අකුරු මැකී නෑ

Thursday, April 27, 2023

තිස් එකේදී... -දහතුන්වෙනි කොටස

“තේරුණා නේද? ගොඩක් පරෙස්සම් වෙන්න වෙයි. ඔයාට ගොඩක් හිතවත් කෙනෙක් විදිහට මීට පස්සේ මෙහෙම කිට්ටුවෙන් ඉන්නවත් බැරි වෙන නිසයි, යන්න කලින් මේක කියල යන්න හිතුණේ... ආයෙමත් අපි මීට් වෙන එකක් නෑ! ඔයා...”

“ඈ? ඇයි ඒ?” අශාන්ට බාධා කරමින් මට කියැවුණේ නිරායාසයෙනි.

ඒකයි දැන් අපි වගේ අය හැංගිමුත්තන් නැතිව අපි මෙහෙමයිකියලා එළිපිටම කියන්නේ.

“ඇයි ඒ කියන්න ඉස්සෙල්ලා මේක කියල ඉන්න ඕනි, නිමල්. මේකයි වැදගත්... දැන් මෙහෙ අපි වගේ හෝමෝලා අතරේ...” අශාන් ‘අපි වගේ හෝමෝලා අතරේ’ කියලා කීවේත් ඉතාම සාමාන්‍ය දෙයක් කියන ස්වරයකිනි. මා ඒ බව විශේෂයෙන් අවධාරණය කළේ අවුරුදු 38කට එහා අතීත කාලයකත් අශාන් වැනි forward; ඍජු උදවිය හිටියේ ගොඩක් අඩුවෙන් හින්දාය. එවිට එංගලන්තය වැනි රටකදී පවා සමකාමීන් යනු විකෘතියක් ලෙසිනි, වැඩි දෙනෙකු හඟිමින් හිඳ තිබුණේ.

(Track එකෙන් පිට පැනලා, මේ පෝස්ටු මාලාවේ 12 වෙනි කොටසට පස්සේ පළ කළ ‘තිස් එකේදී - 12ට comment එකක්...’ පෝස්ටුව ඔබ කියවන්නට ඇතැයි සිතමි. එහි comments ටිකත් කියවන්නට ඉඩක් ඔබට ලැබුණාද? නොලැබුණා නම්; නිදහසක් තිබෙයි නම්; අකැමැත්තකුත් නැති නම් කරුණාකර මෙතැන click කර එහාට ගිහිං එන්න!)

“ඔයා දන්නවද නිමල්, දැන් මෙහෙ අපි වගේ හෝමෝලා අතරේ මොකක්දෝ ලෙඩක් පැතිරෙනවලු... මෙහෙ විතරක් නෙවෙයි. ඇමෙරිකාවෙත්...” අශාන් බැරෑරුම්ව කියයි.
“ඉස්සර වගේ නෙවෙයි, දැන් අපි වගේ අය අපේ අයිඩෙන්ටිටි එක හංගගෙන ඉන්නෙ නැහැනෙ. වෙනස් විදිහට හිතන්න බැරි අපේ රෝයි අයිය වගේ මිනිස්සු, අපේ ඒ forwardකමට තරහයි. ඒ මිනිස්සු කියනවා මේ ලෙඩේ homo කමියුනිටි එක විනාශ කරන්න දෙවියන් වහන්සේ එව්ව දඬුවමක් කියලත්...”

“Homo කොමියුනිටි එක?”
“ඔයා මේවා එච්චර දන්නෙ නැති එක ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ නිමල්. මේ රටවල්වල දැන් අපි වගේ අය organize වෙන්න පටන් අරගෙන තියෙන්නේ. එහෙම එකතු වෙලා, අපේ rights වෙනුවෙන් fight කරන්න පටන් අරගෙන තියෙන්නේ... ඒකයි දැන් අපි වගේ අය හැංගිමුත්තන් නැතිව ‘අපි මෙහෙමයි’ කියලා එළිපිටම කියන්නේ.”

එතකොට මට හිතෙන්නට ඇති දේ, අද භාෂාවෙන් නොලියා එදා බසින්ම අකුරු කළොත් මෙහෙමය. ‘එංගලන්තේ ගල්කාරයන් / කොලුකාරයන් සංවිධානය වෙලා අයිතිවාසිකම් ගැනත් හටන් කරනවා? හැංගි හොරා නැතිව එළිපිටම -අපි මෙහෙමයි කියමින් පෙනී ඉන්නවා!’

මගේ සිතැඟි අශාන්ට පෙනිලා වගෙය. “ඔයාට පුදුමද?”

පුදුමයෙන් ඇරී තිබුණු කට වසාගෙන, මං තවත් හුස්මක් ගන්නා විට අශාන්ම කතාව පටන් ගත්තේය. “ඒ හින්දමයි මට හිතුණේ ඔයාට direct කතා කරන්න. එහෙම හෝමෝ ගැන්සියක අර ලෙඩේ තියෙන එකෙක්ට ඔයාව මීට් වුණොත්...”
කැත හිත! කැත හිත කිව්වේ අශාන්ගේ හිත ගැන නොවේ. මගේ හිත ගැනය. ඒ ප්‍රකාශය මගේ සිත තේරුම් ගත් ආකාරය ගැනය.

කුණු ලෙඩ යැයි ගම්මුන් කීවේ සමාජ රෝගවලටය. එතකොට ඒවාට ඉංගිරිසියෙන් කිව්වේ ‘Venereal Disease’...

“ඔයා හිතන්නෙ අශාන්, තව අයගෙන් මාව පරෙස්සං කර ගන්නද?”

දඟ ගතියෙන් ඒක අහලා ඉවර කරන්නටත් කලින් අශාන් ක්ෂණිකව ක්‍රියාත්මක වුණේය.
ඒ යක්ෂයා මගේ අතකින් අල්ලා, එයාගේ ළඟට ඇදගෙන හොඳටම රිදෙන විදිහට මගේ කට මිරිකුවේය. “Bloody බාස්ටර්ඩ්... උඹ කැමති එකෙක් එක්ක කැමති විදිහකට හැමනියං. I don’t want to stop you... මං උඹේ කවුද යකෝ උඹව නවත්තන්න?” අශාන් එහෙම කිව්වෙත් මගේ කට මිරිකාගත් ගමන්මය; ගිනි පිටවෙන දෙනෙතින් මාව දවා අළු කරලන ගමන්මය.

එතකොටත් මගේ ඇස් දෙකෙන් හෝ ගාලා කඳුළු ගලන්නට පටන් අරගෙනය.

ඒ දැඩි හස්තයේ ග්‍රහණයට කිටි-කිටියේ හිරවී තිබුණු මගේ කටෙන් දැනුණු වේදනාවට වැඩි වේදනාවක් මට දැනුණේ- අශාන්ගේ සැහැසි; දයා විරහිත ස්වරූපය නිසාය.
අත අහකට ගත් අශාන් මොහොතක් මගේ මූණට එබීගෙන හිඳ, මාව ඔහුගේ තුරුල්ලට ඇද ගත්තේය; පපුවට තුරුලු කරගෙන, හිස් මුඳුනට මෘදු චුම්බනයක් පිරිනැමුවේය; කොඳුරන කටහඬින් කියවන්නට පටන් ගත්තේය.

“I can’t protect you. Yes, මට එහෙම කරන්න ඕනෙත් නෑ. ඒත් මම උඹට ආදරෙයි, පරයෝ. ඒ ආදරේ හින්දමයි කියන්නේ- ඔයාට නරකක් වෙනවට මං කැමති නෑ... මේ දවස්වල හෝමෝ කට්ටියට පරෙස්සං වෙන්න වෙලා තියෙන්නේ V.D.වලින්... ස්පෙෂලි හෝමෝ අය අතරේ අලුතින් පැතිරෙන ලෙඩෙන්... උඹ ඕවා දන්නෙ නෑ කොල්ලො.”

‘දන්නේ නැතිව හිටියේ’ අශාන්ය!

අපේ පාරේ තිබුණු නිවසකට ‘වේස ගෙදර’ කියලා කියන්නේ ඇයිදැයි කියලාවත් නොතේරෙන සංදියේදීමය, මං ‘කුණු ලෙඩ’ ගැන මුල් වරට ඇසුවේ.
අන්න වේස ගෙදර අම්මණ්ඩිට පිස්සු හැදිලා... හූ තිය-තියා හෙළුවෙන් ගේ වටේ දුවනවා. අර පොන්නයා ගෑනිව අල්ලලා ගැට ගහන්නේවත් නැහැනේ.... මයියොක්කා ආච්චියෙ.... මේ ටිකේ රංජිලව පියදාස මුදලාලිගේ කඩේටවත් යවන්න එපා.....නුගේගොඩ ඇන්ටි අපේ ආච්චිට කිව්වේ මාත්  එතැන හිටි බවක්වත් ගණනකට නොගෙනය. එතකොට මං දැනගෙන හිටි වේසා ගෙදරක් නැත; තේරුමකුත් නැත.

කුණු ලෙඩ යැයි ඒ සංදියේ ගම්මුන් කීවේ ‘සමාජ රෝග’වලටය. එතකොට ඒවාට ඉංගිරිසියෙන් කිව්වේ ‘Venereal Disease’ කියලාය.
ටික කාලයක් යද්දී ඒ ලෙඩ වර්ග ගණනිනුත් වැඩි වුණේය; ඒවාට ගොදුරු වෙන්නන්ගේ සංඛ්‍යාවත් වැඩි වුණේය. ඒවා හැඳින්වෙන ‘නම’ත් මාරු වුණේය. ‘Sexually Transmitted diseases’- ලිංගාශ්‍රිතව වැලඳෙන රෝග!

අප සිටි ඉරියව්ව, හිටි හැටියේම අශාන්ට පසක් වුණා වෙන්නට ඇති. මාව පසෙකට කළ ඒ හාදයා...

තජකය මඟින් ‘ජනගහන සැලසුම්’ වැඩ සටහන්වලට සම්පත් දායකයෙකු ලෙස සහභාගී වෙන අවදියේ ‘සමාජ රෝග’ ගැනත් දේශන පැවැත්වීමට මේ ලියන්නාට සිදු විණි. ඒ අවදියෙදී ‘ලිංගාශ්‍රිත රෝග පැතිරීමේ වේගය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ පළමුවෙනි ස්ථානය’ දිනාගෙන තිබිණි!        

එසේ දේශන පැවැත්වීමට කලින්, දේශන පවත්වන්නන් ලෙස අපව ඒ සඳහා විශේෂ අධ්‍යාපනික වැඩ සටහන් රැසකටම සහභාගී කරවන ලදී. ‘අපව’ කිව්වේ අනුර ජිනදාස, අසෝක කපුරුගේ හා නිදිය. (අනුරත් දැන් blog රචකයෙකි.) ඒ වැඩ සටහන් කිහිපයක සම්බන්ධීකාරක වශයෙන් මට කොළඹ මහ රෝහලේ සුප්‍රසිද්ධ 33 කාමරයට ගොස් ‘xxxx ප්‍රනාන්දු’ මහත්මා හමුවීමටත් සිද්ද වුණේය.

එලෙස ගිය මුල්ම දිනයේ එක-එක්කෙනාගෙන් ‘33 කාමරයට යන පාර’ අහද්දී රෝහල් සේවකයන්ගෙන් පවා ලද නිගරු බැල්මවල් මට තවම මතකය!

ඉතිං, අශාන් ඒ විෂය / සමාජ රෝග විෂය සම්බන්ධයෙන් මගේ දැනුවත්කම ගැන දැනගෙන හිටියේ නැත. මං ඒ හාදයාට ඒවා ගැන පම්පෝරි කියන්නට ගියෙත් නැත. වැඩියෙන් අහගෙන හිටීමෙන් වැඩියෙන් දැනුවත් වෙන්න ඇහැකියි නෙව. ඉතිං මං කළේ, විමසිලිමත් බැල්මෙන් යුතුව ඒ දෙනෙත දිහා බලාගෙන ඉඳීම විතරය.

අප සිටි ඉරියව්ව, හිටි හැටියේම අශාන්ට පසක් වුණා වෙන්නට ඇති. මාව පසෙකට කළ ඒ හාදයා එහාට-මෙහාට සක්මන් කරන අතරේය, ඊට පස්සේ කතා කළේ.

“දැන් ගොඩක් අය පිස්සුවෙන් ඉන්නේ. මරණ බය නිසා වෙන්නත් පුළුවන්... ඉස්සර කොන්ඩම්ස් පාවිච්චි කරපු සමහර අයත් දැන් ඒවා අතෑරලා. සමහරු එහෙම කරන්නේ තරහෙන්- මරාගෙන මැරෙන්න වගේ... මට බය තමුසෙ ඒ වගේ gang එකකට set වුණොත් නං... ඒකයි මං ඔයාට අනතුරු අඟවලා තියන්න හිතුවේ. Selfishකමකට නෙවෙයි.”

අදටත් මට  දුකය!
ඒ තරම් කෙනෙක්... ආත්මාර්ථකාමීත්වයෙන් තොරව, හුදු සෙනෙහස නිසාම මට ‘අවවාද කරන්නට සිතූ කෙනෙක්’...

අශාන් හැරුණු විට එවන් අයෙකු ලෙස මට හමු වී තිබුණේ දීඝායු පමණකි. ඒ 1968 වසරේදීය. එකල නිදිගේ ජීවිතයට අහම්බෙන් සපැමිණි දීඝායු, ඔහුට නිරපරාදේ ලිංගික අපවාද චෝදනා නැඟෙද්දීත් රණවකගෙන් මා රැක ගන්නට සැදී-පැහැදී කැප වී උන්නේය.

මෙයා මගේ. කවුරුවත් මෙයාට කිට්ටු වෙන්න එපා!

වසර ගණනාවක් පැවතුණු අපේ මිතුරුදම ලිංගික සබඳකමක් නොවිණි; එකම වතාවක් කැලණිවැලි මාර්ගයේ; පුංචි කෝච්චි පෙට්ටියකදී කෙරුණු දිගු French Kiss හුවමාරුවක් හැරුණු විට... (අදටත් මට ඒ සොඳුරු සිප ගැනීමේ අරුත වටහාගත නොහැකිය. ඒත් දීඝායු එසේ කළේ රහසින් නොවේ. එඩිතරව අනෙක් පාසල් සගයන් ඉදිරිපිටදී; ඔවුනටත් කීමෙන් අනතුරුවය... ඒ එඩිතර වීම ගැන ‘දාහතර වෙද්දී... -දහවෙනි කොටස’ ලියද්දී මම සඳහන් කළෙමි.)

‘... එදාත් කැලණිවැලි කෝච්චිය ගියේ ඉබි ගමනිනි. කෝච්චි පෙට්ටියේ හිටියේ අප තුන්-හතර දෙනා විතරය.

ඔන්න නුගේගොඩ පහු විණි. උඩහමුල්ල ආවේය; එතැනින් පිටත් වුණු වහාම වගෙය...

මට නිමල්ව kiss කරන්න තියෙනවා.... මචංලා බලන්නෙපා!
දීඝායු මිතුරන්ට කිව්වේ කිසිම ඇකිළීමක්- පැකිළීමක් නැතිවය.
මට කිසිවක් හිතා ගන්නට ඉඩ ලැබුණේ නැත
; දීඝායු මගෙන් කිසිවක් ඇහුවෙත් නැත. මගේ ඉදිරියෙන් හිටගෙන, මා වෙතට නැඹුරුවී, දෝතින්ම මගේ මුහුණ අල්ලාගෙන, මුහුණට පහත් වුණේය....’

(ඒත්, ඊට පසුව එහෙම දෙයක් කවරදාවත් නොවුණු ගණනටය- දීඝායු මගෙන් ඈත්වී යනතුරු අවුරුදු ගණනාවක්ම හිටියේ; අපමණවත් ‘අවසර කල් රහස් තැන්’ ලැබෙද්දීත්!)

චුට්ටක් ඉන්න.
මෙතෙක් තිබුණු තිමිර දුරු කරන එළියක්....

ඒ වචන ටික කොම්පියුටරයෙන් අකුරු කරන අතරේ- පළමුවෙනි වතාවට මගේ කල්පනාව වෙනත් මානයකට පිවිසුණේය.
එසේ මිතුරන් ඉදිරියේ මා සිප ගැනීමෙන් දීඝායු කළේ ‘මට හණ ගැසීමක් නේද?’;
‘මෙයා මගේ. කවුරුවත් මෙයාට කිට්ටු වෙන්න එපා’ යැයි ඔහුගේ මිතුරු කැළට නොකියා කීමක් නේද? ඔහු එසේ සිතුවේදැයි මම නොදනිමි. නමුදු සිද්ද වුණේ නං ඒ ටිකය. (ඒ කිසි මිතුරෙක් ඉන්පසු මට සමීප නොවූහ; සමීප වෙන්නට උත්සාහයක්වත් නොදැරූහ!) අනේ, මෙතුවක් කල් මට මෙහෙම කල්පනාවක් ආවේ නැති හැටි!

දීඝායු මෙන්ම අශානුත් මගේ ජීවිතයට පිවිසුණේ ‘අවසන් සුසුම් පොද තෙක්ම ඔවුනගේ ආදරණීය මතකයන් මහද ගැබ තුළ රඳවා තබා යන්නට’ය. දීඝායු නම් මුල්ම හමු වීමෙන් පසුවත් වසර කිහිපයක් යනතුරු මට හමු විණි. එහෙත් අශාන් එසේ නොවීය. අපේ හමුවීම් සංඛ්‍යාව දස වතාවකටත් වඩා අඩුය.

එදාත් අශාන් පැමිණ තිබුණේ මට සමු දෙන්නට එක්කය!
“අපි ලබන සතියේ ඕස්ට්‍රේලියාවට යනවා...” ඔහු කිව්වේ සංකාබර හඩකිනි.

අපි යන්නේ tour එකකට නෙවෙයි, කොල්ලො...

“කී දවසකටද අශාන්? ඔයයි කයිසරුයි නේද යන්නෙ...” මගේ කටහඬේ තීව්‍රතාවත් අඩු වෙලා වගෙය, මට දැනෙන්නේ.

“ඕස්ට්‍රේලියාවේම සෙට්ල් down වෙන්නයි අපි යන්නේ... Tour එකකට නෙවෙයි, කොල්ලො!”
“හදිසියේ..”
“ටික දවසකට කලින් apply කරලා තිබ්බේ. Chance එක ලැබුණා...”

අශාන්ට අනුව ඒ අවසර ලැබීම ඔහුට ලැබුණු වරමකි. “It's for good! අපි දෙන්න එහෙම හරි ඈත් වෙන එක හොඳයි. එහාට ගිහිල්ල තමයි මම ඔයාව ආයෙ contact කර ගන්නේ...” අශාන් කිව්වේය. “Be careful. මම කියපු දේවල් මතක තියා ගනිං.”

ඒ හමුවීම  හා වෙන්වීම අදටත් මට අදහාගත නොහැක්කකි; ඒවා ප්‍රබන්ධයක් බඳුය. සිහිනයෙන් ගෑ සුවඳක් සේ එය වරින්- වර මතකයෙන් මතුව එයි; සුවඳ සුඟක් විහිදුවා යළි අතුරුදහන්ව යයි.

එදා Hounslowහි ගෙදරට මා ඇරලවා අශාන් නික්ම ගියේ, මට ටෙලිෆෝන් කරන බව කියමිනි. එවන් ඇමතුමක් ආවාද- නැද්ද කියන්නට අදටත් මම නොදනිමි.
‘හොඳ වැඩේ! දැන් තේරෙනවද හොංකොංවල ජෝලට කොහොමද හිතෙන්න ඇත්තේ කියලා?’ මම මටම වැරැද්ද පවරා ගන්නෙමි. ‘උඹත්
ඔය වගෙමනෙ ඒ හාදයන්ට සැලකුවේ.’

ඊට මාස කිහිපයකට පසු අශාන් පිළිබඳ මතකය සිය-දහස් ගුණයකින් වැඩිවී මතු වුණේය!
එහෙත් ඒ ගැන කියන්නට කලින්, නිදිගෙ පංච තන්තරේ කියවන ආදරණීය රසික-රසිකාවියනට තව බොහෝ දේ කියන්නට ඉතිරිව තිබේ.

එසේ කියන්නට තිබෙන ආසන්නම තොරතුර (මගේ දිනපොතේ) ලියැවී තිබෙන්නේ 1985 මැයි 28වෙනි අඟහරුවාදාය. ග්‍රාම්‍ය බසකින් ලියැවී තිබෙන ඒ කොටස මෙහෙමය: ‘දැන් මෙහෙ ගෑනියෙක්ව බඳින කෙනෙකුට මෙහෙම ඉඳිතෑකි. පනත සම්මත වුණේ අද.’
ඒකාන්ත වශයෙන්ම ඒ news එක මා අහුලා ගන්නට ඇත්තේ එදා පත්තරයකින් වෙන්නට ඇති.

එංගලන්තයේදී අපේ ගෙදරට ඉංග්‍රීසි පත්තර මිලදී ගෙනාවේ නැතිය! ඒත් හැමදාම වගේ පත්තරයක් දෙකක් ගෙදරටම ආවේය. සමහර දවසකදී එකම පත්තරයෙන් පිටපත් දෙකක් පවා... ඒවා ගෙනාවේ අපේ ඩැඩා හරි අපේ අම්මා හරිය. ඒ දෙන්නාත් ඒවා ගෙනාවේ සල්ලි වියදම් කරලා නෙවේ.

දැන් කොළ එළියක් ලැබී තිබෙයි. (ගිය සතියේ- අම්මා, සමන්ති, දීපාල්, දීපානි- සමන්තිගේ දෙපුතුන් ඩ්රූ හා පවන් සමඟ)

දැන් නං තත්ත්වය කොහොමදැයි කියන්නට මට අවබෝධයක් නැත. ඒ දවස්වල නම් මෙහෙමය.

එංගලන්තයේ බොහොමයක් කට්ටිය පත්තර මිලදී ගන්නේ උඩින්-පල්ලෙන් කියවන්නට වගේය. ඒ කාරිය කෙරෙන්නේත් බස් එකේ හෝ කෝච්චියේ හෝ යන-එන ගමන්මය. කියෙව්වාට පස්සේ ඒ පත්තරය ආසනයක් උඩ එහෙමම තියෙන්නට ඇරලාය, එයාලා යන්නේ.

ඉතිං ‘රංජි පුතාගේ කියවීමේ රුචිය දන්නා අපේ අම්මා’ හෝ ‘නිමොල්ගේ දැනුම් පිපාසාව දන්නා අපේ ඩැඩා’ හෝ අරහෙම පත්තර දැක්කොත් ගෙදර ගෙනෙයි. ඒ මට කියවන්නටය.

අපේ අම්මාත් ඒ පත්තර කියවන්නීය. ඒ news හෝ විශේෂාංග හෝ නොවේ. පලාපල තීරුවය. එච්චරය!

ලංකාවේදීත් ඒවා ගැන උනන්දු නොවුණු මට පිස්සු හැදුණේ, එහේ ලග්නය හිමියන් වෙන්කොට තීරණය කෙරෙන විදිහ දැක්කාමය. යුරෝපාකරයේ කෙනෙකුගේ ලග්නය තෝරන්නේ උපන් නැකත අනුව නොවේ. ඉපදුණු මාසය අනුවය. එක මාසයක් තුළ උපන් හැමෝටම හිමි වෙන්නේ එකම ලග්නයකි. පිස්සු ක්‍රමයක් නේද?

එහෙම කියවෙන පලාපල විස්තර ටක්කෙටම හරි යනවාදැයි දන්නේ අපේ අම්මා වගේ ඇත්තියන්ය.

නෙවිල්ලගේ අම්මාට වගේම දැන් එයාලගේ පුංචි අම්මාටත්, අපේ අම්මාටත් ඩිමෙන්ෂියාවය.
ඒ අතරේම අපේ අම්මාට පිළිකාවකුත්ය. 2022 සැප්තැම්බරයේ හිට අම්මා වැඩි හරියක් ඉන්නේ ඇඳේය. අම්මා නිරෝගීව සිහි කල්පනාවෙන් ඉන්නවා නම්, අර පලාපල විස්තර ගැන තව වගතුගත් මට හාරාවුස්සා අසා ගන්නට chance එකක් ලැබෙයි.
ඒ හෙට උදේ අපේ බඩා මල්ලා; දීපාල් අම්මාව ලංකාවට එක්කගෙන එන නිසාය.

හොඳ කල්පනාව තියෙන වෙලාවලට, අපේ අම්මා කොඳුරන්නේ ‘ලංකාවට තව සැරයක් ගිහිං එන්න ආසයි.’ කියලාලු. මෙතුවක්  දවස් ඒ ආසාව ඉටු නොකෙරුණේ වෛද්‍ය අනුමැතිය නොලැබුණු නිසාය. දැන් ඔවුන්ගෙන් කොළ එළියක් ලැබී තිබෙයි. ඔය විස්තර කිව්වේ, නයෙක් එළවන්නට හිතාගෙන නෙවේ.
පළමුව, සංසාරයේ හැටි කියන්නටය.
දෙවනුව, මේ blog අඩවියේ posts පළ වීම තරමක් හෝ පමා වෙන්නටත් ඉඩ තිබෙන බව කියා- ඒ වෙනුවෙන් මගේ කනගාටුව ප්‍රකාශ කරන්නටය.

ඔව්... Blog ලිපි ලිවීමට මුල් තැන දීම ටික දවසකට පැත්තකින් තියන්නෙමි; (එහෙත් ලැබෙන සියලු විවේකයන්හිදී ඔබ වෙනුවෙන් මෙසේ ලියන්නෙමි.)

මානෙල් නංගී අම්මාවත් එයාලගේ ගෙදරම නවත්වාගෙන සියලු වතාවත් කරන්නට සූදානම්ව සිටියි. මට කරන්නට හැක්කේ එහි රැඳී අම්මාත් එක්ක සතුටු සාමීචියෙන් කල් ගෙවීම විතරකි. අපට මේ තරම් දේ ලබා දුන් අම්මා මියගිය පසු නොවේ, ජීවත්ව හිඳිද්දීම එයාව සතුටින් තෘප්තිමත්ව තියන එක වඩා වැදගත් කියලාය, අප හිතන්නේ... 

à ඊළඟ කොටසට...

Sunday, April 23, 2023

තිස් එකේදී - 12ට comment එකක්...

හිතවත් Pra Jay මහතාණෙනි,

‘තිස් එකේදී - 12 වෙනි පෝස්ටුව’ කියවූ ඔබ, එයට දිගු comment එකක් ලියා තිබිණි. සාමාන්‍යයෙන් දිගු කමෙන්ටු නොලියන ඔබේ ඒ ප්‍රතිචාරය, මට කෙරුණු ගෞරවයක් ලෙසත් මට හැඟෙයි; එසේම ඒ comment එක මා දිරි ගන්වන්නක් ලෙසත් මට සිතෙයි.
එනිසාම මෙලෙස විස්තරාත්මකව ඊට පිළිතුරු දිය යුතු යැයි මට සිතේ. ඊට තවත් හේතුවකි.

මෙලෙස comments ලියවෙන්නේ වෙන-වෙනස් රුචි-අරුචිකම් සහිත, වෙන-වෙනස් පරමාර්ථයන් හා අරමුණු සහිත රසික-රසිකාවියන් අතිනි...

Blog ලිපි කියවන සමහර දෙනෙකු ඒවායේ කමෙන්ට්ස් නොකියවන බව මගේ අවබෝධයයි. (විශේෂයෙන්ම, පසුව එවන කමෙන්ටු.) ඒ නිසාම මා ඒවාට ලියවෙන පිළිතුරුත් ඔවුනට මඟ හැරෙනවා විය යුතුමය.

එයට මමත් එක් අතකින් වැරදිකරුවෙක්මි.
මගේ කාර්ය බහුලත්වය නිසා මගේ blog ලිපිවලට ආදරණීය රසික පාඨක-පාඨිකාවියන් එවන කමෙන්ටුවලට මා පිළිතුරු ලියන්නෙත් පසුවදා උදෑසන බැවින්, එසේ වෙතැයි සිතමි.

ඒ වැරැද්දෙන් සිදු වෙන අඩුවක් වෙතොත් එය යන්තමින්වත් පිරිමසා ගන්නටය, මා හැකි හැම විටෙකදීම වඩා සාරවත් හා වඩා අදාළ comments මගේ postsවලටත් ඇතුළු කර ගන්නේ.
එසේම එය ‘අනෙකුත් blog අඩවිවල පවා comments කියවන්නැයි රසිකයනට කෙරෙන පෙළඹවීමක්’ද වෙයි.

එලෙස ඔවුන් පොළඹවන්නට මා හිතන්නේ නිකම්මත් නොවේ.

මෙලෙස comments ලියවෙන්නේ වෙන-වෙනස් රුචි-අරුචිකම් සහිත, වෙන-වෙනස් පරමාර්ථයන් හා අරමුණු සහිත රසික-රසිකාවියන් අතිනි; වෙන-වෙනස් සමාජ මට්ටම්වල වෙසෙන, වෙන-වෙනස් දැන-උගත් මට්ටම්වල සිටින උදවිය අතිනි; ලෝකයේ නන් දේශ-දේශාන්තරවල සිටින්නන් අතිනි.
මට දැනෙන විදිහට නම් ඒ සියලුම දෙනාට ඇත්තේ ‘එකම පොදු සාධකයක්’ පමණකි. ඒ ‘සිංහල කියවීමේ හැකියාව’යි. ඒ හැකියාව සහිත පිරිසට සහෝදර පාඨකයන් ගැන අන්‍යොන්‍ය අවබෝධයක් ලබා ගන්නටත්, කදිම ක්‍රමයක් ලෙසයි- එකිනෙකාගේ කමෙන්ටු කියවීම මා නම් දකින්නේ!

ඊට අමතරව (මා වැනි) blog රචකයන් නොපවසන දේ; නොකියන දේ; අඩක් කියා අඩක් නොකියා ඇති දේ විමසා බැලෙන්නෙත් commentsවලිනි.
එතනදී blog රචකයා පිළිබඳ වඩාත් හොඳ; පිරිපුන් චිත්‍රයක් මවා ගන්නටත්, ඒවා කියවන- විමසන පාඨකයන්ට ඉඩ-හසර ලැබෙයි.

ඇයි එක පැත්තක් විතරක්?
Blog රචකයෙකුට තමන්ගේ රසික රසිකාවියන් ගැන තොරතුරුත් ඔවුන් එවන කමෙන්ටු මඟින් ඉබේම හෙළි වෙයි. (මෙහෙම අතිපණ්ඩිත කතන්දර කියන්නේ ටිකක් විචීකිච්ඡාවකුත් තියාගෙනය. නිර්දය විදිහටම අන්‍යයන් හෙළිදරව් වෙනවාට කැමති අපි ‘අන්‍යයන් අපේ ගැන දැන ගන්නවාට නම්’ අකැමැති වෙමු. -මෙතනදී මං වහන්සේ වැරදි වෙන්නටත් හොඳටම ඉඩ තිබේ.)
මෙසේ හෙළිදරව් වීමට ඇති අකැමැත්ත නිසාම, කෙනෙකු comments ලියන්නට පස්ස ගහන්නත් පුළුවනිය!   

ඉතිං Pra Jay මහතාණෙනි, ඔබේ දීර්ඝ කමෙන්ටුව පාඨක ලොවේ කිසිවෙකුටත් මඟ නොහැරෙනවාට මා අතිශයින්ම කැමතිය.
එනිසාම එයට මෙසේ පිළිතුරු දෙන්නෙමි; තවත් පෝස්ටුවකින්ම!

එතකොට එකෑවරම මට හිතුණේ, ජන්මෙට වඩා පුරුද්ද ලොකු නිසා වෙන්නැති කියලයි.

බ්ලොග්ස් කියවන ආදරණීය හැම දෙනාටමත් එය ප්‍රයෝජනවත් වෙතැයි සිතමිනි, මා එසේ කරන්නේ.

ඒ දයාබර පාඨකයන් සැමටම මේ පෝස්ටුවෙදී, ඒ (Pra Jay මහතාගේ) කමෙන්ටුව පහසුවෙන්ම හඳුනා ගැනීමට හැකි වනසේ රතු පැහැයෙන් එය දක්වමි. (පිළිතුරු දීම වඩා ලෙහෙසි වෙන නිසා ඒ comment එක කොටස් වශයෙනි, මා යොදා ගන්නෙත්.
ඔන්න එහෙනං පටන් ගන්නවා.

//බැලූ බැල්මටම කෙනෙකුට පෙනෙන අහිංසක; උපාසක නිමල් දිසානායකට යටින් වසන්වී සිටින නසරානි අපතයාව කෙනෙකුට ලේසියෙන් පෙනෙන්නේ නැත!//

මේක තර්කානුකූල නෑ නේද?

1.
ප්‍රසංශාව ලැබුනේ තමන්ගෙ පවුල බලාගෙන ඔවුන් හොඳ තැනකට ගේන්න කරපු උත්සාහය ගැන. ඉතිං අනිල් කියපු දේ ඇත්තනෙ. ප්‍රසිද්ධියේ ප්‍රසංශා ඇහෙනකොට ටිකක් ලැජ්ජා වගේ හිතෙන එක මටත් තියනව. ඒත් මෙතන නිමල්ට හිතෙන්නෙ තමන්ගේ පුද්ගලික ජීවිතය ගැනනෙ. ඒකයි පවුලට කරපු සේවයයි අතර සම්බන්ධයක් නෑනෙ.

ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ Pra Jay මහත්තයෝ, ‘මේක තර්කානුකූල නෑ නේද?’ කියලා ඔයා අහන එක ටක්කෙටම හරි කියලයි. ඒකෙ කිසිම වැරද්දක් මට පෙනෙන්නේ නෑ. නමුත්... නමුත්...
මට මෙන්න මෙහෙම දේකුත් හිතෙනව, මගෙ ගැනම හිතද්දී.
තර්කානුකූලව 100%ක් නිවැරදිය කියලා හොඳටම ඒත්තු යන කරුණුවලදී පවා, සමහර වෙලාවලදි මගේ හිතේ කොණකින් පුංචි ඤරුඤුරුවක් නැඟෙන තැන් තියෙනවා; දෙගිඩියාවකුත් එක්ක.
එහෙම වෙන්නේ හැම දෙයක්ම තර්කයට අහුවෙන්නෙ නැති නිසාවත්ද?

මේත් එහෙම තැනක්වත්ද!
ඇයි එහෙම වෙන්නේ කියල මං හිතුවා. එතකොට එකෑවරම මට හිතුණේ, ජන්මෙට වඩා පුරුද්ද ලොකු නිසා වෙන්නැති කියලයි.

මාව සංස්කෘතික ජීවියෙකු විදිහට හැඩ ගැස්සීමේ කාර්ය භාරයෙන් වැඩිම කොටසක් කෙරුණේ අපේ මහරගම  ආච්චිගෙන්නෙ. ‘මීන සංහාරය’, ‘ගස්සලා යවමුද?’ වගේ posts තොගයකින්ම වරින් වර ඒ ගැන කියවුණා මතකයි. අවුරුදු දොළහක් වෙන්නත් කලින්ම පතිවත- පතිනි වත, කුමර බඹසර- කුමරි බඹසර හා කන්‍යා පටලය වැනි බරසාර දේවල් ගැන මං දැන ගත්තේ උන්දෑගෙන්.
ආච්චීට පින් සිද්ධ වෙන්න තමයි මං ඉස්කෝලේ
හෝඩියට යන්නත් කලින්, එයාලට ඇහෙන්න ලංකාදීප පත්තරෙන් කුමන්ත්‍රණ නඩු විභාගය හඬ නඟා කියෙව්වේත්.

සමරිසි වීම බරපතල අපරාධයක් විදිහට සැලකුණු නිසානේ පරිගණකය සොයා ගත් ප්‍රධානයෙකු ලෙස සැලකෙන ඇලන් ටියුරින්ට 1954දී සිය දිවි නසාගෙන...

ඒ වයසට වඩා පැහිච්ච එකේ වැරැද්දකුත් තිබුණා වගෙයි.

‘සුචරිතවාදී නොවීම පවක් / කාමයෙහි වරදවා හැසිරීම බරපතළම (අපායේ කටු ඉඹුලේ නග්ගවන තරමේ) අකුසලයක් / පිරිමි ජාතිය තමයි උතුම් /  සිංහලයට වැඩියෙන් උතුම් ජාතියක් නෑ’ වගේ මති-මතාන්තර තොගයකුත් නිමල් දිසානායකගේ හිතේ ඇටුවන් බැහැගත්තා, අරහෙම වයසට කලින් මෝරද්දී.

ඔහොම තියෙද්දී, (අපේ ආච්චිලා හීනෙකින්වත් හිතන්නට නැතැයි මට හිතෙන) මගේ ලෛංගික ජීවිතය නොතේරෙන ළපටි වියේදීම පටන් ගැනුණාම...
අවුරුදු හයේදී මුල් වරට එහෙම වෙනකොට මං ගොඩක් දේවල් හිතන්න නැතිව ඇති. ඒත්... අවුරුදු දොළහ වෙද්දී නං එහෙම නෙවෙයිනෙ, හොඳ-නරක, සමාජ සම්මතයන් තේරෙනවා. පියසිරි... සමරසිරි... අභී අයියා... ඒ හැම වෙලාවකම මං වින්දනයක් ලැබුවා වගේම, පසුතැවිල්ලකුත් අත්වින්දා.

(අශාන් හමු වෙන තෙක්ම,) මා හා බැඳුණු හැම කෙනෙකුම එහෙම කළේ හරි රහසෙන්; ලොවට හොරෙන්. කරන්නේ වැරැද්දක්; නොකළ යුතු දෙයක් බවට හැඟීමක් සහිතවයි, එයාලා එහෙම කළේ.
එයාලගේ විතරක් නෙවෙයි, මගේ හැඟීම වුණෙත් ඒකමයි. ඒ නිසාමයි ඒවා හැංගිමුත්තන් කෙළියක් වුණෙත්.
හැබැයි, ඒ හංගාගෙන සිටීම (අනෙකුන්ට කොහොම වෙතත්) මට නං මහ මානසික වධයක් වුණා...

(ඒ දවස්වල සමාජ සම්මතයන් ගොඩක් වෙනස්නෙ. මෙහෙ විතරක් නෙවෙයි- එංගලන්තය වැනි රටවල පවා.

එහෙත්, සමරිසි වීම බරපතළ අපරාධයක් විදිහටයි ඒ වකවනුවේ සැලකුණේ. ඒ නිසානේ ‘පරිගණකය සොයා ගත් ප්‍රධානයෙකු’ ලෙස සැලකෙන ‘ඇලන් ටියුරින්’ට 1954දී සිය දිවි නසාගෙන, අකාලයේම ජීවිතයෙන් සමු ගන්නට සිදු වුණේ.

කලින් පෝස්ටුවකදී, මං ඒ ගැන මෙහෙමත් ලිව්වා: ‘... ලෝ සුප්‍රකට ඇපල් සමාගමේ ලාංඡනය ඇලන් ටියුරින්ට කළ ප්‍රණාමයක් ලෙස එක් ඉතිහාසඥයෙක් හුවා දැක්වූයේ, නූතන පරිගණක විද්‍යාවේ පියා ලෙස සැලකෙන ටියුරින් සයනයිඩ් පෙඟු ඇපල් ගෙඩියක් අනුභව කර සිය දිවි නසාගත් බැවින්, ඇපල් සමාගමේ ලාංඡනය ලෙස අඩක් කෑ ඇපල් ගෙඩියක් තෝරා ගත් බවයි...)

අර විදිහට වසංගාගෙන සිටීම වැඩි- වැඩියෙන් ‘මානසික වධයක්’ වෙලා මට දැනෙන්න ගත්තේ ‘මගේ රහසිගත විශ්වයේ ජීවීන් සංඛ්‍යාව ගණනින් ඉහළ යෑම’ත් සමඟයි!
ඒ හැඟීමෙන් නිදහස් වෙන්න විය යුතුයි, මමම මට හිනා වෙන්නට පටන් ගන්න ඇත්තේ; මමම මාව හෙළා දාගන්න පටන් ගන්න ඇත්තේ.

ඔය අහිංසක පාට තමයි මට ගොඩාරියක්ම උදව් වුණේ... මගේ රහස් / නොරහස් විශ්වයන් දෙකේදීම!

හැබැයි, මගෙන් ඒක කෙරුණෙත් බොහොම සිරා-බිරා සටකපට විදිහට. (Local ෂර්ලොක් හෝම්ස් කෙනෙකු වෙච්ච අපේ තාත්තාගෙන් ගැලවෙන්නට; බේරෙන්නට එහෙම සූක්ෂ්ම නොවී ඇහැකිද?

සමහර විට අර අහිගුණ්ඨික සාස්තරකාරිය- නිදිව කුසේ දරාගෙන හිටි අපේ අම්මාට කියූ සාස්තරය හරියටම හරි ගියා වෙන්නැති- “නෝනා, ඌපදෙන්න ඉන්න දරුවා තමා පිරිමි දරුවා.... පෝම වාසනාව තමා තීනවා. ඇබ්බැයි නෝනා බඩේ ඉන්නවා දවල් ඔරා තමා.....”

වචනාර්ථයෙන්ම දවල් හොරෙක් වෙමිනුයි, මවිසින්ම මට හිනාවෙන කලාව; මවිසින්ම මට අවමන් කර ගැනීමේ කලාව මං ප්‍රගුණ කළේ. මං වහන්සේ ඒක පාවිච්චි කරන විදිහෙ art එක නිසා, හුඟ දෙනෙකුටම ටැපලුණා තමයි.
('හත්වලාමෙ, වෙච්චි දේට මක් කොරන්නද?')
ඒකට ප්‍රධානම හේතුව අපේ අම්මාගෙන් මට දායාද වුණු රූප සම්පත්තිය. අහිංසක පාට! ‘මෙච්චර සීදේවී පාට කොල්ලෙක් නරක එකෙක් වෙන්න බෑ!’

Pra Jay මහත්තයෝ, මම හිතාමතා පාවිච්චි නොකළත් ඔය ‘අහිංසක පාට’ තමයි මට ගොඩාරියක්ම උදව් වුණේ... මගේ රහස් / නොරහස් විශ්වයන් දෙකේදීම!

ඒක තෝරා- බේරා- වටහා ගැනීම ලේසියි. ඒත්, මගෙ පුද්ගලික ජීවිතයයි පවුලට කරපු සේවයයි දෙකක් කියලා වෙන් කර ගැනීම නං මට හරිම අසීරුයි... හැබැයි, ඔබතුමා වගේ ගොඩ දෙනෙකු නිසා; ගොඩ දෙනෙකුගේ comments නිසාම මං ගොඩක් දේවල් ඉගෙන ගනිමින් ඉන්නේ...
ගොඩක් දේවල් දිහා වෙනස් කෝණවලින් බලන්නට හුරු වෙමින් ඉන්නේ...

ඒ බව කියමින්, ඒ වෙනුවෙන් මේ ස්තුතිය මං පුද කරන්නේ ‘නිදිගෙ පංච තන්තරේ’ ඇරඹුණු දවසේ සිට මෙතෙක් මට කමෙන්ටු එවූ හැම දෙනාටමයි!

2. මොකක් නිසාද අපතයෙක් වෙන්නෙ?
(i)
සමලිංගිකත්වය නිසාද? එහෙම මතයක් නෑනෙ. ඒකට අකමැති හුඟක් පරණ තාලේ අය වුනත් ඒ අය "අපතයන්" කියනවයි කියල මම හිතන්නෙ නෑ.

මහත්තයෝ, ඔබතුමාට ඉහළ පන්තිය හා ඉහළ මධ්‍යම පන්තියේ අය ඇසුරු කිරීමේ ප්‍රස්තාවන් වැඩිපුර ලැබෙනවා වෙන්නැති; පහළ මධ්‍යම පන්තියේ උදවිය / ලුම්පන් පන්තියේ උදවිය / පීඩිත පන්තියේ උදවිය ඔබට හමු වී තිබෙන්නේ අඩුවෙන් වෙන්නැති කියලයි මට හිතෙන්නේ.
ඒ සමාජවල මිනිසුන්ට අවමන් කිරීමේදී සුලබව යොදා ගන්නා ‘නපුංසකයා, xන්නයා, xක දෙන්නා’ වගේ වදන් ‘අපතයා’ කියන වචනයට වඩා දරුණුය කියලයි, මං හිතන්නේ. (මේ පන්ති බෙදීම්- වචනවල අරුත් වගේ දේවල් ගැන මට තියෙන්නෙත් අඩු දැනුමක්. ඒ නිසා මං වැරදි වෙන්නත් ඉඩ තියෙනවා.)

ඔවුන්ට වෙනස්කොට සැලකීම ඉන් තහනම් කෙරෙයි!
‘සමලිංගිකත්වයට අකැමැති හුඟක් පරණ තාලේ අය’ය කීමෙන් Pra Jay මහත්තයා අදහස් කරන්නේ පැරැණි වැඩිහිටි පරමරාවේ උදවිය වෙන්න ඇති. (‘අකැමැති’ වචනයත් යොදා ගැනෙන්නට ඇත්තේ ‘අනුමත නොකරන’ වචන දෙක වෙනුවට වගෙයි, මට ඒත්තු ගියේ. එහෙම හිතාගෙනයි මේ ලියන්නේ.)

මට නම් තවමත් හමු වෙනවා, උගත් යැයි කියවෙන තරුණ-තරුණියන් පවා සමකාමී වීමේ ගතිය ‘කැත පුරුද්දක්’ විතරය කියා විශ්වාස කරන. මෙහෙම වෙන්නේ ජීව විද්‍යාත්මක හුටපට ගොඩාරියක් නිසා කියලා එයාල දන්නේ නැති එකයි කාරණේ...

(ඒ වගේ සච්චරිතවත් පුරෝගාමී පුරවැසියන් කිහිප දෙනෙකු මේ ළඟදීත් අධිකරණයට පවා ගිය විත්තියකුත් දැන ගන්නට ලැබුණා; නීති වෙනස් කෙරෙන එක ගැන බොහොම කම්පාවෙන් යුතුව.)

ඉතා මෑත දවසක මට කියවන්නට ලැබුණු පුවතක තිබ්බ සංඛ්‍යාවක් දැකලා නම්, මං පුදුමයෙනුත් පුදුමයට පත් වුණා. මේ බලන්නකෝ:
‘හීනා බාලුක් යනු පාකිස්ථානයේ සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරිනියකි. මෑත වසරවල දී එරට සංක්‍රාන්ති ප්‍රජාවට එරෙහි රැල්ලක් වර්ධනය වී ඇති බැවින් තම ජීවිතය ගැන බියෙන් පසුවන බව ඇය පවසයි.

-වත්මන, ඇයත්, අනෙකුත් සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරීනුත්, සංක්‍රාන්ති ලිංගික පුද්ගල පනත සඳහා යෝජිත සංශෝධනයකට විරෝධය පළ කරති. පාකිස්ථානයේ වෙසෙතැ යි ඇස්තමේන්තුගත 5,00,000ක් සංක්‍රාන්ති ලිංගික පුරවැසියන් සඳහා මෙම නීතිය මඟින් මූලික අයිතිවාසිකම් සහතික කෙරෙන අතර, ඔවුන්ට වෙනස්කොට සැලකීම ඉන් තහනම් කරයි.

මේ වගේ සංකීර්ණ කාරණා ගැන කතාබහ කරන්න තරම් හොඳ දවස් නෙවෙයි මේ ගත වෙන්නෙත්. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි. උහුලා ගන්න බැරි තරමට දැනෙන උණුසුම නිසා.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහත්මයත් කියා තිබුණා මේ heat එක නිසා අපේ මානසික ආතතිය වැඩි වෙන්නට පවා ඉඩ තියෙන බව.
සහතික ඇත්ත! දාඩියෙන් නෑවෙවී, සිය සැරයක් නවත්ත නවත්තා තමයි මේ දවස්වල මේ blog ලිපි ලියන්නේ. ලංකාවේ readersලා මේවා කියවන්නෙත් ඒ වගේම අසීරුකම් මැද්දෙම වෙන්න ඕනි.

මේවා දැක්කාම රත් වෙලා තියෙන ලේ තවත් කැකෑරෙයිද මංදා...
එහෙව් වෙලාවක Pra Jay මහත්තයෝ, ඊළඟට තියෙන කාරණය ගැන කතා කරන්නත් බයයි. මේවා දැක්කාම රත් වෙලා තියෙන ලේ තවත් කැකෑරෙයිද මංදා. ඒත් මක්කරන්නෙයි. කියන්න ගත්තු දේවල් කියලම ඉවර කරන්න ඕනිනෙ.

(ii) පාර්ට්නර්ස්ල හුඟක් නිසාද? ඒක ඉතින් හැම ලිංගිකත්වෙම අය කරනවනෙ. එහෙම නැත්නම් ඒකට ආසාවෙන්නෙ ඉන්නෙ. වෙන කෙනෙකුට හානියක් නැත්නම් මොකද?

ඒ ප්‍රශ්නයට එක වචනයකින්ම උත්තර දීලා ඉවර වෙලා, විස්තර කියන්නං.
ඔව්!
කෙනෙකු සමකාමී වීමට වගේම, අධි ක්‍රියාකාරී ලිංගික චර්යාවකට හුරු වීමටත් හේතු වෙන්නේ ජානමය; රසායනිකමය සාධක කියලයි කියවෙන්නේ. කේන්දරෙනුත් ඒවා කියවෙනවා වෙන්නැති. මතකයිනෙ අර අතිධාවන කාම යෝගේ. මොක නිසා වුණත් නිමල් දිසානායකත් කෙලෙස් වැඩි; හොඳටම කෙලෙස් වැඩි හාදයෙක්.

ඒ නිසාම එක කාල වකවනුවක් තුළ, සගයන් කිහිප දෙනෙකු සමඟ සමීප ලෛංගික සබඳතා පවත්වන්නෙක්. ඔන්න ඔතැනදී තමයි, එයාට ලොකුම මානසික ඝට්ටනය ඇති වුණේ. දැන් මිනිහා බරපතළ වැරදි දෙකක්ම එක විඩේ කරනවා නෙව!

නිදිගෙ මිත්තනිය; දසනායක රත්නවතී උපාසිකාව නිතරම අවධාරණය කළ විදිහට ‘පාර්ට්නර්ස්ල හුඟක්...’ කියන්නේ-
හිතන්නවත් බැරි පව් කන්දරාවක්! ඒ අස්සේ ඒ කාලේ සමාජ සම්මුතීන්ට අනුව ගර්හාවට ලක් වුණු සමරිසි වීම...

PS. තව එකක් තියනව. මට නිමල්ගෙ හැම පෝස්ට් එකකටම දිගට කමෙන්ට් කරන්න බැරි නිසා ඒකත් දැන් කියන්නම්:
නිමල් මොකද මේ පෝස්ට් පාපෝච්චාරණයක් කියන්නෙ? මොකටද ඔයතරම් ගිල්ටි වෙන්නෙ? තමන් ජීවිත කාලෙම හංගගෙන හිටපු දේවල් කියන්න ආසාවක් එන එක ස්වාභාවිකයි.
ඒත් ඔය නිමල් කියන දේවලින් බහුතරය ගිල්ටි වෙන්න ඕනෙ දේවල් නෙමෙයි.

ඔයා කියන කතාව ඇත්ත මහත්තයෝ. ඒත් මගෙ හිත හැඩගැහිලා තියෙන හැටි... ගිල්ටි නොවෙන්න ඕනි තැන්වලදිත් අකම්පාල වෙනවා. ඒ මං...

හුඟක් උදවියගේ ජාගර හිත්වල අභ්‍යන්තරය හෙළිදරව් කෙරෙන තැන් මං දැකලා තියෙනවා. ඒ ගොඩක්... ගොඩක් මිනිස් හිත්වල කුහකකම හරි වැඩියිනේ.

(එක අත්දැකීමක් හැමටම පොදු එකක් නොවෙන බව මාත් පිළිගන්නවා. එහෙම දැන-දැනමත් මේ ‘හිතක හැටි කියවෙන’ අපූරු අත්දැකීම මෙතනට ලියන්න හිතුණා.)

කාලයක් තිස්සේ තද මිතුරුදමකින් වෙළී හිටි යහළුවන් දෙන්නෙකු...

අවුරුදු පහළොවකටත් වැඩි කාලයක් තිස්සේ තද මිතුරුදමකින් වෙළී හිටි යහළුවන් දෙන්නෙකු ඉතා මෑතක හිට ඈත් වෙලා. විරසකය තියෙන්නේ A ළඟ.

අමනාපයට හේතුව, B මිතුරා දරුවන් ඇති; පොහොසත් දික්කසාද කාන්තාවක හා විවාහ වීම.

(ඔහු කාලයක් තිස්සේ ඒ සබඳකම පවත්වාගෙන ගියා; සොයුරන්ගේ විරුද්ධතා මැද්දේ. එතකොට යාළුකම රැකිලා තිබ්බා.) තරහ වුණු A මිතුරා කියන්නේ Bගේ ‘නොගැලපෙන විවාහය’ නිසා තමන් අමනාප වුණු වගයි.

මට හිනා යන්නේ, මේ නිසයි. මේ A මිතුරා විවාහකයි; පියෙක්. එයා කාලයක්ම විවාහක මවක් සමඟ අනියම් සබඳකමක් තදටම පවත්වාගෙන ගිය කෙනෙක්!

මේ post එක ලියන්නට මං පෙළඹුණේ Pra Jay මහතාගේ comment එක නිසා බව මං මුලින්ම කිව්වනෙ. ඒ වගේමයි, මෙය ලියාගෙන යද්දී වරින්-වර මතක් වුණු දේවල්... පසු දිනෙක වඩාත් පැහැදිලි කිරීම් කරන්නට කියා හිතාගෙන හිටි දේවල්... එහෙම සමහර දේවලුත් මේ පෝස්ටුවට ඇතුළු කළා, සුදුසු පරිදි.

ඒත්, ඒ post එකටම- මේ හා අදාළව එවූ තව comments ගැන වචනයක්වත් මෙතැන ලියන්න යන්නෙ නෑ. පෝස්ටුව දිග වැඩි වෙන නිසා. තව කොටසකට යන්නත් බෑනෙ, අශාන් එක්ක කතන්දරේ පහු වෙන නිසා. 

දන්නවනෙ ඉතිං, මේ නිදිගෙ පංච තන්තරේ නෙව. ස්තුතියි එහෙනං, හොඳේ෴0෴