li Item

Tuesday, May 17, 2022

උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස

අනුන්ගේ බඩගින්න තේරෙන, ඔවුන්ගේ පපු කැනති ගැහෙන විදිහ තේරෙන උත්තම මිනිස්සු හැමදාම අරගල භූමියේ උදවියට....

මං කිව්වනේ මගේ පුටුවට කෙලින්ම පාරේ අනිත් පැත්තෙ තිබුණු අට්ටාලය ගැන. ඒක කිට්ටුවට හිමිදිරියේම එනවා වාහන කිහිපයක්. එක වාහනයක් නං තුන් පාරකට විතර ආව, හැමදාම. උදේට කෑම අරං.
තවත් වාහනයකින් ගෙනාවේ පාන්. එයාලම සීනි සම්බෝල වගේ මොනවා හරිත් ගෙනාවා. එතකොටම ඒ කුටිය ඉස්සරහ දිග පෝලිමක් හැදෙනවා. පාන් කපන්න දෙතුන් දෙනෙක්/ ඒවා මැදට සීනි සම්බෝල දාන්න දෙතුන් දෙනෙක්/ බෙදන්න තව අය..... එක දවසක් බෙදුවේ පරිප්පුයි පානුයි! 

‘තමුසේ උපවාස කෙරුවද.... එහෙම නැතිනං ඔත්තු බැලුවද? මෙව්වා කියෙව්වොත් නෙවිල් නං මගෙන් අහනවට කිසිම සැකයක් නෑ. උවමනාවකින් හෙව්වේ නැතත් පෙනෙන දේවල් මගෙ ඔළුවට යනවනේ, පුරුදු කරගෙන තියෙන විදිහට.

2022 අප්‍රේල් 24

අනුන්ගේ බඩගින්න තේරෙන, ඔවුන්ගේ පපු කැනති ගැහෙන විදිහ තේරෙන උත්තම මිනිස්සු හැමදාම අරගල භූමියේ උදවියට කෑම-බීම ගෙනාවේ එහෙමයි. උදේට පාන්- බනිස්- කිරිබත්- මඤ්ඤොක්කා... දවල්ට බත්.... හිටි ගමන් තේ වෙලාවල්වලට මාළුපාන්, රෝල්ස්, පැටිස් වගේ දේවල් ගෙනවිත් දෙන අයත් හිටිය.

“ලොකූ දන්නවද? අපේ xxx අද වෙනකොට රුපියල් හැත්තෑ දාහක මාළුපාන්ම මෙහාට ගෙනත් දීල තියෙනව.” අපේ බඩා මල්ලා එයාගේ හිතවතෙකුගේ දානශීලී බව මට කිව්වේ, මාළුපාන් ගෙඩියක් හපන අතරේය.

සතියක් පාසා මේ නිර්පාක්ෂික අරගල බිමට කෑම ගෙනවුත් දෙන ‘අප්‍රසිද්ධ මිතුරු සංසදයක්’ ගැනත් මට දැනගන්නට ලැබුණෙ උපවාසයෙන් පස්සෙ. ඒ කතන්දරවලටම අදාළ තව පැත්තකුත් මට පෙන්නුවේ නෙවිල් අනුරසිරි.

“දැක්කද, අතන වාඩි වෙලා කෑම කාල ගිය කට්ටිය.... පව් හලෝ! එයාල හෝමාගමලු. දැන් දවස් දෙකක්ලු මෙහාට ඇවිත්...”
“පවුල පිටින්ම?” මට ඇහුණේ නිකම්ම නෙවේ; දරුවන් තුන් දෙනෙකුත් එක්ක පැමිණි ඒ දෙමව්පියන් කෑම කනවාත්, නෙවිල් එක්ක කතාවකට වැටී හිටිනවාත් දැක්ක නිසාය.
 

මෙහෙම තියෙද්දී මිනිසුන් අරගල නොකර දිගටම උහුලාගෙන හිටීවිද?

“ඒකනේ! ඒ මිනිස්සුන් මෙහාට ඇවිත් ඉන්නේ තුන් වේලටම කන්න දෙයක් හම්බ වෙන හින්දලු. ගෑස්- බූමිතෙල් නැතිකම එහෙන්ලු. කුලියක් කර ගන්නවත් නැතිකම එහෙන්ලු... කවුද හලෝ මෙහෙම මිනිස්සුත් ගෝල්ෆේස් එනවයි කියල හිතන්නේ...” නෙවිල් කිව්වේ ළතැවුලෙනි.
අද්‍යතන සමාජය ගැන සම්පූර්ණ වැටහීමක් නැතත්, එහෙම පැත්තකුත් තිබෙන විත්තිය මං වහන්සේ නං දැනගත්තේ එදාය.    

“ඔයාට තේරෙන්නෙ නෑ නිමල් අංකල්. අපේ ගෙදරට මාසෙකට ඕනි කරන බඩු ටික මම ගන්නෙ මාසෙ අන්තිමට. ගිය නොවැම්බරේ 30,000/- වියදම් වුණු බඩු ටික ගන්න දැන් 65,000/-ක් තිබිලත් බෑ. ගෑස්... පෙට්‍රල් සේරමත් වැඩි වෙලා. හැබැයි, අපේ පඩිය අවුරුදු තුනකින් වැඩි වෙලා නෑ.

ඔයත් දන්නවනෙ, පඩි වැඩි කරවගන්න ගිහින් අපේ අයියට වෙච්ච දේ... තිබුණු රස්සාවත් නැති වුණා. අපිට වුණත් ඒකම තමයි වෙන්නේ... ලොක්කො බලාගෙන ඉන්නේ, කොහොමද අපිව ගෙදර යවා ගන්නෙ කියලා.” පෞද්ගලික අංශයේ රස්සාවක් කරන හිතවතෙකු මට කිව්වේ සති කීපයකට කලින්ය.

මෙහෙම තියෙද්දී මිනිසුන් අරගල නොකර දිගටම උහුලාගෙන හිටීවිද?

“නිමල් අයියේ, මේ වතාවේ මිනිස්සු අරගලේට මෙච්චර උදව් කරන්නේ කෙලින්ම කාගෙ- කාගෙත් බඩට වැදිච්ච හින්දයි! ඒක මිනිස්සුන්ට දැනෙනවා.” මගේ උපවාසය කෙරෙන තැනට පැමිණි එක් හිතවතෙකුගේ දැක්මයි ඒ. 

අරගල බිමේ නිරාහාර; උපවාසයකට ඉඳගෙන මටත් ලොකුම අරගලය කරන්නට වුණේ කෑමත් එක්කලාය.
මං වහන්සේ එකේක කෑම ජාති කන්නට කැමතිය. එකේක එක්කෙනා එකේක විදිහට හදන කෑම ජාති කන්නට වඩාත් කැමතිය. පරිප්පු කරියක් වුණත් දහ දෙනෙකු හදනකොට රස දහයක් බව මගෙ අත්දැකීමයි.
ගෝඨා ගෝ ගමට ගෙනා කෑම ජාතිත් විවිධ රහට තිබුණා වෙන්නට ඇති. සමහරු බනිස්, ෂෝට් ඊට්ස් වර්ග බෙදාගෙන යද්දී මටත් ඒවා දික් කළෝය. එහෙම වෙලාවට ‘මං උපවාසයක් කරන්නේ’යි කියන්නට කට හයිය තිබුණත් හිත....?

කාම සම්භෝගයේ යෙදෙන්නෙත් නැහැල්ලු. ආඝ්‍රාණයෙන් හා දර්ශන මාත්‍රයෙන්ම බඩයි, හිතයි පුරවා ගන්නවාලු නෙව!

ඊටත් වැඩියෙන් අසීරු වුණේ- බත් පාර්සල් හා කෑම ජාති අරගෙන ඇවිත්, මගේ ළඟින්ම වාඩිවී ඒවා බුදින්නන් දිහා නොබලා; කෙළ ගිලින්නෙත් නැතිව සිටීමය.

ඒ මදිවාට සමහර සුවඳ. කිරිබත්... මයියොක්කා... පොල් සම්බෝල එහෙම සුවඳ ගහනකොට නං මමත් දෙවියෙක් වුණෙමි.

දෙවිවරු කන්නේ නැතිලු; බොන්නේ නැතිලු; කාම සම්භෝගයේ යෙදෙන්නෙත් නැහැල්ලු. ආඝ්‍රාණයෙන් හා දර්ශන මාත්‍රයෙන්ම බඩයි, හිතයි පුරවා ගන්නවාලු නෙව!

ඉරිදා පෙරවරුව උණුහුම් වෙද්දී ‘අද දවල් අන්තරෙන් දහදාහක් එනවලු!’ / ‘පාරවල් වහනවලු.’ වගේ ආරංචි ගෝඨා ගෝ ගමේ සැරිසරන්නන් කතා වෙනවා මගේ කනටත් වැටිණි. දවල් මුරය දීපාල්ට බාර දීලා නෙවිලුත් ගෙදර ගිහින්ය.

“Loku, are you o.k.?” කියලා අහපු දීපාල් පැය දෙක-තුනකටම අතුරුදහන් වුණේය. මට තනි රැක්කෙත්, වතුර බෝතලයක් ගෙනත් ඕනෑද ඇහුවෙත් රාජන්ය. සැරෙන්-සැරේ එහා-මෙහා යමින්-එමින් වග-තුග හොයාගෙන ආවෙත් රාජන්මය.

“කෝ මල්ලී?”
“ඒක නේන්නං... දැන් පැයකටත් වැඩියි. කොහාට ගියාද දන්නෑ...”
“කොටුව පැත්තට ගිහින් කොටු වෙලාද දන්නෙ නෑ!” රාජන් කිව්වේ කිරා බලලාය.
 

“ඔහෙ මක්කෙයි නිමල් අයියෙ තනියම? අපේ කට්ටිය ආවේ නැතෙයි...”
නන්ද කුමාර පෙනෙන තෙක් මානයේ සිටම ප්‍රශ්න කරමින්ය, ආවේ. “... මර්වින් අයියවත් හම්බ වුණා. කාර් එක පාර්ක් කර ගන්න විදිහක් නැතිව පොර කොළඹ වටේ රවුම් ගහනවා. මම පයින්ම ආවා... ඒ නිමල් අයියෙ, මක්කද අද වෙන්න යන්නෙ.....”
 

මහ කැත වැඩ ලොකූ. කොටුවේ බැරියර් දාලා විතර නෙවෙයි. එව්වා ළඟ යකඩ ඇණ ගහල, ඒවා පේන්නැති වෙන්න ඉටි කොළවලිනුත් cover කරල....

“මම කොහොමද මිනිහෝ දන්නෙ. දවස් දෙකක්ම මෙතන පුටුව උඩ ඉන්න මිනිහා... අපේ බඩා මල්ලියා ආවම තමයි විස්තර අහගන්න වෙන්නේ....” 

මං කිව්වා හරිය. දීපාල් ආවේ ඊටත් ගොඩ වෙලාවකට පස්සෙය. විස්තරත් අරගෙනය.

“මහ කැත වැඩ ලොකූ. කොටුවේ බැරියර් දාලා විතර නෙවෙයි. එව්වා ළඟ යකඩ ඇණ ගහල, ඒවා පේන්නැති වෙන්න ඉටි කොළවලිනුත් cover කරල....” 

අරගලයට, අන්තරයට බය නැහැයි කී පම්පෝරිකාරයන් හොඳටම බය වෙලාද? ‘War Hero – Now Zero’ සටන් පාඨය නිර්මාණය වී තියෙන්නේ හේතුවක් නැතිවමද? 

“අයියේ!” අරගල බිමේ හිතවතා උපවාස කුටියට ආවේ ඒ අතරේය. “අද මොනවා වෙයිද කියලා ෂුවර් නෑ අයියේ. දැන් අන්තරේ කට්ටියෙන් කොටහක් අරලිය ගහ මන්දිරේ වටලන්න යනවා... මුන්ට හිතාගන්නවත් බෑ අපේ කොල්ලොන්ගෙ වැඩ... සයිකලේ හොයා ගන්න වැඩ හින්දයි එන්න බැරි වුණේ. ඒත් අපේ මල්ලිලා ආවනෙ? අයියට අවුලක් නැහැ නේද....” ඒ හාදයා කඩිමුඩියේම අසා-බලලා පිටත්ව ගියේය.

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ‘මයිනා ගෝ ගම’ ඉදිවුණේ එදාය! 

(ඒ සිදුවීම ඉතාමත් වැදගත්ය. මැයි 9 වෙනිදා අරලිය ගහ මැඳුරට සම්ප්‍රාප්තවූ පිරිසක්, මහ හඬින් විකාශය කෙරෙන සෙත්-පිරිත් සජ්ජායනාවකට සවන් දෙමින්- පොලිසියේ පිරිසක් අබියසදීම ඒ ගම මුලිනුපුටා දමන්නට සමත්වූහ! එයින් ඔද වැඩුණු ඔවුහු පොලිසියේ හා හමුදාවල පිරිස් ඉදිරිපිටදීම ගෝඨා ගෝ ගමටත් කඩා වැදී අරගලකරුවන්ට පහර දී; කූඩාරම්වලින් කොටසක් ගිනිබත් කොට ‘මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඉල්ලා අස් වෙන්නට’ මාර්ගය පාදා දුන්හ.

දැන් රටේ සිදුවෙන දේවල් පුරවැසියන්ගෙන් හංගන්නට බැරිය. ඔවුනට බබා-හුකුං පෙන්වන්නට බැරිය.  

-එයින් තවත් සුවිශේෂී දෙයකුත් සිදු විණි. හිටපු ජනාධිපතිවරයෙකු වුණු; LTTE යුද්ධය නිමා කළ පාලකයා ලෙස පැසසුම් ලත් කෙනෙකු ජීවතුන් අතර සිටියදීම, මහ පාරවල්වල- මංසන්ධි කීපයකදීම ප්‍රසිද්ධියේ ‘මළ බත්’ උයා නිග්‍රහයට පත් කෙරිණි.)

“බලන්නකෝ නිමල් අයියේ. මේ ජනකලගෙ අම්මටත් ඕනිලුනෙ උද්ඝෝෂණේට උදව් වෙන්න.....” ජනක ඉනිමංකඩ සහෘදයාගේ අම්මාවත් පෙරටු කරගෙන පැමිණි තුෂාරි නංගී කිව්වේ ඒ අතරේය. “අම්මට බෝඩ් එකකුත් අන්දවාගෙනමයි ආවේ.... අට්ටාලේ ගාවටම එක්කගෙනත් යන්නලු.... අපිත් එතනට ගිහින් එන්නං අයියේ....”

ඒ අම්මාට මේ ජවය අවුදින් තියෙන්නේ ගෙදර හිටිද්දීම වෙන්නට ඇති; ඒ අම්මාත් ජනමාධ්‍යවලින් ගෝඨා ගෝ ගමේ විත්ති දකින්නට ඇති; එහෙම දැකලා විතරක් මදිව මෙහාට එන්නට ඒ මාතාවට හිතෙන්නටත් ඇති!

දැන් රටේ සිදුවෙන දේවල් පුරවැසියන්ගෙන් හංගන්නට බැරිය. ඔවුනට බබා-හුකුං පෙන්වන්නට බැරිය. ඒ වාර්තාකරණයන්ගේ අගය හොඳටම දැනුණේ- පෙනුණේ මැයි 9 වෙනිදා ‘ආදරයේ අරගල බිමට’ අනාදරයේ මැරයන්; වෛරයේ තිරිසනුන් කඩා වැදුණු විටය.

විනාඩි ගණනාවක් ගත වෙද්දී කම්හල්වල, වැඩබිම්වල, රෝහල්වල මෙන්ම කාර්යාලවල සේවයේ යෙදී උන් ජනතාවත් හතර අතින්ම අරගලකරුවන්ගේ සහයට දිව එන්නට පටන් ගත්හ. ශ්‍රී ලංකා ඉතිහාසයේ එවැනි සිදුවීමක් එදා වාර්තා වන්නේ පළමුවෙනි වරට නේද?

ආක්‍රමණිකයන් මැඩ පැවැත්වීම සඳහා එක කඳුළු ගෑස් එකක් ගසන පොලිසිය, සාමකාමීව ගුටි කන අරගලකරුවන් වෙත කඳුළු ගෑස් අටක් එල්ල කළ විත්තියත් දැන්-දැන් එළියට එයි.

රටේ ජනතාවට ගෑස් ගෙන්වන්නට, භූමිතෙල් ගෙන්වන්නට; පෙට්‍රල්-ඩීසල් ගෙන්වන්නට ඩොලර් නැතිව ළතැවෙන අස්සේ, එකක් රුපියල් 20,000/-ක් වෙන කඳුළු ගෑස් 30,000ක් මෙරටට ගෙන්වන්නට නම් රජය රුපියල් මිලියන 562ක් වැයකොට ඇති බවත් ජනතාව දැනගත්තේ ජනමාධ්‍යවලට හා සෝෂල් මීඩියාවලට පිං සිදු වන්නටය.

මං වගේ ගොබ්බ වහන්සේ කෙනෙකුට ‘One Gall Face’ සාප්පු සංකීර්ණයට යන්නට ඉඩ හම්බ වුණේත් ‘ආදරයේ අරගලය- #gogotahome2022’ට පිං සිදු වෙන්නටය!
 

මර්වින් නන්ද කුමාරටත්, මටත් වන් ගෝල් ෆේස්ගැන ඔත්තුව කිව්වේ.

නන්ද කුමාර හිතවතා ඇඹිලිපිටියේ ඉඳලා තකහනියක්ම ඇවිත් තිබුණේ මට සහයක් වෙන්නටය. “ඔන්න නිමල් අයියේ, මම ඔයාගේ තනියට ඉන්නවා, හෙට පාන්දර වෙනකල්!” ඉරිදා දවල් උපවාස කුටියට ඇවිත් ටික වේලාවකින්ම ඒ හාදයා කිව්වේය.

“එහෙ ඉඳලා ඇවිත්, මෙතැනම ඉන්නේ.... හෙණ පරිප්පුවක්නෙ කන්න වෙන්නෙ?”
“ඔව්ව මොනවද නිමල් අයියෙ.... අපිත් එහෙම support එකක්වත් දෙන්න එපැයි. හෙට පාන්දර බස් එහෙකට නැඟ ගත්තම ඇඹිලිපිටියට යනකල් නිඳා ගන්න ඇහැකි නෙව.”

ඊට පස්සේය මර්වින් ගෝඨා ගෝ ගමට ආවේ. ඒ ඉරිදා හැන්දෑවේදීය. “ දවල්ම එනවා. ඒත් කොහේ එන්නද බං. දවල් මුළු කොළඹ වටේම කරක් ගහලත් වාහනේ දාගන්න තැනක් හොයා ගන්න බැරි වුණා. නන්දෙත් කියන්න ඇතිනේ. එපා වෙච්ච තැන ගෙදර ගියා. ඒත් තමුසෙව බලන්න එන්නම ඕනි නිසා ත්‍රී වීලරේක ආවෙ. බම්බුව කියන්නේ නිමලෝ, සෑහෙන ඈතින් බැහැලා පයින්ම එන්නයි වුණේ. හඃ හඃ... නන්දේ, තමුසෙලගෙ ලොක්කල පාරවල් සේරම වහලනේ අන්තරේට බයේ.”

ඇත්තය. අන්තරේ පෙළපාලිය ‘බය ගන්වන තරමටම’ සරුවට තිබිණි. උපවාස කුටිය ඉස්සරහිනුත් පොදි කමින් හිටගෙන මිනිසුන් එය බැලුවේ පුදුම ජවයකින් සමන්විත වෙමින්ය. පුටුවේ වාඩිවී හිටි මට අන්තරේ කට්ටියගේ සටන් පාඨ ඇහුණා විතරය. පෙනුණේ මිනිසුන්ගේ ඔළුගෙඩිවලට ඉහළින් එසවුණු කොඩි විතරකි. 

හැන්දෑවේ යන්නට සැරසීලාය- මර්වින් නන්ද කුමාරටත්, මටත් ‘වන් ගෝල් ෆේස්’ ගැන ඔත්තුව කිව්වේ. “ඔබතුමාලා ටොයිලට් එහෙම යනවා නං එහාට ගියාම හරි. මුල්ම දවස් ටිකේ නං අරගලකාරයන්ට එහාට යන්න බැරි වෙන්න වහලයි තිබ්බේ. දැන් ඇරලා! ෂේප් එකේ යන්නයි තියෙන්නේ....”
“ආන්න එහෙම news නේන්නං වටින්නේ. මාත් උදේ ගමෙන් ආව ගමනනෙ මචං.” යයි කී නන්ද කුමාර ඒ වෙලාවේම එහාට ගිහින් ආවේය.

“කිසි rush එකක් නෑ. පෝලිමකුත් නෑ. නිමල් අයියටත් යන්න ඕනි නං යං.. මම එක්ක යන්නං....”

කැපවීම තිබුණට; සංවිධාන වැඩවලට දක්ෂ වුණාට හැමෝටම කතා පවත්වන්න බැහැනෙ....

“දැන්ම නෙවෙයි නන්දෙ. දැන් සෙනඟ වැඩියි.... රෑ වෙලා යං!” කියලා ඒ ගමන කල් දැමුවත්, රෑ බෝ වුණාම One Galle Face සාප්පු සංකීර්ණයට ගිහින් දත-කට මැදගෙන; මුව දොවාගෙන; සුළුදිය බරෙන් නිදහස් වෙද්දී නං හිතුණේ දුකකි. ‘අපරාදේ, පළමුවෙනි දවසේ ඉඳලාම මෙහාට එන්නයි තිබ්බේ!’.

ඔහොම වෙන අතරේ, ෂෙහාන් සචිත් (මට අලුත් තාක්ෂණ කරුණු කියා දෙන තරුණයෙකි. එයාලගේ අම්මා කෙල්ල කාලෙ සිටම මගේ හිතවතියකි!) ඉරිදා රාත්‍රියේ 11.29ට ගත් මගේ ෆොටෝ එකකුත් එක්ක මෙහෙම ලියා තිබිණි; ඔහුගේ මුහුණු පොතේ.   

අප්‍රේල් 24 23.29

‘දකිද්දිත් පපුව රිදෙනවා දැන්නම්....
උපන් බිමට ආදරේ මිනිස්සු....
කුසට අහරක් නැතිව පැය 60ක් සාර්ථකව අවසන්, තව පැය 8යි.

ලංකාවාසී තරුණයන්ගේ උපහාරය නිමල් අංකල්!!! 
ලියුකේමියාව පරදවපු ජාත්යාලය!!!’

හැබැයි, ෂෙහාන්ට චුට්ටක් පැටලිලා, මල්ටිපල් මයෙලෝමා වෙනුවට ලියුකේමියා කියලා ලියලා. දෙකම රුධිර පිළිකා වර්ගනේ! 

‘පරදවපු’ කියන වචනෙත් එක්ක මට නිකම්ම මතක් වෙන්නේ අවසන් සටන!

එතකොට රෑ දොළහට විතර ඇති. දීපාලුයි රාජනුයි දෙන්නා ගිහින් කෝපි කෝප්ප දෙකක් අරගෙන ආවා. එයාලා දෙන්නගේ පැත්තෙ ඉඳලා තුනී සුළං රැල්ලක් මගේ පැත්තට හමාගෙන ආවේ අරියාදුවටමයි.... අම්මෝ කෝපි සුවඳ!

“මල්ලා, බලනවකො මට සීනි නැතිව කෝපි එකක් ගත්තැකිද කියලා....”
“Really sorry ලොකූ... ඔයා කියන්නත් ඉස්සෙල්ලමයි මම බැලුවේ. හදාගෙන ගෙනාපුවා දෙන්නෙ. ඊයෙත් රෑ අටේ ඉඳලා පාන්දර පහ වෙනකල් දුන්නනෙ. මම ඔයාට කිව්වේ නැතිවට ඊයෙමයි හෙව්වේ...”
 

ලජ්ජාවෙන් වුණත් ඇත්තම කිව යුතුය!
අල බහිනකල් හිටින්නට හැකි වුණත් තැම්බෙනකල් ඉන්න බැරියැයි කියන කතාව ඇත්තය. උපවාසය අහවර වෙන්නට තිබුණු ඒ පැය පහ තිස්සේ, මං කී වතාවක් නම් අත් ඔරලෝසුව දිහා බැලුවාද?
 

පළමු සටහන ලියූ හිතවතා; සංජේ රණවක මා හඳුනා ගත්තේ අරගල බිමෙහිදීමය.

අකලංක එතනට ආවෙත් එතකොටය.
“උපවාසේ ඉවර කළ ගමන්ම සීනි- පිටි තියෙන දෙයක් කන්න-බොන්න එපා. එළවලු සුප් ටිකක් බොන්න පුළුවනි නං හොඳයි!” වෛද්‍ය අයස්මන්ත පීරිස් හිතවතා දන්වා එවා තිබිණි. “මම ෂෙහානිට කියලා රෑ දොළහට විතර සුප් ටිකක් හදවගෙන ගේන්නං, බාප්පේ.” පීරිස් මහතාගේ පණිවිඩය දැනගත් අකලංක දීපාල්ට කීවේලු. 

ගෙනා ආම්පන්න පසෙකින් තියූ අකලංක මගේ ළඟින්ම වාඩි වුණේය. “මහප්පා මොකද හිතන්නේ අර කතා ගැන?”
“කතා ගැන කිව්වේ?” මම ඇසුවෙමි.

“මට නං ඔය කතාවලින් වැඩි හරියක් අල්ලන්නෙම නැතිවයි හිටියේ. මෙහෙම තැනකට දාන්න ඕනි දක්ෂ කථිකයෝ. නැත්තං මිනිස්සුන්ට එපා වෙනවනෙ මහප්පෙ... මොනවද අප්පා අර පොර කියවන්නේ...” අකලංක කිව්වේ එවෙලේ අට්ටාලයේ හිටි කථිකයා පෙන්වමිනි. 

“එහෙම තමයි මිනිහෝ. මොකද සුමාන ගාණක් තිස්සේ පැය 24ම කතා පවත්තන්න සුදුසු මිනිස්සු කොහෙන් හොයන්නද? කැපවීම තිබුණට; සංවිධාන වැඩවලට දක්ෂ වුණාට හැමෝටම කතා පවත්වන්න බැහැනෙ.”

“දැන් මහප්පත් කතාවකට ලෑස්තියි නේද?”
“මොන කතාද මට....”
“පිස්සුද මහප්පේ. ඔයා උපවාසේ ඉවර කරන්න කලින් අන්තිම විනාඩියේදී පොඩි speech එකක් කරන්නම ඕනි. මං එයාලට කියනවා. ඔන්න ඔයා රෙඩි වෙන්න.”
 

අවුරුදු ගණනාවකින්ම කතාවක් පවත්වා නැති මට කිව යුතු දෙයක් හිතා ගන්නට හැකි වුණේ නැත. මයික්‍රෆෝනය අතට ගත්තාට පසු මොන-මොනවා හෝ කියවුණා මිස!

අනේ! මැරුණු මිනිසුන්ට කන් ඇහෙනවා නම්; එයාලා මිනී පෙට්ටියේ සැතපී ඉන්නා විට කියවෙන කතන්දර- ගුණ වර්ණනා එයාලට ඇහෙනවා නං....
පැය 68 උපවාසය සාර්ථකව හා අවංකවම නිම කිරීම නිසා (පණ පිටින් සිටියදීම) ‘මා ගැන කෙරුණු ගුණ ගැයුම් කිහිපයක්’ම කියවීමේ භාග්‍යය නම් මට ලැබිණි. ඒවායින් තුනක් ගැන පමණක් ඔබටත් කියන්නෙමි. ඒවා පෙළ ගස්වන්නේ පළවුණු කාලය අනුවය.

පළමු සටහන ලියූ හිතවතා; සංජේ රණවක මා හඳුනා ගත්තේ අරගල බිමෙහිදීමය. 

ශක්තිමත් මිනිස්සුන්ගේ ධෛර්යවන්ත භාවය ඇතුළේම මේ පාලකයන්ට පරාජය උරුම වෙලා ඉවරයි....

අප්‍රේල් 25 10.16

‘අරගල බිමේ මට හමූ වූ ශක්තිමත් ම මිනිසා

ගිය දවස් දෙකේ මම ගෝල්ෆේස් එකට ගියා වැඩ කටයුතු කිහිපයක් සඳහා. ඒ අතර දී තමා මට මේ ශක්තිමත් ම මිනිසා හම්බ වුණේ.

පුදුමය කියන්නේ සෑහෙන්න කාලයක් ඩිජිටල් ලෝකයේ ඇතුළේ දැන හැඳුනුකම් තිබුණු මේ අපුරු පුද්ගලයාව හරියටම මට හඳුනා ගන්න ලැබෙන්නේ ඊයේ දවසේ.

ඔහු සමඟ සාකච්ඡාවකින් පස්සේ, ඔහු මගෙන් ඇහුවා මෙච්චර දවසක් අපි කතා කළාට නම අහන්නත් බැරි වුණානේ කියලා. මම කිව්වා මම සංජය කියලා. එතකොට ඔහු අහපු දේ තමයි අර මුණ පැත්තට තියෙන හිනාවක් දාගෙන ඉන්න පින්තූරේ දාලා තියෙන සංජය නේද කියලා. මටත් හිතාගන්න බැරි වුණා.

මේ වෙන කවුරුත් නෙමෙයි මේ ශක්තිමත්ම මිනිසාගේ නම නිමල් දිසානායක... නැත්නම් හැමෝම දන්න "නිදිගෙ පංච තන්ත්රය" බ්ලොග් අඩවියේ රචකයා.

නිමල් මහතා මේ අරගලය ඇතුළේ සුවිශේෂිම පුද්ගලයෙක්. ඔහු 71, 83, 88 - 89 කාලවකවානුවල තිබුණු අරගල දැකපු කෙනෙක්. ඒවාගේ තරුණ සටන් දැකපු කෙනෙක්. ඔහු හොඳටම දන්නවා මේ අරගලය කොයි තරම් වැදගත් ද කියන එක.

ඒ නිසාමයි ඔහු මේ අරගලයේ, අතිශයෙන්ම ප්රවේශම්කාරී වියයුතු රෝගී තත්ත්වයක් තියාගෙනත් පැය 68ක කාලයක් අඛණ්ඩ උපවාසයේ නිරත වුණේ. පැය 68ක උපවාසයෙන් අනතුරුව අද උදෑසන 06ට නිමල් මහතා තමන්ගේ අඛණ්ඩ උපවාසය නිමා කරනවා. මේ පැය 68 සුවිශේෂි වෙනවා. මොකද නිමල් මහතා මට කිව්වේ මේ පැය 68 කියන්නේ තමන් මේ රටේ ජීවත් වූ 68 වසරක කාලය තුළ, තමන් මේ රට වෙනුවෙන් කරන උපහාරය කියලයි.

පෙරේදා රාත්රීයේ ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වී රෝහල් ගත කළත් ඔහුගේ මනසේ තිබුණු ශක්තිමත් භාවය නිසා ඔහු පරාජය පිළිගන්න කැමති වුණේ නැහැ, ඒ නිසාම තමන් පටන් ගත්ත සටන අත්හැරීමට ඔහු සුදානම් වෙලා හිටියෙත් නැහැ. ඔහු ඊයේ නැවත අරගල බිමට ඇවිත් තමන්ගේ උපවාසය අද උදෑසන අවසන් වෙනතුරු ක්රියාත්මක කළා.

මෙවන් ශක්තිමත් මිනිස්සුන්ගේ ධෛර්යවන්ත භාවය ඇතුළේම මේ පාලකයන්ට පරාජය උරුම වෙලා ඉවරයි....
#සංජේ’ 

එයාලා ෆොටෝවලින්; වීඩියෝවලින් එහෙම තොරතුරු බෙදනවනේ.

දෙවැන්න ලිව්වේ සටන් හා අරගලවලටම ජීවිතය කැප කරමින් සිපිරි ගෙවල පවා වැටුණු හිතවතෙක්. අරුණ නිසාමයි මට ‘පණ බේරූ කිරිල්ලී’ අත්දැකීම ලැබුණෙත්!

අප්‍රේල් 25 13.23

‘නමින් නිමල් දිසානායක නම්වූ මේ මිනිසා මිනිසුන් අතර තවත් උත්තරීතර මනුෂ්යයෙකි. ඔහු මට හමුවන්නේ 80 දශකයේ මුල භාගය තරම් ඈත ඉතිහාසයකය. ඒ එවකට youth එක නමින් අපි වැඩ කළ තරුණ සේවාව තුල, youth නමින් ඔහු වැඩ කළ ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමයේ තරුණ ජනගහණ කමිටුවේ වැඩ මුළුවකදීය. ඒ සුන්දර නිලාවේලි වෙරළ තීරයේ පිහිටි පුහුණු මධ්යස්ථානයකදීය. එවක ඔහු එම කමිටුවේ සභාපතිවරයා වූ අතර පසු කලෙක මා ඇතුලු කීප දෙනෙක්ම ඔවුන්ගේ වැඩවලට සම්බන්ධ කරගනු ලැබීය. 

ඔහුගේ තවත් වැඩ බිමක් වූයේ අමද්යප තරුණ සංවිධානයයි. එහි නායකත්වය හෙබවූයේ මාදුළුවාවේ සෝභිත හිමි සහ ලාල් හේවාපතිරණයි. එහි මූලස්ථානය පිහිටියේ කෝට්ටේ ශ්රී නාග විහාරයේයි. ඔවුන් සතුව තිබූ letter press මුද්රණාලයේ එවක කළමණාකරු වූයේද නිමල් අයියාමය.

ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා, ගෙවිඳු කුමාරණතුංග වැන්නන්ගේ සමාගමයද අපිට හමුවන්නේ සෝභිත හාමුදුරුවන්ගේ පංසලේදීය. ඒ කාලය සඟරාවේ මුද්රණ කටයුතු සඳහා නිතර ඔවුන් නිමල් අයියා මුණ ගැසීමට එන නිසාය. නිමල් අයියා එකින් එක ඉතා ඉවසිල්ලෙන් අකුරු අමුණමින් ඔවුන් එක්ක හිනාවෙවී කතා කර කර වැඩ කරන හැටි! 

එතන වැඩ කළ අනිල් වගේ නමක් තිබුණ කෙනකුට වැරදිවලට කෑ ගසමින් නිමල් අයියාගේ සොඳුරු ආඥාදායකත්වය මුදා හරින හැටි! අම්මා තාත්තා වෙනුවට ගෙදර ලොකා වී නංගිලා මල්ලිලාගේ ආධිපත්යය දරන විදියමයි. ඒ අතීතය හරිම ලස්සනයි.

මට මතක හැටියට පියසිරි ප්රින්ටර්ස්, විදර්ශන වගේ ප්රකාශන සමාගම්වලටත් ඔහුගේ සෝදුපත් කියවීමේ හා කළමණාකාරිත්වයේ ගුණය මුසු කරා පසු කාලීනව. ලස්සනට අඳින පළඳින පිළිවෙලට වැඩ කරන ඔහු YOUTH එකේ අපි නියමිත වෙලාවට හා සංවිධානාත්මක වැඩ නොකිරීම්වලට බැන බැන උපදෙස් දෙන්නේ අපි ඔක්කොමලගෙ තාත්තා කෙනෙක් වගේ. අපේ දිග ඇරිය නොහැකි ඇද කීයක් නම් නිමල් අයියා නිවැරදි කර ඇත්ද ? එදත් ඔහු නියම නායකයෙක්. ආදර්ශමත් වැඩිහිටියෙක්.

අයුක්තියට අසාධාරණයට එරෙහිව කවදත් නිතර නැගී සිටි අරගලකරුවෙක් ඔහු. පිළිකා රෝගයකින් දරුණු ලෙස පීඩා විඳිමින්ද තම වයස කිසිඳු සැලකිල්ලකට නොගෙනද එදා තිබූ තරුණ ජවයම නොසිඳෙන උල්පතක් සේ හද තුල රඳවගෙන ගෝල්ෆේස් අරගල බිමේ දින තුනක් නිරාහාරව උපවාසයේ යෙදී සිටීම තවත් "අසිරිමත් වූ දේකි".

ආදරණීය නිමල් අයියා, ඔයාට නීරෝගි සුවය දීර්ඝායුෂ!'

තෙවැන්න නම් උපුටා දක්වන්නෙ නෑ. එහෙම කිරීම තට්ටය මහත්තයාට කරන පට්ට අසාධාරණයක් වෙන හින්දා. එතුමා blog අඩවියට ලියා තිබෙන ‘ඔව්! ඔහු කුඩා මිනිසෙක්; විසල් හදවතක් හිමි !!’ පෝස්ටුව කියවලාම කියන්නකෝ, නසරානි මං වහන්සේ එච්චර ගෞරවයකට සුදුසුද කියලත්.....

ඇති. හොඳටම ඇති නිමලෝ! නිර්පාක්ෂික අරගලය ගැන තමුසෙට වඩා හොඳට දන්න අය; ලියන අය ඕනි තරං ඉන්නවා. වචනවලින් විතරක් නෙවෙයි, එයාලා ෆොටෝවලින්; වීඩියෝවලින් එහෙම තොරතුරු බෙදනවනේ. ඔය මදැයි තමුසෙ ඒවා ගැන ලිව්වා.

ආයෙම තමුසෙගෙ ජීවිත කතාව ලියන්න ගන්නවා... නවත්තපු තැන හිට. (වචන නං මගෙයි. මට ඔය ටික කිව්ව කෙනා නං ‘වහෙන් ඔරෝ’ බාසාවෙන් ‘නිවලා’ ඔය ටික කිව්වේ. .... ඔයාට ස්තුතියි!)

ඔන්න එහෙනං, ඊළඟට ‘සුප්පා දේවිගේ බඩේ මයිල් - 3’ post එක තමයි ලියන්නෙ෴

24 comments:

  1. //දෙවිවරු කන්නේ නැතිලු; බොන්නේ නැතිලු; කාම සම්භෝගයේ යෙදෙන්නෙත් නැහැල්ලු. ආඝ්‍රාණයෙන් හා දර්ශන මාත්‍රයෙන්ම බඩයි, හිතයි පුරවා ගන්නවාලු නෙව!//

    මුන් අපි හු.... දේවල් බලං හිටං ආතල් ගන්නවා ... දෙවිවරු කරන්නේ මහ කැතවැඩක් නොවැ.

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. දෙවිවරුන්ගේ කැත වැඩ?
      මතක නැද්ද අසංග, මම කිව්වා රෝහිනී දිව්‍යාංගනාව දෙවිවරු හතර දෙනෙකුගේ ඉඩම් මායිමේ පහළ වෙලා වෙච්චිදේ. හතර දෙනාම නඩුවයි, නඩු බඩුවයි අරං සක්කර දේවේන්ද්‍රයා ළඟට ගිය හැටි.
      ආයේ කියවලා බලන්නකෝ:
      https://nidigepanchathanthare.blogspot.com/2019/11/blog-post_28.html

      Delete
  2. හැක්... මට මැවිල පේනව නිමල් අයිය අනික් මිනිස්සු රස කර කර කන ඒව දැක දැකත් ඉවසගෙන හිටපු හැටි.

    පැය හැට අටක නිමල් අයියගෙ උපවාසය ජයගත්ත වගේ මේ අරගලය ජයග්‍රහණයකින් අවසන් වෙයි කියන එක රටේ ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඉවසගෙන හිටිය අමාරුව කොහොමෙයි ප්‍රසන්න වචනවලින් ලියන්නෙ?
      //මේ අරගලය ජයග්‍රහණයකින් අවසන් වෙයි කියන එක රටේ ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක්.//
      මගෙත් ලොකුම පැතුම!

      Delete
    2. මටත් ඒ ෂීන් එක මැවිලා පේනවා...
      අරගලය ජයග්‍රාහීව අවසන් වේවා!... තමයි හැමෝගෙම එකම පැතුම ඉතීම්

      Delete
  3. මා විසින් ප්‍රතික්ෂේප කරනා ගොල්ෆේස් අරගලය ගැන ලියන්නට කිසිවක් නැත. එහෙත් විසල් හදකින් යුතු නිදි නම් අපූරු මිනිසා; මා මිතුරාගේ අප්‍රහිත ධෛර්්‍යවන්ත නිර්භීත වික්‍රමාන්විත උපවාසයට හදපිරි උපහාරය පුදමි.
    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. ඔයා අරගලය අනුමත නොකරනවා වුණත් මාව බලන්න හරි ගෝඨා ගෝ ගමට හැමදාම ආවනේ, අසංග. ඒකම වුණත් අරගලය ලබපු ජයග්‍රහණයක් නේද?

      Delete
  4. සුදුසුකම් නැති 182කට පොහොට්ටු දේශපාලකයන් මැදිහත්ව OIC තනතුරු දීලා!

    https://w3lanka.blogspot.com/2022/05/blog-post_18.html

    මේවා දැක්කාම, මුං හදන්නෙ ආයෙම මිනිසුන්ව රවට්ටන්න කියලයි හිතෙන්නෙ. ඔහෙලා කොච්චර කැපවීමකින් මේ අරගලය කලත්, අවාසනාවට තාමත් පරවේණි-දාස මානසිකත්වයෙන් මිදෙන්න බැරිව කපුටු රැලත් එක්ක යන මීහරක් තාම ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. https://www.economyhub.info/2022/05/18/parliament-lunch/

      Delete
    2. බස්සා මහත්තයෝ.
      132 වැඩෙන් පෙනෙන්නේ 'එක රටක්- එක නීතියක්' කිව්වට එකම දෙකට- තුනට නැවිලා යන හැටි, නේද?
      පේනවනේ, පොලිස්පතිගේ පිට දාලා අත හෝදාගන්න ගියාම වෙච්චිදේ.
      රඹුක්කනදි වෙඩි තියන්න අණ දුන් කීර්තිරත්න උසස්වීමේ විභාගයෙන් (මතක හැටියට) 142 වෙනියා වුනාම මා+හින්ද මාතියලගේ උදව්වෙන් උසස් කෙරුණු විස්තරෙත් මට මතක් වෙනවා.
      අමල් චින්තක මායාදුන්නේ මන්තිරිතුමා 225 ම එපා සටන් පාඨය ආයේ අලුත් කරවනවා වගෙයි!

      Delete
  5. කමෙන්ට් නොකෙරුවට ඔක්කොම කියෙව්වා. ලඟින් ගියා මිසක් රැඳෙන්න බැරිවුන අරගලයේ සුළු කාලයක් හෝ ඔබගේ අත්දැකීම් හරහා ඉන්න පුළුවන් වුණා. බොහොම ස්තූතියි නිමල්

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි ඉයන් මහත්තයෝ!

      Delete
  6. ඉහත Praසන්ன කිව්වා වගේ, උපවාස කරන කොට අමාරුම දේ, කවුරු හරි රසවත් සුවඳවත් කෑම එකක් කනවා දැක දැකත් ඉවසාගෙන ඉන්න වෙන එකයි.

    කෑම වල රසට, සුවඳට කටට කෙල උනන එක නම් නවත්වන්න බැහැ. ඉස්සර බිග් මැච් එකට බෑන්ඩ් ගහනකොට, ට්‍රම්පට් ගහන එක්කෙනා ඉස්සරහට ගිහිල්ලා, චරාස් ගාලා සද්දේ ඇහෙන්නත්, ඉස්ම බේරෙන්නත් අන්නාසි කෑල්ලක් කෑවානම් බඩුම තමයි.

    කන්නත් නැත්තං, බොන්නත් නැත්තං, කාම සම්භෝගයේ යෙදෙන්නත් නැත්තං, ඒකට දිවිය ලෝකය කියන්නේ කව්ද?? එහෙම දිවිය ලෝකෙකට යන්න උනොත් මම නම් ඒ වෙනුවට අපාය තෝරා ගන්නවා.

    අරගලයේ අරමුණු සාර්ථක වෙන්න කියන ප්‍රාර්ථනාව, ඒක හරි යන කල්ම නොකඩවාම කරන්න වෙයි වගේ.!

    ReplyDelete
    Replies
    1. මගේ හපන්කම් පොතේ තියෙනවනේද පොලේ ගිහිල්ලා, මියුසික් ගෲප් එකක් ප්ලේ කරන ඉස්සරහටම වෙලා බලන ගමන් කොමඩු කන්න ගිහිල්ලා ට්‍රම්ෆට් ගහන මනුස්සයද කොහෙද ඇවිල්ලා කොල්ලො දෙන්නව බැනලා එලව ගන්න සීන් එකක්.

      Delete
    2. ඔය තියෙන්නේ!
      දැන් ලංකාවේ මිනිස්සුන්ට නම් චූන් පාන් වාහනවල සද්දේ ඇහෙනකොටත් කටට කෙළ උනනවාලු.
      කපුටු කාක් කාක් කාක් නළා සද්දේ ඇහෙද්දී ලේ කෝප වෙනවා වගේ.

      Delete
  7. "ආයෙම තමුසෙගෙ ජීවිත කතාව ලියන්න ගන්නවා... නවත්තපු තැන හිට" කියලා කවුරු නමුත් නිමල්ට කිව්ව එක හොඳයි. කලින් පෝස්ට් දෙක තුනේම මට නම් දැනුනේ නිමල් සෑහෙන්න emotionally drained විදිහට. කිසිම පෞද්ගලික සම්බන්දයක් නැතුව නිමල්ගෙ පෝස්ට්ස් වලින් එන 'body language' එකෙන් මට එහෙම දැනුනෙ. ලංකාවෙ තත්වෙ විදිහට එහෙම වෙන්න පුලුවන් හුඟ දෙනෙකුට. නමුත් නිමල්ට ඒ තත්වය අඩු කරගන්න පුලුවන් ටූල්ස් තියෙන නිසා ඒ ටූල්ස් පාවිච්චි කරන පුලුවන්නෙ (බලන් යනකොට ස අපිට හොඳ ප්‍රයෝජනවත් expressions දීලා තියෙන්නෙ).

    ReplyDelete
    Replies
    1. ඔව් Lotus, ආයෙම ජීවිත කතාව ලියන්න ගන්නවයි කිව්වට, පහුගිය ටිකේ ලිව්වෙත් මට නම් ජීවිතේට අදාළ දේවල්. වර්තමානයේ.
      නමුත් අතීත සිදුවීම් දැන් මතක් කරමින් ලිවීම හිතට සනීපයි. අපි කවුරුත් අතීතකාමී මිනිස්සුනේ.

      ආයේ දෙකක් නෑ Lotus, ස' හා මා+හින්ද ඇතුළු set එකම අපිට දෙන සැප හා නුවණ නං සුපිරි!

      Delete
  8. //ඊටත් වැඩියෙන් අසීරු වුණේ- බත් පාර්සල් හා කෑම ජාති අරගෙන ඇවිත්, මගේ ළඟින්ම වාඩිවී ඒවා බුදින්නන් දිහා නොබලා; කෙළ ගිලින්නෙත් නැතිව සිටීමය.
    ඒ මදිවාට සමහර සුවඳ. කිරිබත්... මයියොක්කා... පොල් සම්බෝල එහෙම සුවඳ ගහනකොට නං මමත් දෙවියෙක් වුණෙමි.// එතැන ලියල තිබ්බ නේද උපවාසයක් කියල. අන්තරේ ගැන හුඟක් අය අදහස් වෙනස් කරලා වගේ නේද

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත් මහත්තයෝ, බැනර් එක්ක එල්ලලා තිබුණා තමයි. ඒත් කවුද ඔව්වා කියව කියවා මහන්සි වෙන්නේ, සෙනඟ තදබදේ අස්සේ.
      ඔයා හරි කියලයි මට හිතෙන්නේ. අන්තරේට වැඩිය දැන් මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නේ පාලන හන්තරේ හා මජර පාලක රොත්ත.
      දකින්න ඇතිනේ මිනිස්සුන්ට ගෑස් නැතිව ඉඳිද්දී එකෙක් ළඟ ගෑස් සිලින්ඩර් 140+80ක් තිබ්බ හැටි. තව එකෙක් ළඟ යුරියා පෝර තිබුණු හැටි. ගීතා අවුරුද්දකටම ඇති වෙන්න ඉන්ධන ගබඩා කරගෙන ඉන්නවයි කියලා පම්පෝරි කෙලපු හැටි.

      Delete
  9. නිදි මොක ලීවත් ඉතීම් අප කියවනවා නෙව.....ඇවිදින් 😄

    ReplyDelete
    Replies
    1. කියවලා විතරක් මදි නමී, අඩුපාඩු තියේ නං පෙන්වලා දෙන්නත් ඕනි. අදහස් හා විවේචන දෙන්නත් ඕනි. දැනට තුන් වතාවක් කරලා තියෙනවා වගේ!
      ස්තුතියි!

      Delete
  10. එදා නේද අමිලයි, රවීයි ආවෙ?

    ReplyDelete
    Replies
    1. එදා තමයි Pra Jay මහත්තයෝ, එයාලා ආවේ. ඒ වගේම වරුවකට වඩා එහෙ හිටියෙත්.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්