අකුරු මැකී නෑ

Wednesday, August 27, 2025

හතලිහේදී... දහනවවෙනි කොටස

“අනේ බ්‍රදර්, බොස් උඹටත් දොස් කිව්වත් මොකුත් නොකියා අහගෙන හිටපං. ඊයේ මාත් බොස්ගෙන් හොඳටම බැනුම් අහලයි ඉන්නේ. ප්ලීස් බ්‍රදර්... මම විස්තරේ පස්සේ කියන්නං. එතකල් උඹ මොකුත් නොදන්නවා වගෙ ඉවසගෙන ඉන්නවනෙ? Please... ප්ලීස්!”

ඔයාලා Dunki චිත්‍රපටය බලල තියෙනවද? ඒ ෆිලුම හදල තියෙන්නේ 2023 අවුරුද්දේ.

බල්නූර් කියන්නේ මොනවා ගැනද? ඒ හතර බීරි කතන්දරේ අං-කොන් හරිහැටි නොතේරුණත් කලබල නොවී හිටියම හරිනේ! මං හිතා ගත්තා.

ප්‍රසාද් වැඩට එන්නෙ අන්තිම තත්ත්පරේදි. එදත් එහෙමමයි. එහෙම එද්දිත් මිනිහගේ ඔලුව කඩන් වැටිලා තිබ්බේ, මුහුණත් අඳුරු වෙලා. ‘Good morning!’ කියාගෙන ප්‍රසාද් එයාගේ අයන් එකත් අතට ගත්තා.
ඇස් කොනින් බලපු මට පෙනෙනවා අහීර් මහත්තයා අර වේදිකාව උඩ හිටගෙන බලං ඉන්න හැටි. උන්නැහේ බලං ඉන්නේ අපි දිහාවද?
ඒක තේරුම් ගන්න බැරි- එයා කණ්ණාඩි දෙකක් දාගෙන ඉන්න නිසයි!

බල්නූර් ඈත මේසෙක වැඩ.
කොයිකටත් කියල මාත් වෙනසක් නොපෙන්නා මදින රාජකාරිය කරගෙන ගියා. පැය බාගයකට විතර පස්සේ මට දැනෙන්න ගත්තා කවුරු හරි මගේ කිට්ටුවෙන්ම; පිටිපස්සෙන් ඉන්නව ඉන්නවා වගෙ. බොසා!

එයා අපිට පිටිපස්සේ අයනින් table එක ළඟ හිටගෙන ඉන්නවා. මමත් නොදන්න ගණනට වැඩේ කරගෙන ගියා. ඊටත් ටිකකට පස්සේ Mr. Aheer අපේ ළඟට ආවා.
“Nimal, come to the office.” කියාගෙන එයාගේ office එකට ගියා. මාත් ඒ පස්සෙන්ම...

‘නිමල් මට තියෙනවා උඹෙන් කාරණා දෙක තුනක් දැනගන්න.’ කියලයි බොසා කතාව පටන් ගත්තේ. “මෙහාට වැඩට එන්න කලින් උඹ ප්‍රසාද්ව අඳුනනවද? මට ඇත්තම කියපං...”
“No, I didn’t know him.”
“එහෙනං එයා උඹ දන්න කෙනෙකුගේ කව්රු හරිද?”
“ඒත් නෑ!”
“ඒත් උඹ එයාට ගොඩක් උදව් කරනවනේ... එයාගේ වැඩවලින් කොටසකුත් කරනවනේ... එහෙම කරනවට උඹට මොනවද හම්බ වෙන්නේ?”

එතකොට මං කිව්වේ මා ප්‍රසාද්ට එහෙම විශේෂ උදව්වක් කරන බවක් මට නොහැඟෙන විත්තියයි. “ඒත් ඒ මනුස්සයා ගොඩක් අසරණ වෙලා, පිටරටක තනි වෙලා ඉන්න හිංදා - මට පුළුවන් තරමින් එයාට උදව් කරන්න කැමතියි! එහෙම කරන්නේ මට වාසියක් ගන්න බලාගෙන නෙවෙයි. හැබැයි එහෙම උදව් කිරිල්ලෙන් මට සතුටක් හම්බ වෙනවා...”

“ආ... ඒකත් එහෙමද?
මං ඊයේ
මිස්ටර් යසිරුගෙනුත් උඹ ගැන ඇහුවා. එයාත් මට කිව්වා උඹ ලංකාවේ ඉන්නකොටත් එක එක චැරිටි වැඩ කරපු කෙනෙක්ය කියලා. එහෙම ඔර්ගනයිශේෂන් එකකදිලු නේද උඹට යසිරුව මීට් වුණෙත්. ඒක පැත්තකින් තියමුකෝ...
මට පෙනෙන්නෙ නෑ ප්‍රසාද් උඹ කියන තරම් අසරණ වෙලා ඉන්න පාටක්...”

ඔයාලා Dunki චිත්‍රපටය බලල තියෙනවාද? ඒ ෆිලුම හදල තියෙන්නේ 2023 අවුරුද්දේ.
(මට ප්‍රසාද්ව මුණ ගැහුණේත්, මිස්ටර් අහීර් එක්ක මේ කතාබහ කෙරුණේත් 1994 අවුරුද්දෙයි... හොඳේ.)

උඹට ඔහොම කතන්දර අහන්න වෙලාව තිබ්බට මට නම් ඕවට වෙලාව නෑ!

Dunki ෆිලුම  බලද්දී මට හිතුණේ ඒකෙ කතා රචකයාට ප්‍රසාද්ව මුණ ගැහෙන්නට ඇතිමය කියලයි. නැතත් (අපේ හිතවතා) ප්‍රසාද් වැටිච්ච වළටම වැටුණු හාඩි, බුග්ගු, බාලි, මනු රන්ධවාලා වගෙ සිය දහස් ගණන් තරුණ තරුණියන් ඉන්දියාවෙ ඇතිනේ. එයාලව හරි මුණ ගැහෙන්න ඇති! ඔවුන්ගේ දුක්බර ඛේදවාචක දැන ගන්නට ඇති!!

ප්‍රසාද් ජීවිතේ පරදුවට තියලා එංගලන්තයට සංක්‍රමණය වුණු හැටි ගැන විස්තර ඇතිවම ඔයාලටත් දැනගන්න ඕනිද? එහෙනං මෙහෙම කරමු. ෂාරුක් ඛාන් ප්‍රධාන චරිතයක් රඟන Dunki ෆිලුම බලලා ඉඳිමු.

එදා මම අහීර් මහත්තයාට නං එහෙම යෝජනා කළේ නෑ. ඒත් ප්‍රසාද් ඒ වෙනකොට හිටිය තත්ත්වය නං මට පුළුවන් ඉංග්‍රීසියෙන් පැහැදිලි කරලා කිව්වා.

“නිමල්, උඹට ඔහොම කතන්දර අහන්න වෙලාව තිබ්බට මට නම් ඕවට වෙලාව නෑ. ඔහොම අනුන්ගේ බැරිකම් අහ-අහ ඉන්න ගියා නං; ඒවාට ප්‍රයෝරිටිය දෙන්න ගියා නං කවදාවත් මට මෙහෙම සක්සස්ෆුල් බිස්නස්කාරයෙක් වෙන්න ලැබෙන්නෑ.
ඒත් ශ්‍රී ලංකන් උඹ අපේ ඉන්දියන්කාරයෙකුට මෙහෙම අනුකම්පා කළ එක ගැන නං මට සන්තෝසයි.
උඹ හින්ද... උඹ හිංදා I am going to give him a chance! මම ප්‍රසාද්ට මාස දෙකක් දෙනවා. ට්‍රේනී කෙනෙක් හැටියට එයා ඒ මාස දෙකේදී ස්පීඩ් එක වැඩි කර ගන්න ඕනි. එහෙම කෙරුවොත් විතරයි මං එයාව job එකේ තියා ගන්නේ. එතකල් විතරයි මම උඹට එයාගේ වැඩවලින් කොටහක් කරන්න දෙන්නේ. නැත්තං උඹම fed-up වෙලා, අන්තිමේදී උඹටම job එක එපා වෙයි. එකෙන් මටයි ලොකු පාඩුවක් වෙන්නේ.”

එයාගේ තීන්දුව බල්නූර්ටත්- බල්නූර්ගෙන් ප්‍රසාද්ටත් කියවෙන්න ඇති.
“ප්‍රසාද්. උඹ නිමල්ට කොච්චර තෑන්ක් කළත් මදි. අපේ බොසා කෙනෙකුට අනුකම්පාවෙන් මෙහෙම චාන්ස් එකක් දෙනවා මම මීට කලින් දැකලම නෑ. ඕ yes brother. යූ ආර් වෙරි ක්ලේවර්... උඹ දිනුවා.
අපි දෙන්නම ඊයේ බැනුම් අහපු හැටියට... අපි හොඳටම බයෙන් හිටියේ... බොස් උඹට job එකත් එපා වෙන තරමට බනියි කියලා...” දවල් කෑම විවේකයේදී විස්තර අහගත්ත බල්නූර් කිව්වේ සතුටෙන් ඉල්පෙමින්.

ඒත්, මිස්ටර් අහීර් අපේ කතාවේ අන්තිමටම කියපු ටික මං එයාලට කිව්වේ නෑ.

“නිමල්, මේවා කාටවත් කියන්න එපා.
උඹ ආපහු ලංකාවට නොගිහිං දිගටම මෙහෙ ඉන්න කැමතියි නං ඕනෙම වෙලාවක මට කියපං. උඹට කසාද බැඳගන්න හොඳ ඩව්රි එකකුත් එක්කම හොඳ කෙල්ලෙකුත් මමම හොයල දෙන්නං. ඊට පස්සේ උඹට දිගටම මෙහෙම රස්සාව කරන්නත් පුළුවනි.
මොකද කියන්නේ?”

ඒත් ලස්සන ඉන්දියන් කෙල්ලෝ දෙතුන් දෙනෙක්ම මේ දවස්වල මගෙත් එක්ක හිනා වෙවී ඉන්නේ...

“මේ සැරේ නං මම ලංකාවට යන්නම ඕනි, සර්.”

“හරි! ගිහිල්ලා ඉක්මනින් ආපහු වරෙන්. මතක තියා ගනිං.. උඹ කවද ආවත් ඉස්සෙල්ලම මෙහාට ඇවිත් මාව හම්බ වෙයං. ඕනිම වෙලාවක මගේ ළඟ උඹට වැඩ තියෙනවා! ඒ වගේමයි- උඹට හරි යන කෙල්ලො ගොඩක් ගැනත් මම දන්නවා...”

එහෙම නං ප්‍රසාද්ට කෙල්ලෙකු හොයා දෙන්නැයි අහීර් මහත්තයාගෙන් ඉල්ලන්නට හිතලාත්- මං එහෙම කළේ නැත. ‘ප්‍රසාද්ට නොකියා කියන්න ඕනි... හොඳට වැඩ කරගෙන ගිහිං, ඊට පස්සේ බොස්ගෙන් උදව් ඉල්ලන්න කියලා.’

ඒත් ප්‍රසාද් ඉක්මන් ප්‍රගතියක් පෙන්වන්නට අසමත් වුණේය. මාත් උන්නේ ඒ ගැන අසතුටෙනි. ඒත් ඒ යක්ෂයාට නම් ඒ ගැන වගේ-වගක් නොවිණි. “ප්‍රසාද්... තව වැඩි දවසක් නැහැනේ. ඔයාට ඉක්මන් කරලා වැඩ කරන ස්පීඩ් එක වැඩි කර ගන්න වෙයි.”
“Don’t worry Nimal! මං හිතන්නේ දිගටම මට මේ job එක ඕනෑ වෙන එකක් නෑ වගෙයි.” ඒ හාදයා කිව්වේ සතුටුදායක ස්වරයකින්.

“ඇයි, ඔයාට හොඳ ජොබක් හරි ගියාද?”
“නෑ... ඒත් ලස්සන ඉන්දියන් කෙල්ලෝ දෙතුන් දෙනෙක්ම මේ දවස්වල මගෙත් එක්ක හිනා වෙවී ඉන්නේ...”

ඒ බූරු වහන්සේ හිතන විදිහ නං එතකොට මට රහසක් නෙවෙයි. ‘පව්! කෙල්ලෙක් හිනා වෙනවයි කියන්නේ කසාද බඳින්න ලැහැස්තියි කියන්න එකද?’ ඒත් ප්‍රසාද් හිතුවේ එහෙමය.  
ප්‍රසාද්ගේ එකම ඉලක්කය වුණේ විවාහයක් මාර්ගෙන් එංගලන්ත පුරවැසියෙක් වෙන එක. එංගලන්තයේ පුරවැසි තරුණියක විවාහ කරගෙන එයාටත්
වීසා ලබා ගන්න එක.

මගේ මතේට අනුව නම්- එතැන තිබුණේ එකම පරහක් විතරයි.
එහෙම වීසා ලබා ගැනීමේ අරමුණක් තියෙද්දීත්, ප්‍රසාද් හෙව්වේ සකලාංග සම්පූර්ණ සුන්දර සුරූපිනියක්.

ප්‍රසාද් ලොකු හැන්ඩියෙකුත් නෙවෙයි. සල්ලිය බාගේ- උගත්කම් එහෙම යහමින් තිබිච්ච කෙනෙකුත් නෙවෙයි. භද්‍ර යව්වන ඉලන්දාරියෙකුත් නෙවෙයි. එහෙව් කෙනෙකු ඉහළම සුදුසුකම් එක්ක සහකාරියෙකුව හොයද්දී හිතන්න ඕනිනේ- තමන් ළඟ තියෙන්නේ මොනවද කියලත්. යකාගේ හැටියට නෙව විමානේ!

මගේ මතය ඒක වුණත් මං ඒ ගැන ප්‍රසාද්ට කියන්න ගියේ නෑ. මිනිහෙකු මෝඩ විදිහට තමන් ගැන අධිතක්සේරුවක් තියාගෙන ඉඳිද්දී එයාට අවවාද දෙන්න යන එක ඩේන්ජරස් කියලයි මං හිතන්නේ...  

“බලපං නිමල්. මම මහා අවාසනාවන්තයෙක්. අර කෙල්ලොන්ගෙන් එක්කෙනෙක්වත් set වුණේ නැහැනේ...” දවස් ගණනාවකට පස්සේ හවසක මගෙත් එක්ක bus stop එකට ඇවිදගෙන ආව ප්‍රසාද් නහයෙන් ඇඬුවා.

ඒත් කලින් දවසේ වගෙම වෙනසක් නැතිව ඒ අතේ උණුසුමත් නොකඩවා ගලාගෙන ආවා!

“ගල් අහුරක් අරගෙන ගැහුවට අඹ ගෙඩියක් කඩා ගන්න බෑ ප්‍රසාද්. එක අඹයක් ටාර්ගට් කරලා එක ගලක් ගහලා බලපං.”

“වැඩක් නෑ, වැඩක් නෑ... මං ඉන්දියාවේ ඉඳිද්දීත් මෙහෙමමයි.” එයා හූල්ලන ගමන් කිව්වා. “මගේ වෙලාව නරකයි. මම කැමති කෙල්ලෝ මට කැමති වුන්නෑ... මට කිට්ටු වෙන්න ආවේ මං කැමති නැති ජාතියේ එවුන්.”

එහෙම කියන ගමන් ප්‍රසාද් හදිස්සියෙන් වගෙ මගේ අතකින් අල්ල ගත්තා... “ඒක න්... න්... නෙවෙයි නිමල්. මම්ම්ම්ම  උඹෙන් අහන්නමයි හිටියේ... උඹ මට කැමතිද?”
ප්‍රසාද්ගේ ගොරෝසු අතේ හීන් වෙව්ලිල්ලක් මට දැනුණා. ඒත් කලින් දවසේ වගෙම වෙනසක් නැතිව ඒ අතේ උණුසුමත් නොකඩවා ගලාගෙන ආවා.

එයින් දැනුණු උද්වේගකර සංවේදනය යටපත් කරගෙන මට දැනුණේ නොරිස්සුමක්. ‘මෙයාට මාව ඕනි වෙන්නේ වෙනින් කෙනෙක් නැතිකමට විතරද?’ ඒ හිතුවිල්ලත් එක්කම මගේ මහන්තත්ත ආඩම්බරකමත් ඇවිස්සුණා. ‘මම මොකටද සෙකන්ඩ් වෙන්නේ?’
එහෙම හිතුණත් පොල්ලෙන් ගැහුවා වගෙ උත්තරයක් දීලා එයාව තරහ කර ගන්නත් මගේ හිත ඉඩ දුන්නේ නෑ! මං තෝරා ගත්තේ මැද මාවත.

“යාළුවෙක් විදිහට උඹට කැමති හින්ද නේන්නං මං උඹව ආස්සරේ කරන්නේ... නැත්තං මෙහෙම කතා කරනවයැ?”
ටිකක් විතර කටුක ස්වරයකින් කියැවුණු මගේ උත්තරෙන් ප්‍රසාද් එක විදිහක හේ බෑමකට ලක් වෙච්ච බව මට පෙනුණා. එයාගේ අතත් නිකංම බුරුල් වුණා.

මගේම වෙලාවට වගෙ bus එකත් ඈතින් මතු වුණා. “බස් එක එනවා. අපි හෙට කතා කරමුකෝ ප්‍රසාද්...” කියාගෙන මං නැඟිට්ටා.

ඒත්... ඒත්... තවත් දවස් ගණනාවක් යනතුරු අපිට ආයෙමත් නිදහසේ කතා කරන්න අවස්ථාවක් නොලැබෙන විත්තිය අපි දෙන්නම එදා හිතුවේ නෑ!
වුණේ මේකයි...

පහුවදා උදේ අපි සුපුරුදු විදිහට වැඩ කරන්න ගත්තා.
පැය එකහමාරකට විතර පස්සේ මිස්ටර් අහීර් හොඳටම කුලප්පු වෙලා office එකෙන් පහළට බැස්සා. බැහැලා බල්නූර් ළඟට ගිහිං මොන-මොනවදෝ කිව්වා.
ඒ සැණෙන් බල්නූර් අපේ දිහාට ආවේ කඩා-බිඳගෙන කඟවේනෙකු වගෙ. ‘Hurry up! ඉක්මනට මගෙත් එක්ක වරෙල්ලා’ අපෙන් සමහරුන්ට කිය-කියා බල්නූර් වේදිකාවට නැංගා. අපිත් වැඩ නවත්තලා බල්නූර්ගේ පස්සෙන්... ප්‍රසාදුත් අපි එක්ක...

ඒ අතරේ සමීරාත් වැඩ කර-කර උන්නු ගැහැනු ළමයි හත්-අට දෙනෙකු එක්කගෙන ආවා. මං දැකපු විදිහට අපි සේරම පහළොවක් විතර එතන හිටියා.

බාගෙට කළුවරේ, තැම්බි-තැම්බී, දහදිය පෙරමින්, බයෙන් ගැහි-ගැහී කල්පයක් විතර හිටියට පස්සේ...

බොස්ගෙ office එක ඇතුළෙන් තිබ්බ දොරක් ඇරපු බල්නූර් අපි සේරමලා ඒක ඇතුළට ගාල් කළා. “දෙයියන්නෙ නාමෙට සද්ද කරන්න නං එපල්ලා. අහු වුණොත් තමුසෙලා ඔක්කොම හිරේ... හිරේ දාලා දවස් දෙක තුනකින්ම ආපහු ගෙදරටත් යවයි!” කියලා අපිට කිව්ව බල්නූරුයි, සමීරායි කාමරේ දොර වහගෙන අතුරුදහන් වුණා.

හුඟ දෙනෙක් අඩ අඳුරෙම ඇස් පියාගෙන දෙයියන් සිහි කරන්න ගත්තා... වෙලාව ගත වුණා. දොර ඇරෙන පාටක් නැති වෙද්දී එහෙන්-මෙහෙන් කටවල් ඇරෙන්න පටන් ගත්තා. ඒත් හෙමින්... මුණු-මුණු ගෑවෙන වචන අහුල ගත්තු ප්‍රසාද් ඒවා ඉංග්‍රීසියෙන් මගේ කණටත් එබුවා.

“පොලිසියෙන් පැනලලු... / Home Office එකෙනුත් ඇවිත් වගෙයි. / සමෝසා හදන තැනටයි පැනල තියෙන්නේ... / Work පර්මිට් නැතිව වැඩ කරන අයව අල්ලගෙන යනවලු... / එතැන වැඩ කරන ඔක්කොමලම වගෙ වීසා නැතිව හොරෙන් ආපු අයලු!”

බාගෙට කළුවරේ, තැම්බි-තැම්බී, දහදිය පෙරමින්, බයෙන් ගැහි-ගැහී කල්පයක් විතර හිටියට පස්සේ ඒ රහසිගත නිවාස අඩස්සි කාමරේ දොර ඇරුණා.
දොර ළඟ හිටියේ බොස්ලා විතරයි... ඒ විත්තිය දැකපු අපේ කට්ටිය සැනසුම් සුසුම් හෙළමින්- දෙවියන්ට පිං දෙන්න ගත්තා.

“Listen... හොඳට අහගනිල්ලා. දැන් කට්ටියම එක්කෙනා දෙන්නා ගණනේ ගෙවල්වලට යන්නයි තියෙන්නේ. එක සැරේම  ඔක්කොමලා යන්න එපා. තමුන්ලගේ bags එහෙමත් අරගෙන යනවලා... දවස් දෙකක් විතර යනකල් වැඩට එන්න එපා. බල්නූරුයි සමීරායි call කරලා කියයි වැඩට එන්න ඕනි දවස... තේරුණා නේද?” අහීර් මහත්තයා හින්දි- ඉංග්‍රීසි දෙබසින්ම කියල දුන්නා.

“දවස් දෙකකට පස්සේ නෙවෙයි නිමොල්, ඊට පස්සෙවත් උඹ ආයේ එතැන වැඩට යන්න එපා. ෂුවර් එකටම උඹලගෙ ෆැක්ටරියටත් හෝම් ඔෆිස් එකෙන් පනියි.” ඩැඩා කීවේ එදා හවසය. සිද්ද වුණු අලකලංචියේ විස්තර අං-අඃ වෙනකල්ම හාරා ඇවිස්සුවාට පස්සෙය.
“ඔය කිව්වේ! තුඃ තුඃ! ඔයත් කෙළ ගහන්න රංජි.” අම්ම කිව්වේ කේන්තියෙන්... “ඔය මනුස්සය බුලත් විටක්වත් කන එකක්යැ?”

“Listen carefully my son. මම කැමති නෑ උඹව black list කරලා බනානා බෝට්ටුවක පටවලා ආපහු ලංකාවට යවනවට. උඹලගෙ මදර් සුපීරියර්ට මේවා තේරෙන්නේ නෑ නිමල්. උඹේ සහෝදර සහෝදරියෝ තුන් දෙනෙක්ම දැනටමත් මෙහෙ සිටිසන්ස්ලා. එක්කෙනෙක් මැරි කරන්නයි ලෑස්තිය. හිතපන්කෝ තව අවුරුදු විස්සක් විසිපහකට පස්සේ එන කාලෙ... බැරි වෙලාවත් උඹව බ්ලැක් ලිස්ට් කරලා යැව්වොත් නං නිමොල් ආයේ ජීවිතේටම උඹ එංගලන්තෙට එනවා බොරු. අනාගතේ ගැන හිතපං... Think about your future!” අම්මගේ ප්‍රතිචාරයෙන් කුපිත නොවුණු ඩැඩා මට කිව්වේය.

මෙහෙ තියෙනවා හෙළුවෙන් නටන කෙල්ලෝ ඉන්න තැන්. අමාරුවෙන් හම්බ කරන සොච්චමත් එහෙම තැන්වලට පූජා කරන...

ඩැඩා කියන්නේ ඇත්තකි.

ඒත්, තවත් වතාවක් එංගලන්තයට එන්නට උවමනාවක් මට නැත. නමුත් Work Permit එකක් නැතිව රස්සාවක් කරලා අහුවුණොත්... මට සමන්තිගේ විවාහ මංගල්‍යයට සහභාගි වෙන්නට බැරි වෙයි. මා මේ එංගලන්ත ගමන ආවෙත් ඒ වෙනුවෙනි. ඒ විත්තිය නොතකා සිටින්නේ කොහොමද?

එදා රාත්තිරියේම බල්නූර් මට කතා කළේය.
“අද උදේ උඹ බය වුණේ නෑ නේද බ්‍රදර්... සමෝසා ෆැක්ටරියෙන් පහළොවකටත් වැඩියෙන් අල්ලගෙන ගිහිං. උඹලව ගෙදර යැව්වට පස්සේ තමයි බොසා ගණන් හද-හදා බලල තියෙන්නේ. දැනටමත් අපි පරක්කු වෙවීලු ඉන්නේ. බොස් කියන්නේ උඹල කට්ටිය නැතිව ෆැක්ටරියේ targetsවලට යන්න බැරි වෙයි කියලා.
හැබැයි එයා එහෙම අමාරු අඩියක ඉන්න නිසා ප්‍රසාද්ටත් චාන්ස් එකක් වැදෙනවා... බොස් ලෑස්ති වෙලා හිටියේ ප්‍රසාද්ව නවත්තන්නලු!”

“පව් වැඩේ!”
“මටත් දුකයි තමා... ඒත් නිමල් බ්‍රදර්, මේ මිනිහගේ කිසිම උනන්දු පාටක් නැහැනේ... මිනිහා මෙහෙදී නාස්ති වෙලා යයි වගෙ... මගේ යාළුවෙක් මෙයාව දැකල නරක තැනකදී...” බල්නූර් කිව්වේ හූල්ලමිනි.
“මෙහෙ තියෙනවා හෙළුවෙන් නටන කෙල්ලෝ ඉන්න තැන්. අමාරුවෙන් හම්බ කරන සොච්චමත් එහෙම තැන්වලට පූජා කරන මිනිහෙක්ට කොහොමද කලක් යන්නෙ?”

ඉතිරි හරිය ඊළඟ කොටසින්...

Monday, August 18, 2025

හතලිහේදී... දහඅටවෙනි කොටස

... තත්ත්පරයක් ගල් ගැහිල බලාගෙන හිටි ඒකා එක පාරටම ඉස්සරහට පැනලා මාව බදා ගත්තා.
හීනෙකින්වත් නොහිතපු hug එකක්!
කියන්නත් ලජ්ජයි... ඒ මනුස්සය එහෙම මාව වැළඳගන්න ඇත්තේ සතුටින් උදම් වෙච්ච හිංදා කෙළෙහිගුණය පෙන්වන්න වෙන්නැති.

නළියන හැඩයි මගෙ අමුඩය දැක නුඹව!

ඒත් මං?

වලත්ත මට හොඳටම දැනුණා මාව උණුසුම් වේගෙන යන හැටි... මගේ ඉඳුරන් අවදි වේගෙන එන හැටි... දෙකක් නෑ! එහෙම වෙන්න ඇත්තේ මගේ ඔක්සිටොක්සින් ශ්‍රාවය වීම වැඩි වුණු හිංදා තමයි.

ඇත්තටම මිනිහා කියන සතාගේ හැටි! අනික් හැම සතෙකුම මිනිහා කියන සතාට වැඩිය වෙනස්නෙ. උන් රැලේ වැටෙන්නේ එක කාලෙකට විතරයි. ඒකත් තමන්ගේ වර්ගයා බෝ කිරීමේ අරමුණෙන්...
අපි එහෙමයැ? වෙලාවක් කලාවක් ඕනි නෑ. ඕනිම වෙලාවක- ඕනිම තැනක... ඒ වගෙම අපේ ලිංගික ක්‍රියාවලින් සීයට අනූනවයක්ම වගෙ සිදු කෙරෙන්නෙත් ජනිතයන් බිහි කිරීමේ අරමුණකින් තොරවනෙ; ලිංගික ප්‍රීණනය ලැබීම තමයි අපේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නෙත්.
එහෙව් එකේ පුදුම ලැබීමක් නේද අපට ලැබිල තියෙන්නේ...
ඇඟේ size එකට සාපේක්ෂව ලොකුම
මොළයකුයි, ප්‍රාණවත් වුණාම ලොකුම ලිඟුවකුයි හිමි වෙලා තියෙන එක!

එව්වයින් කමක් නෑ. නිමලෝ. උඹ වහාම අහකට වෙයං... වහාම- මේ දැන්ම- මේ දැන්මම ප්‍රසාද්ගෙන් ඈතට වෙයං!!
ඔලුව ඇතුළේ රතු සීනුවක් මහ හඬින් වැදෙන්න ගත්තා. ඒ අස්සේ මං තැනට ගැලපෙන විදිහට වචන එකතු කරගෙන කතා කරන්න වීරිය ගත්තා. සිංහලෙන් කියල හරි යන්නෙත් නැහැනෙ. ඉංග්‍රීසියෙන් එපායැ කියන්න ඕනි. මං කළේ වෙනදා පුරුදු විදිහටම සිංහලෙන් හිතල ඉංග්‍රීසියෙන් කියා ගත්ත එක.

(ප්‍රසාද්ට නං මට වැඩිය ඉංගිරිස් පුළුවන් විත්තිය එතකොටත් මට තේරිලයි තිබ්බේ.)

“Let me go! Your hug is very tight. I can’t take a breath.”
ඒක කියපු ගමන්ම ප්‍රසාද් මගෙන් ඈත් වුණා. ඒත් මගේ අතක් අල්ලාගත් ගමන්මයි උන්නේ.
ඒ අතත් හෙණ ගොරෝසුයි... ඒ ගොරෝසු අත දිගේ ප්‍රසාද්ගේ උණුහුම මගේ අතට කාන්දු වෙමින් තිබ්බේ.

අපි දෙන්නගෙන් කවුරුවත් අත්වැසුම් දාල හිටියේ නෑ, සමර් එක නිසා. ඒ නිසාම කරුවල වැටිලා තිබ්බෙත් නෑ. (සමර් කාලෙදි අඳුර වැටෙන්නේ රෑ දහය විතර වෙලානෙ. එළිය වැටෙනවා පාන්දර තුනට විතර.)

බස් ස්ටොප් එක පැත්තට ඇවිදගෙන යන අතරේ මං හීන් සීරුවේ ප්‍රසාද්ගේ ගොරෝසු හස්ත ග්‍රහණයෙන් මිදුණා. මොකද ඒ වෙනකොටත් මං හිටියේ ඒ උණුහුමට ලොල් වෙවී... දිගටම එහෙම ගියා නං...

ඔහොම ‘ඇබැද්දි’ කාට වුණත් වෙතහැකිනෙ. පහුගිය සතියේ දවසක fb එකේ දැක්ක ඒ වගේ හරි අපූරු ශෘංගාරාත්මක අලකලංචියක් ගැන: නටන අමුඩයක් ගැන කවි 4ක්.  R O S H B R O ගේ වෝල් එකේ.

‘මැණිකෝ මගේ හරි පුසුඹයි උඹ ගාව
මොනවැයි හත්තිලව්වේ ඔය ඇඟ ගෑව
තාමත් හැඩයි රත්තරනේ රූ සපුව
නළියන හැඩයි මගෙ අමුඩය දැක නුඹව

ඒ දවස්වල ‘උණුහුම් ලිංගික පහස’ක සුවය පතමින්...
ඉසකේ පැහුන මුත් ගත සිත ඇත සරුව
දරුවන් නිසා නෑ ඉස්සර වගෙ හමුව
ඉක්මන් කර උයා අහවර කර ගනුව
කෝ ගං ගාල දෙන්නට ඔය පොල් බෑව

පිල්කඩ වැතිර නිදියන විට ඔය මූන
අම්මප මතක් වෙනවා බං දැක හීන
නැතිදෝ හිතක් පෙර සේ ආලය පාන
ඉඳහිට වරෙන් බැලුවැකි රෑ හඳ පේන

ගෙවෙනා තනිකමින් සීතල රෑ මැද්ද
උනුසුම ගෙනේ පොරවන උඹෙ මල් රෙද්ද
අදවත් බලන්නට පිරිපුන් මල් ලන්ද
ආසයි මැණිකෙ දරුවන් තව නිදි නැද්ද’

කවි හතරකින්; වදන් අනූ පහකින් මවන ඉතා වර්ණවත් සිත්තමක අපූරුව!
මං කවි ගැන දන්න ඩිංගිත්ත අනුව නං- එළිවැට රැකීම, රිද්මය රැකීම එහෙමත් නියමෙටම සිද්ද කෙරිලා.

බිරින්දෑගේ පහස ලබන්නට පෙරුම් පුරන ඒ සැමියා වගේමයි- මං වහන්සේත් ඒ දවස්වල ‘උණුහුම් ලිංගික පහස’ක සුවය පතමින් උන්නේ.
දන්නවනේ, මං-
කේන්දරේට අනුව අතිධාවන කාම යෝගයක් සහිතව උපන්; ලිංගික හෝර්මෝන ඉතා හොඳින් නිපදවන සිරුරක හිමිකාරයෙක් විත්තිය. ඒ වගේම සිය ගණනක් partnersලත් සමඟින් විවිධාකාර ලෛංගික අත්දැකීම් ලබා තිබුණු කෙනෙක් විත්තිය. එහෙම කෙනෙකුට තට්ට තනියෙන් කෙලෙස් තවමින් ඉන්න වුණාම කොච්චර අසීරුයිද...

එහෙම අසහනකාරී හැඟීම්වලින් ආතුර වෙලා හිටිය වුණත්, එදාත් මගේ පුරුද්ද අතෑරුණේ නෑ. ‘කුඩු කතත් තිරිත්තමක් ඇතිවයි කන්න ඕනේ!’

ඉතිං, ඒ සංයමය ආයෙමත් මතකෙට නඟාගත්තු මං ප්‍රසාද් එක්ක Bus Stop එකට ඇවිදගෙන ගියා. එතැන seats දෙකකට බර දීලයි, අපි දෙන්නා අපේ කතාව කරගෙන ගියේ.

“මං ගෙදරින් ඇවිල්ලා අවුරුද්දකටත් වැඩියි නිමල්. ඒ ආවෙත් හොරෙන් මිනිස්සුන්ව රට පටවන මිනිහෙකුට ලක්ෂ ගාණක් ගෙවලා. එහෙම ගෙවන්න තරං අපි පෝසත්තුත් නෙවෙයි බ්‍රදර්. අපේ අම්මල ණය වෙලයි මට මේ ගමන එන්න සල්ලි හොයල දුන්නෙත්.” ප්‍රසාද් හරිම දුක්බර ස්වරයකින් කියාගෙන ගියා.
“ඇයි ප්‍රසාද්, ඔයා ඉන්දියාවේදී රස්සාවක් කළේ නැද්ද... IT ඉංජිනියර් කෙනෙක් වෙලත්?”

“ඒ ස්ටෝරීස් සේරම බොරු නිමල්... අර මිනිහමයි අපිව රවට්ටලා, ලොකු ගණනක් අරගෙන ඒවා හදවල දුන්නෙත්. ඌ කිව්වා මෙහෙ ඕනි තරං රස්සාවල් තියෙනවා, කරන්න මිනිස්සුයි නැත්තේ කියලත්. මොන විදිහකින් හරි මෙහාට පැන ගත්තොත් ලේසි job එකක් ලේසියෙන්ම හොයා ගන්න පුළුවනි කියලත් කිව්වා. මාස දෙක තුනක් වැඩ කරපු ගමන්ම අර ණය ඔක්කොම ගෙවල දාන්නත් පුළුවන් වෙයි කිව්වම අපිත් රැවටුණා!”

හොරෙන් රට රටවලට යවන මරුමුසු මගඩි වියාපාරත්....

මෙහෙම blog එකක් ලියන්නට වෙතැයි ඒ දවස්වල දැනගෙන උන්නා නම්... ප්‍රසාද්ගේ කතන්දරය හරියටම විස්තර ඇතිව අසා ගන්නටත්; මතක තබා ගන්නටත් තිබිණි. අපරාදේ!

එහෙම නොවුණු නිසාත්, ඒ සිදුවීම් සිද්ද වුණේ මීට අවුරුදු තිහකට විතර කලින් නිසාත් මට සමහර දේවල් අමතකය. ඒ ගැන පසුතැවෙමිනි, මා අද මේවා අකුරු කරන්නේ.

ඒ දවස්වල අද තරමට වේගයෙන් ලෝකයේ තොරතුරු එහා-මෙහා ගලාගෙන ගියේ නැත. හොරෙන් රට රටවලට යවන මරුමුසු මගඩි වියාපාරත් තිබ්බේ නැතුවා වෙන්නැති. Human Trafficking කියන යෙදුමක්වත් භාවිතයට අවුත් නොතිබුණා විය යුතුය. (කෙරුණා නං කෙරුණේ ‘මරිසි මංගල්ලය’ post එකෙන් කියවුණු ජාතියේ ‘නීතිය නවන වැඩ’ විය යුතුය!)

“අර යක්ෂයා කියපු බොරුවලට මම විතරක් නෙවෙයි, අපේ ගෙදර අයත් රැවටුණා. අපි වගෙම ඌට රැවටිච්ච තව කට්ටියත් හිටිය නිමල්.
ඌත් ඉන්දියාවේම ඉපදිච්ච එකෙක්. තමන්ගෙ රටේම ඉපදුණු- තමන්ගෙ ජාතියේම මිනිස්සුන්ට මෙහෙම කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවයි කියලා අපි හිතුවේ නෑ නිමල්... පූරුවේ පිනකටයි මගේ පණ බේරුණේත්... තව ඩිංගෙන් අතරමඟදීම මාව මැරෙනවා බ්‍රදර්!
මේ බලහං... තවමත් ඒවා මතක් වෙද්දී මාව වෙව්ලනවා.”

එතකොටත් ප්‍රසාද් ගැහෙමින් උන්නේය.

“දැන් ඉතිං එහෙම කරදරයක් නැහැනෙ ප්‍රසාද්. ඒවා සේරම වෙලා ඉවරයිනේ...”
මගේ සැනසිලිදායක වචනවලින් ඒ හාදයා තවත් අවුල් වුණා වගෙය. ප්‍රසාද් ඉස්සරහට නැමී දෑතින්ම එයාගේ කෙස්වල්ල ඇද ගත්තේ කඳුළු පෙරමිනි.
“ඒ වෙලාවේ එහෙම මැරුණා නං ඒත් එකක්, නිමල්. එහෙනං මට මෙච්චර දුක් වෙන්නැතිව ඉන්න තිබ්බ.”

එහෙම වෙලාවට මොනවත්ම නොකියා හිටීම වඩා සුදුසුය. වැරදි දෙයක් කියවුණොත් අනෙකා වඩාත් අපහසුතාවකට පත් වෙනවාට සැකයක් නැත. ඒත් මා ඔහුට ඇහුම්කන් දෙමින් ඉන්න විත්තියත්- ඔහුගේ දුක්බර අත්දැකීම්වලින් සංවේගයට පත් වී හිඳින විත්තියත් ප්‍රසාද්ට ඇඟවීම කළ යුතුය!

හැකිතාක් ප්‍රවේසම් වෙමින් මම ප්‍රසාද්ගේ අත මතින් මගේ අත තැබුවෙමි. එහෙත් ඒ අත පිරිමැදීමෙන් වැළකුණෙමි. මෘදු ලෙස ඔහුගේ අතට තට්ටු කිරීම් පමණක් කළෙමි. අන්තිමේදී එයාමය කතා කළේ.

“මට කියපං නිමල්, මම කොහොමද අම්මලට මේවා කියන්නේ කියලා. මම අපායකට වැටිලයි ඉන්නේ කියලා අම්මලට කියන්න පුළුවන්ද නිමල්? මං අන්තිමට අම්මලට ලියුමක් යැව්වේ අවුරුද්දකට විතර කලින්. ඒකෙ ලිව්වෙත් රස්සාවක් හොයාගන්න හොඳටම අමාරුයි කියලා. ඒ හිංදා තැනින් තැනට යන්න වෙනවා කියලත් මං ලිව්වා...”

තව දේවල් ගොඩක් තියෙනවා. අද නෙවෙයි, අද නෙවෙයි... වෙන දවසක...

ආයෙමත් විරාමයක්! ප්‍රසාද් දහිරිය දාන්නේ වචන එකතු කර ගන්නට වෙන්නැති.

”ඔව් නිමල්. මට හරියටම රස්සාවක් හම්බ වෙලා- දිගටම නවතින්න තැනක් හොයා ගත්තම- පර්මනන්ට් ඇඩ්රස් එකක් කියන්නං කියලත් ලිව්වා...
ඊට පස්සේ... ඊට පස්සේ එයාලා ඉන්නවද- මළාද- මොනවා වෙලාද... මොකුත්ම මං දන්නෑ බං.”

“ඔයාට ලියන්න හිතුණේ නැද්ද?”
“හිතුණට මං මොනවද ලියන්නේ? තවමත් මට එක දිගට කරන්න job එකක් නෑ. ඒ තියා මට ජීවත් වෙන්නවත් විදිහක් නෑ. සමහර දවසකට බඩගින්නේ ඉන්නයි මට සිද්ද වෙලා තියෙන්නේ. මෙව්ව කොහොමද නිමල් අම්මලට ලියලා අරින්නේ... ඊට වැඩිය හොඳයි, මං මැරිල ගිහිං කියල එයාලට හිතා ගන්න අරිනවා... Do you know?
අවුරුද්දකට විතර පස්සේ අද තමයි මෙහෙමවත් මගේ දුක කියල හිතේ බරෙන් ටිකක් අඩු කර ගන්න හම්බ වුණේ, නිමල්. Thank you so much! දැන් මට ලොකු සහනයක් දැනෙන්නේ, සත්තයි!”

මගේ ඇස් අත් ඔරලෝසුවට ගිය හැටි ප්‍රසාද් දැක්කාවත්ද?
“අද මං හිංදා උඹට බස් දෙකක්ම මිස් වුණා. අනේ සොරි නිමල්. මට කියාගන්න තව දේවල් ගොඩක් තියෙනවා. අද නෙවෙයි, අද නෙවෙයි... වෙන දවසක... ටික ටික කියන්නං, උඹ අහගෙන ඉන්නවා නං... උඹට කරදරයක් නෙවෙයි නං.”

එතකොට අපට පෙනුණේ ඈතින් එන Hounslow තට්ටු දෙකේ බස් එකයි.
“හරි නිමල්. ගොඩක් ස්තුතියි. බස් එක එනවනේ. හෙට හම්බ වෙමු එහෙනං. Good Night!”

මං එච්චර වෙලාවක් ප්‍රසාද්ට සවන් දෙමින් උන්නේ හුදෙක්ම අනුකම්පාව නිසාද? නැත්තං මනුස්සකම නිසාද? ඒත් නැත්තං ඔහු වෙත ආසක්ත වුණු ජාගර චිත්තය නිසාද?

ඩබල් ඩෙකර් බසයේ උඩ තට්ටුවේ ආසනයක වාඩි වුණු මම හිතට එබුණෙමි.
‘අනුකම්පාව! මනුස්සකම!! අනෙඃ පලයං නිමල් යන්න. උඹේ මහ ලොකු අනුකම්පාවයි මනුස්සකමයි... ප්‍රසාද් ටිකක්වත් ප්ලසන්ට් කෙනෙක් නොවුණ නං- අජූව මිනිහෙක් වුණා නං එහෙමත් උඹ මෙච්චර වෙලා ඒ මිනිහ වෙනුවෙන් ඉඳියි මෙන්න කියලා. ඒක හිතපංකො ඉස්සෙල්ලම...’

මං වහන්සේ හවුන්ස්ලෝවලදී බසයෙන් බැස ගත්තෙත්- ගෙදරට ගියෙත් ඒ පුරස්නවලට හරිහමං උත්තරයක් හොයාගෙන නොවේ!

“මොකද රංජි වුණේ? අපි හොඳටම බය වෙලයි හිටියේ. තව ටිකක් බලලා යසිරු පුතාට කතා කරල කියන්නයි හිත-හිතා හිටියේ.” දොර ඇරෙනවාත් එක්කම අම්මා දොරකඩය; අටුවාවක් කියමින්ය.

මමත් ඔරලෝසු කටු එක්කම කැරකෙන්න ඕනියි කියලද අම්මා හිතන්නේ?

“පිං සිද්ද වෙයි අම්මේ, මෙන්න වැන්දා! කොයිම වෙලාවකවත් ඒ වැඩේ නං කරන්න එපා. යසිරු මට මේ රස්සාව හොයලා දුන්නයි කියලා- ඊට පස්සේ සිද්ද වෙන හැම මඟුලකටම ඒ මනුස්සයටම කරදර කරන එක හරිද?

... අනෙක තමයි- වැඩ ඇරෙන වෙලාව ටිකක් එහෙ-මෙහෙ වෙන්න බැරිද?
මට යාළුවෙක් හම්බ වෙලා චුට්ටක් කතා කර-කර ඉන්න බැරිද? මමත් ඔරලෝසු කටු එක්කම කැරකෙන්න ඕනියි කියලද අම්මා හිතන්නේ? මමත් මනුස්සයෙක්නේ අම්මේ... පණ නැති යන්තරයක් නෙවෙයිනේ.”යි උත්තර දීගෙනමය මා කාමරයට වැදුණේ.

ප්‍රසාද් දුටු විගසම මගේ නෙත් පැහැර ගන්නා විදිහේ හාදයෙක් නොවේ. දර්ශන මාත්‍රයෙන්ම මා කැලඹූ කෙළිලොල් අමන් වැන්නෙකුත් නොවේ.
එහෙත් ඔහුගේ ‘උණුසුම් වැළඳ ගැනීමේ මතකය’ එදා රාත්‍රියේ වඩාත් සජීවීව මට රිදුම් දෙන්නට විය. ඒ මතකය ‘නිදි දෙව් දුව’ ඉක්මනින් මගේ යහනට වැඩමවීමත් වළක්වා ලූවේය.
මගේ ඉඳුරන් අවදිව තිබිණි. එය නොතකමින් නින්දට වැටෙන්නට කොතෙකුත් වෙර දරා; වෙර දරා බැරිම තැන
‘කර කර්මයේ පිහිට’ පතන්නටය මට සිදු වුණේ. ඉන් පසුවය, මට නින්දට වැටෙන්නට හැකි වූයේ.

එදායින් පසුව ප්‍රසාද් මට වඩාත් හිතවත් විය; සමීප විය. ඒ ටිකෙන්-ටික හෙමින්-හෙමින්ය. ඒ අතරේ ඉඩක් ලැබුණාම ඔහුගේ කතන්දරයත් කොටසෙන්-කොටස මට පැවසුවේය. එය කතන්දරයකැයි කියනවාට වඩා සුදුසු දුක් ගැනවිල්ලකියි කීමය.

ඒ අතරවාරයේ දවසකය, බඩා මල්ලාත් මාත් බිමල්ගේ බැචලර්ස් පාටියට ගියේ.
මගේ මතකය හරි නං ඒ පාටිය තිබ්බෙත් එයාලගෙ ගෙවල් කිට්ටුවම තැනකය. අපි දෙන්නා ඉස්සෙල්ලම ගියේ බිමල්ලගෙ අක්කා ඩ්රුතීලගේ ගෙදරට. එහෙ තමයි සමන්ති නැවතිලා හිටියේ.

“මල්ලා, ඔයා කොහොමද පාටියෙදී බීලා වාහනේ එළවන්නේ?” සමන්ති ඇහුවේ අපට සිසිල් බීමක් පිරිනමන ගමන්.
“නෑ සෑම්. මම අද නොබී ඉන්නයි හදන්නේ!”
“ලොකූ නොබිව්වට කමක් නෑ. ඔයා බොනවා. වෙනද වගේ මෙහෙම නිඳාගෙන ඉඳලා උදේට ගෙදර යන එකනෙ තියෙන්නේ.” බිමල් යෝජනා කරනකොටම මල්ලා බැලුවේ මගේ දිහා.

“ලොකා මොකුත් කියන්නෑ මල්ලෝ. නේද ලොකූ?”
“එතකොට ලොකා කොහොමද හෙට වැඩට යන්නේ? මම ඒ ගැනයි හිතුවේ Sam.”
“ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා දීපාල්. දවසක් වැඩට නොගියයි කියල මිස්ටර් අහීර් මාව අස් කරන්නෑ.”        

“හේ, I told you! හැමදාම දෙන ජාතියේ පාටියක් නෙවෙයිනෙ D. අද විතරනේ...” බිමල්ම එයාගේ යෝජනාව ස්තිර කළේ එහෙමයි.

සාදයක් කියන්නේ යහමින් බොන එකක් වගෙයි නෙව!  

පාටියේ නිමිත්ත මොකක් වුණත්, මොන නමකින් හැඳින්නුවත් සාදයක් කියන්නේ යහමින් බොන එකක් වගෙයි නෙව! කෑමටත් වැඩියෙන් බීම තියෙන එකනේ දැන් සිරිත. එදා පාටියෙත් එහෙමමයි.

හැබැයි, බිමල්ගේ සාදයේ හිටි අයගෙන් එක්කෙනෙකුවත් මං නොබොන කෙනෙක්ය කිව්වම ඤරු-ඤුරු ගෑවේ නෑ. ඤං-පචං කිව්වේ නෑ. බොමු බොමු කියලා පෙරැත්ත කළේවත්- බලපෑම් කළේවත් නෑ! (ඩැඩා එක්කලා හවුන්ස්ලෝ Pub එකට ගිය දවසෙත් එහෙමයි. ඩැඩාගේ හිතවතුන්ගෙන් කවුරුවත් මගේ අමද්‍යප ප්‍රතිපත්තියට අවමන් කළේ නෑ; මට බොන්නයි කියලා බල කළෙත් නෑ.)

අපේ රටේදී නං එහෙම නෙවෙයිනේ. ‘යාළු fit එකටනෙ මචං. අද විතරක් හීනි ෂොට් එකක් දාමු! / දැන් කාලේ කෙල්ලොත් බොන එකේ... පොඩි අඩියක් ගහමු! / පොඩ්ඩක් නොගන්න මිනිහ මොකෙක්ද? / පොඩ්ඩක් නොගත්තොත් ඔලුවේ හලනවා!’ වගෙ කියුම් කොච්චරක් නොබොන කෙනෙකු ඉදිරියේ කියවෙනවද?
බිමල්ගේ සාදයේදී එක්කෙනෙකුවත් එහෙම කිසිම දෙයක් කීවේ නැති එක තමයි ලොකුවටම මට මතක තියෙන්නේ.

ම්... තව එකක් කියන්න ඕන- පාටියට යන්න කලින් සමන්තිල ගෙදර ෆෝන් එකෙන්ම මං බල්නූර්ට කෝල් කළා. කරලා එයාට පැවරුවා ‘මං ඊට පහුවදා වැඩට නොඑන විත්තිය අහීර් මහතාට කීමේ’ රාජකාරිය.

එහෙම කරලා තියෙද්දිත් තමයි ඊට පහුවදා උදේ බල්නූර් මං වැඩට එනතුරු මඟ බලාගෙන උන්නේ.

“අනේ බ්‍රදර්, බොස් උඹටත් දොස් කිව්වත් මොකුත් නොකියා අහගෙන හිටපං. ඊයේ මාත් බොස්ගෙන් හොඳටම බැනුම් අහලයි ඉන්නේ. ප්ලීස් බ්‍රදර්... මම විස්තරේ පස්සේ කියන්නං. එතකල් උඹ මොකුත් නොදන්නවා වගෙ ඉවසගෙන ඉන්නවනෙ? Please... ප්ලීස්!”

ඉතිරි හරිය ඊළඟ කොටසින්...