අකුරු මැකී නෑ

Monday, September 15, 2025

හතලිහේදී... විසිදෙවෙනි කොටස

එතැනදී අපේ අම්මා අන්තිම අසාධාරණය. එයා බදු ගෙවීමට කැමති නැත. ඒත් අනුන් ගෙවන බදුවලින් කෙරෙන රජයේ සුබසාධන සහනයන් වැඩි වෙනවාට කැමැතිය.

තවමත් ශ්‍රී ලංකාවේ ගොඩක් දෙනා හිතන්නේ අපේ අම්මා හිතූ විදිහටමය.

ඌව වෙල්ලස්ස බින්තැන්නේ නූගත් ගොවි දෙමාපියන්ගේ දියණියක ලෙස ඉපිද- උපායශීලී දැරියක ලෙස හැදුණු වැඩුණු- අටවත් සමත් නැති නූගත් එකියක වුණු රහුබැද්දේ විදානේලගේ ලීලාවතී එහෙව් පටු චින්තනයකින් යුක්ත වීම පුදුමයක් නොවෙතත්...

හෙළිවී ඇති තොරතුරුවලින් කියැවෙන විදිහට ‘සොච්චම් රුපියල් ලක්ෂ 4,000ක් වටිනා’ එම නිවසේ අයිතිය ප්‍රභාත් රවීන්ද්‍ර නානායක්කාර මහතාගෙනි, ඔවුන් ලබාගෙන ඇත්තේ.

උගත්- ව්‍යාපාරික ඥානයෙන් සමන්විත- සාර්ථක ව්‍යවසායකයනුත් (කට්ට වෙට්ට පිත්තල දේශපාලුවන් වාගේ) එහෙම මෝඩ කල්පනාවල ගැලී සිටීම... මොන තරම් අවාසනාවන්ත අභාග්‍යයක්ද?

බදු නොගෙවා හිටින්නට- එහෙමත් නැත්තං හැකිතාක් අඩුවෙන් බදු ගෙවන්නට එවන් උදවිය කියන බොරු නානාප්‍රකාරය!
සම්බුද්ධ සද්ධර්මය වසර පන්දහසක් කල් නොනැසී ආරක්ෂා වෙතැයි කියන මේ ශ්‍රී ලංකා ධර්ම  ද්වීපයේත් එවන් බොරුකාරයන් බහුල නම් වෙනින් රටවල් ගැන කවර කතාද?

ආසියාවේ මුල්ම පෙළේ ධන කුවේරයන් අතරටත් ගැනෙන හිටපු රාජ්‍ය නායකයෙකු පවා එවන් අසද්ද බොරුකාරයෙකු වීම රටටත් අගෞරවයකි. සිය නිල නිවාසයෙන් නික්මෙන්නට සිදු වුණු විට එතුමා කියා තිබුණේ ‘ඔවුනට රැඳී සිටින්නට තරම් නිවහනක් කොළඹ නොමැති බව’කි. (එක අතකට එය සකලාංග සම්පූර්ණ බොරුවකුත් නොවේ.) ඔවුනට නිවෙසක් තිබෙතත් ඒ මැඳුරේ හිමිකාරිය ලෙස දැක්වෙන්නේ ශිරන්ති රාජපක්ෂ හෙවත් මේරි ලූඩ්ස් වික්‍රමසිංහය.

හෙළිවී ඇති තොරතුරුවලින් කියැවෙන විදිහට ‘සොච්චම් රුපියල් ලක්ෂ 4,000ක් වටිනා’ එම නිවසේ අයිතිය ප්‍රභාත් රවීන්ද්‍ර නානායක්කාර මහතාගෙනි, ඔවුන් ලබාගෙන ඇත්තේ.
(මට නම් ඒ කතන්දරයද ‘හෙණ අන්දොස් තැන්’ වකාරෙට ඇති එකකි.)
කොළඹ
5, ටොරින්ටන් මාවතේ, අංක 260/12 දරන ස්ථානයේ පිහිටි ඒ මන්දිරය ලබා ගන්නට මඟ පාදමින් රාජපක්ෂලාට උදව් කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාය.

මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත මහතා ඒ ගැන තවත් විස්තර ලියා තිබෙන්නේ මෙලෙසිනි.

‘... මෙම නිවස, සිරිලිය ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 350 ක් වැය කර මිලදී ගෙන ඇති බවට, ඉඩමට අදාල ලේඛනවල සඳහන්ව ඇතත්, සත පනහක මුදලක් නිවස හිමි ප්‍රභාත් රවින්ද්‍ර නානායක්කාරට ලබාදී නැත.

එපමණක් නොව,මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ, C.S.N. නෙට්වර්ක් යනුවෙන් මාධ්‍ය ජාලයක්, කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස් ප්‍රයිවට් ලිමිටඩ් හරහා ආරම්භ කළ අතර, එය ලියාපදිංචි කර ඇත්තේ ද මෙම නිවසේ ලිපිනය යොදා ගෙන 2011.05.04 වැනිදාය.

මෙම ආයතනවලට සම්බන්ධව ප්‍රධානීන් ලෙස කටයුතු කළ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ‍ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව සිටි සචින් වාස් ගුණවර්ධන හා අර්ජුන රණතුංගගේ සහෝදරයා වන නිශාන්ත රණතුංග, කාල්ටන් ස්පෝර්ට්ස් ආයතනයට, ඔරික්ස් ලීසින් පිනෑන්ස් සමාගමෙන් රුපියල් කෝටි 5ක ණය මුදලක් ලබාගෙන ඇත්තේද, මෙම නිවසේ ලිපිනය යොදාගෙනය...’

ගෙදර කාට කාටත් නොවැරදීම අලුත් ඇඳුම් හම්බ වුණේ අලුත් අවුරුද්දටය!

මේ විස්තර මෙහෙම නැවත ලියා තියන්නට හිතෙන්නේ නිකංම නිකං නොවේ. අපේ තාත්තා අපට ඉගැන්නූ පාඩම් තවමත් මතකයේ තිබෙන නිසාය. ‘ඇත්ත කියන්නයි, බිම ඉඳ ගන්නයි බය වෙන්න එපා’, ‘අම්මව දෙනවයි කිව්ව නං තාත්තාව ගස් බැඳලා හරි දීපල්ලා’ වගේ සෘජු පාඩම් අපට ඉගැන්නුවේ අපේ තාත්තාය.

ඒ ගැන සිතා බලද්දී- මේ ගොඩක් පුතාලාට ඉඳලා තිබෙන්නේ කොහොම තාත්තලාදැයි තේරුම් ගන්නටය, නිදි තවමත් උත්සාහ ගන්නේ.

තාත්තා අපට පුරුදු පුහුණු කරවූ ‘දෘඩ වීමේ ගුණය’ Samටත් අඩු නැතිවම තියෙයි. ඒ නිසාමය සමන්තිත් බිමලුත් ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වයකට එනතුරු ඔවුන්ගේ විවාහය පමා කළේ. එයාලගේ පෙම් සබඳතාව පටන් ගත් මුල් කාලයේම ඔවුන් ඒ තීරණයට එළඹුණු හැටි ‘හතලිහේදී... හත්වෙනි කොටසෙ’දී ලියැවිණි.

“අනේ ලොකූ, මෙච්චර කල් බලාගෙන ඉඳලා ගන්න වෙඩින් එකේ සේරම වැඩ ටික හොඳටම කෙරෙන්නයි අපි දෙන්නට ඕනි. ඩෘතියි, අර්ජුන් කුමාරුයි, බිමල්ගේ පැත්තේ යාළුවොයි, නෑදෑයනුයි එක එක වැඩ කොටස් බාරගෙන තියෙන්නේ... දීපාලුයි දීපානියි දෙන්නත් එහෙමමයි. අපේ අම්මයි, ඩැඩායි දෙන්නට මං කිව්වා අම්මලාගේ freindsලව පිළිගන්න.
ඒත් ලොකූ ඔයා තමයි ඒ දෙන්නව control කරන්න ඕනි... Dadda නං ඔහේ සද්ද නැතිව බලාගෙන ඉඳියි. අම්මා තමයි ඩැඩාවත් ඇවිස්සුවොත්... අම්මට හැම තිස්සෙම ඕනි centre of the attraction වෙන්නනේ.”

සමන්ති එහෙම දේවල් ගැනත් සිතා තිබ්බේ කල් ඇතිවය.

පසුගිය කොටසේදී කියූ ලෙස- මඟුල් උළෙලට අඳින ඇඳුම් ගැන නං අම්මා හිතුවේ අන්තිම දවස් කිහිපයේය.
මං වහන්සේ දැක තිබෙන විදිහට ඒ කාරණයේදී නං ගොඩාරියක් අංගනාවනුත් අපේ අම්මාත් අතර වෙනසක් නැත. මහන්නට සමතියක් වුණු නිසාදෝ අම්මා හැට්ටයේ වැඩ පටන් ගත්තේ දෙදවසක් තියලය. ඒ සඳහා අත් උදව් දෙන්නට සිද්ද වුණේ විවේකයෙන් හිටි මටය.

“හොඳ වෙලාවට ඔයාට නිවාඩු තිබ්බේ. අනේ රංජි... මේ හැට්ටේ කරයි, වාටියි ඔයා මහල දෙන්න ඕනි. ඒවා මැෂිමේ නෙවෙයිනෙ මහන්නේ.”

හැමදාමත් එහෙමය. අලුත් අවුරුද්දට විතරක් අලුතින් ඇඳුම් මහගන්නට තරම් පොහොසත්කම් අපට තිබුණු දුප්පත් යුගයේදීත්...
අද මතක් වෙනකොටත් පුදුමය! පේව්මන්ට් එකේ රජ වුණු ඒ යුගයේදී- එදා වේල ටුවර්ස් යුගයේදී අපේ ගෙදර කාටත් නොවැරදීම අලුත් ඇඳුම් හම්බ වුණේ අලුත් අවුරුද්දටය.

නවසිය හැත්තෑ ගණන්වලදී එවැනි චීත්ත රෙද්දකින් මැසූ කමිසයක් තවමත් මා හා හිනැහෙයි!

ඒ සේරම මැහුවේ අපේ අම්මාය. කොල්ලන්ගේ කමිස මැහුවේත්, කෙල්ලන්ගේ ගවුම් මැහුවේත් චීත්ත රෙදිවලිනි. (වෙනස් වුණේ රෙද්දේ මෝස්‌තර විතරය. එතකොට සමූපයේ චීත්ත රෙදි යාරයක් රුපියල් දෙකයි සත දොළහක් නැත්තං දෙකයි පනස් හයක් මිල විණි.)

නවසිය හැත්තෑ ගණන්වලදී එවැනි චීත්ත රෙද්දකින් මැසූ කමිසයක් තවමත් මා හා හිනැහෙයි!

ගෙදර කට්ටියට ඒ ඇඳුම් සඳහා රෙදි ගැනීමට වුණත් වියදම් කරන්නට තරම් සල්ලියක් අපට නොතිබිණි. ඒ දවස්වල වෙනදාට වඩා වැඩි වාර ගණනාවක් පේව්මන්ට් එකේ රජ වෙන්නට මේ ලියන්නාට සිද්ද වුණේය; වෙනදාට වඩා අඩුවෙන් මස් මාළු කරවල එළවලු පිසින්නට උදව් වෙලා සෑහීමට පත් වෙන්නට අපේ කුස්සියේ ළිපටත් සිද්ද වුණේය.

ඉතිං, කලාතුරකින් එහෙම ඇඳුම් මහද්දීත් අතේ මැසිය යුතු කොටස් සේරම වාගේ අම්මා පැවරුවේ මටය. අපේ අම්මා එහෙමය.

උකුණන් ලවා ගල් අද්දවන්නට උපන් හපන්කම් තිබුණු අපේ අම්මා ‘බොත්තම් කාස’ මැහිල්ල හා බොත්තම් ඇල්ලිල්ලත් හැමවිටම පාහේ කරවා ගත්තේ මා ලවාය. නංගිලාගේ ගවුම්වල කරවල් මැහිල්ලත්...
(එහෙම කරද්දී නිතරම පාහේ අම්මාගෙන් කියැවුණු වචන දෙකකුත් මට තවම මතකය. ‘කර්ණාකාර පටි!’)

70 දසකයේ දේවල් ගැන එච්චර හොඳ මතකයක් තිබ්බත්, 94 ජුලි මාසයේ තිබුණු Samලාගේ විවාහයේ සිදුවීම්වලින් ඉතා ස්වල්පයකි, මගේ මතකයේ තිබෙන්නේ.

උදේ වරුවක පල්ලියක් වැනි තැනක කෙරුණු විවාහය ලියාපදිංචි කිරීමට අපිත් ගිය විත්තිය මට මතකය. සමන්ති නංගිගේ පැත්තෙන් සාක්ෂියට අත්සන් තැබුවෙත් නිමල් දිසානායකය. (ඒ වෙලාවේ ගත් ෆොටෝ එකක ඒ ගොබ්බයා ‘ලැන්ග්ලිගෙන් ඉල්ලාගෙන ආ සූට් එක’ ඇඳගෙන සිටියි; බෝ එක සමබරව නොදා!!!

-මගේ වාසනාවට ඒ ෆොටෝ සේරම හොඳ තත්ත්වයේ නැත. ඒවා නැවත ගෙන්වා ගැනීමට උත්සාහ කළත් නොහැකි විණි. සමන්ති නංගිට දුක හිතෙන නිසාදෝ එයා එව්වා අවුස්සන්නේ නැති පාටය.)

එදා ආපහු ගෙදර ඇවිත් ඇඳුම් අහවර කරනකොටය මං වහන්සේට දවල් තරු පෙනුණේ!
ලේ පැල්ලම්... අල්පෙනෙත්ති හිසක් තරමේ පුංචි පුංචි ලේ පැල්ලම් සිය ගාණක් කමිස කරේත්- කොලරයේත්...
දෙයි හාමුදුරුවනේ, ලැන්ග්ලිගෙන් ඉල්ලගෙන ආ සුදු අත්දිග කමිසය නේද මේ? කමිසයේ විතරක් නොවේ, බෝ එකෙත් ලේ පැල්ලම්ය!

යව්වන අවදියේ සිටම මට තිබුණු ලෙඩකි ඒ. මගේ ලේ කැටි ගැසෙන්නේ ඉතාමත් මන්දගාමීවය. (මෙය මල්ටිපල් මයෙලොමා පිළිකා රෝගයේ පෙර නිමිත්තක්වත්ද? හිතෙන්නේ දැන්ය.)
කුඩා සීරීමක් වුණත් දවස පුරාම විටින් විට එතැනින් ලේ ගලයි. ඒක මට ‘මහ විශාල කරදරයක්’ වුණේ රැවුල බෑවාමය.

කර දඬු උස් මහත් වුණු යොවුන් දරුවන් පස් දෙනෙකුගේ...

රැවුල කපද්දී මුහුණ නොකැපුණා වුණත්, යාන්තමට සීරුණු තැන්වලින් පවා ඉතා කුඩා ලේ බිංදු මතු වෙයි. ඒවා පිස දැම්මාම හරිය- ආයෙත් මතු නොවෙයි. නමුත් දහදිය දැම්මාම ලේන්සුවකින් මුහුණ පිස දැම්මත්, සමහර දවසක ඒ ලෙඩේ ආයෙමත් මතු වෙයි.

අතිපණ්ඩිත නිමල් දිසානායක මෝල් වහන්සේ ‘ඒ සලකුණ රෝගයක පූර්ව නිමිත්තකැයි’ කිසිසේත් නොහිතුවේය.
ඒකා හිතුවේ එය විටමින් ඌනතාවයකියි කියලාය!

‘විටමින් K තමයි අපේ රුධිරය කැටි ගැහෙන්නට උදව් වෙන්නේ.’ කියලාය නිදි ඉස්කෝලේ යද්දී ඉගෙනගෙන තිබ්බේ. ‘කොළ පලාවල තමයි කේ විටමින් බහුලව තියෙන්නේ’ කියලාත් ඒ පාඩමේදීම කියැවුණු විත්තිය නිදිට හොඳටම මතකය.
ඉතිං අර විදිහට ලේ ගලන දවස්වලට මං කළේ එළුවෙකු කනවාටත් වඩා වැඩි කොළ පලා ප්‍රමාණයක් ගිල දැමිල්ලය.

ගොඩ දවස්වලට ඒ ගොඩ වෙදකම  හරි ගියාත් එක්කය. සමහර දාට විතරය වැරදුණේ. Samලාගේ විවාහ ලියාපදිංචිය කෙරුණු දවසත් එහෙම දවසකි. ඒ බව දැනගත් වෙලාවේ සිටම මං කළේ විනාඩියෙන් විනාඩියට ලේන්සුවෙන් මූණ පිස දැමිල්ලය. එහෙම කෙරුණු අතරතුරේය කමිසයේත් බෝ එකේත් ලේ තැවරිලා තියෙන්නේ.

පැයක් විතර තටමලාය, ඒ පැල්ලම් සෝදා අරින්නට මං වහන්සේට හැකියාව ලැබුණේ!

‘... මගේ වාසනාවට ඒ ෆොටෝ සේරම හොඳ තත්ත්වයේ නැත. ඒවා නැවත ගෙන්වා ගැනීමට උත්සාහ කළත් නොහැකි විණි. සමන්ති නංගිට දුක හිතෙන නිසාදෝ එයා එව්වා අවුස්සන්නේ නැති පාටය...’ යනුවෙන් වාක්‍ය තුනක් මේ post එකේ උඩ හරියේදී ලියැවිණි.
ඒ විත්තිය මතක් වෙනවත් එක්කම
‘අයිඩියානන්ද දිසානායක’ ජානයක් ඉස්මතුවී ආවේ- මේ දැන්ය...

මේ දවස්වල අපේ චූටි නංගි දීපානි හිටු කියලා ලක-ලෑස්ති වෙමින් ඉඳියි. ඒ ලංකාවට ඇවිත් යන්නටය. කර දඬු උස් මහත් වුණු යොවුන් දරුවන් පස් දෙනෙකුගේ අම්මෙකු වෙන චූටියාට එහෙම එන්නට තරම්වත් නිවනක් නැත. පවුලම එනවා නං හත් දෙනෙකු නෙව. ඉතිං සේරම හඳහන් බලලා, මේ අම්මණ්ඩි මේ වතාවේ ලංකාවට එන්නට සැරසෙන්නේ දරුවන් දෙන්නෙකුත් එක්කය.

“ලොකු අයියගේ මේ අවුරුද්දේ බර්ත් ඩේ එකට සර්ප්‍රයිස් එකක් විදිහට ඔයාට නොකියාම එන්නයි අපි මුලදී හිතුවේ. හැබැයි යන එන දවසුත් එක්ක ඔක්කොම දවස් හතරයි, ලොකා- අපට තියෙන්නේ.... රෑ දෙකක් විතරයි අපිට ලංකාවේ ඉන්න වෙන්නේ... කට්ටියම එකතු වෙලා පොඩි අයියලගෙ ගෙදරත් යන්න එපැයි ලොකූ. මතකනේ සමන්තියි දීපාලුයි ඔයාගේ පහුගිය B’day එකට සර්ප්‍රයිස් දෙන්න ගිහිං වෙච්චි පාඩුව!”

සමන්තිලා එංගලන්තයට ගිය දවසේ (වමේ සිට- පිටුපස පෙළ) නිමල්, සුනිල්, අනිල්, අජිත් (මැද පෙළ) අම්මා, සමන්ති, මානෙල් (ඉදිරියෙන්) දීපානි හා දීපාල්

“අපොයි ඔව්! හැංගිමුත්තන් කර-කරනෙ එයාල දවස් ගාණක් උන්නේ. ඔයාලට එහෙම කරන්න කාලෙකුත් නැහැනේ චූටි...”

“ඒක නෙවෙයි, ඔයාට මොනවද මෙහෙන් ගේන්න ඕනි ලොකූ?” චූටි නංගිගේ ප්‍රශ්නය ඇහුණාමය අර ජානය උඩට මතු වුණේ.

මේ posts මාලාව ඔප කරන්නට සමන්තිලාගේ මංගල උළෙලේ fotos ඕනෑ බව මීට කලින් Samට කිව්වත් හොඳ ප්‍රතිචාරයක් නොලැබිණි. මගේ දැනීමට අනුව නම් ඒවා හෙවිල්ල සමන්තිට ගෙනෙන්නේ දුකකි. එහෙම වුණත් ඒ දුක්බර මතකයන් හාරා ඇවිස්සීම ‘භාව විරේචන ප්‍රතිකාරය'කුත් වෙයි. ඒ සියලුම දේ ඔලුවේ තියාගෙනය, මෙතෙක් කාලයකට නොකළ දෙයක් මං වහන්සේ අද දහවල් කළේ; සමන්ති නංගිට call එකක්දී ඉල්ලීමක් කළේ.

(මෙතුවකට, මට මතක හැටියට නං මා කිසිවකුගෙන් තෑගි ඉල්ලා නැත!
එහෙත් ජීවිත කාලය පුරාම කොතෙකුත් ත්‍යාග ලබා ඇත; තවමත් මට තෑගි ලැබෙයි!)

“සෑම්, මේ සැරේ මට ඔයාගෙන් විශේෂ උපන් දින තෑග්ගක් ඕනි.”
“අනේ... කොච්චර එකක්ද. දීපානි අතේ එවන්නං. මොනාද ලොකූ ඕනි.?” Sam ඇහුවේ ඇවිදිල්ල මොහොතකට නවත්වමිනි. (සෑම් උදේ වැඩට යන්නේ පා ගමනිනි. ඒ ව්‍යායාමයකට සේම ලන්ඩන් මැරතන්
තරගයට සහභාගී වීම සඳහා කෙරෙන පෙර පුහුණුවක් සේත් සලකමිනි.)

“දීපානි අතේ එවන්න හිටියොත් පරක්කු වැඩියි සෑම්. අද හෙටම මට මේක ඕනි. බෑ කියන්න නං එපා.”
“හරි ලොකූ, ඉස්සල්ලා ඔයාට මොකක්ද ඕනි කියලා කියල ඉන්නකො...”
“මට ඔයාලගේ වෙඩින් ෆොටෝස්වලින් හොඳ එව්වා ටිකක් ඕනි සෑම්, blog එකට දාන්න. ඒ දවස්වල ඔයා අපිට එව්ව wedding ෆොටෝස් සේරම නරක් වෙලා- මෙහෙ හීට් එකට.”

“අනේ ලොකූ. අපේ වෙඩින් fotoස් කාටද ඉම්පොර්ට්න්ට්... අනෙක පරණ එව්වා.”
“ඔයා දන්නවද සෑම්, බ්ලොග් එකෙන් මම ලියන්නේ එක විදිහක ඉතිහාසයක්. ටික කාලෙකට ඉස්සර Hounslow ගෙදර ගැන ලිව්වම Englandවල ඉන්න මහත්තයෙක් ඒ ගෙදර plan එක මට එවල තිබ්බා. තව කාලයක් යනකොට අපි මැරිල යයි. ඒත් මේ ලියන එව්වා ඊට වැඩි කාලයක් පවතියිනෙ Sam!”

සෑම් කතා නොකළාය. ඉතිං විරාමය බිඳ දමන්නට සිදු වුණෙත් මටමය.
“... ඔයාලා නොදන්නවා වුණත් ලෝකේ වටේම ඉන්න ටික දෙනෙක් හරි දැන් ඔයාලා ගැනත් දන්නවා, සමා. ආච්චිගේ පර්ස් එක
අයිති කර ගන්න- ඔයා පොඩි කාලේ මහරගම ආච්චි මැරෙනකල් බලාගෙන හිටිය හැටි වගෙ දේවල් පවා...”   

ඉතිරි හරිය ඊළඟ කොටසින්...

29 comments:

  1. මේ ජිවිත අන්දරේ ඇතුලේ ඒකාලේ ජිවත්වුන අයගේ සමාජීය තත්වයන් ආර්ථික රටාවන් ගැනත් ලියවි තිබිමෙන් එක්තරා විදිහකට මේක මෑත ඉතිහාසයේ එක පැතිකඩක් නිරාවරනය වෙනවා කියා හිතනවා.

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. මම උත්සාහ කරන්නෙත් එහෙම කරන්නයි, අසංග මහත්තයෝ.

      Delete
  2. අද කොටස වෙනදට වැඩිය හොඳයි මට නං. ඇයි ඉතිං අර පොටෝ ගෙන්න ගන්න එච්චර නැහුනේ? ෆෝන් එකෙන් පින්තූර අරගෙන ඊ-මේල් කලා නං අහවරයි නෙව?🤔

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++

      Delete
    2. බකුසුතුමෝ- 'ඔබෙ සැප මගෙ සතුටයි' කියලා කරුණාරත්න අබේසේකර මහත්තයා ලියපු ගීතයකින් තමයි උත්තරේ දෙන්නෙ.

      එවන ක්‍රමයේ නෙවෙයි මහත්තයො ප්‍රශ්නය තිබ්බේ. සෑම් නොකිව්වට එයා බිමල්ගේ වියෝව ගැන තවම දුකේ ඉන්නේ. මටත් ඒ දුක අලුත් වෙනවා එයාලගේ දෙවෙනි පුතා පවන්ව දැක්කාම. කොල්ල බිමල් වගේමයි.
      දුක හිතෙන නිසා සෑම් ෆොටෝ ඇල්බම්- පරණ හාඩ් ඩිස්ක්ස් අවුස්සන්නේ නැතිව හිටියේ.

      හැබැයි ඒවා එහෙම වුණත් සෑම් මගේ උපන් දින තෑග්ග එවුවා- ඊයෙම.

      Delete
    3. Pra Jay මහත්තයෝ, වැටේ දිග වැඩියි කියන්නේ?

      Delete
  3. //“ඔයා දන්නවද සෑම්, බ්ලොග් එකෙන් මම ලියන්නේ එක විදිහක ඉතිහාසයක්......මේ ලියන එව්වා ඊට වැඩි කාලයක් පවතියිනෙ Sam!”//

    හ්ම්.....කොහොමත් නිදිට තිබිලා තියෙන්නෙ අත්දැකීම් බහුල, වර්ණවත් ජීවිතයක්. සමාජයේ පහල මට්ටමේ ඉඳලා සෑහෙන ඉහළ තලයක අය දක්වා පුළුල් පරාසයක අය සමඟ ගැටෙන්න ලැබෙන එකම විරල අත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. //පුළුල් පරාසයක අය සමඟ ගැටෙන්න ලැබෙන...// හැබෑම නෙවෙන්නං බකුස්තුමෝ. ඒ වාසනාව තව තවත් පුළුල් වුණා බ්ලොග් එක ලියන්න ගත්තට පස්සේ.
      එහෙම දෙයක් තුන්හිතකවත් තිබ්බේ නං නෑ... සත්තයි!

      Delete
  4. Nidi, you keep mentioning about the pics /plan of the Hounslow property that I sent to you- it must have really made an impression on you ! I wanted to send you pics of the area where Sam had the off-licence, maybe you can ask her. Reminiscing is good, it's also cathartic

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි Ano,
      මේ විස්තර ලියනකොට ඉතිහාසය ලිවීමකුත් සිද්ද වෙනවා කියමින් මාව මුලින්ම දිරිමත් කළේ අපේ Pra Jay මහත්තයා. ස්තුතියි Pra Jay.

      මගේ කතන්දරේ ලියද්දී ඉතා වැදගත් වුණු 'මට වෙච්ච දේ' පොත හොයාගන්න එතුමාමයි මාව රාජ්‍ය ලේඛනාගාරයට පවා එක්කරගෙන ගියේ. . හැබැයි තවමත් මට බැරි වුණා එතුමා කී විදිහට මහරගම ඉතිහාසය ගැන ගොඩක් විස්තර නං ලියන්න.

      ඊට පස්සේ ඔබතුමා වගෙ තව ගොඩ දෙනෙකු ඒ අදහසට රුකුල් දුන්නා. පෝර දැම්මා. ඔයාල හැමෝටම ස්තුතියි.

      තිස් එකේදී... -දහඅටවෙනි කොටස
      https://nidigepanchathanthare.blogspot.com/2023/05/blog-post_23.html ට ඔයා එවූ Hounslow ගෙදර plan එක ඇත්තටම මට හොඳ උත්තේජනයක් වුණා.
      මේ සීරීස් එකටත් 'මංගල්‍ය ශාලාව' ගැන විස්තර එව්වේ...
      සෑම්ලගේ ෂොප් එක තිබ්බ දිහාව ගැනත් අහලා තිබුනනේ... ඒ අඩවිය ක්රවුච් එන්ඩ්ලු. ඒ දවස්වල සමන්තිට ලියුම් ලියද්දී ලිපිනයේ Hornsey වාගේ කෑල්ලකුත් තිබුනා.

      Delete
    2. මට වෙච්ච දේ posts දෙකේ ලින්ක්ස්තුත් දාන්න හිතුණා.

      මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
      https://nidigepanchathanthare.blogspot.com/2022/09/blog-post_24.html
      මට වෙච්ච දේ - දෙවෙනි කොටස
      https://nidigepanchathanthare.blogspot.com/2022/10/blog-post.html

      Delete
  5. //ශිරන්ති රාජපක්ෂ හෙවත් මේරි ලූඩ්ස් වික්‍රමසිංහ.....උදව් කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ//

    බලාගෙන ගියාම රට බංකොලොත් කරපු නඩේම නෑඳෑයො නෙව? හොඳම විහිලුව, බයියො තාම "ඥාති සංග්‍රහයට" විරුද්ධ වුන නේපාල අරගලය උදාහරණයට ගන්න එකයි. මේ දවස් වල චීන, ඉන්දියන් තානාපතිලා රනිල්,නාමල් මාම,බෑණා ඩබල එක්ක සාකච්චා කරන එක ගැන නං සැකයි. 🤔

    ReplyDelete
    Replies
    1. බස්සා

      ඇත්තටම උඩින් පේන දේට වඩා යටින් තියෙන දේවල් සංකීර්ණයි, හරියට මුහුදේ පාවෙන හීම (වතුර අයිස්) කන්දක් වගේ.

      ඇත්තටම ලංකාවේ සමාජ මාධ්‍ය ජාල වල හැමතැනම තිබෙන මේ කතාව ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?

      //

      මේ දවස්වල ලංකාවේ වල පය ගොඩ පය නාකි මයිනා මෝඩ ආතල් දෙනවා නේද? අද තංගල්ලට ගිහිල්ල නටපු ජවුසම දැක්කා ද?

      නමුත් ඌ බලයේ සිටිය වනචර දශකය තුල සිදුවූ මේවා ගැන මොකද කියන්න පුළුවන්?

      "දූෂිත රාජපක්ෂ පාලන සමය තුළ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ සිද්ධි අතුරින් බොහොමයක් පසුගිය ජනාධිපතිවරණය සමයේ ජාතික ජන බලවේග රජයේ ප්‍රචාරක රැස්වීම්වල ප්‍රබල මාතෘකා බවට පත් වී තිබුණි.විශේෂයෙන්ම සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම, රිවිර පුවත්පතේ කතෘ උපාලි තෙන්නකෝන් සහ ඔහුගේ බිරිඳට පහර දීමේ සිද්ධිය, මාධ්‍යවේදී නාමල් දමයන්ත පෙරේරාට පහරදීම, රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් අභිරහස් ලෙස රිය අනතුරකින් මිය යෑම, මාධ්‍යවේදී පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම වැනි සිද්ධි 2024 වසරේ පැවති ජනාධිපතිවරණයේ එවක විපක්‍ෂයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ මැතිවරණ වේදිකාවේ දැඩි ලෙස සාකච්ඡාවට භාජනය වූ මාතෘකා විය.

      එම අපරාධවලට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට වත්මන් ජනපති අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ ප්‍රධානීහූ මැතිවරණ වේදිකාවල ජනතාව වෙත ප්‍රතිඥා දුන්හ. නමුත් මේ වනවිට මේ නඩු කෙමෙන් කෙමෙන් යට ගසා ඇති බව බොහෝ දෙනා චෝදනා කරති.

      ඒ වගේම ලංකාවේ සමාජ මාධ්‍ය ජාල වල කට්ටිය දාල තියෙන මේ කතාව ඇත්ත ද?

      "බ්‍රිතාන්‍ය ගුවන් විදුලි මාධ්‍ය ආයතන ජාලයේ බීබීසී සංදේශය වැඩසටහන මෙහෙයවන සරෝජ් පතිරණ වාර්තා කරල තියෙන විදියට ලංකාවේ වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු වන වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ සමීප සාමාජිකයන්හට අයත් වත්කම් ලෙස ඔහුගේ වත්කම් ප්‍රකාශයේ දක්වා ඇති ප්‍රධාන වත්කම් පහත පරිදි ය.

      01. පිළිවෙළින් රු. මිලියන 150ක් සහ 75ක් වටිනා බිරිඳට අයත්වූ කෝටි පහළොවක සහ කෝටි හත හමාරක වාණිජ ගොඩනැගිලි දෙකක්

      එකක් රු. මිලියන 32.5 ක් වටිනා ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය සපයන සූර්ය විදුලි බල පද්ධති තුනක්

      පවුලේ සාමාජිකයෙකුට අයත් රු. මිලියන 100 ක් වටිනා නේවාසික ගොඩනැගිල්ලක්

      තමාට අයත් රු. මිලියන 14.2 ක් වටිනා රන්, ප්ලැටිනම්, දියමන්ති, මැණික් අඩංගු වටිනා ආභරණ තොගයක්

      පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුට අයත් පිළිවෙළින් රු. මිලියන 22.1 ක් හා 9.1 ක් වටිනා තවත් ආභරණ තොගයක්

      2014 වර්ෂයේ නිෂ්පාදිත 2015 දී මිලදී ගත් රු. මිලියන 15.55 කට ටොයෝටා ප්‍රාඩෝ J150 GXR limited edition ඩීසල් මෝටර් රථයක් (වර්තමාන වටිනාකම කෝටි හයක් පමණ වේ)

      රු. මිලියන 65.55 ක හා රු. මිලියන 11.5 ක ඉතුරුම් තැන්පතු දෙකක් (සිය නමට ඇති)

      පවුලේ සාමාජිකයෙකුට අයත් රු. ලක්ෂ 200 ක ස්ථිර තැන්පතුවක්

      පවුලේ සාමාජිකයෙකුට අයත් රු. මිලියන 25 ක ඉතුරුම් තැන්පතුවක්

      පවුලේ සාමාජිකයෙකුට අයත් LOLC සමාගමේ කොටස් 21,000ක්

      හිමිකාරිත්වය සහිත රු. මිලියන 51ක වාර්ෂික පෞද්ගලික සමාගමක ආයෝජන අදායමක්

      වාර්ෂිකව රු. ලක්ෂ 7කට අධික කෘෂිකාර්මික අදායමක්

      වාර්ෂිකව රු. ලක්ෂ 25 ක සූර්ය පැනල අදායමක්

      පවුලේ සාමාජිකයෙකුට වාර්ෂිකව හිමි වන රු. මිලියන 3 ක වාර්ෂික ආදායමක්

      ඇ.ඩො. 300,000ක් වටිනා ඩිජිටල් මුදල් ඒකක (දළ වශයෙන් රුපියල් කෝටි නමයක පමණ crypto මුදල්)

      ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ වසර ගණනාවක සිට පූර්ණ කාලීන ක්‍රියාකාරිකයෙකු වූ ඔහු සතුව මෙවැනි වත්කම් ප්‍රමාණයක් ඇත්තේ කෙසේ දැයි මේ වන විට විවිධ පාර්ශව ප්‍රශ්න කරමින් තිබේ. කෙසේ නමුත් මෙම මුදල් රාජපක්ෂ පවුල විසින් හොරකම් කරන ලද මුදල් ජනතා විමුක්ති පෙරමුණ/ ජාතික ජන බලවේගයේ ආයෝජනය කර ඇති බවත් ඔවුන් දැඩි ලෙස රාජපක්ෂ චෞර පවුල විවේචනය කිරීමට හේතුව ඔවුන්ගේ මේ උඩින්-හතුරු යටින් මිතුරු සබඳතාව හෙළිවීම වලක්වා ගැනීමට බවත් වර්තමාන අයිස් අල්ලන බවට ගෙනයන මාධ්‍ය සංදර්ශනය ද මෙම රාජපක්ෂ පවුල සහ ජාතික ජන බලවේග ප්‍රබලයන් සමග ඇති සබඳතාව අනාවරණය වීම වැලැක්වීමට කරන ක්‍රියාවක් බවත් බොහෝ දෙනා අතර දැඩි සැකයක් නිර්මාණය වී ඇත"

      මේක ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද? ලොකුම ප්‍රශ්නය මේ සියලුම හොරුන්ට විරුද්ධව වැඩ කරන පෙ.ස.ප වගේ පක්ෂ වලට මුන් සේරම මේ වගේ තදට විරුද්ධව වැඩ කරනවා නේද පක්ෂ බේද අමතක කරලා? ඇයි ඒ?

      Delete
    2. ඇනෝ. වසන්ත සමරසිංහගෙ විතරක් නෙමෙයි, දේශපාලනේට සම්බන්ධ හැමෝගෙම වත්කම් ප්‍රකාශ අරගෙන, ඒ මුදල් හොයාගත්ත ආකාරයත් හොයනවා නං ඒක හොඳ වැඩක් බවයි මගේ මතය.

      Delete
    3. https://www.divaina.lk/editorial/29494

      Delete
    4. තමුන්නාන්සේලා හැමදෙනාටම ස්තුතියි මේ කාරණේ ගැන උනන්දු වීම වෙනුවෙන්.
      දේශපාලනේ කරන- සමාජ සේවා කරන- ලොකු ව්‍යාපාර කරන හැමෝගෙම වත්කම් හොයා බලන්න ඕනි කියන එකයි මගේ අදහසත්!

      Delete
    5. අන්තිමට නිදි මෙතන ඩෝබි වැඩෙත් මට කරන්න වුනානේ . දැන් වසන්ත සමරසිංහගේ ප්‍රශ්නේ මොකද්ද ඇනෝ , එයාගේ වත්කම පවුම් වලින් බැලුවොත් කෝටි 27 කියන්න පවුම් 675000. එංගලනතේ මාලිමාවට ගෙවල් දෙකක් වගේ තියන හැමෝටම ඔය ගානට වැඩිය වත්කම තියනවා. දැන් උඹලට මේ ප්‍රශ්නේ ආවේ මහින්දලාගේ වත්කම් හරියටම හොයනවා කියල දැන ගත්ත නිසා නේද ? අයිස් ආදායම හෙම කට් එක ගියා කියල දැන් හැමෝම දන්නවනේ . අපි අහන්නේඋන්ට කොහෙන්ද එංගලනතේ , ඇමෙරිකාවේ , ඕස්ට්‍රේලියාවේ දේපල ගන්න සල්ලි ? වත්කම් ප්‍රකාශ කරන්න . නැත්නම් ඩුබායි මැරියට් හෙම ඒ ලියල තියෙන කෙනාගේ නමට දෙන්න . ඒ වගේ දේපල හුඟක් හියනවනේ . දැන් FBI එක වැඩේට එන්ටර් වෙලා නිසා චූ ගිහින් ඉන්නේ . ඒවායේ ප්‍රතිපල එන්න අවුරුද්දක් වත් යනවා . ඇනළිස්ට් ලා හෝ ගාල වැඩ . ඒකයි මේ අවුල . මුලින් හිනා වුනා කෝ හොරු ඇල්ලුවද කියා . අල්ලනවා . දැන් ඒ ජෝක් එක දාන්නේ නැහැ . කෝ උගන්ඩාවේ සල්ලි ගේනවද කියල ජෝක් කළා . දැනේ ඒවා කියන්නෙත් නැහැ . පරීක්ෂණ යන බව දන්නා නිසා . රඹුක්වැල්ල ල කියන්න ටිප් ඔෆ් ද අයිස්බර්ග් මල්ලිලා හොඳේ . රනිල් ට ගොටභය ට කරන්න දුන්නේ නැත්තෙත් ඔය සෙට් එකමයි . ඒ නිසා විරුද්ද වෙන්නේ නැතිව ඉඳපල්ලා සුද්ධ කරනකම් .

      Delete
    6. දෙවෙනි කාරණේ තමයි මම පහුගිය අවුරුදු දෙකක් ඉඳන් බ්ලොග් එකේ හෙම ලියන දේ . අනුර පත්වෙන්න කලින් ඉඳන් . මේ තියෙන්නේ විජේවීර පාලනයක් නෙමෙයි . මාවෝ ට චිනේ සලකනවා නේ තවම . නමුත් තියෙන්නේ මාවෝ පාලනයක් නෙමේ . ඩෙන් ෂියා ඕ පින් ගේ එකක් අලුත් ආර්ථික පදනමක් . විජේවිරවාදය ලංකාවේ ඉවරයි , දැන් යන්නේ අනුරවාදය . සමාජවාදී දේපල ජනසතු කිරීම් නැහැ . රාජ්‍ය අංශය ශක්තිමත් කරන්නේ ලාභ නම් විතරයි . නැත්නම් අස් කරනවා . තැපෑලට කලේ ඒක . විදිලියටත් කරනවා . වසන්ත සමරසිංහ බදු ගෙවනවා නම් ආදායම පෙන්වලා නම් තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ . වරදක් තියනව නම් මේ බ්ලොග් වල දඟලන්නේ නැතිව නඩුවක් ගොනු කරන්න සාක්ෂි හොයා ගෙන . ඒ කාලේ ජවිපෙ කතා වැඩක් නැහැ . පැරණ ජවිපෙ ක්‍රමයට යන්න නම් පෙරටුගාමී සමාජවාදී එකට ගිය හැකි . අනික තරිඳු උදුවරගෙදර එහෙම කතාවක් කියල ටිහ්යන්වද කියල ඇහුව . එහෙම එකක් කියල නැහැලු . පුලුවන්නම් වීඩියෝ එක දාන්න මම පෙන්වලම අහන්නම් . වසන්තට මුදල් තියෙන එක මාලිමවේ කාටවත් ප්‍රශ්නයක් නෙමේ . ඔයිට වැඩිය සල්ලි තියන අය මාලිමාවේ ඉන්නවා . හැබැයි බදු ගෙවන අය වෙලාවට . ලංකාවේ ප්‍රශ්නේ බදු නොගෙවන එක . බදු ගෙවල ආදායම හොයන්න . ඒකෙ ප්‍රශ්නයක් නැහැ .

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ෆොටෝ ටික මොබයිල් එකට අරන් ගූගල් ජෙමිනයි එකෙන් හදල ගන්න. ලස්සනට එයි

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ- මම මෝබයිල් එකක් පාවිච්චි කරන්නේ නෑ. සෑම් ගෙනත් දුන්නු එකකුත් අහක දැම්මා. දැන් නං වෙවුලන ඇඟිලිත් එක්ක බ්ලොග් ලියන්නේත් යුද්දයක් කරමින්.
      ෆොටෝ එඩිට් කරන්නේ Powerpoint හා Paint දෙකෙන්. බ්ලොගය ලියන්න ගත්තාම තමයි සංජය කියල මිතුරෙක් ඒ දෙකත් කියල දුන්නේ.

      ඔයාගේ අදහසෙන් වැඩක් ගන්න හැටි ගැන අහගන්නවත් තිබුනා මාස දෙක තුනකට කලින් වගෙ නං, අපේ නමිනං උන්නැහේගෙන්වත්. එයා අලුත් රැකියාවකට යට වෙලා. (බ්ලොග් අමතක කරලා- දෙමළ ඉගෙන ගනිමින් ඉන්නේ!)

      Delete
  8. னයෙක් ටොච් එකක් හොයාගෙන මේ පැත්තෙ ඇවිල්ල ගියා කියල මතක් වෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. අමතක වෙන්නේ කොහොමද, මේකා නිකංම නිකං னයෙක් නෙවෙයි - Praසන්ன னයෙක්නෙ!

      Delete
  9. Replies
    1. රසිකොලොජි එකට ආව comments ඊමේල් එකට ඇවිත් තිබ්බා. ඒවා උදෙන්ම කියවලා හිටියේ, මවිත වෙලා. ඉවසිල්ලෙන් බලන් ඉන්නව- තව විස්තර දැනගන්න තුරු.

      Delete
    2. @ බස්සා

      මේ ප්‍රශ්නය ගැන පහුගිය මැතිවරණයේදී සැබෑ වෙනසක් අපේක්ෂාවෙන් ජාතික ජන බලවේගය මාලිමාවට සහයෝගය දක්වපු අපි වගේ නිදහස් මතධාරීන් බොහෝ දෙනා අතර සාකච්ඡාවක් යනවා.

      මේ ගැන මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, වගේම බෲනෝ දිවාකර වගේ අයත් විස්තර සහිතව කතා කළා, තරිඳු උඩුවරගෙදර සාක්ෂි සහිතව කියන විදියට මේක හරිම සැක සහිතයි වාර්ෂික ආදායම සහ බැංකු ඉතුරුම් අතර වෙනස සැලකිය යුතු මිලියන ගාණක්...

      වසන්ත සමරසිංහ ඇමතිතුමාගේ සම්පූර්ණ වත්කම් සහ ඉතුරුම් (පවුලෙන් ලැබුන ඒව වෙන මිලියන 225 ඇර ) වෙන්නෙ මිලියන එකසිය විස්සයි. වාර්ෂික ආදායම මිලියන එකසිය පණහයි. (ඒකත් බැංකු පොලී සහ වැටුප් දීමනා හැර ). හැබැයි පවුලේ සාමාජිකයන්ට අධික ලෙස මුදල් ලැබෙන විදිය කොහෙන්ද? ඒ අය ඉතාම ලාබාල තරුණ දරුවන් ඒ අයට එකපාරටම ඒ තරම් විශාල වත්කම් ලැබූණේ කොහෙන්ද කියල පැහැදිලි කරන්න පුළුවන්ද?

      Delete
    3. @ Bassa / Ano

      Can you please explain about the following post published by civil activist

      //අනුර දිසානායක හිරේ ලගින වැරදි දෙක මෙන්න
      ==================-===========

      තමන් කිසිදු රැකියාවක් නොකර, බිරිද කිසිදු රැකියාවක් නොකර කෝටී හතරක්( ගෙයක් සහිත ඉඩම) ඉපැටුවේ කෙසේද?

      2017 වසරේදී ටොයෝටා හයිලක්ස් කැබ් රථය ගත්තේ කෙසේද?

      2024 නොවැම්බර් සිට 2025 ජුනි දක්වා මාස 09 ට මිලියන 1.3ක් ඉපැයුවේ කෙසේද?

      ගරු ජනාධිපතිතුමනි,
      ඔබට ලක්ෂ 68ක් රැවටීමට හැකිය.ඔබ දූෂිතයෙක් බවට මා අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසමට පැම්නිලි කලේ 2024.08.27 යි.

      ඔබගේ සට්ටැඹියන් මා මහපාරේ මරා දැමිය යුතු බව එදා කියා තිබුනා. මා එදා පෙන්වා දුන්න ඔබේ කෝටී4 නිවස (කඩවත කිරිල්ලවල වැවහේන පාරේ) තියාගෙන (එතන සිට පාර්ලිමේන්තුවට සැතපුම් 20ක්වත් නැත. කි.මී.28කි) 2007 සිට පාර්ලිමේන්තුවේ නිල නිවසක් ගෙන එය වෙනත් කෙනෙක්ට දී රජයට පාඩුවක් කිරීමේ දූෂණ වරද කර ඇති බව. මා එය කිවේ පේන බලල නොවෙයි ,ඔබ ජනාධිපතිවරණය ට ඉදිරිපත් කල වත්කම් බැරකම් ප්‍රකාශය බලල. ඒ වරදට ඔබ බන්ධානාගාරගතවීම ඒකාන්තයි.

      දෛවයේ සරදමට මෙන් යලිත් ඔබ මටම හමුවෙනව. ඒත් ඔබේ වත්කම් බැරකම් ප්‍රකාශයෙන්මයි.

      ඔය ලග ඉන්න ගොබ්බයො ටික වෙනුවට මොලේ කලදක් තිබෙන එකෙක් තියාගන්න.. ගිය අගෝස්තු ඔබ දෙන වත්කම් බැරකම් ප්‍රකාශය අනුව ඔබ අතේ සතේ නැත.ගෙදර හරි. රත්‍රං බඩු හරි. අර මාස 09 ට මිලියන 1.3 ආපු හැටි කියන්න.

      මන්ත්‍රි වැටුප, විශ්‍රාම වැටුප පක්ෂයට දිලා ඉන්න කෙනා, මන්ත්‍රී වැටුප් විශ්‍රාම වැටුප් ඔක්කොම එක්ක ජනාධිපති වැටුපත් ගත්ත කියමු( ගන්නෙ නෑ කියල කිව්වා). ඒත් මාසයකට ලක්ෂ 1.5ක් එන්නෙ නෑනේ...

      මාස 09ට දූෂණ වරදක් කරල..අතිගරු උතුමානනි,2023 අංක 09 දූෂණ විරෝධි පනත දෙවන වර කියවන විවාදයෙ ඔබේ කතාව බලන්න. ඔබ කතා කලේ ගැලරියට..ප්‍රවෘත්තිවලට. දැන් පනත කියෝගන්න. වත්කම් බැරකම් සම්බන්ධ වැරදි වලට ඉන්න ජනාධිපතිවරයාටත් නඩුපැවරිය හැකියි නේද කියල පෙනෙයි.

      රිමාන්ඩ් වුනු පලමු ජනපති රනිල්. වත්කම් බැරකම් නිසා හිරේ යන්න වෙන ධුරදරන ජනපති ඔබ වෙන්න පුලුවන්..

      මෝඩයන්ට ඔයා වීරයෙක් වුනාට, සිහි බුද්ධිය ඇති අබමල් රොනක මොලයක් ඇති එකෙක්ට ඔබ මෝඩ දූෂිතයෙක්..හරිනිගෙන් ඉගෙන ගන්න..

      වෛරයෙන් වෛරය නොසන්සිදේ කියනව. දැන්වත් තමනුත් වැරදිකරුවෙක් බව පිලිගන්න..

      මිනිස්සු හිරගෙවල් වල දාල හදපු රටවල් ලෝකේ නෑ..මම ගහන්නෙ මිනිස්සුන්ට නොවේ සිස්ටම් එකට..ඔබට මට කීමට ඇත්තේත් එයයි.. ඔය විදියට ගියොත් සෙල්ෆි ගහපු එවුන් ඇවිත් ඔයාලට කනට ගහවි. කරුනකරල වැරදි කරන්න තියෙන ඉඩ වහන්න. ඔය 2023 දූෂන විරෝධිපනතට පදනම් වුන UNCAC එකේ පලමු කරුන දූෂණය වීමට පෙර වැලැක්වීම..අන්න ඒක කරන්න සිස්ටම් වැදගත්..

      දැන්වත් බාලයන් ඇසුරෙන් ම්දෙන්න. පක්ෂ රාජ්‍ය මිත්‍යාවෙන් මිදෙන්න. මාක්ස්ගෙ,ලෙනින්ගෙ කාලෙ මානව හිමිකම් නෑ වගේම ජාත්‍යන්තර සංවිධාන, සමාජ මාධ්‍ය වගේ ඒවා නෑ.. මේ 21 සියවසේ දෙවන කාර්තුව

      දර්ශන තන්ත්‍රීගේ
      2025.09.17

      //

      Delete
  10. @ නිදී

    මේකේ මොකද බන් සම හරක් බූමිතෙල් ගහපු ගැරඬි වගේ ටිපර් වෙලා පත හෑලි ලියන්නේ හරිම ආතල් ඕයි? මුන් රෙදි නැතුව කඩේ යං මොකෙක් හරි දේසපාලුවෙක් හොරා කාපුවා මාට්ටු වෙලා වත්ද? 😂🤣😅

    ReplyDelete