අකුරු මැකී නෑ

Saturday, October 30, 2021

හිනා තවත් හිනා - හයවෙනි කොටස

‘මැකී ගිය බකුසු දඩ මං-1’ post එකට එයා නිර්මාණය කරලා තිබුණු....

  උඩම foto එක නං මල්           මසුරන්ය
  ඔහොම වැඩ දානකොට නං     ඊරිසියාය
  ඒකෙන් මටත් වැඩ ගන්නට     හිතුණාය
  බා ගත්තාට කොලිටිය මදි         වාගේය

  එවනවද එයින් කොපියක් අකුරු  හොඳ
  එතෙක් බලා හිඳිනෙමි මම; මිතුරු    සඳ
  තව තව විකුම් දක්වන්නට ලෙසින්   අද
  බස්සට ලැබේවා විස්කම් දෙවිඳු     තෙද!

ආදර පූජාසනේ පොස්ටුවලදී කිව්ව ‘තැපෑලෙන් හා ටෙලිෆෝනයෙන් මට පෙම්කළ කවියා සුනන්ද’ට පිං සිදු වෙන්න, මාත් කයි පද ගැට ගහගන්න ටිකාක් පුරුදු වුණා. ඒ පුරුද්දට ඉඳහිටලා කවිත් ලියවෙනවා තවමත්.... 

උඩින් තිබුණු කවි දෙකත් සැප්තැම්බර් 29 වෙනිදා මම ලිව්වේ, බස්සා මහත්තයාටයි. මැකී ගිය බකුසු දඩ මං-1’ post එකට එයා නිර්මාණය කරලා තිබුණු අපූරු foto එකක් ඉල්ලලා.
හැරෙන තැපෑලෙන් මගේ ඉල්ලීම ඉටු වුණා. ස්තුතියි බකුසුතුමෝ!

ඒ foto එක චුට්ටක් එහෙ-මෙහෙ කරලා ඔන්න මාත් පාවිච්චියට ගත්තා. හැබැයි සුබ නැකත උදා වුණේ අද තමා.

තියෙන තරං දේවල් එක සැරේ බුක්ති විඳීම හොඳයිද? කියලා ඇහැව්වා මතකයි නේද, පසුගිය කොටස අවසානේ. ඒකට පදනම වුණේ; අධිපරිභෝජනය වැරදිය කියන මතයයි. 
අපේ ‘හිනා තවත් හිනා’ පොතේ එන ඊළඟ කතාවත් වැරදි ගොඩාරියක් ගැන කතාවක්!

රථවාහන පොලිසියේ නිලධාරියා, වාහනය නවත්වන්නැයි සංඥා කළේය.  

38. වැරදි කීයද?

වේගයෙන් ධාවනය වෙමින් තිබුණු මෝටර් රථය පසුපස හඹා ගිය රථවාහන පොලිසියේ නිලධාරියා, වාහනය නවත්වන්නැයි සංඥා කළේය. රථය මාර්ගයෙන් අයිනකට කර නවත්වන ලදී.
පොලිස් නිලධාරියා මෝටර් සයිකලයෙන් බැස වාහනය වෙත ගමන් කළේය.

රියදුරු අසුනේ සිටි මැදිවියේ මහතා පොලිස් නිලධාරියා වෙත බයාදු සිනහවක් පෑවේය.

“ගන්නවා ලයිසන් එක!”
රියැදුරා බලපත්‍රය දිගු කළේය.

“මහත්තයා හයි ස්පීඩ් ආව බව දන්නවද?”
“අනේ නෑ සර්!” රියැදුරා වහාම පිළිතුරු දුන්නේය.

“මොකද නොදන්නේ? හැතැප්ම ගාණකට එහා ඉඳන් මං ඔයාට කිව්වේ හයි ස්පීඩ් යන්න එපා කියලා...” යාබද අසුනේ වාඩිවී සිටි කාන්තාව කීවාය.

“තමුසෙගෙ කට වහ ගන්නවද නැද්ද....” යැයි රියදුරු අසුනේ සිටි මහතා තම බිරිඳට කඩා පැන්නේය. ඒ අතර රියදුරු බලපත්‍රය පිරික්සූ පොලිස් නිලධාරියා ඊළඟ ප්‍රශ්නයත් ඇසුවේය.

“මහත්තයාගේ ලයිසන් එකේත් කාලය පැනලා. මේක අලුත් කර ගන්න තිබ්බේ මාස තුනකට කලින්.”

“මො...න...වා? ඔය ඇත්තමද සර්? මං හාංකවිසියක් දැනගෙන හිටියේ නැහැනෙ..” සැමියා කීවේය.

“මොකද නැත්තේ... මං පහුගිය ටිකේ කට කැඩෙනකල් කිව්වේ නැද්ද ඕක රිනීව් කර ගන්න කියලා.” බිරියගේ කතාවට සැමියාගේ රතු ඉර පැන්න බව පැහැදිලිව පෙනිණි.

“මං දැන් සැරයක් කිව්වා තමුසෙගෙ ඔය පඩික්කං කට වහගන්න කියලා, නොදන්නා මළ ඉලව්වලට හොට නොදා...” සැමියා ඇඟිල්ලක් උරුක් කර බිරිඳට තර්ජනය කළේය.

අපි දන්නා විදිහට නං, නාවුක හමුදාවේ ඉඳලා තියෙන- අඩි දහයක්වත් පීනන්න බැරි එකම එක්කෙනා එතුමා වෙන්ඩෝනි. 

එය දුටු පොලිස් නිලධාරියා බිරිඳට කතා කළේය.
“මහත්තයාට හරියට තරහ යනවා නේද මැඩම්?”

“හැම වෙලාවේම නෙවෙයි! මේ වගේ බීලා ඉන්න වෙලාවට විතරයි...” බිරිඳ කීවාය.

මං වහන්සේ නං ජීවිතේටම යාන්තම්වත් බීලා ඉඳලා නෑ!
මගේ මධුවිත පාවිච්චියක් නැතිවට මොකෝ, එව්වා පාවිච්චි කරන ගොඩාක් අයව ඇසුරු කරනවා. දන්නවනේ, අපේ ගෙදරට දැන් සමහර බොනපාට්ලා අයිතිවාසිකම් පවා කියන බව “නිමල් අයියට බෑ අපි මෙහෙට එන එක නවත්තන්න. අපි දැන් අවුරුදු කීයක් තිස්සේද මෙහෙදී set වෙන්නේ... ඒ හින්දා දැන් අපිටත් මේ ගෙදරට අයිතිවාසිකමක් තියෙනවා!” කියමින්.
මටත් දැන් ඒවා පිළිගන්නයි වෙලා තියෙන්නේ.

මොකද ඔය තර්කය ගෙනාව හිතවතා නාවික හමුදාවේ ඉඳලා විශ්‍රාම ගිය එක්කෙනෙක්. දන්නවනේ, හමුදාවේ හිටපු අයගේ වැඩ කොහොමද කියලා!
අපි දන්නා විදිහට නං, නාවුක හමුදාවේ ඉඳලා තියෙන- අඩි දහයක්වත් පීනන්න බැරි එකම එක්කෙනා මෙතුමා වෙන්ඩෝනි. නම්-ගම් නං නොකියන්නේ ‘අතීතයටත් බලපාන විදිහට නීතියක් ගෙනත්’ මනුස්සයාගේ පෙන්ෂන් එක නැති කරයි කියන බයට!

(අපේ ආණ්ඩුවට දැන් ඒ තරමට අහේනිය.... හැබැයි ඒක ඉවරයි වගේ. අද තිබුණා පරවුර්තියක් ‘අගමැතිතුමා මන්තිරින්ලට අලුතින් වාහන දෙඤ්ඤං කිව්වලු’. හැබෑ නේන්නං, වාහන නැතිව උන්දලට ගෙම්බෝ වගේ පැන-පැන තමා ‘රට හදන ගමන් සේරෝම’ යන්න වෙන්නේ!
සැලූන් දොරත් ඇරලනේ තියෙන්නෙ!!)

බලන්න මේ තරුණ යුවල නිරුවතින් විඳින නිදහස. මෙහෙම නිදහසක් ලෝකේ වෙන කොහෙවත්....

ඉතිං ඔහොම මධුලෝලී පාප මිත්තරයන්ගේ පුරුද්දක් තමයි, තනියම බොන්නට ඇති අකමැත්ත. එකෙක් මොනවා හරි හොඳ බීමක් බිව්ව ගමන්, අනෙක් අයට පාරට්ටු කරනවා. (අම්මෝ තවමත් වෙලාවකට සමහර උන්දැලා දාන දහිරියක්, මටත් පොවන්න.) තනියම බොනවට වැඩිය ආතල්ලු අනෙක් අයත් එක්ක share කර ගත්තම.

මටත් ඒ බෙදාගන්න පුරුද්ද තියෙනවා, වස කැත විදිහට.
හොඳ පොතක් කියෙව්වාම; හිතට වදින film එකක්- drama එකක් බැලුවාම, හරි කැමතියි තව අයවත් ඒවා බලන තැනට තල්ලු කරන්න; එයාලටත් ඒ සතුට විඳින්නැයි කියන්න.

අනේ, එක සැරේට දහස් වතාවක් සමාව ඉල්ලනවා ඔබ තමුන්නාන්සේලාගෙන්- මගේ ඔය ‘කපුටු ගති සොබාව’ ගැන. ජන්මෙටත් වැඩිය පුරුද්ද ලොකුයිලු නෙව.
ඒ ගතිය නිසාමයි
‘තට්ටයා මහත්තයා’ගේ fb එකේ තිබුණු මේ අපූරු යාන් එක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ! (මාතෘකාවක් නං අතින් දැම්මා, අවසර නොගෙනම.) ඉන්නෙ ස්වර්ගේ

‘ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්ආදම් සහ ඒවා දෙවියන්ගේ ඊඩ්න් උද්‍යානයේ ඉන්න දර්ශනයක් සිතුවමට නැංවුවලු. මේක විවෘත කරන දවසේ ලෝක නායකයෝ සේරම වගේ මේ චිත්‍රය බලන්න ආවලු.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේක දැකලා කිව්වලු, "බලන්න මේ තරුණ යුවල නිරුවතින් විඳින නිදහස. මෙහෙම නිදහසක් ලෝකේ වෙන කොහෙවත් රටක නෑ. මොවුන් අනිවාර්යයෙන්ම ඇමරිකානු ජාතිකයෝ."

එම්මානුවෙල් මැක්රෝන් කිව්වලු, "නෑ නෑ බලන්න ඔවුන්ගේ ස්වාභාවික ලාලිත්‍යය. ඔවුන්ගේ ශරීරවල හැඩය. මෙහෙම සුන්දරත්වයක් ලෝකේ වෙන කිසිම ජනතාවකට නෑ. මොවුන් අනිවාර්යයෙන්ම ප්‍රංශ ජාතිකයෝ."

සර්ජියෝ මත්තරෙල්ලා කිව්වලු, "වෙන මොකුත් බලන්න ඕන නෑ. බලන්න ඔවුන්ගේ ඇස්වල ආදරය පිරිලා තියෙන හැටි. මේ ලෝකේ වෙන කිසිම ජාතියක් ඉතාලිකාරයන් වගේ ආදරය කරන්නෙ නෑ. මොවුන් අනිවාර්යයෙන්ම ඉතාලි ජාතිකයෝ." කියල.

මෙහෙම ගොං හරක් වෙන මොන රටේ ද ඉන්නෙ?
අපේ සෑර්නුත් ඔතන හිටියලුනේ.... එතුමා කිව්වලු,

"ඔබතුමන්ලා මොනවා කිව්වත් මොවුන් ශ්‍රී ලාංකිකයෝ. බලන්න.., මුං දෙන්නටම කන්ඩ තියෙන්නෙ එක ඇපල් ගෙඩියයි. විළි වහගන්ඩ රෙද්දක් නෑ. ඉන්ඩ හිටින්ඩ ගෙයක් නෑ. රෙන්ඩ කක්කුස්සියක් නෑ. හැබැයි උං හිතාගෙන ඉන්නෙ උංගේ අප්පච්චි දෙයියන්නාන්සේ කියල, උං ඉන්නෙ ස්වර්ගයේ කියල. මෙහෙම ගොං හරක් වෙන මොන රටේ ද ඉන්නෙ?"

මොන රටේ ගොං හරක් හිටියත් අපට මොකෝ- අපි ඔන්නොහෙ සින්දුවක් කියාගෙන ෂපාන් එකේ ඉඳිමු. මංම පටන් ගන්නංකො එහෙනං...

‘අපිට කන්න දෙනව නං- අපිට බොන්න දෙනව නං
මොන කෙංගෙඩියද තව ඕනෙ කියන්නේ...’

39. ෂෝක් තෑග්ගක් ගෙනාවා!

“ඔන්න ඩාලිං, මං ඔයාගේ උපන් දිනේට ෂෝක් තෑග්ගක් ගෙනාවා!” වැඩ අවසන්වී ගෙදර පැමිණි මරිසිපාල බිරිඳට කීවේය.

“ඔච්චර පුංචි තෑග්ගක්?”
සැමියාගේ අතේ තිබුණු කුඩා පාර්සලය දුටු බිරිඳ නොපහන් මුහුණෙන් යුතුව විමසුවාය.

“පුංචි..? ඇරලා බලන්නකො... දියමන්ති මාලයක්!”

“ඒ වුණාට මං ඔයාට කිය-කියා හිටියෙම කාර් එකක් ඕනෑ කියලනේ....” බිරිඳ කීවාය.

“ඒත් ඩාලිං, තවම ඉමිටේෂන් කාර් හදන්නෙ නැහැනෙ.”

මම මනුලොව ඉඳිද්දී නිරන්තරයෙන්ම ඔබතුමා ගැන, ස්වර්ගය ගැන දේශනා කළා.... ඒත් අර මඟමරු සුවාරිසා.....

40. දේව කාරිය

සිඤ්ඤෝරා පියතුමාණෝ ස්වර්ගස්ථ වූහ.
ඊළඟ විනාඩියේ එතුමෝ ස්වර්ගයේ දැවමුවා මාලිගයක සිටිනු දැකිය හැකි විය.
ස්වර්ගයට පිවිසීමට ලැබීම ගැන අතිශයින් සතුටුවූ පියතුමා ලී මාලිගයේ සීමැදුරු කවුළුව හැර වටපිට බැලූහ.

“මොනවා? වෙන්න බෑ.... වෙන්න බෑ.”

තමා දුටු දෙයින් විස්මයට පත්වූ පියතුමා වහාම දෙවි පියාණන් වහන්සේ හමුවීමට ගියේය.

“මාගේ පියාණෙනි, ඔබතුමාට බරපතළ වරදක් සිදුවී තිබේ...”  පියතුමෝ දෙවි පියාණන්ට පැවසූහ.
මුවෙන් කිසිවක් නොබිණූ දෙවි පියාණෝ මඳ සිනහවක් පහළ කළහ. එයින් දිරි වැඩුණු පියතුමා විස්තර සහිතවම තම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

“මම මනුලොව ඉඳිද්දී නිරන්තරයෙන්ම ඔබතුමා ගැන, ස්වර්ගය ගැන දේශනා කළා.... ඒත් අර මඟමරු සුවාරිසා බස් එළවන ගමන් කොච්චර මිනිස්සුන්ට තුවාල කළාද හප්පලා.... ඒත් අන්න, ඒ මිනිහාත් ස්වර්ගයට ඇවිත්. ඒ මදිවට රත්තරං මාලිගාවක! මට නිකම්ම නිකං ලී මාලිගාවක්... මේක කොච්චර අසාධාරණද?”

“පියතුමනි, ඔබතුමා නිතරම අපි ගැන; යහපත ගැන දේශනා කළ බව ඇත්ත. ඒත් ඒ වෙලාවේදී ඒක අහගෙන හිටිය අය මොකද කළේ? හොඳට නිඳා ගත්තා!
ඒ වුණාට අර සුවාරිස්...
මිනිහගේ බස් එකට නඟින ඕනිම කෙනෙක් බස් එකෙන් බහිනකල්ම දෙවියන් සිහි කර කරයි හිටියේ.
ඒ සේවය නිසයි, සුවාරිස්ට ස්වර්ණ ප්‍රාසාදයක් ලැබුණේ.’ දෙවි පියාණෝ කීහ.

දැන් මට ඉස්සර තරම් ස්ට්‍රෙන්ත් එකක් නෑ වගේ.... ඉස්සර නං... (කිව්වේ රූපේ ඉන්න හර්කියුලිස් නෙවෙයි.)

41. ඔහෙටත් පුළුවන්

බාවා මහත්තයා ගැන අහලා ඇතිනේ!
නෑ... නෑ... ජෙෆ්රි බාවා මහත්තයා ගැන නෙවෙයි. මේ බාවා මහත්තයාත් ඒ පරම්පරාවට සම්බන්ධද නැද්ද කියලා නං මම දන්නෙ නෑ.
හැබැයි, බාවා මහත්තයාගේ ‘බාව’ හින්දාමද කොහෙද, ගම් පළාතේ හරිම ප්‍රසිද්ධයි.

කොහොමෙන් හරි දැන් බාවා මහත්තයාට අවුරුදු හැත්තෑපහත් පැනලා.
ඔන්න දවසක්දා බාවා මහත්තයා ගියා සුප්‍රසිද්ධ දොස්තර මහත්තයෙක් ළඟට.

එයා නෂ්ටකාමය, ලිංගික බෙලහීනත්වය, රහස් රෝග ඔක්කොටම බෙහෙත් කරන එක්කෙනෙක්.

“මට ප්‍රයිවට් එකේ ඩොක්ටර්ට කතා කරන්න ඕනි.” බාවා මහත්තයා රහසින් වගේ කිව්වා.
නර්ස් නෝනලා පැත්තකට ගියා.

“බලන්නකො ඩොක්ටර්, දැන් මට ඉස්සර තරම් ස්ට්‍රෙන්ත් එකක් නෑ වගේ.... ඉස්සර නං ඕනි තරං වෙලාවක් අල්ලලා ඉන්න පුළුවන්....”

“ටේක් ඉට් ඊසි මිස්ටර් බාවා! දැන් මිස්ටර් බාවාට හැත්තෑපහත් පැනලානේ... ඒකයි ඔය...” දොස්තර මහත්තය එහෙම කිව්වාම බාවා මහත්තයාට යකා නැංගා!

“එහෙම වෙන්නේ කොහොමද? අර මිස්ටර් කොතලාවල කියනවා එයාට නං එහෙම කිසිම අබල-දුබල වීමක් වෙලා නැහැල්ලු. මිනිහට දැන් අසූවත් පැනලා....”

“ඉතිං මිස්ටර් බාවා, මිස්ටර් කොතලාවල එහෙම කියනවා නං, ඒ වගේම ඔහෙටත් පුළුවන්නෙ ඕනෙම දෙයක් කියන්න.” දොස්තර හෙමිහිට කිව්වා.

ඊයේ පෙරේදා දවසක අපේ වල් ප්‍රියන්ත හිතවතා ලැහැස්ති කරලා තිබුණා පොඩි සංචාරයක්. යනකල්ම අපට කියලා තිබ්බේ නෑ, යන පැත්ත ගැන මිස ‘කොහාටද යන්නේ’ කියලා. Surprise එකක්! රිවර්ස්ටන් අඩවියේ ‘සර් ජෝන්’ස් බංගලාව’ට...
කවුද බොලේ දන්නෙ ඒ ගමන ගිහින් ඇවිත් ‘කොතලාවල උන්නැහෙගේ නම’ත් ඈඳිච්චි යාන් එහෙකුත් මට අකුරු කරන්න වෙන බව.

අරූ තාම හෙල්ලෙන්නෙවත් නැතුව හිටි පිළිමෙ වගෙ ඉන්නවලු... තක්බීර් වෙලා!

ඒ බංගලාවේ තමයි ජෝන් කොතලාවල මහත්තයා දිගු විවේක වේලාවන් ගත කරලා තියෙන්නේ.

අපේ නඩයේ හිටි තුන් දෙනෙකුට තෙවෙනි දවසේ පාන්දරින්ම ආපහු එන්න වුණා, ඥාතිවරියෙකුගේ හදිසි වියෝගය නිසා. ඉතිං ඒ ආපසු පැමිණි කාන්තාවන් දෙන්නෙකු හිටිය කාමරයේ තව ඉතිරි වුණේ ladiesලම දෙන්නෙක්.
“ඔයාලා බය වෙන්න එපා! මේ බංගලාවේ කාමරවල ගෑනු විතරක් නිඳාගෙන ඉන්න කාමරවලට කොතලාවල මහත්තයාගේ අවතාරේ එනවයි කියලා තියෙන කතාව බොරුලු!” අපේ හිතවතෙක් අර දෙන්නට කිව්වා, රහසෙන්!

මළ කෙළියයි!  හොඳටෝම බය වෙච්චි එයාලා දෙන්නා එදා රෑ නිඳා ගත්තේ තරුණ පුතෙකුවත් තනියට කාමරේට ගෙන්නා ගත්තාට පස්සෙයි!
(මතකයිනෙ, ඒ trip ගැන වෙනමම ලියන්නං කියලා මං ඔයාලට පොරොන්දුවකුත් දීලයි තියෙන්නේ.)  

ඒක නෙවෙයි. ලෝකේ වැඩියෙන්ම තියෙන්නේ ‘ලිංගිකත්වය’ මුහු වුණු විහිළුද? (හිතවත් දිලිප් ජනක කුමාර සහෘදයා තමයි මේ විහිළුව මට එවා තිබ්බේ; ස්තුතියි දිලිප්! මේ ලිංගික යාන් එකත් උපුටා ගැනීමක්ලු- හොඳේ!)

පිටි පිළිමේ!

ඔන්න මිනිහෙක් දවසක් කොටුවක් පැන්නලු...
එක පාරටම ඒ ගෑනිගෙ මිනිහා ගෙදර ආවලු... ගෑනි ටක් ගාලා අරූගෙ මුලු ඇඟේම පවුඩර් ගාලා සාලෙන් හිටගන්න කියලා, අරූට කිව්වලු හෙල්ලෙන්නෙ නැතුව ඉන්න කියලා....

ගේ ඇතුළට ආපු මිනිහා අරූව දැකලා මේ මොකද්ද කියලා ඇහැව්වාම ගෑනි කිව්වලු ‘අනේ මං දවල් ෂොපින් ගියාම ලස්සන පිළිමයක් තිබ්බා. ඉතිං ඒක ගෙනාව, ඇත්ත වගේමයි නේද?’ කියලා.

‘හ්ම්ම් ලස්සනයි ලස්සනයි’ කියලා මිනිහා ඒ කතාව එතනින් නවත්තලා වොෂ් දාල, කෑම කාල, රෑ ගෑනිත් එක්ක නිදා ගන්න ගියාලු. ...

මේ ලෙඩාට එයා මැරිලා නැතිය කියන එක බලෙන් ඒත්තු ගන්වන්න හදන්ඩ එපා...

අරූ තාම හෙල්ලෙන්නෙවත් නැතුව හිටි පිළිමෙ වගෙ ඉන්නවලු... තක්බීර් වෙලා...

පාන්දර දෙකට විතර මිනිහා නැඟීටලා කිරි වීදුරුවක් හදලා, බිස්කට් පැකට් එකක් අරන් පිළිමෙ වගේ ෆුල් අන්දොස් වෙලා ඉන්න මෑන් ගාවට ගිහින් මෙහෙම කිව්වලු...
"මෙන්න මේක කාල කිරි එක බීලා හිටහං... මාත් දවසක් එළිවෙනකම් පාං පිටි නාලා හුස්මවත් ගන්නැතුව ඔහොම හිටගෙන හිටියා වෙන ගෙදරක ... මට වතුර පොදක් දෙන්න එකෙක් හිටියෙ නෑ, බං!”
  

42. මැරුණු මිනිසා

සීසර් මංචනායක රෝගියෙකි.
ඒ රෝගයත් නිතරම දැකිය හැකි එකක් නොවීය. ඔහු තරයේම විශ්වාස කළේ තමා මියගිය අයෙකු බවයි.

“ඔයා මැරිලා නෑ අනේ!” බිරිඳ ඔහුට කීවාය.

“තාත්තා මැරිලා නැහැ තාත්තේ!” දරුවෝත් ඔහුට කීහ.

“ඔහේ කොහොමද මැරිලය කියන්නේ. මේ ඉන්නේ යස අපූරුවට පණ පිටින්...” අසල්වැසියෝත්, හිතවත්තුත් ඔහුට කීවෝය. ඒ කාට-කාටත් සීසර්ගෙන් ලැබුණේ එකම පිළිතුරකි.
“මං මැරිලා.... තමුසෙලා කොහොමද මට වැඩිය හොඳට මගේ ගැන දන්නෙ?”

අන්තිමේදී පවුලේ අය සීසර් මංචනායක මානසික වෛද්‍යවරයෙකු වෙත කැඳවාගෙන ගියහ.

“මේ ලෙඩාට එයා මැරිලා නැතිය කියන එක බලෙන් ඒත්තු ගන්වන්න හදන්ඩ එපා... අපි බොහොම විද්‍යානුකූලව එයාට පහදලා දෙමු, එයා තවම පණ පිටින් බව....” මනෝ වෛද්‍යවරයා සීසර් පරීක්ෂාකොට පවුලේ අයට උපදෙස්ද දුන්නේය.
ඉන්පසු ඔහු නොයෙකුත් වෛද්‍ය විද්‍යා පොත්-පත්, සඟරා ආදියේ පළව තිබුණු මළවුන් පිළිබඳ තොරතුරු සීසර්ට කියවන්නට සැලැස්වීය. ඒවා පිළිබඳව ඔහු හා සාකච්ඡාද කළේය. සීසර්ද බෙහෙවින්ම උද්‍යෝගීමත්ව ඒ සාකච්ඡාවලට සහභාගී වූවේය.

“දැන් තේරෙනවා නේද මැරිච්ච කෙනෙකුගෙයි පණ පිටින් ඉන්න කෙනෙකුගෙයි වෙනස?” අන්තිමේදී වෛද්‍යවරයා විමසුවේ ජයග්‍රාහි ලීලාවෙනි.

බුදු අම්මෝ ඩොක්ටර්, අර පොත් ඔක්කොම වැරදියිනේ!

“ඔව් ඩොක්ටර්.” සීසර් උත්තර දුන්නේය.

“මොකක්ද ඒ?”                                           

“මැරිච්ච මිනිහෙක්ගෙන් ලේ ගලන්නෙ නෑ!” සීසර් වෛද්‍යවරයාගෙන් උගත් දේ ඔහුටම පහදා දුන්නේය.

“ආන්න හරි! දැන් ඔය කාරණාවත් මතකෙ තියාගෙන අපි පුංචි පරීක්ෂණයක් කරලා බලමු. විද්‍යානුකූලව යමක් සොයලා දැන ගන්නේ පරීක්ෂණයක් කරල, ඒක නිරීක්ෂණය කරලත් ඉවර වෙලානේ...” මනෝ වෛද්‍යවරයා ජයග්‍රාහී ලීලාවෙන් කියා, සීසර් මංචනායකගේ ඇඟිල්ලකට එන්නත් කටුවකින් ඇන්නේය.

“පේනවද... දැන් මොනවද පේන්නේ....”
සීසර්ගේ තුවාලවූ ඇඟිල්ලෙන් ලේ බිඳු කිහිපයක් ගලන අයුරු පෙන්වා වෛද්‍යවරයා විමසීය.

“බුදු අම්මෝ ඩොක්ටර්, අර පොත් ඔක්කොම වැරදියිනේ! මෙන්න මැරිච්ච මිනිහෙක්ගේ ඇඟෙනුත් ලේ ගලනවා!!” සීසර් කෑ ගසා පිළිතුරු දුන්නේය.

අදට ඇති. නොමැරී හිටියොත් ඊළඟ කොටසත් දෙඤ්ඤං.... එතකල්, බ්ලොග් ලියන අපි කවුරුත් වෙනුවෙන්.... මේ උපකාරේ...



Tuesday, October 26, 2021

පහළොවේදී...- සිව්වෙනි කොටස

ඔය කේන්දර බලන අය පින්වත් කුමරා - කුමරියකියලා හරියටම ලියන්නේ කොහොමද?

“නිමල්, දාර්ශනික ක්‍රිෂ්ණමූර්තිතුමාය කියලා පටලවා ගන්න එපා. ජ්‍යොතිෂය සම්බන්ධයෙනුත් හොඳම විශේෂඥ උගතෙක් හිටියා ක්‍රිෂ්ණමූර්ති කියලා. එතුමා කේන්දර ලක්ෂයකට වඩා බලලා තියෙන ප්‍රවීනයෙක්... ජ්‍යෝතිෂය ගැන පොත් හයක්ම ලියල තියෙනවා.

එතුමා කියල තිබුණා ‘උපන් වෙලාව විතරක් බලලා ඉපදිලා ඉන්න දරුවා පිරිමිද ගෑනුද කියලා කියන්න බැහැ’යි කියලා.....” අනුර ජිනදාස ඉතාම ශාස්ත්‍රීය කාරණයක් මට පහදලා දෙන අතරේ මගේ ජඩ- නසරානි ගතිය ඉස්මතු වෙයි.

Post එකක් නැවත්වීමට කියාපු තැනක්!
එහෙම කියලයි
‘පහළොවේදී - 3’ post එක නැවැත්තුවේ. ඉතිං ඊට පස්සේ... 

“එතකොට කොහොමද අනුර, ඔය කේන්දර බලන අය ‘පින්වත් කුමරා - කුමරිය’ කියලා හරියටම ලියන්නේ? නමක් දාන්න හොඳ අකුරු තෝරලා දෙන්නේ? හුඟ දෙනෙක් සුදුසු ගණය තේරුම් කරගන්න ලේසි වෙන්න  උදාහරණ නම් දෙක තුනකුත් ලියලා දෙනවනේ...”
මගේ ඉවසිල්ලක් නැතිකම හින්දා පට-පට ගාලා එක පිට- එක ප්‍රශ්න ඇහුවත් අනුර ජිනදාස හිතවතා උත්තර දෙන්නේ කිසිම කලබලයක් නැතිව හීන් සීරුවේය; විස්තර සහිතවය.

“උපන් නැකත විතරක් නෙවෙයි නිමල්, කේන්දරය හදවා ගන්න යන වෙලාව- යන කෙනා වගේ තව දූත- නිමිති ගොඩක් දේවල් තමයි ඔයා අහන කාරණේ කියන්න උපයෝගී කරගන්නේ.”

“එහෙම නං මහත්තයෝ, කේන්ද්‍රය බලලා කියන්න පුළුවන්ද කෙනෙකුගේ සල්ලාලකම, එහෙමත් නැත්තං සුචරිතවත්කම....? මොකද සමහරු වීතරාගීයි. තව සමහරු ස්වභාවයෙන්ම රාගාධිකයිනෙ.” මම අනුරගෙන් විමසීමි.

ඒ මට හමුවී ඇති සමහර ඇත්තන්ගේ ඇතුළාන්තය පිළිබඳව සිහි වුණු බැවිනි.

එතකොට එහෙම අයට විවාහ යෝග පිහිටන්නේ නෑ!

අනුර ජිනදාස උත්තර දෙන්නට වෙලාව ගත්තේ නැත. එහෙම ප්‍රශ්නවලට නම් මේ මනුස්සයා ළඟ ඍජු උත්තර තිබේ. “කේන්දර බලන අය නම් ඔව්වා දන්නවා නිමල්. එව්වයේ තියෙනවා රාජ යෝග, ධන යෝග, ඥාන යෝග වගේ යෝග වර්ග ගණනාවක්. ඒ ඒ ග්‍රහ පිහිටීම් අනුවයි එහෙම යෙදෙන්නේ. ඔය රාජ යෝග ගැන නං නිතරම අහන්නත් ලැබෙනවනේ.

-ඥාන යෝග යටතට වැටෙන එකක්ම තමයි ශ්‍රමණ යෝග කියන්නෙත්...”
මේ ලියන මැටිමෝල් මං වහන්සේ දන්නා ජ්‍යොතිෂයක් නැති විත්තිය අනුරට මතක නැතිව ගිහින් වගෙය. එක දිගටම කියාගෙන යයි!

“හෝව්! පොඩ්ඩක් හෝව් මනුස්සයෝ.... ඔයා කියන ඒවා සටහන් කර ගත්තේ නැත්තං අමතක වෙනවා....” මම කීවෙමි.

අප මුහුණට මුහුණ හමු වුණේ අදට මාස විස්සකට එපිට දවසක ලාල් හේවාපතිරණ මහතාගේ නිවසේදීය. “අනුරව හම්බ වෙලා දිග chat එකක් දාන්න ඕනි. මට තියෙනවා ජ්‍යෝතිෂ ප්‍රශ්න ගොඩක් ඔයාගෙන් අහලා තේරුම්-බේරුම් කර ගන්න.” එදා මම ඔහුට කිව්වෙමි.

“හරි, හම්බ වෙමු!” අනුරත් එකඟ වුණේය.
ඊළඟ සතියේ සිට කොරෝනා නිසා රටම lock down වුණේය. අපේ හමුවීමත්, ඒවා ගැන ලිවීමත් කල් ගියේය! දැනුත් අප කතාබහ කර ගන්නේ ටෙලිෆෝනය මඟිනි.

“හරි! ශ්‍රමණ යෝග තිබුණයි කියමුකෝ....”

“එතකොට නිමල්, එහෙම අයට විවාහ යෝග පිහිටන්නේ නෑ!”
“ඒ කිව්වේ අනුර, එහෙම අය විවාහ වෙන්නේ නෑ කියලනේ.....”

ගති කියන්නෙ මිනිහෙක්ද සතෙක්ද කියන එක....  

අනුර වහාම විරුද්ධ වුණේය.

“කියන දේ පරෙස්සමෙන් තේරුම් ගන්න ඕනි නිමල්. ජ්‍යෝතිෂයෙන් කෙරෙන්නේ වෙන්නට ඉඩ තියෙන දේවල් පුරෝකථනය කරන එක. ඒත් එව්වා වෙනස් වෙන්නත් යම් සම්භාවිතාවක් තියෙනවා.... සමහරවිට වෙනස් කරවන්නත් පුළුවන්.... ඔයාට කියන්න ඕනේ නැහැනෙ බුද්ධාගමේ කියවෙන නියාම ධර්ම පහ ගැන... ඉතිං, අපේ කතාවට ආපහු යනවා නං-
ශ්‍රමණ යෝග තියෙන කෙනෙකුට වුණත් විවාහ වෙන්න පුළුවන්. හැබැයි ඒ විවාහය සාර්ථක වෙන්න තියෙන ඉඩ ඉතා අවමයි!”

“ඒ කියන්නේ අනුර මහත්තයෝ, කේන්දරයක් බලනවා කියන්නේ කෙනෙකුගේ ජීවිත පොත කියවීමක්!” මම කීවෙමි. එහෙම කිව්වේ මගේ හිතට අලුත් අයිඩියාවක් කාන්දු වෙමින් තියෙන අතරතුරේය.

“නිමල් මුලින්ම කියන්න ඕනෙ උපතක් හා ජීවිත පැවැත්මක් සඳහා ජ්‍යෝතිෂයට අනුවත් බලපාන කරුණු 4ක් තියෙනවා. කාල, ගති, උපදි, ප්‍රයෝග කියලා.
කාල කියන්නේ උපදින කාලය. ගති කියන්නෙ මිනිහෙක්ද සතෙක්ද කියන එක. උපදි කියන්නෙ අඟපසඟ. ප්‍රයෝග තමයි මට හිතෙන විදිහට ඉතාම වැදගත්. කෙනෙකු ඉපදුනාට පස්සේ ඉගෙනීම හා අත්දැකීම් තුළින් ලබා ගන්නා ප්‍රායෝගික බුද්ධිය තමයි මේ.
දැන් තේරෙනවා නේද කේන්දරේ බලනකොට කෙරෙන වැඩ කොටස.
වැඩේ තියෙන්නෙ කේන්දර බලවාගන්න එන අය විතරක් නෙවෙයි, කේන්දර බලන සමහරුත් ඕක ගොඩාක් වැදගත්ය කියලා නොදැන සිටීම. ඒ නිසා මේ වටිනා ශාස්ත්‍රය හෑල්ලුවට ලක්වෙනවා.....”

“හොඳයි මහත්තයෝ. තව දේවල් අහගන්න තියෙනවා. පස්සේ ආයෙම කතා කරමු. මොකද මේවා එක දිගට ලිව්වොත් මගේ post එක ජ්‍යෝතිෂ පාඩමක් වෙලයි නවතින්නේ! කියවන අය දැනටම අන්දොස් වෙලාද කියලත් මට බයයි!”

Please... ඔයා මට බෑ කියන්නේ නෑ නේද?

අනුර ජිනදාස හිතවතා එක්ක කෙරුණු සංවාදයේ- අදහස් හුවමාරුවේ තවත් දේවල් ඉදිරියේදී කියන්නට හිතේ තියාගෙනය, ආපහු දීඝායුගේ කතන්දරයට යන්නේ. මං වහන්සේ ප්‍රධාන කතාවෙන් ජ්‍යෝතිෂ විස්තරවලට පීලි පැන්නේ මෙහෙම කියූ තැනදීය:

ඕනි එකක් කියා ගත්තාවේ. මගේ මොකෝ!මටම කියා ගත්තත් මට මාවම රවටා ගන්නට ඇහැකිද? ඒත් අර දෙන්නා රවටන්නට උවමනා නිසා, මම ලියුම ලියාගෙන යන විදිහට රඟපාමි. පෑන විකමි; කල්පනාවේ ගිලෙමි; හිස කසන්නෙමි.....’

ආපසු හැරී බලද්දී මට පෙනෙන්නේ සැමී පිළිබඳව මගේ හිතේ හැංගුණු දැඩි නොරිස්සීමක් තිබණු විත්තියයි. ඒ තනිකරම ආත්මාර්ථය හා ඉරිසියාව පදනම් කර ගැනුණු හැඟීමකි.
මේ කාරණාව උලුප්පා පෙන්වන්නේ ඊළඟට මට මුහුණ දෙන්නට වුණු අබග්ගයට ඒ ඊර්ෂ්‍යා පරවශ හැඟීම ඉන්තේරුවෙන්ම සම්බන්ධ බැවිනි.

“නිමා, ඔයා ලොකූ දෙයක් කරන්නෝනි ඔන්න... බෑ නොකියා...
මෙච්චර දවසක් මේක ඔයාට කියාගන්න බැරිවයි මං හිටියේ... ඒත් දැන් නං මේක ඔයාට නොකියා බෑ.” දීඝායුලාගේ ටියුෂන් පන්තිය තෙක් පාද යාත්‍රාවේ යෙදෙන අතරේ ඒ හාදයා කිව්වේය.
“Please... ඔයා මට බෑ කියන්නේ නෑ නේද?”

එදා ඒ වචන ටික ඇහෙද්දී නං මේ ලියන්නා ‘අකනිටා බ්‍රහ්ම ලෝකය’ටත් වඩා උඩ ගිහින් හිටියේය.

“ඔයා හොඳටම දන්නවනෙ දීඝ, ඔයා කියන කිසිම දේකට මම බැහැයි නොකියන බව...” මම කීවෙමි.

“මම ඒක දන්නවා නිමා...” දීඝායු කිව්වේ, එතකොටත් අල්ලාගෙන හිටි මගේ අත හෙමිං මිරිකමිනි. මගේ අත වෙවුලමින් නොතිබුණත් හිත නං තිබ්බේ හොඳටෝම සසල වෙමිනි.

“මං දන්න විදිහට ඉලක්කම් භාෂාවෙන් ලියුමක් ලියලා තියෙනවා දන්න කෙනෙකුට.... ඔයා ඒක කියවලා බලලා වැරදි තැනක් තියෙනවා නං හරි ගස්සලා දෙනවද, තරහ නැතිව?” එයා එහෙම කියන කොටමත් මං ලණුව ගිලලා අහවරය.

අපි රේල් පාරත් පැන්නෙමු.

අපට ඉලක්කම් බස කියා දුන් මරදානේ වසන්තට ලියන ලියුමක් නං එහි වැරදි හදන්නට කිසිම උවමනාවක් නැත. ඒ භාෂාව දන්නේ අප තුන්දෙනා විතරය.

ඉලක්කම් භාෂාව නොදන්නා කෙනෙකුට ලියන ලිපියක් නම් ඉස්සෙල්ලාම එහි හෝඩියත් උගන්වලා ඉන්නට ඕනෑ නේද?

“තව කවුද දීඝ, මේ බාසාව දන්න කෙනෙක් ඉන්නේ, ඔයාට ලියුම් ලියන්න....?” මාත් ඇසුවේ තොත්ත බබෙකු වෙමිනි.

“හෙට උදේට මම ඔයාට ලියම දුන්නාම බලා ගන්නකො, ලියුම කාටද කියලා. හැබැයි කාටවත් කියනවා එහෙම නෙවෙයි ඔන්න.... සේරම ඔයයි මායි අතරේ විතරයි!” දීඝායු කිව්වේ හොර හිනාවකුත් එක්කය. “Promise...” දීඝායු අත්ලත් විදහා පෑවේය. මම අත්ල ගටා පොරොන්දු වුණෙමි.

එතැන් සිට මොට්ට මට හිතුණු දේවල්!
‘අනේ මෝඩ වහන්සේ.... පව්! ඒ අතින් දීඝ කොච්චර අහිංසකයිද? ඔය ලියුම ලියලා තියෙන්නේ මටම තමයි. මූණට මූණ බලාගෙන මට මොනවත් කියන්න තරම් දහිරියක් නැතිව ඇති.
දීඝට වැඩිය
ඇට්ටර පියසිරිත් ලියලනෙ දුන්නේ... එහෙම දුන්නු නිසානේ පියසිරිට වැඩේ වැරදුණේත්.... මේ වතාවේ, ඔන්න නිමලෝ ඉතිං දැන් තියලම පරෙස්සම් වෙයං! නැත්තං තාත්තට අහුවෙන විදියට ලියුම තියාගෙන ඉඳලා...”
මගේ සිතුවිලි හැම එකක්ම කෙළවර වුණේ මටම කෙරුණු ‘තද warning’ එකක් එක්කලාමය.
 

පහුවදා පාන්දර දීඝායු සුභසාධක මාවත අද්දර හිටගෙන උන්නේය. කොල්ලා එතැන ඉඳලාම මගෙත් එක්ක එක පෙළට වැටී කතා කරමින් ඇවිද්දේය. ඒත් එදා එයාගේ කතාව වෙනදා තරම් නිදහස් එකක් නොවිණි...
අපි රේල් පාරත් පැන්නෙමු.
මං දත කාගෙන හිටියේ, අන්තිම මොහොතේදී හරි ලියුම ගැන අහනවා කියා අදිටන් කරගෙනය. ඒත් දීඝ ඕනෑවට වඩා පරක්කු වුණේ නැත.

කවුද මේ යස්ස ස්....?

ඊළඟ විනාඩියෙදීය; මහරගම හන්දියෙදීය දීඝායු මගේ අතට පොතක් දුන්නේ. “ල්...ල්... ලියුම ඇතුළේ... කව්රුවත් දකියි!” දීඝගේ හඬ ඇහෙන- නෑසෙන තරම්ය.

‘මෝඩයා... මට ලියුමක් දෙන්න මොකට ඔච්චර මූණ රතු කර ගන්නවද? කෝ එදා පුංචි කෝච්චියේ එද්දී ඔයාට තිබිච්ච ගට්ස්?’ මං හිතුවා විතරය; ඇහුවේ නැතිය.

එතැන හිට මං විද්‍යාකර විද්‍යාලයට ගියේ ‘කුදිර වලිප්පුව’ හැදුණා වගේ නොඉවසිල්ලෙනි. පන්තියට ළමුන් පිරෙන්නට කලින් ‘මේ රත්තරං ලියුම’ කියවාගත යුතුය.
කොතැන, කොහොම තනිවී ඒ ලියුමට ඇහැ යැව්වාද කියලා මට මතක නැත. ඊළඟ තත්ත්පරයෙදී ඉස් මුඳුනටම පත හෙණයක් පාත් වුණු බවය, මගේ මතකයේ තියෙන්නේ.

'16ා 21ු 2ෙ2 13්   2 13් 13ා  1 14 20....  1ා 15 20  23්......11’
(පාලුවෙන් ඉන්නා අතර.... ආදර ස්......ට)

ඇස් දෙකම උණු කඳුළෙන් පිරී තියෙද්දීය මං ලිපිය කියෙව්වේ.... ඒ ලියලා තියෙන්නේ මට නොවේ. ස්.... කෙනෙකුටය; ගැහැනු ළමයෙකුටය. කවුද මේ යස්ස ස්....?

එදා; එවෙලේ; ඒ මොහොතේ ඒ නිමල් දිසානායක ගැටවරයා හිටියේ ඉරිසියා ගිනි ජාලාවක දැවෙමිනි. තමා හමුවට පැමිණෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්නට පුරුදුවී හිටියත් මෙවැනි ඊර්ෂ්‍යා පරවශ තත්ත්වයකට මුහුණ දෙන්නට ඔහු ඉගෙන ගෙන තිබුණේ නැත.
ඉරිසියා කරනවාය කියන්නේ කුමක්දැයි ඔහු ඉගෙන ගත්තේ පසු කාලයකය.

මම දිළින්දෙක්මියි කියා ගන්නට; මගේම යටි හිතට ඒත්තු ගන්වන්නට අකමැති නිසාය...
කෙනෙකු තවත් කෙනෙකුට ඉරිසියා කරන්නේ තමා ළඟ; තමා සතුව ඇති දේට වඩා දේවල් තව කෙනෙකුට ඇතැයි හිතන විටය. තමා සන්තක දේවල් අඩුයැයි හැඟෙන විටය.

එහෙම හිතනවාය කියන්නේ, තමන් දිළිඳු බව- තමන් දුප්පත් බව- තමන් සතු දේවල් හිඟ බව තමන්ම පිළිගැනීමක් නොවෙද?
‘මම දිළින්දෙක්මි’යි කියා ගන්නට අකමැති නිසාය; ‘මා මට ප්‍රමාණවත් තරමින් පොහොසත් කෙනෙක් වී සිටින්නෙමි’යි කියන්නට කැමති නිසාය, දැන් මා ඊර්ෂ්‍යාව ඈතින්-ඈතටම පලවා හැර තිබෙන්නේ!

කිසා ගෝතමිය මාව දකිනවා නං....
‘නිබ්බ්තා නූන...’ පද අලුත් කරනවා ඇති!

හැබැයි එවන් තත්ත්වයකට මා පත්වූයේ දවසකින් දෙකකින් නොවේ. එක අත්දැකීමකට- දෙකකට පමණක් මුහුණ පෑමෙනුත් නොවේ. අනේක විධ අත්දැකීම් විඳිමින්- වසර දශක තුනක් විතර දිගු කලක් ගෙවා දමමිනි.

මගේ මතකය නිවැරදි නම්, අභී අයියා විවාහ වුණෙත් ඊට පසු කාලයකදී; දීඝායුගේ පෙම් හසුනේ සිදු වීමෙන් පසු කාලයකදීය.
එතකොට මට ඇති වුණේ
අඩු සංවේගයකි; අඩු ඉරිසියාවකි. 

ඉතිං, දීඝායුගේ ඉලක්කම් ලිපියෙන් කියැවුණු විදිහට නම්, ඒ වෙනකොටත් දෙන්නා අතරේ සබඳකමක් පටන් ගෙන වැඩි කලක් ගතවී නැත. බාධක මතු වෙලාය. කතාබහක්වත් කර ගන්නට බැරි නිසාය, ලියුම්වලින් ආදරය හුවමාරු කර ගන්නට හිතලා තියෙන්නේ... දීඝායුගේ ලියුම සීරුවට නමලා ආයෙත් සාක්කුවට දමාගෙන, මං desk එකට හිස ඔබා ගත්තෙමි.

උණු උණුවේ ඔළුවෙ ගාපු ගමන් හරි.... (පොම්පෙයිහි, විසූවියස් ගිනි කන්ද විදාරණයවී ගැලූ ලාවාවලට යටව මියයද්දී සමරිසි මොවුන් කම්සැප විඳිමින් සිටියේලු!)

“මොකද බං.... ඔළුව රිදෙනවද?” කොරල සුන්දරී පිටට ගසා අසයි; දඩෝරියාත් එතැනම හිටගෙන සිටී. ඔළුව උස්සා බලනකොටම ඇසුණේ ඔලොක්කු හිනා සද්දයකි. මගේ ඇස් ගියේ ‘හක හක ගාමින්’ සිනාසුණු රණවක, භානු දෙන්නාගේ දිහාවටය.

“මොකද කොරලයෝ. බට්ටගෙ මාසේ මාරු වෙලාද, පාන්දරම ඔළුවෙ කැක්කුම?” රණවක අතින් කට මුවා කරගෙන, සද්දේ අඩුවෙන් අහයි.

කොරල සුන්දරීට තියෙන්නේ සද්ද වැඩි කටකි!

“උඹ ඔව්වා ගණන් ගන්න එපා නිමලෝ.... උගෙ වලත්ත කතා...” මට නැඹුරුවී කණට කොඳුරා එහෙම කියූ කොරල සුන්දරී රණවකට උත්තර දුන්නේ වෙනස් tone එකකිනි. “... මේකට හිස කැක්කුමක්ලු!” ඒ මගේ වෙනුවෙන් නිදහසට කරුණු කීමකි.

“අයියෝ! ඕකට නං නියම බේතක් තියෙනවා මං ළඟ... උණු උණුවේ ඔළුවෙ ගාපු ගමන් හරි.... බට්ටා කැමතියි නං දෙන්නං කියපං... අඩෝ කොරලයා, දෙන්නද අහපං මචං....” රණවක පුරුදු විදිහටම කෝන්තර පිරිමහයි.
මට ඔළුවෙ කැක්කුම හැදෙව්වේ දීඝ බව මේකා දන්නවා නං..... මට විසුමක් වෙන්නේ නැත.
 

එදා නම් මට පාසල අපායක් වුණේය. පාසල් සගයන් පවා මට පෙනුණේ යම පල්ලන් විදිහටය. ඒ ඔවුන් මා වටා ගැවසෙද්දීය.

මට ඕනෑ වුණේ තනි වෙන්නටය; තනිවී මගේ හිතේ පිරී තිබුණු දුක්ඛ දෝමනස්සයන් සියල්ලම කඳුළෙන් සෝදා හරින්නටය. ඒකට පන්ති කාමරය හොඳ තැනක් නොවේ; අපේ ගෙදර ඊටත් එහාය. රෑට නිඳි පැදුරෙදී විතරය, මට හොරෙන් අඬන්නටවත් ඉඩක් ලැබෙන්නේ.

හොරෙන් අඬන්නටවත් ඉඩක් ලැබෙන්නේ....  

ඉතිං, දීඝායුගේ ආදර හසුනේ හරි-වැරදි බලන්නට; හදන්නට තියා එය ඇඟිලි තුඩුවලින් අල්ලන්නටවත් එදා නං මට හිත දුන්නේ නැත.

අනේ, එච්චර දවස් මං හිතාගෙන හිටි හැටි වැරදියිද? දීඝායු ඉපදී තිබුණේ මා වෙනුවෙන් නෙවෙයිද? මා ඉපිද සිටියේත් ඔහු වෙනුවෙන්ම නොවෙයිද?

ග්‍රීක මහ දෙවි සියුස් මුලින්ම මවා ඇති මිනිසාට ලිංග භේදයක් තිබී නැත. ඔවුනට මුහුණු දෙකක්, අත් සතරක් හා කකුල් සතරක් බැගිනුත් තිබුණේලු. ඒ නිසාමදෝ ඔවුනට අසාමාන්‍ය ශක්තියකුත් තිබුණේල. එය දුටු මහ දෙවි රජිඳා මතු වන්නාවූ බිහිසුණු තත්ත්වය පිළිබඳව උපකල්පනය කොට බෙහෙවින් ත්‍රස්ත වීල. එය වළක්වා ගැනීම පිණිස නොපමාව සුදුසු පියවරක් ගත්තේල.
ඒ අර ශක්තිමත් මිනිසා දෙපළු කොට එක භාගයක් ස්ත්‍රීන් බවටත්, අනෙක් භාගය පුරුෂයන් බවටත් පත් කිරීමෙනි.

එදා ඉඳන්ම මිනිහා කරන්නේ තමාට අහිමි කෙරුණු තමන්ගේ ‘අනෙක් භාගය’ සොයමින් වෙහෙසීමලු!

මේ ග්‍රීක පුරාණෝක්ති කතාව එදා මා දැන සිටියා නම්...
නිමල් දිසානායකට අහිමි වුණු අනෙක් අර්ධය දීඝායුය කියා පර සක්වළ කළඹන්නට වුණත් ඉඩ තිබිණි.

ඇත්තෙන්ම මිනිසුන් වශයෙන් අප සෙවීමට වෙහෙසිය යුත්තේ; ගවේෂණය කළ යුත්තේ අපේ අනෙක් අර්ධයද... නොඑසේ නම් අපේම ගුප්ත අභ්‍යන්තරයද?

මේ විරාමය ඒ ප්‍රශ්නයට උත්තර හොයන්නටය;
බ්ලොග් කියලා ජාතියක් තියෙන විත්තිය ඒවා ගැන  නොදන්නා ඔබේ හිතවතුන් කිහිප දෙනෙකුට හඳුන්වා දෙන්නටත් එක්කය....