අකුරු මැකී නෑ

Saturday, November 19, 2022

තිහේදී... -අටවෙනි කොටස

ඊයම් කොළයක් උඩට, මොනවද කුඩු වගයක් දාලා- ඊට යටින් පත්තුවෙන ගිනි කූරක් අල්ලනකොට නැඟෙන දුමාරය එයාලා ඉරුවා; කඩදහියක්ද කොහෙද හීනියට රෝල් කරලා හදා ගත්තු පොඩි බටයකින්. පස්සෙයි මං දැන ගත්තේ ඒ හෙරොයින් විත්තිය.

එයාල තුන් දෙනාත් හිටියා මහරගම පළමු කුඩුකාරයන් අතරේ. දේමිත්ත වැඩි-වැඩියෙන් අරක්කුවලට ඇබ්බැහි වුණු නිසාද කොහෙද ඒ වසංගතයෙන් බේරුණා. අනිත් දෙන්නා ඒකට බිලි වුණා.

එයා කැමති ඔක්කොම දේවල්වලට මං එකඟ වුණේ නැති වෙලාවක...

හැබැයි, මං ඒ තුන් දෙනාටම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්නත් ඕනි. මොනම වෙලාවකවත් එයාලා මට කියලා කංසා උරවන්න හරි, කුඩු උරවන්න හරි උත්සාහ දැරුවෙ නැති එක වෙනුවෙන්. ඒකට හේතුව වෙන්න ඇත්තේ ඒ වෙද්දීත් එයාල අත්දැක තිබ්බ, මගේ දරදඬු මැරෑටි මහන්තත්ත ගතිය වෙන්ඩ ඇති.

“නිමලුත් හෙමින වගේ හිටියට හරි මුරණ්ඩුයි නේද මචං?” දවසක් සුපුන් දේමිත්තගෙන් ඇහුවේ, මගේ ඉස්සරහදීම.
‘අපේ රති කෙළිවලදී’ එයා කැමති ඔක්කොම දේවල්වලට මං එකඟ වුණේ නැති වෙලාවක...
‘එහෙනං අරයට විතරද...’ වගේ හරස් ප්‍රශ්නත් සුපුන්ගෙන් මතු වුණේ ඊට ටික වෙලාවකට කලියෙන්. දේමිත්ත අපේ ළඟට ආවේ ඊට පස්සෙයි.

‘අරයා මෙයා කියන්නේ ඔයා නෙවෙයිනෙ, සුපුන්. අරයා වෙනයි; මෙයාත් වෙනයි; ඔයා ඊටත් වෙනයි. අපි මොකටද තව කවුරු හරි වගේ වෙන්නේ... අපි අපේ විදිහට...’ වගේ දෙයක් එයාට නොරිදෙන විදිහට උපායශීලීව කීමත්, ඒ වෙලාවේ විසඳුමක් වුණේ නෑ... එතකොට එයාගෙන් කියැවුණේ මෙහෙම අදහසක්.
“එහෙනං මං තරහ වෙනවා!”
එහෙම තරහ වෙන කතාව මතු වුණු වෙලාවට හැම තිස්සෙම, මගෙ උත්තරය කියැවුණේ අන්තිම නිවිච්ච tone එකකින්... ‘ඇත්තනෙ, මට වගේම ඔයාටත් අයිතියක් තියෙනවනේ ඔයාගේ කැමති අකැමැති දේ ගැන තීරණ ගන්න.’

සිල් අරගෙන හිටියත් උවමනා වෙලාවට පෙණය පුප්පන්න ඕනි බවත් මං ඉගෙනගෙන හිටි පාඩමක්. නැත්තං වෙන්නේ එහෙම නොකරපු නයාට වෙච්ච දේ.

හැබැයි, ඒ දැඩි ගතිය තිබ්බේ මගේ අහිංසක පෙනුමෙන් වසං වෙලා. (ගිය වතාවේ post එකට දාලා තිබුණු මගෙ ‘විස්සේ foto එක’ දැකපු කෙනෙක් විශ්වාස කරන එකකුත් නෑ- මගෙ එහෙම දැඩි; අනම්‍ය ගතියක් තිබුණයි කියලා.)

ඒවා නං ඉපදෙනකොටම ගෙනෙන්න ඕනි ගති වෙන්නැති. මං යමක් ‘එපා කිව්වොත් එපාම තමා!’
එහෙම ගතියකුත් මට දායාද වෙලා නොතිබුණා නං හෙම...
මගෙ ලෝකයේ අඳුරු; සැඟවුණු; දෙවෙනි කොටසේ සාමාජිකයන්ගේ නම් ලැයිස්තුව තව සිය ගණනකින් දික් වෙන්න තිබ්බා, නොවැරදීම.

මේ තරම් දරුණු විදිහට දඩාවතේ ගිහිල්ලත්, ලෙඩකට ගොදුරු නොවී- අඩන්තේට්ටමකට ලක් නොවී මං වහන්සේ බේරෙන්න ඇත්තෙත්...
පුදුමය කියන්නේ, මං අපේ අම්මගේ ගර්භාෂයේ ඉන්න දවස්වල ආපු අහිගුණ්ඨික සාස්තරකාරිය කොහොමද මට ඔය ජඩ ගති පිහිටන බව දකින්න ඇත්තේ. එහෙම දැකපු නිසාම වෙන්න ඇති අපේ අම්මගේ අත බලලා, "නෝනා, ඌපදෙන්න ඉන්න දරුවා තමා පිරිමි දරුවා.... පෝම වාසනාව තමා තීනවා. ඇබ්බැයි නෝනා බඩේ ඉන්නවා දවල් ඔරා තමා....." කියල කියන්න ඇත්තේ.

අහිගුණ්ඨික ගෑනු මනුස්සයා කිව්ව විදිහටම, වාසනාවත් මදිය නොකියන්නම මට ලැබිල තියෙනවා. මැරෙන්න ඔන්න- මෙන්න ගිහිල්ලත් මං තුන්-හතර වතාවක්ම බේරුණේ ඒ නිසාම වෙන්න ඕනි. මේ තරම් දරුණු විදිහට දඩාවතේ ගිහිල්ලත්, ලෙඩකට ගොදුරු නොවී- අඩන්තේට්ටමකට ලක් නොවී මං වහන්සේ බේරෙන්න ඇත්තෙත්, වාසනාව මගෙ පැත්තෙ තිබ්බ නිසාම වෙන්න ඕනි.

ඒ එක්කම (තිබ්බ / තවමත් තියෙන) වැදගත් ප්‍රතිපත්ති දෙකක් මට ආරස්සාව දුන්නා / දෙනවා!

එක: නිතරෝම අපේ තාත්තා මන්තරයක් වගෙ ජප කරපු කියමන. නිදිගෙ පංච තන්තරේ 100වෙනි post එකට මං ඒ විත්තිය ලිව්වේ මෙහෙමයි: “අම්මව දෙනවයි කිව්වා නම් පුතේ, තාත්තව ගස් බැඳලා හරි ඒක කරපන්!තාත්තා මට කීවේ එහෙමය. එයින් මා ගත්තේ වාච්‍යාර්ථය විතරක් නොවේ. කරන්නට බැරි දෙයක් කියන්නට එපා’- යන ඔවදනය. එමෙන්ම යමක් කීවොත් කරලා මිස පසු නොබලන්නටත් ඒකෙන් ඉගෙන ගත්තෙමි.”’

දෙක: හොරෙකුට වුණත් ප්‍රතිපත්තියක් තිබිය යුතු බවය. ඒකත් blog පෝස්ටුවක ලීවේ 2018 ජුලි මාසයේදීය.
විස්තරේ පටන් ගත්තේ මෙහෙමය:
‘... ඇයි 'ගුවන් විදුලි රඟ මඬල'. ඒක ගියේ රෑට. හැබැයි මං නොවැරදීම ඇහුවා. අර ප්‍රතිපත්තිය මගේ හිතට වැදුණේ ඒකෙන්, එක නාට්‍යයකින්.

ඔන්න හොරෙක් රජ මාළිගාවකට යනවා හොරකම් කරන්න. මේකා පුළුවන් තරම් රිදී-රත්තරන් බඩු පොදි ගහලා ගෝනියක දමාගෙන එන්න හදද්දී කකුල වදිනවා මොකකද. ඇයි කළුවරේනේ. බලනකොට එයාගෙ කකුලේ ඇඟිල්ලක නියපොත්ත කැඩිලා. මේ මිනිහා පණ දාගෙන නියපොතු කෑල්ල හොයනවා එළි වෙනකල්ම. රාජ පුරුෂයෝ මේ හොරාව අල්ලලා, කුදලලා බැඳගෙන රජතුමා ඉදිරියට ගෙනියනවා. රජ්ජුරුවෝ හොරාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.

හොරා රජ්ජුරුවන්ට දෙන උත්තරය පදනම් කරගෙන තමයි මගෙ ජීවිතයේ දෙවෙනි ප්‍රතිපත්තිය ස්ථාපිත වුණේ.
"යුෂ්මතා හොරකම් කරගත්තා නම් ඇයි එළිවෙනකල් මාළිගාවේ රැඳී හිටියේ?"

එතකොට හොරා රජ්ජුරුවන්ට දෙන උත්තරේ පදනම් කරගෙන තමයි මගෙ ජීවිතයේ දෙවෙනි ප්‍රතිපත්තිය ස්ථාපිත වුණේ. ඒක මෙතන නොලියන්නේ, ඔයාලා උඩින් තියෙන link එක ක්ලික් කරල, ඒ හඬ නළුවෙ කතන්දරේ ගෙඩිය පිටින්ම කියවයි කියලා හිතුණු නිසා!

ඔහොම දේවලුත් ලියන්න හිතුණේ, මේ දවස්වල දකින්න, අහන්න ලැබෙන දේවල් නිසයි. එක වචනයක් නැති- එක ප්‍රතිපත්තියක් නැති- අනිත් මිනිසුන් ගැන දයානුකම්පාවක් නැති- සෙවල නරුමයන්ගේ කියුම් කෙරුම්වල වපසරිය පුංචි නැති නිසා. අපේ බදු මුදල්වලින් රුපියල් කෝටි 9,029ක්ම වතුරේ යවලා වග දැක්කාම. ඒ වැරදිවලට වග කිව යුත්තන්ට දඬුවම් දෙන්නෙ කවුද- කවදද කියල හිතුණම.

ඉතිං, කාමාතුරයන්; මත් ලෝලීන්; බේබද්දන් වගේ එකේක මට්ටමේ- එකේක තරාතිරමේ අයව ඇසුරු කළත්, මං කවමදාවත් එයාලගේ මට්ටමටම වැටුණෙ නෑ. එයාලට ඕනි හැම දේම කළෙත් නෑ. දිගින් දිගටම මගේ දරදඬුකම් දැන ගත්තට පස්සේ ඒ කවුරුනුත්, මං එක්ක ගැවසුණේ අතේ දුරින් වගෙයි.
පුරසාරමක් වගෙය කියලත් කෙනෙක්ට හිතෙයි, තමා. ඒත් ඕක තමයි මට වැටහුණු ඇත්ත තත්තේ...

ඔන්න ඔය කාලෙදීම (1983) විතර එංගලන්තයේ ඉන්න අම්මාගෙන් මට ලියුමක් ආවා.

“රංජි, ඩැඩා කියනවා ඔයාව නිවාඩුවකට එංගලන්තෙට ගෙන්න ගන්නලු. නෝනාට වුණා වගේ දෙයක් ඔයාට වෙන එකක් නෑ. දැන් ඔයාට වීසා ගන්න ලේසි වෙයි. දෙසැම්බර්වල‍ට මෙහෙ ඉන්න බලාගෙන එනවා නං ස්නෝ වැටෙනවා දකින්නත් පුළුවන්. නත්තලත් එනවනෙ. සමන්තිල දීපානිල එහෙමත් දැන් තියාම හරි සතුටෙන් ඉන්නේ ඔයා මේ නත්තලට මෙහෙ ඇවිත් ඉඳියි කියලා. ලාල් අයියා ඔයාටත් උදව් කරයි නේද එම්බසියට යන වැඩවලදී එහෙම, සමන්තිලට උදව් කළා වගේ.” අම්මා කියා තිබිණි.

එතකොට මං තරුණ ජනගහණ කමිටුවේ ලේකම්ය. 1984 අවුරුද්දේ තජකයේ සභාපති වෙන්නට ඉන්නේ මං වහන්සේය. ඒ අවස්ථාව අත හරින්න නේද මේ කියන්නේ.

“අම්මේ, ලබන අවුරුද්දේ මං Youth කමිටි එකේ චෙයාමන් වෙනවා.
එහෙම වුණාම කරන්න ලොකු වැඩ ගොඩක් දැනටමත් හිතේ තියෙනවා. ඒ චාන්ස් එක මඟ හැර ගන්න බෑ. මොකද යූත් එකේ තියෙන සිරිත නිසා. ඒකෙ වැඩ කෙරෙන විදිහට, මේ අවුරුද්දේ ලේකම් තමයි ලබන අවුරුද්දේ සභාපති වෙන්නේ. එක් කෙනෙක්ට ඒ නිලතල දරන්න පුළුවනිත් එක අවුරුද්දයි. ඉතිං ලබන අවුරුද්දේ ලංකාවේ නොහිටියොත් මට ඒ chance එක හම්බ වෙන්නැතුව යනවනේ...”

සිරි ලංකාවේ එකදු දේශපාලන පක්ෂයක අභ්‍යන්තරයේවත් එහෙම සාර්ථක සංවිධාන රටාවක් නැත. 

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහණ කමිටුවට දිග ව්‍යවස්ථාවක් තිබුණේ නැත. තිබුණේ චාරිත්‍ර-වාරිත්‍රය. චාරිත්තර කියන්නේ රකින්නට ඕනෑ සිරිත්වලටය. වාරිත්තර කියන්නේ අතහැරිය යුතු; අනුගමනය නොකළ යුතු දේවල්වලටය. තජකය දිව්වේ ඒවා අනුව යමින්ය.

(සිරි ලංකාවේ එකදු දේශපාලන පක්ෂයක අභ්‍යන්තරයේවත් එහෙම සාර්ථක සංවිධාන රටාවක් නැත!)

ඒවා ගැන තීරණය කරගෙන තිබුණේ තජකය පිහිටුවීමේදීමය. ඒ එවක ශ්‍රීලංපසංස විධායක අධ්‍යක්‍ෂ ධුරය අතිදක්ෂ ලෙසින් හෙබවූ දයා අබේවික්‍රම මැතිඳුන්ගේ මඟ පෙන්වීම ඇතුවය. 1975දී ඒ සිරිත්-විරිත් තීරණය කළවුන් අතර ලාල් හේවාපතිරණ (ලාල් අයියා), හැරල්ඩ් පීරිස්, නන්ද පී කළුතන්ත්‍රී මහත්වරුන් තුන් දෙනාත් සිටි බව, වරින්-වර ඔවුන්ගෙන්ම අසා ගන්නටත් මම වාසනාව ලද්දෙමි.  

තජකයේ ක්‍රියාකාරී කමිටුවට හිටියේ දහ -දොළොස් දෙනෙකි. ඒ ටික දෙනාට ඇතුළු කර ගන්නේත් පැරචුට්ටන් නොවේ. අවුරුදු කිහිපයක්ම අනු කමිටුවල වැඩ කරන පිරිස අතරින් මතු වෙන දක්ෂයන්ගෙනි.
අමතක වෙන්නයි ගියේ. තජක සාමාජිකයන් හැමෝමත්- අනු කමිටු සාමාජිකයන් හැමෝමත් මදිය නොකියන්නම කැසිල්ලක් තිබුණු  උදවියයි; ඇම්මක් තිබුණු උදවියයි. ඒ හැමෝම; අපි හැමෝම තජකයේ වැඩ කළේ ස්වේච්ඡාවෙනි. වැටුපක් හෝ දීමනාවක් නොලබමිනි.

නමුත් එයින් ලබා දුන් පුහුණුවීම් විතරක්ම වුණත් සුළුපටු නැත.

අද තියෙන පාඨමාලා එක්ක සංසන්දනය කරද්දී ඒවා රුපියල් ලක්ෂ ගණන් වටිනවාය. හිතන්නකෝ... අපට පුහුණුව ලබා දුන් විද්වතුන් ගැන...
මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කොල්වින් ගුණරත්න, කලාකීර්ති එඩ්වින් ආරියදාස, වෛද්‍ය ශ්‍රියානි බස්නායක, ලීල් දිසානායක... ඔය කිව්වේ නිකම්ම මතකයට ආව නම් කීපයක් විතරය. ඒ එක් දින- දෙදින- තෙදින වැඩමුළුවලදී- ඒ උත්තම විද්වත් පිරිසෙන් ඉගෙනගත් දේවල්වලින් මම තවමත් වැඩ ගන්නෙමි!
ඒ හැම කෙනෙකුටම පින් අත්වේවා!

ඉතිං ඔබට හිතා ගත්තෑකි නේද, මං වහන්සේ 84 එංගලන්තයට යන්න බැරියැයි අම්මලාට කී හේතුව.
84 මං තජක සභාපති වුණා. ඒ විස්තර ලියන්න ගියොත්...

හරීම පුදුමාකාර විදිහට ගොඩාරියක් දේවල් අඹරවනවා. වෙනස් කරවනවා. පුදුමාකාර twists තමයි....

එහෙම සභාපති වෙන්න ඔන්න මෙන්න තියෙද්දී, තජක වැඩ සටහනක සංවිධාන වැඩකට කොල්ලුපිටියට යන්නට 112 බස් එකකට නැංගම...

අවුරුදු දහසයකට දාහතකට විතර පස්සේ පියසිරිවත් මුලිච්චි වුණා. එයත් හිටියා ඒ බස් එකේ.

මගේ ඉරණම නං මොන වගේ එකක්ද මංදා. හරීම පුදුමාකාර විදිහට ගොඩාරියක් දේවල් අඹරවනවා. වෙනස් කරවනවා. පුදුමාකාර twists තමයි ඇති කරවන්නේ. ඉතිං ඒවා ලිව්වාමත් මාර පැටලිලි වගෙය. පියසිරි ගැන ගොඩාරියක් විස්තර කියාගෙන ඇවිත්, ඉතිරි හරිය ලියනවාය කිව්වේ 291වෙනි post එකේදීය. දැන් ඒවා ලියන්නේ 545 වෙනි පෝස්ටුවේදීය!

‘මට මතක හැටියට නම් යළි ඔහු මුණ ගැසුණේ 1983දීය.

පියසිරිගේ බෙදුණු නිකට එහෙමම තිබුණේය. ආරෝහ-පරිණාහ සම්පත්තිය තවත් වැඩිවී තිබුණේය. මාත් එක්ක තිබුණු සියලුම තරහ-මරහ අමතකවී තිබුණේය. මං මහරගමින් නැඟලා තිබුණේ ඔහු හිටි බස් එකකටය.

බට්ටො... කොහොමද ඉතින්?”

සැපෙන්, සනීපෙන් ඉන්නවා පියසිරි!

ඉස්කෝලේ හයේ පන්තියෙදී පියසිරිගේ ඇල්ම මා කෙරෙහි යොමුවූ බවත්, ඒ හාදයා මට ලියූ තුණ්ඩුවක් අපේ තාත්තාට අසුවූ බවත් මම එදා ලිව්වෙමි. ඒ දිනවල මා දුටු ශෘංගාරාත්මක සිහින රැසක ඒ හාදයා උන්නේය!’ කියලාත් ලිව්වෙමි. තාත්තා දැමූ තහංචියට 100%ක්ම කීකරුවී පියසිරිගේ දැඩි වෛරයකට පාත්‍රවූ හැටිත් ලිව්වෙමි.

ඊට පස්සේ වුණේ මොනවාදැයි මං වහන්සේ එදා හෙළි කළේ නැත. 1983-84 කාලයට ඇවිත් ඉන්නේ දැන් නිසා අද ඒ ගැන කිව යුතුය.

“අම්මට xමනෙන සැපක් නං උඹට තියෙනව වගෙයි පේන්නෙ බට්ටෝ.” පියසිරි මගෙ කණටම කොඳුරලා කිව්වේ ඇහැක් වහලා; තොලකට දිවෙන් තෙත් කරලා; අර එයාගේ සුපුරුදු කට කුඹුස්සන ඉංගිතයත් පාන ගමන්. “යකෝ, උඹ හිටියටත් වැඩිය ලස්සන වෙලා. පුළුවන් නං මේක අල්ලල බලපං, උඹව දැක්ක ගමන් මට fire වෙලා ඉන්නේ.”

එයාලා වැටෙන්නේ ද්විලිංගික (bisexual) ගොඩටයි. මං කියන මේ කීප දෙනා...

අප දෙන්නාම යා යුතුව තිබුණේ කොල්ලුපිටියේ එකම ගොඩනැඟිලි සංකීර්ණයකටය. “එහෙදි කතා කරමු!” මම යෝජනා කළෙමි. බසයේදී කතාව දිග්ගස්සන්නට ගියොත්, පියසිරිගෙන් තව මොනවා කියවේවිදැයි බයකිනි, මං හිටියේ.

“එහෙනං බට්ටො, ඇතුළට ගිහිං උඹේ වැඩේ කර ගෙන වරෙන්. උඹ එනකල් මම බලං ඉන්නවා!”

පියසිරිගෙ ගති වෙනස් වෙලා තිබ්බේ නැතිය. එව්වා තවත් ටිකක් වැඩි වෙලාය. ඒත් ඒ සේරටම වැඩියෙන් මගේ හිත ඇවිස්සුණේ, මං ආපසු එද්දී ඒ යක්ෂයා ඇඳගෙන හිටි නිල ඇඳුමේ පාට හින්දාය! ඒ ඇඳුම ෂර්ලි ඇඳගෙන හිටි යුනිෆෝම් එකේ පාටම එකකි. කාකි පාට!!

කාකි පාටට මගෙ තියෙන ඇල්ම ඇති වුණේ ෂර්ලිගේ හින්දාමද? වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.

පසුගිය කොටසකට comment එකක් එවමින් අජිත් ධර්ම හිතවතා මෙහෙම කාරණයක් මතුකොට තිබුණි.
‘පොඩි කාලේදී අපයෝජන වෙච්ච හුඟක් ළමයි පසු කාලයක ඒ ලිංගික දිශානතියට නතු වෙන බවක් පෙනෙන්නේ නැත්ද
? එංගලන්තයේ නිල පිළිගැනීම තමා ඒක උපතෙන් එන දේ කියන එක. නමුත් සමහර වෙලාවට අරෙහෙමත් හිතෙනවා...’

මගෙ හැඟීම නම් වැඩිකොටම, අපේ ලිංගික දිශානතිය තීරණය වන්නේ උපතෙදීය කියන එකයි. ඒ ගැන ගොඩක් තොරතුරු මට ලැබිල නැති නිසයි ‘මගෙ හැඟීම’ කියල කියන්නේ.

එහෙම හරි කියන්නේ මං දැනගෙන හිටි කිහිප දෙනෙකුගේ චර්යාවන් නිසයි. එයාලා වැටෙන්නේ ද්විලිංගික (bisexual) ගොඩටයි. මං කියන මේ කීප දෙනා සාර්ථක විවාහ ජීවිත ගත කරපු අය (වෙන්න ඇති අය) කියලයි මං හිතන්නේ. ඒ ගොල්ලෝ බිරිඳගෙන් පමණක් සෑහීමට පත්වෙලා තිබුණේ නැහැ. පිරිමි ඇසුරත් පැතුවා.
එයින් එක්කෙනෙකු විවාහ දෙකක් හෝ තුනක් කර ගත් කෙනෙක්. “මිනිහගෙ එක කසාදයක් කැඩුණේ ගෙදරදීම වයිෆ්ගේ මල්ලිත් එක්ක සෙල්ලං දදා හිටිද්දී ගෑනිට මාට්ටු වෙලා.” තොරතුර කියැවුණේ එයාගේ අසල්වැසියෙකුගෙන්.

ඒ ද්විලිංගික පිරිමි වගේම ද්විලිංගික ගැහැනුත් ඉන්නවාලු!

එහෙම අය ළඟට නෙවෙයි, ඔන්න ඔන්න ආයෙම පියසිරි ළඟට...

ඉතිං xකෝ උඹට තිබ්බනේ ඔය වැඩේ එදාම මට කියන්න.

එදා 1966දී අපේ තාත්තාගේ ඔළුවේ අත තියා දුන් දිවුරුම කැඩුවාය කියලා දැන් අයහපතක් වෙන්නට ඉඩ නැත. තාත්තා මළවුන් අතරය. මා නිදහසේ පියසිරි හා කතාවට වැටුණේ හරිම ප්‍රමෝදයකිනි.

“තාමත් ඔයාගෙ විසේ අඩු වෙලා නැද්ද පියසිරි?”
“පරයා... එදා උඹ අපේ ගෙදර එනවය කියලා ආවේ නැති එකට මම තාම තරහයි... අම්මපල් බට්ටෝ, අද වුණත්...”

මට එයාලගෙ ගෙදරට එන්න බැරි වුණේ ඇයිදැයි මං කිව්වේ එවෙලේය; එදා වෙච්චි සංගදිය පියසිරිට කිව්වේ එවෙලේය. “අනේ සොරි බට්ටො. ඉතිං xකෝ උඹට තිබ්බනේ ඔය වැඩේ එදාම මට කියන්න.” පියසිරි ඇහුවේය.
“ඒක කියන්නවත් ඔයා එක්ක කතා කරන්නෙ කොහොමද ළමයෝ. තාත්තා මට දිවුරන්න කිව්වේ, ඊට පස්සේ ඔයා
එක්ක කතා කරන්නෑ කියලනෙ.”
“එහෙනං දැන් කතා කරන්නේ?”
“දැන්ද?” මගෙ ඇස් ඇඹරවිල්ලටත් පියසිරිට තරහ ගිහින් වගේය. “කියපන්කො xත්තො!”

තාත්තා මියගොස් බව කියවුණු ගමන්ම පියසිරි කළේ අසුරක් ගැහීමය.

“මේ සැරේ නං බට්ටො මං උඹට බේරිලා යන්න දෙන්නෑ. හරී... කියපං. මට කියපං, උඹව අල්ල ගන්න විදිහක් කියපං. මොන තූත්තුකුඩියට හරි මම එන්නං, xත්තෝ. නැත්තං උඹ එනවද අපේ ගෙදර? එදාට මම තොගේ...”

පියසිරි එතකොට ආරක්ෂක නිලධාරියෙකු විදිහටය; රාජකාරි කරමින් උන්නේ. “බට්ටෝ, මේ තියෙන්නේ මගෙ ටෙලිෆෝන් නොම්මරේ. මම ඩියුටි නැති වෙලාවක වුණත්, මට පණිවිඩේ තියපං. කොයිකටත් උඹේ නොම්මරෙත් දීපංකො මට. හිටපංකෝ, මේ සැරේ....”
“අපට මොන ටෙලිෆෝන්ද පියසිරි. තවම එහාට ලයිට්වත් නෑ.”

“xත්තො උඹ මේ සැරෙත් මාව මඟාරින්නද හදන්නේ... උඹ මට කතා නොකළොත් නං අම්මපා මම එනවමයි උඹලගෙ ගෙදරට.” පියසිරි කුණුහරුප කියන්නේ කටේ- තොලේ නොගෑවෙන ගණනටය.

“ප්‍රොමිස් පියසිරි! මම ඔයාට කතා කරන්නං.”
“ප්‍රොමිස් නෙවෙයි xත්තො, දිවුරපං, දිව්රලා කියහං!”
“සත්තයි!”
“එහෙම බෑ. අම්මපල්ල කියපං.”
“අනේ පියසිරි, මම දිවුරන්නේ
සත්තයි කියල විතරයි. අම්ම- තාත්ත- බුදුන් ගැන දිවුරන්නෙ නෑ.” පියසිරි ඒ කීම විශ්වාස කරන්නට ඇත්තේ, මගෙ tone එක නිසාම වෙන්නැති. “බට්ටො, ඔන්න මම විශ්වාස කළා. කවද්ද උඹ මට කෝල් එකක් දෙන්නේ?”

වචනවලට විතරක්ම පුළුවනිද අපේ හිතේ තියෙන සේරම හැඟීම් තව කෙනෙකුට විස්තර කරන්න.

“සතියක් ඇතුළේ...”

“සතියක් ඇතුළේ? සතියක්ම ඇතුළෙ තියා ගන්න තමයි xකෝ එදාට මම එන්නෙ. උඹට මතකද- අඹ දඹ රෑන හුණු කන මූණ? මං උඹලගෙ ගෙදර එන්නෙ නයිටක්ම ගහන්න බලාගෙන. කමක් නෑනෙ.”

‘පියසිරිට තියෙන්නේ තෘෂ්ණාවකි!’ මට හිතුණේ එහෙමය.
‘එතකොට තමුසෙට මොකක්ද තියෙන්නේ?’ ඇතුළු හිතෙන් ප්‍රශ්නයක්. ‘ආදරයක්ද?’

වචනවලට විතරක්ම පුළුවනිද අපේ හිතේ තියෙන සේරම හැඟීම් තව කෙනෙකුට විස්තර කරන්න. අනේ, මට නං බෑ! ඊටත් වැඩියෙන් අමාරුයි හැඟීම් තේරුම් ගන්න.

ආදරයයි, ආසාවයි දෙක වෙන් කරන ඉරක් ඇඳගන්නත් මට තවම අමාරුයි.
පුරාණ ග්‍රීක දාර්ශනිකයන් නම් ආදරේ වර්ග හතකට බෙදා වෙන් කරලා, විග්‍රහ කළාලු. ඒකෙ කියවෙන විදිහට නං පියසිරිට තිබිල තියෙන්නෙත්- මට තිබිල තියෙන්නෙත් ‘ඊරෝස්’ වර්ගයේ ආදරයක්.
ඒ ගැන විස්තරේ විතරක් මෙතැනට ලියන්නං. අනිත් හරියත් දැනගන්න කැමැතියි නං මේ වචන
උඩින් ක්ලික් කරන්නකො, තරහ නැතුව.

‘... පළවෙනි එක ඊරෝස් කියලා කියන්නේම ශෘංගාරාත්මක ආදරය ගැනයි. හරියටම කිව්වොත් කාමය කෙරෙහි ඇතිවෙන තණ්හාව. මේක ටිකක් භයානක වර්ගයක ආදරයක්. මිනිස් හිතක ඇතිවෙන මේ වර්ගයේ ආදරය, හරියටම කිව්වොත් වෙන කෙනෙකුගේ භෞතික ශරීරයක් කෙරෙහි ඇතිවෙන ලිංගික ආකර්ෂණය නිසාම ඒ අවස්ථාවේ කරන කියන දේවල් ගැන පාලනයක් පවා නැති වෙන්න පුළුවන්.

මේ බාහිරින් ඇතිවෙන ලිංගික ආකර්ෂණය මතම පමණක් පදනම් වෙලා කෙනෙක් කෙරෙහි ඇතිවෙන Eros කියන ආදරය සම්පූර්ණයෙන්ම තාවකාලික හැඟීමක්. එහෙම හැඟීමක් මත පදනම් වෙලා පටන් ගන්න ආදර සම්බන්ධතාවලටත් වැඩිදුර නම් ආයුෂ නැහැ...’

හුඟක්ම පිරිමි තමන්ගේ පිරිමිකම ගැන අධිමානයකින් කෙරුණු තක්සේරුවක ඉන්න බව...

ඊරෝස්ද කියනවටත් වැඩිය තදින්ම, මගෙ හිතේ තිබ්බේ මහ විශාල කුතුහලයක්! සත්තයි!!

අවුරුදු දාසයක් විතර මහා දිග කාලයක් තිස්සෙම සැරෙන්- සැරේ මට පියසිරිව සිහිනෙනෙත් පෙනුණා. එක-එක තැන්වලදී, එක-එක විදිහට.

හැබෑ ලෝකයෙදී අපේ හමුව අතරමඟින් අතෑරලා දාන්නට වුණත්, හීන ලෝකයෙදි එහෙම කරන්න සිද්ද වුණේ නෑ. එහෙම දවසට, මං රෑට අඳින සරමේ ලෝක සිතියම් ඇඳිලා තිබ්බා.
(හොඳ වෙලාවටයි, මං අවුරුදු දහය විතර වෙද්දීම පුරුද්දක් කර ගෙන තිබ්බේ ‘උදෙන්ම නාන එක’. හැමදාම උදේ එහෙම නාද්දී නෑවේ රෑට ඇඳපු සරම පිටින්.)

හැබයි ‘එහෙම සිතියම් ඇඳෙන්නේ ස්වප්න මෝචනය කියන ලෙඩක් නිසයි’ කියලා මං බය වුණෙත් නෑ, කරුණු දැනගෙන හිටි නිසා.

ඉතිං, අර කුතුහල කතන්දරේටම ආපහු යනවා නං...
මට තදින්ම දැන ගන්න ඕනි වුණා ‘පියසිරි ඔය කියන; පෙන්නන තරම්ම සමර්ථ වැඩකාරයෙක්ද?’ කියන එක. එතකොටත් මට ඒත්තු ගිහිං තිබ්බේ ‘වැඩියෙන්ම පුරසාරම් දොඩන්නේ අඩුපාඩු වහ ගන්න හදන කයිවාරුකාරයොයි’ කියන කතන්දරේ ගොඩ දුරට ඇත්ත බව; හුඟක්ම පිරිමි තමන්ගේ පිරිමිකම
ගැන අධිමානයකින් කෙරුණු තක්සේරුවක ඉන්න බව. එහෙම කියන්නේ මගේ අත්දැකීම්වලින් නිසා ‘ඒ නිගමනය සර්ව සාධාරණ’ නොවෙන්නත් ඉඩ තියෙනවා, හැබැයි.

අනෙක... යාන්තං හරි තේරෙන වයසෙදී මගේ හිතට වැදුණු පළමුවැන්නාත් පියසිරිනෙ.
> > > > > ...

43 comments:

  1. තවම කවුරුත් කමෙන්ට් දාල නැහැනේ. ආයේ එන්නම්.

    ReplyDelete
  2. අධිමානයද, හීනමානයද... මටනම් හිතෙන්නෙ ඔය දෙකම තියෙනව කියල.
    ලෝකේ ඔය සම්බන්ධව සිදුවුණ පරීක්ෂණ වලින් කියවෙනව... ගොඩක් තරුණයො තමන්ගේ අවයවේ ප්‍රමාණය ගැන කනස්සල්ලෙන් ඉන්නවාය කියල. වැඩියත්ම ඕකට බලපාල තියෙන්නෙ පෝර්න් වල ඉන්න උන්දලගෙ හැඩඩිදැඩි ඒවා බලල, ඒවා එක්කලා තම අයවැය පරතරය පියවන්ට යෑම 😄
    මේවා හන්ද... සෙස් අයිටම් කඩ කාරයන්ගෙ අතමිට සරුයි.

    ReplyDelete
    Replies
    1. පෝර්න්වල ඉන්නේ වෘත්තීමය නළු නිළියන් නෙව නමී. (එහෙම නැති ආධුනික බව පේන්වන ඕලාරික ෆිල්ම්ස්තුත් තියෙනවා තමයි.)
      ඒ අයගේ ඒවා දැකලා අයවැය පියවාගන්ඩ යන්නෙත් හීනමානය නිසා නේද? එහෙම අය තමාට නැති; ව්‍යාජ අධිමානයක් කියා පානවා කියලයි මට හිතෙන්නේ.

      Delete
    2. ජිනාගෙ කොළමNovember 22, 2022 at 6:08 PM

      නමියගෙ වීදියේ කමෙන්ටුව දැක්කාම මතක් වුණේ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ තජකයේ වැඩසටහනකදී කී කථාවක්.
      එක තරුණයෙක් එතුමා සම්බන්ධ ලිංගිකත්ව දැනුවත් කිරීමේ වැඩසටහනකට එවා තිබුණු ලිපියක්. ඒ ලිපියේ තිබුණේ අඟල් පහක් දිග අඟල් එකහමාරක් වන පුරුෂ ලිංගයක් ගැන විස්සෝප වෙන කථාවක්. එතුමා ඒක කියල කීවෙ එතුමාට හිතුන දේ."අනේ ඒක මළු තිබුණානං" කියල.

      Delete
    3. සෑහෙන කාලෙකින් අනුර සර් blog පැත්තෙ ඇවිල්ලා නේද 🤗🤗😊

      Delete
  3. මං කිවුව වගේම මේ සැරේ පියසිරිය අහවලු වැඩේ කරද්දි නිදි ඌ වත් ටෙස්ට් කරන්න යන්නෙ.

    පෙනේ පුප්පන්නැති னයාට ඩ්‍රැකිය ටෝච් එකෙන් ගැහුවලු. හැක්..

    ReplyDelete
    Replies
    1. Praසන්ன, මගෙ ජන්මය වගේම පුරුද්දත් තියෙනවනේ!
      ඩ්‍රැකිය ටෝච් එකෙන් ගැහුවේ අල කොටුවකදීද? මල් කොටුවකදීද?

      Delete
    2. මෙන්න මෙතනදී...
      https://drackey.blogspot.com/2016/03/blog-post.html?showComment=1456823073815#c5091178827361611692

      Delete
    3. උදෙන්ම හිතවත් ෂෙහාන් ඒවා තිබ්බ link එකකට ගියා. සාදර බණ්ඩාරගේ 'සේපාලි' අහල ඉන්න. ඒක අහලා- දැකල හොඳටම පපුව රිදෙමින් ඉඳලයි මෙහාට ආවේ.
      https://www.youtube.com/watch?v=FF7Lguu3ggU

      ඔයාගේ link එකට ගීහින් කියෙව්වම ඩ්‍රැකී, හුස්ම ගන්න බැරි වුණා- හිනා වෙලා.

      Delete
  4. "මේ තරම් දරුණු විදිහට දඩාවතේ ගිහිල්ලත්, ලෙඩකට ගොදුරු නොවී- අඩන්තේට්ටමකට ලක් නොවී මං වහන්සේ බේරෙන්න ඇත්තෙත්, වාසනාව මගෙ පැත්තෙ තිබ්බ නිසාම වෙන්න ඕනි". මේ සීරීස් එකේ මුල් කොටස් කියවද්දි මටත් හිතුනු දෙයක් අද නිමල්ම කියලා දාලා.

    වෙනත් මාතෘකා නැතුව නිමල් මේ දවස්වල මේ කොටස්ම දාගෙන යන්නෙ කතන්දරේ කියලා ඉවර වෙනකම් හිත නිදහස් නෑ වගේ දැනෙනවද.

    පහුගිය කොටසක ඩ්‍රැකී දාපු අර්ධනාරී ඩාන්ස් එක නිසා masculine හා feminine energies ගැන කතාකල නිසා අද තව දෙයක් මතක්වුනා. Hofstede's cultural dimensions ගැන දන්නව නේද. පස්සෙ කාලෙක එයට එකතු කරපු මානයක් තමයි වාරන වලින් තොරව ජීවිතේ සැප විදින්න ඇති කැමැත්ත හෙවත් indulgence- පස් කම් සැප වෙන්න පුලුවන්. අනිත් රටවල ඒ මානය යම් විදිහකින් මැනල තිබුනත් ලංකාව indulgence වලින් ඉන්නෙ කොතනද කියලා විස්තරයක් නෑ. https://www.hofstede-insights.com/country-comparison/sri-lanka/. (රටවල් ටයිප් කරලා සංසන්දනය කරන්න පුලුවන්. ලින්ක් එක වැඩ කරයි කියලා හිතනවා).

    ReplyDelete
    Replies
    1. Lotus, Lotus, Lotus!
      ඔයාත් බලන දේවල්. මරු! ඔන්න පිළිවෙලටම උත්තර දෙනවා:

      ලෙඩ; අසනීප ගැන කීමට මෙතෙක් හිටියේ ඒ ගැන දැනුමැති බව තජක වැඩ සටහන්වලදී ලැබුණාට පසුව කිව යුතුය කියලා හිතුණු නිසා. (1979 විතර පස්සේ.)

      එකම සීරීස් එකක් ලියාගෙන යන්නෙ- ඒවාට සම්බන්ධ වෙන පාත්‍ර වර්ගයා සංඛ්‍යාත්මකව වැඩි හින්දයි. ඒ වගේම වෙනසකටත් එක්ක. රටේ තියෙන ප්‍රශ්නකාරී තත්ත්වයත්, අධික වැසි තත්ත්වයත් මගෙ කල්පනාවට එන එකත් හේතුවක්. වැදගත්ම දේ; ටෙලිෆෝන් බිල් වැඩි වෙනකොට blog කියවන්නන් අඩු වෙන බවකුත් පෙනෙන නිසා. (මේ සීරීස් එක දිගටම කන්ටිනියු වෙනකොට නම් ඒ අඩුව නැති වෙනවා වගෙයි.)
      තවත් කාරණයක් අනියමින් හේතු වෙනවා. අපේ අම්මාටාත් පිළිකාවක් බව හෙළි වෙලා. ඉතිං හිතටත් ටිකක් හරි නැහැ තමා.
      Hofstede's cultural dimensions මට අලුත් ක්ෂේත්‍රයක්. ගිහිං බලද්දී ඒක වෙනමම වෙලාවක් අරගෙන කියවන්නයි වෙන්නේ, දිරවා ගන්න අසීරු ඉංගිරිසි වැඩි හින්දා.

      Delete
    2. නිමල් ඇතුලු පවුලෙ ඔක්කොම තද අධිෂ්ඨානයකින් ජීවිතේට මූන දෙන fighters නේද. අම්මාට all the best.

      Hofstede's නිවාඩු වෙලාවක බලන්න. නිමල් කියවන දේවල හැටියට එච්චර ලොකු දෙයක් නෑ

      Delete
    3. අම්මාට සුව වෙන්න කියා ප්‍රර්ථනා කරනව.අ අම්ම කොහෙද ඉන්නේ නිදී ? ලන්ඩන්ද ? කියල ඇති මට මතක නැහැ

      Delete
    4. ස්තුතියි Lotus, අජිත් දෙන්නාටම.
      අම්මා ඉන්නේ ලන්ඩන්වල. දැන් ගොඩක් දුර්වලයි, 85 ක්නේ. වරින් වර ඩිමෙන්ෂියා ගතියත් එනවා. අපේ හතර දෙනෙක්ම එහෙ හිටියත් අජිත්, දන්නවනේ එහෙ හැටි. අම්මත් ලංකාවට එන්න ආසයි. ඒත් එහෙම එක්ක එන්න ඩොක්ටර්ස්ලගෙ අනුමැතියක් තවම නෑ.

      හැබැයි, අම්මගේ සැහෙන ප්‍රගතියක් තියෙනවා, පිළිකාවක් බව දැන ගත්තට පස්සේ... ඉස්සර ජීවිතේ ගැන ලොකු තණ්හාවකින් හිටි එයා දැන් යන්න වුණත් සූදානම්. .

      Delete
  5. අජිත් කියලා තියෙන ‘පොඩි කාලේදී අපයෝජන වෙච්ච හුඟක් ළමයි පසු කාලයක ඒ ලිංගික දිශානතියට නතු වෙන බවක් පෙනෙන්නේ නැත්ද?' කතාව නිසා මේක කියන්න හිතුවෙ. Mind Your Language වැඩ සටහනේ Mr Brown හැමෝටම මතක ඇති. ඒ චරිතය රඟපෑ Barry Evans ඉතාම පොඩි කාලෙ දෙමව්පියන් අත ඇරලා දාපු නිසා අනාථ නිවාසෙක හැදුනු කෙනෙක්නෙ. ඔහු bi-sexual කියලයි කියන්නෙ. Barryගෙ මරනයත් තාම අබිරහසක් වගේම, අන්තිමට ඔහු හම්බවෙලා තියෙන්නෙත් (මන් හිතන්නෙ Barryගෙ කාර් එක පැහැර ගත්තෙත්) තරුන පිරිමි ලමෙක්. ඒ වගේ උදාහරන හුගක් ඇති මට එයා විතරක් මතක් වුනාට.

    අජිත් කමෙන්ට්ස් නෑ කියලා තිබුනු නිසා මම කමෙන්ට්ස් දෙකක්ම දැම්මා.

    ReplyDelete
    Replies
    1. මාත් ආසාවෙන් බලාගෙන ඉන්නේ අජිත් මහතා ඇවිත් මොනවද කියන්නේ කියලා දැන ගන්න.

      Delete
    2. Barry ව අපයෝජන කළා කියල මම හිතන්නේ. එයා හිටපු එක නිවාසයක අය සාක්කි දුන්න. බනඩොස් එකේ. මම හිතන්නේ එය පත්තර වලට කියන්න යන කොට කෙනෙක් එවල මැරුව කියල. මොකද දේශපාලකයෝ තමා වැඩිපුර අපයෝජන අක්රලා තියෙන්නේ. https://www.heraldscotland.com/news/15326932.child-abuse-cover-up-claims-barnardos-admits-systematically-destroying-files/

      Delete
    3. https://jon-doloresdelargo.blogspot.com/2011/06/mysterious-death-of-barry-evans.html

      Delete
  6. https://en.m.wikipedia.org/wiki/Coat_of_arms_of_Austria

    ReplyDelete
  7. https://www.police1.com/csi-forensics/articles/calif-cops-use-dna-from-victims-fingernails-to-solve-1988-slaying-bBSGhezAAc0kpdgp/

    ReplyDelete
    Replies
    1. Pra Jay, ඇඟිලි තුඩුවල රැඳී තිබුණු දේවල DNAවලිනුත් වැඩ ගන්නේ ඒ රටවල්වලනේ. අපේ කොහොමද... ඇස් පනාපිට කෙරෙන දේවල් වුණත් සැකකාරයන් 'ලොකු නං' අනිවා යට යනවා. සැකකාරයන් පොඩි නං; දුප්පත් නං දවසෙන් දෙකෙන් අල්ලා ගන්නවා!

      Delete
  8. Replies
    1. නවීන්, දැන්, දැන් ලියවෙන සමහර postsවලට links වැඩියෙන් යෙදෙනවා තමයි. මටත් ඒක හිතුනා. ඒත් අලුතෙන් මේ බ්ලොගය කියවන්නට එන කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්නයි (මට ගොඩක් වෙලාව ගියත්) links යෙදිය යුතු තැන්වලට දාන්නේ. ඒවා මතක තියෙන කෙනෙක්ට ඒ links මඟහැර යා හැකියි නෙව.

      ඔයාම වුණත් පරණ posts ගණනාවක්ම කියවලා comments හිටං එවල තිබ්බේ!

      ඒ වගේමයි, මෙහෙම links යෙදීමෙන් නිකම්ම තහවුරු වෙනවා මං ලියන දේවල සත්‍යතාව.
      අද ලියවෙන සමහර දේට අදාළව මම මීට කලින් ලියලා තියෙන්නේ අවුරුදු කීපෙකට කලින්.

      Delete
  9. දැන් දැන් හැදෙන ගොඩක් ෆිල්ම් වල ඔය හැම පැත්තම ටිකක් හරි මතු කරන්න උත්සාහ කරනවා... මගේ යාලුවෙක් කිව්වා මෙහෙ ලයිබ්‍රරි වල සමරිසි සුරංගනා කතා පොත් තියෙනවා කියල ... එයා ගෙනාපු පොතක එහෙම තිබිලා .. අපිට හැඩ ගැහෙන්න අමාරු උනත් ඉදිරි පරම්පරාවලට ඔය දේවල් සාමාන්‍ය වෙයි ... ඒක හොඳ දෙයක් ඉතින්

    ReplyDelete
    Replies
    1. කාලෙකින් පැතුම්!
      මේ හැම දෙයක්ම අතීතයේ ඉඳලත් තිබිලා තියෙනවනේ පැතුම්. ඒත් ඒවා ගැන කතා කළේ, බැලුවේ කොච්චර පසුගාමී විදිහටද?
      පරිගණකයේ පියා වගේ කියන්න පුළුවන් ඇලන් ටියුරින්ට වුණත් සමරිසි වීම වැරැද්දක්ය කියලා මොකද කළේ- බටහිරදීත්.
      සමරිසි නැඹුරුව කෙනෙක්ගේ වැරැද්දක්ද- කියන දේයි මම වැඩියෙන් අහන්නේ.

      Delete
  10. නවීනුත් ලියල තියෙන්නෙ ඔය....
    https://naveensandeepakumara.blogspot.com/2022/11/blog-post_21.html

    ReplyDelete
    Replies
    1. ගිහිං කවි comment එකකුත් දාලා ආවා නමී. ස්තුතියි, මතක් කළාට.

      Delete
  11. සෙන්නා ලියලා...
    http://kurundha.blogspot.com/2022/11/blog-post.html

    ReplyDelete
    Replies
    1. අපේ එවටනේ කවුරුත් එන්නේ නැත්තේ . අර රනිල් ප්‍රශ්න නිසාද ? 😀

      Delete

    2. ඩ්‍රැකී මහත්තයෝ, ඔහේ කියපු පාර දිගේ කුරුන්දට ගියාමත් මෙහෙම කවියක් ලියවුණා.

      සෙන්නෝ කියවද්දී ඔහෙගේ post එක
      රසබර හීනයක් කියලා කළෙමි සැක
      නැහැ, දැන් දනිමි මෙය ඇත්තක් කියන එක
      නියමයි නිස්සාට පැසසුම් කරන එක!

      Delete
    3. අජිත් මහත්තයෝ, අපි ඔයාගේ ලිපි කියවනවානේ.

      Delete
    4. රනිල් සීන් එක නොදන්න මම😪

      අජිත් මහත්තයෝ, අපි ඔයාගේ ලිපි කියවනවානේ (2)

      Delete
    5. ඔයාල ගැන නෙමෙයි අනේ ම ඩ්රකියාපැතුමා අල්ලල ලිව්වේ

      Delete
    6. අපේ ඒවටත් කවුරුත් එන්නේ නෑනේ...

      Delete
    7. ලියහන්කෝ එන්න. කෝ අලුත් එකක් දැම්මද

      Delete
    8. රනිල් ප්‍රශ්න? හෑ...!

      ඒක නෙමෙයි වැඩේ.
      1. මගෙ බ්ලොග් එකේ කමෙන්ට් රිප්ලයි කරන්නවත් ඉස්පාසුවක් නෑ.
      2. අජිත් අයිය ලියන ඒවා ෆේස්බුක් එකේ දඩි බිඩියෙ කියවනව.

      Delete
  12. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ආසන්න පිටිසරබද ගමක වාසය කරන මගේ නම රසික. මට ඉස්කෝලේ දාලා තියපු නම තමයි 'බොක පෙට්ටි'. (සමහරු කියනවා හරි වචනේ බොක නෙමෙයි බොග කියලා. ඒත් අපි පාවිච්චි කලේ බොක කියන වචනේ, ඒකම මෙතැන් යොදා ගන්නවා.) මට ඒ නම වැටුනේ මේ හින්දයි.

    මම පොඩි කාලේ, 4 වසරේ ඉන්න කොට දවසක් ඉස්කෝලේ ගිහිං පාඩුවේ හිටියා.ඉතිං මම ඉස්කෝලේ ගිහිං දවල්ට කෑම එහෙම කළා ටිකක් වෙලා ඉන්නකොට හදුනා කක්කා බරක්. මම ඉතිං ඕක ඉවසං හිටියා. ඉස්කෝලේ මැඩම්ට හරි මිස්ලාට හරි මේක මම කිව්වේ නැත්තේ ලැජ්ජාවට. මොකද සාඩම්බර ලාංකිකයන් වන අපි කාටහරි කියලා වැසිකිලි යාමට මැලිවෙනවානේ. ඒක ලැජ්ජාවට දෙයක් කියලනේ අපි දන්නේ.

    ඒත් ඒත් ඉතිං ඔරලෝසුවේ කටු විනාඩියෙන් විනාඩිය යද්දී මට කක්කා බර ඉවසන්නම බැරි උනා. මට හිතුනා තනියම ගිහිං බොක දාලා එන්න. ඒත් වැඩේ උනේ බොක දැම්මට පුක හෝදන්න මම දන්නේ නැති එක.අනික රජයේ පාසල් වලටනේ අපි ගියේ. ඒවගේ වතුරත් නෑ. ඉතිං බැරිම තැන මම කලේ මේකයි.

    හිමිං සීරුවේ මගේ කෑම පෙට්ටියත් අරං ඉස්කෝලේ පැත්තකට ගියා. එතකොට ඉන්ටවල් ඉවර නිසා එකේ කෑම තිබුනේ නෑ. ඉතිං මම කලේ කෑම පෙට්ටියට කක්කා කරලා, ජෝකාගෙන් මගේ සිඟිති පුක පැත්ත පිහදලා ඒකත් දැම්මා කෑම පෙට්ටියට.

    ඉතිං ඊට පස්සේ මම පන්තියට ගිහිං ජෝකත් නැතිව සිවිල් පිට බොහොම සතුටෙන් හිටියා.

    ඒත් මිත්‍රවරුනි කර්මයක් පලදෙන්න තියෙනවා නං මහා මුහුද මැද සිටියත්,පර්වත වලින් වටවුන මහා ගල්ගුහාවක හිටියත් ඒක පළදෙනවා කියලා බුදුබනේ සදහන් වෙනවා. මටත් ඒක උනා.

    මම පන්තියට ගිහිං ටික වෙලාවකින් පන්තිය ඇතුලේ කසුකුසුවක් නැගුනා. දුමින්ද කියන ළමයා කලබල වෙලා පන්තියේ හැම තැනම ඇවිද ඇවිද මොකක්දෝ හොය හොයා ඉදලා එක පාරටම මිස්ට ගිහිං කිව්වා ‘මිස් මගේ වෝටර් කලර්ස් පෙට්ටිය නැති වෙලා’ කියලා. බලද්දී දුමින්දයාගේ වෝටර්කලර්ස් පෙට්ටිය නැති වෙලා. ඌ එක එකාට චෝදනා කරනවා ඔයා තමයි මගේ මෙව්වා එක ගත්තේ කියකියා.

    බැරිම තැන මිස් කරේ හැමෝගෙම බෑග් බලපු එක. ඉතිං ඔහොම එකෙකාගේ බෑග් බලාගෙන අවා. මගේ වාරෙත් ආවා. මගේ බෑග් එකේ බැලුවා මොකුත් නෑ. ඊට පස්සේ මිස් කරේ මගේ කෑම පෙට්ටිය ඇරලා බැලුවා ඔක්කොම ඉස්සරහා. ගූ හතයි, වැලි දෙකයි.

    කෑම පෙට්ටියේ තඩි ගූ බෙට්ටකුයි, ගූ ගෑවිච්ච ජංගියකුයි තියෙනවා. මගේ වැඩේ මාට්ටු. පස්සේ පස්සේ ඔය කතාව හැමෝම දැන ගත්තා. ඒත් මම ඕකට සැලුන්නෑ. ඊට පස්සේ මාව දන්නේ සමන් කිව්වම නෙමෙයි ඉස්කෝලේ දන්නේ බොක පෙට්ටියා කිව්වම.

    මුලදී මුලදී මට ඔය නම ඇල්ලුවේම නෑ. මට සෑහෙන කාලයක් තරහ ගියා කට්ටියඑක්ක වලින් දාගෙන ගුටි කන්න වුණා තනියම ඇඬුවා ඊරියක වගේ අඬ අඬා හිටි වෙලාවල් ගොඩක් තියෙනවා ඔහොම සෑහෙන කාලයක් මම ඕක නිසා විඳෙව්වා.

    ඒත් අර හැමදාම දකින කුකුලගේ කරමලත් සුදුයි කියනවා වගේ මාත් ඔය නමට පුරුදු උනා. දැන් නං මම නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත රජයට 100% ක් ම අයිති පිටිසරබද සවුත් වේල්සයේ අපජලය පිරිපහදු කිරීම සඳහා පිහිටුවා ඇති රජයේ ආයතනයක ඉතාමත් නිදහස් වැඩ හෙම අඩු රැකියාවකුත් කරනවා ලංකාවේ වගේ හිඟන කාලකන්නි පාදඩ රටක නෙවෙයි සංවර්ධිත ලෝකේ පිළිගත්තු වැදගත් උසස් රටක... ඒ වගේ ලංකාවේ ඉන්න අයටත් ගොඩක් උත්සාහ කළොත් මම තරමට නැතත් ඔය ඉන්න තැනින් ටිකක් හරි ඉහළට යන්න පුළුවන් වේවි.

    ReplyDelete