අකුරු මැකී නෑ

Friday, September 29, 2023

තිස් එකේදී... -විසිතුන්වෙනි කොටස

“ශ්‍රී ලංකාවේ ගෙවල්වල බිත්ති paint කරන එකලු මෙයාලා කරන්නේ.” ඩැඩා තෝල්ක මුදලිගේ job එක කරද්දී මං වහන්සේ කළේ ‘ඔළු’ බාසාවෙන් උත්තර දීමය.

එයින් පස්සෙය මට මීටර් වුණේ. අපේ council ගෙදර බිත්තිවලටත් වෝල් පේපර්ස්ය, අලවලා තිබ්බේ. බනාසේ ගෙදරත් එහෙමය... මම මතක් කළෙමි. රෝයිලගේ ගෙදර- සෝෆා කවර මැසූ ගෙදර... ඒ හැම තැනකම එහෙමය. ඇයි ඒ?

ඉතිං අන්තිම ‘වලත්ත’ තොරතුරක සත්‍යතාව එයාලාගෙන් අහලා තහවුරු කර ගන්නට පුළුවනිද?

ඒ විස්තරය ‘තිස් එකේදී 22 කොටස’ට ලියලා මාස තුනකටත් වඩා වැඩිය. ඊට පස්සේ ඒ පෝස්ටු පෙළ දිගටම ලියාගෙන යන්නට බැරි විදිහටය කටයුතු යෙදුණේ.

ප්‍රධාන වශයෙන්ම, ලියන්නට තිබුණු මගේ විවේකය හොඳටම අඩු වුණේය. 1985 තරම් ඈත වකවනුවක විස්තර මතක් කර ගැනීම මං වහන්සේට වුණත් එච්චර ලේසි නැත. (1985 මා ලියූ දිනපොත තිබ්බා වුණත් එහෙමය. මතකය වාන් දමන්නේ කලාතුරකිනි.) අනෙක් අතට මෙතෙක් නොකියා රැකගත් මගේ රහසිගත; පෞද්ගලික තොරතුරු... ඒවාට සම්බන්ධ අනෙක් පාර්ශ්වවල අනන්‍යතාව හෙළිදරව් නොවෙන විදිහට ලියන්නටත් එපැයි. ආරූඪ නම් හෙමත් දාලා ලියන නිසා ඒ කාරිය තවත් අමාරු වෙයි...

අවාසනාවට, ඒ රහස්‍ය විශ්වයේ වැඩි දෙනෙක් දැන් ජීවතුන් අතරත් නැත! එහෙම වුණත් මියගිය ඒ පිරිසටත් ගෞරව කළ යුතුමය!! ඒ හැම දෙනාටම යහපතක්ම වේවා!!!
මගේ රහසිගත විශ්වයේ කාලයක් වාසය කළ; අදටත් ජීවත්ව සිටින සමහරුන්ගේ මතකය ඉතාම දුර්වලය. සමහරෙකු දැන් ගෙවන තැන්පත්- උපාසක- සුචරිතවත් ජීවිත දෙස බලද්දී මටම පුදුමය. (ඔවුනටත් යහපතක්ම වේවා!) ඉතිං අන්තිම ‘වලත්ත’ තොරතුරක සත්‍යතාව එයාලාගෙන් අහලා තහවුරු කර ගන්නට පුළුවනිද?
ඔන්න ඔය වගේ කරුණු-කාරණ ගොඩාරියක් හින්දාය ‘තිස් එකේදී 23 කොටස’ ලිවීම ටිකකට පැත්තකින් තිබ්බේ.

මාස ගණනාවකට කලින් මා ලියු ඒ posts 22ම ආයෙමත් කියවා බලා, මතකය අලුත් කර ගෙනය; මං නං දැන් මේ ලියන්නට සැරසෙන්නේ.

මේ කතාවේ කලින් ලියූ කොටස් 22ක් ආයෙමත් කියවා, මතකය අලුත් කර ගන්නැයි දයාබර පාඨක ඔබටත් කොහොම කියන්නද? කැමැත්තක් තිබ්බත් ඒ වගේ දෙයකට විවේකයක් තියෙන්නේ කීයෙන් කී දෙනෙකුටද?
ඒ නිසාය මෙතෙක් කතාව ඉතා කෙටියෙන් මෙහෙම ලියන්නේ. වැඩි විස්තර දැනගන්නට උවමනා කෙනෙකුට අදාළ තැනට යන්නට linksතුත් යොදමින්. එහෙම හොඳයි නේද...

1 කොටස- Soul matesලා/ මගේ චපලකම/ ‘xයිය කප්පගෙන xත්තක් හදව ගනිං.’ පියසිරි කියයි/ එංගලන්තයට එන්නැයි අම්මා කියයි/ අනුර ජිනදාසගේ අනාවැකිය/ පද්මේ හා සබඳකම/ ඔහුගේ විශේෂත්වය.

2 කොටස- වීසා ඉල්ලුවේ අනිල්ටත් එක්කය/ අනිල් හා විරසකය/ තානාපති කාර්යාලයේ සම්මුඛ පරීක්ෂණ/ ලාල් අයියාගේ සහාය, පෙරහුරු/ දිනපොත් ලිවීම/ මහපොළ දිනපොත/ රහසිගත ඉලක්කම් බසෙන් ලිවීම/ පද්මේ කුඩුවලට ඇබ්බැහි වෙයි/ ඒ වෙද්දී මගේ සමරිසි සබඳකම් සංඛ්‍යාව 120 ඉක්මවා ගොසිනි.

Sex hunger කෙනෙක් ගණිකාවක් හොයා ගන්නෙත් ඒ වගෙයි. Homosexualලටත් ඒ වගේ ඉවක් තියෙනවා ඇති. මොකක් හරි chemist එකක්...

3 කොටස- අත්දැකීම්වලින් මගේ වලත්තකම තවත් පෝෂණය වෙයි/රැකියා විරහිත පද්මෙගේ තැවිල්ල/ මගේ විශ්වයන් දෙක/ මව්බිම හැර යන්නෝ/ අම්මා ගෙනෙන්නැයි කී බඩු කන්දරාව/ ගුවන් තොටුපළේදී වුණු ලජ්ජාව/ ගුවන් යානයේදී හඳුනාගත් ගුවන් විදුලි නිවේදක විල්මන් ජයසිංහ

4 කොටස- විල්මන් අපේ ගෙදරට/ හීත්රෝ ගුවන් තොටේදී කෙරුණු විමසීම්/ සංචාරක වීසා දෙන ක්‍රමය/ අම්මල හිටියේ Hounslowවලය/ ඩැඩා ඉස්සරහපිටත් අපි සිංහලෙන් කතා කළ අවිනීතකම/ අම්මා ගෙනා මංගල යෝජනා/ එතකොටත් අනිල් මල්ලී පෙම්වතෙකි/ අම්මාගේ මුදල් ආරක්ෂාකාරීව හංගා තැබීම මට බාර වෙයි/ ඩැඩාට උවමනා විදිහට කෝපි හදන ක්‍රමය.

5 කොටස- ඩැඩාගේ වැඩවල පිළිවෙල, සුද්දන්ගේ විදිහ/ ඩැඩා- අනිල් දීපාල් දෙන්නවම දැක්කේ එයාගේ ආධිපත්‍යයට තර්ජනයක් ලෙසින්ද?/ රෝයි අංකල් හා සුමිත්‍රා ආන්ටි/ අන්නාට රස්සාවක්/ ඩැඩාගේ mini bar එක/ අම්මලාගේ Council Flat එක/ ලංකාවේ උදවිය බොන විදිහ.

6 කොටස- ලිංගික සැත්කමේ අරමුණ/ සංජේ ගෙනවුත් දුන් ‘මට වෙච්චදේ’ පොත/ තිලකපාල තිලකා වුණි නං.../ ඉංග්‍රීසි බස හැසිරවීමේදී මගේ දුර්වලතාව/ අම්මා රැකියාවකුත් කරන්නියකි/ ඩැඩාට පාන් ටෝස්ට්/ "Do things for people not because who they are or what they do in return, but because of who you are" (Harold S. Kushner).’/ රෝයි අංකල්ලාගේ ගෙදරට ආරාධනයක්.

7 කොටස- අශාන් හා කයිසර්, සමලිංගික යුවල ප්‍රසිද්ධියේ පෙනී සිටිති/ ඩැඩාත් රෝයිත් ඔවුන් නොරුස්සති/ අශාන් මට හිතවත් වෙයි/ ඒ දිනවල එංගලන්තයේ සිරිත් හා ආකල්ප/ Bend it like Beckham ෆිලුම/ ඊළඟ අත් බවේදී පිරිමියෙකු වී ඉපදෙන්නට පැතූ කළු අක්කාට සෝමේ අයියා අවසර දීම/ ප්‍රියමනාප නීලියා.

8 කොටස- Coconut Cream, අශාන්ගෙන් මට රැකියා ඔත්තුවක් සහ වැඩියෙන් උදව්/ හවුන්ස්ලෝ පත්තර/ සීතලේ ගැහෙමින් වාහනයක පින්තාරු වැඩ/ මාව ආපසු ගෙනියන්නට අශාන් එයි.

9 කොටස- ‘ඔයා හෝමෝද’ අශාන් මගෙන් අහයි/ ‘ඔයාවත් තවම ඔයාගේ sexual identity එක හරියටම දන්නෑද?’/ Mirror Cells ඇතිවීම/ “Sex hunger කෙනෙක් ගණිකාවක් හොයා ගන්නෙත් ඒ වගෙයි. Homosexualලටත් ඒ වගේ ඉවක් තියෙනවා ඇති. මොකක් හරි chemist එකක්.../ ‘මාත් ඔයාගෙන් පරෙස්සම් වෙන්නෝනි’ අශාන් කියයි/ එංගලන්තයේ සාප්පු සංකීර්ණ/ රුබාබ් අතුරුපස.

ලංකාවේ සංචාරකයන්ට සලකන අයුරු...

10 කොටස- අවුරුදු දොළහේ සිට රැකියා කළත්, ඒ වනවිටත් මා සතුව ඉතිරි කර ගත් මුදලක් නොවිණි/ අම්මාගේ ඉතිරි කිරීමේ පුරුද්ද/ ඩැඩාගේ සොහොයුරිය ඩොරති/ ‘ලීලා වෙනස් වෙලා’ ඩැඩා කියයි, ‘එයා බ්‍රිටිෂ් අයටත් වැඩිය බ්‍රිටිෂ් වෙන්නයි හදන්නේ’/ නීලියාට lunch එකක් දෙන්නට සැරසෙයි/ අපේ ගෙදරත් ඉරිදා දවල් කෑම සම්ප්‍රදායික විදිහටය. අනිල්ට ඒ කෑම ඇල්ලුවේ නැත/ අශාන්ට මා හමුවීම සතුටක් වගේය.

11 කොටස- මම අශාන්ට ආසක්ත වුණෙමිද?/ සිහිනෙන් පැමිණි අශාන්/ මගේ ජාගර චිත්තය/ මගේ ලිංගික ක්‍රියාශීලීත්වය ගණන් බැලෙයි/ අතිධාවන කාම යෝගය නිසාද මේ?/ පිහිනුම් තටාකයට ගියාම තිස් එකේ මටත් බාගෙ ටිකට් එකක්/ නීලියා එයි/ නිමල්ට හොඳ කසාදයක් කරවමු!

12 කොටස- මට වදයක් වෙන ඇගයීම්/ ‘නිමල් මට හොඳ වැඩියි’ නීලියා කියයි/ යුරෝපා උදවිය trip යන හේතු/ ලංකාවේ සංචාරකයන්ට සලකන අයුරු/ ඩැඩාත් මට job එකක් හොයලාය/ You have something seductive! අශාන් කියයි/ Hug එකකින් පවා අප වැරැද්දකට පෙළඹෙන්නට හැකිය- ඔක්සිටොක්සින් ශ්‍රාවය වැඩි වීම නිසා.

12 කොටසට comment එකක්- Pra Jay මහතාගේ දිගු කමෙන්ටුව/ Comments එවන දයාබර පාඨකයන් එසේ කරන්නේ ඇයි?/ මගේ සැබෑ ස්වරූපය- ලිංගික අනන්‍යතාව හංගාගෙන හිඳීම/ සමලිංගික වීමේ වරදට ජීවිතයෙන්ම වන්දි ගෙවූ ‘පරිගණකයේ පියා- ඇලන් ටියුරින්’/ පිට පෙනුමින් මිනිසුන් මැනීම කොතරම් නිවැරදිද?/ සිය අභිමතය පරිදි වැඩි දෙනෙකු සමඟ ලිංගික අත්දැකීම් ලැබීම වැරද්දක්ද?

13 කොටස- ‘හෝමෝලා අතරේ ලෙඩක් පැතිරෙන්න අරං’ අශාන් අනතුරු අඟවයි/ ඔයා හෝමෝ ගැන්සියකට වැටුණොත්/ වේස ගෙදර/ STD වෙනරල් ඩිසීස් වෙයි/ ලිංගාශ්‍රිත රෝග පැතිරීමේ වේගය අතින් ලංකාව පළමු තැනට/ 33 කාමරයට ගිය ගමන/ පිරිසක් ඉදිරියේ මා සිප ගැනීමෙන් දීඝායු මට ‘හණ ගැසීමක්’ කළේද?/ අශාන් හා කයිසර් ඕස්ට්‍රේලියාවට යන්නට සැරසෙති/ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු හා විවාහ වෙන අයෙකුට එරට පුරවැසිකම ලැබෙන නීතිය/ එංගලන්තයේ පත්තර කියවීම.

14 කොටස- අසනීප අම්මා ලංකාවට එයි/ කෙනෙකුට සත්කාර කළ යුත්තේ මිය යන්නට කලින්ය/ ලංකාවේ ඩිමෙන්ෂියා රෝගීන් දෙලක්ෂයකට වඩා වැඩිය/ පද්මේගෙන් ලියුමක්/ ආදරය තාර්කිකද?/ එංගලන්තයේ සිට අඩු වියදමකින් මා ලංකේය හිතමිතුරන්ට නොකඩවා තොරතුරු දන්වා එවූ හැටි/ උපාලි ජයරත්න ඊට මහෝපකාරී වෙයි/ ‘කචල් පුරේ සිට...’ මර්වින් බොතේජු එවූ ලිපියක්.

ඔබ අනෙකුන්ට ගරු කරනවා නම්...

15 කොටස- වර්තමාන ලංකාවේත් සංක්‍රාන්ති ලිංගිකයෝ ප්‍රසිද්ධියේ පෙනී සිටිති/ භූමි නරේන්ද්‍රන් මැයි රැලි වේදිකාවක/ මටත් ඔපරේෂන් එකක් කරවගන්න ඩැඩාගෙන් උදව් ඉල්ලනවා- ලියුමකින්/ ඒකට කඩුව පොලිෂ් කරගන්නෝනි/ ඩැඩාගේ මිතුරාගේ ගෙදර සෝෆා කවර මැසීම/ කිරි බෙදන විදිහ/ එංගලන්තයෙදී ලාංකික උදවිය මඟ හරින්නෝ.

16 කොටස- විල්මන් ජයසිංහගෙන් ඇමතුමක්/ ගෙදර ප්‍රධානියා කවුද- ඩැඩා අසයි/ අනෙකුන්ට ගරු කරනවා නම්..../ ගැහැනිය පුරුෂයාට දෙවෙනි විය යුතුද?/ මා එවැන්නකට සූදානම්ද.../ විල්මන්ගේ බොරු පොරොන්දු/ Jumble Sales/ චූටි නංගි දීපානිගේ සුරතල් තිළිණය.

17 කොටස- 2nd Hand යුගය ඇරඹෙයි/ දික්කසාද වැඩුමලිය මියුරියල්/ එංගලන්තයේ National Theater නාට්‍ය දර්ශනයක් බලන්නට...

18 කොටස- එංගලන්තයේ නිවාස/ Prefabs/ අපේ ගෙදර plan එක/ England වීදි නාට්‍යකරුවෝ හා මැජික් ශිල්පියෝ

19 කොටස- නීලියා අස්වර්ව අපට හඳුන්වා දෙයි/ ‘එංගලන්තෙදි නිමල්ට කවුරුත් බටහිර කාන්තාවන් attract වුණේ නැද්ද?’ Lotus රසිකාවිය අසයි/ එංගලන්ත වැසියෝ/ පොදු ප්‍රවාහන සේවා/ බනාසේ නිවසට- විස්තෘත පවුල

20 කොටස- අම්මා සොයා දුන් රැකියාව/ මානෙල් නංගි අම්මාවත්, නැන්දම්මාවත් රැක-බලා ගනී/ ඩැඩා බලාපොරොත්තු සුන් කර ගත්තෙකි.

21 කොටස- රෝගියෙකු බලා ගැනීම කුසලයකි/ Crumpets/ පොහොසත් වෙතත් බනාසේ මැඩම් පවා ගෙවන්නේ ශෝකී දිවියකි/ ලංකාවේ ඉන්ධන හිඟය/ Kew Gardens.

22 කොටස- කිව් උද්භිද උද්‍යානය නරඹන්නට යයි/ එහි මහිම/ යෝධ නෙළුම් වගාව/ මානෙල් කියා එවයි: ‘පවුල් සංවිධානේ වැඩේ හරි ගියා.’/ මට තවත් තාවකාලික jobs දෙකක්/ ජෝ හා අහමඩ් දෙදෙනාගේ ගෙවල්වල Wallpapers ඇලවීමට.

දැන් මේ ලියවෙන්නේ එතැන් සිටයි:
එංගලන්තයේ බොහොමයක් නිවෙස්වල බිත්ති වෝල්පේපර්ස් ඇලවීමෙන් අලංකාර කෙරෙන්නේ ඇයිදැයි කියා මට නම් හිතා ගන්නට බැරි විණි. ඒ ගැන දැනුවත් භවතෙක් වෙතොත් එම හේතුව අපටත් දන්වා එවත්වා!

ඒ අතරේම මානිගෙන් තවත් ලියුමක්... “ලොකා, මට බබා හම්බ වෙනවයි කියන්නේ ජනවාරි අග හරි පෙබරවාරි මුල හරි. ඒ වෙනකොට ඔයා ලංකාවට ඇවිත් ඉඳියි නේද? ගාමිණීටත් වැඩිය තේරුමක් නැහැනේ...”
මානෙල් නංගි යෝජනාවකින්
විවාහ වුණේ අඩු වයසෙනි; අවුරුදු දාහතෙනි. ඒකත් අම්මලාගේ උවමනාවටය. විවාහයත් එක්කම මානෙල්ට දියවැඩියා රෝගයත් වැළඳිණි. ඒ නිසාම එයා ගැන වැඩි අනුකම්පාවක් මගේ හිතෙත් තිබිණි.

1985 එංගලන්තයෙදී- (ඩැඩා, අම්මා, අනිල්, සෑම්, දීපාල් හා දීපානි එක්ක මං)

‘මානි, පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔයාට බබා හම්බ වෙන දවස් වෙද්දී මම ලංකාවට ඇවිත් ඉවරයි.’ මම උත්තර යැවීමි.

ඒත්... ඒත්... මා එංගලන්තයට එන්නට පෙළඹවූ ඒ රහසිගත අරමුණ... ඒකට මොකද වෙන්නේ? මට වෙච්චදේ පොතෙන් කියල තිබ්බාට වැඩියෙන් ඒ සැත්කම අසීරු හා සංකීර්ණ එකක් බවය, ඒ වෙද්දී මං දැනගෙන හිටියේ.
‘ඕනි මඟුලක්! කරන කෙහෙල්මලක් වැනි-වැනී නොඉඳ ඉක්මනට කරහං මෝලෝ. අපායට යතත් කලින්ම යන්න කියල නේද කියන්නේ.’ මගේ යටිහිත දිගින්-දිගටම මට අවවාද දෙමින් උන්නේය. මම කීකරු වීමි.

අහමඩ්ගෙනි, මා wallpapers ඇලවීම ගැන සියලුම ශිල්පෝපක්‍රම ඉගෙන ගත්තේ. කඩවසම් අරාබි තරුණයෙකු වුණු අහමඩ් ඒ කරුණු සියල්ලම නොවලහා මට කියා දුන්නේය.
දෙවෙනි දවසේ සිටම, එයාලා ගෙදරින් පිටත්ව යන්නට කලින් මා එහාට යා යුතු වීම විතරකි- ගැටලුවකට තිබ්බේ. එලෙස මා පාන්දරින් එහාට යනකොටත් එයාලා ගෙදරින් පිටත් වෙන්නට සූදානම් වී අහවරය. මා දුටු එංගලන්තවාසී සියල්ලෝම පාහේ එසේ වූවෝ වූ
හ; නූලට රූලට වැඩ කරන්නෝ වූහ.

අව්- වැසි- සුළං- Black Ice- හිම- සීත- අඳුර... ඒ මොනවා තිබුණත් ඔවුහු නොතකති; වෙලාවට වැඩ කරති. එහෙම කරන්නේ නීතියකට බයෙන්ද- නැත්තං හැදියාව නිසාද...

ශ්‍රී ලංකාවේ අපටත් එසේ කරන්නට බැරි ඇයි?
මං වහන්සේ තවමත් ඉන්නේ ඒ ප්‍රශ්නයට උත්තර සොයමිනි.

‘මෙන්න Nimal ගෙදර යතුරු. මේ මේ තැන්වලයි උඹේ job එකට උවමනා බඩු තියෙන්නේ. ඔය තියෙන්නේ කන්න ඕනි දෙයක්- තේ කෝපි හදාගන්න දේවල්... මොනව හරි ප්‍රශ්නයක් ආවොත් call එකක් දෙන්න.’ මං ගෙදරට ඇතුළු වෙනවාත් එක්කම යාන්ත්‍රිකව වගේ අහමඩ්ගෙන් කියවෙයි. “දහයට ලේඩි කෙනෙක් එයි... ගෙදර වැඩ කරන්න.” ඊළඟ විනාඩිය වෙද්දී එයාල පිටත්ව ගිහින්ය!
මට තිබ්බේ වැඩ පටන් ගන්නටය.

පැය දෙකකින් විතර දොරේ සීනුව නාද වෙයි.  මා එහි උන් හැමදාම වාගේ එහෙම සීනුව නාද වුණේ උදේ දහයටය. ඒ ගෙදර වැඩ කරන කාන්තාව පැමිණෙන වෙලාවයි. “Good morning Mr. Nimal. I’m going to have a cup of tea. Would you like having...” හැමදාම ඇසෙයි.

Yes, please හෝ Why not... වැනි දෙයක් එවිට මගෙන් කියවෙයි.
තේ එක බිව්ව තැනේ හිට එයා එයාගේ පාඩුවේ එයාගේ වැඩය- මං මගේ වැඩය. හරියටම දොළහ වෙද්දී ඇය රාජකාරි නවත්වයි; ඒප්‍රණය ගලවා තබයි. “See you tomorrow!” කියාගෙන පිටව යයි.

තමන්ගේ හිතේ ලියන්න දේවල් කප්පරක් තෙරපි- තෙරපී තිබ්බට කමක් නෑ. ජලාශයක් වාන් දානවා වගේ නොවී, නිවිහැනේ; පිළිවෙලට ගලපලා ලියන්න වෙයි.

ඇය රෝබෝවෙකුවත්ද?
මා නම් එසේ නොවේ; බිත්තිවල උස මනිමින් ලියා ගනිද්දී- ඒ ඒ තැන්වලට (මෝස්‌තර වෙනස් නොවෙන සේත්) ගැලපෙන ලෙසත් වෝල්පේපර්ස් කපද්දීත්- අලවන විශේෂ පාප්ප මිශ්‍රණය හදා ගනිද්දීත් හොඳින් හුස්ම ගත්තෙමි; කල්පනා කිරීමත් නොඅඩුව කළෙමි!

එහෙම කල්පනා කරමින්, හිතේ කටු සටහන් ලියා ගත්තෙමි. ඩැඩාට ලියන ලියුමය; මා හිතේම කෙටුම්පත් කළේ. අහමඩ්ලාගේ ගෙදර තිබුණු නිසකලංක; නිහඬ; බාධාවන්ගෙන් තොර පරිසරය ඒ කෙටුම්පත් කිරීමට අවකාශ සපයන්නකි.

ඔව්, ලියන්න වචන තෝරා ගනිද්දී පරෙස්සම් වෙන්නෝනි නේන්නං.
දන්නවනෙ,
ඩැඩා සබ්ජෙක්ට්කාරයන්ට කැමති නැහැනේ! උඹත් සමනලයෙක්ය කියල ලියනකොට පරෙස්සමින් ලියහං, පොල්ලෙන් ගහන්නා වගේ නැතුව.

තමන්ගේ හිතේ ලියන්න දේවල් කප්පරක් තෙරපි- තෙරපී තිබ්බට කමක් නෑ. ජලාශයක් වාන් දානවා වගේ නොවී, නිවිහැනේ; පිළිවෙලට ගලපලා ලියන්න වෙයි, ඕං!
ලියුමක් ලියල දුන්නට හරි යැව්වට හරි පස්සේ ආයේ වෙනස් කරන්නයැ... ඒක තමයි කෙනෙකුට යමක් ලියලා දන්නන එකේ තියෙන ලොකුම වැරැද්ද. හොඳට මතක තියා ගනිං! යමක් ලියලා යැව්වොත් යැව්වමයි රජෝ... ආයේ no හෙල්ලුම්...
ඒත් දන්න ඉංග්‍රීසි ඩිංගෙන් තටම-තටම හරි ලියනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නැහැනෙ. මොකෝ මූණට මූණ බලාගෙන කියන්නං කියලයැ.
ඒ නිසා එයාව ඉහළින් තියලා, මේ වැඩේදී උඹට උදව් ඉල්ලන්න ඉන්න එකම එක්කෙනා එයාය කියල හොඳ පැහැදිලිව ලියහං. (තමුන්ව උස්සල- පුම්බල තියනවට අකමැති එහෙමත් කෙනෙක් විතරයිනේ.)
ඒත් එක්කම, මේක රහසක් විදිහටම තියා ගන්න කියලත් විශේෂයෙන් ඩැඩාට ලියපං...

ඒ 'පහිණපත් රාජයා' මුලින්ම ලියැවුණේ අර ‘රහසිගත ඉලක්කම් භාෂාවෙනි.’ ඊළඟටය, එය වඩාත් රහසින් ඉංග්‍රීසියට හැරෙව්වේ. එසේ හරවා ලියද්දී...
à ඊළඟ කොටසට...

Friday, September 22, 2023

අහන්නෙ මොනවද - කියන්නෙ මොනවද?

මේ කතන්දරේ තිබුණෙත් මගේ හමස් පෙට්ටියේ! බාගෙට වැඩ කෙරිලා නවත්තලා. එළියට ඇදලා අරගෙන, දූවිලි ගසා-බසා දාලා අරගත්තා.

ඔන්න වෙනදා වගේ අතරමඟින් නැවත්තීම්- වංගු ගැහීම්- පීලි පැනීම් මොකක්වත් නැතිව දිගටම කතන්දරේ කියාගෙන යන්නයි හදන්නේ.

එහෙනං මෙන්න story එක:


ගල් ගැහිලා ඉඳිද්දී කොහොමද තීරණ ගන්නේ...
හිටි ගමන් කාගෙ හරි ඉහ පිට හෙණයක් කඩා පාත් වුණොත්; විශේෂයෙන්ම උහුලගන්න අමාරු දුක්බර සිද්දියක් වුණොත්?

සූට්කේස්වලට දාන්න ඕනි මොන-මොනවද කියල හිතාගන්න බැරිව පඹගාලක පැටලිලයි මං ඉන්නෙ; අන්ද-මන්ද වෙච්චි ගාණට.
අද හැන්දෑවේ තමයි ඒ call එක ආවේ, මිසූරිවලින්. ‘ඔයාගෙ අයියයි, එයාගේ නෝනයි, නෝනගේ අක්කයි- එයාගේ දරුවෝ දෙන්නයි කට්ටියම නැති වෙලා... Car ඇක්සිඩන්ට් එකකින්.’ අපේ අම්මා කිව්වා.
“අනේ දරුවෝ... ඇහැක් තරං ඉක්මනට දුවල එන්නකො... හොඳද!”

මටත් ඕනි වුණේ එහෙම කරන්න නේන්නං- පුළුවන් තරම් ඉක්මනින් අම්මල ඉන්න දිහාට ඉගිල්ලෙන්න.
ඒත් මොකද කරන්නේ? මගේ මහත්තයා ලැරියි, මායි හිටියේ ලොකු ජංජාලෙක.
අපි ඔහියෝවල ඉඳලා
New Mexicoවලට පදිංචිය මාරු කරන්න ලෑස්ති වෙවී උන්නේ; අපේ බඩුමුට්ටුවලින් අලුත් නිවහනට ගෙනියන දේවල් pack කර-කර. ගෙදර එකම පිස්සන් කොටුවක් වෙලා තිබ්බේ.
එවෙලේ එරික්, මේගන්; අපේ පුතණ්ඩියයි- දෝණියන්දයි- මහත්තයයි- මායි හතර දෙනාම හරියට කාටූන් එකක චරිත වගේ; රූකඩ වගේ වෙලයි හිටියේ!

මොනවද ගෙනියන්න ගන්නේ- මොනවද නොගන්නේ?
දුකෙන් ගල් ගැහිලා ඉඳිද්දී කොහොමද තීරණ ගන්නේ... ඇඳුම්වලින් කොටහක් මගේ ඉස්සරහ. හෝදන්න තියෙන තව ඇඳුම් කන්දක් රෙදි හෝදන මැෂිම ළඟ.
ඉඳුල් පිඟන් කන්දරාවක් කුස්සියේ මේසය උඩ දිග නින්දක- එයාලව හෝදනකල්.
පොඩ්ඩන්ගෙ සෙල්ලම් බඩු තැන-තැන විසිරවපු ගමන්.

ලැරී ඊළඟ දවසේ උදේ ප්ලේන් එකේ ටිකට්ස් බුක් කළාය කිව්වම, මට පිස්සු  හැදුණා. ගෙදර තිබ්බ බඩු-මුට්ටු ගන්නවා- දානවා, ආයෙ ගන්නවා- ආයෙ දානවා! කෝ මගෙ සිහිය? මොකද මට වෙලා තියෙන්නේ...
මගෙ ඔළුව ඇතුළේ දෝංකාර දිදී තිබ්බේ අම්මා කියපුවා.
“බිල් ඉවරයි දුවේ... මැරිලිනුත්... ජූනුයි දරුවො දෙන්නයිත්...”

වරුසාවක් කඩා හැලිලා...

කඳුළු වරුසාවක් කඩා හැලිලා, මගෙ හිස ඇතුළෙ තිබ්බ සෝක මීදුම එහෙම පිටින්ම සෝදල දානවා නං...

මගේ මොළ ගෙඩිය තිබුණේ ‘ඒ දුක්බර පණිවිඩයෙන් ඔතලා; වෙළලා; සීල් තියලා’ වගෙයි.
ලැරී කියන දේවල් මට ඇහුණෙත් අඟහරු ලෝකෙ ඉඳගෙන කියන දේවල් වගෙයි.
සත්තයි! මං ගේ ඇතුළෙ එහෙ-මෙහෙ ඇවිද්දෙත් අතැන-මෙතැන හැප්පි-හැප්පි හීනෙන් ඇවිදිනව වගෙයි.

පහුවදා පාන්දර හතටයි, ලැරී අපිට පිටත් වෙන්න plan කරලා තියෙන්නේ. ඒත් ලැරී ඒ අස්සෙම එයාගෙ යාළුවන් ටික දෙනෙකුට කිව්වා, අපිට වෙලා තිබ්බ නස්පැත්තිය ගැන.
සමහරු මටත් කතා කළා. “මට කරන්න ඇහැකි මොනවා හරි තියෙනවා නං, නොකිය ඉන්න එපා!” කියලත් කිව්වා; උදව්වක් වෙන්න වුණත් සූදානමින්. ඒත්...

“අනේ, ගොඩාක් ස්තුතියි!” මාත් ඔහෙ උත්තර දුන්නා තමයි.
ඒත් එයාලගෙන් ඉල්ලන්න ඕනි උදව්වක් ගැන, ඒ වෙලාවේ මට කිසිම අදහසක් තිබ්බේ නෑ; කොහොමද එහෙම දෙයක් හිතෙන්නේ- හිත එක තැනක නැතිකොට...

ඩොන්නා කිංග්!
ඉරිදාට පල්ලියේ තියෙන ළදරු පන්තියක ළමුන්ට ඉගැන්නුවේ අපි දෙන්නා- ඩොන්නායි, මායි. ඒත් අපි දෙන්නා අතරේ තිබුණේ නිකං ඇයි-හොඳයි කියන වර්ගයෙ යාළුකමක් විතරයි. අපට නිතර හම්බ වෙන්න ලැබුණෙත් නෑ.
ඩොන්නටයි, එයාගෙ මහත්තයා එමර්සන්ටයි සතියේ දවස් හයේමත් කිසිම නිවාඩුවක් තිබ්බෙ නෑ- එයාලගෙම ‘ළදරු පාසල’ හින්දා. ඒ ළමා නිවාසේ උන්නේ අවුරුදු දෙකේ ඉඳලා දාහතර වෙනකල් එයාලගෙම දූලා-පුතාල හය දෙනෙක්! හැබැයි, එමර්සන් හරිම නිස්සද්ද; නිවිච්ච මනුස්සයෙක්; එයාගෙ අසාමාන්‍ය කෙට්ටුකම නිසාද මන්දා එහෙම වෙලා තිබ්බේ...

‘ඔන්න එන ඉරිදට ඔයාට පල්ලියේ පන්තියේදී උගන්නන්න වෙන්නෙ තනියම!’ අපේ මහත්තයා ලැරී- ඩොන්නාට කල් තියාම අනතුරු අඟවලත් තිබ්බා.

මං හිතිවිලි වංකගිරියක අතරමං වෙලා ඔහෙ වාඩිවෙලා ඉන්න අතරේ, මේගන් දෝණි ගේ ඇතුළෙම බෝල සෙල්ලමක් පටන් අරං. එරික් පුතත් එයාගේ පස්සෙන් දුවන්න අරගෙන... ‘හරි නං මේ වෙලාවට එයාල දෙන්නම ඉන්න ඕනෑ ඇඳන්වල නේද’ මට හිතුණා.

මාත් කකුල් අද්ද-අද්දා ඔහෙ ඒ දෙන්නා පස්සෙන් වැටුණා. මගේ අත් දෙකෙත් ඊයම් බරු දෙකක් එල්ලලා වගේ... එහෙම ගිහිං, මං සෝපාවේ කිඳා බැස්සේ හරි-හමං සිහියක් නැතිව.

... පුතා ඊට කලින් ඉරිදා පල්ලියට ගියාම කරපු දේ. දඟයා එයාගේ හොඳම සපත්තු දාගෙන හිටි එකත් නොතකා...

කව්ද වදේ අර දොරේ සීනුව ගහන්නේ?

හෙමින් නැඟිටලා මං කාමරය මැදින් දොර ළඟට යන්න පාර හොයා ගත්තා. දොර ළඟ එමර්සන් කිංග් හිටගෙන ඉන්නවා!

“මම ආවේ ඔයාලගේ සපත්තු සුද්ද කරලා දෙන්න!” එයා කියපි!
ඒ කීමෙන් මං හොඳටම අවුල් වුණු විත්තිය දැක්ක එමර්සන්, ආපහු ඒකම කිව්වා.

“...ඩොන්නට අපේ චූටි බබාව ගෙදර දාලා එන්න විදිහක් නැහැනේ.” එමර්සන් කිව්වා.
“ඒත් අපිට ඕනි මේ වෙලාවේ ඔයාට උදව්වක් වෙන්න.
අපේ තාත්තා නැතිවුණු වෙලාවේ, අපේ ළමයින්ව ඒ අවමංගල්ලෙට එක්ක යන්න ගිහිං අපිට කරන්න වෙච්ච යුද්ධයක්... අද වගේ මට තාම මතකයි. වැඩියත්ම ළමයින්ගේ සපත්තු සුද්ද කරල- පොලිෂ් කරලා ගන්න ගියාම... මම මේ ආවේ ඔයාටත්- ඒ උදව්වවත් කරල දෙන්නයි.
කෝ, කෝ. මට දෙන්න ඔයාලගේ සපත්තු. ඔයාගේ විතරක් නෙවෙයි- ළමයින්ගෙ එව්වත්!”

එමර්සන් කියනකල් එහෙම දෙයක් ගැන මට යන්තංවත් මතක් නොවිච්ච හැටි...

එතකොටයි මට මතක් වුණේ, එරික් පුතා ඊට කලින් ඉරිදා පල්ලියට ගියාම කරපු දේත්. දඟයා එයාගේ හොඳම සපත්තු දාගෙන හිටි එකත් නොතකා- එරි-එරී මඩ ගොඩකට බැස්සා.
මේගන් එයිට හපන්. ඒ ළමයා පාර අයිනේ තිබිච්ච තරමක් ගල් කැටවලට පයින් ගගහ, ඒවා උගුල්ලන්න හැදුවේ සපත්තුවල තුඩුවලින්.
එදා ආපහු ගෙදර ආව ගමන් මං ඒ සපත්තු ඔක්කොම අයිනකට විසි කළේ- පස්සේ සුද්ද කරන්න හිතාගෙන!

ඔන්න... එමර්සන් ඉස්සෙල්ලම අපේ කුස්සියේ ඉඩ තිබ්බ තැනක පොළොවට උඩින් පරණ පත්තර ටිකක් එළුවා.

මං ඒ අතරේ ගෙදර තිබ්බ තරං සපත්තු ඔක්කොම එකතු කෙරුවා. ලැරීගේ සපත්තු, මගේ වයිවාරන්න සපත්තු, ළමයි දෙන්නගේ සපත්තු... ඔක්කොම...
එමර්සන් පොඩි බේසමක් අර ගත්තා. ඒක සබන් වතුරෙන් පිරෙව්වා. ඒ හාදයාම කුස්සියේ ලාච්චුවක් අවුස්සලා පරණ පිහියකුත් හොයාගෙන... එයා sponge කෑල්ල නං හොයා ගන්න ඇත්තේ sink එක යට තිබිලා වෙන්නැති.

අපේ ලැරී! එයා විකාරෙන් වගේ ලට්ට-ලොට්ට පෙට්ටි ඇවිස්සුවෙ, සපත්තු පොලිෂ් හොයල දෙන්නයි.

මට මතක් වුණේ ජේසුස් වහන්සේ අනුගාමිකයන්ගේ දෙපා සෝදන හැටි...

එමර්සන් එයාගේ පාඩුවේ දිගටම වැඩ කරගෙන ගියා.

ඒ මනුස්සයා හොඳටම නිස්කාන්සුවේ- තැන්පත්ව- නිවී සැනසිල්ලේ ඒ වැඩ කළ විදිහ; මටත් පාඩමක් උගන්නනවා වගෙයි!
‘හිත එකඟ කර ගෙන වැඩ කරන්න’ කියලා මට කියනවා වගෙයි!!
මටම දැනුණා ‘ඉස්සෙල්ලම කෙරෙන්න ඕනි වැඩ මොනවද’ කියල මගේ ඔළුව ඇතුළේ පිළිවෙලින් පෙළ ගැහෙන හැටි.

‘ඉස්සෙල්ලම රෙදි සෝදන රාජකාරිය.’ මං මටම කියා ගත්තා. වොෂින් මැෂිම කැරකෙන අතරේ ලැරියි, මායි දරුවෝ දෙන්නව හෝදලා ඇඳන්වලට දැම්මා.

ඊළඟට අපි දෙන්නා පිඟන්- කෝප්ප කන්ද හෝදන්න පටන් ගත්තා.

ඒත් එමර්සන් නෙවෙයි, හූම් කියලවත් කිව්වේ.
මට මතක් වුණේ ජේසුස් වහන්සේ අනුගාමිකයන්ගේ දෙපා සෝදන හැටි... උන්වහන්සේ ශ්‍රාවක මිතුරන්ගේ ඉස්සරහ දණ නවාගෙන හිටි හැටියටම වෙන්න ඇති නේද- එමර්සනුත් අප ඉදිරියේ දණ ගහගෙන ඉන්නෙ?
ඒ ‘ආදරණීය සෙනෙහසේ දසුන’ මගේ කඳුළුවලට ඔහෙ ගලා යන්න සැලැස්සුවා... ඒ කඳුළු වරුසාවෙන් මගේ ඔළුවේ තෙරපෙමින් තිබ්බ සෝක දුමාරය එහෙම පිටින්ම හේදිලා යනවා වගෙයි...

මං ආයෙමත් පියවි සිහියට- පුරුදු තත්ත්වෙට ඇවිත්!

එතන ඉඳලා, මගේ වැඩ එකින් එක පිළිවෙලට කෙරෙන්න ගත්තා.
හේදෙන්න දාලා තිබුණු රෙදි කන්ද, වේළෙන්නට dryer එකට දාලා- මං ආපහු කුස්සියට එනකොට එමර්සන් ගිහිල්ලත් ඉවරයි!

ඒත්, කුස්සියේ බිත්තියකට හේත්තු වෙලා අපේ සපත්තු සේරම දූවිලි පොදක්වත් නැතිව; දිලිසි-දිලිසී බබළමින් ඉන්නවා!
පස්සේ එව්වා සූට්කේස් එකට අහුරන්න ගියාමයි මං දැක්කේ- ඒ සපත්තු ඔක්කොමගෙම යටි පැතිත් fully ක්ලීන්! බය නැතිව මට ඒවා කෙලින්ම සූට්කේස් එකට ඔබා ගන්න පුළුවනි.

රෑ වෙලා නිඳා ගන්න ගියත්, අපිට උදෙන්ම ඇහැරෙන්න ඇහැකි වුණා. කෙරෙන්න තිබ්බ ඔක්කොම වැඩත් කරගෙන, පරක්කුත් නොවී අපි airport එකටත් යාගත්තා.
මං හොඳටම තේරුම් අරං හිටියේ- ඉස්සරහට එන්න තියෙන්නේ දුක්බර වගේම අඳුරු දවස් කීපයක් විත්තිය.
ඒත් එක්කම මං හොඳටම; ස්ථිරවම තේරුම් අරගෙන හිටියේ... ‘ජේසුතුමන්ගේ පෙනී සිටීම සංකේතවත් කරමින්- අපේ කුස්සියේ, මං ඉදිරියේ නිහඬව; තැන්පත්ව දණ ගසාගෙන සපත්තු ඔප දමන වැඩෙහි යෙදුණු අර කෙසඟ මිනිසාගේ දසුන’ දිවි තෙක්ම මා හැර නොයන බව!

අහගෙන ඉන්නට සූදානම් හිතවත් කෙනෙකුට විස්තරකොට කීම වගේම, මෙහෙම...

එදා ඉඳලා, මං හඳුනන ඕනෑම කෙනෙකු ආදරණීයයෙකුගේ වියෝගයකට මුහුණ දීල ඇතැයි කියා දැනගත්තොත්...

මම එයාට call එකක් දෙන්න චුට්ටක්වත් පරක්කු වෙන්නෑ. ‘මේ වෙලාවේ මගෙන් මොනවත් කෙරෙන්න තියෙනවද?’ වෙනුවට මං එයාගෙන් අහන්නේ එයාලටම ගැලපෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය ඒ ඒ කෙනා අනුව වෙනස් වෙනවා;
‘ඔයාලගෙ car එක හෝදලා දෙන්නද? / බල්ලො බලාගන්න තැනකට ඔයාලගේ බල්ලව ගෙනිහින් දෙන්න තියෙනවද? / අවමංගල්ලෙ වෙලාවේ ගෙදර බලා ගන්න එන්නද?’ වගේ.

“ඔයා කොහොමද හරියටම දැනගත්තේ- මට ඒ උදව්වම තමයි ඕනි වෙලා තිබ්බෙ කියලා.” එතකොට එයා මගෙන් ඇහුවොත් දෙන්න උත්තරයකුත් මගේ දිව අගම සූදානමින් තිබ්බා. ඒ මේකයි:
‘එක්කෙනෙක් ඔය වගේ වෙලාවක මට අපේ සපත්තු පොලිෂ් කරල දුන්නනේ!’

Stop Saying “Let Me Know if You need Anything” විශේෂාංග ලිපියේ වචනෙන් වචනයට කෙරුණු පරිවර්තනයක් නෙවෙයි, මෙතෙක් ඔයාල කියෙව්වේ. සම්පූර්ණ අනුවර්තනයකුත් නෙවෙයි. නමුත් මුල් ලිපියේ 99%ක්ම මේකේ අඩංගුයි, මම තේරුම් ගත්තු විදිහට- මගේ style එකට ලියල තිබ්බ එකක්...

ඔන්න අඩුපාඩු හොයා දෙන කෙනෙකුට සංසන්දනය කරන්නට මුල් ලිපියේ ලින්ක් එකත් මෙතනට ඔබනවා!

අදට අවුරුදු හතළිහකට කලින් Reader’s Digest කලාපයකින් article එකක් කියවද්දී ඇති වුණු හිතිවිල්ලක ප්‍රතිඵලයක් තමයි මේ... ‘මේක සිංහලෙන් ලියනව නං...’ එදා මට හිතුණා. ඒ තරමටම මට මේ ලිපිය වැදුණා; මට ගොඩක් දේවල් කියා දුන්නා.
(‘Happy Birth Day’ එකත් මේ වගේ. ඒ නිසාමයි ඒක අනුවර්තනය කරලා පිවිතුරු පත්තරේට පළ කරන්න දුන්නෙත්.)

යමක් නැවත පිටපත්කොට ලිවීම- අහගෙන ඉන්නට සූදානම් හිතවත් කෙනෙකුට විස්තරකොට කීම වගේම, මෙහෙම නිර්මාණයකට ගැනීමත් හොඳ අභ්‍යාසයක්; එය ධාරණය කරගෙන මතකයේ ගබඩා කර ගන්නට. එච්චරක්යැ? පාඨක රුචිය වඩවන විදිහට ලියන හැටි ප්‍රගුණ කර ගන්නටත් මෙහෙම අභ්‍යාස මට නං තවමත් උදව් වෙනවා.

මිනී වළේ මැරෙන්න දපාගෙන හිටිය බමුණා වගේ තමයි මාත්. මැරෙනකල්ම මොන-මොනවා හරි ඉගෙන ගන්න; දැනගන්න; ඒවායින් ප්‍රයෝජන ගන්න ආසයි. එහෙම දැනුමෙන් සපිරි හරවත් දේවල්; හරවත් අත්දැකීම් ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන හිතාදර ඔයාලත් එක්ක මම බෙදා ගන්නෙත් හරි කැමත්තෙන්. බදාගෙන කනවට වැඩිය බෙදාගෙන කන එක කොහොමත් හොඳයිනෙ!

අනේ, කාවවත් විවේචනය කරනවා නෙවෙයි, නමුත්...

මේ දවස්වල හිතෛෂිවන්තයන් ගොඩක් මට කතා කරනවා. මගේ දුක- සැප අහනවටත් වැඩියෙන් අම්මගෙ වර්තමාන තත්ත්වය දැන ගැනීමේ අභිලාෂයෙන්. (මං මල්ටිපල් මයෙලෝමා පිළිකාවෙන් පෙළෙන්නට ගත්තු කාලෙත් මෙහෙමයි.)

අනේ, කාවවත් විවේචනය කරනවා නෙවෙයි, නමුත් හුඟක් උදවිය තැනට ගැලපෙන විදිහට ප්‍රශ්න නෙවෙයිනෙ අහන්නේ. එයාලා අහන සමහර ප්‍රශ්න ඇත්තෙන්ම ඇසිය යුතු දේවල්ද කියලත් මටම හිතෙනවා.

මගේ තකතිරුකමට එහෙම හිතෙනවත් ඇති.

“ඔයාලගෙ අම්මට තවම මොනවත් කන්න බැරිද?” එහෙම දේවල් නං ඇහුවත් මොකෝ. උත්තර දෙන්න අමාරු නැහැයි කියමුකො.
‘අම්මා ඇඳේම ජරා කර ගන්නවද?’
බීභත්ස රසයට කැමති ඇත්තෝ එහෙම ඇහුවම නං, මං වහන්සේ කෝන්තර නොකියා කට වහගෙන ඉන්නෙ හරි අමාරුවෙන්.
මොකද, හිතවත්කමට කතා කරපු කෙනෙකුගෙන් ‘ඇයි අහන්නේ. ඇවිත් අම්මව හෝදලා දෙන්නද?’ කියල ආපිට හරස් පුරස්නයක් අහන්නයැ.

මේ දවස්වල අම්මා මොනවද කියන්නේ / මොනවා ගැනද ඔයාල අම්මට වැඩියෙන්ම මතක තියෙන්නේ / අම්මගේ පොඩි කාලේ වෙච්ච දේවල් එහෙම එයාට මතකයිද?
අල්ලාප-සල්ලාපයකින් හොඳ හිත පෙන්නනවා නං ඔය තියෙන්නෙ වදේ, අහන්න ප්‍රශ්න. පොඩ්ඩක් නිර්මාණශීලීව හිතන්න විතරයි තියෙන්නේ!

අරහෙම දේවල් අහන එකේ පුදුමෙකුත් නෑ- එක අතකට... සමහරු මගෙනුත් තවම අහනවනේ ‘නෙගටිව් ප්‍රශ්න’ / නිශේධාර්ථ ප්‍රශ්න. ‘ඔයාට තවම එච්චර සනීපයක් නෑ නේද?’ වගේ.
ඇයි දෙයි හාමුදුරුවනේ, එයාලට අහන්න බැරි ‘ඔයාට දැන් කොහොමද?’ කියල!

මං හිතන්නේ මේක අපේ ජාතික දුර්වලතාවක් කියලයි.
මගේ දැනීමේ හැටියට නං ශ්‍රී ලංකේය අපි ගොඩක් සංවේදීයි; අනුන්ගේ විපතකදී- කරදරයකදී උදව් වෙන්න කැමතියි. සහනයක් වෙන්න කැමතියි. නොදන්නේ එහෙම විය යුතු හරිම ක්‍රමයයි!

ඔයාල වගේ ආදරණීය හිතවතුන් හැමෝටම ස්තුතියි. ගොඩක් ස්තුතියි!

(මෙතැනදී මේ දවස්වල හැමදාම උදේටයි- හවසටයි මානෙල් නංගිලාගේ ගෙදරට ස්වේච්ඡාවෙන්ම ඇවිත්, අම්මලා දෙන්නව සෝදා පිරිසිදු කරන්නට; පැම්පර්ස් හා ඇඳුම් අන්දවන්නට; කවා-පොවන්නට වෙහෙසෙන හේමමාලි- නිල්මිණි සොයුරියන් දෙන්නාවයි මට මතක් වෙන්නේ. එයාලා දෙන්නම ඒ උදව් කරන්න පටන් ගත්තෙ එයාලම හිතලා.

ඇයි අනිත් අසල්වැසියෝ? හුඟක් වෙලාවට එයාලත් එකේක කෑම ජාති හදාගෙන එනවා- අම්මලට.
නෙවිල් ඊට එහා. හැමදාම වගේ මාව මානිලගේ ගෙදරට එක්ක ගිහිං- ආපහු ගෙදරට ගෙනත් ඇරලවනවත් එක්ක.
Pra Jay හිතවතා. ඒත් එහෙමයි. “ඔයාට ඕනිම වෙලාවක නංගිලාගේ ගෙදරට යන්න ඕනෙ නම් call එකක් දෙන්න. මං එන්නං එක්ක යන්න.” Praත් දිගටම කියමින් ඉන්නෙ.

ඉතිං, ඔයාල වගේ ආදරණීය හිතවතුන් හැමෝටම ස්තුතියි. ගොඩක් ස්තුතියි!)

මේ තමයි ශ්‍රී ලංකේය අනන්‍යතාව! මේ තමයි අපට සුපුරුදු සහකම්පනය දැනීමේ සද් ගුණය!!
ඒ සද් ගුණය තවත් ඔප වැටෙනවා නේද- අපේ ප්‍රශ්න නැඟීමේ කලාව; සන්නිවේදන රටාව තවත් දියුණු කරගත හැකි නං...

ඔන්න අතීත කතාවකුයි, වර්තමාන කතාවකුයි දෙකම කිව්වා. පූර්වාපර සන්ධි... ඔයාලටම කැමති විදිහට ගලපගන්න දෙන එකනේ වැඩිය හොඳ. මම හිතුවේ තව කාට හරිත්, මගේ අත්දැකීමක් ප්‍රයෝජනවත් වෙන විදිහට සටහන් කරල තියන්නයි෴0෴