මොකද වස්තුවේ
තිස්සෙම එල්ලෙන්න හදන්නේ? |
“මොකක්ද වස්තුවේ.... තිස්සෙම එල්ලෙන්න හදන්නේ.....”
“එල්ලෙන්න....එල්ලෙන්න මං කටු අත්තක්යැ?”
ඒ වගේ වෙලාවට මං උත්තර දෙන්නේ එයාලටත් තව දෙයක් කියන්න අවස්ථාව උදා කරමින්. එතකොටම මහී දුන්නු උත්තරෙනුත් තේරෙන්නෙ නම් එයාත් ඒ පාඩම ඉගෙනගෙන තියෙනවා වගෙයි.......
“ඔන්න බබෝ ඔයා තරහ ගන්නේ නැති නං විතරක් දෙයක් කියන්නං.”
“තරහ වුණොත්
පස්සේ ඔයාටම මාව යාළු කරගන්න බැරියැ.... කියන්නකො බලන්න!”
“.... දන්නවද? ඔයා කටු අත්තක් නෙවෙයි. ඇමිණිලා- තුවාල වෙලා ලේ ගලන්න වුණත්- ඇ..මි..ණෙ..න්..න..ම හිත්දෙන කටු ගාලක්!” මහී ඒ වචනය කීවේ ‘ඇ’ අකුර යොදමින්ද, එහෙමත් නැතිනම් ‘හැ’ අකුර යොදමින්ද කියලා සැකයක් හිතුණත්, මං අමුත්තක් ඇඟෙව්වෙ නෑ.
“ඔන්න මං තරහයි!!”
“තරහ ගන්න දෙයක්යැ මං කිව්වේ.... ඇත්තමනේ...”
දැන් නම් ටෙලිෆෝන් එකත් එහෙම පිටින්ම Sexy වෙලාය.... |
මං එහාට යද්දී අපේ දීපාල්; බඩා මල්ලා අවුරුදු 15ක ගැටයෙක්. ඉගෙන ගන්නවා.
ඒ අතරේ සතියකට දවසක් විතර වෙන්නැති පත්තරයක් බෙදන රාජකාරියත් කළා. එහෙ එක-එක පළාත්වලට- නාගරික පෙදෙස්වලට වෙන්නැති වෙනම පත්තර අච්චු ගැහෙනවා. හැබැයි එව්වා නිකං බෙදන්නේ. අපි හිටිය ‘Hounslow’ ඒරියා එකට ගැහුණු පත්තරේ තමයි ‘බඩා මල්ලියා’ සයිකලේකින් ගිහින් ගෙවල්වලට බෙදුවේ.
බඩා මල්ලියාත්
ඒ දවස්වල හවුන්ස්ලෝ ඒරියා එකේ පත්තර බෙදුවේය |
හවුන්ස්ලෝ ඉසව්වේ හැම ගෙදරකටම ඒ පත්තරේ නොමිලේ බෙදනවා වුණත්, ඒ රාජකාරිය වෙනුවෙන් දීපාල්ට සල්ලි හම්බ වුණා.
“ඒ මිනිස්සුන්ට පිස්සුද නිකම්ම පත්තරයක් අච්චු ගහලා, අතින් වියදම් කරගෙන ගෙයක් ගානෙත් බෙදවන්නේ?”
මං දන්නා ඉංගිරිසියෙන් ගැට ගහගෙන ඇහුවා; dadaaගෙන්. “නිමොල්... පත්තරේ පෙරළලා බලපංකො තියෙන ඇඩ්වටීස්මන්ට් කොච්චරද කියලා. ඒවාට හම්බවෙන සල්ලි කීයක්ද?”
අන්න වැඩේ. හවුන්ස්ලෝ පැත්තේ දේවල් විතරයි පත්තරේ තියෙන්නේ. කිලෝ එකකටත් වැඩියෙන් බරට තිබුණු ඒ පත්තරේ පෙරළාගෙන- පෙරළාගෙන යද්දියි හම්බ වුණේ. ‘Phone Sex’ දැන්වීම්. එහෙම දැන්වීම් ‘Sun’ පත්තරේ තමයි වැඩියෙන්ම තිබ්බේ!
ඒ මොනවද කියලා dadaaගෙන් අහන්න බය හිතුණේ නැත්තෙ එයත් හරි විවෘත නිසා. මතකයි නේද, මනුස්සයා ඒ දවස්වල මට කිව්වා ‘දීපාල්ට හස්තෝපක්‍රමය කියලා දීපං!’ කියලත්.
“නිමොල්, එහෙම ෆෝන් එකෙන් සෙක්සි දේවල් කතා කරන අයට ඒවාට ගෙවන්න ඕනි. මිනිස්සුන්ට ආසා හිතෙන විදිහට, සැටිස්ෆයි වෙන විදිහට sexy voice එකකින් කතා කරන්න පුළුවන් අයට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා.....” එදා අපේ dadaa මට කියා දුන්නා.
පූනගල වතුයායෙ ඔෆීසියෙන් කතා කළ අංගනාවගේ හඬට වසීවී...... |
ශෘංගාරාත්මක හඬක් ඇහුණාම ඒ හඬේ හිමිකරුවා හෝ හිමිකාරිය හෝ දැකගැනීමට ඇතිවන ආසාව! ඒක කොච්චරට ප්‍රබලද කියලා මට හරියටම තේරුම් ගියේ අපි පූනගල වත්තේ බංගලාවට ගිය ගමනේදී අපේ දොස්තර මහත්තයෙක් නඩේ අනෙක් සේරමලාට තහංචි දාලා පූනාගල වත්තේ ඔෆීසියට ගිය වෙලාවෙයි.
ඉතිං මහීලාත් ළඟින් නැති ලස්සන කෙල්ලෙක්ව හිතෙන් මවාගෙන, මාත් එක්ක ටෙලිෆෝන් එකෙන් කතා කරන ගමන් මොන විදිහේ හරි තෘප්තියක් ලබන්න ඇති නේද?
හැබැයි, මේකත් නොකියා බැහැ, එයාලා එක්කෙනෙක්වත් මගෙත් එක්ක අසභ්‍ය දේවල් නම් කතා කළේ නැහැ. ඒක නම් ඒ කාලේ හැටි වෙන්නැති. දැන් බ්ලොග් අඩවිවල, FB එකේ හෙම කමෙන්ට්ස් දමද්දී සමහරුන් පාවිච්චි කරන ‘වදන්’, ‘යෙදුම්’ දකිද්දී නං හිතෙනවා ලංකාවේ වුණත් phone sexවලට ඉල්ලුමක් නැතිව ඇති කියලා, නිතරම භාවිත වෙන නිසා!
අනේ, ඒ අතින් නම් මම හරිම වාසනාවන්තයි.
අද වෙනකල් කිසිම කෙනෙක් තරහෙන් කමෙන්ට් කරලා නැහැ; අසභ්‍ය දේවල් කියලත් නැහැ. මෙතෙක් ‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළපු හැමෝටම ඒ ගැන ගොඩක් ස්තුතියි!
අසභ්‍ය නොවුණත් ශෘංගාර රසය කුළුගන්වමින්- හැඟීම් ඇවිස්සෙන ස්වරයෙන්- නැළවීම්-ලෙළවීම්වලින් සජ්ජිතව දොඩමින් වුණත්, මං මගේ එක ප්‍රතිපත්තියක් නම් රැකගත්තා. මටම පුදුමයි, එහෙම කරන්න පුළුවන් වුණේ කොහොමද කියලත්.... ඒ කාටවත් මං එකම බොරුවක්වත් කිව්වෙ නෑ! මට හිතෙන්නේ ඒ බොරු නොකියන පුරුද්ද මං ඇති කරගත්තේ 1975 විතර ඉඳලයි.
කොහොමද යකෝ
එහෙම කරන්නේ...... |
‘කොහොමද යකෝ එහෙම කරන්න පුළුවන් වුණේ?’ ඔයාලට හිතෙයි.
තනිකරම බුද්ධිය හා උපායශීලී බව හා මුඛරිකම! හොඳට මොළේ පාවිච්චි කරනවා නං ‘බොරු නොකියාම’ අනුන්ව අන්දවන එක වුණත් මහලොකු දෙයක් නෙවෙයි. ඒ කර්තව්‍යයෙදී ‘නිදි’ ඇත්ත නොකියා ඉන්න එක නම් මදිය නොකියන්නම කළා. ඔන්න පුංචි උදාහරණෙකින්ම කියන්නංකො.
එයාලා හතර දෙනාටම (වැරැදීමක් නෙවෙයි- තව දෙන්නෙක් එන්න ඉන්නවා! එතකොටයි 4 වෙන්නේ.) ඕනෙ වුණා ‘මේ කතා කරන කෙනා’ මොන විදිහද කියලා මවා ගන්න. ඉතින් හිටි ගමන් එක-එක ප්‍රශ්න අහනවා. “ඔයා අද ඇඳගෙන ඉන්නේ මොකක්ද?”
උත්තරය: “T shirt එකක්....”.
“හැමදාම ඔයාගෙන් ඇහුවොත් කියන්නෙම ඔහොමයි. ඔයා බ්ලවුස් එකක් ගවුමක් අඳින්නෙම නැද්ද?”
“මම අඳින්නේ මට ඕනි විදිහටනේ.....! අපෝ.... ඔයත් මහ හණමිටිකාරයෙක්නේ.... ළමයො, ටී ෂර්ට් එක කොච්චර ලේසි ඇඳුමක්ද? ටක් ගාලා දාගන්නත් පුළුවන්.... කොයි පොතේද තියෙන්නේ ගෑනු සාරි, ගවුම්, බ්ලවුස් අඳින්න ඕනියි කියලා?” එයින් එහාට ඒ මාතෘකාවෙන් කතාව කෙරෙන්නේ කලාතුරකිනි.
ඔයාට දිග
කොණ්ඩයක්ද තියෙන්නේ? |
එයාලාට ඊළඟ ගැටලුව තිබ්බේ කොණ්ඩය ගැනයි.
“ඔයාට දිග කොණ්ඩයක්ද තියෙන්නේ?”
“තට්ටයක් නං නෙවෙයි.” මං කියන්නේ දඟකාර හිනාවකුත් එක්කය. එතකොට ප්‍රශ්න විචාරකයා ටිකාක් විතර නන්නත්තාර වෙයි. ඒත්, ඊට පස්සෙත් එඩිතරව ඊළඟ ප්‍රශ්නය ඇහුණු වෙලාවලුත් තිබිණි. “...කියන්නකො ඉතිං. ආසයි හිතාගෙන බලන්න...”
“එ..හෙ..නං ඉ..ස්..සෙ..ල්..ලා ඔයා හිතාගෙන ඉන්නේ කො..හො..ම..ද කියන්නකො....”
ඒ තවත් උපක්‍රමයකි. වචන වැඩි වෙන තරමට අදහසේ හුස්ම හිර වෙනවාය කියනවනේ. ඉතින්, සම්මා සතියෙන් යුක්තව කතාව දිග්ගස්සන තරමට ඇත්ත වසන් කරගන්නට ඉඩ ලැබෙයි.
“මං හිතන්නේ කොණ්ඩේ දිගයි කියලා.”
“එහෙනං ම..හ..ත්..ත..යෝ ඔයාට මාත් එක්ක ක..තා..ව නවත්තන්නයි වෙන්නේ....”
“අර මොකෝ?” මනුස්සයා අහන්නේ කලබලයෙනි. මම හිනා වෙමි. විරාමයක් ගනිමි. එයාට ඇවිස්සෙන්නට ඉඩ දීලාය, ආයේම කතා කරන්නේ.
“මොකෝ කියන්නේ, ඔයා කතා කරන්න කැමැති දිග කොණ්ඩයක් තියෙන අය එක්ක විතරනේ.
ප්‍රශ්නවලට උත්තර දෙනකොට, ඒකටත් ක්‍රම සහ විධි තියෙනවානෙ..... |
විවිධත්වය පැත්තෙන් බලද්දී නම්, ඒ දෙදෙනා වැනි අය එක්කලා එකම කාලයකදී සංවාදයේ යෙදෙන්නට ලැබීම වාසනාවකි. මහීගේ කතාබහ සෙල්ලක්කාරය; විනෝදබරය; සැහැල්ලුය. සුනන්දගේ කතාබහ තැන්පත්ය; දැනුමෙන් සජ්ජිතය; අවවාදාත්මකය.
මතකයි නේද ‘ප්‍රියාවී’ පත්තරේ තිබුණු සුනන්දගේ කවි පෙළට මං ලියූ ලියුම? මගේ ඒ කවි ලිපියට සුනන්දගෙන් ලැබුණේ පිටු කිහිපයක් දිග කවි ලිපියකි! ඒ, දිනපතා කෙරෙන සංවාදවලට අමතරවය!!
“අනේ මහත්තයෝ.... මට නං බෑ ඔයාට වගේ ලස්සනට කවි ලියන්න. ඊටත් එකක් දෙකක්යැ.... කවි විසිපහක්-තිහක්.” ලියුම ලැබුණු දවසේ හැන්දෑවේ මම නහයෙන් ඇඬුවෙමි.
“එහෙම නෙවෙයි මාලි. ඔයාට කවි ලියන්න පුළුවන්..... තව ටිකක් පුරුදු වෙන්නයි තියෙන්නේ. ඔයා මොකුත් හිතන්නේ නැතිනම්..... විතරක් මට පුළුවන් නිකම්ම කවි ලියවෙන ගුරුකමකුත් ඔයාට කියල දෙන්න.” සුනන්ද කිව්වේ වරින්-වර තැනින්-තැන නවත්තමිනි. ඒ විරාමයන්- බර තියා කීම් කිසිවක්ම නොතේරුණු ගණනටය මං සැහැල්ලු- දඟකාර විලාසයෙන් කතා කළේ.
හිතාගන්නකො අපි
දෙන්නා පෙම්වත්තුය කියලා! |
“ගුරුකමක් කියලා දෙන්න හදද්දී තරහ වෙන්නේ මෝඩයෝ විතරනේ.... මොකෝ, ඔයාට මාවත් පේන්නේ ඒ වගේද?”
“අපොයි නෑ. ඔයා මෝඩයි කියන කෙනෙක් ඉන්නවා නං එයා තමයි මෝඩ.... ඉඩක් හම්බ වුණොත් නං ඔයා ක්ලියෝ පැට්‍රාට එහා ඉඳියි!”
ඊළඟට සුනන්ද මට ක්ලියෝ පැට්‍රා රැජන ගැන විස්තර ඇතිව කියාදෙයි. ඒකට සෑහෙන වෙලාවක් යන නිසා අර ගුරුකම ගැන කියන්නටත්-අහන්නටත් අප දෙන්නාටම අමතක වෙයි. ඒක මතක් වෙන්නේ පහුවදාටය.
“පෙම්වතුන් දෙන්නෙක් අතරේ ලියවෙන විදියට ලියනවා නං කවි ලියන්න හරි ලේසියි!”
“පෙම්වතුන් දෙන්නෙක්?”
“ඇයි කලබල වුණේ? ඇත්තටම නෙවෙයි ළමයො. මම කිව්වෙ නිකමට හිතාගන්න කියල විතරයි.... ඔන්න බලන්නකො. මම හෙට ලියුමක් ලියලා එවන්නංකො ඔයා මගේ ආදරවන්තිය කියලා හිතාගෙන ලියන විදිහට.... ඔයාටත් තියෙන්නේ කවියෙන්ම උත්තර ලියන්න....”
සුනන්දට කවි ලිවීම හරිම ලේසි වැඩක් වුණු බව පෙනිණි. ඒ ලියුම් එකක්වත් පිටපත් කළ ඒවා නොවීය. ඒ බව පැහැදිලිවම පෙනුණේ, සමහර තැනෙක- සමහර වචනයක්-දෙකක් කපා දමා තිබුණු විදිහෙනි. ඒ ලිපිවලට කවියෙන්ම පිළිතුරු ලියන්නැයි සුනන්ද මට බලකොට කියා සිටියේය.
භූරිදත්ත ජාතකයේදී චිත්‍රශූල කැස්බෑවා මරා දමන්නට හොඳම ක්‍රමය ලෙස ‘ගංගා නම් ගඟේ සලාවැටුමට දමමු’ කියලා රාජ්‍ය උපදේශකයන් කියද්දී, කැස්බෑවා ‘අනේ එපා!’ කිව්වා වගේය, මා සුනන්දට ඇහෙන්නට නහයෙන් ඇඬුවේ.
නෙත් පින්
නැතත් මාලී මා දිනු පිනය! |
“හොඳ කෙල්ල වගේ, මම කියනවාට එක ලියුමක් ලියලා බලන්නකො!”
“ඔන්න....
වැරදුණාට හිනා වුණොත් නම්, මං තරහම- තරහම- තරහ වෙනවා. හාද?”
“හාද වෙන්න කියනකොටනේ ඔයා බැහැයි කියන්නේ....”
විවාහක- දැඩිමේනි වුණු දරුවන් සිටින තාත්තා කෙනෙකු විදිහට සුනන්ද ස්ත්‍රීමය හඬකට වසඟ වුණේ කොහොමද කියලා නම් මට කවදාවත් අසාගන්නට බැරි විණි. ඒ කාලයේ එච්චර දුරටම විශ්ලේෂණාත්මකව බලන්නට තරම් මට නුවණක් තිබුණේ නැතිය. අනේ! අද සුනන්ද කොහේ හෝ ඉඳගෙන මේ අතීත සැමරුම් කියවනවා ඇතිද?
සුනන්ද කොහෙ ඉන්නවා වුණත් එයාට ගොඩාරියක් සන්තෝෂ හිතෙයි, අද මේ පෝස්ටුවට දාන එයාගේ ‘කාව්‍යමය හසුන’ දකිද්දී නම්.... අවුරුදු 41ක්.... මටම පුදුමයි මෙච්චර කාලයක් තිස්සේ ඒ ලියුම්වලින් කීපයක් හරි වේයන්ට, මීයන්ට, කාවුන්ට බිලි නොවී, මගේ පාමුල් පෙට්ටියේ ඉතිරි වෙලා තියෙන එක ගැන.
මේ ලියුමේ මුලට දිනයක් දාලා නෑ. පළමු කවියෙන්මයි දාතම කියවෙන්නේ.
හැත්තෑනමයෙ පෙබරියෙ එකොළහ දිනය
ගත්තේ පෑන ලීමට අද ඔබ ගැනය
මත් වුණු
හදවතින් සිතුවිලි රැඳි තැනය
නෙත් පින් නැතත් මාලී මා දිනු පිනය
මෙතනට දාන්නට ඕනේ සුනන්ද රාජකාරි කළ තැපැල් කන්තෝරුවේ foto එකකි. ඒත් එයාගේ ගෞරවය රැකිය යුතුය. එබැවින් මෙතනට ඔබන්නේ 'බදුලුපුර Heaven' අඩවියෙන් උපුටාගත් ඉදල්ගස්හින්නේ ෆොටෝ එකකි!
ලොකු සටනක යෙදී දැඩි සීතලය මැද.... |
මෙහි පරිසරයෙ ඇති වෙනසේ බලය මැද
ලොකු සටනක යෙදී
දැඩි සීතලය විඳ
අරුණලු
නැගෙද්දී සොම්නස දවන හද
ආවා තැපැල් බස්රිය පෙර පරිදි අද
දෙයි හාමුදුරුවනේ..... දැනුයි; ඒ ලියුමෙන් බ්ලොගයට දාන්න කවි තෝරලා ගනිද්දියි, සහමුලින්ම අමතක වෙලා තිබ්බ සමහර දේවල් මතක් වෙන්නේ..... මේ නවවෙනි කවිය එහෙම මතකය අවදි කරවන්නක්.
ලස්සන අකුරු සිත් ගන්නා පැහැය නිල
සුළඟේ පවා
පාවෙන කඩදාසිවල
කළු පැහැ බෝල්
පොයින්ටෙන් රස එකතු කළ
පිටු හතරක ලිපිය මිහිරකි මිහිරි කළ
‘සුළඟේ පවා පාවෙන කඩදාසිවල’.... හරිනේ. අපේ අම්මා එංගලන්තයට ගියාට පස්සේ අපි ලියුම් යැව්වේ AEROGRAMME; ගුවන් ලියුම් කඩදාසිවල ලියල නෙවෙයි. වෙනම කඩදාසිවල ලියලා කවරවල දමලයි.... හුඟක් වෙලාවට එහෙම කරන්න වුණේ අපේ ගෙදර හැමෝම චුට්ට-චුට්ට හරි යමක් කුරුටු ගාපු නිසයි. ආච්චියි සීයයි දෙන්නා නැතුව වුණත් අපි නවයක්නේ. ඉතින්, එහෙම ලියුම්වලට බර අනුවයි මුද්දර ගහන්න වුණේ. ඒවායේ බර අඩු කරගෙන, වියදමත් අඩු කරගන්නයි මං ලා නිල්පාට තුනී කඩදාසි වර්ගයක් ගෙනත් තිබ්බේ.
ලස්සන සිතුම්
හමු වේවා දිනෙක හැම! |
ආයේ දෙකක් නෑ. මං සුනන්දට යවපු ලියුමත් ලියලා ඇත්තේ ඒ කඩදාසිවල! තවමත් මං ලියන්නේ කළු පාට පෑන්වලින්. ඒවා වෙනස් වෙලා නෑ.... මං වියපත් වෙලත්!
මේ ලියුමේ කවි 33යි. ලියුමේ හැම කවියක්ම අංකනය කරන එකයි සුනන්දගේ පුරුද්ද. එහෙම නැතත්, එයා එදා සමුගන්නේ 33න් බව කවියේම තියෙනවා.
ඇස් වහ කට වහක් නොව! හැම විටකදිම
ලස්සන සිතුම්
හමුවේවා දිනෙක හැම
තිස් තුන්
කෝටියක් දෙවියන් පිහිට වුම
තිස් තුන්වන කවෙන් පතනෙමි ඔබට මම!
එහෙනං, රසික හිතවත් ඔබ හැමටත් දෙවි පිහිට පතමින්, මාත් අදට සමුගන්නේ ඊළඟ post එකේදී හමුවෙන්න හිතාගෙන....
එහෙනම් ඔයා ටෙලිපෝන් එකෙන් ලව් කරපු අය දෙන්නෙක් නොවෙයි, හතර දෙනෙක් වෙලා. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට වගේ!
ReplyDeleteකියවගෙන යන්නකෝ සෑම් මහත්තයෝ!
Delete+++++
ReplyDeletePra Jay මහත්තයෝ... ස්තුතියි!
ReplyDeleteඔය ස්තිරියාවකගේ කටහඬ අපි ආපු දවසේ තිබුනේ නැහැනේ , කවදාවත් බොරු නොකියන නිදි පචමයි ලියන්නේ හේ හේ
ReplyDeleteඅනේ මන්දා එක එක්කෙනාට ඇහෙන හැටිත් වෙන්නැති අජිත් මහත්තයෝ!
Delete