අකුරු මැකී නෑ

Tuesday, July 29, 2025

හතලිහේදී... පහළොස්වෙනි කොටස

අමන්ගේ ප්‍රශ්නය ගැන කතන්දරේ එතැනින් ඉවර නොවුණේ බල්නූර් හින්දයි. “චී චී චී! What nonsense you talk Aman? උඹ හිතන්නේ නිමලුත් උඹ වගේම බාස්ටඩ් කෙනෙක් කියලද? බලපන්... මේ බ්‍රදර්ගේ අහිංසක පාට...” බල්නූර් අමන්ගේ ඇඟට ගොඩ වුණේ නොමනාපයෙන්.

නිදි තමන්ටම "නරක සමනලයා" කියා පුන, පුනා කීමෙන් කරන්නේ පස්චාත්තාප වීමක්ද, ආතල් ගැනීමක්ද කියා පැහැදිලි නෑ.

ඇ..ඈ... එහෙනං බල්නූර් කියන හැටියට අමනුත්...?

මගේ ජීවිත කතාව කියනකොට ‘සමරිසි උදවිය ගැනයි, ඒ හා අදාළ දේවල් ගැනයි’ වැඩිපුර කියවෙනවා වගෙයි නේද? ඒක සිද්ද වෙන්නේ නිරායාසයෙන්ම. එහෙම වෙන්නේ හුඟක් උදවිය ඒ ගැන විවෘතව කතා නොකරන හින්දයි; ඇත්තම කතා කරන්න පැකිළෙන හින්දයි තමා... මගේ අත්දැකීම් අනුව නං, තවමත් ගොඩක් උදවිය ‘සමරිසි නෙවෙයි විෂම ලිංගික කටයුතු ගැන වුණත් කතා කරන්න’ පැකිළෙනවා; හැබැයි- බොරු ලිංගිකත්වය සම්බන්ධව පුරාජේරු කතා කියන්න, පම්පෝරි ගහන්න නම් පොඩ්ඩක්වත් පැකිළෙන්නේ නෑ!

හතලිහේදී 13 කොටසට comments එවද්දී අපේ හිතාදර විජේබාහු මහත්තයා බොහොම විවෘතව දක්වා තිබුණු අදහස්වලින් ‘සමරිසි අයගේ ඇඟට ගොඩ වුණා වගේ ගතියක්’ මට දැනුණා. ඒ ගැන කිව්වම එතුමා මෙහෙම උත්තරයක් එවා තිබ්බා.
‘සල්ලාල කියන්නේ මොකක්ද
? රටේ මිනිස්සුන්ට පේන්නම ගෑනු පස්සේ යන එකද? හොරෙන් කරන අය සල්ලාල නැද්ද? මේවා දැවෙන ප්‍රශ්න නිදි.

මම කියන්නේ කැමති ගෑනු ඕන තරම් ගන්න, හැබැයි ගෑනු රවටන්න අමාරුවේ දාන්න පවුල් කඩන්න එපා. ඒ අයගේ අර දෙක තලන්න ඕන.

සමරිසි අය ගැන නි.දි. හිතුව දේ වැරදියි, ඒක සිංහල කෙටීමේදී උන අතපසුවක්. මම ඔය බෙදීම්වල (ජාති,ආගම්, පක්ෂ, රිසි/ නොරිසි) මුල් බැසගෙන නැත. තමන්ගේ ජීවිතය තමන්ට ඕන විදියට, අනුන්ට ප්‍රශ්නයක් නොවී ගෙනියන්න ඕන කෙනෙකුට නිදහස තියෙන්න ඕන කියල මම හිතන්නේ.

සමරිසි අය ගැන උනත්, මම දන්න විදියට ලංකාවේ ඒ අයට අතීතයේ උනත් එහෙම කරදර උනේ නෑ. සමහර දියුණු රටවලත් අතීතයේ සමරිසි නිසා ගෑනු/ මිනිස්සු මරලා තියෙනවා. අදටත් එහෙම වෙනවා අප්‍රිකාවේ.

කොහොමද මේ සමරිසි අය හස්බන්/ වයිෆ් හොයා ගන්නේ? මේක විහිළුවක් නොවේ, කතා බහ වෙනකොට ඇතිවෙන ප්‍රායෝගික ප්‍රශ්නයක්.

මම විජේබාහු’

බස්සා මහත්තයාත් ඒකට දිගුවක් එකතු කරලා තිබුණේ මෙහෙමයි.
‘// ඔයාගේ හිතේ සමරිසි උදවිය කෙරෙහි අප්‍රසාදයක්....//
බාගදා මා ගැනත් එහෙම හිතෙනව ඇති. අප්‍රසාදයක් නැහැ
, හැබැයි රිපීට් කියන ඒ කොටස් ගැන ප්‍රසාදයකුත් නෑ. ඒත් අර කිව්වා වගේ මේක නිදිගෙ කතාව, නිදිගෙ ආතල් එක නිසා ඉවසා වදාරණවා.

උදාහරණයක් විදිහට Stephen Fry මම කැමතිම අයෙක්. ඔහුත් සමරිසි, ඒත් ඔහු ප්‍රහසන නළුවෙක් වගේම ඉතාම බුද්ධිමත් කෙනෙක්. නිදි තමන්ටම "නරක සමනලයා" කියා පුන, පුනා කීමෙන් කරන්නේ පස්චාත්තාප වීමක්ද, ආතල් ගැනීමක්ද කියා පැහැදිලි නෑ. ඒක පස්චාත්තාප වීමක්, සමාව ඇයදීමක් නං, ඒක අවශ්‍ය නෑ.’

එහෙම වුණේ මං ඇතිදැඩි වුණු පරිසරයේදී ‘සමරිසි වීම’ වැරැද්දක් විදිහට සැලකුණ හින්දයි. එහෙම හැඟීමක් තිබුණා වුණත් මට ඒ සබඳතාවලින් මිදෙන්නටත් හැකි වුණේ නෑ.

‘ඒ ගැන මගේ පැත්තෙන් කිව යුතු කරුණු කීපයක්ම තිබෙන හින්දා ඊළඟ post එකේදිම කියන්නං.’ කියලයි එදා මං උත්තර දුන්නේ.

ඊට කලින් අපි කියවලා ඉඳිමුද ඒ post එකටම බස්සා මහතා එවල තිබ්බ මේ comment එකයි ඒකට මං වහන්සේ දුන්නු උත්තරෙයි දෙකත්.
‘කතාවේ වැඩි හරියක් කියෙව්වා. අර බස් පාස් වගේ විස්තර රසවත්. අමන්
, බල්නූර් කතාවෙ මේ කොටසට අදාල නිසා ඒකත් කියෙව්වා.

සමහර බවුතික විද්දියා පාඩම්, අතීත සැමරුම් කොටස් වලට කොච්චර ආසද කියනව නං, ලිස්සුවෙ සුරුස් ගාලා එකසිය හැටට බල්ටියකුත් ගහලා.'

මේ මම දීපු උත්තරේ:

‘කමක් නෑ, කමක් නෑ බකුසුතුමෝ. මම මට කැමති විදිහට ලියන දේවල් සේරම පාඨකයනුත් කියවිය යුතුය කියල මං හිතන්නේ නැහැ. ඒත් කවුරු හරි කොටස් මඟ හරිමින් කියවනවයි කියන්නේ ලිවීමේදී මගෙන් සිද්ද වෙන අඩුවක්. ඒ ගැන මගේ දැනීමේ හැටියට ලියනවා- ඊළඟ කොටසේදීම. කමක් නැහැනෙ.’

මේ කියන්නේ ඒ ගැන.
‘නිදිගෙ පංච තන්තරේ’ බ්ලොගය ලියන්න ගත්තේ මගේ ජීවිත කතාව ලෝකෙට කියන්නනෙ. මගේ නියම අනන්‍යතාව වසං කරගෙන අති සාර්ථකව දෙබිඩ්ඩෙක් විදිහට මං ගත කරපු ජීවිතය ගැන මගේ හිත දිගටම මට දොස් කිව්වා.
එහෙම වුණේ මං ඇතිදැඩි වුණු පරිසරයේදී ‘සමරිසි වීම’ වැරැද්දක් විදිහට සැලකුණ හින්දයි. එහෙම හැඟීමක් තිබුණා වුණත් මට ඒ සබඳතාවලින් මිදෙන්නටත් හැකි වුණේ නෑ.
නමුත් අතිසාර්ථක විදිහට ‘මගේ රහස්‍ය විශ්වයේ’ සැරි සරපු නිසාද කොහෙද, මාව සමාජයේදීත්- නෑ හිත මිතුරන් මැද්දෙදීත් ගණන් ගැනුණේ ‘හරි හොඳ කෙනෙකු’ හැටියටයි.

ඒකට ලොකුම රුකුලක් වුණේ මගේ අහිංසක පාට. (මිනිස්සු හුඟක් අයව මනින්නේ පෙනුමින්නෙ. දැක්ක නෙව ගනේමුල්ලේ සංජීවගේ ඝාතකයා යැයි කියවෙන කෙනාගේ කඩවසම් රූපය අපේ බොහොමයක් තරුණියන් කෙරෙහි බලපෑ විදිහ... මේක අපේ රටේ විතරක් නෙවෙයි- ලෝකෙම හැටි.)

අනෙක පත පොතින් මං වහන්සේ ලබාගත් දැනුමයි- උපතින්ම මට හිමි වුණු (ලලනාමය) නාසිඛයමය කටහඬයි දෙකත් මට සෑහෙන්න උදව් වුණා- ඔය ලකුණු ලබා ගැනිල්ලෙදී. හැබැයි- මං කොයියම්ම වෙලාවකවත් අනුන්ව රවට්ටන්න බොරු නං කිව්වේ නෑ. ඒත් හිතාමතාම ඇත්තම ඇත්ත නොකිය හිටියා; නැත්තං ඇත්ත කිව්වා බොරුවක් විදිහට හැඟෙන්න.

මං තව කෙනෙකුගේ පුද්ගලික විස්තර හාරාවුස්සන්නේ නෑ. ඒත්...

ඔහොම සමර්ථකම් මැද්දේ මට හිමි නැති ගරුත්වයක් ලැබෙද්දී නම් මට උවමනා වුණේ ‘හැබෑ නිමල් දිසානායක කියන්නේ ඔයාලා හිතන කෙනා නෙවෙයි; ඌ මෙහෙම සතෙක්.’ කියල මගේ හැබෑ අනන්‍යතාව එළිදරව් කරන්න.

ඒත් එතකොට අපේ පවුලේ අය- නෑදෑයන්- හිත මිතුරන්... එයාලට ඒ හෙළිදරව්ව කොහොම බලපායිද? මට හිතුණා. ඒ හින්දම මට නිස්සද්දව ඉන්න වුණා.

ඒ ටීකාව ඇති වගෙයි කියලා හිතෙන හින්දා ඒක එතැනින් නවත්තලා ඔන්න දැන් නිමල් දිසානායක යන්නයි හදන්නේ බල්නූර්ගේ ජංගම ෆෝන් එක ළඟට...

ගාමන්ට් එකේ හුඟ දෙනෙක් විටින් විට බල්නූර් වටේ රොක් වෙමින් ‘මොබයිල් ෆෝන්’ එකේ විස්තර ඇහුවා. බහු භාණ්ඩිකයෙක් නොවෙන; හණමිටිය බිම දමන්නට පහුබාන්නෙකු වෙන නිමල් දිසානායකට නං ඒ මෝබයිල් එක ගැන එච්චර කුතුහලයක් තිබ්බේ නෑ.

දවස් දෙක තුනයි ගියේ- ෆැක්ටරියේ හැමෝම වගේ බල්නූර්ව දකින දකින ගාණේ මොනවදෝ කාරණයක් මතක් කරන්න ගත්තා. එව්වා ඔක්කොම සංක්ෂිප්ත සිහි කැඳවීම්. ‘බල්නූර්, මාව මතකනේ...’ / ‘ඔන්න බල්නූර්- මුලින්ම මට!’ වගේ කෙටි ප්‍රකාශන.
‘මොනවා ගැනද යකඩෝ මේ යක්ෂ පැටව් කියන්නේ?’ කියල මට කුකුසකුත් නොහිතුණා නෙවෙයි. ‘දවස් දෙක තුනකින් නිකංම කියවෙයි නිමලෝ. දැන් ඕක අහන්න ගියොත් තමුසෙත් ‘නෝසි පාකර්’ කෙනෙකු ගණනට වැටෙයි!’ කියල මටම කියාගෙන මං නිස්සද්දව උන්නා.

ඒ මගේ විදිහනෙ.
අදටත් මං තව කෙනෙකුගේ පුද්ගලික විස්තර හාරාවුස්සන්නේ නෑ. ඒත් එයාලා මගෙත්තෙක්ක මොනවා කිව්වත් ඉවසිල්ලෙන් අහගෙන ඉන්නවා; හූමිටි තියමින් එයාලව උනන්දු කරනවා. ඒ හින්දද මං දන්නෙ නෑ, මගේ හිතවතුන්- හිතවතියන් හැමෝම වගේ හුඟාක් රහස්; පුද්ගලික කාරණා මට කියන ගතියකුත් තියෙනවා.

 කීප දවසකින්ම මගේ අර හිතිවිල්ල හරි ගියා. බල්නූර්මයි නිවාඩු-පාඩුවේ ඒ විස්තරේ මට කිව්වේ.

“මේ දවස්වල හැමෝටම මාව මතක් වෙනවනේ බ්‍රදර් නිතරෝම. හඃ හඃ හඃ... හැමෝටම ඕනි මගේ ෆෝන් එකෙන් ගමට කතා කරන්න.”
“ගමට කිව්වේ ඉන්දියාවට... එහෙම කරන්න ගියොත් ඉතිං බල්නූර්ට ලොකු වියදමක් යයිනෙ.”
“ඇයි බ්‍රදර්, ඔයාලගේ ගෙදර කවුරුවත් නැද්ද මොබයිල් ෆෝන් තියෙන? මේ දවස්වල ෆෝන් කොම්පැණිකාරයෝ ගජරාමෙට රේස් දුවනවා, එයාලගේ ෆෝන් විකුණා ගන්න. ඒ එක්කම එක එක පැකේජස් හෙමත් දෙනවා- අපිව බිල්ලට ගන්න. මගේ ෆෝන් එක ගත්ත තැනිනුත් weekend පැකේජ් එකක් දෙනවලු. ඉරිදට කොච්චර කෝල් ගත්තත් free! ඒක දැනගත්තු ගමන් තමයි මෙහෙ හැමෝටම ගමට කතා කරන්න ඕනි වෙලා තියෙන්නෙ.”

අනේ දෙයියනේ, එච්චර ඉක්මනටම එහෙම වෙන්න දෙන්න එපා!

“ඒ කියන්නෙ ඉරිදාට ඔයාගේ ෆෝන් එකෙන් ලෝකෙ කොහෙට කතා කළත් සල්ලි ගෙවන්න ඕනි නැද්ද?”

බල්නූර් මට උත්තර දුන්නේ ආඩම්බර ඔළුව හෙලවිල්ලකින්. හරියට එයා විහින් ‘ඒ නොමිලේ දීමනාව’ දෙනවා වගේ.

එතකොටම මට මතක් වුණේ නයනානන්දව. එදාම හවස මං එයාට ලියුමක් ලිව්වා, අර විස්තරත් එක්ක.
“අපිට නිදහසේ කතා කරන්න පුළුවන් කොහෙ හරි තැනක නොම්මරේ පුළුවන් ඉක්මනට එවන්න. හැබැයි මං වැඩ කරන තැන ඉඳලා ඉරිදට විතරයි කතා කරන්නේ. පැයක් විතර ඔයාට එතන බලාගෙන ඉන්නත් වෙයි. වෙලාව ගණන් බලද්දී අමතක කරන්න එපා ඔහේ වෙලාවයි මෙහෙ වෙලාවයි අතරේ තියෙන පැය පහමාරක විතර වෙනස ගැනත්...”

නයනේ ටෙලිෆෝන් නොම්මරයකුත් වෙලාවත් එව්වේය.
මටත් බල්නූර්ගේ ෆෝන් එකෙන් ලංකාවට කතා කරන්නට දෙනවාදැයි ඒ අතරවාරයේ අහලා බලලා ඉන්නටත් මා අමතක කළේ නැත.

“ෂුවර්, ෂුවර්. ඩෙෆිනීටලි... You tell me the time බ්‍රදර්...” බල්නූර් උත්තර දුන්නේ හැබෑම සතුටකිනි. “උඹ වගෙ කෙනෙකුට උදව්වක් කරන්න I like බෝත් බෝත්. උඹලගෙ රටේ ඔක්කොම මිනිස්සු උඹ වගෙ... ක්ලීන්ද- පියෝද? You know what I say... බ්‍රදර්. අයි සී යූ my little භායි.”
මට තවමත් මතකය. ඉංග්‍රීසි, හින්දි වගෙ භාෂා කලවම් කෙරෙමින් බල්නූර් කළ කතාව තේරුම් ගන්නට මට එදා චුට්ටක්වත් අමාරු වුණේ නැත. මගේ ‘ද්විභාෂා සංකලන කථනය’ තේරුම් ගැනීමේදී ඔහුටත් එසේම වෙන්නට ඇත.

ඉතිං බල්නූර්ගේ ෆෝනයේ උදව්වෙන් නයනානන්දටත් මටත් විනාඩියක් දෙකක් විතර කතාබහ කර ගන්නටත් හැකි වුණේය. ඒත් අප දෙන්නාට අපේ අතිශය හැඟුම්බර සංවාදය ඉවර කර ගන්නට නම් ඉඩක් ලැබුණේ නැත. ජංගම සම්බන්ධය බිඳ වැටිණි!

“කොම්පැණිකාරයන්ගේ රැකට්! මගේ ගොඩක් යාළුවන්ටත් ඔය වැඩේම වෙලා.” පස්සේ දවසක බල්නූර් කිව්වේය.
“රැකට් එකක්මත් නෙවෙයිලු බල්නූර්... Jam වීමක්ලු කියලයි කියන්නේ.” අමන් පහදලා දුන්නේය.
“එහෙනං ඊළඟ දවසේ බටර් වෙයි!”
“විහිළුවක් නෙවෙයි නිමල් බ්‍රදර්... එක සැරේ ඕනිවට වඩා මිනිස්සු ටෙලිෆෝන්වලින් කතා කරන්න ගත්තමලු ඔහොම වෙන්නේ! ඒත් ඒ පැකේජ් එක වුණත් ඉක්මනටම නවත්තයිලු... ෆෝන්ස් ටිකක් විකුණුනාට පස්සේ...”

අනේ දෙයියනේ, එච්චර ඉක්මනටම එහෙම වෙන්න දෙන්න එපා! මගේ වැඩේ කරනකල්වත්... මට හිතුණේ ඒ ඇසිල්ලේය.

ඒ වෙද්දීත් ඊළඟ පියවර කොහොම විය යුතුදැයි මගේ හිතේ සැලසුම් කෙරෙමිනි තිබ්බේ.
Sam බිමල් දෙන්නගේ මංගල්‍යෝත්සවය තියෙන්නේ ජුලි මාසයේ අන්තිමටය. ඊට සති දෙකක්වත් තිබියදී මගේ රහස සමාට හෙළි කිරීම හොඳය. බල්නූර්ගේ මොබයිලයෙන්ම ඒ රහස කිව යුතුය.

දැන්මම කියපං... කෙල්ලෙක්ට නේද උඹ කතා කරන්න හදන්නේ...

අහීර් මහත්තයාගේ ගාමන්ට් එකේ කවුරුවත් සිංහල දන්නැහැනෙ. ඒ නිසා මට කොඳුරමින් කතා නොකර නිදහසේ කතා කරන්නත් පුළුවන් වේවි. ඒකත් ලොකු දෙයක් නෙව.
ඔය ඔක්කොටමත් වඩා සමන්ති නංගිගේ මූණ බලාගෙන මේ වගෙ වනචර කතන්දරයක් කියනවට වඩා ලේසියකුත් තියෙනවනෙ ෆෝන් එකෙන් කියද්දී... 

මං කොහොමද එදාට කතාව පටන් ගන්න ඕනි?
සෑම් මම කියන දේ ඉවර වෙනකල්ම අහගෙන ඉඳියිද?
අහගෙන ඉඳලා මොන වගෙ උත්තරයක් දෙයිද? දාහක් ප්‍රශ්න දැනටමත් හිතේ මතු වෙමින් තිබේ. ඒත්... ඒත්... ඉස්සරහට තියාපු පය පස්සට ගැනීමට නං මේ සම්මජ්ජාතියෙදී කරන්නට බැරිය!

උම්මග්ග ජාතකයේ කාලගෝලයා ‘මියෙම්වා, රැකෙම්වා’ කියා පරාණ භය යටපත් කරගෙන; එඩි වඩාගෙන වතුරට බැස්සෙත් මං වගෙ වෙන්නැති.

ඒ අස්සෙම මට තවත් කල්පනාවකුත් පහළ වුණේය. ඒ ගැනත් බල්නූර්ගෙන්ම අහ ගත්තොත්... “බල්නූර්, මේ ඉරිද  දවල්ට මට එංගලන්තේම ඉන්න එක්කෙනෙකුට කතා කරන්න තියෙනවා... පුළුවන් වෙයි නේද?”
“ඕක අහන්නත් දෙයක්ද බ්‍රදර්... මෙහෙම ඉන්න එක්කෙනෙකුට නං ඉරිදා වෙනකල්  බලාගෙන ඉන්න ඕනිත් නෑ. අද දවල්ටම කතා කරමු... මහ ගණනක් වියදම් වෙන එකක්යැ...”

“අනේ බල්නූර්, වියදම නෙවෙයි. එයාට නිදහස තියෙන්නත් ඕනිනේ... මං කල්පනා කළේ, එයාට කියන්නද ඉරිදට අපි කතා කරනවයි කියලා- වෙලාවකුත්... අද සිකුරාදනේ...”
“මෙන්න ෆෝන් එක... දැන්මම කියපං... කෙල්ලෙක්ට නේද උඹ කතා කරන්න හදන්නේ... මූණෙන්ම පේනවා... වැඩේ හරි ගියොත් මටත් වෙඩින් එක කියනවා නේද බ්‍රදර්?”

“මම කතා කරන්න යන්නෙ නං කෙල්ලෙකුට තමයි, ඒත් උඹ හිතන විදිහේ කෙනෙකුට නෙවෙයි. මගේ sister කෙනෙකුට... ගෙදර අනිත් අයට රහසෙනුයි මට එයාට කතා කරන්න ඕනි. ඒකයි... වැදගත් කාරණයක්...”
‘හරි, හරි... බ්‍රදර් උඹේ බෙහෙන්ට දැන්මම call එක දීලා ඉඳපං... තව විනාඩි පහෙන් lunch time ෆිනිෂ්!” බල්නූර් මොබයිලය මගේ අතටම දුන්නා. ඉතිං කතා නොකර පුළුවන්ද? මං සෑම්ට කතා කළා.

“ලොකූ ඔයා? ඇයි ඇයි හදිසියේ... Is there a problem? කාගෙ ෆෝන් එකෙන්ද ඔයා මේ කතා කරන්නේ...” සමන්ති නංගි හොඳටම බය වෙලාය; කලබල වෙලාය.   

“හදිසියක්වත් කරදරයක්වත් නෙවෙයි සෑම්. තව විනාඩි දෙක තුනකින් අපේ ලන්ච් බ්රේක් එක ඉවරයි. ඊට ඉස්සෙල්ල කියන්නේ. ඔයාට ලොකු රහසක්- වැදගත් දෙයක් කියන්න තියෙනවා. About me. Very important thing...”
“අ සීක්රට්? ඉම්පෝටන්ට්...? What is it? I am burning ලොකූ...”

“Listen, ලිස්න් කෙයාර්ෆුලි. මං ඔයාට කතා කරනවා ඉරිදා දවල් එකත් එකහමාරත් අතරේ... මේ ෆෝන් එකෙන්ම. එතකල් මේ ගැන කිසිම කෙනෙකුට කියන්න එපා... බුදු සරණයි!”

 ‘I am Gay!’ කියලා කෙටියෙන්ම කියලා දඩිබිඩියේම call එක කට් කළොත්...   

දැන් ඉතිං කරන්නට තියෙන්නේ ඉරිදා වෙනතුරු බලාගෙන ඉඳින්නටය.

ඇත්තම කිව්වොත් ඊට පස්සේ මා උන්නේ දැවෙමිනි; නොඉවසිල්ලෙන් දැවෙමිනි; ඉරිදාට සමන්තිගේ ප්‍රතිචාරය කොහොම එකක් වේදැයි දෙගිඩියාවෙන් දැවෙමිනි.
සර්ප දෂ්ටයකදී දෂ්ටනයට ලක් වුණු කෙනාට මෙන්ම සර්පයාටත් තදබල පීඩාවක් දැනෙනවාලු. මේ එවැනි හැඟීමක්ද මට දැනෙන්නේ...
සැකයක් නැත. දැන් සමන්ති නංගිත් ඉන්නවා ඇත්තේ අසහනකාරී හැඟීමකිනි...

‘මොකක්ද ලොකූ කියනවයි කිව්ව රහස?’ ඉරිදාට Sam අසනවා ඇත.
‘සමා, I am Gay!’ කියලා කෙටියෙන්ම කියලා දඩිබිඩියේම call එක කට් කළොත්... ඔව්! ඒක තමයි කරන්න ඕනේ... එතකොට...  

‘නිදිගෙ පංච තන්තරේ’ කියවන හිතාදර ඔබලාව දවස් කිහිපයක් කුහුලෙන් තැබීම ගැන සමාවෙන්නැයි කියමින් අදට නවතින්නෙමි. ඉතිරි හරිය ඊළඟ කොටසින්...

Wednesday, July 23, 2025

හතලිහේදී... දාහතරවෙනි කොටස

ඒක නෙවෙයි, නිමල්. උඹට උඹලගෙ රටේ කෙල්ලෙක් ඉන්නවා නේද? ඇත්ත කියපං... උඹට එෆෙයාර් එකක් තියෙනව නේද?” ඒ ගමන්ම අමන් මටත් ප්‍රශ්න කීපයක් එල්ල කෙරුවා.

එකක්? එකක් නෙවෙයි අමන්, මට එෆෙයාර්ස් ගොඩක් තියෙනවා...” ඇත්තම ඇත්තක් බොරුවක් වගේ දැනෙන විදිහට මං කිව්වේ එතකොටයි.

උඹට නං කොල්ලො එක්කත් එෆෙයාර්ස් තියෙනවා වෙන්නැති! ඇත්තටම උඹට එහෙම එෆෙයාර්ස් තිබිලා නැද්ද?

එතකොට අමන් කිව්වේ මං කීයටවත් නොහිතපු දෙයක්.

කෙල්ලෝ විතරක් නෙවෙයි නිමල්... උඹට නං කොල්ලො එක්කත් එෆෙයාර්ස් තියෙනවා වෙන්නැති! ඇත්තටම උඹට එහෙම එෆෙයාර්ස් තිබිලා නැද්ද?”
ඒ කතාවෙන් නං මං තිගැස්සුණා. ඒත් ඒ විත්තිය කාටවත්ම නොපෙනෙන්න කට පුරවලා හිනාවක් දාන එක මට එච්චර අමාරු වුණේ නෑ. මගේ රංගන කෞශල්‍යය එතකොටත් ඉතිරි වෙලා තිබුණු හින්දා.

නමුත් මගේ හිත නං තිබ්බේ දෙමෝලෙන් පිටි කොටන ගණනට.
ඇයි අමන් අරහෙම ප්‍රශ්නයක් ඇහුවේ... මට දිගටම හිතුණා.

ඒ වෙලාව මතක් වෙද්දී මේ දැනුත් මගේ හුස්ම වැටිල්ල වේගවත් වෙනවා... මුහුණට; විශේෂයෙන් කන් පෙතිවලට ලේ පිරෙන හැටි දැනෙනවා... ඇස් දෙකත් දිලිසෙන්න පටන් ගෙන වෙන්නැති...’

එතැනිනුයි නිමල් දිසානායක ‘හතලිහේදී 13 වෙනි කොටස’ අවසන් කළේ. ඒ 2025 පෙබරවාරියේදී. ඊට පස්සේ වෙනවෙන කාරණා ගැන post ගණනාවක් ලිව්වත් ‘මේ තාවකාලික විරාමය’ ගැනත් මං වහන්සේ හොඳ කල්පනාවෙනුයි උන්නේ. පටන් ගත්ත වැඩක් ඉවර නොකර නවත්තන්න ඇහැකියැ...

ඉතිං... අමන් අර ප්‍රශ්නය ඇහුවා විතරයි මං හොඳටෝම අන්ද-මන්ද වුණා, පීචං කතන්දරේක හිටිය තරුණ ගොනා වගෙ. (එහෙම කිව්වට හරි යනවයැ? ඒ කතන්දරේ හැමෝන්ටම හදි ගැහෙන්නේ නැතිව ඇති නෙව.) මේන් ඒ කතාව, තිබිච්ච හැටියටම.

‘එක්තරා ගොවිපළක, පට්ටි දැමීම සඳහා ගොනුන් 3දෙනෙකු සිටියා. තවත් ගොනෙකු ගොවිපළට ගේන්න යන බව මේ ගොනුන් තුන්දෙනාට ආරංචි වුණා. ඔවුන් ඒ පිළිබඳව එකිනෙකා සාකච්ඡා කළා.

පළවෙනි ගොනා : "මචං, මං දැන් මේකට ඇවිල්ල අවුරුදු 5ක් වෙනවා. මෙතන ඉන්න පරණම කෙනා මං හින්දා, ගොවිපළේ එළදෙන්නු 100ක් මට අයිතියි කියල අපි එකඟ වුණා මතකනෙ. දැන් මේ අලුතෙන් එන්න ඉන්න කෙනා කොහෙන් එළදෙන්නු හොයාගනීද මං දන්නෑ. මගෙන් නම් එක්කෙනෙක්වත් ඌට දෙන්නෑ".

දෙවන ගොනා : "ඒකම තමයි මටත් කියන්න තියන්නෙ. මං දැන් ඇවිල්ල අවුරුදු 3ක් වෙනවා. එකඟතාවයෙ හැටියට, මට එළදෙන්නු 50ක් අයිතියි. අලුතෙන් එන එකා පැනල දුවනකං හරි, ඌ මැරෙනකල් හරි මං ඌත් එක්ක සටන් කරනවා. ඒත් මගෙන් එක එළදෙනක්වත් ඌට දෙන්නෙ නෑ".

තුන්වන ගොනා : "මං තාම ඇවිල්ල අවුරුද්දයි. දැනට මට අයිති එළදෙන්නු 10ක් විතරයි. මං තාම ඔයාල තරම් ලොකුවෙලා නැතුව ඇති. ඒත් මං තරුණයි වගේම ක්රියාශීලීයි. ඉතිං මගෙ එළදෙනුන්ගෙන් එකෙක්වත් ඌට දෙන්න බෑ.

පුතා, මං උඹට අවවාදයක් දෙන්නම්, උඹේ එළදෙන්නුන්ගෙන් කීප දෙනෙක් ඌට දීලා, ජීවත් වෙන්න බලපං පණට ආදරේ නම්.

ටික වෙලාවකින්, රෝද 18ක විශාල වාහනයක් ගොවිපළට ආවා. ඒ වාහනෙන් බිමට බැස්සෙ, මේ ගොනුන් තුන්දෙනා ජීවිත කාලෙටම දැකපු සද්දන්තම ගොනා. කිලෝ ග්රෑම් 1000කට වඩා බර තිබුණු ඒ ගොනා, අඩිය තියනකොට පොළව දෙදරුවා. අලුතින් ආපු ගොනාව දැකපු පරණ ගොනුන් තුන්දෙනා මෙහෙම සාකච්ඡා වුණා.

පළවෙනි ගොනා : උඹල දන්නවද? මං සමහර වෙලාවට සාධාරණව වැඩ කරනවා. අලුතෙන් ආපු එකාටත් එළදෙන්නු ටිකක් ඉන්න ඕනනෙ. මගෙන් කීප දෙනෙක් මං ඌට දෙනවා.

දෙවෙනි ගොනා : මං තණ පිට්ටනියෙ ඉන්නකොට, මට බලාගන්න වෙලා තියන එළදෙන්නු ගාණ වැඩියි. මගෙන් කීප දෙනෙකුත් අලුතෙන් ආපු ගොනාට භාර දෙන්න ඕනෙ.

ඔවුන් තුන්වෙනි ගොනා දෙස බැලුවා. තුන්වෙනි ගොනා කුරයෙන් පොළව හාර හාර, අං දෙක දෙපසට වන වන, හයියෙන් හුස්ම පිට කරමින් හිටියා.

පළවෙනි ගොනා : පුතා, මං උඹට අවවාදයක් දෙන්නම්, උඹේ එළදෙන්නුන්ගෙන් කීප දෙනෙක් ඌට දීලා, ජීවත් වෙන්න බලපං පණට ආදරේ නම්.

තුන්වෙනි ගොනා : මං මගෙ එළදෙන්නු ඔක්කොම හරි ඌට දෙනවා. මං මේ ඌට ඒත්තු ගන්වන්න හදන්නෙ, මං එළදෙනක් නෙමෙයි, පිරිමි සතෙක් කියල.’

(කතාව ටිකාක් හරි දුරවබෝධයි වගෙ නං එහාටම ගිහිල්ලා- comments ටිකත් කියවල ඉන්නකෝ.) 

ඒ තරුණ ගොනා අලුතෙන් ගෙනාව ගොනාට ඒත්තු ගන්වන්න try කළේ ‘තමන් සමකාමී සතෙකු නොවෙන බව’. මේ ලියන මහීෂයාට නං උවමනා වෙලා තිබ්බේ අමන්ට ඒත්තු ගන්වන්න ‘තමන් සමකාමී සතෙකු බව’. ඒත් ඒ කැමැත්තට හරහට හිටියේ අශාන්! නියමාකාර විදිහටම කියනවා නං ‘අශාන්ගේ අනතුරු ඇඟවීම’.
‘අනෙක් අතට එක සැරේම පැනලා දෙන්න යන්නත් හොඳ නෑ... තව කල් තියෙනවනේ... ගැඹුර දීලා බලමු!’

අවුරුදු 30කට පස්සෙත් මේ දේවල්වලින් ගොඩාක් මගේ ඇස් ඉදිරියේ ආපහු දිග හැරෙන්නේ ෆිල්ම් එකක් වගෙයි.

‘එහෙම වෙන්නේ මේ හැම සිදුවීමක්ම තමුසෙට වෙච්ච දේවල් හින්දයි, දිසානායක. තමුසේ හිතනවද තමුසේ ලියන ඔක්කොම කියවපු අයටත් මතක තියෙයි කියලා. ඒ නිසා පහුගිය කොටස් දහතුනෙන් කියවුණු දේවල් සාරාංශ කරලා ඉන්නවා- තව ඉස්සරහට යන්න කලින්.’
ඒක නං නුවණක්කාර වැඩක් තමයි. ඒත් එහෙම කරන්න ටිකක් මහන්සි වෙන්න එපැයි?

‘ඒකට මොකෝ! තමුසෙගෙ ආදරණීය රසිකයන් වෙනුවෙන්නෙ. අනික තමුසේ මොකටද අතරමඟින් නවත්තල වෙන වෙන දේවල් ගැන ලියන්න ගත්තේ...’

සියුස් විසින් දෙපලු කරනු ලැබූ මිනිසා...

යටි හිත එහෙමය. වංගු ගහන්නට යද්දී; අඩුපාඩු ඇතිව වැඩක් කරන්නට යද්දී විරුද්ධ වෙයි!

හරි-හරි... මෙන්න ලියනවා.

හතලිහේදී... පළමුවෙනි කොටස
දෙවෙනි වතාවටත් එංගලන්තයට යෑමට තීරණය කළෙමි. ඊට පසුබිම් වුණු හේතු...

හතලිහේදී... දෙවෙනි කොටස
Unknown කෙනෙකු පසුගිය post එකේදී විමසා තිබුණු ප්‍රශ්නය. නිමල් අයියා සමලිංගික අයියා කෙනෙක්ද?’  / එයට පිළිතුරු / ස්වකීය සමරිසි අනන්‍යතාව හෙළි වීම නිසා ජීවිතයෙන්ම වන්දි ගෙවන්නට සිදු වුණු ඇලන් ටියුරින් (පරිගණකයේ පියා) / සමන්ති නංගිලා එංගලන්තයට ගිය කිට්ටුව එවූ ලිපි / Sam විවාහ වෙන්නට යයි / මංගල ඇරයුම් පත / එහි සමන්තිගේ නම තිබ්බේ මෙසේය: ‘Samanthi, beloved sister of Mr. Nimal Dissanayaka of Sri Lanka...’ / ඒ සා ගෞරවයක්- මට? / මා ඊට නිස්සෙක්ද... / ඇරයුම් පත ගැන අම්මලා අසතුටෙනි / ලිවින් ටුගෙදර් සංකල්පය ගැන අම්මලාගේ විවේචන / 70 දශකයෙදීත් එය ලංකාවේ තිබිණි / සියුස් විසින් දෙපලු කරනු ලැබූ මිනිසා

හතලිහේදී... තෙවෙනි කොටස
මගේ මතකය දැඩි එකකි / බෑක්සයිඩ් ටෙලියෙන් / ළමා වියේ අත්දැකීම් ජීවිත කාලයටම බලපායි / කායිකව මෙන්ම මානසිකවත් ගැලපුණු සබඳකමකට අවුරුදු හයක් ගෙවී තිබියදී ඔහු හැර දමා එංගලන්තයට යන්නේ කොහොමද / දිගටම ලියුම් ලියන්නට ගිවිසවා ගැනීම / දැන් දැන් ලියවෙන දේ අකුරු කිරීම අසීරු තරම්ය / ඒ තරම් දේවල් අප අතර සිදු වුණු බැවිනි / එවන් තෘප්තිමත් සබඳකමක් තිබියදී පවා මම වෙනත් සබඳකම්ද පැවත්වීමි/ ඔහු 145 වෙනියාය / ගණන් තියාගත්තේ සමරු පොතක ලිවීමෙනි / ඒ සමරු පොත මට තිලින කළේ අනිල් මල්ලීයි / ඒ 1979 දෙසැම්බර් 18 වෙනිදා- ඔහුගේ පළමු රැකියාවේ පළමු වැටුපෙන් මට පිදූ කෘතෝපහාරයයි

හතලිහේදී... සිව්වෙනි කොටස
අමුතු දොස්තර / මා Blog අඩවියට ජීවිත කතන්දරය ලියන්නේ හිතට සහනයක් ලබා ගන්නටය / එයින් කවරෙකුට හෝ ගත යුතු දෙයක් තිබෙතැයි සිතමිනි / 145 වෙනියාට නමක් දෙන්නෙමි... නයනානන්ද! / අර ඔටෝග්‍රාෆ් එක කියන විදිහට 1994 වෙනකොට නිදිගේ score එක 175යි / පිපාසයට ලුණු වතුර බිව්වොත් මොකද වෙන්නේ / ආදරය ඇති වන්නේත් සිරුරේ රසායනයන් නිසාය / වීසා ලබා ගැනීමට  තානාපති කාර්යාලයට

තිරිසන් සතුන් අතරේ වුණත් පවතින්නේ ‘සදාතනික ආදරය’කට වඩා ‘රාගාන්විත සබඳකමක්’...

හතලිහේදී... පස්වෙනි කොටස
සම්මුඛ පරීක්ෂණය / ගිය වතාවේ අපි කියූ දේවලුත් පරිගණකයේ තිබුණා වගෙයි / වීසා ලැබෙයි / කාමාතුර සිංහ යුවළක් (විනාඩි 20-30 අතරතුරදී, එක වතාවකට රමණය සඳහා විනාඩියකටත් වඩා අඩු කාලයක් වැය කරමින්) දවසකදී 50 වතාවක් විතර සංවාසයේ යෙදෙනවලු! අප... / සමහර විටෙක නූතනවාදී මා විටෙක අතිශයින්ම සාම්ප්‍රදායිකය / අප වැඩුණු කාලයේ සංස්කෘතික හා සමාජ බලපෑම්

හතලිහේදී... හයවෙනි කොටස
තිරිසන් සතුන් අතරේ වුණත් පවතින්නේ ‘සදාතනික ආදරය’කට වඩා ‘රාගාන්විත සබඳකමක්’ / ඒ ඒ සත්ත්ව වර්ගයාගේ පැවැත්මට මේ ලිංගික සබඳතා; ප්‍රජනන සිදුවීම් අත්‍යවශ්‍ය සාධකයක් / ඩයිනසෝරයන් මිහිතලය මත බිහි වෙන්නටත් කලින්; අවුරුදු මිලියන 300කටත් කලින් පෘථිවියේ තිබුණු Wood’s cycad නම් විවෘත බීජක පුං ශාඛයක් 1895 දී හොයා ගැනුණා. තවමත් විද්‍යාඥයන් මේ වර්ගයේ ස්ත්‍රී ශාකයක් සොයමින් ලෝකය පීරනවාලු! / එංගලන්තයට ගියෙමි / ඩැඩාට තවමත් සිංහල බෑ / එයා ඉස්සරහත් අපේ කට්ටිය සිංහලෙන් කතා කරති / සමා ඉන්නේ ඩ්රුතීලා ගෙදර / එංගලන්තේ මත්පැන් අලෙවි සල් රෑ දහය වෙනතුරු විවෘතව තැබිය යුතුය / වෙඩිම දාටයි හෝම් කමින් දවසටයි එකම සූට් එක අඳින්න බෑනෙ සෑම් කියයි / මරිසි මංගල්ලේදී හමුවූ චානිගේ මිතුරා ලැන්ග්ලිගෙන් සූට් එකක් / මට මොකක් හරි වැඩක් හොයාගන්න ඕනි / යසිරු / සමහර අහඹු සිදුවීම් ලෝකය පවා වෙනස් කරයි / චර්චිල්- ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් - පෙනිසිලින්

හතලිහේදී... හත්වෙනි කොටස
මට රැකියාවක් සොයා දීමට යසිරු එකඟ වෙයි / ගාමන්ට් එකක් / බොසා Mr. Aheer / ළපටි කැරට් කොළ සම්බෝල ඉතාම රසවත් ආහාරයක් / Sam බිමල් එක්ක යාළු වෙලා තියෙන්නේ මැක් ඩොනල්ඩ් එකේ වැඩ කරනකොට / ඒ දෙන්නා තීරණේ කරල හරියට ස්ථාවර තත්ත්වෙකට ඇවිල්ලම මැරි කරන්න / බිමල්ගේ අක්කා ඩ්රුතීයි අර්ජුන් කුමාරුයි දෙන්නත් එයාලට හරියට help කළාලු. / රෝන් නම්බර් කතාව / යසිරුත් එක්ක සවුත්හෝල් ගියා මිස්ටර් අහීර් හමු වෙන්න

හතලිහේදී... අටවෙනි කොටස
අහීර් මහතාගේ ෆැක්ටරිය ළඟම සමෝසා හදන තැනකි / අවුරුදු 1,100කට ඉස්සර කාලයකදී පර්සියාවේ උපන් ‘සමෝසා’ / එවැනි කෑම නිසා කොලෙස්ටරෝල්- පපුවේ අමාරු වැඩි වෙලාද / ෆැක්ටරිය / ‘මගේ ළඟ හොඳින් වැඩ කරගෙන හිටියොත් බඳින්න කෙල්ලෙකුත් හොයල දෙන්නං- එතකොට නිමල්ට මෙහෙ නවතින්නත් පුළුවනි, ලංකාවට නොයා’ අහීර් කියයි / එහෙත් එහෙ පඩි මදි බව ඩැඩා කියයි

හතලිහේදී... නවවෙනි කොටස
මං එතැන රැකියාවට යනවා / ‘මේ සමීරා. අපේ ෆැක්ටරියේ පරණම එක්කෙනා. මෙයා බල්නූර්- all rounder’ / ඇඳුම් මැදීම තමයි  job එක / මං අකමැතිම වැඩක් / කිර්පාල් මගේ අනෙක් සගයායි / ‘හයියෙන් හයියෙන් මදින්න එපා, හෙමින් කරපන්’ කිර්පාල්ගේ උපදෙස් / සමීරා කේලාම්කාරියකි / එපා කරපු ගඳක් එයි / චා; තේ / එතෙක් මෙතෙක් බීලා තියෙන පාඩාවී තේ එක / භාෂා අවුල / මිනිස්සු බාබෙල් කුලුන තනද්දී බියවූ දෙවියෝ භාෂා ගොඩක් මිනිසුන්ට දුන්හ / විවේක ගන්නට තැනක් ෆැක්ටරියේ නැත; පුටු නැත!

හොඳටම ගැලපෙන දෙදෙනෙකු අතර ඇතිවන ලිංගික රසායනිකයක් වුණත් එක්ස්පයර් වෙනවා!

හතලිහේදී... දහවෙනි කොටස
අහීර් මහතා බිව්වෙත් ඒ තේමයි / කඩක් චායි / හොඳ දේශපාලන උපහාසාත්මක කමෙන්ටුවක් / එදා ගෙදර යද්දී හොඳ පණ ගිහින් / කිර්පාල්ගේ ‘මෞඛ දුර්ගන්ධය’ / නදීක ගුරුගේ මහතාගේ බස

හතලිහේදී... එකොළොස්වෙනි කොටස
කිර්පාල් හඩ්ඩෙකි; කම්මැලියෙකි. / සමන්තිල ගෙදරට ගමනක් / බ්රූනෝ / සමන්තිගේ ආරක්ෂක සුනඛ රාජයා / Jobseeker's Allowance (JSA) එක... Doll එක ගැන විස්තර / 2024දී ඒ ගෙවීම් සිද්ද වී තිබෙන විදිහ - වයස අවුරුදු 24 දක්වා කෙනෙකුට සතියකට පවුම් 71.70ක් (£71.70). / අවුරුදු 25ට වැඩි කෙනෙකුට නම් ‘සතියකට £90.50’කි.

හතලිහේදී... දොළොස්වෙනි කොටස
සමහර අය මේ ලෝකෙ deodorant කියලා ජාතියක් තියෙනවා කියලා දන්නෙත් නෑ. / අපේ කුණු බැහැරලීමේ සිරිත /  මේ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු ගාණට වඩා බැක්ටීරියා ප්‍රමාණයක් කටේ ජීවත් වෙනවා / සරලව කිව්වොත් එක දතක බැක්ටීරියා මිලියන 400ක්, බිලියන 1ක් අතර ප්‍රමාණයක් ඉන්නවලු. / කිර්පාල්ගේ කිවිසුම / දබරය / කිර්පාල්ගේ තැනට අමන් / අමන් හැන්ඩියෙක්. කහපාටට හුරු සුදු පාටයි. කොණ්ඩය දිගට වවලා. කැරලි නොගැහී උරහිසට ගලා හැලුණු ඒ කොණ්ඩය ඒ කඩවසම් හාදයාගේ නෙත්කලු පෙනුම තවත් වැඩි කළා / අමන්ව දැකපු පළමුවෙනි දවසෙම මගේ ඇහැට වැටුණා. වැඩියත්ම ඒ හාදයාගේ තිබ්බ කෙළිලොල් සැහැල්ලු ගතිය! / නයනානන්දගෙන් ලියුමක් / හොඳටම ගැලපෙන දෙදෙනෙකු අතර ඇතිවන ලිංගික රසායනිකයක් වුණත් එක්ස්පයර් වෙනවා / රාග සූත්‍ර

හතලිහේදී... දහතුන්වෙනි කොටස
අශාන් ගැන මතක / මගේ ලිංගික අනන්‍යතාව ගැන ඇත්ත හෙළි කළ යුතු කාලයද මේ / ඉස්සෙල්ලාම කියන්නෙ කාටද? / කොහොමද කියන්නේ? / Bus Pass / බල්නූර් ජංගම දුරකථනයක් අරගෙනය / අමන් සමඟ සාමීචිය වැඩි වෙයි / ... කෙල්ලෝ විතරක් නෙවෙයි නිමල්... උඹට නං කොල්ලො එක්කත් එෆෙයාර්ස් තියෙනවා වෙන්නැති! ඇත්තටම උඹට එහෙම එෆෙයාර්ස් තිබිලා නැද්ද?” අමන් අහයි.

යහමින් වෙලාව අරගෙන මං වහන්සේ මෙතෙක් කතාව ලිව්වා වගේම- ඒ ලියාපු ටික නිස්කාංසුවේ කියවා බලන්නටත් අදරැති පාඨක ප්‍රජාවට ප්‍රමාණවත් ඉඩක් හා කාලයක් ලබා දිය යුතුය. එසේ කරමිනි, මේ කොටස අදට නවත්වන්නේ...
ඉතිරිය ඊළඟ කොටසින්...