li Item

Thursday, March 18, 2021

යුවති කිරිල්ලී - විසිතුන්වෙනි කොටස

තමුන්ටයි තමුන්ගෙ පවුලටයි කන්ඩ බොන්ඩ දෙන්ඩ තමයි උන් හොරකං කළත්  කරන්නෙ.....

කිසිම සතෙක් ගොඩ ගහන්ඩ හොරකං කරන්නෙ නෑ. උං හොරකං කරන්නෙ ජීවත් වෙන්ඩ ඕන මූලික දේවල් ටික ලබා ගන්ඩ. ඒක අපි කරනවට වඩා අහිංසක හොරකමක්. තමුන්ටයි තමුන්ගෙ පවුලටයි කන්ඩ බොන්ඩ දෙන්ඩ තමයි උන් හොරකං කරන්නෙ.....’

ඉල්ලංකාවේ අල්පේසාක්කිය-මහේසාක්කිය හොරකං ගැනත්;
සාක්කි නැති නිසා
; තාක්ෂණික දෝෂ නිසා වීසිවෙන තම-තමුන්නේ නඩු ගැනත්, හිතන්න ඉඩ දීලා ඔන්න අදට නවතිනවා.... මටත් එව්වා ගැන හිතන්න ඕනි! දැන්වත් ඒවා ආදුරුසේට අරන් හැදෙන්නවත්....
පහුගිය කොටසේදී අපි ඒ කතාවට බැස්සෙ නෑ අපෙ අම්මා.... කවුද දන්නෙ අම්මට ඉස්සෙල්ලා මාව මැරෙන්න ඉරණමේ ලියවිල තියෙනවද කියලා...ධනුෂ්ක අම්මාට කියපු තැනින්.
ඔන්න එහෙනං දැන් ආයෙම එතනට....

“චී, චී මයෙ පුතා! මොනවද මේ කියන කතා? මගේ ආවිසත් ඇන්න මයෙ පුතා ගොඩාරියක් කල් ජීවත් වෙන්ඩ ඕනා!”

ධනුෂ්ක තේ කෝප්පය දෙතොලට ළං කර ගත්තේය.

“තේ එක නිවිලත් ඇති පුතා.... ඕං දැන් අප්පච්චිත් මයෙ පුතාට කියාවි... අපි නිල්ගල වලව්වට පණිවිඩේ යවලයි තියෙන්නේ. මයෙ පුතාත් එන්ඩ ඕනි ඉරිදට එහෙ යන්න. මයෙ පුතා දන්නවනේ ඉතිං අප්පච්චිගෙ හැටි! ආයෙ පුතා අදි-මදි කොරව්වොත් අප්පච්චිට කේන්ති යාවි....”

අප්පච්චිට විතරද කේන්ති යන්නේ?

සිතෙහි තිබුණු නොරිස්සුම අතු-ඉති දමමින් ලියලා වැඩෙන අයුරු දැනී ධනුෂ්ක බිය වූයේය. මවගේ කතාව ඔහු ඉවසා සිටියේ අමාරුවෙනි. ඒ කතාවේ අවසන් කොටසේ ගැබ්වී ඇති තර්ජනය හඳුනා ගැනීමට අපහසු නැත.

“අප්පච්චිට විතරද කේන්ති යන්නේ?”

පුටුව පසෙකට තල්ලු කරමින් ධනුෂ්ක නැඟිට්ටේය. ඒ අතරේම ඔහු අත වූ තේ කෝප්පය වේගයෙන් මේසය මතට දැමුවේය. ඔහු නොසිතූ පරිද්දෙන් ඒ දේවල් කෙරුණේ, ඔහුගේ කෝප ආවේගයන් පිටතට ගලා  යවමිනි. පුටුව පෙරළී ගියෙත්, කෝප්පය බිමට වැටී හඬ නඟමින් බිඳී ගියෙත් ධනුෂ්ක පවා නොසිතූ අයුරිනි.

කුමාරිහාමි පුතුගේ කෝපය හොඳ හැටි දුටුවාය. බියපත් දෑසින් බලා සිටි ඇයට පපුවේ වේදනාව නැඟී එනු දැනිණි. එහෙමම පපුවට අත තබාගත් ඈ පුටුවක් අල්ලා ගත්තාය.
ඇද වැටෙන්නට යන මව දුටු ධනුෂ්ක ඉදිරියට පැන කුමාරිහාමිව වත්තන් කොටගෙන සිළිඳු මැණිකාට කෑ ගැසුවේය.

********

මිදුලේ සිහින් සිනිඳු සුදු වැලි කැට මත්තේ ඉදුණු පේර කොළ හැළී තිබිණි. චන්ද්‍රා ඒවා අතුගෑවේ වැලි මත රටාවක් මැවෙන පරිදි සීරුවෙනි. මුලදී හැඩිව තිබුණු මිදුල දැන් බලන්නට ලස්සනය. ඒ මත පා නඟා ඇවිදින්නටත් ලෝබ හිතෙයි.

කොළ රොඩු එකතුකොට ඉදල මතටම ගත් චන්ද්‍රා මාලතී දෙස බැලුවාය. ඈත කඳුවැටි සිසාරා හමා එන සිසිල් මන්ද මාරුතයෙන් මාලතීගේ දඟකාර කෙහෙ රැලි එහා- මෙහා දුවයි. මාලතීට එහි වගක් නැත.

එදා මම ආපහු ආවේ ආයෙ කවදාවත්ම; එයාව හම්බ වෙන්ඩ යන්න හිතාගෙන නෙවෙයි...

“එතකොට උඹ හිත හදාගෙන ඉවරයි?”

“.... ඔව් අක්කා.... එදා මම ආපහු ආවේ ආයෙ කවදාවත්ම; එයාව හම්බ වෙන්ඩ යන්න හිතාගෙන නෙවෙයි....” මාලතී කතාව අතරමඟ නතරකොට ‘එයාව’ යනුවෙන් කීවේ අපහසුවෙනි. චන්ද්‍රාද ඒ වෙනස හැඳින්නාය. ධනුෂ්කගේ නමවත් සඳහන් නොකිරීමට තරම් මාලතීගේ හිත බිඳී ගොස් ඇතැයි චන්ද්‍රා නොසිතුවාය.

“ඉදලෙන් කුණු අතුගාලා දානව වගේ, හිතේ තියෙන එව්වා ඔක්කොම එක පාරටම අකා-මකා දාන්ඩ බෑ නංගියේ... ඒක කරන්ඩම ඕනි කියලා හදව්වොත් වෙන්නේ තවත් හිත පෑරෙන එකයි. නිකං හිටියාම, ඉබේටම ටික ටික ඔව්වා අමතක වෙලා යයි!” චන්ද්‍රාගේ නෙතටද කඳුළු උනා තිබිණි.

“ඇයි අක්කා මේ? ඔයත් අඬනවා....”

“මාත් ඉස්සරෝම ඔය වගෙ හීන ලෝකෙක තමයි හිටියේ.... වික්‍රමත් එහෙමයි. පස්සෙ- පස්සේ අපිට තේරුණා හැමදාම ඒ හීන ලෝකෙ ඉන්ඩ බැරි බව. රස්සාවක් නැතිව ඉන්ඩ බැරි හින්දාමයි වික්‍රම හමුදාවට බැඳෙන්ඩ ගියේ.
කාට විරුද්ධව යුද්ධ කරන්ඩ වුණත් එකයි.... ඒත් මිනිස්සුනෙ කියලයි වික්‍රම හිතුවේ. එයා මටත් කිව්වා හිත හදාගන්ඩ.
අයියත් දැනගෙන හිටිය නංගියේ, සමහර වෙලාවට එයාගේ මළකඳවත් දකින්ඩ බැරි වෙන විදිහට වුණත් මැරේවි කියලා... හැබැයි මේ විදිහට, බීගෙන බස් එක එලෝපු මිනිහෙකුගේ වැරැද්ද හින්දා මැරෙන්ඩ වෙයි කියලා නං එයා හිතුවෙ නෑ මාලතී....”

ඉදල් මිට මතින් නිකට රඳවාගෙන චන්ද්‍රා කියාගෙන ගියේ අඩ සිහියෙන් කතා කරන්නාක් මෙනි. මාලතීට බාධා කිරීමට සිතුණේ නැත. බාධාවක් වූයේ සුළඟින් සැලෙන කොළ නැංවූ සර-සරයෙන් පමණි.

එයා කවදා හරි අකාලේ මළත්- ඒ මත්තෙම නැහිලා ජීවිතේ කාලකන්නි කරගන්නේ නැතිව....

“වික්‍රම මාව පොරොන්දු කරවා ගත්තා, එයා කවදා හරි අකාලේ මළත්- ඒ මත්තෙම නැහිලා ජීවිතේ කාලකන්නි කරගන්නේ නැතිව හොඳින් ඉන්ඩ.... එහෙමයි එයා කිව්වේ.... කව්ද නංගියේ හිතුවේ, ඔව්වා ඉස්සරහට වෙන්ඩ තියෙන දේවල් පෙනිලා වගේ කියවෙන ඒවා බව?”

අසල වූ මල් පඳුරකට ඉදල හේත්තු කළ චන්ද්‍රා, මාලතී වාඩි වී සිටි පඩිය මතින්ම වාඩි වූවාය. දෙදෙනාම නිහඬව ඈතින් පෙනෙන කඳු මුදුන් දෙස බලා සිටින්නට වූහ.

“සමහර වෙලාවට චන්දනටත් එදා බණ දවසෙ උඹේ අමුත්තක් පෙනුණද දන්නෑ. මට කිව්වා උඹෙන් අහල බලන්ඩලු, එයාට අකමැතිද කියලා....
බල කරලා අහනවා නෙවෙයිනේ... උඹ කැමති නැත්තං ඒක විතරක් කියන්ඩලු....”

“මම පස්සේ කියන්නං අක්කා!”

********

මමත් පස්සේ කියන්නට ඉතිරි කරගෙන හිටි දෙයක්, දැන්මම කියන්නෙමි.

ඉස්සර කාලයේ නං පොත් ගෙඩියක් ලියලා ඔප්පු කෙරුවාම රාජ සම්මාන, නම්බු නාම, තාන්න-මාන්න, ගම්-බිම් තෑගි ලබා දුන් බව ඉතිහාසයේ කියවෙයි.
දැන් රජාලාත් එහෙම සලකන බව ඇත්තය. ප්‍රශස්ති ලියන, රජවරුන්ගේ කුණු අපුල්ලන අයටය ඒ. වැදගත් ලියන්නන්ව නං පයිසේකටවත් මායිම් කෙරෙන්නේ නැතිය.

සටකපට පාලකයන් කැමතිත් කලාව- සාහිත්‍යය සේවනය නොකරන; මනුස්සකමේ තෙතමනයක් නැති; මෙලෝ රහකුත් නැති ඡන්දදායක පුරවැසියන්....
‘කලාව සාහිත්‍ය ගැන අදහසක් නැති පරම්පරාවක් එක්ක ජීවත් වෙන්න බයයි. උන් ප්‍රචණ්ඩයි. තර්කයක් නෑ. ඕනෑම මතවාදයකට ලෙහෙසියෙන්ම නම්මා ගන්න පුළුවන්. උන් භයානකයි. එහෙම උන් එක්ක අපි ජීවත් වෙන්න බයයි!’

‘සත්‍යා’ ටෙලිනාටකයේ තිර රචනය කරද්දී නාමල් ජයසිංහ ඒ දෙබස ‘සංජය’ලවා කියවයි. ඒ කතාව ඇත්තය. අපේ රටේ සටකපට පාලකයන් කැමතිත් ‘කලාව- සාහිත්‍යය සේවනය නොකරන; මනුස්සකමේ තෙතමනයක් නැති; මෙලෝ රහකුත් නැති ඡන්දදායක පුරවැසියන් බුරුතු පිටින් ඇති වෙනවාට’ය.

නෝර්වේ රටේ එහෙම නොහිතන බවය පෙනෙන්නේ!

එහි පොතක් පළ කෙරුණු විට රට පුරා ඇති පුස්තකාලවලට බෙදා හැරීම පිණිස, පොතෙන් පිටපත් 1000ක් මිලදී ගන්නේල! පොතේ කතුවරයා ළමයෙකු නම් මිලට ගන්නා පිටපත් සංඛ්‍යාව 1,500කි.

තවත් වසර දෙදහස් පන්සීයක කාලයක් තිස්සේ උතුම් සම්බුදු සසුන නොනැසී පවතිතැයි කියන මේ රටේ;
සමහරුන්ගේ ඇදහීමට අනුව බුදුන් වහන්සේ උපන්නා යැයි කියවෙන මේ රටේ;
සතියකට එක දවසක්වත් පන්සල් යෑම නීතිගත කරවා අප සුමඟට යවන්නට දත කන මේ රටේ..... පුස්තකාලවලටත් නොර්වේ රටේ වගේ පොත් මිලදී ගන්නා ක්‍රමයක් තිබිණි නම්.....
මොනවා වේවිද?

මට දිවැස් නැත. එහෙත් අතීතය හොඳට මතකය! කිව හැක්කේ මගේ අතීත අත්දැකීම් ගැන විතරය!!

මේ කතන්දරය කියන්නට කලින් පුංචි දේවල් ටිකක් ඔබ දැනගෙන සිටිය යුතුමය.

අතින් අකුරු අමුණන ලෙටර් ප්‍රෙස් මුද්‍රණ ක්‍රමයට නොව......

ඉස්සර වගේ අතින් අකුරු අමුණන ලෙටර් ප්‍රෙස් ක්‍රමයට නොව, දැන් කාලයක සිටම පොත් අච්චු ගහන්නේ offset ක්‍රමේටය. එහිදී පොතක් අච්චු ගහන්නට plates (මුද්‍රණ ඵලක) හදාගත්තාට පස්සේ- ඒවා නිසි අයුරින් ආරක්ෂා කරගෙන තබා ගන්නේ නම් නැවත-නැවතත් කෙරෙන මුද්‍රණ (reprints) සඳහා ඒවා ප්‍රයෝජනයට ගත හැකිය. ඒක ලේසිය; ඉක්මන්ය; වියදම අඩුය.

බොහෝ ප්‍රකාශන ආයතන, කර්තෘ ප්‍රකාශකයන් පවා එබඳු plates අච්චු කන්තෝරුවේම තියෙන්නට හරියි.

“නිමල්, අපේ පොත් වගයක් රීප්රින්ට් කරන්න තියෙනවා.... දාහක්ම ගහන්නේ නෑ..... xxxයි ගහන්නේ. Plates ටික හොයවලා තියනවද අදම... මම හවස එනවා.... වැඩේ ඉක්මනටම කරවගන්නත් වෙනවා....” දවසක් උදෙන්ම දුරකථන ඇමතුමක් ආවේය.....

මෙන්න බොලේ ඒ එක්කම, තවත් ඒ වගේම ඇමතුමක්.
වෙනින් කෙනෙකුගෙන්!
ඊට පස්සේ තව-තවත් calls. හැමෝටම හදිසිය; හැමෝටම ඉක්මන්ය. එකම පොදු සාධකය වුණේ පොත් සංඛ්‍යාව අඩු එකක් වීමය!!

මොකක්දෝ ව්‍යාපෘතියකින් ශ්‍රී ලංකාවේ පුස්තකාලවලට බෙදා හැරීම පිණිස පොත් මිලදී ගන්නට ලැහැස්තිය. ආරංචිය හම්බ වුණු ගමන්ම අපේ මහත්තුරු වැඩට බැහැලාය.
එයාලා පොත් ලැයිස්තු ඉදිරිපත් කරන්නට ඇතිය.
අනුමත කරවා ගන්නටත් ඇතිය. (ඒවා එච්චර අමාරු නැහැනෙ, අපේ රටේ!)
ඊළඟට තියෙන්නේ deadline එකට කලින් පොත් ටික අච්චු ගස්වාගෙන, සපයා මුදල් ලබාගැනීමය.

නොර්වේ රටේ කෙළි අපට හරියන්නැත්තේ ඔහොම වැඩ වෙන්න තියෙන ඉඩ.....

එහෙම මුද්‍රණයට ඇනවුම් ලැබුණු ගොඩාරියක් පොත් උසස්- හොඳ ඒවාය. ඒ අස්සෙම තිබුණු සමහර පොත් ‘සල්ලිත් එක්ක දුන්නත් කියවන්නේ නැති; කියවන්නට බැරි; කියෙව්වත් වැඩකුත් නැති’ ගණයටය, මං නම් දාන්නේ.

ඒවා පුස්තකාලවලට ගන්නේ අහවල් දේකටද?
ඒවාට අනුමැතිය දීලා තිබුණේ මොක්කුන්ද? මගේ මෝඩකමට හිතුණේ එහෙමය.

“නිමල් අයියේ, මේ පොතේ plates තුන හතරක්ම වීක් වෙලා.... ඒවා අලුතෙන් දාගන්න වෙනවා....” පොත් අච්චු ගහන්නට කලින් කෙරෙන පූර්ව සෝදිසියෙදීම කියැවුණු වෙලාවලුත් තිබිණි. එය අමතර වියදමක් යන අමතර වැඩකි. ඒ වියදම අපේ boss දරන්නේ නැත.
මුද්‍රණ ඵලක දුර්වලවී ඇති බවත්, අලුතින් කිහිපයක් සකසා ගන්නට වෙන බවත් ප්‍රකාශක මහතාට කියන්නේ මේ ලියන්නාමය.

“අනේ නිමල් ඕනි නෑ... ඔය පොත් දීල්ලෙන් අපට ඇති මහ ලාබයක් නෑ... යන්තං පේනවා නං ඇති. ඔන්නොහෙ ගහලා දාමු!” සමහර අය කීවෝහ.
එපමණක් නොව, මුද්‍රණ පිරිවැය අඩුවෙන්ම කරගැනීම උදෙසා- ඒ පොත් ටික මුද්‍රණයෙදී පමණක් ‘මිලෙන් අඩු, තරමක් බාල කඩදාසි’ පාවිච්චි කරන්නට කියලාත් එදා සමහරු උපදෙස් දුන්හ.
ඒ අතර උගත්; රටම දන්නා පොත් ව්‍යාපාරිකයන්ද වීම ගැන මට අදත් පුදුමය.
නොර්වේ රටේ කෙළි අපට හරියන්නැත්තේ ඔහොම වැඩ වෙන්න තියෙන ඉඩ වැඩි හින්දාය!

ධනුෂ්ක සිටියේත් ළතැවිල්ලෙනි. මවගේ අසනීපයට තමාගේ ඉක්මන් කෝපය හේතු වූ...

වෙසෙසා කිව යුතුය.
හැමෝම එහෙම මස් කඩකාරයෝ නොවූහ. තමන්ගේත්; ආයතනයේත් කීර්ති නාමය ගැන හිතන; පාඨකයා ගැනත් හිතන පොත් ප්‍රකාශක මහත්මාවරුත් සිටියහ! ඔවුන්ට මම අදත් ගෞරව කරන්නෙමි.

එහෙත් වැඩි ලාභය පමණක් තකන්නවුන් වැඩිවෙන රටක ‘පරහිතකාමී වීම’ සැලකෙනුයේ පිස්සන්ගේ අසනීපයක් ලෙසිනි.

නැවතත් වතාවක් කුමාරිහාමි අසනීප වූයේ කෙසේදැයි දන්තුරේ බණ්ඩාරට ආරංචි වූයේ නැත. යන්තමින් සුවයක් දැනුණු වහාම කුමාරිහාමි සිළිඳු මැණිකාට තරයේ අවවාද කළාය. “අප්පොට හෙම මොකුත් කියනවා නෙවෙයි ඕං!”
පිය-පුතු දෙදෙනා අතර ගැටුමක් ඇති වෙනවා දකින්නට අකමැති වූ ඈ ධනුෂ්කගේ ස්වභාවය දැකීමෙන් වේදනාවටද පත් වූවාය.

ධනුෂ්ක සිටියේත් ළතැවිල්ලෙනි. මවගේ අසනීපයට තමාගේ ඉක්මන් කෝපය හේතු වූ බව ඔහු දනියි. ගිය නුවණ ඇතුන් ලවාවත් ආපසු ඇද්දවිය නොහැකිය. කුමාරිහාමිගේ තත්ත්වය බරපතළ නොවෙන බව දැනගන්නා තුරුම ධනුෂ්කට සැනසුමක් නොලැබුණි.

“මිලින්දයාවත් හිටියා නං....”

ටෙලිෆෝනයට පිළිතුරු දුන්නේ එරන්දතීය. සොහොයුරාගේ කටහඬ හඳුනා ගත් එරන්දතී කලබල වූවාය.

“අක්කලා බය වෙන්න එපා.... කෝ මිලින්ද?”

“මිලින්ද මල්ලී කොහේදෝ ගිහිල්ලා....”

“මට පාළුයි අක්කෙ.... පුළුවන් නං මිලින්දට මෙහෙ එන්නයි කියනවකො, සුමානෙකට දෙකකට විතර.....”

“හරි කියන්නං. දමින්දත් එක්ක මමත් ඔහේ ඇවිත් යනවා කියලා අම්මට කියන්නකෝ...”

මාලතී දිය ඇල්ලට පැමිණෙන වෙලාවට පෙරම එහි ගිය ධනුෂ්ක ඇය එනතුරු....

එරන්දතීගේ පණිවිඩය මවට දැන්වූ ධනුෂ්ක කාමරයට වැදුණේය.
මාලතී දිය ඇල්ලට පැමිණෙන වෙලාවට පෙරම එහි ගිය ධනුෂ්ක ඇය එනතුරු බලා සිටියේය. දිගු වෙලාවක් එහි රැඳුණද, ඇගේ ලකුණක් පවා නොවිණි.
ඔහු තමාටම සාප කර ගත්තේය.

‘මං මහ කාලකන්නියෙක් මාලතී.... මම ඔයාට ගින්දරක් දුන්නා... ඒ මදිවට අපෙ අම්මගෙත් හිත රිද්දෝනවා. ඒත් දෙයියනේ මේවා එකකටවත් වැරදිකාරයා මම නෙවෙයි කියලා මං කොහොමද ඔයාලට කියන්නේ?’

තමාගේ සියලු තොරතුරු දෙවැනි ලිපියකින් මාලතීට හෙළි කිරීමට බලා සිටියදීය, ධනුෂ්කට මවගේ අසනීපය ගැන දැන ගන්නට ලැබුණේ. ඔහුට සිත එකඟ කරගත නොහැකි වූ බැවින් ලිපිය ලියැවීම දිනෙන්-දිනම කල් ගියේ නොසිතූ අයුරිනි.

ඒ අතරතුරදී ලාංකික මිතුරෙකු ගෙනවුත් දුන් පුවත්පතකින් මාලතීගේ මව්පිය, සොහොයුරු වියෝව දැනගත් ඔහු අතිශයින්ම කම්පාවට පත් වූයේය.

මාලතීව බෙහෙවින්ම කම්පාවට පත් වෙන කරුණු ලියැවෙන්නට තිබුණු දෙවෙනි ලිපිය ලිවීමට එය අවස්ථාව නොවන බව ධනුෂ්ක සිතුවේය.
එක පිට එක පැමිණෙන වේදනාවන්ගෙන් අහිංසක ඇය පීඩාවට පත් නොකිරීමට සිතූ ඔහු ලංකාවට පැමිණීමෙන් පසුවද දිය ඇල්ල වෙත නොආවේය.

එසේ නොපැමිණීමද අනාදරය නිසා කෙරුණක් ලෙස ඇය සිතූ බව ඔහු දැනගත්තේ නැත.

අන්තිමේදී මාලතීව හමු වුණු අවස්ථාවේදී වුවද ධනුෂ්ක ඉවසා සිටියේ අපහසුවෙනි.

තමාත් උමතුවෙන් මෙන් මාලතීට පෙම් කළ බව; තවමත් පෙම් කරන බව ඇයට කියන්නට....

‘නැහැ කෙල්ලේ! මගේ ඇස් දෙක ඇතුළෙ විතරක් නෙවෙයි, මගේ හිත ඇතුළෙත් හිටියෙ ඔයයි මාලතී....’
ඈ රෝස්මරී ගැන කියවද්දී විරුද්ධ වීමට සිතුණත් ධනුෂ්ක එසේ නොකළේය.

තමාත් උමතුවෙන් මෙන් මාලතීට පෙම් කළ බව;
තවමත් පෙම් කරන බව ඇයට කියන්නට උවමනා වුවත්, ධනුෂ්ක එසේ නොකළේය.

දෙදණ අතරේ හිස ඔබාගෙන හඬන යුවතිය දුටු තමාගේ හදවතත් අඳුරු අගාධයක පතුලටම කිඳා බසින අයුරු ඔහුට දැනිණි.
ඇගේ සුමුදු කෙහෙ රැලි අතරින් තමාගේ ඇඟිලි තුඩු දුවවා හිස පිරිමැද ඇය සනසන්නට ඔහුට සිතුණි.
සුරතින් ඒ මුහුණ ඔසොවා, ඇයගේ සුනිල්වන් නෙත් යුග දෙස බලාගෙන ‘මම ඔයාට ආදරෙයි මාලතී!’ යනුවෙන් කියන්නට ඔහුට අවශ්‍ය වුවත් ධනුෂ්ක එසේ නොකළේය.

එවැනි දෙයක් කිරීමෙන් ඇගේ ආදරය තවත් ලියලන බව; වැඩෙන බව ඔහු දැන සිටියේය.
මතු යම්කිසි දිනෙක වුවද, මේ අහිංසක යුවතිය හා තමන් එක්වීම වළක්වන මහා පවුරක්- කිසිසේත් බිඳිය නොහැකි මහා පවුරක් ඒ වනවිටත් ඉදිවී අවසන්ව ඇති බව ඔහු පැහැදිලිවම දැන සිටියේය.

ඒ සියලුම රහස් හෙළිකොට- කරුණු පහදාදී ඇයගේ සිත වේදනා සයුරක ගිල්වීමට වඩා යහපත් දෙයක් ඇතැයි ඔහු දැන සිටියේය.

වේදනාව මඟ හැරවීමට ඇති හොඳම මඟ කෝපය ඇති කරවීමයි!

සිතෙහි බුර-බුරා නැඟෙන්නේ ශෝකයද, කෝපයද, සතුටද නොඑසේ නම්....

මාලතීගේ සිතෙහි තමා කෙරෙහි ද්වේෂයක් ඇතිවනු දකින්නට; තමා ගැන වෛරයක් ඇතිවනු දකින්නට ඔහු සතුටු වූයේ එහෙයිනි. ධනුෂ්ක රුවන් දන්තුරේ බණ්ඩාර යන නමත් නොරිස්සන තරමේ පිළිකුලකින් මාලතීගේ සිත පුරවා ලන්නට ඔහුට අවශ්‍ය විණි.

.... ඒ සඳහා කළ හැකි සියල්ලම ඔහු මේතාක් දුරට සිදුකොට ඇත.

නැවතත් වරක් ඇය හමු වීමෙන් සිදු වන්නේ වරදකි. තමාගේ වේදනාවන් ඒ අසරණ යුවතියට හෙළි කිරීමෙන් සිදු වන යහපතක් නැත. මාලතීව මුණ නොගැසීම ගැන සතුටු වූ ධනුෂ්ක ආපසු වලව්ව කරා ගියේය.

තමාගේ සිතෙහි බුර-බුරා නැඟෙන්නේ ශෝකයද, කෝපයද, සතුටද නොඑසේ නම් ආත්ම අනුකම්පාවදැයි වටහා ගන්නට ධනුෂ්ක වෑයම් කළේය. එහෙත් එය සාර්ථක උත්සාහයක් නොවීය!     

20

ඊට පස්සේ?”

ඒ වගේ දේවල් අපිට තමයි ලොකු. රෝස්මරීලට ඒවා බොහොම සිම්පල්....මගේ හිත හොඳටම රිදුණේ රෝසිලගේ අම්මා කියපු දෙයින්. දෙන්නම බැඳලත් ඉන්න එකේ ලූක්ටයි, රෝසිටයි ඉන්න ඇරලා මට වෙනින් අතක් බලා ගන්නය කියපුවම, කොන්දක් තියෙන මිනිහෙක් හැටියට මම කොහොමද මචං තවත් එතැන ඉන්නේ?”

උඹ හින්දා ඉවසුවා! මම වගේ නං ඕකුන් ඔක්කොටම වෙඩි තියනවා. ඔය වගේ එකක් අතට අහුවුණාම තමා මිනිස්සු මිනීමරුවෝ වෙන්නේ....

ඒ සැරේ තමයි මම ඔක්කොම දමල-ගහලා ලංකාවට ආවේ... එහෙ ඉඳගෙන ඉගෙන ගන්න තරං හොඳ මූඩ් එකක නෙවෙයි මං ඒ දවස්වල හිටියේ....ධනුෂ්ක මිලින්දට කීවේය.

වලව්වට පහළින් ගලා යන මහවැලි නදියේ වතුර වෙනදා මෙන්ම තරමක් බොර පැහැතිය. මඳ සුළඟින් නැඟෙන දිය රැලි රටා මවයි. මිලින්ද වීසි කළ සිගරැට් කොටය දියට වැටී නිවී ගියේ චීස්යනුවෙන් හඬක් නංවමිනි.

එහෙම ඇවිල්ලා ඉඳිද්දී තමයි එහෙනං උඹ මාලතීව දැක්කේ.....

මට දැන් ඉතිරි වෙලා තියෙන්නෙ මගේ මැරෙන මොහොත එනකල් බලං ඉන්න එක විතරයි මචං!

ඒ හරිය උඹ දන්නවනෙ.... මුලින්ම මං ඒ ඇස් දෙකට- ම්..ම්..ම්.. එක විදිහකට කිව්වොත් මං වසී වුණාද මන්දා..... සමහර වෙලාවට රෝසි ගැනත් හිතේ තිබුණු නිසා, මං මාලතීගේ ඇස්වලට වහ වැටෙන්න ඇති!

ඉතිං මචං මොන එහෙකටද උඹ එහෙනම් ආපහු එංගලන්තෙට ගියේ? රෝස්මරීමද දෙවෙනි පාරටත් එහෙ එන්න කිව්වේ?”

ධනුෂ්ක සෙමින් හිස සැලුවේ එසේ වූ බව ඇඟවීමටය.

“....මිලින්ද! මම උඹට ඔක්කොම කියන්නයි යන්නෙ.... හැබැයි මං පණ පිටින් ඉන්නකල් නං මේවා කාටවත් කියන්නෙ නෑ කියලා මට පොරොන්දු වෙයං! මට මෙව්වා කියන්න කවුරුවත් නෑ මචං.... මේවා උඹට කිව්වාය කියල උඹටවත් කිසිම දෙයක් කරන්න බෑ. ඒක මං නොදන්නවා නෙවෙයි. මට දැන් ඉතිරි වෙලා තියෙන්නෙ මගේ මැරෙන මොහොත එනකල් බලං ඉන්න එක විතරයි මචං!

ප්‍රොමිස් මචං!

මිලින්ද කීවේ බරක්-පතලක් ගැන සිතා-බලා නොවේ. එහෙත් ධනුෂ්ක ඒ පොරොන්දුව විශ්වාස කළේය. මිලින්ද එවැනි පොරොන්දුවක් නොදුන්නත් තමාගේ රහස තවෙකෙකුට පවසා සිත සැහැල්ලු කර ගැනීමේ ආශාවෙන් දැවුණු ධනුෂ්ක ඔහුට සියල්ල පවසනු නිසැකය.

මිලින්ද විස්මයෙන් දෑස් පමණක් නොව මුවද අයාගෙන අසා සිටිද්දී ධනුෂ්ක කතා කිරීමට පටන් ගත්තේය....

8 comments:

  1. දෙහදක් බැදුන නෙතු කැල්මක්
    ආදර කතාවක දුක රැල්ලක්
    බිදමින් බැදි පවුරු වලල්ලක්
    අවසන ගෙනඒවිද හසරැල්ලක්

    ReplyDelete
    Replies
    1. දෙහදක බැඳුණු සෙනෙහස ගැන කතාවක
      යාන්තමින්වත් නැති වෙනවාද දුක
      අරුණලු උදාවෙන්නට යන වෙලාවක
      අඳුර දැඩියි තියෙනව නෙව ඔබත් දැක?




      Delete
  2. /ඉස්සර කාලයේ නං පොත් ගෙඩියක් ලියලා ඔප්පු කෙරුවාම රාජ සම්මාන, නම්බු නාම, තාන්න-මාන්න, ගම්-බිම් තෑගි ලබා දුන් බව ඉතිහාසයේ කියවෙයි./

    ඒකාලේ මේකාලේ වෙනසක් නම් නෑ පේන්නෙ
    ඒකාලෙත් කුණු හෝදපු අයට තමා තැන තියෙන්නෙ
    මහ පඬිවරු මහ යතිවරු හාම දෙනාම එහෙම තමයි
    රජ්ජුරුවෝ උඩ දාන්ඩ මහන්සි වී පොත් ලියන්නෙ

    ReplyDelete
    Replies
    1. මිනිසුන් සදා ආසයි පසසනවාට
      රුචි නැත තිත්ත ඇත්තක් නම් කියනවට
      දැනගෙන ඕක; රජවරු උඩ දා ජයට
      වන්දියො අන්දවත් රජු 'මී හරකාට'

      බලයේ ඉන්නකොට යයි පහළට මොළය
      කුණු ගොඩකට ඇදෙන්නේ නිල මැස්සන්ය
      දිරතත් සිරුර පවතින්නේ නාමයය
      මේවා නොදන්නේ අනුවණ ගොන් රැලය

      Delete
  3. රටක ඉන්න මිනිස්සු වගේම තමයි ලෝකයේ තියන රටවල්.
    දුප්පත්, පොහොසත්, උගත්, නූගත්, ශීලාචාර, අශීලාචාර මිනිස්සු ඉන්නව වගේ රටවලුත් (රට ගැන තීරණයවෙන්නෙ එහි ඉන්න බහුතරය ආණ්ඩුව, සමාජයීය සංස්ථා වගේ දෙවල්වලින්) එකිනෙකට වෙනස්.
    සමහරු හිතනවා තමන්ගේ රට උතුම්ම හොඳම කියලා, එහෙම නැත්නම් රටවල් ඉතිහාසයේ දියුණුව/නොදියුණුව හිටපු නිසා දැනුත් ඒ වගේ තමයි කියලා.
    මිනිස්සු ඔක්කොම සමානයි කියලා ආගම් හා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලින් කොයිතරම් කිව්වත් ප්‍රායෝගිකව මිනිස්සු සමානත් නෑ, සමානනත්වයෙන් සලකන්නත් බෑ. රටවලුත් එහෙම තමා.

    සමහර රටවල් (ඒවාගෙ ඉන්න බහුතරය හා සමාජ සංස්ථා ) සිවිලයිස්ඩ්, සමහර රටවල් (ඒවාගේ බහුතරය ....) කටින් විතරක් අනිත් රටවලට වඩා සිවිලයිස්ඩ් .

    පම්පෝරියෙන් සිවිලයිස්ඩ් රටවල් ප්‍රායෝගිකව තමන් ඉන්න තැන පිලිගන්නේ නැතුව අනිත් එවුන්ට වඩා තමන්ගේ සංස්කෘතිය, සදාචාරය, සාක්ෂරතාවය, ඉතිහාසය, ආගම අනිත් රටවලට වඩා උසස් කියලා කියනවා (නෝර්වේ වගේ නේ?)
    ඇත්තටම සිවිලයිස්ඩ් රටවල් එහෙමයි කියලා ජීවත් වෙන අයට තේරෙනවා (සිරි ලංකාව වගේ නේ?)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම Pra Jay මහත්තයෝ, මං වුණත් පොඩි කාලේ අපේ ආච්චිගෙන් අහපු ඉතිහාස කතන්දර නිසා; බණ කතන්දර නිසා හිතාගෙන හිටියේ 'ලෝකෙන් උතුම් රට ලංකාවයි- සිරි ලංකාවයි'ම තමා කියලා. වට වන්දනාවේ ගියාම දකින දැවැන්ත වෙහෙර-විහාර-ස්ථූප-නටබුන් ඒ සාඩම්බරය තවත් වැඩි කළා. ඉසුරුමුණි පෙම් යුවල- සඳකඩ පහණ- සීගිරි අප්සරාවන් කිව්වේ ලෝකේ වෙන කොහෙවත් අපේ තරම් කලාකරුවන් නැති විත්තිය.
      අපේ ආච්චී කවදාවත් කිව්වේ නෑ මිහිඳු මහ රහතන් වහන්සේ එක්ක ලංකාවට ආව අටළොස් කුලයක දැනුමතියන් ගැන.

      ලෝකය ගැන, වෙනත් රටවල ශිෂ්ටාචාර හා කලා නිර්මාණ ගැන දැනගන්නවා වැඩිවෙන තරමට තමයි මේ ලියන ගොන් රජාගේත් 'සිංහල උද්ධච්චකම' පහළට බැස්සෙ.

      විවෘත මනසකින් හා පාට කන්නාඩි නොදාගත් ඇස්වලින්, උපේක්ෂා සහගතව හොයා-බලා- ඉගෙන ගන්නවා නං තමයි තේරෙන්නෙ හැබෑ මානව ඉතිහාසය ගැන.


      Delete
  4. ජේ ආර් ලොක්කා "සාහිත්‍යය කන්නද" කියලා කියපු කතාවක් නම් මම අහලා තියනවා.

    //'කලාව සාහිත්‍ය ගැන අදහසක් නැති පරම්පරාවක් එක්ක ජීවත් වෙන්න බයයි. උන් ප්‍රචණ්ඩයි. තර්කයක් නෑ. ඕනෑම මතවාදයකට ලෙහෙසියෙන්ම නම්මා ගන්න පුළුවන්. උන් භයානකයි. එහෙම උන් එක්ක අපි ජීවත් වෙන්න බයයි!’//

    මේ වාක්‍යයේ කියවෙන කරුණු එකිනෙකට පරස්පරයි නේද? "ප්‍රචණ්ඩ", "තර්කයක් නැති " පුද්ගලයන් වෙනත් කෙනෙකුගේ මතවාදයකට ලෙහෙසියෙන් නම්මා ගන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. මාත් ඔයා එක්ක එකඟයි සෑම් මහත්තයෝ. හැබැයි 50%ක්.

      සත්‍යා ටෙලි නාට්‍යයේ තිබුණු දෙබසක්නේ ඔය. ඒකේ රචක නාමල් ජයසිංහ මහත්තයා ඔය ගැන මොනවා කියාවිද දන්නෑ.

      ඔය දෙබසේ වචන තියෙන අනුපිළිවෙල වෙනස් කරගෙන කියෙව්වොත් ..... අනෙක නාට්‍යයේ ඔය ටික කියවෙන්නේ විරාමයන් එක්ක. ඇක්සන්ට් එකත් බලපානවනේ ...

      තර්කන ශක්තියක් නැති, ප්‍රචණ්ඩත්වයට බර පුද්ගලයන්ව ලේසියෙන්ම අන්දවාගන්න පුළුවන්කම ගැන මේ ටික කිව්ව බවයි, මම හිතුවේ.

      සෑම් මහත්තයෝ, ස්තුතියි මේ ප්‍රශ්නයෙන් මතු කළ කරුණ ගැන. ලියනකොට කොච්චර පරෙස්සම් වෙන්න ඕනිද?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්