මගේ කතාවට ඒ දෝණියන්දෑ හිනා වුණා. නමුත් දුවටත් වැඩියෙන් තොඳොල් වෙවී හිනා වුණේ අම්මයි.
“ඒ ඉඩමක් තමයි අනේ! මල්ලිකා නෝනල ඒ ගේ පොඩිත්ත හැදුවට
පදිංචියට ආවේ නැහැනෙ. ඔහෙ නිකං වහල දාලයි තිබ්බේ. අපේ නන්ද ලොකු හාමුදුරුවන්
වහන්සේ තමයි සුනිල් මහත්තයලට කතා කරලා අපිට ඒ ගෙදර අරන් දුන්නේ- කුලියට. උන්නාන්සේටත්
ලොකු හයියක්නෙ දන්න අඳුරන මං වගෙ කෙනෙක් මේ ආරාමෙට ළඟ-පාතින්ම ඉන්න එක! අනික
උන්නාන්සේට ඔළුවේ කැක්කුමක් හැදුණත් හිසේ තෙල් අල්ලක් ගල්ලන්නවත්...”
ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. වෙන තැන්වල නං කාන්තාවන්ට සවියක් වෙන්නේ පුරුෂයන්ය.
මෙතැන ඒකේ අනිත් පැත්තය.
මට නම් ඔබතුමීව
පෙනෙන්නේ මේ උපාසිකා මාතාව කියනවා වගේ එංගලන්තෙ මහ රැජිනිය වගේ නෙවෙයි. රැජිනක්
වුණත් ඒ උත්තමාවිය... |
අබුද්දස්ස කාලෙදි ලබුත් තිත්ත වෙනවයි කියනවනෙ- මේ කොමළ
ලියන් විසින් උපසපන් භික්ෂූන් රැකබලා ගැනීමේ සිද්දියත් එකක් එහෙම වෙන්නැති. එහෙමයි
එදා මට හිතුණේ...
සමහර උදවියට හෙට අනිද්දා සිද්ද වෙන්න යන දේවල් වුණත් අදම කියතෑකි. (අපේ ආදරණීය පාඨකයන් ගොඩ දෙනෙක් ඒ ජාතියේ හපන්නු!) බස්සා මහත්තයත් ඒ වගෙ කෙනෙක් කියලයි මට හිතෙන්නේ.
මම එහෙම කිව්වෙ- බකුස්තුමා ‘ප්‍රෝඩාරාමය පළමුවෙනි කොටස’ට
ලියා තිබ්බ ඡේද හතරකින් යුතු දිග comment එකක් සිහියට ආව හින්දයි. ඊට පස්සෙත් මේ
සීරීස් එකේ postsවලට බොහොම රසබර comments එවපු හුඟක් රසික-රසිකාවියන් ‘වෙන්න යන
දේවල් ගැන ටක්කෙටම අනුමාන කරලා’ තිබ්බ නිසා, මං වහන්සේ අමාරුවේ නොවැටී බේරුණේ හරිම
අමාරුවෙන්.
ඇයි දන්නවද? කුතුහලය රැකගන්න මං ගොඩක් කැමැති නිසා, එව්වාට ව්‍යංග්‍යයෙන් උත්තර දෙන්න
වුණු හින්දයි...
ඉතිං- බස්සා උන්නැහේ එදා මෙහෙමත් කියල තිබුණා.
‘ශ්‍රෝඩාරාමය - දැන් බලාන්ට නෝනා, මේ
පිනෙන් සැසිල් මහත්තයට ස්වර්ගයේ ඉඳලා තව්තිසාවට ට්‍රාන්ස්ෆර් එකක් ලැබෙනවා. බෝනස් එකක් විදිහට අපි බග් පියට් එකකුත්
ඒ පැකේජ් එකටම දානවා.’
බග් පියට් දාන
කතන්දරේ නං, නන්ද හාමුදුරුවන් වහන්සේ කිව්වෙ නෑ. එත් ඊට වැඩිය ගරු-ගම්භිර කාරණාවල්
නං කීපයක්ම දෙසුවා- අනුමෝදනා බණේදි.
ඒ විත්තියෙන් බොහොම චුට්ටක්; මේ යටින් තියෙන කොටස මං ලිව්වා ‘ප්රෝඩාරම නවවෙනි
කොටස’ post එකට.
“ශ්‍රෝඩර් නෝනා. ඕක තමයි ලෝක ස්වභාවේ. ඔබතුමීත් මේ නිමක්
නැති සංසාරේ සැරි සරමින් යන ගමනෙදි... මීට කලිනුත් අපට හම්බ වෙලා ඇති. ඔබතුමී
අනන්ත අප්‍රමාණ වතාවක් ලෝභය මෝහය දුරු කරලා, මේ වගෙම දාන-මානාදී පිංකම් කරලා ඇති. මට
නම් ඔබතුමීව පෙනෙන්නේ මේ උපාසිකා මාතාව කියනවා වගේ එංගලන්තෙ මහ රැජිනිය වගේ
නෙවෙයි. රැජිනක් වුණත් ඒ උත්තමාවිය මිථ්‍යා දෘෂ්ටිකයිනෙ.
ඔබතුමී එහෙමද? ලෝකෙ තියෙන උතුම්ම ආගම; බෞද්ධාගම අදහන පින්බර උපාසිකාවක්නේ. ආන්න ඒ
නිසා, ඔව්- අන්න ඒ නිසා- මට ශ්‍රෝඩර් මැතිනියව පේන්නෙ විශාඛා මහෝපාසිකාව වගේ;
එහෙමත් නැත්තං බන්ධුල මල්ලිකා මහා උපාසිකාව වගේ...” කියලයි නන්ද හාමුදුරුවන්
වහන්සේත් කිව්වේ.
හරියට ඒ මන්තරේ සිද්ධි
වෙන්න 108 වාරයක් ඒක ජප කරන්නෙයි කියල... |
අනේ, ඒ ඇත්තිත් ඒ සඳහනෙන් හොඳටෝම ඔද වැඩිලා වගෙ මඳ සිනා පෑවා!
හැබැයි ඒ වෙද්දී ‘ඒ සිනාව- ඒ අඟර දඟර’ කොහොම වෙතත් මට ඒ
අම්මණ්ඩිව අන්තිමටම එපා වෙලයි තිබ්බේ.
මොකද, උන්දෑ පුංචි ඉඩක් හරි හම්බ වෙච්චි ගමන්, අපේ අම්මට
ඇහෙන්න අර ‘රැජින’ මන්තරේ මතුරපු
නිසා. හරියට ඒ මන්තරේ සිද්ධි වෙන්න 108 වාරයක් ඒක ජප කරන්නෙයි කියල කවුරු හරි ඒ
ඇත්තිට නියෝග කළා වගෙ.
ඒ මදිවට ඒ මන්තරේ කණට වැටෙන වාරයක්- වාරයක් පාසා අපේ අම්මා ආඩම්බරෙන් ඔළුව උස්සල
හිනා වෙච්ච හැටි...
‘යකෝ- මේ චිංචි මානවිකාවි අපේ අම්මව වැස්සියෙක් කරන්න දත කන තරං...’ ආලවකයා මගේ
සිරසට වැඩියත්, මං අමාරුවෙන් ඉවසං හිටියා- හොඳම වෙලාව එනකල්.
එහෙමත් ඉන්න අස්සෙයි- නන්ද හාමුදුරුවෝ අනුමෝදනා බණේදිත්
මෙහෙම දෙයක් කීවේ- සමා වෙන්නෝනි, උන්නාන්සේලා කියන්නේ නැහැනෙ. එක්කෝ දොඩනවා,
නැත්තං වදාරණවා. ඒත් නැත්තං දේශනා කරනවා...
මොක හරි කමක් නෑ, හරි වචනේ ඔයාලම දා ගන්නකො.
“ලීලා ශ්‍රෝඩර් මහෝපාසිකා මැතිනිය ලක්ෂ අසූවකටත් වඩා
වටිනා මේ මන්දිරයත්- ඉඩමත් සඟසතු කොට පූජා කළේ තණ්හාව ක්ෂය කරන්නට එතුමිය මනාව පුරුදු-
පුහුණු කරලා තියෙන හින්දයි. හැම දෙනාටම එහෙම කරන්න බෑ පිංවතුනි! අනන්තාපරිමාණ සංසාර
සාගරේ සැරිසරන අතරේ ටිකෙන් ටිකයි එවැනි පාරමිතාවන් පුරන්න පුරුදු විය යුතු. අප මහා
බෝසතාණාන් වහන්සේත් ඇස්- ඉස්- මස්- ලේ විතරක් නෙවෙයි, අඹු දරුවන් පවා දන් දෙමිනුයි
දාන පාරමිතාව පිරුවේ!
අපි වුණත් එහෙම පාරමිතා පුරණකොටයි, නිර්ලෝභීව දානාදී පිංකම් කරන්නට හිත නැමෙන්නේ...
-මම ලීලා ශ්‍රෝඩර් මැතිනියගෙන් කා..රු..ණි..ක..ව ඉල්ලා
සිටිනවා, මහත්ඵල මහානිශංස දෙන මේ පුණ්‍ය ක්‍රියාව මෙතනින් අවසන් කරන්නට එ..පා..
කියල!
-අපේ එකම බලාපොරොත්තුව, මේ මන්දිරයේ සුළු සුළු වෙනස්කම්
කිහිපයක් කරලා- මෙතැන භික්ෂූන් වහන්සේලාට වැඩ සිටින්නට උචිත පතිරූප සංඝාරාමයක්
කරන්නයි. ඒ කාර්යයත් ඔබතුමියගේම ධනව්‍යයෙන් කරවන විදිහට මං මේ අතිගරු භික්ෂූන්
වහන්සේලා හා උපාසක-උපාසිකාවන් ඉදිරියේ ඉල්ලා සිටිනවා...”
නන්ද උන්නාන්සේ එහෙම වදාරණවත් එක්කම අර විනීතා අම්මණ්ඩි මහ
හයියෙන් ‘සාදු සාදු’ කියල කියපි! එතකොට ඉතිං... අනිත් උදවියටත් ඒ අසනීපෙ බෝවෙච්චි!!
දැනට මේ ස්ථානයේ වැඩ
ඉන්න සංඝයා වහන්සේලාට... (වර්තමානයේදී එහි සංඝයා වහන්සේලා වැඩ නොහිඳිති. 2024
පෙබරවාරි 8 වෙනිදා ඒ මැඳුරේ පිවිසුමයි මේ. foto- නමී) |
ඒ සාදුකාරය හොරණ ගෙදර පුරාම දෝංකාර දුන්නා. ඒ සද්දෙන් වැඩියෙන්ම
කුල්මත් වුණේ අපේ අම්මයි- නන්ද හාමුදුරුවොයි වගෙ. යකඩය උවමනා විදිහට තලාගන්න නං,
තලන්න ඕනේ පදමට රත් වුණහම නෙව! ඒ දර්මය නං නන්ද හාමුදුරුවො පිරිසිඳ දැනගෙන හිටියා
වගෙයි.
“ඒත් එක්කම මම ලීලා ශ්‍රෝඩර් මැතිනියගෙන් අවසර ඉල්ලා
සිටිනවා මෙතැන ස්ථාපනය කෙරෙන සංඝාරාමය එතුමියගේ නමෙන් ‘ශ්‍රෝඩාරාමය’ කියලා නම්
කරන්නටත්...”
නන්ද උන්නාන්සේ හුස්මක් ගත්තේ යතිය පිහිටුවන්නට වගෙ. ඔන්න එතකොටම විනීතා නෝනගේ ප්‍රධානත්වයෙන්
ආයෙමත් අර සාදුකාරේ...
මට ඇහිච්ච හැටිද මන්දා- වැඩියෙන්ම හයියෙන්; වැඩිම
වෙලාවක්; දිගටම සාදුකාර දුන්නේ ‘ලීලා ශ්‍රෝඩර් මැතිනිය’මයි. මට හිතෙන්නෙම, ඒ
වෙලාවේ අපේ අම්මට තිබුණු ඒ උද්දාමය හාමුදුරුවනුත් හොඳටම දැක්කා වෙන්නැති! ආයෙමත්
දෙසුම...
“ශාසනෝන්නතිය තකා මට තියෙනවා, මේ මැතිනියගෙන් තවත් එකම
එක ඉල්ලීමක් කරන්න...
ඔබ කවුරුනුත් දන්නවා නිර්මල බෞද්ධ ධර්මය සුරැකෙන්නේ බුදු සසුන ආරක්ෂා වෙනතුරු
පමණයි. ඒ වගේම සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම රැකෙන්නේ භික්ෂු- භික්ෂුණී- උපාසක-
උපාසිකා කියන සිව්වනක් පිරිස අතින්. අපේ මව් පංසලට තරමක් දුරින්... නිසලගිරි උයනේ
මේ ආරාමය පිහිටුවන්නට කටයුතු යෙදුණත්, තවම මේ ප්‍රදේශය ජනාකීර්ණ වී තියෙන්නේ
සුළුවෙන්. එහෙම නේද විනීතා උපාසක අම්මේ?”
“එහෙමයි ස්වාමීන් වහන්ස!”
“ඉතිං, ඒ නිසාම වෙන්න ඇති දැනට මේ ස්ථානයේ වැඩ ඉන්න
සංඝයා වහන්සේලාට පසුගිය දවස්වල කලට වෙලාවට සිවුපසය නොලැබුණේත්. නමුත් ඒ හැම
වෙලාවකම මේ විනීතා නෝනයි දෝණියන්දැයි දෙන්න ඉතාම ඕනෑකමින් ඒ අඩුපාඩු සොයල බැලුවා.
අපටත් ඉතාම පහසුවක් වුණා, ඒ කටයුතු එහෙම වීමෙන්. (සභාවෙන්- සාදු! සාදු!! සාදු!!!)
එහෙම වුණේ පිංවතුනි, මේ ශ්‍රෝඩර් මැතිනියගේම නිවසක මේ විනීතා නෝනලා නැවතිලා හිටිය
නිසයි. නමුත්... දැන් මේ නෝනලා ඒ ගෙදරින් යන්නටයි සූදානං වෙන්නෙ, ආර්ථික දුෂ්කරතා
හින්දා.
ඉතිං ලීලා ශ්‍රෝඩර් මැතිනියනි- ඔබතුමියට හැකි නං මේ විනීත නෝනලාගෙන් කුලියක්
නොගෙන...”
ඔයාලා දන්නවනේ, අපේ අම්මගේ අන්තිම කාලේ ගෙවුණේ ඩිමෙන්ෂියාවෙන් කියලා.
ඒ රෝගය නිසා, වැඩියත්ම වුණේ එදිනෙදා සිද්ද වෙන දේවල් අම්මගේ මතකයෙන් ගිලිහිලා යන
එකයි. අද උදේ වෙන දේ දවල්ට මතක නෑ. තව විදිහකින් කියතොත්- අලුත් දේවල් මතකයේ
රැඳෙන්නේ නැතිව යනව වගෙයි.
අපට කොයින්ද එච්චර
පිනක්? |
ඇයි දන්නවද මං එහෙම කිව්වෙ...
එදා දවල් දානේ පිළිගන්වන්න කලින් ලැබිච්ච පොඩි ඉඩකදී, අපේ අම්මා මාව පැත්තකට ඇදගෙන
ගියා. “මෙහෙට එන්නකෝ රංජි, බඩ්ඩක් කියන්න!”
“ඇයි? රහසක්ද...” කියාගෙනයි මාත් අම්මගේ පස්සෙන් ඇදුණේ.
“අර විනීතා අම්මණ්ඩිලාට ගෙදරින් යන්නයි කියල ඔයා කියන්න ඕනි!”
“ඇයි මං... මම කොහොමද එහෙම කියන්නේ? අම්මම නේද ඒ
මිනිස්සුන්ට ඒ ගෙදර කුලියට දුන්නය කියන්නේ...”
“දුන්න නේන්නං! ඒත් මුල් මාසේ විතරයිනෙ කුලිය ගෙව්වේ. ඊට පස්සේ තාම සතයක්වත්
ගෙව්වේ නෑ. මේ සද්දන්ත ගෙදර පිනට දුන්නම මදැයි. පිං වුණත් ඔච්චර ඕනියැ? ඒ ගෙදරත්
මොකටද පිනට දෙන්නේ...”
“අනේ අම්මේ. මේ ඔව්ව ගැන කතා කරන්න වෙලාවක් නෙවෙයිනේ. අන්න- අනිත් හාමුදුරුවරු වඩිනවා.
යං යං අපිත් එහාට යං.” එහෙම කියලයි ඒ වෙලාවේ මම අම්මව සංසිඳෙව්වේ.
ඒ සිද්දිය වෙලා පැය දෙකක්වත් ගියේ නෑ, නන්ද හාමුදුරුවෝ ‘කුලියක්
නොගෙන ඉන්න’ය කියල ඉල්ලනකොට. ඒ වෙලාවෙම අපේ අම්මා කට පුරා හිනාවෙලා; ඔළුවත් වනල ‘කුලියක්
නොගෙන ඉන්නං’ කියල කියපි!
ඒකයි, එතකොටත් අම්මට ඩිමෙන්ෂියා ලෙඩේ ටික-ටිකවත් තියෙන්න
ඇති කියල මට හිතුණේ.
කොහොමෙන් හරි එදා පිංකම ඉවර වෙනකොට ගිහි අපි කවුරු
කවුරුත් හිටියේ සුදහ ගින්දරෙන් පිච්චි- පිච්චී. එහෙම වෙලාවට මිනිස්සුන්ට තියෙන්නේ
එච්චර හොඳ මූඩ් එකක් නෙවෙයිනෙ. මං එහෙම කිව්වෙ- මගේ විදිහ ගැන හිතලයි. නසාරනි මං
වහන්සේ එහෙම නරක මනෝ භාවයක ඉන්න අස්සේ තමයි විනීතා නෝනා ‘රැජින මන්තරේ ජප කරන හැටි’
මගේ කණට වැටුණේ.
කෑම පිඟානත් අරගෙනම මං එතැනට ගියා.
“විනීත නෝනා, මං අහන්නමයි හිටියේ. ඔයා එංගලන්තෙට ගිහින්
තියෙනවද?”
“ලීලා මැතිනියට වගෙ අපට කොයින්ද එච්චර පිනක්...”
“එහෙනං ඔයා කොච්චරවත් කියන්නේ අපේ අම්මා රැජින වගෙයි කියල. රැජිනව දැකලවත් නැතිව.
ඔයා එයාව දකින්න ඇත්තේ fotoවලින් හරි tv එකෙන් හරි වෙන්න ඇතිනෙ... මමත් එංගලන්තෙට ගියානේ දෙපාරක්. ඒ
දෙසැරේ මාස දාහතක් එහෙ හිටියා. අපේ අම්මයි රැජිනයි දෙන්න එක වගෙයි කියන එක එංගලන්තකාරයෙක්වත්
එහෙ නං නෑ...
මට හිතෙන්නේ විනීතා නෝනා හොඳ ඇස් දොස්තර මහත්තයෙකුට කියලා ඇස් දෙක බලවගත්තොත්
හොඳයි!”
බොලිවුඩ් නිළියක් එයාගේ
30වෙනි උපන් දිනයේදී කැරට් 24 රත්තරන් කේක් ගෙඩියක් කපලා. ඒ කේක් ගෙඩිය ශ්‍රී
ලංකාවේ රුපියල්වලින් නං කෝටි දහයක් විතර වෙනවලු! |
සර්පයෙක් වුණත් මිනිහෙකුට දෂ්ට කළාම ඌටත් විසයි වගෙ කියල කතාවක් මං අහල තියෙනවා. ඒ
වගේමයි, ටික වෙලාවක් යනකල් මටත් දැනුණේ.
සමහර වෙලාවට විනීතා නෝනාත් මේ වගෙ තත්ත්වෙකට වැටෙන්න
ඇත්තේ අසරණකම නිසා වෙන්නත් ඇති. හොර- බොරු- වංචා කරන පුංචි සිඤ්ඤෝලා වැඩි දෙනෙක් ඒ
වගෙ දේවල් කරන්න ගන්නේ අන්ත අසරණ වුණාමයි; එල්ලෙන්න වැලක් නැති වුණාමයි.
කෝටි- ප්‍රකෝටි ගණන් තියෙන මගෝඩිස්ලා තුච්ඡ විදිහට, අහිංසක මිනිස්සුන්ව වළටම යවල
හරි හම්බ කරන්නට කරන බලු වැඩ තමයි- මට නං තේරුම් ගන්න බැරි!
ඒකෙම අනිත් අන්තය ගැන වුණත් මට හිතාගන්න අමාරුයි.
අද උදෙයි මං වහන්සේ මේ ප්‍රවෘත්තිය දැක්කේ. එතකොට ඒ ටැපලිල්ල තවත් වැඩි වුණා.
බොලිවුඩ් නිළියක් එයාගේ 30වෙනි උපන් දිනයේදී කැරට් 24
රත්තරන් කේක් ගෙඩියක් කපලා. උර්වෂි රවුටෙලාට ඒ තෑග්ග දීලා තියෙන්නේ ප්‍රසිද්ධ රැප්
ගායකයෙකු වන Yo Yo Honey Singh. පුදුමේ කියන්නෙ ඒ කේක්
ගෙඩියේ වටිනාකමයි.
ලංකාවේ මුදලින් නං රුපියල් කෝටි දහයක්
විතර!
තව එකක්...
ඒ කේක් එක හදල තියෙන්නෙත් ඩුබායි රටේ ඉන්න සිරි ලංකාවේ හාදයෙක්; ප්‍රසන්න කුමාර
රාජගුරු.
Yo
Yo Honey Singh වගෙ සල්ලිකාරයෙක් නොවුණු නිසා වෙන්නැති, නන්ද
හාමුදුරුවො විනීතා උපාසිකාවට අනුන්ගෙ වියදමෙන් සලකන්න හැදුවේ.
දැන් බලද්දී මට හිතෙන්නේ එහෙමයි.
එදා කට්ටියමත් කාලා ඉවර වුණාම- වළන් පිඟන් හට්ටි මුට්ටි
පිරිසිදු කරන්න ගත්තා.
“දැන් නං මාර නිඳිමතකුත් එනවා... උදෙන්ම නැඟිට්ට ගමන්නෙ.”
“ඉස්සර වගෙ නං මේකෙම කොහේ හරි තැනක ඇලවෙන්ඩ තිබ්බා. දැන් ඒක කරන්ඩත් බැහැනෙ- මේක
දැන් ගෙයක් නෙවෙයි, පන්සලක්නේ.”
“කට්ටියම සප්පායම් වෙලා ඉවරයි නේද? එහෙම නං ලීලා මැතිනියයි
පවුලේ දූ-දරුවොයි එක්ක අපේ ලොකු ස්වාමීන් වහන්සේ හම්බ වෙන්න එනවද? ඔයාල ආපහු යන්න
කලින් ලොකු සාදුට පොඩ්ඩක් කතා කරන්න ඕනියි කිව්වා.” පොඩි සාමණේර උන්නාන්සේ කෙනෙකු
අපට පණිවිඩයක් ගෙනාවා.
අපිත් ඒ එක්කම නන්ද හාමුදුරුවන් වැඩ උන්නු තැනට ගියා.
හාමුදුරුවො අපට එන්න කියල තිබ්බේ ඉදිරි වැඩ කටයුතු සිද්ද
වෙන හැටි දැනගන්නයි- කෙරෙන හැටි කියන්නයි දෙකටම...
“ලීලා මැතිනිය ඇතුළු මේ දූ-දරුවන් හැම දෙනාම එකම වතාවේ මට හම්බ වුණේ අදයිනෙ. ඉතිං
මගේ යුතුකමක් ඔය හැමෝවම දැනුවත් කරන එක. විශේෂයෙන් ලොකු පුතා නිමල් මහත්තයවයි,
දෙවෙනි පුතා සුනිල් මහත්තයවයි. ලීලා මැතිනිය ඉතිං වැඩි හරියක් ඉන්නේ එංගලන්තයෙනෙ.
හදිසියකට හරි මට හම්බ වෙන්න පුළුවන්කම තියෙන්නෙ මේ මහත්තුරු දෙන්නවනෙ- එහෙම නේද
මල්ලිකා නෝනා?”
එදාට ඔබතුමියව මෙහාට
කැන්දගෙන එන්නේ... අලි-ඇතුන්, නැටුම්-ගැයුම්, කුඩ-කොඩි
සේසත් සහිත බොහොම ගරු ගාම්භීර පෙරහරකින්... |
‘එහෙනං උන්නාන්සේ දැනටමත් අපේ මල්ලිකාටත් ඉනාව දීලා...’
මට හිතුණා. ‘...හාමුදුරුවොත් හෙණම අංකූරෙක් වගෙයි!’
“ලීලා මැතිනිය මට කියලයි තියෙන්නේ, නිමල් මහත්තය ගැන. සෑහෙන ලොකු පවුලක් ජීවත්
කරවන්න නිමල් මහත්තය ඉස්කෝලේ යන ගමන්ම වීරිය කරපු හැටි... බොහොම ප්රගතිශීලී අදහස්
දරන හැටි... තමන්ට බාල සහෝදර සහෝදරියන් නවදෙනෙක් හරි මාර්ගයේ යවන්න කැපවෙච්ච හැටි
එහෙම...”
අපරාදෙ කියන්න බෑ. උන්නාන්සේ ‘තෙල බෙදිල්ල’ නියමෙට
දන්නවා. බටර් ගාන්නත් දන්නවා... මමත් ගොනා වගෙ නිස්සද්දව අහගෙන හිටියා. ඒත් අපේ
අනිල් එහෙම කට වහගෙන හිටියේ නෑ. මිනිහට වැරද්දක් අහු වෙලා.
“නව දෙනෙක් නෙවෙයි හාමුදුරුවනේ! අට දෙනයි. හික්. බාලම නංගි මාසයක්වත් ජීවත් වුණේ නැහැනෙ,
නේද අම්මේ? හිහික්...”
අන්නා සඳහන් කෙරුවේ වැරදීමකින්වත් අපේ අම්මා මතක් නොකරන කාරණාවකි!
අනිල් කාට-කාටත් හොරෙන්ම ටිකක් සංතෘප්ත වෙලා වගෙයි!
“හරි හරි අනිල් මහත්තයා. අට දෙනයි කියමුකො.
මම කියමින් හිටිය කාරණය අනිල් මහත්තයාගේ කතාවෙනුත් ඔප්පු වෙනවා... නිමල්
මහත්තයාගෙන්ම වෙන්න ඕනි ඔය -කිව යුතු දේ, කිව යුතු තැන නොබියව කියන පුරුද්ද- ඇති
වෙන්න ඇත්තේ... ලොකු අයියගේ විදිහ පොඩි අයටත් ගොඩක් බලපානව නෙව.
ඉතිං... මම කියන්න ආවේ, මෙතැන ඉන්න මේ පවුලේ වැඩි දෙනා නිතර පන්සල් නොයන අය බව
ලීලා මැතිනිය මට කිව්වා. ඒ වුණත් මේ හැමෝම වැරදි නොකරන තරමේ ගුණ යහපත් අය බවත් මේ
නෝනා මට කිව්වා.
මේ මැතිනිය නොකිව්වත් ඕනෑම කෙනෙක්ට තේරෙනවා මේ පිරිස හොඳ වැඩවලට කොච්චර කැමැති
වෙනවද කියල- මෙහෙ වැඩ සිද්ද වෙන විදිහෙන්. වෙන පවුලක නං දූ-දරුවන් කීයටවත් කැමැති
වෙයිද, මෙච්චර වටිනා දේපලක් මහා සංඝයා වහන්සේට පූජා කරනවට?”
හොඳ වෙලාවට අපේ අම්මවත්- මල්ලිකාවත් උත්තර දෙන්න නොගියේ.
මට හිතෙන්නේ එයාලත් ඉන්න ඇත්තේ මහන්සියෙන්; නිඳිමතෙන්...
“ඉතිං... මගේ යුතුකමක් තමයි මේ මහත්ඵල මහානිශංස පුණ්‍ය
කටයුත්තට නිසි ගෞරවය ලබා දීම. මේ ශ්‍රෝඩාරාම සංඝාරාමය විවෘත කරන දවසටත් මේ පිරිස
පවුල් පිටින්ම පැමිණෙන්න ඕනෑ! ලීලා මැතිනියත්. ඔබතුමියත් ලෝකෙ කොහේ හිටියත්- ඒ
දවසට ඒ පින්කමට සහභාගී වෙන්නට එන්න ඕනි. අපි නිකංම නිකං නෙවෙයි එදාට ඔබතුමියව
මෙහාට කැන්දගෙන එන්නේ... අලි-ඇතුන්, නැටුම්-ගැයුම්, කුඩ-කොඩි සේසත් සහිත බොහොම ගරු
ගාම්භීර පෙරහරකින්...”
නිදිගෙ පංච තන්තරේ කියවල පළපුරුදු රසික- රසිකාවියන් නම්
දැන් හොඳාකාරවම දන්නවා, මම මේ කොටස මෙතනින් නවත්තන විත්තිය. ඉතිරි හරිය ඊළඟ
කොටසෙන් ලියන්නං. ඒත් අද තව චුට්ටක් ලියනවා.
අද ‘නිදිගෙ පංච තන්තරේ’ blog අඩවියේ හත්වෙනි උපන් දිනේ.
අවුරුදු හයක්ම ගෙවිච්චි ඉක්මන... මම හිතුවෙත් නෑ, මට මෙච්චර දේවල් ලියන්න තියේවි
කියලා. සත්තයි- මාව එතැනට තල්ලු කළේ නම් මගේ ආදරණීය කියවන්නෝ සහ සහෝදර blog රචකයෝ!
ඔයාල හැමෝම මට දෙන්නේ නව පණක්. මේ ලිපි කියවීමෙන්; ප්‍රතිචාර දැක්වීමෙන්; වගේම දේශ
දේශාන්තරවල ඉඳලා දුරකතනයෙන් කතාබහ කිරීමෙනුත්... හොයාගෙන ගෙදරටම පැමිණීමෙනුත්...
ඒ වෙනුවෙන් ඔබ සැම දෙනාටම ගොඩක්- ගොඩක්- ගොඩාක් ස්තුතියි!