li Item

Tuesday, June 22, 2021

දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස

බණ්ඩාරවෙල දුම්රිය පොළ.... හරියටම කියනවා නං එහි වේදිකාව තමයි තැන....

‘සමහර තැන් තියෙනවා මිනිස්සුන්ට සුන්දර, අසුන්දර මතක විතරක්ම ඉතුරු කරන’ ශෂින් විජේතුංග බණ්ඩාරවෙල දුම්රිය නැවතුම් පොළේ සුන්දර foto එකකට දාලා තිබුණු, හෘදයාංගම කැප්ෂන් එකයි; ඒ.

ඒක මං වෙනුවෙන්ම ලියපු සටහනක් වගේ!
බණ්ඩාරවෙල දුම්රිය පොළ....
හරියටම කියනවා නං එහි වේදිකාව තමයි තැන....

ඔන්න මෙහෙමයි,
එදා පාන්දරින්....
හිමිදිරි සීතල තුෂාරයෙන් නෑවෙවී පාසල් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් 150ක් එනවා බණ්ඩාරවෙල දුම්රිය නැවතුම් පොළට... එයාලා එක්කෙනෙක්වත් හිස් අතින් නෙවෙයි ඇවිදින් හිටියේ. රෑ තිස්සේ වැටුණු පින්නෙන් තෙමුණු බවට සලකුණු පැහැදිලිවම ඉතිරිවී තියෙන නැවුම් මල් දෙක තුනක්, ඒ හැමෝගෙම අතේ... ඔන්න එයාලා දුම්රිය පොළේ වේදිකාව දිගේ එක පෙළකට පෙළ ගැහෙනවා.....

ආ! තවත් ළමයි වගයක්....
එයාලා අතේ- කරේ- පිටේ බරට බරේ ඇඳුම් බෑග්..... එතැනත් පාසල් සිසු-සිසුවියන් 150ක්.... පේළියට දුම්රිය පොළේ වේදිකාවට ගොඩ වෙන එයාලව මෙහෙයවන ගුරුවරු....
දැන් සිසු පේළි දෙකක් මුහුණට-මුහුණ පාලා සීරුවෙන් හිටගෙන ඉන්නවා.

සිද්ද වෙන හැමදේම බලාගෙන හිටියා ගුරු-දෙගුරු මහත්ම-මහත්මීන්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වගේ පිරිසක්....

එයින් එක්කෙනෙක් එයාගේ අතේ තිබුණු මල් ටික අර බට්ටා අතට දුන්නා. ඔන්න තව කෙනෙක්....

විධානයක් නිකුත් වුණාද කියලා නම් මට මතක නෑ!

ඒත් කල් ඇතිවම හරි එහෙම කරන්නැයි කියලා කියා දීලාවත් තියෙන්න ඇති. අර මල් අතේ තියාගෙන හිටි ළමුන් හැමෝම එක සැරේම තමන්ට ඉදිරිපිටින් හිටගෙන හිටි සිසුවාට හෝ සිසුවියට අතේ තිබුණු මල් පිරිනැමුවා...
එහෙම කළේ සංකේතාත්මකව සමු ගන්නයි.... සමු දෙන්නයි....

හරියට film එහෙක දර්ශනයක් වගේ.

ඊට පස්සේ අර ළමයි පේළි දෙක කැඩුණා!
මට හොඳටම විශ්වාසයි; 100%ක්ම විශ්වාසයි, ඊළඟට සිදු වුණේ නම් කවුරුන්වත්ම සැලසුම් නොකළ දෙයක්.

මල්වලින් පිදුම් ලත් ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ගෙන් කොටසක්, ඒ වේදිකාවේ එයාලත් එක්කම හිටි බටු ඇටයක් විතර පුංචි කොල්ලෙකු ළඟට රොක් වෙන්නට වුණා. එයින් එක්කෙනෙක් එයාගේ අතේ තිබුණු මල් ටික අර බට්ටා අතට දුන්නා. ඔන්න තව කෙනෙක් ඒකම කළා.... ඒ අසනීපෙ අනිත් ළමුන් අතරෙත් පැතිරෙන්න ගතවුණේ චුට්ට වෙලාවයි... තවත් එක්කෙනෙක්.... තව-තව-තව අය...
විනාඩි ගාණක් යද්දී අර බටු ඇට කොල්ලාට දෝතින් උස්සාගෙන ඉන්න බැරි තරං මල් කන්දරාවක්.... මල්වලින් ඒ හාදයාව වැහිලත් එක්ක.....

එතකොටම සේසිරි විජේසේකර මහත්තයා එතැනට ආවා. එයා හිටියේ ඒ අවට සිදු වෙන දේවල් කැමරා කාචයකින් සිර කර ගනිමින්; පටලයක තැන්පත් කර ගනිමින්....

1935 අප්‍රේල් මාසේ 18 වෙනිදා ඇරඹුණු අගනුවර තරුණ කවි සමාජය....

සේසිරි විජේසේකර....! අන්තර්ජාලයෙන් හොයලා බලනකොට හමු වෙන්නේ චුට්ටං විස්තරයක් විතරයි. කවියෙක්- අගනුවර තරුණ කවි සමාජයේ තනතුරු ගණනාවක්ම හෙබවූ උගතෙක්....

1968 වෙනකොට සේසිරි මහත්තයා අතකසයේ ගරු උප ලේකම් තනතුරයි දරමින් හිටියේ.

ඊටත් හුඟාක් ඉස්සර- 1935 අප්‍රේල් මාසේ 18 වෙනිදා ඇරඹුණු අගනුවර තරුණ කවි සමාජය ලංකාවේ කාව්‍ය ලෝලීන්ගේ මනදොළ සපිරූ එකක්.

‘... අතීතයේදී කොළඹ යුගයේ හා කොළඹ කවීන්ගේ පාරාදීසයක්ව පැවැති අගනුවර තරුණ කවි සමාජය; එල්ලවූ ප්‍රබලම අභියෝගයක්ව පැවති කොළඹ කවියෝ සමනල ලෝකවල අතරමංව, ගං, විල්, මල්, හෙල් පිළිබඳ බොහෝ කවි ලියූ පිරිසක් ය යන මිථ්‍යා මතය අභිබවමින් කටයුතු කරනු ලැබීය.
කාව්‍ය ලක්ෂණවලින් පෝෂිත
, ළයට විරිතට අනුව යවහන්දෝෂවලින් ස්වායත්තව, එළිවැට හා එළිසමය රකිමින්, සඳැස් කවියේ රුව ගුණ සුරකිමින්, කවි ලියන ප්‍රශස්ත හා ප්‍රබුද්ධ පිරිසක් අතීතයේ සිට මේ දක්වා සම්බන්ධව සිටී.

අතකසයේ මේ අනවරත ගමන් මග තුළ ගෙවූ කාලය පුරාවටම ඒ ඒ යුග ආලෝකමත් කරමින් ජ්‍යෙෂ්ඨම හා ප්‍රවීණතම කිවිවරු පහළොස් (15) දෙනෙකු එහි සභාපතිත්වය සඳහා පත්ව සිටි බවට ලේඛනගතව ඇත.
පී. බී. අල්විස් පෙරේරා
, විමලරත්න කුමාරගම, සාගර පලන්සූරිය, බඹරකොටුවේ සුධර්ම සෙනෙවිරත්න, යූ. ඒ. එස්. පෙරේරා (සිරි අයියා), එච්. එම්. කුඩලිගම, විමලේන්ද්‍ර වතුරේගම, සූරසේන ආටිගල, උපනන්ද බටුගෙදර, විමලසිරි පෙරේරා, බිංගිරියේ විජය කුමාර, චිත්‍රානන්ද අබේසේකර, වල්ගම සෝමතිලක, සේසිරි විජේසේකර හා ගාල්ලේ බර්ලින් ඒ කවීහු වෙති.

ඒ වෙද්දී මගේ දුප්පත්කම... (අද රටේ දුප්පත්කම ඊට වඩා වැඩිය!)

කලාභූෂණ කිවිපති ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි මහත්තයාගෙනුයි මේ විස්තර ටික හොයා ගත්තෙත්.

‘1968 වෙනකොට සේසිරි මහත්තයා අතකසයේ ගරු උප ලේකම් තනතුරයි දරමින් හිටියේ.’ ඉහතිනුත් මං ලිව්වා.
1968... 1968... 1968!

1968 අගෝස්තු මාසාවසානයේ දිනයක, උදේ, බණ්ඩාරවෙල දුම්රිය පොළේ වේදිකාව උඩ එහා- මෙහා යමින්; ඡායාරූප ගනිමින් හිටි සේසිරි විජේසේකර මහතා දුටුවේ සිසු-සිසුවියන් එකට පොදි වෙන අයුරුයි. Foto ගැනීම මඳකට නැවැත්වූ ඒ මහතා අතැනට ගියේය; සිසු-සිසුවියන් අතරින් දෙනෙත යැවූ ඔහු දුටුවේ, උස්සා ගන්නට බැරි තරම් මල් කන්දරාවකින් වැසුණු බටු ඇටයාගේ මුහුණයි!

“ආ මේ අපේ පුංචි කථිකයානේ... ඉන්න, ඉන්න. මම නිමල්ගේ ලස්සන foto එකක් අරගන්නම්... ඔය මල් ටික චුට්ටක් පාත් කළා නම් හරි නිමල්.... නැත්තං කොහොමද ඔයාව අඳුනගන්නෙ; මූණ වැහිලා තියෙද්දී...” මම සේසිරි මහතාට කීකරු වීමි. එතුමා ඡායාරූපය ගත්තේය. මගේ ලිපිනයත් ඉල්ලා ගත්තේය. පොරොන්දුවකුත් දුන්නේය.
“මම මේ foto එකෙන් කොපියක් නිමල්ටත් එවන්නංකො.”

මගේම අවාසනාවටදෝ ඒ ‘එවීම’ කෙරුණේ නැත!
එහෙම එවා තිබුණා නම් ඒ අපූරු ඡායාරූපයයි, අද මේ පෝස්ටුවේ ඉහළින්ම යොදන්නේ!

මේ කතාන්දරය පටන් ගනිද්දී මට දාහතරය.

දොළහේදී ‘පේව්මන්ට් එකේ රජ වෙන්නට’ පටන් ගෙන, එතකොට අවුරුදු දෙකක් ඉකුත් වෙලාය.
මහරගම විද්‍යාකර විද්‍යාලයයේ වැඩි දෙනෙක්ද ඒ වෙද්දී මගේ දුප්පත්කම දැනගෙන සිටියහ.

ඔයා දන්නවද අපේ අධ්‍යාපන ඇමැතිතුමා?

“නිමල්?, interval එකේදී ඇවිත් මාව හම්බ වෙනවා!”

පාසලේ කොරිඩෝවකදී එදා මට කතා කළ ගුරුතුමාගේ නම නම් දැන් හරියටම මතක නැත. ඒ ගුරුතුමා අපට ඉගැන්වූ කෙනෙක් නොවේ. ඩන්කන්- ඩන්ස්ටන් වගේ නමක් කියලාය මගේ හිතේ තියෙන්නේ.

“නිමල් තරහ නැහැනෙ මම මෙහෙම ඇහුවට? හැමදාම ඉස්කෝලෙන් පස්සේ ඔයා පේව්මන්ට් රස්සාවට යනව නේද?”

ලජ්ජාශීලී බැල්මක් බිමට....

“.... අපි දන්නවා ළමයෝ.... ඒකට ලජ්ජා වෙන්න ඕනිය, ඇඹරෙන්නේ... ආඩම්බර වෙන්නයි ඕනේ...
පොඩි දෙයක්ද දරුවෝ, ඔය වයසේදීම හම්බ කරලා තමන්ගේ අම්ම-තාත්තටයි නංගිල-මල්ලිලාටයි කන්න දෙන එක... මම ඔයාට කතා කළේ ඒ ගැන අහන්න නෙවෙයි! ඔයාට ලොකු chance එකක් අරගෙන දෙන්නයි....”
මං කළේ හිස සොලවා සාවධානව ඒ ගුරුතුමාගේ කතාව අසාගෙන සිටීමය.
“ඔයා දන්නවද අපේ අධ්‍යාපන ඇමැතිතුමා?”

අවුරුදු දාහතරක කොල්ලෙකුට ඒවා එච්චර වැදගත්ද?

ඒ කාලේ දුර ඈත- හද්දා පිටිසර ගම් පියසෙක ඉන්නා ගැමි බයියෙක් වුණත් සිරි ලංකාවේ ඇමති මණ්ඩලය ගැන කියන්නට දැනගෙන හිටියේය. ඒ ඇමතිවරුන් මොන-මොන දේවල් බාරව ඉන්නවාද කියලාත් දැනගෙන හිටියේය.

අපට ඔය දේශපාලනෙන් වැඩක් නෑ, අපි හම්බ කරගත්තොත් අපට කතෑකි!

අද නං ඒවා ගැන උනන්දු වෙන කෙනෙකුට වුණත් ඇමතිවරුන් ගැන මතක තියා ගැනීම ලෙහෙසි නැත. පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙක් මොකාක් හරි ඇමතිකමක් දරන උත්තමයන්ය.

2020 අගෝස්තු 12 වෙනිදා මහනුවර ඓතිහාසික මඟුල් මඬුවේදී දිවුරුම් දුන්නේ අපේ ඇමති මණ්ඩලයට කැබිනට් ඇමතිවරුන් 28 දෙනෙක් හා රාජ්‍ය ඇමතිවරුන් 39 දෙනෙක් ඇතුළත් වුණයි කිව්වම...

කෝටි 135ක් ජනගහනය ඉන්න චීනේ ඇමති මඬුල්ල 27යි. ඇමෙරිකාවේ කෝටි 22කට ඇමතිවරු 24යි. අපිට.....
සමහර දෙනෙකු කියනවනෙ ‘අපට ඔය දේශපාලනෙන් වැඩක් නෑ, අපි හම්බ කරගත්තොත් අපට කතෑකි’ කියන කතන්දරයකුත්. අනේ, මට නම් එහෙම හිතෙන්නේ නෑ. කන- බොන- අඳින- පළඳින ඒවා විතරක් නෙවෙයි හුස්ම ගන්නා එකටත් දේශපාලනය ගෑවිලානේ තියෙන්නේ...
 

‘මේ දවස්වල වැස්සට තෙමෙන එකත් අන්තරායකාරී වෙන්න පුළුවන්.... ගිනිගත් නැවෙන් පිට වුණු අම්ල දුමාරය මිශ්‍රිත වැස්ස සිරුරට පතිත වීම වළක්වා ගන්න!’ ශ්‍රී ලාංකේය පුර වැසියන්ට කෙරුණු අනතුරු ඇඟවීම දැක්කද?
පේනවා නේද ‘දේශපාලනේ අපට බලපාන ලස්සන?’
ඒ නෞකාවට මෙහාට එන්න ඉඩ දුන්නේ කවුද... ඒවාට අදාළ බලධාරීන් නැත්ද.... සිදුවී ඇති පාරිසරික විනාශයට වගකිව යුත්තන් නැත්ද?

“නිමල්, ඊරියගොල්ල ඇමැතිතුමා තමයි දැන් ඉන්න අධ්‍යාපන ඇමැතිතුමා. අපේ ඉස්කෝල ගැන- ඔයාලගේ අධ්‍යාපනේ ගැන සේරම කටයුතු කෙරෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. ඊරියගොල්ල මහත්තයා අතින්...
ඒ මහත්තයා අලුතින් පටන් ගන්න යනවා ලංකාවේ දුප්පත්ම දුප්පත් ළමයින් වෙනුවෙන් වැඩ සටහනක්... ම්ම්ම්...
නිමල් කොහෙද ඇවිදින්න ගිහින් තියෙන්නේ?”

අපේ සීයාත් එක්ක වට වන්දනාවේ ගිහින් තියෙනවා සර්!

ඒ ප්‍රශ්නය මට හරියටම වැටහුණේ නැත... ඇවිදින්න.... ඇවිදින්න... මොකටද කිරිබුදු අප්පච්චියේ ආයෙ වෙනම ඇවිදින්න යන්නේ? කඩේට යනකොට, හන්දියට- ඉස්කෝලෙට යනකොට, යාළු-මිත්‍රයන් හම්බ වෙන්න යනකොට ඇවිදින හරිය මදැයි!

ඒ කාලයේ ‘ඇවිදින්න යන’ කට්ටිය අපේ ගම්වල හිටියේ නැත. ඇවිදින මං තීරු කියලා ජාතියකුත් තිබුන්නෑනෙ, හෙනං.

“මං ඇහුවේ නිමල් ලංකාවේ කොහේ, කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලයි.......?”
හරි, හරි. මට තේරුණේ එතකොටය. “
අපේ සීයාත් එක්ක වට වන්දනාවේ ගිහින් තියෙනවා සර්!”  

“ෂා! හොඳයිනේ.... ඒ අතින් බැලුවම නිමල් වාසනාවන්තයි. අපේ රටේ හුඟාක් මිනිස්සු ඉපදිච්ච ගමෙන් එළියට යන්නේ කලාතුරකින්.... වට වන්දනාවක ගියාම තමයි රට-තොටේ ඇවිද්දවෙන්නේ...
ඒකටත් සල්ලි ඕනිනෙ නේද, නිමල්.
ඉතිං, අපේ ඊරියගොල්ල මහත්තයාට කල්පනා වෙලා තියෙනවා දුප්පත් ඉස්කෝලේ යන ළමයින්ට එහෙම ගමනක්-බිමනක් යන්න විදිහක් නෑ නේද කියලා. එතුමා හදනවා, එහෙම ළමයි තෝරලා අරගෙන, ආණ්ඩුවේ වියදමෙන් සංචාරයක යන්න හරි ගස්සලා දෙන්න.... අලුත් project එකක්....ඒ කියන්නේ අලුත්ම වැඩ සටහනක්...”

 ‘දස දෙස පූජිත - දේශගුණය වෙයි
 මිහි බට සුර ලොව - මේ රටදෝ
 වට පිට හැම තැන - හරිත වර්ණයයි
 තුරු ලිය දෙයි - සෙවණේ සෙවණේ

 ලෝකෙන් උතුම් රට ලංකාවයි
 ලංකාවයි ශ්‍රී ලංකාවයි//
 අප නිජ භූමිය ලංකාවයි//’ කියල ‘
වැඩ හුරුවීමේ ගීතය’ටත් අපේ රටේ සොඳුරු බව ගැන සඳහනක් ඇතුළු කළ අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහත්තයා ගැන මගේ හිතේ තිබුණු ගෞරවය, අපේ සර්ගේ කතාව ඇහුවම තවත් වැඩි වුණා.

The Last Days of Pompeii කෘතිය දේව තාපයනමිනුත්, Les Misérables කෘතිය මනුතාපයනමිනුත් පළ කෙරිලා තිබුණේ මං උපදින්නත් කලින්.

ඒ ගෞරවය ඇතිවෙලා තිබුණේ එතුමාගේ අනුවර්තන කෘති දෙකක් නිසා. The Last Days of Pompeii කෘතිය ‘දේව තාපය’ නමිනුත්, Les Misérables කෘතිය ‘මනුතාපය’ නමිනුත් පළ කෙරිලා තිබුණේ මං උපදින්නත් කලින්!

පළමු පොත 1943 දීත්, දෙවැන්න 1953 දීත් තමයි පළවී තිබෙන්නේ.

“මේ අගෝස්තුවේ ග්‍රීස්ම නිවාඩුවෙදී තමයි මේ සංචාර යන්න ලැහැස්ති කරලා තියෙන්නේ.... එක ඉස්කෝලෙකින් ළමයි හය දෙනෙක්ව තෝරා ගන්නවා.... අපේ ඉස්කෝලේ; විද්‍යාකරේ ඒ වැඩ සටහනට තේරිච්ච එකක් නෙවෙයි. මහරගමින් ඒකට තෝරාගෙන තියෙන්නේ බුවෙනකබා එක....” 

සර් එහෙම කියද්දී, මට කල්පනා වුණේ මාවත් බුවෙනකබා විදුහලේ ළමයෙකු විදිහට ඒ ගමන යවන්නට සැලසුම් කෙරෙනවා කියලාය.
“පිළියන්දල ඉස්කෝලයක් මේ වැඩේට තෝරාගෙන තිබුණා.... ඒත් ඒ ඉස්කෝලේ ගුරු මණ්ඩලේ එක්කෙනෙක්වත් නිවාඩු කාලේ ඒ ගමන යන්න කැමති නෑ. ඒ ඉස්කෝලේ ප්‍රින්සිපල් සර් මගේ යාළුවෙක් නිසා මෙහාට ඒ චාන්ස් එක අරන් දෙන්න ලෑස්තියි.... අපේ ගුරු මණ්ඩලේ මට කැමැත්ත දුන්නා, මේ වැඩේ සංවිධානේ කරන්න....
නිමල්ව තමයි අපේ ඉස්කෝලෙන් මුලින්ම තෝරා ගත්තේ....
ඔයා කැමතියි නේද මේ ගමන යන්න?”

‘කණ කැස්බෑ නෙත බලා හිඳිනවා - අහස දකින්නට විය සිදුරෙන්
පෙරුම් පුරා හිඳ අහස බැලූදා -
සඳ නැත අහසේ අමාවකයි!’ ගීතයේ මේ පද දෙක එදාට හරියටම ගැලපෙයි! 

අනේ බූරුවා! ඇයි යකෝ, පොඩ්ඩක් කල්පනා කරපංකෝ....

අධ්‍යාපන අමාත්‍යාංශය විසින්, පළමුවෙනි වරටය මෙවැනි ව්‍යාපෘතියක් දියත් කෙරෙන්නේ. ඒකට අපේ පාසල තෝරාගෙන නැත. පිළියන්දල ඉස්කෝලෙකට ලැබුණු අවස්ථාවකි අපට ලැබෙන්නට යන්නේ. එහෙම ලැබුණු නිසාය, මගේ ඉහ පිට මෙවැනි පිනක් කඩා වැටෙන්නට යන්නේ!

“මම නං කැමතියි සර්... ඒත් අපේ තාත්තාගෙන් අහන්න වෙනවා.....” අර ගුරුතුමාට එහෙම කියලා, එදා මං ගෙදර දිව්වේ අජානේය තුරඟ වේගයකිනි.

“අනේ බං උඹේ මොළේ!” තාත්තාගේ පූර්විකාවෙන්ම වැඩේ ජෝන් බාස්ට යැවෙන බවය පෙනුණේ.

“... ඇයි බං, සුමාන දෙකක් තිස්සේ trip යන්නෙ කොයි රටේද? අර නැන්සි අක්කල, රස්සාවල් නොකරන මිනිස්සු එක්ක යන්නෙත් දවස් පහේ trip... ඊරියගොල්ලට පිස්සුද... එයාලා ලැහැස්ති කරයි. කොහෙද උඹලා නවතින්නේ... කවුද උඹලට කන්න-බොන්න දෙන්නේ... ළමයි හයසීයක්! ළමයි හයසීයක් ආම්බාං කරනවා කියන්නෙත් ලේසි කෙළියක්ද බං....” 

ගොඩාරියක්ම තරහ ගියාම මට හෝ ගාලා ඇඬෙයි. තරහෙන් පිපිරෙමින්, හොටු පෙර-පෙරා හඬමින්, ඉකි ගසමින් එදා නිමල් දිසානායක පළි ගැසූ හැටි මතක් වෙද්දීත් අජූවය.

“ඒවා සර්ලා බලා ගනියිනේ.... ඉහි... ඉහි... තාත්තට ඕන්නැති කෙහෙල්මලක් නැහැනෙ.... මට යන්න එපා නං ඒක කිව්වම ඉවරයිනෙ...”

“අනේ බූරුවා! ඇයි යකෝ, පොඩ්ඩක් කල්පනා කරපංකෝ.... උඹ සුමාන දෙකක්; මාස බාගයක් ඔහොම සවාරියෙ ගියාම මේ ගෙදර උන් හාමත් වෙනවා නේද? කවුද ඒ දවස්වලට හම්බ කරන්නේ...”
තාත්තා කියනකල්ම ඒ පැත්ත මට නොපෙනුණු බව ඇත්තය.

එහෙමද ගෙදර ලොකු අයියා නංගිල-මල්ලිලාට සලකන්නේ... (1970දී මං....)

උදේ වරුවේ පාසල් ගිහින් ඇවිත්, හවස් වරුවේ ‘පේව්මන්ට් රස්සාව’ට ගියාමය අපේ ගෙදර බඩගිනි නිවුණේ... දවසක්-දෙකක් නං කොහොම හරි පිරිමසා ගැනීමට ඇහැකිය. ඒත් සති දෙකක්........

“තාත්ත මට කියන්නකො, මම යන්නද එපාද?” මගේ දැඩි ස්වරයෙන් තාත්තා පුදුම වුණා වෙන්නැති.

“ඈ.... ඒ පාර උඹ මොකාටද එන්න හදන්නේ. මෙහෙ බලපං- මෙහෙ, මෙහෙ... මගෙ මූණ දිහා බලාගෙන කියපං රංජි, උඹ මේ ගෙදර එවුන්ට ඕනි හෙණයක් ගහපං කියලා රෝන්දෙ යන්නද හදන්නේ....
එහෙමද ගෙදර ලොකු අයියා නංගිල-මල්ලිලාට සලකන්නේ....”

“ඒවා තාත්තට වැඩක් නැහැනෙ... මං ඒවා බලා ගන්නං.” මං උත්තර දෙන්නේ තාත්තා දිහාව බලාගෙන නොවේ. බිම බලාගෙනය.

“තාත්තට වැඩක් නෑ... තාත්තට වැඩක් නෑ. එතකොට පුතාට තමයි වැඩක් තියෙන්නේ. යකෝ, පුක කහගන්න නියපොත්ත නෑ.... ඒකට මොකද ආඩම්බරේ... උඹ පලයං පුතේ! උම්ම්ම්ඹ ප..ල..යං.... මුං ටික බඩගින්නේ මැරිච්චාවේ... අනේ..., දරුවෙක්ගෙන් වුණත් මෙහෙම පාච්චල් වෙන්න මට සිද්ද වුණානේ.... මාව ඉක්මනට මැරිලා ගියා නං මීට වඩා හොඳ නැද්ද දෙයියනේ....”
ඉතාම කලාතුරකින් විතරය අපේ තාත්තාට එහෙම දේවල් කියන්නට හිතෙන්නේ.

එහෙම කියැවුණු වහාම පෙණය හකුළා ගන්නා මම ගැරඬියෙක් වෙන්නෙමි. එදාත් වුණේ ඒ ටිකමය.

“මම නොයා ඉන්නං.... තුන්සිය හැටපස් දවසෙම පේව්මන්ට් එකට යන්නං... තාත්තා කියනවා නං ඉස්කෝලේ ගමනත් අත ඇරලා දාන්නං... එච්චරයිනෙ....”

මුස්පේන්තු මූණත් තහඩුව පිටින්ම....

යෝජක පිළේ වුණත්, ප්‍රතියෝජක පිළේ වුණත් අපේ ගෙදර විවාදවලදී ‘හමාර කතාව’ කරන්නේ මං වහන්සේය. එදාත් එහෙම කරලා, මං නාගන්නට ගියේ නාන අතරෙත් අඬන්නටය. ඒත් හිතේ හැටියට අඬන්නටවත් දිළින්දන්ට වෙලාවක් නැත.

එච්චර වෙලාවක් නනා ඉඳලා බැරිය. බඩ රස්සාව කර ගන්නට යා යුතුය.
බුකවාගෙන මුස්පේන්තු මූණත් තහඩුව පිටින්ම ගෙදරින් එළියට බහින්නට සැරසෙන විට තාත්තාගේ හඬ ඇසුණේය.

“රංජී... ඉඳා, මේ තේ එක බීලා පලයං... ගෙදරින් එළියට බැහැලා යනකොට හිතේ සන්තෝසෙනුයි යන්නෝනි. උඹ රෑට ආවම අපි බලමුකො මොනවද කරන්න පුළුවන් කියලා....”

11 comments:

  1. New start, NiDi is very smart in 1970, I can imagine why 'gal karayo' getting close to you (LOL)Wijebahu

    ReplyDelete
    Replies
    1. ප්‍රශංසාවට ස්තුතියි විජේබාහු මහත්තයෝ.

      මගේ හින්දා කියනවා නෙවෙයි, මට නං මගේ මූණ සෙක්සි එකක් නෙවෙයි!

      Delete
  2. https://www.irishtimes.com/opinion/letters/do-we-have-too-many-politicians-1.2292371
    අපේ මෙහෙම කතා කරන්නෙවත් නෑනෙ. ලංකාවෙ සංඛ්‍යාව පමණක් නෙමෙයි වැඩි. වරප්‍රසාද, බලය, සමාජ බලපෑම ආදියත් වෙන රටවලට සාපේක්ෂව හුඟක් වැඩියි.

    මට හැමතිස්සෙම හිතන්නෙ ලංකාවට වැඩියෙන්ම ආදරේ ලංකාවෙ දේශපාලඥයින් කියලයි. මොකද ලංකාව හොඳටම සලකන්නේ ඒ අයට නිසා. සාමාන්‍ය මිනිස්සු බහුතරය දියුණු රටකට ගිහින් මෙහෙ කරන රස්සාවම කලොත් මෙහෙට වඩා හුඟක් හොඳ ජීවන තත්වයකින් ඉන්න පුලුවන්. ඒත් ඒ රටවල දේශපාලඥයන් බහුතරයකට මෙහෙ වගේ තත්වයක් හා වරප්‍රසාද නෑ.

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, අපේ වැඩි දෙනෙක්ගේ සිතුවිලි සීමා වෙලා තියෙන්නේ ඉතාමත් පටු වපසරියකට වගෙයි මට පෙනෙන්නේ. ඒක අධ්‍යාපන ක්‍රමයේ වරදක් නිසා වෙන්නොනි කියලයි මම නම් දකින්නේ.

      පොඩි කාලේ ඉඳලම අපිව පුරුදු කරන්නේ විමසා බලන්න නෙවෙයිනේ. කට පාඩම් කරන්න, අනුන් කියන දේ පිළිගන්න, ඒවා වමාරන්න. අපි ඉගෙන ගන්නෙත් රස්සාවල් ලබා ගන්න මිස දැනුවත් වෙන්න නෙවෙයිනේ.

      හුඟක් කණ්ඩායම් එක්ක ගැවසෙන නිසා, දැක තිබෙන විදියයි මං මේ කියන්නේ. මිනිස්සු බිව්වාමනේ දොඩමළු වෙන්නේ... විවෘතව කතා කරන්නේ... මං දන්නා වැඩිම දෙනෙක් එහෙම වෙලාවට වුණත් කතා කරන්නේ සිදුවීම් ගැනයි, මිනිස්සු ගැනයි විතරයි. සංකල්ප, තියරි ගැන කතාවක් වෙන්නෙම නැති තරං.... ඉතිං?

      Delete
  3. හ්ම්..+++++++++. වෙනස් විදිහෙ කතාවක්, දෙවනි කොටසත් බලමු.

    ReplyDelete
    Replies
    1. අර අතකසන සංගමේ කවි නං බොහොම අගෙයි. නැද්ද එව්වායෙ ලින්කු එහෙම? අපි වගේ අංකූරොන්ට ඉගෙන ගන්න පංකාදුයි.

      Delete
    2. ඔව් බස්සා මහත්තයෝ, ඒ වෙනස් අත්දැකීම ලබා ගැනීමේ වාසනාව ලබ්නේ ලංකාවෙන්ම සිසු-සිසුවියන් 300කට විතරයි.

      මං හරිම ආසයි ඒ 300න් කෙනෙකු හරි මේ පෝස්ටුව කියවලා කමෙන්ට් එකක් දානවා නං...
      හැබැයි ඒකට ගට්ස් තියෙන්නත් ඕනි, දුප්පත් ළමයින්ටනේ ඒ වරප්‍රසාදය දෙනවා කිව්වේ. අපේ මානසිකත්වය ඉඩ දෙන්නේ නැහැනෙ එහෙම කැටගරි එකක හිටියා කියලා කියන්න. අනෙක හුඟක් අයගේ මතකය දුර්වලයි වගේ....

      අතකස කවි වෙනම තැනක නම් දකින්න නෑ. ඒ යුගේ කවියන් ගැන වෙන වෙනම බලද්දී තියෙන්න පුළුවන්.
      සමහර කවීන්ගේ නිර්මාණ එකතු පොත් වශයෙන් පළවී තිබෙනවානේ. මහින්ද ප්‍රබන්ධ, විමලරත්න කුමාරගම... මානවසිංහ වගේ කවියන්ගේ එකතු තමයි මට මේ වෙලාවේ මතක් වෙන්නේ. කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම්වලට භාවිත කෙරුණු 'සංගෘහිත සිංහල පද්‍ය' කියලා පොතකුත් මා ළඟ තියෙනවා. ඒ අනුව බලද්දී හිතෙනවා පොත් නං තියේවි කියලා.

      Delete
  4. මල් දීපු දැරිවියක් නිසා බට්ටගෙ හදුන්පොත කීගෑවාවත්ද?

    ReplyDelete
    Replies
    1. බට්ටාගේ දාහතර කාලේ විත්ති දිගටම කියවලා තමයි චමී ඔයාට හොයා ගන්න වෙන්නේ....

      Delete
  5. ඇත්තමයි වෙනස් විදියේ ලස්සන කතාවක් වෙයි වගේ. ඉක්මනින් ලියන්න නිමල් අය්යේ. අපි ආසාවෙන් බලන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් දිමුතු නංගි, ඉක්මනින් ලියනවා... වැස්ස- අකුණු ගැසීම් ඉවරයි වගෙනෙ.
      බ්ලොගය පටන් ගත් කාලේ නං ලේබල හතරක් යටතේ තමයි මාරුවෙන් මාරුවට posts දැම්මේ. රසය විවිධ විය යුතු නිසා.... දැන් කැටගරි දෙකක් යටතේ ලියන්න හදන්නෙ, ලියන මගේ රුචිය ඒකාකාරී නොවෙන විදිහට.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්