li Item

Thursday, January 12, 2023

ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස

“සෙනෙහෙබර පුංචි දුවේ,

පුංචි දුවේ කිව්වට තරහ ගන්න හෙම එපා. ඔයා දැන් ඉස්සරට වඩා ලොකු; ලස්සන; පිවිතුරු යුවතියක්. නිදහසේ දුව පැන ඉගිලුණු පුංචි කිරිල්ලියෙක් වගේ හිටිය ඔයා, දැන් සුවඳ විහිදුවාගෙන පිපෙන්නට සැරසෙන කැකුළියක්.
ඒත් පුංචි දුවේ, මේ ලොකු අම්මට ඔයා තවමත් ඉස්සර හිටි පුංචි දූ සිඟිත්තමයි. ඒ නිසයි පුංචි දුවේ කියල තවමත් කියන්නේ.

ඔය වගේ දවස්වලදී මට හිතුණෙත් ඒ විදිහටමයි.

ඉතිං... දවස් ගණනාවක් තිස්සේ මුලු ගැන්නිල ඉඳලා ඔයාත් හොඳටෝම හෙම්බත් වෙන්න ඇති. පුංචි හිර ගේක හිර වුණා කියලත් ඔයාට හිතෙන්න ඇති. එහෙම හිතුණත් පුංචි දුවේ, මම ඒ ගැන පුදුම වෙන්නෙ නැහැ.

ඔය වගේ දවස්වලදී මට හිතුණෙත් ඒ විදිහටමයි.
ඒත් දැන්...අත්දැකීම් තියෙන වැඩිහිටියෙක් හැටියට, මට ඔය දවස් ටික පෙනෙන්නෙ අමුතුම විදිහකට!

පුංචි දුවේ. ඔයාට මතකයිද, ඔයා දවසක් මගෙන් ඇහුවා ‘සමනළයො හැදෙන්නෙ කොහොමද?’ කියලා... ඔයාගේ චූටි කට උල් කරලා- හුරතල් විදිහට. එහෙම අහපු වෙලාවේ, මම ඔයාට කියල දුන්න දේවල් තවමත් මතකයිද?

සමනළ බිත්තරයක් පුපුරලා පුංචි පණුවෙක් විදිහට උපදින පැටියෙක්- ගස්වල දලු, කොළ කාලා දළඹුවෙක් විදිහට හැදෙන හැටි... ඒ දළඹුවා ටිකෙන්-ටික ලොකු වෙලා, ඌ විහින්ම හදාගන්න කෝෂයක හිර වෙලා ලස්සන සමනළයෙක් විදිහට මෝරන හැටි... මම එදා ඔයාට කියල දුන්නනෙ.

මට අද ඔයාව පේන්නෙත් ඒ වගේ!

දැන් ඔයා පුංචි හිර ගේක කොටු වෙලා... කාටවත්ම නොපෙනෙන විදිහට ඉඳගෙන; ලස්සනට හැඩ වෙවී; සමනළියක් වගේ ඉගිලෙන්නට පෙරුම් පුරනවා.

ඔව්, පුංචි දුවේ. ස්වභාව ධර්මයෙන්ම ගැහැනු අපට මහ පුදුමාකාර දේවල් ටිකක් හිමි කර දීල තියෙනවා. ඔයා තව තවත් ගුණ නුවණින් මෝරනකොට ඒවා ගැන මීට වඩා දැන ගනීවි. හැබයි, දැන් ඔයා ඉන්නේ ඒවා ඉගෙන ගන්නට පටන් ගත යුතු අවධියේ.

හොඳට ඉර එළිය නොලැබුණොත් මලේ දීප්තියයි, පාටයි ඉබේම අඩු වෙනවා. ඒකයි පරෙස්සමට රෝස ගහ හදන්න වෙන්නේ...
ලස්සන රෝස පඳුරක ලස්සන මලක් පූදින්නේ නිකම්ම නිකම් නෙවෙයි.

ඒ රෝස පඳුරට නිරෝගීව වැඩෙන්නට ඕනෑ විදිහට වතුරත්, පොහොරත්, ඉර එළියත්, සාත්තුවත් ලැබුණොත් තමයි- මල වඩාත් ලස්සන වෙන්නේ. ඇති තරමට ඒවා නොලැබුණොතින් රෝස මලක් පූදින්නත් කලින්ම ගහ කේඩෑරි වෙලා යනවා. හොඳට ඉර එළිය නොලැබුණොත් මලේ දීප්තියයි, පාටයි ඉබේම අඩු වෙනවා. ඒකයි පරෙස්සමට රෝස ගහ හදන්න වෙන්නේ.

ඉතිං, ඔයා වගේ පිවිතුරු අහිංසක චූටි දූලාටත් ගුණ දැනමිතිකම්, අවවාද දීලා- නිසි මඟ පෙන්නලා හදන එකයි අපේ යුතුකම!

ඔන්න මට මැවිල පේනවා, දැන් ඔයා මාත් එක්ක තරහෙන් වගේ මූණ ගස්සන හැටි... හරි නේද? මමත් ඔයාට අවවාද දෙන්න හදනවාය කියල පුංචි නොරිස්සුමක් හිතුණා නේද.
මම දන්නවා පුංචි දුවේ, ඒක එහෙම තමයි! ඔයා විතරක් නෙවෙයි, අපි හැමෝම අකැමැතියිනෙ අවවාද අහන්න.

ඔන්න එකෝමත් එක අම්ම කෙනෙක් තමුන්නෙ ලොකු මහත් වෙච්චි දුවට අවවාද ගොඩාාාාාරියක් දුන්නලු... අහගෙන ඉඳල-ඉඳලා අන්තිමේදී දුව අම්මගෙන් ඇහුවලු ‘අම්මට ඔය අවවාද දුන්නෙ කවුද?’ කියලා. ඒ ගමන ඒ අම්මා කිව්වලු එයාගේ අම්ම එයාට ඒ අවවාද දුන්නු බව.

“හොඳයි අම්මෙ. අම්මගේ අම්මා; මගේ ආච්චි- අම්මාට දීපු අවවාද ඔක්කොම අම්ම හොඳට මතක තියාගෙන ඉඳල තියෙනවා. මමත් එව්ව ඔක්කොම හොඳට මතක තියාගෙන ඉඳලා- කවද හරි දවසක මගෙ දුවෙකුටත් කියල දෙන්නං!” කියලා අර දෝණියන්දෑ අම්මට කිව්වලු.

ඔය හැමෝම කියනවා වගේ හැට පිරුණු උපාසක ආච්චියෙක් වගේ සාන්ත දාන්ත තීන්ත කූඩුවක් වගේ වෙන්නකියලා... (foto- තරිඳු අමුණුගම)

පුංචි දුවේ, අපි හැමෝම ඒ විදිහයි. ජීවිතේ එක-එක වයස්වලදී; එක-එක අවස්ථාවලදී...
අවවාදවලට ඔහේ කන් දීගෙන ඉන්නවා. ඒත් ඒවා ආපහු ප්‍රයෝජනයට ගන්නේ, තවත් කෙනෙකුට ඒවා දෙන වෙලාවට විතරයි. ඒත් ඒ ඔක්කොම හිතේ තියා නොගත්තත්, එක හොඳ අවවාදයක් හරි පිළිපදින්න පුරුදු වෙනව නං- ඒකම අපේ ජීවිතේට ආලෝකයක් වෙනවා නියතයි.

ඉතිං, මගෙ පුංචි දූත් හොඳ අවවාදවලට දුවගේ ඔය ලස්සන හිතට නිදහසේ ඇතුළු වෙන්න ඉඩ දෙන්න. ඒවායින් ගත යුත්ත අර ගන්න!

ඒත්, මම නං ඔයාට කියන්නෙ නෑ- ඔය හැමෝම කියනවා වගේ ‘හැට පිරුණු උපාසක ආච්චියෙක් වගේ සාන්ත දාන්ත තීන්ත කූඩුවක් වගේ වෙන්න’ කියලා. එහෙම සමහරු කියනවනෙ ‘සිනා නොමසෙන් දසන් දක්වා’ කියලත්.

ඔයා වගේ පුංචි දඟකාර යෞවනියන්ගේ දඟකාර හිනාවලින් තමයි, ලෝකෙට එළිය වැටෙන්නේ... ඔයාලගේ කොමල කෙළි කවට උකුළු-මුකුළුවලින් තමයි දුවේ කුරුල්ලෝ කිචි-බිචි ගාන්න ඉගෙන ගන්නෙත්. ඔය කාලේදි නොකරන විහිළු; පෙන්නන්නෙ නැති හිනා- වයසට ගියාම කරලා; පෙන්නලා වැඩක් නැහැනේ.

මගේ පුංචි දූ හරි වැරැද්ද තේරුම් අරං, හොඳ නරක තේරුම් අරං, බය නැතුව ඕනිම කෙනෙක් එක්ක කියන්න පුළුවන් දේවල් විතරක් ඔයාගේ ජීවිතේට එකතු කර ගත්තොත් ඔයාගේ ජීවිතේ ලස්සනම ලස්සන එකක් වෙනවා ඒකාන්තයි.

ඉතිං අවවාදම විතරක් නෙවෙයි, මට හිතෙන විදිහට- මයෙ පුංචි දූ දැනගෙන හිටියොත් හොඳයි කියල හිතෙන පිවිතුරු දේවල් ටිකක් ඉදිරියේදීත් මම ලියල එවන්නං. මට ඉඩ තියෙන විදියට.

ඒක පළවී තිබුණේ 1998 අප්‍රේල් 06 වෙනි සඳුදා පිවිතුරුපත්තරේ මංගල කලාපයේ.

ඒ ඔක්කොටම කලින්, හෙට අනිද්දම හිමිදිරි පාන්දර, පිරිසිදු සීතල වතුරෙන් නැහැවිලා- ජීවිත රන් පහනේ සිළුව දල්වන්නට මගෙ පුංචි දූ සැරසෙන මොහොතෙදි ඒ අසිරිය බලන්නට මාත් එන්නං.

එතෙක් මගේ පුංචි දුවට රත්නත්‍රයේ සරණයි!

මේ අදරැති,
ලොකු අම්මා”

මේ post එකේ අද පළ කළා වුණත්, ඔය ලියුම අලුතෙන් ලියූ එකක් නෙවෙයි. අවුරුදු විසිපහකට ඉස්සෙල්ලා ප්‍රසිද්ධියේ පළ වෙලා තිබ්බ එකක්.
ඒක පළවී තිබුණේ 1998 අප්‍රේල් 06 වෙනි සඳුදා ‘පිවිතුරු’ පත්තරේ මංගල කලාපයේ. පත්තරය සංස්කරණය කළේ අංජන ඉන්ද්‍රජිත් සහෘදයා. සහාය සංස්කාරක වුණේ විරාජිත් පතිරණ.
පිවිතුරු ‘ඉමාෂි ප්‍රකාශන’යක් ලෙසිනුයි, ‘මල් පත්තර’ ලෝකයට එකතු වුණේ.

පොඩ්ඩක් ඉවසමු, හොඳේ!
පුංචි දෝණි කෙනෙකුට ලියැවුණු ඒ ලියුමේ වග-විස්තර හගිස්සන්නට කලියෙන් කියලා ඉන්න ඕනි ‘පුරාණ කතාවකුත්’ මට තියෙනවනෙ.

නිමල් දිසානායක වන මං වහන්සේ 1996 අවුරුද්දේදී ‘යුවති කිරිල්ලී’ පොත අච්චු ගහ ගන්නට ගියෙ පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් ආයතනයට. එතකොට, අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයෙන් printingවලට අත්පොත් තියපු හටන් ආරච්චිගේ කුමුදුලාල් පියසිරියේ offset මැෂින් මයින්ඩර් කෙනෙක්. පියසිරියේ බොස් ප්‍රියදර්ශන පෙරේරා මහතාත්, නෙවිල් අනුරසිරිත්, කුමුදුලාලුත් පාසල් මිතුරෝ!

මෙච්චර පට්ටන්දර දිගාරින....

යුවති කිරිල්ලී පළ කරන්නට හදද්දී කුමුදු- නෙවිල්- විජිත් කුමාර- ප්‍රියන්ත මල්ලී- නලින් දුෂාන්ත ෆොන්සේකා- මුදිත කරුණාමුනි-  ...වගේ හිතමිතුරන් ගොඩාරියක් මගේ උදව්වට ළඟින් හිටියා. (ප්‍රියන්ත මල්ලීට නිවන් සුව අත් වේවා! නුගේගොඩදී පිපිරවුණු LTTE බෝම්බයට ගොදුරුවී ඔහු නොඑන ගමන් ගියේය. නලින් දුෂාන්ත දැන් කොරියාවේය.)

“නිමල් අයියේ, පියසිරියෙන් පොතේ පෝරම ටික අච්චු ගහගෙන ඇවිත්, අපි එකතු වෙලා ඔයාලගේ ගෙදරදී නවා ගනිමු. අපිටම ඒක කර ගන්න පුළුවන්නේ. ගෙදරදීම ගැදර් කරලා පොත් හදලා- වැඩ ඉවර වුණාම shave කර ගන්න විතරයි ආයෙම press එක ඕනි වෙන්නේ. සෑහෙන ගාණක් ඔයාට ඉතිරි කර ගන්න පුළුවන් එහෙම කළොත්.” කුමුදු කිව්වේය. එහෙමය කෙරුණේත්.

ඒ කටයුතු කෙරෙන අතරේ ප්‍රියදර්ශන පෙරේරා මහතාට මගේ ගැන රෙකමදාරු කිහිපයක්ම කෙරිලා තිබුණු විත්තියත් මට ආරංචි විණි.

“නිමල් අයියේ, දැන් අපේ press එකට වැඩ ගොඩක් තියෙනවා. Four Line Publication එකෙන් ගහන චිත්‍රකතා පත්තර කීපෙකුයි, ළමා පත්තරයි එහෙන්. සරත් විජේසූරිය මහත්තයාත් පොත් ගහගන්න එහාට එනවා. ‘මහා පුරුෂයෙකුට බිරිඳක්ව’ කියලා තඩි පොතකුත් මේ ළඟදී ගැහුවා. තව පොත් ගොඩක් print කර ගන්න තියෙනවලු.
ප්‍රියදර්ශනට පොත් ගැන දැනීමක් නැති නිසා- පොත් ගැනයි, ප්‍රින්ටින් ගැනයි දන්න මැනේජර් කෙනෙක්ව පියසිරියට ගන්න එයාගේ හිතේ තියෙනවා. හුඟක් ප්‍රින්ටින් මැනේජර්ලා pressවලින් යන්නෙ වැඩ ටිකත් කඩා ගෙනයිනෙ. ඒකයි තවමත් ප්‍රියා මැනේජර් කෙනෙක්ව වැඩට ගන්න පස්ස ගහන්නේ.

- ඔයා නං එහෙම කෙනෙක් නෙවෙයි කියලා දෙතුන් දෙනෙක්ම ප්‍රියාට කියල තියෙනවා. සමරේ අයියාත්* ඔයා ගැන සහතික වෙලා ...” කුමුදුලාල් මට කීවේය. (*සමරේ අයියා කිව්වේ සමරතිලක ගැනයි. සමරේ ඒ වෙද්දී පියසිරියේ ප්‍රධාන හා පළපුරුදුම මැෂින් මයින්ඩර්වරයාය.)

ඒ වෙද්දී මුද්‍රණ ක්ෂේත්‍රයට සමු දී ‘වාසිදායක ස්වයං රැකියාවක’ නිරත වෙමින් සිටි මට, පියසිරියට එන්නැයි ආරාධනා ලැබුණේ එහෙම පසුබිමක් තිබියදීය! (මෙච්චර පට්ටන්දර දිගාරින මං වහන්සේ, ඒ ‘වාසිදායක ස්වයං රැකියාව’ ගැන අද වෙනතුරුම නිදිගෙ පංච තන්තරේට එක වචනයක්වත් ලියා නැත!)
ඊට පසු, මම පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් ආයතනයේ Printing Manager ලෙස සේවය ඇරඹීමි. එහිදී පොත් විතරක් නොවේ, වෙනත් මුද්‍රණ කටයුතු සඳහා එන ගනුදෙනුකරුවන් සමඟත් මගේ හිතවත්කම් වගා-දිගා විණි.

ඔයාගේ හීසරචිත්‍රකතා පත්තරේ පිවිතුරුගැන දාන දැන්වීමට සිකුරු විජිතයත් එකතු කරමු!

අංජන ඉන්ද්‍රජිත්, අජිත් නිලංග දෙන්නාත් එහෙම හිතවත් වුණු දෙදෙනෙකි. ඒ දෙන්නාම ඒ වෙද්දීත් ප්‍රවීන හා ජනප්‍රිය චිත්‍රකතා නිර්මාණකරුවෝ වූහ.

ඔය අතරේ ෆෝ ලයින් පබ්ලිකේෂන්ස් එකේ බෙදීමක් ඇති වුණු බවයි, මගේ දැනුම. එහි ප්‍රතිඵලයක් වුණේ ඉමාෂි ප්‍රකාශන නමින් තවත් පත්තර ආයතනයක් බිහි වීමයි. (මේ කියන්නේ මගේ දැනීම අනුවය. ඒ අවදියෙදී චිත්‍රකතා ප්‍රකාශන ආයතන හා ශිල්පීන් බෙදී-බෙදී යාම සිද්ධ වුණේ ඇමීබාවන් බෙදෙනවාටත් වඩා වේගවත්වය.)

“නිමල් අයියේ, ඉමාෂි එකෙන් අපි අලුත් යොවුන් පත්තරයක් ගහන්න යන්නේ. මමයි ඒක එඩිට් කරන්නේ. ඔයාටත් පුළුවන් නේද, ඒකට කතාවක් ලියන්න.”
මුද්‍රණය කෙරෙමින් තිබුණු ‘හීසර’ චිත්‍රකතා පත්තරයේ ප්‍රගතිය ගැන බලන්නට අච්චු කන්තෝරුවට ආ විටෙක, අංජන මගෙන් ඇහුවේය.
“බිරිඳ පත්තරේට කතාවක් ලිව්ව පුරුද්දත් ඔයාට තියෙනවනේ... ලියමුද? නිකනුත් නෙවෙයි. අපි ගෙවීමකුත් කරනවා!”

“ලියන්නකො අයියේ. ඔයා කැමතියි නං හීසර පත්තරේටත් කතාවක් ලියන්න. ඔයා කැමති කෙනෙක් ලව්වා මම ඒකෙන් චිත්‍රකතාවක් අන්දවන්නං...” අංජන එක්කම press එකට ඇවිදින් හිටි අජිත් නිලංග මට කිව්වේ එතකොටය.

අජිත් ඒ කාලයේ ‘හීසර’ චිත්‍රකතා පත්තරය සංස්කරණය කරමිනි, උන්නේ.

“ඒයි ඒයි. ඔහොම ඉන්නවා! මමයි ඉස්සෙල්ල නිමල් අයියට කතා කළේ. අජිත්ගේ වැඩේ ගැන පස්සේ බලමු... ඉස්සෙල්ලා ඔයා මගෙ පත්තරේට ලියල ඉඳිමු.” අජිත්ට වඩා තැන්පත්, අඩු ස්වර කතා ඇති අංජන එතනදී නං ඉදිරියට පැන්නේය. “මොකද ඔයා කියන්නේ? මට ඕනි වෙනස් විදිහක ආදර කතාවක්. ඔයාට කියන්න- අපේ පත්තරේ ටාර්ගට් කරන්නේ ටීනේජර්ස්ලවයි. නිමල් අයියේ, එයාලට අල්ලන love story එකක් ලියමු.”

එසේ ලිවීම අභියෝගයක් විදිහටය...

බිරිඳ පත්තරයට ‘එපා හිරු පායන්න’ ලිව්වාට පස්සේ, ආයෙමත් පත්තරයකට නවකතාවක් ලියන ආසාවක් මට තිබ්බේ නැත.

කරන දෙයක් කළ යුත්තේ සතුටක්; තෘප්තියක් ඇති වෙනවා නම් විතරය. මං හිතන්නේ එහෙමය. “ඊළඟ දවසේ අංජන එනකොට උත්තරයක් දෙන්නං. ටිකක් හිතල බලලා...” මම අංජනට පොරොන්දු වුණෙමි.
“උත්තරයක් නෙවෙයි, එදාට කොටස් දෙකක් විතර ලියලම ගෙනත් තියන්න. මටත් කරන උදව්වක් විදිහට...”

මං හිනා වුණා විතරකි. අංජන හිතුවේ ‘හා!’ කිව්වා කියලාය.

“ඔයා දන්නවනෙ, එක කොටසකට වචන 500ක්-600ක් විතර තිබ්බොත් ඇති. අපි පින්තූරත් දාලනෙ පිටු හදන්නේ...”

එය අභියෝගයක් විදිහටය, මා බාර ගත්තේ.

යොවුන් නවකතාවක පළමු කොටස් දෙක ඊළඟ දවසේ අංජනලා එනතුරු, මගේ මේස ලාච්චුවේ බලා උන්නා මට මතකය.
“මේ තියෙන්නේ. ෂා... සිකුරු විජිතය! නම නං නියමයි!! අජිත්- ඔයාගේ ‘හීසර’ චිත්‍රකතා පත්තරේ ‘පිවිතුරු’ ගැන දාන දැන්වීමට ‘සිකුරු විජිතය’ත් එකතු කරමු!” උඩින්- පල්ලෙන් පිටු දෙක තුනක් කියවූ අංජන, අජිත් නිලංගගෙන් ඇහුවේය.

මම නං එහෙම ප්‍රශ්නයක් අහන්නේ, යමෙක් යම් දෙයකට හිර කර ගන්නට උවමනා වුණාමය. ඒ දවස්වල අංජන එතරම් සූක්ෂ්ම නැතත් අව්‍යාජ කෙනෙකි; මුල අමතක නොකරන කෙනෙකි. ඒ විත්තිය සනාථ වෙන්නේ ඔහු ලියූ මුල්ම කතුවැකිය කියවද්දීය.

‘... අද පටන් ඔබේ සතුට මෙන්ම දුක කඳුළ සුසුම බෙදා ගන්නටත් ‘පිවිතුරු’ ඔබේ තනියට ළඟ සිටින බව මට විශ්වාසයි.

මෙසේ සංස්කාරකවරයෙක් වශයෙන් මුල්ම කතුවැකිය ලියද්දී එක් දෙයක් සිහිපත් කිරීම මගේ යුතුකමකි. එනම්, ආධුනිකයෙකු ලෙස පත්තර කන්තෝරුවල රස්තියාදු වුණු මට තම පුවත්පතේ ඉඩ ලබාදී චිත්‍ර ශිල්පියෙක් ලෙස දොරට වඩින්නට අවස්ථාව ලබා දුන් සිනෙත් බැද්දගේ මහතාටත්, වෘත්තීය වශයෙන් පුවත්පත් කලාවේ රැඳී සිටින්නට ලිතෝ ශිල්පියෙකු වශයෙන් හා චිත්‍ර ශිල්පියෙකු වශයෙන් ‘සදා වාසනා’ පුවත්පතට සම්බන්ධ කර ගනිමින්- මහත් අත්දැකීම් සම්භාරයක් හා පුවත්පත් කලාවේ නොයෙකුත් ව්‍යාධීන්ගෙන් නොසැලී සිටීමට ශක්තිය හා උපදෙස් ලබා දුන් සරත්මධු මහතාව...’

මං ටිකක් නිවීහැනහිල්ලේ  හිතල බලන්නං.

නමුත් පත්තර කන්තෝරුවලටම තෙම්පරාදුවී, බහුලව අත්දැකීම් ලබාගෙන හිටින අංජන ‘දැන් මුහුකුරා ගිය හාදයෙකි’යි මට හැඟේ. එහෙම හිතෙන්නේ වර්තමානයේ අංජන අඳින දේශපාලන කාටූන් දකින විටයි!

(‘නිදිගෙ පංච තන්තරේ’ ආරම්භයේදීම මා දිරි ගන්වමින් සුබ පතන්නටත් අංජන ඉන්ද්‍රජිත් මහත්මා අමතක නොකළේය. ස්තුතියි අංජන!) 

එදා අංජන කියූ විදිහටම ‘පිවිතුරු’ පත්තරයේ ප්‍රචාරක කටයුතුවලදී, සිකුරු විජිතය ගැනත් ලියැවී තිබිණි.
එහෙම ඒවා දැක්කාම, චූන් නොවෙන්නේ; සතුටින් උද්දාම නොවෙන්නේ කවුද? පුහුදුන් නිමල් දිසානායක එහෙම සතුටු වෙන්නෙකි.
එහෙම ‘උඩ ගිහිං’ ඉන්න අතරේය අංජන තවත් අදහසක් මගේ ඔළුවට දැම්මේ.

“අපේ පත්තරේට තව එක විශේෂාංග පිටුවක් දාන්නයි මම හිතාගෙන ඉන්නේ. ප්‍රශ්නවලට උත්තර දෙන එකක් වගේ... ඔයාට වෙලාව තියෙනව නේද, එහෙම පාඨකයන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන පිටුවක් කරන්න. නිමල් අයියා ඉතිං අපිට වැඩිය අත්දැකීම් තියෙන මෝරපු කෙනෙක්නෙ. ඒකයි ඔයාව මේකට ගැලපෙයි කියල මට හිතුණේ.”

“එහෙම නෙවෙයි අංජන. වැඩිය හොඳයි නේද, ඔය වැඩේට තව කාව හරි අල්ල ගත්තොත්.”
“කවුද වෙන හොඳ කෙනෙක් ඉන්නේ. අපේ පත්තරේ වගේ අලුත් එකකට ලියන්න කැමති වෙන කෙනෙකුත් වෙන්න ඕනිනෙ, නිමල් අයියේ. ඉන්නවද, ඔයා දන්න කවුරු හරි?” අංජන මටම බෝලය pass කළේය.

“ම්.ම්.ම්..ම්...ම්... මේ වෙලාවේ නං මගේ ඔළුවට කෙනෙක්ව මතක් වෙන්නෑ මහත්තයෝ. මං ටිකක් නිවීහැනහිල්ලේ  හිතල බලන්නං.”
මාත් එදා කළේ ප්‍රශ්නය පැත්තකින් තියන එකය.

ඊළඟට සිදු වුණු හරිය...

අද රටම දවන ජාතික ප්‍රශ්න විසඳන්නට හදන උදවිය වැඩියෙන්ම වැඩ කරන්නෙත් ඔය ක්‍රමයටමය. කල් මැරිල්ලය; පස්සට දැමිල්ලය. ඒ ප්‍රතිපත්තිය තවත් ටිකාාාාාාක් හොඳටම කරන්නේ කොමිසමකුත් පත් කර කටයුතු විමර්ශනය කිරීමට නියම කිරීමෙනි!

ඉතිං, එදා කොමිසම් පත් කිරීමට බලයක් නොතිබුණු නිමල් දිසානායක ප්‍රශ්නය විසඳීම පසුවට තැබූ විදිහටමය, අදත් හැම තැනම වැඩ කෙරෙන්නේ.

අප කියාගෙන යන මේ කතන්දරයේ, ඊළඟට සිදු වුණු හරිය ‘දයාබර පාඨක ඔබට’ කීම තවත් දින කිහිපයකින් පසුව කරන්නටය, පඩත්තල නිදි මේ  සැරසෙන්නේ...

34 comments:

  1. "නිදි ගේ පත්තර කලාව " කියාලා අලුත් සිරිස් එකක්ද?

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියලද හිතුණේ, අජිත්?

      Delete
    2. ඔව් . අර බෝම්බෙට හසුවුණා එක්කෙනා ගන වැඩිය ලියල නැහැ නේද

      Delete
    3. ඔව් අජ්ත් මහත්තයෝ. ඒත් ප්‍රියන්ත මල්ලීව අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයට ජාතික තරුණ සේවා සභාවෙන් මුද්‍රණ පුහුණුව සඳහා එවුණු බවත්, උපුල් සාන්ත සන්නස්ගල මහතාට සංහිඳ මුද්‍රණ ආයතනය පටන් ගැනීම සඳහා නෙවිල්, විජිත් හා ප්‍රියන්ත මල්ලීව මවිසින් සම්බන්ධකොට දුන් බවත් මා ලියා තිබෙනවා විටින් විට.
      මේ ටික නං විස්තර ඇතිව ලියවුනේ නැති ටිකක්.
      බෝම්බයට අහු වෙද්දී ප්‍රියන්ත මල්ලී බිරිය චමිලාත් එක්ක අවුරුද්දට සාප්පු සවාරියක ගිහිං හිටියේ.
      ලේ ගලන තුවාල ඇති වුණේ චමිලා නංගිටයි. 'මාව නෙවෙයි, අර තුවාල වෙලා ඉන්න wifeව හොස්පිටල් ගෙනියන්න ඉස්සෙල්ලම' ප්‍රියන්ත මල්ලී එතනදී කියලත් එක්ක. එයාව රෝහල්ගත කරද්දීවත් කිසිම ලේ ගැලීමක් වෙලා තිබුනේ නැහැ. හිටියේ හොඳ සිහියෙන්. නමුත් බෝම්බ කැබැල්ලක් එයාගේ මොළයට ගිහිං.
      චමිල නංගි බේරුනා, ප්‍රියන්ත මල්ලී මිය ගියා!

      Delete
  2. හොඳ වෙලාවට නිදි දැං ඒකෙ නැත්තෙ. නැත්තං මේකෙ කොමෙන්ට්කාරයො අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ගිය දාක තමයි සියදිවි නසාගන්න වෙන්නෙ හිටං.

    ReplyDelete
    Replies
    1. මොනවගේ ප්‍රස්නද?

      Delete
    2. ඒ වෙලාවට හිතට එන ඒව තමයි ඉතිං. :D

      Delete
    3. මොන වෙලාවටද?

      Delete
    4. නිදි ගෙන් ආතල් එකක් ගන්න ඕනය කියල කාට හරි හිතෙන වෙලාවට.

      (යකෝ මේක උසාවිය වගේ උනානෙ. :D)

      Delete
    5. මොනවගේ ආතල්ද?

      Delete
    6. උසාවිය කල්තබන්න කෙනෙක නැද්ද අප්පා..

      Delete
    7. මොනතරම් කල්ද?

      Delete
    8. මේ යන විදියටනං සදා කල්.

      Delete
    9. මොකක් යන විදියට ද?

      Delete
    10. අම්මොහ්! උසාවිය වහලා වගෙයි!!

      Delete
    11. ඇප දෙනවට විරුද්ධයි. කවුද ආතල් දුන්නේ දුන්නේ

      Delete
    12. ඇප ඕන්නෑ කෙලින්ම කොල නැති ගහේ දාමු.

      Delete
    13. කොළ නැති ගහ කිව්වේ.... මෝල් ගහ නේද?

      Delete
  3. උඩහ කුණු වලියක්වත් ද....

    අම්මගෙයි - දුවගෙයි සංවාදෙ කියවනකොටම මතක් උනේ... මොනවද අම්මේ අකුරු ජාතියක් සිංදුව.

    ReplyDelete
    Replies
    1. පරණ සින්දුත් දන්නවද නමී? (ඕක නං කවි පන්තියක්නේ.)

      Delete
    2. කවියකින් උපුටල අරන් සිංදුව හදලද දන්නෙ නෑ. සිංදුව විතරයි මං අහල තියෙන්නේ. ඉස්සර හපන් පැදුරේ හෙම ගියා.

      Delete
  4. https://www.youtube.com/watch?v=HQgVxoUJREM

    අර උඩ තියෙන එක පින්තූරයක් දැකල මතක් උනේ...

    ReplyDelete
    Replies
    1. ඒ clip එක බලලා තමයි සෝමවීර මහත්තයාට හූ කියද්දී 'තොපෙ අම්මට කියා මකවාගන් ....' කියන කවිය මතක් වෙලා තියෙන්නේ.

      Delete
  5. උඩින්ම තියෙන පුංචි දුවට ලියපු ලියුම ලිව්වෙ නිමල්ද (පිවිතුරු පත්තරේ ලේඛකයෙක් විදිහට). ඒක ලිව්වෙ පිරිමි කෙනෙක් නම් ඉතාම හොඳට කාන්තා point of view එක තේරෙන කෙනෙක් ලියලා තියෙන්නෙ. නිමල් ලිව්වානම් සෑහෙන දුරකට ආච්චි අම්මගෙ ආභාශය.

    "නිමල් අයියා ඉතිං අපිට වැඩිය අත්දැකීම් තියෙන මෝරපු කෙනෙක්නෙ"- අවුරුදු විස්සකට විතර ඉස්සරත් නිමල් හොඳ පණ්ඩිතයෙක් වගේ ඉඳලා තියෙන්නෙ ඒ කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. නිමල් හොඳ පණ්ඩිතයෙක් වගේ ඉඳලා තියෙන්නෙ// ඒකනම් ඉතීම් උන්දගෙ යාළුවො සැට් එකම කියන එකක් නෙව 😂

      Delete
    2. //ඉතාම හොඳට කාන්තා point of view එක තේරෙන කෙනෙක්// එයා ගැන දෙවෙනි කොටසේදී කියනවා Lotus!
      ආච්චිගෙන් ලැබුණු ආභාෂය- දැනුම් සම්භාරය නම් මට මහමෙරක් වගේ තවමත් බලපානවා. තනිකරම- කතන්දර කීමේ කලාව මං ඉගෙන ගත්තේ ආච්චිගෙන්.

      Delete
    3. නමී උන්නැහේ- පාද යාත්‍රාවේ යද්දී ඔහේ අඳුනා ගත්තේ මගෙ හිතවතුන්ගෙන් බොහොම ටික දෙනයි. කොහොමද කියන්නේ යාළුවො set එකම එහෙම කියනවයි කියලා.

      Delete
  6. http://transyl2014.blogspot.com/2023/01/blog-post_14.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ්‍රැකී, ට්‍රාන්සිල්වෙනියාවට ගිහිං කවියකුත් ලියලයි ආවේ.

      Delete
  7. නිදී,

    මේ නිව්ස් එක ගැන මොකද හිතන්නේ?

    //

    ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙල සාමාජිකයන් විශාල පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ජවිපෙ ජාතික ජන බලවේගය, සජිත් ප්‍රේමදාසගේ සජබ පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු විවිධ වර්ගයේ පක්ෂ ගණනාවක් හරහා තරඟ වැදීමට සූදානමින් සිටි.

    මෙම කණ්ඩායම් සතුව අරගලය පැවති කාලය පුරා විශාල වශයෙන් විදේශීය දේශපාලන සහ රාජ්‍ය නොවන සංවිධාන වල සහයෝගය තුලින් ලැබු මුදල් ආධාර විශාල වශයෙන් තිබෙන බවත් ඒ නිසා එම මුදලින් ඔවුන් නිවාස රථ වාහන ආදිය මිලදී ගැනීම් කර ඇති නමුත් තවමත් විශාල මුදලක් ඉතුරු වී ඇති බැවින් එම මුදලින් මැතිවරණයේදී ඉදිරිපත් වීමට ඔවුන් බොහෝ දෙනෙක් තීරණය කර ඇති අතරම ඔවුන් නිශ්චිත එක් පක්ෂයක් නොමැතිව විවිධ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනක් හරහා තරඟ කිරීමට සැරසේ. මේ සඳහා විදේශීය විවිධ දේශපාලන සංවිධාන වලින් අවශ්‍ය උපදෙස් ලබා දෙන බවත් ඒ මත පදනම්ව විවිධාකාර දේශපාලනික කණ්ඩායම් වලට ඔවුන් එකතු වීමට තීරණය කරන බවයි නිල නොලත් ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ.

    බස්නාහිර පලාත ප්‍රධාන වශයෙන් සහ දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක කිහිපයක මෙම පිරිස් නාම යෝජනා ලබා දීමට සූදානම් වෙමින් ඇත. මේ පිළිබඳව වැඩි විස්තර ලංකාවේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති හරහා විස්තර කෙරෙන බවත් පැවසේ.

    - කීර්ති වර්ණකුලසූරිය (ඉරිදා දිවයින)

    //

    මේ ගැන වැඩි විස්තර ඔබට පැහැදිලි කළ හැකි ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියන්නද?
      මෙහෙම නිශ්චිත නැති තොරතුරු කියෙව්වාට මට මොකුත් හිතෙන්නේ නෑනෙ....
      සැරසේ, පැවසෙන්නේ, ඇත, පැවසේ වගේ පද දකිද්දී....

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්