මැංචෝසන්
සාමිට සේනාපතියගේ ‘හොර’ ඉව
වැටෙන ලස්සන! |
බිව්වහම පොඩ්ඩක් හරි වෙරි වෙන්න එපායැ. ඒත් අපේ සේනාපතිය නෙවෙයි, වෙරියක
හෝඩුවාවක්වත් පෙන්නුවේ. කොච්චර බිව්වත් ගිරුවාව මැදින්
කෝඳුරුව ගියා වගෙයි.
මේක මහ පෙරෙහේලිකාවක්.
චෙඃ! ‘මැංචෝසන් චාරිකා’ පොතේ සිංහල අනුවාදය
කරපු ඩී. බී. කුරුප්පු මහත්තයා පරලෝ සැපත් වෙලත් දැන් අවුරුදු පහක් වෙන්න
කිට්ටුයි. (එතුමා අභාවප්‍රාප්ත වුණේ 2017 ජුනි 23 වෙනිදා.) කුරුප්පු මහත්තයා
හිටියා නං ලේසියෙන්ම අහගන්න තිබ්බා ‘ගිරුවාය මැදින් කෝඳුරුවා ගියා වගේ’ කියමනේ
සුලමුල ඔක්කොම.
‘සිංහල සාහිත්‍ය විශ්ව කෝෂය’
ග්‍රන්ථ රත්නයේවත් ඒ ගැන මහ විස්තරයක් නැහැ නෙව!
ගිරුවාපත්තුවට නමක් ආවේ පස්සෙන් පහු
කාලෙකනෙ. දැන් පෙනෙන විදිහට නම් තව කල්ප කාලාන්තරයක්ම යනකල් එහෙ නම දනන් තුඩ- තුඩ
කියවෙනවට කිසිම සැකයක් නැහැ. ඒ තරමට දැන් ‘ගිරුවාය’ ලෝකේ සුප්‍රසිද්ධයි!
සමහර කඩප්පුලියන් කියනවලු සුප්‍රසිද්ද නෙවෙයි, ‘කුප්‍රසිද්ද’ කියලත්. මොක වුණාම
මොකෝ? සිද්ද වෙන දේවල් කවුද ටක්කෙටම දන්නෙ? හොර-බොරු තියේනං හැමදාම වසං කරගෙන තියා
ගන්නයැ...
පේනවනේ, මැංචෝසන් සාමිට වුණත්, වැඩි කල් නොයා සේනාපතියගේ ‘හොර ඉව වැටෙන’ ලස්සන:
අහම්බෙන් වාගෙ හොරේ අල්ල ගන්න
මට පුළුවන් උණෙත් කාලයක් ගියාට පස්සෙයි!
මිනිහ
තොප්පිය උස්සනවත් එක්කම මගේ පයිප්පෙ අවුළුවන්න කරදාසි කෑල්ලක් පත්තු කළා... |
කොහොම හරි මෙන්න මෙහෙම
අදහසකුත් මට පහළ උණා.
තොප්පිය උස්සන හැම විඩේකම මිනිහ ඉස් මුඳුනෙ අඩුව පිරෙන්න දාගෙන ඉන්න රිදී තහඩුවත්
උස්සනව. මේ අවසරෙන් බීපු බීමවල සැර ටික වාෂ්ප වෙලා පිට වෙනව.
පෙරෙහේලිකාව විසඳිච්ච බව දැන් මගෙ හිතට විස්වාසයි. මගෙ හොයා ගැනීම් යාළුවො දෙතුං
දෙනෙකුටත් කියල, ඒක ඔප්පු කරන්නත් මම පොරොන්දු උණා.
මම පයිප්පෙත් උර උර සේනාපතිය
පිටි පස්සෙන් වාඩි උණා. මිනිහ තොප්පිය උස්සනවත් එක්කම මගේ පයිප්පෙ අවුළුවන්න
කරදාසි කෑල්ලක් පත්තු කළා.
බලන්න ලස්සන මල් වෙඩිල්ලක්
එතන!
මුන්නැහැගෙ ඔළුවෙන් නැඟපු දුම් රොටුව ගිනි ජාලාවකට හැරුණ, මගේ වැඩෙන්.
එහෙන් මෙහෙන් කෙස් ගස්වල රැඳිච්ච වාස්පවලින් කළු වලාකුළක් වගෙ දුමක් නැග්ග.
සාන්තුවරයෙකුගේ ඔළුවක් වාගෙ මේ වයසක මනුස්සයගෙ ඔළුවත් රැස් වළල්ලකින් බබළන්න ගත්ත.
අපේ අත්හදා බැලිල්ල සේනාපතියට
අහු උණා. මිනිහට ටික වෙන්න කේන්තිත් ගියා. ඒ උණාට අපරාදේ කියන්න නරකයි, අපට ඉඳහිටල
මේක කරල බලන්න ඉඩ දුන්න! ඒකෙන් එයාටත් මහේසාක්ය පෙනුමක් ලැබුණනෙ!
රත්තරනෙන් කූඩු හැදුවත් ගිරව්
ලගින්නෙ වනන්තරේ. රජ සැප තිබුණත් සිදාදියෙ පැල වෙන ජාතියෙ මිනිහෙක් නෙවෙයි මමත්.
වනාන්තරවලින් හිඟයක් නැති රටකින් පල පොරෝජන ගන්න දන්න හැඩිදැඩි ඉලන්දාරි තුන් හතර
දෙනෙකුත් එක්කලයි මම වැඩියෙන් කාලෙ ගෙව්වේ.
රාජ රාජ
මහාමැත්තන් එක්ක පයුරු-පාසනේ කරන එව්වො තමයි කැලෑ කපන්නේ. |
මේ කියන්නැහේ නං, මැංචෝසන් සාමිත් කැලෑ පාලුවෙක් වෙන්ඩෝනි. ‘වනාන්තරවලින්
හිඟයක් නැති රටකින් පල පොරෝජන ගන්න දන්න හැඩිදැඩි ඉලන්දාරි තුන් හතර දෙනෙකුත්
එක්කල’ වෙන මක් කරනවද එහෙනං.
එදත් එකයි, අදත් එකයි! රාජ රාජ මහාමැත්තන්
එක්ක පයුරු-පාසනේ කරන එව්වො තමයි කැලෑ කපන්නේ. සේරෝම වැරදි වැඩ කරන තරමක් කරන්නේ.
මැති- ඇමැති- සාමි පට්ටන් ගහගෙන ඉන්න එකාලගේ වැඩ නං අම්මපා, මොකද මන්දා මෙච්චර
හිරිකිත?
උන්ගෙ සතුට විතරද සතුට; උන්ගෙ කැමැත්ත විතරද
කැමැත්ත? ඒ විතරක් නං මදැයි, උන්ගෙ දරුවන්ගෙ විනෝදෙටත් පුරවැසි අපි ඉඩ දෙන්න
එපැයි...
අපේ විනෝද ගමන් මතක් වෙනකොටත්
මට අමුතු පණක් ලැබෙනව. ආයිත් එහෙම ගමන් යන්න ලොකු ආසාවක් හිතට එනව.
දවසක් උදැහැනැක්කේ නින්දෙන්
ඇහැරිලා ජනේලෙන් කර පොවල බැලුවහම මට පෙනුණ, කිට්ටුව තිබිච්ච පොකුණක් පුරාම වල්
තාරාවෝ ලැග ගෙන ඉන්නව.
මම විනාඩියක්වත් පරක්කු උණේ නෑ. මුල්ලක තිබිච්ච තුවක්කුවත් අරං හනි හනික දිව්වා
තරප්පුව දිගේ පහළට. කලබලේට කොරොස් කටේ අත දා ගන්නත් බෑ නෙව!
එළියට බහින්න යනකොට මගෙ ඔළුව
පටාස් ගාල උළුවස්සේ හැපිච්චි. දෑහින්ම ගින්දර පිට උණා. ඒත් මම අත ඇරියෙ නෑ, වෙඩි
වදින මානෙට කිට්ටු කළා.
කුරුමාණම අල්ලන්න ගියකොට, අර හැප්පිල්ලට තුවක්කුවෙ ගිනිගල වීසි වෙලානෙ. ගිනිගල්
හොය හොයා ඉන්න ගියොත් තාරාවො වෙඩි තිබිල්ල බොරු!
රුසියාවේ
හොඳම වනාන්තරේකදි දවසක් මට මුණ ගැහුණා, කදිම... |
තැනේ හැටියට ඇණේ ගැහිල්ල තමා
හරි පිරිමිකම. සොල්දාදුවො, නැව්කාරයො අනූනමයෙන් බේරෙන්නෙ මේ හපන්කමෙන් තමා. ඊටත්
වැඩිය දඩයක්කාරයො හපන්කම් කරන්නෙ මෙහෙම ඔළුව පාවිච්චි කරලයි.
රුසියාවේ හොඳම වනාන්තරේකදි
දවසක් මට මුණ ගැහුණා, කදිම කළු නරියෙක්. වෙඩි තියල මූනිස්සමෙන් උගේ අගේ ඇති කදිම
හම පළුදු කරන එක අපරාදයක් කියල මට හිතුණ.
නරිය හිටියෙ ගහක් කිට්ටුවයි. මම සැණෙන් තුවක්කුවෙ මූනිස්සම් අතට අරං ඒ වෙනුවට හීන්
ඇණයක් දාලා වෙඩි තිබ්බ. නූලකවත් පරසේරුවක් නැතුව ඇණේ ගිහිල්ල වල්ගෙ ගහට තද කර
ගත්ත. හරියට තියල ඇණ ගැහුවා වගේ. හිමින් හිමින් කිට්ටු කරලා, පිහියෙන් නරියගෙ මූණ
හරහා කැපුමක් දැම්මා. දාලා ඌ හමෙන් එළියට පනිනකල් ගාණකට කසෙන් තැලුව.
අහම්බෙන්; වෙලාවේ හොඳකමට අපි
කරන වැරදිත් හොඳ අතට පෙරළෙනව. එහෙම වැඩක් මටත් උණා, මේ නරි දඩයමෙන් ටික දවසකට
පස්සෙ.
තුවක්කු කාණුවෙන් අච්චු කූර අහක් කරන්න අමතක වෙලා කොබෙයි රෑනකට වෙඩි තියපු පාර,
උන් ඔක්කොම අච්චු කූර දිගට ඇමිණිල හිටිය- හරියට බදින්න අමුණලා ගත්ත වගේ. තුවක්කුවට
මූනිස්සම් දාල තිබුණෙ නෑ, වෙඩි බේත් කොටලා විතරයි. වෙඩි බේත්වලට රත් වෙලා තිබිච්ච
අච්චු කූරෙ ඇමිණිච්ච කොබය්යෝ ගෙදර ගේන කලියෙන් පදමට බැදිලා!
ඒ දරුව අම්මට තියෙන ආදරේට මෙහෙම වල්ගෙ කටට දීල එක් කරගෙන යන්න පුරුදු වෙලා. |
ඒත් දිව්වේ ඉස්සරහින් ගිය ඌර විතරයි. ඊරි ගල ගැහුව වාගෙ හිටපි. ටිකක් හොයල බැලුවහම
ඒකි ඇඟ බද්දෙන් ඇරිච්ච ඊරියක්. වයසට ඇස් පේන්නෙත් නෑ. ඉස්ස්සරහින් ගිය ඌරගේ වල්ගෙ
තමා, මෙයාගේ කණ වැල.
ඒ දරුව අම්මට තියෙන ආදරේට
මෙහෙම වල්ගෙ කටට දීල එක් කරගෙන යන්න පුරුදු වෙලා. මගේ වෙඩි පාර මේ දෙන්න අතරින් කණ
වැල කපා ගෙනයි ගිහින් තියෙන්නෙ.
කලින් හිටපු උදව්කාරය ඉස්සරහට අදින්නෙ නැති හින්දා ඊරිත් එතැනම නැවතුණා. ඊරිගේ කටේ
ඉතුරු වෙලා තිබුණ වල්ග කොටේ මම අල්ල ගත්ත. නිවී හැනහිල්ලේ, කණ වැල අල්ලගෙන ඊරිව
ගෙදර කැන්දගෙන ආව. යන එන මං නැති නාකි ඊරිත් කිසි බයක් හැකක් නැතුව මා පස්සෙන් ආව.
මේ ඊරියෝ හොඳ සත්තු නෙවෙයි.
ඒ වුණාට වල් ඌරො කිව්වහම එසේ මෙසේ ජාතියක්යැ? බොහොම නපුරුයි; බයානකයි. මගේ
අවාසනාවකට දවසක් කිසිම සූදානමක් නැතුව වල්
ඌරෙකුට මූණ දෙන්න සිද්ද වුණා. මේ කුරීර සතා පැත්තකින් පාර දෙන්න එනකොටම මම දස්ස
ලෙස පසු බැස්ස. ඌ කොයි තරම් ආදරේකින් පාර ගහන්න ඇද්ද- දළ දෙක ගහ පසා කරගෙන ගියා.
ඌට පස්සට යාමකුත් නෑ. ආයි පාර දීමකුත් නෑ. තිත්තයගේ වාරෙත් ආපි!
මම ළඟම
තියෙන ගමට ගිහිල්ල එනකල් ඌ ගහ මුල! |
හතරවෙනි පිම්ම
වන සතුන් සමඟ පොර
ඔහෙලා අහල ඇද්ද මන්ද,
දඩයක්කාරයන්ගේ ආරස්සාව සලස්සන සාන්තුවරයෙක් ඉන්නව සාන්ත හියුබත් තුමා කියල.
අං තට්ටුව මැද සුද්ධ වූ කුරුසිය තියෙන උතුම් මුවෙක් උන් වහන්සේට කැලේදි පෙනිල තියෙනව.
අවුරුද්දක් ගාණෙම මේ සාන්තුවරයට ගවුරව පුරස්සරව වැඳුම් පිදුම් කරපු කෙනෙක් මම. ඔය කියන
මුවාත් දාස් වාරෙකට වැඩිය දැකල තියෙනව- පල්ලිවල ඇඳපුව, එහෙමත් නැත්තං නයිට්වරු පළඳින
තාරුකාවල ගෙත්තම් කරපුව.
ඉතිං වචන දෙකක් නැති දඩයක්කාරයෙක්
හැටියට දිවුරල කියන්නම්, ඔය ජාතියේ මුවෝ ඉස්සර හිටියෙ නැද්ද; දැනටත් නැද්ද කියල නම්
මට සහතික වෙන්න බෑ. ඒක ඇරුණාවෙ, මගෙ ඇස් දෙකට දැක්ක දෙයක් මේ අහගන්න.
දවසද්දා, අතේ තිබිච්ච වෙඩි ඔක්කොම
හමාර කරලා ඉන්න වෙලාවක හිටි හැටියේම දැවැන්ත මුවෙක් මා ඉස්සරහට ආව.
හරියටම මගෙ වෙලාව දැනගෙන වගේ, මාව කිසි ගනිච්චියකට නොගෙනයි මූ එන්නෙ. මා අතේ තිබුණ
චෙරි ගෙඩි ටිකක්. ඒ ටික ඉක්මනට සූප්පු කරල, ඇට ටිකයි වෙඩි බේත් ටිකකුයි තුවක්කුවට දාල-
ඕනි එකක් කියල කොකා ගැස්සුව. ඉලක්කේ හරි; ඒක ගිහිල්ල උගේ අං තට්ටුව මැද්දෙන් නළලෙ
වැදුණ. මුවාට නං පාර තරමක් දැනුණ. ඒත් කැලේට රිංගා ගත්ත.
ගහට ගහත් මොරටුවේදී මුණ ගැහෙනවලු!
අවුරුද්දක් දෙකක් යන්න ඇති. වතාවක් මම තව කාණ්ඩේකුත් එක්කල ඔය කැලේටම දඩයමේ ගියා.
අං තට්ටුව මැද්දෙන් අඩි දහයකටත් වැඩිය උහට හොඳට හැදිච්ච චෙරි ගහක් උස්ස ගත්තු මුවෙක්
මගේ ඇහැ ගැහුණ. මට එක පාරටම කලින් වෙච්චි සිද්දේ මතක් උණ. මට මිසක් වෙන කෙනෙකුට අයිති
සතෙක් නෙවෙයි; මූ.
ඒ වගේම
තමයි ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍ය පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාත්..... |
සරදාවන්ත දඩයක්කාරයෙක් හරි,
දඩයමේ ගිය පූජකතුමෙක් හරි මේ විදිහටම වෙඩි තියල සාන්ත හියුබත්තුමාගේ මුවාගෙ අං
තට්ටුව මැද කුරුසියක් හිටෙව්වද කියල කවුද දන්නේ? කුරුසි, අං තට්ටු පිහිටුවීම ගැන එතුමන්ල
කවදත් නම් දරාපු උදවිය!
Post එකේ අකුරු කෙටිල්ල දැනට එතැනින්
නැවැත්තුවා. නාන්න- කන්න- බොන්න, අපේ ගෙදර-දොරේ වැඩ ටික කර ගන්න එහෙමත් ඕනිනේ. ඊට
පස්සේ තමයි ‘ඕපාදූප’ ගැන update වෙන්න බලන්නේ. එහෙම කරලා ආයෙමත් බ්ලොගයේ වැඩවලට.
දෙයියෝ සාක්කි!
‘නම් දරාපු උදවිය’ ගැන අකුරු කරන අතරෙනෙ නැවැත්තුවේ. එක-එක දේවල්වලට නම් දරාපු
උදවිය එදත් හිටිය. අදත් ඉන්නවා.
මැංචෝසන් සාමිතුමා ‘සත්‍යයම මිස වෙන කිසිම දෙයක් නොපවසන උතුමෙක්’ බවට ප්‍රසිද්ධ
වෙලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍ය පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ
මැතිතුමාත්. ‘නිතරම කතා නොකර ඉඳලා පෙරළිකාර සත්‍යයන් හෙළිදරව් කරන කතා කියන්නෙක්’
බවයි රට්ටු කියන්නේ.
තව පොඩ්ඩෙන් මොන විනම්බෑසියක්ද වෙන්නේ?
තෙල් ඇමතිතුමා ‘ගල් පැලෙන බොරු’ කියද්දී එතුමන්ව අයින් කරන්න මෙච්චර කල්වත් පරක්කු
වුණේ මොකද මන්දා. මට එහෙම හිතුණේ , දැන් ටිහකට කලියෙන් මේ පරවුර්තිය දැන ගත්තාමයි.
‘ආසන්න දිනවල තෙල් අර්බුදයක් ගැන කතා කළ ද
ඇත්ත වශයෙන්ම තෙල් අර්බුදයක් ශ්‍රී ලංකාවේ තිබුණේ නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද
රාජපක්ෂ මහතා පවසයි.
කුරුණෑගල නාරම්මල ප්‍රාදේශීය සභා නව
ගොඩනැගිල්ල විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළේය.
‘... පහුගිය
දවස්වල තෙල් අර්බුදයක් ගැන කතා වුණා. ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් තිබුණෙ නෑ. නැව්
ගෙන්නලා තිබුණේ. ඒක බාන එක විතරයි කරන්න තිබුණේ. අපේ කාලෙ සමහර විට පැය 24ටයි තෙල්
තිබුණේ. යම් යම් වැරදි ප‍්‍රකාශ නිසා- දවස් 4යි තියෙන්නෙ, දවස් 3යි තියෙන්නේ
කියනකොට මිනිස්සු කලබල වෙනවා. එවැනි යම් යම් ප්‍රකාශ නිසා තමයි මිනිස්සු අනවශ්‍ය
ලෙස බිය වෙලා පෝලිං හැදුණේ. දේශපාලන වශයෙන් අවබෝධයක් නොමැතිකම හෝ පළපුරුද්දක්
නොමැතිකම නිසා කළ දේවල්. අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා.’
මහ
බයානක වලහෙක් කට ඇරගෙන පැනගෙන එන්නෙ මාව කම්බස් කරන්න! |
ඇබැද්දි....!
හොඳ දඩයක්කාරයො කොයි කාටත් ඇබැද්දිවලට;
එහෙමත් නැත්තං කොයික කරම්දෝ කියල තක්කු මුක්කු වෙන අවස්ථාවලට මූණ පාන්න වෙනව. එහෙම
වෙලාවක ආරස්සාවට අහු වෙච්ච දේකින් වැඩ ගන්න බලන එකත්; කාලෙකින් ලැබිච්ච කදිම අවස්තාවෙන්
පොරෝජන ගන්න මොකක් හරි උපමාරුවක් යොදන එකත් සිරිතක්. මටත් ඉහේ කෙස් ගාණෙ එහෙම වෙලා
තියෙනව.
පිළිගන්න බැරිද? එහෙනං මේ සිද්දිය
ගැන මොකද හිතන්නේ?
පෝලන්තේ වනාන්තරෙකදී එක දවසක්
නොදැනුවත්වම රෑ වේගෙන ආව. වෙඩි බේත් කඳුළක්වත් අතේ නෑ. මම ගෙදර යන්න හැරුණ විතරයි,
මහ බයානක වලහෙක් කට ඇරගෙන පැනගෙන එන්නෙ මාව කම්බස් කරන්න. හැම සාක්කුවක්ම අවුස්සල
බැලුව, වෙඩි බේත් ටිකක් හරි- උණ්ඩයක් හරි හොයා ගන්න.
වැඩක් නෑ, යාන්තං අතට අහු වෙන්න තිබුණෙ, බැරි වෙච්ච ගිනිගල් දෙකක් විතරයි.
එකක් අරං පුළුවන් දහිරිය දාල වීසි කළා වලහගේ කට ඇතුළට- උගුරෙන් පල්ලෙහට බහින්න.
ඌත් ඇති වෙච්ච වේදනාවට වටයක් කැරකිලා ගිහිල්ලයි නැවතුණේ.
අනිත් ගිනිගල එල්ලේ බලල සිකුරටම වීසි කරන්න ඒ අවසරෙන් මට පුළුවන් උණා, ඒකත් අර පාරේම
ගියා. ගොහිල්ල කලින් දාපු එකත් එක්කම බඩ ඇතුළෙ ගට්ටනේ වෙලා ගිනි ගත්ත.
එතැන ඇති වෙච්ච බරපතළ පිපිරීමෙන්
වලහ දෙකට පැලිච්චි. එදා නං මම යහතින් ගෙදර ආව. මේ මරණෙන් ගැලවුණට පස්සේ, ඒ විදිහේ පිපිරිලි
අත්හදා බලන්න තවත් නං මගේ කල්පනාවක් නෑ. ඇඟ බේරගන්න ආයුදයක්වත් නැතුව වලස් කටේ අත දාන්නත්
මට හැකයි!
මෙහෙම තැන්වලදී මරුව මට බොහොම
ආදරේ වගෙයි!
එදා ඒ
ගත්තු ගින්දර ගැනිල්ලෙන්..... |
වතාවක් මම තුවක්කුවේ ගිනිගල ගලවල
අලුත් එකක් හයි කරන්න සූදානම් වෙනවත් එක්කම තඩි වලහෙක් ගොරවගෙන පැන්න මගෙ දිහාවට.
කරකියා ගන්න දෙයක් නෑ. මට කරන්න තිබුණු එකම දේ තමා ගහකට නැඟල ටිකක් හරිබරි ගැහෙන එක.
කරුමෙට වාගෙ ගහට බඩ ගාන අතරේ අතේ තිබිච්ච පිහියත් බිමට වැටුණ. ඉතිං ගිනිගල හයි කරන්න
ඉස්කුරුප්පු කරකවන්නේ මොකෙන්ද? නිය පොත්තෙන් කරන්න ඇහැකි වැඩකුත් නෙවෙයි.
වලහත් ගහ යට හොඳට තැන්පත් වෙලා
ඉන්නව, තොල කට ලෙව කකා- එළුවා පස්සෙන් ගිය නරිය වගේ. දැන් දැන් මාව හප කරල දායි
කියල, තරමකට බය වෙලයි මම ඉන්නෙත්.... ඉස්සර දවසක් කළා වගේ ඇහේ ගින්දරෙන් තුවක්කු කණට
ගිනි අවුළුවනවද කියලත් කල්පනා කෙරුව.
ඒක ඒ තරං ඇඟට ගුණ ඇති වැඩක් නෙවෙයි.
එදා ඒ ගත්තු ගින්දර ගැනිල්ලෙන් ඇහේ හැදිච්ච වේදනාව් තවමත් තියෙනව. වෙන ගැලවිජ්ජාවක්
නෑ. බිම හිම ගොඩේ හිටවිල තියෙන පිහිය තමයි එකම ගැලවුම්කාරය. ඒක ගන්න ගුරුකමකුයි දැන්
ඕනෑ.
මැංචෝසන් සාමි වුණත් මේ අප වගේ පුහුදුන් මනුස්පයෙක් මිසක දෙයියෙක් නෙවෙයිනේ. එතුමාට ‘පිහිය ගන්න ගුරුකමක්’ හිතා ගන්ඩ ඉන්ටබල් එකක් දීලා, අදට අපි සමුගනිමු. එහෙම හොඳයි නේද?
+++++++++🙏👌😊
ReplyDeleteදැනුයි තේරුම් ගත්තේ!
Delete++++!
කනවැල අල්ලන කතාව මරු...
ReplyDeleteදුකත් හිතෙනවා නේද නමී.
Deleteඅර ගහේ ඇමිනිච්ච ඌර වගේ තමා අපේ විකුම්ට හම්බුණු ඇතා...
ReplyDeletehttps://drackey.blogspot.com/2019/12/blog-post.html
චීස් වුණත් රස වැඩි වෙන්නේ පරණ වෙන තරමට වගෙයි! කියල නොලියා බැරි වුණා ඩ්රැකී ආයෙම කියෝපුවාම!
Deleteඉබුල් කිරිබත් සයිස් එක ගැන මැන්චෝසන් මොනවත් කියල නැද්ද?
ReplyDeleteමැන්චෝසන් උන්නැහේ හඟුරන්කෙත පැත්තෙ යන්ඩ නැතිව ඇති මහිතේ.
Deleteමේකෙ සත්ව හිංසාවමනෙ.
ReplyDelete'කුරුසි, අං තට්ටු පිහිටුවීම ගැන එතුමන්ල කවදත් නම් දරාපු උදවිය!' කුරුසි වගේම එතෙන්ට ගැලපෙන තවත් සංකේත තියෙනවා නේද.
සම්පූර්ණයෙන්ම වෙනස් තේමාවක් වුනත් මැංචෝසන් කියවද්දි මට මතක්වෙන්නෙම අර 'පාර දිගේ' ටෙලි නාට්ටිය. ඒක රන් වෙන්නෙත් බොරුවෙන්. බොරුවෙන්ම පටන් ගත්ත ආදරයකුත් තියෙනවා. ප්‍රේක්ෂකයින් 'අනේ ඒ ආදරේ', 'දැකපු ලස්සනම ආදරේ' කිය කිය සුසුම් හෙලමින් බලනවා. හැබැයි ඉතින් මිනිස්සු යුද්ද කරමින් මරා ගන්නවට වඩා ආදරය ගැන කතා කරන එක දහස් වාරයක් හොඳයි.
Lotus, ඉස්සර දඩයක්කාරයෝ වීරයෝ වෙලා තිබ්බනේ. මතකනේ ලංකාවේ වුණත් අලි දඩයම් ගැන තියෙන කතා.
Deleteමට නං බැලෙන්නේ ව්‍යන්ග්‍යයෙන් කියලා තියෙන දේවල් ගැනයි.
යුද්දේ කියන්නෙම මහා අසමජ්ජාති ඉලව්වක් නේන්නං. ආදරය එහෙමද?
හැබැයි මම පාර දිගේ ටෙලිය බලල නෑ.
මැංචො අනවස්ස විදියට කලබල වෙලා පිහිය ගන්න ගියොත්නං තියෙන ඩොලර් ටිකත්... (සොරි) අතේ තියෙන තුවක්කුවත් නැතිකර ගන්නව.
ReplyDeleteපිස්සුද ප්‍රසන්න, අනවස්ස විදිහට බල බල ඉඳල වුණත්, නැති කරගන්නේ උන්දැල හුචක්කුවක් නෙවෙයි... අන්තිමට බලද්දී....
Deleteඊයේ රෑ හිට ඔන්න තෙලුත් උස්සලා.
https://www.facebook.com/groups/koopikade/permalink/2154254604722826/?sfnsn=mo&ref=share
ReplyDeleteටක්කෙටම ගොරොක් යක්ඛ/ දෙහි ඇඹුල් යකිනි පරම්පරාවෙ හැල යකෙක්. හොඳට ලුණු-ඇඹුල් දාලා තියනවා.🤔
Deleteඩ්රැකී, මං මොකුත් කියන්න ඕනි නෑ. බස්සා කියල තියෙන දේ හරියටම හරි!
Delete//ඊරිගේ කටේ ඉතුරු වෙලා තිබුණ වල්ග කොටේ මම අල්ල ගත්ත. නිවී හැනහිල්ලේ, කණ වැල අල්ලගෙන ඊරිව ගෙදර කැන්දගෙන ආව. යන එන මං නැති නාකි ඊරිත් කිසි බයක් හැකක් නැතුව මා පස්සෙන් ආව.// මේවා අස්සේ තියන අමතර අපහාස උපහාස පෙනුනද? 🙂
ReplyDelete//කුරුසි, අං තට්ටු පිහිටුවීම ගැන එතුමන්ල කවදත් නම් දරාපු උදවිය// හිනියට උපහාසයක් තව පැත්තකට
අජිත් මහත්තයෝ, අමතර උපහාසම නේන්නං තියෙන්නේ, හොඳට විමසිල්ලෙන් බලද්දී...
Delete