අකුරු මැකී නෑ

Sunday, November 17, 2024

ජයයි සුබයි ඇරඹුව මේ දිගු ගමන

ශ්‍රමදානයට අපි ඔක්කොම ගියා තමයි!

උදම් වෙන්න හැකි තරමක ජය   ලබලා
උදම් නොවී කර බාගෙන         ඉවසාලා
සිතින් සතුටු- පැමිණිය මඟ සිහි කරලා
හිඳියි බහුතරය, හොඳටම       සංසිඳිලා

ලැබූ ජය නියම විජයක් කර                ගන්න
තියෙයි අපට හොඳ හැටියට වෙහෙසෙන්න
එකට එකතුවී කැපවීමෙන්                 ඔන්න
ඒ කටයුත්තෙ නියැලෙමු    ‘අරමුණු ලෙසින’

ශ්‍රමදානයට අපි ඔක්කොම ගියා     තමයි
පැරණි හොරුන් එළවා දැමු බවත් සැබැයි
එතැනින් සටන අහවර නෑ- ඇත්ත  එයයි
දිනුමට වැඩිය අසීරු එය රැක     ගැනුමයි!

අනුන් කරෙන් ගිය ගමනක් හිමි නොවෙන
තමන් වෙහෙස වීලා කටයුතු            කරන
රට වෙනුවෙන්ම කැප වී පෙරටම   ඇදෙන
‘උගත් නවක පිරිසකි- මේ රට           දිනන’

පළපුරුද්ද නම් ඔවුනට ඇත්තෙ               නැත
එකසිය පහළොවක් අලුතින් පත්ව           ඇත
එනමුත්
ඔවුන් උගතුන් බව නම් පෙනෙත
ඔවුන් එක්ව රට ගොඩ ගන්නවා              ඇත

සිරිලක සිව් දෙසින් එකතුව ජනතාව - එකාවන්ව ඡන්දය දී පළ කෙරුව...

ඔවුනට දැනෙයි හැටි පොදු ජන හද ගැහෙන
ඔවුනට හුරුයි පොඩි ජනයගෙ     කුසගින්න
ඔවුනට තමයි හැකි සිරිලක ගොඩ      ගන්න
ඔවුනට ලැබේවා දිරි- සවි                 අනුප්‍රාණ

සිරිලක සිව් දෙසින් එකතුව         ජනතාව
එකාවන්ව ඡන්දය දී පළ                කෙරුව
‘රිස්ස’ නොසිඳ වැඩි කරගත්තොතින් තව
දෑ කුල භේද යනවා ඇත             අහෝසිව

විකිණුණු නමුදු පක්ෂ පවා මිල මුදලට මෙරට තුළ
පුරවැසි දන සිටිති තම                      ප්‍රතිපත්තිවල
මුදලට ගිජුව ඡන්දය දුන් දනන්                        කැල
දැන් නැත ලක්බිමේ - ඔවුනට ලැබිල             මොළ

තුන හැට නවය කෙරුවෙත් පොදු ජනතාව
හැට නවයම තුනට දැම්මෙත්         ජනතාව
සිය ගණනක් ගෙදර යැව්වෙත්       ජනතාව
තමන් සතු බලය පෙන්නුවෙ          ජනතාව

මාලිමා ගමන යං සංහිඳියාවේ!

හෘදය සාක්ෂිය රජයන දැහැමි          හිතක්
අනුන් දුකේදිත් කඳුළක් උනන         ඇහැක්
සහිත තෙතමනය ඇති, අය හිටින    රටක්
බිහිකොට ගනිමු; වෙයි සිරිලක සුරපුරයක්

වංචා නොකර සේවය ඉටු කරන      දැයක්
යුතුකම තිතට කෙරුමට හුරුපුරුදු දැයක්
අභිමානයෙන් යුතු පුරවැසි        සමාජයක්
ඇතිකොට ගැනුම අප හැමගේ  වගකීමක්

පොඩිසිංඤොලගෙ සෙත සැලසෙන ආණ්ඩුවක්
හොරුන්ගෙන් තොරවු පිරිසිදු          ආණ්ඩුවක්
නීතිය හැමට සමාන වෙන                ආණ්ඩුවක්
ගොඩනැඟෙනවා නිසැකයි, නෑ කිසිම    සැකක්

විවේචන කරන අය ඔහෙ   කෙරුවාවේ
කකුලෙන් අදින අය එහෙමත් ඇද්දාවේ
කුලප්පුව තියෙන ඈයොත්    හිටියාවේ
මාලිමා ගමන යං                සංහිඳියාවේ

අල්ලස දූෂණය මුලිනුපුටා             දැමෙන
අවනීතිය නොවෙයි නීතිය රජ   කෙරෙන
දියුණුවෙ ඉනිමගේ හිණි පෙත්තට නඟින
රජයක් පත් කෙරේවා- ජන හද      දිනන!෴O෴

Friday, November 8, 2024

උපන් දිනේ මගෙ ආ හින්දා... - දෙවෙනි කොටස

“Many Happy returns of the Day, dear Loku!”
“සුබ උපන් දිනයක් අයියේ!”

ඩෙඟ ඩෙඟ පරි - රඹට කැකිරි කිව්වලු! එච්චර වෙලාවක් මෙයාලා කොහෙද දෙයියනේ වහං වෙලා උන්නේ... තවත් තුන් දෙනෙක් කලඑළියට ආවම මට හිතුණා... සත්තයි- සහතිකයි. ඒක නං මං හිතුවෙම නැති සුමිහිරි ගීතයක් වගේ සර්ප්‍රයිස් එකක්...

දැන් ඉතිං කේක් එක කපලා හිටිමු. (මේ ෆොටෝව අවුරුදු 10කට ඉහතදී- බොල්ගොඩ රන්මල් හෝටලයේදී පැවැත්වුණු මෙවැනිම සර්ප්‍රයිස් උපන් දින සාදයකදී ගත්තකි.)

ඒ සුබ පතාගෙන පිරිසේ කොනකින් මතු වෙලා ආවේ කවුද කියලයි, අනෙක් විස්තරයි ඊළඟ කොටසෙන්ම කියන්නං... කියලයි පසුගිය කොටස අවසන් කළේ. දන්නවද එදා එහෙම ආවේ කවුරු කවුද කියලා.

අපේ බඩා මල්ලා; දීපාලුයි, සුනිල් මල්ලී හා එයාගේ බිරියයි.   

කවුද යකඩෝ හීනෙකින්වත් හිතුවේ, එයාලත් එයි කියලා.
“සුනිල්! කොයි වෙලාවෙද ඔයාලා බලන්ගොඩ ඉඳලා ආවේ?”
“අද උදේ අයියේ! මෙච්චෙල්ලා මානිල ගෙදර හිටියෙ...”
“එතකොට දීපාල්?”
“සමන්ති අක්කා ආවේ සඳුදා. මම Tuesday... ඔයාට රියල් සර්ප්‍රයිස් එකක් දෙන්න ඕනි හිංදා අපි ඔක්කොමල්ල මේ ටිකේ හැංගි- හැංගී හිටියෙ... හිමා ඔයාට ෆෝන් එකෙන් කතා කරද්දී හරි අපි ආවයි කියලා ඔයාට කියයි කියල අපි බයේ උන්නේ.”

“නිමල්, ඒකත් ගෙස් කරලා කොළේ ලිව්වේ නැහැනෙ” ප්‍රියන්ත ඇහුවේ full සැටිස් tone එකකින්. “එහෙම guess කරන්න නං මට දිවැස් තියෙන්න ඕනිනෙ, ප්‍රියන්ත.”
“හරි හරි... දැන් ඉතිං කේක් එක කපලා හිටිමු නිමල් අයියේ. අපි වෙල්කම් drink එකත් සර්ව් නොකර හිටියෙ කේක් එක කපනකල්...”

නෙවිල්ගේ ලොකු අයියාගෙ ලොකු දියණිය දිල්හා කේක් ගෙඩිය හදා තිබ්බේ ‘නිදිගෙ පංච තන්තරේ’ පොතක හැඩයට අරගෙනය. ස්තුතියි දිල්හා!
නමුත්, කේක් එක හැදූ දිල්හාටවත් පාටියට ආරාධනා කෙරී තිබුණේ නැත! දිල්හාට විතරක් නොවේ, තවත් සීයකට විතරත්...
‘අපටත් නොකියම මේ සැරේ birth day එක සෙලිබ්රේට් කළා නේද?’ කිහිප දෙනෙකුම පස්සේ ඇහුවාත් එක්කය.

මගේ එකම උපන් දිනයක්වත් මෙතෙක් කාලයකට මගේ උවමනාවෙන්; මගේ සංවිධානයෙන් යුතුව උත්සවාකාරයෙන් සමරා නැතිය! මගේ හිතවතුන්ටත්, ඔවුනගේ පවුල්වල සේරටමත් කියලා එහෙම කරන්නට ගියොත් ඒ වෙනුවෙන් ලොකු පිට්ටනියක් හොයා ගන්නට සිද්ද වෙනවා නිසැකය. එවන් සාදයක් ලෝකෙට පරකාසෙට කෙරෙන්නක් මිස- හෘදයාංගම එකකුත් නොවෙනු ඇතැයි මට සිතේ.
නිමල් දිසානායකයා හිතන්නේ ඒ විදිහටය.
(‘නිමල් අයියේ, ඔයාට fb එකේ යාළුවො ඉන්නෙත් අඩුවෙන්නෙ. ඒ මොකෝ?’ කියලාත් කීප දෙනෙකුම මගෙන් අසා තිබෙයි.
ඒ උදවියට මා විශ්වාස කරන
150 න්‍යාය’ පහදා දෙන්නට මට සිදු විණි!)

අනෙක් අතට ‘නසරානි දෙබිඩ්ඩෙක්’ වෙන මා, මගේ ඒ හිත මිතුරන් සැවොම එකම වේදිකාවකට කැඳවන්නේ නැත. ඒ ඒ අයව ඒ ඒ සර්කල්ස්වල රඳවා- සීමා කොට තබා ගැනීම මගේ සිරිතයි. (ප්‍රධාන විශ්වයන් දෙකකට අයත් හිතවතුන් මට සිටින විත්තියත් මා කලින් කියා තිබෙයි.) ඒ ඒ උදවියගේ රුචි-අරුචිකම් ගැන දත්ත ඇති තරමින් මගේ data base එකේ ගබඩා වී තිබීමත් මට එහිදී ප්‍රයෝජනවත් වෙයි.

මගේ උපන් දින සාදය අවසානයේදී, අංජනලගේ කෙළියට වඩා අපූරු ගිනිකෙළි සංදර්ශනයකුත්...

(මෙහෙම dash පහරක් එල්ල කරන්නට ඉඩ-හසර විවර කර දෙමින් වොලිබෝලය උස්සා දුන්නාට; නියම නිමිත්තක් සැපයුවාට අජිත් ධර්ම සහෘදයාට මගෙන් විශේෂ ස්තුතියක් පිරිනැමෙයි. අජිත් මහතා පහුගිය කොටසට මෙහෙම comment එකක් එවා තිබුණු බැවිනි ඒ.

‘හැපි මාසයක් අලුත් උපන් දිනයක් වේවා. අපට නොකිව්වට කමක් නැහැ. ප්‍රා ජේ ට නොකිව්ව එකටයි හිතට දුක...’)

මගේ හිත-මිත්‍රාදීන් අතරේ ‘නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අංජන සඳරුවන්’ වැනි උදවිය නැති වීමත් මට වාසියකි. මං වහන්සේ එහෙම හිතන්නේ මන්දැයි දැන ගන්නට කැමති නම් (විනාඩි 1 තත්පර 49ක) මේ වීඩියෝව නරඹලා ඉන්න!

‘මගෙ ගෙවල් ගිනි තියා ගත්තේ- කකුල් කඩා ගත්තේ මම.’ කියා අංජන කියද්දී, මට නං හිතෙන්නේ ‘බළලා මල්ලෙන් එළියටත් පැනලා’ තිබෙන බවයි! ඒ ඇවිළුණු ජංජාලය සිද්දවී තියෙන්නෙ නොවැම්බර් 3 වෙනිදා හලාවතදීය.
හරියටම ඊට මාසයකට කලින්- මගේ උපන් දින සාදය අවසානයේදී, අංජනලගේ කෙළියට වඩා අපූරු ගිනිකෙළි සංදර්ශනයකුත් පැවැත්වුණු විත්තිය මෙතැනදී කියන්නට අවසර දෙන්න...

“නිමල් අයියා දන්නවද? පාටිය අන්තිමට පත්තු කරන්න මම මල්වෙඩි වගේකුත් හදවගෙන ආවා. මුලින්ම මං ලලිත්ට ඒක කිව්වම ඕනි නැහැයි කියලත් කිව්වා...” හරිශ්චන්ද්‍ර මගේ කනට කෙඳිරුවේය. “එහෙම බැහැයි කියන්න බැහැනේ නේද නිමල් අයියේ... මං ලලිත්ට කිව්වා මල්වෙඩිත් ඕනිමයි කියලා. හඃ හඃ හඃ... ඒ පාර ලලිත් මට කිව්වා උඹට ඕනි බම්බුවක් ගහ ගනිං කියලා...”

ටික ටික ආරංචි වුණු විදිහට සාදය ගොඩාක් සරුසාර වෙලා තියෙන්නේ එකේක මිතුරු-මිතුරියන් එකේක ජාති හදාගෙන හෝ මිලදී ගෙන එන්නට ඉදිරිපත් වී තිබුණු නිසාය.

“ඔව් නිමල් අයියේ... හැටකට නෙවෙයි ගමකට ඇති වෙන්න කෑම තියෙනවා, හදාගෙන ආපු. පේනවනෙ... මේවා කාල ඉවර කරන්න වෙයි ඔන්න.” බබිතා හා මැණිකේ නංගිලා කීවෝය.
“ඇයි බබිතා- අපේ එක්කෙනා තවම නාන් රොටියි, කරි ජාතියි ගෙනාවෙත් නැතුවනෙ මේ.”
“ප්‍රියන්ත නානුත් ගේන්නද හදන්නේ රසික නංගි... මෙච්චර දේවල් තියෙද්දී...” මගේ ඒ ප්‍රශ්නයට උත්තර දුන්නේ මැණිකේ නංගිය. “නිමල් අයියා දන්නවනෙ අපේ අයියගෙ හැටි. (පෝල්)
චමින්ද අයියලා ඩෙසර්ට් ජාති දෙක තුනක්ම හදාගෙන එන්නං කියල තියෙද්දිත් අපේ අයියා අයිස්ක්‍රීම් කෝනුත් ගෙනාවා...”

ලොකු මේසයක් පිරෙන්නටම එකිනෙකා රැගෙන ආ කෑම ජාතිය. බයිට් වර්ග- මුරුක්කු වර්ග- කඩල, කජු, මස් වර්ග- මාළු වර්ග විතරක් නොවේ සොසේජස් හා ඉස්සොත්... ඩෙවල් කර- බැද- සලාද වශයෙන් සකසා...

ටෙලිෆෝනය හදන්නට ආ තරුණයන් දෙන්නා; චතුර හා එෂාන්- ටෙලිෆෝන් සබඳතාව හදන අතරේ කෙරුණු කතාබහෙන්...

ඇත්තමය! ඒ බොහොමයක් ජාතිවලින් එක කෑල්ලක් බැගින්වත් වළඳන්නට මට බැරි වුණේය. ඒ මගේ හිත පිරී තිබුණු බැවිනි.

“අපරාදේ ලොකා... මෙච්චර කෑම ජාති තියෙනවයි කියල කවුද දන්නෙ... එහෙම දන්නවා නං මම නෙවිල් අයියට කියනවා මෙච්චර බයිට් නොහදා ඉඳිමු කියලා.”
“ඇයි මානි, නෙවිල් කිව්වද ඌරු මසුයි, කුකුල් මසුයි ගොඩක් හදන්න?”
“ඒකනේ ලොකා. කිලෝ පහ ගණනේ... අපරාදේ...”

මේවා කීම පුරසාරම් දෙඩවිල්ලක් විදිහටත් ගත හැකිය. එවැනි දෙයක් මගේ නම් හිතේ නැත!
මා මේවා ලියන්නේ කරුණු දෙකක් අවධාරණය කරන්නටය.

1. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබීමේ මහිමය: ඒ අතින් නම් කියන්නට දේවල් එමටය. ඉඩකඩ සැලසුණු හැටියට පසුගිය postsවලදී මා ඒ සමහර මිතුරන්ගේ අගය උදාහරණ සහිතවම ඔබට කියා තිබෙයි. කෝටි ප්‍රකෝටි ගණනින් උපයා ගන්නවාට වඩා වටිනාකමක් ‘කලණ මිතුරන් ඇති කර ගැනීමේ’ තිබෙයි!
හැකි උපරිමයෙන්ම
සතර සංග්‍රහ වස්තුවලින් මිතුරනට සැලකීම ඊට හොඳම මාර්ගයයි.

ඒ ගැන චූටි පම්පෝරියකුයි මේ:
දන්නවනෙ, පහුගිය දවස්වල වැහැපු තරම. ඒ හින්දා මගේ ටෙලිෆෝන් එකත් කැඩුණා. ඒක හදන්නට ආව තරුණයන් දෙන්නා- (චතුර හා
එෂාන්) ටෙලිෆෝන් සබඳතාව හදන අතරේ කෙරුණු කතාබහෙන් මාත්තෙක්ක හොඳටෝම හිතවත් වුණා. කොච්චර කුළුපග වුණාද කියනවා නම්... එෂාන්ලගේ අම්ම චතුරට එවල තිබුණු ඉඹුල් කිරිබත් ගෙඩියකුත් මට තිළිණ කරලයි එයාල ගියේ!!!!!!!!!!!!!!

මං වහන්සේ එහෙම ඉතා ඉක්මනින් තවත් අය එක්ක කුළුපග වීම, අයස්මන්ත මහත්තයා නං හඳුන්වන්නේ ‘නිමල් අයියා ප්‍රේමයෙන් වෙළීගෙන- වෙළීගෙන යෑමක්’ විදිහටයි!
ඒත් මොකෝ? මට නං ඒකෙන් කරදර වෙලා; හිත රිදිලා තියෙන්නෙ ඉතාම අඩුවෙන්.

2. හොඳ මතකයක් තියා ගැනීම හා අවංකවම අගය කිරීම.   
කවුරු හරි මට පුංචි උදව්වක් හරි කළත් මං ඒක මතක තියා ගන්නවා. (ඔව්, ඔව්- මතක තියා ගන්නවා කියනවටත් වැඩිය නිවැරදියි ‘නිකංම ඒවා මගේ මතකයේ රැඳෙනවා’ කියන එක.
මාව හොඳට අඳුරන අය නං මෙතැනදී කිණ්ඩියට වගේ හිනාවෙයි. ඕන්නං මෙහෙමත් කියයි. ‘අපොයි නිමලෝ, උඹ හරි බෝසතා. බලන්න ඕනි උඹට පොඩි හරි කෙනෙහිල්ලක් කරපුවම මතක තියා ගන්නෙ කොහොමද කියලා.’ ඇත්ත, ඒවත් හොඳින්ම මතක හිටින
පොළොං ගතියකුත්’ මට තියෙනවා. ඒක වෙනම කතාවක්.)
නමුත්, මට කරපු උදව්වකට ප්‍රසිද්ධියේම ස්තුති කරන්නත්; අවංකවම ඒක අගය කරන්නත් මම අමතක කරන්නේ නෑ.

මම හිතන්නේ ගහක් ගලක් ඇඳක් පුටුවක් උපකරණයක් වුණත් පණ ඇති දෙයක් විදිහටයි. එව්වට පවා ‘කෘතවේදී’ විය යුතුයි නේද?

මං එහෙම කරන්නේ එයින් සතුටට පත් වෙන කෙනෙක්, තවත් කෙනෙකුට උදව් කරන්න පෙළඹෙන නිසයි. විවේචනය රාත්තලකට වඩා ප්‍රශංසාව අවුන්සයක් වටිනවය කියන දේ ගොඩ දෙනෙක් එච්චර ගනිච්චියකට ගන්නැහැනෙ. තව එකක්... අද හුඟ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ සාධාරණ විවේචනයක් වුණත් ‘බැණ වැදීමක්’ විදිහට ගණන් ගන්නයි. ඒ නිසා පුංචි පැසසුමක් පවා බොහෝ විට වටිනවා ‘සංවර්ධනාත්මක විවේචනයක’ට වුණත් වැඩියෙන්.

මම හිතන්නේ ගහක් ගලක් ඇඳක් පුටුවක් උපකරණයක් වුණත් පණ ඇති දෙයක් විදිහටයි. මම නං එව්වටත් ස්තුතිවන්ත වෙනවා. එහෙම  ‘කෘතවේදී වීම’ අපි හැමෝගෙම ඇබ්බැහියක් වෙනවා නං...

“මල්ලා, ඔයා අලුත් job එකකට ගිය කිට්ටුවනේ... කොහොමද නිවාඩු ගත්තේ...”
“It was not easy. ඒත් ලොකූ මෙහෙම දවසක් මඟ අරින්න පුළුවනිද? ඔයානෙ අපිට තාත්තෙක් වුණේ; මම ඉපදෙන්නත් අවුරුදු ගාණකට කලින් ඉඳලා.
චූටියත් එනවා දරුවෝ ටික නැත්තං. නැද්ද Sam?”
“Of course D! Loku, අපි ඔයාට කොච්චර සැලකුවත් මදි- ඔයා කරලා තියෙන දේවලුත් එක්ක.”

“හරි හරි. ඒවා තියෙද්දී මට කියනවා තමුසෙල කොච්චර දවස් මෙහෙ ඉන්න බලාගෙනද ආවේ කියලා.”
“අනේ සොරි ලොකූ, මම Monday වැඩට යන්න ඕනි. මගේ ෆ්ලයිට් එක ඉරිදා.” සමන්ති නංගි කිව්වාය.
“මගේ flight එක සඳුදා උදේ.” දීපාලුත්...
“අයි යකඩෝ, තව දවස් දෙකයිනේ ඉතිරි වෙලා තියෙන්නෙ- තමුසෙලා එක්ක කතා කරන්නවත්... ඔච්චර වියදම් කරගෙන ඇවිල්ලත්...”

එයාලා මාව පුදුම කරවන්නට ගියායින් වුණේ, අපට එක්ව ගත කරන්නට තිබුණු කාලය අතිශයින්ම සීමාසහිත වීමයි.

“මේ, අය්යල නංගිලා එකතු වෙලා ඇති පදම් කතා කර ගන්ඩලා පස්සේ. එන්ඩ Sam ඩාන්ස් කරන්න. හිමාගෙන් මටයි බේරිල්ලක් නැත්තේ.”
“ඔව් ඔව්... ප්‍රීතිකා නංගි. කතාව අස්සේම මම බලාගෙන උන්නේ- ඔයාට ගැලවිල්ලක් නැති හැටි.” ඇත්තෙන්ම එදා වැඩියෙන්ම නටන්නට සිද්ද වුණේ අයස්මන්ත මැතිනි ප්‍රීතිකාටයි.

ඒ අතරවාරයේ මහත්වරු විවිධාකාරයෙන් ‘බොනපාට්’ චරිතය රඟන්නට පටන් ගත්හ.
අවුළුපත් තසිම් ගියේ එයාලා අතරට විතරක් නොවේ. ලලනාවන් හා දූ පුතුන් අතරටත්...

“එක අතකට ලජ්ජයි මචං...” සුමිතුරු උදේනි දසනායක මගේ සවනට කොඳුරයි. “... ඇයි බං අපි කවද්ද trip එකක් යද්දී, පාටියක් තියෙද්දී සිංදු නොකියා හිටියෙ. මං ඒත් නෙවිලයගෙන් ඇහුවත් එක්ක කීබෝඩ් එක ගේන්නද කියලා. ඌ OK නොකළ නිසා මාත් නිකං හිටියා මචං... උඹෙන් අහන්නත් බැහැනෙ, පාටිය උඹේ නෙවෙයිනෙ. හඃ හඃ  හඃ!”

කෑමෙන් පස්සේ අපේ කව්රුනුත් හිනා කෑවෝහ. ඒ වීඩියෝව බලද්දීය. එයින් උපුටාගත් foto එකකි...

“අද ගොඩක් රෑ වෙන්නෙත් නැහැල්ලුනෙ උදේනි. හෙට වැඩ දවසක්නේ. ළමයින්ට ඉස්කෝලේ යන්නත් තියෙනවනෙ...”

”පැදුරක් දාමු... පැදුරක් දාමු- අද හෙටම. කාලෙකින් පැදුරක් දාන්නත් බැරි වුණානෙ බං.” උදේනි යෝජනා කරයි. ඒ දවස්වල නම් අපට සංචාර- ප්‍රිය සාද- පැදුරු සාජ්ජ කෙළවරක් නැත.
දැන් ඒවා කෙරෙන්නේ ඉඳහිටය.

ඉන්ධන මිලේ ඉහළ යාමත්, බඩුමුට්ටුවල මිල වැඩිවීමත් එවන් අතිරේක වැඩවලට තිරිංග දමලාය!

“නිමල් ඔයා මොනවා හරි කන්න ගත්තා නං හරි. අතන බෝතල් ඉවර වෙන්න කිට්ටුයි. වෙන ඉෂූ කළොත් over යනවා. පීරා වීඩියෝ එකකුත් හදාගෙන ඇවිත්... හරිශයගේ මල්වෙඩි පත්තු කරන්නත් තියෙනවනෙ...”
“ලොකාට කෑම බෙදාගෙන එන්නං?” ප්‍රියන්තගේ යෝජනාව ඇසුණු පමාවෙන් මානෙල් මගෙන් අහයි.
“නෑ මානි. මම පොඩ්ඩයි කන්නේ...”

“පොඩ්ඩයි? දන්නවනෙ මානෙල් නංගි මුගේ හැටි. නිමලයා ඔය පොඩ්ඩක් කන්න හදන්නේ, පෝලලා හදාගෙන ආව ඩෙසර්ට් ජාති සේරමගෙන්ම කන්න බලාගෙන... යකෝ, තොට පැණි රස එව්වා හොඳ නෑ.” මර්වින් පොලිස්කාරයෙක් වෙන්නට හදයි.
“ඒවට සූදානං වෙලා ආවේ! මේ!!” මගේ උත්තරයත් එක්කම, කමිස සාක්කුවෙන් එළියට වඩින ‘කිරාත තිත්ත (හීන් බිං කොහොඹ) කොළ අහුර’ මර්වින්ගේ ඉවසිල්ල නැත්තටම නැති කරයි.
“ඕවා රෝල් කරලා ගහ ගනිං තොගෙ xx... මූ අපිටත් කුණුහරුප කියවනවා නංගි.”

“කෝ, දිසානායක තා..ම මෙතැනනේ... කෑම බෙදා ගත්තේ නැද්ද? අද ඉක්මනට කනවා, හරිද- පෙරේතකමට අත ගගා ඉන්නැතුව. අපි කට්ටියත් කෑමට එන්නයි හදන්නේ. වීඩියෝ show එක තියෙන්නේ කෑමෙන් පස්සේ... උඩ තට්ටුවේ... ළමායි... ඇටෙන්ෂන් ප්ලීස්...” නෙවිල් සද්දෙන් ආපහු නිවේදනය කරන්නට සූදානම් වෙයි.
“මේ හලෝ චුට්ටක් ඉන්නවා... අද තමුසෙගෙ limit එක පැනල නේද?”

“අ..ද නොබී කොහොමද? සෙරාන් පුතා ඔයාලගේ ගෙදරට යනකල් වාහනේ ගෙනිහිං දෙන්නං කිව්වා. කොච්චර කියනවද- දැන්වත් ඩ්‍රයිවින් පුරුදු වෙනවකො හලෝ.”

කෑමෙන් පස්සේ අපේ කව්රුනුත් හිනා කෑවෝහ. ඒ වීඩියෝව බලද්දීය. එයින් උපුටාගත් foto එකකි; ඉහළින් තියෙන්නේ. (මෙතැනදී නිදහසට යමක් කියා පලක් නැත. නිමල් දිසානායක සුධීමතුන්හට ‘මඩ ගහන්නට’ එවැනි ආයුධ අයස්මන්ත- ප්‍රියන්ත- මර්වින්- නෙවිල් වැන්නවුන් රැසකගේම අත තිබෙයි. වැඩක නිරත වෙන අතරේ බාධාවක් කර මාව අවුස්සා; කේන්ති ගන්වා; ආලවකයා මගේ සිරසටම වැඩම්මවීම ඔවුනගේ ප්‍රියතම විනෝදාංශවලින් එකකි.)

අපි යන්න කලින් කෝපිත් දෙනවා නේද?

වීඩියෝව මදිය කියා හිතලාදෝ කෙටි (මඩ) විවරණයනුත් කිහිපයක්ම කෙරිණි. වැඩි දෙනාගේ ඉල්ලීම මත ‘ඇඹුල්දෙණිය’ හිතවතා ‘මහින්දාගමන සල් උයනේ කතාව’ත් පණ පිහිටුවමින් කීවේය.

අප වෙනුවෙන් සුනිලුත්, දීපාලුත් හිතවතුනට තුති පිදූහ. “ඒ මදි ඒ මදි. නිමල් අයියගෙනුත් කතාවක් ඕනෑ.’යි කියැවිණි. ඉතිං, මගෙනුත් කෙටිම  කෙටි කතාවක්...

ආපහු බිම් මහලට...
“අපි යන්න කලින් කෝපිත් දෙනවා නේද?”
“වතුර උණු වෙනවා... මේ... කෑම ජාති ඔක්කොම වගේ ඉතිරියි. අනේ, ඔයාලා කැමති කැමති දේවල් ඔතා ගන්නකො යනකොට ගෙනියන්න.” රසිකා-බබිතා- මැණිකේ නංගිලාගෙන් පෙරැත්තයකුත්... “නිමල් අයියටත් අපි ඔතන්නං...”

‘කෑම නං එපා මචං. ඔය කොටයක්- බෝතලයක් එහෙම තියෙනව නං දෙන්න කියහං!’ හඬ අඩු ඉල්ලීමකුත් කෙරිණි.

ඊට දෙදිනකට පස්සේ මම ඒ  උපන් දින සාදය ගැන මෙසේ fb සටහනක් ලිව්වෙමි.   

‘වෙනදාටත් වඩා ඉහළින් මේ වතාවේ මගේ උපන් දිනය සැමරුවා.

හැබැයි මම නං හිතාගෙන- වටහාගෙන හිටියෙ ඔය පොඩි මොකක් හරි කෙරෙනවා කියලයි; කසුකුසු පෙනුණාම.

ඉතිං තුන්වෙනිදා හවස හතහමාරට නෙවිල් මාව ප්‍රියන්තලගේ ගෙදරට එක්කරගෙන යද්දී හිතා ගන්නවත් බැරි පිරිසක් එහෙ. හිතවත් මිතුරු මිතුරියන් පනහක් විතර. ඒ අතරේ ලංකාවේ ඉන්න මගේ සොයුරු- සොයුරියන් විතරක් නෙවෙයි, එංගලන්තේ ඉන්න සමන්ති නංගියි- දීපාල් (බඩා) මල්ලායි දෙන්නාත්....

ඇත්තෙන්ම සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටියක්....

එක එක්කෙනා කෑම- බීම- කේක්- අතුරුපස- බයිට් හදාගෙන ඇවිත්... අන්තිමේදී ගෙවල්වලට ගෙනියන්නත් එක්ක... තරම තේරුම් ගත්තෑකිනෙ බයිට්වලටම කුකුළු මස් කිලෝ පහකුත්- ඌරු මස් කිලෝ පහකුත් හදල තිබීමෙන්ම...
මගේ ගණනයට අනුව ලක්ෂ එකහමාර පැනපු වියදමක්... (මං එච්චර වටිනවද
?)

ඇත්තෙන්ම සජීවී උපන් දින සාදයක්! වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම live...!!

ඒ අදහස- යෝජනාව- සැලසුම්- සංවිධානය කව්රු කවුරු කළාද කියල මං තවමත් දන්නෑ. හැබැයි සුපිරියටම තිබුණා.
සාදය අන්තිම වුණේ කෙටි වීඩියෝවක් පෙන්නලා- කෙටි කතා ටිකක් පවත්වලා. සුබ පැතුමකුත් කරලා. බරපතළ ඉල්ලීමකුත් කරලා.

"නිමල්, ඔයා තව අවුරුදු තුනකින් ලෝක වාර්තාව තියන්න ඕනි, මල්ටිපල් මයෙලොමාව හැදුනට පස්සෙත් වැඩිම කාලයක් හිටිය කෙනා වෙලා." ප්‍රියන්ත හිතවතා අයස්මන්තත් එක්ක මුලින්ම ඒ ටාගට් එක මට දුන්නේ නදීකා දහනායක සොයුරියගේ අකල් මරණය දවසෙ; (අවුරුදු දෙකකට කලින්).

ඉතිං, එදා ඉඳලම සුබ පැතූ, තවමත් සුබ පතන අයටත් ස්තුතියි. මං ලියන මේ විස්තර කියවන හැමෝටමත් ස්තුතියි! සෙනෙහසින් හා ආදරයෙන්....

ඊයේ ප්‍රියන්ත කතා කළාමත් මං ඇත්තම කිව්වා. "දැන් නං මට හොඳටම විශ්වාසයි ඒ රෙකෝඩ් එක තියන්න පුළුවන් කියලා."

සාදයට සපැමිණි ඔයාලා හැමෝටම ස්තුතියි! (අන්තිම මොහොත දක්වාම රහසක් විදිහට තියාගන්න ඕනි නිසාත්- ඉඩකඩ ප්‍රශ්නය නිසාත් සාදයට ආරාධනා කරල තිබ්බේ 60 දෙනෙකුට විතරයිලු. එන්න බැරි වෙලා තිබ්බේ 3 දෙනෙකුට විතරයි.)

ඉතිං, එදා ඉඳලම සුබ පැතූ, තවමත් පතන අයටත් ස්තුතියි.
හැමෝටම සෙනෙහසින් හා ආදරයෙන්....’

Post එක හමාර කරන්න කලින් මගේ අතින් වෙච්ච වස වැරැද්දකුත් නිවැරදි කරන්න ඕනි.
fb සටහනේ මං ලිව්වනේ ’ලක්ෂ එකහමාර පැනපු වියදමක්...’ කියලා. එදා සාදයේදී අපේ බොනපාට්ලා පාවිච්චියට ගත්තු මධු විත බෝතල්වල වටිනාකම විතරක් ‘එක් ලක්ෂ තිස් දාහක්’ විතර වුණාලු! ඒවා පාවිච්චියක් නැති මට නං ඔව්වයේ අගයක් නැහැනෙ- කොච්චර මිල වැඩි වුණත්...
ඒත් එහෙම කියැවුණාම නං මට තවත් ආඩම්බර හිතුණා- මගේ අගේ තවත් ඉහළ ගියානේ කියලා෴O෴

Saturday, November 2, 2024

උපන් දිනේ මගෙ ආ හින්දා... - පළමුවෙනි කොටස

“නිමල් අය්යේ, ලලිතුයි පීරිසුයි දෙන්නම මට කියනවා හෙට හවස ලලිත්ලගෙ ගෙදරදී set වෙනවයි කියලා කට්ටියටම කියන්නලු. ඔන්න ඔයාටත් කිව්වා එහෙනං... ඔයත් එනව නේද?” හරිශ් ඇහුවේ පහුගිය ඔක්තෝබර් බදාදා දෙකට විතර. ටෙලිෆෝනයෙන්.

ඔක්තෝබර් 3 වෙනිදා; බ්‍රහස්පතින්දා කට්ටිය set වෙන්න හදන්නේ මට සුබ පතන්නත් එක්ක වෙන්නැති!

(ලලිත් කිව්වේ WAL ප්‍රියන්තට). පිහිනුම් තටාකයක් වගේම, හොඳට ඉඩකඩ තියෙන සාගරයක් වගේ ගෙයක් ප්‍රියන්තට තියෙන්නෙ. (එහෙම බලද්දී අපේ ගෙදර පුංචි හුණ්ඩුවක්.) ඒ වගේමයි- ප්‍රියන්තගේ ප්‍රියම්බිකාව රසිකාත්, කවිජ, වෙනුජ පුතාලා දෙන්නත් බොහොම කැමැතියි අපේ කට්ටිය එහෙ එනවට. ඇවිදින් වාද-විවාද කරනවට; එකේක්කෙනාට card ගහගන්නවට; රසකතා වගුරනවට!

ඒත් අපේ යක්ෂ පැටවු ටික වැඩිය කැමති අපේ ගෙදරදීම සෙටමෝල් වෙන්නයි. රහස මොකක්ද දන්නවද?

අපේ ගෙදර ඉන්නේ මම විතරනේ... ඒ හින්දා එයාලට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවනි- ඕනිම vocabulary එකක් පාවිච්චි කරමින්. (හැබැයි- මගේ එක කොන්දේසියක් යටතේ. ‘අල්ලපු ගෙවල්වලට නෑහෙන තරමේ ඩෙසිබල් ගණනකට voice එක control කර ගන්න ඕනි! ඒ ගෙවල්වල පොඩි ළමයි ඉන්නවනෙ.’)

“හරි නිමල් අයියේ, ඒක මම බලා ගන්නං.” මාධ්‍ය ප්‍රකාශක හරිශ් උන්නැහේත් ලෝස්-බෝස් නැතුවම පොරොන්දු වෙනවා. (හරියට ඡන්ද කාලෙට අපේ දේශපාලනඥයන් පොරොන්දු වෙනවා වගෙයි.)

‘බලා ගන්න පුළුවන්කම’ තියෙන්නෙ දැඩි තීන්දු ගන්න හැකියාව තියෙන කෙනෙකුටනේ. හරිශ් තමයි මම දැකල තියෙන අහිංසකම මනුස්සයා. ඉතිං කොහෙද ‘බලා ගන්නේ’?
අනික තමයි හරිශ් මධු විතට තියෙන ආදරේ... බෝතලේ දැක්ක ගමන්ම උන්නැහේට හැදෙන්නේ පුදුම තදියමක්. තදියම තිබ්බට එයාට බොන්න බෑ කියලයි මට නං හිතෙන්නේ. රවුම් දෙක තුනක් යනකොටම මිනිහ ‘කඩින් කඩ’ නිඳි!

ගරු ගම්බිර පාර්ලිමේන්තුවේ කතානායකතුමාටවත් මෙල්ල නොවෙන මන්තිරිලා ඕසෙට ඉන්නවනෙ. එව්වා ආදුරුසෙට අරගෙන වගේ අපේ නඩේ අයත් හිටි ගමන් සීමාව පනිනවා...
ඒ බෝතලේ හිස් වේගෙන එන වෙලාවටයි; රෑ දොළහ විතර වෙද්දී- තරුද නිඳන මහ රෑ වෙද්දී...

තව එකක්! දැකල තියෙනවනේ අපේ රටේ උදවිය වාද- විවාද කර ගන්න විදිහ.
හිතන්නේ ගිරිය පුප්පාගෙන (ලබ්බ බහින තරං) සද්දෙට කිව්වාම තමයි ‘අනෙකා තමන්ගේ මතය පිළිගන්නෙ’ කියලා.
දන්නවනෙ, හැම ප්‍රධාන දේශපාලන ධාරාවන්ම නියෝජනය කරන නියෝජිතයන්
අපේ කට්ටියේ ඉන්න විත්තිය. ඉතිං මේ ටිකේම; (ඡන්දේ ඉවර වෙනතුරු) අපේ කට්ටියට, අපේ ගෙදරදී set වෙන්න ඉඩක් දෙන්නැතුවයි මං ඉන්නේ...
ඒ අතරවාරෙයි මේ set වෙන යෝජනාව ආවේ!

ඔක්තෝබර් දෙවෙනිදා කියන්නේ බදාදාවක්. හරිශ් කියන විදිහට- 3 වෙනිදා; බ්‍රහස්පතින්දා තමයි කට්ටිය ප්‍රියන්තල ගෙදරදී සෙට් වෙන්න හදන්නේ. හැබැයි හරිශ්ගෙ tone එකෙන් (හිර කරගත්තු) හිනා ගතියක් කාන්දු වෙනවා.
මටත් හීන් හිනාවක් ගියා. ‘හරි, මාත් එන්නං... කවුද එන්නේ?’ හීං හිනාව වසං කරගෙන මං ඇහුවා.

foto එකෙන් පෙනෙන විදිහට පාක්ෂිකයන් ඔක්කොමල ඉන්නේ බුකවගෙන- නැත්තං හයින්-හාමතේ පණ කඳුළක් නැතුව වාගේ...

“අපේ කට්ටිය තමයි. එහෙනං නිමල් අයියේ- හෙට හතාමාරට...”

සාමාන්‍යයෙන් අනෙක් අයට නොපෙනෙන සමහර දේවල් පවා මට මීටර් වෙන වෙලාවල් තියෙනවා. මේ
පේළි දෙක-තුනට උඩින් දාලා තියෙන foto එක පේනව නේද? ඒ foto එකෙන් පෙනෙන විදිහට පාක්ෂිකයන් ඔක්කොමල ඉන්නේ බුකවගෙන- නැත්තං හයින්-හාමතේ පණ කඳුළක් නැතුව වාගේ. ඇයි ඒ කාගෙවත් මුහුණේ සතුටක් නැත්තේ... හිනා පොදක් නැත්තේ.
එයාල ඒ අවස්ථාවට සහභාගි වෙලා තියෙන්නෙ නෑවිදින් බැරි නිසාද? ඇපයෙන් ගැලවෙන්න වගේද?

එදාත් මට යමක් මීටර් වුණා... නුහුරක් දැනුණා!

වෙනදට හරිශ් මට වෙලාවක් කියන්නේ නෑ!
අපේ set එක රාශිභූත වෙන්නේ සිකුරාදාවක හරි සෙනසුරාදාවකයි!!
විශේෂ හේතුවක් ඇතිවයි- සතියේ දවසක රැස් වුණොත් රැස් වෙන්නේ!!
ඔක්තෝබර් 3 වෙනිදා; බ්‍රහස්පතින්දා කට්ටිය set වෙන්න හදන්නේ මට සුබ පතන්නත් එක්ක වෙන්නැති!

ඇයි, මගේ උපන් දිනේ ඔක්තෝබර් 3 වෙනිදනෙ.

ඒක ලේසියෙන් පිරිමි කෙනෙකුට අමතක වෙන්නේ නැති දවසක්.
සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ ලාල් හේවාපතිරණ මහතාගේ යෝජනාවකට අනුව ඔක්තෝබර් 3 ‘ලෝක
අමද්‍යප දිනය’ ලෙසින් 1981 දී සම්මත වුණාට පස්සෙයි, ඒ.
‘නිමල් අයියා බොන්නෙ නැතුව මදිවට මිනිහගෙ උපන් දිනේ දවසට අපිටත් බොන්න නැති කෙරෙව්වා මිනිහගෙ ගුරුන්නාන්සේට කියලා. එදාට බාර් වහනවනෙ.’ පදනමක් නැතත් එහෙම චෝදනාවකුත් තාම ඉඳහිට කියවෙනවා.

ඉතිං, ඔය කාරණය නිසා මගේ ජන්ම දිනය ‘බොනපාට්’ හිතවතුන්ට අමතක වෙන්නෙම නෑ!

හිතවත් කරුණාරත්න අමරසිංහ සූරීන්ගේ උපන් දිනය නිමිත්තෙන් එතුමා අපූරු සටහනක් fb එකට ලියා තිබුණා. මෙන්න එහි මුලින් හා අගින් කවි තුනක් උපුටා ගන්නවා; ඒවා තරයේම මගේ සිත් ගත් නිසා. (බෙහෙවින්ම ස්තුතියි කරුණාරත්න මහතාණෙනි!)

'නොනමින් උපන් මම
නිමැවුමකි අන්
හැමගෙම
එබැවින්
නිසැකවම
නම මිසක මට උරුම අන් කිම
?

නිම නොම වන ලෙසම
ලොකු නොකර ගනිමින "මම"
මනු ලොව
අසමසම
හැම සමග විසුමය පරම රම!

අපි හැම දෙනම සඟවා ගෙන සිටිමු "මම"
එබැවින් නොම දකිමු කවුදැයි සැබවි "මම"
හෙළි කළ කල පමණි ඒ බොරු නොවන "මම"
සැබවිම රුවින් දැකියැකි අපෙ නියම "මම"'

සත්තක ඇත්තනේ!
අපි කවුරු කවුරුත් අපේ හැබෑ රූපේ අනිත් අයගෙන් වසං කරගෙන නේද ඉන්නේ... මම නම් එහෙමයි. ඒත් දැන් ඒ ගතිය ගොඩක් අඩුයි. ඉස්සර නං ඉතිං...

ඒ අස්සේ අපේ මල්ලිලාගේ නංගිලාගේ දූපුතුන් මව්පිය පදවි ලබන්නත් පටන් ගත්තා. (අනිල් මල්ලීගේ බාලම දියණිය සචිනි දෙපුතුන් සමඟ...)

ඒ දවස්වල මගේ උපන් දිනය හිතවතුන් දැන ගන්නවට මං එච්චර කැමැත්තෙන් නෙවෙයි උන්නේ. ඇත්තම කිව්වොත් මට ඕනි වෙලා තිබ්බේ සදාකාලිකවම යව්වනයේ ඉන්නයි; වර්ණ- බල දශක දෙකේම රැඳිලා ඉන්නයි. ඒත් ප්‍රඥා දශකයෙදී නිමල් දිසානායකට තේරුම් යන්න ගත්තා හෙමි-හෙමින් වුණත් ‘තමන් වහන්සෙත් වියපත් වෙන විත්තිය.

ඒ හින්දමයි ඒකා ‘හායන දශකය මැදදී’; 55න් යන්න ටාගට් කරගෙන හිටියෙත්. හැබැයි මගේ දෛවය ඒ ‘ටාගට් එක’ පයිසෙකටවත් මායිම් කළේ නෑ. Bonus එකක් දුන්නා... නිකංම නෙවෙයි- වැරදි බෝනස් එකකුත් එක්ක.

ඒ අස්සේ අපේ මල්ලිලාගේ නංගිලාගේ දූපුතුන් මව්පිය පදවි ලබන්නත් පටන් ගත්තා. මුනුබුරු-මිනිබිරියන් බහ තෝරනකොට මම නිකංම කොකු සීයා වෙලා ඊට පස්සේ ‘ලොකු සීයා’ වෙච්චි.
පිළිකා ඉස්පිරිතාලේ වාට්ටුවක නේවාසිකව හිටිද්දී හයයි-හතරේ (ඇමේසන් යෝධියෙකු) වගේ
මිසී කෙනෙකුත් මට ‘සීයේ’ කියපි. එදා තමයි වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මගේ ‘මන් බිඳුණේ’. ඊට පස්සේ මම වයස හංගන්න try කළේ නෑ.
හැබැයි ඉතිං, මම ඒක පත්තරේ දදා ඉන්නෙත් නෑ!

අනිත් පුහුදුන් හැමෝම වගේ මමත් කැමැතියි හැම දෙනාගේම ආදරයට ලක් වෙන්න; ගෞරවයට පත් වෙන්න. හැබැයි- විය යුතු පදමට; නිසි පමණට... අතිශයෝක්තියෙන් නෙවෙයි. හොඳේ.

මොකක්දෝ මන්දා වාසනා ගුණයක් නිසා- මගේ උපන් දිනයන් ගොඩක්- ගොඩාරියක් ලොකුවට සැමරුණු ඒවා වුණා. විශේෂයෙන් අර්ධ දසක- දසක සම්පූර්ණ වෙද්දී. අනිත්වාත් නොසලකා හැරිලම නෑ...
ඇත්තටම කිව්වොත් එහෙම සැමරීම් ගැන මට ටිකක් ගිල්ටි; වරදකාරී හැඟීමකුත් දැනුණු වේලාවන් තිබ්බා. මොකද ඒ චාන්සස් අපේ නංගිලා- මල්ලිලටවත් හම්බ වෙලා නෑ!

“ඔයා දන්නවද? දැන් මට තිස්දෙකක්. කිසි දවසක මගේ උපන් දිනේකදි උත්සවයක් අරගෙන නෑ. අඩු තරමින් කේක් එකක් කපලවත් නෑ. අපේ වයිෆගේත් එහෙමයි...” තරුණ දෙදරු පියෙක් ඊයේ පෙරේදාවක මට කිව්වා. “... හැබැයි අපේ දෝණිගෙයි, පුතාගෙයි උපන් දිනවලදී අපි මොනවා හරි කරනවා.” ඒ තාත්තා කිව්වෙ හීන් සංතාපයක් තැවරුණු සතුටු මුසු හඬකින්.
“... අපි ගම්වල හිටිය මිනිස්සුනේ, දැන් කොළඹ කිට්ටුවට ආවට...”

එහෙව් උදවියත් මේ කොදෙව්වේ සිටිති... ඒ අතරේ අපි...

කොහොමෙන් හරි ඔක්තෝබර් තුන් වෙනිදටත් එළි වුණයි කියමුකො!

එංගලන්තයේ සිට අරවින්ද ඉන්ද්‍රසිංහ හිතවතාත්... (අරවින්ද කාංචනාත් දෙදරුවනුත් සමඟින් එංගලන්තයේ වෙසෙයි.)

මානෙල් කෝල් එකක් දුන්නා.

“සුබ උපන් දිනයක් ලොකා! අද මොකද කෙරෙන්නේ ඔයාගෙ උපන් දිනේට...”
“තැන්කියු මානෙල්! විශේෂයක් නෑ. හවසට අපේ කට්ටිය set වෙන්න හදනවනෙ- ප්‍රියන්තල ගෙදරදී.”
“ඇත්තද? අපි මේ හෙට උයන්න මස් ටිකක් ගේන්න යන ගමන්. ඔයාටත් කිලෝ දෙකක් ඕනියි කිව්වනෙ... Sam කතා කළාද?”
“තව නෑ මානි! වෙනදා නං මෙලහටත් wish කරලා...”
“තාම නිඳි වෙන්නැති. මට කතා කළොත් මම කියන්නංකො.”

ඇයි සමන්ති නංගිගෙන් කෝල් එකක් ආවෙ නැත්තේ? ඒ ගැන හිතන්නට ඉඩක් නොලැබුණේ ඉන්දිරා- මර්වින්- බබිතා වගේ කීප දෙනෙකුම සුබ පතමින් කතා කළ හින්දයි...
එංගලන්තයේ සිට
අරවින්ද ඉන්ද්‍රසිංහ හිතවතාත් සුබ පැතුවේය. “අරවින්ද, මාත් බලාගෙන ඉන්නේ තව සුමානෙකින් එංගලන්තේ ඉන්න යාළුවෙකුට wish කරන්න- Happy Birthday කියලා.”
“පොර ඔයාගේ බොක්කෙ යාළුවෙක්ද? කවුද ඒ අපතයා- මම දන්න පොරක්ද...”
“කණ්නාඩියක් ඉස්සරහට ගියොත් නං පෙනෙයි!”

අරවින්ද කතා කළා වගේ සෑම්, සුනිල්... ඒ දෙන්නමත් වෙනදට නං මෙලහකට call කරල, අද?

ලජ්ජ නැතිව සුනිල් wish කළාද කියලත් හිතනවනෙ යකඩෝ... මතකද තමුසෙ ලොකු මල්ලියාට සුබ පතපු ලස්සන...
ඇත්තය.
සුනිල්ගේ උපන් දිනය වැටෙන්නේ මගේ උපන් දිනයට සතියකට පෙරාතුවය. සැප්තැම්බර් 26 වෙනිදාටය. මේ වතාවේ මං සුනිල්ට සුබ ප්‍රාර්ථනා කොට තිබ්බේ 26 වෙනිදා නොව 27 වෙනිදා උදේය! මට දවස වැරදිලාය...

දවස් හතර-පහකට වතාවක් නෙවිලුත් මාත් මානෙල්ලගේ ගෙදර යන්නෙමු. එහෙම දවසට ‘ඔයා කීය වෙනකොටද එන්නේ’ කියා හතරට විතර නෙවිල්ගෙන් අහන පුරුද්දක් මට තිබෙයි. එහෙම කරන්නට පටන් ගැනුණේ නිකංමත් නොවේ. අමතක වීම් වගයකට පස්සෙයි.
සැරයක් දෙකක්ම, අප ‘ගමනක් යන්නට යොදාගත් විත්තිය’ අමතක වෙලා නෙවිල් ගෙදරටම ගිහිංය. ඉතිං- මාව එක්කගෙන යන්නම කොට්ටාවේ සිට ආපහු එන්නට උන්නැහේට සිද්ද වුණේය.

අපට වෙනින් ආරාධනයක් තිබුණ දවසකත්, වැඩ අහවර කරන නෙවිල් අපේ ගෙදරට ඇවිත් නා-කියාගෙන ලක-ලෑස්තිවී මාත් කැටුව යයි. ඒත් ‘සිහි කැඳවුම් ඇමතුම’ දෙන්නේ මං වහන්සේමය. එයා නොවේ!

එදා හැබෑ වෙනසක් වුණේය!
හතරට විතර නෙවිල් කතා කළේය. “මම වැඩ ඇරිලා කෙළින්ම ගෙදර ගිහිල්ලයි එන්නේ. Change එකක් දාගෙන හතහමාරට ඔහාට එන්නං ඔයාව අර ගන්න.”

කතන්දර අහල අහලා; කියවල කියවලා; බලල බලලා හින්දා වෙන්නැති... මගේ ඔළුවේ කතන්දරයක් ඇඳීගෙන ඇඳීගෙන ගියේ නිමේෂයකින්. (මං හිතන්නේ කතන්දර ලියන කියන අයට මෙහෙම පරිකල්පනය කිරීමේ හැකියාව වැඩියෙන් තියෙනවා වෙන්නැති.)
පෙනෙනවට වැඩිය දෙයක් තියෙනවා වගේ නේන්නං... මට හිතුණා.

ඔයාලත් දන්නවා නෙව... සැක ඇති තැනට විදුලි කොටන බව?

ඊයේ හරිශ් කතා කරද්දී මොනවා හරි හංගනවා වගේ මට දැනුණේ නිකම්ම වෙන්න බෑ.

අද උදේ මානෙල් මස් ගෙනෙන්න යද්දී මට කතා කළ එක වුණත් අමුතුයි.
Sam කෝල් එකක් නොදුන් එකත් අමුතුයි.
සුනිල් කතා නොකිරීමත් ටිකක්...
ඒ මදිවට නෙවිල්ගේ කෝල් එක...

ප්‍රියන්තල ගෙදරට මානෙල්ලගේ කට්ටියවත් එක්කගෙන එන්නද නෙවිල් හදන්නේ. තව කවුද එතකොට එනව ඇත්තේ? අපේ සෙට් එක (පිරිමි 10-15ක්) ඇරුණාම මානියි- ගාමිණියි- රෝසියි... ඔව්, ඔව්! ඒ තුන්දෙනාත් එනවා ඇති. නෙවිල් එයාලව ප්‍රියන්තලගේ ගෙදරට බස්සවල එයි, මාව ගන්න. කළුවර වැටුණට පස්සේ ගාමිණී ත්‍රී වීලරේ එලවන්නේ නැහැනෙ...

ඈෑෑෑෑෑෑෑෑ
සමන්තිත් ලංකාවට ඇවිල්ලවත්ද... නැත්තං මානිලා විතරක් ප්‍රියන්තල ගෙදරට එයිද?
මං වහන්සේ පූර්වාපර සන්ධි ගළපන්න පටන් ගත්තා.
ඔයාලත් දන්නවා නෙව... සැක ඇති තැනට විදුලි කොටන බව? හිතේ හැටියට අංකොන් අවුස්සලා- පාරලා බලන්න වෙලාවකුත් මට හම්බ වුණා, නෙවිල් එනතුරු.
එහෙම වෙලාව ගත කරද්දී තමයි මං අතිපණ්ඩිත; ඔලමොට්ටල; මරිමෝඩ; ඉහළම ලංසුවේ ගොන් තකතිරුකමක් කළේ. (හිටි ගමන් අපි කාගේ අතිනුත් එහෙම බූරු වැඩ කෙරෙනව නෙව.) ළඟට ගත්තා පෑනක්- කොළ කෑල්ලකුත් එක්ක. ලියන්න පටන් ගත්තා...

දැන් වෙවුලන ඇඟිලිවලින් පෑනක් පැන්සලක් අල්ලලා යමක් ලියනවා කියන එක මට දුක උපදවන්නක්. මම ලියන දේවල් ඒ තරං ලස්සනටයි ලියවෙන්නේ. මටම කියවගන්න බැරි තරං පැහැදිලිවයි.
ඒත් දත කාල-කාලා පුළුවන් තරං වෙර දාල-දාලා හැකිතාක් පැහැදිලිව කරුණු තුනක් ඒ කොළ කෑල්ලේ කුරුටු ගා ගත්තා. ඊළඟට ඒක හතරට නවල සාක්කුවේ දමා ගත්තා.

හරියට හතහමාරට නෙවිල් ආවා. මාවත් වාහනේට නග්ගවා ගත්තා. තලපත්පිටියේ පන්සල පාරෙ ප්‍රියන්තලගෙ ගෙදරට ගියා.

අම්මට සිරි!
එතකොටත් හෙණ ජනම් එකක් එහෙ.

“එන්න එන්න නිමල් අය්යේ...”
“ඔය එන්නෙ අපේ බර්ත්ඩේ බෝයි!”
හෙණ සෙට් එකක්; ඇත්තමයි, මං හීනෙන්වත් හිතුවේ නැති සෙට් එකක්... පවුල් පිටිං ඒකරාශී වෙලා...පනහකට කිට්ටුයි වෙන්නැති. අපේ මානෙල්ලත් එතන.
පාටියක් කිව්වොත්
පිස්සු හැදෙන හිමන්‍යා: රෝසිගේ චූටි දෝණි මගේ ළඟට දුවගෙන ආවා. “ලොකු සීයා, It’s your Birth Day. අපි කේක් කපමු! You know...” කෙල්ලට ඉවසිල්ලක් නෑ වගෙයි- කේක් කපන්න.

“තව චුට්ටකින් හිමා... තාම ලොකු සීයා ෆ්‍රෙන්ඩ්ස්ලට කතා කරනවනේ...”රෝසියි, මානෙලුයි දෙන්නා ඉක්මනට ඉස්සරහට පැනලා හිමන්‍යාව නිස්සද්ද කරවල- වෙනින් පැත්තකට ඇදගෙන ගියා.

“එහෙනං කේක් එක කපමු නේද නිමල් අයියේ?” අයස්මන්ත පීරිස් හිතවතා සිය පවුලම එක්ක එනවා පෙනුණු ගමන්ම යෝජනාවක් ආවා.

ඒක නං මං හිතුවෙම නැති සුමිහිරි ගීතයක් වගේ සර්ප්‍රයිස් එකක්...

‘යං යං නිමල් අයියේ. වැඩිය රෑ වෙන්න කලින් අපිට ගෙවල්වලට යන්නත් තියෙනවා. හෙට උදේ ළමයි ඉස්කෝලේ යවන්නත් එපැයි!’ එයාලා බලෙන්ම වගේ මාව නැඟිට්ටවාගෙන උපන් දින කේක් ගෙඩිය තියෙන තැනට කැන්දාගෙන ගියා. (පස්සෙයි දන්නෙ! එහෙම කැන්දාගෙන ගිහිං තියෙන්නෙ Samව මට නොපෙනෙන්නයි.)

“හායි ලොකූ. Wish you a very happy birth day!” කියාගෙන සමන්ති නංගී සභාව මැද්දේ පෙනී හිටියා. උණුසුම් සිප ගැනීමක්... Hug එකක්...

“කොහොමද අපේ සර්ප්‍රයිස් එක?”
“සර්ප්‍රයිස් එක?”

මං ගෙදරදී ලියල සාක්කුවේ දාගෙන ආව කොළ කෑල්ල නෙවිල්ට දුන්නා. එයා ඒක බලනකොට ප්‍රියන්තත් ඒකට එබුණා.
මෙන්න ඒ තුණ්ඩුවේ කුරුටු ගෑවිලා තිබුණු දේ ඒ ලෙසින්ම. 

‘1. Sam wish නොකිරීම. ලංකාවට ඇවිත්ද?
 2. නෙවිල්  හතහමාරට එන්නේ මානෙල්ලව ප්‍රියන්තල දිහාවට දාලාද?
 3. හෙට උයන්නට මානිලා අද මස් ගේනවද?’

“කොහෙද මචං... උඹල වැඩේ කාලනේ...” ප්‍රියන්ත නෙවිල්ට කියලා මගේ පැත්තට හැරුණා. “ඒ කියන්නේ නිමල්ට සර්ප්‍රයිස් එකක් නෑ?” (අපරාදේ! මං අර කොළ කෑල්ල නොදී ඉන්නයි තිබ්බේ.)
“නෑමයි කියන්නත් බැහැනේ ප්‍රියන්ත. සමන්ති එන්න පුළුවනි කියලා මං ගෙස් කළා විතරයි... ඒකත් ඔය ලියල තියෙන කරුණු තුන නිසා...”
“ආාාාා...” ප්‍රියන්තගේ මූණෙ ලොකු හිනාවක් ඇඳුණේ නිකංම වෙන්න බෑ. මගේ හිත කිව්වා. එතකොටත් ඊළඟ ප්‍රශ්නය... “එච්චරනේ ඔයා guess කෙරුවේ?”

මං ‘එච්චරයි’ කියල කිව්වේ ඇත්තටම.
කව්ද හිතන්නේ තවත් පුදුම කිරීම් ඉතිරිය කියලා.

කවුරු හරි ඊළඟ පියවර දියත් කරන්න කියලා ඉඟියක් දුන්නද මන්දා?

“Many Happy returns of the Day, dear Loku!”
“සුබ උපන් දිනයක් අයියේ!”

ඩෙඟ ඩෙඟ පරි - රඹට කැකිරි කිව්වලු! එච්චර වෙලාවක් මෙයාලා කොහෙද දෙයියනේ වහං වෙලා උන්නේ... තවත් තුන් දෙනෙක් කලඑළියට ආවම මට හිතුණා... සත්තයි- සහතිකයි. ඒක නං මං හිතුවෙම නැති සුමිහිරි ගීතයක් වගේ සර්ප්‍රයිස් එකක්...

ඒ සුබ පතාගෙන ආවේ කව්ද කියලයි, අනෙක් විස්තරයි ඊළඟ කොටසෙන්ම කියන්නං...