li Item

Thursday, September 16, 2021

කෝච්චියේ හොර ගෙඩියා

වෙනදාටත් වඩා හෙමිං; ඒ වුණත් ගොං කරත්තයකට වඩා වේගයෙන් වගෙය....

කැලණිවැලි කෝච්චියට කිසි හදිස්සියක් නැත. වෙනදාටත් වඩා හෙමිං; ඒ වුණත් ගොං කරත්තයකට වඩා වේගයෙන් වගෙය ඉදිරියට ඇදෙන්නේ!

ඒ දවස්වල පුංචි කෝච්චිය සීඝ්‍රගාමී නැත. මන්දගාමීත් නැත. බඩගාමීය! ඒ වේගය කොච්චරදැයි හිතා ගන්නට මහරගම මැරෑටි කොල්ලන් පිරිසකගේ මේ පුරුද්ද ගැන කිව්වාම හොඳටෝම ඇතිය.

ඒ කොල්ලන් set එක හිටියේ මහරගම දුම්රිය මාවතේ, විවේකාරාම පන්සල හරියේය.
බුවෙනකබා ප්‍රාථමිකය ළඟින්ම වාගේ signal කණුවක් තියෙන නිසාත්, නිතරම වාගේ signal දමනතුරු කෝච්චිය නවතාගෙන ඉන්නට වෙන නිසාත්, අර කොල්ලෝ ඒ පුරුද්ද ඇති කර ගන්නට ඇත.
වේගය අඩු වෙමින් දුවන කෝච්චියේ එල්ලෙන්නටත්, එයින් බිමට පැන කෝච්චියට සමාන්තරව දුවගෙන ගිහින්- ආයෙම දුම්රියේ එල්ලෙන්නටත්......

නාවින්නේදී ඔහොම දුම්රියෙන් පනින්නට ගිහින් කකුල් දෙකම අහිමි කරගත් ගැටවරයෙකු ජීවිතයේ ඉතිරි කාලය ගෙව්වේ, රෝද පුටුවක වාඩිවී මහරගම හන්දියේ ලොතරැයි ටිකට් විකුණමිනි.

“රංජි අයියේ, ගොඩක් වෙලා යනවද අපි කොළඹට යන්න?” කෝච්චියේ හෙමිං ගමන දැකලද කොහෙද, ධර්මවීර අහයි. එහෙම ඇහුවේ දැනමුත්තා වෙන මගෙන්ය. (දිනපතාම වගේ කොටුව- පිටකොටුව- මරදාන පැත්තේ පේව්මන්ට් රස්සාව කරන්නට යන හින්දා, එතකොට ඒ ඉසව්වල එහා-මෙහා යන්නට මම දැන සිටියෙමි.)

අප දෙන්නා මහරගමින් දෙකට විතර කෝච්චියට නැඟ ගත්තේ කොටුව ස්ටේෂමට යන්නටය. අපේ ඉලක්කය වුණේ පිටකොටුවය.

ධර්මවීර පළමු වතාවට ඒ ගමන යන්නට ආවේ පුදුම සතුටකිනි. ඒ කෝච්චි පෙට්ටියේ හිටියේ අප දෙන්නා.... විතරය.

වෙනදා පේව්මන්ට් රස්සාවට යද්දී නම් මං කවදාවත් කෝච්චියේ යන්නේ නැත. ඩබල් ඩෙකර් බස් එක වුණත් ඊට ඉක්මනට ගිය බැවිනි. අපේ තාත්තාට දහ වැඳුම් වැඳලා, එක දවසක් රස්සාවට නොගිහිං ඉන්නට වරම් අරගෙනය, එදා වුණත් අප කෝච්චියෙන් පිටකොටුවට යන්නට සූදානම් වුණේ.

ඒ ගමන යන්නට එනවා යැයි කියලා තිබුණේ විමලවීරය.
නමුත් ඒ හාදයාට මොකක්දෝ වෙනින් වැඩක් යෙදිලා නිසා අන්තිම මොහොතේ ධර්මවීර ගමනට එකතු වුණේය. ඒ පවුලේ කොල්ලන් තුන් දෙනෙකි. කෙල්ලන් දෙන්නෙක්ද කොහෙදය. වැඩිමලා පත්මවීරය. මද්දුමයා විමලවීරය. බාලම කොල්ලා ධර්මවීරය.

කෝච්චියෙන් පිටකොටුවට ගිහින් නොතිබුණු ධර්මවීර පළමු වතාවට ඒ ගමන යන්නට ආවේ පුදුම සතුටකිනි.

ඒ කෝච්චි පෙට්ටියේ හිටියේ අප දෙන්නා විතරය.

ධර්මවීර වම් පැත්තේ ආසනය කෙළවරේ වාඩිවී කවුළුවෙන් එපිට බලාගෙන හිටියේය. මං හිටියේ දකුණු කෙළවරේය, ඒත් ජනේලයෙන් ඔළුව එළියට දමාගෙනය. එහෙම බලාගෙන හිටිද්දී රේල්පාර අයිනේ තියෙන ගස්-කොළන්, ගෙවල් දොරවල් ආපස්සට දුවනවා දැක ගන්නට පුළුවන්ය!

“ධර්මේ, කෝච්චිය යන පැත්ත බලන්න එපා. අනෙක් පැත්ත බලහං!”

“ඇයි රංජි අයියේ.”
“එන්ජින් එකෙන් දුමත් එක්ක එන ගල් අඟුරු කුඩු ඇහැට යයි!"
 

ඒ දවස්වල රේල්ලුවෙන් බදුල්ලේ යද්දී අපේ තාත්තා මට උගන්නලා තිබුණු දෙයකි, මං ධර්මවීරට කියා දුන්නේ. වෙන මොනවා කියා දෙන්නද?

අපේ ආච්චී රබන් ගැහුවේ නැන්සි ආච්චිලාත් එක්කය.
ඊළඟට ආයෙමත් මගේ පරිසර නිරීක්ෂණයට.
‘ජුහ් ජුහ් - ජුහ් ජුහ් - ලකඩං පකඩං ලකඩං පකඩං’ කෝච්චියේ සද්දය කිසිම ලස්සනක් නැති රටාවේ එකකි.

  බුබුල් බුබුල් බණ්ඩක්කා
  තුට්ටු දෙකට මං ගත්තා
  තුට්ටු දෙකට මං අරගෙන
  තුට්ටු දෙකට මං වික්කා

  ඉඳන් පෙත්ත ඉඳ පර්වත
  දෙකට කැපූ ළූනු පෙත්ත
  කොණ්ඩ පරෙයියා තකදොං
  කොණ්ඩ පරෙයියා...

ඒ අතරේ හරිම ගීතවත් හඬක් මගේ කනේ දෝංකාර දෙන්නට පටන් ගනියි. එදාට අවුරුදු දෙක-තුනකට කලින්ය, අපේ ආච්චීටත් රබන් ගහන්නට පුළුවන් විත්තිය මං දැක්කේ. ආච්චී රබන් ගැහුවේ නැන්සි ආච්චිලාත් එක්කය.  

අපේ ගෙවල් මණ්ඩියේ ලොකු රබානක් තිබුණෙත් නැන්සි ආච්චිලාගේ ගෙදර විතරය. එච්චරයැ, ඒ රබාන හෙලවෙන්නෙ නැති විදිහට රඳවන්න ලී කකුල් තුනකුත්.....
ඉතිං එදාත් ඒ රබන් ගැහිල්ල පටන් ගත්තේ උදෙන්ය. සැරෙන් සැරේය. හතර දිග භාගෙටම පණිවිඩයක් කියන්නටය.
 

‘අවුරුදු උත්සවේ අදයි! ඉක්මනට වරෙල්ලා!’
 

ස්වර්ණ ළමා සමාජයෙන් මේ අවුරුද්දේ අවුරුදු උත්සවයක්....

දැනුම් තේරුම් ඇති කොල්ලෙකු විදිහට මේ ලියන්නා සහභාගී වුණු පළමු අවුරුදු උත්සවය ඒකය. ඒ අවුරුදු උත්සවය සංවිධානය කෙරුණේ ‘ස්වර්ණ ළමා සමාජය’ මඟින්ය. ස්වර්ණ ළමා සමාජයේ ලොකු තනතුරු දැරුවේ ලීලක්කා, අමරක්කා, සුමනක්කා, නන්දක්කා හා මලවිසූරිය අයියා විසිනි.

මුල් තුන් දෙනා නැන්සි ආච්චිගේ දූලා තිදෙනාය. අනිත් දෙන්නා අයියයි නංගියිය. (71 කැරැල්ලේ වැරදිකරුවෙකු වී සිරබත් කාලා ආවාට පස්සේ මලවිසූරිය අයියා සුමනක්කාව කසාද බැඳ ගත්තේය.)
නන්දක්කාත් ඇයගේ දියණියත් දෙන්නාම මේ අවුරුද්දදේ; මාස දෙක තුනකට කලින් කොරෝනාවට ගොදුරු වී රහසේම නික්ම ගියහ.
ඒ නන්දා මලවිසූරිය අක්කා මට කියා දුන් පාඩමක් නිසාය, මං වහන්සේ පිරිසිදුවට ඇඳුම් අඳින්නට පුරුදු වුණේ. බ්ලොගය ලියන්නට පටන් ගත්තාට පස්සේ දවසක නන්දක්කා හමුවී, කතාබස්කොට, ඇයගෙන් අවසරත් අරංය, මං
ඇය ගැන ස්තුති පූර්වකව ලිව්වේ. 

ලීලක්කා! අනේ ලීලක්කා මෙලොව හැර ගියේ ගොඩ කාලයකට ඉස්සෙල්ලාය. ස්වර්ණ ළමා සමාජයෙන් මට ලබාදුන් පන්නරයට මා කොතරම් ණයගැතිද කියනවා නම්, පළමු පෝස්ටුවකමත් ලීලක්කා ගැන ලියුවෙමි! 

“අපි පළමුවෙනි වතාවට තමයි ස්වර්ණ ළමා සමාජයෙන් මේ අවුරුද්දේ අවුරුදු උත්සවයක් සංවිධානය කරන්නේ. ඉතිං සමිතියේ ඉන්න ඔයාලා හැමෝමත් අද රැස්වීම ඉවර වෙල ගෙදර ගියාම අම්මල තාත්තලට මේ ගැන කියන්න ඕනි. අවුරුදු උත්සවේ තරගවලට ඉන්න අයට තෑගිත් දෙනවා... ඊළඟ සමිතිය දවසට සේරම විස්තර ඔයාලට කියනවා ඔන්න.” ලීලක්කා කිව්වාය. ඒ අවුරුදු උත්සව කතාවේ පටන් ගැන්මය. 

මොන හේතුවක් නිසා හෝ ලීලක්කලාගේ අවුරුදු උත්සවය එක දිගටම පැවැත්වුණේ නැත. 

ඇයි යකෝ, උඹ පිටකොටුව පැත්තේ යනවා නේද, පොළෙන් ගන්න යන්නේ...

ඉතිං, ලීලක්කලාගේ අවුරුදු උත්සවය නොතිබුණු අවුරුද්දක රංජි, ඔයාවත් එකක් ලැහැස්ති කරන්නකෝ!කියලා මට කිව්වේ අනුලා ඇන්ටිය.

අන්න වැඩේ! මාත් උදව් වෙන්නං....මට කොහොඹ කොළ කිනිති 50ක් කවන්නට මුල් වුණු සෝමවීර මල්ලිකාරච්චි මිතුරාත් උඩගෙඩි දුන්නේය. 

ඒ යෝජනාව ඒ විදිහට සම්මත වුණාට පස්සේ, තව දෙතුන් දෙනෙකුත් එක්ක රෑට-රෑට අහල-පහළ ගෙයක්-ගෙයක් ගානේ යමින් අවුරුදු උත්සවයට ආධාර එකතු කරන්නට පටන් ගත්තෙමු.

මට මතක හැටියට නං ඒ ලැයිස්තුවට රුපියල් දහ අටකුත් සත ගණනකි එකතු වුණේ. ආධාර එකතු කළේ එක්සත් සුභසාධක මාවතේගෙවල්වලින් පමණි. (හරියටම කියනවා නම් එතකොට මේ පාරට එහෙම නමක්වත් තිබුණේ නැතිය.) නමුත් මේ පාරේ හිටි හැමෝම එකිනෙකාව නමින්ම දන්නා උදවියයි... එතකොට නම් ඒ ගෙවල් එකකටවත් තාප්ප තිබුණේ නැත. තිබ්බේ දිරාගිය වැටවල් පමණකි.

“නිමලෝ... මොනවද බං තෑගිවලට ගන්න යන්නේ....” සෝමවීර ඇහුවේය. 

“මහරගම පොළට ගිහින් ඔය පොඩි පොඩි දේවල් ටිකක් ගන්නවා.... තෑග්ග එතුවට පස්සේ පේන්නේ නැහැනෙ සෝමේ, මොනවද කියලා..... මං හිතාගෙන ඉන්නේ ප්ලාස්ටික් සෙල්ලම් බඩු වගේ දේවල්...” 

“ඇයි යකෝ, උඹ පිටකොටුව පැත්තේ යනවා නේද, පොළෙන් ගන්න යන්නේ... පොළේ ඔය වගේ බඩු විකුණන මිනිස්සුත් එව්වා ගේන්නේ පිටකොටුවෙන්. එහෙන්ම ගන්නවා නං ඔය මොන-මොනවා හරි වැඩියෙන් ගත්තැකිනෙ.” කොළඹ ගිහින් ත්‍යාග භාණ්ඩ මිලදී ගන්නට තීරණය වුණෙත් එහෙමය. 

ආධාර එකතු කරන රාජකාරිවලට වැඩියෙන් සම්මාදම් වුණු පත්මවීරත්, විමලවීරත් එක්කලා සෝමවීරගේ යෝජනාව කියුවෙමි. “ඉතිං රංජි අයියා සෝමවීර අයියත් එක්කද කොළඹ යන්නේ?”
“අපෝ, අපෝ. ඒ මනුස්සයා එක්කලා ගියොත් එයා කියන දේවල්ම කරන්නයි වෙන්නේ. අපිට ඕනි දේවල් ගන්න බැරි වෙයි. ඔයාලගෙන් කවුරු හරි යංද කොළඹ... මට විතරක් ඔය සේරම උස්සං එන්න බැරි වෙයිනෙ.”
 

මා ළඟින්ම තියාගෙන උන් ට්‍රැවලින් බෑගය (ඒ යුගයේ බෑග් මේ තරං ලකයකට මහපුවා නොවේ!)
“ඔන්නං අපි දෙන්නම එන්නං.”

එතකොට තුන් දෙනාටම ගමන් වියදමක් යයි. ඒකත් ගණන් නොහදා කොහොමද? “නෑ පත්මේ. දෙන්නෙක් ගියාම ඇති. ඔයා හරි, විමලේ හරි කැමති එක්කෙනෙක් යං!”
“අනේ අයියේ, මම යන්නම්!” එහෙම කියූ විමලවීරටය අන්තිම මොහොතේ එන්නට බැරි වුණේ; මල්ලී ධර්මවීරට කොළඹ යාමේ වාසනාව පෑදුණේ.
 

රේල් පාර අයිනේ අසිරිය බලන රාජකාරියත් ටික වෙලාවකින්ම මට ඇති වුණේය!

මම මා ළඟින්ම තියාගෙන උන් ට්‍රැවලින් බෑගය අතට ගත්තෙමි. මතකයිද ඒ දවස්වල තිබ්බ ඒ බෑග්ස්? එක-එක ඩිසයින්ස් මුද්‍රිත, ඝනකම ප්ලාස්ටික් වැනි රෙද්දකින් මහන බෑග්. ඒවාට දැන් වාගේ විච්චූර්ණ සාක්කු නැත.
ඒ කාලේ ගොඩාරියක් ළමුන් ඉස්කෝලේ අරගෙන ගියෙත් ඒ bagsය.
 

අවුරුදු උත්සවයට තියන තරග ඉසව් ටිකත්, ගන්නට උවමනා තෑගි ලැයිස්තුවත් ලියූ කොළ තිබුණේ ඒකෙය. මම ආයෙමත් එව්වා කියවන්නට වීමි. 

'තරග:
බනිස් කෑම, බැලුන් පිපිරවීම, දෙහි ගෙඩිය හැන්දේ තියාගෙන දිවීම, කණා මුට්ටිය බිඳීම, කවි කීමේ තරගය, විකට ඇඳුම් තරගය වගේ ඒවා ළමයින්ට. පොල් ගෑමේ තරගය හා පොල් අතු විවීමේ තරගය අම්මලාට.

පළමු තෑග්ග විදිහට.... තෑගි එකයි, දෙකයි, තුනයි, තව.....

දෙවෙනි තෑගිවලට... එකයි දෙකයි....

තුන්වෙනි තෑගිවලට....'

ආ... ලොකු පිරිමින්ට තියන කඹ ඇදීමේ තරගෙට නං මුදලාලි මාමා තෑග්ගක් දෙනවයි කිව්වනෙ...

කුරුලු ලොවේ නැණවතා ලෙස ප්‍රචලිත නිහඬ බකමූණෙකු නොවී....

මං ලැයිස්තුව කියවමින්, මනෝ ලෝකයක හිටිද්දී කෝච්චි පෙට්ටියේ දොර ඇරුණේය. අවුරුදු විසිපහක- තිහක විතර හාදයෙක් දුවන කෝච්චියට ගොඩවී, අපේ මැදිරියටම ඇතුළු වුණේය. ඒ හාදයා අප දෙන්නා දිහා හොඳහැටි බැලුවේය... “ආ. මල්ලිලා....., කොහෙද යන්නේ?” කියමින් හිනාවකුත් දාලාය ඒකා වාඩි වුණේත්.

ධර්මේ වම් කොණේය; මං දකුණු කොණේය; අර හාදයා මැද්දේය.

අප දෙන්නා දිහාම බලමින් ටික වෙලාවක් හිටි එයා, තවත් සැරයක් ‘කොහෙද යන්නේ’ කියලා ඇහුවේය.

හරිහැටි නාඳුනන ඒ මනුස්සයාට වුණත් උත්තර නොදී ඉන්නට නොහිතුණු බැවින් මම ඉස්සර වුණෙමි. “අපි කොළඹ යනවා අයියේ.”

“කොළඹ? මොකටද අප්පේ එච්චර එහෙ යන්නේ?” ඒකා මිත්තර ලීලාවකින්, ඇස් දෙකත් නළලට අරගෙන ඇහුවේය.

කුරුලු ලොවේ නැණවතා ලෙස ප්‍රචලිත ‘නිහඬ බකමූණෙකු' නොවී, ධර්මවීරත් මාත් ‘හැබෑම ගිරා පෝතකයන්’ වුණේ ඊට පස්සෙය. අපි දෙන්නා තරගෙට වාගේ ඒ හාදයාට සේරම විස්තර කිව්වෙමු.

අපේ පට්ටන්දරේ දිගාරින අතරේ කෝච්චිය නාරාහේන්පිටත් පහු කළේය! කොටාරෝඩ් ස්ටේසමත් පහු කළේය!! ඊට පස්සේ වුණේ.....

වාඩිවී හිටි ඒ යස්සයා හිටි ගමන් ඉද්ද ගැහුවා වගේ නැඟිට්ටේය; සාක්කුවට අත දැම්මේය. ඒ අත එළියට ආවේ පුංචි පිහියකුත් එක්කමය!

“කෑ ගැහුවොත්.....” පිහිය දික් කරගත් ගමන් කී ඒකා, ධර්මවීරවත් කුණු මාළු කෑල්ලක් සේ ඇදලා අරං, මගේ කිට්ටුවටම තල්ලු කර දැම්මේය. “.... එකෙක්වත් කට ඇරියොත් බලාගෙනයි! අම්මපා තොපෙ බඩවැල් බොකු එළියට අදින එක අදිනවා....” 

ඒකා කෝච්චියෙන් පනින්නට කුරුමාණම් අල්ලනවා දකින කොටම ගණ දෙයියෝ..... 

“ඒයි ලොකු එකා, කෝ- ගනිං උඹ ළඟ තියෙන සල්ලි!”

නොදී ඉන්නද? දුන්නෙමි. ඒකා මගේ සාක්කුවලටත් බැස්සේය. බෑග් එකත් උදුරාගෙන උරයේ එල්ලා ගත්තේය. ගල්බීතවී ඇස් දෙක නෙරවාගෙන බලා හිටියා මිස ධර්මවීර කෙඳිරි ගෑවේවත් නැත.

පිහිය උරුක් කර ගත් ගමන්ම මැරයා, කෝච්චි පෙට්ටියේ දොර ඇරලා පා පුවරුවට බැස්සේය. දොර වැහුවේය. සිරුර චුට්ටක් නවාගෙන ඒකා කෝච්චියෙන් පනින්නට කුරුමාණම් අල්ලනවා දකින කොටම ‘ගණ දෙයියෝ’ මට නුවණ දුන්හ!

ඇස් දෙකෙන්ම කඳුළු ගලා හැලෙද්දීය, මාත් කුරුමාණම් අල්ලාගෙනය හිටියේ.

මැරයා කෝච්චියෙන් පනින මොහොතේදීම මම අත දිගුකොට, ඒකාගේ උරයේ එල්ලා ගෙන හිටි මගේ ට්‍රැවලින් බෑගයේ පටියෙන් අල්ලා ගෙන, මගේ පැත්තට ඇද්දෙමි. ඇටිකිති මට එච්චර හයියක් දුන්නේ මොන දෙයියන්දැයි අදටවත් මම නොදනිමි!

බෑගයේ පටිය කැඩුණේය. ඒ කැඩුණු පටියත් එක්කම බෑගය මගේ අතට ආවේය!! ඒ මොකුත් නොදන්නා පුංචි කෝච්චිය බේස්ලයින් දුම්රිය පොළේ නැවත්තුවේය.

ධර්මවීරටත් ‘එනවා’ කියාගෙන මම දුම්රියෙන් බැස්සෙමි. මිනිහාත් බැස්සේය. ඒකට ‘බැස්සා’ කියනවට වඩා සුදුසු වචනය ‘පැන්නා’ කියන එකය.

මං වගේම ධර්මවීරත් හිටියේ හඬා වැටෙමිනි. හදිස්සියේම කෝච්චියෙන් බැහැගත් කොලු ගැටවුන් දෙන්නෙකු මහ හඬින් බෙරිහන් දීගෙන, අඬමින් දුම්රිය ස්ථානාධිපතිතුමා වෙතට දුවනවා දැක්කොත්, ඒ දුම්රියේ ගමන් කරමින් හිටි ඔයාලා මොකද කරන්නේ?

අහිංසක දරුවන්ගෙනුත් කොල්ල කන මුන්ටනේ මොන හෙණයක්වත් නැත්තේ!

කෝච්චියේ හිටි දහ දොළොස් දෙනෙක් කළේ ඒකය; විජහනියට දුම්රියෙන් බැහැලා අපේ පස්සෙන් දුවගෙන එන්නට පටන් ගත් එකය.
දුම්රියේ ගාඩ් මහත්තයාත් එහෙම දුවගෙන ආ ඒ පිරිසේ උන්නේය.

දුම්රිය ස්ථානාධිපතිතුමාට නඩුව කියන්නට වුණේ මටය.
ධර්මවීර හොටු හූරමින් ඇඬුවා විතරය.

“ඔය ළමයින්ගේ සල්ලි ඔක්කොම ඌ ගත්තද?” station master ඇහුවේය.

“න් න් න්නෝට්ටු විතරයි.....” හැඬුම් අතරින්ම මට කියැවිණි.
“ඌට පොඩි සල්ලි එපා කිව්වද?” කවුදෝ නක්කියට වගේ ඇහුවේය.

මදාවියා සල්ලි නෝට්ටු සාක්කුවේ දමාගෙන කාසි සේරම බෑග් එකට දමනවා මට පෙනුණේය. ඒ නිසාය මට මුදල්වලින් කොටසක් හා බෑගය බේරා ගන්නට මොළය පෑදුණේ!

“ෂා.... ඔය ළමයා මොළේ ඇති වැඩක් නෙව කරලා තියෙන්නේ....” මගේ කතන්දරය අසාගෙන හිටි අය කීවෝය.

“දැන් ඔයාලා මොකද කරන්නේ. දැනටත් කෝච්චිය පරක්කුයි. මේකෙම කොළඹ යනවද... නැතිනං මම කෝච්චිය පිටත් කරලා ඉන්නද?” දුම්රිය ස්ථානාධිපතිතුමා මගෙන් අහයි.

තෑගි ගන්නට තිබුණු සල්ලිවලින් වැඩි හරියක් නැතිවෙලාය. දැන් ඉතිං අප දෙන්නා කොළඹ ගිහින් මොනවා කරන්නද? මං දෙගිඩියාවකය.

ඒ අතරේ කෝච්චියේ ආව අයගේ අදහස් කියවෙයි.
“පව්! අහිංසක දරුවන්ගෙනුත් කොල්ල කන මුන්ටනේ මොන හෙණයක්වත් නැත්තේ!”

දෑතම අහිමි චීන ධාවකයෙකු වතුර ටිකක් බී ගන්නට කරන අරගලය. ජැකලින් එතැන ඉඳලා දිගටම....

“මම මගේ ගණනේ පුතාලට ආපහු මහරගමට යන්න ටිකට් දෙකක් දෙන්නං.” ස්ටේෂන් මාස්ටර් කිව්වේය.

“මෙන්න දරුවෝ මගෙනුත් සත පනහක්...”
“මට කරන්න පුළුවන් උදව්ව තමයි මේ.....” සමහරු එහෙම වෙති. අනුන්ගේ විපතෙදී තමන්ට හැකි තරමින් හෝ උදව් කරති.

කාලයක් තිස්සේ මගේ මතකයෙන් බැහැර නොයන ‘එහෙම උත්තම උදව්වක් ගැන ඡායාරූපයක්’ තිබෙයි.

Zheng-Kai මැරතන් තරගයේදී කෙන්යානු ක්‍රීඩිකාවක් වුණු Jacqueline Nyetipei Kiplimo දැක්කා, දෑතම අහිමි චීන ධාවකයෙකු වතුර ටිකක් බී ගන්නට කරන අරගලය. ජැකලින් එතැන ඉඳලා දිගටම ඔහුට උදව් කළා. ඒ නිසා ඇයගේ වේගය අඩාල වීමෙන් ඇයට දෙවෙනි තැනයි හිමිවෙලා තියෙන්නේ. තමන්ගේ ජයග්‍රහණය ගැන නොහිතා, පිහිටක් අවැසි කෙනෙකුට පිහිටක් වුණු ජැකලින්ට එදා; 2010 වසරේ මැරතන් තරගයේදී අහිමි වෙච්ච තෑග්ග $10,000 ක්!

මට නං හොඳටම විශ්වාසයි, Jacqueline Nyetipei Kiplimo අදටත් ඒ පරිත්‍යාගය ගැන මතක් වෙද්දී ‘අමිල සතුටක්’ විඳිනවා ඇති!

බේස්ලයින් දුම්රිය නැවතුම් පොළේදී එදා නාඳුනන හිතවතුන්ගෙන් රුපියල් දහයකට කිට්ටු ගණනක් එකතු වෙලා තිබිණි. (ඒ උදව් කළ උදවියගෙන් කාටවත්ම ඒක මතකයේ නැතිවත් ඇති. ඒත් මට මතකයි. ඒ හැමෝටම පිං! ගොඩාක් පිං!!) කාසිවලිනුත් රුපියල් තුන හතරක් බෑගයේ ඉතිරිවී තිබුණු නිසා, හොරාට ගත හැකි වෙන්නට ඇත්තේ රුපියල් පහළොවකට කිට්ටු ගණනක් විය යුතුයැයි ගණන් බැලිණි.

අපි හිස් අතින් ගෙදර ආවෙමු!

හිස් අතින් ඇවිත්, ඒ විස්තරය කීවාට පස්සේ අපේ ඉසව්වේ තුන්-හතර දෙනෙකුත් කීය-කීය හරි දුන් බවත් මට මතකය. ආයෙමත් තෑගි ගන්නට කොළඹ නොගිහිං මහරගම පොළෙන්ම ඒවා ගත්තු බවත් මට මතකය. 

අන්තිමට පොලිස් රිමාන්ඩ් කූඩුවක් ඇතුළේදී ගෙල වැල ලාගෙන සියදිවි නසා ගත් කෙනෙකු ලෙස....

“ඇයි මෝඩයෝ හයියෙන් කෑ ගැහුවෙවත් නැත්තේ.... මම ගිහින් හිටියා නම් උගෙ බෙල්ලේ හරි එල්ලෙනවා.” කියලා පත්මවීර ලොකු අයියා, ධර්මවීර පොඩි මල්ලියාට කියූ බවත් මට මතකය.

(වැඩියත්ම හිත පාරවන්නේ ඒ මතකයයි. එදා තුට්ටු දෙකේ හොරෙකුට බියවී, ගල් බීතවී හිටි ධර්මවීර පසු කාලයක මහරගම නම් දැරූ ගැට කපන්නෙක් වුණේය. පොලිසියෙන් අල්ලා ගත් විටදී, කොතෙක් වද හිංසා පැමිණෙව්වත් කිසිවක් නොකියා නිහඬව හිටි කෙනෙකු විදිහටත් ප්‍රසිද්ධ වුණේය.

අන්තිමට පොලිස් රිමාන්ඩ් කූඩුවක් ඇතුළේදී ගෙල වැල ලාගෙන සියදිවි නසා ගත් කෙනෙකු ලෙස මහරගම ඉතිහාසයටත් එකතු වුණේය.)

අදත් දෙහිවල පාරේ පුද්ගලික බස් නැවතුම් පොළේදී අපට ඒ ලොකු අයියා පත්මවීරව හමු වෙන්නට හැකිය.

දෙවෙනි අයියා විමලවීර එක තැන නවත්වා තියෙන ‘දුවනගිරි පන්නයේ’ හෝටලයක් පවත්වාගෙන යයි.

Post එක ඉවර කරන්නට කලින් අපේ අවුරුදු උත්සවය ගැන තව ටිකාක් කියලා හිටින්නට ඕනෑය. කිසිම අඩු-පාඩුවක් නැතිව එය පවත්වන්නට හැකි විණි. එකම වැරැද්දක් විතරක් වුණේය. ලොකු පිරිමින් දෙපැත්තකටවී කඹ ඇදීම කරද්දී කඹය කැඩී ගියේය. දෙපිළේම ඇත්තෝ දෙගොඩකට බිම වැටී පස්සවල් තළා ගත්හ.

“දැන් මොකද කරන්නේ.... අල්ලලා දානවද?” ඒ තරග ඉසව්වට තෑග්ග දෙන්නට දායකවී හිටි මුදලාලි මාමා ඇසුවේය.

“බෑ බෑ... අපි එක සැරයක් දින්නා. එයාලා එක සැරයක් දින්නා. කඹේ කැඩුණේ අපේ වාසියට ඇදි-ඇදී තියෙද්දී.... ඊළඟ පාර අපි ඇද ගන්න එක ඇද ගන්නවාමයි...” දෙපිළේම ඇත්තෝ කීහ.
 

මුදලාලි මාමා අපේ ගෙවල් ඉසව්වේ කාගේත් හිත දිනාගෙන හිටියේය. එයා විදිහෙම චරිතයක්...

“එහෙමද? හිටහං රංජි පුතේ... පැය බාගයක් යන්න කලින් මං මුංට හරියන්න කඹයක් ගේන්නං....” කියලා මුදලාලි මාමා ඉගිල්ලුණේය. කිව්වා වාගෙම එයා ආපහු ආවේ දෙතුන් දෙනෙකු එක්ව ඉස්සිය යුතු නැව් කඹයක් අරගෙනය. කඹ ඇදීමේ තරගයේ ජයග්‍රාහකයන්ට තෑග්ගට දුන්නේ මුදලාලි මාමා කලින්ම සපයා තිබුණු ‘ෆැමිලි ඇසොර්ට්මන්ට්’ විස්කෝතු පෙට්ටියකි.

මුදලාලි මාමා අපේ ගෙවල් ඉසව්වේ කාගේත් හිත දිනාගෙන හිටියේය. එයා විදිහෙම චරිතයක් ‘සිනෙත් බැද්දගේ’ හිතවතා සිතුවම් කළ චිත්‍රකතාවක උන්නේය. ඒ බව ගිය සතියේ දිනෙක සිනෙත්ට කිව්වෙමි. “නිමල් අයියේ, මං චිත්‍රකතා කීයක් නං ඇඳලා තියෙනවාද? එව්වයේ මිනිස්සු.... ඔයාට ඒ චිත්‍රකතාවක නමක්වත් මතක නැත්තං මම ඔයා කියන විදිහේ චරිත තුන හතරක චිත්‍ර එවන්නං...”

සිනෙත් චිත්‍ර හතරක් එව්වේය.

මේ post එකේ පළ කරන්නේ මුදලාලි මාමාට ආසන්නයෙන් යන චිත්‍රයයි. හැබෑ මුදලාලි මාමා මීට වඩා අහිංසක පාටය. ටිකාක් විතර උපේක්ෂා සහගතය, වියපත්ය!

මුදලාලි මාමාගේ ‘වටිනා බිස්කට් පෙට්ටි තෑග්ගේ විත්තිය’ වෙසෙසා සඳහන් කරන්නේ ඒ කාලේ අපේ අයගේ sporty ගතිය උලුප්පා පෙන්වන්නටය. තෑග්ග ගත් අය එවෙලේම ඒ විස්කෝතු පෙට්ටිය කඩලා ‘සතුරු පිළේ’ ඇත්තනුත් එක්ක හවුලේ භුක්ති වින්දෝය.

දැන් ඉතිං ඒ ඉසව්වේ අවුරුදු උත්සව ගැන කියන්නට ඉතිරිව තියෙන්නේ මෙච්චරය.
මේ අවුරුදු 50ටම එක්සත් සුභ සාධක මාවතේ වෙනත් අවුරුදු උත්සවයක්- දෙකක් කෙරුණේ
වී.ජී. පියදාස අයියාගේ ප්‍රධානත්වයෙන් යුතු UNP ශාඛා සමිතියෙන් විතරය෴ 

34 comments:

  1. බස්තුමා කරත්ත ෆෑන්.

    ReplyDelete
    Replies
    1. පැරණි ඇන්ජිං දෙකේ බර කරත්ත වලට ආසාවක් නැත්තෙමත් නෑ. අර පස්සෙන් ගැට ගහගෙන යන්නෙ කියල කිව්වෙ ජයසේනම තමා. මාස තුනක ප්‍රොබේෂන් එකෙන් පස්සෙ, ඇන්ජිං ඩැයිවර් තනතුරට උසස් කරනවා වෙන්ටෑ?

      Delete
    2. පස්සෙන් ගැට ගහගෙන යන්නෙ ට්‍රේනි ගොනා කියල දාගන්ඩ ඈ? ඔන් ද ජොබ් ට්‍රේනින්.

      Delete
    3. අප්‍රෙන්ටිස් / ඉන්ටර්න් ගොනා

      Delete
    4. ඒ කාලේ ඒ ගොල්ලන්ට තිබ්බේ පුදුම ඩිමාන්ඩ් එකක්!
      ඔය ජනකවි. සිංදු ගොඩකත් කියන්නේ...

      Delete
  2. අද කතාව හොඳයි, ඒත් වංගු වැඩියි. කෝච්චියෙ කතාව එක දිගටම ලියලාම, ඉතුරු පඳුරු ටික තැලුවා නං හොඳයි කියලයි මට හිතුනෙ. පොඩි අදහසක් විතරයි, කොහොමත් මේ හීනෙන් නැඟිටලා ඇවිත් දාන ඒව වැඩිය සීරියස් ගණන් ගන්න එපා.

    අවාරෙට කජු වැටෙන්නැහෙ පෝස්ට් ලියන අපිට, මෙහෙම පිලිවෙලකට පෝස්ට් දෙනවට බොහොම ස්තූතියි, නිදි.

    ReplyDelete
    Replies
    1. එච්චර පිළිවෙලකට වැඩ නොකරන එකේ බ්ලොග් එක ලියන වැඩේවත් පිළිවෙලකට කරන්න හිතුවා බස්සා මහත්තයෝ.

      විවේචන තමයි වැඩිය වටින්නේ; ඒවායෙන් ගත යුත්ත ගන්නවාමයි!

      Delete
  3. පොස්ට් එක කියලා ඉවරකරන්න පස්සෙ එන්නම්...
    බබාට කවන්න....සදු කතා කරනවා...

    ReplyDelete
    Replies
    1. අනේ උඹ බබා. හැක්..

      Delete
    2. පව් ප්‍රසන්න... මෙන්ඩා විතරක් නෙවෙයි, ඕනි හස්ති රාජයෙක් ගෘහස්ත සාමය පවත්වාගෙන යන්න කැමතියිනෙ....

      Delete
  4. පුංචි කෝච්චිය යයි හරි වේගෙන්
    පැය හතරට එක හැතැප්මෙ වේ‌ගෙන්
    කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන්
    දරුවෙක් බිහිවෙයි ඕපනායකින්

    - වන්ද්‍ර අනගිරත්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බුරටිනෝ!

      අනගිරත්න මහත්තයයි, (මතක හැටියට) හර්ෂ ශ්‍රී විජයරත්න කියලා මහත්තයෙකුයි නේද ඉස්සර 'රිවිදින- රිවිරැස' පත්තරේ 'නරලොව හොල්මන්'වලට නොකඩවාම ලිව්වේ.

      චන්ද්‍ර අනගිරත්න මහතා ලිවීමට කොයි තරම් සූරයෙක්ද කියන්න 'බ්‍රෑම් ස්ටෝකර්ගේ' ඩ්රැකියුලා 1 -2 පරිවර්තන පොත් දෙකම ඇති!

      Delete
  5. පුංචි කෝච්චිය යයි හරි වේගෙන්
    පැය හතරට එක හැතැප්මෙ වේ‌ගෙන්
    බකමූණෙක් නැග්ගම පිට කොටුවෙන්
    නරියෙක් පිටවෙයි ඕපනායකින්

    කියල තමා අපි නං අහල තියෙන්නෙ. ලංකාවෙ කෝච්චි සහ පාලු, අද්භූත පෙනුමැති ඉටේෂන් එක්ක මගේ පොඩි මෙව්වා එකක් තියනවා. කොටින්ම ඒ ස්ටේෂන් වල,තෙල් , සිල්පරකොට වලට වැටිලා එන ආවේනික සුවඳකුත් තියනවා. මෙහෙ තියෙන තට්ටු දෙකේ කෝච්චි සහ සබ්වේ කොච්චර කාර්‍යක්ෂම වුනත් මට ඒ කික් එක එන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බොලා ලංකාවෙ Rail hikes ගොහින් නැත? හොඳටම විඳින්න නං උඩරට line එකේ යන්නෝන.

      Delete
    2. එහෙම ජාතියක් නං ගිහින් නෑ. ඒත් අපේ ඉස්කෝලෙ තිබ්බෙ මූද ලඟ රේල් පාරක් අයිනෙ. ඉතිං ඒ නිසා, රේල් පාරෙ සෙල්ලං කරල තියනවා, ඒත් ටිකක් භයානක වැඩක්. පස්සෙ ඉස්කෝලෙම සුනාමියට ගහගෙන ගියා.

      Delete
    3. දි.ග.ම. බස්සා ලයින් දැම්මෙ අඹතලේ ඉන්න කාලෙලු බුරා.

      Delete
    4. උඩරට line එකේ 'නැරඹුම් මැදිරියේ' ගියා දෙවතාවක්. රාජධානි එකේ ගිහින් වෙච්චි අලකලංචියක් ගැන නං ලිව්වත් එක්ක. ඇත්තටම සුන්දර ගමනක්!

      බස්සා මහත්තයෝ, තෙල් ග්‍රීස් සිල්පර කොට කතාව ඇත්ත. ඒක හොඳින්ම වින්දේ පට්ටිපොළ සිට ඔහියට රේල්පාර දිගේ ගිහින් උඩට නැඟලා යකාගේ පඩිපෙළ දිගේ කළුපහනට බැස්ස (hike) ගමනේදී.

      වතාවක් අනුරාධපුරේ ගියා කෝච්චියේ, ගොඩක් ඉස්සර. හැම තැනම පරක්කු වෙවී ගිය තරම කිව්වොත් ආයෙ නං ගියේ නෑ.

      හැබැයි දැන් තත්ත්වේ ගොඩක් හොඳයි. නුවර- යාපනේ ගිය ගමන් කිහිපයක්ම වෙලාවටම ගියා!

      Delete
    5. පට්ටිපොල-ඔහිය-ඉදල්ගස්හින්න රේල් හයික් එක කරන්න හිටියට කරගන්න බැරිවුනා නිදි. ඉදල්ගස්හින්න-හපුතලේ-දියතලාව එක පාරකුත්, ඇල්ල-දෙමෝදර දෙතුන් වතාවකුත් හයිකින් කලා.

      මගේ හයිකින් යාළුවො සෙට් එක නං ඔයා කියන ඔහිය-යකාගෙ පඩිපෙල හයික් එක කලා. උන් තව පාරක් ග්රේට් වෙස්ටර්න් කන්දත් නැග්ගා. මට ඒ දෙකටම සහභාගි වෙන්න බැරිවුනා.

      Delete
    6. අහන්නත් සතුටුයි!
      දැන් නම් එච්චර හයික්ස් යන්න බහ වගේ කියල හිතාගෙන හිටියත්, මේ අවුරුද්දෙත් තන්ගප්පුවේ ඉඳලා නකල්ස් පැත්තට නැග්ගා, පාර දිගේ. පැය හතරක පහක ගමනක්.

      බුරටිනෝ, තව නොගිය තැන්වලට යන්නට ඔබටත්, මටත් වාසනාව ලැබේවා!

      Delete
  6. ධර්මවීරගෙ හිතේ තිබ්බ අප්සෙට් එකටම වෙන්න ඇති පස්සෙ අර වගේ උනේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ප්‍රසන්න. එච්චර කාලයක් ඒ පවුල්වල අයව ආස්සරේ කරන්න බැරි වුණා- දේශපාලන වැඩයි, නාට්‍යයි නැවතුණාම.

      ඒත් මේ අත්දැකීම මතක තිබ්බා නං පුලුවන්ද තව කෙනෙකුගේ පොකට් එකකට විදින්න?

      Delete
  7. මාත් ඇවිත් ගියා. ගමේ යන්ඩ ලෑස්ති වෙනව. ගමේ ගිහිං ම කියවන්නං...

    ReplyDelete
    Replies
    1. මතකෑතුව අර මියත් අරං පල.

      Delete
    2. ප්‍රසන්න, ඔහොම කෙටියෙන් කිව්වම ඇතිද... ඩ්රැකීට තේරුම් ගන්න ඇහැකිද? මහත්මිය, ඩ්රැකියානි, තාරා විතරක් නෙවෙයි මනුස්සයාගේ හැටියට මමියක් වුණත් හිතා ගනියිද මන්දා 'මිය' කිව්වම.

      Delete
    3. ඉලව්වයි... අවුලක් නෑ ඔය කියපු කට්ටියත් ඩ්‍රැකියට මීයො වගේ ඇති.

      Delete
    4. ප්‍රසන්න, ඩ්රැකියුලා ආදිපාදයා නං මීයෝ එක්ක එච්චර පයුරු පාසානමක් තිබ්බේ නෑ වගෙයි මතක. මැස්සෝ එක්ක මිස.

      Delete
    5. මං වෙනුවට නිදි මට වඩා හොඳට උත්තර දීල තියෙන්නෙ. ප්‍රසෝ, මොකද කියන්නෙ ටෝච් හතරකින් එකපාර දෙන්නෙ ඩුෂුම් එක. බෝතලෙයක් හමාරක් වියදං කළොත් ඉස්කුරුප්පුවයි ඇඩමයිත් එයි. උඹත් මහලොකුවට පාරම්බානව විතරයි, තාම දෂ්ට කළේ නෑ. අඩුගානෙ පුෂ් කිව්වෙවත් නෑ.

      Delete
    6. නයා නයා කිවුවට උන්දෑ කොබෝ නයෙක්. විහිළුවට වත් පුෂ් ගාන්නෑ. අනෝතත්ත විල අද්දරට වෙලා බණක් බාවනාවක් කරන් ඉන්නවා මිසක්.

      Delete
    7. ඩ්රැකී ගමේ යනවායි කිව්වා නේද?

      බුරටිනෝ කියන කතාව ඇත්ත නං පරෙස්සමින්. තවම දෂ්ට කරලාම නැත්තං විස වැඩියි වෙන්නැති, අනෙක කොබෝ නයින්ට පියාඹන්නත් පුළුවන්ලු නේද?

      Delete
  8. ela , බ්ලොග් පොස්ට් කියවන්න මේ පැත්තේ ඇවිල්ලා යන්න https://sithuvili.net/

    ReplyDelete
  9. මේ අඩවියෙත් 'සිතුවිලි සින්ඩිය' එල්ලලා තියෙන්නේ. ටික ආලයක් ඒ link එක අක්‍රියව තිබුණා. දැනුත් ගිහින් බැලුවා, පවන්.

    මට බලන්න දන්නෙ නැතිකමද මන්දා, ගෑනු ළමයෙක්ගේ foto එකක් විතරයි උඩ කොටසේ. යටින් map එකක් එහෙම එනවා. විස්තර පෙන්වන්නේ නෑ. හොයලා බලන්නකො!

    ReplyDelete
  10. රබං පදය කිව්වම මතක් උනේ.
    පොල් ලෙලි ටිකක් හෙම දාල රබාන රත්කරල, තට්ටයගේ බාසාවෙන් 'සුසර' කල්ල හෙම අරං

    ගිං ගිං ගිං ගිං ගිහිං අරං වර
    ගිංතොට නැන්දගේ රෙද්ද කඩං වර


    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ජය වේවා, ජය වේවා, ජයෙන් ජයම වේවා! හැට්ටර් උන්නැහේ, මං අහලා නෙවෙයි කියවලාවත් නැති රබන් පදයක් නෙව!
      ස්තුතියි!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්