ඒ අමරණීය මතකයන් දායාද කළ සහෘද සංග්‍රහය පැවැත්වුණේ, අපේ එංගලන්ත ගමනට වීසා ලැබෙන්නටත් කලින්ය; හරියටම දවසත් එක්කම කියනවා නම්- 1985 ජනවාරි 13 වෙනිදාය. අපේ යැයි බහු වචනයෙන් ලිව්වේ වැරදීමකින් හෙම නොවේ. වීසා අයැදුම් කළේ දෙදෙනෙකු වෙනුවෙන් නිසාය. අනෙකා වුණේ... අපේ අන්නාය. අන්නා කිව්වේ අනිල් ධර්මකීර්ති දිසානායක මල්ලීටය; අපේ පවුලේ හතර වෙනියාටය.
එදා
ඔවුන් දෙන්නා තවත් ගණනක් කඩා ගන්නට... (මේ දෙන්නා එහෙම නොවේලු!) |
ඔව්! මගේ ජීවිතයේත්, අපේ පවුලෙත් නාටකීය සිදුවීම්, හැල-හැප්පිලි, හුටප්පර නං වැහි වැහැලා තරමට තිබේ. (හැබෑටම, ඔයාලගේ පවුල්වලත් එහෙමද?) ලොකු නංගී අතිසාර්ථකව පවත්වාගෙන ගිය බොරලැස්ගමුවේ සිල්ලර කඩය ගැනත්- 1982 මාර්තු 10 වෙනිදා සිද්ද වුණු නංගිගේ සිය දිවි නසා ගැනීමෙන් පස්සේ, එය බංකොලොත් කළ අනිල් මල්ලී ගැනත් සියලුම විස්තර කාලයකට ඉස්සෙල්ලාම මම ඔබට හෙළි කළෙමි.
ඒ ප්‍රශ්න අවසානයේ, මා අන්නාත් එක්ක කතාබහ නැවැත්වූ හැටි ‘ශ්‍රී ලංකා not Vs England - දහතුන්වෙනි කොටස’ ලියද්දී සඳහන් කළේ මෙහෙමය:
‘“තොපි දෙන්නා නේද ඔය ණය වුණේ? කවුරු කිව්වටද? යසට තිබිච්ච කඩේ බංකොලොත් කරලා, ණය වුණයි කිව්වම... ඒකත් විශ්වාස කළා. ගොනා වගේ කට පියාගෙන, කඩේ විකුණලා සේරම සල්ලි උඹලට නේද යකෝ දුන්නේ, ණය ගෙවන්න. කඩේ සල්ලිවලින් බොන්නයි, මුළු බොරලැස්ගමුවටම ඉන්න සල්ලිකාරයෝ කියලා පෙන්නන්නයි, බූරුවා කෙළින්නයි ගිහින් ඒ පව්වලට තවත් කර ගහන්නද මට කියන්නේ?
-ණය වුණා නම් උඹලාම ගෙවාගනිල්ලා. නැති නම් වහ බීපල්ලා දෙන්නත් එක්කම....”
මා
වැරදි වෙන්නට හැකිය. එහෙත් තවමත් මා විශ්වාස කරන්නේ එදා ඔවුන් දෙන්නා තවත් ගණනක්
කඩා ගන්නට තැත් කළ බවයි.
එවෙලේ
නම් මට ‘චී!’ කියා හිතුණි. එහෙම සහෝදරයෙකු, එහෙම ඥාතියෙකු මොකටද කියලා හිතිණි.
අදටත්
මා නොදන්නේ ඒ ‘අවලස්සන සිදු වීමේදී’ අපේ ගෙදර කිසිම කෙනෙකු
මා වෙනුවෙන් කිසිවක් නොදෙඩූ හේතුවයි. එදා සිට මම පොඩි මාමාත්, අපේ අනිලුත් එක්ක කතාව නැවත්තුවෙමි.’
ඒත්
එංගලන්ත ගමනට අම්මලා අනිල් මල්ලීවත් ඈඳාගෙන තිබුණේ සටකපට විදිහටය.
“අනේ
රංජි, මොනවා වුණත්, ඒත් ඔයාගේ මල්ලි කෙනෙක්නෙ... එක බඩවැල කඩාගෙන ආව සහෝදරයෙක්නෙ.
පව් කාලකන්නියා. එයා ඔයාට වැරදි කළ බව ඇත්ත. ඔයා ඒවා අමතක කරන්නෝනි හොඳ පුතා වගේ.
එයාටත් එක්කමයි ඩැඩා එම්බසි එකට ලියන්නේ. ඔයා හොඳ රංජි වගේ, ලාල් පුතාටත් කියලා ඔය දෙන්නා වෙනුවෙන්ම මේ
වැඩ ටික කරවගන්න ඕනි. නැත්තං අනිලට මේ කපේදී මෙහාට ඇවිත් යන්න හම්බ වෙන්නේ නෑනෙ,
රංජි. ඔයා මමයි, ඩැඩායි වෙනුවෙන් මේ උදව්වත් කරන්න ඕනි.” අම්මා කීප විටක්ම ටෙලිෆෝනයෙනුත්
කතා කරමින් ඉල්ලුවාය.
ඒ හැම විටෙකම ඩැඩාත් මගෙ හිත හැදෙන්නට එකේක දේවල් කිව්වේය.
බොහොම හොඳට වැඩේ කළා! (Foto- තරිඳු අමුණුගම) |
“නිමල්
මල්ලියි, අනිල්තුයි දෙන්නම හොඳ කල්පනාවෙන් එම්බසි එකේ interview එකට face කරන්න
ඕනි! දැන් ඒවයේ රාජකාරි කරන සුද්දො ඉස්සර අය වගේ නෙවෙයි. උන් අපේ අයියලගෙ
දහංගැටවලටම අහු වෙලා, බැට කාලා තෙම්පරාදු වෙලා ඉන්නේ... දන්නවනෙ.
මං හිතන්නෙ ඇඟෙව්වේ නැති වුණාට සමහර උන්ට සිංහලත් ටිකක් හරි තේරෙනවා. ඒ නිසා
ඉන්ටර්විව් එකේදී අනවශ්‍ය එක වචනයක්වත් පාවිච්චි කරන්න එපා- සිංහලෙන්වත්. හැබැයි,
අහන ප්‍රශ්නවලට ගිඩි ගාලා direct ආන්සර්ස් දෙන්න ඕනි.
නිමල්ට නං Youth එකෙන් අපිම
ඒවා
උගන්නලනෙ තියෙන්නෙ. අනිල් මල්ලිත් ලොකු අයියගෙන් ඒ පාඩම් අහගන්න එකයි තියෙන්නේ...”
ලාල් අයියා අප දෙන්නාට කීවේය.
එපමණකුත්
නොවේ.
ලාල් අයියා අප දෙන්නාට පෙරහුරුවල් දෙක තුනකුත් පැවැත්තුවේය; කොල්ලුපිටියේ එංගලන්ත
තානාපති කාර්යාලයයේදී පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණයෙදීත් අපේ භාෂා පරිවර්තකයා ලෙස
ඉදිරිපත් වුණේය.
“Welldone!
දෙන්නම බොහොම හොඳට වැඩේ කළා! නිමල් මල්ලී, අද මෙහෙදී ඔයාලගෙන් අහපු ප්‍රශ්නයි, ඒවට
ඔහෙල දෙන්න දුන්නු උත්තරයි සේරම පැහැදිලිව ලියල තියා ගන්න වෙයි!! දෙවෙනි
ඉන්ටර්විව් එකක් තිබ්බොත් එහෙම... පරස්පරකම් තියෙන්න බෑ!!!”
ලාල්
අයියා නීතීඥ මහත්තයෙකුටත් වැඩියෙන් තර්කානුකූලවය හිතන්නේ. වැඩ කරන්නේ.
තජකයේ
වැඩි දෙනෙකු ‘ලාල් හේවාපතිරණ මහතාගේ හොඳම ගෝලයන් දෙන්නා’ විදිහට විරුදාවලි දුන්නේ
අනුර ජිනදාසටත්, මේ ලියන්නාටත්ය.
(ගොඩාක්... ගොඩාරියක් ස්තුතියි ලාල් අයියේ. ඔබෙන් ලද ගුරුහරුකම් අදටත් මට මහෝපකාරී
වෙයි!)
ලාල්
අයියා අපට උපදෙස් දුන්නේ එයාගේ අත්දැකීම් එක්කය. අනිලුත් මාත් දෙන්නාම හා-හාපුරා
කියලාය නොරටකට යන්නට හදමින් හිටියේ. ඒකත් අපේ වියදමෙන් නොවේ; අම්මලාගේ වියදමෙනි.
එංගලන්ත
පැත්තෙන් ඒ සේරම කෙරුණේ... (ඩැඩායි, අම්මයි) |
එංගලන්ත
පැත්තෙන් ඒ සේරම කෙරුණේ ඩැඩාගෙනි. ඩැඩාත් ඒ කටයුතුවලදී පෙන්නා තිබ්බේ අතිසූර ගොඩ
පෙරකදෝරුවෙකුගේ බුහුටිකම්ය.
“උඹලගෙ dady සැසිල් රිටයර්ඩ් වුණාට මොකද නිමල්, Stock Broker විදිහට වැඩ කරන කාලේ ගහපු
දහංගැට තවම ගහනවා. ඒවාම තමයි උඹල දෙන්නව මෙහාට ගෙන්න ගනිද්දීත් සැසිල් ගැහුවේ.
උඹලගෙ අම්මට විතරක් නං එච්චර හපන්කං කරන්න මොළයක් නෑ.” ආන්ටි එරීන්
පස්සේ
දවසක, අපේ ඩැඩාගේ බුහුටිකම වර්ණනා කරමින් කීවාය. (එංගන්තයේ නවතින්නට ඕනෑ නං
සුද්දෙක් බැඳ ගන්නැයි අපේ අම්මාට කියා තිබ්බෙත් මේ එරීන් ආන්ටිය!)
එසේ තිබියදීත්, තානාපති කාර්යාලයෙන් දන්වා එව්වේ ‘වීසා නිකුත් කිරීමට නම් රිටර්න් tickets දෙකත් ඉදිරිපත් කළ යුතු විත්තිය’යි.
පණිවිඩ
එහා- මෙහා යැවිණි.
“රංජි. ඔන්න අපි ඔයාල දෙන්නට රිටර්න් ටිකට්ස්වලට සල්ලි බැන්දා. KLM එයාර් ලයින්
එකට... මං හිතුවට වඩා මේකට වියදං යනව වගෙයි. පොඩි ගාණක්ද? පවුම් 980ක්ම ගෙවන්න
වුණා! අද හෙටම තැප්‍රෝබේන් ට්‍රැවල්ස් කියලා කොම්පැනියකින් ඔයාලට පණිවිඩයක් එවයි.
එතකොට ඔන්න පරක්කු නොකර ගිහිං එයාලව හම්බ වෙන්න.” අම්මා පිරිමි ළමා නිවාසයට call
එකක් දෙමින් කිව්වාය.
අපේ
ගමන ටිකෙන්-ටික කල් ගියේ එහෙමය... ඒ කටයුතු ඉෂ්ට-සිද්ධ වී අපට වීසා ලැබුණේ 1985
අප්‍රේල් 23 වෙනිදාය.
“බලපං
ඉන්දිරා, මේ අනුරයා කිව්ව අනාවැකිය ටක්කෙටම හරි ගියානේ. හැබැයි මචං- ඉඳහිටවත්
බුලත් විටක් කාපං. මට සැකයි, නිදිලගේ ගමන පරක්කු වුණේ කේන්දරේ තියෙන විදිහටද,
නැත්තං උඹේ කටෙන් කියවුණු විදිහටද කියලා.” මර්වින් කිව්වේ එතකොටය.
“අනේ
තියාගනිං උඹේ කට!” ඉන්දිරා එයාගේ අත්ල අනුරට දික් කරන ගමන් මර්වින්ට රැව්වාය. “...අනුර,
අනේ මචං- මටත් කියපං සාස්තරයක්.”
“ඉන්දිරා මිසී. හවසට අත බලලා සාස්තර කියන එක හොඳ නෑ! හොඳ නෑ කියන්නේ, අත්ලේ රේඛා
බලලා සාස්තර කියද්දී නිකම්ම රේඛා දිහාව විතරක් අපි නොබලන හින්දයි. කොටින්ම
ඉන්දිරා- අත්ලේ රේඛාවක ගැඹුර පවා හොඳට බලන්න ඕනි. ඒකයි හොදව ආලෝකය තියෙන වෙලාවකම අත බලන්න ඕනි!” (එහෙම කියලය අනුර
මර්වින් දිහාට හැරුණේ.)
“අඩෝ මර්වියා... මේ, උඹට ඕනිම නං මාව පාච්චල් කරපං මචං. හැබැයි උතුම් සාස්තරයක්
පාච්චල් කරන්න එපා. උඹට පව් සිද්ද වෙනවා.” අනුර එදා උත්තර දුන්නේය. ඒ අනුර ජිනදාස
හිතවතා අද ‘ශ්‍රී ලංකා ජ්‍යෝතිර්වේදීන්ගේ සංගමයේ ගරු ලේකම් ධුරය’ උසුලයි.
විභාග
පාස් කරනවට වැඩිය අමාරුයි... |
එහෙම
මතයක මමත් උන්නෙමි;
ඒ දිනපොත් ලිවීම ගැනයි.
මගේ
ජීවිතයේ ‘මට වැදගත්’ හා යම්-යම් මතක තියාගත යුතු දේවල් අතැන-මෙතැන කොතැනක හරි
සටහන්කොට තියන පුරුද්දක් නම් මට තිබිණි; තවමත් තිබෙයි. ඒ පුරුද්ද තවමත් මට තිබේ.
වැරැද්ද ඒවා පිළිවෙලකට එකලස් කර නොතැබීමයි. මෙතැනදී විශේෂ ස්තුතියක්, මරදානේ වසන්ත
මිතුරාට හිමි විය යුතුය. බණ්ඩාරවෙල සීවලී විද්‍යාලයේ අප නවාතැන් ගෙන සිටි සති දෙකක
කාලය තුළදී, දීඝායුටත් මටත් රහසිගත ඉලක්කම් භාෂාවක්
ඉගැන්නුවේ වසන්තය.
ඒ
භාෂාවෙන් ලියන හින්දාය, මගේ අතිශය පෞද්ගලික; රහසිගත; ලෝකයටම හංගාගෙන සිටි සමහර
දේවල් පවා ලේඛනගතවී සුරැකිව තිබෙන්නේ. මේ බ්ලොගය ලියද්දී විටින්-විට ඒවා මට උපකාරී
වෙයි!
ටිකකට
කලිනුත් කිව්වා වගේ, මෙතැනදී දිනපොත් ලිවීමේ ‘හොඳ පුරුද්ද’ ගැනත් කියන්නට වෙයි.
‘හොඳ පුරුද්දක්’ය කිව්වාට මට ඒ හොඳ පුරුද්ද තිබ්බේ නැත. නමුත්- 1984 අවුරුද්ද
අන්තිමේදී, අපේ මානෙල් නංගී විවාහ කරගෙන සිටි ගාමිණී මට දිනපොතක් තෑගි කළාම...
ඒක මහපොළ දිනපොතකි!
ඊට
කලින් හිටම, මට ලැබෙන දිනපොත් ඒවා පරිහරණය කරන කෙනෙකුට පිරිනැමීමය මගේ පුරුද්ද
වුණේ. (මේ වසර පටන් ගන්නා කොටමත්, ඉතා මනබඳින දිනපොතක් මට තෑගි ලැබිණි. ඒ සහෝදර
blog රචකයෙකු වෙන ‘කොළොම්පුරේ’
අසංග
රණසිංහ ආරච්චි සහෘදයාගෙනි. ස්තුතියි අසංග!) එය බිබිලේ අසංග හිතවතාට පිරිනැමුවෙමි.
නමුත්,
අර මහපොළ දිනපොත කාටවත් දෙන්නට මං වහන්සේට නොහිතුණේය. නොලියනවා නං ඒක තියාගන්නේ
මොන ඉලව්වකටද? ඉතිං මම එය ලිව්වෙමි; නොකඩවා ලිව්වෙමි. 1985 මුලම සිට 1986 පෙබරවාරි
තෙක්... මාස දාහතරක්! (අන්තිම මාස දෙකේ දින සටහන් ලියා තියෙන්නේ ඒ දිනපොතේම Notes
පිටු හතරේය.)
ඒ
සමහර දිනපොත් ඇසුරෙන් ලියැවුණු, ඉතා වටිනා පොත් විශාල සංඛ්‍යාවක්... |
මොට්ට
තකතිරු මං වහන්සේ එහෙම අල්ලලා දැම්මා වුණත්, ලෝකය පුරාම විද්වත්තු; මොළේ ඇති අය
දිනපොත් ලියති. ඒ සමහර දිනපොත් ඇසුරෙන් ලියැවුණු, ඉතා වටිනා පොත් විශාල සංඛ්‍යාවක්
දැනටමත් ප්‍රකාශයට පත් වෙලාත් ඇත. අප නොකළත් අන්‍යයන් කරන හොඳ දේ අගය කළ යුතුයි
නේද?
දැන්
නං එනපොට හොඳ නැතැයි, හිතාදර ඔබට හිතිලා තියෙන්නටත් පුළුවන. ‘නහමක් නොසිතනු මැනවි.’
දිනපොත් ලිවීම පසසන මුත්, මා මගේ දිනපොතේ සටහන් සියල්ලම blog ලිපිවල රුවන්නට
නොයන්නෙමි. එසේ කරන්නේ තැනින්-තැන පමණි; අවශ්‍ය පරිදි පමණකි.
තජකයේ කට්ටිය මාව දෙහිවල Zoo එකට එක්කගෙන ගියේ ජනවාරි 13 විත්තිය, මා නිශ්චිතවම;
කැට තියලා ටක්කෙටම ලිව්වේ අර 1985 දිනපොතෙන් උපුටාගෙනය.
මේකත්
ඒ දිනපොතේම ලියා තිබුණු දෙයකින් සිහිපත් වුණු එකකි..
“අනේ
දරුවෝ. මම ඔයා එනකල්මයි මඟ බලාගෙන හිටියේ, ඔයාට හරි මේක කියන්න...” පද්මෙලගේ අම්මා
මගෙ දිහාවට ආවේම අඬාගෙන.
ඇත්තමයි, මට දෙලෝ සිහි වුණා! මොකක්ද දෙයියනේ, ඒ අම්මා මට කියන්න හදන්නේ.
‘පද්මෙගෙයි මගෙයි වගේ සම්බන්ධයක් අම්මෙක් කොහොමටවත් අනුමත කරන එකක් නැහැනෙ. ඒත්... අපි දෙන්නා අතරේ එහෙම දෙයක් තියෙන බව පද්මෙල අම්මා දැනගන්න විදිහකුත් නෑනෙ.’
පද්මෙගෙ අම්මා පහතට නැමිලා, එයා ඇඳගෙන හිටිය කිමෝනාවෙන්ම හොටු පිහිදා ගත්තා. “ඔයාවත් අපේ එකාට කිව්වොත් නං අහයි පුතේ. අපිට නං එයත් එක්ක මේ ගැන කතා කරන්නවත් ඉඩක් එයා දෙන්නෑ. පිටට පූසා වගේ වුණාට පුතේ, පද්මෙ ගෙදරදී යකෙක් වගෙයි දරුවෝ.” එහෙම කියන ගමන්ම පද්මෙල අම්මා පුටුවකට බර වුණා. (පද්මෙල අම්මට තිබ්බේ ජොල් ඇඟක්නෙ!)
ඔහොම
සල්ලි හම්බ කරල මොකටද පුතේ... ඕකුන් මැරෙන්නෙ ලේ බඩ ගිහිල්ලා... |
දැන්
නං එකක් ස්ථිරය.
පද්මෙල
අම්මා කියන්නට යන්නේ වෙනින් මොකක් හරි කතන්දරයකි.
ඒ විත්තිය හොඳටම තහවුරු වුණේ, ඒ අම්මා ඊළඟට කතා කළ රහස් ස්වරයෙනි. “අනේ පුතේ, අපේ
එකා දැන් කුඩු ගහන්නත් පටන් අරගෙනද කොහෙද? ”
“පද්මෙ?
වෙන්න බෑ අම්මෙ!”
“ඔයා
වෙන්න බැහැයි කියන්නෙ පුතේ, ඔයා දන්න තරමටනෙ. අපේ ලොකු බෑණන්ඩි දවසක් ඇහෙන්ම
දැකලත් තියෙනවා. අනේ... අරුන්ට හෙණ හත ගහනවා- මේ කොල්ලොන්ව විනාශ කරන්න ඔය වසංගත
ගෙනත් බෝ කරනවට. ඔහොම සල්ලි හම්බ කරල මොකටද පුතේ... ඕකුන් මැරෙන්නෙ ලේ බඩ
ගිහිල්ලා. බලන්නකො එහෙනං.” පද්මෙලා අම්මා එතකොට කිව්වේ මහරගමට ප්‍රසිද්ධ රහසක්ව
තිබුණු කුඩු බිස්නස්කාරයන් ගැන කතාවයි.
“සේරටම
හපන් පුතේ, අපේ මනුස්සයා දැනගත්තොත් එහෙම පද්මෙව ගෙදරිනුත් පන්නල දාලයි නවතින්නේ.
පුතත් දන්නවනෙ එයාගේ හැටි! අපේ කොල්ල නාස්ති වෙන්නෙම නරක යාළුවො නිසයි, දරුවෝ!”
මටත්
ඒ චෝදනාවෙන් මිදෙන්නට බැරිය.
‘පද්මෙල අම්ම දන්නව නං ගල් මූසලයෝ, තෝ හින්දා ඒ කොල්ලට වෙන්න යන විනාසේ!’ යටි හිත
මොර දෙයි.
‘මමද පද්මෙව අල්ල ගත්තේ?’ උඩු හිත අහයි.
‘උඹ බබා! හෙමින්ම ඒක කෙරෙන තැනට වැඩ කළා වෙන්නැති!’ යටි හිත කියන ඒ කතාවෙත් ගත
යුතු දෙයක් තිබුණාවත්ද? මට මාවම විශ්වාස නැත!
අපේ
අම්මාගේ රූප සම්පත්තිය ඇති කරවූ ජාන ‘පදාසයන් පිටින්ම උරුම
කරගෙන’ය... (අම්මයි මමයි හා මමයි චූටි නංගී දීපානියි) |
බිම්බිසාර දේවිය වෙද්දීත්, එරන්දතී කුමරිය වෙද්දීත්, පාරිකා බිසව වෙද්දීත්, සුප්පා දේවිය වෙද්දීත් ඒ නාසික්‍ය ස්වරය තවත් ලෙළවන්නට; නළවන්නට මම පුරුදු වීමි. කොමළියක ලෙසින් හාවභාව ලීලා පාන්නට උගත්තෙමි.
බණ්ඩාරවෙල පුරහලේදී කුවේණි වෙද්දීත් ‘ස්ත්‍රී භූමිකාව’ මට අමුතු දෙයක් නොවිණි.
පේව්මන්ට්
එකේ රජ
වුණු
වසර කිහිපයෙදී මම නිතැතින්ම කථන කලාවේ හසලයෙක් වීමි. ඇයි, මඩ ගොහොරුවේ පච වෙද්දී... තජකයෙදී ඒවා මැනවින් ඔප මට්ටම් කර ගැනීමේ වාසනාව මට
ලැබිණි.
ඒ හැකියාවන් සියල්ල එයින් පසුවත් මට අතිශයින්ම උපකාරී වුණේය.
මහී, සුනන්ද වැනි ගොඩ දෙනෙකුම ටෙලිෆෝනය හරහා මට වහ වැටුණේ-
මගේ කොමල; මුඛරි; බොළඳ කතා ලතාවලටය.
‘වෙලාවකට
ඔයාගෙ ඇස් දෙකෙන් ඊතල විදිනවා!’ සංජේ ඉඳහිටලා මට කියන්නත් පුරුදුව සිටියේය. මගෙ වලත්තකම
කොච්චරද කියනවා නං, ඊට පස්සේ මම සතතාභ්‍යාසයෙන් ‘නෙත් හී සැර විදීමේ’ ඒ කලාවත්
මනාව උගත්තෙමි.
ඉතිං,
නොසිතාම හරි මං වහන්සේ පද්මෙ දිහාත් එහෙම බලන්නට ඇතිවාවත්ද? පද්මේ එක්කල කතාබහ
කරද්දීත් එයාව කුප්පන ස්වරයකින් කතා කළාවත්ද? එහෙමත් නැත්නම් ගැටවරයන්; තරුණයන්
ආකර්ශණය කර ගැනීමේ යම්බඳු ශක්තියක් මා තුළ සැඟවී තිබුණාවත්ද?
වෙන්නත් ඇති. පියසිරි මා කෙරෙහි
වසඟ
වෙද්දී මං මේ මොන කෙහෙල්මලක්වත් දැනගෙන උන්නේ නැත!
අභී අයියා
මා
වසඟයට ගනිද්දීත්, මම මේ අංශයෙන් නොදරුවෙක් වීමි.
එහෙත්,
එදා වැල්ලවත්තේ සැවෝයි සිනමාහලේ ‘ඩිෂ්ටි ඩිඩින්’ වර්ගයේ ඉංග්‍රීසි film එක බලන්නට
යන දවස වෙන විටදී නම්, මම අශ්වයන් දුසිම් දහයකටත් වැඩි පිරිසක් එක්ක ‘කඩුලු පැනලා පළපුරුදු වනචර වලත්තයෙක්’
වී සිටියෙමි!
-->
තෙවෙනි
කොටසට.
අදත් මං එකද කොහෙද?
ReplyDeleteමටත් ඔය දිනපොත් ලියන වැඩේනං අල්ලල ගියපු නැති එකක්මයි.
මටත් ඔය දිනපොත් ලියන වැඩේනං අල්ලල ගියපු නැති එකක්මයි X 2
Deleteහැමෝටම හැම වැඩේම අල්ලලා යන්නෙ නෑ නේන්නං මහත්තුරුනේ! අර කතාවට කියන්නේ 'අතේ ඇඟිලි පහවත් එක විදිහට නෑ' කියලා.
Delete++++++++++++++++
ReplyDeleteවැට ගහලා යන්න ආවෙ. ආයෙ එන්නං පස්සෙ , අනික් කමෙන්ට් බලලම හිතුන දේවල් කියන්න.
ඉක්මනට ආවෙ නැත්තං වැට ඇවිදල තියෙයි එනකොට.
Delete++++++++++++++++++++++++++++
Deleteබස්සා මහත්තයෝ, ප්‍රසා කියපු එක චූට්ටක් වෙනස් වෙලා
Deleteවැට ඇවිදලා නෙවෙයි, දික් වෙලා!
බස්සා, ප්‍රසන්න, Pra Jay- ඔබ තිදෙනාටම ස්තුතියි මහත්වරුනි!
ඩිෂ්ටි ඩිෂුම්’// නෙවෙයි,ඩිෂ්ටි ඩිඩින් ...
ReplyDeleteහරි නේන්නං!
Deleteඅනේ ලලිත් මහත්තයෝ- වරද පෙන්නලා දුන්නට ගොඩක් ස්තුතියි. මේ දැන් වැරැද්ද හදන්නයි යන්නෙ...
මම හිතන්නේ ඔයාගේ අම්මව හා ඩඩා දැකල තියනව වෙඩින් එහෙකදී කියල. 92 හෝ 93 විතර.තැප්‍රෝබේන් එකෙන් මමත් ටිකට් අරන් තියනව.
ReplyDeleteඔයාට අපේ අම්මලාව දකින්න හොඳටම ඉඩ තියෙනවා අජිත් මහත්තයෝ. එංගලන්තයේ වුණත් අපේ උදවිය නිතරම හමු වෙන උත්සව අඩු නැහැනේ.
Delete+++++
ReplyDelete+++ස්තුතියි ඉයන් මහත්තයෝ+++
Deleteමට මතක විදිහට මුලින්ම විජය පරිගණක සගරාවේ ලිපියක් තිබුනා බ්ලොග් ලිවිම ගැන එය හදුන්වලා තිබුනේ ඩිජිඩල් දිනපොතක් විදිහටයි. ඒකාලේ එහි සදහන්වුන අන්දමට කොළොම්පුරයාත් වර්ඩ්පෙස් වලින් බ්ලොග් එකක් අටවාගත්තාත් සිංහලෙන් ලිවිමට යුනිකෝඩ් ගැන නොදැනිමයි හින්දා අතහැරලා දැම්මා.
ReplyDeleteකොළොම්පුරේ අසංග
ඔය පරිඝනක සඟරා කිහිපයක් මාත් කියෙව්වා ලංකාදීප පත්තරෙත් එක්ක දෙන කාලේ. හැබැයි ඒ දවස්වල පරිඝනක තියා tv එකක්වත් මට තිබ්බේ නෑනෙ, අසංග.
Deleteමේ දවස්වල ඔයාලත් අරගලවලද?
අත බැලීම ගැනයි නැවත කියන්නෙ.
ReplyDeleteකේන්දරේ වැරදුනත් අල්ලේ රේඛා වරදින්නේ නැහැ. මෙහෙම කියන්න අත්දැකීමකුත් එක්කයි. අපි මැදිරිගිරියේදී කළ ජ්‍යේතිශ සායනයේදී නොමිලයේ පරීක්ෂා කළ ජන්මපත්‍ර 1200 කට අධික සංඛ්‍යාවෙන් නිවැරදි ඒවා තිබුණේ දෙකක් පමණයි. ඒ අපේ අය තුළ පවතින වැරදි සංකල්පනා සමූහයක් නිසායි. අපි සංවිධානයක් ලෙස කරමින් සිටින්නේ නිවැරදි ශාස්ත්‍රය ජනගත කර එමගින් සමාජ මෙහෙවරක් ඉටුකර ජාතික මෙහෙවරක යෙදීමයි!
ඔයා බ්ලොගය නොලිව්වත් අනුර මහත්තයෝ, මෙහෙම මෙහෙම හරි නිවැරදි මත- විස්තර ජනගත කරනවාට බොහොම ස්තුතියි.
Deleteඇයි, අර තරම් කේන්දර තොගයක් වැරදිලා තිබ්බේ?
එතකොට අත් නැති අයගෙ කොහොමද කියන්නෙ😄
Deleteඅනුර මහත්තයම ඔයාට උත්තර දීපුදෙන් කියලයි දවස් දෙකක් බැලුවේ, නවීන්. ඒත් එතුමාගේ ලකුණක් නැති නිසයි- මම සාත්තර කියනවා නම් ඔහොම වෙලාවට කරන දේ කියන්නේ.
Deleteඅත් නැති අයගේ ඔළුව බලලා කියනවා, ඔලුවත් නැත්තං තමයි ප්‍රශ්නයක් වෙන්නේ!
අත් නැතිනම් කරන්න වෙන්නෙ අංග ලක්ෂණ අනුව කියන එකයි. අත් නැතිව කියපු කථාවක උදාහරණයකුත් කියන්නං.
Deleteඒ කාලෙ තාත්තා වැඩ තහනමට ලක්වෙලා හිටපු කාලෙ දරුවො පස් දෙනෙක් එක්ක පවුලක් නඩත්තු කරන්න කළේ ගුවන් විදුලි යන්ත්‍ර්‍ර අළුත් වැඩියාව කරන එකයි. ඒ සඳහා අවශ්‍ය උපාංග මිලදී ගන්න සතියට දෙවරක් විතර කොළඹ යනවා. ඒ ගමන්වලට මාවත් එක්කරගත්තේ යතුරෙන් පණගන්නවාගන්න බැරිව තිබුණු වාහනය තල්ලු කරන්නයි. දවසක් පිටකොටුවෙ ඔරලෝසුකණුව ලඟ වාහනය නවතනකොට එතන හිටපු අතබලන සාත්තර කාරයෙක් අත බලන්න කථා කළාම තාත්තා අත දික්කරමින් කීවෙ මං විශ්වාස නොකලට ඔයා මුලින්ම මටනෙ කථා කළේ. කමක් නෑ එහෙනං බලල මොනවා හරි කියන්නකො කියලයි. එයා කීවෙ මහත්තයා විශ්වාස නොකරන නිසා සාත්තරේ කියන්නෙ අත බලල නෙවෙයි කකුල බලල කියලයි.
තාත්තා සපත්තුව ගලවලා එයාට කකුල දික්කළා. එයා කකුල බලලා සාත්තරයක් කීවා. මහත්තයා අම්මාගෙන් අහන්න ඔයා ඉපදෙන්න ඉන්න කාලෙ ඔයාගෙ අම්මා බරක් ඔසවාගෙන වැටුණාද කියල
තාත්තා ආච්චිගෙන් ඇහුවාම එයා කීවෙ අත් මැෂිම ඔසවාගෙන යද්දි වැටුණු බවයි.!
ඒක නම් මාරයි
Delete