li Item

Sunday, August 20, 2023

වනචර වෙමුද? - දෙවෙනි කොටස

කොයිකටත් කියලා ඔයා කියන ෆ්ලෙවර් එක එන්න හාල් පිටි අඩුවෙන් දාලත් හදලා කන්න දීලා බලන්නංකො.”

කාටද දීලා බලන්නෙ?”
වෙන කාටද ඉතිං... ඔය අප්පුහාමිටම තමයි... මත් වුණත් තමුසෙමනේ...”
පේනවද මානෙල් ඔයාල ලොකාගේ බලුකම. මේ යකා ඔහොමමනේ.”

අපට අමතක වුණු විස්මිත ගුණ දෙන වනගත කෑම...

අපේ රංචුවේ ඔහොම රණ්ඩු මානෙල්ට අරුමයක් නොවේ. එයා උත්තර දෙන්නේ හිනහව ගිලගත්තු ගමන්ය. “ඔව් නේන්නං ලොකා... නෙවිල් අයියට එහෙම කරන්න එපා. පව්නෙ! මඩු පිටි වැඩියෙන් දාපු කෑම කාලා ඒ මනුස්සයා මත් වුණොත් කවුද ඔයාව ආපහු ගෙදරට ගිහින් දාන්නේ?”

“අපොයි ඔව්! මත් වෙන්න දන්නෙම නැති බබා... නෙවිල් එහෙම කිව්වට මානෙල්, ඔයා දන්නවද- ඔය හුටප්පර අලුත් කෑමක් හැදුවොත් ඉස්සෙල්ලම මමයි ඒක කාල බලන්නේ. ඊට පැය දෙක තුනකට පස්සේ තමයි, ඒවා වෙන කාටවත් දුන්නොත් දෙන්නේ.”

ඊට පස්සේ වෙලාවකය, මඩු පිටි එකකට- හාල් පිටි බාගයක් වනසේ යොදා- කවලම් කොට පිට්ටු හදලා testing එකකුත් කළේ. එදත් දෙවෙනි ‘ගිනියා Pig’ වුණේ නෙවිල්මය. “දැන් හරි! Taste එක හොඳයි... අපේ අම්මව බලා ගන්න හිටිය නන්දා මහියංගනේ පැත්තෙනෙ. ඉන්නවකො, මම මඩු පිට්ටු ගැන ඒ මනුස්සයගෙන් අහගන්න.”

‘හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස’ට කමෙන්ටුවක් එවමින් D.G.M බස්සා මහතා මෙහෙම කියා තිබිණි. මේක පොඩි යෝජනාවක්. හැකි නං සලකා බලන්න. ලිපි අතරට, ඔබේ රසවත්ම කෑම රෙසිපි එක ගානෙ ඇමුණුවොත් කොහොමද?🙏
මගේ කෑම වට්ටෝරු කොහොම වෙතත්, මඩු - හල් - මී මල් (මී පුප්) - (මාත් තවම හොයන) බෙරලිය - කැරම් කොකු - තැල් කොළ - හුජ්ජ මැල්ල - කැබැල්ල දලු - ගැට තුඹ - මල්වැන්න වගේ ‘ගමේ කෑම’ වර්ග ටිකක්වත් මගේ ආදරණීය රසිකයන්ට හඳුන්වා දිය යුතු යැයි, ඒ comment එක කියෙව්වාම මට සිතිණි.

ඒවායින් කිහිපයක් ගැන අපූරු ලිපියක් ‘අපට අමතක වුණු විස්මිත ගුණ දෙන වනගත කෑම’ නමින් Roar Media අඩවියේ පළව තිබෙයි.

ඉතිං, මඩු පියලි ගැන තව විස්තර ටිකක් පසුව කියන්නටත් ඉතිරි කරගෙනය, මං ආපහු හෙට්ටිපොළ නගරයේ කොනකට යන්නේ.
“දැක්කද සරත්, නිමල් අයියා කිව්වා වගේමයි වෙන්නේ. කෝ, තාම පිරිමි කට්ටිය ඇවිත් නැහැනෙ...” මැණිකෙ නංගි උදම් අනා ඉවර වෙලාය, අයිස්ක්‍රීම් අරගෙන ආ ප්‍රියන්තගේ ලොකු පුතු කවිජගේ පැත්තට හැරුණේ.
“වෙලාවේ හැටියට මරු, අයිස්ක්‍රීම්! තාත්තද අරන් දුන්නේ? ඔයා දැක්කද කවිජ පුතේ අතුල, නෙවිල් මාමල හෙම...”
“එයාලා කුකුළු මස් හොයන්න ගියා, නැන්දෙ.”

වස්ගමුව වනෝද්‍යානයේ දැනට සිටින දැවැන්ත හස්තියා ‘කබරයා’ය... (ෆොටෝ- MKG ගයාන්)

“ඒක නෙවෙයි, Mr. දිසානායක, මෙන්න වැදගත් ප්‍රශ්නයක්. ඔබතුමාට අයිස්ක්‍රීම් වලඳන්න හොඳ නෑ නේද?”

“Yes, Mr. Huxley. හොඳ නෑ නේන්නං. ඔයා කැමති නං නඩුවක් දාන්න.”
“චේ චෙචේ! හක්ස්ලි අයියා නඩු දාන කෙනෙක්යැ නිමල්  අයියේ.” කාලයකට ඉහතදී අපට ‘
මලාකා කතන්දරේ’ කියූ නන්ද කුමාර ඉඟි මරයි. “ඔන්න නඩු බලවන්න නං...”
“මල්ලි දන්නවද මල්ලි, මේ බ්රූස් ලීගේ අයියා හක්ස්ලී ළඟ ඔය ‘නඩු බලවනව’ වගේ බා..ල වැඩ නෑ.” හක්ස්ලි රඟයි.

“වැඩ නෑ නෙවෙයි, වැඩ බෑ නේද අයියේ. අයියට දැන් හැත්තෑවත් පැනලනෙ...”
“හැත්තෑව...”
ඒ දබරය ඉවර වුණු හැටි දැක ගන්නට, මට ඉඩක් නොලැබුණේ සරත් වාහනය පණ ගන්වනවා පෙනුණාමය. මං හිටියේ ඒකේය.
“ඔයා දුවල ආවට යන්න බෑ අය්යේ... තවම කට්ටිය මඟ එනවා. එතකල් අපි හෙමිහිට ඉස්සරහට යං.”

Van එකෙන් හෙමිහිට ඉදිරියට ඇදෙන අතරේ අපි දැක්කේ ‘... සෆාරි’ නම ගසාගත් jeep එකකින් බැසගත් හාදයෙක් කඩයක් ඇතුළට යන හැටියි. “ඒ ගියෙ ලසිතද?”
“නෑ සරත්, ඒ එයා නං නෙවෙයි. යන්තමට තමයි ලසිතව මතක. 2019 ආව වෙලාවෙනේ ලසිතගේ නොම්මරේ ඉල්ලා ගත්තෙත්. ඊයෙත් මම එයාට කතා කළා. අපිට තව ජීප් එක-දෙකක් ඕනි වෙයි කියලත් එයාට කිව්වා.”

“කොයිකටත් මම මේ මනුස්සයාගෙනුත් අහල බලන්නංකො. තව ජීප් එකක්...” කියාගෙනය, සරත් අර හාදයා හමුවට ගියේ.
“අර බලන්නකො මිත්මා. තාත්තා පට්ට අව්වේ ඉඳගෙනම ඒ මනුස්සය එක්ක කතා කරන හැටි. මොනවද සරත් ඔච්චර කතා කරන්නෙ...”
සරත් ආවේ මිලාන හිනාවක් පාමිනි. “එයා තමයිලු අද අපිත් එක්ක මැදපිටියේ යන්න දාලා හිටියේ. එයාගෙ කවුද අන්තරා වෙලා. ඒ මනුස්සයත් office එකට යන ගමන්ලු නිවාඩුවක් දාන්න.”
“එතකොට අපිට ට්‍රැකර් කෙනෙක්...”
“තව trackersලා ඇතිනෙ.”

හිටියේය! එසේ හදිසියේ ඇති වුණු පුරප්පාඩුවට අපිත් එක්ක මැදපිටියේ යන්නට එව්වේ ‘M.K.G. ගයාන්’ වනජීවී නියාමකවරයායි. කඩිමුඩියේම ඒ රාජකාරිය බාරගත් ගයාන් වනජීවියේ පැරැන්නෙක් නොවේ.
“අතුලගේ බට්ටවයි, හේෂාන්ගෙ car එකයි මෙතන දාලයි යන්න වෙන්නේ. මේ සරත්ගේ van එකත් මැදපිටියට නං ගෙනියන්න පුළුවන් නේද ගයාන්? අර ඔය හරහා තියෙන පාලමෙන්...” Camping Site එකට යන්නට හැකි වාහන ගැන ගණන් බලන ප්‍රියන්ත විමසයි.

 “ළමයි කට්ටිය යන්නෙ සෆාරි ජීප් එකේ නේද...” ප්‍රියන්ත ප්‍රශ්නයේ බාගයක් කියනකොටත්... (ෆොටෝ- සෙරාන් එච් ගමගේ)  

“පුළුවන් සර්. දැන් ඇල්ලේ ඔය පාලම කොන්ක්‍රීට් කරලා හදලයි තියෙන්නෙ.”

“ළමයි කට්ටිය යන්නෙ සෆාරි ජීප් එකේ නේද...” ප්‍රියන්ත ප්‍රශ්නයේ බාගයක් කියනකොටත් ‘ළමුන්’ jeep රියේය!

ඊළඟට... පිවිසුමෙන් ඇතුළටà
කදුරුපිටිය බංගලාව ළඟින් වමට...
කුඩා කදුරුපිටිය, මහ කදුරුපිටිය පසුකර ඇල්ලේ ඔයට. (ඒ තුන් පොලේම නම් මට කියා දුන්නේ ගයාන්ය. Post එක ලියන්නට කොම්පියුටරය ඉස්සරහින් වාඩි වුණාටත් පස්සෙය, ඒ නම් නිවැරදිව පිළිවෙලින් සටහන් කර නොගත් විත්තිය කල්පනා වුණේ. මම නොපමාවම ගයාන්ට ඇමතීමි! ඊට පස්සේ දහ-පහළොස් වතාවක්මත්...
ස්තුතියි ගයාන්- මගේ ප්‍රශ්න සේරටම උත්තර දුන්නාට!)

“ගයාන්, ඉස්සර නං මැදපිටියට යන්න ඇල්ලේ ඔය පහු කරනවා කියන්නේ එකම යුද්ධයක්. තද වැස්සට ඔයේ වතුර, පාර උඩිනුත් දානවා වෙන්නැති. පාරේ තඩි වළවල්... කට්ටියම එකතු වෙලා ගල්ගෙඩි පුරවලා පාර හදා ගෙනයි, හැමදාම යන්න වුණේ... හැම සැරේම ඔතන පහු කරගන්න පැයක් හමාරක් ගත වෙනවමයි.”

“ඔය කොයි කාලෙද නිමල් මහත්තයො...”
“අනූවෙ විතර...”
ගයාන්ට හිනාය. “එතකොට මම ඉපදිලත් නෑනෙ.”
“ඒකට මොකද... දැන් ඔයා වස්ගමුව ගැන ගොඩක් දේවල් දන්නවනෙ.” මට හැඟුණේ එහෙමය. ගයාන් ඒ තරම්ම විස්තර සැරෙන්-සැරේ මට කීවේය.

මේ වතාවේ වස්ගමුවෙදී මට ‘මීටර් වුණු’ දුඃඛිත විශේෂත්වයක් ගැනත් සහෘද පාඨක ඔබට කියන්නට වටියි!

නාගන්නට තිබෙන දිය වළ එතරම් ලොකු නැතත් වතුර ටික පට්ට සීතලය! (ෆොටෝ- සෙරාන් එච් ගමගේ)

දැන් වස්ගමුව වී තිබෙන්නේ ඉස්සර ‘වලස් ගොමුව’ලු. ඒ තරමටම වලසුන් එහි වීල! නමුත් වස්ගමුවට යන ඕනෑම කෙනෙකුට හැමදාමත් වලසුන්ට වැඩියෙන් දැකගත හැකි වුණේ මුවන්ය. ඕනෑම දවසක- ඕනෑම කෙනෙකුට වනෝද්‍යාන පිවිසුමේ සිට කදුරුපිටිය බංගලාව අසලට යන ඩිංගෙදීත් මුවන් සිය ගාණක් දැක ගන්නට හැකි තරමට මුව ගහණයක් එකල එහි විය. නමුදු...

මේ වතාවේ මැදපිටියට යන තුරුම රංචුවක් තියා, එකම-එක මුවෙකුවත් අපි නොදැක්කෙමු.

‘කොරෝනා දවස්වල මිනිස්සු ගමන් ගියේ නැහැනෙ... ඊට පස්සේ තෙල් පෝලිම්... තවමත් නිවාඩු දවසකදී වුණත් වාහන තුන හතරයි මෙහාට එන්නේ. / ඒ දවස්වල දඩයක්කාරයන්ට රජ මඟුල්... / මුවෝ නැත්තටම නැති වුණා වගෙයි.’ විස්තර හොයද්දී කිහිප දෙනෙකුගෙන් කියැවුණේ එහෙමය.

“වටපිටේ විස්තර බලන්න ඕනි තරං වෙලාව තියෙනවා. තව දවස් දෙකක්ම අපි මෙහෙ ඉන්නවනෙ...” මැදපිටිය කඳවුරු බිමට සේන්දු වුණු විගස 'නිවේදනයක්' ඇසිණි.
“කට්ටියක් බඩු බාගන්න අතරේ, අපිට වතුර බාල්දි දෙක තුනක් ගෙනත් දුන්නොත් බත උයා ගත්තෑකි.”

“කොහෙන්ද වතුර ගේන්නෙ?”
“අර පල්ලෙහා ගලන වතුර පාරෙන්...”
“ඒ වතුරෙන් බත් උයන්න?”
“බත් උයන්න විතරක් නෙවෙයි, අපිට බොන්න වෙන්නෙත් ඒ වතුර.” /  “මොකෝ මූණ ඇඹුල් කර ගන්නේ? පයිප්පවලින් එන වතුරටත් වැඩිය මේ වතුර හොඳයි හලෝ.” / “නාන්නෙද... ඒත් මේ ඇලෙන්ම තමයි. හැබැයි, උඩහ වළෙන් නාන්න කලින් බාල්දිවලටයි, බෝතල්වලටයි වතුර පුරවල තියල ඉන්න ඕනි.”

මැදපිටිය අපේ සිත්ගත් එක හේතුවක් වුණෙත් මේ දිය දහරාවයි. අපට දැනෙන විදිහට නම් එහි ජලය එතරම්ම පිරිසුදුය. නාගන්නට තිබෙන දිය වළ එතරම් ලොකු නැතත් වතුර ටික පට්ට සීතලය.

Camping site එක ඒකාලෝක කිරීමේ වගකීම සරත් සතු රාජකාරියකි. (ෆොටෝ- සෙරාන් එච් ගමගේ)

“අනෙ අනේ... මෙතන නාන්න මට නං බෑ...” / “මටත් බෑ. වතුරට බහිනකොටම මාළු සීයක් විතර කොටන්න ගන්නවා. හොඳටම කිති.” / “ඉතිං හොඳයිනේ ළමයෝ. Fish තෙරපියක් නොමිලෙම හම්බ වෙනවනෙ.”

පළමුවෙනි පැය කිහිපයේදී; මුලින් මුලින්ම නම් එහෙම කතා කියවුණත්- තුන්වෙනි දවස වෙද්දී එතැන කිසිවෙකු නැති වෙලාවක් නොවිණි.

ඒකෙන් මටත් පාඩුවක් වුණේය!

මැදපිටියට ගියාම මං වහන්සේ උපරිම තෘප්තියක් ලබන්නේ ඒ වතුරට බැස, නිසලව- උඩුකුරුව පාවෙමින් හරිත පැහැ විසල් තුරු වියනට එපිටින් පෙනෙන සුනිල්වන් අහස් තලය දෙස බලා හිඳීමෙනි.
ජල තලයේ නිසලව පාවෙන්නට නම් සිරුර ඉහිල් කරගත යුතුය; මනස නිරවුල්ව තබාගත යුතුය. එසේ කිරීම මට නම් භාවනාවකි.
ඒ ඉරියව්වෙන්ම හිඳගෙන මා බලන්නේ ඉහළින් පෙනෙන තුරු පත් ස්තරය දෙසයි. ඒ තුරු පත් වියනේ කොළ සමහරක් ළා පැහැතිය; සමහරක් තද පැහැතිය... ලා කොළ පැහැයේ සිට තදම කොළ පැහැය දක්වා වර්ණ විශේෂයන් සිය ගණනාවක්... ඒ මදිවාට කළු හෝ දුඹුරු හෝ පැහැවලින් පෙනෙන අතු- ඉති- නටු... අතරින් පතර රහසින් පහළට රිංගන රන්වන් සූරිය කිරණ...

‘නිදි, හැමදේම වචනවලින් කියන්න පුළුවනිද?’ මගේ චිත්තය මගෙන්ම විමසයි.
ඒකට දෙන්නට වෙන උත්තරය නිෂේධාර්ථ එකක් නිසා, ඒ සොබා අසිරි වරුණය කීම පසෙක තබා අපේ ප්‍රධාන කතන්දරයට යමි...

අපරාදේ කියන්නට බැරිය.
වාහන ටික කඳවුරු බිමේ ගාල් කළා විතරය. චිරන්ත ඩිෆෙන්ඩර් රියේ උඩට නැංගේය. ලොරියක තරම් බඩු පටවා තිබුණේ එතැනය. කූඩාරම්, කොට්ට, මෙට්ට, පැදුරු, හැලි වළං, බාල්දි, ලණු, කැති, පොරෝ, උදලු... ප්‍රශ්නය- තිබුණේ මොනවාද කියන එක නොවේ; නොතිබ්බේ මොනවාද කියන එකයි.

ඒ අතරේ සරත් වයරින් පටන් ගෙනය! ඒ වගකීම; camping site එක ඒකාලෝක කිරීමේ වගකීම සරත් සතු රාජකාරියකි.

දැන් කොච්චර ලොකු කැලයක වුණත් අප ඉන්නේ අඳුරේ නොවේ! (ෆොටෝ- සෙරාන් එච් ගමගේ)  

අප ඉස්සර නම් මැදපිටියේ අඳුර පළවා හැරියේ ලන්තෑරුම් දෙක තුනක උදව්වෙනි. එතකොට අපේ ලොකුම ආලෝක ප්‍රභවය වුණේ ගිනි මැලයයි. ඊට පස්සේ පැට්‍රොමැක්ස් ලාම්පු දෙකක් ඒ තැන ගත්තේය. පැයෙන් පැයට විතර හුළං ගහන්නට සිදු වීම අපට ඉක්මනින්ම ඒවා එපා කෙරෙව්වේය.

‘පොඩි ගෑස් සිලින්ඩරේ එක්ක තියෙන ලාම්පුව ඊට වඩා හැන්ඩි!’ ඇත්තය. අපි ඒවා දෙකක් මිලදී ගත්තෙමු.

“මේ සැරේ අපිට ගෙනියන්න convertor එකක් ගත්ත. වාහනේ බැට්රියෙන්ම ඒක වැඩ කරයි. බල්බ්ස් පහක්-හයක් දාගත්තම මදැයි.” ප්‍රියන්ත ඊටත් පස්සේ වතාවක කීවේය. එතැන් සිට අපි අනෙක් ආලෝක ප්‍රභවයන්ට ‘යන්න’ කිව්වෙමු. දැන් කොච්චර ලොකු කැලයක වුණත් අප ඉන්නේ අඳුරේ නොවේ!

ඉතිං සරත් වයරින් කරන අස්සෙම, චිරන්ත කූඩාරම් අටවන්නට පටන් ගෙනය... හරිශ්, ගයා, මර්වින් කොළරොඩු අතුගා දමමිනි... තව සෑහෙන දෙනෙක් එයාලට උදව් දෙමිනි...

“මැණිකේ, ඔයා රෑට හදන දේවල් අපිට කිව්ව නං අපි එළවලු සුද්ද කරල- කපල තියන්නං.” රසිකා- මල්කාන්ති- බබිතා- සඳුනි කට්ටිය ලැහැස්ති වෙන්නේ ඒකටය.
“බත උයන එක පරක්කු වුණත් කමක් නෑ මැණිකෙ, තේ එකක් හදනව නං. මොනවා හරි කාල තේ එකක් බීලා ඉඳිමු.” ලලිත් ප්‍රියන්ත මහතාගේ ඒ කාලෝචිත යෝජනාව ඒකමතිකව සභා සම්මත වුණේ නිමල් දිසානායක මහතා එය ස්ථිර කළ බැවිනි.

මල්කාන්තිත් බබිතාට උදව් වෙන්නට ඉදිරිපත් වුණාය. (ෆොටෝ- සෙරාන් එච් ගමගේ)  

“පොඩි අක්කේ, එහෙනං ඔයා තේ හදනවද?” මැණිකේ අහද්දී මල්කාන්තිත් බබිතාට උදව් වෙන්නට ඉදිරිපත් වුණාය.

අපේ ගමන්වලදී ප්‍රධානම තැනක් ගන්නේ කෑම-බීමයි! මේ වතාවෙත් එහි වෙනසක් වුණේ නැත. ඒත්, එහෙමය කියලා වනයේ සැරිසරන ‘වන+චර රාජකාරිය’ නොසලකා හැරුනෙත් නැත.

“හෙට දෙකට ලසිත් එනවා තවත් සෆාරි jeep එකක් එක්ක. නිමල් අයියෙ, ඔයා ට්‍රැකර් මල්ලිට කියන්න අපිව සත්තු වැඩියෙන් ඉන්න තැන්වලට ගෙනියන්න කියලා. මේ සැරේ කොහොම හරි වෙනදටත් වැඩියෙන් සත්තු ටිකක් බලා ගන්නම ඕනි. නැත්තං මික්කගේ යාළුවන්ට එක සැරෙන්ම කැලේ ගමන් එපා වෙයි...”
“අපෝ නෑ මැණිකෙ ආන්ටි, සත්තු නොදැක්කත් ගමන නං ජොලි... ඇත්තමයි! නියමයි!! ආයෙ පාරක් වුණත් අපි එනවා.”

එදා හැන්දෑවේ දොළ පාරෙන් ඇඟ සෝදන අතරේය, මැණිකෙ නංගිගේ ඉල්ලීම මං ගයාන්ට කිව්වේ.
“ඒක නං මහත්තයා, සත්තු බලන්න යන අයගේ වාසනාව.”
“අපිව බලන්න වරෙල්ල කියල සත්තුන්ට ටෙලිග්‍රෑම් යැව්වොත්...”

එහෙම ටෙලිග්‍රෑම් නොගැහුවත් පසුවදා දහවල් තුනට විතර, නරි තුන්-හතර දෙනෙක්ම කදුරුපිටිය තණ පඳුරු අස්සට ඇවිදින් සිටියහ. ඒත් අපේ කට්ටියගේ වාසනාව එච්චරටම උච්ච වී තිබ්බේ නැති හැඩය. කදුරුපිටිය බංගලාව ළඟට... එතැනින් වමට හැරී දම්බරාව වැව- හොරිවිලගල- විල්මිටිය වැව හරියටය මුලින්ම ගියේ. අලි ඇතුන් දහ දොළොස් දෙනෙකු විතරකි, අපට පෙනෙන්නට ආවේ. එහෙම ඇවිදින් වුණත් එයාලා, කොළඹින් ආපු ‘අපි නෝනා-මහත්තැන්ලා’ ගැන පයිසෙකටවත් මායිම් නොකළහ. උන්ගෙ බඩ පුරවා ගැනිල්ලම කළේ, මනුසතුන් වගේමය!

එහෙම ඇවිදින් වුණත් එයාලා, කොළඹින් ආපු ‘අපි නෝනා-මහත්තැන්ලා’ ගැන පයිසෙකටවත් මායිම් නොකළහ. (ෆොටෝ- සෙරාන් එච් ගමගේ)

“විල්මිටිය වැව- සංස්තාපිටිය වැව-  දිග පිටිය- කොක් එබේ- දග් ගල ඔක්කොටම ඔයාලව එක්කං ගිහිල්ලත් අර රංචුවට වැඩිය ලොකු අලි රංචුවක් පෙන්නගන්න බැරි වුණානෙ.” ගයාන් විස්සෝප වුණේ මහවැලි කඳවුරු බිම් අසලදීය. “මට විතරක් නෙවෙයි, මේ ලසිතලාටත් හිතට හරි නෑ- සත්තු වැඩිය හිටියේ නැති එකට.”

“ඔව් මහත්තයෝ! අද ඔයාල වැඩියෙන් සත්තු දැක්කොත් තමයි තව දවසක වුණත් එන්න හිතෙන්නේ. එතකොටනෙ අපිටත් කීයක් හරි හම්බ වෙන්නේ.”

වස්ගමුවේ වනෝද්‍යානයට එන ඕනෑම කෙනෙකුට වාහනවලින් බැසීමට ඉඩ ලැබෙන්නේ මහවැලි කඳවුරු බිම ළඟදීය. අපිත් ඒ අවසරයෙන් පළ ලදිමු.
“ඔව් ඔව්! කෝපි එකක් හදාගෙන බීලා...”
“මර්වින් අයියේ, කෝපි විතරක් නෙවෙයි. කේකුත් දෙනවා. අපෙ මිත්මගේ යාළුවො තුන්දෙනා එකතු වෙලා අලුවා වගේකුත් හදාගෙන ඇවිත්. එව්වත් දෙනවා.”

“එහෙම නේන්නං කෙරෙන්න ඕනි. කෝ බලන්න අලුවා...”
“හරිශ්චන්ද්‍ර අයියට බලන්න විතරක් නෙවෙයි, කන්නත් දෙන්නං කෝපි හැදුවම...”
“මේ ගල් ඉබ්බා ඔහොමමයි මැණිකේ. ටිකක් ඉවසල හිටපං මචං, පෙරේතකම...” නෙවිල් දබරයකට මුල පුරයි.

“ඔතැන රණ්ඩු කර කර ඉන්නෙ නැතිව නෙවිල් අයියේ, මෙන්න මෙහාට ඇවිත් මේ ළිප අවුළුවල දෙන්න.” බබිතාට කීකරු වී නෙවිල් එතනට ගිය නිසාය, තවත් ‘විනෝද සමයම’ක් නැවතුණේ.

“වැඩි වෙලා මෙතන නවතින්නේ නැතිව ඉක්මනට ගියොත් අපිට යුදඟනාපිටියට එහෙමත් ගිහින් බලන්න පුළුවනි.”
“ඉක්මනට යමු ගයාන්- කෝපි බීලා... අපි ආපු පැත්තටම ගිහින් නේද යන්නෙ...”
“ඔව්! අනිත් පැත්තට ගියොත් වවුල් ඇබේ- හතරමං හංදිය- උල්පත් හත- කිරි ඔය පහු කරලා, ඒ පැත්තෙන් මැදපිටියට එන්න පුළුවනි.”

හරිශ්චන්ද්‍ර උන්නැහේ විතරකි ගයාන්ගේ සහයට හිටියේ. ‘අද මාත් නිඳා ගන්නෙ නෑ. ඒ මල්ලීගේ තනියට ඉන්නවා!’යි කියා පුටුවක් තියාගෙන වාඩි වුණේ හරිශ්ය.  (ෆොටෝ- සෙරාන් එච් ගමගේ)

“අපි ඔය වටේ පාරෙන් දෙතුන් වතාවක්ම ගිහින් තියෙනවා, ගයාන්. ප්‍රියන්ත- නෙවිල් අපි කට්ටියම, ඔය හැම camping site එහෙකම ඉඳලත් තියෙනවා... අපි මෙහෙ කෑම්පින් කරලා නැත්තෙ මෙතන; මහවැලිය ළඟ විතරයි. මෙතනටත් එන්න බුක් කරලා තියෙන දවසට කලින් දවසේ රෑ තමයි, මෙහෙදී අලියෙක්ට පෑගිලා ට්‍රැකර් කෙනෙක් මැරුණේ... එදා රෑත් එක්කම දවස් තුනක් අපි හිටියේ මැදපිටියේ. ඊළඟ දවස් දෙක තමයි මෙහාට එන්න හැදුවේ...”

මගේ පම්පෝරි කතන්දර අහගෙන හිටි ගයාන් try කළේ, යුදඟනාපිටියෙදීවත් අපට ලොකු අලි රංචු කිහිපයක් පෙන්වන්නටය. ඒ රවුම් ගහලා වුණත් හමු වෙන්නට බැරි වුණු ලොකුම අලි රංචුව හිටියේ, අපේ ළඟටම ඇවිත්ය!

“පුදුමේ කියන්නෙ අපි අච්චර රවුං ගහන අස්සේ මෙයාල මෙහාට ඇවිත් ඉන්න එකනේ.”
“ෂ්..ෂ්...ෂ්... සද්ද කරන්න එපා. අලි රංචුව බය වෙලා කැලේට යයි!” අලි රංචුව ඇවිත් උන්නේ අපේ tentsවල‍ට අත පොවන මානයේ පිට්ටනියටය.
“අම්මෝ! උන් යන පාටක් නැහැනෙ...” / “කරුවල වැටෙන්නත් එනවා.” / “අලි ඉන්න අස්සෙම වාහන සයිට් එකට හරවන්නේ?” / “ඇයි බං, මෙතැන ගල් ගැහිලා ඉඳල හරි යනවද?” / “මෙච්චර කිට්ටුව අලි ඉන්නැද්දි මට නං නිඳා ගන්න බෑ.”

එහෙම කතන්දර කියනවා ඇහුණත්, එදා රෑ වැඩියෙන්ම නිඳි මැරුවේ නම් ගයාන්ය. සැරෙන් සැරේ නැඟිට-නැඟිට ගිහිං ගිනි මැලයට දර කොට දමමින්; ගිනි බෝ කරමින් වැඩියෙන්ම මහන්සි වුණේ ගයාන්ය.
වෙනිවැල්ගැට බෝතල හිස් කරන්නටත් උපරිමයෙන්ම දායක වුණු අපේ හරිශ්චන්ද්‍ර උන්නැහේ විතරකි ගයාන්ගේ සහයට හිටියේ. ‘අද මාත් නිඳා ගන්නෙ නෑ. ඒ මල්ලීගේ තනියට ඉන්නවා!’යි කියා පුටුවක් තියාගෙන වාඩි වුණේ හරිශ්ය. (ස්තුතියි ගයාන්! හරිශ් ඔයාටත්.)

අපේ නඩේ ලලනාවෝ...  (ෆොටෝ- සෙරාන් එච් ගමගේ)  

‘කපුටා කොයි සතාගෙත් මස් කනවා. හැබැයි උගේ මස් කන්න කිසිම සතෙක් නෑ’ කියන කතාව ඉන්තේරුවෙන්ම බොරු වුණෙත් මේ සංචාරෙදිය. ඒක වුණේ අපේ නෙවිල්ට. නෙවිල් උන්නැහේ හැමෝටම card ගහනවා. හැමෝවම bite එකට ගන්නවා. මේ සැරෙත් එහෙමමයි. වැඩියත්ම බයිට් වුණේ හරිශ්!

“ඔයාල දන්නෙ නැහැනෙ. මල්කාන්ති තමයි අපේ පන්තියේ හිටි ලස්සනම කෙල්ල.
කොහෙද, මේ හරිශ් උදේ-හවස දෙකේ මල්කාන්ති ඉස්කෝලෙට යන වෙලාවට අන්දර වැට කප්පාදු කර-කර ඉඳල අපිට කලින් මල්කාන්තිව දාගත්තා. අලියෙකුට ගිල්ලවනවා වගේ වත්තෙ දිවුල් ගහේ ගෙඩි සේරම මෙයාට ගිල්ලෙව්වා...
අන්තිමට මෙයාලගෙ
වෙඩිමෙදි bestman වෙන්න වුණෙත් මට...” නෙවිල් රඟපාමිනි, කියන්නේ.

එතකොට මල්කාන්ති හිටියේ එළවලු කපමිනි. “අනේ, මේ ළමයිනුත් ඉන්න අස්සේ නෙවිල් අයියා කියන විකාර කතා...”
“ගණන් ගන්න එපා මල්කාන්ති. ළමයි කිව්වට එයාලත් දැන් කසාද බඳින වයසෙනෙ ඉන්නෙ... කවුරුවත් නැහැනෙ නෙවිල් අයියට විහිළු කරන්න... ඒකයි ඔය...”
‘ඉන්නකො එහෙනං.’ මල්කාන්තිට හිතුණා වෙන්නැති.

“අයියෝ නෙවිල් අයියෙ. අපරාදෙනෙ ඔයා හිතේ තියාගෙන ඉඳල තියෙන්නෙ. හරිශ්ට කලින් ඔයා මට කියන්න එපැයි...” එතකොට නම් හැමෝම නෙවිල් මඩවන්නට ගත්තේ, සේරම වැඩ නවත්තලාය.

පළපුරුදු චෙෆ් කෙනෙකු වන හේෂානුත් මැදපිටියේදී තරු පන්ති හෝටලවල ඇති පහසුකම් නැතිවම වුණත්...

මේ වතාවේ වන+චර වීමේ විස්තර blog posts තුනකට ගෙනියන්නට බැරිය. ඒ නිසාය සමහර විස්තර නොකියන්නේ. එහෙත් 26 වෙනිදා හැන්දෑවේ තලාවේ නිවසකදී කෙරුණු තේ පානය- රාජගිරියේ මැක්ඩොනල්ඩ් එකෙන් රෑ කෑම හා අයිස්ක්‍රීම් සංග්‍රහය වැනි දේවල් අපේ ගමන තවත් රස ගැන්වූ බව පමණක් කියමින්- ඒවාට අනුග්‍රාහකත්වය දුන් සැමට ස්තුති කරන්නෙමි!

ඒත් සමස්තයක් විදිහට බලද්දී, මෙවර කෑම-බීම ගැන කියැවී තිබෙන්නේ අඩුවෙනි!

එහෙම වුණේ නිකම්මත් නොවේ. සේරම ඉස්තරම් නිසාය! අපේ නඩයේ කාන්තාවන් කෙඳිරිල්ලක්වත් නොනඟා උයන-පිහන, තේ හදන වැඩවලට ready පිට සිටි හින්දාය!! කරන්නට තියෙන්නේ ඒ හැමටම ස්තුතියි කීමය.

මං වහන්සේ ඒ රාජකාරිවලට කිසිම උදව්වක් නොදුන්නු ගාණය. මොන එහෙකටද මගේ උදව්?
පළපුරුදු චෙෆ් කෙනෙකු වන හේෂානුත් මැදපිටියේදී, තරු පන්ති හෝටලවල ඇති පහසුකම් නැතිවම වුණත් වැඩට බැස්සකොට. හේෂාන් Fried Rice හැදුවේය; කම්මැලි නැතිවම අපේ බොනපාට්ලාට bite එහෙමත් හදා දුන්නේය.

“ඒ bite සේරටම වැඩිය හොඳ බයිට් එක තමයි Mr. දිසානායක බයිට් එක. නිමල් අයියට කෙළවුණේ මේ සැරේ තමා.” හක්ස්ලි තවමත් කියයි.
“එයා අපි ගැන හැම රෙද්දම
අර චීත්තවාහිනියට ලියනවා... ලෝකෙ හතරවටේ මිනිස්සු මිනිහට වැඩිය දන්නේ අපි ගැන.”
“ඒක ඇත්ත මචං...” හරිශ්චන්ද්‍රත් නෙවිල්ගේ කතාවට මුක්කු ගහයි.

“පුළුවන් නං ලියනවකො, තමුසේ මේ නාගත්ත හැටි ගැනත්...” නෙවිල් කරන්නේ අභියෝගයකි.
මේ පිළිගන්නේ ඒ challenge එකයි.
කරුණාකර මේ ඉතා කෙටි වීඩියෝව නරඹා සිටිනු මැනැවි.

ඒ හූ කියන්නේ මේ ලියන්නාටය!

දඹුල්ලේ සිට බකමුණ තෙක් තැනින් තැන පාර හදමින් හිටි නිසා අප හැම දෙනාම හෙම්බත් වුණු හැටි පසුගිය කොටසේදී ලිව්වෙමි.

“අපි නාඋල පාරේ යන්නයි හිතුවේ... ඒ පාර හොඳයි නේද?” ප්‍රියන්ත ඇහුවේ සෆාරි රියේ ලසිතගෙනි. ලසිතත් වැඩි හොඳට විස්තර ඇතිවම අපට පාර කිව්වේය.

ආපසු ගමනේදී ඉදිරියෙන්ම ආවේ සරත්ගේ van එකයි. මං වහන්සේ හිටියෙත් ඒකෙය.
“අන්න අන්න. මොරගහකන්දට කියලා බෝඩ් එකක්... වමට වමට...” මට කියැවිණි. සරත් වාහනය වමට හැරෙව්වේය. අපේ කට්ටියේ අනිත් වාහනත්...

යාර සීයක් යන්නටත් කලින් මට සැක සිතිණි... පාර එතරම් පුළුල් නැති නිසාය ඒ.
“පාර හරිද නිමල් අයියේ?” සරතුත් ඇසුවේය. ඒත් වේගය  අඩු කළේ නැත. “පාර දෙපැත්ත නං මාර ලස්සනයි.”
“චිරන්ත, ගූගල් එකෙන් බලන්නකො පොඩ්ඩක්...” මං කිව්වේ, ඉස්සරහ ආසනයේ හිටි චිරන්තට.
“සිග්නල් නෑ නිමල් අංකල්!”

“දැන් නං පාර සවුත්තු වේගෙනත් එන්නේ...”
“කාව හරි දැක්ක ගමන් අහමු.” යෝජනාව මැණිකේගෙන්. උත්තර සරත්ගෙන්... “මනුස්ස පුළුටක් පේන්න නෑ හලෝ!”

තවත් ටිකක් ගියාමය, මෝටර් සයිකලයක ජෝඩුවක් ආවේ. “මේ පාර ගමෙන් ඉවරයි. දැන් ගමකුත් නැති තරං. දැනටමත් පාරට අලි බැහැලා ඇති. ඉක්මනට ඉඩ ඇති තැනකින් හරවාගෙන යන්න මහත්තයෝ. මේ ඉසව්වෙත් අලි.”

මොන වාහනය හරවා ගැනිල්ලක්ද?
එතකොටත් අපේ කට්ටියටම මගේ වැරැද්ද ඉව වැටිලාය. නිමල් දිසානායකට හූ කියමින් ඩෙඟා නටන්නට පටන් ගෙනය෴0෴

36 comments:

  1. නිමල් ලස්සනට ගලපලා කතාව රසවත්ව ලියලා තියෙනවානේ සාමාන්‍යයෙන් කෑම්පිං කියල කියන්නේ වෙනමම චාරිකා අත්දැකීමක්. සැපට ඉන්න හොඳ හෝටලයකට ගිහින් හොඳට කාලා බීලා විනෝද වීමට වඩා සෑහෙන කටුක දුෂ්කර ජීවිත අත්දැකීමක් වුවත් කෑම්පින් කියන්නේ ජීවිතයේ වරක් හෝ ලබාගත යුතු අත්දැකීමක්. අපේ රට වර්ග කිලෝමීටර 65,610ක් තරම් කුඩාතර දිවයිනක් වුවත් අපිට කඳු මුදුනක් උඩ කෑම්ප් එකක් ගහලා සුපිරිම අත්දැකීමක් ගන්න කියාපු කඳු රැසක් රටේ හතර දිග්බාගයෙන්ම හමුවෙනවා. රට මැදට වෙන්නටම පිහිටා ඇති කඳුකරය නිසා රටේ ඕනෑම පළාතක අයෙක්ට පැය කිහිපයක ගමනකින් කඳුකරය කරා පැමිණෙන්නටත් ලංකාවේදී හැකියි.

    හැබැයි ලංකාව මෙන් 117 ගුණයකටත් වඩා විශාලතර ඔස්ට්‍රේලියා මහද්වීපයටම ඇති උසම කන්ද මීටර 2228ක Mount Kosciuszko කන්දයි. ඒ අනුව කඳු නම් ලංකාවේදි නම් බස් එකක වුණත් පැයක් දෙකක් ගියාම හමුවන අත්දැකීමක් වුනාට ලෝකේ සමහර පළාත්වලට කඳු යනු බොහෝ දුර්ලභ අත්දැකීමක්. ඒක රටින් පිටට එනකම් දැනෙන්නේ නැහැ.

    ඒ වගේම මේකේ සමහරු දේශපාලනික සංකල්ප ගැන කතා කරල තිබුණා, මම හිතන්නේ ඊළගට රටේ නායකත්වය බාර ගන්න නම් ජවිපෙ තමන්ගේ පදනම වුන නිර්ධන පන්තිය දෙකේ කොලයට දාලා මාලිමාව කියලා අටමගලක් අටවාගෙන මධ්‍යම පන්තිය බා ගන්න ගිහිපු එකේ ප්‍රතිඵල තමයි ඔය. අන්තිමට ජවිපෙට වෙන්නේ අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති වෙලා 3% 0.3%ටම අඩු වෙලා නැත්තටම නැති වෙලා යන එක. ඔය මධ්‍යම පන්තිය කියන උන් අරගලයට එකතු වුනේ රටේ ආර්ථික අර්බුධයත් එක්ක උන්ගේ ආතල් කුඩු වෙච්ච නිසා මිසක් මොනම විදියකින් වත් ලංකාවේ පවතින මේ ධනවාදී සමාජ ක්‍රමය වෙනස් කරන්න ඕන නිසා නෙවෙයි. අරගලයේ අන්තිම කාලයේදී අපි කොමියුනිස්ට් ක්‍රමයක වැදගත් අංග වන හැමෝටම එකම පඩියක් ගෙවීම, පෞද්ගලික දේපල අයිතිය තහනම් කිරීම වගේ අංග ඇතුලත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිකුත් කරාම ඔය මධ්‍යම පන්තිය කියන අපතයින්ට තරු පෙනිලා අරගලයෙන් අයින් වුනා විතරක් නෙවෙයි රනිල් අපේ නිර්ධන පන්ති සහෝදරයන්ට හමුදාව ලවා අමානුෂික ලෙස පහර දීලා පලවා හරිද්දි උන් සතුටුත් වුනා. දැන් උන් හැමෝම උන්ගේ සුපුරුදු කුල්ටූර් ජීවිතයට නැවතත් ගිහිල්ලා. අරගලයක් කියලා දෙයක් තිබුණාද කියලා වත් උන්ට දැන් වගක් නැහැ. ජවිපෙ දැන් වත් ඔය මධ්‍යම පන්ති මාලිමා මර උගුලෙන් ගැලවිලා කරන අරගලයක් නිර්ධන පන්තියත් එක්ක කලොත් ඒක ඒ ගොල්ලන්ටත් රටටහ් හොඳයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකත්වය යටතේ රට තුල නියම පාලනයක් බිහි කරන්න නිමල් එකතු වෙන්න අපිත් සමග.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි!
      අපි වැඩිය මාකටින් දන්න ජාතියක් නෙවෙයි වගේ නේද?

      Delete
  2. විස්තරේ මරු!
    පළපුරුදු චෙෆාට එදාවත් නිදහසක් දුන්නැද්ද... කෑම නොහදා ඉන්ට 😄

    ReplyDelete
    Replies
    1. මේ ගමනේදී මම මොකුත්ම හැදුවේ නැහැනෙ නමී... නිදහසේම හිටියේ...

      Delete
  3. වස්ගමුවෙ ගිහින් නෑ. නිමල් ලියන දේ කියවලා තමයි දැනගන්න වෙන්නේ. මේක හොඳ රසවත් ගමනක් වගෙයි.

    හැම වෙලේම කැම උයන්න ගියාම අවට බලන්න තියෙන වෙලාව අඩු වෙන්නෙ නැද්ද. නමුත් ඉතින් ගොඩක් කට්ටිය ගියාම කඩෙන් අරන් කන එක ප්‍රායෝගික නෑනෙ. කැලේ ඇතුලෙ ටේක් අ වේ එහෙම නැතුව ඇති නේද.

    කෑම වට්ටෝරු ඉඳලා හිටලා දාන එක හොඳ අදහසක්. ගොඩක් ඉස්සර නිමල් දාලා තිබුනා scrambled eggs (හෝ ඊට සමාන) හදන හැටි. ඒකෙන් මම හොඳ ටිප් එකක් ඉගෙන ගත්තා- ලූනු එකතු කරන්න ඕනෙ scramble එක ලිපෙන් අයින් කරන්න කිට්ටුව කියලා. එතකොට තමයි ලූනු crispy ලෙස එන්නෙ කියලා නිමල් කියලා තිබුනා

    "ලෝකෙ හතරවටේ මිනිස්සු මිනිහට වැඩිය දන්නේ අපි ගැන". ඒගොල්ලො එහෙම හිතාගෙන හිටියට පාඨකයින් උනන්දු නිමල් ගැන දැන ගන්නනෙ 😄.

    ReplyDelete
    Replies
    1. වස්ගමුවේ ගිහින් නෑ කියල දැක්කම දුකත් හිතෙනවා Lotus. ඒ අතින් අපි සෙට් එක නං හෙනම වාසනාවන්තයි.
      විල්පත්තුව, මාදුරුඔය, හෙනානිගල, යාල, කුමන, සිංහරාජ, උඩවලව, ලුණුගම්වෙහෙර, රන්දෙනිගල, දෝතළුගල, නකල්ස්, මන්දාරම් නුවර, බත්තලන්ගුන්ඩුව... හැම තැනම කෑම්පිනුත් කරලා තියෙනවා.
      රජගල, රිටිගල, ඩෙවිල්ස් ස්ටේයා කේස්, පාද යාත්‍රා, දාස්තොට වගේ තැන ගොඩකටත් යන්න වාසනාව ලැබුණා.

      Lotus, ලංකාවේ එක වනෝද්‍යානයක් ඇතුලෙවත් කෑම-බීම විකුණන තැන් නැහැ. පිවිසෙන තැනට කලින් වනජීවී ටී ෂර්ට්ස්- පත්‍රිකා විකුණන තැන් කිහිපයක් තිබුණා මතකයි- රන්දෙනිගල, විල්පත්තුව වගේ තැන්වල. ඒවාත් හැම තැනම නෑ. එහෙම නැත්තෙ අලෙවියක් නැති නිසා වෙන්නැති.

      Delete
    2. ඔයා කියල තිබ්බනේ ලෝටස් //"ලෝකෙ හතරවටේ මිනිස්සු මිනිහට වැඩිය දන්නේ අපි ගැන". ඒගොල්ලො එහෙම හිතාගෙන හිටියට පාඨකයින් උනන්දු නිමල් ගැන දැන ගන්නනෙ 😄.// කියලා. ඒ වගේමයි, කෙනෙක් ගැන විස්තර කියනවා කියන්නෙම එයාගේ වටේ ඉන්න හිතමිතුරන් ගැනත් කීමක් නේද?

      Delete
    3. Lotus, කෑම ගැන විස්තර සැරෙන්සැරේ කියවෙනවා, ක්රිස්පී ගතියට ගන්නම නොවුනත්, සුප් එකක් හදනකොටත් ලීක්ස්, ගෝවා, ළූණු, කොත්තමල්ලි කොළ වගේ ජාති එකතු කරද්දී, මම ඒවා එකතු කරන්නෙ ලිපෙන් බාලා. සුප් එකේ රස්නෙන් තැම්බෙන්න හැකි විදිහට.

      Delete
  4. ඉස්සර නං මාර සරණියෙ, අපූරු කෑම වට්ටෝරු උපදේස තිබ්බා. අපි සරලයි කියල හිතන මිරිස් බැදිල්ල හා බිත්ත්‍ර තැම්බීමට පවා වෙලාවක් සහ කලාවක් තියෙන බව දැන ගත්තෙ ඒකෙන්. ඒ ගැනත් ටිකක් සලකා බලමුද ආයිබෝං?

    ReplyDelete
    Replies
    1. @ බස්සා

      ඔය මාර සරණ කියන්නේ බ්ලොග් එකක් ද? ඔවු ඔයා හරි ඔය කෑම හදන එක වෙනමම කලාවක් තමයි. ගෙදරදී මම ඉතිං වැරදිලාවත් කුස්සියට යන්නැති එකානේ .. ඒකයි රටින් පිට යනකම්ම උයන්න බැරුව හිටියේ ඒත් මං සති ගානෙං වැඩේ එළට අල්ලගත්තා. මමත් මුලින් උයන්න පටන් ගත්ත කාලෙම කොකටත් කියලා ලංකාවෙන් අරගෙන ගියපු ක්‍රිමිරාජ පැකට් එකක් බෑග් එකේ තියාගෙනම තමයි වැඩේට බැස්සේ.

      හැබැයි සමහර අය ඉන්නවා කවදාවත් හරියට පදමක් අල්ලගන්න අත්ගුණයක් නැති අය. අපේ පුංචම්මෙක් ඉන්නවා අවුරුදු 16දී ඉදන් උයන්න පටන් අරගෙන ඒත් තාම හරියට රසට හොද්දක් මාළුවක් උයාගන්න බෑ. කට්ටිය කියනවා "අපෝ උන්දලාගේ ගෙදර ගියහම ජබොර හොදි කන්න වෙන්නේ" කියලා.

      කලකට ඉස්සර ලංකාවේ අපේ ගෙවල් ළඟ පොඩි එකෙක් දවසක් මට කතා කරනවා "මා..මේ, වැලිතලප බොන්න එන්...න" කියල. ගිහින් බලපුවම ඒ ගෙදර අක්කි වැලිතලප හදල. පොඩි එකා කිව්වේ ඇත්ත තමයි. ඒක කන්න නම් කොප්පයක් ඕන වෙනවා. තව අපේ එහා ගෙදර ටීචර් අක්කියා කිරි ටොපි හදන්න ගිහින් පොඩි එකා අපේ ගෙදර ඇවිත් කියුවා “අපේ අම්මා අද බුල්ටෝ හැදුවනේ" කියලා, ඒ නිසා ඔහොම අවාසනාවන්ත දේවල් වෙන්නේ හරි අනුපාතය සහ තාක්ෂණික ක්‍රම පිළිබඳව දැනුම සහ කුසලතාවන් (skills) නොමැතිවීම නැත්නම් සරලව පදම සහ අත්ගුණය අවුල් ගියාම. එහෙම නේද?

      Delete
    2. ඒ බ්ලොග් එක දැන් නෑ. ඒත් මෙන්න රෙසිපි ටිකක්( valid 30 days only) :
      https://gofile.io/d/W5HpbF
      සාදර අනුග්‍රහය බුරතීනෝ

      Delete
    3. බස්සා, ඇනෝ, බුරතිනෝ තුන් දෙනාටම ස්තුතියි ඉස්සෙල්ලම්.
      ලංකාවේ ගොඩක් අය මිරිස් කරල් බදින්නවත් දන්නේ නෑ, හරි පදමට. මිරිස් බැදලා චුට්ටකින්ම හං නොවෙන්නත් ලුණු රස දැනෙන්නත් එපැයි. ඒ කලාවවත් දන්නැත්තං...
      හැබැයි ඔහොම කයිවාරු ගැහුවට මේ ලියන බක පණ්ඩිතයටටත් තවම බැරිවෙලා ඉන්නේ පදමට අලුවා හදාගන්න.
      මේ post එකේ කිව්වනේ- මහවැලියෙදී අර ලමයි තුන්දෙනා හදාගෙන ආව අලුවා ගැන. ආන්න අලුවා.... කොච්චර මරුද කිව්වොත් මං පෙරේතකමට පස්සේ කන්න කෑලි දෙකකුත් ඉල්ලා ගත්තා!

      Delete
  5. කටේ පිට්ටු අප්පුහාමි නෙවිල් වගේ
    ෆොටෝ දුන්නෙ එස් එච් ගමගේ
    ගමනේ විස්තර හොඳ රසයි අගේ
    කමෙන්ට් වලින් බිලී බාන අයුරු රඟේ

    ReplyDelete
    Replies
    1. ගිනියා වගේ ලිව්වට කියවන්නෙ "ගිනි පිග්" කියල නේද? ප්‍රංස-අපබ්‍රංස වචන මූලයක් වෙන්ටෑ?

      Delete
    2. https://youtu.be/fcOCI4d2P2o?t=5

      Delete
    3. අපි කවුරුත් කැමතියිනේ බැබලෙන්න
      ඉතිං තව අයට ඉඩ දෙමු හොඳ හිතින
      සමහරු ලියති අන් ළමුනට උප්පැන්න
      ස්තුතියක්වත් අනුනට පුද දෙන්න

      අනුන්ට හිමි ගෞරවය පුද දෙන්නත්; සද් භාවයෙන්ම ඒවා අගය කරන්නත් මං කිසිම ලෝබකමක් නැති නිසා වෙන්නැති

      Delete
    4. ... මට හිත මිතුරන් ගොඩක් ඉන්නෙත්- එයාලා මට ගොඩක් උදව් වෙන්නෙත්...

      Delete
    5. ගිනීයා පිග් කියපු ගමන්ම ඉස්සර මගේ ඔලුවට ආවේ ඌරො ජාතියක්.
      ඒ වගේමයි ගිනිපිග් කියනකොටම මතක් වෙන්නේ අපෙ අජිත් මල්ලී හදපු කුකුළු වර්ගයක්. මේ දැන් මට හිතට ආවා- ගිනි කිකිළි වචනේ හැදුනෙත් එයාලගෙන් වෙන්නැති කියලා.

      ඔය හේතු දෙකම නිසයි මං 'පර්යේෂණාගාර මීයන්'ට ගිනීයා පිග්

      Delete
    6. ... කියලා සහසුද්දෙන්ම කිව්වේ.

      Delete
    7. මොකක්ද මේ කොමෙන්ට් කෑලි කෑලි දැමිල්ල

      Delete
    8. ආසාවට නෙවෙයි නමී. හිටි ගමන් සමහර comment කරද්දී අගින් ටිකක් හැලිලයි publish වෙන්නේ... ඒකයි.....

      Delete
    9. හෙහ්, හෙහ් ඔයින් ගියා මඳෑ? පෝස්ට් එක අවුල් නැත්තම්, ඕන පුපප්. දැන් සෑහෙන කල ඉඳන් නෙව ඔය අවුල ගැන කියන්නෙ, අර ඉස්සර හදලා දුන්න කෙනා එන්නෙ නැද්ද?

      කවියෙ අන්තිම පදෙන් කිව්වෙ නිදි ගැන නෙමෙයි. තේරුණයි කියල හිතනවා.🧐🤔

      Delete
    10. ගිනී පිග්ස්

      Guinea = ගිනී Sea =සී වගේ

      Delete
    11. Tea = ටී

      Pea = පී

      https://en.wikipedia.org/wiki/Guineafowl
      ගිනී කුකුල්ලු

      Delete
    12. මම දැකලා තියනවා චෙල්සී (Chelsea)ට වැරදියට චෙල්සියා කියල ලියල තියනවා.

      ඒත් කවුරුවත් මුහුද (sea)ට සියා කියලවත් තේ(tea)වලට ටියා කියලවත් ලියන්නෙ නෑනෙ.

      Delete
    13. ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ.
      අපේ අජිත් මල්ලී හැදු සතුන් Numida Linnaeus බව ඔයා එවූ ලින්ක් එකට ගියාම ෆොටෝවලින් දැනගත්තා.

      Delete
    14. බස්සා මහත්තයෝ,
      කවියේ අන්තිම පදය නොතේරුනා නෙවෙයි. හොඳේ. එහෙම කරන උදවියට හඬ නඟන්න උචිත වේදිකාවක් නැතිව ඇති වගේ. එයාලා සංවරව එහෙම කරන නිසා අපි ඒවා උහුලමු.

      කොම්පියුටරේ හදලා දෙන්න මංජු ආවා. වැඩේ තියෙන්නෙ මේ දවස්වල හවස් බාගේ වැඩි වෙලාවක් මංඉන්නේ කොට්ටාවේ වීමයි.

      Delete
  6. https://miduma.blogspot.com/2023/08/blog-post_21.html

    ReplyDelete
  7. අගෙයි.

    මේ දවස්වලත් සත්තුන්ට උදාවෙලා තියෙන්නෙ එච්චර හොඳ කාලයක් නෙමෙයි. මේ පෑවිල්ල තව ටික කාලයක් අල්ලල හිටියොත් ඔය කැලෑ වල ඉන්න ගොඩක් සත්තුංගෙ ඉරණම විසඳෙයි. එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම ප්‍රාර්ථනා කරනවා ප්‍රසෝ!
      සති දෙකකට කලින් අඟුණකොළපැලැස්සේ හිතවතෙක් කිව්වා දැන් එයාලා ඒ පැත්තේ කිසිම මසක් කෑමට නොගන්නා බව. එහෙම කරන්නෙ මිනිස් තිරිසන්නු කුඩා වතුර වළවල්වලට වස දාලා වනසතුන් බුරුතු පිටින් ම්රලා- මස් කරන හින්දලු.
      පෙරේදා ඒ ගැන නිව්ස් එකකුත් දැක්කා...

      Delete
    2. අපෝයි! දෙයියනේ

      Delete
    3. මට හිතෙන්නේ බස්සා මහත්තයො අපෙන් මනුස්සකම - හිතේ තෙතමනය තුරන් වෙලා තියෙන තරම පෙන්නන එක දර්ශකයක් මේ කියලයි.

      Delete
  8. හපොයි අන්තිමට පර වැරදුනාද ......

    ReplyDelete
    Replies
    1. ඒක හින්දනේ අර හූ සග්‍රහය ලැබුනේ, ලලිත්.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්