‘... පාට්නර්ට හොරෙන් කරන දේවල් ඒ පාට්නර්ට වැරැද්දක් වෙන්න ඇති. රිලේශන්ශිප් එකට පිට අයට ඒක අදාල නෑනෙ. අනිත් එක පාට්නර් නිමල්ට හොරෙන් මොනව කලාද දන්නෙත් නෑනෙ.’ වගේ දේවල් හිතෙන්නේ කාටද? ඊටත් අදින් අවුරුදු තිහ- හතලිහකට කලින් සමයක...
පතිවත
උතුම්කොට සලකපු යුගයක- දික්කසාදය අවමානයක් ලෙස සලකපු යුගයක- අඹු සැමියන් අතර පවා
එළිමහනකදී සිපගැනීමක් තරම් දෙයක්වත් සිද්ද නොවුණු යුගයක හැදී වැඩුණු ගැටවරයෙකුගේ හැටි
හිතා ගන්නට පුළුවන්ද?
එතකොට
මං වහන්සේ දැනගෙන උන්නේ නෑ... ප්‍රේම
කතන්දරවල- ජාතක කතාවල- චිත්‍රපටවල එහෙම කියවෙන ප්‍රේමය හැබෑ ලෝකේ ප්‍රේමයට වඩා
වෙනස් විත්තිය.
අවුරුදු මිලියන 300කටත් කලින් පෘථිවියේ
තිබුණු Wood’s cycad නම් විවෘත බීජක පුං ශාඛයක්
1895 දී හොයා ගැනුණා. තවමත් විද්‍යාඥයන් මේ වර්ගයේ ස්ත්‍රී ශාඛයක් සොයමින් ලෝකය පීරනවාලු! |
ඩයිනසෝරයන් මිහිතලය මත බිහි වෙන්නටත් කලින්; අවුරුදු මිලියන 300කටත් කලින්
පෘථිවියේ තිබුණු Wood’s
cycad නම් විවෘත බීජක පුං ශාඛයක් 1895 දී හොයා ගැනුණා.
තවමත් විද්‍යාඥයන් මේ වර්ගයේ ස්ත්‍රී ශාඛයක් සොයමින්
ලෝකය පීරනවාලු!
ඒත් එදා...
ඒවා ගැන එතරම් දැනුවත්කමක් නොතිබුණු නිමල් දිසානායක තනිවම එංගලන්තයට ගියේ ‘හිතකින්
නොවේ!’ කියලයි කියන්න වෙන්නේ.
හීත්රෝ එයාපෝට් එකෙනුත් මට ඉක්මනටම පිටතට එන්න ලැබුණා. එතැනින් කෙලින්ම Hounslowවල
අම්මලගෙ ගෙදරට. (මට මතක හැටියට බඩා මල්ලියා තමයි, මාව ගෙදර එක්ක යන්න- එයාගේ වෑන්
එකෙන් එයාපෝට් එකට ඇවිත් උන්නේ.)
දීපාල් උස
ගිහිං. ඇඟපතත් ආරලා. මෝරපු පාටකුත් ඇවිත්.
චූටි නංගියි අම්මයි අපි එනකල් දොර ළඟටම වෙලා හිටියද මන්දා.
“යකඩෝ... බඩායි චූටි නංගියි දෙන්නා fotoවලින් පෙනෙනවට වැඩිය ලොකු වෙලානෙ. ලස්සනත්
වෙලා. Sam තමයි වැඩි වෙනසක් වෙලා නැති පාටක් පෙනෙන්නේ.” මට කියැවුණේ නිකංමයි.
දීපානි උත්තර
දුන්නේ මාව බදා ගනිමින්. “Sam doesn't eat Loku. අපි දෙන්නා නං බඩගින්නේ ඉන්නෑ.
නැද්ද දීපාල්?”
එතකොට දීපාල්
දීපානි දෙන්නාම ඉංග්‍රීසියෙන් කතා කළේ එංගලන්ත ඌරුවට. මට වැඩියත්ම නොතේරුණේ දීපානි
කතා කරනකොටයි.
“උඹට විතරක් නෙවෙයි නිමොල්... මෙයාලාගේ සමහර දේ මටවත් තේරුම් ගන්න බෑ. Bloody
foreigners... එංගලන්තෙ ඉන්ග්ලිෂ් කන්න පටන් අරං. මේ ගොල්ලොත් එහෙමයි. මොක්කු හදන
බාසාවක්ද මන්දා.”
“ඔන්න පටන්
ගත්තා! අනේ රංජි. ඔන්න ඔහේ එයාට ඇති පදං කියවන්න දීලා ඔයා ගිහිං wash එකක් දාගෙන
එන්න. මං බත් උයල තියෙන්නෙ. සීතල වෙන්න කලින් කාලා ඉඳිමු!” අම්ම කිව්වේ ඩැඩාට
නෑහෙන විදිහට සමහර වචන උසුරුවමින්. “දැන් එයා ඉස්සරටත් වැඩිය හපන්... ගෙදරටම වෙලා
ඉන්න හින්දද මන්දා. ඔක්කොටම හොට දානවා... වෙන කරන්න දේකුත් නැහැනෙ.”
“ඩැඩාට දැන්
සිංහල පුළුවනිද අම්මේ?”
“එහෙම පුළුවන් නං ඉතිං ඉර පායන්නෙ බස්නාහිරින්. හැබැයි වචනවලිනුයි, අපි දෙයක් කියන
විදිහෙනුයි ගොඩක් ඒවා අහුලගන්න නං දෙයියා...”
මට නොතේරෙන්න නේද උඹල සිංහලෙන් කතා කරන්නේ? |
“Excuse me Daddy, I am going to have a wash...” ඇවිලෙන්න ගිය ගෝරියට උදැල්ල දමලා-
මං උඩ තට්ටුවට නැංගේ කඩිනමින්.
පළමුවෙනි
වතාවේ මං හිටිය කාමරේම, මේ වතාවෙත් මගේ වෙනුවෙන් සූදානං කරලා තිබ්බා. ඔක්කොම කලින්
වගේමයි... සමන්ති නංගි විතරයි අඩු.
“මම ඔයාට කිව්වනෙ රංජි- සමා ඉන්නේ ඩ්රුතීලා ගෙදරය කියලා... ඔයා ටිකක් නිඳා ගන්න. එයාලා
රෑ වෙලා එනවයි කිව්වා. වේලාසන කඩේ වහන්න විදිහක් නැහැනෙ... රෑ දහය වෙනකල්ද කොහේද
කඩේ ඇරගෙන ඉන්න ඕනි.”
“ඒ මොකද ඒ?”
“සෑම්ලා කරන්නේ
ලිකර් කඩයක්නෙ ලොකූ. ඒවා වහන්න බෑ හිතුණු හිතුණු වෙලාවට. ඔයාව බලන්න සමන්ති අක්කා බිමලුත්
එක්කම එනවයි කිව්වා කඩේ වහපු ගමන්ම. ඔයා නිඳා ගන්න... Sam ආවාම I’ll wake you up.
ඔයාගේ body clock එක adjust වෙන්නත් දවසක් විතර යයිනේ...”
මල්ලියා දැන් කතා කරන්නෙත් අධිකාරිවාදී ස්වරයකිනි.
කියා තිබුණු
විලසම සමන්තිලා ආවේ රෑ බෝවී ගොඩ වෙලාවකට පස්සේය. එතකොටත් මං උන්නේ තද නින්දක් දැමීමෙන්
පසුව ප්‍රබෝධවත් ගතියකිනි.
“හායි ලොකූ!” මාව හඳුන්වා දෙන්නටත් කලින්ම බිමල් කිව්වේ මිතුරු විලසකිනි. ඒත්
එක්කම වැඳ ආචාර කරමිනි. දුටු මනතින්ම බිමල් මගේ හිතට ඇල්ලුවේය. තරමක් නිහඬව
සිටින්නටත්, අඩුවෙන් කතාකොට වැඩියෙන් සවන් දෙන්නටත්- හිස සොලවමින් හා, හ්ම් කියා
හූමිටි දෙන්නටත් පුරුදුව සිටි බිමල් නිවුණු කෙනෙකු බවයි, මට පෙනුණේ.
“ලොකූ, ඔයා
මොකක්ද අපේ වෙඩින් එක දවසට අඳින්නේ?”
“මගේ සූට් එකක් ගෙනාවා...”
“අපි අලුතෙන් එකක් මස්සව ගනිමුද?”
“පිස්සුද සෑම්. මම ඔය ටයි කෝට් අඳින කෙනෙක් නෙවෙයිනෙ. තව එකක් මොකටද... අපරාදේ, ඕන්නැති
වියදමක් කරන්නේ...”
“ඒත් ලොකූ, රෙජිස්ට්‍රේෂන්
එක දවසට ඔයා අඳින කිට් එක වෙඩින් එකටත් ඇන්දම... ඔයා මොකුත් හිතන්න එපා. I’ll...”
“නෑ සෑම්... කාගෙන් වියදම් වුණත් සල්ලිනෙ. ඔයාල දන්නවනෙ මං නිරපරාද වියදම්වලට ආස නෑ
කියල...”
“Don’t worry Sam. I’ll do something. ඔයා අලුත් කිට් එකක් මහගන්න අකමැතිම නං, මම ලොකූට
තව සූට් එකක් හොයල දෙන්නං.”
“තමුසෙට බැරි වුණාට මට පුළුවනි චූටි. I have so many friends. Problem is මගේ යාළුවො
ඔක්කොම වගේ ලොකාට වැඩිය උස මහත අයනෙ. Full කිට් එකම හොයාගත්තේ නැතුවට කමක් නැහැ නේද
සෑම්. දැන් two tone අඳිනවනෙ.” දීපාල් කියාගෙන ගියා.
“මොකක්ද මල්ලා
ටූ ටෝන් කියන්නේ...”
“ඉස්සර අය ඇන්දෙ එකම පාට; එකම ජාතියේ රෙද්දකින් මහපු කලිසමයි, කෝට් එකයිනේ. දැන්
එහෙම නෑ... ඒ දෙක පාට දෙකකිනුත් අඳිනවා ලොකා. ඒකට තමයි ටූ ටෝන් කියන්නේ.”
ඒ ඇඳුම්
හෙවිල්ලේදී දීපාල් මල්ලාට උදව් වුණේ චානිය.
‘නිදිගෙ පංච තන්තරේ’ මුල සිටම කියවාගෙන ආ කෙනෙකුට චානිව අමතක වෙන්නට විදිහක් නැත.
ඒ හාදයාය ‘මරිසි මංගල්ලේ’ posts දෙකේ කතා නායකයා වුණේ.
බොල්ගොඩ නදීතෙර හෝටලයක-
නන්නාඳුනන ආරාධිතයන් හැට-හැත්තෑවක් සහභාගී වුණු ‘මරිසි මංගල්ලය’ පැවැත්වුණේ
චානිගේ වියදමෙනි.
එදා තමන්ගේ පෙම්වතිය තම කලණ මිතුරෙකු හා අතිනත් ගෙන මංගල පෝරු මස්තකාරූඪ
වෙන හැටි පැත්තකට වී ඇසිපිය නොහෙළා බලාගෙන උන්නේ, මේ චානි නම්වූ යෞවන තෙමේමය.
“ලොකූ,
චානිගේ යාළුවෙක් ඉන්නවලු ලැන්ග්ලි කියලා. මිනිහ උස වුණාට මහත නැතිලු. එයාගෙ සූට් එකම
නැතත් කෝට් එකක් ඔයාට හරි යයිලු. චානිත් එක්ක අපි යමු ලැන්ග්ලිව හම්බ වෙන්න.” ඊට
පසුවදාම මල්ලා කිව්වේය. අපි එහි ගියෙමු.
සාදරයෙන් අපව පිළිගත් ලැන්ග්ලි ඔහුගේ ඇඳුම් අල්මාරියම විවෘතකොට දුන්නේය. “ලොකු
අයියට ඕනි එකක් තෝරාගන්න.”
“Thanks
මචං!” මල්ලා මටත් එක්කම ලැන්ග්ලිට ස්තුති කළේය.
“It’s a pleasure ඩී. ලොකු අයියා ගැන ඩී අපිට ගොඩක් දේවල් කියල තියෙනවා. ඔයා
දෙමටගොඩ රේල්වේ කැන්ටින් එකත්
කළාලු නේද? අපි කොටිකාවත්තේ... අයියාට ඕනි එකක් තෝරාගන්න. ඊට පස්සේ ඒකට match වෙන ෂර්ට්ස්
දෙක තුනකුයි ටයියි තෝරමු... ටයි එපා නං බෝ එකක් හරි...”
“ගොඩාක්
ස්තුතියි ලැන්ග්ලි. මං කොහොමත් ටයි කෝට් අඳින කෙනෙක් නෙවෙයි. ඔයාලටම තමයි මට හරි
යන ඒවා තෝරලා දෙන්න වෙන්නේ.” ඇත්තම කිව්වම ඉවරයිනේ. එතකොට ලේසියි.
“එහෙනං චානි, උඹයි දීපාලුයි ටිකක් බලනවද? මම බොන්න මොකුත් ගේන්නං. Tea or cool?”
එදා ලැන්ග්ලි
පෙන්වූ අව්‍යාජ සුහදත්වය මට තවමත් මතකය.
අප පිටත්වී ආවේ කෝට්- කමිස පමණක් නොව ටයි පටි දෙක තුනක් හා රතු පැහැ බෝ එකක්ද
රැගෙනය. සමන්තිගේ විවාහය ලියාපදිංචි කරන දවසේත්, මංගල සාදය පැවති දිනයේත් මා සැරසුණේ
ලැන්ග්ලිගෙන් අරං ආ ඇඳුම්වලිනි. (ස්තුතියි චානි, ලැන්ග්ලි- ඔබ දෙදෙනාටම.)
මමත් ළඟදීම England යන්නයි ඉන්නේ. එහෙ කාත් එක්කවත් මට
contacts නෑ. බැයිද… |
“ඇයි රංජි, සමන්ති කිව්වා නේද ප්ලේන් ටිකට්ස් එහෙම ඔක්කොම එයාගෙ ගණනෙයි කියලා. ඔයා
මොකටද...”
“සමාට දෙන්න නෙවෙයි අම්මේ. දුන්නත් සමන්ති ගන්න එකක්යැ. ඒත් මාස හයක් නිකංම ඉඳිතැකිද...
පුළුවන්කම තියෙද්දී වැඩක් කරගත්තම හොඳයිනේ.”
“රංජි, ම..ම
ඔයාට කියන්නම..යි හි..ටි..යෙ. ඔයාගේ යා..ළු..වා යසිරු මතකද?” එතකොට අම්මා කිව්වා.
ඒ ටිකක් පැකිළෙමින්.
යසිරුව මට
හම්බ වුණේ අමද්‍යප වැඩ කටයුතුවලදී. යසිරුත් NGO ආයතනයකට සම්බන්ධ වෙලා හිටියෙ. අපේ
අම්මලා එංගලන්තේ ඉන්න බව දැනගත්ත යසිරු ඒ ගැන විස්තර ඇහුවා.
“මමත් ළඟදීම England යන්නයි ඉන්නේ. එහෙ කාත් එක්කවත් මට contacts නෑ. බැයිද නිමල්ල
අම්මලගෙන් මට උදව්වක් ඉල්ල ගන්න.”
මං අම්මට ඒ ගැන කිව්වා. යසිරු එංගලන්තයට ගියාම
අපේ අම්මා හැකි උපරිමයෙන්ම එයාට උදව් කරලා තිබ්බා. (දැන් යසිරුත්- එයාගේ බිරිය හා
දරුවනුත් එහෙයි ඉන්නේ.)
1992 විතර වතාවක් ලංකාවට ආපුවාම අපේ අම්මා මට
දොස් කිව්වා. “ඔයා හින්දයි රංජි, මං යසිරු පුතාලට උදව් කළේ. ඒත්...” කියලා පටන්ගෙන
අම්මා යසිරුලා ගැන ගොඩක් වගපල කිව්වා. “මෙලහකටත් මම යසිරු පුතාල එක්ක ආස්සරේ
නවත්තල ඔයාගේ යාළුවෙක් නොවුණා නං..”
“මගේ යාළුකම ගැන අම්මා පොඩ්ඩක්වත් හිතන්න එපා. එයාලව ආස්සරේ නොකර ඉන්න...” මං
කිව්වේ කේන්තියෙන්.
ඊට දවසකට දෙකකට විතර පස්සේ යසිරුගේ මාමණ්ඩිල
අපේ ගෙදර ආවා; යසිරුලට ගෙනිහින් දෙන්න දේවල් වගයකුත් අරගෙන. අපේ අම්මටත් තෑගි වගයක්
අරගෙන. මෙන්න බොලේ, අපේ අම්මා කටපුරා හිනාවීගෙන අර මිනිස්සුන්ට පණ දෙන්න කතා
කරනවා. යසිරුලගේ ගුණ වර්ණණා කරනවා.
”ඇයි අම්මේ, දවස් දෙක-තුනකට කලින් අම්මම නේද යසිරුල ගැන නෝක්කාඩු කිව්වේ?”
අමුත්තන් ඉස්සරහම මං ඇහුවා.
“ඔයාට පිස්සු! ඒ කිව්වේ වෙනින් යසිරුල වගයක්
ගැන...” අම්මා බොහොම සැහැල්ලුවෙන් උත්තර දුන්නේ.
ඊට පස්සෙත් යසිරුලාගේ හිතවත්කම අඩු වුණේ නෑ.
“ගණන් ගන්න එපා නිමල්. ආන්ටි ලීලා පෙළක් වෙලාවට ඔහොම තමයි. අපි ඒක දැනගෙන ආස්සරේ
කළාම හරිනේ. මොනවා වුණත් එයා මුලදීම මට ගොඩක් උදව් කළානේ.” යසිරු මටත් කිව්වා.
ඒ සිද්දිය මතක තිබුණු හින්දා තමයි අම්මා යසිරු ගැන කතා කරන්න පැකිළෙන්න ඇත්තේ.
“යසිරු පුතාලත් දන්නවා ඔයා මෙහෙට එන බව. මමමයි
කිව්වේ... එයා xxxxx කෙනෙක් නිසා දැන්
ගොඩක් තැන්වලට සම්බන්ධයි. ඉතිං... එයාට පුළුවන් වෙයි ඔයාට වැඩ කරන්න තැනක් අල්ලලා
දෙන්න. ඒක වැඩිය හොඳයිනේ රංජි... ගිය සැරේ වගේ තැනින් තැන වැඩ හොය-හොයා ඉන්නැතුව
ඔයාට එක දිගටම වැඩ කරන්න තැනක්...”
“හ්ම්! එහෙම තැනක් හම්බ වුණොත් නං හොඳයි
නේන්නං...”
“ඔයා දැන්මම යසිරු පුතාට call එකක් දෙන්න. අපරාදේ
කියන්න බෑ- ඕනිම වෙලාවක මොනවා හරි කරලා දෙන්න කිව්වොත් ටක් ගාලා එනවා. ඒ පුතාට
එන්න විදිහක් නැත්තං xxxx දුවව හරි එවනවා... මොනවා හරි කෑමක් හැදුවත් අපටත් පංගුව
ගේනවා. හරි ගුණේ ඇති දරුවෝ.”
‘හතර දෙනෙක් හොඳයි කිව්වොත් හතර වරම් දෙවි හාමුදුරුවරුත්
හොඳයි කියනවා.’ මහරගම ආච්චී අපට කියා දුන්නාය. ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ,
වෛශ්‍රවණ දෙවිවරුන් අප කරන-කියන දේවල් දිහා ඇහැ ගහගෙන බලා හිඳින විත්තියත් ආච්චී
විශ්වාස කළාය. එනිසාම හැකි හැම විටෙකම අනුනට උදව් කරන්නැයිද, හොඳ දේවල්ම කරන්නැයිද
අපට කීවාය.
කල් ගතවෙද්දී මට ඒත්තු ගියේ මා කරන හැම යහපතක් වෙනුවෙන්ම, (එම වෙලාවේදීම නැතත්-
කල් ගතවී හෝ) මටත් යහපතක් සිදු වෙන බවයි!
‘ෆ්ලෙමින් නම් දුප්පත් ස්කොට්ලන්ත ගොවියෙක් තම ගොවිපලේ වැඩ කරමින් සිටියදී, හදිස්සියේ ඇසුණු කෑ ගැසීමක් නිසාවෙන් ඒ දෙසට දිව යයි. ඔහු දකින්නේ තම දරුවාගේම වයසේ කුඩා දරුවෙක් අසල වූ මඩ වගුරෙහි ගිලී යමින් සිටින බිහිසුණු දර්ශනයි.
ඔහු තම දිවි දෙවනිකොට දරුවා බේරා ගැනීමට ඉදිරිපත් වෙයි...
ඉන්පසු දවසේ, විසිතුරු කරත්තයක් ස්කොට්ලන්ත ජාතිකයාගේ නිවස වෙතට ඇදී යයි. අලංකාර ඇඳුමින් සැරසුණු වංශාධිපතියෙක් ඉන් පිටතට පැමිණ, ගොවියා වෙත තමන් පිරිමි ළමයාගේ පියා ලෙස හඳුන්වා දෙයි.
“ඔබ මගේ පුතාගේ ජීවිතය බේරුවා, ඒ වෙනුවෙන් මට ඔබට මුදල් ලබා දිය යුතුයි.” වංශාධිපතියා පැවසීය.
"නැහැ..., මා කළ උපකාරය සඳහා මුදල් භාරගත නොහැකිය, එය ඕනෑම මනුෂ්‍යයෙක් ඒ මොහොතේ කරන දෙයක්...” ස්කොට්ලන්ත ගොවියා පිළිතුරු දෙමින් පැවසීය.
ඒ මොහොතේ ගොවියාගේ පුතා නිවසේ දොර ළඟට පැමිණියේය.
“ඒ ඔබේ පුතාද..?” වංශාධිපතියා ඇසීය.
“ඔව්...” ගොවියා පිළිතුරු දුන්නේය.
“ඔබ මගේ මුදල් ත්‍යාග භාර නොගන්නේ නම්, මම කැමතියි මගේ පුත්‍රයාගේ දිවි ගලවා ඔබ කළ උපකාරයට, ඔබගේ පුත්‍රයාව ලන්ඩන් නගරයට රැගෙන ගොස් උසස් අධ්‍යාපනය ලබාදෙන්න...”
දුප්පත් ගොවියා එයට එකඟ විය...
කාලයාගේ ඇවෑමෙන් ගොවියාගේ පුත්‍රයා ලන්ඩනයේ ශාන්ත මරියා රෝහල් වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා ගනී.
ඉන් නොනවතින ඔහු ලෝක ඉතිහාසයේ සුවිශිෂ්ට සොයාගැනීමක් වූ 'පෙනිසිලින්' නම් පළමු ප්‍රතිජීවකය නිපදවමින්,
"ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්" ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්වෙයි.
අප, අන් අය වෙනුවෙන් කළ දේවල්, අප මියගියද සදාකාලිකව පවතී... |
වංශාධිපතියාගේ නම රැන්ඩොල්ෆ් චර්චිල්ය. ඔහු නොදත් බොහෝ දෙනෙක් ඔහුගේ පුතාගේ නම දනී. ඒ මහා බ්‍රිතාන්‍යයේ කීර්තිමත්ම අග්‍රාමාත්‍යවරයා වූ, "ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්"ය.
ඒ අහිංසක දුප්පත් ගොවියා තම දිවි දෙවැනිකොට කළ උපකාරය නොවන්නට, පසු කලෙක දෙවනි ලෝක මහා සංග්‍රාමයේදී බ්‍රිතාන්‍ය ප්‍රමුඛ හමුදා ජයග්‍රහණය කරා මෙහෙය වූ වින්ස්ටන් චර්චිල් බිහිසුණු වගුරේ ගිලී යන්නට තිබුණි...
එසේ වූවා නම් ලෝක ඉතිහාසය වෙනස්ම අයුරකින් ලියවෙන්නට ඉඩ තිබුණි.
එසේම සාමිවරයාගේ ප්‍රතිඋපකාරය නොවන්නට, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් තම දුප්පත් පියාගේ පිය උරුමයෙන් ලද ගොවිතැන රැකියාව කොට ගොවියෙක් ලෙසම මිය යන්නට ඉඩ තිබුණි.
එය එසේ වූවා නම් අදටත් මරණාසන්න කෝටි ප්‍රකෝටි ගණනක් ජීවිත රැකගන්නා ප්‍රතිජීවකයක් බිහි නොවන්නට ඉඩ තිබුණි.
පළමු වර මරණයෙන් ගැලවුණු වින්ස්ටන් චර්චිල් දෙවන වර මරණය හමුවේ පරාජය වන්නටත් ඉඩ තිබුණි...
එක්තරා මිනිසෙකුගේ මනුෂ්‍යත්වය, ලෝකයක ඉරණම වෙනස් කරන්නට හේතු විය.
එනිසාවෙන් මනුෂ්‍යත්වය දිගු කළ හැකි සෑම මොහොතකම නොපැකිලව ඉදිරිපත් වන්න. එහි ප්‍රතිඵලය කවදා හෝ පෙරළා ඔබට ලැබෙනු නිසැකය...
අප, අප වෙනුවෙන් කළ දේවල් අපත් සමඟ මියයයි.
අප, අන් අය වෙනුවෙන් කළ දේවල්, අප මියගියද සදාකාලිකව පවතී...’
පෙනිසිලින් සොයා ගැනීම පිළිබඳ ඒ විස්තරය මට හමු වුණේ ‘විස්මිත විශ්මය’ fb
සමූහයෙනි. ඒ කතාවේ එක කුඩා සිදුවීමක් පසුව ඇතිවන සිද්ධි දාමයකට හේතු වෙයි. යසිරුට
අපේ අම්මලාව හඳුන්වා දීමෙන් මා කළෙත් පුංචි උදව්වකි. දැන් මට ඔහුගෙන් විශාල
උදව්වක් ඉල්ලීමට සිදුව තිබේ.
“යසිරු, මම නිමල්... නිමල් දිසානායක...”
“අඳුනගත්තා, අඳුනගත්තා... ආන්ටි ලීලා අපිට
කිව්වා නිමල්, ඔයා එංගලන්තෙට එන බව- සමන්ති නංගිගේ වෙඩින් එකට... ඉතිං, ඉතිං...
කොහොමද ලංකාවේ අමද්‍යප වැඩ එහෙම... මෙහෙම ටෙලිෆෝන් එකෙන් ඔව්වා සේරම කතා කරන්න බෑ,
නේද?
මම කියන්නද වැඩක්. ඔයා දීපාල් මල්ලිත් එක්ක ඩිනර් එකට අපේ ගෙදර එන්න. අදම... අදම...
එතකොට job එකක් ගැනත් කතා කරගනිමු. ඔයාලගේ family එකටම invite කරනවා පස්සේ දවසක.
සැසිල් අංකලුයි, ආන්ටි ලීලයි දෙන්නත් ආවොත් අපිට නිදහසේ කතා කරන්න හම්බ වෙන එකක්
නැහැනෙ. ඒකයි. කෝ, දීපාල් මල්ලියා ළඟ
ඉන්නවද? මමම එයාට ඉන්වයිට් කරන්නං...”
ඉතිරි හරිය කියන්නේ ඊළඟ කොටසෙන්...à
උදා වන්නා වූ 2025 සකල ලෝකවාසීනටම
සතුට, සොම්නස සපිරි - නිදුක්, නිරෝගී
වාසනාවන්ත වසරක් වේවා!
මුලින්ම උදාවෙන නව වසර සුභ දායක එකක්ම වේවා නිදි සහ පවුලේ සැමට . දෙවෙනියට xxxx කියල නමක් ගැන ඇහුවමයි . තුන්වෙනියට - මම දන්නා විධිහට ඔය පෙනිසිලින් කතාව බොරුවක් .
ReplyDeleteඅජිත් මේ ෆ්ලෙමින් කතාව ගැන කිව්ව එක හොඳයි. දැන් මාධ්‍යය වල අලුත් හොරු තොගයක් බෝ වෙලා. විශේෂයෙන්ම AI ටූල්ස් පාවිච්චි කරලා රටේ නැති බොරු ගොතලා කියන්න. ඉස්සරත් හොරු හිටියා, ඒත් මේ හැතිකරේ ඉතිහාසය , ඇත්ත-නැත්ත ඔක්කොම විකෘති කරනවා, හිට්ස් වලට.
Deleteඇත්ත කතාව බකුස්, අපේ සිවිල් සර්විස් විභාගෙට ටියුෂන් කරපු සාමාන්‍ය දැනීම විෂය ගුරුවරයත් ඔය වගේ බොරු ලෙජන්ඩ් එකක් දවසක් කිව්වා, "ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් ගෙ වයිෆ් ගෙ නම මාග්‍රට් හලෝ ලු. එයා සිහිපත් වෙන්නලු ටෙලිෆෝන් එකෙන් කතා කරද්දි හලෝ කියන්නෙ" කියලා. එතකොට ටෙලිෆෝන් එක හදන්න කලින් යූරෝපීයයො හෙලෝ, ඔ්ලා, ආදී ග්‍ර්‍රීටිංස් භාවිත කළේ නැද්ද? කියල මං ඇහුවම, එයා මට කිව්වා, "උඹට පුතේ ඒ දණ්ඩෙ යන්ඩ අමාරු වෙයි" කියලා.
Deleteඅඩෙ මාත් මෙ කමෙන්ට් එහෙකින් අහන්න හිටියෙ... ඔය කතාව ගැන.
Deleteසමහරවිට ඕක කතා දෙක තුනක එකතුවක් වෙන්ට පුලුවනි!
ඒ කතා දෙකම හදපු කතානේ . ඕව ඔය මෝටිවෙට් ගුරාල හදපුව . අන්තිමට ඒවා ඇත්ත කියල ෆ්ලැට් අර්තර්ස් ල විශ්වාස කරනවා .
Deleteචර්චිල්ගෙ කතාවෙ සත්‍යඅසත්‍යයතාව කෙසේ වෙතත් post එකට එය යොදාගැනුමේ පරමාර්ථය නිරපරාදයක් වෙන්නෙ නෑ කියලයි හිතෙන්නෙ. මොකද ඔහොම සිදුවීම් වෙලා තියෙනව ඕන තරම්.
Delete"පාසලේ හිටි දුප්පත් දරුවෙක්ට ගුරුවරයෙක් කරුණාවෙන් උදව් කරනව. කෑම එක පවා සමහර වෙලාවට ගෙනත් දෙනව. කාලයක් ගිහින් ගුරුවරයා මහලුව අසරණ වෙලා ඉස්පිරිතාලෙට යනව. ඉතා හොඳින් එහිදී සැලකුම් ලබනව. හේතුව අර ළමය තමයි වාට්ටුවේ දොස්තරව ඉඳල තියෙන්නෙ."
ඒ නිසා අදහස නිවැරදියි. 'ඒ වෙලාවේදීම නැතත් කල් ගිහින් හෝ එහි ප්‍රතිඵල ලබන්න ඇහැකියි!'
අජිත්, බස්සා, ඩ්‍රැකී, නමී මහත්වරුන් හතර දෙනාටම ගොඩාක් ස්තුතියි.
Deleteඅජිත්, යසිරු නමත් බොරු එකක්. xxxxx නමත් එහෙමයි. එයාලා තවමත් එංගලන්තයේ ඉන්නේ. හැබෑ නම් නොලියුවේ ඇයි කියල ඊළඟ කොටස කියවනකොට තේරෙයි.
https://winstonchurchill.org/resources/myths/sir-alexander-fleming-twice-saved-churchills-life/
ReplyDeleteආන්න. ඉස්කෝතුයි!
Deleteඔබට නිරෝගී සුව පිරි සුබ වසරක්ම වේවා!
ReplyDeleteThis comment has been removed by the author.
Deleteස්තුතියි වෘතාන්ත! ඔබටත් සුබ නව වසරකට සුපැතුම්!
Deleteසුබ නව වසරක් !
ReplyDeleteස්තුතියි Pra Jay මහත්තයෝ. ඔබටත් සුබ නව වසරකට සුපැතුම්!
Deleteනිදිට නිරෝගී සුභ වසරක්ම වේවා!
ReplyDeleteස්තුතියි බකුසුතුමෝ. ඔබටත් සුබ නව වසරකට සුපැතුම්!
Deleteඅද කතාවෙ , ලන්ඩන් කොටස දිගයි. සැසිල් මහත්තයා ඇනේ වගේ වුනාට, කියපු කතාව ඇත්ත. "“It is not nice Leelaa..."
ReplyDeleteDaddy හොඳම මීටරයක්නේ බස්සා මහත්තයෝ. ලන්ඩන් කොටස දිගයිද? (සභාවේ සිනා)
Deleteලන්ඩන් කොටස දිගයි කිව්වෙ මෙහෙම හොඳයි කියන එකටයි. ඒත් ඉතිං මේක "නිමොල්ගෙ" ගුහාව නෙව ලීයියි...ලා.ඒ නිසා ආසම නං ඔහේ එක වංගුවක් ගහ ගන්න එකයි ඇත්තෙ, හැක්!. 😋🤣
Deleteජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි නෙව බකුසුතුමෝ.
Deleteඅර කිව්ව වගේ, ප්‍රේමය ගැන සංකල්පය සහ සැබෑව ගැන ගැටුම මගෙත් හිතේ සෑහෙන කාලයක් වදයක් වෙන තරම් ම තදින් තිබුණා. මගෙ විතර යැ, මාර්ටින් වික්‍රමසිංහගෙත් ඒ ගැන පළහිලව්වක් තිබුණු බව, ගම්පෙරලියෙ තිස්ස සහ බලදාස ගැන සඳහන් වෙන තැන් කීපයක සඳහන් වෙන කාරණාවලින් පේනවා. තිස්ස බලදාස එක්ක ගමේ ගෙදරකට ගියා ම, එතන ඉන්න ගෑල්ළමයෙක් බලදාස එක්ක මුකුළු කරද්දි, තිස්සට හිතෙනව, ඒ ළමයා බලදාස එක්ක සත්‍ය සහ නිර්මල ප්‍රේම සබඳතාවක් පවත්වනවා කියල. නමුත් පස්සෙ වෙලාවක එයා තිස්ස එක්කත් යම්කිසි සිදුවීම්වලට පෙළඹෙනකොට, තිස්ස පත්වෙන්නෙ උභතෝකෝටිකයකට.
ReplyDeleteප්‍රේමය ලොව හැම තැනම ඇති
Deleteහැම දෙනටම හමු වෙලා ඇති
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැති
https://www.youtube.com/watch?v=KUc35L3FyOI
මේ කමේන්ට් එක පහුගිය කොටසට අදාළයි. ඒක කියෙව්වෙ ඊයෙ. කමෙන්ට් කරන්න අද එනකොට, මේ කොටස පළ කරලා. ඉතිං මෙතන දානව.
ReplyDeleteඅර ගෑණු ජාතිය ගැන නිදිගෙ ආච්චි තුළ තියෙන සංකල්පය ගොඩක් ම කාන්තාවො අතරෙ (මං කියන්නෙ ලංකාවෙ උදවිය ගැන) තියෙනවා. වැඩේ තියෙන්නෙ, ගෑණූ ළමයිගෙ ආකල්ප සහ චරිතය හැඩගස්වන්නෙ වැඩිහිටි කාන්තාවො වුණා ම, ඔය සාම්ප්‍රදායික ආකල්පය පරම්පරානුගතව පැවතගෙන එනව. පරිණාමය වෙන්නෙ බොහොම හෙමින්.
ඇත්තයි ඩ්‍රැකී, ගැහැනු අයගේ තර්කන ශක්තිය අඩුයිද මන්දා.
DeleteI don't believe in taking right decisions. I take decisions and then make them right. Ratan Tata.
ReplyDeleteමේ වැකියත් රත්න ටාට කිව්ව කියල සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධයි. ඒත් ඔහුම කිව්ව මම එහෙම එකක් කියල නෑ කියල එක වැඩසටහනකදී.
මට ඕවත් එක්ක මතක් උනෙ කාලෙකට කලියෙන් JVP/ වසන්ත සමරසිංහ... ගෙනා file හා කිව්ව සමහර කතා. ඒ ගැන කතාවක් යන තැනදී දැන ගත්තෙ සමහර චෝදනා සම්පූර්ණමත් ඇත්ත නෙමේ. ඒ වගේම සම්පූර්ණ බොරුමනත් නෙමේ.
ඒවාද මන්ද මේ කැරකිලා ආණ්ඩුවට දැන් මුහුණ දෙන්න සිද්ධ වෙන සමහර අපහසුතා.
නමී, සමහරුන්ගේ මොළේ තියෙන්නෙ දිවේ කියලා කතාවටත් කියනවනෙ.
Deleteකියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් යුතුව අසා සිටිය යුතුයි කියන කාරණයත් අපෙන් කෙරෙන්නේ බොහොම අඩුවෙන් නේද?
2025 සුවය සැපත පිරි ප්රීතිමත් වසරක් වේවා
ReplyDeleteස්තුතියි චමින්ද මහත්තයෝ. ඔබටත් සුබ නව වසරකට සුපැතුම්!
Deleteනිදි ලොක්කටත්, මානෙල්, සුනිල් ඇතුලු සහෝදර/ගජමිතුරු පිරිසටත් සුබ නව වසරක්මැ!
ReplyDeleteස්තුතියි නමී. ඔබටත් සුබ නව වසරකට සුපැතුම්!
Delete