දැන් එයාට වඩා සිය ගුණයක් හොඳ
කෙල්ලෙක්ව.... |
88. අත ඇරීම
“තමුසෙ ඒ කෙල්ල කියපු නිසා
බොන එක අත ඇරියා?”
“ඔව්!”
“සිගරැට් බොන එකත්...”
“ඔව් මචං ඔව්!”
“එච්චරද?”
“නෑ, නෑ... රේස් දැමිල්ල
නැවැත්තුවා.... බූරුවා ගැහිල්ල අත ඇරියා. ඉඳහිටවත් ක්ලබ් යන පුරුද්දත් අත ඇරලම
දැම්මා!”
“ඉතිං මිනිහෝ, ඔච්චර දේවල් ඒ
කෙල්ල හින්දා කරපු උඹ, දැන් මොකද ඒකිව අත ඇරලා දාන්න යන්නේ?”
“එව්වා ඔක්කොම අතෑරලා හොඳ
මිනිහෙක් වුණාට පස්සෙනේ බං මට තේරෙන්නෙ, දැන් එයාට වඩා සිය ගුණයක් හොඳ කෙල්ලෙක්ව
මට ලේසියෙන් හොයා ගන්න පුළුවන් බව!”
89. අපායෙත් තරගයක්!
ගොඩාක් දේශපාලඥයෝ දැන් ඉන්නේ
අපායේ!
පණ පිටින්ම වුණත් එහෙමයි.
කොයි වෙලාවේ වෙඩි පාරක් කන්න වෙයිද, කොයි මොහොතේ බෝම්බයක් වදියිද, තව කොච්චර දවසක්
බලයේ ඉන්න හම්බ වෙයිද කිය-කියා හිතිං විඳවන එකත් පොඩි පහේ කරුමයක්ද?
අනේ, ඒ උත්තමයෝ රටට කිරි උතුරවලා- සෞභාග්‍යය උදා කරලා දීලා- හුදී ජන අපව පණ
පිටින්ම දිව්‍ය ලෝකෙට යවන්න විඳින දුකක්.... පව් අප්පා!
මිනිස්සුන්ට ‘හිසට සෙවණ- හිතට
නිවන’ හදල දීපු තරමට.... (A.G.G.S. අමරසේකර මහතාගේ සිත්තමකි) |
මේ දේශපාලඥයෝ ඔක්කොම දැන් මිය-පරලොව ගිහින්.... සොබාවික විදිහට; වෙඩි කාලා;
බෝම්බවලට අහු වෙලා.... ඔය කොහොම වුණත් ඉතිං දැන් එකම පන්තියේ, එකම අපායේ විඳවනවා.
ඔහොම ඉන්න අතරේ දවසක, අපායේ
කරන්ට් ගිහිල්ලා කට්ටියටම ‘පුංචි විරාමයක්’ හම්බ වුණා. මෙයාල කට්ටිය දැන් බරටම
කතාව.
“මෙහෙ ක්‍රමයේ ලොකු වරදක්
තියෙනවා... මේ ක්‍රමය වෙනස් කොරන එක තමයි හොඳ.” ජයවෝඩන උන්නැහේ කිව්වා.
“ඒක නේන්නං, මං මිනිස්සුන්ට
‘හිසට සෙවණ- හිතට නිවන’ හදල දීපු තරමට මං ඉන්න ඕනි තව්තිසාවෙනේ...” ප්‍රේමදාස
උන්නැහේත් එකඟත්වය පළ කළා.
“මටත් වෙලා තියෙන්නේ ඕකම
තමයි! මහපොළෙන් විතරක් මම කී දාහක් ළමයින්ට ඉගෙන ගන්න උදව් කළාද?” ඒ ඇතුලත්මුදලි
උන්නැහේ.
“බලාගෙන ගියාම අපි ඔක්කොම එකම
බෝට්ටුවේ. අවුරුදු තිහෙන් කරන්න ගිය වැඩේ හයෙන් කරපු මාත් මෙහෙට්ටම එවුණේ ඔය
සිස්ටම් එකේ අප්සට් එක නිසාම තමයි!”
දිසානායක උන්නැහෙත් කිව්වා.
“ඔව්, ඔව්... අපි මෙහෙම නිකම්ම
ඉඳලා හරි යන්නේ නෑ. ගිහින් යම රජතුමාට කියලා සාධාරණයක් කරවා ගන්න බලමු.” එක්කෙනෙක්
කිව්වා.
ඒ යෝජනාව ඒකච්ඡන්දයෙන්ම සභා සම්මත වුණා.
මෙහෙ තියෙන්නේ මගේ නීතිය!
හැබැයි, මම සාධාරණව, අපක්ෂපාතව... |
“මෙහෙ නැද්ද අභියාචනාධිකරණයක්වත් අපිට පැමිණිලි කරන්න?” එක්කෙනෙක් යම රජතුමාගෙන්
එහෙමත් ඇහුවා.
“මනුස්ස ලෝකේ තියෙන ඔක්කොම
කුණු කන්දල් මෙහෙත් තියෙනවයි කියලද හිතන්නේ? මෙහෙ තියෙන්නේ මගේ නීතිය! හැබැයි, මම
සාධාරණව, අපක්ෂපාතව මගේ රාජකාරිය ඉෂ්ට කරනවා.” යම රජ්ජුරුවෝ ගෝරනාඩු කළා.
“හොඳයි, තමුන්ලා කරපු පැමිණිල්ල ගැන සලකා බලලා, මම කැමතියි යුෂ්මතාලගෙන් කෙනෙකුට
පුංචි සහනයක් දෙන්න.... එකඟයිද?”
හතර දෙනාම කැමති වුණා!
“මම දැන් යුෂ්මතාලට වරයක්
දෙනවා, එක විනාඩි පහකට මනුස්ස ලෝකෙට ගිහින්- මේ තාක් කල් මම කාලා නැති පලතුරක් අරං
එන්න. එහෙම අරං එන කෙනාටයි විශේෂ වරප්‍රසාදය හම්බ වෙන්නේ.” යම රජතුමා එහෙම කියලා
ඉවර වෙන්නත් කලින් එක්කෙනෙක් පලතුරු ගේන්න දුවලත් ඉවරයි. අනිත් තුන් දෙනා එතැනමයි.
“... එක කොන්දේසියකුත්
තියෙනවා... යුෂ්මතාලා මගේ තීන්දුව අසාධාරණයි කියල හිතලනේ මෙහෙම පැමිණිලි කරන්න
ආවේ. ඒ නිසා අර වගේ පලතුරක් ගෙනෙන්න බැරි වුණොත් ඒකට අමතර දඬුවමකුත් විඳින්න වෙයි!
හ්ම්... දැන් යන්න පුළුවන්...”
යම රජතුමා එහෙම කිව්වට පස්සේ,
ඔන්න අනිත් තුන් දෙනාත් දිව්වා පලතුරු හොයන්න.
විනාඩි පහ ගෙවුණා!
යුෂ්මතාලට මම කිව්වනේ මගේ
සාධාරණකම ගැන. |
“කෝ බලන්න ගෙනාව දේවල්.” යම
රජතුමා කිව්වා.
එක්කෙනෙක් ඉස්සරහට ආවා.
“ටිකක් ඉන්නවා....
යුෂ්මතාලට මම කිව්වනේ මගේ සාධාරණකම ගැන. මේ තිරයෙන් එහා පැත්තේ ලොකු මේසයක් උඩ මම
අනුභව කරලා තියෙන ඔක්කොම පලතුරු වර්ග තියල තියෙනවා. තමුන් ගෙනාව දේවල් මට පෙන්වන්න
කලින් ගිහින් බලනවා, එතැන තියෙන දේවල් දිහාත්!” යම රජතුමා කිව්වා.
පළමුවෙනියා ගිහින් මේසෙ උඩ
තියෙන දේවල් දිහා බලලා ආපහු ආවේ මූණ එල්ලගෙන.
“දැක්කද?”
“එහෙමයි! ඔබතුමාට උගුරැස්ස
හම්බ වෙලා තිබිලනෙ!” උගුරැස්ස ගෙනත් තිබුණු පළමුවෙනියා කිව්වා. කියලා පැත්තකට
වුණා.
එයා දෝත පුරා උගුරැස්ස ගෙඩියි ගෙනත් තිබුණේ.
ඊළඟට දෙවෙනියා. එයාත් පරාදයි.
එයා ගෙනත් තිබුණේ ඇඹරැල්ල ගෙඩි හත අටක්.
තව දෙන්නෙක් ඉතිරියි. දෙන්නම
පැකිළෙනවා.
මොකද උඹලා හිනා වෙන්නේ? |
“අනේ, ඔබතුමා නේත්‍රප්පලම් කෙසෙල් ගෙඩිත් කාලා තියෙනවා වගෙනෙ...” කියාගෙනයි එයා කෙසෙල් ඇවරියත් අරං පසුබැස්සේ.
ඒත් එයා ඊට කලින් යම රජතුමාගෙන් ප්‍රශ්නයකුත් ඇහුවා.
“සමා වෙන්න යම රජතුමනි.
ඔබතුමා කිව්වනේ මෙතෙක් ඔබතුමා අනුභව කරලා නැති පලතුරක් ගේන්න බැරි වුණොත් අපිට
ඒකටත් දඬුවමක් දෙනවා කියලා....”
“ඔව්, ඔව්! ඒ දඬුවම ගැනද දැන
ගන්න ඕනේ? මගේ යමපල්ලෝ ඔය උඹලා ගෙනාව පලතුරු තම-තමුන්ටම කවාවි.. හැබැයි, මුඛයෙන්
නෙවෙයි- අධෝ මුඛයෙන්!”
යම රජතුමා එහෙම කිව්වා
විතරයි, මුල් තුන් දෙනාම පෙරළි-පෙරළී හිනා වෙන්න පටන් ගත්තා. දැන් යම රජතුමාට ෆුල්
හොල්මන්...
ඉතිරි එක්කෙනාටත් එහෙමයි.
“මොකද උඹලා හිනා වෙන්නේ?”
“අනේ රජතුමනි! අරයා.... අරයා
ඔබතුමාටවත් නොපෙන්නා හංගගෙන හිටියට අපිට පෙනුණා, එයා ගෙනාව ජාතිය. දූරියන්!
ඔබතුමාගේ මේසේ උඩත් ඒවා තියෙනවා!”
එතකොටයි යම රජතුමාටත් එයාලගේ
හිනාවෙ තේරුම වැටහුණේ!
(කතාව නං ඉවරයි. වැරදීමකින්
එහෙම නෙවෙයි, මේ හතර දෙනාගේ නම් ටික පස්සෙන් පහු නොකියා හිටියේ.)
එහෙම වෙලාවට හැබෑ ජීවන
අත්දැකීම් ගැනත් එළියට එනවා. |
‘ඔන්න පොරක් ඉන්නවලු කුණු වෙච්ච අඹ ගෙඩි
දෙකක් අතේ තියාගෙන. එකකින් චුට්ටක් කනවලු. ‘අයියෝ ඒක කුණු වෙලා’ කියනවලු.
ඊට පස්සේ අනිත් එකින් චුට්ටක් කනවලු. ‘අම්මෝ, ඒකත් කුණු වෙලා’ කියනවලු.
ඊට පස්සෙ ආයෙත් පළවෙනි එකෙන් චුට්ටක් කනවලු.
මූ මෙහෙම නහයෙන් අඬ-අඬා මාරුවෙන් මාරුවට
කුණු අඹ කන හැටි මිනිහගෙ යාළුවෙක් දැක්කලු. ඒ වැඩේ දිගටම කෙරෙනවා බලාගෙන ඉන්න
බැරිම තැන යාළුවා ඇහුවලු මෙහෙම:
“ඇයි මචං, උඹ ඔය කුණු අඹම කන්නේ? ඔව්වා වීසි කරලා වෙන අඹ ගෙඩියක් ගනින්කෝ..”
“එහෙම ගන්න අඹ ගැන විශ්වාස නැහැනෙ මචං...
මොනා කරන්නද. කන්න වෙන දේකුත් නැහැනෙ මචං.”
යාළුවා ලොකු හිනාවක් දාලා පාරේ අයිනකට අත
දික් කරාලු, මෙහෙම කියන ගමන්. “ඇයි මචං, අලුත් අඹයක් ගැන විශ්වාසෙකුත් නැත්තං, මේ බලු බෙටි තියෙන්නේ... ඒවා හරි එක
පාරක් කාලා බලපංකො හොඳද කියලා!”
මේ ළඟ දවසක, හීනි මධු සාදයකදී කතාවක් ඇති
වුණා අපේ හිතවතුන් තුන්-හතර දෙනෙක් අතරේ. දන්නවනේ, එහෙම වෙලාවට හැබෑ ජීවන
අත්දැකීම් ගැනත් එළියට එනවා. ඒ සාකච්ඡා සභාවට එකතු වෙලා හිටිය මිත්තරයෙක්ට ඉන්නවා
අවුරුදු තුනක පුතෙක්. මිත්‍රයාගේ බිරිය නැවත ගැබ් ගෙනයි ඉන්නේ.
“පුතාව දැන්මම රෙඩි කරලා තියන්න ඕනි නිසා, අපි පුතාට කිව්වා -තව ටික දවසකින් අම්මා
ඔයාට නංගියෙක් හරි මල්ලියෙක් හරි ගේනවා, දැන් අම්මගෙ බඩේ ඉන්නෙ එයා තමයි!- කියල.
පුතා ටිකක් කල්පනා කරලා ඇහුවනේ -අම්ම එයාව ගිලලද ඉන්නේ- කියලා.”
ඒක මඟ හරවන අදහසින් ‘අර පුතේ ලස්සන සමනලයෝ’ කියල..... |
‘කෙළින්ම වලේ
පුංචි එවුන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන එක
තරම් අමාරු වැඩක් දෙමව්පියන්ට තවත් නැහැ. දවසක්දා එක පුංචි පුතෙක් අම්මාගෙන්
අහනවා, ‘අම්මේ. ඉපදෙන්ඩ ඉස්සෙල්ලා බබා හිටියේ කොහෙද?’ කියලා.
“පුතා හිටියේ අම්මගේ බඩේනෙ.’ අම්මා වැඩි දුර
නොහිතා පිළිතුරු දුන්නා.
“බඩේ?” පොඩි එකා පුදුම වෙලා ඇහුවා. “ඉතිං
බබා බඩෙන් එළියට ආවේ කොතැනින්ද?” පොඩි එකා ඊළඟ ප්‍රශ්නෙත් ඇහුවා.
අම්මා උත්තර දීගන්ඩ බැරිව, ඒක මඟ හරවන
අදහසින් ‘අර පුතේ ලස්සන සමනලයෝ’ කියල වත්ත පැත්තට අත දිගු කරලා කිව්වා. ‘සමනලයෝ
ඕනෙ නැහැ අම්මේ! බබා බඩෙන් එළියට ආවේ
කොතැනින්ද කියන්ඩකෝ’ කියල පොඩි එකා කිව්වා.
දැන් අම්මට බේරෙන්ඩම බැහැ. කොලුවා ඒ ප්‍රශ්නයම අහනවා.
බැරිම තැන අම්මා, ගෙදර කැබිනට්ටුව උඩ තියලා
තිබුණු නිරුවත් ගෑනු ප්‍රතිමාවකට ඇඟිල්ල දික් කරලා ‘මෙන්න මෙතැනින්’ කියල පොඩි
එකාට තැන පෙන්නුවා.
පොඩි එකා ටික වෙලාවක් ඒ දිහා බලා ඉඳලා ‘මගෙ අම්මෝ. මම බේරුණු බේරිල්ලක තරම! තව
ටිකක් පහළින් ආවා නං, එහෙනං මං කෙළින්ම කක්කා වළේ තමයි’ කියලා කිව්වා.’
82 විතර මේවාත් සැලකුණේ අසැබි කතන්දර
කියලයි. ඒත් අද වෙද්දී ඒවා මොනවද කියලා හිතෙන තරම්! මේ දැන්වීම බලන්නකො. හද්දා පරණ
එකක්. කෙනෙකුට මේවායේ කිසිම වැදගත්කමක් නොපෙනෙන්නත් පුළුවන්. ඒත් යුගයක සිතුම්-පැතුම්,
ඇදහිලි-විශ්වාස, තැපැල් ගාස්තු වගේ කොච්චර දේවල් මේ එක දැන්වීමකින් හොයා ගත්තෑකිද?
මට නම් යුගයක මුද්‍රණ ශෛලිය ගැනත් මේ දැන්වීමෙන් තොරතුරු ටිකක් හෙළි වෙනවා.
මේ දැන්වීම බලන්නකො. හද්දා
පරණ එකක්. |
‘මොකද පYය පණ නැද්ද?
මෙන්න
එහෙනම්
බොම්බායේ
හූනාගේ තෙල් මන්ද
තවත් වටිනා බෙහෙත් වර්ග සමග
සංයොග කර
ලිංගික
ආපදාවන් මැඩලීම සඳහා
විශෙෂයෙන් සම්පාදිත
ෂාහ්නා
තෛලය
මෙය පාවිච්චි කිරීමෙන්
සති තුණකදී
ඔබේ සියලු ලිංගික ආපදාවන්
අහෝසි වී, ඔබව සීදේවී බවට පත් කෙරේ.
ඒ
නිසා අදම මිළ දී ගන්න
“ඒ මහේශාඛ්‍ය
තෛලය”
සති තුනකට සෑහෙන
තෙල් කුප්පියක් රු. 3-50 යි
තැපෑලට ශත
50යි
මෙසේ ඉල්ලන්න:-
මාෂල් ගුණවර්ධන
“පෑන්
තලය”
74, බොරැල්ල හරස් පාර - කොළඹ 8.’
‘ඔබව සීදේවී බවට....’ යෙදුම විතරක් වුණත්,
මට නං යාන් හෑල්ලක් තරමට රසවත්!
2007 ලියැවුණු මගේ ‘හිනා වෙන්න හිනා-1’ පොතේ
කතන්දරත් අද ලියවෙනවා නම් වෙනස් විදිහකට ලියවෙයි කියල හිතෙනවා. ඒ වගෙමයි, සමහර
කතන්දර ඉවත් කෙරිලා- අලුතින් කතන්දර එකතු වෙන්නත් ඉඩ තියෙනවා. කොහොමෙන් හරි කමක්
නෑ, අතීතය ගැන විශ්ලේෂණය කරන අයට අනාගතයේ දවසක ප්‍රයෝජනවත් වෙන්නයි, මේවා මේ
විදිහට හරි සංරක්ෂණයකුත් කරන්නේ.
නෝනා දන්නවනේ, මේ පාර කෙළවරේම තියෙන පුංචි
ගෙදර ඉන්න වයසක මනුස්සයා.... |
90. පරෝපකාරය
සමාජ සේවිකාවක් ලෙස පළාතේ ප්‍රසිද්ධව
සිටින ඇයගේ නිවසෙහි දොරට තට්ටු කරන හඬක් ඇසිණි. ඇය වහාම පැමිණ දොර විවෘත කළාය. මඳ
සිනහවක් පාමින් දොරකඩ සිටගෙන සිටියේ තරුණයෙකි.
“සුබ උදෑසනක් නෝනා. මං
ඔබතුමියට කරදරයක් නං කරන්නේ, මට සමා වෙන්න.” තරුණයා කීවේය.
“නෑ, නෑ. මොකක්ද කෙරෙන්න
ඕනෑ?” ඇය ඇසුවාය.
“නෝනා දන්නවනේ, මේ පාර
කෙළවරේම තියෙන පුංචි ගෙදර ඉන්න වයසක මනුස්සයා.... අර පැන්ෂන් ගිය ලියන
මහත්තයා..........”
“ඇයි, එයාට කරදරයක්ද?”
“තවම නං නෑ.... ඒත් ඒ මහත්තයට
හෙට අනිද්දම පාරට බහින්නයි වෙන්නේ. එයා හය මාසයකින් ගෙවල් කුලී ගෙවලා නෑ. නෝනටත්
පුළුවන්ද එයාට උදව්වක් කරන්න... ඔය ගෙවල් කුලී ගෙවල දාන්නවත්?”
“මට හරිම සන්තෝසයි, ඔයා වගේ
මනුස්සකම් තියෙන; යුතු-අයුතුකම් දන්න කෙනෙක්ව දකින්න ලැබුණටත්. අද කාලේ අනුන්ගේ
දුක දැකලා ලේසියෙන් කෙනෙකුගේ පපුව උණු වෙන්නෙ නෑ. ඔයා ඒ මහත්තයාගෙ නෑදෑයෙකුත්
නෙවෙයිනේ...” කාන්තාව ඇසුවාය.
“අපොයි නෑ! මං නෑයෙක් නෙවෙයි,
මමයි ඒ ගෙදර අයිතිකාරයා.”
91. පියාඹන පීරිසි
ඔහු සුප්‍රසිද්ධ ආකාශ වස්තු
විශේෂඥයෙකි.
එහෙත් විවාහ වෙනතුරුම පියාඹන පීරිසි ගැන විශ්වාස නොකළේය!
ඔවුහු එක බිරියක් හා එක
පෙම්වතියක් තබා ගනිති. නමුත් වඩාත්ම ආදරය කරන්නේ... |
“දැන් ඔන්න අවසාන ප්‍රශ්නය.
හොඳින් අහගන්න... ප්‍රශ්නය කියන්නෙත්
එක වතාවයි. පිළිතුරු දිය හැක්කේත් එකම එක වතාවයි.
තත්ත්පර දහයක් ඇතුළත පිළිතුරු දිය යුතුයි. පැහැදිලිද?” ප්‍රශ්න විචාරකයා
දැනුම-මිනුම තරගයට සහභාගිවූ තරගකරුවාට කීවේය.
‘ඔව්!” තරගකරුවා හිස වැනුවේය.
“හොඳයි... මෙන්න එහෙනම් ප්‍රශ්නය.
හිමිදිරි උදෑසන පාන්දර ඔබට හිස් බඩට ආප්ප කීයක් කන්නට පුළුවන්ද?”
“හතර-පහක්...”
“වැරදියි... වැරදියි. උත්තරය
වැරදියි.”
“ඒ මොකද ඒ?” තරගකරුවා
නොරිස්සුමෙන් ඇසුවේය.
“පළමු ආප්පය කෑවාට පස්සේ ඔබේ
බඩ හිස් බඩක් වෙන්නේ නෑ.”
වඩාත්ම ආදරය කරන්නේ තම මවටය! |
‘මිනිස්සු තුන් වර්ගය
යුරෝපීයයෝ:
ඔවුහු එක බිරියක් හා එක පෙම්වතියක් තබා ගනිති. නමුත් වඩාත්ම ආදරය කරන්නේ තම
බිරිඳටය.
ඇමෙරිකානුවෝ:
ඔවුහු එක බිරියක් හා එක පෙම්වතියක් තබා ගනිති. නමුත් වඩාත්ම ආදරය කරන්නේ තම
පෙම්වතියටය.
ශ්‍රී ලාංකිකයෝ:
ඔවුහුද එක බිරියක් හා පෙම්වතියන් හතර දෙනෙකු තබා ගනිති. නමුත් වඩාත්ම ආදරය කරන්නේ
තම මවටය.
ඔය මදැයි, අදට. එහෙනම් ඊළඟ කොටසේදී හමුවෙමු.
බ්ලොගය කියවන ඔයාලට විතරක් නෙවෙයි සකල ලෝකවාසී සියලු සත්ත්වයන්ටම නිදුක්- නිරෝගී-
සුව සතුට සපිරි කාලයකට ආසිරි!