|
බොයි නොබොයි කියා බීවත් වෙරි වෙනවා
ඇයි හොඳයි වුණත් කලකදි දුර යනවා
දොයි බබොයි කියා නළවන්ටත් වෙනවා.
ඔය
කවිය නිතර මතක් වෙන්ට ගත්තේ, සුමානෙකට කලින්
ඉඳලා.....
‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ‘ගරු-ගම්භීර පාඨක භවතුන්’ නං දැනටමත් දන්නවා
නිදි කියන්නෙත්, කවියට කැමති ‘දුක්ගන්නා
රාළ’ කෙනෙක්ය කියන විත්තිය.
‘වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළ’ උන්නැහේට
නං ඒ නම පරම්පරාවෙන් ඇවිදිල්ලනේ. මට ඒ නම ඇවිත් තියෙන්නේ කෙරුවාව හින්දා වගෙයි. ඒ
කෙරුවාව හින්දා වෙන්නැති, හැමදාමත් රටේ-තොටේ වෙන දේවල්
ගැන මං වහන්සේ up-date වෙන්නේ අඩුම මහන්සියකින්; කිසිම වියදමක් නැතිව.
කිව්වනේ
අර නළවන විත්තිය තියෙන කවිය නිතර සිහි වෙන්න ගත්තේ, සතියකට කලින් හිට කියලා;
ඒ කිව්වේ 2021 මැයි 5 වෙනිදා ඉඳලා.
ඔන්න
එදා උදේ හයයි කාල වෙද්දී දවසේ පළමුවෙනි call එක. එහා කොණේ හිටියේ
තමිර.
“නිමල් අයියේ good morning, ඔයාලා
පමුණුවේ කොහාටද වැටෙන්නේ....” තමිර හර්ෂක ඇහුවා.
2020 ඔක්තෝබර් මාසේදී අයස්මන්ත, නෙවිල්, ගවීන්, මර්වින් එහෙම කතාවෙන තැන තමිරත් ඉඳලා. (එයාම තමයි මට ඒ විත්තිය වාර්තා කළෙත්.) මට ගැළපෙන laptop එකක් තෝරන්නත්, ගේන්නත් පැවරිලා තියෙන්නෙත් තමිරට. ඒ තමිර IT ඔස්තාද් කෙනෙක් නිසයි.
|
එතකොට, මම
කුස්සියට යමින් හිටියේ කෝපි හදන්න.
“ඉතිං තමුසෙලා අරගන්නවා.... මෙහෙම කලවැද්දා වගේ ඉඳගෙන මට fotoවලට ඉඳිතෑකිද? කමිසයක්වත් නොදා foto ගන්න....
එහෙනං පොඩ්ඩක් ඉන්නවා, මම
කමිසයක්වත් දාගන්නකං.... එපා? එපා නම් මට බෑ!” දන්නවනෙ, මගේ
විදිහ.
“එහෙම බෑනෙ නිමල් අංකල්. Birthday boy නැතිව අද
foto අරගෙන හරි යනවද?” ගවීන්
කිව්වා.
“ඔව්, ඔව්. තමුසෙ අපේ foto චීත්තවාහිනියට
දැම්මට අපි
මේවා fb
දාන්නෑ.... බය වෙන්නෙපා... ” නෙවිලුත්
දුවලා ඇවිත්, මාව සාලෙටම ඇදගෙන යන ගමන් කිව්වා. (තගකුත් දැම්මේ පස්සේ.) එතකොට තමයි තමිර එයා එද්දී ගෙනාව කළු බෑග් එක
අයස්මන්ත මහතා අතට දුන්නේ.
“මෙන්න අපෙන් බර්ත්ඩේ ප්‍රසන්ට් එකක්... දැන්වත් අර ලඩිය මුහුදට දාලා
මේකට පුරුදු වෙනවා...” කියමින් අයස්මන්ත අර බරැති කළු bag
එක මගේ අතෙන් තිබ්බා.
“මොකක්ද මේ?”
“ටෞකන්නෙ නැතිව ඇරල බලනවකො...”
“මූ යකාගේ බඩුවක්නෙ මචං... තෑග්ගක් දුන්නම ඇරලා බලන්නෙ නැතිව, මොකක්ද කියලා අපෙන් අහනවා.”
“ඔව්, ඔව්... ඇරලා බලන්නකො,
නිමල් අයියෙ!” එහෙම කියපු තමිර තමයි,
මේ අවුරුද්දේ මැයි පස්වෙනිදා පාන්දර මට කතා කළේ.
“...
ඒ මොකටද තමිර... කොහාටද වැටෙන්නේ කිව්වේ...” මට ඒ ප්‍රශ්නය හරියට තේරුණේ නෑ. ඒකයි එහෙම ඇහුවේ.ඇයි, ඔයා news බැලුවේ නැද්ද?
ඔන්න
බොලේ එකට උත්තර දෙනවා වෙනුවට, තමිරගෙන් තවත් ප්‍රශ්නයක්.
“ඇයි, ඔයා news බැලුවේ නැද්ද?”
“තවම නෑ මහත්තයෝ.”
“පමුණුවේ කොටසක් lockdown කරලා.... ඔයාලවත් අහු
වෙලාද?”
ඔහොම
ප්‍රවෘත්ති දැන ගන්නට නං විශ්වාසබල්ම තැන අපේ ගේට්ටුව ගාව සංගමේ. ඒත් පාන්දරම
නිසා තවමත් එය රැස්වී නොමැත. මම අල්ලපු ගෙදරට එබී බැලුවෙමි. දේවිකා නංගි
ජංගමයාගෙන් කතාවකය. “ඉන්න ඉන්න නිමල් අයියෙ, call එක ඉවරයි. අපේ
සාන්ත අයියා කතා කළේ.... අපිවත් ලොක්ඩවුන් එකට අහු වෙලාද බලන්න...”
“ඒක අහගන්නම තමයි මාත් එබුණේ....”
ඉක්මනටම; එක
දිගටම ‘breaking news’ ගලාගෙන එන්නට වුණේය.
සාහිත්‍ය චක්‍රවර්ති ඩබ්ලියු.ඒ. සිල්වා ශූරීන් ඉන්නට තිබුණේ අදය. එහෙනං ‘කැලෑහඳේ- නිකිණියානේ විදුලි කම්බිය’ කොච්චර
අකාර්යක්ෂමදැයි එතුමා පසුතැවෙනු නියතය.
‘දේවාල පාර වහලා.’ - ‘නවරෝහල
පැත්තෙන් පමුණුවට එන්න දෙන්නෑ.’ - ‘දෙල්ගහවත්ත හරියෙන්
එහාට විතරයි ලොක්ඩවුන් එකට අහුවෙන්නේ.... අපිට අවුලක් නෑ!’
ඒ අතරවාරයේ ළබැඳියන්ගෙන් එක
පිට එක calls ගලාගෙන
එයි.
‘ගෙදරට ඕනි කරන හාල් තුනපහ තියෙනවද?’ - ‘අඩුපාඩු මොනවත් තියෙනවා නං කියන්න!’ - ‘අවුලක්
නැහැ නේද?’
ඔබටත් මටත් පමණි මේ දාමය බිඳ හෙළිය හැක්කේ! |
කියන
සිංහල තේරිලා නැතිවා වගේ ඔන්න බොලේ ඊළඟට මිනිසුන් දේවාල පාරට ඇතුළු වෙනවාත් එක්කය.
ටිකකින් පමුණුව පාර දිගේ කඩාගෙන ආ වාහනයක්, ඒ වේගයෙන්ම දේවාල පාරට
දැම්මේය. බැනරය පැත්තකින් කැඩුණේ; පැත්තකින් එල්ලෙමින්
අයිනකට වුණේ, දැන් තටු හකුළාගෙන ඉන්නා වාමාංශික සහෝදරයන්;
සිංහයන් වගෙය.
‘දේවාල පාරේ ලෙඩ්ඩු ගොඩක් ඉන්නවලු.’
‘ඇයි, චන්දන උද්යානේ.....’
‘අතන ඉන්න සිකියුරිටි පොලිසියට කියලා, බැනර් එක කඩාගෙන වාහනේ ගිය එක.’
දේවාල
පාර තියෙන්නේ අපේ අතුරු පාර ඉස්සරහින්ම, පල්ලමට වෙන්නටය.
එහි වඩාත් ජනාකීර්ණ ඉසව්ව තියෙන්නේ ටිකක් ඈතට වෙන්නටය.
වෛරස්වලට දුරේ ගණනක් නැත! වීසා නැතිවම ඉන්දියාවෙන් එන අලුත් වෛරසය සුළඟින් පවා
පැතිරෙනවාලු! ආයෙමත් තහංචි නිවේදනයක් එල්ලුණේය.... ඒ එක්කම...
ඒ
එක්කම වුණේ අපේ ගෙවලුත් lockdown
ඒරියා එකට වැටෙන එකය. අපේ වසමේ ග්‍රාමසේවක නෝනා මහත්තයා අප තහනම්
කලාපයේ නොවෙන බව තේරුම් කරලා, මෝබයිලයෙන් පණිවුඩ එව්වත්
වැඩක් නොවුණු එකය. අල් ගෆූරියා විදුහලේ (මුස්ලිම් පල්ලියේ ඉස්කෝලේ) ගේට්ටුව
ඉස්සරහින්ම අලුත් බැරියර් එකක් ස්ථාපිත කෙරුණේය.
|
Dead
end එකකින් කෙළවර වෙන මේ අතුරු පාරේ ගෙවල් පහළොවක්වත් නැත. ඒවායේ
අංගනාවෝ පිරිසක් වහාම ක්‍රියාත්මක වෙන පරිදි බලය අතට ගෙන, අපේ පාරට ආගන්තුකයන් ඇතුළුවීම නොනිල වශයෙන් තහනම් කළහ; බැනරයක් එල්ලලා නොවේ. පාර හරහට ලණුවක් ඇදීමෙනි.
ලණුවක්
විතරක් තියෙන නිසා හොඳය. ලණුව මැදින් ‘තහනම්’ අකුරු පින්තාරු කෙරුණු රෙද්දකුත් අමුණලා තිබුණා නං....
මගේ
කුප්පිදු ඇහැට මැවිලා පෙනෙන්නේ, ඒකට යටින් අපේ අතුරු
පාරේ උදවිය රිංගලා එන විදිහයි. එහෙම වුණා නං, මට
ලියවෙන්නේ ‘පාරේ නිවැසියෝ රෙද්ද උස්සා එයට යටින් රිංගා
එති’ කියලාය. ඔහොම අසික්කිත දර්ශන මනසින් නිර්මාණය කර
ගැනිල්ලත් මගේ එක පුරුද්දකි!
අලුත්
බැරියර් එකේ ‘අරුම අමාරුව’ ඉස්සෙල්ලාම දැනුණේ මිසිස්
කුටිලාන්ටය. අපේ ගෙදර උඩ තට්ටුවේ ඉන්නේ එයාලයි.
“හරි වැඩේ දේවිකා... අපේ අම්මා වැටිලා. ඉස්පිරිතාලේ
නවත්තලාලු. කොහොම හරි ගිහිල්ලා එන්න වෙනව අනේ, බැරියර්
එකෙන් යන්න දෙයිද මන්දා කිව්වම! අපේ එක්කෙනා උදෙන්ම වැඩටත් ගියා. පමුණුව lockdown
කරපු බව අපි දන්නෙ පස්සෙනේ....”
ඒ
සාකච්ඡාව මගේ කණට වැටෙන අස්සේ, පාර කෙළවරේම ගෙදර
ගෘහිණිය, ලණුව උස්සලා පාරට ඇතුළු වෙනවා ඇස්දෙකට
වැටිණි..... දේවිකා නංගී හිටියේ අපේ ගේට්ටුව ළඟය.
“බැරියර් එකෙන් ඔයාට එන්න දුන්නද?” දේවිකා නංගී
අර කාන්තාවගෙන් ඇසුවාය.
ඇය පෞද්ගලික රෝහලක සේවය කරන හෙදියකි; හොරෙන්ම අපේ පාරේ පදිංචියට
ආවේ කොරෝනා එනකොටමය!
“ඒකනෙ මෙයා. අපි ආවේ හොස්පිටල් එකේ වාහනේක. මාව ඇරලවන්න ආවයි කියලවත්
ඒකට මෙහාට එන්න දුන්නේ නෑනේ.... වැඩි දුර නැති නිසා කමක් නෑ.... බැරියර් එක ළඟින්
බැහැලා, මායි දුවයි පයින්ම මේ ටික ආවා....”
“ආනේ! එහෙනම් අපේ ප්‍රියන්තටත් හරි වැඩේ වෙන්නේ.... එයා හන්දියට ගියා ත්‍රී
වීල් එකත් අරන්. ඔය විදිහට නං, එයාටත් බැරියර් එකෙන් එන්න
දෙන එකක් නෑ...” දේවිකා නංගී සැමියා ගැන විස්සෝප වෙන අතරේ
ලණුව ඉස්සුණේය; පාර ඇතුළට දැම්මේ තිලක් ප්‍රියන්තගේ තුන්
සකයයි.පැන්නා හතර මුල්ල... ඒක දැක්ක ගමන්.. (තිලක් ප්‍රියන්ත, දේවිකා
නංගී හා දූලා)
“මෙයාලගේ ඉස්පිරිතාල වාහනේටවත් බැරියර් එකෙන් එන්න දීලා නෑ... ඔයා
කොහොමද අනේ එතැනින් ආවේ?”
“පැන්නා හතර මුල්ල... ඒක දැක්ක ගමන්, මට එන්න
දුන්නා....” තිලක් ප්‍රියන්ත දේවිකාට කියන්නේ රඟමිනි.
හෙදිය
තවමත් ප්‍රියන්ත ගැන දන්නේ අඩුවෙනි. යන්නට එසවූ පයත් ආපසු බිම තියලාය, ඇය
හැරුණේ. “එහෙම කළාම එන්න දුන්නා? මොකක්ද දේවිකා හතර මුල්ල පනිනවා කියන්නේ...?”
ඇයට උවමනා වෙන්නට ඇත්තේ, ඒ ක්‍රමය ඉගෙන ගෙන බැරියර් එකෙන්
ඇතුළු වෙන්නටය.
“මෙයාට පිස්සු අනේ.... මෙයාගේ කෝලං ඔයා තවම දන්නෑ!”
දේවිකා නංගිගේ කතාවෙන් පස්සෙය හෙදිය ගෙදර ගියේ.
ට්‍රීන්...
ට්‍රීන්... ට්‍රීන්....ට්‍රීන්.....!
“ඔන්න නිමල් අයියේ ආයෙමත්.... අද ඉතිං නිමල් අයියට නිවනක් වෙන එකක්
නෑ....”
“ඔව් දේවිකා නංගී... යන්තං විනාඩි පහයි ටෙලිෆෝන් එක කෑ
නොගහ තිබුණේ...”
“යුෂ්මතා නානවද?”
“පිස්සුද පීරිස්.... තාම හිතුවෙවත් නෑ... අපිව lockdown
කරලනේ...”
“ඒකම තමයි මාත් කතා කළේ. ඔයාලවත් වහලද? එතකොට හෙට හම්බන්තොට යන එකට මොකද වෙන්නේ?” දොස්තර
මහත්තයාගේ ඒ ප්‍රශ්නය ඇසුණු ගමන්ම, මම කල්පනාවේ ගිලුණෙමි.
දැනටමත්
ඒ ‘Monthly
රූටින්’ එක සතියක් පමා වෙලාය. එහෙම වුණේ
එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙකු හෙළා ගන්නට try කළ නිසාය.කුරුල්ලන් දෙන්නෙකු හෙළා ගන්නට try කළ
නිසා....
“මේ සැරේ එහෙ ගියාම මාවත් specialist කෙනෙකුට
පෙන්නමු කියලයි පීරා කිව්වේ.... මේ මාසෙම මගේ ප්‍රෙෂර් එක වැඩිනෙ හලෝ! ඒක හින්දද
මන්දා, සැර ඔළුවේ කැක්කුමකුත් තිබ්බා දවස් දෙක තුනක්ම...”
කියමින් නෙවිලුත් බලාගෙන හිටියේ හම්බන්තොට යන්නටය. “... සිකුරාදා උදේටලු මාව බලන ඩොකා ඉන්නේ....”
අපරාදේ
කියන්නට බැරිය. පීරිස්-නෙවිල් දෙන්නා එවැනි වෛද්‍ය වාර්තා මගේ ඉදිරියේ දිග හරින්නේ
අඬුපඬු කපා දමලාය;
කොළේ වහලා, බර හෑල්ලු කරලාය.
“ඕක මොකක්ද නිමලෝ, කැබිනට්ටුවටත්
කොකා පෙන්නල පනත් ගේනවය කියන්නේ ඔය විදිහටනේ... උඹට ඔය reports ගැන නොකියන්නේ, උඹ හැම ඉලව්වටම හේතුව බොන එකයි
කියලා නිගමනේ දෙන නිසා...” අපේ ළබැඳි මිතුරෙකු
ඒ ‘කොළේ වහලා ගහන’ කිරියා
පටිපාටිය විග්‍රහ කළේය.
“අද රෑ එහෙ ගියොත් අපිට සිකුරාදා හවස් වෙනකල්ම එහෙ ඉන්න වෙනවනේ....
එතකොට නෙවිල්ට නිවාඩු? එයාල අම්මා?” මං කල්පනා කළේ ඒ ගැනය.
“ඊට හපන්, අද උදේ නං මෙහෙ
බැරියර් එක ළඟට ගිය හුඟ දෙනෙකුට බැනලා පන්නලා....ඔයාගේ වාහනේටවත් ඒකෙන් එන්න දෙන
එකක් නෑ මහත්තයෝ.”
“මටවත්?” දොස්තර මහත්තයා ඇසුවේය.
පස්සේ බලද්දී එයාටවත් වාහනය ඇතුළු කරන්නට ඉඩ දීලා නැත. “... මම ආවේ පොල්වත්ත පාරෙන් එන්න බලාගෙන. නව රෝහලට යන්නයි කිව්වාමත් පමුණුව
පැත්ත වහලා හින්දා ඇඹුල්දෙනියට ගිහින් යන්න කිව්වා.” හවස
අයස්මන්ත මහත්තයා කිව්වේය. ඊළඟට මේ ටිකත්...
|
ආ...
අපේ ලොකු කෙල්ල A/L
පාස්.... ලොකූට Medical Collage යන්නත්
පුළුවන්. මම එයාලට ලම්ප්‍රයිස් පාටියක් දෙන්න යන ගමන්, හම්බන්තොට
staff එකේ ඩොකාලට ගෙනියන්න ලොකු කේක් දෙකකුත් ගත්තා Fab
එකෙන්... ඒකත් අපරාදේ වෙනවා අපි නොගියොත්...”
ඒ
මනුස්සයා එහෙමමය. මට උපකාරී වෙන හම්බන්තොට රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලවල
සාමාජික-සාමාජිකාවන්ගේ හිත සතුටු කරවන්නට වියදම් කරන්නෙත් එයාමය!
“එහෙනං මම නෙවිල් එක්කත් කතා කරගන්නං... අද රෑ වෙන්නේ නැතිව හවසටම යමුද
කියලා... එතකොට වැඩ සේරම කරගෙන හෙට හවසම එන්න පුළුවන්නෙ.... බැරියර් එක ළඟට ගිහින්
විස්තර කියලා අහගන්නං, මට එතැනින් යන්න දෙනවද කියලත්...
අහන්න ගියයි කියලා එයාලා මාව මරන්නයැ?”
ඒ කිව්වා වගේම, මම බැරියර් එක ළඟට ගියෙමි.
මගේ වෛද්‍ය වාර්තා- සටහන් පොත් එහෙමත් අරගෙන, හැකි
උපරිමයෙන්ම තටු හකුළාගෙනය.
එතැන රාජකාරියට සිටියෝ, ජනතා ප්‍රශ්න
වටහා ගැනීමේ බුද්ධියෙන් යුතු- හැබෑම කරුණාවන්ත මහත්වරුය. (සමහර විට මේ අසරණයාගේ
මූණත් තහඩුවයි, අවිහිංසක කතාවයි දැකලා ඒ නිලධාරීන් හිත
උණු කරගත්තා වෙන්නටත් පුළුවනිය.)
“ඔයාව එක්කරං යන්න එන දොස්තර මහත්තයට මෙතනට එන්න කියන්න.
ඒ වෙලාවට ඔයාටත් පුළුවන් මෙතනට ඇවිත් වාහනේට නඟින්න.... යන වෙලාව දාගන්න අද හවසට කලින්.
මොකද, අපි අද හවසට duty මාරු
වෙනවා!”
සාමාන්‍ය ජනතාවගේ නාඩි වැටෙන හැටි.... |
“එහෙනං නිමල් අයියේ අද හවස යමු... මම නෙවිල් අයියව පෙන්නන්න තියෙන
ඩොක්ටර්ටත් කතා කළා. Luck එකට පොර හවස PP එකේ ඉන්නවා රෑ අට වෙනකල්. ඉතිං අපි අටට කලින් හම්බන්තොට ඉන්න ඕනි.
නෙවිල් අයියගෙන් අහන්න 4.45 වෙනකොට එයාල ගෙදරට ආවොත්, ලැහැස්ති
වෙලා හිටියැකිද කියල.... මම four thirty වෙද්දී බැරියර්
එක ළඟට එන්නං.... එහෙම කළොත් අපිට වැඩ සේරම කරගෙන, හෙට
හවසම ආපහු එන්න පුළුවන් වෙයි....”
අයස්මන්ත මහත්තයා යෝජනා කළේය.
ඒ
යෝජනාව ගැන දැනගත්තාම එහෙන්-මෙහෙන් සංශෝධන එහෙමත් ඉදිරිපත් වුණේය.
‘නිමල් අයියට ඇඳුම් bag එකත් උස්සගෙන එතන්ට
යනවට වැඩිය ලේසියි, දොස්තර මහත්තයට සුබසාධක පාරෙන් ඇවිත්
මෙහාට එන්නයි කියන්නකෝ.’
‘නැත්තං නාගහවත්ත පාරෙන් ඇවිත්....’
“ඒ අස්සේ-මුල්ලෙ පාරවල් පීරිස් මහත්තය දන්නෙ නැතිවත් ඇති. නැතත් මට ඔය
ටික යාගන්න එක එච්චර අමාරු නෑ. ඔන්නං ටිකක් වෙලාව යයි.”
අන්තිමේදී
පෙනුණේ මං ඒ සංශෝධනවලට කැමති නොවීම හොඳයි කියලාය. එහෙම කිව්වේ 20 හරි
ගියෝතින් සේරම ප්‍රශ්න විසඳෙනවාය කියලා 2/3 දීලාත් අපේ ‘විස්ස
පරවෙච්චි’ නිසා නොවේ. Lockdown කරවන
බලධාරීන්ට සාමාන්‍ය ජනතාවගේ නාඩි වැටෙන හැටි අසුවී තිබුණු හින්දාය.
‘දැන් ඕන්න අතුරු පාරවල්වලත් පොලිසියෙන් ඉන්නවා....’
හතරාමාරට කලින් breaking news එකක්
ආවේය!
අයස්මන්ත
මහත්තයා වෙලාවටම වැඩය.
මම ඔය අනිත් අය වගේ නෙවෙයිනේ. අකුරට වැඩ! |
“මම එයාලට thank කළා.... හෙට හවස එනකොට එයාලම
හිටියොත් නිමල් අයියව ගෙදරටම drop කරන්න හිතාගෙන එහෙම
කළේ.... අපි එහෙමයි! සාදර අනුග්‍රහය... ටිං ටිං දොස්තර අයස්මන්ත පීරිස්ගෙන්...”
නෙවිල්
අනුරසිරිලාගේ ගෙදර ළඟ ඉඳලා අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමට යනකල්ම දොස්තර
මහත්තයාත්,
මමත් කිසිම කටකමසිරියාවක් නැතිව ආක්‍රෝශ-පරිභව බෙණෙමින් ගියෙමු.
“ඇයි ටෞකන්නෝ, තොට කිව්වේ පාරට
එන්න කියලා නේද? බලපංකො අටට කලින් හම්බන්තොටට යාගන්න බැරි
වුණොත්.....”
සුක්කානම
කරකවමින්ය ‘ලෝකල් නසාර්’ උත්තර දෙන්නේ.
“මම ඔය අනිත් අය වගේ නෙවෙයිනේ. අකුරට වැඩ!”
“අකුරට වැඩ වෙන්නෙ කොහොමද xත්තො?
මං උඹට කිව්වනේ අපි බැරියර් එක ළඟින් පිටත් වෙනකොටම පාරට එන්න
කියලා..... කෝ, ආවද? ගෙදර
ගේට්ටුව ළඟට එනකල්ම ඌ නෑ!”
“මෙයයි මචං මට කිව්වේ, එයා ගෙදරින් පිටත්
වෙනකොට මට කෝල් එකක් දෙනවයි කියලා... ඒක දුන්නද කියලා එයාගෙන්ම අහපං...”
“ඔව්! ඔව්!! මමම call කරන්න ඉතිං,
බැරියර් එක ළඟට land phone එකත් උස්සං
පලයංකො, මට වෙන වැඩ නැතිවට.”
ඔහොම
රණ්ඩු-දබර හින්දා highway
එකේ යද්දී ‘wal ප්‍රියන්ත හිතවතාගේ
නිඳිමතට බේත;
බැදපු කඩල’ උවමනා වෙන්නේ නැත.
විශේෂයෙන්ම නෙවිල්ට. වාහනයක් එළවද්දී මිනිහාට නින්ද යන්නේ නැත. අනෙක දැන් ඒ හාදයාට
දඩාවතේ යන බල්ලන්ගෙන් තිබුණු ආකර්ශනයත් නැතිව ගිහින්ය! මෝටර් බයිසිකලයේ යද්දී වගේ ‘ඉව’
නොදැනෙනවාත් වෙන්නැති. එහෙමත්
නැත්තං ඒ හාදයාව බල්ලොන්ටත් එපා වෙලාද?
දැනුයි
කල්පනාවට ආවේ. කාලෙකට ඉස්සර ‘විදුසර’ පත්තරේ තිබ්බා ‘බල්ලෝ’ ගැන අපූරු ලිපියක්.කොහොමද අපටත් බල්ලොන්ට වගේ ‘බලවත් බලු ඉවක්’ තිබුණා නම්...
“බල්ලෙකුගේ ගන්ධ සංවේදනය මිනිසකුගේ මෙන් 1,000 ගුණයක් බව කියවේ. අපේ
නහයේ ඇත්තේ ගන්ධ ප්‍රතිග්‍රාහක (sent receptors) මිලියන
5ක් පමණි. ජර්මන් ෂෙපර්ඩ් සුනඛයකු සතුව ගන්ධ ප්‍රතිග්‍රාහක මිලියන 220ක් පමණ
පවතියි....
කුඩා අවදියේදී බොහෝ ක්ෂීරපායී සතුන් මවගේ
තනපුඩු හඳුනා ගන්නේ දෘෂ්‍ය සංවේදන මඟින් නොව කිරි සුවඳෙන් යැයි කියවේ. එසේ වුවත්
ක්ෂීරපායියකුගේ මේ ඉහළ ගන්ධ සංවේදනය වැඩිහිටි වියේදී වර්ධනය නොවේ....”
කොහොමද
අපටත් බල්ලොන්ට වගේ ‘බලවත් ඉවක්’ තිබුණා නම්!
එහෙනං ගවීන්ටත් අද අපිත් එක්ක එන්න තිබුණනේ...
එන්න ඉඩක් තියෙනවා නං, නිවාඩුවකුත් ගන්න හැකි වුණා නං- මේ වතාවේ හම්බන්තොට යද්දී ගවීනුත් එන්නද කියලා අපෙන් අහලයි තිබුණේ. ඒත්....
ඇසින් නොදුටු, මනසින් දුටු හිතහොඳ දොස්තර මහත්තයාටත් වෛද්‍ය විද්‍යාලටය තේරුනු දියණියටත් සුභපැතුම්. ඇයත් පියාමෙන්ම මානවහිතවාදී දොස්තර නෝනා කෙනෙක් වේවායි පතනවා.
ReplyDeleteඔබේ සුබ පැතුම පීරිස් මහතාට කියන්නම්. ඔහු වෙනුවෙන් ස්තුතියි චමී.
Deleteසමාජ දුරස්ථභාවය මගේ කන්ඩායමට පැහැදිලිකරදීමට සැකසු පෝස්ටරයක් විද්‍යුත් තැපෑලට යොමුකරා. ප්‍රයෝජනවත් වේයැයි හිතනවා.
ReplyDeleteඅපොයි ඔව් චමී. ඉස්සරහදී බලන්නකො! thank you!
Deleteලොක් ඩවුන් කරලා තියෙන්නේ කොහේද, ලොක් අප් කරලා තියෙන්නේ කොහේද කියලා දැනගන්න නම් අංජනං එළියක් ඇරලා බලන්න වෙනවා.
ReplyDeleteදොස්තර අයිඩෙන්ටිටි එක පෙන්නලා, ලොක් ඩවුන් ප්‍රදේශ හරහා යන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලයි මම දැනගෙන හිටියේ.
යාලුවෝ කට්ටිය ඔයාට ළිං ගෙම්බා කිව්වේ ලැප් ටොප් එකක් පාවිච්චි කරන්නේ නැතිව ඩෙස්ක් ටොප් එකක් පාවිච්චි කරන නිසාද?
එහෙම නම් මමත් ළිං ගෙම්බෙක් තමයි. ගෙදරදී නම් මගේ ප්‍රියතම උපකරණය ඩෙස්ක් ටොප් එකයි. ඒක තියන ඩෙස්ක් එකේ, බෝතලයකට, වීදුරුවකට, බයිට් දීසියකට එහෙම ඉඩ පහසුකම් තිබුනාට, ලැපේ එහෙම පහසුකම් නැහැනේ.
ළිං ගෙම්බා කියන්නේ මම මොබයිල් ෆෝන් එකක්වත් නොගන්න නිසා. ඒ තිය පෙළක් වෙලාවට මේ land ෆෝන් එකත් වදයක්...
Deleteහැබැයි Sam, ලැප් එකෙන් නං මම උපරිම ප්‍රයෝජනේ ගන්නවා. වහින- ගොරවන- අකුණු ගහණ වෙලාවට කොම්පියුටරේ off කරලා lap එකෙන් films බලනවා. කලින්ම charge කරගෙන සූදානමින් ඉන්නේ.
ඒක මේසය උඩින් තියාගන්න නිසා තේ එහෙම තියාගන්න අවුලක් නෑ.
පංචතන්තරේ කියනවා වඩා අම්මප චීත්තවාහිනිය කියුවම ගතියක් තියෙනවා නේ..
ReplyDeleteඔය පොලොස් නිළධාරීන්ගේ වැඩනම් ඩිපෙන්ඩ් වෙන්නේ තනිකරම ඉන්න මනුස්සයා මත. නැතුව ඕවයේ එහෙම පිරිසිදු පැහැදිලි අණපනත් නෑ මේ වගේ හදිසි වැඩවලට. තිබ්බත් ඒවා කියවන එකාට කැමති විදියට නවා ගන්න පුළුවන්.
දොස්තර මහත්තයාගේ දුවට ජයවේවා! සුබ අනාගතයක් ලැබෙයි අනිවාර්යයෙන්ම :)
කමි, රෝස මලට වෙන නමක් කිව්වත් ඒකෙ සුවඳ අඩු වෙන්නේ නැති විත්තියක් කිව්වේ ශේක්ෂ්පියර් උන්නැහේ නේද?
Deleteපොලෝසියේ විතරක් නෙවෙයි කමි, ලංකාවේ කොතැනත් බලපාන්නේ එතැන ඉන්න කෙනාගේ තත්ත්වය. නීතියකුත් නෑ- රීතියකුත් නෑ.
ලොකූගෙ ගැන ඔයාගේ පැතුමත් අයස්මන්ත මහතාට කියන්නම්. ස්තුතියි!
දැන්වත් මෝබයිල් ෆෝන් එකක් ගන්නෙ නැත්නම් .....
ReplyDeletePra Jay මහත්තයෝ, කෙනෙකුගේ අතේ මහපටැඟිල්ල පිට පැත්තට නැවෙන තරම බලන්නයි කියනවනේ. මම නම් හිතවත් හුඟ දෙනෙකුගේ ඒ ඇඟිල්ල නැවෙන හැටි බලනවා. සසඳන්න.
Deleteඇඟිල්ලේ නම්‍යශීලීකම වැඩියි නං එයාත් නම්‍යශීලීයි, සමහරුන්ගේ ඇඟිල්ල චුට්ටක්වත් නවන්න බෑ. මගේ ඇඟිල්ල නැවෙන්නෙත් පොඩ්ඩයි!
මේ පෝස්ට් එකේ අමුතුම ගතියක් තියනවා. සාමාන්‍ය එදිනෙදා ලොක්ඩ්වුන් ජන ජීවිතය ගැන වුනත්, ඒකෙත් අමුතුම සුන්දරත්වයක් තියෙනවා. ගූගල් ස්ට්‍රීට් මැප් එකෙන් ඇවිදලා බලන්න හිතුනා.
ReplyDeleteගේ ඉස්සරහින් "සස්" ගාලා බස්සෙක් ලිස්සලා ගියොත්, වැඩිය ගණන් ගන්න එපා, ඈ?😂
ස්තුතියි බකුසු මහතාණෙනි.
Deleteසතුටුයි, මගේ උත්සාහය තේරුම්ගෙන ඒ ගැන කියපු එක ගැන. කොරෝනා ගැන සුන්දර විදිහටත් බලමින්, සතියක අත්දැකීම් ගැන ලියන්නයි හිතුවේ.
ඒවා කොච්චර විවිධයිද, වටිනවාද, විච්ත්රයි හා වැදගත්ද කියනවා නං දොස්තර මහත්තයි මායි මේ දවස්වල ඊමේල් හුවමාරුවක. ඉස්සරහට ඔයාලටත් කියවන්න දෙනවාමයි.
ගූගල් එකෙන් බැලුවොත් මම කියාපු පාරවල් ටික හැඩට පෙන්නයි!
අනේ එදා අපේ ගෙදරත් එනවා කිව්ව දවස
ReplyDeleteනෑ නෑ ද්මුතු නංගී, අපි කියලා තිබුණේ හැකි වුණොත් එනවා කියලා. හදිස්සිය වගේමයි, අහිතකින් නෙවෙයි නෑවිත් හිටියේ. සංචරණය අඩු කර ගන්නත් ඕනි නිසා.... නැත්තං හැම මාසෙම වුණත් ගොඩවෙලා යන්න ආසයි. ඔයාලගේ පවුලේ සේරම සංසාරේ පුරුදු අය විදිහටනේ අපි කාටත් දැනෙන්නේ.
Deleteබලන් යනකොට පමුනුවේ රෙදිගන්න ඇවිත් තියෙන්නේ පිලියන්දලින් නෙව
ReplyDeleteඔය අලගිය මුලගිය තැන් හොයන්න ගියොත් අසංග මහත්තයෝ කම්මුතු වෙලා බෙල්ලත් ගහලා යයි, බෙල්ල රත්තරං වීම කෙසේ වෙතත්!
Deleteකොරෝනා කාලේ මිනිස්සුන්ගේ හැසිරීම් කියවන එකත් රහයි...
ReplyDeleteමිනිහා නම් පුදුම සතා කියලා පොතකුත් තිබුණා මතකයිද මිතිල?
Deleteමිනිස් චර්යාවන් ගැන කියවීම ඉතා රසවත් වගේම හරවත්. මේ වගේ කාලෙක එයාලගේ හැසිරීම කලින් තීරණේ කරන්න අමාරුයි මිතිල. ඒ නිසාමයි මේ පොස්ට් කීපය ලියන්න හිතුවෙත්. වාර්තාකොට තියන්න.
ගිහිං ආව හැටිත් කියවලාම කමෙන්ට් එකක් දානව
ReplyDeleteහා හා හොඳා ආයිබෝං!
Deleteඒහෙම බේරෙන්ඩ හිතුවා මදි විය
ReplyDeleteහුට්ටප්පරයට කෙළවීලා ගිය
අාරංචිය දැක හරිම පුදුම විය
බලන්ඩ ඒවට සිදුවෙන අැබැදිය
ඩ්රැකී. ඇත්තමයි හුට්ටප්පරේ හින්දා හරිම හුට්ටප්පරයක් තමයි වුණේ, පෙරේදා.
Deleteමේ පෝස්ට් එක හරි ගස්සලා upload කරලා පෙරේදා උදේ publish වෙන්න ෂෙඩුල් කරලයි තිබුණේ. උදේ බලද්දී මට බ්ලොග් සයිට් එකට යන්න බෑ. ඔයාලගේ ඒවාටවත්.
මං අන්දොස් වුණා.
තමිරට- අයස්මන්තට- ඔයාට එහෙම මැසේජ් කළේ ඒකයි. දවස් ගාණක් තිස්සේ land ෆෝන් එකත් වැඩ නෑ. ඉන්ටනෙට් line එකත් හිටි ගමන් විතරයි වැඩ. ටෙලිකොම් එකට කම්ප්ලේන් කරාම කියපි lockdown ඉවර වෙනකල් ෆෝන් හදන්න එන්නෙ නෑ කියලත්.
ඒ අස්සේ blog site එකට යන්න ඇහැක් වුණා. හුටා! ෂෙඩුල් කරලා තිබුණු post එක missing!
ඉන්ටනෙට් line එක වැඩ නිසා මං මොකද කළේ, ආපහු post එක upload කළා. පබ්ලිෂ් කළා.
ඒ කරලා තමයි නාලා; කාලා ආයෙම කම්පියුටරේ ළඟට ආවේ.
මෙන්න බොලේ google එකෙන් ලියුමක්. මං එයාලගේ නීති කඩලාලු!
කාගෙන්ද අහන්නේ? මගේ අනුමානය වුණෙත්, කීප දෙනෙකුම කිව්වෙත් 'හුට්ටප්පරේ' වචනය කුනුහරුපයක් බව පරිගණකවලින් කියන්නට ඇති බවයි. ආයෙ මාතෘකාව වෙනස් කරන්නයැ! එතකොටත් අනූ ගාණක් පොස්ට් එක බලලා.
ඕනෑ හුට්ටප්පරයක් කියලා බලං ඉන්නවා, දෙවෙනි කොටස දාන්න යද්දී මොකක් වෙයිද කියලා.
මාතෘකාව හින්දද මන්දා පෙරේදා පංච තන්තරේ පෙරලන්න 305 කුත්, ඊයේ 221 කුත් ඇවිත්!
අනේ google දෙයියෝ, මේ අසරණ ගැත්තා අතින් දැන වැරදි- නොදැන වැරදි සිදුවී ඇති නං ඒවාට සමා වෙලා, සමාධිය භජනය කරලා, දුකට පිහිට වෙලා සියලු වස්-දොස් දුරු කරවා දෙන්ටයි.....
උඩ එවුන් කොහොම කොමෙන්ට් කරනවද මන්දා මුකුත් තේරුනේ නෑ යකෝ
ReplyDeleteඅජිත්, ඔයාට මගේ ලිවීම සංකීර්ණ මදි වෙන්තැති.
Delete