li Item

Wednesday, May 17, 2023

තිස් එකේදී... -දාහත්වෙනි කොටස

හොඳ වෙලාවටය, ඩැඩා අපේ අහලක නොහිටියේ. හිටියා නං අම්මා එතනදීම ඩැඩාගේ යාළුවා ගැන කියා රණ්ඩුවක් පටන් ගන්නටත් ඉඩ තිබිණි.

Car එකෙන් අපව ජම්බල් සේල් එක තියෙන තැනකට එක්කරං ගියත් ඩැඩා එතැන විකුණන දේවල් බලන්නටවත් එන්නේ නැත. උඹල ගිහිං වරෙල්ලයි කියලා- තේ, කෝපි, සැන්ඩ්විච් හා short eats වර්ග විකුණන තැනකට වී කෝපි එකක් බොමින් කල් මරණවා විතරය.

ලෝකේ තියෙන තරම් දේවල් බදා ගන්නට- හැම තැනකටම යන්නට- හැම දෙයක්ම කරන්නට...

මං වහන්සේ එහෙම කියලා තිබ්බේ පසුගිය කොටසේ අන්තිමටය. නමී ඒ post එකට comment එකක් එවමින් කියා තිබුණේ ‘ඩැඩා සේල් එකට නොආවේ... ලොකුකම නිසාද මන්ද.’ කියලයි. ඒ කමෙන්ටුව දැක්කාම මට හිතුණේ නමී ‘අලස සුවය’ ගැන නොදන්නවාවත්ද කියලාය.

ලෝකේ තියෙන තරම් දේවල් බදා ගන්නට- හැම තැනකටම යන්නට- හැම දෙයක්ම කරන්නට හිතෙන්නේ එක වයසකදී විතරය. ඒවා කරනවා වෙනුවට, නිස්කාන්සුවේ පැත්තකටවී අනුන්ගේ ජරමර දිහා උපේක්ෂා සහගතව; අලස සුවයෙන් බලා හිටින්නට හිතෙන්නේ අප වියපත් වෙද්දීය. ඩැඩා ඒ වෙද්දී හිටියේ ඒ තත්ත්වයේ කියලය මට හිතෙන්නේ.

ඒකේ තවත් පැත්තකුත් තිබේ! අපේ ඩැඩා ඒරොප්පේ මනුස්සයෙකි; ආසියාතිකයෙක් නොවේ.

අපේ රටවල දෙමවුපියන්ට නම් තමන්ගේ දරුවන් හැමදාමත් නොදරුවන්ය; නොමේරූ කිරි සප්පයන්ය. යුරෝපාකරයේ එහෙම නොවේ. හැම දරුවෙකුම පාහේ නොඉවසිල්ලෙන් බලා ඉන්නේ ඇටෙන්-පොත්තෙන් පැහෙන තුරුය; ඒ ගෙදර ප්‍රධාන දොරේ අමතර යතුරකට හිමිකම් කියන්නටය. (එහෙම නොදෙනවා නම් නඩු කියන්නට වුණත් එයාලා සූදානම්ය.)
ඔවුන් කැමති තමන්ගේ දෙපා මත තමන්ගේ වාරුවෙන්ම නැඟී සිටින්නටය; හිතෙන දෙයක් කරන්නටය; නිදහසේ තටු සලා ඉගිල යන්නටය.

වැඩි හරියක් දෙමාපියනුත් කැමති දරුවන්ගේ වගකීම් දිගටම දරාගෙන ඉන්නට නොවේ; ඉක්මනින් වගකීම්වලින් නිදහස් වෙන්නටය. ඒ නිසාම, ඒ දෙමවුපියෝ තම දරුවන්ට කුඩා කාලයේ සිටම තීරණ ගන්නට ඉඩ හරිති; ස්වාධීන වෙන හැටි උගන්වති.

එදා අපේ ඩැඩා කළෙත් ඒ ටික වගේය.
‘උඹලට ඕනි කරන දේවල් මම දන්නවද? ගිහිං තමන්ට කැමති දෙයක් ගනිල්ලා.’යි කියූ ඩැඩා ඒවාට මැදිහත් වුණේ අප ඉල්ලීමක් කළොත් පමණකි.
“ඩැඩා Jumble Saleවලට කැමති නැද්ද මල්ලා?”

“දැන් ඔහොම වුණාට ඉස්සර ඩැඩාත් මෙව්වයින් සමහර බඩු අරං ගොඩ ගහගත්ත එකම තමයි එයාත් කළේ. අර backyard එකේ තියෙන මඩුවේ පුරෝගෙන ඉන්නේ ඒවනෙ ලොකූ. මම එයාත් එක්ක සැහෙන්න ආර්ගියු කරලයි මගෙ සයිකල් දෙක දාන්න ඒකෙන් ඉඩ ටිකක් අල්ල ගත්තෙත්.”

අපේ අම්මාවත් එක් කරගෙන දීපාල්; බඩා මල්ලා ගිය මාසයේ ලංකාවට ආවේය. ඒකෙනුත් blog එකට වැඩක් ගන්න පුළුවන්ය. “දැනුත් ජම්බල් sale තියෙනවද මල්ලා?” මම මල්ලාගෙන් විමසුවෙමි.

“දැන් ඒවත් කොමර්ෂලයිස් වෙලා ලොකූ. මිනිස්සු ඒකත් බිස්නස් කරන තැනක් කරං. හැබැයි දැන් ඉංගලන්තෙත් cost of living වැඩි වේගෙන යන්නේ. මිනිස්සු second hand බඩු; පරණ බඩු අරගන්න පුරුදු වෙවී ඉන්නේ.” මල්ලා කිව්වා.

අපි සේල් පොළේ ඇවිදිමින් විකුණන්න තියෙන දේවල් පීරුවා.

“ඉංගලන්තේ ගැන ඔය කතාවම මගේ යාළුවෙකුත් fb එකට ලියල තිබ්බනෙ දීපාල්.” සීරියස් විදිහට එහෙම කියන්න ගත්තත් මඟක් යනකොටම මට හිනා ගියා. බඩාටත් මගේ hint එක තේරුණා.

(එහාට ගියාට පස්සෙ බඩා මල්ලියාගේ සිංහලත් තරමක් වෙනස් වෙලයි තියෙන්නේ. එයාගේ වාග් කෝෂයේ එංගලන්තයයි England එකයි දෙකම එකට එකතු වුණා. සිංහලෙන් කතා කරද්දී මිනිහට දැන් කියවෙන්නේ ඉංගලන්තේ කියලයි!)

ෆේස් බුක් එකේ තියෙන ඒවා එයාට කිව්වට මිනිහට තේරෙනවයැ. අපේ බඩා fb යන කෙනෙක් නෙවෙයිනෙ. ඒත් ඒක ඔයාලට පෙන්වන්න හිතාගෙන, හෙව්වා- හිතවත් සංජේ රණවක ලියා තිබ්බ ලිපිය. (හැබැයි ලිපියේ ඔක්කොම මෙතන දාලා නෑ. ඔක්කොම කියවන්න ඕනි නං එහාට යතෑකි මෙතැනින්.)

‘2nd Hand යුගය ඇරඹෙයි.....

... ඇඳුම් කඩයකින් ගිහින් අලුත් ඇඳුම් වෙනුවට පරණ ඇඳුම් නැත්නම් කවුරු හරි ඇඳපු ඒත් භාවිතයට ගන්න පුළුවන් මට්ටමේ ඇඳුම් සල්ලි දීලා ගන්න තිබුණොත් ගන්නවද?

අද ලෝකයේ බොහෝ රටවල මේ ක්‍රමය සෑහෙන්න ජනප්‍රිය වෙලා, හේතුව තමයි හැම රටක්ම වගේ මේ වෙද්දී උද්ධමනය නිසා පීඩා විඳිනවා. මොකද ඇහැට නොපෙනන පුංචි දෙයක් මුළු ලෝකයේම සමස්ත ක්‍රියාවලියම කාලයකට වහලා දාපු නිසා..

බ්‍රිතාන්‍යයේ මේ වෙද්දී 2nd Hand Storesවලට ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ ඉල්ලුම කොච්චර ද කියනවා නම් මේ 2nd Hand භාණ්ඩ අලෙවිකරුවන්ගේ ආදායම පසුගිය පෙබරවාරියේ දී 1.2% කින් ඉහළ ගිහින් තියෙනවා.

මේක සෑහෙන්න ලොකු ප්‍රමාණයක් සහ වෙළෙන්දන් පවා පුදුමයට පත්වෙලා තිබුණා කියනවා ඒ ඇතිවුණු ඉල්ලුම ගැන...

ඉස්සරහට අපිටත් මේ දේවල්ම වෙන්න පුළුවන්. මම පහුගිය ටිකේ කරපු පුංචි හොයා බැලීමකදී දැක්කේ ලංකාවේ මේ වෙද්දී ඔය ජපන්, කොරියාව වගේ රටවල භාවිත කරපු 2nd Hand Smart Phoneවලට එහෙම ලොකු ඉල්ලුමක් ඇතිවෙලා තියෙන බව...

ප.ලි :- ... බ්‍රිතාන්‍යයේ වෙලා තියෙන්නේ අර ලොකු ලොකු Brandවලට තියෙන ඉල්ලුමට සමාන ඉල්ලුමක් 2nd Hand Shopsවලට ලැබීමයි...’

මට මෙහෙ බින්න බහින්න කිසිම උවමනාවක් නෑ!

සංජේ රණවක කියා තිබුණු විදිහට, එංගලන්තේ උදවිය ගෙදර -දොරේ පාවිච්චියට second hand බඩු වැඩිපුර ගන්න පුරුදු වෙන්නෙ දැන්. ඒ වුණාට සෑහෙන කාලෙක ඉඳලයි පාවිච්චි කෙරුණු husbandලට wifeලට එහේ ඩිමාන්ඩ් එකක් තිබ්බේ.

ඒ විත්තිය අපේ අම්මට ආයෙම පාරක් මතක් වුණේ එක ජම්බල් සේල් එකකදී. අම්මගේ පරණ මිතුරියක් මුණ ගැහුණම. එයා ටිකක් වියපත් සුද්දියෙක්.

අම්මා එයත් එක්ක කතා කරමින් හිටිද්දී, අපි සේල් පොළේ ඇවිදිමින් විකුණන්න තියෙන දේවල් පීරුවා. හිටි ගමන්ම මෙන්න බොලේ අම්මා, අර වයසක සුද්දිවත් ඇදගෙන මගෙ ළඟට එනවා. “රංජි, මේ ඉන්නේ මියුරියල්. මගෙ පරණ යාළුවෙක්... මියුරියල්, මේ ඉන්නේ මගෙ ලොකු පුතා.”
මියුරියල්ගේ බැල්මම මට එච්චර ඇල්ලුවේ නෑ. එයා මගෙ දිහාවට දැම්මේ full scan එකක් කරන විදිහේ බැල්මක්. චාරිත්තරේට ඔහෙ මියුරියල්ට හලෝ කියල මං ඉක්මනට වෙනින් පැත්තකට ගියා.

සාමාන්‍යයෙන් අම්මා මාව කතාවකට පටලව ගත්තේ මං කුස්සියේ ඉන්න වෙලාවක. ඒ කුස්සියේ දෙන්නෙකුට විතරයි හැරෙන්නත් පුළුවන්. ‘රංජී....’ කියල ටිකක් දිගට ඇදගෙනයි, එදා හැන්දෑවේ අපේ අම්මා කුස්සියට ආවේ. ඒ ඇදිල්ල නොකියා කිව්වේ ‘මරාලයක් ළඟ තමා’ කියලයි.

මං හිතුවා හරි!
‘රංජි දන්නවද, උදේ අපට හම්බ වුණු මියුරියල් දික්කසාද වෙච්ච එක්කෙනෙක්.’ අපේ අම්ම ඉස්සෙල්ලම කිව්වා. මගෙ ඔළුව යාන්තං හෙලවුණා, උඩට- යටට.

“ඩිවෝස් වෙච්ච අය තව ඒ වගේම අය කොච්චර බඳිනවද රංජි. දැන් ඩැඩා වුණත් දික්කසාද වෙලා. මමත් දරුවො දහ දෙනෙකුගේ අම්මෙක්. එහෙම වෙලත් ඩැඩා මට කැමති වුණේ! මේක මගෙත් දෙවෙනි කසාදෙනෙ.
අර මියුරියල්ට මහත්තයෙක් හොයනවලු... මං කිව්වා අපි ඔයාටත් කෙනෙක්ව හොයනවයි කියලා.
ඇත්තමත් කිව්වා, එහෙම හොයන්නේ, එතකොට ඔයාට මෙහෙ සිටිසන්කම ගන්න පුළුවන් හින්දය කියලත්. මියුරියල්ට ඒත් කමක් නැහැලු... ගෑනි ඔයාට කැමති...”

“අම්මෙ මේ. මට මෙහෙ බින්න බහින්න කිසිම උවමනාවක් නෑ.” මට කියැවුණේ තරහෙන්.

“කොහෙද? කූඩැල්ලව කොට්ටෙ උඩ තියතෑකියැ. මම මේ ඔයාට නරකක් කරන්න හදනවා නෙවෙයි. මියුරියල්ට ගෙයකුත් තියෙනවා රංජි. සල්ලිය බාගෙත්...”

එතැනට එනකං ලියලා- අද හිමිදිරියේ මං fb ගියා.
මෙන්න බොලේ රවීගේ ෆේස් බුක් post එකක ‘බින්න කසාදෙ’ ගැන කියනවා.

අපේ අම්මා කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය, මකියාවෙල්ලීගේ කුමාරයා’, Sun Tzuගේ The Art of War පොත් තුනෙන් එකක්වත් මේ ලෝකේ තියෙනවය කියලා දන්න කෙනෙක් නෙවෙයි.

බින්න බහිනවාට කියන්නෙ "Matrilocal Marriage" කියල මම අද තමයි දැනගත්තෙ... කාලෙකට පස්සෙ Sunday Times එකේ මංගල යෝජනා කියවද්දි.. 🙂 රවී වීරසිංහ- මැයි 15”
ඉල ඇදෙන විදිහට ‘නිදහස් සිතුවිලි’ blog එක ලියන රවී වීරසිංහ සහෘදයාට, මගෙ ‘බින්න බහින’ කතන්දරේ ඇහුණා වගෙනෙ බොලේ, අදම එයා එහෙම ලියා තියෙන්නේ!

අපේ අම්මත් ලේසියෙන් game එකක් අතාරින කෙනෙක් නෙවෙයි.
කෞටිල්‍යගේ ‘අර්ථ ශාස්ත්‍රය, මකියාවෙල්ලීගේ ‘කුමාරයා’, Sun Tzuගේ 'The Art of War' පොත් තුනෙන් එකක්වත් මේ ලෝකේ තියෙනවය කියලා දන්න කෙනෙකුත් නෙවෙයි; අපේ අම්මා. ඒත් හටනකදී ‘පසු බහින්න ඕනි හැටි’, ‘අඩියක් පස්සට ගන්න ඕනි විදිහ’, ‘ආපහු ප්‍රහාර එල්ල කරන්න ඕනි හැටි’ එහෙම අම්මා හොඳට දන්නවා.
මියුරියල්ගේ ‘මැට්‍රිලෝකල් මැරේජ්’ කතාවේදීත් අම්මා කළේ ඒකමයි. තාවකාලිකව පසු බැස්සා!

අපේ අම්මා එහෙම පසු බැහැලා ඉන්න අතරේදියි, ආපහු දවසක නීලියා අපේ ගෙදරට ආවේ.

මං කලිනුත් කිව්ව නේද, නීලියා හරිම ප්‍රසන්නයි; ප්‍රියමනාපයි කියන කතාව... සේරටම වඩා එයාගේ forward ගතිය ගැනත්!
“ඔන්න නිමල්, ඔයා හන්දම මම හිතුවා great ප්‍රසන්ට් එකක් දෙන්න. ඒ තෑග්ග ඔයාට විතරක් නෙවෙයි, ගෙදර හැමෝටම.” නීලියා කිව්වේ හිනා වෙවී. හැබැයි එහෙම කියද්දී, නීලියාගේ අතේ මොකවත් තිබ්බේ නෑ.
“මොකක්ද නීලියා?” තෑග්ග මොකක්ද කියලා දැනගන්නකල් ඉවසුම් නැතිව ගියේ අපේ අම්මට.

“ඔයාට නෙවෙයි ලීලා. මේක නිමල්ට!”
නීලියා එහෙම කියමින් එයාගේ hand bag එකෙන් තඩි කවරයක් එළියට අරගෙන මට දුන්නා. “මෙයානෙ නාට්‍යකාරයා... ඉතිං හිනා වෙවී ඉන්නේ, කවරය ඇරලා බලනවකො.”

ඒ කවරය ඇතුළේ තිබ්බේ, එංගලන්තයේ National Theater එකේ නාට්‍ය දර්ශනයකට ටිකට්ස් අටක්!

“Tickets අටක්?”
කොණක ඉඳලා ගැනල බලපංකො නිමල්” නීලියා බරසාර බැල්මකින් මුහුණ සරසාගෙන කිව්වා. දීපානි ගණං කරන්න පටන් ගත්තා. “ඩැඩයි, අම්මයි, අපි පස් දෙනයි... only seven...” නීලියාගේ දිහාවට හැරුණු චූටි නංගිගේ මුහුණේ තිබුණේ ප්‍රශ්නයක්.

“Including me...” නීලියා කිව්වේ හොර හිනාවකින්.
“ආ..නේ... ආන්ටි නීලියාත් එනවද අපි එක්ක drama එක බලන්න?” චූටි නංගි නීලියාට තුරුලු වෙවී ඇහුවා.
“අමුතුවෙන් එන්න දෙයක් නැහැනෙ දීපානි. ඔයාට මතක නැද්ද, නීලියා ආන්ටි වැඩ කරන්නෙ එහෙනේ.”

National Theater එකේ එක වෙලාවේ නාට්‍ය තුනක් පෙන්වන්න පුළුවන්... හෝල් තුනක් තියෙනවා.

නීලියා රාජකාරි කළේ නැෂනල් තියටර් එකේය. මගේ මතකය කියන විදිහට නම් ‘සෞඛ්‍ය සේවා’ අංශයකය.

“එහෙමයි කියල නෑ නිමල්- හරි අමාරුවෙන් ටිකට්ස් අට book කර ගත්තේ. එක row එකක එක ළඟ සීට්ස් අටක්නේ. මෙහෙ මිනිස්සු මාස ගණන් කල් තියා නාට්‍යවලට seats බුක් කර ගන්නවනේ.”

“ඒ කියන්නේ නීලියා එංගලන්තේ මිනිස්සු filmsවලට වැඩියෙන් නාට්‍යවලට කැමතිද?”
“අනේ, අනේ. මම එච්චර දේවල් දන්නෙ නෑ නිමල්. හැබැයි හැම show එකකටම සෙනඟ ඉන්නවා... Live shows කියන්නේ වෙනම කල්චර් එකක්නේ... ඔයාටත් ආවාම පෙනෙයිනේ.”

“මම පත්තරේක කියෙව්වා ‘අවුරුදු පනහකටත් වැඩියෙන් කාලයක් ලන්ඩන්වල දිගටම පෙන්නන නාට්‍යයක්’ ගැන.” මං කිව්වා. එතකොට නං ඩැඩා ආඩම්බර හිනාවක් දැම්මා. “ඒ The Mousetrap’ නාට්‍යය. 1952 ඉඳලා තාමත් පෙන්නනවා, West End තියටර් එකේ...”
(ඒ නාට්‍ය දර්ශන වේදිකා ගතවීම 2020 මාර්තු 16 වෙනිදා තාවකාලිකව නැවතුණේය. Covid 19 වසංගතය නිසාවෙනි, ඒ.)

නීලියා කියූ සමහර තොරතුරුත්, මා සියසින්ම දුටු දේවලුත් මේ posts පෙළේ ලියන්නේ අවුරුදු 38කට පස්සෙය. (ලියන්නට කලින් ඒවා සමහරක් මතකයේ තියෙන විදිහ ටක්කෙටම හරිදැයි තහවුරු කර ගත්තෙමි. එයට උදව් වුණේ කොළඹගමයා blog එක ලියන අජිත් ධර්මකීර්ති හිතවතාණන්ය. අජිත් මහතාණෙනි- ඒ සහාය වෙනුවෙන්, නිදිගෙ පංච තන්තරේ පාඨක හැමදෙනා හා එක්ව ඔබට තුති පුදමි.)

“West End එක වෙනයි, අපේ National Theater එක වෙනයි... නැෂනල් තියටර් එකේ, එක වෙලාවේ නාට්‍ය තුනක් පෙන්වන්න පුළුවන්... හෝල් තුනක් තියෙනවා. නිමල්ට මේ එක්ස්පීරියන්ස් එක ජීවිතේටම අමතක වෙන එකක් නෑ. සැසිල්, උඹලා Sunday එනකොට පැයක් දෙකක් වේලාසනින් එනවා නං නිමල්ට පෙනෙයි, එතැන විදිහත්...” නීලියා ඩැඩාට සිහිපත් කෙරුවාය.

“සත්තකින්ම නීලියා. මම මේ ගොල්ලන්ව කලින් එක්ක එන්නං. එතකොට මෙයාලට වෝටර් ලූ පාලමත් බලන්න පුළුවනිනෙ.” ඩැඩා කිව්වේය.

“Car එකේ එන්න එපා Cecil. ටියුබ් එකේ එන එක උඹලට ලේසියි.” නීලියා එහි එන්නට පහසුම විදිහත් එදා කියා දුන්නාය. “නැත්තං කාර් එක park කර ගන්න උඹට වෙනම යුද්ධයක් කරන්න වෙයි.”
(ටියුබ් එක කිව්වේ ලන්ඩනයේ ඉතා කාර්යක්ෂම සේවාවක් වෙන උමං දුම්රියවලටය.)

ඌ මගෙ මල්ලී. ඌ කොලුකාරයෙක් කියලා දැන ගත්තම මං දුක් වෙච්ච තරමක්!   

ට්‍රීංංංංංංං!

ඉස්සරහ දොරේ සීනුව නාද වුණේ එතකොටය. කවුද ඒ? මේ අවේලාවේ!

“කවුද මේ වෙලාවේ? ලීලා, තව කවුරු හරි එනවයි කිව්වද...”
“පිස්සුද?”
“මං බලන්නං...” සමන්ති ඇවිත් ඉන්නේ කවුරුන්දැයි බලන්නට ගියාය. එංගලන්තයේදී කලින් දැනුම් දීමක් නොකර නිවසකට එන අමුත්තෙකු හොයා ගැනීම කළුනික හොයනවා වගේ වැඩකි.

ඇවිත් උන්නේ රෝයි- සුමිත්‍රා යුවලයි.
“හායි සුමිත්‍රා!” අපේ අම්මා සුමිත්‍රා ඇන්ටිව ඉඹලාම පිළිගත්තාය. “කොහෙ ගිහිං එන ගමන්ද මේ?”
“අපි හීත්‍රෝ ගිහිං එන ගමන්...” රෝයි අංකල් කිව්වේ සෙටියට බර දෙමිනි. “කොහොමද නීලියා? Sorry Cecil, නොකියම ආවත්, උඹලා අපිව ගේ ඇතුළට ගන්නවයි කියල දන්නවනෙ... මුළු එංගලන්තෙන්ම මෙහෙම හදිසියේ කඩා පාත් වෙන්න පුළුවන් ලීලල ගෙදරට විතරයි... Cecil දියංකො මට drink එකක්.”

ඩැඩා පරක්කු නොවීම, බෝතලයක් හා වීදුරුවක් රෝයි අංකල් ඉදිරිපිටින් තිබ්බේය.

“මට දුකයි සැසිල්. මට දුකයි.” රෝයි අංකල් බෝතලයෙන් වීදුරුවට පුරවයි. ඒ ගමන්ම අනිල්ගේ පැත්තටත් හැරෙයි. “අනිල්, ගනිං වීදුරුවක්. අද මට තනියෙන් බොන්න බෑ.”
අම්මාත්, නීලියාත් දෙන්නාම ‘මේ මොකදැයි’ සුමිත්‍රා ආන්ටිගෙන් නොඅසා අසති. ඒ විමසුම් බැලුම් එයාට තේරිලාය.
“අද රෝයිගෙ මල්ලි ඔස්ට්‍රේලියාවට ගියානේ...”
“ගියා නෙවෙයි ලීලා, උන් දෙන්නා එහාට තොලොංචි වුණා... සදහටම...”

“චී චී රෝයි. කටට ආව පළියට ඔහොම කතා කියන්න එපා. මෙයා ඔය විදිහටමයි ඊයේ ඉඳලා කිය-කියා හිටියෙ, අනේ. අශාන්ලට good bye කියන්නවත් යන්නෑ කිව්වා. අනේ ලීලා, ඒ කොල්ලා මට නං මගේම සහෝදරයෙක්! මම කොහොමද අශාන්ට එච්චර නපුරු වෙන්නේ. මෙයා ආවේ නැතත් මං තනියෙන් හරි එයාර්පෝට් යනවයි කිව්වම තමයි, මෙයත් ආවේ...” සුමිත්‍රා ආන්ටිගේ කතාවෙන් මගේ හිතත් කඩා වැටෙයි! එහෙනං එයාලා සතියකින් නෙවෙයි ගිහිං තියෙන්නේ...

“මට දුක නැද්ද Cecil... ඌ මගෙ මල්ලී. ඌ කොලුකාරයෙක් කියලා දැන ගත්තම මං දුක් වෙච්ච තරමක්... ඊළඟට ඌ අර කයිසරයෙක් එක්ක එක ගෙදරක පවුල් කන්න ගියාම...”

ෂැන්ඩි නැතිව neat ෂොට්ස්ම වත් කරගත් හින්දාද කොහෙද රෝයි අංකල් දොඩමලුවී හිටියි. ඒ විත්තිය තේරුම් ගත් සමන්තිලා හීන් සීරුවේ නීලියාගෙන් සමුගෙන උඩ තට්ටුවට යති.

“... එහෙම සහෝදරයෙක් ඉඳගෙන ලජ්ජා නැතිව කොහොමද සැසිල් මම යාළුවොන්ට face කරන්නේ? පොන්නයෝ!”
“අනේ නීලියා, Can you explain him please ඒක ඒ ළමයි ඉපදිලා තියෙන විදිහය කියලා. දෙවියන් වහන්සේගෙ කැමැත්තනේ ඒ.”
à ඊළඟ කොටසට...

29 comments:

  1. චැ ... හොදම කෑල්ල ලියල නෑ ... නාට්‍ය ගාරයේදී නීලියා නිදි ගාවින්ම ඉදගනී කියල මන් හිතන්නේ....

    ReplyDelete
    Replies
    1. එහෙම වුණාද කියලා ඊළඟට ලියන්නං, ලලිත්!

      Delete
  2. //සිංහලෙන් කතා කරද්දී මිනිහට දැන් කියවෙන්නේ ඉංගලන්තේ කියලයි//

    අප්පටසිරි, වැරදිද ඒක?
    ලංකාවෙ ඉන්න මාත් ( මම දන්න සෑහෙන දෙනෙකුත් ) කියන්නෙ ඉංගලන්තෙ කියලනෙ !
    වැරද්ද මොකක්ද? "En"gland ශබ්ද වෙන්නෙ "In" වගේ නෙ. https://www.youtube.com/watch?v=YrT2shsyEos
    ඉතින් ඉංගලන්තෙ හෝ ඉන්ගලන්තෙ වැරදිද?

    ඉන්ගලන්ත නම ආවෙ ඇන්ග්ල් ගෝත්‍රිකයින් නිසා ඇන්ගලන්තෙ කියන්නද? :-DDD
    https://www.etymonline.com/word/england

    ReplyDelete
    Replies
    1. මම ඉන්ගලන්තේ කියන වචනය හරි-වැරැද්ද නිශ්චිතවම කියන්න දන්නේ නැහැ Pra Jay මහත්තයෝ.
      එංගලන්තය කියන වචනේ ඇහිලා කනට හුරු වෙලා තියෙන නිසා, (දීපාල් ඒක කියන ඇක්සන්ට් එක නිසා) මට ඒක විහිළුවක් වගේ.
      ඔයා දන්නවනෙ, මං ඉතින් හිනා වෙන්න දෙයක් හම්බ වුණාම මඟ නාරින විත්තිය.

      හිත රිදුණේ හෙම නැහැ නේද?
      දීලා තියෙන විස්තර ටික නං මරු!

      Delete
    2. හෑ.. හිත රිදෙන්න? මගේ?
      ඒ මොකටද? ඉන්ගලතෙටහරි එන්ගලන්තෙටහරි නම දැම්මෙ මං නෙමෙයිනෙ.

      Delete
    3. සුද්දෝ කියන්නේ ඉන්ගලාන්ඩ් කියලනේ මැච් වල

      Delete
  3. නරක්වෙලා තියෙය් අද හෙට මැරෙන්න ඉන්න සල්ලිකාර සුද්දියක් බැඳගත්තනං. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසෝ, එහෙම කර ගත්තා නං 'නාහේ වරක් වෙනවනේ'.

      Delete
  4. "ඒ විත්තිය තේරුම් ගත් සමන්තිලා හීන් සීරුවේ නීලියාගෙන් සමුගෙන උඩ තට්ටුවට යති". සමන්තිලා well-refined නේද. ඩැඩාගෙ influence එකද, නැත්නම් නිමල් ඒගොල්ලන්ව පොඩි කාලෙ discipline කල නිසාද.

    නිමල්ගෙ sexuality වෙනස් තමයි, නමුත් එන්ගලන්තෙදි නිමල්ට කවුරුත් බටහිර කාන්තාවන් attract වුනේ නැද්ද, මන් අහන්නෙ නිමල්ගෙ නිමල්ගෙ වයසෙම තරුණ කාන්තාවන්. සාමාන්‍යයෙන් ඒගොල්ල නිමල්ගෙ වගේ demeanour එකට කැමතියි.

    ReplyDelete
    Replies
    1. සමන්තිලා විතරක් නෙවෙයි Lotus, අපේ ගෙදර ළමයි කවුරුත් තද නීති යටතේ හැදුණේ. එකට හොඳම උදාහරණෙ අපේ අනිල් මල්ලියාට ආනමාලු ඇවරියක්ම කැවීම- පුංචි සන්දියේදී.
      https://nidigepanchathanthare.blogspot.com/2018/05/blog-post_91.html

      දෙවෙනි ප්‍රශ්නයට උත්තරය ඉක්මනටම ලියන්නං. කමක් නැහැනේ?

      Delete
  5. @ නිදී

    ලංකාවේ ඉතාම ජනප්‍රිය දිව්‍ය දිවැසිවර ජෙරමියස් පර්නාන්දෝ නබි නායක තුමා (සල් අල්ලා හෝ අළෛ වෝ,සල්ලම්) සර්වබලධාරි දෙවියන් වහන්සේගේ බලයෙන් ලංකාවේ ක්‍රිකට් ටීම් එකට ගෙනාපු භානුක රාජපක්ෂ තරුණ ක්‍රීඩකයාට දැන් ලංකාවේ ටීම් එකත් නෑ අයි පී එලුත් නෑ වෙන ලීග් තරගාවලිවලටත් චාන්ස් නැතිව ඇපත් නැතිවෙලා ඉන්නවා මේ දවස් වල ඒ ගැන මොනව හරි කරන්න පුළුවන් වෙයි ද නුඹට? අජිත් ධර්මකීර්ති නමැති ජනාධිපති උපදේශක බ්ලොග්කරු ඔබේ සමීප හිතවතෙක් නිසා ඔහු ලවාම මේ ගැන ජනාධිපතිතුමාට පෞද්ගලිකව කතා කරල බලන්න මොනව හරි කරමු

    පහුගිය කාලේ ලංකාවේ භානුක ටීම් එකට ගනිව් කියලා තේරීම් කමිටුවටත් දැඩි විරෝධය සහ බලපෑම් එල්ල කරමින් ක්‍රිකට් බෝඩ් එක ඉස්සරහ කෑ ගහලා උද්ඝෝෂණ කරපු ක්‍රිකට් පිස්සුවෙන් පෙළුණූ ෆෑන් කොල්ලෝ භානුකයා ජෙරමියස් ගේ ස්ටේජ් එකට නැගලා හැමදේටම දෙවියන් වහන්සේටම පමණක් තුති ප්‍රශංසා කිරීමත් අරුන්ට අඩුම තරමින් ස්තුතියි කියලාවත් කෘතඥතාවය පළ නොකළ බවත් කියමින්ම භානුකව අතහැර දමා ඇතිනිසා දැන් ඔහු අසරණයි ඔහුට ඔබගේ සහාය අවශ්‍යයි

    දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තමයි ඉතින් තීරණයක් ගන්න වෙන්නේ, කෝකටත් දෙවියන් වහන්සේට යාච්ඤා කරලම වැඩේ පටන්ගන්න ටිල්බරි ලොජ් එකේ

    දෙවියන්මැ වහන්සේගේ කැමැත්ත අනුව තමයි ඉතින් හැමදේම තීරණය වෙන්නේ ලංකාවේ වැඩිම ආදායම් ලබපු අයි පී එල් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු සුරංග ගැන හිතන්නේ මොකද කියලා කියන්න පුළුවන් ද? ජාතික ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට මේ දිනවල ක්‍රීඩා කරමින් සිටින නමුත් ඔහු නියෝජනය කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අවසන් තරග දෙකේදීම වනිදු හසරංග සිය කණ්ඩායමට ඇතුළත් කර ගත්තේ නැත. මීළඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග වාරයේ දී වනිදු හසරංග රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමෙන් මුදා හරිනු ඇති බවත් ඔහු සඳහා ලංසු තැබීමක් හෝ නොකරනු ඇති බවත් විචාරකයන් හා ක්‍රිකට් සමාජ ජාල වල ජනප්‍රිය ‍ප‍්‍රතිචාර දක්වන්නන් මත දක්වා ඇත.

    මෙය දෙවියන් වහන්සේටම යාඥාවන් ඉදිරිපත් කර වෙනස් කරන්න ඔබට පුළුවන් වෙයි නේද ? ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් මේ ගැන දැනුවත් කිරීමත් ඉතාමත් වැදගත් ඔහුටත් මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් තියෙනවා ඒ නිසා ටිකක් කියල බලමු නේද?

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තෙන් නං මං වහන්සේ හරිම මොට්ට තකතිරුවෙක් මහත්තයෝ. මං ඔහොම දේවල් එච්චර ගණන් ගන්නේ නැහැනේ...

      Delete
  6. රසවත්, කියෙව්වා

    ReplyDelete
  7. හ්ම්...ජම්බල් සේල් = flea market🤔

    ReplyDelete
    Replies
    1. මෙහෙ ජම්බල් saleවලයි එහෙ එව්වයෙ වෙනසයි දකින්න වටිනවා නේද බස්සා මහත්තයෝ!

      Delete
  8. හොඳම හරියෙන් නවත්තල නේද අදත්...

    ReplyDelete
    Replies
    1. හොඳම හරියකින් නවත්තනවා කියන්නේ නමී- ඊළඟ කොටසේ මුලත් හොඳයි කියන එක.
      මං ඉගෙනගෙන තියෙන විදිහට නිර්මාණයක ඇරඹුම- අවසානය දෙක ඉතාම හොඳ විය යුතුයි. ඒකයි මං හැකිතාක් භාවිතයට ගන්නේ.

      Delete
  9. නිදි, මේක ආයි දාල තියෙන්නේ . හැබැයි මේ ක නිසා මමනම් මාර වදයක් විඳින්නේ. ඉනෙස් ඕන අගතා ක්‍රිස්ටි මගුලක් බලනවා. https://www.boxoffice.co.uk/london/shows/333-mousetrap?utm_source=google&utm_medium=cpc&utm_campaignid=11060244447&utm_adgroupid=124671433177&utm_adid=593856544318&utm_term=the%20mousetrap&utm_matchtype=e&utm_campaign=TTG_BO_g_uk_acq_search_shows&utm_adgroup=Shows_The_Mousetrap_All&gclid=CjwKCAjw36GjBhAkEiwAKwIWyQVPEb6bWU6wSG7QUP7J_3mIXKdetBU3-4yhc7zG0e25kY1iAsMAChoC0dAQAvD_BwE

    ReplyDelete
    Replies
    1. Link එකට ස්තුතියි අජිත්!
      'මවුස් ට්‍රැප්' අවුරුදු 70ක් තිස්සේ දිගටම වේදිකාගත වෙනවා.... සතියකට දර්ශන වාර නවයක් තවමත්.....

      Delete
  10. poirot සීරිස් එකකුත් යනවනේ

    ReplyDelete
    Replies
    1. අජිත් පොයිරොට් කියලා කියන්නේ මොකටද?

      ඒක නෙවෙයි ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා අපට ලංකාවේ රුපියල අධිප්රමාණ වීම නිසා පිටරටවල සිටින අපට වන අසාධාරණය පිළිබඳව ඔබෙන් ජනාධිපතිවරයාව දැනුවත් කිරීමක් අප බලාපොරොත්තු වෙනව අජිත් මොකද මගේ අදහස නම් දැන් මහබැංකුව සහ ආන්ඩුව මේ විනිමය අනුපාතය සහ අනෙකුත් සාර්ව ආර්ථික විචලනයක් වලට මැදිහත්වීමක් කරන්න ඕන වෙලාව කියල.. පොලී අනුපාත, විනිමය අනුපාතය, ආනයන දැඩි සීමා වගේ දේවල් වලට කාලීන adjustments කරන්න කාලය හරි.. විදෙස් නය ප්‍රතිව්‍යුහගත කිරීම සමතයක් වෙන්න සැප්තැම්බර් ඔක්තෝබර් වගේ වෙන නිසාත්, ඒ කාලයේදි උනත් hair-cuts, maturity extensions එක්ක විසදුම එන නිසා සහ ආපහු ගෙවීම් වලට පාලනයක් තියන නිසා නය ආපහු ගෙවීම් වලින් ඩොලර් එකට එන ඉල්ලුම ලොකු බලපෑමක් වෙන එකක් නෑ.. ආනයන සහ පොලී අනුපාත වලින් තමයි වැඩි බලපෑමක් එන්නෙ විනිමය අනුපාතයට, මට පේන්නෙ.. ඒක නිසා ඩොලර් එක 275 වගේ යන්න කලින් මහබැංකුවට යම මැදිහත්වීමක් කරන්න වෙනවා.. නැත්නම් ආපහු exports proceeds, Workers remittance අධෛර්‍යමත් වෙන්න ඉඩ තියනව.. ඒව park කරන්න ඉඩ තියනවා පිට රටවල.. ආනයන පාලනයන් ඉවත් කරන්නත් බැරිනම්, පොලී අනුපාත අඩු කරන්නත් බැරිනම්, විවෘත වෙලදපලෙන් ඩොලර් මිලට ගන්න බැරිනම්, වක්‍රාකාරයෙන් රජයේ බැංකු හරහා හෝ යම් මිලට ගැනීමක් කරන්න පුළුවන් වෙන්න ඕන.. සමපේක්ෂන චේතනාවෙන් හරි.. මොකද ඉදිරියේ ආනයන සීමා ලිහිල් වෙන බව දන්න නිසා.. අනික පොලී අනුපාත දැන් ක්‍රමිකව පහල ගෙනාවට ඒකෙන් උද්ධමනයට අතිවිශාල බලපෑමක් වෙන්නෙ නැති තරමට දැන් ආර්ථිකය settle වෙලා.. අඩුම තරමින් ව්‍යාපාරික නය වලට හරි යම් සහන පැකේජයක් එක්ක යම් මැදිහත්වීමක් කරන්න පුළුවන්.. ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුලුව.. දැන් බැංකු කරන එකම operation එක deposits අරන් ඒව lend කරනව වෙනුවට treasury instruments වල දාල අත් දෙක බැදගෙන 6-8%ක ලාභයක් අරන් ඉන්න එක.. මේ වසරේ මුල් කාර්තු 3 බැංකු පද්ධතිය healthy කාර්‍යසාධනයක්, ලාභයක් පෙන්නුවට ඒක real banking operation එකක් නෙමෙයි.. comfort zone එකේ time pass කිරීමක් වගේ එකක්.. එහෙම බැලුවම සේවා අංශයත් ඇත්තම ක්‍රියාකාරීත්වයක් නෑ.. කෘතීම චලනයක් තියෙන්නෙ.. අනිත් එක මහබැංකුවට හො statistics depmnt එකට පුළුවන් මාසිකව නැතිව සතිපතා වගෙ උද්ධමන අගය ගනනය කරන්න අතිරේක වෙහෙසක් දරල.. එමගින් ඉක්මන් ඉක්මන් තීරණ ගන්න පුළුවන්...දැන් අපි දන්නෙ අන්තිමට මාර්තු අග තිබුන උද්ධමන අගය හෝ අප්‍රේල් මැද තිබුන එක මං දන්න තරමින්.. ඒක 30% ගානක්.. දැන් ඕක 20% වෙන්නත් පුළුවන්.. 30% දෙන්න ඕන treatment එකයි, 20% දෙන්න ඕන treatment එකයි වෙනස්... බාගෙට මැරුණු ආර්ථිකයක බලපෑමත් අනිත් විචලන්ගේ බලපෑම වගේම අවධානයට ගන්න ඕන.. ව්‍යාපාරයක් පටන් ගන්න, ගොඩනගන්න යන කාලය, ශ්‍රමය වගේ නෙමෙයි බිදවැටෙන්න යන්නෙ සතියයි මාසයයි.. එහෙම උනාම ඒක ආපහු ගොඩගන්න ආපහු අර වගේම කාලයක් හෝ ඊට වඩා වැඩි කාලයක් යාවි.. ආර්ථික විච්ල්‍යයන් හිර කරගෙන සිටීම රබර් පටියකින් යමක් රදවගෙන ඉන්නව වගේ තමයි.. ඇදගෙන ඉන්න පුළුවන් සීමාව ඉක්මවා ගියාම එක්කො ආපහු තිබ්බ් තැනටම ඇදිල එන්ව.. එක්කො රබර් පටිය කඩාගෙන යනව.. මේ ගැන රනිල් ජනාධිපතිවරයාට කතා කරල මොකක් හරි ඉක්මනට විසඳුමක් ලබා දෙන්න අජිත්

      Delete
    2. එක ප්‍රොනවුන්ස් කරන්නේ පරෝ කියල. ටි එක නිශ්ශබ්දයි හර්කුල් පරෝ Hercule poirot - crime series

      Delete
  11. ඉක්මනට තව කොටසක් ලිව්වා නම් හොඳයි😄😄😄😄

    මාසයක් විතර ඉදලා කොටස් 3,4 එකපාර කියවන එක මරු මට නම්🤓🤓

    - නවීන්

    ReplyDelete
    Replies
    1. ඒකත් එක ක්‍රමයක් තමයි නවීන්!

      Delete
  12. //නිස්කාන්සුවේ පැත්තකටවී අනුන්ගේ ජරමර දිහා උපේක්ෂා සහගතව; අලස සුවයෙන් බලා හිටින්නට හිතෙන්නේ අප වියපත් වෙද්දීය.//

    එතකොට දැන් මාත් වයසට ගිහින් ද🤔

    - නවීන්

    ReplyDelete
    Replies
    1. වියපත් වෙනවා කියන්නේ වයසට යාමමද... මේරීමකුත් කියලයි මං අදහස් කළේ... එහෙම හිතල බලන්නකෝ නවීන් තරහ නැතුව.

      Delete
  13. නිමල් අංකල් මම මාර ප්‍රශ්නයක හිරවෙලා ඉන්නේ. කතාව කෙටියෙන් කියනවනම්, පහුගිය අවුරුද්දේ මැයි මාසේ මැද ඇමතිලාගේ ගෙවල් ගිනි තියපු දවසේ යාලුවෙක් බයික් එකේ ඇවිල්ලා මට කතාකරා ඒ මචන් ගමනක් යමුකෝ කියලා. මම බෑ කියද්දිම ඌ මාව පෙරත්ත කරලා එක්කන් ගියා.ඒ කරලා කෙහෙලියගේ ගෙවල් පැත්තට යන ගමන් මට කීවා කෙහෙලියගේ ගේට ශොට් එක දෙන්න යන්නේ කියලා, මම සාමාන්‍යයෙන් වලි දාගන්න යන්න කැමති නෑ ඒ නිසා ඒක කීවා විතරයි මම මගින් බලෙන්ම බැහලා ආයේ ගෙදර අවා, හැබැයි පස්සේ උන් ගිහින් ගෙවල් ගිනිතියලා.

    ඊටපස්සේ මම බැහැල හෙල්මට් එක බාර දීල එනකොට ඒ හරියේ ගෙදරක සීසීටීවී වලට මාව නෝට් වෙලා.

    නුවර පොලීසිය සතියකට පස්සේ මාව අල්ලගත්තා, මම ඇත්ත කතාව කොච්චර කිව්වත් පිළි ගත්තේ නෑ අල්ලගෙන මාව හිරේදාලා රිමාන්ඩ් කළා, ලෝයර් කෙනෙක් හරහා ඇප ඉල්ලා සිටියා මට මට දවස් 10 කින් ඇප හම්බුනා දැන් තවම නඩුව යනවා .දැන් වාර කීපයක් මම ගියා ..අර ගිනිතියපු පොරවල් අහුවෙලා නෑ..මම හිතන්නේ උන් හෙල්මට් දාගෙන හිටපු හින්දා වෙන්න ඇති..

    මම පස්සේ මේ ගැන ඇමතිතුමාටත් ලියුමක් දැම්මා ඒත් නිර්දෝශී මාව ලිහෙන් නෑ වගේ
    යාලුවට කීවම කියනවා උබ බැහැලා ආපු හින්දා අහුවෙලා තියෙන්නේ නැතනම් අපිත් අහුවෙන්න ඕනනේ කියලා

    දැන් මට ජපන් යන්න චාන්ස් එකක් ඇවිත් තියෙනවා
    මම අහන්නේ මට ජපන් යන්න බැරිවෙයිද නඩුව තියෙනකොට

    එහෙම උනොත් ඇපකාරයින්ට ප්‍රශ්නයක් වෙයිද?
    එහෙම රට යන්න ගියොත් එයාපෝර්ට් එකෙන් මාව අල්ලලා ආයි එවයිද කියා හරියටම දැනගන්න ඕනේ මොකද මට වියදමම දැනට ගිහින් තියෙනවා ලක්ශ 30 ක් අපරාදේ එහෙම උනොත් ඒ සල්ලි ජපන් භාෂා පන්ති වලට කෝසස් වලට එම්බසි එකට ඉමිග්රේෂන් එකෙන් කට්ට කාලා කාක්කොන්ට සෑහෙන සල්ලි දීලා පාස්පෝට් හදලා ෆොරීන් මිනිස්ට්රි එකෙන් සෙටිපිකට් ඇටෙස්ට් කරලා ස්වෝන් ට්‍රාන්ස් ලේටර්ලා හරහා ජපන් භාෂාවට සේරම සහතික පරිවර්තනය කරලා සේරම කරපු වැඩ ටික අවුරුද්දක විතර මහන්සියෙන් කාලය ශ්‍රමය ධනය සේරම වතුරේ

    දන්න කෙනෙක් කියන්න බලන්න
    මේ නඩුව ඉවර වෙන්න කොච්චර කල් යයිද?

    මේකෙන් මට ගැලවීමක් නැතිවෙයිද?
    මගෙන් බොරුවට වන්දි අයකරගයිද ?එහෙම උනොත් මට ගෙවන්න සල්ලිත් නෑ

    අනේ මේක උත්තරයක් දෙන්නකො මට මැරෙන්න හිතිලා තියෙන්නේ. ගෙවල් වලිනුත් හැමදාම එපාවෙනකන් බනිනවා බනිනවා ඉවරයක් නෑ නඩුවටත් දවසට රුපියල් 4000 ක් විතර යනවා.ඇප්ගන්න දවස් වලනම් ලෝයර්ල පෝලිමේ ආවා දැන් එක්කෙනෙක් එන් නෑ..බැන බැන හරි තාත්තයි මායි උසාවි යන්නේ ..

    ප.ලි
    අනේ නිදී අංකල් මේක කොහොම හරි පල කරන්න නුසුදුසු මොනවා හරි තියෙනවනම් කියන්න අයින් කරලා දෙන්නම් .ලෝයර්ගෙන් ඇහුව්ම හැම එකටම කියන්නේ කවද්ද කියන්න බෑ හැබයි දින්වලා දෙන්නම් කියලා විතරයි අපේ ලෝයර් කියනවා රට ගියත් කැදවනකොට එන්නවෙනවලු, මේකට වෙන ගෙදර කෙනෙකුට මම වෙනුවෙන් පෙනී හිටින්න පවරලා රට යන්න පුළුවන් ක්‍රම මොනව හරි තියෙනවාද? අනේ ප්ලීස් මට ඔයාලා උදව් කරන්න පින් සිද්ධ වෙනවා

    ReplyDelete
    Replies
    1. නීතීඥ උපදෙසක් ලැබෙයිද කියලා බලමු!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්