අකුරු මැකී නෑ

Saturday, April 27, 2024

F***ing and බකිනි

F***ing twice a week is good for your health.
ආන්න එහෙමයි උඩ්ඩ්ඩ්ඩම පේළියේ තිබ්බේ.

සතියකට දෙසැරයක්... සරීර සවුක්කියට හොඳයි?
ඒකත් නරකම නෑ!
බලමුකො ඊළඟ පේළියේ මොනවද කියල තියෙන්නේ කියල.

F***ing refreshes you.

F***ing gives proper relaxation for your mind and body.

ඈෑෑෑෑෑෑ... ‘... ඔබේ මනසට හා සිරුරට නියමාකාර සැහැල්ලුවක් ගෙන දෙයි.’
මේක කියපු එකාට නං අන්ධ කයිප්පු කැවිලා. සැහැල්ලුව කොහොම වෙතත් දැනෙන මහන්සිය නං... ඉක්මන් වෙන්නෙ නැතිව ඊළඟට තියෙන දේවලුත් කියවල බලහං යෝදයෝ. මට හිතුණා.

F***ing refreshes you.
After F***ing don’t eat too much, go for more liquid.
හැබෑවටම ඒකෙන් අපිව නැවුම් කරනවද?
ඒ මදිවට මොකක්ද මේ කියන්නේ? ඊට පස්සේ වැඩිය කෑම ගන්න එපාලු- වැඩියෙන් දියර ජාති බොන්නලු! ඊටත් පස්සේ තියෙන්නේ කලින් කියපු දේවල්වලටත් වැඩිය වඳුරු කුණුහරුපයක්.

When F***ing try to stay in bed because it can save you valuable energy.
හැමෝටම ඇඳන් තියෙනවයැ? පැදුරේ සැතපෙන මිනිස්සු කොච්චර ඉන්නවද... එතකොට එයාලගෙ ශක්තිය ඉතිරි කර ගන්න වෙන්නෙ...? කමක් නෑ, කමක් නෑ... මෙච්චර දුරක් කියවගත්ත එකේ ඉතිරි කාරණා දෙකත් කියවලම හිටපං නිදියො..

F***ing can even reduce your cholesterol level.
ඒකත් මරුනේ අම්මපා! කොලෙස්ටරෝල් මට්ටමත් බහිනවලු F***ing කළාම. මාර කෙළියක්නෙ යකඩෝ මේ.
ඊට පස්සේ තියෙන්නේ නං ටිකක් විතර තේරුම් ගන්න අමාරු වාක්කියක්.
F***ing make you more committed and you can be sensitive and receive from above. බලමු ඩික්ෂනරියවත් පෙරළලා. commit- බාර දෙනවා, පවරා දෙනවා, බැඳෙනවා. (more committed කියනකොට මං හිතුවේ ‘වැඩියෙන් කැපවී’ කියලනේ.)
එතකොට sensitive?

ඒ වචනෙට දීලා තියෙන තේරුම් ටික තේරුම් ගන්න නං, තව පොතක් හොයා ගන්නයි වෙන්නෙ. ඔයාලත් කියවල බලන්නකො මේ අප්‍රභංශේ තේරෙනවද කියලා.
‘වහා හැඟීම් ඇති වන; ක්ෂිප්‍රග්‍රාහී; සංඥාප්‍රකාශක; සියුම් ඉඳුරන් ඇති; ඉක්මනින් කිපෙන, කලබල වන හෝ ප්‍රකෘතිය වෙනස් වන...’ ආච්චිගෙ රෙද්ද!

මෙන්න එහෙනං ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය පාඨක පිරිසට කෙරෙන විනෝදාත්මක ආරාධනයක්.
තරහ නැතිව ‘F***ing make you more committed and you can be sensitive and receive from above.’ කියන වාක්‍යය සිංහලට පෙරළලා එවන්නකො comment එකක් විදිහට.

මොකද දන්නවද ඒ වගකීම දයාබර ඔයාලට පැවරුවේ. කණා බල්ලන් ගහනවා වගෙ වැඩ කරන්න හොඳ නැති නිසා. නොදන්නා දෙමළෙට ගිහිං වරිගේ නහ ගන්න මං වහන්සේ අකැමැති නිසා. (අද කියන්න යන සිද්දියත් එහෙම වැරැද්දක් ගැනයි.) ඊට කලින් මෙන්න කියාගෙන ආව කතන්දරේ ඉතිරි විස්තර කියනවා.

අන්තිමටමනේ- තද කළු අකුරෙන් මෙහෙම වාක්කියකුත් කොටු කරලම දාල තියෙනවා දැක්කේ!

ටික දවසකට කලිනුයි මට ඔය ඉංගිරිස්වලින් තිබ්බ ‘F***ing’ විස්තරේ හම්බ වුණේ. උඩින්ම තිබුණු චිත්තරෙත් ‘වැඩිහිටියන්ට පමණයි’ ගණයේ. ඒ මදිවට F***ing කියනකොටම නසරානි මගේ වලත්ත ඔළුවට ආවෙත් Adult’s only- Trible xxx සීන් එකක්. ඉතිං, එහෙම වෙලාවට හුදී ජනයා කරන විදිහටම පෘතග්ජන මාත් බොහොම උනන්දුවෙන් කියවං ගියා.

බොලේ, අන්තිමටමනේ- තද කළු අකුරෙන් මෙහෙම වාක්කියකුත් කොටු කරලම දාල තියෙනවා දැක්කේ!

So Remember: FASTING is good for your health.
ඇත්තනේ! උපවාස කිරීම කාගෙත් සෞඛ්‍යයට හිතකරයි නේන්නං.
මම නං ඒ කාරණේ අත්දැකීමෙන්ම දන්නවා.
වැරදි බෝනස් එකකුත් එක්ක මට හම්බ වුණු මල්ටිපල් මයෙලෝමාව පාලනය කෙරිලා තියෙන්නේ ඔය ‘උපවාස කෙරුවාව’ හින්දා කියලයි මං හිතන්නේ. ‘පිළිකා සෛලවල පැවැත්මට රුධිරයේ සීනි උපකාරී වෙයි’ කියන කාරණේ තමයි, දොස්තර අයස්මන්ත පීරිස් හිතවතා පුන-පුනා මට මතක් කරන්නෙ. “ඒක නිසා සිරුරේ සීනි නැති වුණාම පිළිකා සෛල අඩපණ වෙනවා, මී හරකෝ!”

මා ‘ගෝඨාගෝගමේ අරගලය දිනවල ගෝල්ෆේස් පිටියේදී...

“නෙවිල්, මර්වින්. බලපං මචං. මේ පිස්සු හුxxට කොච්චර කිව්වත් අහන්නේ නැති හැටි. පැණි රස ගිලිනවා... යකෝ... ඔහොම ගියොත් උඹට විඳවල මැරෙන්නයි වෙන්නෙ. බෙහෙත් ගත්තට විතරක් මදි. කටත් පරෙස්සං කර ගනිං xකෝරිස්.” ගිය සතියෙත් අයස්මන්ත මහත්තයා සඟිස්කුරුතවලින්ම මට දෙසුවේය. ඒ අවුරුදු දවස් කිහිපයේ මඩොල්සිමට ගිය සංචාරයේදීය.

“ඔව් නිමල්, දැන් ඔයා පරෙස්සං වෙනවා අඩු පාටයි! හිනා වෙලා හරි යන්නේ නෑ.” ඒ ගමන සංවිධානය කළ WAL Constructions අධිපති ප්‍රියන්තත් පීරිස්ට උඩගෙඩි දෙයි.

“ඔයාට ඕනි නං fasting කරන එක මහ ලොකු දෙයක් නෙවෙයිනේ, නිමල්.” ප්‍රියන්ත කියන්නේ ඇත්තය. මට fasting කිරීම පුරුදු නිසාමය මා ‘ගෝඨාගෝගමේ අරගලය දිනවල ගෝල්ෆේස් පිටියේදී පැය 68ක අඛණ්ඩ උපවාසය’ක පවා යෙදුණේ.

“දන්නවද නිමල්, කාලෙක ඉඳලම මමත් පැය අටක් ඇතුළෙයි කන බොන සේරම කරන්නේ.” ප්‍රියන්ත කිව්වේය. “ඔයත් අඩුම ගණනේ එහෙමවත් කරනවා නං නිමල්... නේද පීරා?”

මේ හිතවතුන් සේරමලා හදන්නේ නිමල් දිසානායකයාව තව කාලයක් ජීවත් කරවන්නටය. ඒක හොඳය. වැරැද්ද තියෙන්නේ මං වහන්සේගේ මුරණ්ඩුකමේය.
දවස් කීපයක්ම බත්- පාන්- අල- බතල පිටි ආහාර නොගෙන ඉඳින විට මගේ පෙරේතකම ඉස්මතු වෙයි. මස්- මාළු- එළවලු ආදියෙන් බඩ පිරුණත් හිත පිරෙන්නේ නැති හැටි! ඉතිං, මේ ලියන්නා කරන්නේ ‘උගේ දොළදුක සංසිඳවා ගන්නා එක’ය.

ඒත් වාසනාව තවමත් මගේ පැත්තේය!

රූපවාහිනිය- අන්තර්ජාලය හා ජංගම දුරකථන නිසා අද කාලේ එහෙම ‘වැරදිවලින් බේරිලා ඉඳිල්ල’ ලේසි නැත. අරවා කන්න- මේවා බොන්න- අරහෙම කරන්න- මෙහෙම කරන්න... කඩවසම් හාදයෝ අපට කියති; රූබර අංගනාවෝත් දිගින් දිගටම කියති; වැලපෙති. මොන හිතකින් ඒවාට බැහැයි කියන්නද දෙයියනේ?
ඊටත් හපන් වැඩේය කියන්නේ- උපවාසය කරන දවස්වලට අලුත් කෑම ජාති අත්හදා බලන්නට මේ ගොබිලාට හිතෙන එකය.

අද ලියන්නට යන ‘ජංජාලය’ සිද්ද වුණෙත් එහෙම හිතුණු වෙලාවකය!

ඇලේ- දොළේ- වෙළේ ළිඳේ සීතල වතුරෙන් නාලා, වෙල් එළියේ- කමතේ ඉඳගෙන...

මේ අකරතැබ්බය ගැන ලියන විත්තිය මං වහන්සේ මුලින්ම කිව්වේ සිතුවිලි මං පෙත blog අඩවියේ ලියෝනි අමරතුංග සොහොයුරියටයි. ‘කොනක හිට නිදිගෙ පංච තන්තරේ කියවන්න’ට පටන් ගත්තු ලියෝනි 2024 ජනවාරි 29 වෙනිදා ‘අජාසත්ත - පළමු කොටස’ට මෙන්න මෙහෙම comment එකක් එවල තිබුණා.

‘ශා ඔන්න මම කියවන්න ගත්තා. පටන් ගැන්මම රසවත්. කොන්ඩ කැවුම් ගැන කියද්දී නම් හිනාත් ගියා. මමත් දැන් අවුරුදු 3කට විතර කලින් පොඩි ට්‍රයල් එකක් කළා. You Tube බල බලා. හම්මේ රස නම් ඉතාම ඉහලයි. ඒත් කොන්ඩෙ ගැන නම් කියලා වැඩක් නෑ. එක එක කැවුමට එක එක කොන්ඩ මෝස්‌තර. අපේ මහත්තයා නම් මගේ අක්කලාට හිටන් කිය කියා හිනාවුනා, පොලොසියෙන් ගුටි කාල වගේ මගේ කැවුම් ටික කියලා. කැවුම් ටිකට පින් සිද්ද වෙන්න ඇති තරම් හිනා වුනා ඒ දවස්වල. ඔයාගේ කතා කියවන්න ගිහිල්ල මගේ අතීතෙත් ඔන්න ටික ටික මතක් වෙන්න අරගෙන.’

ජනවාරි තිස් වෙනිදා මම ලියෝනිට ලියපු උත්තරයයි මේ:
‘ඔයා ඔය තරමින් බේරිලා.... ලියෝනි
, මට ගිය සතියේ ඔහොම දෙයක් කරන්න ගිහිං වෙච්චි අකරතැබ්බයක් ළඟදීම ලියන්න හිතුණා, ඔයාගේ හිනා කන කමෙන්ටුව කියවලා.
ස්තුතියි!’

දන්නවනෙ, අපි අතීතකාමී මිනිස්සු. අපි ඉස්සර දේවල්වලට ගොඩක් ආදරෙයි- ගොඩාරියක් කැමතියි.
සේරම පහසුකම් තියෙන කොන්ක්‍රීට් මාලිගාවල හිර වෙලා ඉන්න ගමන්, අපි වරිච්චි බිත්ති තියෙන පැල්පත්වල ඉන්න විදිහ හීනෙන් දකිනවා. ඇලේ- දොළේ- වෙළේ ළිඳේ සීතල වතුරෙන් නාලා, වෙල් එළියේ- කමතේ ඉඳගෙන ඇඹුල රස විඳින්න පෙරුම් පුරනවා.
මමයි කියලත් කිසිම වෙනසක් නෑ තමා. මාත් ඒ ගොඩේම තමා...

ඉතිං මේ අවුරුද්දෙ මුල දවසක You Tube එකෙන් මගේ ඇහැ ගැටුණා කුකරි වැඩ සටහනක්. ‘අද වෙද්දී අපෙන් ගිලිහී ගිය බකිනි කැවුම් -ක්‍රම දෙකකින්’ කියලයි ඒ program එක Roo Eats එකෙන් හඳුන්වලා දීලා තිබුණේ.

බකිනිත් බක්කක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මට නං ඔහොම දේවල් තදින් හිතට වැදෙනවා.
ඉවුම්-පිහුම් ගැටළුවක් ආවහම- අලුතින් දෙයක් දැනගන ඕනි වුණහම මං වහන්සේ ඉස්සෙල්ලම අතට ගන්නෙ ‘ගුණසේන සූප ශාස්ත්‍රය’ පොත. ඒ පොත අරගෙන බැලුවා. ම්හු! බකිනි කැවුම් ගැන කිසිම සඳහනක් ඒ පොතෙත් නෑ!!

බකිනි මල් කොයි වගේද කියල...

ඔන්න එතකොටම මතක සාගරේ අස්සෙන් පුංචි හෝඩුවාවක් මතුවීගෙන එනවා...

නුවර පාරේද, කුරුණෑගල පාරේද කියලා නං හරියට නිච්චි නෑ. ඒත් ඒ පාරවල් දෙකින් එකක- දකුණු පැත්තේ තියෙන බත් කඩේකට අවුරුදු පහළොවකට විතර ඉස්සර දවසක අපි ගියා කෑම කන්න.
“අතන පාරෙන් එහා පැත්තේ තියෙන්නේ බකිනි ගහක්! අඳුරනවද?” එහා පැත්තේ මේසයේ වාඩිවෙලා කෑම ගනිමින් උන්නු වැඩිහිටියෙක් එයාගෙ පලෝලේ සගයෙකුට කියනවා මට ඇහුණා.

ඉක්මනට කෑම කාලා එතුමා ළඟට ගිහිං, මං උන්නැහේගෙන් ඒ ගහ ගැන විස්තර අහගත්තා. දැක ගත්තත් එක්ක. හැබැයි එදා ඒ ගහේ මල් තිබ්බේ නෑ.

‘බකිනි ගහේ බකිනි මලෙන් පාර අහන්නේ
කුරුන්ද ළඟ දෙල් ගහ යට ගෙදර තියෙන්නේ’,
‘...
බක්මී මල වට බඹරු නටනවා- වරද මලේ සුවඳද අම්මේ’ වගෙ සිංදුවලින් කියවෙද්දීවත් බකිනි මල් කොයි වගේද කියල හොයන්න මට නොහිතුණු එකනෙ පුදුමේ!

අද නං ඔන්න මේ post එක ලියන එකත් නවත්තල ජාලේ පීරුවා. පුදුමෙ කියන්නේ දැනගෙන හිටි; ඒත් යටපත් වෙලා තිබණු සමහර කාරණාවල් දැන් මගේ මතකයට ඉබේම ගලාගෙන එන එක!
එහෙම එක කාරණාවක් බදුල්ලේ සෝම පුංචිගේ ලොකු දූ අනෝමා මානෙල් නංගිගෙනුත් අහල තහවුරු කර ගත්තා- ඔයාලට කියන්න කලින්. (ස්තුතියි අනෝමා නංගි.)

ඔයාලා මගේ උපන් ගමට; බදුල්ලට යන වෙලාවක ‘මුතියංගන රජමහ විහාරය’ට ගියොත් ‘බක් මී’ ශාඛයක් දැක ගන්න පුළුවනි. මොකද, මුතියංගන පුද බිමේ ‘අටවිසි බෝධීන් වහන්සේලා’ම රෝපණය කරලා තියෙන නිසා. බක් මී ශාඛයත් අටවිසි බෝධිවලින් එකක්. සුමේධ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ බක් මී ගහක් යටදී.

ඉතිං, කම්පියුටරේ ඉස්සරහින් වාඩි වෙලා, You Tube එකෙන් ‘බකිනි කැවුම්’ වීඩියෝව බලන අතරේම මම අවශ්‍ය ද්‍රව්‍යත් ලියා ගත්තා. ‘මහ ලොකු දේවල් ටිකක් නෙවෙයි ඕනේ කරන්නෙත්’.

 හාල් පිටි ග්‍රෑම් 250
 බැදගත් සූදුරු ඇට ටිකක්
 බැදගත් හාල් කප්පි ටිකක්
 කිතුල් පැණි/ උණු කරගත් හකුරු හෝ කැරමල් කරගත් සීනි
 සව් ඇට ග්‍රෑම් 200

ඕනි කරන දේවල් එකතු-පහදු කරගෙන, Roo Eats වීඩියෝවේ කියන හැටියට මං ‘බකිනි කැවුම්වලට පිටි අනාගත්තා’. ඊළඟට වැඩේ අනාගන්නේ නැතුව කැවුම් ටික ගුළි කරලා- සව් ඇට දවටලා වඩා ගත්තා. කියන විදිහටම බැද ගත්තේ ඊට පස්සෙයි. ඒ සේරම කරලා, වතුර ටිකක් රත් වෙන්න තිබ්බේ තේ හදන්න. ‘මෙලහට නෙවිලුත් මෙහාට එන ගමන්, මඟ ඇත්තේ. මානෙල්ලගේ ගෙදර යන්න කලින්- තේ එකක් බීලම යනවා.’ කේතලේ රත් වෙන අතරේ සූදානං වෙමින් මං හිතුවා.

බකිනි කැවුම්! ඉන්ටර්නෙට් එකෙන් බලලා හැදුවේ!

නෙවිල් ආවා. සූදානමින් මඟ බල-බලා උන්නු බකිනි කැවුම් පීරිසියකුයි- තේ කෝප්පයකුයි බොහොම උජාරුවෙන් උන්නැහේගේ ඉස්සරහට වැඩියා. “අම්මට සිරි! මේ මො..නා..ද හලෝ මේ.”

“ඔහෙලට ඔව්වා දකින්නවත් හම්බ වුණොත් ඉතිං දි..සා..නා...ය..ක..ලගේ දිහාවෙදි තමයි. දන්නවද මොනවද කියලා... බකිනි කැවුම්! ඉන්ටර්නෙට් එකෙන් බලලා හැදුවේ.”
“ඉතිං තමුසෙ මටද මේවා ඉස්සෙල්ලම කන්න දීලා බලන්නේ?”
“ඔච්චර බයද මිනිහෝ මැරෙන්න? බය වෙන්න එපා. පැය බාගෙකට කලින් මං එකක් කාලා ඉන්නේ. කාලා බලනවකො.”
“පෙනුම නං ලස්සනයි!” Test එකේ පළමුවෙනි කඩඉම හරි. “හ්ම්... රසත් හොඳයි. පැණි රහ අඩුවෙන් හැදුවොත් තවත් හොඳයි- විශේෂෙන් ඔයාට.”

අපි එදා මානෙල්ල ගෙදර යනකොට, එයාලටත් බකිනි කැවුම් ටිකක් අරගෙනයි ගියේ.
එයාලගේ ප්‍රතිචාරත් positive!
“හැබැයි ලොකා, දැන් කාලේ ගොඩක් දෙනා කෑම ජාති හදද්දී සීනි එකතු කරන්නේ අඩුවෙන්.” සීනි පාවිච්චියක් ඇත්තෙම නැති අපේ මානෙල් එකතු කිරීමකුත් කළා.

ඉතිං- එදාමයි මම හිතා ගත්තේ, ජනවාරි 26-28 දවස්වල යන්න තියෙන ට්‍රිප් එකට පැණි රහ අඩු බකිනි කැවුම් ටිකක් හදාගෙන යන්න.

පළවෙනි දවසේ Sky Deck එකේ කෑම්පින්. දෙවෙනි දවසේ සූරියකන්දේ Centauria Eco Bungalow එකට යනව.

“ගමනට තිහක් විතර යනව නිමල්. පළවෙනි දවසේ Sky Deck එකේ කෑම්පින්. දෙවෙනි දවසේ සූරියකන්දේ Centauria Eco Bungalow එකට යනව. ඔයත් එනවනේ... යං නිමල්! ස්කයි ඩෙක් එක ගොඩක් ලස්සන තැනක් වගේ.” ප්‍රියන්ත හිතවතා තවත් කරුණු කිව්වෙ මාව පොළොඹවන්නයි. එයාලා හැමෝම එහෙමයි. මගේ අතින් සතයක්වත් වියදම් කරන්න නොදී, බැරි මරගාතේ ඉන්න මං වහන්සේවත් හැම ගමනකටම එක්කගෙන යන්නයි එයාලට ඕනි. “ඔයාට change එකකටත් එක්ක හොඳයිනෙ නිමල්.”

‘එහෙව් එකේ බකිනි කැවුම් ටිකක්වත් හදාගෙන ගිහිං...’

ඉතිං ජනවාරි 24 වෙනිදා උදේ මං වැඩේ පටන් ගත්තා.
සීනි කැරමල් කරලා පැත්තකින් තිබ්බා. හාල් කප්පියි, සූදුරු ඇටයි කබලේ බැදලා ගත්තා. හාල් පිටි පැකට් එක නං ගෙනාවේ කඩෙන්.

අතිරසවලට පිටි අනන විදිහට අනාගන්න කියලනේ වීඩියෝවේ කියන්නේ.

ඔව් ලියෝනි- මාත් එහෙම කළා. පදම හරි. කැරමල් කරපු සීනි යහමින් තියෙද්දිත් අඩුවෙනුයි, මං එකතු කළේ. ඒ, මේ වතාවේ බකිනි කැවුම් පැණි රහ අඩුවෙන් හදන්න හිතාගෙන උන්නු හින්දා. පිටි මිශ්‍රණයෙන් පොඩ්ඩක් කාලත් බැලුවා. ‘යන්තමටයි පැණි රහ තියෙන්නේ. මේ ගණන මදැයි!’

වෙලාව ගතවෙන වැඩේ තමයි පිටි ටික ගුළි කරගන්න එක. ලකයක් ඇතිව; සේරෝම එක ගණනට; හීං නාරං ගෙඩි තරමට ගුළි කළා- සව් ඇටත් දැවටුවා. (පොලිසියෙන් ගුටි කාපු විදිහේ එක එක පන්නේ කොණ්ඩ කැවුම් වගෙ නෙවෙයි. ගුළි සේරෝම එක වගෙයි.) ඊළඟට ඉතිං බැද ගැනිල්ල.
වෙහෙරක් ගිල්ලට පස්සේ අග්ගලාවක් ගිලින එක මහ කජ්ජක්ද? බකිනි කැවුම් 125ක් විතර බැදලා ඉවර කරලයි නිමල් දිසානායකයා පස්ස බැලුවෙ.

වැඩි වෙලාවක් හිටගෙන හිටියම, මගේ කකුල් මැඩ්ලින් ගහන්න පටන් ගන්නවනෙ!
ඒ විත්තියත් නොතකා, තේ එකකුත් හදාගෙනමයි මං වාඩි වුණේ. ඒ වෙලාවේ කවුද Fasting ගැන යන්තමටවත් මතක් කරන්නේ? ඒත් වැඩිය නෙවෙයි, බකිනි කැවුම් දෙකක් විතරයි මං වහන්සේ පීරිසියකට දාගත්තේ.

හෑෑෑෑෑෑෑෑෑෑෑ!
මොන හත්තිලව්වක්ද යකඩෝ මේ?
මගේ දත් වහල්ලට මොකක්ද දෙයියනේ මේ හදිස්සියේ වෙලා තියෙන්නේ... කැවුම හපා ගන්න බෑ!
බලමු අනිත් හක්කට තියලා... ම්හු. ඒත් එහෙමයි. ගල් ගෙඩියක් හපනවා වගෙයි යකෝ!

වැඩියෙන් බැදිච්ච කැවුමක්ද? / නෑනේ! එකම විදිහට රන්වන් පාටටනෙ ඔය තියෙන්නේ. / බලමු තව එකක් අරං. / මොන? ඒකත් ඒ වගේමයි. බකිනි කැවුම් නෙවෙයි, මෙව්වා යකඩ මූනිස්සම්! හපනවා තියා එහෙම කරන්න හිතනවාවත් බොරු! නිකං මොකටද දත් කඩා ගන්නෙ... ඊටත්, මගේ දත් වහල්ල හොඳටෝම දිරාපත් වෙලා තියෙන්නේ, ඇටකටුත් එක්කම.

අනුන්ට හිනා වෙනවා වගෙ තමන්ටමත් හිනා වෙන්න පුළුවන්කම තියෙන්නේ අපි අතරෙන් කීයෙන් කී දෙනාටද?

කොයිකටත් කියල ඒ යකඩ කැවුම් දෙකක් වතුරේ ගිල්ලලා තිබ්බා- පැය දෙකක් විතර. එව්වයෙ හුස්ම හිර කරන්න නෙවෙයි, හපන සයිස් එකක් එයිද කියල බලන්න.

ඔව් හිතමිත්‍රාදීනි. කියන්න ආඩම්බරයි... ප්‍රතිඵලය බිංදුවයි! යකඩ කැවුම් එහෙම්මමයි- චුට්ටක්වත් පෙඟිල තිබ්බේ නෑ හලෝ.

Trip එක නං ගියා. හැබැයි, මං 'යකඩ බකිනි කැවුම්' ටික නම් ගෙනිච්චෙ නෑ. එහෙම කළත්, වෙච්චි සංගදිය පස්සේ මගෙම කටින් එළියට පැන්නෙ සභාවේ සිනා ගොඩක් මැද්දේ.
මං එහෙමයි. මට වෙන වැරදි මමම කියල දානවා; මටම හිනා වෙනවා. අනුන්ට හිනා වෙනවා වගෙ තමන්ටමත් හිනා වෙන්න පුළුවන්කම තියෙන්නේ අපි අතරෙන් කීයෙන් කී දෙනාටද?

අවුරුදු පනහකට කිට්ටු කාලයක් තිස්සේ මගේ ළඟ ‘අතැඹුලක් සේ’ තියෙන පොතක් ගැන මං කිව්වා මතකයිද? සිංහල සාහිත්‍ය විශ්ව කෝෂය!
ඒ පොත මට උගන්නපු කවියක් මේ:

   කා හටත්                     වරදී
   ඉන් දොස් කීම           වැරදී
   මා හට                 නොවරදී
   කියන අය හට නිතර වරදී

‘මට වැරදෙන්න ඉඩ තියෙන බව’ දැනගෙන උන්නු මං ‘බකිනි කැවුම් වැඩේ වැරදෙන්න හේතු’ හොයන්න පටන් ගත්තා. පළමුවෙනි සහ ලොකුම වැරැද්ද තමයි, එක කැවුමක් බැදලා- ඒක කාලා බලන්නේ නැතිව මුළු lot එකම හදපු එක! (පළමුවෙනි සැරේ වෑයම හරි ගියා වුණත්... දෙවෙනි සැරේ වරදින්න ඉඩ තියෙනවය කියල හිතන්නයි තිබ්බේ!)

බකිනි කැවුම් ගල් වීම ගැන මං අහපු ප්‍රශ්නවලට උත්තර ජාලයේ තිබුණේ නෑ. අතිරස හදද්දී විය හැකි වැරදි ගැන නං Roo Eats වීඩියෝවකම තොරතුරු තිබුණා. ඒකෙන් කියැවුණු විදිහට නං ‘අතිරස ගල් වෙන්නෙ සීනි මදි වුණාම!’. සීනි මදි නං කැවුම් පිපිරෙන්න බලනවා කියලත් ඒ වීඩියෝවෙන්ම කියැවුණාම, නිමල් දිසානායක උන්නැහේ එයාටම ටොක්කක් ඇනගත්තා, පුරුද්දේ විදිහට.
මං හදපු බකිනි කැවුම් ඔක්කොම යන්තමට පුපුරලත් එක්කයි තිබ්බේ, මං ඒ තරම් ගණන් නොගත්තට.

‘හොඳ වැඩේ නිදියො තමුසෙට වුණේ. උයනකොට තුනපහ, දුරු මිරිස් අඩුවැඩි වෙනවා වගෙ නෙවෙයි මී හරකෝ, කැවිලි- පෙවිලි හදද්දී. ඕනි කරන දේවල් තමුන්නෙ හිතුමතේට අඩුවැඩි කරන්න ගියොත් කෙළවෙනවා. ආන්න ඒ පාඩමත් අමතක නොකර හිතේ තියා ගනිං, අද ඉඳලා.’
‘එහෙමයි’ මං සිරස නමලා ඒ අවවාදේ හිතට ගත්තා ඕං෴0෴

Monday, April 22, 2024

ප්‍රෝඩාරාමය - පහළොස්වෙනි කොටස

“හරි! එහෙම කරන්නං. තරහ නැතිව අපිට ඒ මහත්තයගෙ ටෙලිෆෝන් නොම්මරේ දෙනවද?”

“නො..ම්ම..රේ... චුට්ටක් ඉන්න සර්. මම ඒ සර්ට කියල ඉන්නං...” ඒ මනුස්සයා ජංගමයාගේ අංක ඔබද්දී මට හිතුණේ ‘වැඩේ අනාථයි!’ කියලය.

XXXX සර්... මහරගම ඉඳලා මහත්තුරු වගයක් ඇවිත් ඉන්නවා. මේ ගෙදර ඉස්සර අයිති වෙලා තිබ්බ නෝනගේ පුතාලු. ජෝසප් කියල මහත්තයෙක් ගැනත් අහනවා... ආ... දෙන්නං දෙන්නං සර්. ෆෝන් එක ඒ මහත්තයට දෙන්නං.” ඒ මනුස්සයා ටෙලිෆෝනය මගේ අත දුන්නේය...

හැබැයි එහෙම කෙරෙන්නෙත් ‘බෞද්ධකම’ට මූලිකත්වය දීලා වගෙය. එයට හොඳම සාක්ෂියක්, අපේ නමිනං උන්නැහේ අරගත් foto අතර තිබෙයි. සමාධි පිළිමයක්!

“... අපි ඉන්නේ මහරගම. මේ කිට්ටුවට ආවා. මේ ඉඩම මුලින්ම අයිති වෙලා තිබ්බේ අපේ අම්මට...” මගේ විස්තරයට උනන්දුවෙන් කන් දෙමින් සිටි xxxx මහතාත් එතකොටය, මුව’ගුලු ඇරියේ.

“මමත් ඉන්නේ මහරගමට කිට්ටුව... මිස්ටර් නිමල්. අපේ තාත්තා කියන විදිහට නං ඔය ඉඩමේ first owner එංගලන්තෙ හවුන්ස්ලෝවල ඉන්න lady කෙනෙක්....”
“ඒ කිව්වෙ, ඔයා මිස්ටර් ජෝසප්ගේ පුතෙක්! අපේ අම්මා තමයි Englandවල Hounslow ගෙදර හිටියේ.”

Xxxx මහතාට; ජෝසප් මහතාගේ පුතුට අනුව ‘මේ කෙරෙමින් තියෙන්නේ හොරණ ගෙදර ‘වැඩිහිටි නිවාසයක්’ බවට පරිවර්තනය කෙරෙන කටයුතු’යි.
හැබැයි එහෙම කෙරෙන්නෙත් ‘බෞද්ධකම’ට මූලිකත්වය දීලා වගෙය. එයට හොඳම සාක්ෂියක්, අපේ නමිනං උන්නැහේ අරගත් foto අතර තිබෙයි.

සමාධි පිළිමයක්!
ඔබ හොරණ ගෙදර ගේට්ටුවෙන් ඇතුළු වෙන විටම, දකුණු පැත්තෙන් ඔබ දකින්නේ මේ සමාධි බුදු පිළිමයයි!

‘කොරෝනා එපිඩෙමික් එක ආවයින් අපේ plans සේරම අවුල් වුණා. / අපි ටිකක් ලොකු ලෝන් එකක් ඉල්ලලයි තිබ්බේ, මේ ඩිවලොප්මන්ට් වැඩවලට. ඒක ඇප්රූ වෙන්නත් ගොඩක් කල් ගියා. / එතකොට අපි එස්ටිමේට් කරලා තිබුණ cost එකත් දැන් ගොඩක් වැඩි වෙලා.’ වැනි ගොඩාරියක් දේවල් ඔහුගෙන් කියැවුණේය.

“මිස්ටර් නිමල් අපේ ගෙවල් පැත්තට එන්නකො නිවාඩු වෙලාවක. මගේ ෆෝන් නොම්මරේ ඔයාට දෙන්නං... එතකොට call එකක් දීලම එන්න පුළුවනි නේද?”

එයාලා ප්‍රෝඩාවක් කරන පාටක් නැතැයි මට හිතුණේ ඒ මොහොතේය.

එහෙත් මේ ඉඩම වෙනුවෙන් ඔවුන් අපේ අම්මාට කිසිම මුදලක් ගෙවන්නට නැති විත්තිය නම් පැහැදිලිය. එලෙස ගෙව්වා නං ඒ තරං සල්ලියක් අම්මා piggy බැංකුවක තියා ගනීවිද? පසුගිය අවුරුදු දෙක-තුනේම අම්මගේ බැංකු ගිණුම්වල කටයුතු කරගෙන ගියේ සමන්ති නංගීයි.
“නෑ ලොකූ, අම්මට එහෙම සල්ලියක් හම්බ වුණා නං අම්මා අපිටත් නොකිය ඉන්නෙ නෑ. But... මිස්ටර් ජෝසප්ලා අම්මගේ එයාර් ටිකට්ස්වලට එහෙම නං ගෙවන්න ඇති.” Samගේ මතය ඒකය.

“අම්මා  හිතාගෙන හිටියේ තව ගොඩක් කල් ජීවත් වෙන්නනේ. මිස්ටර් ජෝසප්ල අම්මට කියන්නත් ඇති, මේ elderly home එකේ තරු පහේ කාමරයක් එයාට free of charge දෙන්නං කියලත්... පව් අම්මා!”
“මාරයා ඉස්සර වුණා, Sam! පිං පළ දෙන හැටි බලාගන්න අපෙ අම්මට බැරි  වුණා!”

බදුල්ලේ ඥාති දියණියක් පදිංචිව හිටි ගෙවල් පැත්තේ නාය යාමක් සිද්ද වෙන්න ඉඩ තියෙන බවක්...

අපේ රටේ වැඩි දෙනෙකුත්- අපේ අම්මා වගේම හිතන-පතන උදවියයි! එයාලා කරන තරමක් පිං දහම් කරන්නේ ‘භව තණ්හාව’ පෙරටු කර ගෙනය; වෙනස්ම ගණයේ බිස්නස් එකක් විදිහටය. ටිකක් ආයෝජනය කරලා ගොඩක් ලබන්නට බලාගෙනය.

මට එහෙම හිතෙන්නේ හේතු ඇතිවය.

මතකයි නේද- අපේ අම්මලගේ බදුල්ලේ මහ ගෙදර ඉඩමෙන් කොටසක අයිතිය අපේ අම්මටත් තිබුණු විත්තිය මම කලින් දොහක කිව්වා. අම්මා ඒ ගැන කතා කරපු හැම වෙලේම, අපි සේරම; අපේ සහෝදර-සහෝදරියෝ සේරම අම්මාට කිව්වේ එකම එක දෙයයි.
‘අපෙන් කවුද අම්මේ බදුල්ලට යන්නේ ඔව්වා ගන්න බලාගෙන. ඔන්න ඔහෙ ඕවා අතෑරලා දාලා, ඉන්න කෙනෙකුට ඒවා නිරවුල්ව භුක්ති විඳින්න ලියලම දුන්න නං ඉවරයිනෙ.”
“එහෙම කරල කොහොමද? අපේ තාත්තලාගෙන් කියල මට අයිති වුණේ ඔච්චරයිනේ.” ඒ හැම සැරේමත් අම්ම උත්තරේට කීවා.

ඒ අතරේ අම්මගේ බදුල්ලේ ඥාති දියණියක් පදිංචිව හිටි ගෙවල් පැත්තේ නාය යාමක් සිද්ද වෙන්න ඉඩ තියෙන බවක් කියැවුණා. “අම්මේ, එයාලට ඉක්මනින්ම ගෙවල්වලින් අයින් වෙන්න කියල. එයාලටවත් ඔන්න ඔය ඉඩම දීලා දාන්න.”

“නිකම්ම?”
“නිකං නැතිව මේ වෙලාවේ, ඒ අමාරුවේ වැටිලා ඉන්න මිනිස්සුන්ගෙන් අම්ම සල්ලිත් ගන්නද හදන්නේ?”
“ඔයාලා මේකට හොට දාන්න ඕන්නෑ. මම දන්නවා කරන්න ඕනි වැඩේ!”
අම්මා ඒ ඉඩම  එයාලාට විකුණුවේල, රුපියල් ලක්ෂයකටද කොහෙද... ඒ අසරණයන්ගෙන් අරගත් සල්ලිවලට අම්මා කරලා තිබ්බෙත් අපූරු වැඩකි.

“ඒ එන ගමන්ම මම බදුල්ලේ දුනුවංගිය ගමේ පන්සලට ගිහිං, ඒ සල්ලි ඔක්කොම ලොකු හාමුදුරුවන්ට පූජා කළා.”
“මම එහෙම පන්සලක් ගැන අහලවත් නැහැනෙ අම්මේ.... අම්මා ඒ හාමුදුරුවෝ අඳුරනවද?”
“අපි ඉන්දියාවේ
වන්දනාවෙ ගියේ ඒ පන්සලේ හාමුදුරුවොත් එක්ක. ඒ පන්සලට ඝන්ටාර කුලුනක් හදන්නයි රංජි, මං ඒ සල්ලි දුන්නේ. උන්නාන්සේ අපේ මැරිච්ච දෙමවුපියන්ටයි නෑදෑයෝ ඔක්කොමලටමයි පැයක් විතර තිස්සේ දිගටෝම පිං දුන්නා. මම ඔයාලගෙ නම් ටිකත් උන්නාන්සෙට කිව්වා ඒ වෙලාවේ... ඔයාලටත් පිං ලැබෙන්න.”

“එහෙනං දෙකක් නෑ, හොඳටම ෂුවර්- අපේ නමටත් දිවිය ලෝකෙ නියම තැනකින් කෑලි ටිකක් මෙලහටත් බුක් වෙලා ඇති.” ඒ වෙලාවේ අම්මා දිවිය ලෝකය ගැන සිහියෙන් හිටි නිසාදෝය, මගේ නර්මාලාපය තේරුම් නොගත්තේ....

ඒ විත්තිය, දිග් විජයේ යෙදුණු අධිරාජයෙකු වූ මහා ඇලෙක්සැන්ඩර් පවා...

“ලොකුවට පිං කළොත් එහෙම නේන්නං.”

අවසන් ගමන් යද්දී අපට ‘ලොකු පිං’ පොට්ටනි අරගෙන යා හැකිද?
ඒ විත්තිය, දිග් විජයේ යෙදුණු අධිරාජයෙකු වූ මහා ඇලෙක්සැන්ඩර් පවා-
මරණ මංචකයෙදීවත් දැනගෙන උන්නේ නැත. උන්නැහේ ගැන මට ආයෙමත් මතක් වුණේ ‘ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා’ හිතවතාගේ ලියැවිල්ලකිනි.

‘කඳුළු පිරුණු නෙතින් යුතුව ජනරාල්වරු ඔහුගේ අවසන් මනෝරථය සපුරන බවට පොරොන්දු වූහ. ඔහුගේ පළමු ඉල්ලීම වූයේ තම දෙන වෛද්‍යවරුන් විසින් පමණක් ඔසොවාගෙන යා යුතු බවටය. මොහොතක් නිහඬව සිටි ඔහු සිය දෙවැනි ඉල්ලීම ද ප්‍රකාශ කළේය.

‘‘භාණ්ඩාගාරයේ ඇති රන්, රිදී, මුතු, මැණික් හැකි තරම් ගෙන මගේ සිරුර මිහිදන් කිරීමට ගෙන යන මාර්ගය පුරා ඉසින්න.’’

ඔහුගේ තෙවැනි ඉල්ලීම වූයේ තම දෙඅත් දෙන මතින් පහළට එල්ලා වැටෙන සේ තබන ලෙසය.

රජුගේ අපූර්ව ඉල්ලීම් පිළිබඳව සෙන්පතියන් විස්මයට පත් වුවද, ඒ පිළිබඳව විමසීමට තරම් ධෛර්යයක් ඔවුනට නොවීය. එහෙත් ඔහුගේ සමීපතම සෙන්පතියකු ඇලෙක්සැන්ඩර්ගේ දෑත සිපගෙන එය තම ළැම මත තබා මෙලෙස පැවසීය.

‘‘මහ රජුනි. අපි ඔබගේ සියලු ඉල්ලීම් ඒ අයුරින්ම ඉටු කරන්නෙමු. එහෙත් මෙවැනි අරුම පුදුම ඉල්ලීම් තුනක් ඉදිරිපත් කරන ලද්දේ මන්දැයි දැන ගැනීමට කැමැත්තෙමි’’යි කීවේය.

දිගු සුසුමක් ඉහළට ගත් ඇලෙක්සැන්ඩර් “ලෝකය මේ මූලධර්ම තුන අවබෝධ කරගත යුතුයැ’’යි පැවසීය.

‘‘මගේ වෛද්‍යවරුන් විසින් දෙන ඔසවාගෙන යා යුතු යැයි මා ඉල්ලා සිටියේ කිසිදු වෛද්‍යවරයකුට මරණය පරාජය කළ නොහැකි බැව් ලොවට පැවසීමටය. රන්, රිදී, මුතු, මැණික් මගේ දෙන රැගෙන යන මාවතට විසි කරන්නැයි කීවේ, අප ජීවිත කාලය පුරා වෙහෙසෙනුයේ ධනය ඉපැයීමටය. එහෙත් ඒ කිසිවක් අප යන විට රැගෙන යන්නේ නැත. මට අවශ්‍ය වූයේ එම සත්‍යය ලොවට පැහැදිලි කිරීමටය.’’

තුන් වැනිව සිරුර රැගෙන යන විට දෑත දෙන දෙපසින් පහළට එල්ලා වැටෙන සේ ගෙන යන්නැයි කීවේ හිස් අතින් මෙලොවට පැමිණි මා හිස් අතින්ම නික්ම යන බව පැහැදිලි කිරීමටය.’’ යැයි පැවසීය.’

එවැනි සිදුවීම් දුරාතීතයේ පමණක් නොවේ- අදත් සිදුවෙයි. එහෙත් අපි ඒවා අපේ මතකයේ තබා ගන්නමෝ වෙමුද; ඒවායින් පාඩමක් ඉගෙන ගන්නමෝ වෙමුද?

මට අත්තන ඇට කැවිලා හෙම නොවේ; මෝදක ගුලියක් කැවිලත් නොවේ; සැරයක් වාගේ ‘ගංජා කේක්’ කැවිලාත් නොවේ!!

“එතකොට නිමල් අයියලගෙ අම්මා නැති වෙච්ච විත්තිය මිස්ටර් xxxx, ජෝසප් මහත්තය වගෙ අය දන්නෙ නැහැල්ලුද?” අමිල හිතවතා ඇසුවේ ‘මාවක්ඔය හෙළ බොජුන් හළේ’ පුටුවකට බර දෙන ගමන්.

“එහෙම වෙන්න පුළුවන්ද නිදි?” නමීත් ඇහුවේය.
“ටෙලිෆෝන් එකෙන් මට කිව්වෙ නං, අපේ අම්මා අන්ත්‍රා වෙච්චි බව එයාලා නොදන්න විත්තියක්! ඒ විතරක් නෙවෙයි... අම්මට අසනීප වෙලා ලංකාවට එක්කගෙන ආවයි කියලවත් එයාලා දන්නැහැල්ලු.” මාත් අවන්හලේ පුටුවකට බර වුණා. නමීත්...

‘කොහේ තියෙන මාවක්ඔය අටමඟලක් ගැනද නිදි මේ හිටි ගමන් කියන්නේ?’ නිදිගෙ පංච තන්තරේ කියවන ආදරණීය රසික-රසිකාවියන් දැන් හිතනවා ඇති!
මට අත්තන ඇට කැවිලා හෙම නොවේ; මෝදක ගුලියක් කැවිලත් නොවේ; සැරයක් වාගේ
‘ගංජා කේක්’ කැවිලාත් නොවේ!! අපි මාවක්ඔය හෙළ බෝජුන්හලට ගියේ, ආපහු එන ගමන අතරතුරේය. Mission of Finding ප්‍රෝඩාරාම නිමාකොට එන අතරතුරේය.

“එහෙනං මිස්ටර් xxxx. ඉඩක් ලැබුණොත් මම වෙලාවක ඔයාව හම්බ වෙන්න එන්නං. ගොඩක් ස්තුතියි කතා කළාටයි, ඔයා දන්න විස්තර ටික කිව්වටයි! දැන් ඔයාගේ නොම්මරේ මගේ ළඟ තියෙනවනෙ... ඕනෑකමක් වුණොත් කතා කරන්න.” මම අපේ දුරකථන සංවාදයට තිත තබමින් xxxx මහතාට කීවෙමි.
එහෙත් එදායින් පසු; පෙබරවාරි අටවෙනිදායින් පසු මා ඔහුට ඇමතුවේ නැත! මා දැනගත් තොරතුරු හොඳටම සෑහෙතියි කියා මට හිතෙයි. තවත් මොනවා අහගන්නද? මොකකටද...

ඔහුගෙන් කියැවුණු විදිහට නම් ඒ වැඩිහිටි නිවාසය පවත්වාගෙන යන්නට සැරසෙන්නේ ‘පිං තකා’ නොවේ. ව්‍යාපාරයක් වශයෙනි. එය විසල් ආයෝජනයක් කරමින් කෙරෙන්නක් බවත් මොනොවට පැහැදිලිය!
ඒත් කමක් නැත. අද කාලේ වැඩියෙන්ම අසරණ වෙන්නේ ඇති-හැකි වයෝවෘද්ධ වැඩිහිටියන්ය!! එහෙව් උදවියට හරි මේ වැඩිහිටි නිවාසය පිළිසරණක් වේවා!!!

ඉන්නකො ඉතිං, මාවක්ඔය ගැනත් කියලම හිටින්නං. එතකොට පිළිවෙලයිනෙ.
අමිල හිතවතා වාහනේ ඉස්සරහට පදවලා, කොළඹ පැත්තට හැරෙව්වා. නමී ලොකු ඈනුමක් යැව්වා. “නිදි, තේ එකක් බීලා යමු නේද, මගේ ගණනේ...”
නමී කෑම-බීම-තේ-කෝපි ගැන උනන්දුවක් නැති ගොබිලෙක්. මිනිහගේ අස්ථි පංජරේ දැක්ක ගමන්ම ඒ විත්තිය ඕනිම කෙනෙකුට පේනවා.

“ඇයි යක්ෂ පැටියො, තමුසෙ නිවාඩුත් දාගෙන මගේ ගමනකට ආවා මදිවට- ඔයාගෙ ගණනේ අපිට තේත් පොවන්නද හදන්නේ... හැබැයි මටත් තේ එකක් බොන්නම ඕනි. අපි මොනවා හරි කාලා- තේකක් බීලම යමු, මගේ කොන්දේසියකට අම්ලයි, ඔයායි දෙන්නම එකඟයි නං.”
“ඒ මොකක්ද?”
“බිල ගෙවන්නේ මං!”

ඔන්න නමියෝ, මෙයාගේ blog එකෙත් මාවක්ඔය මේ spot එක ගැන ලියවෙන්න යනවා වගෙ...

ඒ මදිවාට, තේ බොන්නට යන තැන තේරුවෙත් මං වහන්සේමය. “අර අර අතැන... වම් පැත්තේ... අලුතින් ඇරපු තැනක් වගෙ... පෙනුම නං හොඳයි වගෙත් නේද?”

“ඔන්න නමියෝ, මෙයාගේ blog එකෙත් මාවක්ඔය මේ spot එක ගැන ලියවෙන්න යනවා වගෙ...”
“Sure, ෂුවර්. නිදිගේ හැටි එහෙමනෙ, අමිල අයියේ!”

“කවුරු හරි මේ පාරෙන් යද්දී, මේ විස්තරෙනුත් වැඩක් ගනියිනෙ. නරකද මං අහන්නෙ... හැබැයි රජෝ- පෙනුම වගේම කෑමබීමත් හොඳ නං විතරයි බ්ලොගේට ලියන්නේ. නමී, කොයිකටත් foto එකකුත් ගනිමු නේද?”
“ගන්නං ලොක්කා ගන්නං. ඔහෙ මාව එක්කං ආවෙත් ඒකටමයිනෙ.”

ඒ හෙළ බොජුන් හළ වැඩියත්ම අපේ හිතට ඇල්ලුවේ ‘අබේරත්න සහෘදයාගේ ආචාරශීලී සුහද සත්කාරය’ නිසාය.

“හොරණ ප්‍රාදේශීය සභාවෙන් මේක කරන්නේ.” අබේරත්න අපට සංග්‍රහ කරන අතරේම කළේ, සෑහෙන විස්තරයකුත් අපට පැවසීමය. “මේ වගෙ තැන් දියුණු වෙනවා නං සර්, අපිටත් හොඳයි- ගමටත් හොඳයි- රටටත් හොඳයිනෙ සර්!”
“ෂා... ආණ්ඩුවේ රාජකාරි කරන හුඟක් අය ඔහොම හිතන්නේ නැහැනෙ... පඩිය ගැන විතරයිනේ එයාලා හිතන්නේ. රාජකාරිය ගැන හිතන්නේ අන්තිමටම. අබේරත්නද මෙතැන බාරව ඉන්නේ?”

අපට සංග්‍රහ කරන අතරේම තවත් මේස පිස දැමූ- පිඟන් පිරිසිදු කළ ඒ හාදයා වැන්නෙකු දැකීමත් සතුට උපදවයි!

“සර්ලා කැමතියි නං, සර්ලට එළු කිරි බොන්නත් පුළුවන්. මෙහෙ හදන කෑම ජාතිවලට වැඩි හරියක්ම ගන්නෙ මේ ළඟ farm එකකින්... වස විස නොදා හදන එළවලු...”
“මරුනේ ලොක්කා! එහෙනං අපිට එළු කිරි තුනක් ගනිමු... ආාාා... මස් රොටිත් රහයි!”
“කමක් නැද්ද අබේරත්න මහත්තයා ගැනයි, මෙතැන ගැනයි විස්තර ටිකක් මං ලියන blog එකකට ලිව්වට. එහෙම කැමතියි නං අපිට ඔයාගේ foto එකකුත් ගන්නෝනි.”
“කමක් නෑ සර්. මටත් වැඩිය අපේ බොජුන් හළට හොඳක් වෙයිනෙ.”

අපි එහෙන් පිටත් වෙලා ආවේ හරිම තෘප්තිමත් හැඟීමකින්. ඒ අබේරත්න නිසා. එයාලා සුවඳ පතුරුවන මල් වගෙ. පලාතම සුවඳ ගන්වනවා.
අපේ අම්මාගේ මරණයේදී නිලධාරීන්ගෙන් අත් විඳින්නට සිද්ද වුණු
අකරුණාවන්ත- ගොරෝසු- කටුක දේවල් තවමත් හිතේ රිදුම් දෙනවා. එහෙම පසුබිමකදී මෙහෙම කෙනෙකු හමු වුණාම...
ගොඩාරියක් ස්තුතියි අබේ!!!
තවත් අබේරත්නලා වැඩි වැඩියෙන් මුණ ගැසීමේ වාසනාවත් අපට උදා වේවා!

අබේරත්නට ස්තුති කරනවාත් එක්කම මට මතක් වුණේ අපේ අම්මා අතින් කෙරුණු ‘ඉතාම කාලෝචිත වැඩ’ක්. ඒකටත් ඉඩමක් සම්බන්ධයි.
ඒත්... ඒත්... ඒ සිද්දියත් ඔයාලට කියලම ඉන්නයි හදන්නේ. අම්මා කරපු ‘සුපිරිම වැඩක්’ නිසා!

මං වහන්සේ ඒ පාඩම හොඳටම ඉගෙන ගත්තේ අපේ රෝසිගේ හුරතල් දෝණි හිමන්‍යාගෙන්.

හොරණ ගෙදර අච්චර ජරමරවලට මැදිහත් වෙලාවත් අපේ අම්මා පාඩමක් ඉගෙන ගත්තෙ නෑ කියමුකො. “ආයෙ ගෙවල් හදන්නේ නං නෑ. හදපු එකක් ගන්නවා මිස.” අම්මා තිස්සෙම මතුරන්න ගත්තා.

“අම්ම ලංකාවට ආවම ඉන්නෙ මාසයයි. ඒකට වෙනම ගෙයක් ඕනිද අම්මේ? එකකින් පාඩමක් ඉගෙන ගත්තම මදිද...” එහෙම පණ්ඩිත කතන්දර කියනවට කවුරුන්වත් කැමති නැති විත්තිය ඒ දවස්වල අපිට ගනිච්චියක් වුණේ නෑ.

මං වහන්සේ ඒ පාඩම හොඳටම ඉගෙන ගත්තේ අපේ රෝසිගේ හුරතල් දෝණි හිමන්‍යාගෙන්. කෙල්ලට තවම අවුරුදු පහක්වත් නෑ. කව්රු හරි එයාට මොකක් හරි කරන්න එපයි කිව්වොතින්... ඒකමයි කරන්නේ. ඉතිං අපේ මානෙල් එයාගේ චූටි මිණිබිරිය කරන්න අකැමැති දේවල් කරවා ගන්නෙ ‘නොපිටට කියල’යි.
ඒ වගෙ, අපටත් අම්මට කියන්න තිබ්බේ ‘ඔව්, ඔව් අම්මේ. තව ගෙදරක් ගන්න.’ කියලයි.

කොහොමෙන් හරි අම්මා, මානෙල්ලගේ ගෙවල් කිට්ටුවෙන්ම තඩි ගෙයක් ගත්තා. “කෝ ඉතිං මම මෙච්චර ලොකු ගෙයක් අරගත්තමවත් ඔයාලට ආඩම්බර නැද්ද? ඔයාලා ඇයි දවසක් දෙකක් මෙහෙ නැවතිලා ඉන්න එන්නැත්තෙ?” අම්මා සැරෙන් සැරේ ඇහුවත් එක්ක.
ඒත් අපට විවේකයක් තිබ්බේ නෑ, තිස්සෙම එහෙ යන්න එන්න. (ලොකු කැමැත්තකුත් තිබ්බෙ නැ!) මානෙල්ටවත් දරුවෝ දෙන්නගේ අධ්‍යාපන වැඩ හින්දා එහාට යැවුණේ අඩුවෙන්. සුනිල්ගේ පුතාල දෙන්නත්, අනිල්ගේ දරුවන් තුන් දෙනාමත් එතකොට ඉස්කෝලේ යන ළමයි. එයාලත් අම්මව බැහැ දකින්න ගියේ අඩුවෙන්.

අම්මා මොකද කළේ, මූණත් එක්ක තරහට නහය කපා ගත්තා.
ඒ ගෙදර විකුණලා, පිටකෝට්ටේ (එපිටමුල්ල පාරෙන් වගෙයි මතක) වෙන ගෙයක් ගත්තා.

මානෙල්ල ගෙදරට කිට්ටුවෙන් හිටිද්දී අම්මට උයන්න පිහන්න ඕනි වුණේ නෑ. මානි කෑම යැව්වා. අම්ම පිටකෝට්ටේට ගියහම මානිට ඒකත් කරගන්න බැරිව ගියා.
“අයියේ ඔයාවත් අම්මට කියන්න දැන් ඔය ගෙවල් කෙරුවාව නවත්තන්න කියලා. ගෙයක් ගන්න ලක්ෂ ගණන් වියදං කළාට මොකද, හරිහමන් විදිහට කන්න බොන්නවත් වියදම් කරන්නෙ නෑ වගෙයි. ඔයාලා අපි හාල් පොල් ටිකක් නොගෙනිච්චොත්, හාමතේ හරි ඉඳියි...” සුනිල් මගෙත්තෙක්ක කියාගෙන ගියා. “මාත් දන්න සිංහලෙන් අම්මට කිව්වා, අයියේ... කොහෙද? ලොකුකං අටවන එකමනෙ වැඩේ!”

අම්මා හිතුවේ සතුට තියෙන්නේ ලොකු ගෙවල්වල කියලයි; හැකිතාක් සාටෝපකාරී වෙලා කරන විච්චූරණ ඇතුළේ සතුට තියෙනවා කියලයි එයා හිතුවේ. පූච්චානං කියන; බොරු මවාපෑම් කරන යාළුවොන්ගෙ රැඟුම් තේරුම් ගන්න අපෙ අම්මට බැරි වුණා. එහෙම දේවල් අපේ අම්මට තෝරලා දෙන්න තරං පිරිසක් එයා වටේ හිටියෙත් නෑ. අම්මට හිටිය මිතුරු මිතුරියනුත් වැඩි දෙනෙක් මහ පොළොවේ පය ගහගෙන හිටි- දැන-උගත් අය විදිහට නෙවෙයි මට පෙනුණේ.
එකම ජාතියේ කුරුල්ලොනේ එක අත්තේ ලගින්නේ!

ඒ වෙද්දී ඒ ඉසව්වේ ගෙවල් බිඳීම් දෙක තුනක්මත් වෙලා තිබුණා. අම්මත් හිටියේ බයෙන්...

පිටකෝට්ටේ ගෙදර අරගෙන මාසෙකින් අම්මා ගෙදර වහලා දාලා එංගලන්තෙට ගියා. මාස දෙකකින් විතර ආයෙම ආවා. ඒ වෙද්දී ඒ ඉසව්වේ ගෙවල් බිඳීම් දෙක තුනක්මත් වෙලා තිබුණා. අම්මත් හිටියේ බයෙන්... “මේ මාසේ මේ දවස් ටිකේවත් ඔයාලා කවුරු කවුරු හරි මෙහාට ඇවිත් ඉන්න- රෑට රෑටවත්.”

“මේ මාසෙන් පස්සේ?”
“මේ ගේ විකුණලා දානවා. මට දැන් ගෙවල් ඇති වෙලා.”

“රංජි... ඔන්න මං පිටකෝට්ටේ ගේ විකිණුවා. ඒ සල්ලි ලංකාවේ ඉන්න ඔයාලා අතරේ බෙදලා දෙන්නයි මං හිතුවේ. ඔයා මොකද හිතන්නේ...” ඒ කිට්ටුවම දවසක අම්මා ඇහුවා.
“හිතන්නෙද? අම්මා අපි හැමෝටම ඉඩම්- ගෙවල් අරගෙන දීලනේ තියෙන්නේ. සමන්ති- දීපාල්- දීපානි තුන්දෙනා එයාලගෙ දරුවන් ගැන බලා ගනීවි, එංගලන්තේම ඉන්න නිසා.
සුනිල්, අනිල්, මානෙල් තුන් දෙනාගේම දරුවෝ හත් දෙනෙක්... හත් දෙනාම තවම ඉගෙන ගන්නවා. ඒ ළමයින්ට ලොකු වියදමක් යනවා එව්වට. එයාලට උදව් ඕනි කරන කාලේ තමයි මේ. අම්මා කැමතියි නං මේ සල්ලි ඒ ළමයින් වෙනුවෙන් දෙන්න. අද අම්මා එයාලට දෙන ලක්ෂයක් ඒ වගෙ දෙතුන් ගුණයක් වටිනවා. හැබැයි අද දෙනවා නං... තව ටික දවසකින් එයාලා අපිට උදව් කරන තත්ත්වෙට දියුණු වේවි අම්මේ.”

මටම පුදුමයි!
කිසිම කන්කෙඳිරියකින් තොරවම අම්මා එකඟ වුණා. වැඩේට දිනයක් යොදා ගත්තා.

එදා හවස මානෙල්ලගේ ගෙදරදී අම්ම මගේ අතට දුන්නා සල්ලි bag එකක්. මර්වින්, නෙවිල්, ඉන්දිරා තුන්දෙනාත් එතැන හිටියා. මට මතක විදිහට එතැන ලක්ෂ තිස් එකක් තිබුණා. “රවුම් ගණනක් වෙන විදිහට බෙදන්න. සුනිල්ටත් එයාගේ මොටර් සයිකලේ හදාගන්න ලක්ෂයක් දෙන්න ඕනි...”

ගණන් හැදුවේ ඉන්දිරාය. නෝට්ටු ගණන් කරමින් ගොඩවල්වලට වෙන් කළේ මර්විනුත්, නෙවිලුත්ය. “නිමලො, එක්කෙනාට හාරලක්ෂ විසිපන්දාහ ගණනේ බෙදමු. එතකොට විසිනවයයි හැත්තෑපහක්. සුනිල්ට ලක්ෂයත් එක්ක තිහයි හැත්තෑපහයි. තව විසිපහක් ඉතිරියි. ඒකත් හතට බෙදනවද ආන්ටි?”
“නෑ ඉන්දිරා. ඒක මගේ වියදමට තියා ගන්නං.”

(තවමත් මාව හිනස්සන දෙයකුත් ඒ සල්ලි බෙදූ වෙලාවේ සිද්ධ වුණේය.
විටෙක දසසිල්
මෑණි කෙනෙකු වීමට පවා සැරසුණු අපේ ලොකු නෑනා; මල්ලිකා රුපියල් අට ලක්ෂ පනස්දාහ අතට ගෙන සුසුමක් හෙළා කීවේ මේකය. “මෙහෙම හම්බ වෙන්න තියෙන බවක් දන්නවා නං මාත් අනිල්ලා වගෙ තුන් දෙනෙක්ම හදා ගන්නවනේ!”)

දැන් සුනිල්ගේ ලොකු පුතා රජිතුත්, මානෙල්ගේ ලොකු පුතා සුරංගත් එංගලන්තයේය. අනිල්ගේ ලොකු පුතා (මට blog අඩවිය පටන් ගන්නට උදව් කළ) අකලංක සිංගප්පූරුවේය.

කෙටි නිවාඩුවකට ලංකාවට ඇවිත් උන් අකලංක... (බිරිඳ හා දරු දෙදෙනා සමඟ, බාල නැගණිය සිඟිති- ඇයගේ සැමියා ෂෙහාන් හා දරු දෙදෙනාට මැදිවී...)

මොන චේතනාවකින් යුතුව කළා වුණත්, අපේ අම්මා කළ දේවල්වලට ලැබිය යුතු දේවල් අම්මාට ලැබුණේය; ලැබෙන්නේය. විශේෂයෙන්ම ඇයගේ අන්තිම දෙවසරක කාලයේත්, මියගිය පසුවත්... දූලා- පුතාලා- බෑනලා- ලේලිලා හා මුණුබුරු මිණිබිරියන් හැමදෙනාගෙන්ම... උපරිමයෙන්ම...

“නැනාට පිං දෙන්න ඔයාලා පිළිකා රෝහල ගාව ලෙඩ්ඩුන්ව බලා ගන්න පන්සලට ආධාරයක් දෙන්න නේද plan කරන්නේ. මේක මගෙන්... පොඩි contribution එකක් මහප්පේ.” කෙටි නිවාඩුවකට ලංකාවට ඇවිත් උන් අකලංක, 2024 අප්‍රේල් 16 වෙනිදා රුපියල් 50,000/ක් මගේ අතේ තබා කිව්වේය.
ඒ අපේ අම්මා මේ නුදුරේ දවසක ලද ඇගයීමය!

අදින් ‘ප්‍රෝඩාරාමය’ posts පෙළ අවසන් කරන්නට සැරසුණත්- මේ පෝස්ටුව ලියවී තිබෙන විදිහ ගැන නම්, මා සෑහීමට පත් වන්නේ නැතිය. මට හිතෙන්නේ පෝස්ටුව සංස්කරණය කළා නම් හොඳ බවයි. ඒත් එහෙම කරන්නටත් හිත නොදෙයි.
සෝබර මතකයන් යළි යළිත් ආවර්ජනය කරන එක ලොකු වෙහෙසකි.
මේ දිනවල පවතින ඉසිලිය නොහැකි තරමේ දැඩි උණුසුමත් මගේ කෙඩෙත්තුව වැඩි කරවන්නකි. එබැවිනි, අකැමැත්තෙන් වුණත් මෙතැනට කුණ්ඩලි සලකුණු යොදන්නේ෴0෴