අකුරු මැකී නෑ

Sunday, August 29, 2021

හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස

දැන් එයාට වඩා සිය ගුණයක් හොඳ කෙල්ලෙක්ව.... 

ජනාපෙති නිවේදන කතන්දරේ කියලනෙ පහුගිය කොටස ඉවර කළේ. අද ඉස්සෙල්ලම කියවලා ඉඳිමු පොතේ කතන්දරයක් දෙකක්!

88. අත ඇරීම

“තමුසෙ ඒ කෙල්ල කියපු නිසා බොන එක අත ඇරියා?”

“ඔව්!”

“සිගරැට් බොන එකත්...”

“ඔව් මචං ඔව්!”

“එච්චරද?”

“නෑ, නෑ... රේස් දැමිල්ල නැවැත්තුවා.... බූරුවා ගැහිල්ල අත ඇරියා. ඉඳහිටවත් ක්ලබ් යන පුරුද්දත් අත ඇරලම දැම්මා!”

“ඉතිං මිනිහෝ, ඔච්චර දේවල් ඒ කෙල්ල හින්දා කරපු උඹ, දැන් මොකද ඒකිව අත ඇරලා දාන්න යන්නේ?”

“එව්වා ඔක්කොම අතෑරලා හොඳ මිනිහෙක් වුණාට පස්සෙනේ බං මට තේරෙන්නෙ, දැන් එයාට වඩා සිය ගුණයක් හොඳ කෙල්ලෙක්ව මට ලේසියෙන් හොයා ගන්න පුළුවන් බව!”

89. අපායෙත් තරගයක්!

ගොඩාක් දේශපාලඥයෝ දැන් ඉන්නේ අපායේ!

පණ පිටින්ම වුණත් එහෙමයි. කොයි වෙලාවේ වෙඩි පාරක් කන්න වෙයිද, කොයි මොහොතේ බෝම්බයක් වදියිද, තව කොච්චර දවසක් බලයේ ඉන්න හම්බ වෙයිද කිය-කියා හිතිං විඳවන එකත් පොඩි පහේ කරුමයක්ද?
අනේ, ඒ උත්තමයෝ රටට කිරි උතුරවලා- සෞභාග්‍යය උදා කරලා දීලා- හුදී ජන අපව පණ පිටින්ම දිව්‍ය ලෝකෙට යවන්න විඳින දුකක්.... පව් අප්පා!

මිනිස්සුන්ට ‘හිසට සෙවණ- හිතට නිවන’ හදල දීපු තරමට.... (A.G.G.S. අමරසේකර මහතාගේ සිත්තමකි)

ඉතිං, ඔය කතා පැත්තකින් තියලා අපේ කතාවට එමුකො!

මේ දේශපාලඥයෝ ඔක්කොම දැන් මිය-පරලොව ගිහින්.... සොබාවික විදිහට; වෙඩි කාලා; බෝම්බවලට අහු වෙලා.... ඔය කොහොම වුණත් ඉතිං දැන් එකම පන්තියේ, එකම අපායේ විඳවනවා.

ඔහොම ඉන්න අතරේ දවසක, අපායේ කරන්ට් ගිහිල්ලා කට්ටියටම ‘පුංචි විරාමයක්’ හම්බ වුණා. මෙයාල කට්ටිය දැන් බරටම කතාව.

“මෙහෙ ක්‍රමයේ ලොකු වරදක් තියෙනවා... මේ ක්‍රමය වෙනස් කොරන එක තමයි හොඳ.” ජයවෝඩන උන්නැහේ කිව්වා.

“ඒක නේන්නං, මං මිනිස්සුන්ට ‘හිසට සෙවණ- හිතට නිවන’ හදල දීපු තරමට මං ඉන්න ඕනි තව්තිසාවෙනේ...” ප්‍රේමදාස උන්නැහේත් එකඟත්වය පළ කළා.

“මටත් වෙලා තියෙන්නේ ඕකම තමයි! මහපොළෙන් විතරක් මම කී දාහක් ළමයින්ට ඉගෙන ගන්න උදව් කළාද?” ඒ ඇතුලත්මුදලි උන්නැහේ.

“බලාගෙන ගියාම අපි ඔක්කොම එකම බෝට්ටුවේ. අවුරුදු තිහෙන් කරන්න ගිය වැඩේ හයෙන් කරපු මාත් මෙහෙට්ටම එවුණේ ඔය සිස්ටම් එකේ අප්සට් එක නිසාම තමයි!”
දිසානායක උන්නැහෙත් කිව්වා.

“ඔව්, ඔව්... අපි මෙහෙම නිකම්ම ඉඳලා හරි යන්නේ නෑ. ගිහින් යම රජතුමාට කියලා සාධාරණයක් කරවා ගන්න බලමු.” එක්කෙනෙක් කිව්වා.
ඒ යෝජනාව ඒකච්ඡන්දයෙන්ම සභා සම්මත වුණා.

මෙහෙ තියෙන්නේ මගේ නීතිය! හැබැයි, මම සාධාරණව, අපක්ෂපාතව...

හතර දෙනාම ගියා යම රජ්ජුරුවො ළඟට. වෙලා තියෙන අසාධාරණය ගැන අඬලා- දොඩලා යම රජතුමාට පැමිණිලි කළා.

“මෙහෙ නැද්ද අභියාචනාධිකරණයක්වත් අපිට පැමිණිලි කරන්න?” එක්කෙනෙක් යම රජතුමාගෙන් එහෙමත් ඇහුවා.

“මනුස්ස ලෝකේ තියෙන ඔක්කොම කුණු කන්දල් මෙහෙත් තියෙනවයි කියලද හිතන්නේ? මෙහෙ තියෙන්නේ මගේ නීතිය! හැබැයි, මම සාධාරණව, අපක්ෂපාතව මගේ රාජකාරිය ඉෂ්ට කරනවා.” යම රජ්ජුරුවෝ ගෝරනාඩු කළා.
“හොඳයි, තමුන්ලා කරපු පැමිණිල්ල ගැන සලකා බලලා, මම කැමතියි යුෂ්මතාලගෙන් කෙනෙකුට පුංචි සහනයක් දෙන්න.... එකඟයිද?”

හතර දෙනාම කැමති වුණා!

“මම දැන් යුෂ්මතාලට වරයක් දෙනවා, එක විනාඩි පහකට මනුස්ස ලෝකෙට ගිහින්- මේ තාක් කල් මම කාලා නැති පලතුරක් අරං එන්න. එහෙම අරං එන කෙනාටයි විශේෂ වරප්‍රසාදය හම්බ වෙන්නේ.” යම රජතුමා එහෙම කියලා ඉවර වෙන්නත් කලින් එක්කෙනෙක් පලතුරු ගේන්න දුවලත් ඉවරයි. අනිත් තුන් දෙනා එතැනමයි.

“... එක කොන්දේසියකුත් තියෙනවා... යුෂ්මතාලා මගේ තීන්දුව අසාධාරණයි කියල හිතලනේ මෙහෙම පැමිණිලි කරන්න ආවේ. ඒ නිසා අර වගේ පලතුරක් ගෙනෙන්න බැරි වුණොත් ඒකට අමතර දඬුවමකුත් විඳින්න වෙයි! හ්ම්... දැන් යන්න පුළුවන්...”

යම රජතුමා එහෙම කිව්වට පස්සේ, ඔන්න අනිත් තුන් දෙනාත් දිව්වා පලතුරු හොයන්න.

විනාඩි පහ ගෙවුණා!

යුෂ්මතාලට මම කිව්වනේ මගේ සාධාරණකම ගැන.

හතර දෙනාම ආපහු ඇවිත්. මෙහෙදී වගේම තමයි, එහෙදිත් කොච්චර උඩින් මිතුරු වුණත් යටින් කතුරු තමා. හතර දෙනාම තම-තමුන් ගෙනාපු පලතුරු අනිත් අයට නොපෙනෙන්න පිටිපස්සට කර ගෙනයි හිටියේ.

“කෝ බලන්න ගෙනාව දේවල්.” යම රජතුමා කිව්වා.

එක්කෙනෙක් ඉස්සරහට ආවා.

“ටිකක් ඉන්නවා....
යුෂ්මතාලට මම කිව්වනේ මගේ සාධාරණකම ගැන. මේ තිරයෙන් එහා පැත්තේ ලොකු මේසයක් උඩ මම අනුභව කරලා තියෙන ඔක්කොම පලතුරු වර්ග තියල තියෙනවා. තමුන් ගෙනාව දේවල් මට පෙන්වන්න කලින් ගිහින් බලනවා, එතැන තියෙන දේවල් දිහාත්!” යම රජතුමා කිව්වා.

පළමුවෙනියා ගිහින් මේසෙ උඩ තියෙන දේවල් දිහා බලලා ආපහු ආවේ මූණ එල්ලගෙන.

“දැක්කද?”

“එහෙමයි! ඔබතුමාට උගුරැස්ස හම්බ වෙලා තිබිලනෙ!” උගුරැස්ස ගෙනත් තිබුණු පළමුවෙනියා කිව්වා. කියලා පැත්තකට වුණා.
එයා දෝත පුරා උගුරැස්ස ගෙඩියි ගෙනත් තිබුණේ.

ඊළඟට දෙවෙනියා. එයාත් පරාදයි. එයා ගෙනත් තිබුණේ ඇඹරැල්ල ගෙඩි හත අටක්.

තව දෙන්නෙක් ඉතිරියි. දෙන්නම පැකිළෙනවා.

මොකද උඹලා හිනා වෙන්නේ?

“කවුද ඊළඟට ඉදිරිපත් වෙන්නේ?” යම රජ්ජුරුවෝ ඇහුවා. කලින්ම දුවලා ගිය එක්කෙනා මතකයිනෙ, එතකොට එයා අනිත් එක්කෙනාව ඉස්සරහට තල්ලු කළා. මොනවා කරන්නද, මිනිහත් ගිහින් මේසෙ දිහාව බැලුවා.

“අනේ, ඔබතුමා නේත්‍රප්පලම් කෙසෙල් ගෙඩිත් කාලා තියෙනවා වගෙනෙ...” කියාගෙනයි එයා කෙසෙල් ඇවරියත් අරං පසුබැස්සේ.

ඒත් එයා ඊට කලින් යම රජතුමාගෙන් ප්‍රශ්නයකුත් ඇහුවා.

“සමා වෙන්න යම රජතුමනි. ඔබතුමා කිව්වනේ මෙතෙක් ඔබතුමා අනුභව කරලා නැති පලතුරක් ගේන්න බැරි වුණොත් අපිට ඒකටත් දඬුවමක් දෙනවා කියලා....”

“ඔව්, ඔව්! ඒ දඬුවම ගැනද දැන ගන්න ඕනේ? මගේ යමපල්ලෝ ඔය උඹලා ගෙනාව පලතුරු තම-තමුන්ටම කවාවි.. හැබැයි, මුඛයෙන් නෙවෙයි- අධෝ මුඛයෙන්!”

යම රජතුමා එහෙම කිව්වා විතරයි, මුල් තුන් දෙනාම පෙරළි-පෙරළී හිනා වෙන්න පටන් ගත්තා. දැන් යම රජතුමාට ෆුල් හොල්මන්...
ඉතිරි එක්කෙනාටත් එහෙමයි.

“මොකද උඹලා හිනා වෙන්නේ?”

“අනේ රජතුමනි! අරයා.... අරයා ඔබතුමාටවත් නොපෙන්නා හංගගෙන හිටියට අපිට පෙනුණා, එයා ගෙනාව ජාතිය. දූරියන්! ඔබතුමාගේ මේසේ උඩත් ඒවා තියෙනවා!”

එතකොටයි යම රජතුමාටත් එයාලගේ හිනාවෙ තේරුම වැටහුණේ!

(කතාව නං ඉවරයි. වැරදීමකින් එහෙම නෙවෙයි, මේ හතර දෙනාගේ නම් ටික පස්සෙන් පහු නොකියා හිටියේ.)

එහෙම වෙලාවට හැබෑ ජීවන අත්දැකීම් ගැනත් එළියට එනවා.

‘කුණු අඹ දෙකේ කතාව’ ඔයාලට කියවන්න හම්බ වුණාද? කියවපු අයට වුණත් ආයෙම කියවන්න වටිනවා. මේ කතාව හම්බ වුණේ fb එකේ, සංසරණය වෙමින් තියෙද්දී.

‘ඔන්න පොරක් ඉන්නවලු කුණු වෙච්ච අඹ ගෙඩි දෙකක් අතේ තියාගෙන. එකකින් චුට්ටක් කනවලු. ‘අයියෝ ඒක කුණු වෙලා’ කියනවලු.
ඊට පස්සේ අනිත් එකින් චුට්ටක් කනවලු. ‘අම්මෝ, ඒකත් කුණු වෙලා’ කියනවලු.
ඊට පස්සෙ ආයෙත් පළවෙනි එකෙන් චුට්ටක් කනවලු.

මූ මෙහෙම නහයෙන් අඬ-අඬා මාරුවෙන් මාරුවට කුණු අඹ කන හැටි මිනිහගෙ යාළුවෙක් දැක්කලු. ඒ වැඩේ දිගටම කෙරෙනවා බලාගෙන ඉන්න බැරිම තැන යාළුවා ඇහුවලු මෙහෙම:
“ඇයි මචං, උඹ ඔය කුණු අඹම කන්නේ? ඔව්වා වීසි කරලා වෙන අඹ ගෙඩියක් ගනින්කෝ..”

“එහෙම ගන්න අඹ ගැන විශ්වාස නැහැනෙ මචං... මොනා කරන්නද. කන්න වෙන දේකුත් නැහැනෙ මචං.”

යාළුවා ලොකු හිනාවක් දාලා පාරේ අයිනකට අත දික් කරාලු, මෙහෙම කියන ගමන්. “ඇයි මචං, අලුත් අඹයක් ගැන විශ්වාසෙකුත්  නැත්තං, මේ බලු බෙටි තියෙන්නේ... ඒවා හරි එක පාරක් කාලා බලපංකො හොඳද කියලා!”

මේ ළඟ දවසක, හීනි මධු සාදයකදී කතාවක් ඇති වුණා අපේ හිතවතුන් තුන්-හතර දෙනෙක් අතරේ. දන්නවනේ, එහෙම වෙලාවට හැබෑ ජීවන අත්දැකීම් ගැනත් එළියට එනවා. ඒ සාකච්ඡා සභාවට එකතු වෙලා හිටිය මිත්තරයෙක්ට ඉන්නවා අවුරුදු තුනක පුතෙක්. මිත්‍රයාගේ බිරිය නැවත ගැබ් ගෙනයි ඉන්නේ.
“පුතාව දැන්මම රෙඩි කරලා තියන්න ඕනි නිසා, අපි පුතාට කිව්වා -තව ටික දවසකින් අම්මා ඔයාට නංගියෙක් හරි මල්ලියෙක් හරි ගේනවා, දැන් අම්මගෙ බඩේ ඉන්නෙ එයා තමයි!- කියල. පුතා ටිකක් කල්පනා කරලා ඇහුවනේ -අම්ම එයාව ගිලලද ඉන්නේ- කියලා.”

ඒක මඟ හරවන අදහසින් අර පුතේ ලස්සන සමනලයෝකියල.....

එවෙලේම මම එයාලට පෙන්නුවා, 1982 ජනවාරි 1 වෙනිදා ‘සිනා’ පත්තරේ තිබුණ මේ කතාව. මොකද, ඒ කතාව කියාපු මිතුරා ඉපදෙන්නත් ඉස්සෙල්ලයි- ‘බබෙක් ගැන කියවෙන’ මේ කතාව පළවී තියෙන්නේ.

‘කෙළින්ම වලේ

පුංචි එවුන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන එක තරම් අමාරු වැඩක් දෙමව්පියන්ට තවත් නැහැ. දවසක්දා එක පුංචි පුතෙක් අම්මාගෙන් අහනවා, ‘අම්මේ. ඉපදෙන්ඩ ඉස්සෙල්ලා බබා හිටියේ කොහෙද?’ කියලා.

“පුතා හිටියේ අම්මගේ බඩේනෙ.’ අම්මා වැඩි දුර නොහිතා පිළිතුරු දුන්නා.

“බඩේ?” පොඩි එකා පුදුම වෙලා ඇහුවා. “ඉතිං බබා බඩෙන් එළියට ආවේ කොතැනින්ද?” පොඩි එකා ඊළඟ ප්‍රශ්නෙත් ඇහුවා.

අම්මා උත්තර දීගන්ඩ බැරිව, ඒක මඟ හරවන අදහසින් ‘අර පුතේ ලස්සන සමනලයෝ’ කියල වත්ත පැත්තට අත දිගු කරලා කිව්වා. ‘සමනලයෝ ඕනෙ නැහැ අම්මේ! බබා  බඩෙන් එළියට ආවේ කොතැනින්ද කියන්ඩකෝ’ කියල පොඩි එකා කිව්වා.
දැන් අම්මට බේරෙන්ඩම බැහැ. කොලුවා ඒ ප්‍රශ්නයම අහනවා.

බැරිම තැන අම්මා, ගෙදර කැබිනට්ටුව උඩ තියලා තිබුණු නිරුවත් ගෑනු ප්‍රතිමාවකට ඇඟිල්ල දික් කරලා ‘මෙන්න මෙතැනින්’ කියල පොඩි එකාට තැන පෙන්නුවා.
පොඩි එකා ටික වෙලාවක් ඒ දිහා බලා ඉඳලා ‘මගෙ අම්මෝ. මම බේරුණු බේරිල්ලක තරම! තව ටිකක් පහළින් ආවා නං, එහෙනං මං කෙළින්ම කක්කා වළේ තමයි’ කියලා කිව්වා.’

82 විතර මේවාත් සැලකුණේ අසැබි කතන්දර කියලයි. ඒත් අද වෙද්දී ඒවා මොනවද කියලා හිතෙන තරම්! මේ දැන්වීම බලන්නකො. හද්දා පරණ එකක්. කෙනෙකුට මේවායේ කිසිම වැදගත්කමක් නොපෙනෙන්නත් පුළුවන්. ඒත් යුගයක සිතුම්-පැතුම්, ඇදහිලි-විශ්වාස, තැපැල් ගාස්තු වගේ කොච්චර දේවල් මේ එක දැන්වීමකින් හොයා ගත්තෑකිද?
මට නම් යුගයක මුද්‍රණ ශෛලිය ගැනත් මේ දැන්වීමෙන් තොරතුරු ටිකක් හෙළි වෙනවා.

මේ දැන්වීම බලන්නකො. හද්දා පරණ එකක්.

දැන්වීමේ අකුරු හා පෙළගැස්ම ආයෙමත්  (හැකිතාක් දුරට) ඒ විදිහටම හිටින්නට සකස් කරලා ඉදිරිපත් කරන්නේ Mobile ෆෝන්වලින් බ්ලොගය කියවන අයට පහසුවක් වෙන්නයි.

    මොකද පYය පණ නැද්ද?
              මෙන්න එහෙනම්

බොම්බායේ
හූනාගේ තෙල් මන්ද
තවත් වටිනා බෙහෙත් වර්ග සමග
සංයොග කර

   ලිංගික ආපදාවන් මැඩලීම සඳහා
   විශෙෂයෙන් සම්පාදිත

 ෂාහ්නා තෛලය

මෙය පාවිච්චි කිරීමෙන්
   සති තුණකදී ඔබේ සියලු ලිංගික ආපදාවන්
   අහෝසි වී, ඔබව සීදේවී බවට පත් කෙරේ.

  ඒ නිසා අදම මිළ දී ගන්න
  “ඒ මහේශාඛ්‍ය තෛලය”

     සති තුනකට සෑහෙන
     තෙල් කුප්පියක්   රු. 3-50 යි
     තැපෑලට ශත 50යි

මෙසේ ඉල්ලන්න:-
     මාෂල් ගුණවර්ධන
         “පෑන් තලය”
     74, බොරැල්ල හරස් පාර - කොළඹ 8.’

‘ඔබව සීදේවී බවට....’ යෙදුම විතරක් වුණත්, මට නං යාන් හෑල්ලක් තරමට රසවත්!

2007 ලියැවුණු මගේ ‘හිනා වෙන්න හිනා-1’ පොතේ කතන්දරත් අද ලියවෙනවා නම් වෙනස් විදිහකට ලියවෙයි කියල හිතෙනවා. ඒ වගෙමයි, සමහර කතන්දර ඉවත් කෙරිලා- අලුතින් කතන්දර එකතු වෙන්නත් ඉඩ තියෙනවා. කොහොමෙන් හරි කමක් නෑ, අතීතය ගැන විශ්ලේෂණය කරන අයට අනාගතයේ දවසක ප්‍රයෝජනවත් වෙන්නයි, මේවා මේ විදිහට හරි සංරක්ෂණයකුත් කරන්නේ.

නෝනා දන්නවනේ, මේ පාර කෙළවරේම තියෙන පුංචි ගෙදර ඉන්න වයසක මනුස්සයා....

ඔන්න ආයෙම පොතට.....

90. පරෝපකාරය

සමාජ සේවිකාවක් ලෙස පළාතේ ප්‍රසිද්ධව සිටින ඇයගේ නිවසෙහි දොරට තට්ටු කරන හඬක් ඇසිණි. ඇය වහාම පැමිණ දොර විවෘත කළාය. මඳ සිනහවක් පාමින් දොරකඩ සිටගෙන සිටියේ තරුණයෙකි.

“සුබ උදෑසනක් නෝනා. මං ඔබතුමියට කරදරයක් නං කරන්නේ, මට සමා වෙන්න.” තරුණයා කීවේය.

“නෑ, නෑ. මොකක්ද කෙරෙන්න ඕනෑ?” ඇය ඇසුවාය.

“නෝනා දන්නවනේ, මේ පාර කෙළවරේම තියෙන පුංචි ගෙදර ඉන්න වයසක මනුස්සයා.... අර පැන්ෂන් ගිය ලියන මහත්තයා..........”

“ඇයි, එයාට කරදරයක්ද?”

“තවම නං නෑ.... ඒත් ඒ මහත්තයට හෙට අනිද්දම පාරට බහින්නයි වෙන්නේ. එයා හය මාසයකින් ගෙවල් කුලී ගෙවලා නෑ. නෝනටත් පුළුවන්ද එයාට උදව්වක් කරන්න... ඔය ගෙවල් කුලී ගෙවල දාන්නවත්?”

“මට හරිම සන්තෝසයි, ඔයා වගේ මනුස්සකම් තියෙන; යුතු-අයුතුකම් දන්න කෙනෙක්ව දකින්න ලැබුණටත්. අද කාලේ අනුන්ගේ දුක දැකලා ලේසියෙන් කෙනෙකුගේ පපුව උණු වෙන්නෙ නෑ. ඔයා ඒ මහත්තයාගෙ නෑදෑයෙකුත් නෙවෙයිනේ...” කාන්තාව ඇසුවාය.

“අපොයි නෑ! මං නෑයෙක් නෙවෙයි, මමයි ඒ ගෙදර අයිතිකාරයා.”

91. පියාඹන පීරිසි

ඔහු සුප්‍රසිද්ධ ආකාශ වස්තු විශේෂඥයෙකි.
එහෙත් විවාහ වෙනතුරුම පියාඹන පීරිසි ගැන විශ්වාස නොකළේය!

ඔවුහු එක බිරියක් හා එක පෙම්වතියක් තබා ගනිති. නමුත් වඩාත්ම ආදරය කරන්නේ...

92. අන්තිම ප්‍රශ්නය

“දැන් ඔන්න අවසාන ප්‍රශ්නය.

හොඳින් අහගන්න... ප්‍රශ්නය කියන්නෙත් එක වතාවයි. පිළිතුරු දිය හැක්කේත් එකම එක වතාවයි.
තත්ත්පර දහයක් ඇතුළත පිළිතුරු දිය යුතුයි. පැහැදිලිද?” ප්‍රශ්න විචාරකයා දැනුම-මිනුම තරගයට සහභාගිවූ තරගකරුවාට කීවේය.

‘ඔව්!” තරගකරුවා හිස වැනුවේය.

“හොඳයි... මෙන්න එහෙනම් ප්‍රශ්නය. හිමිදිරි උදෑසන පාන්දර ඔබට හිස් බඩට ආප්ප කීයක් කන්නට පුළුවන්ද?”

“හතර-පහක්...”

“වැරදියි... වැරදියි. උත්තරය වැරදියි.”

“ඒ මොකද ඒ?” තරගකරුවා නොරිස්සුමෙන් ඇසුවේය.

“පළමු ආප්පය කෑවාට පස්සේ ඔබේ බඩ හිස් බඩක් වෙන්නේ නෑ.”

වඩාත්ම ආදරය කරන්නේ තම මවටය!

ඔයාලා දන්නවද, ඊළඟ කොටසෙන් මේ ‘හිනා වෙන්න හිනා’ posts මාලාව ඉවර වෙනවා. ඒ කොටසට ඇති වෙන තරමට පොතේ කතන්දර ඉතිරි කරගන්න ඕනිනේ. එහෙමයි කියලා මේ පෝස්ටුව කොට කරන්නත් බැරි නිසා ඔන්න තව අලුත් කතාවකුත් ඔයාලට තිළිණ කරනවා.

‘මිනිස්සු තුන් වර්ගය

යුරෝපීයයෝ:
ඔවුහු එක බිරියක් හා එක පෙම්වතියක් තබා ගනිති. නමුත් වඩාත්ම ආදරය කරන්නේ තම බිරිඳටය.

ඇමෙරිකානුවෝ:
ඔවුහු එක බිරියක් හා එක පෙම්වතියක් තබා ගනිති. නමුත් වඩාත්ම ආදරය කරන්නේ තම පෙම්වතියටය.

ශ්‍රී ලාංකිකයෝ:
ඔවුහුද එක බිරියක් හා පෙම්වතියන් හතර දෙනෙකු තබා ගනිති. නමුත් වඩාත්ම ආදරය කරන්නේ තම මවටය.

ඔය මදැයි, අදට. එහෙනම් ඊළඟ කොටසේදී හමුවෙමු.
බ්ලොගය කියවන ඔයාලට විතරක් නෙවෙයි සකල ලෝකවාසී සියලු සත්ත්වයන්ටම නිදුක්- නිරෝගී- සුව සතුට සපිරි කාලයකට ආසිරි!

Thursday, August 26, 2021

දාහතර වෙද්දී... -දහවෙනි කොටස

ඉස්සෙල්ලාම බණ්ඩාරවෙලින් පිටත් වෙලා ඉන්නං...

කොට්ටයට හිස තියනවා එක්කම මටත් නින්ද යන්නට ඇත!
මට තදින්ම නින්ද ගිහින්ය.

පිබිදුණු පසුව වෙනදා වගේම මගේ සුදු සරම පිරික්සා බැලුවත්, එහි පැල්ලමක් තිබ්බේ නැත. ඒ පරීක්ෂාව කරන්නට වෙනදා වගේම දීඝායුත් හවුල් වුණේය.

මේ තරමට මා ගැන සැලකිලිමත් වෙන දීඝායු එහෙම කරන්නේ ඇයි? මොන ගායක් තියෙනවාටද... එතකොටත් මට කල්පනා වුණේ ඒකය!

මේ යක්ෂ පැටියාට වෙන කරන්නට දෙයක් නැතුවාටද?
මට අදත් කල්පනා කරන්නට තරම් ගැටලුවකි දීඝායු. ඔහු කළ-කී දේත්, ඒ සම්බන්ධයෙන් වූ මගේ ප්‍රතිචාරත් ඒ වාගෙම ගැටලු සහගතය!!

දාහතරවෙනි වියේ සිටි (නමුදු, ඒ වෙන විටත් දෙවසරක් තිස්සේ පාසල් යන අතරේම පේව්මන්ට් එකේ රැකියාවටත් යමින්- නොයෙක් ජීවන අරගලවලට මුහුණ දෙමින්- තරුණ ගැටවරයන් කිහිප දෙනෙකු සමඟින් ලිංගික අත්දැකීමුත් ලබා හිටි) කොල්ලෙකු වුණු බැවින් මගේ සිතුවිලි නම් එතරම් ලාබාල නොවීය.
එබැවින්ම, ඒ වෙද්දීත් මම තරමක් දුරට හේතු-ඵල විග්‍රහ කරන්නට පුරුදුවී සිටියෙමි.
හැම දෙයක් දෙසම කුහුලින් බලන්නට; එහෙම වුණේ ඇයි කියා විමසා බලන්නට; අනුන් සිතන්නට ඇත්තේ මෙසේය කියා උපකල්පනය කරන්නට පුරුදුවී සිටියෙමි.

හිටින්න! පොඩ්ඩක් හිටින්න. ගැටලු ගැන කියන්නට කලින්, ඉස්සෙල්ලාම බණ්ඩාරවෙලින් පිටත් වෙලා ඉන්නං, එතකොට ලේසිය...

‘කම්මැළියාට දවස දිගය; බතට මාළුව බඩගින්නය’ වගේ කියමන් කියවිලා තියෙන්නේ නිකම්ම-නිකං නොවේ. පැරණියන් ඒ ඒ අත්දැකීම් වින්දාට පසුව වෙන්නැතිය.
අපේ සංචාරයේ සති දෙකක කාලය ගෙවුණු හැටි ගැනත් එහෙම කියමනකින් කියනවා නම් ‘කාලය ගත වුණා නොවේ, ඉගිල්ලුණේය’.

ඌවේ සොඳුරුම තැන්වලට ගොස් ඒවා නරඹද්දී....

සම වියේ සිටි කොලු-කෙලි රෑනක් හා එක්ව ඌවේ සොඳුරුම තැන්වලට ගොස් ඒවා නරඹද්දී....

ඒ කිසිම ගමනක-බිමනක කිසිදු වගකීමක් දරා ගන්නට නොතිබියදී (මීගහකිවුල පාසලේදී කළා වගේ ස්තුති කතා පැවැත්වීම මට නම් විනෝදයක් මිස වගකීම ඉටු කිරීමක් නොවිණි.)....
‘මගේ දවස නං ඉගිල්ලුණේය’ කීම සර්ව සාධාරණය.
 

අප කාටත් සංචාරයේ අවසන් දවස ඉමහත් ශෝකී එකක් වුණේය. කාගේත් මුහුණු අඳුරු වලාකුළුවලින් වැහිලාය. එදා අපට පිටතට යන්නට තිබුණේ නැත.

“දීඝ, ඔයයි නිමලුයි දෙන්නම පොරොන්දු වෙනවා නේද මට ලියන්න...” එදා වසන්ත ඇහුවේ හැඬුම්බර ස්වරයකිනි. “ඔයාලට නම් නිතර හම්බ වෙන්නත් පුළුවන්... දෙන්නම පමුණුවේ එක ළඟ ඉන්න හින්දා.... මට තමයි බැරි. මරදානේ ඉඳලා මහරගමට එන්නය?”

එතකොටවත් මගේ පේව්මන්ට් එකේ රජ වෙන රස්සාව ගැන ඒ දෙන්නාම දැනගෙන හිටියේ නැත. ඒ නිසාම මා කලාතුරකින් හෝ මරදානට යනෙන බවත් ඔවුනට රහසක් විණි.

එහෙම ‘රජ වෙන්නට’ මරදානේ ඉඩ තිබුණේ දොපොළක විතරය. ටවර් රඟහලට කිට්ටුව- මරදානේ පොදු ජන වැසිකිළියට සමීප පදික වේදිකාව එකකි. එතැන කවදාටවත් එච්චර සරුබිමක් නොවිණි.
දෙවැන්න එහෙම නොවේ. මරදානේ එල්ෆින්ස්ටන් හෝල් එක අසල පදික වේදිකාව!
නමුත් උදේට මල්වත්ත පාර, හවසට කොටුව- පිටකොටුව වගේ තැන්වලින් ලැබිය හැකි ආදායමක් මරදානේදී ලබන්නට බැරිය. එතැන රැඳෙන්නේ බසයක් එනතුරු බලා ඉන්නවුන් විතරය. එයාලාට පැය බාගයක්වත් එතැන රැඳී, පේව්මන්ට් කථිකයන්ට සවන් දෙන්නට වෙලාවක් නැත. ඉතිං, අපට වැඩි ආදායමක් ලබන්නටත් ඉඩකඩක් නැත. 

මට එහාට යන්නට වුණේ, සරු තිප්පොළ කිහිපයේම ‘පේව්මන්ට් වෙළෙන්දන්’ගේ බෑග් පෝලිම් තියෙනවා දැක්කාමය.
එහෙම යැවෙන වෙලාවක විතරය, වසන්තට මාව මුණ ගැහෙන්නට ඉඩක් තිබ්බේ.
  

‘අර භාෂාවෙන් නේද ලියන්නේ?’ (එබසින් ලියූ ගීතයක්...)
“ෂුවර් වසන්ත. මම ඔයාට ලියනවා!” දීඝායු කිව්වේය. මමත් ඔළුව සෙලෙව්වෙමි.
“අර භාෂාවෙන් නේද ලියන්නේ...” එතකොට වසන්ත සතුටෙන් උදම් වෙමින් ඇසුවේය. “... අනේ නිමල්...ඔයාට තමයි ඔන්න දීඝට තව ටිකක් ඉලක්කම් බාසාව පුරුදු කරන්න වෙන්නේ.”

අපේ තාත්තාගේ දණ්ඩ නීති ගැනත්, හොර අල්ලන්නට කෙරෙන ප්‍රශ්න ඇසීම් ගැනත් ඒ වෙලාවේ කල්පනා වුණත්, මං එයාලට ඒවා කියන්නට ගියේ නැත. ලියනවා නං හොරෙන්ම විය යුතුය.... අපේ ගෙදරදී එළිපිටම වුණත් යාළුවන්ට ලියුම් ලියන පුරුදු තිබ්බේ නැත. වසන්ත එවන ලියුමක් වුණත් ගෙන්නා ගන්නට වෙන්නේ හොරෙන්ය; වෙන කොහාටවත්ය. නැත්තං තාත්තාගේ හරස් ප්‍රශ්න දාහකට උත්තර බඳින්නට වෙනවා සිකුරුය.   

ගිනි පෙනෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරි එළියටත් බිය විය යුතුමය!

මගේ අනුදැනුමකින් තොරව සිදු වුණත්, පියසිරිගේ ‘හොර ලියුම’ මගේ පෙර වැරදි ගොඩට එකතුවී තියෙන බවත් මට අමතකව ගිහින් නැත.
ඒ නිසා ඉලක්කම් භාෂාවෙන් ලියන දෙයක් වුණත් ලියන්නට ඕනේ ඉස්කෝලේදීමය. ලියුමක් ලිව්වත් ගෙදරට ගෙනියන එක අවදානම්ය. එය ගෙදර ගෙනියන්නේ නැතිව එදාම තැපැල් කරලා එන්නටත් වෙයි!
ඉස්කෝල කැන්ටිමෙන් සීනි සම්බෝල
පාන් කාලක් ගන්නට සත දොළහක් නැති මට... ලියුම් කවරවලට, මුද්දරවලට සල්ලි?    

පසුවදා උදෙන්ය අප බණ්ඩාරවෙල දුම්රියපොළට පිය මැන්නේ.
දාහතර වෙද්දී
පළමුවෙනි post එක පටන් ගනිද්දී කියූ දේවල් සියල්ලය සිදු වුණේ! එතැන් සිට තවත් කොටස් අටක් ලියවී තිබේ.

අඳුරට හුරුවී තිබුණු දෙනෙත්වලට පිටත එළිය පෙනෙන්නේ වඩාත් ආලෝකවත්වය.

අඳුරු බිංගෙයක් මැදින් එළියට ඇදෙන කෝච්චියක ඉන්නා කෙනෙකු ගැන හිතන්න. අඳුරට හුරුවී තිබුණු දෙනෙත්වලට පිටත එළිය පෙනෙන්නේ වඩාත් ආලෝකවත්වය. මගේ මතකයත් ඒ වගේමය; තරමක් අඳුරේය. ඒත් අඳුරේ සිටින මට වරින්-වර වඩාත් ආලෝකවත්ව මගේ අත්දැකීම් යළිත් පෙනෙන්නට වෙයි! යටකී කොටස් නවය අකුරු කරද්දී ඒ අත්දැකීම් වඩාත් පැහැදිලිව යළි දර්ශනය වෙන්නට ගත්තේය.

අප එදා හවස බදුලු කෝච්චියෙන් බැස ගත්තේ කොටුව දුම්රිය ස්ථානයෙනි.

“දැන්වත් වීසි කරලා දාපං බට්ටො පරවෙච්ච මල් ගොඩ!” අපේ කට්ටියේම කෙනෙක් අතරමඟදී කිව්වේය. බණ්ඩාරවෙල දුම්රිය පොළේදී, උදේ පාන්දර ලස්සනට ලස්සනේ සුපිපී තිබ්බත්- හවස් වෙද්දී මල් තොගයම ඇකිළී- හැකිළී- විරූපවී ගිහින්ය. ඒවා තියාගෙන ඉන්නත් බැරි- වීසි කර දමන්නටත් බැරි මනෝ භාවයකය මා හිටියේ.
“ඕවා විසි කරමු!” අන්තිමේදී දීඝායුත් කීවේ, පර මල් ගොන්නට අතක් තියන ගමන්ය.

මගේ නිහඬතාව අනුමැතියක්සේ සැලකූ දීඝායු අත් දෙකෙන් මල් ගොඩම අල්ලා, දුම්රියේ කවුළුවකින් පිටතට වීසි කර දැම්මේය; ඊළඟට මගේ ළඟින් වාඩිවී සිටි සිසුවා තරමක් ඈත් කර, සක්කයක් ගහලා මගේ ළඟින්ම වාඩිවී අතක් මිරිකුවේය.
“අපේ කට්ටියෙන් කීප දෙනෙක් හවස කෝච්චියකින්ම මහරගමට යන්න කතා වුණා...  නිමල්, ඔයත් යං අපිත් එක්ක.... බස් එහෙක යනවට වැඩිය ලේසියිනෙ, හිර වෙන්නත් ඕන්නෑ...” කියලාත් යෝජනා කළේය.
ඒ යෝජනාව මට නම් ගෙනාවේ සතුටකි.
දීඝායුගේ සමීපයෙන් හැකිතාක් වැඩි වෙලාවක් ගැන්නෙමින් ඉන්නට ලැබීම කොච්චර එකක්ද?

මට නිමල්ව kiss කරන්න තියෙනවා....

“මගේ භාරකාර ඩියුටිය කොටුව station එකෙන් ඉවරයි. ඊට පස්සේ තමුසෙලට කැමැත්තක්...” ආනන්දයියාගෙන් කැලණිවැලි කෝච්චියේ ගමන ගැන ඇහුවාම කිව්වේය.

“අපිට නං බස් එකේ ගියාම ලේසියි ආනන්ද සර්!” රණවක කිව්වේ ඇත්තකි. වත්තේගෙදර පාරේ ඉන්න එයාලට නාවින්න දුම්රිය පොළේ සිට වැඩි දුරක් පයින්ම ඇවිදින්නට වෙයි.
ඒත් ඇත්තම හේතුව වුණේ ඒක නොවේ.
“හරිම අමාරුවෙන් මචං ඉවසගෙන ඉන්නේ දුමක් නෑද... කොටුවෙන් බැහැපු ගමන් තෝසෙ කඩේකට ගිහින්...” කියමින් රණවකත් තව දෙතුන් දෙනෙකුත් සැලසුම් කරමින් ආවේ, ආනන්දයියාටත් නෑහෙන්නටය.

බුවෙනකබා විදුහලේ ළමුන් කණ්ඩායමෙනුත්, පුංචි කෝච්චියේ ගමනට නැවතුණේ දෙතුන්-දෙනෙකු විතරකි.
(වසන්තලා මරදාන ස්ටේෂන් එකේදීම අපෙන් සමුගෙන තිබිණි.)

ඒ පුංචි කෝච්චි ගමන කිසිම හදිසියක් නොතිබුණු ගමනකි...... එදාත් කැලණිවැලි කෝච්චිය ගියේ ඉබි ගමනිනි. කෝච්චි පෙට්ටියේ හිටියේ අප තුන්-හතර දෙනා විතරය.
ඔන්න නුගේගොඩ පහු විණි. උඩහමුල්ල ආවේය; එතැනින් පිටත් වුණු වහාම වගෙය...
“මට නිමල්ව kiss කරන්න තියෙනවා.... මචංලා බලන්නෙපා!”

දීඝායු මිතුරන්ට කිව්වේ කිසිම ඇකිළීමක්- පැකිළීමක් නැතිවය.
මට කිසිවක් හිතා ගන්නට ඉඩ ලැබුණේ නැත; දීඝායු මගෙන් කිසිවක් ඇහුවෙත් නැත. මගේ ඉදිරියෙන් හිටගෙන, මා වෙතට නැඹුරුවී, දෝතින්ම මගේ මුහුණ අල්ලාගෙන, මුහුණට පහත් වුණේය....

සක්මන් කරන මළුවේදී බැඳි         හාද
සිත් සන්තොසින් දුන් මුව මී       බීවාද
ඉක්මන් ගමන් හිමියනි ඔබ     යනවාද
දස්කොන් මගෙ නමට ජීවිත දෙනවාද?

ප්‍රමිලා බිසවත් දස්කොන් අදිකාරමත් අතර සිදු වුණු මුව මකරන්ද ගනුදෙනුව....

එදා සක්මන් මළුවේදී, ප්‍රමිලා බිසවත් දස්කොන් අදිකාරමත් අතර සිදු වුණු ‘මුව මකරන්ද ගනුදෙනුව’ සිදු වෙන්නට ඇත්තේ අතිශය රහසෙන්ය; කාටවත් නොපෙනෙන්නට- නොදැනෙන්නටය.

මේ දවසේ එහෙම නොවේ. අනෙත් සිසුන් තුන්-හතර දෙනා අප දෙස පුදුමයෙන් බලා හිටියාද?
මොනවා සිතුවාද?

දීඝායුට ඒවා එකක්වත් සිහි වුණු පාටක් නැත. මටත් එහෙමය. අපේ ඉස්කෝලෙන් නම් ඒ කෝච්චි පෙට්ටියේ හිටියේ මං විතරය. ඒත් දීඝායු.... එයාගේ පාසල් මිතුරන් පස්සේ හරි, මොනවා කියන්නට ඇතිද?

පසු කාලීනවය මා ඒ සිප ගැනීම ‘French Kiss’ යන වෙසෙස් නමකින් හඳුන්වන බව දැන ගත්තෙත්.

එපමණක් නොව, ඊට වසර පහළොවකට විතර පස්සේ ‘මනහර’ සඟරාවේ පළව තිබුණු විශේෂාංග ලිපියක් කියවා භ්‍රාන්තියටත් පත් වීමි. එයින් කියැවුණේ මනහර චිත්‍රපටයක් වුණු ‘Gone with the Wind’ රූගත කරද්දී ප්‍රධාන නිළි ‘විවියන් ලී’ මුහුණ පෑ අපහසුවක් ගැනයි.
Film එකේ උණුසුම්- සරාගී සිප ගැනීමේ දර්ශන කිහිපයක් වුණේල. ඒවායේදී විවියන්ට සිප ගන්නට වී තිබ්බේ ප්‍රකට හොලිවුඩ් නළු ක්ලාර්ක් ගේබල්වය.
අවාසනාවට ‘ගේබල්’ bad breath- මුඛ දුර්ගන්ධය සහිත නළුවෙක්ව සිටියේලු.

‘මනහර සඟරාවේ’ ඒ සිංහල විශේෂාංග ලිපිය හොයා ගත නොහැකි වුවත් ‘ගෝන් විත් ද වින්ඩ්’ මතක තිබුණු නිසා ඒ ගැන පුවතක් ජාලයෙන් සොයාගත හැකි විණි.

ඇත්තය, ඒ විශේෂාංග ලිපිය කියවූ දවසේ- මම අතීතයට බලපාන පරිදි ලජ්ජාවෙන් මුසපත් වීමි. එදා මටත් ‘මෞඛ දුර්ගන්ධය’ තිබිණිද?
අප බණ්ඩාරවෙලින් පිටත් වුණේ හිමිදිරියේය. එතරම් ප්‍රසන්න සුවඳක් මගේ මුඛයෙන් හමමින් තිබුණා වෙන්නට විදිහක් නැත!
එහෙත්, ඒ බවක් එදා දීඝායුට නොදැනුණා විය යුතුය. ඒ ගැන මට සහතිකය. එහෙම කියන්නේ උඩහමුල්ලෙදී ඇරඹුණු සිප ගැනීම නාවින්නට එනතුරුම අඛණ්ඩව පැවතුණු බැව් හෙළි කරමිනි.

කවද්ද අපි ආයෙත් හම්බ වෙන්නේ?
මහරගමින් බැසගත් අපි බෑග්ස්තුත් උස්සාගෙන පා ගමනින්ම පමුණුව පාර දිගේ පිය මැන්නෙමු. අප දෙදෙනාම හිටියේ ගොළු වෙලා වගෙය.
මට හිතෙන්නේ දුකෙන් වෙන්නට ඇති!

එක්සත් සුබ සාධක මාවත (ඒ නම ඒ පාරට තිබ්බෙත් පසු කාලයකය.) ළඟදී, මට හැරෙන්නට වෙයි.
“ඉතිං...”
මා නිරුත්තරය....
“ඔයා මෙතනිං හැරෙනවනේ.... කවද්ද අපි ආයෙත් හම්බ වෙන්නේ...” දීඝායු අහද්දී මගේ දුක්බර ගතිය ඈතින්- ඈතටම පලා ගිහින් ඉවරය.
“මම හෙට හවසට ගමනක් යැවෙනවා. දෙකහමාරට විතර.... එතකොට...”

පහුවදා හිටම පේව්මන්ට් රස්සාවට යන්නට වෙන බව මම ගණන් බලා තිබ්බෙමි. ඒ ගමන යන්නට කලින් දීඝායුව හමු විය හැකිය.

“කොහෙදිද?”

“මං මේ පාර දිගේම එන්නං. හැබැයි, වැඩි වෙලාවක් ඉන්න හම්බ වෙන එකක් නෑ. ඉක්මනට යන්න වෙයි.” මම කීමි.
“එහෙනං මම කලින්ම ඇවිත් ඉන්නං. සෙන්ට්‍රල් එක ළඟ.....” දීඝායු නොපමාවම කීවේය.

සෙන්ට්‍රල් බේකරිය හා හෝටලය ඒ තරමටම ඒ කාලයේ මහරගම ප්‍රසිද්ධය. දෙහිවල පාර දිගේ එද්දී අදටත් ඔබට පෙනෙන්නේ මහරගම පරණ පාරේ පිහිටි ඒ හෝටලයයි. (මට හිතෙන්නේ මහරගමට හික්ගස් හන්දිය කියලා කියන කාලේ තරමටම මේ හෝටලය පරණයි කියලාය.) දැනුත් ඒ කඩය එතැන ඇතත්, හිමිකරුවන් හා නම් විතරක් වෙනස්වී ඇතිවා වගෙය.

හම්පඩ...? ඔයා දකින්න තිබ්බේ අපි ගමේදී ගෙදරට අඳින ඒවා

ගිවිසගත් විදිහටම පසුවදා දෙකහමාර වෙද්දී දීඝායු සෙන්ට්‍රල් හෝටලය ළඟ බලා උන්නේය. මං එනවා දුර තියා දුටු ගමන්ම දීඝායු පෙර ගමන් ආවේය. ළඟටම එද්දීය මං දැක්කේ; මේ යක්ෂ පැටියා සෙරෙප්පු දෙකක්වත් දාගන්නෙ නැතිවය ඇවිත් හිටියේ.... ඒ මදිවාට හද්දා පරණ හම්පඩ කලිසමක්- කමිසයක්..... ඇත්තම කියනවා නං, ඒ වෙලාවේ මට දීඝායු එක්කලා කතා කරන්නටත් ලජ්ජා හිතුණේය.

බණ්ඩාරවෙලදී හිටි අර කඩවසම් තරුණ ගැටවරයා වෙනුවට මගේ ඉදිරිපිටට ආවේ දුප්පත්ම- දුප්පත් පෙනුමක් ඇති හාදයෙකි!

සාමාන්‍ය කතාබහකදී දැන් තරමටවත් උපායශීලී වීමේ පුරුද්දක් එතකොට මට නොතිබුණේය.
“මොකද දීඝ මේ... හම්පඩ වැරහැලි ඇඳගෙන.....”

“හම්පඩ... ඔයා දකින්න තිබ්බේ අපි ගමේදී ගෙදරට අඳින ඒවා.” දීඝායු කිසිම පැකිළීමක් නැතිව කීවේය.
“ගමේදී? ඇයි ඔයා මෙහෙ නෙවෙයිද?” මගෙන් ප්‍රශ්නයක්....

එතකොට ලැබුණු උත්තරය ගොඩාරියක් දේවල් පැහැදිලි කෙරෙන්නකි.
දීඝායු නුවර xxකුඹුර ගමේය. “අපේ අයියා වෙන කෙනෙක් තමයි මෙහෙ ඉන්නේ... එයාගේ නෝනා දොස්තර නෝනා කෙනෙක්. දවස තිස්සෙම එයාල දෙන්නම ගෙදර නෑ. ඉතිං අපේ තාත්තලට කියල මේ අයියා මාව මෙහාට ගෙන්න ගත්තා, ගෙදර පරෙස්සමටත් එක්ක. උදේ වරුවේ ඉස්කෝලේ යන ටිකට විතරයිනේ මං ගෙදර නැත්තේ....”

දීඝායු කිව්වේ එච්චරය.
ඉතිරි කොටස මම හිතා ගත්තෙමි. ‘මෙයා වෙන්නැති ගෙදර වැඩ සේරම කරන්නේ.’ මට සිතිණි.
‘දීඝායු පව්! මටත් වැඩිය පව්!!’

අප දෙන්නා වැඩියෙන්ම මුණ ගැහුණේ ඉස්කෝලේ ඇරී ගෙදර යන අතරේය.

වැඩි වෙලාවක් එයාත් එක්ක කතා කරමින් ඉඳලා බැරිය. ආපහු මුණ ගැහෙන්නට වෙලාවක් නියම කරගෙනය, අප වෙන් වුණේ.

ඊට පස්සේ අප දෙන්නා වැඩියෙන්ම මුණ ගැහුණේ ඉස්කෝලේ ඇරී ගෙදර යන අතරේය. ඒ නිසා අපේ තාත්තාට දීඝායු ගැන කිව යුතු වුණේ නැතිය.

“දීඝායු, මම හෙට වසන්තට ලියුමක් ලියනවා. ඒකෙම දාලා යවන්න ඔයත් එකක් ලියල දෙන්නකො.” ඔහුට කියූ මම පිළිතුරු ලිපිය එයාලගෙ ගෙදරට ගෙන්වා ගන්නටත් යෝජනා කළෙමි.
ඒ ගැන කතාබහේදී මට අපේ දුප්පත්කම ගැනත්, තාත්තා ගැනත්, මගේ පේව්මන්ට් රස්සාව ගැනත් දීඝායුට කියන්නට සිදු වුණේය.
“එහෙනං අපි දෙන්නම එක බෝට්ටුවේ.” දීඝ කිව්වේ එතකොටය.

වසන්ත අපට ඉගැන්වූ ඉලක්කම් භාෂාව තවමත් මට මතකය.
අපට රහසෙන් හුවමාරු කර ගන්නට තරම් දේවල් තිබුණේ නැත. ඒත් එහෙම කරද්දී දැනුණු ප්‍රමෝදය නම් බොහෝමය....
රහසක් ඇතැයි සිතාගෙන කටයුතු කිරීම අපට වැඩි ප්‍රමෝදයක් ගෙනෙනවාවත්ද? අපේම ෆැන්ටසියක සිරගතවී රහසින් කටයතු කිරීමෙන් අපට වැඩි වින්දනයක් ලැබෙනවාවත්ද?

වසන්ත අපට පිළිතුරු ලියා එව්වේය. ඒත් රහස් භාෂාවෙනි. ඒ බසින් ඉක්මනට ලියන්නට මෙන්ම ලියා ඇතිදේ කියවන්නටත් මනා පරිචයක් අවැසිය. ඒ හැකියාව මා සතු වුණු බැවින් දීඝායුට ලැබුණු පිළිතුරුත් කියවා දෙන්නට වුණේ මටය. ඒ හැම මොහොතක්ම මට ගෙන දුන්නේ සතුටකි!

එහෙත් කැලණිවැලි දුම්රියේ ගමනින් පස්සේ දීඝායු, සිප ගැනීමක් තියා මා ස්පර්ශ කිරීමක්වත් කළේ නැත. එයා අසැබි කතාබහ නොකරන; කුණුහරුපයක්වත් නොකියන පන්නයේය. හොඳටම තරහ ගියාමත් කළේ දත්මිටි කන එකය.
අඩුම ගණනේ දවසක් හැර දවසක්වත් අපි හමු වුණෙමු. ඒ හැම හමුවීමක්මත් විනාඩි දහය-පහළොවකට සීමාවූ කෙටි ඒවා විණි.

ඉතිං, ඒ ඇරයුම පරිදිය දෙසැම්බරයේ දවසක....

“මට හිතා ගත්තැකි නිමල්, ඔයා කොච්චර හිර වෙලාද ඉන්නේ කියලා.... Term test දවස්වලදී ඔයාලටත් ටිකක් නිවාඩු හම්බ වෙනවා නේද? එතකොටවත් ඔයා යාළුවන්ගේ ගෙවල්වල යන්නැද්ද?” නොවැම්බරයේ දවසක දීඝායු මගෙන් ඇහුවේය.

“වැඩිය යන්නෑ! කලාතුරකින් තමා... වැඩියත්ම දං කඩන්න තමයි ගිහින් තියෙන්නේ...”
“කාත් එක්කද?”
“පන්තියේ ළමයිනුත් එක්ක....”

එදාය, අපේ ඉස්කෝලේ මගේ හොඳම මිතුරු-මිතුරියන් ගැන දීඝායුට කියැවුණේත්. “මම කියන්නං වැඩක්! අපේ අක්කා උදේට වැඩට යන දවසක් අල්ලලා, විභාගේ දවසක ඔයා එන්න අපේ ගෙදර....” දීඝායු කල්පනා භරිතව කිව්වේය.

“ඇයි අක්කා නැති දවසක්...” මම ඇසීමි.
“එයා කැමති නෑ මගේ යාළුවො එහාට එනවට... ඒ තියා අපේ අයියගෙ යාළුවොන්වත් එහාට එන්නෑ, අක්කා ටිකාක් එක විදිහක්ය කියලා.... අපට ඒකෙන් වැඩක් නෑ- මොකද කියන්නේ, එනවද. එනවා නං
දඩෝරියාටයි, කොරල සුන්දරීටයිත් එන්න කියන්න. එයාල නේද ඔයාගේ හොඳම යාළුවො දෙන්නයි කිව්වේ......” 

මං හිතාගෙන හිටියේ දීඝායු කවම-කවරදාකවත් එයාලගේ ගෙදරට එන්නැයි මට ආරාධනා නොකරතැයි කියලාය. කිසිම මිතුරෙකුට එහෙම ආරාධනාවක් කරන්නට දිරියක්වත්, කැමැත්තක්වත්, පසුබිමක්වත් මට නම් නොතිබිණි.

ඉතිං, ඒ ඇරයුම පරිදිය දෙසැම්බරයේ දවසක, අප තිදෙනෙක්ම දීඝායුලාගේ ගෙදරට ගියේ!

හිතාදර පාඨක ඔබ පුදුමයකට හෝ බලාපොරොත්තු සුන් වීමකට පත් විණි නම් මට සමාව දිය යුතුය.

දෙසැම්බරය වසරේ අවසන් මාසයයි. මේ කොටන්නේ ‘දාහතර වෙද්දී’ පෝස්ටු මාලාවේ අවසන් කොටසේ අවසන් භාගයයි.

හෑ? අවසන් කොටසේ අවසන් භාගය?

හිතාදර පාඨක ඔබ පුදුමයකට හෝ බලාපොරොත්තු සුන් වීමකට පත් විණි නම් මට සමාව දිය යුතුය. දාහතර වෙද්දී posts ලිවීම අදින් අවසන් කළත්, දීඝායුගේත් මගෙත් කතාව තවම අවසන් නැතිය. එතැන් සිටත් අවුරුදු පහක් විතර කාලයක් තිස්සේ ඒ කතාව දිගෑදුණේය.
මේ මාතෘකාව ඒ දීර්ඝ කතාවට නොගැළපෙයි; එහෙයිනි ‘පහළොවේ සිට...’ posts පෙළ ඊළඟට ලියන්නට පටන් ගන්නේ.

‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළමින් ඒවාත් කියවන්නට එන්නැයි ඔබ සැමට ගෞරවයෙන් ඇරයුම් කරමින්ය, මේ ‘දාහතර වෙද්දී’ පෝස්ටු මාලාවට ‘කුණ්ඩලිය’ යොදන්නේ෴