අකුරු මැකී නෑ

Friday, September 26, 2025

හතලිහේදී... විසිහතරවෙනි කොටස

ඊළඟ පැය දෙක තුනේ මගේ ප්‍රධාන රාජකාරිය වුණේ අපේ අම්මා සමීපයෙන්ම ගැවසෙන එකය; එයා අමුත්තන් හා කතාවකට මුල පුරනකොටම එතැනට හොම්බ දමන එකය; හැකිතාක් ඉක්මනින්ම අම්මාව නිස්සද්ද කරවන එකය!

ඒක ‘පොකුටු මයිල් ගහක් කෙලින් කරන්නැයි යකෙකුට පැවරුණු රාජකාරිය’ට වඩා අමාරු එකකි! එහෙම කියමිනි, මං වහන්සේ පසුගිය post එක හමාර කළේ.

බිමල් සහ සමන්ති දෙදෙනා එකතුව- දීපාල්ට, නිදිට, අජිත්ට හා අම්මාට වෙඩින් කේක් කවද්දී...

පෙළක් වෙලාවට නං අපේ අම්මාගේ හැඳි මිටේ නුවණ අඩි දෙක-තුනක් විතර දික් වෙයි! එදත් එහෙම වෙච්චි!!

පැයක් විතර යද්දී අම්මාට ‘මගේ පලිහ ඇල්ලීමේ රාජකාරිය හෙවත් මුවා කිරීමේ රාජකාරිය’ ගැන ඉව වැටිණි.

“ඔයා මොකද රංජි, කවදාවත් නැතුව වලිගෙ වගෙ මගේ පස්සෙන්ම කැරකෙන්නේ?” අන්තිමේදී අම්මා කෙලින්ම ඇහුවාය.
“අම්මට පිස්සුද...”
“මට ඇති පිස්සුවක් නෑ. හැබැයි ඔයාල හිතාගෙන ඉන්නේ නං එහෙමයි කියල. මං දැක්කා... මං දැක්කෙ නැහැයි කියලද ඔයා හිතන්නේ... මං ගිහිං බිමල්ලගෙ නෑදෑයෝ එක්ක කතා කරනකොට සමන්තිගේ මූණ නරක් වෙනවා. මගේ ඉංග්‍රීසි හොඳ නැති එකට ඔයාලට ලජ්ජයිද... ඒකද ඔයාත් ඔත්තු බල බලා මගේ පස්සෙන් එන්නේ... එව්වට නං එන්න එපා, පුතේ. මට හිතුණොත් මං ගිහිල්ලා අර මයික් එකක් ඉල්ලගෙන ඔක්කොමලටම ඉන්ග්රීසිවලින් ස්තුති කතාවක් කරලයි පස්ස බලන්නේ.”

ඇත්තම කියන්න එපැයි. අම්මා එහෙම කියද්දී නං මං තක්බීර් වුණා. අපේ අම්මා එහෙව් දෙයක් වුණත් කරන්නට බැරි අම්මණ්ඩියෙක් නොවේ. මට කරන්නට ඉතිරි වී තිබ්බේ ‘සාර්ථකව පසු බැසිල්ල’ය. එහෙම කරලා වැඩි වෙලාවක් යන්නට කලින් ‘නව යුවතිපති යුවල’ මංගල භෝජනය භුක්ති විඳින්නට සැරසෙන බැව් පෙනිණි.

අම්මාගෙන් හා ඩැඩාගෙන් නව යුවලට ආසිරි සුපැතුම් සමඟ...

නැටීමෙන් හෙම්බත් වී උන්නු ගොඩක් දෙනාත් ඒ කෑම පෝලිමට එකතු වෙන හැටි පෙනුණා.

එතකොට අපේ ඩැඩායි මායි හිටියේ අතරමඟින් නවත්තන්න වෙච්ච සංවාදේ ආපහු පටන් අරං. ‘සද්දෙටත් වැඩිය නරක දෙයක් තව ටිකකින් you can see!කියලා ඩැඩා මට කිව්ව කතාවෙ අගමුල දැනගන්නයි මට වැඩියත්ම ඕනි වෙලා තිබ්බේ.

“That is nothing නිමොල්. But for me it’s a really horrible thing. උඹ මීට කලින් ඉන්දියන් වෙඩින් එකකට ගිහිං තියෙනවද? නෑ... එහෙනං අද උඹටම බලා ගන්න පුළුවන් වෙයි. උඹේ අලුත් ඉන්දියන් රිලටිව්ස්ල ඔක්කොම එන්ජෝයි කරන්නෙ food නෙවෙයි. Ghee!” ඩැඩා පැහැදිලි කළේ උපහාසාත්මකවය.
“ගිතෙල්! ඒ වුණාට ඩැඩී, Sam වුණත් cooking කරද්දී වැඩිය ඔයිල් use කරන්නේ නැහැනෙ.”

“එහෙමද? ඒත් නිමොල්- අද මෙහෙ කෑම උයල තියෙන්නේ සෑම් නෙවෙයිනෙ!”

“සැසිල්... අපිත් අරහෙට යමුද, කන්න දෙයක් බෙදා ගන්න... මට නං බඩගිනිත් එක්ක.”
දෙවෙනි වතාවටත් ඩැඩාගේත් මගේත් කතාවට ‘උදැල්ල’ වැටුණේ අපේ අම්මාගෙනි.
“උඹට බඩගිනි වෙන එක පුදුමයක්යැ ලීලා. Samලට වැඩිය අද බිසි වෙලා ඉන්නේ උඹනෙ. එක වැඩක්ද. අමුත්තන්ට කතා කරන්නයි- Dance කරන්නයි... උඹනෙ ඉතිං මෙතන මදර් සුපීරියර්! හඃ හඃ හඃ!!”

රජවරුන් ගොඩ දෙනෙකු රටම කන අතරේ අනේකවිධ කෑමවලිනුත් මොනොවට සංතර්පණය වී තිබෙයි!

“මදර් සුපීරියර් නෙවෙයි සැසිල්, මමයි මෙතන ක්වීන්!” අම්මා කිව්වේ විහිලුවට හෙම නොවේ. ඇත්තටමය...

පව්!
කවර දවසක- කවුරුන්- මේ පූච්ඡානං ‘රැජන කතන්දරේ’ අපේ අම්මාගේ ඔළුවට දැම්මාදැයි අපි නොදත්තෙමු. එහෙත් අප ස්ථිරවම දැනගෙන උන්නේ අම්මා මිය යන තුරුමත් ‘ඒ බොරුව අදහාගෙන සිටි විත්තිය’යි.

එක අතකට අපේ අම්මා වැනි ‘නූගත්’ අංගනාවක එහෙම වීමේ පුදුමයකුත් නැත.
එවන් බොරු වර්ණණා අසන්නට රුචි කරන; ඒවා අදහන; ඒවායින් තමනුත් රැවටී මුලාවේ වැටී සිටින උද්ධච්ඡ උගතුන්- නායකයන් පවා මේ සිරි ලංකාවේ අදත් අඩු නැති බැවිනි!

ඉතිං අපේ අම්මාට තිබුණු ඒ අධිමානය නිසාම එයා කිසි විටෙකත් දෙවෙනි වෙන්නට අකැමැති වූවාය.  “අපි මොකටද පරක්කු වෙන්නේ... යමු, යමු සැසිල්. නැත්තං මම ඔයාට කෑම එකක් බෙදාගෙන එන්නද?”
“මොකද්ද ලීලා උඹට මේ තියෙන හදිස්සිය... Can’t you see. There are plenty of foods! කෑම මදි වෙයි කියල බය වෙන්න එපා.”  

ඇත්තය. ඩැඩා කියන්නේ ඇත්තය.
කෑම මේස පොඩි නැත. යායක් දිගට ඒ මේස විහිදී තියෙයි. ඒ මේස මත දුම් දමමින් තියෙන්නේ පත ආහාර කන්දරාවක් අඩංගු බඳුන්ය; රාජ භෝජනයක් පරදවන තරමේ ආහාර වර්ග රාශියක් එතැන වෙයි.

එතකොටය මතක් වෙන්නේ...
රජවරුන් ගොඩ දෙනෙකු රටම කන අතරේ අනේකවිධ කෑමවලිනුත් මොනොවට සංතර්පණය වී තිබෙන බව. (ඒ ගැන අපූරු සඳහනක් fb පිටුවක තිබිණි.)

‘... බත්වඩන නිළමේ නොහොත් මුලුතැන්ගෙයි ප්‍රධානියා බෙහෙත්ගෙයි මුහන්දිරම්ගේ පණිවුඩයට පසුව රජුගේ දිවා භෝජනය ගැන සැලකිලිමත්ව ඊට සුදුසු නුසුදුසු ආහාර වට්‌ටෝරු සකසයි. බොහෝවිට දෛනිකව උදෑසන හය හෝ ඊට ආසන්න වේලාවක සිට දිවා ආහාරය සැකසීම අරඹයි. බත් වර්ග හතක්‌, මස්‌ මාළු වර්ග තිහක්‌ සහ කොළ එළවළු වර්ග තිහක්‌ ද, කැවිලි වර්ග පනස්‌ පහක්‌ ද, ගිතෙල් වෙඬරු හෝ කිරි ආශ්‍රිත ආහාර ද, ඖෂධීය ශාක වර්ග ඇසුරින් සකසන ලෙය්‍ය වර්ග ද, හීනටි හාල් අතුරුපස ද, කිරි පැණි ද, බුලත් විට ද ඇතුළත්ව රාජ්‍ය දිවා භෝජන වට්‌ටෝරුව සැකසේ.’

කඩේ පුංචිගේ මඟුල් පෝරුව හදල තියෙන්නෙත් ඔයාලගේ තාත්තාලු.

කෑම බෙදා ගන්නට ගියාමය, ඩැඩාගේ පුරෝකථනය කොතරම් ඇත්තදැයි මට පෙනුණේ. එකේක විදිහට හදලා තිබුණු කෑම වර්ග වැඩි හරියක්ම තෙලෙන් ආඪ්‍ය වී තිබෙන බව බැලූ බැල්මටම පෙනෙයි.
ඩැඩා ඇසක් වසා මට ඉඟි කළේ ‘මං කිව්වා හරිනේ’දැයි කියන්නාක් මෙනි.

ගිතෙලින් නහවා; යහමින් කුළුබඩු එකතුකොට සකස් කර තිබූ නමුදු ඒ කෑම ප්‍රනීත බව නං නොකියා බැරිය.
ඩැඩා නම් බෙදා ගත්තේ කුකුළු මස් කැබැල්ලකුත්, සැලඩ් ටිකකුත් වගෙය මට මතක.

මතකය...!
මතකය පහුරු ගාමින්; අවුස්සමින් මේ posts ලියද්දී හැංගිලා තිබුණු අපේ පවුලේ තොරතුරු සමහරකුත් එළියට එයි. ඒවාත් ලියා තියන්නට හිතෙයි. නිමල් දිසානායකයාගේ පවුලේ විස්තර ලියන්නට වෙනින් කවුරුන්වත් නැති බැවිනි ඒ.

අම්මාගේත්, සෝමා පුංචිගෙත් මංගල මල් කලඹවල්වලට පාවිච්චි කර තිබුණු මැඩෝනා ලිලී මල් ගැන වැඩි විස්ත‍ර මට කිව්වේ අනෝමා නංගිය.
‘නොදෙන්න හිටි
රන් පදක්කම’ පෝස්ටුවෙදී කියූ ලෙසින් අපේ තාත්තා උපායශීලී අයිඩියානන්ද කෙනෙකු වූවාට අමතරව දක්ෂ කලාකාරයෙකුත් වුණු විත්තිය මට අවධාරණය වූයේ අනෝමා නංගිගේ හෙළිදරව්වෙනි.

“රංජි අයියා, ලොකු තාත්තා නියම වැඩකාරයෙක් කියලා අපේ අම්මා කිව්වා. අම්මලගේ වෙඩින් බොකේ එක විතරක් නෙවෙයිලු රංජි අයියලගෙ තාත්තා හැදුවේ. ගමේ පිරිත් ගෙයක් තියෙනකොට පිරිත් මණ්ඩපේ හැදුවෙත් එයාලු. මඟුල් ගෙදරක් තියෙනකොට පෝරුව හැදුවෙත් එයාලු. ඔයා දන්නවද? කඩේ පුංචිගේ මඟුල් පෝරුව හදල තියෙන්නෙත් ඔයාලගේ තාත්තාලු.”

එකේක්කෙනාගේ ඔළුවලින් කොණ්ඩ කටු හා net ගලවා එකතු කරගෙන මනාලියගේ කොණ්ඩා මෝස්තරය දමන්නට සිද්ද වුණේ.

(කඩේ පුංචි යැයි කිව්වේ බදුල්ලේ සීයාගේ, මල්ලීගේ දෝණියන්දෑටය. මගේ උපන් වෙලාව අනුව ‘මේ ළමයා කවදාවත් කසාදියක් බැඳ ගන්නේ නෑ’යි කියා තිබෙන්නේත් ජ්‍යොතිෂ්ශාස්ත්‍රඥයෙකු වුණු කඩේ සීයාමය. විනයවර්ධන නිකායේ යාවජීව සාමාජිකයෙකු වුණු එයා මැරෙන තුරුම දවාලට කෙටි නින්දක් දැම්මෙත්- රෑට නිඳා ගත්තේත් කඩය ඇතුළේම තියාගෙන හිටි මිනී පෙට්ටියකය.

මේ කඩේ සීයාගේ ලොකු පුතණ්ඩියා විවාහ වෙන දවසේය; මට කිසිම සූදානමක් නැතිව- එකේක්කෙනාගේ ඔළුවලින් කොණ්ඩ කටු හා net ගලවා එකතු කරගෙන මනාලියගේ කොණ්ඩා මෝස්තරය දමන්නට සිද්ද වුණේ.)   

“ඔව් රංජි පුතා! කඩේ නංගිගේ පෝරුව හරිම ලස්සනයි. බදුල්ලේ ඒ වගෙ පෝරුවක් අපි නං දැකල තිබ්බේ නෑ පුතා. මඟුල් ගෙදරට ආව මිනිස්සුන්ගේ ඇස්වහ වැදිලද කොහෙද ගුණපාල අයියට සහලවල උණ ගත්තයි කියමුකෝ. ඒ සන්දියේ කඩේ බාප්පා තමයි මතුරලා තෙල් සාත්තුවක් කරලා උණ බැස්සුවේ.” සෝමා පුංචිත් අපේ කතාවට සම්මාදම් වුණාය.

”අනෝමා නංගි. මට මතකයි කඩේ පුංචිලගේ ගෙදර එයාලගේ මඟුල් ෆොටෝ එක තවම තියෙනවා. ඔයාට බැරිද ඒකෙන් කොපියක් ගහල එවන්න.”
දවසක් යන්නත් කලින් ෆොටෝ එකේ පිටපතක් මගේ ළඟය!
ස්තුතියි අනෝමා නංගි. ඒත් එක්කම නමීටත් ගොඩක් ස්තුතියි!

නමීට ස්තුති කරන්නේ මේ හිංදාය: එයාගේ වැඩ රාජකාරි දාහක් මැද්දේ- අපේ කඩේ පුංචිලගේ මංගල ඡායාරූපය AI තාක්ෂණයෙන් කලඑළි කර දුන්නේ නමී උන්නැහෙය.

මංගල සාදේ ඉවර වෙලා අපි ගෙදර ආවේ රෑ මැද්දේ. එතකොට 1994 අගෝස්තු පළමු වෙනිදත් වෙලා. හරියට නින්ද ගියාද කියලවත් නොදැන හීනලන්තයේ අතරමංව ඉඳිද්දී... මහ හයියෙන් කවුද දොරට තඩි බාන සද්දේ ඇහුණා.

“ලොකූ!” දීපාල්ගේ සද්දේ...

“ලොකූ... ලොකූ. Call for you!”
නිඳි මරල ඉන්න දවසේ කව්ද යකඩො ටිකක් දවල් වෙනකල් නිඳා ගන්නවත් නොදෙන්නේ...

ඉතිරි හරිය ඊළඟ කොටසින්...

Sunday, September 21, 2025

හතලිහේදී... විසිතුන්වෙනි කොටස

“අනේ ලොකූ. අපේ වෙඩින් fotoස් කාටද ඉම්පොර්ට්න්ට්... අනෙක පරණ එව්වා.”

“ඔයා දන්නවද සෑම්, බ්ලොග් එකෙන් මම ලියන්නේ එක විදිහක ඉතිහාසයක්. ටික කාලෙකට ඉස්සර Hounslow ගෙදර ගැන ලිව්වම Englandවල ඉන්න මහත්තයෙක් ඒ ගෙදර plan එක හොයල මට එවල තිබ්බා. තව කාලයක් යනකොට අපි මැරිල යයි. ඒත් මේ ලියන එව්වා ඊට වැඩි කාලයක් පවතියිනෙ Sam!”

සෑම්- බිමල් විවාහය ලියාපදිංචි කළ දවසේ... (වමේ සිට -සිටගෙන- අම්මා, අජිත්, මා නොහඳුනන තිදෙනෙක්, දීපාල්, අර්ජුන් කුමාර්)

සෑම් කතා නොකළාය. ඉතිං විරාමය බිඳ දමන්නට සිදු වුණෙත් මටමය.

“... ඔයාලා නොදන්නවා වුණත් ලෝකේ වටේම ඉන්න ටික දෙනෙක් හරි දැන් ඔයාලා ගැනත් දන්නවා, සමා. ආච්චිගේ පර්ස් එක අයිති කර ගන්න- ඔයා පොඩි කාලේ මහරගම ආච්චි මැරෙනකල් බලාගෙන හිටිය හැටි වගෙ දේවල් පවා...” මම කීවෙමි.

“හරි ලොකූ. අද off වෙලා ගෙදර ගියාම මං හොයන්නංකො.”
“හෙව්වට මදි සෑම්. හෙට අනිද්දටම මට එව්වා එවන්නත් ඕනි.”

‘ගොඩක් ස්තුතියි සෑම්! ඊයේම ඔයා එවල තිබ්බ මගේ B’day ප්‍රසන්ට් එක උපන් දිනේට ගොඩක් කලින්ම හම්බ වුණා!’ අද උදේ මං සෑම්ට කිව්වා.
ඒ ඡායාරූප ටිකාක් විතර පරණ පාටය. අලුත් තාක්ෂණ ක්‍රමවේදයන් උපයෝගී කරගෙන ඒවාට නව පණක් දෙන හැටි
කොළඹ ගමයා’ blog අඩවියේ රචක- අජිත් ධර්ම සහෘදයා කල් තියාම දන්වා තිබිණි. ස්තුතියි අජිත් මහත්තයෝ!

ඒත් අජිත් වැනි සහෘදයන් නොදන්නා කාරණයකුත් තිබෙයි.
නිමල් දිසානායක ගොබිලා බින්තැන්නේ උපන්නා මදිවාට- එහාටම ඔබින; ආදි කාලයටම ඔබින බයියෙකි. ඒකා කොම්පියුටරයෙන් අකුරු කොටන්නට පුරුදු වුණේත් 2018 නිදිගෙ පංච තන්තරේ ලියන කාරිය කරද්දීය.
Posts අප්ලෝඩ් කරන රාජකාරි- ෆොටෝස් edit කරන රාජකාරි සේරම මුලදි මුලදී කරලා දුන්නේ අපේ අනිල් මල්ලිගේ ලොකු පුත්තරයා අකලංකය. ඒ හාදයාව ඒ රාජකාරිවලින් නිදහස් කරන්නට උවමනා නිසාය, මං ඒ වැඩ එයාගෙන් ඉගෙන ගත්තේ. ඒකත් නොකර බැරි හින්දාය!

මක් කරන්නද? උපන් නැකතේ වැරද්දක්වත්ද මංදා- මට ඒ ජාතියේ වැඩ අරහංය.

ඉතිං... ඔන්න සමන්තිගේ වෙඩින් ෆොටෝස් ළඟට...
පහුගිය කොටසේදී කිව්වා නේද විවාහය ලියාපදිංචියේදී මං වහන්සේත් එක සාක්කිකරුවෙකු වුණු විත්තිය. මේ පෝස්ටුවේ උඩින්ම යොදා තියෙන්නේ ඒ බව කියා පාන ඡායාරූපයයි.

ඡායාරූපයක් කියන්නේ තොරතුරු ගබඩාවකි. යන්තමින්වත් මගේ මතකයේ නොතිබුණු සුවිශේෂ කාරණයකුත් මේ ෆොටෝ එකෙන් කියැවෙයි. 1994 වෙද්දී අපේ අජිත් මල්ලීත් එංගලන්තයට ගිහිං ඉවර බවය ඒ!
(එහෙම ගිහිං තිබුණේ ලොකු මගඩි නාටකයක් නටලාලු. ගිනි කන නීතීඥයන් එහෙමත් ඒ නාට්ටියේ උන්නු විත්තියකුත්- දේශපාලන රැකවරණ පැතූ විත්තියකුත් එහෙන්-මෙහෙන් ආරංචි වුණත් මං ඒවා හාරාවුස්සන්නට ගියේ නැත. අපේ අජිත් මලයා චේතිය රජ්ජුරුවන් වහන්සේව වුණත් අබිබවා යන තරමේ හපනෙකි.
ඒ හාදයා දිගින් දිගටම මට බොරු කියතැයි හෙළි වුණු පසුව එයාගෙන් තොරතුරු නෑසීම මගේ සිරිතයි. එහෙම සිරිත් කවුරුන් නිසා වුවත්- කුමන හේතුවක් නිසා වුවත් වෙනස් නොකිරීම මගේ විදිහය.)

දීපානි, අජිත්, නිදි, බිමල්, සමන්ති, අම්මා සහ දීපාල් විවාහය ලියාපදිංචියෙන් පසු...

තවත් සිහියට නැංවීමක්...

අපේ අම්මා ඒ ප්‍රීතිජනක අවස්ථාවන් දෙකටම සැරසී සිටින්නේ ඔසරිවලිනි. ඒ වෙනුවෙන් අපේ අම්මා ඔසරි දෙකක්ම මසාගත් බව ස්ථිරවම කියා සිටින්නේ ඒ මංගල ඡායාරූපයි.

මංගල්‍යෝත්සවය තිබුණේ ‘කන්ට්‍රි ක්ලබ් සහ විවාහ මංගල්‍ය මධ්‍යස්ථාන’ ශාලාවකය. ‘හතලිහේදී දෙවෙනි කොටස’ට comment එකක් එවූ Ano මහත්මා නිසාය, මේ මංගල ශාලාවේ වැදගත්කම මට ඒත්තු ගියේ. එතුමා එවා තිබුණු කමෙන්ටුවය මේ:
Anonymous. December 6, 2024 at 3:55 PM
Dear Nidi, hope you remember me, I am the person who sent you the plan of your flat in Hounslow. Another bit of trivia- the venue of the wedding C & L Country Club is still there- over the past three decades many Sri Lankan events have been hosted there. It's a very popular event location among British Asians. You can check the venue on Google, there are some pics too online

ඒ පෝස්ටුවේ සෑම්ලාගේ වෙඩින් ඉන්විටේෂන් එකේ ෆොටෝවක් පළකොට තිබිණි. එහි වූ ‘උත්සවය C & L Country Club ශාලාවක පැවැත්වෙතැයි’ යන සඳහන පවා ඒ Ano මහත්මාගේ නොමඳ අවධානය දිනාගත් විත්තියයි- ඉහතින් දැක්වුණු කමෙන්ටුවෙන් මා වටහා ගත්තේ.

එතරම් වැදගත් නැතැයි හැඟෙන එවැනි සුළු කරුණු පවා මේ blog ලිපි කියවන ආදරණීය රසික- රසිකාවියන්ගේ විමංසනාක්ෂියට ලක් වීම මට නම් ගෙන දෙන්නේ ඉමහත් සතුටකි!

‘නිමලෝ, තමුසේ ලියන කාරණා ගැන තවතවත් පරිස්සං වෙනවා. පේනවනෙ, තමුසෙට ඉන්න readersලා කොච්චර සැලකිල්ලෙන් කියවන අයද කියලා.’
හරි හලෝ. ඔයාම දන්නවනේ එහෙම කරන්න මං මහන්සි වෙන තරම... සමහර වෙලාවට වචන තුන-හතරකින් කියන දෙයක් තහවුරු කර ගන්න පැය තුන-හතරක් මහන්සි වෙන හැටි... ඔබිනම වචන තෝර-තෝරා ලියන්න දත කන හැටි.
දන්නවනෙ, මම ඒ පාඩම ඉගෙන
ගත්තේ ගුණදාස අමරසේකර මහත්තයගෙන්ය කියලා!

‘ඒක තමයි කරන්න ඕනිත්. ඔහේ ආවට ගියාට කණාබල්ලන් ගැහිල්ල නෙවෙයි. දැන් කාලේ හුඟක් අතේ රෝල් මීඩියාකාරයෝ කරන්නේ ඒකනේ...’

මඟුල් උත්සවය ජයටම පැවැත්වුණේ හැන්දෑවේය. හත විතර වෙනකොට ශාලාව පිරිලාය. දිලිසෙන ඇඳුම් ආයිත්තම්වලින්, විසිතුරු රූප ලාවන්‍ය සත්කාරවලින් යහමට හැඩ ගැන්වුණු අංගනාවන්ය; එතැන වැඩියෙන්ම එහා-මෙහා පාවෙමින් හිටියේ.

අපේ සෝමා පුංචිගේ කසාදියේ වෙඩින් බොකේ එක...
ඒ පාවෙන සුරඟනන් බඳු අංගනාවන් අතරෙනුත් හැම දෙනාගේම අවධානය දිනා ගත්තේ සුරූපිනියන්ය. දීපානි සුනේත්‍රා දිසානායකත් එසේ වූ සුරූපිනියකි. ඒ නිසාදෝ ඡායාරූප ශිල්පීන් සිය කැමරාවලින් සිර කරගෙන තිබෙන ‘සමන්ති නංගිගේ විවාහ මංගල්‍යයේ අවස්ථා බොහොමයක’ අපේ චූටි නංගියා දීපානිත් සිටින්නීය.

එක්දහස් නවසිය පනස් තුනේ ඔක්තෝබර් විසි දෙවෙනිදා තමනුත් රූබර යොවුන් මනාලියක ලෙස මංගල පෝරු මස්තකාරූඪ වුණු හැටි අපේ අම්මාට ඒ වෙලාවේ මතක් වෙන්නට ඇතුවා නිසැකය...

අපේ ප්‍රචණ්ඩකාරී තාත්තාගේ නොම්මර එකේ මරිමෝඩ අමනකමක් නිසා එක යුගයක අපේ fotos එකක්වත් අපේ පවුලේ කිසිවෙකු සතුව නැත. ඒත් (අපේ තාත්තා විසින් -අපේ අම්මා පෙනී සිටින- ඒ ඡායාරූප සියල්ල විනාශ කරන්නට කලින්) ඒ ඡායාරූප බොහොමයක් දැක ගැනීමේ ඉඩ මට ලැබිණි. ඒ මතකය තවමත් මා සන්තකයේය.

අරහෙම ගිනි දෙවිඳුන්ට පූජා කෙරුණු ෆොටෝස්වල පිටපත් බොහොමයක් නෑ හිත මිතුරන් සතුව තිබියදී ආපසු ඉල්ලාගෙන එකතු කර ගැනිණි. එහෙත් ඒ fotos අතර අම්මලාගේ එකම මංගල ඡායාරූපයක්වත් නැත!

අම්මාගේ මංගල මල් කලඹ... ඒකත් අපේ සෝමා පුංචිගේ කසාදියේ ෆ්ලවර් බොකේ එක වගේම බැව් මගේ දැඩි මතකය තරයේ ප්‍රකාශ කර සිටී!

අපේ තාත්තාගේම මැදිහත් වීමකින්ලු, ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය රියදුරුවරයෙකු වුණු සිරිසේන හපුආරච්චි තරුණ මහතා- රහුබැද්දේ විදානෙලගේ සෝමාවතී තරුණ මෙනෙවිය ආවාහ කර ගත්තේ. ඒ 1954 දෙසැම්බර් 02 වැනිදාය. ඔවුනගේ මඟුල් ෆොටෝ එකය ඉහතින් තිබෙන්නේ.

“කොහොම හරි සෝම පුංචිත් අක්කා වගෙම දික් කලිසංකාරයෙක්ව බැඳගත්තා එහෙනං.” අවුරුදු කිහිපයකට කලින් බදුලු ගිය වෙලාවක මං ඇහුවේ සෝමා පුංචිගෙන්මය. පුංචිත් පුංචි මනමාල හිනාවක් දැම්මා මිස ඒ ප්‍රශ්නයට, ඒ වෙලාවේ හරි-හමන් උත්තරයක් දුන්නේ නැත.

එයා වෙනුවට උත්තර දුන්නේ පුංචිගේ ලොකු දියණිය අනෝමා මානෙල් නංගිය.

බොකේ එක හදල තියෙන්නේ මැඩෝනා මල්වලින්. ඒවට මැඩෝනා ලිලී කියලත් කියනව රංජි අයියේ.

“එහෙනං අයියාාාාා... ඔය දැන් කට වහගෙන සද්ද නොකර හිනා වුණාට රංජි අයියා, ළඟක් වෙනකලුත් අපෙ අම්ම කීවා ‘ඔය දික් කලිසං’ කතාව නං. ආ..ය බොරු කියන්නේ මොකටද? මයිලගස්තැන්න කණුපැලැල්ලේ කිරිවන්තේ උන්දැගේ දූලා දෙන්නලු ඒ අඩවියෙ කෙල්ලන්ගෙන් ඉස්සෙල්ලම දික් කලිසංකාරයන් දෙන්නෙක්ව බැඳ ගත්තේ.”

ඒ වෙලාවේ නං මාත් ඒ කතාවට පොහොර දැම්මා මතකය. “බැඳ ගත්තා නෙවෙයිලු, නංගි. දැලේ දාගෙන බැඳ ගත්තලු! අපේ තාත්තටයි, සිරි බාප්පටයි දෙන්නටම වුණේ ඒකලු. නැත්තං කොළඹ, ගම්පහ දෙකේ වෙන ලස්සන කෙල්ලෝ ඉඳල නැතුවයැ?”

ඊට පස්සේ දවසක අනෝමා නංගිමය ‘සෝමා පුංචිගේ මංගල මල් කලඹේ කතන්දරය’ ඉස්මතු කළේත්.

“රංජි අයියලගෙ තාත්තම තමයි අපේ අම්මලාගේ කසාදියට මල් බොකේ එක හදලා දීල තියෙන්නෙත්. ඒ කාලේ කොහොමට තියෙන්න ඇත්ද අයියේ, ඒ දෙමස්සිනාලගේ යාළුකම?”

“මාරයිනෙ... ඒක නෙවෙයි අනෝමා නංගි, මම ඔයාගෙන් අහගන්නමයි හිටියේ. ඔයා දන්නවද අම්මලාගේ මල් බොකේ එකේ තියෙන මල් ජාතිය. මොකද- මට මතකයි අපේ ගෙවල් පිටිපස්සේ තිබ්බ වැට. ඒ වැට දිගටම රෑ මනමාලි ගසුයි- ඔය මල් ජාතියේ ගසුයි තිබ්බා කියලයි මට මතක.”

“බොකේ එක හදල තියෙන්නේ මැඩෝනා මල්වලින්. ඒවට මැඩෝනා ලිලී කියලත් කියනව රංජි අයියේ. බදුල්ලේ අපේ මහ ගෙවල් පිටිපස්සෙ වැටේ තිබ්බේ ඒ මල් වගෙ වෙන ගස් ජාතියක්. හැබැයි දැන් නං එව්වා තියා මැඩෝනා පඳුරු, රෑ මනමාලි ගස් එහෙම වුණත් මේ පලාත්වල දකින්න අමාරුයි අයියා.”

ඉන්දියානු ක්‍රමේට ඇඳලා උන්නු අපේ චූටි නංගි දීපානිත් ඉන්දීය නිළියක් වගේ ලස්සනට එදා නටපු හැටි තවමත් මගේ ඇස්දෙකේ!

දෛවය පුදුමාකාරය.

එහෙම කසාදිවලින් බැඳුණු ඌව බින්තැන්නේ ඒ අක්ක නඟාල දෙන්නාගේ දරු මුනුබුරන්ගෙන් වැඩි දෙනෙක් දැන් ඉන්නේ දේශ දේශාන්තර රටවල්වලය!
ඒකෙත් හැටි... ඒ එක දියණියකි; එංගලන්තයෙදී මේ විවාහ උත්සවයක් පවත්වන්නේ...

ඉතිං, ඔයාලට හිතා ගන්න ඇහැකි නේද- අර රූබර අංගනාවන් ඇතුළු සෙනඟ කන්දරාවෙන් එදා මංගල්ලය වෙලාවේ නැඟුණු මුණු-මුණු සද්දේ කොහොමට තියෙන්න ඇතිද කියලා... මංගල ශාලාව පුරාම විහිදෙමින්...
ඒ සද්දය යටපත් කරමින් හින්දි ගීතයක් වාදනේ වෙන්න පටන් ගත්තා... අර මුණු-මුණු සද්දය  හෙමින් වියැකෙන අතරේ අමුත්තන් වඩාත් ප්‍රාණවත් වෙනව පෙනුණා...

ඒ එක්කම මෙන්න බොලේ ගැහැනු පිරිමි තරගෙට වගෙ ශාලාව මැදට වැක්කෙරෙන්න ගත්තා. අපරාදෙ කියන්න බෑ. ඉන්දීය උදවියගේ ඇඟේම නැටුම පිහිටලා තියෙනවා වගෙ. හරිම අපූරුයි; මනඃකාන්තයි!

අපේ චූටි නංගි දීපානිත් ඉන්දීය නිළියක් වගෙයි. ඇඳලා හිටියෙත් ඒ ක්‍රමේට. නැටුවේත් ඒ ක්‍රමේට. චූටියා එදා නටපු හැටි තවමත් මගේ ඇස්දෙකේ!

Tu Cheez Badi Hai Mast Mast සද්දේ ඇහෙන්න ගත්තා විතරයි ශාලාව මැද්දේ නටමින් හිටිය කට්ටියට තව තව උදවියත් එකතු වුණේ පිස්සුවෙන් වගෙයි. ඇයි ඒ කියලා මං වහන්සේ එදා පුදුම වුණත් එක්ක. අහන ඕනිම කෙනෙකුට නිකංම නැටවෙන ඒ සිංදුවේ විස්තර අද අන්තර්ජාලයෙන් හොයද්දියි, රහස මට එළිදරව් වුණේ.

අල්කා යාග්නික්, උදිත් නාරායන් ගායනා කරන ඒ අපූරු සිංදුව තිබ්බේ Mohra චිත්‍රපටයේ. අක්ෂේ කුමාර්, සුනිල් ෂෙට්ටි, නස්රුදින් ෂා, රවීනා තන්ඩන් වගෙ ජනප්‍රියම නළු-නිළියන් රඟපාපු ‘මොහ්රා’ තිරගත වෙලා තියෙන්නෙත් 1994 ජුලි මාසේ. එතකොට ඉතිං ඉන්දියානුවන් අතරේ අර වාගෙ උන්මාදයක් ඇති වීම සොබාවිකයි නෙව.

Tu Cheez Badi Hai Mast Mast සද්දේ ඇහෙන්න ගත්තා විතරයි ශාලාව මැද්දේ නටමින් හිටිය කට්ටියට තව තව උදවියත් එකතු වුණේ පිස්සුවෙන්...

එහෙමත් නැත්තං එයාලගේ ජාති මාමකත්වය අවදි වුණාවත්ද?

මට හිතෙන්නේ නං ඊට වඩා බලපාන්න ඇත්තේ ඒ ගීත තනුවේ අඩංගු නැටවෙන තාලය වෙන්න ඇති.

අනිවා එහෙම තමයි!
මං එහෙම කියන්නේ ඒ ගීතයට අනුව dance කරන අතරේ දැක්ක සුවිශේෂ දෙයක් නිසා. ඔන්න හිටි ගමන් තුන් හතර දෙනෙක් එකා පස්සේ එකා කෝච්චියක් වගෙ පෙළ ගැහුණා. පස්සෙන් ඉන්න කෙනා ඉදිරියෙන් ඉන්න කෙනාගේ ඉඟටියෙන් අල්ලගෙන...

ඊළඟට ඒ කෝච්චිය තාලෙට නට-නටා ඉස්සරහට ඇදෙන්න ගත්තා. වටේට නට-නටා උන්නු උදවියත් පුදුම වේගයකින් කෝච්චියට ඈඳුනා. තරුණ- වැඩිහිටි- ගැහැනු- පිරිමි- ළමයි හැමෝම... දිගම දිග කෝච්චියක්. ඇඹරෙමින්; නැවෙමින්; දිග හැරෙමින්; කෙලින් යමින්; වංගු ගනිමින් දුවපු නැටුම් කෝච්චියක්!
සමන්තියි බිමලුයි දෙන්නත් ඒ නැටුම් කෝච්චියේ...

එහෙම ලස්සනක්... එහෙම එකමුතුවක්...

නොකියම බැහැ නෙව.
වෙඩිමට ඇවිත් හිටි අමුත්තන් නටද්දී අපෙ අම්මත් එයාලට එකතු වුණා. Daddaවත් ඇදගෙන. ඩැඩා හින්දි සිංදු දන්න එකක්යැ- එව්වා අහන කෙනෙකුත් නෙවෙයිනෙ. චාරිත්තරේට වගෙ අපෙ අම්මගේ අතින් අල්ලගෙන, චුට්ට වෙලාවක් එහාට- මෙහාට පැද්දි-පැද්දි ඉඳලා එයා හීන් සීරුවේ අයින් ගැහුවා. අයින් ගහල ඇවිත් එයා වාඩි වුණේ මගේ ළඟින්ම තිබ්බ පුටුවකින්.

“Your mum loves පාටීස්. ගොඩක් අය ඉන්න තැන්වල ගැවසෙන එක ලීලා එන්ජෝයි කරනවා. ඒත් නිමොල්, කොෆී ප්ලාස්ක් එකකුයි, සිගරැට් පැකට් එකකුයි ළඟින් තියාගෙන අපේ bed room එකේ ඇඳට වෙලා ඉන්නකොට තියෙන සතුටටයි මම වැඩියෙන් කැමති.” ඩැඩා මුල පිරුවේ දිග කතාවකට වගෙයි.

“මාත් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්න- ගොඩක් නොයිසි තැන්වලට ආස නෑ Dady!”
“මෙහෙත් සද්දේ නම් හොඳටම වැඩියි නේද? සද්දෙටත් වැඩිය නරක දෙයක් තව ටිකකින් you can see!”
“Worse thing... What is that?”

ඩැඩාට උත්තර දෙන්න ඉඩක් ලැබුන්නෑ. Sam අපි ළඟ.

වෙඩිමට ඇවිත් හිටි අමුත්තන් නටද්දී අපෙ අම්මත් එයාලට එකතු වුණා. Daddaවත් ඇදගෙන.

“අනේ please ලොකූ... චුට්ටකට අරහෙට එනවද...” සමන්ති කෙඳිරුවා.

“ඇයි සෑම්?” කියා විමසමින් සමන්ති දිහාවට හැරෙද්දී මට පෙනුණේ එයාගේ මුහුණ බෙරී වී තිබුණු විදිහ.

ඉක්මනින් නැඟිටගත් මම සමන්තිගේ පිටුපසින් වැඩි දෙනෙකු නැති ඉසව්වට ගියෙමි.
“බලන්නකෝ ලොකූ... අම්මා කරන විකාර වැඩේ... ලජ්ජාවේ බෑ ලොකා.” සෑම් දෙනෙත්වල කඳුළු පිසියි.
“මොකද වුණේ සමා?”
“ටික වෙලාවක ඉඳලා අම්මා විනාඩි පහෙන් පහට අපේ ළඟට ඇවිත් ‘තැන්කියු බිමල්, තැන්කියු බිමල්’ කියල කිය-කියා යනවා. එහෙම එන්නේ කවුරු හරි රිලේෂන් කෙනෙක් අපි ළඟට එනකොටමයි. අම්මත් එයාලව බලෙන්ම කතාවට අල්ල ගන්නවා. අල්ලගෙන කියනවා ‘මම මනමාලිගෙ අම්මා විදිහට බිමල්ට කොච්චර thank කළත් මදි නේද මගේ දූව කසාද බැඳ ගත්තට.’ කියලා.”

“ඔන්න ඔහේ කියා ගත්තදෙන් සෑම්! මට හොඳටම ෂුවර් ගොඩ දෙනෙකුට අපේ අම්මා කියන -but is- ඉංග්‍රීසි තේරෙන්නෙත් නැතිව ඇති කියලා.”

“ඉංග්‍රීසි නෙවෙයි ප්‍රශ්නෙ ලොකූ... අම්මා ඒ බහුබූත කතන්දරේ දෙතුන්-පාර කියනවා; එකම අයට. බිමල් කිව්වමයි මටත් මේ පැත්ත හිතුණේ. මිනිස්සු හිතයිලු මාව කසාද බන්දල දෙන්න බැරුව හිටි කෙල්ලෙක්ය කියලා... ඉහ් ඉහ් ඉහ්හි... මං විකුණගන්න බැරුව තිබිච්ච කුණු මාළුවෙක් කියල හිතයිලු. බිමල් මෝඩ වෙලා මේ කසාදෙකට කර ගහලා- මාව බැඳ ගත්තය කියල හිතන්නත් පුළුවනිලු...”

අපේ අම්මා අනුන් හිතන දේ ගැන කරදර වුණු එකියක නොවේ. එයා වැඩියෙන්ම කරදර වුණේ තමන් ගැනය; තමන්ගෙ සුඛ විහරණය ගැනය. ‘Centre of the attraction’ වීම ගැනය; සමාජයේ- ඇසුරු කරන්නන් අතරේ කැපී පෙනීම ගැනය. අනේ පව්! අම්මාගේ ඒ අනුවණ ස්වභාවය ගැන දැනගත් බොහෝ දෙනෙක් ‘ලීලා, ඔයා රැජින වගෙ.’ යැයි කියා අම්මාගෙන් වාසි කඩා ගත්හ!

”දන්නවනෙ Sam! අම්මට ඕනි මොකාව හරි කතාවට ඈඳාගෙන පුරාජේරු කතන්දර කිය-කියා ඉන්න. ඔයා ඒ ගැන හිතන්න එපා සෑම්. මං අම්මව කවර් කරන්නං...”
“අනේ please ලොකූ...”

ඊළඟ පැය දෙක තුනේ මගේ ප්‍රධාන රාජකාරිය වුණේ අපේ අම්මා සමීපයෙන්ම ගැවසෙන එකය; එයා අමුත්තන් හා කතාවකට මුල පුරනකොටම එතැනට හොම්බ දමන එකය; හැකිතාක් ඉක්මනින්ම අම්මාව නිස්සද්ද කරවන එකය!

ඒක ‘පොකුටු මයිල් ගහක් කෙලින් කරන්නැයි යකෙකුට පැවරුණු රාජකාරිය’ට වඩා අමාරු එකකි!

ඉතිරි හරිය ඊළඟ කොටසින්...

Monday, September 15, 2025

හතලිහේදී... විසිදෙවෙනි කොටස

එතැනදී අපේ අම්මා අන්තිම අසාධාරණය. එයා බදු ගෙවීමට කැමති නැත. ඒත් අනුන් ගෙවන බදුවලින් කෙරෙන රජයේ සුබසාධන සහනයන් වැඩි වෙනවාට කැමැතිය.

තවමත් ශ්‍රී ලංකාවේ ගොඩක් දෙනා හිතන්නේ අපේ අම්මා හිතූ විදිහටමය.

ඌව වෙල්ලස්ස බින්තැන්නේ නූගත් ගොවි දෙමාපියන්ගේ දියණියක ලෙස ඉපිද- උපායශීලී දැරියක ලෙස හැදුණු වැඩුණු- අටවත් සමත් නැති නූගත් එකියක වුණු රහුබැද්දේ විදානේලගේ ලීලාවතී එහෙව් පටු චින්තනයකින් යුක්ත වීම පුදුමයක් නොවෙතත්...

හෙළිවී ඇති තොරතුරුවලින් කියැවෙන විදිහට ‘සොච්චම් රුපියල් ලක්ෂ 4,000ක් වටිනා’ එම නිවසේ අයිතිය ප්‍රභාත් රවීන්ද්‍ර නානායක්කාර මහතාගෙනි, ඔවුන් ලබාගෙන ඇත්තේ.

උගත්- ව්‍යාපාරික ඥානයෙන් සමන්විත- සාර්ථක ව්‍යවසායකයනුත් (කට්ට වෙට්ට පිත්තල දේශපාලුවන් වාගේ) එහෙම මෝඩ කල්පනාවල ගැලී සිටීම... මොන තරම් අවාසනාවන්ත අභාග්‍යයක්ද?

බදු නොගෙවා හිටින්නට- එහෙමත් නැත්තං හැකිතාක් අඩුවෙන් බදු ගෙවන්නට එවන් උදවිය කියන බොරු නානාප්‍රකාරය!
සම්බුද්ධ සද්ධර්මය වසර පන්දහසක් කල් නොනැසී ආරක්ෂා වෙතැයි කියන මේ ශ්‍රී ලංකා ධර්ම  ද්වීපයේත් එවන් බොරුකාරයන් බහුල නම් වෙනින් රටවල් ගැන කවර කතාද?

ආසියාවේ මුල්ම පෙළේ ධන කුවේරයන් අතරටත් ගැනෙන හිටපු රාජ්‍ය නායකයෙකු පවා එවන් අසද්ද බොරුකාරයෙකු වීම රටටත් අගෞරවයකි. සිය නිල නිවාසයෙන් නික්මෙන්නට සිදු වුණු විට එතුමා කියා තිබුණේ ‘ඔවුනට රැඳී සිටින්නට තරම් නිවහනක් කොළඹ නොමැති බව’කි. (එක අතකට එය සකලාංග සම්පූර්ණ බොරුවකුත් නොවේ.) ඔවුනට නිවෙසක් තිබෙතත් ඒ මැඳුරේ හිමිකාරිය ලෙස දැක්වෙන්නේ ශිරන්ති රාජපක්ෂ හෙවත් මේරි ලූඩ්ස් වික්‍රමසිංහය.

හෙළිවී ඇති තොරතුරුවලින් කියැවෙන විදිහට ‘සොච්චම් රුපියල් ලක්ෂ 4,000ක් වටිනා’ එම නිවසේ අයිතිය ප්‍රභාත් රවීන්ද්‍ර නානායක්කාර මහතාගෙනි, ඔවුන් ලබාගෙන ඇත්තේ.
(මට නම් ඒ කතන්දරයද ‘හෙණ අන්දොස් තැන්’ වකාරෙට ඇති එකකි.)
කොළඹ
5, ටොරින්ටන් මාවතේ, අංක 260/12 දරන ස්ථානයේ පිහිටි ඒ මන්දිරය ලබා ගන්නට මඟ පාදමින් රාජපක්ෂලාට උදව් කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාය.

මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත මහතා ඒ ගැන තවත් විස්තර ලියා තිබෙන්නේ මෙලෙසිනි.

‘... මෙම නිවස, සිරිලිය ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 350 ක් වැය කර මිලදී ගෙන ඇති බවට, ඉඩමට අදාල ලේඛනවල සඳහන්ව ඇතත්, සත පනහක මුදලක් නිවස හිමි ප්‍රභාත් රවින්ද්‍ර නානායක්කාරට ලබාදී නැත.

එපමණක් නොව,මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ, C.S.N. නෙට්වර්ක් යනුවෙන් මාධ්‍ය ජාලයක්, කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස් ප්‍රයිවට් ලිමිටඩ් හරහා ආරම්භ කළ අතර, එය ලියාපදිංචි කර ඇත්තේ ද මෙම නිවසේ ලිපිනය යොදා ගෙන 2011.05.04 වැනිදාය.

මෙම ආයතනවලට සම්බන්ධව ප්‍රධානීන් ලෙස කටයුතු කළ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ‍ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව සිටි සචින් වාස් ගුණවර්ධන හා අර්ජුන රණතුංගගේ සහෝදරයා වන නිශාන්ත රණතුංග, කාල්ටන් ස්පෝර්ට්ස් ආයතනයට, ඔරික්ස් ලීසින් පිනෑන්ස් සමාගමෙන් රුපියල් කෝටි 5ක ණය මුදලක් ලබාගෙන ඇත්තේද, මෙම නිවසේ ලිපිනය යොදාගෙනය...’

ගෙදර කාට කාටත් නොවැරදීම අලුත් ඇඳුම් හම්බ වුණේ අලුත් අවුරුද්දටය!

මේ විස්තර මෙහෙම නැවත ලියා තියන්නට හිතෙන්නේ නිකංම නිකං නොවේ. අපේ තාත්තා අපට ඉගැන්නූ පාඩම් තවමත් මතකයේ තිබෙන නිසාය. ‘ඇත්ත කියන්නයි, බිම ඉඳ ගන්නයි බය වෙන්න එපා’, ‘අම්මව දෙනවයි කිව්ව නං තාත්තාව ගස් බැඳලා හරි දීපල්ලා’ වගේ සෘජු පාඩම් අපට ඉගැන්නුවේ අපේ තාත්තාය.

ඒ ගැන සිතා බලද්දී- මේ ගොඩක් පුතාලාට ඉඳලා තිබෙන්නේ කොහොම තාත්තලාදැයි තේරුම් ගන්නටය, නිදි තවමත් උත්සාහ ගන්නේ.

තාත්තා අපට පුරුදු පුහුණු කරවූ ‘දෘඩ වීමේ ගුණය’ Samටත් අඩු නැතිවම තියෙයි. ඒ නිසාමය සමන්තිත් බිමලුත් ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වයකට එනතුරු ඔවුන්ගේ විවාහය පමා කළේ. එයාලගේ පෙම් සබඳතාව පටන් ගත් මුල් කාලයේම ඔවුන් ඒ තීරණයට එළඹුණු හැටි ‘හතලිහේදී... හත්වෙනි කොටසෙ’දී ලියැවිණි.

“අනේ ලොකූ, මෙච්චර කල් බලාගෙන ඉඳලා ගන්න වෙඩින් එකේ සේරම වැඩ ටික හොඳටම කෙරෙන්නයි අපි දෙන්නට ඕනි. ඩෘතියි, අර්ජුන් කුමාරුයි, බිමල්ගේ පැත්තේ යාළුවොයි, නෑදෑයනුයි එක එක වැඩ කොටස් බාරගෙන තියෙන්නේ... දීපාලුයි දීපානියි දෙන්නත් එහෙමමයි. අපේ අම්මයි, ඩැඩායි දෙන්නට මං කිව්වා අම්මලාගේ freindsලව පිළිගන්න.
ඒත් ලොකූ ඔයා තමයි ඒ දෙන්නව control කරන්න ඕනි... Dadda නං ඔහේ සද්ද නැතිව බලාගෙන ඉඳියි. අම්මා තමයි ඩැඩාවත් ඇවිස්සුවොත්... අම්මට හැම තිස්සෙම ඕනි centre of the attraction වෙන්නනේ.”

සමන්ති එහෙම දේවල් ගැනත් සිතා තිබ්බේ කල් ඇතිවය.

පසුගිය කොටසේදී කියූ ලෙස- මඟුල් උළෙලට අඳින ඇඳුම් ගැන නං අම්මා හිතුවේ අන්තිම දවස් කිහිපයේය.
මං වහන්සේ දැක තිබෙන විදිහට ඒ කාරණයේදී නං ගොඩාරියක් අංගනාවනුත් අපේ අම්මාත් අතර වෙනසක් නැත. මහන්නට සමතියක් වුණු නිසාදෝ අම්මා හැට්ටයේ වැඩ පටන් ගත්තේ දෙදවසක් තියලය. ඒ සඳහා අත් උදව් දෙන්නට සිද්ද වුණේ විවේකයෙන් හිටි මටය.

“හොඳ වෙලාවට ඔයාට නිවාඩු තිබ්බේ. අනේ රංජි... මේ හැට්ටේ කරයි, වාටියි ඔයා මහල දෙන්න ඕනි. ඒවා මැෂිමේ නෙවෙයිනෙ මහන්නේ.”

හැමදාමත් එහෙමය. අලුත් අවුරුද්දට විතරක් අලුතින් ඇඳුම් මහගන්නට තරම් පොහොසත්කම් අපට තිබුණු දුප්පත් යුගයේදීත්...
අද මතක් වෙනකොටත් පුදුමය! පේව්මන්ට් එකේ රජ වුණු ඒ යුගයේදී- එදා වේල ටුවර්ස් යුගයේදී අපේ ගෙදර කාටත් නොවැරදීම අලුත් ඇඳුම් හම්බ වුණේ අලුත් අවුරුද්දටය.

නවසිය හැත්තෑ ගණන්වලදී එවැනි චීත්ත රෙද්දකින් මැසූ කමිසයක් තවමත් මා හා හිනැහෙයි!

ඒ සේරම මැහුවේ අපේ අම්මාය. කොල්ලන්ගේ කමිස මැහුවේත්, කෙල්ලන්ගේ ගවුම් මැහුවේත් චීත්ත රෙදිවලිනි. (වෙනස් වුණේ රෙද්දේ මෝස්‌තර විතරය. එතකොට සමූපයේ චීත්ත රෙදි යාරයක් රුපියල් දෙකයි සත දොළහක් නැත්තං දෙකයි පනස් හයක් මිල විණි.)

නවසිය හැත්තෑ ගණන්වලදී එවැනි චීත්ත රෙද්දකින් මැසූ කමිසයක් තවමත් මා හා හිනැහෙයි!

ගෙදර කට්ටියට ඒ ඇඳුම් සඳහා රෙදි ගැනීමට වුණත් වියදම් කරන්නට තරම් සල්ලියක් අපට නොතිබිණි. ඒ දවස්වල වෙනදාට වඩා වැඩි වාර ගණනාවක් පේව්මන්ට් එකේ රජ වෙන්නට මේ ලියන්නාට සිද්ද වුණේය; වෙනදාට වඩා අඩුවෙන් මස් මාළු කරවල එළවලු පිසින්නට උදව් වෙලා සෑහීමට පත් වෙන්නට අපේ කුස්සියේ ළිපටත් සිද්ද වුණේය.

ඉතිං, කලාතුරකින් එහෙම ඇඳුම් මහද්දීත් අතේ මැසිය යුතු කොටස් සේරම වාගේ අම්මා පැවරුවේ මටය. අපේ අම්මා එහෙමය.

උකුණන් ලවා ගල් අද්දවන්නට උපන් හපන්කම් තිබුණු අපේ අම්මා ‘බොත්තම් කාස’ මැහිල්ල හා බොත්තම් ඇල්ලිල්ලත් හැමවිටම පාහේ කරවා ගත්තේ මා ලවාය. නංගිලාගේ ගවුම්වල කරවල් මැහිල්ලත්...
(එහෙම කරද්දී නිතරම පාහේ අම්මාගෙන් කියැවුණු වචන දෙකකුත් මට තවම මතකය. ‘කර්ණාකාර පටි!’)

70 දසකයේ දේවල් ගැන එච්චර හොඳ මතකයක් තිබ්බත්, 94 ජුලි මාසයේ තිබුණු Samලාගේ විවාහයේ සිදුවීම්වලින් ඉතා ස්වල්පයකි, මගේ මතකයේ තිබෙන්නේ.

උදේ වරුවක පල්ලියක් වැනි තැනක කෙරුණු විවාහය ලියාපදිංචි කිරීමට අපිත් ගිය විත්තිය මට මතකය. සමන්ති නංගිගේ පැත්තෙන් සාක්ෂියට අත්සන් තැබුවෙත් නිමල් දිසානායකය. (ඒ වෙලාවේ ගත් ෆොටෝ එකක ඒ ගොබ්බයා ‘ලැන්ග්ලිගෙන් ඉල්ලාගෙන ආ සූට් එක’ ඇඳගෙන සිටියි; බෝ එක සමබරව නොදා!!!

-මගේ වාසනාවට ඒ ෆොටෝ සේරම හොඳ තත්ත්වයේ නැත. ඒවා නැවත ගෙන්වා ගැනීමට උත්සාහ කළත් නොහැකි විණි. සමන්ති නංගිට දුක හිතෙන නිසාදෝ එයා එව්වා අවුස්සන්නේ නැති පාටය.)

එදා ආපහු ගෙදර ඇවිත් ඇඳුම් අහවර කරනකොටය මං වහන්සේට දවල් තරු පෙනුණේ!
ලේ පැල්ලම්... අල්පෙනෙත්ති හිසක් තරමේ පුංචි පුංචි ලේ පැල්ලම් සිය ගාණක් කමිස කරේත්- කොලරයේත්...
දෙයි හාමුදුරුවනේ, ලැන්ග්ලිගෙන් ඉල්ලගෙන ආ සුදු අත්දිග කමිසය නේද මේ? කමිසයේ විතරක් නොවේ, බෝ එකෙත් ලේ පැල්ලම්ය!

යව්වන අවදියේ සිටම මට තිබුණු ලෙඩකි ඒ. මගේ ලේ කැටි ගැසෙන්නේ ඉතාමත් මන්දගාමීවය. (මෙය මල්ටිපල් මයෙලොමා පිළිකා රෝගයේ පෙර නිමිත්තක්වත්ද? හිතෙන්නේ දැන්ය.)
කුඩා සීරීමක් වුණත් දවස පුරාම විටින් විට එතැනින් ලේ ගලයි. ඒක මට ‘මහ විශාල කරදරයක්’ වුණේ රැවුල බෑවාමය.

කර දඬු උස් මහත් වුණු යොවුන් දරුවන් පස් දෙනෙකුගේ...

රැවුල කපද්දී මුහුණ නොකැපුණා වුණත්, යාන්තමට සීරුණු තැන්වලින් පවා ඉතා කුඩා ලේ බිංදු මතු වෙයි. ඒවා පිස දැම්මාම හරිය- ආයෙත් මතු නොවෙයි. නමුත් දහදිය දැම්මාම ලේන්සුවකින් මුහුණ පිස දැම්මත්, සමහර දවසක ඒ ලෙඩේ ආයෙමත් මතු වෙයි.

අතිපණ්ඩිත නිමල් දිසානායක මෝල් වහන්සේ ‘ඒ සලකුණ රෝගයක පූර්ව නිමිත්තකැයි’ කිසිසේත් නොහිතුවේය.
ඒකා හිතුවේ එය විටමින් ඌනතාවයකියි කියලාය!

‘විටමින් K තමයි අපේ රුධිරය කැටි ගැහෙන්නට උදව් වෙන්නේ.’ කියලාය නිදි ඉස්කෝලේ යද්දී ඉගෙනගෙන තිබ්බේ. ‘කොළ පලාවල තමයි කේ විටමින් බහුලව තියෙන්නේ’ කියලාත් ඒ පාඩමේදීම කියැවුණු විත්තිය නිදිට හොඳටම මතකය.
ඉතිං අර විදිහට ලේ ගලන දවස්වලට මං කළේ එළුවෙකු කනවාටත් වඩා වැඩි කොළ පලා ප්‍රමාණයක් ගිල දැමිල්ලය.

ගොඩ දවස්වලට ඒ ගොඩ වෙදකම  හරි ගියාත් එක්කය. සමහර දාට විතරය වැරදුණේ. Samලාගේ විවාහ ලියාපදිංචිය කෙරුණු දවසත් එහෙම දවසකි. ඒ බව දැනගත් වෙලාවේ සිටම මං කළේ විනාඩියෙන් විනාඩියට ලේන්සුවෙන් මූණ පිස දැමිල්ලය. එහෙම කෙරුණු අතරතුරේය කමිසයේත් බෝ එකේත් ලේ තැවරිලා තියෙන්නේ.

පැයක් විතර තටමලාය, ඒ පැල්ලම් සෝදා අරින්නට මං වහන්සේට හැකියාව ලැබුණේ!

‘... මගේ වාසනාවට ඒ ෆොටෝ සේරම හොඳ තත්ත්වයේ නැත. ඒවා නැවත ගෙන්වා ගැනීමට උත්සාහ කළත් නොහැකි විණි. සමන්ති නංගිට දුක හිතෙන නිසාදෝ එයා එව්වා අවුස්සන්නේ නැති පාටය...’ යනුවෙන් වාක්‍ය තුනක් මේ post එකේ උඩ හරියේදී ලියැවිණි.
ඒ විත්තිය මතක් වෙනවත් එක්කම
‘අයිඩියානන්ද දිසානායක’ ජානයක් ඉස්මතුවී ආවේ- මේ දැන්ය...

මේ දවස්වල අපේ චූටි නංගි දීපානි හිටු කියලා ලක-ලෑස්ති වෙමින් ඉඳියි. ඒ ලංකාවට ඇවිත් යන්නටය. කර දඬු උස් මහත් වුණු යොවුන් දරුවන් පස් දෙනෙකුගේ අම්මෙකු වෙන චූටියාට එහෙම එන්නට තරම්වත් නිවනක් නැත. පවුලම එනවා නං හත් දෙනෙකු නෙව. ඉතිං සේරම හඳහන් බලලා, මේ අම්මණ්ඩි මේ වතාවේ ලංකාවට එන්නට සැරසෙන්නේ දරුවන් දෙන්නෙකුත් එක්කය.

“ලොකු අයියගේ මේ අවුරුද්දේ බර්ත් ඩේ එකට සර්ප්‍රයිස් එකක් විදිහට ඔයාට නොකියාම එන්නයි අපි මුලදී හිතුවේ. හැබැයි යන එන දවසුත් එක්ක ඔක්කොම දවස් හතරයි, ලොකා- අපට තියෙන්නේ.... රෑ දෙකක් විතරයි අපිට ලංකාවේ ඉන්න වෙන්නේ... කට්ටියම එකතු වෙලා පොඩි අයියලගෙ ගෙදරත් යන්න එපැයි ලොකූ. මතකනේ සමන්තියි දීපාලුයි ඔයාගේ පහුගිය B’day එකට සර්ප්‍රයිස් දෙන්න ගිහිං වෙච්චි පාඩුව!”

සමන්තිලා එංගලන්තයට ගිය දවසේ (වමේ සිට- පිටුපස පෙළ) නිමල්, සුනිල්, අනිල්, අජිත් (මැද පෙළ) අම්මා, සමන්ති, මානෙල් (ඉදිරියෙන්) දීපානි හා දීපාල්

“අපොයි ඔව්! හැංගිමුත්තන් කර-කරනෙ එයාල දවස් ගාණක් උන්නේ. ඔයාලට එහෙම කරන්න කාලෙකුත් නැහැනේ චූටි...”

“ඒක නෙවෙයි, ඔයාට මොනවද මෙහෙන් ගේන්න ඕනි ලොකූ?” චූටි නංගිගේ ප්‍රශ්නය ඇහුණාමය අර ජානය උඩට මතු වුණේ.

මේ posts මාලාව ඔප කරන්නට සමන්තිලාගේ මංගල උළෙලේ fotos ඕනෑ බව මීට කලින් Samට කිව්වත් හොඳ ප්‍රතිචාරයක් නොලැබිණි. මගේ දැනීමට අනුව නම් ඒවා හෙවිල්ල සමන්තිට ගෙනෙන්නේ දුකකි. එහෙම වුණත් ඒ දුක්බර මතකයන් හාරා ඇවිස්සීම ‘භාව විරේචන ප්‍රතිකාරය'කුත් වෙයි. ඒ සියලුම දේ ඔලුවේ තියාගෙනය, මෙතෙක් කාලයකට නොකළ දෙයක් මං වහන්සේ අද දහවල් කළේ; සමන්ති නංගිට call එකක්දී ඉල්ලීමක් කළේ.

(මෙතුවකට, මට මතක හැටියට නං මා කිසිවකුගෙන් තෑගි ඉල්ලා නැත!
එහෙත් ජීවිත කාලය පුරාම කොතෙකුත් ත්‍යාග ලබා ඇත; තවමත් මට තෑගි ලැබෙයි!)

“සෑම්, මේ සැරේ මට ඔයාගෙන් විශේෂ උපන් දින තෑග්ගක් ඕනි.”
“අනේ... කොච්චර එකක්ද. දීපානි අතේ එවන්නං. මොනාද ලොකූ ඕනි.?” Sam ඇහුවේ ඇවිදිල්ල මොහොතකට නවත්වමිනි. (සෑම් උදේ වැඩට යන්නේ පා ගමනිනි. ඒ ව්‍යායාමයකට සේම ලන්ඩන් මැරතන්
තරගයට සහභාගී වීම සඳහා කෙරෙන පෙර පුහුණුවක් සේත් සලකමිනි.)

“දීපානි අතේ එවන්න හිටියොත් පරක්කු වැඩියි සෑම්. අද හෙටම මට මේක ඕනි. බෑ කියන්න නං එපා.”
“හරි ලොකූ, ඉස්සල්ලා ඔයාට මොකක්ද ඕනි කියලා කියල ඉන්නකො...”
“මට ඔයාලගේ වෙඩින් ෆොටෝස්වලින් හොඳ එව්වා ටිකක් ඕනි සෑම්, blog එකට දාන්න. ඒ දවස්වල ඔයා අපිට එව්ව wedding ෆොටෝස් සේරම නරක් වෙලා- මෙහෙ හීට් එකට.”

“අනේ ලොකූ. අපේ වෙඩින් fotoස් කාටද ඉම්පොර්ට්න්ට්... අනෙක පරණ එව්වා.”
“ඔයා දන්නවද සෑම්, බ්ලොග් එකෙන් මම ලියන්නේ එක විදිහක ඉතිහාසයක්. ටික කාලෙකට ඉස්සර Hounslow ගෙදර ගැන ලිව්වම Englandවල ඉන්න මහත්තයෙක් ඒ ගෙදර plan එක මට එවල තිබ්බා. තව කාලයක් යනකොට අපි මැරිල යයි. ඒත් මේ ලියන එව්වා ඊට වැඩි කාලයක් පවතියිනෙ Sam!”

සෑම් කතා නොකළාය. ඉතිං විරාමය බිඳ දමන්නට සිදු වුණෙත් මටමය.
“... ඔයාලා නොදන්නවා වුණත් ලෝකේ වටේම ඉන්න ටික දෙනෙක් හරි දැන් ඔයාලා ගැනත් දන්නවා, සමා. ආච්චිගේ පර්ස් එක
අයිති කර ගන්න- ඔයා පොඩි කාලේ මහරගම ආච්චි මැරෙනකල් බලාගෙන හිටිය හැටි වගෙ දේවල් පවා...”   

ඉතිරි හරිය ඊළඟ කොටසින්...