li Item

Tuesday, November 10, 2020

ඩිංගෙන් Hong Kong හිරේ! -හයවෙනි කොටස

ලෝකයේ ලොකුම පාවෙන රෙස්ටෝරන්ට් එකට යද්දීත් ඒ සල්ලි මල්ල....

ඔබ හැර නොයන සෙවණැල්ල වගේම ඒ සල්ලි මල්ල මා එක්ක හැම තැනම ගියේය. එහෙම ගියේ කාටවත් නොදැනී-නොපෙනී මගේ යට ඇඳුමට යටින් , ඉණතුරේ හැංගීගෙනය! 

ලෝකයේ ලොකුම පාවෙන රෙස්ටෝරන්ට් එකට යද්දීවත් ඒ සල්ලි බෑගය හුදෙකලා-පාලු කාමරයක තබා යන්නට මට හිත දුන්නේ නැත! ඉතිං මං එහාට ගියෙත් ඒ මල්ල බඩ බැඳගෙනමය.... ගිහින් ....

ඔන්න සේරමල්ලා එක්කම නිදිට සමාවෙන්න ඕනෑ. වචනත් එක්කලා සෙල්ලං කරන්නටත්- හිටි ගමන් පසික්කාඩු දඟකාරකමක් කරන්නටත් මට හිතෙයි. පහුගිය කොටස අන්තිමේදී මං කළේ එහෙම සෙල්ලමකි.

‘සල්ලි මල්ලත් බඩ බැඳගෙන ගිහින්...’ කිව්වාම මං වගේ පාඨකයෙකු වුණත් හිතන්නේ සල්ලිවලට මොකාක් හරි ඇබැද්දියක් වෙන්න ඇතිය කියලාය. ඔබේ කුතුහලය අවුළුවා තියන්නටය මං එහෙම කිව්වේ.

සයුරු දෙවඟන අපට ඉතා කාරුණික වූවා; සමුදුර නිසල කොට.....

එදා හැන්දෑවේ මොනවට සරසා තිබුණු ෆෙරිවලින්ය, අපව Jumbo Floating Restaurant එකට රැගෙන ගියේ. හරියට මංගල ගමනක් යනවා වගෙය.

ඒ මුහුදට අධිපති සයුරු දෙවඟන අපට ඉතා කාරුණික වූවා; සමුදුර නිසල කොට - මුදු පවනක් එවමින් අවට වාතාවරණයත් පුබුදු-සුමුදු කළාය.

ලෝකයේ ලොකුම පාවෙන රෙස්ටෝරන්ටුවට වද්දා ගන්නට කලින් අපේ ඉණ-ඉහ අතගා බැලීමක් කෙරුණේ නැතිය. බඩේ බැඳගෙන හිටි සල්ලි මල්ල ගැන බයක් නොහිතුණේ ඒ නිසාය. ඉතාම සරුවට ඒ ‘Farewell Banquet’ එක පැවැත්වුණේය.

‘තමුසෙලා කාපු- බීපු දේවල්වලින් අපට වැඩක් තියෙනවයැ’ ඔබට හිතෙන්නට ඉඩ තිබේ. එය ඇත්තය.

දැන් චීනයටත් වැඩියෙන් චීන අවන්හල් ලංකාවේ තිබේ. Hong Kong, සිංගප්පූරු කෑම ජාති වුණත් මෙහෙන් හොයා ගැනිල්ල අමාරු නැත. ගෙදරදී හදාගන්නට වුණත් දන්නවා නම් ඒකට ඕනෑ ජාති විකුණන වෙළෙඳසල් දෙක තුනක්ම ‘කොළොම්පුරේ ශ්‍රියා’ වගුරමින් තිබෙයි. ශ්‍රී ලංකාව ඒ තරමටම සමෘද්ධිමත්ය. තව කට්ටියකට විතරක් සමෘද්ධි සහනාධාරත් දෙන්නේ මක්කටෙයි කියලාය මට හිතෙන්නේ!

ලංකාවේදී ඒ විදිහට බිඳුවක්වත් නොවැරදී කෙරෙන කණ්ඩායම් නර්තනයක් ලෙස....

ඔය කොහොම හිතුවත් එදා තිබුණු කෑම වර්ගවලින් වැඩිම හරියක් Sea Food බවත් නොකියා බැරිය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්මය ඒ. ඊටත් වැඩියෙන් රසවත් වුණේ හොංකොං සංස්කෘතික අංගයන්ය. එයිනුත් විශිෂ්ඨම අංකය ‘මකර නැටුම’යි. එහෙම නැටුමක්! එහෙම විනයක්.... කාටවත්ම රිද්මය වැරදුණු බවක්; තාලයට පා තැබීම වැරදුණු බවක් මට නම් පෙනුණේ නැතිය. 

ලංකාවේදී ඒ විදිහට බිඳුවක්වත් නොවැරදී කෙරෙන කණ්ඩායම් නර්තනයක් ලෙස මට සිහි වෙන්නේ ‘වේවැල් නැටුම’ පමණි.

ඒ සේරමත් හරිය.

අපේ සිරි ලංකාවේ අංකය එදා රාත්තිරියේ ඉදිරිපත් වුණේ නැත. මට හිතෙන්නේ අපේ හාදයාම ඒ අංකය ඉදිරිපත් කිරීම අවලංගු කරවන්නට ඇති බවයි. එතරම් විභූෂිත වෙලාවක හොංකොං ඩොලර් අස්සේ අපේ සත ඔබන්නට නොයෑම, එක අතකට නං නුවණක්කාරකමකි.

මට එහෙම හිතුණේ ෆස්ලූල් උන්නැහේ හින්දාය.

‘ලජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුය!’
ෆස්ලූල් මහත්තයා තිස්සෙම තමන් ගැන කියා හිටියේ කවියෙකි කියලාය. එදත් උන්නැහේ මව් භාෂාවෙන් කවි කීපයක්ම කිව්වේය. ඒ මදිවාට ඒවායේ තේරුමත් ඉංගිරිසියෙන් කිව්වේය. මට නම් ඒ දෙකම තේරුණේවත්, ඇල්ලුවේවත් නැතිය. වටපිට බලද්දී පෙනුණේ වැඩි දෙනෙකුටත් තම-තමන්ගේ කතාබහ වැඩියෙන් වැදගත්ය කියලා හිතී තිබුණු විත්තියයි.

ඒ බව නොවැටහුණු බවක් පෙනුණේ ෆස්ලූල් උන්නැහෙටම විතරය. ‘ලජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුය!’

දැන්-දැන් නම් හැමදාම වාගේ අපේ රටේත් ෆස්ලූල්ටත් වඩා ලොකු මහ මුදලිතුමන්ලා වැහි වැහැලාය. අරුමය උන්නාන්සේලාට මුඛයෙන් මෙන්ම අධෝමුඛයෙනුත් දොඩන්නට හැකියාව තිබීමය!!

“නිමල්.... මගේ girl freindට කාර් එකක් තියෙනවා. ඒකෙන්ම එයයි, මායි, මෙයායි හෙට උදේ උඹේ නවාතැනට එනවා, උඹව එයාර්පෝට් එක්ක යන්න.” සාදය අතරේ ජෝ කිව්වේය.

වෙනදාට වඩා රෑ බෝවී නින්දට ගියත් මට පාන්දරින්ම ඇහැරුණේය.

“මට පාන්දරමනේ යන්න තියෙන්නේ... ටැක්සියක් ලැහැස්ති...”

“Take it easy! ඕක මහ ලොකු දෙයක් නෙවෙයි.... මගේ කෙල්ලට තමයි කාර් එක තියෙන්නෙත්. එයයි මට යෝජනා කළේ මෙහෙම කරමු කියලා.... වෙනසක් හිතන්න එපා.... දැන් උඹත් අපේම කෙනෙක්...”

වෙනදාට වඩා රෑ බෝවී නින්දට ගියත් මට පාන්දරින්ම ඇහැරුණේය. ආපහු ලංකාවට යන්නට ඒ තරම නොඉවසිල්ලකි මට තිබ්බේ. අනේ මන්දා..... මට නම් පුරුදු තැන- පුරුදු ගෙදර විතර වෙනින් කොහෙවත් ලොකු නැතිය.

“මූට කොහේ හරි යන්න තියෙනවා නං යනකල් ඉවසිල්ලක් නෑ. නින්ද යන්නෙත් නෑ. හැබැයි එහෙම කොහාට ගියත්; එතැන කොච්චර ආතල් වුණත් මේ සමයමාට ඕනේ ඉක්මනට ගෙදර යන්න....” මට වැඩියත්ම එහෙම දොස් කියන්නේ නෙවිලුත්, පීරිසුත්ය. ඇත්තය. ‘මමම ඔයාලට කියලා තියෙනවනේ.... අපේම නංගිලාගේ හරි මල්ලිලාගේ හරි ගෙදරකට ගියත් මට ඕනේ ඉක්මනටම ආපහු එන්නටය.’

මාංචු දැමිල්ලක් විතරය නොකෙරුණේ.... මරන්නට ගෙනයන හරකෙකු වගේ මම....

ජෝලා එනකොටත් මා කාමරයේ යතුරු බාරදීලා ඉවරය. හිමිදිරිය නිසා වෙන්නට ඇති, පාරේ තදබදයකට අහු වෙන්නටවත් අපට සිදු වුණේ නැත. ජෝලාට සමුදී ගුවන් තොටුපල ඇතුළට.... ඔවුන් කියා තිබුණේ මා ඇතුළටම යන තුරු බලා හිඳින බවයි. කවුන්ටරයේ මගේ වාරය එළඹිණි. මම ගුවන් ටිකට් පතත්, පාස්පෝට් එකත් එතැන හිටි නිලදරුවාට දුන්නෙමි. මිනිහා ඒවා පෙරළමින් බැලූ විදිහත්, මගේ දිහා බැලුව විදිහත් මට එතරම් දිරෙව්වේ නැත. ඇයි මේ?

ඒ හාදයා කාටදෝ ටෙලිෆෝනයෙන් කතා කළේය. මොනවදෝ කිව්වේය. විනාඩියක් යන්නටත් කලින් දෙන්නෙක් මගේ ළඟට ආවෝහ. “Sorry Sir, උඹට අපිත් එක්ක එන්න වෙනවා.....”

මම හැරිලා බැලුවෙමි. ජෝලාත් බලාගෙන හිඳිති. ‘මොකක්ද වෙන්න යන්නේ?’

නිලධරයෝ දෙන්නා හිටියේ මාව මැදි කරගෙනය. හරියට මං පැනලා දුවන්නට ගත්තොත් අල්ලා ගන්නට වගෙය. මාංචු දැමිල්ලක් විතරය නොකෙරුණේ.... මරන්නට ගෙනයන හරකෙකු වගේ මම ඔවුන් පස්සේ ඇදුණෙමි. ‘කවුරු හරි සල්ලි ගැන ඔත්තුවක් දීලා!’ මගේ හිත කිව්වෙම ඒකය.

එහෙම වෙලාවට මගේ මොළය වැඩ කරන්නේ ඉක්මනින්ම කරුණු විශ්ලේෂණය කරන්නටය; එළඹිය හැකි තත්ත්වයන්.....

‘වෙන්න බෑ. කවුද ඕක දැක්කේ?.... එහෙනං... මොන ඉලව්වකටද මාව මේ වෙනම එක්කං යන්නේ?’

‘දුන්හිඳ අද්දර මාරකේ’ පෝස්ටු කිහිපය කියෙව්වා නේද? 71 කැරැල්ල කාලේ දුන්නු වචනයක් රකින්නට ගිහින් මේ ‘පං ගොණ්ඩිතයා’ ගෙදරින් පැනලා ගියානේ. එහෙම ගිහින් දුන්හිඳ අද්දරදී ගමේ මිනිසුන්ට කොටු වුණානේ ඒ වෙලාවේ බය වුණාට පස්සේ මෙහෙම බය වුණාමය! 

කොච්චර ආපත්තියක්-විපත්තියක් ආවත්; මොන ජංජාලයක් වුණත් මගේ හොඳ සිහිය නැති නොවෙන ගතියකුත් තිබෙයි. එහෙම වෙලාවට මගේ මොළය වැඩ කරන්නේ ඉක්මනින්ම කරුණු විශ්ලේෂණය කරන්නටය; එළඹිය හැකි තත්ත්වයන් පුරෝකථනය කර ගන්නටය; ඒවාට මුහුණ දිය යුතු හැටි හිතා ගන්නටය.

නඩයක් අරගෙන සිරීපාදේ ගිහින් ආපසු එද්දී, 1976 අප්‍රේල් 18 වෙනිදා අවිස්සාවේල්ල බස් නැවතුම් පොලේදී, අපේ තාත්තා සියදිවි නසාගත් බව මට ආරංචි වුණු වෙලාවේදීත් මං කළේ ඒ විත්තිය කාටවත්ම නොකියා මුළු නඩයම ඉක්මනින් බසයට නංවා ගැනීමය. පනාගොඩදීය මං ඒ විත්තිය අපේ සුනිල්ට හරි කිව්වේ....  

“දෙසැම්බර් තුන්වෙනිදා රෑ!”
‘කලබල වෙන්න එපා.... බයක් පෙන්නන්නත් එපා.... බය නැතිව, වෙනසක් පෙන්වන්නේ නැතිව කෙළින් බලලා උත්තර දීපන්- මොනවා හරි ඇහුවොත් විතරක්.... වාචාලයෙක් වෙන්න නං එපා පුතෝ...’ විශේෂ කාමරයකට මාව ඇතුළු කරවන්නට කැඳවා ගෙන යන තෙක් මම යළි-යළිත් මතක් කොට ගත්තෙමි.

යන්තමට හරි රඟපාන්නට තියෙන හැකියාවත් මේ වෙලාවේ මට ගොඩාරියක් උදව් වෙයි!

කාමරයේ නිලධාරීන් දෙතුන් දෙනෙක් සිටිති. මට ඔවුන් ඉදිරියේ මේසයෙන් මෙහා පැත්තේ වාඩි වෙන්නට නියම කෙරිණි. ඊළඟට මගේ ලිය-කියවිලි එයාලා අතට.... පෙරළමින් බැලීම්... මැන්ඩරින් බසින් කෙරෙන කතා... අන්තිමට ඔන්න....

“මොකක්ද උඹේ නම?”

“නිමල් දිසානායක.”

‘කවදද හොංකොංවලට ආවේ?”

“දෙසැම්බර් තුන්වෙනිදා රෑ!”

කවුද උඹට මේ හොර පාස්පෝට් එක හදලා දුන්නේ....
“Are you sure?”

“හොඳටම ෂුවර්, තවම සතියයිනේ...”

“මේ පාස්පෝට් එක කාගෙද?”

“මගේ!”

දැන් එකක් නං විශ්වාසය. මේ යන්නේ පවුම් දාහේ නෝට්ටු කවරය පස්සෙන් නොවේ. වෙනින් මොකක් හරි පස්සෙනි. මොකද මගෙන් එහෙම වැරැද්දක් වෙලායැ.... දැන් මගේ හිත තිබ්බාටත් වැඩියෙන් හයියය.

“අපිට ඇත්තම කියන්න වෙනවා.... කවුද උඹට මේ හොර පාස්පෝට් එක හදලා දුන්නේ.... කවදා ඉඳලද උඹ මේ රටේ ඉන්නේ?”

ඉතිං මොකේදැයි දන් වළඳන්නේ?

“මේ පාස්පෝට් එක මගේ.... කවුරුවත් නෙවෙයි ඕක මට හදලා දුන්නේ. අපේ රටේ ආණ්ඩුවෙන්....Democratic Socialist Republic of Sri Lanka එකෙන්....”

පහුගිය සන්දියේ අපේ රටෙත් කෙරුණා වාගේ, එයාලාත් හිතන පාටක් පෙනිණි.

“ඒ වුණාට මේක fake එකක්!”

“උඹලට එහෙම වුණාට මට එහෙම නෑ. ඕක හොර පාස්පෝට් එකක් නං මීට ඉස්සෙල්ලා මං එංගලන්තෙට ගියේ කොහොමද... පෙරළලා බලපල්ලා, සීල් වැදිල තියෙනවානේ....”

එතකොට නම් එයාලා හිතන පාටක් පෙනිණි.

ඒ විඩේ ඔන්න අරගොල්ලන්ගේ සැරත් ටිකාක් විතර බාල වුණේය. ආයෙත් ප්‍රශ්න... “උඹ මෙහාට ආවේ කවදද? මොකටද?”

මට ඕනෑ කරලා තිබුණෙත් ඒ ටික කියාගන්නටය. මම තරුණ වැඩ සටහනට ලැබුණු ලිපි- ආරාධනා පත්‍ර- සහතිකය- හෝටල් බිල්පත් වගේ සේරම දේවල් බෑගයෙන් එළියට දැම්මෙමි; ඔවුනට පෙන්නුවෙමි. එකෙකුට ඒත් මදි වගෙය. “උඹේ අනන්‍යතාව ඔප්පු කරන්න තව මොකුත්...”

ඇයි දෙයියනේ මෙච්චෙල්ලා මට මතක නැති වෙලා තිබ්බේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙන් නිකුත් කළ ‘ජාතික හැඳුනුම් පත’! ඔන්න ඒකත් දික් කළාමය මගේ මොට්ටකම මතක් වුණේ!

ප්‍රශ්නයකුත් ඇහුවා නෙවෙයි. නිකම්ම ඇහුණේය. “Who is this guy?”
අපේ රටේ ආණ්ඩුවෙන් නමෝ විත්තියෙන්ම ජා.හැ. පතක් ගත්තු උදවියට නං හොඳට මතක ඇති. ඒවාට foto ගත්තේ රජයෙන්ම අනුමත කළ තැන්වලින් පමණකි. මොන කරුමයක් නිසාද මන්දා වැඩි දෙනෙකුගේ fotoවල හිටියේ අයිතිකාරයා නොවේ. වෙනින් භූතයෙකු වගේ එකෙකි. මගේ එකටත් ඒ සන්තතෑසියම වෙලා තිබුණේය. කොටින්ම ඒ ඉන්නේ මමමද කියලා මටත් සැක හිතුණු තරම්ය.

මගේ අයිඩෙන්ටි කාඩ් එක අතට ගත් මනුස්සයාට ලොකු හිනාවක් ගියේය. ප්‍රශ්නයකුත් ඇහුවා නෙවෙයි. නිකම්ම ඇහුණේය. “Who is this guy?” ඊළඟට ඒ මනුස්සයා ඒක අනෙක් දෙන්නාටත් පෙන්නුවේය.

අනේ, ඒ මුහුණුවල ඒ වෙලාවේ තිබ්බ ‘කිණ්ඩි’ හිනා ටික!

එදා හෑල්ලු වුණේ රටමය. රටක කෙරුවාවය! ඒ පළමුවෙනි ජාතික හැඳුනුම් පතයි. දෙවෙනි එක ගත්තාමත් 100%ක් නිවැරදි නැත. මා ඉපදී තියෙන තැන ‘බදුල්’ය. ‘ල’ යන්න ලියන්නට අමතක වෙලා වෙන්නැති! ඒත් ඒවා නිකුත් කරන්නට කලින් බැලීමක් කෙරෙන්නේ නැත්ද?

මෙහෙම වෙන්නේ original එකක තියෙන foto එක ගලවලා වෙන foto එකක් ඇලෙව්වාම....

හැබැයි ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම් පතේ කෙරුවාවෙන්ම අනෙක් දේවල් ගැනත් තක්සේරු කරගත් නිසාදෝ, අර මිනිස්සු තව ප්‍රශ්න නොවිමසාම මා නිදහස් කළහ.

“පාස්පෝට් එකක් මේ වගේ discolour වෙන්න විදිහක් නෑ හොරයක් නොකළා නං. මෙහෙම වෙන්නේ original එකක තියෙන foto එක ගලවලා වෙන foto එකක් ඇලෙව්වාම.... ඒකයි අපිට උඹව චෙක් කරන්න වුණේ... අපට කණගාටුයි.... උඹට කරදර කරන්න වුණු එක ගැන!”

නියමිත ගුවන් යානය වරද්දා ගන්නට මට ඕනෑ වුණේ නැත. එයාලාගේ කියුම් අහගෙන ඉන්නවාට වඩා මට උවමනා වුණේ හැකි ඉක්මනින් flight එකට නැඟ ගන්නටය. එදා ඒ ගුවන් යානයට අන්තිමටම නැංගේ මේ ලියන්නාය.

දුවගෙන නොගියා නම් මට එය මඟ හැරෙනවා සිකුරුය!

ජෝලා මට වුණේ මොකක්දැයි හිතමින් කොච්චර කරදර වෙන්නට ඇතිද?

කිසිම අතුරු ආන්තරාවක් නොවී, කටුනායකින් එළියට විත් වෑන් රියට නැඟ ගත්තාමය; මං නිදහසේ හරිහමං හුස්මක් ගත්තේ....

බඩගින්නේ සිටින කෙනෙකුට මාළුවෙකු දුන්නොත් ඔහුගේ කුසගින්න නිවිය හැක්කේ එක දවසකටය. එහෙත් ඔබ ඔහුට මාළු බාන හැටි....

ආපහු ගෙදර ඇවිත් දෙසතියක් යන්නටත් කලින් ජෝගෙන් ලිපියක් ලැබිණි. එහෙදී ගත්තු foto ගොඩකුත් එක්කය. හොංකොං ගුවන් තොටුපළේදී වුණේ මොකක්දැයි අසමින්ය ලියුම පටන් ගෙන තිබුණේ. එතකොට තියා දැන්වත්, අච්චර පතංග ලියුමකට ඉංගිරිසියෙන් උත්තර පත්තරයක් ලියන්නට මට හැකියාවක් නැත.

එතකොට ඒ කාරණයට මා දැනගෙන හිටි හොඳම සුදුස්සා ලාල් අයියායි. 

නමුත් මගේ උවමනාව කියූ ගමන්, ඔහුගෙන් ලැබෙන උත්තරයත් මම ටක්කෙටම දැනගෙන සිටියෙමි. ‘හරි නිමල්. ඔහෙට පුළුවන් විදිහට ලියුම ලියාගෙන එනවා. එතකොට මම ඒක හරි ගස්සලා ටයිප් කරලම දෙන්නං!’

ලාල් අයියා මට ගොඩාක් දේවල් ඉගැන්නුවේ එහෙමය.

චීන පිරුළකින්ම කියන්නෙත් ‘බඩගින්නේ සිටින කෙනෙකුට මාළුවෙකු දුන්නොත් ඔහුගේ කුසගින්න නිවිය හැක්කේ එක දවසකටය. එහෙත් ඔබ ඔහුට මාළු බාන හැටි ඉගැන්නුවොත් ඔහු ජීවිත කාලයටම කුසගින්නේ නොසිටිනු ඇත.’ කියලාය.

89 නොවැම්බර් 13 වෙනිදාය, 46 හැවිරිදි ‘පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර’ උන්නැහේ මරණයට පත්වී තිබුණේ. ඒ දිනවල රට....
‘ඉතිං උත්තර ලියනවා නං වෙනින් කවුරු හරි ලව්වාය ලියව ගන්නට වෙන්නේ. කාට කියලද ලියුමක් ලියවාගන්නේ?’

එහෙම හිතමින් හිටියාට වැඩේ කෙරුණේ නැතිය.

89 නොවැම්බර් 13 වෙනිදාය, 46 හැවිරිදි ‘පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර’ උන්නැහේ මරණයට පත්වී තිබුණේ. ඒ දිනවල රට තිබුණේ සාමකාමී තත්ත්වයක නොවේ. අතැනින්-මෙතැනින් අරයා-මෙයා අත්අඩංගුවට ගනිමින්, නාඳුනන මළ සිරුරු හමුවීම අඩු වෙමින් තිබුණත් අප හැමදෙනාම වගේ හිටියේ යම් තැති ගැන්මකිනි.

අඬන්නට හිටි එකාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ දෙයකි ඒ වුණේ. ඒ මානසිකත්වයත්....

‘වසලයා. අච්චර උදව් කරපු මනුස්සයන්ට උත්තරයක් ලියන්නැද්ද යකෝ?’ හිත කිව්වේය. ඒත් කම්මැලියාට ඕනෑ තරම් නිදහසට කාරණා තියෙයි.

‘මෙච්චර රටේ කලබල තියෙද්දී මොන ලියුම්ද... පස්සේ ලියනවා...’ මා පුදුමාකාර කාලකන්නි නිහඬතාවකින්; අලස බවකින් කල් මරද්දී දවස් ඉගිල්ලුණේය.

“නිමල්, මම හොයල බැලුවා පාස්පෝට් කන්තෝරුවේ යාළුවෙකුට කියලා. ඔයාගේ පාස්පෝට් එකත් එක්ක ඉෂූ කරපු පාස්පෝට් ඔක්කොටම ඔහොම වෙලාලු. Use කරපු ගම් එක කල් යනකොට දුඹුරු පාට වෙලා.... කම්ප්ලේන්ස් කීපෙකුත් ආවලු... ලොකුම වැඩේ ඒක හින්දා නිමල්ට හොංකොං හිරේ ලගින්න වුණේ නැති එක.” අසෝක පියසිරි හිතවතා කිව්වේය.

ලොකුම වැඩේ ඒක හින්දා නිමල්ට හොංකොං හිරේ ලගින්න වුණේ නැති එක....

මට වුණු ඇබැද්දිය කියලා, ඒ ගැන හොයා බලන්නට අසෝකට කිව්වේ, එතකොට එයා කස්ටම් එකේ රාජකාරි කළ නිසාය.

(පුරුදු විදිහට නම් මෙතනදීත් අසෝකට ස්තුතියක් කළ යුතුය. එහෙත් එසේ නොකරන්නේ අවුරුදු ගණනාවකට කලින්ම අසෝක පියසිරි හිතවතා මේවා නොපෙනෙන ලොවකට නික්ම ගිය බැවිනි. නමුදු ‘නොනිමි ආශා’ නාට්‍ය කෙරුවාව ගැන ලියද්දී අසෝක ගැන යළිදු ලියන්නෙමි.)

ජෝලාගෙන් ඊළඟ ලියුමත් ආවේය. ලියුමක්ම නොවේ, මංගල ආරාධනාවය. ඒකත් හමස් පෙට්ටියට ගියේය.

අදටත් මම කනගාටු වන්නෙමි. පාලිගේ දිවි නසාගැනීමෙන් පසු, ටිකක් හෝ ඉවසිලිවන්ත වෙන්නට- නැවතිල්ලේ හිතා බලන්නට ඉගෙනගත් පාඩම එදා මා අමතක කළේ ඇයි? යමක් කල් නොදමා කළ යුතු බව අමතක කළේ ඇයි? අන්තිම පාදඩ අකෘතඥයෙක් වුණේ ඇයි? 

රාජමනි අංකල්ගේ අවසන් කැමැත්ත ඉටු කිරීම ගැන මට තිබෙන සතුට වැනි හැඟීමක් මට අහිමිව ගියේ ඒ නිසාය෴

19 comments:

  1. දැන්වත් උත්තරයක් යවන්න.

    https://buyrealdocsonline.com/
    https://www.fraud-magazine.com/article.aspx?id=4294988663
    https://www.picturando.com/fake/passports/

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයා හදන්නේ තවත් බ්ලොග් පෝස්ට්ස් කීපෙකට මඟ පාදවන්න වගේ....

      Delete
  2. ලංකාවේ පාස්පෝට් සහ වීසා හොරට හැදීම ඒ කාලයේ ජයටම කෙරුනා. හොං කොං වලින් සැක හිතන එක සාධාරණයි.
    කොහොම උනත් ඔය සල්ලි මිටියත් ඒ පිටටම අහු උනානම් සොරි ඩොට් කොම් තමා.

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම් මහත්තයෝ, එහෙනං ඉතිං කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ තමා...

      Delete
  3. 'අපේම නංගිලාගේ හරි මල්ලිලාගේ හරි ගෙදරකට ගියත් මට ඕනේ ඉක්මනටම ආපහු එන්නටය.’- මගේ අප්පච්චිට මේ ලෙඩේ සුපිරියටම තියෙනවා

    ReplyDelete
    Replies
    1. මළ කෙළියයි චමී. කවුද දන්නෙ මේක තව යටත් තියෙන ලෙඩක් කියලා.

      Delete
  4. 'ඔහෙට පුළුවන් විදිහට ලියුම ලියාගෙන එනවා. එතකොට මම ඒක හරි ගස්සලා ටයිප් කරලම දෙන්නං!’ සැබෑ ගුරුවරු. එකම එක වාක්‍යයක් හරි පේලියක් හරි නිමල් ලිව්වානම් ලියුම කොහොම හරි ලියවෙනවා. සම්පූර්න නම දන්නව නම් google කරලා බැලුවෙ නැද්ද පොඩි හෝඩුවාවක් වත් තියෙයිද කියලා.

    මන් දන්න තරමින් දැන් නම් transit එකකටවත් Hong Kong airport එකේ ලන්කාවෙ පාස්පොර්ට් තියෙන කෙනෙකුට ඉන්න දෙන්නෙ ඉතාම සීමිත පැය ගනනක්. අපේ වැඩ.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ නම තියා fotoවත් නෑ Lotus. හිතේ බර අඩු කරවන්න වගේ ඒ foto, ලියවිලි ගොඩකට තෙතමනයයි- වේයෝයි වැඩේ හදලා තිබුණා....

      ඇත්තමයි. අදටත් ලාල් අයියා ගැන නිතර මතක් වෙන්නේ ඔය වගේ ගුරු-හරුකම් නිසාමයි.

      එච්චරටම අපිව හොංකොංවලට එපා වෙලාද? මාරයි තමා!

      Delete
  5. මදැයි ඔයින් ගියා.
    මගේ අයිඩෙන්ටියෙත් ඔය සන්තෑසියම තියෙනව. මෙහේ බැංකුවකින්වත් ඒක පිළිගන්නෙ නෑ හින්ද ඔය වගේ සීන් එකක් උනොත් කෙලිංම හිරේ තමයි. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං ප්‍රසන්න.
      තවම දුකයි අර මුල්ම අයිඩේන්ටියේ foto කොපි එකක්වත් අරන් තියාගත්තේ නැති එක ගැන....

      දෙවෙනි අයිඩෙන්ටිය නිසාත් සමහර වෙලාවට ප්‍රශ්න තමා, මටත්...

      Delete
  6. හම්මේ... මදැයි සල්ලි මිටිය බෙර ගත්ත,,, ඉංගිරිසියෙන් ලියුමක් ලියාගන්න කෙනෙක් හිටියෙම නැද්ද?
    මං දෙකේ, තුනේ පන්තියේ ඉන්නකොට එංගලන්තේ මහා රැජිනට ලියුම් ලියල තැපැල් කලා , ලිව්වේ සිංහලෙන්,මුද්දර ගැහුවද කියල මතක නෑ ....

    ReplyDelete
    Replies
    1. හිටියත් ලලිත් අපේ බොරු ආඩම්බරකමට මදිකමක් නොවෙන විදිහට වෙන්නත් එපැයි.

      ඇත්තම කිව්වම ඒ දවස්වල ඔව්ව ගැන වැඩි තැකීමක් තිබුණේ නැතිව වෙන්නැති.

      Delete
  7. සල්ලි මිටිය ගැන කියවද්දි මට මතක් වුණේ Kangaroo Jack ෆිල්ම් එක. අන්න ෆිල්ම්...!

    අර ජෝගෙ ලියුමට උත්තර නොයවපු එකයි, වෙඩිමට නොගියපු එකයි ඇත්තටම සවුත්තුයි ලොකු අයියෙ. ඔය වැඩේ මං අතිනුත් සිද්ද වෙනව ඕනෙ තරම්...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඩ්රැකී, අපෙන් තව ක්ච්චර වැරදි වෙනවද? තවමත්...

      Kangaroo Jack මං බලපු එකක් නෙවෙයි... හොයන්නම්කො.

      Delete
    2. අද උදේ Kangaroo Jack බැලුවා.... අපූරුයි. මට හිතාගන්න බැරි IMDB දර්ශකයේ ඒකට ලැබිලා තියෙන අගය අඩු එක ගැන.

      ගොඩක් ස්තුතියි ඩ්රැකී!

      Delete
  8. අයියන්ඩි ඒතක‌ොට ලියුමක් යැවුව‌ෙම නැතිද? ඒ් ක ඇහුවාම නම් හිර‌ේ යයි කියල හිතුනටත් වඩා අවුල් ගියා

    ReplyDelete
    Replies
    1. මනුස්ස ගති එහෙම තමයි මධු.

      කළ යුතු වෙලාවේම වැඩක් නොකර කල් දදා හිටියම, නිදහසට කරුණු හොයමින් හිටියම නිකම්ම වැඩේ නොකෙරෙන තැනට වැඩ සිද්ධ වෙනවා. ඉතිං පස්සේ තැවෙන්නයි වෙන්නේ...

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්