල්ලිකා, ඔයා කරපු පින්කම් කොච්චරද? ඔයා එව්වා කළේ දිවිය ලෝකෙ යන්න බලාගෙනමයිනේ. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා නං- ඔයා තවමත් දිවිය ලෝකෙ නං- ඔහෙ ඉඳගෙන හරි, මගෙන් ඔයා ගැන ලියවෙන දේවල් එහෙමත් කියවන්නකො.
ඉතිං. ඔයා එදා දානේ වැඩේට වෙච්ච මහන්සිය හින්දම තමයි... පනහක්- හැටක් විතර හොරණ ගෙදරට ඇවිත් හිටියේ! ගොඩක් මහන්සියෙන්; සර්ධාවෙන් පිළියෙළ කරගත්තු දේවල්, පිරිකර එහෙමත් හිස් මුඳුනේ තියාගෙන...

කුරුලු කැදැල්ලක් හදනව වගෙ සැලකිල්ලෙන්ලු ඒ ගේ පොඩිත්ත හැදුවේ. ඒත් එයාලා ඒක හැදුවට... (foto- උදේනි අල්විස්) 

“රංජි, ඔයත් ඇවිත් මෙව්වා හරියට කෙරෙනවද කියල බලන්නකො චුට්ටක්!” හැම තැනටම එබි-එබී යන ගමන් අපේ අම්මා කිව්වෙ, මොනවා හරි කියන්න ඕනි නිසා.

“මං නැතුවට ඔය තව ශ්‍රද්ධාවන්තයො පොකුරක්ම ඉන්නේ, ඒ වැඩේට!” කියලයි මං එතනින් ගැලවුණේ. එහෙම ගැලවිලා ගේට්ටුව හරියට ගියේ ‘අර ඉද්දමලීලගේ සිනහවේ මිහිරියාව සිත්සේ විඳ ගන්න’යි.

එතකොට තමයි මං ඒ දෙන්නව දැක්කේ. මුලින්ම එයාලව දකිද්දී මට හිතුණේ එයාලා දෙන්නා අක්කයි නංගියි කියලා.

“ආනේ... ඔය මහත්තය නං ලීලා ශ්‍රෝඩර් මැතිතුමියගේ ලොකු පුතා වෙන්ඩ ඕනි.” වයසින් වැඩි බව පෙනුණු කෙනා මගේ ළඟට ඇවිදින් කිව්වෙ කිසිම පැකිළීමක් නැතිවයි. “මොකක්ද දුවේ, ලීලාවතී මැතිනිය එදා මේ මහත්තයගේ foto පෙන්නන ගමන් කිව්ව නම...”
දෙයි හාමුදුරුවනේ! එහෙනං මේ අක්කයි නංගියි නෙවෙයි- අම්මයි දුවයි. (අර add එකෙන් අපටත් ගාන්නෙයි කියපු සබන් ජාතිය වෙන්ඩැති ගාන්නේ.)

“අපි ඉන්නේ අර ගෙදර!” අම්මා සිරික්කියක් එහෙම දාලා, පාරෙන් එහා පැත්තේ තිබ්බ පොඩි ගෙදරක් පෙන්නුවා.
“එහෙමද... ඔය හරියෙමයි අපේ මල්ලිලා ගත්තු ඉඩම් කෑලි දෙකකුත් තියෙන්නේ.” මොනව හරි නොකිව්වොත් හොඳ නැති නිසා මං කිව්වා.

මගේ කතාවට ඒ දෝණියන්දෑ හිනා වුණා. නමුත් දුවටත් වැඩියෙන් තොඳොල් වෙවී හිනා වුණේ අම්මයි.

“ඒ ඉඩමක් තමයි අනේ! මල්ලිකා නෝනල කුරුලු කැදැල්ලක් හදනව වගෙ සැලකිල්ලෙන්ලු ඒ ගේ පොඩිත්ත හැදුවේ. ඒත් එයාලා ඒක හැදුවට පදිංචියට ආවේ නැහැනෙ. ඔහෙ නිකං වහල දාලයි තිබ්බේ.
අපේ නන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ තමයි සුනිල් මහත්තයලට කතා කරලා - අපිට ඒ ගෙදර අරන් දුන්නේ- කුලියට. උන්නාන්සේටත් ලොකු හයියක්නෙ දන්න අඳුරන මං වගෙ කෙනෙක් මේ ආරාමෙට ළඟ-පාතින්ම ඉන්න එක! අනික උන්නාන්සේට ඔළුවේ කැක්කුමක් හැදුණත් හිසේ තෙල් අල්ලක් ගල්ලන්නවත්...”

ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. වෙන තැන්වල නං කාන්තාවන්ට සවියක් වෙන්නේ පුරුෂයන්ය. මෙතැන ඒකේ අනිත් පැත්තය.

“මො..ක..ද නිමල් මහත්තය කල්පනාවට වැටුණේ? අවුරුද්දට දෙකට සිද්ද වෙලා තියෙන වෙනස්කං කියලා හිතුණද? ඔය ඊට එපිටින් තියෙන අනිත් ඉඩම් කෑල්ලත් මල්ලිකා නෝනා නිමල් මහත්තයලගේ අම්මටම විකුණුවනෙ!”
එහෙනං මල්ලිකාලට දැන්මම හොරණ බොරලුගොඩ එපා වෙලාවත්ද?

ඒ විස්තර කියන්නංකො එකොළොස්වෙනි කොටසෙන්...